එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර අග්ගාළව චෛත්‍යස්ථානයෙහි වැඩ වසන සේක. ඉක්බිති හත්‍ථක ආළවක තෙමේ පන්සියයක් පමණ උවසුවන් විසින් පිරිවරන ලදුයේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් හත්‍ථක ආළවක හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
“හත්‍ථකය, තොප ගේ මේ පිරිස මහත් ය, හත්‍ථකය කෙසේ නම් තෙපි මේ මහ පිරිස සඞ්ග්‍රහ කරවු දැයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් මේ සතර සඞ්ග්‍රහ වස්තු කෙනෙක් වෙත් ද, එයින් මම මේ මහපිරිස සගන්මි. වහන්ස, මම යමකු ‘මේ තෙමේ දානයෙන් සඞ්ග්‍රහ කටයුත්තෙකැයි දනිම් ද, දානයෙන් ඔහු සගන්මි. යමකු ‘මෙ තෙමේ ප්‍රිය වචනයෙන් සැඟැහිය යුත්තෙකැ’යි දනිම් ද, ප්‍රිය වචනයෙන් ඔහු සඟන්මි. යමකු ‘මෙ තෙමේ අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් සැඟැහිය යුත්තෙකැ’යි දනිම් ද, ඔහු අර්‍ත්‍ථචර්‍ය්‍යායෙන් සඟන්මි. යමකු ‘මෙ තෙමේ සමානාත්මතායෙන් සැඟැහිය යුත්තෙකැ’යි දනිම් ද, ඔහු සමානාත්මතායෙන් සගන්මි. වහන්ස, මාගේ කුලයෙහි භෝගයෝ ඇත. ඇසිය යුතු තෙපුල දිළින්දකු ගේ බඳු කොට නො හඟිත්. (දිළින්දකු නොවූ මාගේ ඔවා නො ඉක්මවිය යුතු කොට හඟිත්යි සේ යි.)
හත්‍ථක, ඉතා මැනවි, හත්‍ථකය, මහපිරිස සැඟැහීමට තොප ගේ මේ උපාය වේ. හත්‍ථකය, යම් කිසිවෙක් ඉකුත් කල මහ පිරිස් සැඟැහු නම් ඒ සියලු දෙන මේ සිව්සඟරාවතින් ම මහපිරිස් සඟන්හ. හත්‍ථකය, යම් කෙනෙක් මතු කල්හි මහපිරිස් සඟන්නාහු ද ඒ සියලු දෙන මේ සිව්සඟරාවතින් ම මහපිරිස් සඟන්නාහ.
හත්‍ථකය, යම් කිසි කෙනෙක් දැන් මහපිරිස් සගන්නාහු නම් ඒ සියලු දෙන මේ සිවුසඟරා වතින් ම මහපිරිස් සගන්නාහ යි. ඉක්බිති හත්‍ථක ආළවක භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන ලද්දේ සමාදන් කරවන ලද්දේ තෙද ගන්වන ලද්දේ සතුටු කරන ලද්දේ හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හත්‍ථක ආළවකයන් නැඟී ගිය නොබෝ කල්හි භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, හත්‍ථක ආළවක අෂ්ටආශ්චර්‍ය්‍යාද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත කොට දරවු. කවර අටෙකින යත්:
මහණෙනි, හත්‍ථක ආළවක සැදැහැත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක සිල් ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක පවට ලජ්ජා ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක පවට බිය ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක බොහෝ ඇසු පිරූ තැන් ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක ත්‍යාග ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක පැනැත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක අපිස්ගුණ ඇත්තේ ය. මහණෙනි, හත්‍ථක ආළවක මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත කොට ධරව යි.
8. 1. 3. 5.
මහානාම සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුර න්‍යග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය:
වහන්ස, කො පමණකින් උපාසකයෙක් වේ දැයි:
මහානාම ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, මහානාමය, මෙ පමණකින් උපාසක වේ.
වහන්ස, කො පමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ ද:
මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද, අයිනාදනින් වැළකුණේ වේ ද, කාමයන්හි මිසහසරින් වැළකුණේ වේ ද, මුසවායෙන් වැළැකුණේ වේ ද, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුණේ වේ ද, මහානාමය, මෙපමණෙකින් උපාසක තෙමේ සිල් ඇත්තේ වේ.
වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද?
මහානාමය, යම් දිනෙක් පටන් උපාසක තෙමේ, සැදැහැයෙන් යුතු වූයේ මෙරමා ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ සීලයෙන් යුතු වූයේ මෙරමා සීලසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ ත්‍යාගයෙන් යුතු වූයේ මෙරමා ත්‍යාගසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, තෙමේ මහණුන් දකිනු කැමැත්තේ මෙරමා මහණුන් දැක්මෙන් සමාදන් නො කරවා ද, තෙමේ සදහම් අසනු කැමැත්තේ මෙරමා සදහම් ඇසීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ ඇසූ දහම් දරණ ස්වභාවය ඇත්තේ මෙරමා දහම් දැරීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමා අරුත් පිරික්සීමෙහි සමාදන් නො කරවා ද, තෙමේ අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමා ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් නො කරවා ද, මහානාමය, මෙපමණෙකින් ම උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ.
වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ දැ යි?
මහානාමය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුතු වූයේ මෙරමාත් ශ්‍රද්ධාසම්පදාවෙහි සමාදන් කරවා ද, තෙමේත් සීලයෙන් යුතු වූයේ මෙරමාත් සීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේත් මෙරමාත් ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ මෙරමාත් මහණුන් දැක්මෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ මෙරමාත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාව කොට ඇත්තේ මෙරමාත් දහම් දැරීමෙහි සමාදන් කරවා ද තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමාත් අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද තෙමේත් අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමාත් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් කරවා ද, මහානාමය, මෙ පමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ය යි.
