Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 11801-11900 න් 15980

5. උපෝසථ වර්‍ගය
8. 1. 5. 1.
සඞ්ඛිත්ත අට්ඨඞ්ගුපෝසථ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, අටඟෙකින් සමන්‍වාගත පෙහෙවස් වසන ලදුයේ මහත්ඵල ඇත්තේ වෙයි, මහානෘශංස ඇත්තේ වෙයි, මහත් බැබළීම් ඇත්තේ වෙයි, මහත් පැතිරීම් ඇත්තේ ද වෙයි.
මහණෙනි, කෙසේ වසනලද අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ද, මහානිසංස වේ ද, මහාද්‍යුතික වේ ද, මහා විස්ථාර වේ ද යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: “රහත්හු දිවිහිම් කොට ප්‍රාණඝාත හැර ප්‍රාණඝාතයෙන් වැළකියාහු බහා තැබූ දඬු ඇත්තාහු බහාතැබූ අවි ඇත්තාහු ලජ්ජා ඇත්තාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණීගණයා කෙරෙහි හිතානුකම්පා ඇති ව වසන්නාහ. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා හැර පණිවායෙන් වැළකියෙම් බහාතැබූ දඬු ඇතියෙම් බහාලු අවි ඇතියෙම් ලජ්ජා ඇතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණී ගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම් මේ අඞ්ගයෙනුදු රහතුන් අනුකරණ කෙරෙමි. මා විසින් පෙහෙවස් ද වසන ලද වනැ යි මේ පළමු අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
2. රහත්හු දිවිහිම් කොට අයිනාදන් හැර අයිනාදනින් වැළකියාහු දුන් දෑ ගන්නාහු දුන් දෑ කැමැති වන්නාහු නො සොර වූ පිවිතුරු සිතින් වසන්නාහ. මම් ද අද මේ රැයත් මේ දාවලත් අයිනාදන් හැරපියා අයිනාදනින් වැළැකියෙම් දුන් දැ ගන්නෙම් දුන් දෑ කැමැති වන්නෙම් නො සොර වූ පිවිතුරු වූ සිතින් වෙසෙමි. මම් මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙමි. පෙහෙවස් ද මා විසින් වසන ලද වනැ යි මේ දෙවන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
3. රහත්හු දිවිහිමියෙන් අබ්‍රම්සර හැර බ්‍රම්සර ඇත්තාහු (අබ්‍රහ්මචර්‍ය්‍යයෙන්) දුරු ව හැසිරෙන්නාහු ග්‍රාමධර්‍ම සඞ්ඛ්‍යාත මෙවුන්දමින් වැළකියාහු වෙසෙත්. මම ද අද මේ රැයත්, මේ දාවලත් අබ්‍රම්සර හැර බ්‍රම්සර ඇතියෙම් (අබ්‍රහ්මචර්‍ය්‍යයෙන්) දුරු වූ හැසුරුම් ඇතියෙම් ග්‍රාමධර්‍ම වූ මෙවුන්දමින් වැළකියෙම් වෙසෙමි. මම් මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙමි. මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ තෙවන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
4. රහත්හු දිවිහිම් කොට මුසාවාදය හැර මුසාවාදයෙන් වැළැකියාහු සත්‍යවචන කියන්නාහු ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නාහු තහවුරු ව පිහිටි කථා ඇත්තාහු ඇදැහිය යුතු කථා ඇත්තාහු ලොව නො රවටන්නාහු වෙත්. මම ද අද මේ රැයත් මේ දහවලත් මුසවා හැර මුසවායෙන් වැළැකියෙම් ඇත්ත කියන්නෙම් ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නෙම් ස්ථිර ව පිහිටි කථා ඇත්තෙම් ඇදැහිය යුතු කථා ඇත්තෙම් ලොව නො රවටන්නෙම් වෙමි. මම මේ කරුණින් ද රහතුන් අනුකරණ කෙරෙමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ සිවු වන කරුණින් සමන්‍වාගත වෙයි.
5. රහත්හු දිවිහිම් කොට මද ප්‍රමාදයට කරුණු වූ රහමෙර හැර මද ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකියාහු වෙත්. මම් ද මේ රැයත් මේ දාවලත් මද ප්‍රමාදයට කරුණු වූ රහමෙර හැර මද ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළැකියෙම් වෙමි. මම මේ කරුණිනුදු රහතුන් අනුකරණ කරමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ පස්වන අඞ්ගයෙන් යුතු වෙයි.
6. රහත්හු දිවිහිම් කොට එක් ම (පෙරවරු) බත ඇත්තාහු රාත්‍රි භෝජනයෙන් තොර වූවාහු විකල් බොජුනෙන් වැළැකියාහු වෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් එක භක්තික වූයෙම් රෑ බොජුනෙන් වැළැකියෙම් විකල් බොජුනෙන් වැළැකියෙම් වෙමි. මම මේ අඟිනුදු රහතුන් අනුකරණ කරමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ සවන අඟින් සමන්‍වාගත වෙයි.
7. රහත්හු දිවිහිම් කොට නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් යන මෙයින් ද මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳ ගැනුම අඩුතැන් පිරවීම ඡවිරාග කරණ යන මෙයට කරුණු වන දැයින් ද වැළැකියාහු වෙති. මම් ද මේ රැයත් දාවලත් නැටුම් ගැයුම් වැයුම් දස්නෙන් හා මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳගැනුම අඩුතැන් පිරවීම ඡවිරාග කරණය යන මෙයට කරුණු වන දැයින් ද වැළකියෙම් වෙමි. මම් මේ කරුණින් ද රහතුන් අනුකරණ කරමි, මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ සත්වන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
8. රහත්හු දිවිහිම් කොට (පමණ ඉක්ම වූ) උස් අසුන් (නො කැප වූ) මහ අසුන් හැර උසසුන් මහසුනින් වැළැකියාහු හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කෙරෙත්. මම ද අද මේ රැයත් දාවලත් උසසුන් මහසුන් හැර උසසුන් මහසුනින් වැළැකියෙම් හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරමි. මම් මේ අඞ්ගයෙනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් වසන ලද වනැ යි මේ අටවන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි.
