Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 12701-12800 න් 15980

කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අවෙදනීය නම් මාගේ ඒ කර්‍මය වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි? ඇවැත්නි, මෙය නො වේ මැ යි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් දෘෂ්ට ධර්‍මවේදනීය නම් මාගේ ඒ කර්‍මය සම්පරායවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් සම්පරායවේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය දෘෂ්ටධර්‍මවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක, ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් සුඛවේදනීය නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය ම වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් දුඃඛ වේදනීය නම් මාගේ ඒ කර්‍මය සුඛවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් පරිපක්ව වේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අපරිපක්ව වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අපරිපක්වවෙදනීය නම් මාගේ ඒ කර්‍මය පරිපක්වවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ දැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම්කර්‍මයෙක් බහුවේදනීය නම් මාගේ ඒ කර්‍මය අල්පවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අල්පවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය බහුවේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නොවේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් වේදනීය වේ නම් මාගේ ඒ කර්‍මය අවෙදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නො වේ මැයි කියහි.
කිමෙක ඇවැත් ශාරීපුත්‍රය, යම් කර්‍මයෙක් අවෙදනීය වේ නම් මාගේ ඒ කර්‍මය වේදනීය වේවයි තෙල කරුණ සඳහා භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ම ඇවැත්නි, මෙය නොවේමැයි කියහි, වැලි කුම්හෙයින් ඇවැත්නි, භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේදැයි?
ඇවැත්නි, යම් නිවනක් අඥාත ද, අදෘෂ්ට ද, අප්‍රාප්ත ද, අසාක්‍ෂාත්කෘත ද, අනවබුද්ධ ද, ඒ නිර්‍වාණයාගේ ඥානය පිණිස, දර්‍ශනය පිණිස, ප්‍රාප්තිය පිණිස සාක්‍ෂාත් ක්‍රියාව පිණිස අවබෝධය පිණිස භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ යි.
ඇවැත්නි, යමක් ම දැනගන්නා පිණිස දැකුම් පිණිස ප්‍රාප්තිය පිණිස පසක් කිරීම පිණිස අභිසමය පිණිස භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ නම් ඒ අඥාත ය අදෘෂ්ටය අප්‍රාප්තය අසාක්‍ෂාත්කෘත ය අනවබුද්ධය කවර?
ඇවැත්නි, “මේ දුකැ”යි යන මොහුගේ අඥාතයෙක් අදෘෂ්ටයෙක් අප්‍රාප්තයෙක් අසාක්‍ෂාත් කෘතයෙක් අනවබුද්ධයෙක් වේ නම් එහි දැනුම් පිණිස දැකුම් පිණිස ලැබුම් පිණිස පසක් කරනු පිණිස අභිසමය පිණිස භාග්‍යවතුන් කෙරෙහි බඹසර වැසේ යි. ඇවැත්නි, ‘මේ දුක්ඛසමුදය’යි යන මොහුගේ … ‘මේ දුක්ඛනිරෝධ’යී යන මොහුගේ … ‘මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා’යී යන මොහුගේ අඥාතයෙක් අදෘෂ්ටයෙක් අප්‍රාප්තයෙක් අසාක්‍ෂාත් කෘතයෙක් අනභිසමෙතයෙක් වේ නම් එහි දැනුම පිණිස දැකුම් පිණිස ලැබුම පිණිස පසක් කැරුම් පිණිස අභිසමය පිණිස භගවතුන් කෙරෙහි බඹසර වැසේ යි. ඇවැත්නි, මෙය අඥාත වෙයි, අදෘෂ්ට වෙයි, අප්‍රාප්ත වෙයි, අසාක්‍ෂාත්කෘත වේ, අනභිසමෙත වේ, එහි ඥානය පිණිස දර්‍ශනය පිණිස ප්‍රාප්තිය පිණිස සාක්‍ෂාත්කෘතිය පිණිස, අභිසමය පිණිස භගවතුන් කෙරෙහි බඹසර වැසේ යි.
9. 1. 2. 4.
සමිද්ධි සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරුනට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
සමිද්ධිය, පුරුෂයාට සඞ්කල්පවූ විතර්‍කයෝ කුමක් අරමුණු කොට උපදනාහු දැයි? වහන්ස, නාමරූප ප්‍රත්‍යය කොට ය.
සමිද්ධිය, ඔහු කොතැන්හි නානාස්වභාවයට යෙත් දැයි.? වහන්ස, ධාතූන් කෙරෙහි ය.
