Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 12001-12100 න් 15980

ආනන්‍දය, ඉදින් මහාප්‍රජාපතී ගෝතමී අෂ්ට ගුරුධර්‍මයන් පිළි ගන්නී නම් ඇයට එම උපසම්පදා වේවා යි.
1. “උපසපන් සියක්වස් ඇති මෙහෙණ විසිනුදු එදින උපසපන් මහණක්හට අභිවාදන, ප්‍රත්‍යුත්‍ථාන, අඤ්ජලිකර්‍ම, සාමීචිකර්‍ම කළ යුතු ය. මෙ දහමත් සකසා ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
2. මෙහෙණ විසින් ඔවා දෙන මහණක්හු නැති ආවාසයෙහි වස් නො එළැඹිය යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
3. අඩමසක් පාසා මෙහෙණ විසින් බික් සඟන කෙරෙන් පෙහෙවස් පිළිවිසුම ය, ඔවා පිණිස එළැඹුම් ය යන දහම්හු දෙදෙන කැමති විය යුතුවහ. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.
4. වස් වුසූ මෙහෙණ විසින් උභතෝ සඞ්ඝයා කෙරෙහි දැකීමෙන්, ඇසීමෙන්, පරිසඞ්කායෙන් යන තුන් තැනෙකින් පැවරිය යුතු ය. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.
5. ගරු ඇවැත් අවන් මෙහෙණ විසින් උභතෝසඞ්ඝයා කෙරෙහි පක්‍ෂමානත් පිරිය යුතු ය. මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්ම විය යුතු.
6. දෙවසක් දහම් සයෙක හික්මුණු ශික්‍ෂා ඇති සික්ඛමානාව විසින් උභතෝසඞ්ඝයා කෙරෙහි උපසම්පත් සෙවිය යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
7. කිසි කරුණෙකිනුදු මෙහෙණ මහණ විසින් ආක්‍රෝශ පරික්‍රෝෂ නොකට යුතු. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
8. ආනන්‍දය, අද පටන් කොට මහණුන් කෙරෙහි මෙහෙණන්ගේ (අවවාදානුශාසන ධර්‍ම කථා සඞ්ඛ්‍යාත) වචනපථය වැසිණ. මහණුන්ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණ. මේ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නොයික්ම විය යුතු.
ආනන්‍දය, ඉදින් මහාපජාපතී ගෝතමී මේ අෂ්ට ගුරු ධර්‍මය පිළිගන්නී නම් ඇයට උපසම්පත් එයම වේවයි.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භගවතුන් හමුයෙහි මේ අෂ්ට ගුරුධර්‍මයන් ඉගෙන මහාපජාපතී ගෝතමිය වෙත එළඹියහ. එළඹ මහාපජාපතී ගෝතමියට තෙල කීහ:
ගෝතමිය, ඉදින් තෙපි අෂ්ටගුරුධර්‍මයන් පිළිගන්නවු නම් තොපට උපසපුව එ ම වෙයි.
උපසපන් සියක් වස් ඇති මෙහෙණ විසින් එදින උපසපන් මහණහට අභිවාදන ප්‍රත්‍යුත්‍ථාන, අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම කළ යුතු ය. මෙ දහම ද සකස් කොට, ගුරු කොට, බුහුමන් කොට පූජා කොට දිවිහිමියෙන් නො ඉක්මිවියයුතු ... අද පටන් මෙහෙණන්ගේ වචනපථය මහණුන් කෙරෙහි වැසිණි. මහණුන් ගේ වචනපථය මෙහෙණන් කෙරෙහි නො වැසිණි, මෙ දහම ද සකස් කොට ගුරු කොට බුහුමන් කොට පූජා කොට දිවි හිමියෙන් නොයික්ම විය යුතු ය.
ගෝතමිය, ඉදින් තෙපි මේ අෂ්ට ගුරු ධර්‍මයන් පිළිගන්නවු නම් තොපට උපසපුව එ ම වන්නේ ය.
වහන්ස, ආනන්‍දයෙනි, යම් සේ තුරුණු වූ යොවුන් බවට පත් සැරසුම් සැහැවි කොට ඇති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස් සැනැහුයේ උපුල් මල්දමක් වේව යි සමන්මල්දමක් වේව යි යොහොඹුමල්දමක් වේවයි ලැබගෙන දෙ අතින් පිළිගෙන උත්තමාඞ්ගය වූ සිරස්හි පිහිටුවන්නේ වේ ද, වහන්ස, එපරිදි ම මම් දිවිහිමියෙන් නොඉක්මවිය යුතු මෙ අෂ්ට ගුරු ධර්‍මයන් පිළිගනිමි.
ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:
වහන්ස, මහාප්‍රජාපතී ගෝතමිය විසින් දිවිහිමියෙන් නො ඉක්මිය යුතු අෂ්ටගුරු ධර්‍මයෝ පිළිගන්නා ලදහ යි.
ආනන්‍දය, ඉදින් මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද නො ලැබූ නම්, ආනන්‍දය සස්න චිරස්ථිතික විය. (අධිගම) සද්ධර්‍මය වර්‍ෂසහස්‍රයක් ම සිටුනේ ය. ආනන්‍දය, යම් හෙයකින් මාගම තථාගතප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම සස්නට වැදගත්තී ද, ආනන්‍දය, දැන් බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වේ. ආනන්‍දය, දැන් (අධිගම) සද්ධර්‍මය පස්වාසියක් ම සිටුනේ ය.
