මහණෙනි, තස්සපාපිය්‍යසිකාකර්‍මය කරනලද මහණහු විසින් මේ අටදම්හි මොනොවට පැවැත්ත යුතු.
නවවැනි සතිවර්‍ග යි.
එහි උද්දානය:
සතිසූත්‍රය, පුණ්ණියසූත්‍රය, මූලසූත්‍රය, චෝරසූත්‍රය, පස්වැනි තථාගතාධිවනසූත්‍රය, නාගිතසූත්‍රය, පත්තසූත්‍රය, පසාදසූත්‍රය, පටිසාරණී සූත්‍රය, වත්තනසූත්‍රයදැයි දසය යි.
10. සාමඤ්ඤ වර්‍ගය
8. 2. 10. 1-27.
[සැවැත්නිදාන යි]
එකල්හි බොජ්ඣා උවැසි ... සිරිමා උවැසි .... පදුමා ... සුතණා ... මනුජා ... උත්තරා .... මුත්තා ... සෝමා ... රුචි උවැසි ... චුන්‍දි රාජකුමාරි ... බිමිබි උවැසි ... සුමනා රාජකුමාරි ... මල්ලිකා දේවි ... තිස්සා උවැසි ... තිස්සාවගේ මාතා ... සෝණා .... සෝණාවගේ මාතා ... කාණා ... කාණාවගේ මාතා .... උත්තරා නම් නන්‍ද මාතා ... විශාඛා මිගාර මාතා … බුජ්ජුත්තරා උපාසිකා ... සාමාවතී උපාසිකා ... කෝලිය දූහිතෘ සුප්පාවාසා ... සුප්පියා උපාසිකා ... නකුලමාතා ගෘහපතානී ... යි.{*}
දසවැනි සාමඤ්ඤවර්‍ග යි
දුතිය පණ්ණාසකය සමාප්ත යි.
11. රාගපෙය්‍යාලය
8. 11. 1.
අට්ඨමග්ගඞ්ක සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්‍ම කෙනෙක් බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
සම්මාදිට්ඨිය, සම්මාසඞ්කප්පය, සම්මාවාචාය, සම්මාකම්මන්තය, සම්මාආජීවය, සම්මාවායාමය, සම්මාසතිය, සම්මාසමාධි යි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අෂ්ට ධර්‍මයෝ බැවිය යුතුවහ යි.
8. 11. 2.
අට්ඨඅභිභායතන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අෂ්ට ධර්‍මයෝ බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්‍ණ දුවර්‍ණ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මියි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ ය. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නො වැඩූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ අප්‍රමාණ වූ සුවර්‍ණ දුවර්‍ණ වූ බාහිර රූපායතනයන් දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මියි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ නීල වූ නීලවර්‍ණ වූ නීල නිදර්‍ශන වූ (එක නීලවරපන්නෙ) නීල ප්‍රභා ඇති බාහිර රූපායතනයන් දක්නේ ය ... පීතවූ පීතවර්‍ණ වූ ... ලෝහිත වූ ලෝහිතවර්‍ණ වූ ... අවදාත වු අවදාතවර්‍ණ වූ ... අවදාත ප්‍රභා ඇත්තා වූ ඔවුන් මැඩගෙන දන්මි දක්මි යන මෙබඳු සංඥා ඇතියේ වෙයි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අට දහම්හු බැවිය යුතුයහ යි.
8. 11. 3.
අට්ඨවිමොක්ඛ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස අටදහම්හු බැවිය යුතුවහ. කවර අටදෙනෙක යත්:
රූපී වූයේ රූපායතනයන් දක්නේ ය. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ බාහිර රූපායතනයන් දක්නේ ය. සුභයැයි කියාම අධිමුක්ත වූයේ වෙයි. හැම අයුරින් රූපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිසංඥාවන්ගේ අස්තගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් අකාසය අනන්ත යී ආකාසානඤ්චායතනයට එළැඹ වෙසේ. හැම පරිදි ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත යි, විඤ්ඤාණඤ්චායතනයට එළැඹ වාසය කෙරේ.
