Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 11501-11600 න් 15980

7. තවද වහන්ස, මහාසමුද්‍රය බොහෝ රුවන් ඇතියේ නන් රුවන් ඇතියේ වෙයි. එහිලා මේ රත්නයෝයි. එනම්: මුතු ය, මිණි ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පියුම්රා ය, මැසිරිගල් ය යන මොහු යි. වහන්ස, යම් හෙයෙකින් මහා සමුද්‍රය බහුරත්න වූයේ අනේකවිධ රත්න ඇති වේ ද, එහිලා මේ රත්නයෝයි. එනම්: මුතු ය, මිණි ය, වෙරළු ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රුවන් ය, පියුම්රා ය, මැසිරිගල් ය යන මොහු යි. වහන්ස, යමක් පුනපුනා දැක අසුරයෝ මහසයුරෙහි අභිරමණය කෙරෙත් නම් මේ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
8. තවද වහන්ස, මහමුහුද මහසත්නට ආවාස වෙයි. එහි මේ සත්හුය: තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරයෝ ය, නාගයෝ ය, ගන්‍ධර්‍වයෝ ය යන මොහු යි. මහමුහුදෙහි සියක් යොදුන් ඇති ආත්මභාවයෝ ද දෙසිය යොදුන් ආත්මභාවයෝ ද තෙසිය යොදුන් ආත්මභාවයෝ ද සිවුසිය යොදුන් ආත්මභාවයෝ ද පන්සිය යොදුන් ආත්මභාවයෝ ද වෙති.
වහන්ස, යම්හෙයෙකින් මහමුහුද මහත් වූ සත්නට ආවාස වේ නම් එහි ලා තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍වය යන මේ සත්හු වෙති. මහමුහුදෙහි සියක් යොදුන් ආත්මභාවයෝ ද දෙසිය යොදුන් ... තෙසිය යොදුන් ... සිවුසිය යොදුන් ... පන්සිය යොදුන් ආත්මභාවයෝ ද වෙත්. වහන්ස, අසුරයෝ යමක් පුනපුනා දැක මහමුහුදෙහි අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මේ අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
වහන්ස, අසුරයෝ මහමුහුදෙහි යම් කිසිවකුන් පුන පුනා දැක අභිරමණය කෙරෙත් නම් මහසමුදුරෙහි මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙති යි.
වහන්ස, භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි සිත් අලවා වෙසෙත්දැයි?
පහාරාදය, භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි සිත් අලවා වෙසෙති යි.
වහන්ස, යම් ආශ්චර්‍ය්‍ය කෙනකුන් පුනපුනා දැක භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් නම් එබඳු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කෙතෙක් දැ යි?
පහාරාදය, යම් ආශ්චර්‍ය්‍ය කෙනකුන් පුනපුනා දැක මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු අභිරමණය කෙරෙත් නම් එබඳු අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූතධර්‍ම කෙනෙක් මේ ධර්‍ම විනයෙහි වෙති. කවර අටෙක යත්:
1. පහාරාදය, යම් සේ මහසයුර අනුපූර්‍වනිම්න ද, අනුපූර්‍වප්‍රවණ ද, අනුපූර්‍වප්‍රාග්භාර ද, ආදියෙහි ම නො ගැඹුරු වේ ද, පහාරාදය, එසෙයින් ම මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍වශික්‍ෂා වෙයි. අනුපූර්‍වක්‍රියා වෙයි. අනුපූර්‍වප්‍රතිපත් වෙයි.
ආදියෙහි ම අර්‍හත්ත්‍ව ප්‍රතිවේධය නො වේ. පහාරාදය, යම් හෙයෙකින් මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍වශික්‍ෂා වේ ද, අනුපූර්‍වක්‍රියා වේ ද, අනුපූර්‍වප්‍රතිපත් වේ ද, ආදියෙහි ම අර්‍හත්ත්‍ව ප්‍රතිවේධය නො වේ ද, පහාරාදය, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යමක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍ම විනයෙහි මෙ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
2. පහාරාදය, යම්පරිදි මහාසමුද්‍රය ස්ථිත ධර්‍ම වූයේ වෙලාතික්‍රම නො කෙරේ ද, පහාරාදය, එපරිදි ම ම විසින් සව්වනට යම් සිකපදයෙක් පනවන ලද නම් එය මාගේ සව්වෝ දිවි හෙයිනුදු නො ඉක්මවත්. පහාරාදය, යම් හෙයෙකින් මා විසින් පනවන ලද ඒ සිකපදය මාගේ සව්වෝ දිවි හෙයිනුදු නො ඉක්මවත් නම්, පහාරාදය, යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් ද, මේ ධර්‍ම විනයෙහි මෙ දෙ වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
3. පහාරාදය, යම්පරිදි මහමුහුද මළකුණු හා නො වෙසේ ද, මහමුහුදෙහි යම් මළකුණපයෙක් වේ නම් එය වහාම තෙරට පමුණුවා ද, ගොඩ නංවා ද, එපරිදි ම, පහාරාදය, යම් මේ පුඟුලෙක් දුශ්ශීල වූයේ ලමු දහම් ඇතියේ අපවිත්‍ර කායකර්‍මාදියෙන් යුක්ත වූයේ සැකකටයුතු හැසිරීම් ඇතියේ පිළිසන් කම් ඇතියේ අශ්‍රමණ වූයේ ශ්‍රමණයෙක්මි යන පිළිණ ඇතියේ අබ්‍රම්සර ඇතියේ බ්‍රහ්මචාරියෙක් මැයි ප්‍රතිඥා ඇතියේ ඇතුළත කුණු වූයේ කෙලෙසුන් විසින් තෙත් වූයේ හටගත් කෙලෙස් මඩ ඇතියේ වේ නම් ඔහු හා සඞ්ඝ තෙමේ සංවාස නො කරයි. වැලිත් වහා ම ඔහු රැස්ව උත්ක්‍ෂේප (ඔසොවාදැමීම) කෙරෙයි. හේ බික්සඟුන් මැද හුන්නේ නමුදු වැලිත් හේ සඟුන්ගෙන් දුරු