ආනන්‍දය, යම් පරිදි බොහෝ ස්ත්‍රීන් ඇති අල්පපුරුෂයන් ඇති යම් කිසි කුලයෝ වෙත් නම් ඒ කුලයෝ කුම්භත්‍ථේනක (කුඹුයෙහි පහන් දල්වා ඒ එළියෙන් ගෙයි බඩු සොයා සොරකම් කරන) සොරුන් විසින් පහසුයෙන් නැසිය හැකි වෙත් ද, ආනන්‍දය, එපරිදි ම යම් ධර්‍ම විනයෙක් මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.
ආනන්‍දය, යම් පරිදි සම්පන්න ශාලික්‍ෂේත්‍රයක (පණුවන් විදීමෙන් හටගන්නා) සේතට්ඨිකා නම් ශෂ්‍යරෝග ජාතියෙක් උපදනේ ද, එසේ ඇතිවත් ම ඒ ශාලික්‍ෂෙත්‍රය චිරස්ථිතික නො වේ ද, ආනන්‍දය, එපරිදි ම යම් ධර්‍මවිනයෙක් මාගම ගිහිගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා ද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.
ආනන්‍දය, යම් පරිදි සමෘද්ධ වූ උක්කෙතෙක (උක් ගස තුළ රතුවන) මඤේජට්ඨකා නම් ඉක්‍ෂු රෝගයෙක් උපදනේ ද, එසේ වත්ම ඒ ඉක්‍ෂු ක්‍ෂේත්‍රය චිරස්ථිතික නො වේ ද, ආනන්‍දය, එපරිදි ම යම් ධර්‍මවිනයෙක මාගම ගිහි ගෙන් නික්ම අනගාරිය පැවිද්ද ලබා නම් ඒ බ්‍රහ්මචර්‍ය්‍යය චිරස්ථිතික නො වෙයි.
ආනන්‍දය, යම් පරිදි පුරුෂයෙක් මහත් තඩාගයක්හුගේ නියර (දිය නො බැස යනු පිණිස කැල ම), බඳනේ වේ ද, ආනන්‍දය, එ පරිදි ම මා විසින් කැල ම මෙහෙණනට දිවිහිමියෙන් නො ඉක්මවිය යුතු අෂ්ට ගුරුධර්‍මයෝ පණවන ලදහ යි.
8. 2. 6. 2.
භික්ඛුනෝවාදක සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි මහාවනයෙහි වූ කූටාගාරශාලාවෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළහ:
වහන්ස, කෙතෙක් කරුණින් සමන්‍වාගත මහණ මෙහෙණනට ඔවා දෙනුයේ සම්මත කටයුත්තේ දැ යි?
ආනන්‍දය, මෙහෙණනට ඔවා දෙන මහණ කරුණු අටෙකින් සමන්‍වාගත වූයේ සම්මත කටයුතු ය. කවර අටෙකින යත්:
ආනන්‍දය, මෙ සස්නෙහි මහණ සිල්වත් වෙයි ... සිකපද විෂයෙහි මොනොවට ගෙන හික්මෙයි. බහුශ්‍රුත වෙයි ... දෘෂ්ටියෙන් මොනොවට සුප්‍රතිවිද්ධය. ඔහු විසින් උභය ප්‍රාතිමොක්‍ෂයෝ විස්තර විසින් ස්වාගත (මනාසේ ප්‍රගුණ) වෙති. (සූත්‍ර වශයෙන් අනුව්‍යඤ්ජන වශයෙන්) මොනවට විභාග කරන ලද්දාහු (ආවර්‍ජන කළ තන්හි) මොනොවට පැවත්තා හු මොනොවට විනිශ්චය කරන ලද්දා හු වෙති. කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ වාක්කරණ (සුන්‍දර වචන ඝෝෂ) ඇත්තේ වෙයි, පළිබෝධ (බාධා) නැති නිර්දෝෂ වූ අර්‍ත්‍ථවින්‍යාසයට (අරුත් හඟවන්නට) පොහොසත් පරිපූර්‍ණ වචනයෙන් සමන්‍වාගත වෙයි, මෙහෙණ සඟනට දැහැමි කථායෙන් කරුණු දක්වන්නට සමාදන් කරවන්නට තෙද ගන්වන්නට සතුටු කරවන්නට ප්‍රතිබල වෙයි, බෙහෙවින් මෙහෙණනට ප්‍රිය වෙයි, මන වඩන්නේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වූ කහවත් හඳනා මෙහෙණක හා කායසංසර්‍ගයට නො පැමිණිවිරූ වෙයි, විසි වස් පිරුණේ හෝ විසි වසින් වැඩි සිටියේ හෝ වේ.
ආනන්‍දය, මෙහෙණනට ඔවා දෙන මහණ මේ කරුණු අටින් සමන්‍වාගත වූයේ සම්මත කටයුතු යි.
8. 2. 6. 3.
සංක්‍ෂිප්ත ගෝතමියොවාද සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි මහා පජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹුණා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නා ය. එකත් පසෙක හුන් මහාපජාපතී ගෝතමී භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළා ය:
වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා (කාය ගණ ආදියෙන්) වෙන් වූයෙම් නො පමා වූයෙම් වැර ඇතියෙම් නිවනට මෙහෙයූ සිතැතියෙම් වෙසෙම් ද, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් ඒ දහම් දෙසන සේක් නම් මැනැව.
