5. තවද මහණෙනි, මහණ ගමෙක වේව යි නියම් ගමෙක වේව යි. පිඬු පිණිස හැසිරෙන්නේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ භෝජනයක් කැමැති තාක් පිරිපුන් කොට නො ලබයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම් වනාහි ගම්හි වේව යි නියම්ගම්හි වේව යි, පිඬු පිණිස හැසිරෙන්නෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පිරිපුන් කොට නො ලත්මි. ඒ මාගේ කය ක්ලාන්ත ය. මම අකර්‍මණ්‍යයෙමි හොවීම්”යි හේ හොවියි ... සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස .... මහණෙනි, මේ පඤ්චම කුසීත වස්තුව යි.
6. තවද මහණෙනි, මහණ ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස හැසිරෙනුයේ රූක්‍ෂ වූ හේ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්‍ණ කොට ලබයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම වනාහි ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සෙරෙනුයෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ භෝජන කැමැති තාක් පිරිපුන් කොට ලත්මි. ඒ මාගේ කුස බරෙක් වෙයි. අකර්‍මණ්‍ය වෙයි. තෙත් මෑ ඇටක් මෙනි. (නොහොත් මෑ බත් කෑවකුගේ කුස මෙනි. නොහොත් මෑ ඇට පිරූ පසිබ්බකයක් මෙනි) එහෙයින් මම හොවිමි”යි හේ හොවියි ... සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස ... මහණෙනි, මේ ෂෂ්ඨ කුසීත වස්තු යි.
7. තවද මහණෙනි, මහණහට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපනේ වෙයි. මෙ බඳු සිතෙක් වෙයි: “මට ස්වල්පමාත්‍ර ආබාධයෙක් උපනේ වෙයි. හෝනට අදහසෙක් නැත. එහෙයින් මම හොවිමි” යි හේ හොවියි … සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස ... මහණෙනි, මේ සප්තම කුසීතවස්තු යි.
8. තවද මහණෙනි, මහණ ගිලන් බැවින් නැඟී සිටියේ වෙයි. ගිලන් බැවින් නැඟි සිටි නොබෝ කල් ඇති වෙයි. ඔහට මෙබඳු සිතෙක් වෙයි: “මම් වනාහි ගිලන් බැවින් නැඟි සිටියෙම් ගිලන් බැවින් නැඟී සිටි නොබෝ කල් ඇතියෙම් වෙමි. ඒ මාගේ කය දුර්‍වල වූයේ අකර්‍මණ්‍ය වෙයි. එ හෙයින් මම හොවිමි”යි හේ හොවී. නො පත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරනු පිණිස, සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ අෂ්ටම කුසීතවස්තු යි.
මහණෙනි, මේ අෂ්ටකුසීත වස්තූහු වෙත්.
මහණෙනි, මේ ආරම්භ වත්‍ථු අටෙකි. කවර අටෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණහු විසින් (චිචරචිචාරාණාදි) කර්‍මාන්ත කටයුතු වෙයි, ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මා විසින් කර්‍මාන්ත කටයුතු වෙයි, කර්‍මාන්ත කරන මා විසින් බුදුවරුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි, එහෙයින් මම පළමු ම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹමි” යි හේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර වඩයි. මහණෙනි, මේ ප්‍රථමාරම්භවස්තු යි.
2. මහණෙනි, තවද මහණහු විසින් කර්‍මාන්ත කෙළේ වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම වනාහි (චිවරාදි) කර්‍මාන්ත කෙළෙමි. කර්‍මාන්ත කරන මට බුදුන්ගේ සස්න මෙනෙහි කිරීමට නො හැකි වීමි, එ හෙයින් මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර වඩමි”යි හේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර වඩයි. මහණෙනි, මේ ද්වීතීයාරම්භවස්තු යි.
3. තවද මහණෙනි, මහණහු විසින් මඟ විසින් මඟ යා යුතු වෙයි. ඔහට හෙ බඳු සිතෙක් වෙයි: “මඟ මා විසින් යා යුතු වෙයි. මඟ යන මා විසින් බුදුවරුන්ගේ සස්න මෙනෙහි කිරීමට සුකර නො වෙයි. එ හෙයින් මම ... පළමු ව වැර අරඹමි”. මහණෙනි, මේ තෘතීය ආරම්භ වස්තු යි.
