Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 12301-12400 න් 15980

මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් එක් පිඩක් සපා ගිලිම් නම් ඒතාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේය යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් අසස් කොට හෝ පසස් කරන්නෙම් ද, පසස් කොට හෝ අසස් කරන්නෙම් ද ඒ තාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේත් වන්නේ ය යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, මේ භික්‍ෂූහු අප්‍රමත්තව වෙසෙන්නාහ යි ද ආස්‍රවක්‍ෂය කරනු පිණිස තීක්‍ෂණ ව මරණස්මෘතිය වඩන්නාහයි ද කියනු ලැබෙත්.
මහණෙනි, එහෙයින් මෙසේ හික්මිය යුතු: අප්‍රමත්තව වාසය කරම්හ. ආස්‍රවයන් ක්‍ෂය කරනු පිණිස තීක්‍ෂණ ව මරණස්මෘතිය වඩම්හ කියා යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි.
8. 2. 8. 4.
දෙවැනි මරණසති සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
මහණෙනි, භාවිත බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල මහානෘශංස වෙයි, අමෘතාවගාහ වේ, අමෘතපර්‍ය්‍යාවසාන වේ. මහණෙනි, කෙසේ භාවිත කෙසේ බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල වේ ද, මහානෘශංස වේ ද, අමෘතාවගාහ වේ ද, අමෘතපර්‍ය්‍යාවසාන වේ ද:
මහණෙනි, මේ සස්නෙහි මහණ දාවල ඉක්මගිය කල්හි රෑ නැවත එළඹි කල්හි මෙසේ පස්විකයි: මාගේ මරණයට ප්‍රත්‍යයයෝ බොහෝ වෙති. සර්‍පයෙක් හෝ මා ඩස්නේ ය, ගෝනුස්සෙක් හෝ මා ඩස්නේ ය, පත්තෑයෙක් හෝ මා ඩස්නේ ය. එයින් මාගේ කාලක්‍රියාව වෙයි. ඒ මට ජීවිතාන්තරාය වෙයි. පැකිල හෙන්නෙම් නම් හෝ වෙමි. මා වැළඳූ බත හෝ නො දිරන්නේ ය. මාගේ පිත හෝ කිපෙයි. මාගේ සෙම හෝ කිපෙයි. මාගේ ශස්ත්‍රක වාතයෝ හෝ කිපෙති. මිනිස්සු හෝ මට උපක්‍රම කෙරෙති. අමනුෂ්‍යයෝ හෝ මට උපක්‍රම කෙරෙත්. එයින් මාගේ කාලක්‍රියාව වන්නේ ය. ඒ මට අන්තරාය වෙයි.
මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ නුවණින් සිතිය යුතු යි: “රෑ කාලක්‍රියා කරන මට අන්තරාය පිණිස යම් අකුශල කෙනෙක් වෙත් නම් එබඳු ලමු අකුසල් දහම්හු මට අප්‍රහීණ වූවාහු ඇත් ද කියා යි. මහණෙනි, ඉදින් මහණ මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ ද: “රෑ කාලක්‍රියා කරන මට යම් අකුශලධර්‍ම කෙනෙක් අන්තරාය පිණිස වෙත් නම් මට අප්‍රහීණ වූ එබඳු ලමු අකුශල ධර්‍මයෝ ඇතැයි. මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලමු අකුසල් දහමුන්ගේ ම ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධිමාත්‍ර උත්සාහයත් නො කලකිරුමත් ස්මෘතියත් සම්ප්‍රජන්‍යයත් කටයුතු.