සමිද්ධිය, ඔහු කුමක් සමුදය කොට ඇත්තාහු දැයි.? වහන්ස, ස්පර්‍ශ සමුදය කොට ඇතිය හ.
සමිද්ධිය, ඔහු කුමක් සමවසරණ (එක් රැස්වීම ස්වභාව) කොට ඇත්තාහු දැයි. වහන්ස, වේදනාව සමවසරණකොට ඇත්තාහ.
සමිද්ධිය, ඔහු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු දැයි? වහන්ස, සමාධිය ප්‍රමුඛ කොට ඇත්තාහ.
සමිද්ධිය, ඔහු කුමක් අධිපති කොට ඇත්තාහු දැයි? වහන්ස, ස්මෘතිය අධිපති කොට ඇත්තාහ.
සමිද්ධිය, ඔහු කුමක් උතුරු කොට ඇත්තාහු දැයි? වහන්ස, ප්‍රඥාව උතුරු කොට ඇතියහයි.
සමිද්ධිය, ඔහු කුමක් සාරය කොට ඇත්තාහු දැයි? වහන්ස, විමුක්තිය සාර කොට ඇත්තාහ.
සමිද්ධිය, ඔහු කිමෙක බැසගත්තාහු දැයි? වහන්ස, අමෘතයෙහි බැසගත්තාහයි.
සමිද්ධිය, පුරුෂයාගේ සඞ්කල්ප විතර්‍කයෝ කුමක් ප්‍රත්‍යය කොට උපදනාහුදැයි මෙසේත් පුළුවුස්නා ලදුයේ වහන්ස, නාමරූප ප්‍රත්‍යය කොට ය’යි කියහි.
සමිද්ධිය, ඔහු කො තන්හි නානාස්වභාවයට යෙත් දැයි පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, ධාතූන් කෙරෙහි’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් සමුදය කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, ස්පර්‍ශය සමුදය කොට ඇතියහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් සමවසරණ කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, වේදනා සමෝසරණ කොට ඇතියහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, සමාධිප්‍රමුඛයහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් අධිපති කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, සතාධිපතෙය්‍යහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් උතුරු කොට ඇත්තාහුදැයි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, පඤ්ඤුත්තරයහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් සාර කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, විමුත්තිසාරයහ’යි කියහි.
සමිද්ධිය, ඔහු කුමක් ප්‍රතිෂ්ඨා කොට ඇත්තාහුදැ යි මෙසේ පුළුවුස්නා ලදුයේ ‘වහන්ස, අමෘතය ප්‍රතිෂ්ඨා කොට ඇතියහ’යි කියහි.
සමිද්ධිය, මැනැව, මැනැව, තෝ පැණ පුළුවුස්නා ලදුයේ මොනොවට විසඳුයෙහි, ඉනුදු (අගසව්වකු ඇසූ පැණ විසැඳියෙමියි) මානය නො කෙළෙහි යි.
9. 1. 2. 5.
ගණ්ඩොපම සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නොයෙක් වස් ගණන් ඇති ගඬක් යම්පරිදි වේද, එයට නවවණ මුඛකෙනෙක් වෙත්. (කිසිවකු විසින් බිඳ නො කළ) කර්‍ම සමුත්‍ථිත වූම නව අභේදන මුඛ කෙනෙක් වෙත්. එයින් යම් කිසිවක් ම වෑහේ නම් අශුචි ම වෑහේ, දුගඳ ම වෑහේ, ජුගුප්සා කටයුතු ම වෑහෙයි. යම් කිසිවක් ම ගලා නම් අශුචි වූවක් ම ගලයි. දුර්‍ගන්‍ධ වූවක් ම ගලයි ජුගුප්සා කටයුතු වූවක් ම ගලයි.
මහණෙනි, ‘ගණ්ඩ’ යනු සතරමහාභූතයෙන් උපන්, මවුපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් හටගත්, බතින් හා කොමුයෙන් වැඩුණු, අනිත්‍යස්වභාව ඇති සුවඳ ඉලීම් හා පිරිමැදීම් සැහැවි කොට ඇති, භේදන හා විද්ධවංසනය ස්වභාව කොට ඇති මේ කයට ම නමෙකි. එයම ව්‍රණමුඛ නවයෙක, අභේදනමුඛ නවයෙකි. එයින් යම් කිසිත් ම වෑහේ නම් අශුචි වූවක් ම වෑහෙයි, දුර්‍ගන්‍ධ වූවක් ම වෑහෙයි, ජුගුප්සා කටයුත්තක්ම වෑහෙයි. යම් කිසිත් ගලා නම්, අශුචි වූවක් ම ගලයි, දුර්‍ගන්‍ධ වූවක් ම ගලයි, ජුගුප්සා කටයුතු වූවක් ම ගලයි. මහණෙනි, එහෙයින් ම මේ කායයෙහි උකටලී වවු.