වූයේ ම වෙයි. සඞ්ඝ තෙමේ ද ඔහු කෙරෙන් දුරු වූයේ වෙයි. පහාරාදය, යම් හෙයෙකින් යම් පුඟුලෙක් දුස්සීල වූයේ ලමු දහම් ඇතියේ අශෞචයෙන් යුතු වූයේ සැක කටයුතු හැසිරීම් ඇතියේ පිළිසන් කම් ඇතියේ අශ්‍රමණ වූයේ ශ්‍රමණයෙක්මි යන ප්‍රතිඥා ඇතියේ අබ්‍රම්සැරි වූයේ බඹසැරිමි යන පිළිණ ඇතියේ ඇතුළත කුණු වූයේ කෙලෙසුන්ගෙන් තෙත් වූයේ හටගත් කෙලෙස් මඩ ඇතියේ වේ ද, සඞ්ඝ තෙම ඔහු හා සංවාස නො කෙරෙයි. වැලිත් වහා රැස්ව ඔහු උත්ක්‍ෂේප කෙරෙයි. හේ බික්සඟුන් මැද හුන්නේ නමුදු වැලිත් හේ සඟුන් කෙරෙන් දුරු වූයේ ම වෙයි. සඞ්ඝ තෙමේ ද ඔහුගෙන් දුරු වූයේ වේ. පහාරාදය, යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ තෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
4. පහාරාදය, යම් පරිදි යම්කිසි මහා නදීහු වෙද්ද, එනම්: ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය යන මොහු යි. ඔහු මහමුහුදට පැමිණ පළමු නම් ගොත් හරිත් ද, මහමුහුදැයි කියා ම සඞ්ඛ්‍යාවට යෙත් ද, පහාරාදය, එපරිදි ම ක්‍ෂත්‍රීයයහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහයි මේ චතුර්වර්‍ණයෝ වෙත් නම් ඔහු තථාගත ප්‍රවිදිත වූ ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය බවට පැමිණ පළමු නම් ගොත් හැරලත්. ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයහ යන සඞ්ඛ්‍යාවට ම යෙත්. පහාරාදය, යම් හෙයෙකින් ක්‍ෂත්‍රියහ, බ්‍රාහ්මණයහ, වෛශ්‍යයහ, ශුද්‍රයහයි මේ චතුර්වර්‍ණයෝ වෙත් නම් ඔහු තථාගත ප්‍රවිදිත ධර්‍මවිනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය භාවයට පැමිණ පළමු නම් ගොත් හැරලත් ද, ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයහ යි කියා ම සඞ්ඛ්‍යාවට යෙත් ද, පහාරාදය, භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක මේ ධර්‍මවිනයෙහි අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍ම විනයෙහි මෙ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
5. පහාරාදය, යම් පරිදි ලොව්හි යම් නදී කෙනෙක් මහසයුරට වැදගනිත් ද, යම් වෘෂ්ටිධාරාකෙනෙක් අහසින් ඇදහැලෙත් ද, එයින් මහසයුරුගේ උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද. පහාරාදය, එපරිදි ම බොහෝ භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නමුදු එයින් නිර්‍වාණධාතුහුගේ උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ. පහාරාදය, යම් කරුණකින් බොහෝ වූත් භික්‍ෂූහු අනුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවෙත් නමුදු එයින් නිර්‍වාණ ධාතුහුගේ උනුබවෙක් වේවයි පිරුණුබවෙක් වේවයි නො පැනේ ද, පහාරාදය, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ පස් වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
6. පහාරාදය, යම් පරිදි ඒක රස වූ මහා සමුද්‍රය ලුණු රස ඇතියේ ද එපරිදි ම, පහාරාදය, ඒකරස වූ මේ ධර්‍මවිනය විමුක්තිරස ඇතියේ වෙයි. යම් හෙයෙකින් ඒකරස වූ මේ ධර්‍මවිනය විමුක්තිරස ඇතියේ වේ ද, පහාරාදය, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැකඅභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මේ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
7. පහාරාදය, යම් පරිදි මහමුහුද බහුරත්න වූයේ නන් රුවන් ඇතියේ වේ ද, එහි මේ රත්නයෝ වෙති. එනම්: මුතු ය, මිණි ය, වෙරළුමිණි ය, සක් ය, ශිලා ය, පබළු ය, රිදී ය, රන් ය, පියුම්රා මිණි ය, මැසිරිගල් ය යන මොහු යි. පහාරාදය, එපරිදි ම මේ ධර්‍මවිනය බහුරත්න වූයේ නන් රුවන් ඇතියේ ය. එහි මේ රත්නයෝ වෙති. එනම්: සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර ඍද්ධිපාද ය, පඤ්චේන්‍ද්‍රිය ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ග ය, අරිඅටඟිමඟ යි. පහාරාදය, යම් හෙයෙකින් මේ ධර්‍මවිනය බහුරත්න වූයේ නන් රුවන් ඇතියේ වේ නම් එහි මේ රත්නයෝ වෙති, එනම්: සතර සතිපට්ඨාන ය, සතර සම්‍යක් ප්‍රධාන ය, සතර ඍද්ධිපාද ය, පඤ්චේන්‍ද්‍රිය ය, පඤ්ච බල ය, සප්ත බෝධ්‍යඞ්ග ය, අරිඅටඟිමඟ යි. පහාරාදය, මේ ධර්‍මවිනයෙහි යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
8. පහාරාදය, යම් පරිදි මහමුහුද මහත් වූ සත්නට ආවාස වේ ද, එහි තිමි ය, තිමඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍ව ය යන මේ මහසත්හු වෙති. මහසමුදුරෙහි සියක් යොදුන් ආත්මභාවයෝ ද දෙසියක් යොදුන් ආත්මභාවයෝ ද තෙසියක් යොදුන් ආත්මභාවයෝ ද සිවු සියක් යොදුන් ආත්මභාවයෝ ද පන්සියක් යොදුන් ආත්මභාවයෝ ද වෙත්.