හැම අයුරින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා නත්‍ථිකිඤ්චි යී ආකිඤ්චඤ්ඤායතනයට එළැඹ වෙසේ. හැම අයුරින් ආකිඤ්ඤාචායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. හැම අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට එළැඹ වෙසෙයි. මහණෙනි, රාගයාගේ අභිජානනය පිණිස මේ අටදහම්හු බැවිය යුතුව හ යි.
8.11.4. - 510
[සැවැත්නිදාන යි]
මහණෙනි, රාගයාගේ පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස ... මේ අටදහම්හු බැවිය යුතුවහ.
ද්වේෂයාගේ ... මෝහයාගේ ... ක්‍රෝධයාගේ ... උපනාහයාගේ ... මක්ඛයාගේ ... පලාසයාගේ ... ඊර්‍ෂ්‍යාවගේ ... මාත්සර්‍ය්‍යාගේ ... මායාවගේ ... සාඨෙය්‍යයාගේ ... ථම්භයාගේ ... සාරම්භයාගේ ... මානයාගේ ... අතිමානයාගේ ... මදයාගේ ... පමාදයාගේ ... අභිජානනය පිණිස ... පරිජානනය පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස ... ප්‍රතිනිස්සර්‍ගය පිණිස මේ අටදහම්හු බැවිය යුතුවහ.
රාගපෙය්‍යලාය නිමි.{*}
අට්ඨක නිපාත සමාප්ත යි.
9. නවක නිපාතය
1. ප්‍රථම පණ්ණාසකය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
1. සම්බෝධි වර්‍ගය
9. 1. 1. 1.
සම්බෝධිපක්ඛිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි චතුර්මාර්‍ගසඞ්ඛ්‍යාත සම්බෝධිපක්‍ෂයෙහි වූ ධර්‍මයන්ගේ වැඩීමට කවර උපනිශ්‍රය ප්‍රත්‍යයෙක් දැ”යි මෙසේ පුළුවුස්නාහු නම්, මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට කුමැයි පවසන්නාහු දැ? යි.
වහන්ස අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් මුල් කොට ඇතියහ. භාග්‍යවතුන් ප්‍රධාන කොට ඇතියහ. භාග්‍යවතුන් පිළිසරණ කොට ඇතියහ. වහන්ස එතැකින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වටහා නම් මැනව. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා දරන්නාහ යි.
මහණෙනි, එසේ වී නම් අසවු. මොනොවට මෙනෙහි කරවු. දෙසන්නෙමි යී. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල අර්‍ත්‍ථය වදාළ සේක:
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි සම්බෝධි පාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව සඳහා කවර උපනිඃශ්‍රයප්‍රත්‍යයෙක් වේ දැ” යි මෙසේ පුළුවුස්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ ප්‍රකාශ කරවු.