9. 1. 2. 6.
සඤ්ඤා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ නව සංඥාවෝ භාවිත වූවාහු, බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්‍ය්‍යාවසාන ද වෙත්. කවර නවයෙක් යත්:
අසුභසඤ්ඤා ය, මරණ සඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූල සඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤා ය, දුඃඛයෙහි අනත්තසඤ්ඤා ය, පහානසඤ්ඤා ය, විරාගසඤ්ඤා යි. මහණෙනි, මේ නව සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල ද මහානෘශංස ද අමෘතාවගාහ ද අමෘතපර්‍ය්‍යාවසාන ද වෙත්.
9. 1. 2. 7.
කුලෝපගමන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු නවයෙකින් සමන්‍වාගත කුල (පෙර) නො එළැඹ ම හෝ එළැඹෙනුවට නුසුදුසු ය, එළැඹ හෝ හිඳුමට නුසුදුසු ය, කවර නවයෙකින යත්:
මනා අයුරින් හුනස්නෙන් නැගිට පෙරගමන් නො කරත්. මනා අයුරින් නො වඳිත්. මැනැවින් අසුන් නො දෙත්. ඔහට සතු දෑ සඟවත්. බොහෝ ඇත ද මදක් දෙත්. පිණී දෑ ඇත ද රූක්‍ෂයක් ම දෙත්. සකසා නොව නො සකසා දෙත්. ධර්‍ම ශ්‍රවණයට ළඟ නො හිඳිත්. භාෂිතයාගේ අර්‍ත්‍ථරස විඳිමින් සතුටු නො වෙත්. මහණෙනි, මේ නව කරුණින් සමන්‍වාගත කුලය (පෙර) නො එළැඹ හෝ එළැඹීමට නුසුදුසුය. එළැඹ හෝ හිඳිනට නුසුදුසු ය.
මහණෙනි කරුණු නවයෙකින් සමන්‍වාගත කුලය (පෙර) එළැඹ හෝ එළැඹීමට සුදුසු ය. එළැඹ හෝ හිඳිනට සුදුසු ය. කවර නවයෙකින යත්:
මැනැවින් හුනස්නෙන් නැගී පෙරගමන් කරත්. මැනැවින් අභිවාදනා කෙරෙත්, මැනැවින් අසුන් දෙත්, ඔහුට ඇති දෑ නො සඟවත්, බොහෝ ඇතිවත් බොහෝ කොට දෙත්. පිණී දෑ ඇතිවත් පිණී දෑ ම දෙත්. සකස් කොට දෙත් නො සකසා නො දෙත්, දහම්ඇසීමට ළඟ හිඳිත්, භාෂිතයාගේ රසවිඳිමින් සතුටු වෙත්.
මහණෙනි, මේ නව කරුණින්, සමන්‍වාගත කුලය නො එළැඹ හෝ එළැඹුමට සුදුසු ය. එළැඹ හිඳිනට හෝ සුදුසු යි.
9. 1. 2. 8.
නවඞ්ගුපෝසථ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නව අඟින් සමන්‍වාගත පෙහෙවස් වුසූයේ මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාද්‍යුතික වෙයි. මහාවිස්ඵාර වෙයි. මහණෙනි, කෙසේ වුසූ නවඟින් සමන්‍වාගත උපෝසථය මහත්ඵල, මහා නෘශංස, මහාද්‍යුතික, මහාවිස්ඵාර වේය යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සිතයි: “යවදිව් රහත්හු පණිවා හැර පණිවායෙන් වැළැකියාහු බහාතැබූ දඬු ඇත්තාහු බහාතැබූ අවි ඇත්තාහු ලජ්ජාවත් වූවාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී ව විහරණ කරත්: අද මමත් මේ රෑත් මේ දාවලත් පණිවා හැර පියා පණිවායෙන් වැළැකියෙම් බැහූ දඬු ඇතියෙම් බැහූ අවි ඇතියෙම් ලදැතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී වූයෙම් විහරණ කරමි. මෙ කරුණෙනුදු රහතුනට අනුක්‍රියා කරමි. මා විසින් උපෝසථය ද වුසූයේ වෙයි. මේ පළමු අඟින් සමන්‍වාගත වෙයි.