පහාරාදය, එපරිදි ම මේ ධර්‍මවිනය මහත් වූ භූතයන්ගේ ආවාසයෙක. එහි මේ භූතයෝ වෙති: සෝවාන් ය, සෝවාන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අර්‍හත් ය, අර්‍හත් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය කියා යි. පහාරාදය, යම් හෙයෙකින් මේ ධර්‍මවිනය මහත් වූ භූතයනට ආවාස වේ නම් එහි සෝවාන් ය, සෝවාන් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. සකෘදාගාමී ය, සකෘදාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අනාගාමී ය, අනාගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේ ය. අර්‍හත් ය, අර්‍හත් ඵල පසක් කිරීමට පිළිපන්නේ ය යි මේ භූතයෝ වෙති. පහාරාදය, මේ ධර්‍මවිනයෙහි යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මෙ අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි.
පහාරාදය, භික්‍ෂූහු යම් ධර්‍ම කෙනකුන් දැක දැක මේ ශාසනයෙහි සිත් අලවා වෙසෙත් නම්, මේ ශාසනයෙහි මේ අටවැදෑරුම් ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙත් යයි.
8. 1. 2. 10.
උපෝසථ සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්‍වාරාම නම් මුවරමාපායෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ ලත් එ දවස බික්සඟුන් පිරිවරා වැඩ හුන්නාහු වෙති. එ කල ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඉකුත් බොහෝ කල් ඇති රාත්‍රියෙහි පළමු යම ඉකුත් කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
වහන්ස, රෑ ඉක්ම බොහෝ කල් ඇත, පළමු යම නික්ම ගියේ ය, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තාහු වෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්ව යි. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. දෙවන වටත් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඉක්ම ගිය බොහෝ කල් ඇති රාත්‍රියෙහි මැදුම් යම ඉකුත් කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙය සැළ කෙළේය:
වහන්ස, රෑ ඉකුත් බොහෝ කල් ඇත, මැඳුම් යම නික්ම ගියේ ය, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තාහු වෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්වා යි, භාග්‍යවතුන් වහන්සේ දෙවන වටත් තුෂ්ණීම්භූත වූ සේක. තෙවන වට ද ඇවැත් ආනන්‍ද තෙර ඉකුත් බොහෝ කල් ඇති රැයෙහි පැසුළු යම ඉක්ම ගිය කල්හි අරුණ නැඟි කල්හි රැය පහන් වූ කල්හි හුනස්නෙන් නැඟී උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වහන්ස, රාත්‍රි තොමෝ ඉකුත් බොහෝ කල් ඇත්තී ය. පැසුළු යම ඉක්ම ගියේ ය. අරුණ නැංගේ ය. රාත්‍රි තොමෝ නන්‍දිමුඛී වෙයි, බික්සඟහු හුන් බොහෝ කල් ඇත්තා හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්ව යි, මෙය සැලකළේ ය.
ආනන්‍දය, පිරිස අපිරිසුදු ය යි (වදාළහ.) එ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරුනට මේ සිත විය: කවර නම් පුඟුලකු සඳහා භාග්‍යවතුන් වහන්සේ ‘ආනන්‍දය, පිරිස අපිරිසුදු ය’ යි මෙසේ වදාළ සේක් දැයි. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සිය සිතින් හැම බික්සඟුන් සිතින් සිත පිරිසිඳ බලා මෙනෙහි කළහ.
ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ දුසිල් වූ ලමු දහම් ඇති අපවිත්‍ර කර්‍ම ඇති සැකයෙන් සිහි කටයුතු හැසිරීම් ඇති පිළිසන්කම් ඇති අශ්‍රමණ වූ ශ්‍රමණයෙමියි කරන ප්‍රතිඥා ඇති අබ්‍රම්සැරි වූ බඹසැරිමි සන පිළිණ ඇති ඇතුළත කුණු වූ කෙලෙසින් තෙත් වූ උපන් කෙලෙස් මඩ ඇති බික්සඟුන් මැද හුන් ඒ පුඟුලා දුටහ. දැක හුනස්නෙන් නැඟි ඒ පුඟුල් වෙත එළඹියහ. එළඹ ඒ පුඟුල් හට මෙය කීහ: “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි.
මෙසේ කී කල්හි ඒ පුද්ගල තුෂ්ණීම්භූත විය, දෙවන වටත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුල්හට මෙය කීහ. “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි. දෙවන වටත් ඒ පුඟුල් තුෂ්ණීම්භූත විය. තෙවන වටත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ පුඟුල්හට මෙය කීහ. “ඇවැත්නි, නැඟී සිටුව, භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහි, තට මහණුන් හා සංවාසයෙක් නැතැ”යි. තෙවන වටත් ඒ පුඟුල් තුෂ්ණීම්භූත විය.
එකල ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ එ පුඟුල්හු බාහුයෙහි ගෙන බිහිදොර කොටුවෙන් නෙරා දොරගුළු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ, එළඹ භාග්‍යවතුනට මෙය සැළ කළහ:
“වහන්ස, මා විසින් ඒ පුඟුල් තෙම නෙරන ලදුයේ වෙයි. පිරිස් පිරිසුදු ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මහණුන්ට පාමොක් උදෙසන සේක්වා”යී.
“මුගලන, ආශ්චර්‍ය්‍ය ය. මුගලන, අද්භූත. බාහුයෙන් ගන්නාතාක් ම ඒ මෝඝපුරුෂ හුන්නේ”යයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දැන් තෙපි ම පොහෝ කරවු. පාමොක් උදෙසවු, මහණෙනි, අද පටන් කොට මම පොහෝ නො කරන්නෙම්, පාමොක් නො උදසන්නෙමි. මහණෙනි, යම් කරුණෙකින් තථාගතයෝ අපිරිසිදු පිරිස්හි පොහෝ කරන්නාහ, පාමොක් උදෙසන්නාහ යන තෙල කරුණ අස්ථාන වෙයි. අවකාශ රහිත වේ.”