1. ඇවැත්නි, මේ සස්නෙහි මහණ කලණමිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණමිතුරන් කෙරෙහි නැමුණේ වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ ප්‍රථම උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
2. තවද ඇවැත්නි, මහණ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ වාසය කෙරෙයි. අණුමාත්‍ර වද්‍යයෙහි බිය දක්නා සුලු වූයේ සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ දෙවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
3. තවද ඇවැත්නි, යම් මේ කථාවක් ක්ලේශාභිලේඛනයට හිත ද, ශමථ විදර්‍ශනා චිත්තයාගේ විවරණයට සත්ප්‍රාය ද, එනම් අප්පිච්ඡකථාය, සන්තුට්ඨිකථාය, පවිවේකකථාය, අසංසග්ගකථාය, විරියාරම්භකථාය, සීලකථාය, සමාධිකථා ය, පඤ්ඤාකථා ය, විමුත්තිකථා ය, විමුත්තිඤාණදස්සනකථා යයි, එබඳු කථා කැමැති පරිදි ලබන සුලු සුවසේ ලබන සුලු විපුල ව ලබන සුලු වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂික ධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ තෙවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
4. තවද ඇවැත්නි, මහණ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ඇරඹූ වැර ඇතියේ ස්ථාමයෙන් යුක්ත වූයේ දෘඪපරාක්‍රම ඇතියේ කුශලධර්‍මයන්හි බහා නො තබන ලද ධුර ඇතියේ වාසය කෙරෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ සිවුවන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
5. තවද ඇවැත්නි, මහණ (පඤ්චස්කන්‍ධයාගේ) උදය හා විනාශය පිළිවිදිනු සමත් වූ පිරිසිදු වූ කෙළෙස් විදලීමට සමත් වූ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. ඇවැත්නි, සම්බෝධිපාක්‍ෂිකධර්‍මයන්ගේ භාවනාව පිණිස මේ පස්වන උපනිඃශ්‍රය ප්‍රත්‍යය යි.
මහණෙනි, කලණමිතුරන් ඇති කලණයහළුවන් ඇති කලණමිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: “සිල්වත් වන්නේ ය, ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචාරගෝචර සම්පන්නව වාසය කරන්නේ ය. අණුමාත්‍රවද්‍යයෙහිදු බිය දක්නා සුලු සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි” කියා යි.
මහණෙනි, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ යහළුවන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: අප්පිච්ඡකථාය ... විමුත්තිඤාණදස්සනකථාය යි ක්ලේශාභිලේඛනයට හිත වූ ශමථවිදර්‍ශනාචිත්තයාගේ විවරණයට සත්ප්‍රාය වූ යම් මේ කථායෙක් වේ නම් එබඳු කථා කැමැති පරිදි ලබන සුලු සුවසේ ලබන සුලු විපුලව ලබන සුලු වන්නේ ය කියා යි.
මහණෙනි කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස රුකුළුවැර ඇතියේ ස්ථාම ඇතියේ දළ පැරකුම් ඇතියේ කුශලධර්‍මයන්හි අනික්‍ෂිප්ත ධුර ඇතියේ වන්නේ ය කියා යි.
මහණෙනි කලණමිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: උදයව්‍යගාමිනී වූ ආර්‍ය වූ නිර්වේදය පිණිස පවත්නා මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වන්නේ ය කියායි.
මහණෙනි, එ මහණ විසින් මේ පඤ්චධර්‍මයන්හි පිහිටි මත්තෙහි සතර ධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ.
6-9 රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභය වැඩිය යුතු. ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩිය යුතු. විතර්‍කෝපච්ඡේදය පිණිස ආනාපානසතිය වැඩිය යුතු. අස්මිමානසමුද්ඝාතය පිණිස අනිත්‍යසංඥා වැඩිය යුතු. මහණෙනි, අනිත්‍යසංඥා ඇති මහණහට අනාත්මසංඥාව සිටුනේ ය. අනාත්මසංඥා ඇතියේ අස්මිමානසමුද්ඝාතයට පැමිණෙයි. දිටුදැමියෙහි ම නිර්‍වාණයට ද පැමිණෙයි.
9. 1. 2. 2.
නිස්සයසම්පන්න සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය. වහන්ස, නිස්සයසම්පන්න ය නිස්සයසම්පන්න ය යි කියනු ලැබෙයි. වහන්ස, මහණ කෙතෙක් කරුණින් නිස්සයසම්පන්න වේ දැයි.
මහණ, ඉදින් මහණ (අවකල්පන) ශ්‍රද්ධාව නිසා අකුශලය දුරු කෙරේ ද කුශලය වඩා ද ඔහුගේ ඒ අකුශල ප්‍රහීණ ම වෙයි.
