Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 11301-11400 න් 15980

එ සමයෙහි වනාහි වෙසවුණු මහරජ යම් මැ කටයුත්තෙකින් උතුරුදිගින් දකුණු දිගට යන්නේ ය. වෙසවුණු මහරජ මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා වෙහෙරෙහි ආයුෂ්මත් උත්තර තෙරුන් සඟනට මෙසේ දහම් දෙසනු ඇසී: ඇවැත්නි, මහණ කලින්කල ආත්ම විපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින්කල පරවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ . ඇවැත්නි, මහණ කලින් කල ආත්මසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ කියා යි.
ඉක්බිති වෙසවුණු මහරජ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් යම් සේ දික් කරන්නේ හෝ වේ ද, දික් කළ අතක් යම් සේ වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් මහිසවත්‍ථුයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි අතුරුදහන් වූයේ තව්තිසා දෙවියන් අතරෙහි පහළවිය.
ඉක්බිති වෙසවුණු මහරජ සක්දෙවිඳු වෙත එළඹියේ ය. එළඹ සක්දෙවිඳු හට තෙල සැලකළේය: නිදුකාණෙනි, දන්නෙහි: “තෙල ආයුෂ්මත් උත්තර තෙරහු මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි සඟනට මෙසේ දම් දෙසති: “ඇවැත්නි, මහණ කලින්කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ, ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් … ආත්මසම්පත් ... පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ”යි.
ඉක්බිති සක්දෙවිඳු යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික් කරන්නේ හෝ වේ ද, දික්කළ අතක් වක් කරන්නේ හෝ වේ ද, එසෙයින් ම තව්තිසා දෙවියන් කෙරෙහි අතුරුදන් වූයේ මහිසවත්‍ථු සමීපයෙහි වූ සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි ආයුෂ්මත් උත්තර තෙරුන් හමුයෙහි පහළ වී ය. ඉක්බිති සක්දෙවිඳු ආයුෂ්මත් උත්තර තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් උත්තර තෙරුන් වැඳ එකත්පස් වැ සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු ආයුෂ්මත් උත්තර තෙරුන්ට තෙල සැළ කෙළේය:
වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ “ඇවැත්නි, මහණ කලින් කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් ... ආත්මසම්පත් ... පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ”යි මෙසේ සඟනට දහම් දෙසුවාහු සැබැවෙක් දැයි?
එසේ යැ දේවේන්‍ද්‍රය,
කිම වහන්ස, මෙ ආයුෂ්මත් උත්තරයන්ගේ ස්වයං ප්‍රතිභානයෙක් වේ ද? නොහොත් ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ බසෙක් වේ දැ? යි.
එසේ වී නම් දේවේන්‍ද්‍රය, තොපට උපමාවක් කරමි. මෙ ලොව්හි ඇතැම් විඥ පුරුෂයෝ උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්නාහයි. යම්සේ දේවේන්‍ද්‍රය, ගමකට වේවයි නියම් ගමකට වේවයි නුදුරෙහි නුදුරෙහි මහා ධ්‍යානරාශියෙක් වේ නම් එයින් මහාජනසමූහයා කයිනුදු පේළායෙනුදු ඇකයෙනුදු ඇඳිලියෙනුදු ධාන්‍ය ගෙන එන්නේ ය. දේවේන්‍ද්‍රය, යමෙක් ඒ මහාජනසමූහයා වෙත එළඹ කොයින් මේ ධාන්‍ය ගෙනෙවුදැ යි මෙසේ පුළුවුස්නේ නම් දේවේනද්‍රය, එය විවරණ කරනුයේ ඒ මහාජනකාය කෙසේ නම් මොනොවට විවරණ කරන්නේ වේ ද?
වහන්ස, අසෝ මහාධාන්‍යරාශියෙන් ගෙන එන්නෙමුයි මොනොවට විවරණ කරන ඒ මහජනසමූහයා කියන්නේ ය යි.
දේවේන්‍ද්‍රය, එසෙයින් ම යම් සුභාෂිතයෙක් වේ නම් එ හැම බස ඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ය. එයින් පුනපුනා ගෙන අපිදු අනුනට බණම්හ’යි.