මහණෙනි, යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුන පුනා දැක අසුරයෝ අභිරමණය කෙරෙත් නම් මහසමුදුරෙහි මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම කෙනෙක් වෙති. කවර අටදෙනෙක යත්:
මහණෙනි, මහසයුර අනුපූර්‍ව නිම්නයි, අනුපූර්‍වප්‍රවණයි, අනුපූර්‍වප්‍රාග්භාර යි. ආදියෙහි ම ගැඹුරු නො වේ. මහණෙනි, යම් හෙයෙකින් අනුපූර්‍වනිම්න වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආදියෙහි ම ගැඹුරු නො වේ ද, මහණෙනි, මහමුහුදෙහි යම් ආශ්චර්‍ය්‍යයෙක් පුනපුනා දැක අසුරයෝ අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මේ පළමු වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි ...
තවද මහණෙනි, මහසයුර මහත් වූ සත්නට ආවාස වෙයි. එහි තිමි ය, තිමිඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරය, නාගය, ගන්‍ධර්‍ව ය යන මොහු මහසත්හු වෙති. මහමුහුදෙහි සියක් යොදුන් ආත්මභාවයෝ ද ... පන්සියක් යොදුන් ආත්මභාවයෝ ද වෙති. මහණෙනි, යම් හෙයෙකින් මහමුහුද මහසත්නට ආවාස වේ ද, එහි තිමි ය, තිමිඞ්ගල ය, තිමිරපිඞ්ගල ය, අසුරය, නාගය, ගන්‍ධර්‍ව ය යන මෙ මහ සත්හු වෙත් ද, මහමුහුදෙහි සියක් යොදුන් ආත්මභාවයෝත් ... පන්සියක් යොදුන් ආත්මභාවයෝත් වෙත් ද, මහණෙනි, මහමුහුදෙහි අසුරයෝ යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මෙ අට වැනි ආශ්චර්‍ය්‍ය ධර්‍මය යි.
මහණෙනි, මහමුහුදෙහි යම් බඳු ආශ්චර්‍ය්‍යයන් පුනපුනා දැක අසුරයෝ අභිරමණය කෙරෙත් නම් මහමුහුදෙහි මේ අටදෙන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ වෙති.
මහණෙනි, එපරිදිම මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මකෙනෙක් වෙති.
කවර අට දෙනෙක යත්:
මහණෙනි, යම්පරිදි මහමුහුද අනුපූර්‍ව නිම්න වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආදියෙහි ම ගැඹුරු නො වේ ද, මහණෙනි, එපරිදි ම මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍ව ශික්‍ෂා වෙයි, අනුපූර්‍ව ක්‍රියා වෙයි, අනුපූර්‍ව ප්‍රතිපත්ති වෙයි, ආදියෙහි ම අර්‍හත්ත්‍වප්‍රතිවේධය නොවේ. මහණෙනි, යම් හෙයෙකින් මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍ව ශික්‍ෂා වේ ද, අනුපූර්‍ව ක්‍රියා වේ ද, අනුපූර්‍ව ප්‍රතිපත් වේ ද, ආදියෙහි ම අර්‍හත්ත්‍වප්‍රතිවේධය නොවේ ද, මහණෙනි, මෙ ධර්‍මවිනයෙහි යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක භික්‍ෂූහු සිත් අලවා වෙසෙත් නම් මේ ධර්‍මවිනයෙහි මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය වෙයි ...
මහණෙනි, යම්පරිදි මහමුහුද මහත් සත්නට ආවාස වේ ද, එහි තිමි ය, තිමිඞ්ගලය, තිමිර පිඞ්ගලය, අසුර ය, නාග ය, ගන්‍ධර්‍වය යන මේ මහසත්හු වෙත්. මහ මුහුදෙහි සියක් යොදුන් අත්බැව් ද ... පන්සියක් යොදුන් අත්බැව් ද වෙත්. මහණෙනි, එපරිදිම මේ ධර්‍මවිනය මහසත්නට ආවාස වෙයි. සෝවන් ය, සෝවන්ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, .. අර්‍හත්ය, අර්‍හත්ඵල පසක් කිරීමට පිළිපන්නේ යන මේ මහසත්හු වෙති. මහණෙනි, යම් හෙයෙකින් මේ ධර්‍මවිනය මහසත්නට ආවාස වේ ද, එහි සෝවන් ය, සෝවන්ඵල පසක් කිරීමට පිළිපන්නේ ය, … රහත් බවට පිළිපන්නේ ය යන මේ මහසත්හු වෙත් ද , මහණෙනි, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍යයක් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මේ ධර්‍මවිනයෙහි මේ අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය යි. මහණෙනි, මේ ධර්‍මවිනයෙහි භික්‍ෂූහු යම් ආශ්චර්‍ය්‍ය කෙනෙකුන් පුනපුනා දැක අභිරමණය කෙරෙත් නම් මොහු මේ ධර්‍මවිනයෙහි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ යි.
දෙවැනි මහාවර්‍ග යි.
එහි උද්දානය:
වේරඤ්ජ සූත්‍රය, සීහ (සේනාපති) සූත්‍රය, ආජඤ්ඤ සූත්‍රය, ඛලුඞ්ක සූත්‍රය, මල සූත්‍රය, දූතෙය්‍ය සූත්‍රය, ඉත්‍ථිබන්‍ධන සූත්‍රය, පුරුසබන්‍ධන සූත්‍රය, පහාරාද සූත්‍රය, උපෝසථ සූත්‍රය ද යන දශය යි.
3. ගහපති වර්‍ගය
8. 1. 3. 1.