මහණෙනි, මෙසේ අටඟින් යුත් පෙහෙවස් වසන ලදුයේ මහත් ඵල වෙයි. මහානෘශංස වෙයි. මහාද්‍යුතික වෙයි. මහා විස්ථාර වෙයි.
8. 1. 5. 2.
විත්‍ථත අට්ඨඞ්ගුපෝසථ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස් වසන ලදුයේ මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්‍යුතික වෙයි, මහාවිස්ඵාර වෙයි, මහණෙනි, අටඟින් සමන්‍වාගත පෙහෙවස කෙසේ වසනලදුයේ මහත්ඵල වේ ය, මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
මහණෙනි, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: රහත්හු දිවිහිමියෙන් පණිවා හැර පණිවායෙන් දුරු වූවාහු බහා තැබූ දඬු ඇත්තාහු බහා තැබූ සැත් ඇත්තාහු ලජ්ජායෙන් යුක්ත වූවාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණිගණයා කෙරෙහි හිතානුකම්පා ඇත්තාහු වෙසෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා හැර පණිවායෙන් දුරු වූයෙම් බහා තැබූ දඬු ඇතියෙම් බහා තැබූ සැත් ඇතියෙම් ලජ්ජා ඇත්තෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණිගණයා කෙරෙහි හිතානුකම්පා ඇත්තෙම් වෙසෙමි. මම් මේ කරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස වසනාලද වේ යයි මේ පළමුවන අඟින් සමන්‍වාගත වෙයි ...
රහත්හු දිවිහිමියෙන් උසසුන් මහසුන් හැර උසසුන් මහස්නෙන් වැළැකියාහු හැඳෙක වේවයි තණ ඇතිරියෙක වේවයි නීචශය්‍යා කෙරෙත්. මම ද මේ රැයත් මේ දාවලත් උසසුන් මහසුන් හැර උසසුන් මහස්නෙන් වැළැකියෙම් හැඳෙක වේවයි තණ ඇතිරියෙක වේවයි නීචශය්‍යා කරමි. මේ කරුණිනුදු මම් රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් ද වසන ලද වේ යයි. මේ අට වැනි කරුණින් සමන්‍වාගත වෙයි. මහණෙනි, මෙසේ අටඟින් යුත් පෙහෙවස වසන ලද්දේ මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්‍යුතික වෙයි. මහාවිස්ථාර වේ.
කොතෙක් මහත්ඵල වේය කෙතෙක් මහානෘශංස වේ ය, කෙතෙක් මහාද්‍යුතික වේ ය, කෙතෙක් මහා විස්ථාරවේ ය යත්:
මහණෙනි, යමෙක් යම්සේ අඞ්ග ය, මගධ ය, කාසී ය, කෝසල ය, වජ්ජී ය, මල්ල ය, චෙතී ය, වඞ්ක ය, කුරු ය, පඤ්චාල ය, මච්ඡ ය, සූරසේන ය, අස්සක ය, අවන්තී ය, ගන්‍ධාර ය, කම්බෝජ ය, යන නම් ඇති බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන් ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රජය කරවන්නේ නම්, තෙල අටඟින් යුත් පෙහෙවසුහුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එයට හේතු කවර යත්: මහණෙනි, දිව්‍ය සුඛය පිණිස මානුෂක රාජ්‍යය කෘපණ (දිළිඳු) වෙයි.
මහණෙනි, මිනිස්නට අයත් යම් මේ පනස් වසෙක් වේ නම් තෙල චාතුම්මහාරාජික දෙවියන්ගේ එක් රෑ දාවලෙක. එරැයින් තිස් රැයෙක් මසෙක: එ මසින් දොළොස් මසැතියේ හවුරුද්දෙක. එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් කරුණෙකින් මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව්‍යසුඛය සඳහා (ශාක්‍ෂ්‍ය කොට සලකා) මානුෂික රාජ්‍යය කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලද්දේ ය.
