Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 12801-12900 න් 15980

මහණෙනි, කරුණු තුනෙකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ. කවර තුනෙකින් ද යත්:
දිව්‍ය ආයුෂයෙන, දිව්‍ය වර්‍ණයෙන, දිව්‍ය සුඛයෙනැ. මහණෙනි, මේ තෙකරුණින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ.
මහණෙනි, තෙකරුණෙකින් දඹදිව්වැසි මිනිස්සු උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු තව්තිසා වැසි දෙවියනුදු මැඩ සිටුනාහ. කවර තුනකින යත්:
ශූරයහ, ස්මෘතිමත් හ, මේ අත්බව්හි බඹසර විසුම ය. මහණෙනි, මේ තෙකරුණින් දඹදිව් වැසි මිනිස්සු උතුරුකුරු දිවයින් වැසි මිනිසුනුදු තව්තිසා වැසි දෙවියනුදු මැඩ සිටුනාහ.
9. 1. 3. 2.
ඛලුඞ්කෝපම සූත්‍රය
[සැවැත්නිදාන යි]
‘මහණෙනි, තුන් අස්කුංඩයනුදු තුන් මිනිස් කුංඩයනුදු තුන් අභිජාත අශ්වයනුදු තුන් භද්‍ර අශ්වාජානේයනුදු තුන් භද්‍රපුරුෂාභිජානේයයනුදු දෙසමි. ඒ අසවු, මොනවට මෙනෙහි කරවු, දෙසමී’ යි.
‘එසේ ය වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හු තෙල වදාළහ:
මහණෙනි, තුන් අස්කුංඩයෝ කවරහ යත්:
මහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න වෙයි, වර්‍ණසම්පන්න නො වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
මහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
මහණෙනි, මෙ ලොව්හි එක් අස්කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ අස් කුංඩයෝ තුන්දෙන ය.
මහණෙනි, මිනිස් කුංඩයෝ තිදෙන කවරහ යත්:
මහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න වෙයි, වර්‍ණසම්පන්න නො වෙයි, ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
මහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න නො වේ.
මහණෙනි, මෙ ලොව්හි එක් මිනිස් කුංඩයෙක් ජවසම්පන්න ද වෙයි, වර්‍ණසම්පන්න ද වෙයි, ආරෝහපරිණාහසම්පන්න ද වෙයි.
මහණෙනි, මිනිස් කුංඩයා කෙසේ ජවසම්පන්න වේද, වර්‍ණසම්පන්න නො වේද, ආරෝහපරිණාහ සම්පන්න නො වේද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මේ දුකැ’යි යථාභූත කොට (ඇති සැටියෙන්) දනී. ‘මේ දුක්ඛසමුදය’යි යථාභූතය දනී. ‘මේ දුක්ඛනිරෝධය’යි යථාභූත කොට දනී. ‘මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදා’යි යථාභූත කොට දනී. මේ ඔහුගේ ජවයෙහි ලා කියමි. අභිධර්‍මවිෂයෙහි අභිවිනය විෂයෙහි පැණ පුළුවුස්නා ලදුයේ (කථාව) හිඳුවයි. විසර්‍ජනා නො කෙරෙයි. මේ ඔහුගේ අවර්‍ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබනසුලු වෙයි. මෙය ඔහුගේ අනාරෝහපරිණාහයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න නො වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වෙයි.
මහණෙනි, කෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්නත් වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්න නො වේ ද:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මෙ දුකැ’යි යථාභූත කොට දන්නේ ය, ‘මේ දුක්ඛසමුදය’යි යථාභූත කොට දන්නේය, ‘මේ දුක්ඛ නිරෝධය’යි යථාභූත කොට දන්නේය, මේ ‘දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදා’යි යථාභූත කොට දන්නේය. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍ම විෂයෙහි අභිවිනය විෂයෙහි පැණ පුළුවුස්නා ලදුයේ විසර්‍ජනා කෙරෙයි. අවසාදනා නො කෙරෙයි. මේ ඔහුගේ වර්‍ණයයි කියමි. සිදුරු පිඬුවා සෙනුස් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුලු වෙයි. මේ ඔහුගේ අනාරෝහපරිණාහයයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් කුංඩයා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න නො වේ.