වහන්ස, ආශ්චර්‍ය්‍ය ය. වහන්ස, අද්භූත ය. වහන්ස, ‘යම්කිසි සුභාෂිතයෙක් වේ නම් එ හැම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේගේ වචනය. එයින් පුන පුනා ගෙන අපිදු අනුනට බණම්හ’ යන මේ ආයුෂ්මත් උත්තර තෙරණුවන් විසින් අත්‍යර්‍ත්‍ථයෙන් සුභාෂිත යි.
වහන්ස, උත්තර තෙරණුවනි, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් (සඟුන් බිඳ නික්ම) ගිය නොබෝ කල්හි, රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරබයා මහණුන් ඇමතූ සේක:
මහණෙනි, මහණ කලින් කල ආත්මවිපත් සලකන්නේ වේ නම් මැනැවැ. මහණෙනි, මහණ කලින් කල පරවිපත් ... ආත්මසම්පත් ... පරසම්පත් සලකන්නේ වේ නම් මැනැවි.
මහණෙනි, අෂ්ටඅසද්ධර්‍මයෙකින් අභිභූත වූ දැඩිකොට ගත් සිතැති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. කවර අටෙකින යත්:
මහණෙනි, ලාභයෙන් අභිභූත වූ ... මහණෙනි, අලාභයෙන් ... මහණෙනි, යසසින් ... මහණෙනි, අයසසින් ... මහණෙනි, සත්කාරයෙන් ... මහණෙනි, අසත්කාරයෙන් ... මහණෙනි, පාපේච්ඡතායෙන් ... මහණෙනි, පාපමිත්‍රතායෙන් අභිභූත වූ නිමහම් කොට ගත් සිතැති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. මහණෙනි, මේ අටඅසත්දහමින් මැඩුණු නිමහම් කොට ගත් සිතැති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
මහණෙනි, මහණ උපන් ලාභය පුන පුනා මැඩගෙන වසන්නේ නම් මැනැවැ. උපන් අලාභය ... උපන් යසස් ... උපන් අයසස් … උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා පුන පුනා මැඩගෙන වසන්නේ නම් මැනැවි.
මහණෙනි, මහණ කිනම් කරුණක් පිණිස උපන් ලාභ පුන පුනා මැඩ ගෙන වසන්නේ වේ ද, උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා පුන පුනා මැඩගෙන වසන්නේ වේද,
මහණෙනි, යම් හෙයකින් උපන් ලාභ නොමැඩගෙන වසන ඔහුට විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ උපදනාහු නම් උපන් ලාභ මැඩ ගෙන වසන ඔහුට විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, යම් හෙයකින් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා නො මැඩගෙන වසන ඔහුට මෙසේ විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ උපදනාහු නම් උපන් පාපමිත්‍රතාව මැඩගෙන වසන ඔහුට මෙසේ විඝාත පරිදාහ ඇති කරන ආස්‍රවයෝ නො වෙත්. මහණෙනි, මහ මෙ කරුණ පිණිස උපන් ලාභ පුනපුනා මැඩගෙන වසන්නේ නම් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා පුන පුනා මැඩ ගෙන වසන්නනේ ය.
මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මිය යුතු ය: උපන් ලාභ පුන පුනා මැඩ වසන්නෙම්හයි උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා ... පුන පුනා මැඩගෙන වසන්නම් හ යි. මහණෙනි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
වහන්ස, උත්තර තෙරණුවනි, මනුෂ්‍යන් කෙරෙහි මහණ ය, මෙහෙණ ය, උවසු ය, උවැසි ය යන සිවුපිරිස් මෙතෙක් ම ය. ඔවුන් කිසිවකු කෙරෙහිදු මේ ධර්‍මපර්‍ය්‍යාය නො පිහිටියේ ය. වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරහු මේ ධර්‍මපර්‍ය්‍යාය උගනිත්වා! වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරහු මේ ධර්‍මපර්‍ය්‍යාය පුරුදු කෙරෙත් වා! වහන්ස, ආයුෂ්මත් උත්තර තෙරහු මේ ධර්‍මපර්‍ය්‍යාය ධරත්වා! වහන්ස, මේ ධර්‍මපර්‍ය්‍යාය අර්‍ත්‍ථසංහිත වෙයි. ශාසන බ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත වූයේ වේ යයි.