4. තවද මහණෙනි, භික්‍ෂූහු විසින් මඟ යන ලද වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම් මඟ ගියෙමි. මඟ යන මට බුදුවරුන්ගේ සස්න මෙනෙහි කිරීමට නො හැකිවීමි. එහෙයින් මම ... වැර අරඹමි”. මහණෙනි, මේ චතුර්‍ත්‍ථආරම්භ වස්තු යි.
5. මහණෙනි, තවද මහණ ගමෙක වේව්යි නියම් ගමෙක වේවයි පිඬු පිණිස සරනුයේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැතිතාක් පරිපූර්‍ණ කොට නො ලබයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සරනුයෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්‍ණ කොට නො ලත්මි. ඒ මාගේ කය ලඝු වූයේත් කර්‍මණ්‍ය වූයේත් වෙයි. එහෙයින් මම ... වැර අරඹමි”. මහණෙනි, මේ පඤ්චම ආරම්භවස්තු යි.
6. මහණෙනි, තව ද මහණ ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සරනුයේ රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැති තාක් පරිපූර්‍ණ කොට ලබයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ගමෙක වේව යි නියම්ගමෙක වේව යි පිඬු පිණිස සරනුයෙම් රූක්‍ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ භෝජන කැමැතිතාක් පරිපූර්‍ණ කොට ලත්මි. ඒ මාගේ කය බලවත් වූයේ කර්‍මණ්‍ය වේ. එහෙයින් මම ... වැර අරඹමි”. මහණෙනි, මේ ෂෂ්ඨ ආරම්භවස්තු යි.
7. මහණෙනි, තව ද මහණ හට අල්පමාත්‍ර ආබාධයෙක් උපනේ වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මට අල්පමාත්‍ර ආබාධය උපනේ වෙයි. යම්හෙයකින් මාගේ මේ ආබාධය වැඩේ නම් තෙල කරුණ විද්‍යාමාන වේ, එහෙයින් මම පළමුම ... වැර අරඹමි”. මහණෙනි, මේ සප්තම ආරම්භවස්තු යි.
8. තවද මහණෙනි, මහණ ගිලන් බැවින් නැඟි සිටි නො බෝ කල් ඇතියේ ගිලන් බැවින් නැඟි සිටියේ වෙයි. ඔහට මෙ බඳු සිතෙක් වෙයි: “මම ගිලන් බැවින් නැඟි සිටි නොබෝ කල් ඇතියෙම් ගිලන් බැවින් නැඟී සිටියෙම් වෙමි. යම් හෙයකින් මාගේ ආබාධය පෙරළා නැඟී සිටුනේ නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි. එහෙයින් මම අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත්කරණය පිණිස වැර අරඹමි”. හේ අප්‍රාප්තයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගතයාගේ අධිගමය පිණිස අසාක්‍ෂාත්කෘතයාගේ සාක්‍ෂාත් කිරීම පිණිස වැර අරඹයි. මහණෙනි, මේ අෂ්ටම ආරම්භවස්තු යි.
මහණෙනි, මොහු අෂ්ට ආරම්භ වස්තූහු වෙත්.
අටවැනි යමකවර්‍ග යි.
එහි උද්දානය:
සද්ධාව මුල්කොට ඇති (සමන්තපාසාදිකා) සූත්‍රදෙක ය, මරණ සති සූත්‍ර දෙකය, සම්පදා සූත්‍ර දෙකය, වැලි අනෙක් ඉච්ඡා සූත්‍රය, අලං සූත්‍රය, පරිහාන සූත්‍රය, කුසිතාරම්භවත්‍ථු සූත්‍රය දැයි දසයෙකි.
9. සති වර්‍ගය
8. 2. 9. 1.
සතිසම්පජඤ්ඤ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ස්මෘතිසම්ප්‍රජන්‍යය නැති කල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යය නටුවහුගේ හිරිඔතප් හතොපනිඃශ්‍රය (නටඋපනිඃශ්‍රය ඇතියේ) වෙයි. හිරිඔතප් නැති කල්හි නට හිරිඔතප් ඇතියහුගේ ඉන්‍ද්‍රිසංවරය හතොපනිඃශ්‍රය වෙයි. ඉන්‍ද්‍රිය සංවරය නැති කල්හි ඉන්‍ද්‍රියසංවර විපන්නයාගේ සීලය හතොපනිඃශ්‍රය වෙයි. ශීලය නැති කල්හි ශීලවිපන්නයාගේ සම්‍යක්සමාධිය හතොපනිඃශ්‍රය වෙයි. සම්‍යක්සමාධිය නැතිකල්හි සම්‍යක්සමාධි විපන්නයාගේ යථාභූතඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි. යථාභූතඥානදර්‍ශනය නැතිකල්හි යථාභූත ඥානදර්‍ශනවිපන්නයාගේ (බලවත් විදර්‍ශනා සඞ්ඛ්‍යාත) නිර්වේදය හා (ආර්‍ය්‍යමාර්‍ග සඞ්ඛ්‍යාත) විරාගය හතොපනිඃශ්‍රය වෙයි. නිර්වේද විරාගය නැතිකල්හි විරාග විපන්නයාගේ (අර්‍හත්‍වඵල හා ප්‍රත්‍යවේක්‍ෂාඥාන සඞ්ඛ්‍යාත) විමුක්තිඥාන දර්‍ශනය හතොපනිඃශ්‍රය වේ.