මහණෙනි, මිනිස් කුංඩයා කෙසේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්න වේ ද, ආරෝහපරිණාහසම්පන්න වේ ද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ, ‘මේ දුකැ’යි යථාභූත කොට දන්නේ ය … ‘මේ දුක්ඛ නිරොධගාමිනී ප්‍රතිපදා’යි යථාභූත කොට දන්නේය. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැණ පුළුවුස්නා ලදුයේ විසර්‍ජනා කෙරෙයි (කථාව) නො හිඳුවයි. මේ ඔහුගේ වර්‍ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහයයි කියමි. මහණෙනි, මෙසේ මිනිස් පොව්වා ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි. මහණෙනි, මේ මිනිස් කුංඩයෝ තිදෙන ය.
මහණෙනි, අභිජාතාශ්වයෝ තිදෙන කවරහ යත්:
මහණෙනි, මෙ ලොව්හි එක් අභිජාත අශ්වයෙක් … ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි. මහණෙනි, මේ අභිජාත අශ්වයෝ තිදෙනා යි.
මහණෙනි, අභිජාත පුරුෂයෝ තිදෙන කවරහ යත්:
මහණෙනි, මේ සස්නෙහි එක් අභිජාත පුරුෂයෙක් … ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහ සම්පන්න ද වෙයි.
මහණෙනි, කෙසේ අභිජාතපුරුෂ … ජවසම්පන්න වේද, වර්‍ණසම්පන්න වේද, ආරෝහපරිණාහ සම්පන්න වේද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් ඕපපාතික වෙයි. එ ලොවින් නො පෙරළෙන සැහැවි ඇතියේ එහි පිරිනිවෙන සුලු වෙයි. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැන පුළුවුස්නා ලදුයේ විසර්‍ජනා කෙරෙයි. කථාව නො හිඳුවයි. මේ ඔහුගේ වර්‍ණය යි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහයයි කියමි. මහණෙනි, මෙසේ අභිජාත පුරුෂ ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ පුරුෂාභිජාතයෝ තිදෙනයහ.
මහණෙනි, භද්‍රාශ්වාජානේයයෝ තිදෙන කවරහ යත්:
මහණෙනි, මෙලොව්හි එක් භද්‍ර අශ්වාජානෙයයෙක් … ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වෙයි. මහණෙනි, මේ භද්‍ර අශ්වාජානේයයෝ තිදෙන යි.
මහණෙනි, භද්‍රපුරුෂජානේයයෝ තිදෙන කවරහ යත්:
මහණෙනි, මෙ ලොව්හි එක් භද්‍ර පුරුෂාජානෙයයෙක් … ජවසම්පන්න වෙයි. වර්‍ණසම්පන්න වෙයි. ආරෝහපරිණාහසම්පන්නත් වේ.
මහණෙනි, කෙසේ භද්‍රපුරුෂාජානේය තෙමේ ජවසම්පන්න වේ ද, වර්‍ණසම්පන්නත් වේ ද, ආරෝහපරිණාහසම්පන්නත් වේ ද යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ දැන පසක් කොට එළැඹ වෙසෙයි. මේ ඔහුගේ ජවයයි කියමි. අභිධර්‍මයෙහි අභිවිනයෙහි පැණ පුළුවුස්නාලදුයේ විසර්‍ජනා කරයි. කථාව නො හිඳුවයි. මේ ඔහුගේ වර්‍ණයයි කියමි. සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු වෙයි. මේ ඔහුගේ ආරෝහපරිණාහයයි කියමි.
මහණෙනි, මෙසේ භද්‍රපුරුෂාජානේය ජවසම්පන්න ද වෙයි. වර්‍ණසම්පන්න ද වෙයි. ආරෝහපරිණාහසම්පන්න ද වේ. මහණෙනි, මේ භද්‍රපුරුෂාජානේයයෝ තිදෙනාහ යි.
9. 1. 3. 3.