8. 1. 1. 9.
නන්‍ද සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මොනොවට කියනුයෙක් නන්‍දයන් ගෙන ජාතිකුලපුත්‍රය හ යි කියන්නේ ය. මහණෙනි, මොනොවට කියන්නෙක් නන්‍දයන් බලවත්හ යි බණන්නේ ය. මහණෙනි, මනාකොට බණන්නෙක් නන්‍දයන් ප්‍රසාදජනකයහ යි බණන්නේ ය. මහණෙනි, මනාකොට බණන්නෙක් නන්‍දයන් ත්‍රිව්‍රරාග ඇතිය හ යි බණන්නේ ය.
මහණෙනි, අන් කරුණින් කිම? නන්‍ද පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට යමෙකින් හැකි වේද එබඳු වූ ඉන්‍ද්‍රිය විෂයයෙහි ගෝපනය කළ දොර ඇතියේ ය. භෝජනයෙහි මාත්‍රඥ ය. නිදි වැරීමෙහි යෙදුනේ ය. ස්මෘති සම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගත යි.
මහණෙනි, එහි ලා නන්‍දයන්ගේ ඉන්‍ද්‍රියන්හි ගුප්තද්වාරතා මේ වෙයි: මහණෙනි, ඉදින් නන්‍දයන් විසින් පෙරදිග බැලියයුතු වේ නම් නන්‍දයෝ හැම සිතින් සමනා පෙරදිග බලති. ‘මෙසේ පෙරදිග බලන මට අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත අකුශලධර්‍මයෝ ලුහු නො බඳනාහු ය’ කියායි. එහි නුවණින් යුතු වූයේ වෙයි. මහණෙනි, ඉදින් නන්‍දයන් විසින් පශ්චිම දිශාව බැලිය යුතු වේ නම් ... උත්තර දිශාව බැලිය යුතු වේ නම් ... දක්‍ෂිණ දිශාව බැලිය යුතු වේ නම් ... උඩ බැලිය යුතු වේ නම් ... යට බැලිය යුතු වේ නම් ... අනුදිශා දිශාව බැලිය යුතු වේ නම්, නන්‍දයෝ හැම සිතින් සමනා අනුදිශා බලති. ‘මෙසේ අනුදික් බලන මට අභිධ්‍යා දෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ රැස් නොවන්නාහුය’ කියා යි. මෙසේ එහි නුවණින් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ වනාහි නන්‍දයන්ගේ ඉන්‍ද්‍රියන්හි ගුප්තද්වාරතා වෙයි.
මහණෙනි, එහිලා නන්‍දයන්ගේ භෝජනයෙහි මාත්‍රඥතා මේ වෙයි: මහණෙනි, නන්‍දයෝ නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාර වළඳති. දිව පිණිස නො වෙයි, මද පිණිස නොවෙයි, මණ්ඩන පිණිස නොවෙයි, භූෂණ පිණිස නොවෙයි, මේ ආහාරය මේ ශරීරයාගේ ස්ථිතිය පිණිස ම, යැපීම පිණිස ම, විහිංසා නස්නා පිණිස ම, බ්‍රහ්මචර්‍ය්‍යයට අනුග්‍රහ පිණිස ම වෙයි. මෙසේ නො වැළඳීමෙන් වූ පුරාණ වේදනා ද නසන්නෙමි, අභිනව වේදනා ද නූපදවන්නෙමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි, අනවද්‍යතාව හා ඵාසුවිහරණය ද වේ ය කියායි. මහණෙනි, මේ නන්‍ද තෙරහුගේ භෝජනයෙහි මාත්‍රඥතාව වෙයි.
මහණෙනි, එහිලා මේ නන්‍දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම වෙයි: මහණෙනි, නන්‍දයෝ දාවල සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති. රෑ පළමුයම සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙති. රෑ මැදුයම්යම පා මත පා හයා තබා සිහි නුවණින් යුතු වැ උත්‍ථානසංඥාව මෙනෙහිකොට දකුණැලයෙන් සිංහසය්‍යා කෙරෙති. රෑ පැසුළුයම නැඟී සිට සක්මනිනුදු හිඳීමෙනුදු ආවරණය කරන ධර්‍මයෙන් සිත පිරිසිදු කෙරෙත්. මහණෙනි, මේ නන්‍දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම වෙයි.