8. 1. 3. 6.
ජීවක සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ජීවක වෙදහුගේ අඹවනයෙහි වැඩ වසන සේක. එකල්හි කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින, එකත්පසෙක හුන් කෝමාරභච්ච ජීවක භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේ ය:
වහන්ස, කො පමණෙකින් උපාසකයෙක් වේ ද?
ජීවක ය, යම් දිනෙක පටන් බුදුන් සරණ ගියේ වේ ද, දහම් සරණ ගියේ වේ ද, සඟුන් සරණ ගියේ වේ ද, ජීවක මෙ පමණකින් ම උපාසකයෙක් වේ යයි.
වහන්ස, කොපමණෙකින් උපාසක සිල් ඇත්තේ වේ ද:
ජීවක ය, යම් දිනෙක පටන් උපාසක තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද ... මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළැකුණේ වේ ද, ජීවක, මෙ පමණකින් ම උපාසක සිල් ඇත්තේ වෙයි.
වහන්ස, කොපමණෙකින් උපාසක තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද?
ජීවකය, යම් දිනෙක් පටන් උපාසක තෙමේ සැදැහැයෙන් යුතු වූයේ මෙරමා ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් නො කරවා ද, ... තෙමේ අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමා ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් නො කරවා ද, ජීවකය, මෙපමණෙකින්ම උපාසක තෙමේ තමනට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වෙයි.
වහන්ස, උපාසක තෙමේ කොපමණෙකින් තමනට හිත පිණිස පිළිපන්නේත් අනුනට හිත පිණිස පිළිපන්නේත් වේ ද?
ජීවකය, යම් දිනෙක පටන් උපාසක තෙමේත් සැදැහැයෙන් යුක්ත වූයේ මෙරමාත් ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ශීලයෙන් යුක්ත වූයේ මෙරමාත් ශීලසම්පත්තියෙහි සමාදන් කරවා ද, තෙමේත් ත්‍යාගයෙන් යුතු වූයේ මෙරමාත් ත්‍යාගසම්පත්තියෙහි සමාදන් කරවා ද තෙමේත් මහණුන් දකිනු කැමැත්තේ මෙරමාත් මහණුන් දකිනු කැමැත්තෙහි සමාදන් කරවා ද, තෙමේත් සදහම් අසනු කැමැත්තේ මෙරමාත් සදහම් ඇසීමෙහි සමාදන් කරවා ද, තෙමේත් ඇසූ දහම් දැරීම ස්වභාවය කොට ඇත්තේ මෙරමාත් දහම් දැරීමෙහි සමාදන් කරවා ද, තෙමේත් දැරූ දහම් පිළිබඳ අරුත් පිරික්සන්නේ මෙරමාත් අරුත් පිරික්සීමෙහි සමාදන් කරවා ද, තෙමේත් අරුත් දැන දහම් දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වූයේ මෙරමාත් ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියෙහි සමාදන් කරවා ද ජීවක, මෙපමණෙකින් ම උපාසක තෙමේ තමනට හිත පිණිසත් අනුනට හිත පිණිසත් පිළිපන්නේ වෙයි.
8. 1. 3. 7.
බල සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ බල අටෙකි. කවර අටෙකැ යත්: මහණෙනි, ළදරුවෝ හැඬීම බල කොට ඇත්තෝ ය. මාගම ක්‍රෝධය බල කොට ඇත්තී ය. සොරු ආවුධ බල කොට ඇත්තෝ ය. රජවරු ඓශ්චර්‍ය්‍යය බල කොට ඇත්තෝ ය. අඥානයෝ උදහස්වීම (ක්‍රෝධචිත්තය ම දැඩි ව ගැනීම) බල කොට ඇත්තෝ ය. පණ්ඩිතයෝ වැඩ අවැඩ නිශ්චය කොට අවබෝධ කර වීම බලකොට ඇත්තෝ ය. බහුශ්‍රැතයෝ පස්විකුම් බලකොට ඇත්තෝ ය. මහණබමුණෝ ඉවසීම බල කොට ඇත්තෝ ය. මහණෙනි, මේ අට බලයෝ වෙති යි.
8. 1. 3. 8.
ඛීණාසවබල සූත්‍රය
[සැවැත්නිදාන යි]
එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ශාරීපුත්‍රය, යම් බලයන්ගෙන් යුක්ත වූ රහත් මහණ මාගේ ආස්‍රවයෝ ගෙවී ගියහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල කෙතෙක් ද?