මහණෙනි, අතුකොළ නැති රුකෙක් යම්සේ වේ නම් එහි පොතු ද පිරිපුන්බවට නො යෙයි, සිවියත් බොරුද් හරත් පිරිපුන්බවට නො යේ. මහණෙනි, එසෙයින් ම ස්මෘතිසම්ප්‍රජන්‍යය නැතිකල්හි ස්මෘති සම්ප්‍රජන්‍යය විපන්නයාගේ හිරිඔතප් නටුවා වු ප්‍රත්‍යය ඇත්තේ වෙයි. හිරිඔතප් නැති කල්හි හිරිඔතප් විපන්නයාගේ ... විමුක්තිඥානදර්‍ශනය නටුවාවූ ප්‍රත්‍ය ඇත්තේ වේ.
මහණෙනි, ස්මෘතිසම්ප්‍රජන්‍යය ඇතිකල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යය සම්පන්නයාගේ හිරිඔතප් උපනිඃශ්‍රය සම්පන්න වෙයි. හිරිඔතප් ඇතිකල්හි හිරිඔතප් සපන්හුගේ ඉන්‍ද්‍රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. ඉන්‍ද්‍රිය සංවරය ඇතිකල්හි ඉන්‍ද්‍රිය සංවරසම්පන්නයාගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇතිකල්හි ශීලසම්පන්නයා ගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක්සමාධිය ඇතිකල්හි සම්‍යක්සමාධිසම්පන්නයා ගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිකල්හි යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිර්වේදවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිර්වේදවිරාගය ඇතිකල්හි නිර්වේදවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ.
මහණෙනි, යම්පරිදි අතුකොළින් යුතු රුකෙක් වේ නම් එහි පොතුත් පිරිපුන් බවට යෙයි ද, සිවියත් බොරුත් හරත් පිරිපුන් බවට යෙයි ද, මහණෙනි, එපරිදි ම ස්මෘතිසම්ප්‍රජන්‍යය ඇතිකල්හි ස්මෘතිසම්ප්‍රජන්‍ය සම්පන්නයාගේ හිරිඔතප් උපනිඃශ්‍රය වෙයි. හිරිඔතප් ඇතිකල්හි හිරිඔතප් සපන්හුගේ ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ යයි.
8. 2. 9. 2.
පුණ්ණිය සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ:
වහන්ස, යම් කරුණෙකින් තථාගතහට කිසිකලෙක ධර්‍මදේශනාව වටහා නම්, කිසිකලෙක නො වටහා නම් එයට හේතු කවර යැ, ප්‍රත්‍යය කවර යැ යි?
පුණ්ණිය, භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේ ද වෙයි, එළඹෙන සුලු ද නො වෙයි. ඒ තාක් කල් තථාගතහට ධර්‍මදේශනාව නො වටහයි. පුණ්ණිය, යම් කලෙක භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේත් වේ ද, එළැඹෙන සුලුත් වේ ද, එසේවත් ම තථාගතහට ධර්‍මදේශනාව වටහයි.
පුණ්ණිය, භික්‍ෂු ශ්‍රද්ධා ඇතියේත් වෙයි, එළැඹෙනුයේත් වෙයි, ඇසුරු නො කරනුයේත් වෙයි. ... ඇසුරුකරනුයේත් වෙයි, පරිපෘච්ඡා නො කරනුයේත් වෙයි ... පරිපෘච්ඡා කරනුයේත් වෙයි, යොමුකළ කන් ඇතියේ දහම් නො ද අසයි ... යොමු කළ කන් ඇතියේ දහම් අස අසා දහම් ද නො ද ධරයි. ... අසා ධර්‍මය ධරන්නේත් වෙයි. දැරූ දහමුන්ගේ අරුත් නො පිරික්සයි ... දැරූ දහමුන්ගේ අර්‍ත්‍ථ ද පිරික්සයි අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න නො වේ. ඒ තාක් තථාගතහට ධර්‍මදේශනාව නො වටහ යි.