මහණෙනි, එහි මේ නන්‍දයන්ගේ ස්මෘතිසම්ප්‍රජන්‍යය වේ: මහණෙනි, නන්‍දයන් දන්නා ලද වූ ම වේදනාවෝ උපදිත්. දන්නා ලද වූ ම වේදනාවෝ වටහත්. දන්නා ලද වූ ම වේදනාවෝ අස්තයට යෙත්. දන්නා ලද වූ ම සංඥාවෝ උපදිත් ... දන්නා ලද වූ ම විතර්‍කයෝ උපදිත්. දන්නා ලද වූ ම විතර්‍කයෝ වටහත්. දන්නා ලද වූ ම විතර්‍කයෝ අස්තයට යෙත්. මහණෙනි, මේ නන්‍දයන්ගේ ස්මෘතිසම්ප්‍රජන්‍යය වෙයි.
මහණෙනි, අන් කරුණෙකින් කිම? යමෙකින් නන්‍දයෝ පරිපූර්‍ණ පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නට හැකිවෙත් ද, එබඳු වූ ඉන්‍ද්‍රියෙහි ගුප්තද්වාරතා ඇතියහ, භෝජනයෙහි පමණ දන්නාහ, නිදි වැරීමෙහි යෙදුනාහ. ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්‍වාගතයහ යි.
8. 1. 1. 10.
කාරණ්ඩව සූත්‍රය
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර සමීපයෙහි ගග්ගරා පොකුණු තෙර වැඩ වසන සේක. එ සමයෙහි මහණහු මහණක් හට ඇවතින් චෝදනා කෙරෙත්. ඒ මහණ මහණුන් විසින් ඇවතින් චෝදනා කරනු ලබනුයේ අන් වචනයෙකින් අන්වචනය වසයි. බැහැරින් අන් අමුතු කථාවත් බහයි, කෝපය හා ද්වේෂය හා නො සතුට හා පහළ කෙරෙයි. එසඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූ සේක: මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරව. මහණෙනි, ඒ පුඟුලා නෙරියයුත්තෙක. තොප විසින් පරපුත්‍රයෙක් කුමට පෙළනු ලැබේ ද?
මහණෙනි, මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ද, ඒ තාක් අන්‍ය භද්‍ර වූ මහණුන්ගේ ඉදිරි බලා යාම හා පෙරළා ඊම හා ඉදිරි බැලීම හා ඔබ මොබ බැලීම හා අත්පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු දැරීම් යම්සේ වේද, එසෙයින් ඇතැම් පුද්ගලයක්හුගේ එබඳු ම ඉරියවු වෙයි. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද එකල ඔහු මෙසේ දනිති: මේ ශ්‍රමණදූෂ්‍යයෙක, ශ්‍රමණප්‍රලාපයෙක, මහණ කසළෙකැයි. මෙසේ ඔහු හඳුනා බැහැර නෙරත්. ඒ කවර හෙයින: අන්‍යභද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
මහණෙනි, යම් සේ සමෘද්ධ වූ යවක්‍ෂේත්‍රයෙක යවදූෂණ යවප්‍රලාප යවකසළ උපදනේ වේ ද, අන්‍යභද්‍ර යවයන්ගේ මුල් යම් සේ වේ නම් ඒ යව කසළහුගේ එබඳු වූ ම මුල් වෙයි. අන්‍ය භද්‍ර යවයන්ගේ නළ යම්සේ වේ නම් එබඳු වූ ම නළ වෙයි. අන්‍ය භද්‍ර යවයන්ගේ පත් යම්සේ වේ නම් එබඳු වූ ම පත්වැටි වෙයි. යම් තාක් ඒ යවකසළයාගේ ශස්‍යශීර්‍ෂය උපදනේ ද ඒ තාක් මය. යම් කලෙක ඒ යවකසළයාගේ ශස්‍යශීර්‍ෂය උපදනේ ද, එකල ඒ යවය මෙසේ හඳුනත්: මේ යවදූෂණ ය, යවප්‍රලාප ය, යවකසළ ය කියා යි. ඒ යවකසළය මෙසේ හඳුනා සහ මුලින් උපුටා යවක්‍ෂෙත්‍රයන් බැහැර ලත්. ඒ කවර හෙයින: අන්‍ය භද්‍රයවයන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
මහණෙනි, එ පරිදි ම මේ සස්නෙහි කිසි පුඟුක්හට අන්‍ය භද්‍ර භික්‍ෂූන් හට යම්සේ වේ නම් එබඳු වූ ම ඉදිරිගමන් හා පෙරළා ගමන් හා ඉදිරිබැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ද, ඒ තාක් ම ය. යම් දවසෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එ දවස් ඔහු මෙසේ හඳුනත්: මේ ශ්‍රමණ දූෂකයෙක, මේ ශ්‍රමණප්‍රලාපයෙක, මේ මහණකසළෙක කියා යි. මෙසේ ඔහු හඳුනා බැහැර නෙරත්. ඒ කවර හෙයින: අන්‍ය භික්‍ෂූන් නමහක් දූෂණය කෙරේවා කියා යි.