මහණ, ඉදින් හිරිය නිසා ... මහණ ඉදින් ඔත්තප්පය නිසා ... මහණ ඉදින් ප්‍රඥාව නිසා අකුශලය දුරු කෙරේ ද, කුසල් වඩා ද, ඔහුගේ අකුශලය ප්‍රහීණ ම වෙයි. ඒ මහණහුගේ යම් අකුශලයක් ආර්‍ය ප්‍රඥායෙන් දැක ප්‍රහීණ වී ද, එ මහණහුගේ ඒ අකුශලය ප්‍රහීණ ම වූයේ සුප්‍රහීණ වූයේ වෙයි.
මහණ, එ මහණහු විසින් මේ පඤ්චධර්‍මයන්හි පිහිටා සතර ධර්‍ම කෙනෙක් ඇසුරු කොට විසිය යුත්තාහ. කවර සතර කෙනෙක යත්: මහණ, මෙසස්නෙහි මහණ සෙවිය යුතු එකක් දැන සෙවුනේ ය. ඉවැසිය යුතු එකක් දැන ඉවසන්නේය. දුරලිය යුතු එකක් දැන දුරලන්නේය. හළ යුතු එකක් දැන හරන්නේය. මහණ, මෙසේ මහණ නිස්සයසම්පන්න වේ.
9. 1. 3. 3.
මේඝිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චාලිකා නගරසමීපයෙහි වූ චාලිකාපර්‍වතයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන්හට තෙල සැළකළේය. වහන්ස, මම ජන්තුග්‍රාමයට පිඬු පිණිස වඩනට කැමැති යෙමි යි. මේඝිය යමක් පිණිස තෝ දැන් කලැයි හඟනේ නම් එය කරවයි.
එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිර පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස පිවිසියේය. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියේ කිමිකාලා නදී තීරය යම් තැනෙක්හි ද එහි එළඹියේය. ආයුෂ්මත් මේඝිය ස්ථවිර තෙම කිමිකාලා නදී තීරයෙහි ජඞ්ඝාවිහරණයෙන් සක්මන් කරනුයේ අනුවිචරණය කරනුයේ පහන් එළවන රමණී අඹවනයක් දිටී. දැක ඔහුට මෙ සිත වී: එකතින් මේ අඹවනය පහන් එළවයි, රමණී වෙයි. එකතින් මෙය ප්‍රධන්වීර්‍ය්‍ය වඩනු කැමැති කුලපුතක්හුගේ ප්‍රධන් වැඩීම පිණිස සුදුසු ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් ප්‍රධන් පිණිස මම මේ අඹවනයට එමැයි.
ඉක්බිති ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළේය: වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන ජන්තුග්‍රාමයට පිඬු පිණිස වන්මි. ජන්තුග්‍රාමයෙහි පිඬු පිණිස හැසිර පසු බත්හි පිඬුවායෙන් පෙරළා පැමිණියෙම් කිමිකාලා නදී තීරයට එළැඹියෙමි.
වහන්ස, කිමිකාලා නදී තීරයෙහි ජඞ්ඝාවිහාරයෙන් මම සක්මන් කරනුයෙම් අනුසඤ්චරණ කරනුයෙම් පහන් එළවන රමණී අඹවනයක් දිටිමි. දැක මට මෙ සිත විය. එකතින් මේ අඹවනය පහන් එළවන්නෙකි, රමණී වෙයි, ප්‍රධානාර්ත්‍ථී වූ කුලපුතක්හට ප්‍රධන් පිණිස සුදුසු ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් ප්‍රධන් පිණිස මම මේ අඹවනයට එමි යි. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්‍රධන් පිණිස යෙමි යි.
මේඝිය ය, මඳකලක් බලව, (අපි) එකලා වම්හ. අන්කිසි මහණක්හු එන තාක් බල.