ගෞතමිය, තෙපි ‘මේ දහම්හු සරාගය පිණිස වැටෙති, විරාගයට නො වැටෙත්; සංසාර සංයෝගයට වැටෙති, විසංයෝගයට නො වැටෙත්, සසර වඩනට පවතිති, නො වඩනට නො පවතිත්, මහිච්ඡතා පිණිස පවතිති, අප්පිච්ඡතා පිණිස නො පවතිත්, අසන්තුට්ඨිය පිණිස පවතිති, සන්තුට්ඨිය පිණිස නො පවතිත්, සඞ්ගණිකාව පිණිස පවතිති, ප්‍රවිවේකය පිණිස නො පවතිත්, කුසීත භාවය පිණිස පවතිති, වීර්‍ය්‍යාරම්භය පිණිස නො පවතිත්, දුෂ්පෝෂණය පිණිස පවතිති, සුපෝෂණය පිණිස නො පවතිත් යයි යම් දහමුන් දන්නෙහි ද, ගෝතමිය, ඒකාන්තයෙන් ‘මේ දහම නො වෙයි, මේ විනය නො වෙයි, මේ ශාස්තෘ ශාසනය නො වේ’ යයි දරව.
ගෝතමිය, තෙපි “මේ ධර්‍මයෝ විරාගයට වැටෙති, සරාගයට නො වැටෙති; විසංයෝගයට වැටෙති, සංයෝගයට නො වැටෙති; වට නො වඩනට වැටෙති, වට වඩනට නො වැටෙති, අප්පිච්ඡතාවට වැටෙති, මහිච්ඡතාවට නො වැටෙති; සංතුට්ඨියට වැටෙති, අසංතුට්ඨියට නො වැටෙති; ප්‍රවිවේකයට වැටෙති, සඞ්ගණීකාවට නො වැටෙති; වීර්‍ය්‍යාරම්භයට වැටෙති, කුසීත භාවයට නො වැටෙති; සුභරතාවට වැටෙති, දුහරතාවට නො වැටෙත්’යයි දන්නවු නම්, ගෝතමිය, ඒකාන්තයෙන් තෙල ධර්‍මය වෙයි, තෙල විනය වෙයි, තෙල ශාස්තෘ ශාසනය වේ යයි දරව යි.
8. 2. 6. 4.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් වූ කෝලියයන්ගේ නියම්ගම්හි වෙසෙන සේක. එකල්හි දීඝජාණු නම් කෝලිය පුත්‍ර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හින. එකත් පසෙක හුන් දීඝජාණු කෝලියපුත්‍ර තෙමේ භගවත්නට තෙල සැල කළේ ය.
වහන්ස, ගෘහස්ථ කාමභෝගී වන අපි පුත්‍රදාරයන් විසින් සම්බාධ ඇති සයනයෙහි වසන්නෙමු. කසීසළු හා සඳුන් වළඳ කරම්හ, මල්ගඳවිලෙවුන් දරම්හ, රන් හා රිදී හා ඉවසම්හ; වහන්ස, ඒ අපට යම් දහම් කෙනෙක් අපගේ ඉහාත්මයෙහි හිත පිණිස ඉහාත්මයෙහි සුව පිණිස, පරලොව්හි සැප පිණිස වන්නාහු නම් එලෙසින් දහම් දෙසන සේක් වා.
ව්‍යාඝ්‍රපද්‍යය, මේ සතර දහම් කෙනෙක් කුලපුත්හුගේ ඉහාත්ම භාවයෙහි හිත පිණිස, ඉහාත්මභාවයෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්: උත්‍ථාන සම්පත් ය, ආරක්‍ෂා සම්පත් ය, කල්‍යාණමිත්‍රතාව ය, සමජීවිකතා ය යනුයි.
1. ව්‍යාඝ්‍රපද්‍යය, උත්‍ථානසම්පත් කවර යත්; ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ කෘෂිකර්‍මයෙන් වේවායි වණික්කර්‍මයෙන් වේවයි, ගෝරක්‍ෂායෙන් වේවයි, දුනුවාකමින් වේවයි, රාජපුරුෂ භාවයෙන් වේවයි, අන්‍යතර ශිල්පයෙකින් වේවයි, යම්බඳු වූ ම කර්‍මාන්තයෙකින් ජීවිකා කෙරෙයි නම්, එහි අනලස් වූයේ තත්‍රෝපාය වීමංසායෙන් සමන්‍වාගත වූයේ කරන්නට සමත් වූයේ සංවිධානයට සමත් වූයේ දක්‍ෂ වෙයි. ව්‍යාඝ්‍රපද්‍යය, මේ උත්‍ථානසම්පත් යයි කියනු ලැබේ.