මහණෙනි, මිනිසුන් සතු සියක් හවුරුද්දෙක් වේ නම් තෙල තාවතිංස දෙවියන් ගේ එක් රෑ දාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මසෙක, එ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් දිව්‍යවර්‍ෂ සහස්‍රයෙක් තාවතිංස දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් කරුණෙකින් මෙලොව්හි කිසි ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තාවතිංස දෙවියන් ගේ සහවාසයට යේ නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි: මහණෙනි, දිව්‍ය සුඛය නිසා මිනිස් රජසිරි කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
මහණෙනි, මිනිසුන් පිළිබඳ යම් දෙසිය වසෙක් වේ නම් තෙල යාම දෙවියන්ගේ එක් රෑ දාවලෙකි. ඒ රැයින් තිස් රැයෙක් මාසයෙක. එ මසින් දොළොස් මස් ඇතියේ හවුරුද්දෙක. ඒ හවුරුදුයෙන් දිව්‍ය වූ දෙදහසෙක් හවුරුදු යාමදෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් කරුණෙකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස් වැස කාබුන් මරණින් මතු යාම දෙවියන්ගේ සහභාවසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව සැපත් නිසා මානුෂක රාජ්‍යය කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
මහණෙනි, යම් මානුෂක වූ හවුදුරු සාරසියෙක් වේ නම් තෙල තුසිත දෙවියනට එක් රෑ දාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මසෙක. එ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් දිව්‍ය වූ සාරදහස් හවුරුදුයෙක් තුසිත දෙවියන්ගේ ආයුප්‍රමාණ වේ. මහණෙනි, යම් හෙයකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පිරිම්නියෙක් වේවයි අටඟින්යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තුසිත දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව්‍යසුඛය නිසා මානුෂක රාජ්‍යය දිළිඳුය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
මහණෙනි, මානුෂක වූ යම් අටසිය හවුරුද්දෙක් වේ නම් නිම්මාණරතී දෙවියනට තෙල එක් රෑ දාවලෙක. එ රැයින් තිස් රැයක් ඇතියේ මාසයෙක. එමසින් දොළොස් මසෙක් හවුරුද්දෙක, එ හවුරුදුයෙන් දිව්‍යවර්‍ෂ අටදහසෙක් නිම්මාණරතී දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් හෙයකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පිරිම්නියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින්මතු නිම්මාරණරතී දෙවියන්ගේ සහභාගයට එළඹෙන්නේ නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව්‍යසුඛය සාක්‍ෂ්‍ය කොට ගෙන මානුෂක රාජ්‍යය කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
මහණෙනි, මනුෂ්‍යයන් පිළිබඳ යම් සොළොස් සියවසෙක් වේ ද, තෙල පරනිම්මිත වසවත්තී දෙව්ලොව වැසි දෙවියනට එක් රෑ දාවලෙකි. එ රැයින් තිස් රැයක් මසෙකි. ඒ මසින් දොළොසමසෙක් හවුරුද්දෙකි. ඒ හවුරුදුයෙන් දිව්‍යවර්‍ෂ සොළොස් දහසක් පරනිම්මිත වසවත්තී දෙව් ලොව වැසි දෙවියන් ගේ ආයුප්‍රමාණ වෙයි. මහණෙනි, යම් හෙයෙකින් මෙ ලෙව්හි කිසි මාගමක් හෝ පුරුෂයෙක් හෝ අටඟින් යුතු පෙහෙවස් වැස කාබුන් මරණින් මතු පරනිම්මිත වසවත්තී දෙව්ලොව වැසි දෙවියන්ගේ සහවාසයට එළැඹෙන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන වෙයි. මහණෙනි, දිව්‍යසුඛය සාක්‍ෂ්‍ය කොට මානුෂක රාජ්‍යය කෘපණය යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
1. පරපණ නො නසන්නේ ය, නුදුන් දෑ නො ගන්නේ ය; මුසා නො බණන්නේ ය, මද්‍යපයෙක්ද නො වන්නේ ය, අබ්‍රහ්මචරිය වූ මෙවුන් දමින් දුරු වන්නේ ය, රෑ විකල් බොජුන් නො වළඳන්නේ ය.
2. මල් නො දරන්නේ ය, ගඳ (විලෙවුන්) නො ගල්වන්නේ ය. (මිටිරියන් පා ඇති) කැප ඇඳෙහි හෝ (පිරියම් කළ) බිම තණකොළ ආදිය අතුරා කළ ඇතිරියෙහි හෝ සයනය කරන්නේ ය, තෙල දුක්ඛයාගේ කෙළවරට පැමිණි බුදුන් විසින් වදාරන ලද අෂ්ටාඞ්ගික උපෝෂිතය යි කියති.
3. සඳ ද හිරු ද යන දෙදෙන මනා දැකුම් ඇත්තාහු යම්තාක් බබුළුවමින් හැසිරෙත් ද, අහස ගමන් ගත් අඳුරු දුරලන ඔහු දිගුන් බබුළුවමින් අහස් තෙලෙහි බැබැළෙත්.
4. තෙල අන්තරයෙහි උතුම් මුතු ය මිණි ය වෙරළුමිණි ය සිඟුරන් ය වැලිත් (පර්‍වතයෙහි හටගත්) කසුන් ය යන යම් ධනයෙක් වේ ද, යම් රනෙක් හටක (කුහුඹුවන් විසින් ගෙනෙන ලද ස්වර්‍ණ) යයි කියනු ලැබේ ද, ඔහු අටඟින් යුතු උපෝසථයාගේ සොළොස්වන කලාවට ද නො පැමිණෙත්. සඳ එළිය ද සියලු තරුකැල ද එබඳු වෙයි.
5. එහෙයින් සිල්වත් ස්ත්‍රිය ද පුරුෂයා ද අටඟින් යුතු පෙහෙවස් වැස සුව උදා කරන පින් කොට (කිසිවකු විසින්) අනින්‍දිත වැ ස්වර්‍ගස්ථානයට එළැඹෙත්.
8. 1. 5. 3.
විසාඛූපෝසථ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් වූ මිගාරමාතුපාසාදයෙහි වැඩ වසන සේක. එකල්හි මිගාරමාතු විශාඛා තොමෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුනු. එකත්පසෙක හුන් විසාඛා මිගාරමාතාවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
විශාඛාවෙනි, විසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල ඇතියේ වෙයි, මහ අනුසස් ඇතියේ වෙයි, මහත් දිලුම් ඇත්තේ වෙයි, මහත් පැතුරුම් ඇත්තේ වෙයි.