වේසාලික උග්ග සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරසාලායෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, විසල්පුර වැසි උග්ග ගහපති ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අටෙකින් සමන්‍වාගත කොට දරවුයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
ඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුර වැසි උග්ග ගැහැවිහුගේ නිවෙස්න යම් තෙනෙක්හි ද, එහි එළැඹියේ ය, එළඹ පැනවූ අස්නෙහි හින. එකල්හි විසල්පුරවැසි උග්‍රගෘහපති ඒ මහණහු වෙත එළැඹියේ ය. එළැඹ එ මහණහු වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් විසල්පුර වැසි උග්‍රගෘහපති හට ඒ මහණ මෙය කී ය:
ගෘහපතිය, තෙපි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම අටෙකින් සමන්‍වාගත වවු යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දාහු, ගෘහපතිය, තෙපි යම් ධර්‍ම අටෙකින් සමන්‍වාගත වවු යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දහු ද, ඒ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ අටදෙන කවරහු ද?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් මම කවර අසිරි අබුතු දහම් අටෙකින් සමන්‍වාගතය යි ප්‍රකාශිතයෙම් දැයි නො දනිමි. එහෙත් වහන්ස, මාගේ යම් මේ අට අසිරි අබුතු දහම් කෙනෙක් ඇත් ද ඔවුන් අසව. මැනවින් මෙනෙහි කරව, පවසන්නෙමි යි.
ඒ මහණ තෙමේ ‘එසේ ය ගෘහපතිය’ යි විසල්පුරවැසි උග්‍රගෘහපති හට පිළිවදන් ඇස්වී ය. විසල් පුරවැසි උග්‍රගහෘපති තෙමේ මෙය කී ය:
1. වහන්ස, මම් යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ පළමු කොට දුරදීම දුටුයෙමි ද, වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ දර්‍ශනය හා සමග ම මාගේ සිත පහන් වි ය. වහන්ස, මාගේ මේ පළමු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
2. වහන්ස, ඒ මම පහන්සිත් ඇතියෙම් භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසනය (වෙත එළැඹ ඇසුරු කිරීම) කෙළෙමි. එ මට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව දෙසූසේක. එ නම්: දානකථා සීලකථා ද සග්ගකථා ද කාමයන්ගේ ආදීනව ලමුබව කිලිටිබව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් කලෙක්හි අරෝගසිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔදවැඩි සිත් ඇති පහන් සිත් ඇති මා දත් සේක් ද, එකල්හි බුදුවරයින්ගේ සාමුක්කංසික වූ (තමන් විසින් ම කිසිවකුගේ වහලක් නැති ව නගාගත්) යම් ධර්‍මදේශනාවක් වේ ද, දුඃඛ ය, සමුදය ය, නිරෝධය ය, මාර්‍ගය ය යන ඒ (චතුස්සත්‍ය) ධර්‍මය ප්‍රකාශ කළ සේක. යම්සේ පහවූ කළු ඇති ශුද්ධ වස්ත්‍රයක් මොනොවට රඳන් ගන්නේ වේ ද, එසෙයින් ම මට එ හුන් අස්නෙහි මැ, සමුදය, ස්වභාව ඇති යමක් ඇත් ද, ඒ හැම නිරෝධ ස්වාභාව ඇතැයි විරජ වූ වීතමල වූ ධර්‍මචක්‍ෂුස පහළ වී.
වහන්ස, ඒ මම වනාහි දුටුදහම් ඇතියෙම් ප්‍රකට කොට දත් දහම් ඇතියෙම් බැසගත් දහම් ඇතියෙම් ඉක්මවූ විචිකිච්ඡා ඇතියෙම් පහ වූ කථඞ්කථා (කෙසේ ද කෙසේදැයි කරන සැක) ඇතියෙම් වෙසරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (ධර්‍මාවබෝධයට) අන් ප්‍රත්‍යයක් (පිහිටක්) නැත්තෙම් එහිදී ම ඒ බුදුන් ද දහම් ද සඟුන් ද කරණ කොට ගියෙමි. බඹසර පස් වනු කොට ඇති සිකපද (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය) සමාදන් වීමි. වහන්ස, මෙ මාගේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත.
3. වහන්ස, ඒ මට තරුණ භාර්‍ය්‍යාවෝ සිවුදෙනෙක් වූහ. වහන්ස, ඉක්බිත්තෙන් මම ඒ භාර්‍ය්‍යාවෝ යම් තෙනෙක්හි වූ ද, එතන්හි එළැඹියෙමි. එළැඹ ඒ භාර්‍ය්‍යාවනට තෙල කීමි: සොහොවිරියනි, මා විසින් බඹසර පස් වනු කොට ඇති සිකපදයෝ සමාදන්ව ගන්නා ලදහු ය. යම් ස්ත්‍රියක් කැමැති වේ නම් ඕතොමෝ මෙහි ම (හිඳ) භෝගයන් ද අනුභව කෙරේවා! සිය නෑ කුලයන් කරා හෝ යේවා! පුරුෂයන් පිළිබඳ අදහස් ඇති හෝ වේ නම් කවරක් හට තොප දෙම් දැයි. වහන්ස, මෙසේ කී කල්හි දෙටු භාර්‍ය්‍යා තොමෝ මට මෙය කී: ආර්‍ය්‍යපුත්‍රය, මා මෙ නම් ඇති පුරුෂයාහට දෙව යි.
වහන්ස, එකල මම ඒ පුරුෂයා කැඳවා වමතින් භාර්‍ය්‍යාව අල්ලාගෙන දකුණතින් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂහට අත පැන් වඩා දිනිමි. වහන්ස, තරුණ භාර්‍ය්‍යාව හරනෙම් මම සිතෙහි වෙනස් බවක් නො දනිමි. වහන්ස, මාගේ මේ තෙවන අසිරි අබුතු දහම ඇත.
4. වහන්ස, මාගේ කුලයෙහි භෝගයෝ ඇත්තාහ. ඒ භෝගයෝ ද කලණ දහම් ඇති සිල්වතුන් සමග (මෙතෙක් දෙමි මෙතෙක් නොදෙමි මෙය දෙමි මෙය නො දෙමි යි සිතක් නැතිව සාධාරණ බෙදුම් ඇතියෙන්) අප්‍රතිවිභක්තයහ. වහන්ස, මාගේ මේ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.
5. වහන්ස, මම යම් මහණක්හු පර්‍ය්‍යුපාසන කෙරෙම් ද, සකසා ම පර්‍ය්‍යුපාසන කරමි. නො සකසා පර්‍ය්‍යුපාසන නො කරමි. වහන්ස, මාගේ මෙ පස් වන අසිරි අබුතු දහම ද ඇත්තේ ය.