2. “රහත්හු යව්දිව් අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියාහු දුන් දෑ ගන්නා සුල්ලහු දුන් දෑ කැමැතිවන්නාහු නොසොර පිවිතුරු සිතින් වෙසෙත්. අද මමත් මේ රෑත් මේ දාවලත් අයිනාදන් හැරපියා … මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි. මේ දෙවන අඟින් සමන්‍වාගත වූයේ වෙයි.
3. “රහත්හු යව්දිව් අබ්‍රම්සර හැර පියා බ්‍රහ්මචාරී වූවාහු ගැමිදම් වූ මෙවුන් දමින් වැළැකියාහු ආරාචාරී වූවාහු වෙත්. දැන් මම ද ... මා විසින් පෙහෙවස් වුසූයේත් වන්නේය. මේ තෙවන අඟින් සමන්‍වාගත වෙයි.
4. ‘රහත්හු යව්දිව් මුසවා හැර පියා මුසවායෙන් වැළැකියාහු සත්‍යවාදී වූවාහු සත්‍යසන්‍ධ වූවාහු ස්ථිර කථා ඇත්තාහු හැදැහිය හැකි තෙපුල් ඇත්තාහු ලොවට අවිසංවාදක වූවාහු වෙත්. දැන් මම ද … වුසුයේ වෙයි. මේ සිවුවන අඟින් සමන්‍වාගත වෙයි.
5. රහත්හු යව්දිව් මදපමා දෙකට කරුණු වූ රහමෙර හැර පියා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකියාහු වෙත්. අද මම ද … වුසූයේ වෙයි. මේ පස්වන අඟින් සමන්‍වාගත වෙයි.
6. යව්දිව් රහත්හු ඒකභක්තික වූවාහු රාත්‍රි භෝජනයෙන් වැළැකියාහු විකල් බොජුනින් දුරුවූවාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සවන අඟින් සමන්‍වාගත වෙයි.
7. රහත්හු යව්දිව් නැටුම් ගැයුම් වැයුම් විසුළු දස්න මල්ගඳ විලවුන් දැරුම් සිරුර උනුතැන් පිරවීම් සිරුරු සැරසුම් යන කරුණින් වැළකියාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සත්වන අඟින් සමන්‍වාගත වෙයි.
8. යව්දිව් රහත්හු උසසුන් මහසුන් හැරපියා උසසුන් මහස්නෙන් වැළැකියාහු මැස්සෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරත්. මම ද අද … වුසුයේ වෙයි. මේ අටවැනි කරුණින් සමන්‍වාගත වෙයි.
9. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙත්සහගිය සිතින් එක් දිගක් පැතිර වාසය කරයි. එපරිදි ම දෙවන … එපරිදි ම තෙවන … එපරිදිම සතරවන ... මෙසේ උඩ යට සරස හැම තන්හි සර්‍වාත්ම භාවයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පැතිර වෙසෙයි.
මහණෙනි, මෙසේ වුසූ නවඟින් යුත් පෙහෙවස මහප්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාජුතික වෙයි. මහාවිප්ඵාර වේය යි.
9. 1. 2. 9.
දේවතා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මෙ රෑ බොහෝ දේවතාවෝ රෑ බෙහෙවින් ඉක්මගිය කල්හි විසිතුරු පැහැ ඇත්තාහු මුළු දෙව්රම බබුළුවා මා වෙත එළැඹියහ. එළැඹ මා සකසා වැඳ එකත්පස්ව සිට ගත්හ. මහණෙනි, එකත්පස්ව සිට ගත් ඒ දේවතාවෝ මට තෙල කීහ:
“වහන්ස, පෙර මිනිස් වූ අපගේ අගාරයනට පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි (ඔවුන්ට) ප්‍රත්‍යුපස්ථාන කළම්හ. නො ද අභිවාදනා කළම්හ. වහන්ස, නොපිරිපුන් කම් ඇති ඒ අපි විපිළිසර වන්නමෝ පසුතැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යි.
මහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙක් මා වෙත එළැඹ තෙල කීහු: “වහන්ස, පෙර මිනිස් වූ අපගේ නිවෙස් කරා පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි ඔවුන්ට ප්‍රත්‍යුපස්ථාන කළම්හ. අභිවාදන කළම්හ, නො ද අසුන් දුනුම්හ, වහන්ස, ඒ අපි නො පිරිපුන් කම් ඇත්තෝ විපිළිසර වන්නමෝ පසුතැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යි.
මහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙක් ද මා කරා එළැඹ තෙල සැළකළහ: “වහන්ස, පෙර මිනිස් බවට පැමිණි අපගේ නිවෙස් කරා පැවිද්දෝ පැමිණියහ. වහන්ස, ඒ අපි ඔවුන්ට ප්‍රත්‍යුපස්ථාන කළම්හ. අභිවාදනා කළම්හ. අසුන් ද දුනුම්හ. යථාශක්තියෙන් යථාබලයෙන් සංවිභාග නොකළම් හ. දහම් අසනු සඳහා නො ද ළඟ හුනුම්හ … දහම් ඇසුමට ළඟ හුනුම් හ. යොමු කළ කන් ඇත්තමෝ නො ද දහම් ඇසුම්හ … යොමු කළ කන් ඇත්තමෝ දහමුදු ඇසුම්හ. අසා දහම් නො ම දැරුම් හ … අසා දහම් දැරුම්හ, දැරූ දහමුන්ගේ නො ම අරුත් පිරික්සුම් හ … දැරූ දහමුන්ගේ අරුත් පිරික්සුම්හ. අරුත් දැන පෙළදම් දැන ධර්‍මානුධර්‍මය නො ම පිළිපැදියම්හ. වහන්ස, ඒ අපි අපරිපූර්‍ණ කර්‍මාන්ත ඇත්තමෝ විපිළිසර වන්නමෝ පසු තැවෙන්නමෝ හීන කායයට පැමිණියම්හ”යී.
මහණෙනි, අනෙක් බොහෝ දේවතා කෙනෙකුදු මා කරා එළැඹ තෙල සැළකළහ.
“වහන්ස, පෙර මිනිස් බවට පැමිණියා වූ ම අපගේ නිවෙස් කරා පැවිද්දෝ එළැඹියහ. වහන්ස, ඒ අපි උවටන් කළම් හ. වන්‍දනා කළම්හ. අසුන් දුනුම්හ. යථාශක්තියෙන් යථාබලයෙන් දාන සංවිභාග කළම්හ. දහම් ඇසුමට වෙත හුනුම්හ. යොමු කළ කන් ඇත්තමෝ දහමුදු ඇසුම්හ. අසා දහමුදු දැරුම්හ. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සුම්හ. අරුත් දැන පෙළ දම් දැන ධර්‍මානුධර්‍මය පිළිපැදියම්හ. වහන්ස, ඒ අපි පරිපූර්‍ණ කර්‍මාන්ත ඇත්තමෝ විපිළිසර නො වූමෝ නො පසු තැවෙන්නමෝ ප්‍රණීත කායයට පැමිණියම්හ”යි.
මහණෙනි, තෙල රුක් මුල් ය, තෙල ශූන්‍යාගාර ය, මහණෙනි, ධ්‍යාන කරවු, පමා නො වවු, තෙල පළමු දේවතාවන් සෙයින් පසු නහමක් විපිළිසර වවු යි.
9. 1. 2. 10.
වේලාම සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වසනසේක. එකල්හි අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හින, එකත් පස්ව හුන් අනේපිඬු ගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
ගැහැවිය, තාගේ කුලයෙහි දන් දෙනු ලැබේ දැයි. “වහන්ස, මාගේ කුලයෙහි දන් දෙනු ලැබේ. හෙද වනාහි රූක්‍ෂ වූ කාඩි දිය දෙවනු කොට ඇති නිවුඩු බතෙකැ”යි.