විශාඛාවෙනි, කෙසේ විසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ය. මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහා විස්ථාර වේ ය යත්:
විශාඛාවෙනි, මෙසස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: රහත්හු දිවිහිමියෙන් පණිවා දුරැර පණිවායෙන් වැළැකියාහු බහා තැබූ දඬු ඇතියාහු බහා තැබූ සැත් ඇතියාහු පවට ලජ්ජා ඇතියාහු දයාපත් වූවාහු හැම ප්‍රාණීසමූහයා කෙරෙහි හිතානුකම්පා ඇතියාහු වෙසෙත්. මම ද අද මේ රෑත් මේ දාවලත් පණිවා දුරැර පණිවායෙන් වැළැකියෙම් බහා තැබූ දඬු ඇතියෙම් බහාතැබූ අවි ඇතියෙම් පවට ලජ්ජා ඇතියෙම් දයාපත් වූයෙම් හැම ප්‍රාණීභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම් මෙකරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් වසන ලද ද වේ යයි මේ පළමු අඟින් සමන්‍වාගත වෙයි …
දිවිහිමියෙන් රහත්හු උසසුන්මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියාහු (කුරු) හැඳෙක වේවයි. තණ ඇතිරියෙහි වේවයි නීචශය්‍යා කරත්. මම ද අද මේ රෑත් මේ දාවලත් උසසුන් මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියෙම් හැඳෙක වේවයි, තණ ඇතිරියෙහි වේවයි නීචශය්‍යා කෙරෙම්. මේ කරුණිනුදු මම රහතුන් අනුකරණ කරම්. මා විසින් පෙහෙවස් වුසුයේත් වන්නේ යයි මේ අටවැනි අඟින් සමන්‍වාගත වෙයි.
විශාඛාවෙනි, මෙසේ වුසූ අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස මහත් ඵල වෙයි. මහානිසංස වෙයි, මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වේ යයි.
කොතෙක් මහත්ඵල වේ ය, කොතෙක් මහානෘශංස වේ ය, කොතෙක් මහාද්‍යුතික වේය, කොතෙක් මහාවිස්ථාරවේය යත්:
විශාඛාවෙනි, යම්සේ අඞ්ග ය, මගධ ය, කාශී ය, කෝශල ය, වජ්ජී ය, මල්‍ය ය, චෙතී ය, වඞ්ගය, කුරු ය, පඤ්චාල ය, මත්ස්‍ය ය, ශූරසේන ය, අශ්වක ය, අවන්ති ය, ගන්‍ධාර ය, කම්බෝජ ය යන බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන්ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රාජ්‍යය යමෙක් කරන්නේ නම්, තෙල අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එ කවර හෙයින යත්:
විසාඛාවෙනි, මානුෂක රාජ්‍යය දිව්‍ය සුඛය සඳහා අල්ප වෙයි. විසාඛාවෙනි, මිනිසුන්ගේ යම් පනස් හවුරුද්දෙක් වේ නම් තෙල සිව්මහරද වැසි දෙවියනට එක් රෑ දාවලෙක. එ රැයින් තිස් රෑ ඇතියේ මාසයෙක, එ මසින් දොළොස්මස් ඇතියේ හවුරුද්දෙක, එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් සිව්මහරද වැසි දෙවියන්ගේ ආයුප්‍රමාණය වේ. විසාඛාවෙනි, යම් හෙයකින් මෙලොව්හි ඇතැම් මාගමක් වේවයි, පුරුෂයෙක් වේවයි අටඟින් සමන්‍වාගත පෙහෙවස් වැස කාබුන් මරණින් මතු සිව්මහරද වැසි දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. විසාඛාවෙනි, දිවසුව පිණිස මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන යමක් කියන ලද නම් තෙල කරුණ මේ සඳහා කියන ලදී.
විසාඛාවෙනි, මානුෂක වූ යම් සියක් හවුරුද්දෙක් වේ නම් තව්තිසා වැසි දෙවියනට තෙල එක් රෑ දාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මාසයෙක, එ මසින් දොළොස්මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් දිව්‍යවර්‍ෂ සහස්‍රයෙක් තව්තිසා වැසි දෙවියනට ආයුප්‍රමාණ වෙයි. විසාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි කිසි ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි අටඟින් සමන්‍වාගත පෙහෙවස් වැස කාබුන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙන්නේ ය යන තෙල කරුණ ඇත. විසාඛාවෙනි, දිව්‍ය සුඛය පිණිස මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන තෙල කරුණ මේ සඳහා කියන ලදී.
විශාඛාවෙනි, මිනිසුන් සතු යම් දෙසිය හවුරුද්දෙක් වේ නම් ... අටසිය හවුරුදුයෙක් ... සොළොස්සියවසෙක් පරනිම්මිතවසවත්තී දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එ රැයින් තිස් රැයෙක් මාසයෙක, එ මසින් දොළොස් මසෙක් හවුරුදුයෙක. එ හවුරුදුයෙන් සොළොස් දහසක් හවුරුදු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ ආයුප්‍රමාණය වෙයි.
විසාඛාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පිරිමියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ සහභාවයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. විසාඛාවෙනි, දිව්‍ය සුඛය පිණිස මානුෂක රාජ්‍යය අල්ප වෙයි. යන තෙල කරුණ මේ සඳහා කියන ලදී.
1. පරපණ නො නස්නේ ය, නුදුන් දෑ නො ගන්නේ ය, මුසවා නො බණන්නේ ය, මද්‍යපයෙක් ද නොවන්නේ ය අබ්‍රම්සර වූ මෙවුන් දමින් දුරු වන්නේ ය, රෑ විකල් බොජුන් නො බුදිනේ ය,
2. මල් නො දරන්නේ ය, නො ද ගඳ අලෙවූ දෙන්නේ ය, හැඳෙක හෝ බිම්හි හෝ (තණ ඈ අතුළ) ඇතිරියෙක හෝ හෝනේ ය. තෙල දුක් කෙළවරට පත් බුදුනු විසින් වදාරන ලද අටඟින් යුත් පෙහෙවසැයි කියති.
