8. 2. 6. 7.
පඨම ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, දහම් අටෙකින් යුතු මහණ සිවුපසය පිළිගැනීමට සුදුසු වෙයි, ආගන්තුක දානාදියට සුදුසු වෙයි. පරලොව අදහා දෙන දානයට සුදුසු වෙයි, ඇඳිලිබැඳීමට සුදුසු වෙයි, ලොවට අසදෘස පුණ්‍යක්‍ෂේත්‍ර වේ.
කවර අටෙකින යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සික පදයන් හි හික්මෙයි, බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටි (ප්‍රඥා) යෙන් මොනොවට පිළිවිදියේ වෙයි, කල්‍යාණ සහායයන් ඇත්තේ කල්‍යාණයනට නැඹුරු වූයේ කල්‍යාණ මිත්‍ර වෙයි, සම්‍යක් දර්‍ශනයෙන් සමන්‍වාගත වූයේ සම්‍යක්දෘෂ්ටික වෙයි, ඉහාත්මයෙහි සුඛ විහරණ ඇති අධිචිත්තයෙහි උපන් සිවුදැහැන් කැමැති සේ ලබන සුලු වූයේ සුවසේ ලබන සුලු වූයේ විපුලසේ ලබන සුලු වූයේ වෙයි, අනේකවිධ වූ පූර්‍වනිවාසය සිහි කරන්නේ ය. කෙසේ ය යත්: එක් දැයකුදු දෙ දැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ නන් වැදෑරුම් පූර්‍වනිවාසය සිහි කරයි. විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැසින් ... කම් වූ පරිදි පරලොව ගිය සත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවක්‍ෂයයෙන් ... ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ වෙසේ. මහණෙනි, මේ අට දහමින් සමන්‍වාගත වූ මහණ ආහුනෙය්‍ය වෙයි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ යයි.
8. 2. 6. 8.
දෙවැනි ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටදහමෙකින් සමන්‍වාගත මහණ ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර අටෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ සිල්වත් වෙයි ... සමාදන් කොට ගෙන සිකපදයන්හි හික්මෙයි, බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට පිළිපිදියේ වෙයි, ඇරඹු වැර ඇතියේ වීර්‍ය්‍යස්ථාමයෙන් යුක්ත වූයේ දළ පැරකුම් ඇතියේ කුශල ධර්‍මයන් කෙරෙහි නො බහා තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වෙසෙයි: ප්‍රාන්ත ශයනාසන ඇතියේ ආරණ්‍යක වෙයි, අරති හා රති හා ඉවසනුයේ වෙයි, උපන් අරතිය මැඩ මැඩ වෙසේ, භය හා භෛරව හා ඉවසනුයේ උපන් අරතිය මැඩ මැඩ වෙසේ, අධිචිත්තයෙහි උපන් දිටුදැහැමියෙහි සුඛ විහරණ වූ සතර ධ්‍යානයන් කැමතිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුලසේ ලබනුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් ... පසක් කොට එයට එළඹ වාසය කරයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ.
8. 2. 6. 9.
ප්‍රථම අට්ඨපුග්ගල සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙත්, පාහුනෙය්‍ය වෙත්, දක්ඛිණෙය්‍ය වෙත්, අඤ්ජලිකරණීය වෙත්, ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්. කවර අටදෙනෙක යත්:
සෝතාපන්නය, සෝවන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, සකදාගාමීය, සකදාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය, අනාගාමී ය, අනාගාමිඵල පසක් කිරීමට පිළිපන්නේ ය. රහත් ය, රහත්ඵල පසක් කිරීමට පිළිපන්නේ යි. මහණෙනි, මේ අෂ්ට පුද්ගලයෝ ආහුනෙය්‍ය වෙති ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.
1. සතර මඟට පිළිපන්නාහු ය, සතර ඵලයෙහි සිටියහ යන තෙල සඞ්ඝ තෙමේ ඍජු වූයේ ප්‍රඥා ශීල සමාධියෙන් යුක්ත වූයේ ය.
2. දන් දෙන මිනිස්නට පින් කැමති ප්‍රාණීන්හට උපධිවිපාක ඇති (ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති වශයෙන් සැප විපාක දෙන) පින් කරනුවට සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වෙයි.
8. 2. 6. 10.
ද්විතීය අට්ඨපුග්ගල සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ පුද්ගලයෝ අටදෙනෙක් ආහුනෙය්‍ය වෙත් ... ලෝකයට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වෙත්. කවර අට දෙනෙක යත්: සෝතාපන්න ය, සෝවන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, සකදාගාමීය. සකදාගාමීඵල පසක් කිරීමට පිළිපන්නේ ය; අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, රහත් ය, රහත්ඵල පසක් කිරීමට පිළිපන්නේයි. මහණෙනි, මේ පුද්ගලයෝ අට දෙන ආහුනෙය්‍ය වෙත් ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙත්.