දෙවන වරටත් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් හට තෙල සැල කළේය: වහන්ස, භාග්‍යවතුන්ට මතුයෙහි කටයුතු කිසිවක් නැත. කෘතයක්හුගේ පුනපුනා කිරීමෙක් නැති. වහන්ස, මට වැලිත් මතුයෙහි කරණී ඇත. කළ දැයක්හුගේ පුනපුනා කිරීමෙක් ඇති. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්‍රධන් පිණිස යන්නෙමැ යි.
මේඝිය ය, මඳකලක් බලව, (අපි) එකලා වම්හ. අන්කිසි මහණක්හු එන තාක් බල.
තෙවන වරටත් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් හට තෙල සැල කළේය: වහන්ස, භාග්‍යවතුන්ට මතුයෙහි කටයුතු කිසිවක් නැත. කෘතයක්හුගේ පුනපුනා කිරීමෙක් නැති. වහන්ස, මට වැලිත් මතුයෙහි කරණී ඇත. කෘතයාගේ පුනපුනා කිරීමෙක් ඇති. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා අනුදන්නා සේක් නම් මම ඒ අඹවනයට ප්‍රධන් පිණිස යෙමි යි.
මේඝිය, ප්‍රධන් ය යි කියනුව හට කුමැයි කියමෝ ද? මේඝිය, තෝ දැන් යමක් සඳහා කලැයි හඟිහි නම් එය කර.
එකල්හි ආයුෂ්මත් මේඝිය හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඒ අඹවනය කරා එළඹියේය. එළැඹ ඒ අඹවනයට වැද ගෙන එක්තරා රුක්මුලෙක දිවාවිහාර පිණිස හුන්නේය. ඉක්බිති ඒ අඹ වෙනෙහි වෙසෙන ආයුෂ්මත් මේඝිය ස්ථවිරහට බෙහෙවින් තුන් ලාමක අකුශල විතර්‍කයෝ පහළ වෙති. එනම්; කාමවිතර්‍ක, ව්‍යාපාදවිතර්‍කය, විහිංසා විතර්‍ක යි. එකල්හි ආයුෂ්මත් මේඝිය ස්ථවිරහට මෙ සිත වීය: භවත්නි, එකැතින් ආශ්චර්‍ය්‍ය යි. භවත්නි, එකැතින් අද්භූත යි. එකැතින් මම සැදැහැයෙන් ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූයෙම් වෙමි. වැලිත් කාම විතර්‍කයෙන් ව්‍යාපාද විතර්‍කයෙන් විහිංසා විතර්‍කයෙනැයි මේ තුන් ලමු අකුශල විතර්‍කයන් විසින් ලුහුබැඳියෙම් වෙමි.
ඉක්බිති ආයුෂ්මත් මේඝිය ස්ථවිර භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් ආයුෂ්මත් මේඝිය ස්ථවිර භගවත්හට තෙල සැල කළේය: වහන්ස, මෙහි එ අඹවනයෙහි වසන මට බෙහෙවින් කාම විතර්‍කය, ව්‍යාපාද විතර්‍කය, විහිංසා විතර්‍කය යන තුන් ලමු අකුශල විතර්‍කයෝ පහළ වෙත්. වහන්ස, ඒ මට මෙ සිත විය. භවත්නි, එකතින් ආශ්චර්‍ය්‍ය ය. භවත්නි, එකතින් අද්භූත ය. ගෙන් නික්ම අනගාරිය සස්නෙහි පැවිදි වූයෙම් සැදැහැයෙන් වෙමි. වැලිත් කාම විතර්‍කයෙන, ව්‍යාපාද විතර්‍කයෙන, විහිංසා විතර්‍කයෙනැයි මේ තුන් ලමු අකුශල විතර්‍කයෙන් ලුහුබැඳියෙම් වෙමි.
මේඝිය ය, නො මුහුකළ චිත්තවිමුක්තිහුගේ මුහුකිරීම පිණිස පඤ්චධර්‍ම කෙනෙක් වෙති. කවර පසෙක යත්:
1. මේඝිය, මේ සස්නෙහි මහණ කලණමිතුරන් ඇතියේ කලණ යහළුවන් ඇතියේ කලණ යහළුවන් කෙරෙහි නැඹුරු වූයේ වෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ පළමු දහම වෙයි.