මහණෙනි, යම් සෙයින් ඇවිළ දන වස්ත්‍රය ඇතියෙක් වේවයි ඇවිළ දන හිසැතියේ වේවයි එම වස්ත්‍රය හෝ හිස නිවීම පිණිස අධිමාත්‍ර ඡන්‍දයත් ව්‍යායාමයත් උත්සායහත් අධිමාත්‍ර උත්සාහයත් උකටලී නොවීමත් ස්මෘතියත් සම්ප්‍රජන්‍යයත් කෙරේ ද, මහණෙනි, එසෙයින් ම ඒ මහණු විසින් එම ලාමක අකුසල් දහමුන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, අධික වීර්‍ය්‍යයත්, උකටලී නො වීමත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කටයුතු යි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ‘යම් අකුසල් දහම් කෙනෙක් කෙනෙක් රෑ කලුරිය කරන මට අන්තරාය පිණිස වෙත් නම් එබඳු අප්‍රහීණ වූ ලාමක අකුසල් දහම්හු මට නැතැ යි මෙසේ දන්නේ වේ ද, මහණෙනි, එ මහණහු විසින් දවරෑහි කුසල් දහම්හි හික්මෙනුවහු විසින් එම ප්‍රීතිප්‍රමෝද්‍යයෙන් වාස කටයුතු යි.
මහණෙනි, මෙ සස්නෙහි මහණ රෑ නික්ම ගිය කල්හි දවස නැවත ආ කල්හි මෙසේ නුවණින් සිතයි: මාගේ මරණයට බොහෝ ප්‍රත්‍යයෝ වෙත්: සර්‍පයෙක් හෝ මා ඩස්නේ ය, වෘශ්චිකයෙක් හෝ මා ඩස්නේ ය, ශතපදිකයෙක් හෝ මා ඩස්නේ ය, එයින් මාගේ කාලක්‍රියාව වෙයි. එය මට අන්තරාය පිණිස වෙයි, පා පැකිළ හෝ හෙන්නෙම වෙමි, මා වැළඳූ බත හෝ නොදිරයි, මාගේ පිත හෝ කිපෙයි, මාගේ සෙම හෝ කිපෙයි, මගේ ශස්ත්‍රකවාතයේ හෝ කිපෙත්, මිනිස්සු හෝ මට අපක්‍රම කරත්, අමනුෂ්‍යයෝ හෝ මට උපක්‍රම කරත්, එයින් මාගේ කාලක්‍රියාව වෙයි, ඒ මට අන්තරාය පිණිස වෙයි, කියා යි. මහණෙනි, ඒ මහණහු විසින් මෙසේ සිතිය යුතු යි: දවල් කාලක්‍රියා කරන මට අන්තරාය පිණිස යම් අකුසල් කෙනෙක් වෙත් නම්, එබඳු අප්‍රහීණ වූ ලාමක අකුසල් දහම්හු ම ඇත කියා යි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ ද: “දාවල් කාලක්‍රියා කරන මට අන්තරාය පිණිස යම් අකුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් එබඳු අකුශල ධර්‍මයෝ අප්‍රහීණ වූවාහු මට ඇත කියා යි. මහණෙනි, ඒ මහණහු විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ම ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, උස්සොළ්හියත්, අප්‍රතිවානියත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කට යුතු යි.
මහණෙනි, යම් සෙයෙකින් ඇවිළ දන වස්ත්‍ර ඇතියේ හෝ ඇවිළ දන හිසැතියේ ඇවිළ දන ඒ වස්ත්‍රය හෝ ඇවිළ දන ඒ හිස හෝ නිවීමට අධිමාත්‍ර ඡන්‍දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, උස්සොළිහියත්, නො කලකිරුමත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කෙරේ නම්, මහණෙනි, එපරිදි ම ඒ මහණහු විසින් එම ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස අධිමාත්‍ර ඡන්‍දයත්, ව්‍යායාමයත්, උත්සාහයත්, උස්සොළිහියත්, අප්‍රතිවානියත්, ස්මෘතියත්, සම්ප්‍රජන්‍යයත් කටයුතු යි.
මහණෙනි, ඉදින් මහණ ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ මෙසේ දන්නේ ද: දවල් කලුරිය කරන මට අන්තරාය පිණිස යම් අකුශල ධර්‍ම කෙනෙක් වෙත් නම් එබඳු ලාමක අකුශල ධර්‍මයෝ අප්‍රහීණ වූවහු මට නැත. මහණෙනි, මහණහු විසින් කුශල ධර්‍මයන්හි දව රෑ හික්මෙනුවහු එම ප්‍රීති ප්‍රමෝදයෙන් වාසය කටයුතු යි.
මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුලීකෘත මරණස්මෘතිය මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, අමෘතාවගාහ වෙයි, අමෘතපර්‍ය්‍යවසානත් වේ යයි.