මහණෙනි, යම්පරිදි පොළනු ලබන මහත් ධාන්‍ය රාශියක්හුගේ සාරවත් දෘඨධාන්‍යයෝ ඇද්ද, ඒ ධාන්‍ය එක්පසෙක ගොඩ වෙයි. බොල් වූ දුබල වූ යම් ඒ ධාන්‍යයෝ ඇද්ද, වාතය ඒ ධාන්‍ය එක්පසෙක ඇද දමයි. කෙත් හිමියෝ සුළංකුල්ල ගෙන ඒ බොල් ධාන්‍ය බෙහෙවින් ම බැහැර කරත්. ඒ කවර හෙයින: අන්‍ය භද්‍රධාන්‍ය නහමක් දූෂණය කෙරේ වා කියා යි.
මහණෙනි, එ පරිදි ම මෙසස්නෙහි ඇතැම් පුඟුලක්හට අන්‍යභද්‍ර භික්‍ෂූන් හට යම් බඳු වේ ද, එබඳු වූ ඉදිරි යාම් හා පෙරළා ඊම් හා ඉදිරි බැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එ තෙක් මය. එකල ඔහු මෙසේ හඳුනා ගනී: මේ ශ්‍රමණදූෂකයෙක, ශ්‍රමණප්‍රලාපයෙක්, මහණ කසළෙක කියා යි. මෙසේඔහු හඳුනා බැහැර නෙරත් ඒ කවර හෙයින: අන්‍ය භද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
මහණෙනි, යම් සේ පුරුෂයෙක් ළිං පිහිල්ලෙකින් අර්ත්‍ථි වූයේ තියුණු පොරොවක් ගෙන වනයට වදනේ වේ ද, හේ ඒ ඒ රුකක් ම පොරෝ හිසින් කොටන්නේ වේ ද, එහි සාරවත් වූ දෘඪ වූ යම් වෘක්‍ෂයෝ කෙටේරි පස්වටුයෙන් කෙටුණාහු කැකුළු කොට නද දෙත් ද, ඇතුළත කුණු වූ තෙත් වූ හටගත් කසළ ඇති යම් වෘක්‍ෂයෝ ඇද්ද, ඒ වෘක්‍ෂයෝ කෙටේරි පස්වටුයෙන් කෙටුණාහු දැදුරු හඬ නඟත් ද, ඒ ගස මුලෙහි ලා සිඳුනේ ය. මුල සිඳ අගෙහි ලා සිඳුනේ ය. අග සිඳ ඇතුළත මොනොවට ශුද්ධ කොට ළිං පිහිල්ලෙහි යොදනේ ය.