2. ව්‍යාඝ්‍රපද්‍යය, ආරක්‍ෂාසම්පත් කවර යත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් හට උත්‍ථානවීර්‍ය්‍යයයෙන් ලබන ලද බාහුබලයෙන් රැස් කරන ලද ඩහදිය හෙළා උපදවන ලද දැහැමි වූ දැහැමින් ලද භෝගයෝ වෙත්. ඔහු ආරක්‍ෂායෙන් ගෝපනයෙන් ‘මාගේ භෝගයන් රජවරු කිමැ හැර නො ගනිත් ද, සොරු පැහැර නො ගනිත් ද, ගින්න නො දවා ද, දිය හෝ ගසාගෙන නො යේ ද, අප්‍රිය බන්‍ධූහු නො ගනිත් දැයි ආරක්‍ෂායෙන් ගෝපනයෙන් පිළියෙළ කර තබයි. ‘ව්‍යාඝ්‍රපද්‍යය, මේ ආරක්‍ෂාසම්පත් යයි කියනු ලැබේ.
3. ව්‍යාඝ්‍රපද්‍යය, කල්‍යාණමිත්‍රතාව කවරයත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත් තෙමේ යම් ගමෙක වේවයි නියම් ගමෙක වේවයි වෙසේ නම් එහි ගෘහපති වේවයි ගෘහපති පුත්‍ර වේවයි ළදරු වූ වෘද්ධ ස්වාභාව ඇත්තාහු වෙත්වයි, වෘද්ධ ස්වභාව ඇති වෘද්ධයෝ වෙත්වයි යම් ඒ ශ්‍රද්ධාසම්පන්න වූවාහු ශීලසම්පන්න වූවාහු ත්‍යාගසම්පන්න වූවාහු ප්‍රඥාසම්පන්න වූවාහු වෙත් නම් ඔවුන් හා සමඟ සිටුනේ ය, සල්ලාප කරන්නේ ය, සාකච්ඡාවට පැමිණෙන්නේ ය, යම් බඳු වූ ශ්‍රද්ධාසම්පන්නයන් ගේ ශ්‍රද්ධාසම්පත් අනුව හික්මෙයි. යම්බඳු ශීලසම්පන්නයන් ගේ ශීලසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. යම්බඳු ත්‍යාගසම්පන්නයන් ගේ ත්‍යාගසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි: යම්බඳු ප්‍රඥාසම්පන්නයන් ගේ ප්‍රඥාසම්පත් වේ නම් ඒ අනුව හික්මෙයි. ව්‍යාඝ්‍රපද්‍යය, මේ කල්‍යාණමිත්‍රතා යි කියනු ලැබේ.
4. ව්‍යාඝ්‍රපද්‍යය, සමජීවිකතා කවර යත්: ව්‍යාඝ්‍රපද්‍යය, මෙ ලොව්හි කුලපුත්‍ර තෙමේ භෝගයන් ගේ අයදු දැන, භෝගයන් ගේ වැයදු දැන ඉමහත් ද නො වූ ඉතා පහත් ද නො වූ සම දිවිපැවැත්ම කෙරෙයි. මෙ ලෙසින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යය අය ගෙවා නො සිටුනේ යයි කියා යි.
ව්‍යාඝ්‍රපද්‍යය, යම් සේ තුලාව දරන්නෙක් වේවයි, තුලා දරන්නකුගේ අතවැසියෙක් වේව යි තුලාව ඔසවා ගෙන මෙ පමණෙකින් අවනත මෙපමණකින් උන්නත වේයයි දන්නේ ද, ව්‍යාඝ්‍රපද්‍යය, එ පරිද්දෙන් ම කුලපුත් තෙමේ භෝගයන් ගේ අයත් දැන භෝගයන්ගේ වැයත් දැන ඉමහත් ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි. මෙ සෙයින් මාගේ අය ව්‍යය ගෙවා සිටුනේ ය, මාගේ ව්‍යයය අය ගෙවා නො සිටුනේ ය කියා යි.
ව්‍යාඝ්‍රපද්‍යය, ඉදින් මේ කුලපුත් තෙමේ අල්පවූ අය ඇතියේ ම උදාරව ජීවිකා කෙරේ නම්, ඔහට ‘මෙ කුලපුත් දිඹුල් කෑමක් සෙයින් භෝගයන් වළඳන්නේ ය’යි කියන්නාහු වෙත්. ව්‍යාඝ්‍රපද්‍යය, ඉදින් මේ කුලපුත් මහත් වූ අය ඇතියේ ම අල්පව ජීවිකා කරන්නේ නම් ඔහට ‘මෙ කුල පුත් අනාථ මරණයෙන් මැරෙන්නකු සෙයින් මැරෙන්නේ ය’යි කියන්නෝ වෙති.
ව්‍යාඝ්‍රපද්‍යය, යම්හෙයකින් කුලපුත්‍ර භෝගයන්ගේ අය ද සලකා භෝගයන්ගේ වැය ද සලකා ඉතා මහත් නොව ඉතා හීන නොව සම ව ජීවිකාව කෙරේ ද, මෙ සෙයින් මාගේ අය විය ම මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය ආදායම මැඩගෙන නො ද සිටුනේ ය යි. ව්‍යග්ඝපජ්ජය, මේ සමජීවිකතා යී කියනු ලැබේ.
ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයනට අපාය මුඛයෝ සතර දෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි, පවිටු යහළුවන් ඇති පාපසහායයන් ඇති පවිටනට බෙහෙවින් නැඹුරු වූ වෙක් වෙයි. ව්‍යග්ඝපජ්ජය, යම්සේ මහත් තඩාගයකට සතර ආයමුඛ (ආගමාන මාර්‍ග) කෙනෙක් ද සතර අපායමුඛ (විනාශ මාර්‍ග) කෙනෙක් ද වෙත් නම් පුරුෂයෙක් ඒ තඩාගයාගේ යම්බඳු අයමුඛ වෙත් නම් ඔහු වසාලන්නේ වෙයි. යම්බඳු අපායමුඛ කෙනෙක් වෙත් නම් ඔහු විවර කෙරෙයි. මේඝය ද මොනවට වැසී දහර නො වස්වන්නේ වෙයි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ ඇති කල්හි ඒ මහත් තඩාගයට හානියෙක් ම කැමැති විය යුතු, වෘද්ධියෙක් කැමති නො විය යුතු. ව්‍යග්ඝපජ්ජය, එ පරිදි ම මෙසේ උපන් භෝගයනට සතර අවාමුඛ කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි පවිටු මිතුරන් ඇතියේ පවිටු යහළුවන් ඇතියේ පවිටු මිතුරනට නැඹුරු වූවෙක් වෙයි.
ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයනට සතර අයමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධුර්‍ත නො වෙයි, සුරාධූර්‍ත නො වෙයි, අක්‍ෂධූර්‍ත නො වෙයි, කළණ මිතුරන් ඇති කළණ යහළුවන් ඇති කළණ යහළුවනට නැඹුරු වූවෙක් වෙයි. ව්‍යග්ඝපජ්ජය, යම් පරිදි මහත් වූ තඩාගයකට සතර ආයමුඛ කෙනෙක් ද සතර අපායමුඛ කෙනෙක් ද වෙත් නම් පුරුෂයෙක් ඒ තඩාගයාගේ යම් ආයමුඛයෝ වෙත් නම් ඒ විවර කෙරෙයි. යම් අපායමුඛ කෙනෙක් වෙත් නම් ඒ වසා තබන්නේ වෙයි, මේඝය ද මොනොවට වැසිදහර වස්වන්නේ වෙයි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ ඇති කල්හි ඒ මහාතඩාගයා ගේ වෘද්ධියෙක් ම කැමැති විය යුතු යි, පරිහානියෙක් නො වෙයි. ව්‍යග්ඝපජ්ජය, එපරිදි ම මෙසේ උපන් භෝගයනට සතර අයමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත නො වෙයි, සුරාධූර්‍ත නො වෙයි, අක්‍ෂධූර්‍ත නො වෙයි කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති කළණයනට නැඹුරු වූවෙක් වෙයි.
ව්‍යග්ඝපජ්ජය, මේ සතර දහම්හු කුලපුත්හුගේ දිටුදැමියෙහි හිත පිණිස දැටුදැමියෙහි සුව පිණිස පවතිත්.
ව්‍යග්ඝපජ්ජය, මේ සතර ධර්‍ම කෙනෙක් කුලපුත්හුගේ පරලොව්හි හිත පිණිස, පරලොව සුඛ පිණිස පවතිත්, කවර සතරධර්‍ම කෙනෙක් යත්: සද්ධාසම්පදා සීලම්පදා චාගසම්පදා පඤ්ඤාසම්පදා යි.
5. ව්‍යග්ඝපජ්ජය, සද්ධාසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි. තථාගතයන් ගේ බෝධිය හදහයි: මෙ කරුණෙනුදු ඒ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ යි. ව්‍යග්ඝපජ්ජය, මේ සද්ධාසම්පදා යි කියනු ලැබෙයි.
6. ව්‍යග්ඝපජ්ජය, සීලසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් වැළකියේ වෙයි, අයිනාදනින් වැළකියේ වෙයි, කාමයෙහි මිසහසරින් වැළකියේ වෙයි, මුසවායෙන් වැළකියේ වෙයි, මද පමා දෙකට කරුණු රහමෙරින් වැළැක්කේ වේ. ව්‍යග්ඝපජ්ජය, මේ සීලසම්පදා යි කියනු ලැබේ.
7. ව්‍යග්ඝපජ්ජය, චාගසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් දුරු කළ මසුරුමල ඇති සිතින් මිදූ ත්‍යාග ඇත්තේ දීමට දෙවු අත් ඇත්තේ ව්‍යවසර්‍ගයෙහි (දානයෙහි) ඇලුණේ යදනට සුදුසු වූයේ දානසංවිභාගයෙහි ඇලුණේ ගිහිගෙයි වෙසෙයි. ව්‍යග්ඝපජ්ජය, මේ ත්‍යාගසම්පදා යි කියනු ලැබෙයි.
8. ව්‍යග්ඝපජ්ජය, පඤ්ඤාසම්පදා කවර යත්: ව්‍යග්ඝපජ්ජය, මෙ ලොව්හි කුලපුත් උදයව්‍යයව යන නිර්වේදය පිණිස පවත්නා මොනොවට දුක් කෙළවර කිරීම පිණිස පවත්නා ආර්‍ය්‍ය වූ ප්‍රඥාවෙන් සමන්‍වාගත වූයේ පැනවත් වෙයි. ව්‍යග්ඝපජ්ජය, මේ පඤ්ඤාසම්පදා යි කියනු ලැබේ.
ව්‍යග්ඝපජ්ජය, මේ සතර දහම්හු කුලපුත්හු ගේ සම්පරාය හිත පිණිස සම්පරාය සුඛ පිණිස පවත්නාහ යි.
1. කර්‍මාන්ත කරන තන්හි උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තේ නො පමා වූයේ සංවිධාන ඇත්තේ සමජීවිකා කෙරෙයි, සපයන ලද්ද රක්නේ ය.