1. මාර්‍ගයට පිළිපන් සතර දෙනෙක් ද ඵලයෙහි පිහිටි සතර දෙනෙක් ද යන පුද්ගලයෝ අට දෙනෙක් වෙත්. සත්ත්‍වයනට මෙය උත්කෘෂ්ට සඞ්ඝ වෙයි.
2. දන් දෙන මිනිස්නට පින් කැමති සත්නට උපධිවිපාක ඇති පින් කරනුවට මේ සඞ්ඝයා කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේයයි.
සවැනි ගෝතමී වර්‍ගය යි.
එහි උද්දානය:
ගෝතමී සූත්‍රය, ඕවාද සූත්‍රය, සඞ්ඛිත්ත (ගෝතමීයො වාද) සූත්‍රය, දීඝජාණු (ව්‍යග්ඝපජ්ජ) සූත්‍රය, උජ්ජය සූත්‍ර ය, භය (කාමාධි වචන) සූත්‍ර ය, ආහුනෙය්‍ය සූත්‍ර දෙකය අට්ඨපුග්ගල සූත්‍ර දෙක දැයි සූත්‍ර දශයෙකි.
7. චාපාල වර්‍ගය
8. 1. 7. 1.
ලාහිච්ඡා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ලොව්හි විද්‍යාමාන මේ පුද්ගලයෝ අටදෙනෙක් ඇත. කවර අටදෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රකර්‍ෂ විවේකයට ගිය (කිසිවක්හි) අයත් පැවැතුම් නැතිව වෙසෙන (විදර්‍ශනා කම්මික) මහණහට ප්‍රත්‍යය ලාභය පිණිස ඉච්ඡායෙක් උපදී. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍යය කරයි, ඝටයි, වැර කරයි. ලාභය සඳහා උත්‍ථාන වීර්‍ය්‍යය කරන, ඝටනා කරන, ව්‍යායාම කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක කරන්නේ ය, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරන්නේ ය, ළෙහි අත් පැහැර හඬනේ ය, සම්මෝහයට පැමිණේ. මහණෙනි, මෙ මහණ ලාභයට ඉච්ඡා ඇති ව වසයි, ලාභය පිණිස උත්‍ථානවීර්‍ය්‍ය කරයි, ඝටයි, වෑයම් කරයි, (ඉච්ඡිතය) නො ලබන සුලු වූයේ ශෝක කරනුයේ පරිදේවනා කරනුයේ සද්ධර්‍මයෙන් (විදර්‍ශනායෙන්) ච්‍යුත වූයේ යි කියනු ලැබේ.
2. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්තව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍ය කරයි, ඝටයි, ව්‍යායාම කරයි. උත්‍ථාන වීර්‍ය්‍ය කරන, ඝටන, ව්‍යායාම කරන ඔහට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත්වෙයි, ප්‍රමත්ත වෙයි, ප්‍රමාදයට පැමිණෙයි. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසේ. ලාභයට උත්‍ථාන වීර්‍ය්‍ය කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභී වූයේත් මදැතියේත් ප්‍රමාදී වූයේත් සද්ධර්‍මයෙන් ච්‍යුත වූයේත් වී යයි කියනු ලැබේ.
3. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වසන අයත් නැති පැවතුම් ඇති මහණහට ලාභය පිණිස ඉච්ඡායෙක් උපදනේය. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍යය නොකරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස වැර නො කරන, ඝටනා නො කරන, ව්‍යායාම නො කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක කරයි, ක්ලාන්ත වෙයි, පරිදේවනා කරයි, ළෙහි අත්පැහැරැ හඬයි, සම්මෝහයට පැමිණේ. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතියේ වෙසේ. උත්‍ථාන වීර්‍ය්‍ය නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. නො ද (ඉච්ඡිතය) ලබන සුලුයේ ශෝක කරනුයේ ද පරිදේවනා කරනුයේ ද සද්ධර්‍මයෙන් ච්‍යුත වූයේ ද වේ යයි කියනු ලැබේ.
4. මහණෙනි, මේ සස්නෙහි ප්‍රවිවික්ත ව වසන අයත් පැවතුම් නැති ව වෙසෙන මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභයට උත්‍ථානවීර්‍ය්‍යය නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්‍ථානවීර්‍ය්‍ය නො කරන, නො ඝටන, ව්‍යායාම නො කරන ඔහට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත් වෙයි. ප්‍රමත්ත වෙයි. ප්‍රමාදයට යෙයි. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇතිවැ වෙසෙයි. උත්‍ථානවීර්‍ය්‍ය නො කරයි, නොඝටයි, ව්‍යායාම නො කරයි. ලාභී වූයේත් මදැතියේ ද ප්‍රමාදී ද සද්ධර්‍මයෙන් හුණුයේ දැයි කියනු ලැබේ.
5. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්තව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභයට ඉච්ඡායෙක් උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍ය කරයි, ඝටයි, ව්‍යායාම කරයි. ලාභය පිණිස උත්‍ථානවීර්‍ය්‍යය කරන, ඝටනා කරන, වෑයම් කරන ඔහට ලාභය නූපදනේ ය. හේ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නොකරයි. ළෙහි පැහැර නො හඬයි, සම්මෝහයට නො යේ. මහණෙනි, මේ මහණ ලාභයට ඉච්ඡා ඇති වැ වෙසේ. ලාභය පිණිස උත්‍ථාන වීර්‍ය්‍ය කෙරේ, ඝටනා කෙරේ, ව්‍යායාම කෙරේ, ලාභී නො වූයේ ශෝක නො කරනුයේ යයි ද, පරිදේවනා නො කරන සුලු යේ යයි ද, සද්ධර්‍මයෙන් ච්‍යුත නො වූයේ යයි ද කියනු ලැබේ.
6. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභය පිණිස ඉච්ඡා උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන කරයි, ඝටයි, වෑයම් කරයි. ලාභය පිණිස උත්‍ථාන කරන, ඝටනා කරන, ව්‍යායාම කරන ඔහට ලාභය උපදනේ ය. හේ ලාභයෙන් මත් නො වෙයි, ප්‍රමත්ත නො වෙයි, ප්‍රමාදයට නො වෙයි. මහණෙනි, මේ මහණ, ලාභයට ඉච්ඡා ඇතියේ වෙසෙයි, ලාභය පිණිස උත්‍ථාන කෙරේ, ඝටනා කෙරේ, ව්‍යායාම කෙරේ. ලාභී වූයේත් මද නැතියේ යයි ද ප්‍රමාද නැතියේ යයි ද සද්ධර්‍මයෙන් අච්‍යුත යයි ද කියනු ලැබේ.
7. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභය පිණිස ඉච්ඡා උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන නො කරයි, ඝටනා නොකරයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්‍ථාන නො කරන, ඝටනා නො කරන, ව්‍යායාම නො කරන ඔහට ලාභය නූපදනේ ය. හේ ඒ අලාභයෙන් ශෝක නො කරයි, ක්ලාන්ත නො වෙයි, පරිදේවනා නො කරයි, ළය තළමින් නො හඬයි, සම්මෝහයට නො යේ. මහණෙනි, මෙ මහණ ලාභය පිණිස ඉච්ඡා ඇතියේ වෙසේ. උත්‍ථාන නො කෙරේ, ඝටනා නො කෙරේ, ව්‍යායාම නො කෙරේ. ලාභී නො වූයේත් ශෝක නො කරන සුලුයේ යයි ද පරිදේවනා නො කරන සුලු යයි ද සද්ධර්‍මයෙන් අච්‍යුත යයි ද කියනු ලැබේ.
8. මහණෙනි, මෙ සස්නෙහි ප්‍රවිවික්ත ව වෙසෙන අයත් පැවතුම් නැති මහණහට ලාභය පිණිස ඉච්ඡා උපදනේ ය. හේ ලාභය පිණිස උත්‍ථාන නො කරයි, නො ඝටයි, ව්‍යායාම නො කරයි. ලාභය පිණිස උත්‍ථාන නො කරන, ඝටනා නො කරන, ව්‍යායාම නො කරන ඔහට ලාභය උපදනේ ය. හේ ඒ ලාභයෙන් මත් නො වෙයි, පමා නො වෙයි, ප්‍රමාදයට නො යෙයි. මහණෙනි, මේ මහණ ලාභය පිණිස ඉච්ඡා ඇතියේ වෙසේ, ලාභය පිණිස උත්‍ථාන නො කෙරේ, ඝටනා නො කෙරේ, ව්‍යායාම නො කෙරේ, ලාභී වූයේත් මද නැතියේ යයි ද ප්‍රමාද නැතියේ යයි ද සද්ධර්‍මයෙන් අච්‍යුත යයි ද කියනු ලැබේ.
මහණෙනි, මේ ලෝකයෙහි විද්‍යාමාන පුද්ගලයෝ අට දෙන වෙත් යයි.
8. 1. 7. 2.