ගැහැවිය, රූක්‍ෂ වේව යි ප්‍රණීත වේව යි දන් දේ නම් හෙද නොසකස් කොට දේ නම් අගරු කොට දේ නම් සියතින් නො දේ නම් නිරතුරු කොට නො දේ නම් කම්පල සඳහා නො දේ නම් යම් යම් ම තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද උදාර භක්තානුභවය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර යානභෝගය පිණිස ඔහු සිත නො නැමෙයි. උදාර පස්කම්හි ගුණෙහි භොගය පිණිස සිත නො නැමෙයි. ඔහුගේ පුත්‍රයහ කියා වේවයි අඹුහු කියා වේව යි දස්හ කියා වේව යි, ප්‍රෙෂ්‍යයහ (මෙහෙකරු වහල්ලු) කියා වේව යි, කම්කරුහ කියා වේව යි යම් ඒ කෙනෙක් වෙත් නම් උහුත් වදන් අසනු නො කැමැති වෙත්, සවන් නො දෙත්, දැනුමට සිත නො එළවත්, එ කවර හෙයිනැ: ගැහැවිය, නො සකස් කොට කළ කර්‍මයන්ගේ විපාකය එබඳු වේ ද එහෙයිනි.
ගැහැවිය, රූක්‍ෂ වේවයි ප්‍රණීත වේවයි දන් දේ නම් එ ද සකසා දේ නම් ගරු කොට දේ නම් සියතින් දේ නම් නිරතුරු කොට දේ නම් කම්පල හදහා දේ නම් යම් යම් තැනෙක ඒ ඒ දානයාගේ විපාක පහළ වේ ද, උදාර භක්තභෝගය පිණිස සිත නැමෙයි. උදාර වස්ත්‍රභෝගය පිණිස සිත නැමෙයි. උදාර යානභෝගය පිණිස සිත නැමෙයි. උදාර පස්කම්ගුණෙහි භොගයට සිත නැමේ. ඔහුගේ පුත්‍රයහ කියා වේව යි අඹුහ කියා වේව යි, දස්හ කියා වේව යි ප්‍රෙෂ්‍යයහ කියා වේව යි කම්කරුහ කියා වේවයි යම් ඒ කෙනෙක් වෙත් නම් ඔහු ද අසනු කැමැති වෙත්. සවන් දෙත්. දැනුමට සිත් එළවත්. එහෙයිනැ: කවර ගැහැවිය, සකස් කොට කළ කර්‍මයන්ගේ විපාකය එබඳු වේද එහෙයිනි.
ගැහැවිය, පෙරවූවක් කියමි. වේලාම නම් බමුණෙක් වී ය. හේ මෙ බඳු මහාදාන නම් දනක් දින: රිදියෙන් පිරූ සුවාසූ දහසක් රන්මුවා පා දින. රනින් පිරූ සුවාසූ දහසක් රිදීමුවා පා දින. අමුරනින් පිරූ සුවාසූ දහසක් කස්ලෝපා දින. ස්වර්‍ණාලඞ්කාර ඇති රන් දද ඇති රන් රසු දැලින් ගැවසුණු සුවාසූ දහසක් ඇතුන් දින. සිහසම් අතුළ, වගසම් අතුළ, දිවිසම් අතුළ, පඬු ඇඹුල් අතුළ රන්ලකර ඇති රන් දද ඇති රන්රසු දැලින් ගැවසුණු සුවාසූ දහසක් රිය දින. දුහුල් අතුළ කස්ලෝ කොසු ඇති සුවාසූ දහසක් දෙනුන් දින. මිණි කොඬොල් පැළඳි සුවාසූ දහසක් කන්‍යාවන් දින. කොඳුපලස් අතුළ සුදු ඇතිරි අතුළ ඝනපුප් එළුලොම් ඇතිරි අතුළ කෙසෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත දෙපස තැබූ කණ්වයින් ඇති සුවාසූ දහසක් පළඟ දින. සියුම් කොමු පිළිය, සියුම් කෝසෙය්‍ය පිළිය, සියුම් කම්බිලිය, සියුම් කපුපිළිය යන කෙළ සුවාසූ දහසක් වස්ත්‍ර දින. අන්නපාන ඛාද්‍ය භෝජ්‍ය ලෙහ්‍ය පෙය පිළිබඳ කවර කථා ය? නදීන් මෙන් ගලති.
ගැහැවිය, තට මෙ බඳු සිතෙක් වන්නේ ම ය: එසමයෙහි වේලාම බමුණු අනිකෙක් ම විය. හේ මහාදාන නම් ඒ දන දින” යි, ගැහැවිය, තෙල මෙසේ නො දත යුතු: එසමයෙහි මම වේලාම බ්‍රාහ්මණ වීමි, මහාදාන නම් වූ ඒ දන මම දිනිමි.