8. 2. 8. 5.
ප්‍රථම සම්පදා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සම්පත් අට දෙනෙකි. කවර අට දෙනෙක යත්: උත්‍ථානසම්පදා ය, ආරක්‍ෂාසම්පදා ය, කල්‍යාණමිත්‍රසම්පදා ය, සමජීවිතා ය, ශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි. මහණෙනි, මේ අෂ්ට සම්පත් වෙයි.
1. කමතෙහි (කර්‍මාන්ත කරන තන්හි) නැඟි සිටුනා වැර ඇතියේ නො පමා වූයේ විධාන ඇතියේ සම ව ජීවිකා කෙරෙයි. රැස්කළ දෑ රක්නේ ය.
2. සැදැහැතියේ ශීලයෙන් යුතු වූයේ බිණූ බස්හි අරුත් දන්නේ හළ මසුරුමල ඇතියේ පරලොව ඇසිරි කළ සුව ලැබීමට හේතු වූ කුසල් මඟ නිරතුරු හෙළි කෙරෙයි.
3. ගිහිගෙයිවැසි සැදැහැති කුලපුත්හට දෙලොව සුව එළවන තෙල අට දහම්හු සත්‍යනාම (අන්‍වර්‍ත්‍ථ නාම) ඇති බුදුන් විසින් මෙසේ වදාරන ලදහ.
4. ගිහියනට දෘෂ්ටධර්‍මහිතය පිණිස ද සම්පරායික සුවය පිණිස ද මෙසේ තෙල දහම වෙයි. ත්‍යාගය පින් වඩනේ යයි.
8. 2. 8. 6.
ද්විතීය සම්පදා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ සම්පත්හු අටදෙනෙකි. කවර අටදෙනෙක යත්: උත්‍ථානසම්පදා ය, ආරක්‍ෂසම්පදා ය, කල්‍යාණමිත්‍රතා ය, සමජීවිකතා ය, ශ්‍රද්ධාසම්පදා ය, ශීලසම්පදා ය, ත්‍යාගසම්පදා ය, ප්‍රඥාසම්පදා යි.
1. මහණෙනි, උත්‍ථානසම්පදා නම් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් සීසෑමෙන් වේවයි, වෙණදාමෙන් වේවයි, ගෙරි රැක්මෙන් වේවයි, දුනුවා කමින් වේවයි, රජ මෙහෙවරින් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම් ම කර්‍මාන්තයකින් ජීවිකාව කෙරේ ද, එහි ලා දක්‍ෂ වෙයි, අනලස් වෙයි, තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වෙයි, කරන්නට සමර්‍ත්‍ථ වෙයි, සංවිධානයට සමර්‍ත්‍ථ වෙයි. මහණෙනි, මේ උත්‍ථානසම්පදා යි කියනු ලැබේ.
2. මහණෙනි, ආරක්‍ෂසම්පදා නම් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුතෙක් හට උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලැබූ, බාහුබලයෙන් රැස් කළ, සෝදිය වෑහීමෙන් රැස්කළ, එයින් දැහැමි වූ දැහැමින් ලත් භෝග කෙනෙක් වෙත් ද, හේ ඒ භෝගයන් ආරක්‍ෂායෙන් සැඟැවීමෙන් සපයා තබයි, කෙසේ ය: මා අයත් භෝගයන් කෙසේ රජදරුවෝ පැහැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගිනි නො දවා ද, දිය පා නො කෙරේ ද, අප්‍රිය වූ දායාදයෝ බන්‍ධූහු හෝ පැහැර නො ගනිත් ද කියා යි. මහණෙනි, මේ ආරක්‍ෂසම්පදා කියනු ලැබේ.