අලං සූත්‍රය
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, කරුණු සයෙකින් සමන්‍වාගත මහණ තමහට (හිත ප්‍රතිපත්තියෙහි ලා) සුදුසු වෙයි, පරහට (හිත ප්‍රතිපත්තියෙහි ලා) සුදුසු වෙයි, කවර සයෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ (ස්කන්‍ධ, ධාතු, ආයතනාදි) කුසලධර්‍මයන්හි වහා උපධාරණ කරන්නේත් වෙයි, ඇසූ දහමුන් දරන සැහැවි ඇත්තේත් වෙයි, දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේත් වෙයි, අරුත් දැන පෙළ දහම් දැන ධර්‍මානු ධර්‍මයට පිළිපන්නේත් වෙයි, සුන්‍දර වාග්ඝෝෂ ඇතියේ නො පැකුළුණු නිදොස් නො ගිලිහුණු අර්‍ත්‍ථ විඥාපනයෙන් යුත් පිරිපුන් තෙපුලින් සමන්‍වාගත වූයේ කල්‍යාණ කථා ඇතියේ වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරනුයේ සමුත්තේජනා කරනුයේ සම්ප්‍රහර්‍ෂණ කරනුයේ කරුණු දක්වනුයේත් වෙයි. මහණෙනි, මෙ ස කරුණින් සමන්‍වාගත මහණ තමහට (හිත ප්‍රතිපත්ති පිණිස) සුදුසු වෙයි, පරහට (හිත ප්‍රතිපත්ති පිණිස) සුදුසු වේ.
2. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත වූ මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු වෙයි. කවර පසෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල ධර්‍මයන්හි වහා උපධාරණ කරනුයේ නො ම වෙයි. ඇසූ දහම් දරන සැහැවි ඇතියේ, දැරූ දහමුන්ගේ අරුත් විමසා දන්නේත් වෙයි, අටුවා දැන, පෙළ දහම් දැන, ධර්‍මානු ධර්‍මයෙහි පිළිපන්නේත් වෙයි. අර්‍ත්‍ථවිඥාපනයට හිත වූ ... කල්‍යාණකථා ඇතියේ වෙයි, සබ්‍රම්සරුනට සමාදන් කරනුයේ සමුත්තේජනා කරනුයේ සම්ප්‍රහර්‍ෂණ කරනුයේ සන්‍දර්‍ශක ද වෙයි. මහණෙනි, මේ දහම් පසින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු වේ.
3. මහණෙනි, සිවු කරුණෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නො වේ. කවර සතරෙකින් යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුශල ධර්‍මයන්හි ඛිප්පනිස්සන්ති ද වෙයි. ඇසූ දහමුන් දරන සැහැවි ඇතියේත් වෙයි. දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේත් වෙයි. අටුවා දැන පෙළ දම් දැන ධර්‍මානු ධර්‍මයට පිළිපන්නේත් වෙයි. නො පැකුළුණු නිදොස් නො ගිලිහුණු, අරුත් හඟවන පිරිණු වදනින් සමන්‍වාගත වූයේ කල්‍යාණ වාග්ඝෝෂ ඇතියේ කල්‍යාණ කථා ඇත්තේ ද නො වෙයි. සබ්‍රම්සරුන්ට සමාදන් කරවන සමුත්තේජන කරන සම්ප්‍රහර්‍ෂණ කරන සන්‍දශර්‍ක ද නො වෙයි. මහණෙනි, මේ සිවු කරුණින් සමන්‍වාගත මහණ තම හට සුදුසු වෙයි. පරහට සුදුසු නො වේ.
4. මහණෙනි, සතර කරුණෙකින් සමන්‍වාගත මහණ පරහට (හිත පිළිවෙත් පිණිස) සුදුසු වෙයි, තමහට (හිත පිළිවෙත් පිණිස) නො සුදුසු වෙයි. කවර සතරෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුශල ධර්‍මයන්හි ඛිප්පනිසන්ති ද වෙයි. ඇසූ දහම් දරන සැහැවි ඇතියේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් විමසනුයේ නො වෙයි, අටුවා දැන පෙළ දම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේත් නො වෙයි, සොඳුරු වදන් ඇතියේ සුන්‍දර වාග් ඝෝෂ ඇතියේ ... අරුත් හැඟවීමට සුදුසු තෙපුලින් සමන්‍වාගත වූයේ ... කල්‍යාණ කථා ඇතියේ වෙයි, සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක ද වෙයි. ... මහණෙනි, මේ සතර දහමින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වේ.
5. මහණෙනි, දහම් තුනෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි, පරහට සුදුසු නො වෙයි. කවර තුනෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති ද නො වෙයි, දැරූ දහමුන් දරන සැහැවි ඇතියේ ද වෙයි, දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනුයේ ද වෙයි, අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මයෙහි පිළිපදනේත් වෙයි, කලණ තෙපුල් ඇතියේ අරුත් හැඟවීමට සුදුසු වුහුටු නිදොස් වූ නො ගිලිහුණු අරුත් ඇති අර්‍ත්‍ථවිඥාපනයෙන් යුක්ත වූ සොඳුරු වචනයෙන් සමන්‍වාගත වූයේ කළ්‍යාණවාක් ඇතියේ වෙයි. සබ්‍රම්සරුනට කරුණු සමාදන් කරවන, මොනොවට තෙද ගන්වන සම්ප්‍රහර්‍ෂණය කරන සංදර්‍ශකයෙක් ද නො වෙයි. මහණෙනි, මේ තුන් කරුණෙන් සමන්‍වාගත ව මහණ තමාට හිත පිණිස සුදුසු වෙයි, පරහට හිත පිණිස සුදුසු නො වෙයි.