6. වහන්ස, ඉදින් ඒ ආයුෂ්‍මත් මට දහම් දෙසා නම් සකසා ම අසමි, නො සකසා නො අසමි. ඒ ආයුෂ්මත් ඉදින් මට දහම් නො දෙසා නම් මම ඔබට දහම් දෙසමි. වහන්ස, මාගේ මෙ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත.
7. වහන්ස, දෙවියෝ මා කරා එළැඹ ‘ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට දෙසන ලද්දේ ය’යි සැළ කෙරෙති. (එය) ආශ්චර්‍ය්‍යයෙක් නො වේ. එසේ කී කල්හි වහන්ස, මම ඒ දෙවියනට මෙසේ කියමි: දේවතාවෙනි, තෙපි මෙසේ කියහු දු නො කියහු දු ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මොනොවට දෙසන ලද්දේ ම ය. වහන්ස, දෙවියෝ මා කරා එළැඹෙති යි හෝ මම දෙවියන් හා සමග සාකච්ඡා කෙරෙමි යි හෝ ඒ හේතු කොට ගෙන උන්නතියක් (සිතෙහි උසස් වීමක්) මම නොදනිම් ම ය. වහන්ස, මාගේ මෙ සත් වන අසිරි අබුතු දහම ද ඇත.
8. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ඕරම්භාගියහ යි යම් සංයෝජන පසෙක් දෙසන ලදහු ද, ඉන් ප්‍රහීණ නො වූ කිසිවක් මම තමා කෙරෙහි නො දකිමි. වහන්ස, මාගේ මෙම අට වැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.
වහන්ස, මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ඇත්තාහ. කවර අසිරි අබුතු දහම් අටෙකින් මම සමන්‍වාගතය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ වෙම්දැයි මම නො දනිමි.
ඉක්බිති ඒ මහණ විසල්පුරවැසි උග්‍රගෘහපතිහුගේ නිවසෙහි පිණ්ඩපාතය පිළිගෙන, හුනස්නෙන් නැඟී ගියේ ය.
ඉක්බිති ඒ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුණේ පැසුළුබත භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හින, එකත් පසෙක හුන් ඒ මහණ විසල්පුර වැසි ඒ උග්‍රගෘහපති හා සමඟ යම් පමණ වූ කථා සල්ලාපයෙක් වී නම් ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
මහණ, මොනොවට පවසන විසල් පුර වැසි උග්‍රගෘහපති තෙමේ තොපට යම්සේ පවසන්නේ ද, එ ඉතා මැනැව. මහණ විසල් පුර වැසි උග්‍රගෘහපති මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් ම සමන්‍විතය යි මා විසින් ප්‍රකාශ කරන ලද්දේ ය.
මහණ, විසල්පුර වැසි උග්‍රගෘහපති මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විතැ යි දරව යි.
8. 1. 3. 2.
හත්‍ථිගාමක උග්ග සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙහි හස්ති ග්‍රාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ...
‘මහණෙනි, ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි දරවු. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක, සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
ඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන ඇත්ගම්වැසි උග්‍ර ගෘහපතිහු ගේ නිවසට එළැඹියේ ය. එළැඹ පැනවූ අස්නෙහි හුන්නේ ය. ඉක්බිති ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති තෙමේ එ මහණහු වෙත එළැඹියේ ය. එළැඹ එ මහණුහු වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ඇත්ගම් වැසි උග්‍ර ගෘහපතිහට එ මහණ මෙය කීය:
ගැහැවිය, තෙපි අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු ය. ගෘහපතිය, යම් ධර්‍ම අටෙකින් තෙපි සමන්‍විත හ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දහු ද, ඒ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ කවර හුද?
වහන්ස, මම කවර නම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දෙම් ද, එය මම නොදනිම් ම ය. වහන්ස එතකුදු වුවත් මාගේ යම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මකෙනෙක් වෙත් නම් ඔවුන් අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි යි. එසේ ය ගෘහපතිය යි එ මහණ ඇත්ගම්වැසි උග්‍ර ගෘහපති හට පිළිවදන් ඇස්වී ය. ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති මෙය කීය:
1. වහන්ස, යම් කලෙක මම නාගවන නම් උයනෙහි ඉඳුරන් පිනවමින් හැසිරෙන්නෙම් පළමු කොට දුරදී ම භාග්‍යවතුන් වහන්සේ දිටිම් ද, භාග්‍යවතුන් වහන්සේගේ දැකීම හා සමග ම මාගේ සිත පහන් විය. සුරාමදය ද පහවී ය. වහන්ස, මාගේ මේ ප්‍රථම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
2. වහන්ස, පහන්සිත් ඇති මම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇසිරි කෙළෙමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙළ කථාව වදාළ සේක. එනම්: දානකථාව ද සීලකථාව ද සග්ගකථාව ද කාමයන්ගේ ආදීනව ය ලාමක බව කිලිටි බව ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ප්‍රකාශ කළ සේක. යම් කලෙක භාග්‍යවතුන් වහන්සේ අරෝග සිත් ඇති මොළොක් සිත් ඇති නීවරණ රහිත සිත් ඇති ඔද වැඩි සිත් ඇති පහන් සිත් ඇති මා දත් සේක් ද, එකල්හි බුදුවරුන්ගේ යම් සාමුක්කංසික ධර්‍මදේශනාවක් වේ ද, දුක්ඛ ය සමුදය ය නිරෝධ ය මාර්‍ගය යන ඒ (චතුස්සත්‍ය) ධර්‍මය වදාළ සේක. යම්සේ පහ වූ කළු බව (කිලිටි) ඇති සුදු වතෙක් මොනොවට රඳන් පිළිගන්නේ ද, එ පරිද්දෙන් ම ඒ අසුනෙහි ම සමුදය ස්වභාව ඇති යමක් ඇත් ද, එ හැම නිරෝධ ස්වභාව ඇතැයි පහවූ (රාගාදි) රජස් ඇති පහ වූ (රාගාදි) කිලිටි ඇති දහම් ඇස (අනගැමි මඟ) පහළ විය.