2. මේඝිය, තවද මහණ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත වූයේ වෙයි. ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍රවද්‍යයෙහි භය දක්නා සුලු වැ වාස කෙරෙයි. සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ දෙවන ධර්‍මය වෙයි.
3. මේඝිය ය, තවද මහණ යම් මේ කථාවක් ක්ලේශාභිලේඛනයට හිත ද, ශමථවිදර්‍ශනා චිත්තවිවරණයට සත්ප්‍රාය ද, එනම් අප්පිච්ඡකථාය ... විමුත්තිඤාණදස්සනකථා යි. එබඳු කථා කැමැති සේ ලබන සුලු සුවසේ ලබන සුලු විපුල ව ලබන සුලු වෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ තෙවන ධර්‍මය වෙයි.
4. තවද මේඝිය ය, මහණ අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ උපසම්පත් පිණිස ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ කුශල ධර්‍මයන්හි නිඃක්‍ෂිප්ත ධුර ඇතියේ ඇරඹූ වැර ඇතියේ වෙසෙයි. මේඝිය ය, නො පිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ සිවුවන ධර්‍මය වෙයි.
5. තවද මේඝිය ය, මහණ උදයව්‍යගාමිනී වූ ආර්‍ය වූ නිර්වේදය ඇසුරු කළ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ පැණවත් වෙයි. මේඝිය ය, නොපිරිපැසුණු චිත්තවිමුත්තිහුගේ පරිපාකය පිණිස මේ පස්වන ධර්‍මය වෙයි.
මේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවෘත වූයේ සිල්වත් වන්නේය. ආචාරගෝචර සම්පන්න වූයේ අණුමාත්‍රවද්‍යයෙහි බිය දක්නා සුලු වැ වාසය කරන්නේය. සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙන්නේ ය කියා යි.
මේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණ විසින් තෙල කැමැති විය යුතු. අප්පිච්ඡකථා ය ... විමුත්තිඤාණදස්සනකථා යන අභිසල්ලේඛයට හිත වූ චිත්තවිවරණයට සත්ප්‍රාය වූ යම් මේ කථායෙක් වේ නම් එබඳු කථා කැමැති සේ ලබන සුලු, විපුලව ලබන සුලු, නිදුකින් ලබන සුලු වෙයි.
මේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: කුසල් දහම් හි ... ඇරඹු වැර ඇතියේ වාස කරන්නේ ය කියා යි.
මේඝිය ය, කලණමිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වූ මහණහු විසින් තෙල කැමැති විය යුතු: උදයව්‍යයගාමිනී වූ ආර්‍ය වූ නිර්වේදයට හිත වූ මොනොවට දුඃඛක්‍ෂයට යන සුලු ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ පැණවත් වන්නේය කියා යි.
6-9 මේඝිය ය, එ මහණහු විසින් මේ පඤ්ච ධර්‍මයන්හි පිහිටා මතුයෙහි සතර ධර්‍ම කෙනෙක් වැඩිය යුතුවහ: රාගයාගේ ප්‍රහාණය පිණිස අසුභයෝ වැඩිය යුතුවහ. ව්‍යාපාදයාගේ ප්‍රහාණය පිණිස මෛත්‍රිය වැඩිය යුතු ය. විතර්‍කෝපච්ඡේදය පිණිස ආනාපානසතිය වැඩිය යුතුය. අස්මිමානසමුද්ඝාතය පිණිස අනිත්‍යසංඥා වැඩිය යුතු. මේඝිය, අනිත්‍යසංඥා ඇතියහුට අනාත්මසංඥා සිටුනේ ය. අනාත්මසංඥා ඇතියේ අස්මිමානසමුද්ඝාතයට පැමිණෙයි. ඉහාත්මයෙහි ම නිර්‍වාණයට පැමිණෙයි.