6. මහණෙනි, කරුණු තුනෙකින් සමන්‍වාගත වූ මහණ මෙරමාහට සුදුසු වෙයි, තමහට සුදුසු නොවෙයි. කවර තුනෙකින යත්:
මහණ, මෙ සස්නෙහි මහණ, කුසල් දහම්හි ඛිප්පනිසන්ති නොම වෙයි, ඇසූ දහමුන් දරන සැහැවිද වේ. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනුයේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්තියට නො පිළිපන්නේත් වෙයි ... අරුත් හැඟවීමට හිත ... කලණ වදන් ඇතියේත් වෙයි. සබ්‍රම්සරුනට සමාදන් කරවන, සමුත්තේජනා කරවන, සම්ප්‍රහර්‍ෂණය කරන සන්‍දර්‍ශකයෙක් ද වෙයි. මහණෙනි, මේ දහම් තුනෙන් සමන්‍වාගත මහණ මෙරමාහට යෝග්‍ය වෙයි, තමහට අයෝග්‍ය වෙයි.
7. මහණෙනි, කරුණු දෙකෙකින් සමන්‍වාගත මහණ තම හට සුදුසු වෙයි. පරහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත් .
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති නො වෙයි, ඇසූ දහම් දරන සැහැවි ඇතියේත් නො වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සන්නේ වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේත් වෙයි ... අරුත් හැඟවීමට සුදුසු ... කලණ වදන් ඇතියේ නොවෙයි. සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක ද නො වෙයි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත මහණ තමහට සුදුසු වෙයි. පරහට සුදුසු නොවෙයි.
8. මහණෙනි, දහම් දෙකෙකින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි, තමහට සුදුසු නො වෙයි. කවර දෙකෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ කුසල් දහම්හි ඛිප්පනිසන්ති නො ම වෙයි. ඇසූ දහමුන් දරන සැහැවි ඇතියේත් නො වෙයි. දැරූ දහමුන්ගේ අරුත් පිරික්සනුයේත් නො වෙයි. අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේත් නො වෙයි. සුන්‍දර කථා ඇතියේ වුහුටු නිදොස් නො ගිලිහුණු අරුත් හඟවන සොඳුරු වදනින් සමන්‍වාගත වූයේ කලණ වදන් ඇතියේ වෙයි. සබ්‍රම්සරුනට සන්‍දර්‍ශක වූයේ සමාදන් කරවන්නේ උත්තේජනා කරන්නේ සම්ප්‍රහර්‍ෂණය කරන්නේ වෙයි. මහණෙනි, මේ දහම් දෙකින් සමන්‍වාගත මහණ පරහට සුදුසු වෙයි. තමහට සුදුසු නො වෙයි.
8. 1. 7. 3.
සඞ්ඛිත්තදේසිත සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ ය:
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලා වූයෙම් සඞ්ගණිකායෙන් දුරු වූයෙම් නො පමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන් කෙරේ යැවූ සිත් ඇතියෙම් වෙසෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් එ දහම් දෙසන සේක් නම් මැනැවැ යි.
මෙ ලොව්හි ඇතැම් හිස් පුඟුලෝ මෙ ලෙසින් ම මට අධ්‍යෙෂණ කෙරෙත්. දහම් දෙසූ කල්හිත් මා ම ලුහුබැඳිය යුතු කොට හඟිත්.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දම් දෙසන සේක්වා, සුගතයන් වහන්සේ සැකෙවින් දහම් දෙසන සේක්වා, භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයේ අර්‍ත්‍ථය මම දැන ගන්නෙම් නම් මනා මැනු. භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතයට මම දායාද වන්නෙම් නම් මනා මැනු.
මහණ, එ හෙයින් තොප මෙසේ හික්මිය යුතුය: මාගේ සිත මොනොවට පිහිටියේ අධ්‍යාත්මයෙහි ම සිටියෙක් වන්නේ ය. උපන් ලමු අකුශල ධර්‍මයෝ සිත මැඩ ගෙන නො ද සිටුනාහයි, මහණ තොප මෙසේ ම හික්මිය යුතුය.
මහණ, යම් කලෙක තොපගේ සිත මනාව සිටියේ අධ්‍යාත්මයෙහි සිටියේ වේද, උපන් ලමු අකුශල ධර්‍මයෝත් සිත මැඩගෙන නො සිටිනාහු වේ ද, මහණ, එකල්හි තා විසින් මෙසේ හික්මිය යුතු: මාගේ මෛත්‍රීචිත්තවිමුක්ති තොමෝ භාවිත වූවා බහුලීකෘත වූවා යානාවක්මෙන් කරන ලද වූවා වාස්තුවක් මෙන් කෘත වූවා සුපිහිටි වූවා මනාසේ වඩන ලද වූවා සුසමාරබ්ධ වූවා වන්නීය කියා යි. මහණ, තොප විසින් මෙසේ ම හික්මිය යුතු.