පුණ්ණිය, යම් කලෙක භික්‍ෂු තෙමේ ශ්‍රද්ධා ඇතියේත් වේ ද, වෙත එළැඹෙනුයේත් වේ ද, ඇසුරු කරනුයේත් වේ ද, පරිපෘච්ඡාකරනුයේත් වේද, අවහිතශ්‍රෝත වූයේත් දහම් අසා ද, අසා දහමත් ධරා ද, ධැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ ද, අරුත් දැන, දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නත් වේ ද, මෙසේ තථාගතහට ධර්‍මදේශනාව වටහ යි. පුණ්ණිය, මේ දහම් අටින් සමන්‍වාගත වූවහුට තථාගතයන්ගේ ඒකාන්ත ප්‍රතිභාන ඇති ධර්‍මදේශනාව වේ ය යි.
8. 2. 9. 3.
කිංමූලක සූත්‍රය
[සැවැත්නිදාන යි]
ඉදින් මහණෙනි, අන් තොටු පිරිවැජියෝ මෙසේ පුළුවුස්නාහු ද: ඇවැත්නි, හැම දහම්හු (පඤ්චස්කන්‍ධයෝ) කුමක් මුල්කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්‍රභවකොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් සමුදයකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැමදහම්හු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්‍යය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරු කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු ද? කියා යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද තෙපි අන්තොටු පිරිවැජියනට කුමැයි පවසවු ද?
වහන්ස, අපගේ ධර්‍මයෝ භගවත්හු මුල්කොට ඇත්තාහ. භගවත්හු නේතෘකොට ඇත්තාහ. භගවත්හු පිළිසරණ කොට ඇත්තාහ. වහන්ස, තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා! භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අසා භික්‍ෂූහු ධරත්යි.
එසේ නම් මහණෙනි, අසවු, මොනොවට මෙනෙහි කරවු, කියමි යි. වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:
මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජියෝ “ඇවැත්නි, හැම දහම්හු කුමක් මුල් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්‍රභව කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් සමුදය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් වැදගැනුම් කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ප්‍රමුඛ කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් ආධිපත්‍ය කොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් උතුරුකොට ඇත්තාහු ද, හැම දහම්හු කුමක් හරකොට ඇත්තාහු දැයි මෙසේ පුළුවුස්නාහු නම් මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු.
ඇවැත්නි, හැම දහම්හු ඡන්‍දය (අධ්‍යාශයඡන්‍දය, කත්තුකම්‍යතා ඡන්‍දය) මුල්කොට ඇත්තාහ, හැම දහම්හු මනසිකාරය ප්‍රභවකොට ඇත්තාහ, හැම දහම්හු ස්පර්‍ශය සමුදය කොට ඇත්තාහ, හැම දහම්හු වේදනාව වැදගැනුම් කොට ඇත්තාහ, හැම දහම්හු සමාධිය ප්‍රමුඛ කොට ඇත්තාහ, හැමදහම්හු ස්මෘතිය ආධිපත්‍යය කොට ඇත්තාහ, හැම දහම්හු ප්‍රඥාව උතුරු කොට ඇත්තාහ, හැමදහම්හු විමුක්තිය සාරකොට ඇත්තාහ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නාලද තෙපි ඒ අන්තොටු පිරිවැජියනට මෙසේ පවසවු යි.
8. 2. 9. 4.
මහාචෝරඞ්ග සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟෙකින් සමන්‍වාගත මහසොර වහා අවසානයට පැමිණෙයි, චිරස්ථිතික නො වෙයි. කවර අටෙකින යත්:
නො පහරනුවහට පහර දෙයි, නිඃශේෂ කොට ගනියි, ස්ත්‍රිය නසයි. කුමරිය දුෂණ කෙරෙයි, පැවිද්දා පැහැර ගනියි, රාජභාණ්ඩාගාරය පැහැර ගනියි, ඉතා නුදුරෙහි සොරකම් කෙරෙයි, නිධානයෙහි (ලද දෙය පරලොව තකා දක්‍ෂිණාර්‍හයන් වෙත් පිදීමෙහි) දක්‍ෂ නො වේ. මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත මහසොර වහා ගැනුමට යෙයි, චිරස්ථිතික නො වේ.