9. 1. 4. 4.
නන්‍දක සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරන සේක. එසමයෙහි ආයුෂ්මත් නන්‍දක ස්ථවිර උවටන්හල්හි දැහැමි කථායෙන් මහණුන්ට කරුණු දක්වයි, සමාදන් කරවයි, සමුත්තේජනා කරවයි. මොනොවට පහන් කරවයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වරුයෙහි පිළිසලනින් නැඟී සේක් උවටන්හල වෙත එළඹි සේක. එළැඹ බිහිදොරටුයෙහි කථාපර්‍ය්‍යවසානය බලන සේක් වැඩ සිටියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කථාපර්‍ය්‍යවසානය දැන කාරා දොරගුල පහළහ. එ මහණහු භගවත්නට දොර විවර කළහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට පිවිසියහ. පිවිස පැන වූ අස්නෙහි හුන්හ. හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දකහට තෙල වදාළ සේක. නන්‍දකය, තාගේ මේ දීර්‍ඝධර්‍මපර්‍ය්‍යාය ය මහණුන්හට වැටහිණ. එතෙකුදු වුව බිහි දොරටුයෙහි කතා කෙළවර බලා සිටි මාගේ පිට රිදෙයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් නන්‍දක බියපත් සැහැවි ඇත්තේ භාග්‍යවතුනට තෙල සැල කළේය. වහන්ස, අපි භාග්‍යවතුන් බිහි දොරටුයෙහි සිටියහ යි නොදන්මු. වහන්ස, ඉදින් අපි භගවතුන් බිහි දොරටුයෙහි සිටියහ යි දත්තමෝ නම් අපට මෙ පමණකුදු නො වැටහේ යි (නො කියවෙන්නේ යි.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දක ස්ථවිර බියපත් සැහැවි ඇතියහු දැන ආයුෂ්මත් නන්‍දක හට තෙල වදාළ සේක. නන්‍දකය, මැනවි මැනවි. නන්‍දකය, කුලපුත්‍ර වූ සැදැහැයෙන් ගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වූ තොපට යම් හෙයකින් මෙබඳු දැහැමි කථායෙන් තෙපි හිඳිනහු නම් එය සුදුසු වෙයි. නන්‍දකය රැස් වූ තොප විසින් කටයුතු දෙකෙකි. දැහැමි කථාව හෝ ආර්‍ය්‍යතුෂ්ණීම්භාවය හෝ යි.
නන්‍දකය, මහණ සැදැහැතියේ වෙයි. සිල්වත් නො ද වෙයි. මෙසේ හේ ඒ කරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කවර උපායෙන් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙමි යි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එකරුණින් පරිපූර්‍ණ වෙයි.
නන්‍දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වෙයි. අධ්‍යාත්මයෙහි චිත්තසමථය නො ලබනසුලු වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කිමෙකින් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලු යෙම් ද වෙම් දැයි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලුයේත් වේ ද, මෙසේ හේ එ කරුණින් පරිපූර්‍ණ වෙයි. නන්‍දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථ ලබනසුලුයේත් වෙයි, සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය නොලබන සුලුයේ වෙයි ද, මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වේ.
නන්‍දකය, යම් පරිදි සිවුපා ඇති ප්‍රාණියෙක් වේ ද, ඔහුගේ එක් පයෙක හීන වූයේ ලාමක වූයේ වෙයි. මෙසේ හේ ඒ කරුණින් අපරිපූර්‍ණ වන්නේ ය. නන්‍දකය, එපරිදි ම මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයේත් වෙයි. අධිප්‍රඥා ධර්‍ම විදර්‍ශනාව (සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය) නො ලබනසුලුයේ වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එකරුණ පිරිය යුතු: කවර කරුණින් මම සැදැහැතියෙම් සිල් ඇතියෙම් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලු යෙම් ද සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය ලබනසුලුයෙම් ද වෙමි යි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයේත් සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥාන ලබනසුලුයේත් වේ ද, හේ මෙසේ එ කරුණින් පරිපූර්‍ණ වෙයි.