තණ්හාමූලක සූත්‍රය
[සැවැත්නිදාන යි]
‘මහණෙනි, තෘෂ්ණා මූලක ධර්‍ම නවය දෙසමි. අසවු, මොනවට මෙනෙහි කරවු, කියමි’ යි. ‘එසේය වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
මහණෙනි, නව තෘෂ්ණාමූලකධර්‍මයෝ කවරහ යත්: (වස්තු සෙවීමේ) තෘෂ්ණාව නිසා (රූපාදි අරමුණු) පර්‍ය්‍යෙෂණය, පර්‍ය්‍යෙෂණ නිසා (රූපාදි අරමුණු) ලාභය, ලාභය නිසා විනිශ්චය ය, විනිශ්චය නිසා ඡන්‍දරාග ය, ඡන්‍දරාගය නිසා (මම ය මාගේ යයි) බලවත් සනිටුහනය, බලවත් සනිටුහන නිසා (තණ්හා දිට්ඨි වශයෙන්) පරිග්‍රහකරණ ය, පරිග්‍රහකරණය නිසා මාත්සර්‍ය්‍යය, මාත්සර්‍ය්‍යය නිසා ආරක්‍ෂාය, ආරක්‍ෂා හේතුවෙන් දණ්ඩාදාන ය ශාස්ත්‍රාදාන කලහ විග්‍රහ විවාද ය තෝ තෝ යි බිණුම් පෛශුන්‍යය මුසාවාදය යන අනේක ලාමක අකුශලධර්‍මයෝ උපදනාහ. මහණෙනි, මේ නව තෘෂ්ණා මූලක ධර්‍ම යි.
9. 1. 3. 4.
සත්තාවාස සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සත්ත්‍වයන් වසන තැන් නවයෙකි. කවර නවයෙක යත්:
1. මහණෙනි නානාත්‍වකාය නානාත්‍වසංඥ සත්හු ඇත. මිනිස්හු ඇතැම් දෙවියෝ ඇතැම් විනිපාතිකයෝ යම් බඳු ද, එ මෙනි. මේ ප්‍රථම සත්‍වාවාස යි.
2. මහණෙනි, නානාත්‍වකාය ඒකත්‍වසංඥ සත්‍වයෝ ඇත. පළමු පහළ බ්‍රහ්මකායික දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ ද්විතීය සත්ත්‍වාවාස යි.
3. මහණෙනි, ඒකත්‍වකාය නානාත්‍වසංඥා සත්හු ඇත. ආභාස්වර දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ තෘතීය සත්‍වාවාස යි.
4. මහණෙනි, ඒකත්‍වකාය ඒකත්‍වසංඥ සත්හු ඇත. ශුභකෘත්ස්න දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ චතුර්‍ත්‍ථ සත්ත්‍වාවාස යි.
5. මහණෙනි, ප්‍රතිසංවේදනා රහිත අසංඥසත්හු ඇත. අසංඥසත්ත්‍ව දෙවියෝ යම්බඳු ද, එ මෙනි. මේ පඤ්ච සත්ත්‍වාවාස යි.
6. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්ම ප්‍රතිඝසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණි සත්හු ඇත. මේ ෂෂ්ඨසත්ත්‍වාවාස යි.
7. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රමණය කොට විඥානය අනන්තය යි විඥානන්ත්‍යායතනයට පැමිණි සත්හු ඇත. මේ සප්තම සත්ත්‍වාවාස යි.
8. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් විඥානන්ත්‍යායතනය ඉක්මවා කිසිත් නැතැයි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්හු ඇත. මේ අෂ්ටම සත්ත්‍වාවාස යි.
9. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි සත්හු ඇත. මේ නවම සත්ත්‍වාවාස යි.
මහණෙනි, මේ නව සත්ත්‍වාවාස යි.
9. 1. 3. 5.
පඤ්ඤාපරිචිත සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් කලෙක මහණහුගේ සිත ප්‍රඥායෙන් මොනොවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද, මහණෙනි, ඒ මහණහට “ජාතිය ක්‍ෂය විය, බඹසර වැස නිම වි ය, කරණී කරන ලද, අර්‍හත්ත්‍වය පිණිස අනෙකෙක් නැතැයි දනිමි” යන තෙල කියන්නට වටනේ ය.
මහණෙනි, කෙසේ මහණහුගේ සිත ප්‍රඥායෙන් මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද? “මා සිත වීතරාගය”යි ප්‍රඥායෙන් සිත මොනවට වැඩුණේ වෙයි. “මා සිත වීතද්වේෂය”යි ප්‍රඥාවෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත වීතමෝහය”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංරාගස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත සංදූෂණ ස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි.
