5. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් නිල් වූ නිල්වන් වූ නීලනිදර්‍ශන වූ නීලාවභාස වූ බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ පඤ්චම අභිභායතනය යි.
6. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් පීත වූ පීත වර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතාවභාස වූ බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්යේ වෙයි. මේ ෂෂ්ඨ අභිභායතනය යි.
7. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් ලෝහිත වූ ලෝහිතක වර්‍ණ වූ ලෝහිතක නිදර්‍ශන වූ ලෝහිතාවභාස ඇති බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ සප්තම අභිභායතනය යි.
8. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇතියේ එකෙක් අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාත නිදර්‍ශන වූ අවදාතාවභාස ඇති බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ අෂ්ටම අභිභායතනය යි. මහණෙනි, අෂ්ටම අභිභායතනය යි.
8. 1. 7. 6.
විමොක්ඛ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ විමෝක්‍ෂයෝ අටදෙනෙකි. කවර අටදෙනෙක යත්:
1. (අධ්‍යාත්මයෙහි උපදවන ලද) රූපධ්‍යාන ඇත්තේ බැහැර (නීලකසිණාදී) රූපයන් (දැහැන් ඇසින්) දකියි. මේ ප්‍රථම විමෝක්‍ෂ යි.
2. එකෙක් අධ්‍යාත්මයෙහි අරූපසංඥා (නූපදවන ලද රූපාවචර ධ්‍යානයන්) ඇත්තේ බැහැර රූපයන් (රූපාවචර ධ්‍යානයන්) දකියි. මේ දෙවන විමෝක්‍ෂ යි.
3. (වර්‍ණකසිණයන්හි ධ්‍යානයෙහි) සුභ ම ය යි ඇලුණේ වෙයි. මේ තෙවන විමෝක්‍ෂ යි.
4. සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ අමනසිකාරයෙන් (කසිණුගඝාටිම) ආකාසය අනන්තය යි අකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමෝක්‍ෂ යි.
5. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්‍ෂ යි.
6. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්‍ෂ යි.
7. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්‍ෂ යි.
8. සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්‍ෂ යි.
මහණෙනි, මේ අෂ්ට විමෝක්‍ෂයෝ වෙතැ යි.
8. 2. 7. 7.
අනරියවෝහාර සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අනාර්‍ය්‍ය ව්‍යවහාරයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක යත්:
නො දක්නා ලද්දෙහි දක්නා ලදැ යි කියන බව ය, නො අසන ලද්දෙහි අසන ලදැ යි කියන බව ය, අමුතයෙහි (ගානජීව්හකායද්වාරයනට නොපත් ගන්‍ධ රස පොට්ඨබ්බයෙහි) මුතවාදී (ඝානාදිද්වාරයනට ගන්‍ධාදි ආයතන පැමිණෙන ලදැ යි කියන) බව ය, සිතින් නො දන්නා ලද්දෙහි දන්නා ලදැයි කියන බව ය, දක්නා ලද්දෙහි අදිට්ඨාවාදිතා ය, අසන ලද්දෙහි අසුතවාදිතා ය, මුතයෙහි (ගන්‍ධරස ඵොට්ඨාබ්බාරම්මණයන් ලබන ලද කල්හි ඒ නැතැයි කියන) අමුතවාදිතා ය, සිතින් දන්නා ලද්දෙහි නො දන්නා ලදැ යි කියන බව ය. මහණෙනි, මේ අෂ්ට අනාර්‍ය්‍යව්‍යවහාරයෝ යි.
8. 2. 7. 8.
අරියවෝහාර සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක යත්: අදිට්ඨයෙහි අදිට්ඨවාදිතා ය, අසුතයෙහි අසුතවාදිතා ය, අමුතයෙහි ආමුතවාදිතා ය, අවිඤ්ඤාතයෙහි අවිඤ්ඤාවාදිතා ය, දිට්ඨයෙහි දිට්ඨවාදිතා ය, සුතයෙහි සුතවාදිතා ය, මුතයෙහි මුතවාදිතා ය, විඤ්ඤාතයෙහි විඤ්ඤාතවාදිතා යි. මහණෙනි,මේ ආර්‍ය්‍යව්‍යවහාරයෝ අටදෙනා යි.
8. 2. 7. 9.
පරිස සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ පිරිස් අටෙකි. කවර අටෙක යත්: ඛත්තිය පිරිස ය, බ්‍රාහ්මණ පිරිස ය, ගහපති පිරිස ය, සමණ පිරිස ය, චාතුම්මහාරාජික පිරිස ය, තාවතිංස පිරිස ය, මාර පිරිස ය, බ්‍රහ්ම පිරිස යි.