මහණෙනි, අටඟෙකින් සමන්‍වාගත මහසොර වහා අවසානයට නො යෙයි, චිරස්ථිතික වෙයි. කවර අටෙකින යත්:
නො පහරනුව හට නො පහරයි, නිඃශේෂකොට නො ගනියි, ස්ත්‍රිය නො නසයි, කුමරිය දුෂණ නො කරයි, පැවිද්දා වොලො ගැනුම් නො කෙරෙයි, රාජකොෂය වොලො ගැනුම් නො කෙරෙයි, ඉතා නුදුරෙහි සොරකම් නො කෙරෙයි, නිධානයෙහි කුශල වේ, මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත මහසොර වහා ගැනුමට නො යෙයි, චිරස්ථිතික වේ.
8. 2. 9. 5.
තථාගතාධිවචන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ශ්‍රමණ යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, බ්‍රාහ්මණ යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, වේදගූ යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, භිසක්ක යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි. මහණෙනි, නිර්‍මල යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමල යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, ඤාණී යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි, මහණෙනි, විමුත්ත යන මේ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුද්ධනයට නමෙකි,
1. බ්‍රාහ්මණ වූ වැස නිම වූ බඹසර ඇති මහණහු විසින් යමකට පැමිණිය යුතු ද, ඤාණයෙහි කෙළවරට පත් වෙදහු විසින් අනුත්තර වූ යමකට පැමිණිය යුතු ද,
2. විමල වූ මනා නුවණ ඇති නිර්‍මලහු විසින් යමකට පැමිණිය යුතු ද, ඤාණී වූ විමුක්තයා විසින් අනුත්තර වූ යමකට පැමිණිය යුතු ද,
3. දිනූ සඞ්ග්‍රාම ඇති ඒ මම් මිදුනෙම් භවබන්‍ධනයෙන් (සෙස්සන්) මුදවමි. දැමුණු කෙලෙස් පිරිනිවනින් පිරිනිවි අශෛක්‍ෂ වූ උතුම් නාග වෙමි යි.
8. 2. 9. 6.
නාගිත සූත්‍රය
එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට මහබික්සඟුන් හා සැරිසරන සේක් කෝසලයන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණුගමට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ ඒ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගලවන ලැහැබ්හි වසන සේක. ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ (සැහැපුත් සැහැකුලෙන් පැවිදි වූ) පින්වත් මහණ ගොයුම් ඉච්ඡානඞ්ගලයට පැමිණියේ ඉච්ඡානඞ්ගලයෙහි වූ ඉච්ඡානඞ්ගල වනළැහැබ්හි වාස කෙරෙ යයි ඇසූහ. “මෙ කරුණෙනුදු ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයහ ... එ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණකිත්ගොස උස්ව නැඟියේය. එබඳු රහතුන්ගේ දර්‍ශනය වේ නම් මැනැවැ”යි.
ඉක්බිති ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ ඒ රෑ ඉක්මයාමෙන් පසු බොහෝ ඛාද්‍ය භෝජ්‍යයන් ගෙන ඉච්ඡානඞ්ගල වනළැහැබට එළැඹියහ. එළැඹ උස්හඬ - මහහඬ ඇත්තාහු බිහිදොරටුයෙහි සිටගත්හ.
එසමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙත්. එකල භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූසේක: නාගිතය, මසුන් මරා විකුණන තන්හි කෙවුළන් සෙයින් උස් හඬ - මහහඬ ඇති ඔහු කවරහ යි.
වහන්ස, තෙල ඉච්ඡානඞ්ගලක බමුණන් හා ගැහැවියෝ බොහෝ ඛාද්‍ය භෝජ්‍ය ගෙන භාග්‍යවතුන් වහන්සේ හා භික්‍ෂූසඞ්ඝයා උදෙසා බිහිදොරොටුයෙහි සිටියහයි.
නාගිතය, මම යශස් හා නො එක්වෙම්වා! යශස් මා හා එක් නො එක් වේවා! නාගිතය, මම් යම් ම නෙක්ඛම්මසුඛයක් පවිවේකසුඛයක්, උපසමසුඛයක්, සම්බෝධසුඛයක්, කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම්, විපුල කොට ලබනුයෙම් වෙම් ද, යමෙක් මේ නෙක්ඛම්මසුඛය පවිවේක සුඛය උපසමසුඛය සම්බෝධසුඛය කැමැතිසේ නො ලබනුයේ නිදුක්සේ නො ලබනුයේ විපුල සේ නො ලබනුයේ වේ නම් හෙ මීඪසුඛ වූ මිද්ධ සුඛ වූ ඒ ලාභසත්කාර කීර්ත්ති සුඛය ඉවසනේ ය.
වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා! සුගතයන් වහන්සේ ඉවසන සේක්වා! වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසන කාලයයි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැනෙකින් ම වඩනා සේක් ද, නියම්ගම් වැසිවූත් දනවු වැසිවූත් බමුණන් හා ගැහැවියෝ එතැනට නතුවූවාහු ම වෙත්. වහන්ස, යම්පරිදි දළ පොද ඇති මේඝය වස්නා කල්හි නතු තැන් නො ඉක්මැ දිය වැටේ ද, වහන්ස, එපරිදිම දැන් භාග්‍යවතුන් වහන්සේ යම් යම් තැනෙකින් ම වඩනා සේක් ද, නියම්ගම් වැසි වූත් දනවු වැසිවූත් බමුණන් හා ගැහැවියෝ එතැනට නතු වූවාහු ම වෙත්. ඒ කවර හෙයින: වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශීලය හා ප්‍රඥාව එසේ මැයි.
නාගිතය, මම යශස් හා නො එක්වෙම්වා! යශස් ද මා හා නො එක් වේවා! නාගිතය, මම යම් ම නෙක්ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලකොට ලබනුයෙම් වෙම් ද, යමෙක් මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ නො ලබනුයේ නිදුක්සේ නො ලබනුයේ විපුලසේ නො ලබනුයේ වේ නම් හෙතෙමේ මීඪසුඛ (අසුවිසුඛ) වූ මිද්ධ සුඛ (නිද්‍රාසුඛ) වූ ඒ ලාභසත්කාර ශ්ලෝකසුඛය ඉවසන්නේ ය.
නාගිතය, මම යම් නෙක්ඛම්මසුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම් විපුලසේ ලබනුයෙම් වෙම් නම් ඇතැම් දෙවතාවෝත් මේ නෙක්ඛම්මසුඛය පවිවේක සුඛය උපසම සුඛය සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙත්.
1. නාගිතය, රැස්ව මුළුදී සඞ්ගණිකවිහාරයෙහි ඇලී වෙසෙන තොපට ද මෙබඳු සිතෙක් වෙයි: මම් යම් ම නෙක්ඛම්ම සුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම් නිදුක්සේ ලබනුයෙම් විපුලසේ ලබනුයෙම් වෙම් නම්, මේ ආයුෂ්මත්හු එකැතියෙන් මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙති. එහෙයින්ම මේ ආයුෂ්මත්හු රැස්ව මුළුදී සඞ්ගණික විහාරයෙහි යෙදුණාහු වෙසෙති කියා යි.
2. නාගිතය, මෙ සස්නෙහි උනුන් ඇඟිලියෙන් ගිරිතිකැවීමෙන් (ඇඟිලි කැවිටි කොට විදීමෙන්) මහහඬින් සිනාසෙන ක්‍රීඩා කරන මහණුන් මම දක්මි. නාගිතය, ඒ මට මෙ සිත වෙයි: එකැතින් මේ ආයුෂ්මත්හු මම් යම් ම නෙක්ඛම්ම සුඛයක් පවිවේක සුඛයක්, උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලසේ ලබනුයෙම් වේ නම් මේ ආයුෂ්මත්හු මේ නෙක්ඛම්ම සුඛය, පවිවේක සුඛය, උපසම සුඛය, සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙති. එහෙයින්ම මේ ආයුෂ්මත්හු උනුන් ඇඟිලියෙන් ගිරිතිකැවීමෙන් මහහඬින් සිනාසෙති, ක්‍රීඩා කෙරෙති කියා යි.
3. නාගිතය, මම් මෙසස්නෙහි මහණුන් කැමැතිතාක් කුස්පුරා වළඳා ශය්‍යා සුඛයෙහි පාර්ශ්ව සුඛයෙහි මිද්ධ සුඛයෙහි යෙදී වාස කරනුවන් දක්මි. නාගිතය, එබඳු මට මෙ සිත වේ: එකතින් මේ ආයුෂ්මත්හු මම යම් ම නෙක්ඛම්ම සුඛයක් පවිවේක සුඛයක් උපසම සුඛයක් සම්බොධ සුඛයක් කැමැතිසේ ලබනුයෙම්, නිදුක්සේ ලබනුයෙම්, විපුලසේ ලබනුයෙම් වෙම් නම් මේ ආයුෂ්මත්හු එකතින් මේ නෙක්ඛම්ම සුඛය පවිවේක සුඛය, උපසම සුඛය සම්බොධ සුඛය කැමැතිසේ ලබන්නාහු නිදුක්සේ ලබන්නාහු විපුලසේ ලබන්නාහු නො වෙත්. එහෙයින් ම මේ ආයුෂ්මත්හු කැමැතිතාක් කුස්පුරා වළඳා සෙය්‍යසුඛයෙහි ඵස්සසුඛයෙහි මිද්ධසුඛයෙහි යෙදුණාහු වෙසෙතියි කියා යි.