වහන්ස, ඒ මම දක්නා ලද (ආර්‍ය්‍යසත්‍ය) ධර්‍ම ඇත්තෙම් පැමිණි දහම් ඇත්තෙම් බැසගත් දහම් ඇත්තෙම් තරණය කළ විචිකිච්ඡා ඇත්තෙම් පහවූ කථඞ්කථා (සැක) ඇත්තෙම් විසාරද බවට පැමිණියෙම් ශාස්තෘශාසනයෙහි (අනෙකක්හු හැදැහීමෙන් පැවැත්මක් නැතියෙන්) පරප්‍රත්‍යය රහිතයෙම් එහිදී ම බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට ගියෙමි. බඹසර පස්වනු කොට ඇති සිකපදයන් (බ්‍රහ්මචරිය පඤ්චමකශීලය) සමාදන් කොට ගතිමි. වහන්ස, මාගේ මෙ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ද ඇත්තේ ය.
3. වහන්ස, ඒ මට තරුණ භාර්‍ය්‍යාවෝ සතරදෙනෙක් වූහ. එකල වහන්ස, මම ඒ භාර්‍ය්‍යාවන් වෙත එළඹියෙමි. එළඹ ඒ භාර්‍ය්‍යවන්ට මෙය කීමි: සොහොවිරියෙනි, “මවිසින් බඹසර පස්වැනි කොට ඇති සිකපද සමාදන්වන ලදි, යම් ස්ත්‍රියක් කැමති නම් ඕ මෙහි ම භෝගයන් ද වළඳාවා! පින් ද කෙරේ වා! සිය නෑකුලයන් වෙත හෝ යේ වා! පුරුෂයකු පිළිබඳ අදහස් ඇති හෝ වේ නම් කවරකුහට තොප දෙම් දැයි, මෙසේ කී කල්හි වහන්ස, ඒ දෙටු බිරිඳ මෙසේ කිවු: ආර්‍ය්‍යපුත්‍රය, මෙ නම් ඇති පුරුෂයා හට මා දෙව යි, ඉක්බිති වහන්ස, මම ඒ පුරුෂයා කැඳවා වමතින් බිරිඳ අල්වා ගෙන දකුණතින් කෙණ්ඩිය ගෙන ඒ පුරුෂයා හට අතපැන් වඩා පවරා දුනිමි. වහන්ස, මම තරුණ වූ බිරිඳ හරනෙම් සිතේ වෙනස් බවක් නොදනිමි. වහන්ස, මාගේ මේ තෙවෙනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
4. වහන්ස, මාගේ කුලයෙහි භෝගයෝ ඇත්තාහුම ය, ඒ භෝගයෝ කලණදහම් ඇති සිල්වතුන් හා (මෙතෙක් දිය යුතුය මෙතෙක් නො දිය යුතුය යනාදීන්) නො බෙදන ලද්දාහු ම ය. වහන්ස, මාගේ මේ සිවුවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
5. වහන්ස, මම යම් මහණකු ඇසුරු කෙරෙම් ද සකසා ම එළැඹ ඇසුරු කරමි. නො සකසා එළැඹ ඇසුරු නො කරමි. වහන්ස, ඉදින් ඒ ආයුෂ්මත් මට දහම් දෙසා නම් සකසා ම අසමි. නො සකසා නො අසමි. ඉදින් ඒ ආයුෂ්මත් මට දහම් නො දෙසා නම් මම ඔබට දහම් දෙසමි. වහන්ස, මාගේ මේ පස්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
6. වහන්ස, සඞ්ඝයා බතින් පැවරූ කල්හි දෙවියෝ මා වෙත එළඹැ ගැහැවිය, අසුවල් මහණ උභතොභාගවිමුක්ත ය. අසුවල් මහණ ප්‍රඥාවිමුක්ත ය. අසුවල් මහණ කායසාක්‍ෂී ය. අසුවල් මහණ දෘෂ්ටිප්‍රාප්ත ය. අසුවල් මහණ ශ්‍රද්ධාවිමුක්ත ය. අසුවල් මහණ ශ්‍රද්ධානුසාරී ය. අසුවල් මහණ ධර්‍මානුසාරී ය. අසුවල් මහණ කලණ දම් ඇති සිල්වතෙක. අසුවල් මහණ ලමුදම් ඇති දුශ්ශීලයෙකැ යි සැළ කෙරෙත්. එය ආශ්චර්‍ය්‍යයෙක් නො වෙ යි. වහන්ස, මම සඞ්ඝයා වළඳවන්නෙම් මොහුට හෝ මඳක් දෙමි. මොහුට හෝ බොහෝ කොට දෙමැයි යන මෙ බඳු සිතක් ඉපදවූ බව නො මැ දනිමි. වහන්ස, වැළිදු සම සිත් ඇත්තේ ම දෙමි වහන්ස, මාගේ මේ සවන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
7. වහන්ස, දෙවියෝ එළැඹ ගැහැවිය, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනැවින් ප්‍රකාශකරන ලද්දේ ය යි සැළ කෙරෙත්. එය ආශ්චර්‍ය්‍යයෙක් නො වෙයි. වහන්ස, මෙසේ කී කල්හි ඒ දෙවියනට මම මෙසේ කියමි: ‘දේවතාවෙනි, තෙපි මෙසේ කියහු ද නො කියහු ද භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් ප්‍රකාශ කරණ ලද්දේ ම’ ය යි. වහන්ස, මම ඒ හේතු කොට ගෙන දෙවියෝ හෝ මා වෙත එළඹෙත්. මම හෝ දෙවියන් හා කථා කෙරෙමැයි සිතෙහි නැඟීමක් නො ම දනිමි. වහන්ස, මාගේ මෙ සත්වන ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
8. වහන්ස, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පෙරාතුව ම කලුරිය කරන්නෙම් නම්, ‘ඇත්ගම්වැසි උග්ගගහපති යම් සංයෝජනයෙකින් බැඳුනේ යළි මෙ ලොවට එන්නේ නම් ඒ සංයෝජනය (ඔහුට) නැතැ’යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ මා උදෙසා යමක් ප්‍රකාශ කරණ සේක් ද, එය ආශ්චර්‍ය්‍යයෙක් නො වේ. වහන්ස, මේ මාගේ අෂ්ටම ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය ඇත්තේ ය.