3. සුදසුන් වූ සඳු හා හිරු දෙදෙන යම් තාක් බබුළුවමින් හැසිරෙත් ද, අඳුරු දුරුකරන ඔහු වනාහි අන්තරීක්‍ෂගත වූවාහු දිගුන් බබුළුවමින් අහස්හි බබළත්.
4. තෙල අන්තරයෙහි උතුම් මුතු මිණි වෙරළුමිණි ද සිඟුරන් ද වැලිත් කසුන් ද යම් රනෙක් ‘හටක’ යයි කියනු ලැබේ නම් එ ද යන යම් ධනයෙක් ඇද්ද, ඒ අටඟින් යුත් පෙහෙවසට ඒ ධනයෝ සොළොස් වන කලාවටද නො පැමිණෙත්. හැම සඳ පහන් හා උළු කැන්හු ද එබඳු වෙත්,
5. එහෙයින් සිල්වත් නර නාරීහු ද අෂ්ටාඞ්ග සමන්‍වාගත පෞෂථය වැස සුව උදාකරන පින් කොට විඥප්‍රශස්ත වූවාහු ස්වර්‍ගස්ථානයට ද එළඹෙත්.
8. 1. 5. 4.
වාසෙට්ඨූපෝසථ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි මහාවන නම් වූ කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එකල්හි වාසෙට්ඨ උපාසක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් වාසෙට්ඨ උපාසකයාට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ.
වාසෙට්ඨය, වුසූ අටඟින් සමන්‍වාගත වූ පෙහෙවස මහත්ඵල වෙයි ... අනින්‍දිත වූවා හු ස්වර්‍ගස්ථානයට ද එළඹෙතියි.
මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ උවසු තෙමේ භාග්‍යවත් හට තෙල කරුණ සැල කෙළේ ය:
වහන්ස, මාගේ ප්‍රිය නෑ සහලේනෑයෝ අටඟින් යුත් පෙහෙවස් වසත් නම් මාගේ ප්‍රිය නෑ සහලේනෑයනට එය දිගුකලක් හිත පිණිස සුඛ පිණිස වන්නේ ය. වහන්ස, හැම ක්‍ෂත්‍රියයෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් එය හැම ක්‍ෂත්‍රියනට දිගුකලක් හිතයට සුඛයට වන්නේ ය. වහන්ස, හැම බ්‍රාහ්මණයෝත් ... වෛශ්‍යයෝත් ... ශුද්‍රයෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් හැම ශුද්‍රයනට එය දිගු කලක් හිතයට සුඛයට වන්නේ යයි.
වාසෙට්ඨය, තෙල කරුණ එසේ ම ය; වාසෙට්ඨය, තෙල කරුණ එසේ ම ය, වාසෙට්ඨය, හැම ක්‍ෂත්‍රියෝත් අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම්, හැම ක්‍ෂත්‍රියනට හිතයට සුවයට පවත්නේ ය. වාසෙට්ඨය, හැම බමුණෝත් ... වෛශ්‍යයෝත් ... ශුද්‍රයෝත් අටඟින් යුත් පෙහෙවස් වසන්නාහු නම් හැම ශුද්‍රයනට හිත පිණිස සුව පිණිස දිගුකලක් පවත්නේ ය, වාසෙට්ඨය, දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයා මහණබමුණන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අටඟින් යුත් පෙහෙවස් වසා නම් දෙවියන් සහිත මරුන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයට මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාවට දිගුකලක් හිත පිණිස, සුව පිණිස පවත්නේ ය. වාසෙට්ඨය, තෙල මහා සල්රුක් දෙක නමුදු (සචේතනව) අටඟින් යුත් පෙහෙවස් වෙසෙත් නම් මේ සල්රුක් දෙකට ද දිගුකලක් හිතයට සුවයට වන්නේ ය. මනුෂ්‍ය වූවක් හට කවර කථා යයි.
8. 1. 5. 5.
බොජ්ඣූපෝසථ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ, අනාථපිණ්ඩිකයන්ගේ ආරාමයෙහි වෙසෙන සේක. එකල්හි බොජ්ඣා උවැසි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා. එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පසෙක හුනු. එකත් පසෙක හුන් බොජ්ඣා උවැසියට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
බොජ්ඣාවෙනි, වුසූ අටඟින් යුත් පෙහෙවස් මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි, මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වෙයි.
බොජ්ඣාවෙනි, කෙසේ වුසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වේ ය, මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
බොජ්ඣාවෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සලකන්නේ ය: ‘රහත්හු දිවිහිමියෙන් පණිවා දුරැර පණිවායෙන් වැළැකියාහු බහා තැබූ දඬු ඇත්තාහු බහා තැබූ සැත් ඇත්තාහු පවට ලජ්ජා ඇතියාහු දයාපත් වූවාහු හැම ප්‍රාණීභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇත්තාහු වෙසෙත්. මම ද අද මේ රැයත් මේ දාවලත් පණිවා දුරැර පණිවායෙන් වැළැකියෙම් බහා දඬු ඇතියෙම් බහා තැබූ අවි ඇතියෙම් පවට ලජ්ජා ඇතියෙම් දයාපත් වූයෙම් හැම ප්‍රාණීගණයා කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වෙසෙමි. මම මෙකරුණිනුදු රහතුන් අනුකරණ කරමි. මා විසින් පෙහෙවස් වසන ලද වන්නේ ය යි මේ පළමුවන අඞ්ගයෙන් සමන්‍වාගත වෙයි ... රහත්හු දිවිහිමියෙන් උසසුන් මහසුන් දුරැර උසසුන් මහස්නෙන් වැළැකියාහු හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරන්නාහ. අද මම ද මෙ රෑත් දාවලත් උසසුන් මහසුන් දුරැර උසසුන් මහසුනෙන් වැළැකියෙම් හැඳෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කෙරෙමි. මම මේ අඟිනුදු රහතුන් අනුකරණ කෙරෙම්. මා විසින් පෙහෙවස් වසනලද වන්නේ යි මේ අටවැනි අඟින් සමන්‍වාගත වෙයි.