4. නාගිතය, මෙසස්නෙහි ග්‍රාමාන්තවිහාරී වූ සමාධිගත ව හුන් මහණකු මම දක්මි. නාගිතය, එබඳු මට මෙ සිත වෙයි:
දැන් අරම් මෙහෙකරුවෙක් හෝ මේ ආයුෂ්මත්හු කරා පෙරළා එන්නේ ය. හෙරණෙක් හෝ ඒ සමාධියෙන් ඔහු පහකරන්නේ ය, නාගිතය, මම ඒ මහණහුගේ ඒ ග්‍රාමාන්ත විහාරයෙන් සතුටු සිතැතියෙම් නො වෙමි.
5. නාගිතය, මම මෙ සස්නෙහි අරනෙහි නිඳමින් හුන් ආරණ්‍යක මහණක්හු දක්මි. නාගිතය, එබඳු මට මෙ සිත වෙයි: දැන් මේ ආයුෂ්මත් මේ නිද්‍රාක්ලථමය දුරු කොටලා ඒකත්‍වය වූ අරණ්‍යසංඥාව ම මෙනෙහි කරන්නේය කියා යි. නාගිතය, මම ඒ මහණහුගේ එ අරනවිහරණයෙන් තුටුසිතැතියෙම් වෙමි.
6. නාගිතය, මම මේ සස්නෙහි අරනෙහි අසමාහිත ව හුන් ආරණ්‍ය මහණක්හු දක්මි. නාගිත, ඒ මට මෙබඳු සිතෙක් වෙයි: දැන් මේ ආයුෂ්මත් අසමාහිත වූ හෝ සිත සමාහිත කරන්නේ ය, සමාධිගත වූ හෝ සිත රක්නේ ය කියා යි. නාගිතය, මම එ භික්‍ෂුහුගේ ඒ අරන විහරණින් සතුටු සිතැතියෙම් වෙමි.
7. නාගිතය, මම මෙ සස්නෙහි අරනෙහි සමාහිත ව හුන් ආරණ්‍යක මහණක්හු දකිමි. නාගිතය, මට මෙබඳු සිතෙක් වෙයි: දැන් මේ ආයුෂ්මත් අවිමුක්ත වූ හෝ සිත විමුක්ත කරයි, විමුක්ත වූ හෝ සිත රක්නේ ය කියා යි. නාගිතය, එ මහණහුගේ එම අරන විහරණින් මම තුටුසිතැතියෙම් වෙමි.
8. නාගිතය, යම් සමයෙක්හි මම අදන්මඟට පිළිපන්නෙම් ඉදිරිපස්හි වේවයි පසුපස්හි වේවයි කිසිවකු නොදක්නෙම් නම් නාගිතය, එකල්හි මට යටත්පිරිසෙයින් මලමූකිසට ද පහසු වෙයි.
8. 2. 9. 7.
පත්තනිකුජ්ජන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟින් සමන්‍වාගත උපාසකයාහට සඞ්ඝ තෙමේ කැමැති වේ නම් පත්තනික්කුජ්ජන කර්‍මය කරන්නේ ය. කවර අටඟෙකින් යත්:
භික්‍ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ කෙරෙයි. භික්‍ෂූන්ගේ අනර්‍ත්‍ථය පිණිස උත්සාහ කෙරෙයි. භික්‍ෂූන්ගේ අවාසය පිණිස උත්සාහ කෙරෙයි, භික්‍ෂූන්ට ආක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි, මහණුන් මහණුන් හා බිඳුවයි. බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි. මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්තනික්කුජ්ජන කර්‍මය (පිඬුවා නො පිළිගැනුම්) කරන්නේ ය.
මහණෙනි, අටඟෙකින් සමන්‍වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්ත උක්කුජ්ජන කර්‍මය කරන්නේ ය. කවර අටඟෙකින් යත්:
භික්‍ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ නො කෙරෙයි, භික්‍ෂූන්ට අනර්‍ත්‍ථය පිණිස උත්සාහ නො කෙරෙයි. භික්‍ෂූන්ට අවාසය පිණිස උත්සාහ නො කෙරෙයි. භික්‍ෂූන්ට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො කෙරෙයි. භික්‍ෂූන් භික්‍ෂූන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ වනයි. දහම්හි ගුණ වනයි. සඟුන්ගේ ගුණ වනයි. මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත උපාසකයාහට කැමැති වේ නම් සඞ්ඝයා පත්ත උක්කුජ්ජන කර්‍මය කරන්නේ යි.