වහන්ස, යම් බලයන්ගෙන් යුතු රහත් මහණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, රහත් මහණහුගේ (එබඳු) බල අටෙකි. කවර අටෙක යත්:
1. වහන්ස, මෙ සස්නෙහි රහත් මහණහු විසින් අනිත්‍ය වශයෙන් සියලු සංස්කාරයෝ තත්වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
2. තවද, වහන්ස, රහත් මහණහු විසින් කාමයෝ අඟුරු වළක් උපමා කොට ඇතියහ යි තත් වූ පරිද්දෙන් මනානුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත්. වහන්ස, රහත් මහණහු විසින් යම් හෙයෙකින් කාමයෝ අඟුරුවළක් උපමා කොට ඇතියහ යි තත්වූ පරිද්දෙන් මනා නුවණින් මොනවට දක්නා ලද්දාහු වෙත් ද, යම් බලයකට පැමිණ රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි (ගෙවී ගියහ යි) ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිණ කෙරේ ද, වහන්ස, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
3. තවද වහන්ස, රහත් මහණුගේ සිත (පලසමවත් විසින්) විවේකයට (නිවනට) නැඹුරු වූයේ විවේකයට (නිවනට) අවනත වූයේ විවේකයට (නිවනට) බර වූයේ කෙලෙසුන්ගෙන් දුරු වූයේ පැවිද්දෙහි මොනවට ඇලුණේ හැම අයුරින් ම ආස්‍රවයනට කරුණු වූ ධර්‍මයන් හා සමඟ ඇලුම් රහිත වූයේ හෙවත් සියලු ත්‍රෛභූමකධර්‍මයන්ගෙන් විගතාන්ත වූයේ වේ. වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
4. තවද, වහන්ස, රහත් මහණහු විසින් සතර සීවටන්හු වඩනා ලද්දාහු මොනොවට වඩනා ලද්දාහු වෙති. වහන්ස, යම් හෙයෙකින් රහත් මහණහු විසින් සතර සීවටන්හු වඩනා ලද්දාහු මොනවට වඩනා ලද්දාහු වෙත් ද, වහන්ස, රහත් මහණ තෙමේ යම් බලයකට පැමිණ මාගේ ආස්‍රවයෝ ක්‍ෂීණයහ යි ආස්‍රවයන් ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද මෙ ද රහත් මහණහුගේ බලයෙක් වෙයි.
5-8 තවද, වහන්ස, ක්‍ෂීණාස්‍රව මහණහු විසින් සතර ඍද්ධිපාදයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් ... පඤ්චඉන්‍ද්‍රියයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් ... සප්තබෝධ්‍යඞ්ගයෝ භාවිත වූවාහු සුභාවිත වූවාහු වෙත් … අටඟෙකින් යුතු ආර්‍ය්‍ය වූ මාර්‍ගය භාවිත වූයේ සුභාවිත වූයේ වෙයි. වහන්ස, යම් හෙයෙකින් රහත් මහණහු විසින් ආර්‍ය්‍ය වූ අෂ්ටාඞ්ගිකමාර්‍ගය වඩනලද්දේ මොනොවට වඩනලද්දේ වේ ද, යම් බලයකට පැමිණ රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහ යි ආස්‍රවයන්ගේ ක්‍ෂයවීම පිළිණ කෙරේ ද, මෙ ද රහත් මහණහුගේ බලයෙක් වේ.
වහන්ස, යම් බලයන්ගෙන් සමන්‍වාගත රහත් මහණ තෙමේ මාගේ ආස්‍රවයෝ ක්‍ෂය වූහයි ආස්‍රවයන්ගේ ක්‍ෂය වීම පිළිණ කෙරේ ද, ක්‍ෂීණාස්‍රව මහණ හට මේ අට බලයෝ වෙති යි.
8. 1. 3. 9.
අක්ඛණ සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, ඇසූ පිරූ තැන් නැති පුහුදුන් තෙමේ ලෝකය ක්‍ෂණකෘත්‍ය ඇත්තේ ය, (අවකාශ ලැබැ ම කරන කිස ඇත්තේ ය) ක්‍ෂණ කෘත්‍ය ඇත්තේ ය යි කියයි. හෙතෙමේ ක්‍ෂණය (අවකාශය) හෝ අක්‍ෂණය (අනවකාශය) හෝ නො දනියි. මහණෙනි, බඹසර විසීමට අනවකාස අකාල මේ අටෙක් වෙයි. කවර අටෙක යත්:
1. මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූ සුගත වූ ලෝකවිදු වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ලෝකයෙහි උපන්නේ වෙයි. කෙලෙස් සන්හිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවීම කරන්නා වූ (චතුර්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) සම්බෝධිය කරා යන්නා වූ සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දා වූ ධර්‍මය ද දෙසනු ලැබේ. (එකල) මේ පුඟුල් තෙමේ ද නිරයෙහි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසීමට මේ පළමු වන අනවකාශය වේ අකාලය වේ.
2. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වේ ... සුගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද තිරිසන් යොන්හි උපන්නේ වෙයි. මහණෙනි, බ්‍රහ්මචරියවාසයට මේ දෙවන අනවකාශය වේ. අකාලය වේ.
3. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිව්සස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගත ප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද ප්‍රේත විෂයෙහි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසුමට මේ තෙවන අනවකාශය වේ. අකාලය වේ.
4. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිව්සස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගතයන් වහන්සේ විසින් ප්‍රකාශිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද දීර්‍ඝායුෂ ඇති එක්තරා දේවනිකායයෙක්හි (අසංඥතලයෙහි) උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසුමට මේ සිවුවන අනවකාශය වේ. අකාලය වේ.
5. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගත ප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද මහණුන්ගේ මෙහෙණන්ගේ උවසුවන්ගේ උවැසියන්ගේ හසරෙක් යම් තැනෙක නැති ද, එබඳු වූ අතිශය අඥ වූ ම්ලෙච්ඡ වූ ප්‍රත්‍යන්තජනපදයන්හි උපන්නේ වෙයි. මහණෙනි, බඹසර විසීමට මේ පස්වන අනවකාශය වේ. අකාලය වේ.