මහණෙනි, එ පරිදි ම මෙ සස්නෙහි ඇතැම් පුඟුලෙක් හට අන්‍ය භද්‍ර භික්‍ෂූන් හට යම් සේ වේ ද එබඳු වූ ම ඉදිරි යාම හා පෙරළා ඊම හා ඉදිරි බැලීම් හා ඔබමොබ බැලීම් හා අත් පා හැකිළීම් හා විහිදීම් හා සඟළපාසිවුරු ධැරීම් හා වෙයි. මහණහු යම්තාක් ඔහුගේ ඇවැත් නො දක්නාහු ගේ ද, එතෙක් ම ය. යම් කලෙක මහණහු ඔහුගේ ඇවැත් දක්නාහු ද, එකල මෙසේ ඔහු හඳුනා ගනිත්: මේ ශ්‍රමණ දූෂකයෙක, මේ ශ්‍රමණ ප්‍රලාපයෙක. මේ මහණ කසලෙක කියා යි. මෙසේ ඔහු හඳුනා නෙරපියති. ඒ කවර හෙයින: අන්‍ය භද්‍ර භික්‍ෂූන් නහමක් දූෂණය කෙරේවා කියා යි.
1. මේ තෙම ලමු ඉච්ඡා ඇතියේ ය, කිපෙන සුලු ය, ගුණමකු ය, දැඩි සිතැතියේ ය, යුගග්‍රාහකලක්‍ෂණ පලාස ඇතියේ ය, ඊර්‍ෂ්‍යා කරන සුලු ය, මසුරු ය, කෛරාටික ය, යනු සංවාසයෙන් දැන ගනුව.
2. පාපදෘෂ්ටි ඇතියේ ශික්‍ෂායෙහි අදර නැතියේ ජනයා මධ්‍යයෙහි මොළොක්බස් ඇතියේ මහණකු සෙයින් බෙණේ. රහසෙහි පව් කරයි.
3. සැලෙනුයේ ද මුසවා බණනුයේ ද වෙයි. තතු සේ ඔහු හැඳින හැම සමඟ ව ඔහු නෙරව.
4. ශ්‍රමණ කාරණ්ඩවයා නෙරව, මහණ කසළහු දුරලව, අශ්‍රමණ වූ ශ්‍රමණමානී වූ ශ්‍රමණ ප්‍රලාපයන් බැහැර ලවු.
5. පාප ආචාර ගෝචර ඇති පාපේච්ඡයන් නෙරපියා එළඹ සිටි සිහි ඇත්තාහු ශුද්ධ වූවාහු පිරිසිදු සඟුන් හා සමඟ වාස කරව. ඉක්බිති සමඟ වූවාහු තීරණප්‍රඥා ඇතියාහු දුක් කෙළවර කරන්නාහු ය.
පළමුවැනි මෙත්තාවර්‍ග යි.
එහි උද්දානය:
මෙත්තා සූත්‍රය, පඤ්ඤා සූත්‍රය, පිය සූත්‍ර දෙක ය, ලෝකවිපත්ති (ධම්ම) සූත්‍ර දෙකය, දේවදත්ත සූත්‍රය, උත්තර සූත්‍රය, නන්‍ද සූත්‍රය, කාරණ්ඩව සූත්‍රය හා දශ සූත්‍ර යි.
2. මහා වර්‍ගය
8. 1. 2. 1.
වේරඤ්ජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේරඤ්ජා නම් නගරයෙහි නලෙරු නම් (යකකු අරක්ගත් හෙයින් එනම් වූ) කොසඹ රුක් මුල්හි වැඩ වසන සේක. එකල්හි වේරඤ්ජ නම් බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සම්මෝදනයට නිසි වූ සිහිකටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හින. එකත් පසෙක හුන් වේරඤ්ජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය:
භවත් ගෞතමයෙනි, ‘මහණ ගොයුම්හු ජරාජීර්‍ණ වූ වයෝවෟද්ධ වූ ජාතිමහල්ලක වූ තුන් වයස් ඉක්ම වූ තුන්වන වියට පත් බමුණන් නො වඳනාහ යි ද දැක හුනස්නෙන් නො නැඟී සිටුනාහ යි ද අස්නෙන් හෝ නිමන්ත්‍රණ නො කරන්නා හ යි ද’ යන තෙල කරුණ මා විසින් අසන ලද. භවත් ගෞතමයෙනි, මෙ කරුණ එසේ ම ය. භවත් ගෞතමයෝ ජරාජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ තුන්වයස් ඉක්ම ගිය අවසන් වියට පත් බමුණන් නො වඳනාහ. දැක ද හුනස්නෙන් නැඟී නො සිටුනාහ. අස්නෙන් හෝ නො ද පවරන්නාහ. භවත් ගෞතමයෙනි, මෙ කරුණ නො නිසි මැ යි.