මහණෙනි, මම නේසිය කැත්පිරිස් වෙත එළඹියෙමි දනිම් ම ය.. එහිදු මා විසින් හුන්විරූ බිණූවිරූ ද වේ. සාකච්ඡාවට පැමිණිවිරූ ද වේ. එහි යම් බඳු ඔවුන්ගේ වර්‍ණයෙක් වේ ද, එබඳු වර්‍ණයෙක් මට ද වෙයි. යම් බඳු ඔවුන්ගේ ස්වරයෙක් වේ ද, එබඳු ස්වරයෙක් මට ද වේ. දැහැමි කථායෙන් ද සන්‍දර්‍ශනය කරමි, සමාදන් කරවමි, සමුත්තේජන කරමි, සම්පහංසන කරමි, මේ දෙවි හෝ මිනිස් හෝ කවරෙක් බෙණේ දැ යි බණන මා නො දනිත්. දැහැමි තෙපුලෙන් සන්‍දර්‍ශනය කොට සමාදන් කොට සමුත්තේජන කොට, සම්පහංසන කොට අතුරුදන් වෙමි. දෙවි වූ හෝ මිනිස් වූ හෝ මේ කවරෙක් නම් අතුරුදන් වී දැයි අතුරුදන් වූ ද මා නොදනිත්.
මහණෙනි, මම නේසිය බමුණු පිරිස් වෙත ... ගැහැවි පිරිස් වෙත ... මහණ පිරිස් වෙත ... සිවුමහරදපිරිස් වෙත ... තව්තිසපිරිස් වෙත ... මරපිරිස් වෙත ... බඹපිරිස් වෙත එළඹියෙම් දනිමි. එහිදු මා විසින් හුන්විරූ ද බිණූවිරූ ද වේ. සාකච්ඡා කළ විරූ ය. එහි යම් බඳු ඔවුන්ගේ වර්‍ණයෙක් වේ ද, එබඳු වර්‍ණයෙක් මට ද වෙයි. ඔවුන්ගේ යම් බඳු ස්වරයෙක් වේ නම් මට ද එබඳු ස්වරයෙක් වේ. දැහැමි කථායෙනුදු සන්‍දර්‍ශනය කරමි, සමාදන් කරමි, සමුත්තේජනය කරමි, සම්පහංසනය කරමි. මේ කවර නම් දෙවියෙක් හෝ මිනිසෙක් බෙණේදැයි බණන මා නො දනිත්. දැහැමි කථායෙන් සන්‍දර්‍ශනය කොට, සමාදන් කොට, සමුත්තේජනය කොට, සම්පහංසනය කොට අතුරුදන් වෙමි. මේ කවර නම් දෙවියන් හෝ මිනිසෙක් හෝ අතුරුදන් වී දැයි අතුරුදන් වූ ද මා නොදනිත්. මහණෙනි, මේ පිරිස් අට ය.
8. 1. 7. 10.
භූමිචාල සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහාවනයෙහි කුළාරහල්හි වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන විසාලාවට පිඬු පිණිස පිවිස සේක. විසාලායෙහි පිඬු පිණිස හැසිර පස්බත පිඬුවායෙන් පෙරළා වැඩි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍ද ය, නිසීදනය (පත්කඩ) ගනුව, චාපාලචේතිය වෙත දිවාවිහාරය පිණිස යම්හයි, වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා අනඳ තෙරහු නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස් ලුහුබැඳියහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාලචෙතිය වෙත එළඹි සේක. එළැඹ පැන වූ අස්නෙහි හුන් සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍දය, වේසාලිය රමණී වෙයි. උදේනචේතිය රමණී වෙයි. ගොතමකචේතිය රමණී වෙයි. සත්තම්බචෙතිය රමණී වෙයි. බහුපුත්තචේතිය රමණී වෙයි. සාරන්‍දදචෙතිය රමණී වෙයි. චාපාලචේතිය රමණී වෙයි.