8. 2. 9. 8.
අප්පසාදප්පසාද සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟෙකින් සමන්‍වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් අප්‍රසාදය දන්වන්නාහ. කවර අටඟෙකින් යත්:
ගිහියනට අලාභය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට අනර්‍ත්‍ථය පිණිස උත්සාහ කෙරෙයි. ගිහිනට ආක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි, ගිහියන් ගිහියන් හා බිඳුවයි. බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි, අගෝචරයෙහිදු ඔහු දකිති. මහණෙනි, මේ අටඟින් සමන්‍වාගත මහණහට උපාසකයෝ කැමැති වන්නාහු නම් අප්‍රසාදය දන්වන්නාහ.
මහණෙනි, දහම් අටකින් සමන්‍වාගත මහණහට උපාසකයෝ කැමැති වෙත් නම් ප්‍රසාදය දන්වන්නාහ. කවර අටකරුණෙකින යත්:
ගිහීන්ගේ අලාභය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො කෙරෙයි, ගිහියන් ගිහියන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ කියයි, දහම්හි ගුණ කියයි, සඟුන්ගේ ගුණ කියයි, ගෝචරස්ථානයෙහිදු ඔහු දකිති. මහණෙනි, උපාසකයෝ කැමැති වෙත් නම් මේ අටකරුණින් සමන්‍වාගත මහණහට ප්‍රසාදය දන්වන්නාහු යි.
8. 2. 9. 9.
පටිසාරණීයකම්ම සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, දහම් අටෙකින් සමන්‍වාගත මහණහට සඞ්ඝයා කැමැති වේ නම් පටිසාරණීය කර්‍මය කරන්නේ ය. කවර අට දහමින යත්:
ගිහීනට අලාභය පිණිස උත්සාහ කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ කෙරෙයි, පරිභව බෙණෙයි ගිහියන් ගිහියන් හා බිඳුවයි, බුදුන්ගේ අයුණු කියයි, දහම්හි අයුණු කියයි, සඟුන්ගේ අයුණු කියයි, දැහැමි වූ ද ගිහි පිළිණ සත්‍ය නො කෙරෙයි. (වරදවයි) මහණෙනි, මේ දහම් අටින් සමන්‍වාගත වූ මහණහට කැමැති වේ නම සඞ්ඝයා පටිසාරණීය කර්‍මය කරන්නේ ය.
මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණහට සඞ්ඝයා කැමැති වේ නම් පටිසාරණීය කර්‍මය සන්හිඳුවන්නේ ය. කවර අටකරුණෙකිනයත්:
ගිහීනට අලාභය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට අනර්‍ත්‍ථය සඳහා උත්සාහ නො කෙරෙයි. ගිහීනට ආක්‍රෝශ නො කෙරෙයි, පරිභව නො බෙණෙයි, ගිහියන් ගිහියන් හා නො බිඳුවයි, බුදුන්ගේ ගුණ කියයි. දහම්හි ගුණ කියයි. සඟුන්ගේ ගුණ කියයි, දැහැමි ගිහි පිළිණ ද සත්‍ය කෙරෙයි. මහණෙනි, මේ කරුණු අටින් සමන්‍වාගත මහණහට කැමැති වේ නම සඞ්ඝයා පටිසාරණීය කර්‍මය සංහිඳුවන්නේ යි.
8. 2. 9. 10.
තස්සපාපිය්‍යසිකා සම්මාවත්තන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, තස්සපාපිය්‍යසිකා කර්‍මය කරනලද මහණහු විසින් දහම් අටෙක මොනොවට පැවැත්තයුතු: උපසපන් නො කට යුතු. නිස නො දිය යුතු. හෙරණක් නො එළවිය යුතු. භික්ඛුනෝවාදක සම්මුතිය නො ඉවසිය යුතු. සම්මත වූවහු විසිනුදු මෙහෙණන් ඔවා නො දිය යුතු කිසි සඞ්ඝසම්මුතියක් නො ඉවසිය යුතු. කිසි දෙටු තැනෙක නො තැබිය යුතු. ඔහු පාමොක් කොට ඇති සඟහු විසින් අබ්භාන කම් නො කට යුතු.