6. තවද මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලෝකයෙහි උපන්නේ වෙයි. ... සුගතයන් වහන්සේ විසින් පවසන ලද ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුඟුල් තෙමේ ද මධ්‍යමජනපදයෙහි උපන්නේ දෙන ලද්දෙහි විපාක නැත, මහායාගයෙහි විපාක නැත, අමුත්තනට පිළියෙළ කළ සත්කාරයෙහි විපාක නැත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ (කුසලාකුසලයන්ගේ) පලයෙක් විපාකයෙක් නැත, (පරලොව සිටියහුට) මෙලොවක් නැත, (මෙලොව සිටියහුට) පරලොවක් නැත, මවු නැත, පියා නැත, (මවුපියනට කළ යහපත් අයහපත් පිළිවෙතින් පලවිපාක නැතැ යි සේ යි). ඕපපාතික සත්ත්‍වයෝ නැත, යමෙක් මෙලොව ද පරලොව ද තුමූ අභිවිශිෂ්ටඥානයෙන් පසක් කොට කියත් නම් (එබඳු) මනා මඟෙහි ගිය සම්‍යක්ප්‍රතිපන්න මහණබමුණෝ ලෝකයෙහි නැතියි විපරීත දැකුම් ඇති මිසදිටුවෙක් වේ. මහණෙනි, බඹසර විසුමට මේ සවන අනවකාශය වේ. අකාලය වේ.
7. තවද, මහණෙනි, ... දෙව්මිනිස්නට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් තථාගත තෙමේ ද ලොව උපන්නේ වේ ... සුගතප්‍රවේදිත ධර්‍ම ය ද දෙසනු ලැබෙයි. මේ පුඟුල් තෙමේ ද මධ්‍යමජනපදයෙහි උපන්නේ වෙයි. හෙතෙමේ ද මූඪ වූ කෙළ තොලු වූ සුභාෂිත දුර්‍භාෂිතයක්හු ගේ අරුත් දන්නට අසමත් වූ දුෂ්ප්‍රාඥයෙක් වේ. මහණෙනි, මෙ බඹසර විසුමට සත්වන අනවකාශය යි, අකාලය යි.
8. තවද, මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ ... දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගත තෙමේ ද ලෝකයෙහි නූපන්නේ වෙයි. කෙලෙස් සන්හිඳුවන්නා වූ කෙලෙස් පිරිනිවෙන්නා වු සම්බෝධියට යන සුලු වූ සුගතයන් වහන්සේ විසින් පවසන ලද ධර්‍මය ද නො දෙසනු ලැබේ. මේ පුද්ගල තෙමේ ද මධ්‍යම ජනපදයෙහි උපන්නේ වේ. හෙතෙමේ ද නුවණැත්තේ අජඩ වූයේ කෙලතොලු නො වූයේ සුභාෂිත දුර්‍භාෂිතයක්හුගේ අරුත් දැනීමෙහි ප්‍රතිබල වූයේ වේ. මහණෙනි, බඹසර විසුමට මේ අටවැනි වූ අනවකාශය වේ. අකාලය වේ. මහණෙනි, බඹසර විසුමට මෙ අනවකාශයෝ අකාලයෝ අට දෙන වෙත්.
මහණෙනි, බඹසර විසුමට එකම අවකාශයෙක් ද කාලයෙක් ද වේ. කවර එකෙක යත්: මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්‍මයන්ගෙන් යුක්ත වූ සුගත් වූ ලෝකවිදු වූ අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ සිවුසස් පිළිවිදි භාග්‍යවත් වූ තථාගත තෙමේ ද මේ ලෝකයෙහි උපන්නේ වේ. කෙලෙස් සන්හිඳුවන කෙලෙස් පිරිනිවන චතුර්මාර්‍ගඥානාවබෝධයට පමුණුවන සුගතප්‍රවේදිත ධර්‍මය ද දෙසනු ලැබේ. මේ පුද්ගල තෙමේ ද මධ්‍යම ජනපදයෙහි උපන්නේ වේ. හෙතෙමේ ද නුවණැත්තේ අජඩ වූයේ කෙලතොලු නො වූයේ සුභාෂිත දුර්‍භාෂිතයක්හුගේ අරුත් දැනුමෙහි ප්‍රතිබල වූයේ වේ. මහණෙනි, මේ බඹසර විසුමට එක ම අවකාශය ද කාලය ද වේ.
1. යම් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවය ලැබ මැනැවින් දෙසූ සදහම්හි අවකාශය නො ලබත් ද, ඔහු අවකාශය (ක්‍ෂණය) ඉක්මවා යෙත්.
2. මාර්‍ගයට අන්තරායකර වූ බොහෝ අනවකාශයෝ වදාරන ලදහ, තථාගතයෝ කිසියම් කලෙක ලෙව්හි උපදිත්.
3. මිනිසත් බව ලැබීම ද සදහම් දෙසීම ද යන යමක් ලොව අතිශය දුර්‍ලභ වේ ද, මෙය ඔහුට හමු විය. එහි ලා හිත කැමති මිනිසා විසින් වෑයම් කිරීමට සුදුසු ය.
4. සදහම් දෙසුම දැන ගත්තේ ය. අවකාශය නහමක් ඉක්ම යේ වා ඉකුත් අවකාශ ඇත්තෝ නිරයෙහි උපන්නාහු ශෝක කෙරෙත් මැයි.
5. මෙලොව්හි ම (ඒ ක්‍ෂණය ලබා) සද්ධර්‍ම නියාම සඞ්ඛ්‍යාත වූ ඒ ආර්‍ය්‍ය මාර්‍ගය වරදවා ගනී (නම්) පිරිහුණු ධන ඇති වෙළෙඳකු මෙන් බොහෝ කලක් තැවෙන්නේ ය.
6. සද්ධර්‍මය වරදවා ගත් අවිද්‍යාවෙන් ඇවුරුණු පුරුෂ තෙමේ ජාතිමරණ සඞ්ඛ්‍යාත සංසාරදුක්ඛය බොහෝ කලක් විඳින්නේ ය.