3. මහණෙනි, කල්‍යාණමිත්තතා කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් යම් ම ගම්කෙතෙක වේ වයි, නියම්ගමෙක වේවයි වෙසේ ද, එහි ශ්‍රද්ධාසම්පන්න, ශීලසම්පන්න, ත්‍යාගසම්පන්න, ප්‍රඥාසම්පන්න වෘද්ධශීලී දහරයේ වෙත්වයි, වෘද්ධශීලී වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ගැහැවි කෙනෙක් හෝ ගැහැවි පුත් කෙනෙක් හෝ ඇද්ද, ඔවුන් හා එක්ව සිටුනේ ය. එක්ව බණන්නේ ය. සාකච්ඡාවට වදනේ ය. යම්බඳු (නොවෙනස් ව සිටුනා) සැදෑ සපනුන්ගේ සැදෑ සපුව අනුව හික්මේ ද, යම්බඳු (නොවෙනස් ව සිටුනා) සිල් සපනුන්ගේ සිල්සපුව අනුව හික්මේ ද, යම් බඳු (නොවෙනස් ව සිටුනා) ත්‍යාගසම්පන්නයන්ගේ ත්‍යාගසම්පත් අනුව හික්මේ ද යම්බඳු (නොවෙනස් ව සිටුනා) ප්‍රඥාසම්පන්නයන්ගේ ප්‍රඥාසම්පත් අනුව හික්මේ ද, මහණෙනි, මේ කල්‍යාණ මිත්‍රතා යි කියනු ලැබේ.
4. මහණෙනි, සමජීවිතා නම් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන මෙසේ මාගේ අය වැය යට කොට ගෙන සිටුනේ ය, මගේ වැය අය යට කොටගෙන නො සිටුනේ ය යි අත්‍යවගාහ නො කොට අතිහීන නො කොට මොනොවට ජීවිකා කෙරෙයි. මහණෙනි, යම් පරිදි තුලධරයෙක් හෝ තුලධරු අතඅවැසියෙක් හෝ තුලාව නගා ගෙන මෙතෙකින් ම නතුවිය, මෙතෙකින් ම මතු වී යයි දන්නේ වේදැ, මහණෙනි, එපරිදි ම කුලපුත් භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන අත්‍යවගාහ නො කොට අතිහීන නො කොට මොනොවට ජීවිකා කරන්නේ ය. මෙසේ මාගේ අය, වැය යටකොට සිටුනේ ය. මාගේ වැය, අය යට කොටගෙන නොසිටුනේ යයි කියා යි.
මහණෙනි, ඉදින් මේ කුලපුත් මද අය ඇතියේ උදාර සේ ජීවිකා කෙරේ ද, එවිට ‘මේ කුලපුත් දිඹුල් කනුවක්හු සෙයින් භෝගයන් වළඳ කෙරේය’ යි, ඔහට නිගාබණනුවෝ ඇත. මහණෙනි, ඉදින් මේ කුලපුත් මහත් අය ඇතියේ දුකසේ ජීවිකා කෙරේ ද, ‘මේ කුලපුත් අනාථ මරණ ඇතියකු සෙයින් මැරේ’ය යි ඔහට නිගා බණනුවෝ ඇත.
මහණෙනි, යම් හෙයකින් මේ කුලපුත් ඉමහත් නො කොට අතිහීන නො කොට මෙසේ මා අයත් අය, වැය යට කොට සිටුනේ ය, මාගේ වැය, අය යට කොට නො සිටුනේ ය යි භෝගයන්ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන මොනොවට ජීවිකාව කෙරෙයි ද, මහණෙනි, මේ සමජීවිතා යයි කියනු ලැබේ.
5. මහණෙනි, ශ්‍රද්ධා සම්පත් කවර:
මහණෙනි, මෙලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි, ‘ඒ භාග්‍යවත්හු මෙසේත් ... දෙව්මිනිස්නට ශාස්ත්‍රැයම, සිවුසස් දතුවහ, භගවත්හ’යි තථාගතයන් වහන්සේගේ සම්‍යක් සම්බෝධිය අදහයි. මහණෙනි, මේ ශ්‍රද්ධාසම්පදා යි කියනු ලැබේ.
6. මහණෙනි, ශීල සම්පත් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් දුරු වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් දුරු වෙයි. මහණෙනි, මේ ශීලසම්පදා යි කියනු ලැබේ.
7. මහණෙනි, ත්‍යාග සම්පත් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් පහව ගිය මලමසුරු ඇති සිතින් ගෙහි වසන්නේ ය ... යදනට නිසි වූයේ දානසංවිභාගයෙහි ඇලුණේ වෙයි. මහණෙනි, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබේ.