මහණ, යම් කලෙක තොප මේ සමාධිය මෙසේ වඩන ලද්දේ වේ ද බහුලීකෘත වේ ද, එකල්හි මහණ තොපි මේ සමාධිය සවිතර්‍ක කොට ද සවිචාර කොට ද වඩන්නහු, විචාරමාත්‍රවු අවිතර්‍ක කොට ද වඩන්නහු, අවිතර්‍ක කොට ද අවිචාර කොට ද වඩන්නහු, සප්‍රීතික කොට ද වඩන්නහු, නිෂ්ප්‍රීතික කොට ද වඩන්නහු, සුඛ සහගත කොට ද වඩන්නහු, උපේක්‍ෂා සහගත කොට ද වඩන්නහු ය.
මහණ, යම් කලෙක තොප විසින් මේ සමාධිය මෙසේ භාවිත වූයේ මොනොවට වඩනා ලදුයේ වේ ද, මහණ, එකල්හි තොප මෙසේ හික්මිය යුතු: මාගේ කරුණාචිත්ත විමුක්ති තොමෝ ... මාගේ මුදිතාචිත්ත විමුක්ති තොමෝ ... මාගේ උපේක්‍ෂාචිත්ත විමුක්ති තොමෝ භාවිත වූවා බහුලීකෘත වූවා යානීකෘත වූවා වස්තුකෘත වූවා අනුත්‍ථිත වූවා පරිචිත වූවා සුසමාරබ්ධ වූවා වන්නීය කියා යි. මහණ, තොප මෙසේ ම හික්මිය යුතු.
මහණ, යම් කලෙක තොප විසින් මේ සමාධිය මෙසේ භාවිතා වූයේ බහුල කරන ලද්දේ වේ ද, මහණ, එකල තොපි මේ සමාධිය සවිතර්‍ක කොටත් සවිචාර කොටත් වඩනහු, අවිතර්‍ක විචාරමාත්‍ර කොටත් වඩනහු, අවිතර්‍ක අවිචාරමාත්‍ර කොටත් වඩනහු, සප්‍රීතික කොටත් වඩනහු, නිෂ්ප්‍රීතික කොටත් වඩනහු, සුඛ සහගත කොටත් වඩනහු, උපේක්‍ෂා සහගත කොටත් වඩනහුය,
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ සුභාවිත වේ ද, මහණ, එ කල්හි තා විසින් මෙසේ හික්මිය යුතු: කයෙහි කය අනුව දක්නාසුලු වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් සම්‍යග්ඥාන ඇතියෙම් සිහි ඇතියෙම් පඤ්චස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යා දෞර්‍මනස්‍යයන් මැඩගෙන වෙසෙන්නෙමි යි කියා යි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු.
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලද්දේ බහුලීකෘත වේ ද, මහණ, තෝ එ කල්හි මේ සමාධිය සවිතර්‍ක සවිචාර කොටත් වඩනෙහි, අවිතර්‍ක විචාරමාත්‍ර කොටත් වඩනෙහි, අවිතර්‍ක අවිචාර කොටත් වඩනෙහි, සප්‍රීතික කොටත් වඩනෙහි, නිෂ්ප්‍රීතික කොටත් වඩනෙහි, සුඛ සහගත කොටත් වඩනෙහි, උපේක්‍ෂා සහගත කොටත් වඩනෙහි.
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ සුභාවිත වේ ද, මහණ, එකල තා විසින් මෙසේ හික්මිය යුතු: වේදනාවන්හි ... චිත්තයෙහි ... ධර්‍මයන්හි ධර්‍මානුදර්ශී වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනා කොට දන්නෙම් සිහි ඇතියෙම් ලෙව්හි අභිධ්‍යා දෞර්‍මනස්‍යයන් මැඩගෙන වෙසෙන්නෙමි යි කියායි. මහණ, තා විසින් මෙසේ ම හික්මිය යුතු.
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ බහුලීකෘත වේ ද, මහණ, එකල තෝ මේ සමාධිය සවිතර්‍ක සවිචාර කොටත් වඩනෙහි, අවිතර්‍ක විචාරමාත්‍ර කොටත් වඩනෙහි, අවිතර්‍ක අවිචාර කොටත් වඩනෙහි, සප්‍රීතික කොටත් වඩනෙහි, නිෂ්ප්‍රීතික කොටත් වඩනෙහි, සුඛ සහගත කොටත් වඩනෙහි, උපේක්‍ෂා සහගත කොටත් වඩනෙහි.