7. යම් කෙනෙක් මනා කොට දෙසූ දහම් පවත්නා කල්හි මිනිසත් බව ලැබ ශාස්තෘශාසනය කළාහු ද කෙරෙත් ද කරන්නාහු ද
8. යම් කෙනෙක් ලෝකයෙහි අනුත්තර වූ බ්‍රහ්මචර්‍ය්‍ය සඞ්ඛ්‍යාත ක්‍ෂණය ප්‍රතිවේධ කළාහු ද ඔහු තථාගතයන් වහන්සේ විසින් දෙසන ලද මඟට පිළිපන්හ.
9. පසැස් ඇති ආදිත්‍යබන්‍ධු වූ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සංවර කෙනෙක් දෙසන ලද්දාහු ද, එහි සංවෘත වූයේ හැම කල්හි සිහි ඇත්තේ කෙලෙසුන්ගෙන් නො තෙත් වූයේ වාස කරන්නේ ය.
10. යම් කෙනෙක් ලෝකයෙහි මාරධෙය්‍ය සඞ්ඛ්‍යාත සංසාරය අනුව යන සියලු අනුසයයන් සිඳ රහත් ඵලයට පැමිණියාහු ද ඔහු ඒකාන්තයෙන් නිවනට පත්වූවෝ වෙති යි.
8. 1. 3. 10.
අනුරුද්ධ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර නගරය අසල භේසකලාවන නම් මුවවෙනෙහි වැඩ වෙසෙන සේක. එ සමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ චෙතී දනව්වෙහි (බුදුරදුන් වැඩහුන් තැනින්) පෙරදිගෙහි වූ හුණ වෙනෙහි වෙසෙති. ඉක්බිති රහසිගත වූ එකලාව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ සිත්හි මෙ බඳු අදහසෙක් (මහා පුරුෂ විතර්‍කයෙක්) පහළ විය;
එනම්, මේ (නව ලෝකෝත්තර) ධර්‍මය (ලද ගුණ සැඟවීමෙන් ද පිළිගැනීමේ මාත්‍රඥතායෙන් ද) අල්පේච්ඡයා හට ය. මේ ධර්‍මය මහේච්ඡයාට නොවේ. මේ ධර්‍මය (සිවුපසෙහි තෙවැදෑරුම් සන්තෝසයෙන්) සතුටු වන්නහුට ය. මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වේ. මේ ධර්‍මය (කාය චිත්ත උපධිවිවේකයන්ගෙන්) ප්‍රවිවික්ත සිත් ඇතියහුට ය. මේ ධර්‍මය (ගණසඞ්ගණිකායේහි හා ක්ලේශසඞ්ගණිකායේහි ඇලුණු) සඞ්ගණිකාරාමයාහට නො වේ. මේ ධර්‍මය (කායිකචෛතසික වසයෙන්) පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තහුට ය. මේ ධර්‍මය කුසීතයාහට නො වේ. මේ ධර්‍මය (සතර සතිපට්ඨාන වසයෙන්) එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළා සිහි ඇත්තහුට නො වේ. මේ ධර්‍මය එකඟ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය අසමාහිත සිත් ඇත්තහුට නො වේ. මේ ධර්‍මය (කර්‍මස්වක ප්‍රඥායෙන්) ප්‍රඥා ඇත්තහුට ය. මේ ධර්‍මය දුෂ්ප්‍රාඥයාට නො වේ යයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ සිත්හි වූ පරිවිතර්‍කය තමන් වහන්සේගේ සිතින් දැන යම් සේ බලවත් පුරුෂයෙක් වක් කළ අතක් දිගු කරන්නේ ද, දික් කළ අතක් හකුළුවන්නේ ද, එසෙයින් භග්ගජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි භේසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන් වූසේක් චෙතී ජනපදයෙහි වූ (දශබල වසනස්ථානයෙන්) පෙරදිගෙහි පිහිටි හුණවෙනෙහි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හමුයෙහි පහළ වූ සේක.
භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක් හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ‘අනුරුද්ධය, මැනව, මැනව, අනුරුද්ධය, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයා ට නො වෙයි. මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වෙයි. මේ ධර්‍මය ප්‍රවිවික්තයාට ය, මේ ධර්‍මය සඞ්ගණිකාරාමයාට නො වෙයි. මේ ධර්‍මය ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයා ට නො වෙයි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළා සිහි ඇත්තහුට නො වෙයි. මේ ධර්‍මය සමාහිතයාට ය, මේ ධර්‍මය අසමාහිතයාට නොවෙයි. මේ ධර්‍මය ප්‍රඥාවත් හට ය. මේ ධර්‍මය දුෂ්ප්‍රාඥයාට නො වේ යයි තෙපි යම් මහාපුරුෂවිතර්‍කයක් විතර්‍කණය කරහු ද, එය මනා මැ යි.
එසේ නම් අනුරුද්ධය, තෙපි මේ අටවැනි වූ මහා පුරුෂ විතර්‍කය ද විතර්‍කණය කරව:- මේ ධර්‍මය නිෂ්ප්‍රපඤ්චසඞ්ඛ්‍යාත නිවනෙහි ඇලුණහු ට ය. මේ ධර්‍මය ප්‍රපඤ්චසඞ්ඛ්‍යාත තෘෂ්ණාමානදෘෂ්ටීන්හි ඇලුණහුට නො වේ ය කියායි.
අනුරුද්ධය, යම් කලෙක්හි වනාහි තෙපි මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්න හු ද, අනුරුද්ධය, එකල්හි තෙපි යම්තාක් කැමතිවන්නහු නම් (ඒතාක්) කාමයන්ගෙන් වෙන්ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට සම වැද වාස කරන්නහු ය.