2. සැදැහැතියේ සිල්සපන් වූයේ යැදි වදන් දන්නේ පහ වූ මසුරු මල ඇතියේ සුඛ දායක වූ සාම්පරායික මාර්‍ගය නිතර පිරිසිදු කෙරෙයි.
3. මෙසේ තෙල අටදහම්හු සැදැහැති ගිහියාගේ දෙලොව සුව එළවත් යයි අවිතථ නම් බුදුන් විසින් පවසන ලදහ.
4. දිටුදැමියෙහි හිත පිණිස ද පරලොව්හි සුව පිණිස ද මෙසේ ත්‍යාගය තෙමේ ගෘහස්ථයනට තෙල පින් වඩන්නේ යයි.
8. 2. 6. 5.
උජ්ජය සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි උජ්ජය බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව නිමවා එකත්පසෙක හින, එකත්පසෙක හුන් උජ්ජය බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, අපි ප්‍රවාසයට (පිටත වාසයට) යනු කැමැත්තම්හ. යම් හෙයෙකින් අපට දිටුදැමියෙහි හිත පිණිස දිටුදැමියෙහි සුව පිණිස සම්පරායෙහි හිත පිණිස සම්පරායෙහි සුව පිණිස ධර්‍ම කෙනෙක් වෙත් නම් භාග්‍යවතුන් වහන්සේ එසේ අපට දහම් දෙසන සේක් ව යි.
බමුණ, මේ සතර දහම්හු කුලපුත්හු ගේ දිටුදැමියෙහි හිත පිණිස දිටුදැමියෙහි සුව පිණිස පවත්නාහ. කවර සතර දෙනෙක යත්:
උට්ඨානසම්පදා ය, ආරක්ඛසම්පදා ය, කල්‍යාණමිත්තතා ය, සමජීවිකතා යි.
1. බමුණ, උට්ඨානසම්පදා කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් සීසෑමෙන් වේවයි, වෙණදහමින් වේවයි, ගෙරිරැක්මෙන් වේවයි, දුනුවාකැමින් වේවයි රාජසෙවායෙන් වේවයි අන්‍යතර ශිල්පයෙකින් වේවයි යම්බඳු වූ කර්‍මාන්තයෙකින් ජීවිකා කෙරේ නම් එහි අනලස් වූයේ තත්‍රෝපායවිමංසායෙන් සමන්‍වාගත වූයේ දක්‍ෂ වෙයි. කිරීමට සමත් වෙයි. සංවිධානයට සමත් වෙයි. බමුණ, මේ උට්ඨානසම්පදා යි කියනු ලැබේ.
2. බමුණ, ආරක්ඛසම්පදා කවර: බමුණ, මෙලොව්හි කුලපුත්හට උත්‍ථානවීර්‍ය්‍යයෙන් ලබනලද බාහුබලයෙන් රැස්කරන ලද ඩහදිය වැගිරවීමෙන් උපයන ලද දැහැමි වූ දැහැමින් ලද භෝගයෝ වෙත්. ඒ භොග ආරක්‍ෂායෙන් ගෝපනයෙන් පිළියෙළ කොට තබයි. කිමෙක, මාගේ භොග රජහු හැර නො ගනිත් නම්, සොරු පැහැර නො ගනිත් නම් ගිනි නො දවා නම්, වතුරු ගසාගෙන නො යේ නම්, අප්‍රිය බන්‍ධුහු පැහැර නොගනිත් නම් යෙහෙක කියායි. බමුණ, මේ ආරක්ඛසම්පදා යි කියනු ලැබේ.
3. බමුණ කල්‍යාණමිත්තතා නම් කවර: බමුණ මෙ ලොව්හි කුලපුත් යම් ගමෙක වේවයි නියම්ගමෙක වේවයි වෙසේ නම් එහි ගැහැවි හෝ ගැහැවිපුත්හු හෝ වෘද්ධශීලී දහරයෝ හෝ වෘද්ධශීලී වෘද්ධයෝ හෝ ශ්‍රද්ධා සම්පන්න වූවාහු සීලසම්පන්න වූවාහු ත්‍යාගසම්පන්න වූවාහු ප්‍රඥාසම්පන්න වූවාහු යම් ඒ කෙනෙක් වෙත් නම් ඔවුන් හා සමග සිටුනේ ය. සල්ලාප කරන්නේ ය. සාකච්ඡාවට එළඹෙන්නේ ය. යම් බඳු සැදැහැතියන්ගේ ශ්‍රද්ධාසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ශීලසම්පන්නයන්ගේ ශීලසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ත්‍යාගසම්පන්නයන්ගේ ත්‍යාගසම්පත් අනුව හික්මේ නම්, යම්බඳු ප්‍රඥාසම්පන්නයන්ගේ ප්‍රඥාසම්පත් අනුව හික්මේ නම් බමුණ මේ කල්‍යාණ මිත්තතා යි කියනු ලැබෙයි.
4. බමුණ, සමජීවිකතා කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් භෝගයන්ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩි ද නො වූ ඉතා හීන ද නො වූ සම වූ ජීවිකා කෙරෙයි, මෙසේ මාගේ අය තෙමේ වැය මැඩගෙන සිටුනේ ය. මාගේ වැය තෙමේ අය මැඩගෙන නො සිටුනේ ය කියා යි.