“මා සිත මෝහනස්වභාව නැතැ”යි ප්‍රඥාවෙන් සිත මොනවට වැඩුණේ වෙයි. “මා සිත කාමභවය පිණිස ආවර්‍තනස්වභාව නැතැ”යි ප්‍රඥාවෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි. “මා සිත රූපභවය පිණිස ආවර්‍තනස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුනේ වෙයි. “මා සිත අරූපභවය පිණිස ආවර්‍තනස්වභාව නැතැ”යි ප්‍රඥායෙන් සිත මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වෙයි.
මහණෙනි, යම් කලෙක මහණහුගේ සිත ප්‍රඥායෙන් මොනවට (මතුමතුයෙහිත්) වැඩුණේ වේ ද, මහණෙනි, ඒ මහණහට “දැය ක්‍ෂය විය, බඹසර වැස නිම විය, කටයුතු කරණ ලදී. මෙ බවට කටයුතු අනෙකක් නැතැයි දනිමි” යන තෙල කියනට වටනේ යි.
9. 1. 3. 6.
සිලායූපොම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් චන්‍දිකාපුත්ත තෙරණුවෝ ද රජගහනුවර වේළුවනාරාමයෙහි විහරණ කෙරෙත්. එහි දී ආයුෂ්මත් චන්‍දිකාපුත්ත තෙරණුවෝ ‘ඇවැත් මහණෙනි’යි මහණුන් ඇමතූහ. ‘ඇවැත්නි’යි ඒ මහණහු ආයුෂ්මත් චන්‍දිකාපුත්හට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් චන්‍දිකාපුත්ත තෙරණුවෝ තෙල කීහ. ඇවැත්නි, දෙව්දත් භික්‍ෂූන්ට මෙසේ දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්‍ෂය විය, බඹසරවැස නිමවන ලද, කරණී කරනලද, මෙ රහත්බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි තෙල කියනට වටිනේ”යි.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් චන්‍දිකාපුත්ත හට තෙල කීහ: “ඇවැත්නි චන්‍දිකාපුත්තය, දෙව්දත් භික්‍ෂූන්ට “ඇවැත්නි යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, ඒ මහණහට දැය ක්‍ෂය විය, බඹසර වසන ලද, කරණී කරන ලද, මේ බව් පිණිස කළයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි, මෙසේ දහම් නො දෙසයි. ඇවැත් චන්‍ද්‍රිකාපුත්‍රය, දෙව්දත් භික්‍ෂූන්ට “ඇවැත්නි, යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාර පරියායයෙන්) මොනොවට මතුමත්තෙහිත් වඩනා ලද්දේ වේ ද, එ මහණහට ජාතිය ක්‍ෂය විය, බඹසර වසන ලද කරණී කරන ලද, මෙ බැව් පිණිස කටයුතු අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යී, මෙසේ වනාහි දහම් දෙසයි.
දෙවනවටත් … තෙවනවටත් ආයුෂ්මත් චන්‍ද්‍රිකාපුත්‍ර තෙරණුවෝ මහණුන් ඇමතූහ: “ඇවැත්නි, දෙව්දත් භික්‍ෂූන්ට මෙසේ දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක පටන් මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනා ලද්දේ වේ ද, ඒ මහණහට දැය ගෙවින, බඹසර වසන ලද, කරණී කරන ලද, මෙ බැව් පිණිස අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි.
තෙවනවටත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් චන්‍ද්‍රිකාපුත්‍රහට තෙල කීහ: ඇවැත් චන්‍ද්‍රිකාපුත්‍රය, දෙව්දත් භික්‍ෂූන්හට මෙසේ නහමක් දහම් දෙසයි. “ඇවැත්නි, යම් කලෙක සිට මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වචන ලද වේ ද, ඒ මහණහට දැය ගෙවිණ, බඹසර වසන ලද, කරණී කරන ලද, මේ බැව් පිණිස අනිකෙක් නැතැයි දනිමි යන තෙල කියනට වටනේ”යි. ඇවැත් චන්‍ද්‍රිකාපුත්‍රය, මෙසේ වනාහි දෙව්දතු භික්‍ෂූන්ට දහම් දෙසයි: “ඇවැත්නි, යම් කලෙක මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) වඩනාලදුයේ වේ ද, එ මහණහට දැය ක්‍ෂය විය, බඹසර වසන ලද, කරණී කරන ලද, මෙ බැව් පිණිස අනෙකෙක් නැතැයි දනිමි යන තෙල කීමට වටනේ”යි.