8. මහණෙනි, ප්‍රඥාසම්පත් කවර:
මහණෙනි, මෙ ලොව්හි කුලපුත් ප්‍රඥාවත් වෙයි ... මොනොවට දුඃඛක්‍ෂයගාමිණි වූ ... මහණෙනි, මේ ප්‍රඥාසම්පදා යි කියනු ලැබේ.
මහණෙනි, මේ සම්පත්හු අට දන වෙත්,
1. කාර්‍ය්‍ය කරන තන්හි නැගී සිටුනා වෙර ඇතියේ නො පමා වූයේ විදහන් ඇතියේ මොනොවට ජීවිකා කෙරෙයි. රැස්කළ දෑ රකියි.
2. සැදැහැතියේ ශීලයෙන් යුක්ත වූයේ වදන් දන්නේ හළ මසුරු මල ඇතියේ පරලොව ඇසිරි කළ සුඛදායක මාර්‍ගය නිතර හෙළි කෙරෙයි.
3. ගිහිගෙයි වැසි සැදැහැති කුලපුත්හට දෙලොව සුව එළවන තෙල අට දහම්හු සත්‍යනාම (අන්‍වර්‍ත්‍ථනාම) ඇති බුදුන් විසින් වදාරන ලදී.
4. මෙසේ තෙල දහම ගෘහස්ථයන්ගේ මොලොව හිත පිණිස ද පරලොව සුව පිණිස ද වෙයි. ත්‍යාගය තෙමේ පින් වඩන්නේ යයි.
8. 2. 8. 7.
ඉච්ඡා සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි, මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල කීහ:
ඇවැත්නි, මේ පුද්ගලයෝ අට දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යාමාන වෙත්. කවර අට දෙනෙක් ද යත්:
1. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන්නා වූ (කිසිවත් කෙරෙහි) අයත් පැවැතුම් ඇති (විදර්‍ශනා කාර්මික) මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හෙ තෙමේ උත්සාහ කරයි. (පූර්‍වාපරවශයෙන්) ඝටයි. වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන ඝටන වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. හෙ තෙමේ ඒ අලාභයෙන් ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි අත් ගසා හඬයි. මුළාවට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස ඉච්ඡා ඇතියේ මෙසේ ලාභය පිණිස උත්සාහ කරයි. ඝටයි. වෑයම් කරයි. ලාභ නො ලබන සුල්ලේ ශෝක කරන්නේ ද වැලැපෙන්නේ ද ශාසනයෙන් ගිලිහුණේ ද වේ යයි කියනු ලැබේ.
2. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභයට ඉච්ඡාවක් උපදියි. හෙතෙමේ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන ඝටනා කරන වෑයම් කරන ඔහුට ලාභය උපදියි. හේ ලාභයෙන් මත්වෙයි, ප්‍රමත්ත වෙයි, මදයෙන් ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි, ලාභ ලබනසුලු වූයේ ද මත්වනසුලු වූයේ ද ප්‍රමාදවනසුලු වූයේ ද සස්නෙන් ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
3. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන, (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ කො කෙරෙයි, නො ඝටයි, වෑයම් නොකරයි. ලාභ පිණිස උත්සාහ නොකරන, නො ඝටන, වෑයම් නොකරන ඔහුට ලාභය නූපදියි, හෙ තෙමේ ඒ අලාභයෙන් ශෝක කෙරෙයි, ක්ලාන්ත වෙයි, වැළැපෙයි, ළෙහි අත්ගසා හඬයි, මුළාවට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස රිසි ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ නො කරයි, නො ඝටයි, වෑයම් නො කරයි, ලාභ නො ලබනසුලු වූයේ ශෝක කරන්නේ ද වැලැපෙන්නේ ද සස්නෙන් චුත වූයේ වේ ද වේ යයි කියනු ලැබේ.
4. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස ඉච්ඡාවක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ නො කෙරෙයි, ඝටනා නොකරයි, වෑයම් නොකරයි. ලාභය පිණිස උත්සාහ නො කරන, නො ඝටන, වෑයම් නො කරන ඔහුට ලාභය උපදියි. හේ ඒ ලාභයෙන් මත් වෙයි, ප්‍රමත්ත වෙයි, මදයෙන් ප්‍රමාදයට පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභයට රිසි ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්සාහ නො කරයි, නො ඝටයි. වෑයම් නො කරයි, ලාභී වූයේ මත් වූයේ පමා වූයේ සස්නෙන් ගිලිහුණේ ද වේ යයි කියනු ලැබේ.
5. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවක් කෙරෙහි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය පිණිස රිසියෙක් උපදියි. හේ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්සාහ කරන, ඝටනා කරන, වෑයම් කරන ඔහුට ලාභය නූපදියි. හේ ඒ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, නො වැළැපෙයි, ළෙහි අත් පැහැර නො හඬයි, මුළාවට නො පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය පිණිස උත්සාහ කරයි, ඝටයි, වෑයම් කරයි, ලාභය නො ලබනසුලු වූයේ ද ශෝක නො කරනසුලු වූයේ ද නො වැලැපෙනසුලු වූයේ ද සස්නෙන් නො ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
6. ඇවැත්නි, මේ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවෙක්හි) අයත් පැවතුම් නැති මහණක් හට ලාභය සඳහා ඊප්සායෙක් උපදනේ ය. හේ ලාභය සඳහා උත්සාහ කරයි, ඝටයි, ව්‍යායාම කරයි. ලාභය සඳහා නැඟී සිටුනා, ඝටන, ව්‍යායාම් කරන ඔහුට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත් නො වෙයි, පමා නො වෙයි, ප්‍රමාදයට නො යෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය සඳහා ඊප්සා ඇතියේ වාසය කෙරේ. ලාභය සඳහා උත්සාහය කරයි, ඝටයි, ව්‍යායාම කරයි. ලාභී වූයේත් මද නැතියේත් පමා නැතියේත් සස්නෙන් නො ගිලිහුණේත් වේ යයි කියනු ලැබේ.
7. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේකයෙන් වසන (කිසිවෙක්හි) අයත් පැවතුම් නැති මහණක්හට ලාභය සඳහා ඊප්සායෙක් උපදනේ ය. හේ ලාභය සඳහා උත්සාහ නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය සඳහා නැඟී නො සිටුන, නො ඝටන, ව්‍යායාම් නො කරන ඔහුට ලාභය නූපදියි. හේ ඒ අලාභයෙන් නො සොස්නේ ය, ක්ලාන්ත නො කරයි, පරිදේවනා නො කරයි, ළෙහි අත් ගසා නො හඬයි, මුළාවට නො පැමිණෙයි. ඇවැත්නි, මේ මහණ ලාභය සඳහා ඊප්සා ඇතියේ වාසය කෙරේ. ලාභය සඳහා උත්සාහ නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. නො ද ලාභී වූයේ නො ද සොස්නාසුලු වූයේ නො ද පරිදේවනා කරනසුලු වූයේ සස්නෙන් නො ද ගිලිහුණේ වේ යයි කියනු ලැබේ.
8. ඇවැත්නි, මෙ සස්නෙහි ප්‍රවිවේක ඇති (කිසිවෙක්හි) අයත් වැටුම් නැති මහණක් හට ලාභය සඳහා ඊප්සායෙක් උපදනේ ය. හේ ලාභය සඳහා නැඟී නො සිටියි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්සාහ නො කරන, නො ඝටන, ව්‍යායාම් නො කරන ඔහුට ලාභය උපදියි. හේ ඒ ලාභයෙන් මත් නො වෙයි. පමා නො වේ. පමාවට නො පැමිණෙයි. ඇවැත්නි, ලාභය සඳහා මේ මහණ ඊප්සා ඇතියේ වාසය කෙරේ. ලාභී වූයේත් මද මත් නො වූයේ ත් පමා නැතියේත් සස්නෙන් නො ගිලිහුණේත් වේ යයි කියනු ලැබේ.
ඇවැත්නි, මේ පුද්ගලයෝ අට දෙන ලොව්හි ඇත්තාහ, විද්‍යමාන වන්නාහ යි.
8. 2. 8. 8.