අනුරුද්ධය, යම් කලෙක්හි වනාහි තෙපි මේ අෂ්ට මහාපුරුෂවිතර්‍කයන් විතර්‍කණය කරන්නහු ද, අනුරුද්ධය, එකල්හි තෙපි යම්තාක් කැමැති වන්නහු නම් (ඒ තාක්) විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපසමයෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානයට සමවැද වාස කරන්නහුය.
අනුරුද්ධය, යම් කලෙක්හි වනාහි තෙපි මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්නහු ද, අනුරුද්ධය, එකල්හි තෙපි යම්තාක් කැමැති වන්නහු නම් (ඒ තාක්) ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ ම වාස කරන්නහු ය. සිහි ඇත්තේ ද සම්‍යක් ප්‍රඥා ඇත්තේ ද, සුඛයත් කයින් පිළිවිදින්නහු ය. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ඒ පුඟුලා උපේක්‍ෂා ඇත්තේ ය, සතියෙන් යුක්ත ය, සුඛවිහරණ ඇත්තේය යි කියත් නම් (ඒ) තෘතීයධ්‍යානයට පැමිණ වාස කරන්නහු ය.
අනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්නහු ද, අනුරුද්ධය, එකල තෙපි යම්තාක් කැමැති වන්නහු නම් (ඒතාක්) සුඛයාගේ ප්‍රහාණයෙන් ද දුඃඛයාගේ ප්‍රහාණයෙන් ද සොම්නස් දොම්නස් දෙදෙනාගේ අස්තඞ්ගමයෙන් පෙරටුව ම දුක් නො වූ සුඛ නො වූ උපේක්‍ෂාස්මෘතීන්ගෙන් පිරිසුදු වූ චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද වාස කරන්නහු ය.
අනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛවිහරණය වූ මේ සතර ධ්‍යානයන් කැමතිසේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ නොයෙක් පැහැයෙන් රඳනා ලද වතින් පිරුණු පිළීකරඬුයෙක් යම්සේ ද, එසේ ම යථාලාභසන්තෝෂයෙන් යුතුව වාස කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණා දෘෂ්ටීගෙන්) නො පිරිතැවීම (අපරිත්‍රාසය - නො බියවීම) පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස සිවුරු අතුරින් පවුල් සිවුර (මැනැවැයි) වැටහෙන්නේ ය.
අනුරුද්ධය, තෙපි යම් කලෙක්හි වනාහි මේ අෂ්ටමහාපුරුෂවිතර්‍කයන් ද විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛ විහරණය වූ මේ සතරධ්‍යානයන් කැමති සේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ නොයෙක් සූප ඇති නොයෙක් ව්‍යඤ්ජන ඇති බැහැර කළ කළුඇට ඇති හැල්බතක් යම්සේ ද, එසේ ම යථාලාභසන්තෝෂයෙන් යුතුව වාසය කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන්) නො පිරිතැවීම පිණිස සැප විහරණය පිණිස නිවනට බැසගැනීම පිණිස බොජුන් අතුරින් පිණ්ඩියා ලෝපභෝජනය (මැනැවැයි) වැටහෙන්නේ ය.
අනුරුද්ධය, තෙපි යම් කලෙක පටන් මේ අෂ්ට මහාපුරුෂවිතර්‍කයන් ද විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛවිහරණය වූ මේ සතර ධ්‍යානයන් ද කැමතිසේ ලබන්නෙක් ද සැපසේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එතැන් පටන් තොපට යම් හෙයෙකින් ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ ඇතුළත පිටත පිරියම් කරන ලද වළක්වන ලද වාතප්‍රවේශ ඇති පැහැසූ කවුළු ඇති පියන ලද දොර කවුළු ඇති කුළුගෙයක් මැනැවැයි වටහා ද, එසෙයින් යථාලාභසන්තෝෂයෙන් යුතුව වාසය කරන්නා වූ තොපගේ ඇල්ම පිණිස (තෘෂ්ණාදෘෂ්ටීන්ගෙන්) නො පිරිතැවීම පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස සෙනසුන් අතුරෙන් වෘක්‍ෂමූලය (මැනවැයි) වැටහෙන්නේ ය.
අනුරුද්ධය, තෙපි යම් කලෙක වනාහි මේ අෂ්ටමහාපුරුෂ විතර්‍කයන් ද විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛවිහරණය වූ මේ සතර ධ්‍යානයන් ද කැමති සේ ලබන්නෙක් ද සැප සේ ලබන්නෙක් ද නිදුකින් ලබන්නෙක් ද වන්නහු නම් අනුරුද්ධය, එකල්හි තොපට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුහට හෝ මහ කොඳුපලස් අතුළ, සුදු එළුලොම් ඇතිරි අතුළ, ගනපුප් ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් ඇතිරි අතුළ, රතුඋඩුවියන් සහිත වූ දෙපස රතුකන්වයින් ඇති, පළඟෙක් යම්සේ වේ ද, එපරිද්දෙන් ම සන්තෝෂයෙන් වාස කරන තොපගේ ඇල්ම පිණිස නො පිරිතැවීම පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස සෙනසුන් අතුරෙන් තණ ඇතිරිය (මැනැවැ යි) වැටහෙන්නේ ය.