බමුණ, යම් පරිදි තුලා දරන්නෙක් වේවයි තුලා දරන්නකුගේ අතැවැස්සෙක් වේවයි තුලාව ගෙන මෙතෙකින් අවනතය මෙතෙකින් උන්නතය යි දන්නේ ද, බමුණ, එපරිදි ම කුලපුත් භෝගයන්ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩිත් නො වූ ඉතා හීනත් නො වූ සම වූ ජීවිකාව කෙරෙයි. මෙසේ මාගේ අය තෙමේ වැය මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය තෙමේ අය මැඩ ගෙන නො සිටුනේ ය කියායි.
බමුණ, ඉදින් මේ කුලපුත් අල්ප වූ අය ඇතිසේ ම උළාරව ජීවිකා කෙරේ නම් ‘ඔහට මෙ කුලපුත් දිඹුල් කනු සෙයින් භෝගයන් කා දමන්නේ ය’යි කියන්නාහු වෙත්.
බමුණ, ඉදින් මේ කුලපුත් මහත් අය ඇතියේ ම හීන ව ජීවිකා කෙර් නම් ඔහට ‘මේ කුලපුත් අනාථමරණයෙන් මැරෙන්නේ ය’යි කියන්නාහු වෙත්.
බමුණ, යම් හෙයෙකින් මේ කුලපුත් භෝගයන් ගේ අය ද දැන භෝගයන්ගේ වැය ද දැන ඉතා දැඩි නො වූ ඉතා හීන නො වූ සමජීවිකා කෙරේ ද, මෙසේ ඇති කල්හි මාගේ අය වැය මැඩ ගෙන සිටුනේ ය. මාගේ වැය අය මැඩ ගෙන නො සිටුනේ ය’යි බමුණ, මේ සමජීවිකතා යි කියනු ලැබේ.
බමුණ, මෙසේ උපන් භෝගයන්ගේ සතර අවාමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි. පාපමිත්‍රයන් ඇති පවිටු යහළුවන් ඇති පවිටනට නැඹුරු වූවෙක් වෙයි.
බමුණ, යම් පරිදි මහත් තඩාගයකට සතර අයමුව කෙනෙක් වෙත් ද, සතර අවාමුව කෙනෙකුත් වෙත් ද, පුරුෂයෙක් ඒ තඩාගයාගේ යම්බඳු අයමුව වෙත් නම් ඔවුන් වසා තබන්නේ ය. යම් අවාමුව කෙනෙක් වෙත් නම් ඔවුන් විවර කරන්නේ ය. මේඝය ද මොනොවට වැසිදහර නො වස්වන්නේ ය. මෙසේ ඇති කල්හි බමුණ, ඒ මහතඩාගයාගේ පරිහානිය ම කැමති විය යුතු, වෘද්ධියෙක් නො වේ.
බමුණ, එ පරිදි ම මෙසේ උපන් භෝගයනට අවාමුව සතරෙක් වේ: ස්ත්‍රීධූර්‍ත වෙයි, සුරාධූර්‍ත වෙයි, අක්‍ෂධූර්‍ත වෙයි. පවිටු යහළුවන් ඇති පවට නැඹුරු වූ පාපමිත්‍රයන් ඇතියෙක් වේ, බමුණ, මෙසේ උපන් භෝගයනට අයමුව සතරෙක් වෙයි: ස්ත්‍රීධුර්‍ත නො වේ, සුරාධූර්‍ත නො වේ. අක්‍ෂධූර්‍ත නො වේ. කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයනට නැඹුරු වූවෙක් වේ.
බමුණ, යම් පරිදි මහත් තඩාගයෙක් සතර අයමුව කෙනෙක් හා සතර අවාමුව කෙනෙක් හා වෙත් නම් පුරුෂයෙක් ඒ තඩාගයා ගේ යම් අයමුව වෙත් නම් විවර කෙරෙයි, යම් අවාමුව වෙත් නම් වසාලයි. මේඝයත් මොනොවට වැසි දහර වස්වන්නේ ය. බමුණ, මෙසේ ඇති කල්හි ඒ මහාතඩාගයාගේ වෘද්ධියෙක් ම කැමැති විය යුතු. පරිහානිය නො වේ. බමුණ, එපරිදි ම මෙසේ උපන් භෝගයන්ගේ සිව් අයමුව කෙනෙක් වෙත්: ස්ත්‍රීධූර්‍ත නො වෙයි ... කලණට නැඹුරු වූයේ වෙයි.
බමුණ, මේ සතර ධර්‍මයෝ කුලපුත්හුගේ දිටුදැමියෙහි හිත පිණිස දැටුදැමියෙහි සුව පිණිස පවතිත්.
බමුණ, මේ සතර දහම් කෙනෙක් කුලපුත්හු ගේ සම්පාරය හිත පිණිස සම්පරාය සුව පිණිස පවතිත්. කවර සතර දෙනෙක යත්: සද්ධා සම්පදාය, සීලසම්පදාය, චාග සම්පදාය, පඤ්ඤාසම්පදා යි.
5. බමුණ, සද්ධා සම්පදා නම් කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් සැදැහැතියේ වෙයි. තථාගතයන් ගේ බෝධිය හදහයි. මෙ කරුණෙනුදු ඒ භගවත්හු ... දෙවිමිනිස්නට ශාස්තෘ හ, සිවුසස් පිළිවිදියහ, භගවත්හ, කියා යි. බමුණ, මේ සද්ධාසම්පදා යි කියනු ලැබේ.