බොජ්ඣාවෙනි, මෙසේ වුසූ අටඟින් යුත් පෙහෙවස මහත්ඵල වෙයි, මහානෘශංස වෙයි. මහාද්‍යුතික වෙයි, මහාවිස්ථාර වේ.
කෙතෙක් මහත් ඵල වේ ය, කෙතෙක් මහානෘශංස වේ ය, මහාද්‍යුතික වේ ය, මහාවිස්ථාර වේ ය යත්:
බොජ්ඣාවෙනි, යම්සේ යමෙක් අඞ්ග ය, මගධ ය, කාසී ය, කෝසල ය, වජ්ජී ය, මල්ල ය, චෙතී ය, වඞ්ග ය, කුරු ය, පඤ්චාල ය, මච්ඡ ය, සූරසේන ය, අස්සක ය, අවන්ති ය, ගන්‍ධාර ය, කම්බෝජ ය යන බොහෝ සත් රුවන් ඇති මේ සොළොස් මහාජනපදයන්ගේ ඓශ්වර්‍ය්‍යාධිපත්‍යය ඇති රජය කරන්නේ නම් තෙල අටඟින් යුත් පෙහෙවස්හුගේ සොළොස්වන කලාවට ද නො අගනේ ය. එ කවර හෙයින යත්: බොජ්ඣාවෙනි, මානුෂක රාජ්‍යය දිව්‍යසුඛය සඳහා කෘපණ වෙයි.
බොජ්ඣාවෙනි, මානුෂක වූ යම් පනස්හවුරුදුයෙක් වේ නම් චාතුම්මහාරාජික දෙවියනට තෙල එක් රෑදාවලෙකි. එ රැයින් තිස්රැයෙක් මාසයෙක, එ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. එ හවුරුදුයෙන් පන්සිය හවුරුද්දෙක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුප්‍රමාණ වෙයි.
බොජ්ඣාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි මාගමක් වේවයි පිරිමියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. බොජ්ඣාවෙනි, දිව්‍යසුඛය පිණිස මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන තෙල කරුණ මේ සඳහා කියන ලදී.
බොජ්ඣාවෙනි, යම්බඳු මානුෂක සියක් හවුරුදු ... මානුෂක වූ යම්බඳු දෙසියක් හවුරුදු ... සාරසිය හවුරුදුයෙක් ... අටසිය වසෙක් ... සොළොස් සියවසෙක් වේ නම් තෙල පරනිම්මිතවසවත්තී දෙවියනට එක් රෑ දාවලෙක, එ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසෙක් හවුරුද්දෙක. ඒ හවුරුදුයෙන් දිව්‍ය වර්‍ෂ සොළොස්දහසෙක් පරනිම්මිත වසවත්තී දෙවියනට ආයුප්‍රමාණ වේ.
බොජ්ඣාවෙනි, යම් හෙයෙකින් මෙලොව්හි කිසි මාගමක් වේවයි පිරිමියෙක් වේවයි අටඟින් යුත් පෙහෙවස් වැස කාබුන් මරණින් මතු පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ සහවාසයට එළඹෙන්නේ ය යන තෙල කරුණ ඇත. බොජ්ඣාවෙනි, දිව්‍ය සුඛය උපනිධි කොටගෙන මානුෂක රාජ්‍යය අල්ප වෙයි යන තෙල කරුණ මේ සඳහා කියන ලදි.
1. පරපණ නො නස්නේ ය, නුදුන් දෑ නො ද ගන්නේ ය, මුසවා නො බණනේ ය. නො ද මද්‍යප වන්නේ ය, අබ්‍රම්සරින් මෙවුන්දමින් දුරුවන්නේ ය, රෑ විකල් බොජුන් නො බුදිනේ ය.
2. මල්දම් නො දරන්නේ ය, ගඳ නො ද අලෙවු කරන්නේ ය, හැඳෙක හෝ බිම්හි හෝ තණ ඈ අතුළ ඇතිරියෙක හෝ හෝනේ ය, තෙල දුක්කෙළවරට ගිය බුදුන් විසින් පවසනලද අටඟින් යුත් පෙහෙවසැ යි කියත්.
3. අහස ගමන්ගත් අඳුර බිඳුනා දික් බබුළුවන සුදසුන් වූ සඳ හා හිරු හා දෙදෙන යම්තාක් බබුළුවමින් හැසිරෙත් ද, අඳුර බිඳුනා අන්තරීක්‍ෂගත වූ ඔහු වනාහි දිගුන් බබුළුවමින් අහස් තලෙහි බැබළෙත් ද,
4. තෙල අන්තරයෙහි උතුම් මුතු මිණි වෙරළුමිණි ය සිඟුරන් ය, වැලිත් කසුන් ය, යම් රනෙක් හටක යයි කියනු ලැබේ නම් එය ද යන යම් ධනයෙක් ඇත් ද, ඒ ධනයෝ අටඟින් යුත් පෙහෙවසට සොළොස්වන කලාවට ද නො පැමිණෙත්, හැම සඳපහන් හා උළු කැන්හු ද එබඳු වෙත්.