මහණ, යම් කලෙක තා විසින් මේ සමාධිය මෙසේ වඩන ලදුයේ සුභාවිත වේ ද, මහණ, එකල තෝ යම් යම් ම තැනෙක යෙහි නම් සුවසේ ම යෙහි, යම් යම් ම තැනෙක සිටුනෙහි නම් සුවසේ ම සිටුනෙහි. යම් යම් ම තැනෙක හිඳුනෙහි නම් සුවසේ ම හිඳුනෙහි, යම් යම් ම තැනෙක ශය්‍යා කෙරෙහි නම් සුවසේ ම ශය්‍යා කරන්නෙහි යී.
එකල්හි ඒ මහණ එකලා වූයේ සඞ්ගණිකායෙන් දුරු වූයේ අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙනුයේ නොබෝ කලෙකින් ම කුලපුත්හු යමක් පිණිස මොනොවට ගිහිගෙන් නික්ම පැවිද්දට වදනාහු නම් ඒ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍ය පර්‍ය්‍යවසාන කොට ඇති රහත්ඵලය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ජාතිය ක්‍ෂීණ විය. බඹසර වසනා ලද, සිවුමඟ කටයුතු කරන ලද, මේ රහත් බව් පිණිස (කටයුතු) අනිකෙක් නැතැයි මොනොවට දත්තේ ය. ඒ මහණ රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් ද විය.
8. 1. 7. 4.
අධිදේවඤාණදස්සන සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා නගර සමීපයෙහි ගයාශීර්‍ෂයෙහි වෙසෙන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
1. මහණෙනි, මම සම්බෝධියෙන් පූර්‍වයෙහි අභිසම්බුද්ධ නො වූයෙම් ම බෝසත් වූයෙම් අවභාසයක් (දිවැස් නුවණ එළියක්) ම හඳුනමි. රූපයන් නො දක්මි.
2. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම අවභාසයත් හැඳින ගන්නෙම් රූපයන් ද දක්නෙම් නම් මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය (දිවැස් නුවණ නමැති දැකීම) පරිශුද්ධතර වන්නේ ය කියා යි. මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් නිවනට මෙහෙය වූ සිතැති ව වසන්නෙම් අවභාසය ද හඳුනමි. රූ ද දක්මි. ඒ දෙවියන් හා නො ද සිටිමි, සල්ලාප නො කරමි, සාකච්ඡාවට නො පැමිණෙමි.
3. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම අවභාසයත් දන්නෙම් නම් රූ ද දක්නෙම් ඒ දෙවියන් හාත් සිටුනෙම් සල්ලාප කරන්නෙම් සාකච්ඡාවට පැමිණෙම් නම් මෙසේ මාගේ මේ ඥානය දර්‍ශනය පරිශුද්ධතර වන්නේ ය කියා යි.
මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම් ආතාප ඇතියෙම් ප්‍රහිතාත්ම ව වෙසෙන්නෙමි අවභාසයත් හඳුනමි, රූ ද දකිමි, ඒ දෙවියන්හාත් සිටිමි, සල්ලාප කරමි, සාකච්ඡාවට පැමිණෙමි මෙ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙන් පත් වූහයි ඒ දේවතාවන් නො දනිම්.
4. මහණෙනි, ඒ මට තෙල සිත විය: ඉදින් මම් අවභාසයත් හඳුනන්නෙම් රූත් දන්නෙම් ඒ දෙවියන්හාත් සිටුනෙම් සල්ලාප කරනෙම් සාකච්ඡාවට පැමිණෙම් නම් මේ දේවතාවෝ අසෝ දේවනිකායෙන් පැමිණියහයි ඒ දෙවියන් ද දන්නෙම් නම් මෙසේ මාගේ මේ ඥාන දර්‍ශනය පරිශුද්ධතර වන්නේ ය කියා යි.
මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම්, ආතාප ඇතියෙම් ප්‍රහිතාත්මව වසන්නෙම් අවභාසයත් හඳුනමි, රූත් දක්මි, ඒ දේවතාවන් හාත් සිටිමි, සල්ලාප කරමි සාකච්ඡාවට පැමිණෙමි ...
5. මේ දේවතාවෝ අසෝ දේවනිකායෙන් පැමිණියහ යි ඒ දෙවියනුත් දනිමි. මේ දේවතාවෝ මෙ නම් කර්‍මයක්හුගේ විපාකයෙන් මෙයින් සැව එහි උපන්හ යි ඒ දෙවියන් නො දනිමි. මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්හ යි ඒ දේවතාවනුත් දනිම්. ඒ දේවතාවනුදු ‘මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳින්නාහු’යයි නො දනිමි ...
6. මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙබඳු ආහාර ඇත්තාහු මෙ බඳු සුවදුක් විඳිනාහු යයි ඒ දේවතාවනුදු දනිමි. ...