ඇවැත්නි, කෙසේ මහණහුගේ සිතින් සිත (චිත්තාචාරපරියාය) මොනවට වඩනා ලදුයේ වේ ද, “මාගේ සිත වීතරාගය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත වීතදෝසය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත වීතමෝහය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත ඇලුම් ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත දුෂ්ටවන ස්වභාව නැත්තේ ය”යි සිතින් සිත මොනොවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත මුළාවන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත කාමභවයෙන් ආපසු එන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත රූපභවයෙන් ආපසු එන ස්වභාව නැත්තේය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි. “මාගේ සිත අරූපභවයෙන් ආවර්‍තන ස්වභාව රහිතය”යි සිතින් සිත මොනවට වඩනා ලදුයේ වෙයි.
මහණෙනි, මෙසේ මොනවට මිදුණු සිත් ඇත් මහණහට බොහෝ වූ චක්‍ෂුර්විඥේය රූපයෝ ඇස්හමුවට එත් නමුදු ඔහුගේ සිත මැඩ නො සිටුනා හ. ඔහුගේ සිත ස්ථිත වූයේ ඒ අරමුණු හා නො මුසු වූයේ ම නො සැලෙන බවට පැමිණියේ වෙයි. ව්‍යය අනුවත් දක්නේ ය. බොහෝ වූ ශ්‍රෝත්‍රවිඥේය ශබ්දයෝ. .. ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ … ජිහ්වාවිඥේය රසයෝ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ … මනෝ විඥේය ධර්‍මයෝ මනස හමුවට එත් නමුදු ඔහු සිත මැඩ නො සිටුනාහ. ඔහුගේ සිත ස්ථිත වූයේ ඒ අරමුණු හා නො මුසු වූයේ ම නො සැලෙන බවට පැමිණියේ වෙයි. වැය ද දක්නේ යි.
ඇවැත්නි, යම් පරිදි (දිගින්) සොළොස්රියන් ගල් ටැඹෙක් වේ නම් ඒ ටැම්හුගේ අටරියනෙක් යට වළෙහි වෙයි. අටරියනෙක් වළෙන් මතුයෙහි වෙයි. එකල පෙරදිගින් දළපොද සුළඟෙක් ඒ නම් එය නො ම සලනේ ය. වෙසෙසින් නො සලනේ ය. වෙවුලා නො යන්නේ ය. වෙසෙසින් වෙවුලා නො යන්නේය. වැලි පැදුම් දිගින් … වැලි උතුරු දිගින් … වැලි දකුණු දිගින් මහවැසි සුළඟෙක් ඒ නම් එය නො ම සලනේ ය. වෙසෙසින් නො සලනේ ය. වෙවුලා නො යන්නේය. වෙසෙසින් වෙවුලා නො යන්නේය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, වළ ගැඹුරු බැවිනි. ගල්ටැඹ මොනවට සිටුවන ලද බැවිනි.
ඇවැත්නි, එපරිදි ම මෙසේ මිදුණු සිත් ඇති එ මහණහුගේ ඇස් හමුවට බොහෝ වූ චක්‍ෂුර්විඥේය රූපයෝ එත් නමුදු ඔහු සිත මැඩ නොම සිටුනාහ. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම ස්ථිත වූයේ නො සැලෙන බවට පැමිණියේ වෙයි. වැය අනුව දක්නේත් වෙයි. බොහෝ වූ ශොත්‍රවිඥේය ශබ්දයෝ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ … ජිහ්වාවිඥේය රසයෝ … කායවිඥේය ස්ප්‍රෂ්ටව්‍යයෝ … මනෝ විඥේය ධර්‍මයෝ මනස් හමුවට එත් නමුදු ඔහුගේ සිත මැඩ නො ම සිටුනාහ. ඔහුගේ සිත අමිශ්‍රීකෘත වූයේ ම ස්ථිත වූයේ ම නො සැලෙන බවට පැමිණියේ වෙයි. වැය ද නුවණින් දක්නේත් වේ.