5. එහෙයින් සිල්වත් නර නාරීහු ද අෂ්ටාඞ්ග සමන්‍වාගත පෞෂ්ථය වැස සුව උදාකරන පින් කොට විඥප්‍රශස්ත වූවාහු ස්වර්‍ගස්ථානයට ද එළඹෙත්.
8. 1. 5. 6.
අනුරුද්ධමනාපකායික සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ දිවාවිහාරයට ගියාහු විවේකී ව වෙසෙති. එකල්හි බොහෝ මනාපකායික දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වැඳ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට තෙල කරුණ සැළ කළහ:
වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායික දේවතා නම් අපි තුන් තැනෙක ඉසුරු කරමු, වශය පවත්වමු. වහන්ස, අනුරුද්ධයෙනි, අපි යම්බඳු වර්‍ණයක් කැමැත්තමෝ නම් එබඳු වර්‍ණය සැණෙකින් ලබන්නෙමු. යම්බඳු ස්වරයක් කැමැත්තමෝ නම් එබඳු ස්වරය සැණෙකින් ම ලබන්නෙමු. යම්බඳු සුඛයක් කැමැත්තමෝ නම් එබඳු සුඛය සැණෙකින් ම ලබන්නෙමු. වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායික දේවතා නම් වූ අපි මේ තුන් කරුණෙහි ඉසුරු කරන්නෙමු, වශය පවත්වන්නෙමු.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට මේ සිත වී ය: “ඒකාන්තයෙන් මේ දේවතාවෝ හැම නිල් වූවාහු නිල් පැහැ ඇතියාහු නීලවස්ත්‍ර ඇතියාහු නීලාලඞ්කාර ඇතියාහු වෙත් නම් ඉතා යෙහෙක කියායි. එකල්හි ඒ දේවතාවෝ අනුරුද්ධ තෙරුන්ගේ සිත දැන හැම නිල් වූවාහු නිල්වන් වූවාහු නිල්වත් ඇත්තාහු නීලාලඞ්කාර ඇත්තාහු වුහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට තෙල සිත විය: ‘ඒකාන්තයෙන් මේ දේවතාවෝ හැම රන් පැහැ වූවාහු වෙත් නම් ... හැම රතු පැහැ වූවාහු වෙත් නම් ... සුදු වූවාහු සුදුවන් වූවාහු සුදු වස්ත්‍ර ඇතියාහු සුදු අලඞ්කාර ඇතියාහු වෙත් නම් යෙහෙක’ කියායි. එකල්හි ඒ දේවතාවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ සිත දැන හැම අවදාත වූවාහු අවදාතවර්‍ණ වූවාහු අවදාත වස්ත්‍ර ඇත්තාහු අවදාතාලඞ්කාර ඇත්තාහු වූහ.
ඉක්බිති ඒ දේවතාවන් අතුරෙහි එක් දේවතාවක් ගැයූ ය, එක්දේවතාවක් නැටූ ය, එක් දේවතාවක් හස්තතාලයට වන යම්සේ මැනැවින් සකසන ලද, ස්වරසාම්‍ය සඳහා පූර්‍වවාදන කරනලද, සමතුන් විසින් මොනොවට වයනලද පසඟතුරුහුගේ හඬ සොඳුරුත් වේ ද, සිත් රඳවන්නකුත් වේ ද, කමනීයත් වේ ද, ප්‍රේමණීයත් වේ ද, මදනීයත් වේ ද, එසෙයින් ඒ අලඞ්කාරවත් දෙවියන්ගේ ශබ්දය වල්ගු ද වෙයි, රජනීය ද වෙයි, කමනීය ද වෙයි, ප්‍රේමණීය ද වෙයි, මදනීයද වේ, එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඉඳුරන් (ඇස්) යටිහුරු කළහ.
ඉක්බිති ඒ දේවතාවෝ ආර්‍ය්‍ය අනුරුද්ධයන් වහන්සේ නො ඉවසන්නාහ යි එහි ම අතුරුදහන් වූහ.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සවස්වරුයෙහි පිළිසලනින් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියාහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළාහ.
වහන්ස, මම දිවා විහරණයට ගියෙම් පිළිසලනෙහි යෙදුනෙම් වෙමි, වහන්ස, එකල්හි බොහෝ මනාපකායිකදේවතාවෝ මා වෙත එළැඹියාහ. එළැඹ මා වැඳ එකත් පසෙක සිටියහ. වහන්ස, එකත්පසෙක සිටි ඒ දේවතාවෝ මට තෙල කීහ:
වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායිකදේවතා වන අපි තුන් තැනෙක ඉසුරු කරමු, වසය පවත්වමු, වහන්ස, අනුරුද්ධයෙනි, අපි යම්බඳු පැහැයක් කැමැත්තමෝ නම් එබඳු පැහැ සැණෙකින් ම ලබමු, යම්බඳු ස්වරයක් කැමැත්තමෝ නම් එබඳු ස්වර සැණෙකින් ලබමු, යම් බඳු සුවයක් කැමැත්තමෝ නම් එබඳු සුව සැණෙකින් ම ලබමු, වහන්ස, අනුරුද්ධයෙනි, මනාපකායිකාදේවතා වන අපි මේ තුන්තන්හි ඉසුරු කරමු. වසය පවත්වමු යි.