ආනන්‍දය, යම් කිසිවකුන් විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත ද බහුලීකෘත ද, යානීකෘත ද, වස්තුකෘත ද, අනුත්‍ථිත ද, පරිචිත ද, සුසමාරද්ධ ද, ආනන්‍ද ය, හේ කැමති වනුයේ කපක් (ආයුෂ්කල්පයක්) හෝ කල්පාවශේෂයක් හෝ (ආයුෂ්කල්පයෙන් වැඩියක්) සිටුනේ ය. ආනන්‍ද ය, තථාගතයන් විසින් සතර ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරද්ධ ය. ආනන්‍ද ය, තථාගත තෙමේ කැමැති වනුයේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. මෙසේත් ආයුෂ්මත් ආනන්‍ද තෙරහු භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති පහළ කළ කල්හි ඖදාරික අවභාසය (ආලෝකය) පහළ කළ කල්හිදු පිළිවිදුනට නො හැකි වූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කපක් කල් සිටුනා සේක්වා. වහන්ස, සුගතයන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්‍ත්‍ථය පිණිස හිත පිණිස සුඛ පිණිස කපක් කල් සිටුනා සේක්වා යි මරහු විසින් මැඩි සිතැතියකු සේ භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
දෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ... තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍දය, වෛශාලිය රමණී වෙයි. උදේනචේතිය රමණී වෙයි. ගොතමකචේතිය රමණී වෙයි. සත්තම්බ චේතිය රමණී වෙයි. බහුපුත්තචේතිය රමණී වෙයි. සාරන්‍දදචෙතිය රමණී වෙයි. චාපාලචේතිය රමණී වෙයි. ආනන්‍දය, යම් කිසිවකු විසින් සතර ඉදුපා භාවිත ද, බහුලීකෘත ද, යානීකෘත ද, වස්තුකෘත ද, අනුත්‍ථිත ද, පරිචිත ද, සුසමාරබ්ධ ද, ආනන්‍ද ය, හේ කැමැති වනුයේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. ආනන්‍ද ය, තථාගතයන් විසින් සතර ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වස්තුකෘත ය, අනුත්‍ථිත ය, පරිචිත ය, සුසමාරද්ධ ය. ආනන්‍ද ය, කැමති වනුයේ තථාගත තෙමේ කපක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනේ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් ඖදාරික නිමිත්ත පහළ කරනු ලබන කල්හි ඖදාරික අවභාසය පහළ කරනු ලබන කල්හි ආයුෂ්මත් අනඳ තෙරහු පිළිවිදුනට නො හැකි වූහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කපක් සිටුනා සේක්වා, සුගතයන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුඛ පිණිස ලෝකානුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුව පිණිස කපක් සිටුනා සේක්වා යි මරහු විසින් මැඩි සිතැතියකු සෙයින් භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍ද ය, තෝ යව, දැන් යමකට කල් නම් ඒ දනුවයි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් අනඳ තෙරහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේට නුදුරු එක්තරා රුක්මුලෙක හුන්හ.
එකල්හි පවිටු මාර තෙමේ අනඳ තෙරුන් නික්ම ගිය නොබෝ කලෙකින් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කලී, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් “පාපීමය, යම්තාක් කල් මාගේ භික්‍ෂු ශ්‍රාවකයෝ වියත් වූවාහු විනීත වූවාහු විසාරද වූවාහු පැමිණි යෝගක්‍ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්‍මධර වූවාහු ධර්‍මානුධර්‍මයට පිළිපන්නාහු සාමීචි පිළිවෙතෙහි යෙදුනාහු අනුධර්‍මචාරී වූවාහු වෙත් ද, ස්ව-ආචාර්‍ය්‍යවාදය උගෙන කියන්නාහු ද, දෙසන්නාහු ද, පනවන්නාහු ද, තබන්නාහු ද, විවරණ කරන්නාහු ද, විභාග කරන්නාහු ද, ප්‍රකට කරන්නාහු ද, උපන් පරප්‍රවාදය සහධර්‍මයෙන් මොනොවට නිගෙන සප්‍රාතිහාර්‍ය්‍ය ධර්‍මය දෙසන්නාහු ද, එතෙක් මම නො පිරිනිවෙන්නෙමි යන තෙල වචනය කියන ලද මැයි.