9. 1. 3. 7.
පඨමවෙරභය සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් අනේපිඬු ගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගෘහපතිය, යම් කලෙක අරීසවුහුගේ පස් චිත්තෝත්‍රාස භය ද අකුසල වෛරයෝ ද සන්හුන් වෙත් ද, සතර සෝතාපත්ති මාර්‍ගාඞ්ගයන්ගෙන් සමන්‍වාගත වේ ද, හේ කැමැති වනුයේ තෙමේ ම “ක්‍ෂය කළ නිරා ඇතියෙම් වෙමි, පහවූ තිරිසන් අත්බව් ඇතියෙම් වෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙම් වෙමි, ක්‍ෂය කළ අවා දුගති විනිපා ඇතියෙම් වෙමි. (සුවයෙන්) නොහෙනසුලුයෙම් නියතයෙම් සම්බෝධිපරායන වූයෙම් සෝවන් වෙමි යී තමා පවසන්නේ ය.”
කවර පඤ්ච භය කෙනෙක් වෛර කෙනෙක් සන්හුන් වූවාහු වෙත් ද යත්:
1. ගෘහපති, පණිවා කරනුයේ පණිවා හේතුයෙන් දෘෂ්ටධාර්මික වූ යම් භයක් වෛරයක් ලබනේ ද, සම්පරායික වූ භයක් වෛරයක් ලබයි ද, චෛතසික දුක් දොම්නසක් විඳී ද, පණිවායෙන් වැළැකියේ දිටුදැමි වූ ද භය වෛරය නො ම ලබයි. සාම්පරායිකවූ ද භය වෛරය නො ම ලබයි. චෛතසික වූ ද දුක් දොම්නස් නොම විඳියි. පණිවායෙන් වැළකියාහට මෙසේ ඒ භය වෛරය සන්සිඳුනේ වෙයි.
2-5. ගැහැවිය, නුදුන් දෑ ගන්නා සුලුයේ … කාමයෙහි මිසහසර ඇතියේ … මුසවා කියනුයේ … මද පමා දෙකට කරුණු රහමෙර බොනසුලුයේ මද පමා දෙකට කරුණු රහමෙරහේතුයෙන් යම්ම දිටුදැමි භයක් වෛරයක් ලබා ද, සාම්පරායික භයවෛරයක් ලබා ද, චෛතසික දුක්දොම්නසුත් විඳී ද … මදපමා දෙකට කරුණු රහමෙරින් වැළකියාහට මෙසේ ඒ භයවෛර සන්හිඳුනේ වෙයි. මේ පඤ්ච භයවෛරයෝ ව්‍යුපශාන්ත වෙත්.
කවර සෝතාපත්තිමාර්‍ගාඞ්යන් ගෙන් සමන්‍වාගත වේය යත්:
6. ගැහැවිය, මෙ සස්නෙහි අරීසවු බුදුරජුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි: “මෙ කරුණෙනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තරපුරුෂදම්‍යසාරථීහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි.
7. ධර්‍මයෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි, “භගවත්හු විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය, සාන්දෘෂ්ටික ය, අකාලික ය, එහිපස්සවිධියට අර්‍හ ය, උපනයනාර්‍හ ය, විඥයන් විසින් සිය සතන්හි ලා වේදිතව්‍ය”ය කියා යි.
8. සඟුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. භගවත්හුගේ සවුසඟහු සුපිළිපන්හ. භගවත්හුගේ සව් සඟහු ඉදි ව පිළිපන්හ, භගවත්හුගේ සවු සඟහු න්‍යායානුකූල ව පිළිපන්හ, භගවත්හුගේ සවුසඟහු සාමීචි ප්‍රතිපදායෙන් පිළිපන්හ. ඔහු කවරහ: චතුෂ්පුරුෂ යුගයෝ ය, අෂ්ට පුරුෂ පුද්ගලයෝ ය, භගවත්හුගේ තෙල සවුසඟහු (ඇරදෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට අර්‍හවන බැවින්) ආහුනෙය්‍යයහ, (ආගන්තුක සත්කාරයට අර්‍හ වන බැවින්) පාහුනෙය්‍යයහ, (දක්‍ෂිණාවට අර්‍හ වන බැවින්) දක්ඛිණෙය්‍යයහ, (අඤ්ජලි කර්‍මයට අර්‍හ වන බැවින්) අඤ්ජලිකරණීයයහ. ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍රයහ කියා යි.