7. මේ දේවතාවෝ මෙබඳු දීර්‍ඝායුෂ ඇත්තාහු මෙසේ චිරස්ථිකහ යි ඒ දේවතාවන් නො දනිමි. මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තාහ මෙසේ චිරස්ථිකයහ යි ඒ දෙවියනුදු දනිමි. මේ දෙවියන් සමග මා (එකතුව) විසූ විරූ දැයි කියා හෝ නො විසූ විරූ දැයි කියා හෝ ඒ දෙවියන් නො දනිමි.
8. මහණෙනි, ඒ මට මෙ සිත විය: ඉදින් මම අවභාසයත් හඳුනන්නෙම් නම්, රූ ද දක්නෙම් නම්, ඒ දෙවියන් සමග සිටුනෙම් නම්, සල්ලාප කෙරෙම් නම්, සාකච්ඡාවට පැමිණෙම් නම්, ඒ දෙවියනුත් මේ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙන් පැමිණියහ යි දන්නෙම් නම්, මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙයින් සැව එහි උපන්හ යි ඒ දෙවියනුත් දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳිනාහු යයි ඒ දේවතාවන් දන්නෙම් නම්, මේ දේවතාවෝ මෙසේ දීර්‍ඝායුෂ ඇත්තාහු මෙසේ චිරස්ථිකයහ යි ඒ දේවතාවන් ද දන්නෙම් නම්, මේ දෙවියන් සමග (මා එකතුව) විසූ විරූ දැ යි කියා හෝ නො විසූ විරූ දැයි කියා හෝ ඒ දෙවියනුදු දන්නෙම් නම් මෙසේ මාගේ මේ ඥානදර්‍ශනය පරිශුද්ධතර වන්නේ යයි.
මහණෙනි, ඒ මම අපරසමයෙහි අප්‍රමත්ත වූයෙම් ආතාප ඇතියෙම් ප්‍රහිතාත්ම ව වසන්නෙම් අවභාසයත් හඳුනමි. රූ ද දකිමි, ඒ දේවතාවන් සමඟත් සිටිමි. සල්ලාප කරමි. සාකච්ඡාවට වදිමි.
මේ දේවතාවෝ අසෝ අසෝ දේවනිකායෙනැයි ඒ දෙවියනුත් හඳුනමි. මේ දේවතාවෝ මේ කර්‍මයාගේ විපාකයෙන් මෙයින් ච්‍යුත වූවාහු එහි උපන්හ යි ඒ දේවතාවන් ද දනිමි. මේ දේවතාවෝ මෙබඳු ආහාර ඇත්තාහු මෙබඳු සුවදුක් විඳුනාහු යයි ඒ දේවතාවන්ද දනිමි, මේ දේවතාවෝ මෙබඳු දීර්‍ඝායුෂ ඇතියාහු මෙසේ චිරස්ථිකයහ යි ඒ දෙවියනුත් දනිමි, මේ දේවතාවන් සමග මා විසූ විරූ දැයි හෝ නො විසූ විරූ දැයි හෝ කියාත් ඒ දේවතාවන් ද දනිමි.
මහණෙනි, යම්තාක් මෙසේ අෂ්ටපරිවර්‍ත (දිවැස් ආදි නුවණ අටෙක පෙරැළියක්) ඇති මාගේ අධිදේව ඥානදර්‍ශනය සුවිශුද්ධ නො වී ද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමි යි පිළින නො කෙළෙමි. මහණෙනි, යම් කලෙක පටන් අෂ්ටපරිවර්‍ත ඇති මාගේ අධිදේව ඥානදර්‍ශනය සුවිසුද්ධ වී නම්, මහණෙනි, එ කල්හි මම සදේවක සමාරක සබ්‍රහ්මක ලොව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක් සම්බෝධිය අභිසම්බුද්ධයෙමැ යි පිළින කෙළෙමි. මාගේ ඥානදර්‍ශනයත් උපන: “මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය. මේ අන්තිම ජාතිය ය, දැන් පුනර්‍භවයෙක් නැතැ”යි.
8. 1. 7. 5.
අභිභායතන සූත්‍රය
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ අභිභායතනයෝ (සතුරු දහම් හා අරමුණු මඩින කරුණු) අට දෙනෙකි. කවර අටදෙනෙක යත්: අධ්‍යාත්මරූපයෙහි (පරිකර්‍ම වශයෙන්) රූප සංඥා ඇත්තේ එකෙක් නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපායතන දක්නේ ය. ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ ප්‍රථම අභිභායතනය යි.
2. අධ්‍යාත්මයෙහි රූපසංඥා ඇත්තේ එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ දෙවන අභිභායතනය යි.
3. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ එකෙක් නො වැඩූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපයන් දකියි, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ තෘතීය අභිභායතනය යි.
4. අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ එකෙක් අප්‍රමාණ වූ සුවර්‍ණ දුර්වර්‍ණ බාහිර රූපයන් දක්නේ ය, ඔවුන් මැඩගෙන දන්මි දක්මි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ චතුර්‍ත්‍ථ අභිභායතනය යි.