වහන්ස, මෙ කල්හි භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක භික්‍ෂූහු ව්‍යක්ත වූවාහු විනීත වූවාහු විසාරද වූවාහු පැමිණි යෝගක්‍ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්‍මධර වූවාහු ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූවාහු සාමීචියට පිළිපන්නාහු අනුධර්‍මචාරී වූවාහු ස්වකීය ආචාර්‍ය්‍යවාදය උගෙන කියත්, දෙසත්, පනවත්, තබත්, විස්තර කරත්, විභාග කරත්, ප්‍රකට කරත්, උපන් පරප්‍රවාදය සහධර්‍මයෙන් නිගෙන සප්‍රතිහාර්‍ය්‍ය ධර්‍මය දෙසත්. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙනට කලි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස වදාරන ලදී: පාපිමය, යම්තාක් මාගේ භික්‍ෂුණී ශ්‍රාවිකාවෝ ... යම්තාක් මාගේ උපාසක ශ්‍රාවකයෝ ... යම්තාක් මාගේ උපාසිකා ශ්‍රාවිකාවෝ ව්‍යක්ත වූවාහු විනීත වූවාහු විශාරද වූවාහු පැමිණි යෝගක්‍ෂේම ඇත්තාහු බහුශ්‍රුත වූවාහු ධර්‍මධර වූවාහු ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූවාහු සාමීචි පිළිවෙතට පිළිපන්නාහු අනුධර්‍මචාරීනී වූවාහු වෙත් ද, සිය ආචාර්‍ය්‍යවාදය උගෙන කියන්නාහු ද, දෙසන්නාහු ද, පනවන්නාහු ද, තබන්නාහු ද, විවරණ කරන්නාහු ද, විභාග කරන්නාහු ද, ප්‍රකට කරන්නාහු ද, උපන් පරප්‍රවාදය සහධර්‍මයෙන් මොනොවට නිගෙන සප්‍රාතිහාර්‍ය්‍ය ධර්‍මය දෙසන්නාහු ද, ඒ තාක් මම නො පිරිනිවෙන්නෙමි යි කියා යි.
වහන්ස, මෙකල භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා උපාසිකාවෝ බහුශ්‍රැතයහ, ධර්‍මධරයහ, ධර්‍මානුධර්‍ම ප්‍රතිපන්නයහ, සාමීචි ප්‍රතිපන්නයහ, ව්‍යක්තයහ, විනීතයහ, විශාරදයහ, පැමිණි යෝගක්‍ෂේම ඇත්තාහ. අනුධර්‍මචාරී වූවාහු සිය ආචාර්‍ය්‍යවාදය උගෙන කියත්, දෙසත්, පනවත්, තබත්, විවරණ කරත්, විභාග කරත්, ප්‍රකට කරත්, උපන් පරප්‍රවාදය සහධර්‍මයෙන් මොනොවට නිගෙන සප්‍රතිහාර්‍ය්‍ය ධර්‍මය දෙසත්.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවෙන්නට කලි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් තෙල බස වදාරන ලදී: පාපිමය යම්තාක් මාගේ මේ බ්‍රහ්මචර්‍ය්‍ය සමෘද්ධ වූයේත් වැඩුණේත් විස්තෘත වූයේත් බොහෝ දෙන අතර ප්‍රකට වූයේත් පෘථුල භාවයට ගියේත් යම්තාක් දෙවිමිනිසුන් විසින් සුප්‍රකාශිත වූයේත් වේ ද, ඒ තාක් කල් නො පිරිනිවෙන්නෙමැයි කියා යි.
වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා, භාග්‍යවතුන් වහන්සේට මේ පිරිනිවීමට කල් වේ යයි.
පාපිමය, තෝ අල්පොත්සුක වව, නොබෝ කලෙකින් තථාගතයන්ගේ පරිනිර්‍වාණය වන්නේ ය. මෙයින් තුන්මසක්හුගේ ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෙතියෙහි ස්මෘති ඇත්තාහු සම්ප්‍රජන්‍යය ඇත්තාහු ආහුසංස්කාරය හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්කාරය හළ කල්හි බිහිසුණු වූ ලොමුදහගන්වන මහා භූමිකම්පනයෙක් විය. දෙව්බෙරහු (මේඝයෝ) සැලුණාහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තෙල අරුත් දැන ඒ වේලායෙහි මේ උදානය ඇනූසේක.
1. නියකාධ්‍යාත්මයෙහි ඇලුණු උපචාරාර්‍පණා සමාධි වශයෙන් සමාහිත වූ බුද්ධ මුනි තෙමේ කාමාවචර අරූපාවචර කර්‍මය හා මහද්ගත කර්‍මය දැයි දෙවැදෑරුම් වූ උත්පත්තිජනක වූ පුනර්‍භව සංස්කාරක වූ කර්‍මය හළේ ය. (නොහොත් අතුල සඞ්ඛ්‍යාත නිර්‍වාණය හා භවය හා තුලනා කෙරෙමින් භවගාමී කර්‍මය හළේ ය.) ආත්මසම්භව වූ ක්ලේශය ද සන්නාහයක් සෙයින් බෝ මුල දී බිඳලී ය.
එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුනට මෙ සිත විය: ඒකාන්තයෙන් මේ මහාභූමිචාලයෙක. ඒකාන්තයෙන් ඉමහත් වු මේ භූමිචාලය බිහිසුණු ද ලොමුදහගන්වන්නේද වෙයි. දේවදුන්‍දුභීහු (දෙව්බෙර නම් වූ මේඝයෝ) ද සැලුනාහ. මහත් වූ භූමිචාලයක්හුගේ ප්‍රාදුර්‍භාවයට හේතු කවරැ? සත්‍ය කවරැ? යි
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
“වහන්ස, එකැතින් මේ මහාභූමිචාලයෙක. වහන්ස, එකැතින් ඉමහත් වූ මේ භූමිචාලය බිහිසුණු වෙයි, ලොමුදහගන්වන්නෙකි. දේවදුන්‍දුභීහු සැලුණහ. වහන්ස, මහත් වූ භූමිචාලයක්හුගේ ප්‍රාදුර්‍භාවයට හේතු කවරැ? ප්‍රත්‍යය කවරැ? යි.
ආනන්‍දය, මහාභූමිචාලයක ප්‍රාදුර්‍භාවය පිණිස මේ හේතූහු අටදෙනෙක. ප්‍රත්‍යයෝ අට දෙනෙක කවර අට දෙනෙක යත්:
1. ආනන්‍දය, මේ පොළොව දියෙහි පිහිටියා ය, දිය වාතයෙහි පිහිටියේ ය. වාතය ආකාශස්ථ වෙයි. ආනන්‍දය, යම් හෙයකින් මහා වාතයෝ හමත් නම් එබඳු කලෙක් වෙයි. හමන්නා වූ මහාවාතයෝ දීය කම්පිත කරත්. කම්පිත උදකය පොළොව සලයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ ප්‍රාදූර්‍භාවයට මේ පළමු හේතු ය. මේ පළමු ප්‍රත්‍යය යි.
2. ආනන්‍දය, තවද ඍද්ධිමත් වූ චිත්තවශීප්‍රාප්ත වූ මහණෙක් වේවයි, බමුණෙක් වේවයි, මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති දේවතාවෙක් වේවයි ඇත. ඔහු විසින් ස්වල්ප වූ පෘථිවිසංඥා තොමෝ වඩන ලදු වෙයි. අප්සංඥා තොමෝ බලවත් කොට වඩන ලදු. හේ මේ පොළොව සොලවයි, හාත්පසින් සොලවයි, බොහෝ සෙයින් කම්පිත කරයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ ප්‍රාදුර්‍භාවය පිණිස මේ දෙවන හේතු යි, මේ දෙවන ප්‍රත්‍යය යි.
3. ආනන්‍දය, තවද යම් කලෙක බෝධිසත්‍ව තුසී දෙව්ලොවින් සැව සිහි ඇතියේ මනා නුවණැතියේ මව් කුසට වදනේ ද එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ ප්‍රාදූර්‍භාවයට මේ තෙවන හේතු යි, මේ තෙවන ප්‍රත්‍යය යි.
4. ආනන්‍දය, යම් කලෙක බෝධිසත්‍ව සිහි ඇතියේ මනා නුවණැතියේ මව්කුසින් බිහිවේ ද එකල මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, බොහෝසේ කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ ප්‍රාදූර්‍භාවයට මේ සිවුවන හේතු යි, මේ සිවුවන ප්‍රත්‍යය යි.
5. ආනන්‍දය, තවද, යම් කලෙක්හි තථාගත අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙරෙත් ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හු ගේ ප්‍රාදූර්‍භාවයට මේ පස්වන හේතු යි, මේ පස්වන ප්‍රත්‍යය යි.
6. ආනන්‍දය, තවද, යම් කලෙක තථාගතයෝ අනුත්තර ධර්‍මචක්‍රය පවත්වත් ද, එකල පොළොව සැලෙයි, හාත්පසින් සැලෙ යි, බොහෝසේ කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ පහළවීමට මේ සවන හේතු යි, මේ සවන ප්‍රත්‍යය යි.
7. ආනන්‍දය, තවද, යම් කලෙක තථාගතයෝ සිහි ඇතියේ මනා නුවණැති ව ආයුස්සංස්කාරය හරිත් ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙ යි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ පහළවීමට මේ සත්වන හේතු යි, මේ සත්වන ප්‍රත්‍යය යි.
8. ආනන්‍දය, තවද, යම් කලෙක තථාගතයෝ අනුපාදිශේෂ පරිනිර්‍වාණධාතුයෙන් පිරි නිවෙත් ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙ යි, බොහෝ සෙයින් කම්පිත වෙයි. ආනන්‍දය, මහත් භූමිචාලයක්හුගේ පහළවීමට මේ අටැවනි හේතු යි, මේ අටවැනි ප්‍රත්‍යය යි.