ගැහැවිය, ඒ දානයෙහි දක්‍ෂිණාර්‍හ කිසිවෙක් නො වීය. කිසිවෙක් ඒ දක්‍ෂිණාව පිරිසිදු නො කෙළේ ය. ගැහැවිය වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනී ද, යමෙකුත් එක් දිට්ඨිසම්පන්න (සෝතාපන්න) යකු වළඳවා ද, මෙය එයට මහත්ඵලතරයි.
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි ද, යමෙක් දිට්ඨිසම්පන්නයන් සියයක් වළඳවා ද, යමෙකුත් එක් සකෘදාගාමි පුඟුලකු වළඳවා නම් මෙය එයට මහත්ඵලතර යි.
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් සකෘදාගාමින් සියයක් වළඳවා නම් ... යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම් … යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම් … එක් රහතකු වළඳවා නම් … යමෙකුත් සියක් රහතුන් වළඳවා නම් … යමෙකුත් එක් පසේ බුදු කෙනකුන් වළඳවා නම් … යමෙකුත් සියක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම් … යමෙකුත් තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම් … යමෙකුත් බුදුපාමොක් බික්සඟන වළඳවා නම් … යමෙකුත් සිවුදිගින් වඩනා සඟුන් උදෙසා, වෙහෙරක් කරවා නම් … යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම් ... යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය, අයිනාදනින් දුරු වීම ය, කාමයන්හි මිසහසරින් දුරුවීම ය, මුසවායෙන් දුරුවීම ය, මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වීම ය යන සිකපද සමාදන් වේ නම් … යමෙකුත් යටත්පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලක් මෙත්සිත වඩා නම් මෙය එයට මහත්ඵලතර යි.
ගැහැවිය, වේලාම බමුණු මහාදාන නම් යම් දනක් දිනි නම් යමෙකුත් දිට්ඨිසම්පන්නයකු වළඳවා නම්, යමෙකුත් සියක් දිට්ඨිසම්පන්නයන් වළඳවා නම්, යමෙකුත් එක් සකෘදාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් සකෘදාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් අනාගාමියකු වළඳවා නම්, යමෙකුත් සියක් අනාගාමීන් වළඳවා නම්, යමෙකුත් එක් රහතකු වළඳවා නම්, යමෙකුත් සියක් රහතුන් වළඳවා නම්, යමෙකුත් එක් පසේ බුදු කෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් සියක් පසේබුදුකෙනෙකුන් වළඳවා නම්, යමෙකුත් තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වළඳවා නම්, යමෙකුත් බුදුපාමොක් බික්සඟුන් වළඳවා නම්, යමෙකුත් සිවුදිග්හි සඟුන් උදෙසා වෙහෙරක් කරවා නම්, යමෙකුත් පහන් සිතැතියේ බුදුන් දහම් සඟුන් සරණ යේ නම්, යමෙකුත් පහන් සිතැතියේ පණිවායෙන් දුරුවීම ය … මඳ පමා දෙකට කරුණු රහමෙරින් දුරුවීමය යන සිකපද සමාදන් වේ නම්, යමෙකුත් යටත් පිරිසෙයින් ගඳ සුඹුනා පමණ කලකුත් මෙත් සිත් වඩා නම් යමෙකුත් අසුරුසන් ගසන පමණ කලකුත් අනිත්‍ය සංඥා වඩා නම් මේ එයට මහත්ඵලතර යි.
දෙවැනි සීහනාද වර්‍ග යි.
එහි උද්දානය:
සීහනාදය, සෝපාදිසේසය, කොට්ඨිතය, සමිද්ධිය, ගණ්ඩය, සඤ්ඤාය, කුලය, මෙත්තාය, දේවතාය, වේලාම ය යි, දස සූත්‍ර යි.
3. සත්තාවාස වර්‍ගය
9. 1. 3. 1.
ඨාන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු තුනෙකින් උතුරුකුරු දිවයින් වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියන් ද දඹදිව් වැසි මිනිසුන් ද මැඩ සිටුනාහ (විශිෂ්ට වෙති) කවර තුනෙකින් යත්:
මමත්‍වය නැතියාහු පරිග්‍රහ රහිතයහ, නියතගති හා ආයු හා ඇතියහ, වෙසෙස් වැඩුම් ඇතියහ. මහණෙනි, මේ තෙකරුණින් උතුරුකුරු දිවයින් වැසි මිනිස්සු තව්තිසා වැසි දෙවියනුදු දඹදිව්වැසි මිනිසුනුදු මැඩ සිටුනාහ.