අලං සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ ... ඇවැත්නි, දහම් සයෙකින් සමන්‍වාගත මහණ තමාහට සුදුසු වෙයි. මෙරමා හට සුදුසු වෙයි. කවර සයෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී (වහා දක්නාසුලු) ද වෙයි. දැරූ දහමුන්ගේ අර්‍ත්‍ථ පිරික්සනුයේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි. කල්‍යාණ වචන ඇතියේ කලණබස් හඩ ඇත්තේ ද වෙයි. අරුත් හඟවන විශිෂ්ට වූ නිදොස් වූ පෞර වචනයෙන් සමන්‍විත වෙයි. සබ්‍රම්සරුනට කරුණු දක්වනුයේත් සමාදන් කරවනුයේත් සමුත්තේජනා කරනුයේත් සම්පහංසනා කරනුයේත් වෙයි.
ඇවැත්නි, මෙ කරුණු සයින් සමන්‍වාගත වූ මහණ තමාහට සුදුසු වූයේ වෙයි. මෙරමා හට සුදුසු වූයේ වෙයි.
ඇවැත්නි, මෙ කරුණු පසෙකින් සමන්‍වාගත වූ මහණ තමහට සුදුසු වූයේ, මෙරමා හට සුදුසු වූයේ වෙයි. කවර පසෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී නොම වෙයි. ඇසූ දහම් දරන්නේ වෙයි. දැරූ දහමුන්ගේ අර්‍ත්‍ථ පිරික්සනුයේත් වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්න ද වෙයි ... කලණ වදන් ඇතියේත් වෙයි ... සබ්‍රම්සරුනට ... සන්‍දශර්‍ක ද වෙයි.
ඇවැත්නි, මෙ කරුණු පසින් සමන්‍වාගත වූ මහණ තම හට සුදුසු වෙයි. මෙරමා හට සුදුසු වෙයි.
ඇවැත්නි, මෙ කරුණු සතරෙකින් සමන්‍වාගත වූ මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු වෙයි. කවර සතරෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්තී ද වෙයි. ඇසූ දහමුන් දරනසුල්ලේ වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනසුලු වූයේත් වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් වෙයි ... කලණ වදන් ඇතියේත් නො වෙයි ... සබ්‍රම්සරුනට ... සන්‍දශර්‍ක නො වෙයි. මහණෙනි, මෙ සතර කරුණෙන් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
ඇවැත්නි, සතර කරුණෙන් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි. කවර සතරෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද වෙයි. ඇසූ දහමුන් දරනසුලු ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන සුලු ද නොවෙ යි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් නො වෙයි ... කලණ බස් ඇතියේ ද වෙයි. ... සබ්‍රම්සරුනට ... සන්‍දර්‍ශක ද වෙයි. ඇවැත්නි, මෙ කරුණු සතරින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
ඇවැත්නි, තුන්දහමෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද වේ ම ය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනසුලු ද වෙයි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් වෙයි ... කලණවදන් ඇත්තේත් නො වෙයි. ... සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක ද නො වෙයි. ඇවැත්නි, මෙ තුන් දහමින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
ඇවැත්නි, තුන්දහමෙකින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ ද නොවෙ යි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් නො වෙයි. කලණවදන් ඇත්තේ වෙයි. ... සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක ද වෙයි. ඇවැත්නි, මෙ තුන් දහමුන්ගෙන් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
ඇවැත්නි, දෙදහමෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේත් වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන සුල්ලේත් වෙයි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද වෙයි, කලණවදන් ඇත්තේ ද නො වෙයි ... සබ්‍රම්සරුනට ... සන්‍දර්‍ශක ද නො වෙයි. ඇවැත්නි, මේ දෙදහමින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි.