සත්වැනි චාපාල වර්‍ග යි.
එහි උද්දානය:
ඉච්ඡා සූත්‍රය, අලං සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍රය, දේසිත සූත්‍රය, ගයාශීර්‍ෂයෙහි දී වදාළ අධිදේවඤාණදස්සන සූත්‍රය, අභිභායතන සූත්‍රය හා විමොක්ඛ සූත්‍රය ද වෝහාර සූත්‍රදෙක ද පරිස සූත්‍රය ද භූමිචාල සූත්‍රය දැයි දශයෙකි.
8. යමක වර්‍ගය
8. 2. 8. 1.
ප්‍රථම සමන්තපාසාදික සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, භික්‍ෂු තෙමේ සැදැහැතියේ ද වෙයි, නො ද සිල්වත්වෙයි, මෙසේ හේ මහණ ඒ ඇඟින් පරිපූර වූයේ නො වෙයි. ඒ මහණ විසින් කවර නම් උපායෙකින් සැදැහැතියෙම් වෙම් ද සිල්වත් ද වෙම් දැයි ඒ අඞ්ගය පිරිය යුතු. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල්වත් වූයේත් වේ ද මෙසේ මහණ ඒ ඇඟින් පරිපූර වූයේ වෙයි.
මහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි. සිල්වත් ද වෙයි. නො ද බහුශ්‍රුත වෙයි. මෙසේ හේ ඒ ඇඟින් අපරිපූර වෙයි. ඔහු විසින් “කවර නම් උපායෙකින් මම සැදැහැයෙම්, සිල්වත් වූයෙම් බහුශ්‍රුත ද වූයෙම් වෙම් දැ යි ඒ මහණ විසින් ඒ අඞ්ගය පිරිය යුතු යි. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල්වත් වූයේත්, බහුශ්‍රුත වූයේත් වේ ද, මෙසේ ඒ මහණ ඒ ඇඟින් පරිපූරකාරී වෙයි.
මහණෙනි, මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්‍රුත වූයේත් වේ ද, නො ද ධර්‍මකථික වේ ද ... ධර්‍මකථිකත් වේ ද, පරිසාවචර (පිරිස්හි හැසිරෙන්නෙක්) නො වේ ද ... පරිසාවචර වූයේත් විශාරද ව පිරිස්හි දහම් නොදෙසා ද ... විශාරද ව පිරිස්හි දහම් දෙසනුයේත් දෘෂ්ටධර්‍ම සුඛ විහරණ ඇති ආභිචේතසික (උතුම්සිත් ඇසුරු කළ) සතර දැහැන් කැමැති සේ නො ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේත් සුවසේ ලබන සුල්ලේත් නො වේද ... දෘෂ්ටධර්‍ම සුඛවිහරණ ඇති ආභිචේතසික වූ සතර දැහැන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ, සුවසේ ලබන සුල්ලේත් වෙයි. ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් ඉහාත්මයෙහි ම තමා විසින් මොනොවට දැන පසක්කොට එළඹ නො වෙසෙයි. මෙසේ හෙතෙමේ ඒ ඇඟින් අපරිපූර වෙයි . “කවර නම් උපායෙකින් මම සැදැහැතියෙම් සිල් ඇතියෙම් බහුශ්‍රුත වූයෙම් ධර්‍ම කථික වූයෙම් පරිසාවචර වූයෙම් විශාරදව පිරිස්හි දහම් දෙසනුයෙම් දෘෂ්ටධර්‍මසුඛවිහරණ ඇති ආභිචේතසික සතර දැහැන් කැමැති සේ ලබනුයෙම් නිදුකින් ලබනුයෙම් සුවසේ ලබනුයෙම් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය පඤ්ඤාවිමුක්තිය දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එළඹ වෙසෙන්නෙම් දැ” යි ඔහු විසින් ඒ අඞ්ගය පිරිය යුතු ය.
මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත් සිල් ඇතියේත් බහුශ්‍රුත වූයේත් ධර්‍මකථික වූයේත් පරිසාවචර වූයේත් විසාරද වූයේත් පිරිස්හි දහම් දෙසන්නේ වේ ද, දෘෂ්ටධර්‍ම සුඛවිහරණ ඇති ආභිචේතසික සතර දැහැන් කැමැති සේ ලබන සුල්ලේ නිදුකින් ලබන සුල්ලේ සුවසේ ලබන සුල්ලේත් වේ ද, ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව චේතෝවිමුත්තිය ප්‍රඥා විමුත්තිය දිටුදැමියෙහි තමා විසින් ම විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට එළැඹ වෙසේ ද, මෙසේ හේ ඒ ඇඟින් පරිපූර වේ.