6. බමුණ, සීල සම්පදා නම් කවර: මෙ බමුණ, මෙ ලොව්හි කුලපුත් පණිවායෙන් වැළැකියේ වෙයි ... මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැක්කේ වෙයි. බමුණ, මේ සීල සම්පදා යි කියනු ලැබෙයි.
7. බමුණ, චාගසම්පදා නම් කවර: බමුණ, මෙ ලොව්හි කුලපුත් පහ වූ මසුරු මල ඇති සිතින් යුතුව මුදා ලූ ත්‍යාග ඇතියේ, දෙවූ අත් ඇතියේ ව්‍යවසර්‍ගයෙහි (දානයෙහි) ඇලුනේ යදනට සුදුසු වූයේ දානසංවිභාගයෙහි ඇලුනේ ගිහි ගෙයි වෙසෙයි. බමුණ, මේ චාගසම්පදා යි කියනු ලැබෙයි.
8. බමුණ, පඤ්ඤාසම්පදා නම් කවර: බමුණ, මෙ ලොව්හි කුල පුත් ... මැනැවින් දුඃඛක්‍ෂයට යන සුලු නුවණින් පැන ඇත්තේ වෙයි. බමුණ, මේ පඤ්ඤාසම්පදා යී කියනු ලැබේ.
බමුණ, මේ සතර දහම්හු කුල පුත්හුගේ සම්පරාය හිත පිණිස සම්පරාය සුව පිණිස පවත්නා හයි.
1. කර්‍මාන්ත කරන තන්හි උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තේ අප්‍රමත්ත වූයේ විධාන ඇත්තේ සමදිවි ගෙවයි. ඉපයූ දෑ දරන්නේ ය.
2. සැදැහැතියේ සිල් සපන් වූයේ යැදියන්ගේ වදන් දන්නේ පහ වූ මසුරු මල ඇතියේ සම්පරායට හිත වූ සුඛදායක මාර්‍ගය නිතර පිරිසුදු කෙරෙයි.
3. මෙසේ තෙල අටදහම් හු සැදැහැති ගිහිහුගේ දෙලෝ සුව එළවන්නාහ යි සත්‍ය වූ නම් ඇති බුදුන් විසින් පවසන ලදහ.
4. දිටුදැමියෙහි හිත පිණිස පරලොව සැප පිණිස ත්‍යාගය ගැහැවියන්ගේ තෙල පින මෙසේ වඩන්නේ යයි.
8. 2. 6. 6.
කාමාධිවචන සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, භය යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, දුක්ඛ යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, රෝග මෙය කාමයනට නමෙකි. මහණෙනි, ගණ්ඩ යන මෙය කාමයනට නමෙකි. මහණෙනි, සල්ල මෙය කාමයනට නමෙකි. මහණෙනි, සඞ්ග මෙය කාමයනට නමෙකි. මහණෙනි, පඞ්ක මෙය කාමයනට නමෙකි. මහණෙනි, ගබ්භ මෙය කාමයනට නමෙකි.
මහණෙනි, කවර හෙයින් භය යන මෙය කාමයනට නම් වේ ද යත්: මහණෙනි, යම් කරුණෙකින් කාමරාගයෙන් රත්වූ ඡන්‍දරාගයෙන් බැඳුණු මෙ පුඟුල් දිටුදැමියෙහි බියෙනුදු නො මිදෙයි. පරලොව්හි බියෙනුදු නොමිදේ. එහෙයින් භය යන මෙය කාමයනට නමෙකි.
මහණෙනි, කවර හෙයින් දුක්ඛ යන ... රෝග යන ... ගණ්ඩ යන ... සල්ල යන ... සඞ්ග යන ... ගබ්භ යන මෙය කාමයනට නම් වේ ද, යත්:
මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් රත් වූ ඡන්‍දරාගයෙන් බැඳුණු මෙ පුඟුල් දිටුදැමි ගැබිනුදු නො මිදේ, පරලෝ ගැබිනුදු නො මිදේ. එහෙයින් ගබ්භ යන මෙය කාමයනට නමෙකි.
1. භය ද දුක්ඛ ද රෝග ද ගණ්ඩ ද සල්ල ද සඞ්ග ද පඞ්ක හා ගබ්භ යන මේ දෙදෙන දැයි යන මොහු කාමය යයි කියනු ලැබෙත්. යම් තැනෙක පුහුදුන් සත්ත්‍ව තෙමේ ඇලුනේ ද එහෙයිනි.
2. සුඛස්වරූපයෙන් (කාම සුඛයෙන්) අවතීර්‍ණ වූයේ යළි (පුනර්‍භව සඞ්ඛ්‍යාත) ගර්‍භයට යෙයි. යම් කලෙක පටන් කෙලෙස් තවන වැර ඇති මහණ සම්‍යක්ප්‍රඥානය නො හරී ද-
3. එබඳු හේ මේ දුර්‍ග වූ පලිපය (සංසාර නැමැති මහමඩවළ) ඉක්මවා ජාති ජරායෙන් යුත් (තුන් භවයෙහි) සැලෙන ප්‍රජාව (විදසුන් නැණින්) දක්නේ යයි.