ඇවැත්නි, දෙදහමෙකින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
ඇවැත්නි, මෙ සස්නෙහි මහණ කුසල්දහම්හි ඛිප්පනිසන්ති ද නො වේ මය. ඇසූ දහම් දරන සැහැවි ඇත්තේ නො වෙයි ... අරුත් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්නත් නො වෙයි. යහපත් වචනඝෝෂ ඇතියේ යහපත් වදන් ඇතියේ ද වෙයි. පළිබෝධරහිත නිදොස් නො ගිලිහුණු පද ව්‍යඤ්ජන ඇති අරුත් ඇඟවීමෙහි සමත් පිරිපුන් වදනින් සමන්‍වාගත වෙයි. සබ්‍රම්සරුනට සම්මුඛයෙහි මෙත් කොට දක්වයි, සමාදන් කරවයි, උත්සාහවත් කරයි, ගුණ කියමින් සතුටු කරවයි, ඇවැත්නි, මේ දෙදහමින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි.
8. 2. 8. 9.
සේඛපරිහානිය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අටදහම් කෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂූහුගේ පරිහානිය පිණිස පවතිත්. කවර අටදෙනෙක යත්:
නවකම්හි නිරත බව ය, අල්ලාපසල්ලාපයෙහි නිරත බව ය, නිද්‍රායෙහි නිරත බව ය, ගණසඞ්ගණිකායේහි නිරත බව ය, ඉඳුරන්හි නො අවුරන ලද දොර ඇති බව ය, බොජුන්හි පමණ නොදන්නා බව ය, (පස්වැදෑරුම්) සංසර්‍ගයෙහි නිරත බව ය, (තණ්හාමානදිට්ඨි) පපඤ්චයන්හි නිරත බව යි. මහණෙනි, මේ අටදහම්හු ශෛක්‍ෂ භික්‍ෂූහුගේ පරිහානිය පිණිස පවතිත්.
මහණෙනි, මේ අටදහම් කෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂූහුගේ නො පිරිහීම පිණිස පවතිත්. කවර අට දෙනෙක යත්:
නවකම්හි නිරත නොවන බව ය, අලප්සලප්හි නිරත නොවන බව ය, නිද්‍රායෙහි නිරත නොවන බව ය, ගණසඞ්ගණිකායේහි නිරත නොවන බව ය, ඉඳුරන්හි අවුරන ලද දොර ඇති බව ය, බොජුන්හි පමණ දන්නා බව ය, සංසර්‍ගයෙහි නිරත නොවන බව ය, ප්‍රපඤ්චයන්හි නිරත නොවන බව යි. මහණෙනි, මේ අටදහම්හු ශෛක්‍ෂ භික්‍ෂූහුගේ නො පිරිහීම පිණිස පවතිත්.
8. 2. 8. 10.
කුසීතාරම්භවත්‍ථු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ කුසීතවත්‍ථු අටදෙනෙක් වෙති. කවර අටදෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ (චීවරවිචාරණාදි) කර්‍ම කටයුතු වෙයි. ඔහුට මෙ බඳු සිත් වේ: “මා විසින් කර්‍ම කටයුතු වන්නේ ය. කර්‍ම කරන මාගේ කය ක්ලාන්ත වෙයි. එහෙයින් මම හොවිමි”යි හේ හොවියි. නො පත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ප්‍රථම කුසීතවස්තුවයි.
2. තවද මහණෙනි, මහණ විසින් කර්‍ම කරන ලදුයේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම් කර්‍ම කෙළෙම් ම ය. කර්‍ම කරන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ ද්විතීය කුසීත වස්තුව යි.
3. තවද මහණෙනි, මහණහු විසින් මඟ යා යුතු වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මා විසින් මඟ යා යුතු වෙයි. මඟ යන මාගේ කය ක්ලාන්ත විය. එහෙයින් මම හොවීම්”යි හේ හොවියි. නොපත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ තෘතීය කුසීත වස්තුව යි.
4. තවද මහණෙනි, මහණහු විසින් මඟ ගියේ වෙයි. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි: “මම මඟ ගියෙම් වෙමි, මඟ යන මාගේ කය ක්ලාන්ත ය. එහෙයින් මම හොවීම්“යි හේ හොවියි. නොපත් ධ්‍යානාදියට පැමිණෙනු පිණිස අධිගම නො කළ ධ්‍යානාදිය අධිගම කරණු පිණිස සාක්‍ෂාත් නො කළ ධ්‍යානාදිය සාක්‍ෂාත් කරනු පිණිස වැර නො අරඹයි. මහණෙනි, මේ චතුර්‍ත්‍ථ කුසීත වස්තුව යි.