මහණෙනි, මේ අට දහමින් සමන්‍වාගත මහණ සමන්තපාසාදික ද වෙයි. සර්‍වාකාර පරිපූර ද වේ යයි.
8. 2. 8. 2.
දෙවැනි සමන්තපාසාදික සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මහණ සැදැහැතියේත් වෙයි සිල් ඇතියේ නො ද වෙයි, මෙසේ හේ ඒ ඇඟින් අපරිපූර වෙයි. කිනම් උපායෙකින්, මම සැදැහැතියෙම් ද සිල් ඇතියෙම් ද වෙම් දැ යි ඔහු විසින් ඒ අඞ්ගය පිරි යුතු. මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල් ඇතියේත් වේ ද, මෙසේ ඒ ඇඟින් පරපුර වෙයි.
මහණෙනි. මහණ සැදැහැතියේත් වෙයි සිල් ඇතියේ වෙයි. නො ද බහුශ්‍රුත වෙයි ... බහුශ්‍රුත වූයේත් නො ද ධර්‍මකථික වෙයි ... ධර්‍මකථික වූයේත් නො ද පරිසාවචර වෙයි ... පරිසාවචර වූයේත් විසාරද ව පිරිස්හි නො ද දහම් දෙසන්නේ වෙයි ... විසාරද ව දහම් දෙසනුයේත් වෙයි. රූපාවචර ධ්‍යානයන් ඉක්ම යම් ඒ ආරූප්‍ය වූ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඔවුන් නාම කායයෙන් ස්පර්‍ශ කොට නො ද වාසය කරන්නේ ය … රූපාවචරධ්‍යානයන් ඉක්ම යම් ආරූප්‍ය වූ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධ්‍යානයන් නාමකායයෙන් පැහැස ගෙන වාසය කරයි ... ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් දිටුදැමියෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එළඹ වාසය නොකරයි. මෙසේ හේ ඒ ඇඟින් අපරිපූරකාරී වෙයි. කිනම් උපායෙකින් මම සැදැහැති ද වූයෙම් සිල්වත් ද වූයෙම් බහුශ්‍රුත ද වූයෙම් ධර්‍මකථිකත් වූයෙම් පරිසාවචරත් වූයෙම් විශාරදත් වූයෙම් පිරිස්හි දහම් දෙසන්නෙම් රූපාවචර ධ්‍යානයන් ඉක්ම ආරූප්‍යවූ යම් ඒ ශාන්ත විමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධර්‍මයන් නාමකයින් පැහැස වෙසෙම් දැයි ... ආස්‍රවක්‍ෂය කිරීමෙන් ... සාක්‍ෂාත් කොට එළඹ වෙසෙම් දැ”යි ඔහු විසින් ඒ අඞ්ගය පිරිය යුතු යි.
මහණෙනි, යම් කලෙක මහණ සැදැහැතියේත්, සිල්වත් වූයේත්, බහුශ්‍රුත වූයේත්, ධර්‍මකථික වූයේත්, පරිසාවචර වූයේත්, විශාරද වූයේත්, පිරිස්හි දහම් දෙසනුයේ වේ ද, රූපාවචර ධ්‍යානයන් ඉක්මවා ආරූප්‍ය වූ යම් ඒ ශාන්තවිමෝක්‍ෂ කෙනෙක් වෙත් නම් ඒ අරූපාවචර ධ්‍යානයන් නාමකායයෙන් ස්පර්‍ශ කොට වාසය කරයි ද, ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට එළඹ වෙසෙත් ද, මෙසේ හෙතෙමේ ඒ අඞ්ගයෙන් පරිපූර වෙයි.
මහණෙනි, මේ දහම් අටින් සමන්‍වාගත මහණ සමන්තපාසාදිකත් වෙයි. සර්‍වාකාර පරිපූරත් වේ යයි.
8. 2. 8. 3.
ප්‍රථම මරණසති සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදික නම් ගම්හි ගිඤ්ජකාවස්ථයෙහි (ගඩොළුමුවා පායෙහි) වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භගවත් හට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, භාවිත, බහුලීකෘත මරණානුස්මෘතිය මහත්ඵල වෙයි, මහානිශංස වෙයි, අමෘතයට බැස සිටියා වෙයි. අමෘතය කෙළවර කොට ඇත්තේ ද වෙයි. මහණෙනි, තෙපි මරණසී වඩව් දැයි.
මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: මම මරණානුස්මෘතිය වඩමැයි කියා යි.
මහණ, තෝ කෙබඳු කෙසේ නම් මරණසී වඩනේ දැයි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: ‘මම එක් රෑදවාලක් ජීවත්වන්නෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න (ආර්‍ය්‍යමාර්‍ග ප්‍රතිවේධාවහ වූ අවවාදය) මෙනෙහි කරන්නෙම් නම් මාවිසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කරන ලද්දේ වෙයි, කියායි. වහන්ස, මම මෙසේ මරණානුස්මෘතිය වඩමි.
2. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමැ”යි කියා යි.
මහණ තෝ කෙසේ නම් මරණසී වඩනෙහි දැයි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: ‘මම දවසක් ජීවත් වෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කරන ලද්දේ වන්නේ ය කියා යි. වහන්ස, මෙසේ වනාහි මම මරණානුස්මෘතිය වඩමැ යි.
3. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමැ”යි කියා යි.
මහණ කෙසේ නම් තෝ මරණානුස්මෘතිය වඩනේ දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම අඩ දවසක් ජීවත් වෙම් නම් යෙහෙක, භගවත්හුගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මෙසේ වනාහි මම මරණානුස්මෘතිය වඩමි යි.
4. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය:
“වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩහි දැ යි? වහන්ස, මට මේ කරුණෙහි මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් එක් පිඬුවායක් (එක් දවසක් පමණ යැපෙන අහරක්) වළඳම් නම් එතෙක් කල් ජීවත්වන්නෙම් නම් මනාය. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් එකතින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේ වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමැ යි.
5. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය:
“වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ, තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් අඩ පිඬුවා වළඳම් නම් එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ වනාහි මම මරණ ස්මෘතිය වඩමි යි.
6. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩහි දැ යි?
වහන්ස, මට මෙහිලා මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් බත් සතර පස් පිඩක් සපා ගිලිම් ද, ඒ තාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් එකතින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේ වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමි යි.
7. අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණස්මෘතිය වඩමි”යි කියා යි. මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි?
වහන්ස, මට මෙහිලා මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් එක ආලෝපයක් සපා ගිලිම්ද, ඒතාක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමි යි.
8. අන්‍යතර මහණෙක් ද භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ ය: “වහන්ස, මමත් මරණානුස්මෘතිය වඩමි”යි කියා යි.
මහණ තෝ කෙසේ නම් මරණස්මෘතිය වඩන්නෙහි දැ යි? වහන්ස, මෙහිලා මට මෙබඳු සිතෙක් වෙයි: මම යම් පමණ කලෙකින් ආශ්වාස කොට හෝ ප්‍රශ්වාස කෙරෙම් ද, ප්‍රශ්වාස කොට හෝ ආශ්වාස කෙරෙම් ද, ඒතාක් කල් ජීවත්වන්නෙම් නම් යෙහෙක. භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණසකිස කෙළේත් වන්නේ ය කියා යි, වහන්ස, මම මෙසේ මරණස්මෘතිය වඩමි යි.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ එ මහණුනට තෙල වදාළ සේක: මහණෙනි, යම් මහණෙක් ‘එකතින් මම එක රෑ දවාලක් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේ ය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මහණෙක් මම දාවලක් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණ කෙනෙක් ‘මම එකතින් අඩදිනක ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිසා කෙළේ වන්නේය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් මම යම් පමණ කලෙකින් එක් පිඬුවායක් වළඳම් නම් එතෙක් කල් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේ යයි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් අඩපිඬුවායක් වළඳම් නම් ඒතාක් කල් ජීවත්වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් ඒකාන්තයෙන් බොහෝ ආත්මහිත මහණ කිසා කෙළේ වන්නේ ය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, යම් මේ මහණෙක් ‘මම යම් පමණ කලෙකින් බත් සතර පිඩක් පස් පිඩක් සපා ගිලිම් නම් එතෙක් ජීවත් වන්නෙම් නම් යෙහෙක, භාග්‍යවතුන් වහන්සේගේ සස්න මෙනෙහි කරන්නෙම් නම් මා විසින් එකතින් බොහෝ ආත්මහිත මහණකිස කෙළේ වන්නේ ය’යි මෙසේ මරණස්මෘතිය වඩනේ ද, මහණෙනි, මේ භික්‍ෂූහු ප්‍රමාදව වෙසෙති ද ආස්‍රවක්‍ෂය පිණිස ලැසිව මරණසතිය වඩත් යයි ද කියනු ලැබෙත්.