අනුරුද්ධය, තෙපි යම් කලෙක සිට මේ අෂ්ට මහාපුරුෂ විතර්‍කයන් ද, විතර්‍කණය කරන්නහු නම් අධිචිත්තයට අයත් දිටුදැමියෙහි සුඛ විහරණ වූ මේ සතර ධ්‍යානයන් කැමතිසේ ලබන්නහු නම් සැප සේ ලබන්නහු නම් නිදුකින් ලබන්නහු නම් අනුරුද්ධය, එතැන් සිට ගැහැවියකුට හෝ ගැහැවිපුතකුට හෝ ගිතෙල් වෙඬරු තෙල් මී උක් හකුරු යන නොයෙක් බෙහෙත් යම්සේ වේ ද, එපරිද්දෙන් ම සන්තෝෂයෙන් වාස කරන තොපට ඇල්ම පිණිස නො පිරිතැවීම පිණිස ඵාසුවිහරණය පිණිස නිවනට බැස ගැනීම පිණිස බෙහෙත් අතුරෙන් පූතිමුත්ත හෙසජ්ජය (මැනවැ යි) වැටහෙන්නේ ය.
අනුරුද්ධය, එසේ නම් තෙපි චෙතී දනව්වෙහි මෙහි ම පාචීනවංස මුවවෙනෙහි මත්තෙහි එන වස්විසුම ද කරන්නහු යි. වහන්ස, එසේ යි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අවවාදයෙන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්හට අවවාද දී බලවත් පුරුෂයෙක් යම්සේ වක්කළ හෝ අතක් දික් කරන්නේ ද, දික් කළ හෝ අතක් හකුළන්නේ ද, එසේ ම චෙතී දනව්වෙහි පාචීනවංස වෙනෙහි අතුරුදන් වූ සේක් භග්ග දනව්වෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ භේසකලාවන නැමැති මුවවෙනෙහි පහළ වූ සේක. භාග්‍යවතුන් වහන්සේ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක. මහණෙනි, අෂ්ට මහා පුරුෂ විතර්‍කයන් දේශනා කරන්නෙමි. එය අසවු, මැනවින් මෙනෙහි කරවු, දෙසන්නෙමි. වහන්ස, එසේ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, අෂ්ට මහාපුරුෂ විතර්‍කයෝ කවරහු ද යත්:
මහණෙනි, මේ ධර්‍මය තෙමේ අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයාට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ෂවිවේක ඇත්තාහට ය. මේ ධර්‍මය සඞ්ගණිකායෙහි ඇලුණහුට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය පටන් ගත් වීර්‍ය්‍ය ඇත්තාහට ය. මේ ධර්‍මය කුසීතයා හට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තාහට ය, මේ ධර්‍මය මුළාසිහි ඇත්තාහට නො වෙයි. මහණෙනි, මේ ධර්‍මය සමාහිත සිත් ඇත්තාහට ය, මේ ධර්‍මය අසමාහිත සිත් ඇත්තාහට නොවෙයි. මහණෙනි, මේ ධර්‍මය ප්‍රඥා ඇත්තාහට ය, මේ ධර්‍මය ප්‍රඥා නැත්තාහට නොවෙ යි. මහණෙනි, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි නො ඇලුණහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි ඇලුණහුට නොවේ.
1. ‘මහණෙනි, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය. මේ ධර්‍මය මහේච්ඡයාට නොවේ’ය යි තෙල මෙසේ කියන ලද නම් මෙය කුමක් පිණිස කියන ලද ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ අල්පෙච්ඡ වූයේ අල්පේච්ඡය යි මා දැනගන්නාහු නම් යෙහෙකැයි නො පතයි. සන්තුෂ්ට වූයේ ම සන්තුෂ්ටයෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැයි නො පතයි. ප්‍රකර්‍ෂ විවේකයෙන් යුක්ත වූයේ ප්‍රකර්‍ෂ විවේකය ඇත්තෙකැ යි මා දැනගත්තාහු නම් යෙහෙකැයි නො පතයි. පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තේ ම පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පත යි. එළැඹ සිටි සිහි ඇත්තේ ම එළැඹ සිටි සිහි ඇත්තෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පතයි. එකඟ වූ සිත් ඇත්තේ ම එකඟ වූ සිත් ඇත්තෙකැයි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පතයි. නුවණ ඇත්තේ ම නුවණැත්තෙකැ යි මා දැනගන්නාහු නම් මැනැවැ යි නො පතයි. ප්‍රපඤ්චයෙහි නො ඇලුණේ ම ප්‍රපඤ්චයෙහි නො ඇලුණෙකැ යි මා දැනගන්නාහු නම් යෙහෙකැ යි නො පතයි. ‘මහණෙනි, මේ ධර්‍මය අල්පේච්ඡයාට ය, මේ ධර්‍මය මහේච්ඡයාහට නො වේ’යි මෙසේ ඒ යමක් කියන ලද නම් මෙය ඒ සඳහා කියන ලද්දේ ය.
2. ‘මහණෙනි, මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාහට නො වෙ’යි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ යම්කිසි සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකරින් සතුටු වූයේ වේ. ‘මහණෙනි, මේ ධර්‍මය සන්තුෂ්ටයාට ය, මේ ධර්‍මය අසන්තුෂ්ටයාහට නො වේ’යි මෙසේ ඒ යමක් කියන ලද ද, එය මේ නිසා කියන ලද.
3. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ෂවිවේක ඇත්තහුට ය, මේ ධර්‍මය සඞ්ගණිකාවෙහි ඇලුණහුට නො වේ’යි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි ප්‍රකර්‍ෂ විවේක ඇතිව වසන්නහු වෙත එළඹෙන මහණ - මෙහෙණ - උවසු - උවැසි - රජ - රජමහ ඇමති - අන්තොටු - අන්තොටු සව්වෝ වෙති. ඔවුනතුරෙහි විවේකයට නැමුණු විවේකයට නැඹුරු වූ විවේකයට බරවූ විවේකයෙහි පිහිටි නෛෂ්ක්‍රම්‍යයෙහි ඇලුණු සිතින් මහණ ඒකාන්තයෙන් පෙළැඹැ වීම පිළිබැඳි (ඔවුන්ගේ උපස්ථානගමනයට හේතුවන) කථාවක්ම කරන්නෙක් වේ. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රකර්‍ෂවිවේක ඇත්තහුට ය, මේ ධර්‍මය සඞ්ගණිකායෙහි ඇලුණහුට නො වේ’යි මෙසේ එ යමක් කියන ලද නම් තෙල මෙ නිසා කියන ලද.
4. මහණෙනි, මේ ධර්‍මය දැඩි වැ ගත් වැර ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයාහට නො වේ’යි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශලධර්‍මයන්ගේ රැස් කිරීම පිණිස දැඩි වැ ගත් වීර්‍ය්‍යය ඇත්තේ ශක්ති දළපැරකුම් ඇත්තේ කුශලධර්‍මයන්හි නො බැහූ වෙර ඇත්තේ වාස කෙරෙයි. “මහණෙනි, මේ ධර්‍මය ආරබ්ධ වීර්‍ය්‍යය ඇත්තහුට ය, මේ ධර්‍මය කුසීතයාහට නො වේ’යි, මෙසේ මා යමක් කියන ලද නම්, එය මේ නිසා කියන ලද.
5. ‘මහණෙනි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුටය, මේ ධර්‍මය මුළාසිහි ඇත්තහුට නොවේ’යී. මෙසේ තෙල කියන ලද වෙයි, මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ තෙමේ උතුම් සිහිනුවණින් යුතු වූයේ සිහි ඇත්තේ වේ. පෙරකරනලද්ද පෙර කියන ලද්ද සිහි කරන්නේ පුනපුනා සිහි කරන්නේ වේ. ‘මහණෙනි, මේ ධර්‍මය එළැඹ සිටි සිහි ඇත්තහුට ය, මේ ධර්‍මය මුළාසිහි ඇත්තහුට නො වේ’යී මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මේ නිසා කියන ලද.
6. ‘මහණෙනි, මේ ධර්‍මය එකඟ වූ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය එකඟ නො වූ සිත් ඇත්තහුට නො වේ’යී මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. ‘මහණෙනි, මේ ධර්‍මය එකඟ වූ සිත් ඇත්තහුට ය, මේ ධර්‍මය එකඟ නොවූ සිත් ඇත්තහුහට නොවේ’යී මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මේ නිසා කියන ලද.
7. ‘මහණෙනි, මේ ධර්‍මය නුවණ ඇත්තහුට ය, මේ ධර්‍මය නුවණ නැත්තහුට නො වේ’යයි මෙසේ තෙල කියන ලද වෙයි. මෙය කුමක් නිසා කියන ලද ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ උදයවය පිළිවිදුමට සමත් වූ උතුම් වූ නිර්වේදයට හිත වූ මනා කොට දුක් ගෙවීමට යන සුලු ප්‍රඥාවෙන් සමන්‍විත වූයේ පැණවත් වෙයි. ‘මහණෙනි, මේ ධර්‍මය නුවණැත්තහුට ය, මේ ධර්‍මය නුවණ නැත්තහුට නො වේ’යී මෙසේ ඒ යමක් කියන ලද නම් තෙල මේ නිසා කියන ලද.
8. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි නො ඇලුණහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි ඇලුණහුට නොවේ’යී මෙසේ තෙල කියන ලද වෙයි. තෙල කුමක් නිසා කියන ලද ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ සිත නිර්‍වාණ පදයෙහි පිවිසෙයි, පහදියි, මැනවින් පිහිටයි, මිදේ. ‘මහණෙනි, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි නො ඇලුණහුට ය, මේ ධර්‍මය ප්‍රපඤ්චයෙහි ඇලුණහුට නො වේ’යී මෙසේ තෙල යමක් කියන ලද නම්, තෙල මේ නිසා කියන ලද්දේයි.
ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මත්තෙහි වූ වස්විසුම ද ඒ චෙතී දනව්වෙහි ම පාචීනවංස වෙනෙහි කළහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ එකලා වැ ගණසඞ්ගණිකාවෙන් වෙන් වැ නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නාහු නොබෝ කලෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත පැවිද්දට පැමිණෙද්ද ඒ අනුත්තර වූ මඟබඹසර කෙළවර වූ රහත්බව දිටුදැමියෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ විසූ හ. ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වසන ලද, සිවුමඟ කිස කොට නිමවන ලද. රහත්බව පිණිස කටයුතු අන් කිසෙක් නැතැයි දනගත්හ.
ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ පැමිණි රහත් බැව් ඇති සේක් එවේලෙහි මේ ගාථාවන් වදාළහ.
1. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ සඞ්කල්පය දැන ඍද්ධියෙන් මැවූ මනෝමය කයින් මා වෙත එළැඹි සේක.
2. මාගේ විතර්‍කය (සඞ්කල්පය) යම් පරිද්දෙකින් වී ද, එයට වැඩියක් දෙසූ සේක. නිෂ්ප්‍රපඤ්චයෙහි (නිර්‍වාණපදයෙහි) ඇලුණු බුදුරජාණන් වහන්සේ නිෂ්ප්‍රපඤ්චය (නිර්‍වාණධර්‍මය) දෙසූ සේක.
3. මම උන්වහන්සේගේ ධර්‍මය දැන සස්නෙහි ඇලුණෙම් ත්‍රිවිද්‍යාවට පැමිණියෙම් විසීමි. බුදු සසුන කරන ලදැයි.