වහන්ස, මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෝ ඇත්තාහ. මම කවර නම් අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දෙම් දැයි මම නො දනිම් ම ය.
ඉක්බිති ඒ මහණ ඇත්ගම්වැසි උග්‍රගෘහපතිහුගේ පිණ්ඩපාතය ගෙන හුනස්නෙන් නැඟි ගියේ ය. ඉක්බිති ඒ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුණේ පසු බත භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් එ මහණ ඇත්ගම්වැසි උග්‍රගෘහපති හා සමඟ යම් පමණ වූ කථාසල්ලාපයෙක් වී ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
මහණ, ඉතා මැනැව, ඇත්ගම් වැසි උග්‍රගෘහපති යම්සේ තොපට මනා කොට පවසන්නේ කියා ද, මහණ මේ අෂ්ට ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් ම ඇත්ගම් වැසි උග්‍ර ගෘහපති සමන්‍විතය යි මා විසින් ප්‍රකාශ කරන ලද්දේ ය. මහණ ඇත් ගම් වැසි උග්‍ර ගෘහපති මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන් ගෙන් සමන්‍විත ය යි ධරව යි.
8. 1. 3. 3.
හත්‍ථකාළවක සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළවුනුවර අග්ගාළව නම් චෛත්‍යස්ථානයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක:
මහණෙනි, හත්‍ථකආළවක කුමර සප්ත ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයන්ගෙන් යුක්ත වූවකු කොට දරවු. කවර සතෙකින යත්:
මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ශ්‍රද්ධාවත්ය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ සිල්වත් ය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ලජ්ජීය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ඔතප් ඇත්තේ ය. මහණෙනි, හත්‍ථකආළවක තෙමේ බහුශ්‍රැතය, මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ත්‍යාගී ය. මහණෙනි, හත්‍ථකආළවක තෙමේ ප්‍රඥාවත් ය යි, මහණෙනි, හත්‍ථකආළවක මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතින් යුක්තවූවකු කොට ධරවු යයි භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.
ඉක්බිති එක්තරා මහණෙක් පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ හත්‍ථකආළවක කුමරුගේ නිවෙස්නට එළඹියේ ය. එළැඹ පනවන ලද අස්නෙහි හින, ඉක්බිති හත්‍ථකආළවක ඒ මහණහු කරා එළැඹියේ ය, එළැඹ ඒ මහණහු සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය, ඒ මහණ එකත් පසෙක හුන් හත්‍ථක ආළවක හට මෙය කීය, ඇවත, තෙපි භාග්‍යවතුන් වහන්සේ විසින් ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතෙකින් යුක්ත ය යි ප්‍රකාශ කරන ලද්දාව, කවර සතෙකින යත්:
මහණෙනි, හත්‍ථකආළවක තෙමේ සැදැහැවත් ය, සිල්වත්ය, ලජ්ජීය, ඔත්තප්පීය, බහුශ්‍රැතය, ත්‍යාගීය. මහණෙනි, හත්‍ථකආළවක ප්‍රඥාවත් ය, ඇවත, තෙපි මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතින් සමන්‍විත යයි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දාව.
වහන්ස, කිම කිසියම් සුදුවත් හැඳි ගිහියෙක් එහි නො වි දැයි?
ඇවත, එතන්හි සුදුවත් හැඳි කිසිදු ගිහියෙක් නො වී ය.
වහන්ස, ඉදින් එහි සුදුවත් හැඳි කිසි ගිහියෙක් නො වී නම් මැනැවි.
ඉක්බිති ඒ මහණ හත්‍ථකආළවක කුමරහුගේ නිවෙස්නෙහි පිණ්ඩපාතය පිළිගෙන හුනස්නෙන් නැඟී ගියේ ය. ඉක්බිති එ මහණ පිණ්ඩපාතයෙන් වැළැකුනේ පස්වරුයෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය, එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: “වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙන හත්‍ථකආළවක කුමරහුගේ නිවසට පැමිණියෙමි. එළැඹ පැනවූ අස්නෙහි හුන්නෙමි. වහන්ස, ඉක්බිති හත්‍ථකආළවක තෙමේ මා වෙත එළඹියේ ය. එළැඹ මා වැඳ එකත් පසෙක හුන්නේ ය. වහන්ස, එකත් පසෙක හුන් හත්‍ථකආළවක හට මම මෙය කීමි:
ඇවත, තෙපි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතෙකින් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද්දාව. කවර සතෙකින් යත්: මහණෙනි, හත්‍ථකආළවක සැදැහැවත් ය, සිල්වත් ය, ලජ්ජී ය, ඔත්තප්පී ය, බහුශ්‍රුත ය, ත්‍යාගීය. මහණෙනි, හත්‍ථක ආළවක පැනවත් ය. ඇවත, තෙපි මේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍ම සතින් සමන්‍විත ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දාව.
මෙසේ කී කල්හි වහන්ස, හත්‍ථක ආළවක මට මෙය කී ය: කිම වහන්ස, එහි සුදුවත් හැඳි කිසියම් ගිහියෙක් නොවී ද? ඇවත එහි සුදුවත් හැඳි ගිහියෙක් නො වී ය. එහි සුදුවත් හැඳි කිසි ගිහියෙක් නො වී නම් මැනැවි.
මැනැව මැනැව මහණ. අල්පෙච්ඡ වූ ඒ කුල පුත්‍ර තෙමේ තමා තුළ කුශලධර්‍ම ඇති කල්හි මැ මෙරමා විසින් දැනගනු ලැබීමෙහි නො කැමති වෙයි. එහෙයින් මහණ තෙපි හත්‍ථක ආළවක යම් මේ අල්පේච්ඡතාය යන අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙනු දු සමන්‍වාගතයහ යි ධරව.
8. 1. 3. 4.
හත්‍ථකආළවක සඞ්ගහවත්‍ථු සූත්‍රය