වහන්ස, මට තෙල සිත්වී; ආශ්චර්‍ය්‍යයෙක, මේ දෙවියෝ හැම නිල් වූවාහු නිල්වන් ඇතියාහු නීලාලඞ්කාර ඇතියාහු වෙත් නම් මැනැව කියා යි. වහන්ස, එකල්හි ඒ දේවතාවෝ මා සිත දැන හැම නිල් වූහ, හැම නිල්වන් වූහ, හැම නිල්වත් ඇති වූහ, හැම නීලාලඞ්කාර ඇති වූහ. වහන්ස, මට තෙල සිත් වී: මේ දේවතාවෝ හැම රන්වන් වෙත් නම් යෙහෙක ... හැම ලෙහෙවන් වෙත් නම් යෙහෙක ... හැම අවදාත වූවාහු අවදාතවර්‍ණ ඇත්තාහු අවදාත වස්ත්‍ර ඇත්තාහු අවදාතාලඞ්කාර ඇත්තාහු වෙත් නම් යෙහෙක කියා යි. වහන්ස, එකල්හි ඒ දේවතාවෝ හැම අවදාත වූහ, අවදාතවර්‍ණ වූහ, අවදාත වස්ත්‍ර ඇති වූහ, අවදතාලඞ්කාර ඇති වූහු.
වහන්ස, ඉක්බිති ඒ දේවතාවෝ එකක් ගැයූ, එකක් නැටූ, එකක් හස්තතාල වැයූ, යම්සේ මැනැවින් සකසනලද, ස්වරසාම්‍ය සඳහා පූර්‍වාදන කරනලද, සමතුන් විසින් මොනොවට වයනලද පසඟතුරුහුගේ හඬ වල්ගුවේ ද, රජනීය වේද, කමනීය වේද, ප්‍රේමණීය වේද, මදනීය වේද, එපරිද්දෙන් ඒ අලඞ්කාරවත් දෙවියන්ගේ හඬ වල්ගු වෙයි, රජනීය ද වෙයි, කමනීය ද වෙයි, ප්‍රේමණීය ද වෙයි, මදනීය ද වෙයි. වහන්ස, එකල්හි මම් ඉඳුරන් (දෙඇස්) යටිහුරු කළෙමි. වහන්ස, ඉක්බිති ඒ දේවතාවෝ ආර්‍ය්‍ය අනුරුද්ධයන් වහන්සේ නො ඉවසන්නාහයි එහි ම අතුරුදහන් වූහ.
වහන්ස, කෙතෙක් ධර්‍මයන්ගෙන් සමන්‍වාගත වූ මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණේ ද?
අනුරුද්ධය, ධර්‍ම අටෙකින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. කවර අටෙකින යත්:
1. අනුරුද්ධය, මෙලොව්හි මාගම අර්‍ත්‍ථකාම වූ හිතෛෂී වූ අනුකම්පා ඇති මවුපියෝ අනුකම්පාව නිසා යම් හිමියකුට දෙත් නම් ඔහට පළමු නැඟී සිටින්නී පසුව හොවින්නී කුම් කෙරෙම් දැයි පිළිවිස කරන්නී මනාප හැසිරීම් ඇත්තී ප්‍රියවචන ඇත්තී වෙයි.
2. මව වේවයි, පියා වේවයි, මහණබමුණු වෙත්වයි, හිමිහුගේ යම් ඒ ගුරුහු වෙත් නම් ඔවුන් සගනි, ගුරු කෙරෙයි, බුහුමන් කෙරෙයි, පුදයි, වෙත එළැඹියවුන් අස්නෙන් සහ පැනින් පුදයි.
3. හිමිහුගේ එළුලොම් වේවයි, කපු වේවයි, යම් ඒ අභ්‍යන්තර කර්‍මාන්ත කෙනෙක් වෙත් නම් එහි දක්‍ෂ වූවා අනලස් වූවා, තත්‍රෝපාය වීමංසායෙන් (ඒ ඒ කරුණ පිළිබඳ උපායඥානයෙන්) සමන්‍විත වූවා කටයුතු කිරීමෙහි සංවිධානය කිරීමෙහි සමත් වෙයි.
4. හිමිහුගේ දස්හු වෙත්වයි මෙහෙකරුවෝ වෙත්වයි කම්කරුවෝ වෙත්වයි යම් ඒ අභ්‍යන්තර වූ ඇතුළත් ජනයෝ වෙත් නම් ඔවුන් කළ දෑ කළ විසිනුත් දනියි, නො කළ දැ නො කළ විසිනුත් දනියි, ගිලනුන්ගේත් බලාබල දනියි, ඔහු කෑයුතු දෑත් බුදිය යුතු දෑත් කොටස් විසින් සංවිභාග කෙරෙයි.
5. භර්‍තෘ තෙමේ ධන වේවයි ධ්‍යාන වේවයි රන් වේවයි යමකුත් ගෙනෙයි නම් එය ආරක්‍ෂායෙන් ගෝපනයෙන් සපයා තබයි. එහිදු ධූර්‍ත නො වූවා සොර නො වූවා ලොල් නො වූවා නො නසන්නී වෙයි.
6. බුදුන් සරණ ගිය දහම් සරණ ගිය සඟුන් සරණ ගිය උවැසි වෙයි.
7. පණිවායෙන් වැළකි, අයිනාදනින් වැළකි, කාමයෙහි මිසහසරින් වැළැකි, මුසවායෙන් වැළකි මද පමා දෙකට කරුණු රහමෙරින් වැළකි සිල් ඇති වෙයි.
8. ත්‍යාගවත් වෙයි, පහ වූ මසුරු මල ඇති සිතින් මිදූ ත්‍යාග ඇත්තී දෙවූ අත් ඇත්තී දීමෙහි ඇලුනී යදිනට යෝග්‍ය වූවා දානසංවිභාගයෙහි ඇලුනී ගෙහි වෙසෙයි. අනුරුද්ධය, මේ දහම් අටින් සමන්‍වාගත මාගම කාබුන් මරණින් මතු මනාපකායික දෙවියන්ගේ සහභාවයට යන්නී යි.