භගවත්හු මේ වදාළහ. සුගත්හු මේ වදාරා හුනස්නෙන් නැඟී වෙහෙරට පිවිසියහ.
එකල්හි ආයුෂ්මත් නන්‍දක භාග්‍යවතුන් වහන්සේ වැඩි නො බෝ වේලාවකින් මහණුන් ඇමතීය. ඇවැත්නි, දැන් භාග්‍යවතුන් වහන්සේ සිවුපෙදෙකින් සර්‍වපරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කොට හුනස්නෙන් නැඟී (ගඳකිළි) වෙහෙරට පිවිසියහ. “නන්‍දකය, මහණ සැදැහැති වෙයි. නො ද සිල්වත් වෙයි. මෙසේ හේ එ කරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එ කරුණ පිරිය යුතු: කවර කරුණින් මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙමි” යි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වේ ද, මෙසේ හේ එ කරුණින් පරිපූර්‍ණ වෙයි. නන්‍දකය, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් වෙයි. අධ්‍යාත්මයෙහි චිත්තසමථය නො ලබන සුලුයේත් වෙයි ... අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයේත් වෙයි. සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය නො ලබන සුලුයේ වෙයි. මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වෙයි.
නන්‍දකය, යම් පරිදි සිවුපා ඇති ප්‍රාණියෙක් වේ ද, ඔහුගේ එක් පයෙක් ඕමකය, ලාමකය මෙසේ හේ එකරුණින් අපරිපූර්‍ණ වෙයි. නන්‍දකය, එ පරිදි ම මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබනසුලුයේත් වෙයි. සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය නො ලබනසුලුයේ වෙයි. මෙසේ හේ එ කරුණින් අපරිපූර්‍ණ වෙයි. ඔහු විසින් එ කරුණ පිරිය යුතු. කවර කරුණින් මම සැදැහැතියෙම් ද, සිල් ඇතියෙම් ද, අධ්‍යාත්මයෙහි චිත්තසමථය ලබන සුලුයෙම් ද සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥානය ලබනසුලුයෙම් ද වෙමි යි. නන්‍දකය, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත්, අධ්‍යාත්මයෙහි චිත්තසමථ ලබන සුලුයේත් සංස්කාරපරිග්‍රහවිදර්‍ශනාඥාන ලබනසුලුයේත් වේ ද, මෙසේ හෙතෙම එකරුණින් පරිපූර්‍ණ වේ යයි.
ඇවැත්නි, සුදුසු කල්හි ධර්‍මශ්‍රවණයෙහි, සුදුසු කල්හි ධර්‍මසාකච්ඡායෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්?
ඇවැත්නි, මේ සස්නෙහි මහණෙක් මහණුනට ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යාවසානකල්‍යාණ වූ සාර්‍ත්‍ථසව්‍යඤ්ජන වූ දහම් දෙසයි. කේවලපරිපූර්‍ණ වූ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරයි. ඇවැත්නි, යම් යම් පරිදි මහණ මහණුනට ආදිකල්‍යාණ වූ ... දහම් දෙසා නම් පරිශුද්ධබ්‍රහ්මචර්‍ය්‍යය පවසා නම්, ඒ ඒ පරිදි හේ ශාස්තෘහට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරුතන්හි සිටියේ වෙයි. සම්භාවනාවට සුදුසු ද වෙයි. ඇවැත්නි, මේ සුදුසු කල්හි ධර්‍මශ්‍රවණයෙහි, සුදුසු කල්හි ධර්‍මසාකච්ඡා කිරීමෙහි පළමු අනුසසි.