9. නොකැඩුණු නො සිදුරුවුණු කබර පැහැ නොගත් ලප නැති නිදහස් විඥප්‍රශස්ත (තණ්හා දිට්ඨි දෙකින්) පරාමර්‍ශනය නො කළ සමාධි සංවර්‍තනික ආර්‍ය්‍යයනට ප්‍රිය ශීලයෙන් සමන්‍වාගත වෙයි. මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වෙයි.
ගැහැවිය, යම් කලෙක අරීසවුහට මේ පස් භීතිහු අකුශල වෛරයෝ සන්සුන් වෙත් ද, මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ කැමැතියේ තෙමේ ම තමන් පහළ කරන්නේ ය, ‘පහවූ නිරා ඇතියෙමි, ක්‍ෂය කළ තිරිසන් යොන් ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අවාදුගති විනිපාත ඇතියෙමි, මම සෝවානමි, විනිපාතස්වභාව නැතියෙම් නියතයෙම් සම්බෝධි පරායණ කොට ගත්තෙම් වෙමි’ කියායි.
9. 1. 3. 8.
ද්විතීය වෙරභය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, යම් කලෙක අරීසවුහට පස් භීතිහු ද වෙරයෝ ද, සන්හුන් වෙත් ද, සිවුසෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ රුස්නේ තෙමේ ම තමා පහළ කරන්නේ ය, ‘ක්‍ෂය කළ නිරෑ ඇතියෙමි, ක්‍ෂය කළ තිරිසන්යොන් ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙම් මම සොවන්මී. අවිනිපාතස්වභාව ඇතියෙමි. නියතයෙමි. සම්බෝධිය පරායණ කොටගතිමි’ කියායි. කවර පඤ්චභීතීහු පඤ්ච වෙරයෝ සන්හුන් වෙත් ද … මේ පඤ්චභීතීහු පඤ්චවේරයෝ සන්හුන් වෙති.
කවර සිවු සෝවන් අඟින් සමන්‍වාගත වේ ද … මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වෙයි.
මහණෙනි, යම් කලෙක අරීසවුහට මේ පඤ්ච භීතීහු පඤ්ච වෛරයෝ සන්හුන් වෙත් ද, මේ සතර සෝවන් අඟින් සමන්‍වාගත වේ ද, හේ රුස්නේ තෙමේ ම තමා පහළ කරන්නේ ය. ‘ක්‍ෂය කළ නිරය ඇතියෙමි, ක්‍ෂය කළ තිරශ්චීන ගති ඇතියෙමි, ක්‍ෂය කළ ප්‍රේතවිෂය ඇතියෙමි, ක්‍ෂය කළ අපාය දුර්‍ගති විනිපාත ඇතියෙමි, මම ශ්‍රොතාපන්නයෙමි, අවිනිපාත ස්වභාව ඇතියෙමි, නියතයෙමි, සම්බෝධිපරායණයෙමි’ කියා යි.
9. 1. 3. 9.
ආඝාතවත්‍ථු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ආඝාත වස්තූහු නව දෙනෙකි. කවර නවදෙනෙක යත්:
මට අනර්‍ත්‍ථ කළහ යි කෝපය බඳනේ ය. මට අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මට මතුයෙහි අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මනවඩන ප්‍රියයාහට අනර්‍ත්‍ථ කළහ යි … අනර්‍ත්‍ථ කරති යි … මතුයෙහි දු අනර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේ ය. මාගේ මන නො ගත් අප්‍රියයාහට අර්‍ත්‍ථ කළහ යි … අර්‍ත්‍ථ කරති යි … මතුයෙහි දු අර්‍ත්‍ථ කරති යි කෝපය බඳනේය. මහණෙනි, මොහු නව ආඝාතවස්තූහු යි.
9. 1. 3. 10.
ආඝාතපටිවිනය සූත්‍රය
[සැවැත්නිදාන යි]