බ්‍රාහ්මණය, මම යමකු වදනෙම් නම් හෝ දැක හුනස්නෙන් නැඟී සිටුනෙම් හෝ අස්නෙන් පවරන්නෙම් නම් හෝ එබන්දකු මරුන් සහිත, බඹුන් සහිත, සදෙව් ලොව්හි මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි ලා නො දක්මි. බ්‍රාහ්මණය, තථාගත තෙම යම් ම පුඟුලකු වඳියි නම් හෝ දැක හුනස්නෙන් නැඟී සිටී නම් හෝ අස්නෙන් පවරයි නම් හෝ ඔහු මුදුන ද ගිලිහෙන්නේ ය.
1. භවත් ගෞතමයෝ අරසරූප (සමඟරස සැහැවි නැති) යහ යි.
බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙන් ‘ශ්‍රමණ භවත් අරසරූපයෙකැ’යි මට කියා නම්, මේ එ කරුණ යි බ්‍රාහ්මණය, යම් (කාම සුඛාස්වාද සඞ්ඛ්‍යාත) රූප රස කෙනෙක්, ශබ්ද කෙනෙක්, ගන්‍ධ රස කෙනෙක්, රස රස කෙනෙක්, ස්ප්‍රෂ්ටව්‍ය රස කෙනෙක් වෙත් නම්, තථාගතයනට ඔහු ප්‍රහීණයහ, උසුන් මුල් ඇතියහ, තාලාවස්තු කෘතයහ, අනභාව කරන ලදහ, මත්තෙහි නූපදනා සැහැවි ඇතියහ. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතම අරසරූපයෙකැ’යි මා ගෙන කියා නම් මේ ඒ පර්‍ය්‍යාය වෙයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම් එය නො වේ මැයි.
2. භවත් ගෞතමයෝ නීර්භෝගයහ. (සාමග්‍රීපරිභෝග නැත්තාහ)
බ්‍රාහ්මණය, යම් පර්‍ය්‍යායයෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ නීර්භෝගයහ’යි මා ගෙන කියන්නේ නම් තෙල කරුණ ඇත් මැයි. බ්‍රාහ්මණය, යම් (ඡන්‍දරාගපරිභොග සඞ්ඛ්‍යාත) රූපභෝග කෙනෙක්, ශබ්ද භෝග කෙනෙක්, ගන්‍ධ භෝග කෙනෙක්, රස භෝග කෙනෙක්, ස්ප්‍රෂ්ටව්‍ය භෝග කෙනෙක් වන්නාහු නම් ඔහු තථාගතයනට ප්‍රහීණයහ, උසුන් මුල් ඇතියහ, තාලාවස්තු කෘතයහ, අනභාවකෘතයහ, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහ. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ නිර්භෝගයහ’යි මා ගෙන කියන්නේ නම් මේ ඒ කරුණයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම් එ නො වේ.
3. භවත් ගෞතමයෝ අක්‍රිය වාදයහ. (කුලසමුදාචාර කර්‍ම නො කරන්නෙක)
බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට බණනුයේ ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අක්‍රිය වාද ඇතියහ’යි මා ගෙන කියන්නේ නම් තෙල පර්‍ය්‍යාය ද ඇත. බ්‍රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාක්දුශ්චරිතය, මනෝදුශ්චරිතය නො කටයුතු යයි කියමි. නොයෙක් අයුරින් කරනු ලබන ලමු අකුසල දහම් නොකටයුතු යයි කියමි. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට බණනුයේ ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ අක්‍රියවාදයහ’යි මා ගෙන කියන්නේ නම් මේ ඒ පර්‍ය්‍යායයි. තෝ යමක් සඳහා කියනෙහි නම් එය නොවේ.
4. භවත් ගෞතමයෝ උච්ඡේදවාද (ලෝකප්‍රවේණිය මුලුසුන් කරන වාද) ඇතියහ.
බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙකින් ශ්‍රමණ භවත් ගෞතම උච්ඡේදවාද ඇත්තෙකැයි මා ගෙන කියා නම්, තෙල කරුණ ඇත් මැයි. බ්‍රාහ්මණය, මම් වනාහි රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ උච්ඡේදය කියමි. නන්වැදෑරුම් වූ ලමු අකුසල් දහමුන්ගේ උච්ඡේදය කියමි. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ උච්ඡේදවාද ඇතියහ’යි මා ගෙන කියා නම්, මේ ඒ පර්‍ය්‍යාය වෙයි. යම් කරුණෙක් සඳහා තෝ කියහි නම් එය නො වේ මැ යි.
5. භවත් ගෞතමයෝ ජුගුප්සා (කුලසමුදාචාරකර්‍ම පිළිබඳ පිළිකුල) ඇතියහ.
බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් යම් කරුණෙකින් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ ජුගුප්සා ඇතියහ’යි කියා නම්, තෙල කරුණ ඇත් මැ යි. බ්‍රාහ්මණය, මම් වනාහි කායදුශ්චරිතය, වාග්දුශ්චරිතය, මනෝදුශ්චරිතය පිළිකුල් කරමි. නන් වැදෑරුම් ලමු අකුසල දහම් සමවැදුම පිළිකුල් කරමි. බ්‍රාහ්මණය, මොනොවට බණන්නෙක් යම් කරුණෙකින් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ ජුග්ප්සා ඇතියහ’යි. කියනේ නම් මේ එ කරුණයි. යමක් සඳහා තෝ කියහි නම් එය නොවේ.
6. භවත් ගෞතමයෝ වෙනයිකයහ. (විනයනය කටයුත්තෙක)
බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් මා ගෙන යම් කරුණෙකින් ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ වෙනයිකයහ’යි කියා නම්, තෙල කරුණ විද්‍යාමාන වේ මැයි, බ්‍රාහ්මණය, මම් වනාහි රාගයාගේ, ද්වේෂයාගේ, මෝහයාගේ විනය පිණිස දහම් දෙසමි, නන්වැදෑරුම් ලමු දහමුන්ගේ විනය පිණිස දහම් දෙසමි. බ්‍රාහ්මණය, මොනොවට බණනුයෙක් යම් කරුණකින් මා ගෙන ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ වෙනයිකයහ’යි බණනේ නම් මේ ඒ කරුණය, තෝ යම් කරුණක් සඳහා කියහි නම් එය නොවේ.
7. භවත් ගෞතමයෝ තපස්වීහ. (සත්පුරුෂා චාරවිරහිත දිළින්දෙක)
බ්‍රාහ්මණය, මොනොවට කියනුයෙක් මා ගෙන ‘ශ්‍රමණ භවත් ගෞතමයෝ තපස්වීහ’යි කියා නම් තෙල කරුණ ඇත්මැයි. බ්‍රාහ්මණය, මම කායදුශ්චරිත, වාග්දුශ්චරිත, මනෝදුශ්චරිත යන ලමු අකුසල් දහම් සපනීය (තැවිය යුතුය’යි) කියමි. බ්‍රාහ්මණය, යමක්හු හට තපනීය වූ ලමු අකුසල් දහම්හු ප්‍රහීණ වෙත් නම්, උසුන් මුල් ඇත්තාහු වෙත් නම්, තාලාවස්තු කෘත වෙත් නම්, අනභාවකෘත වෙත් නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇතියහු කරන ලද්දාහු වෙත් නම්, ඔහු මම තපස් වී යයි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ තපනීය ලාමක අකුශල ධර්‍මයෝ ප්‍රහීණ වෙත්, උච්ඡින්න මූල වෙත්, තාලාවස්තුකෘත වෙත්. අනභාවකෘත වෙත්, මතුයෙහි නූපදනාසැහැවි ඇතියහ. බ්‍රාහ්මණය, යම් පර්‍ය්‍යායෙකින් මොනොවට කියන්නෙක් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ තපස්වීහ’යි කියන්නේ නම් මේ ඒ කරුණ යි. තෝ යම් කරුණක් සඳහා කියනෙහි නම් එය නො වේ.
8. භවත් ගෞතමයෝ අපගර්‍භයහ (හීනගර්‍භ ඇතියහ)
බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ අපගර්‍භයහ’යි කියා නම් තෙල කරුණ විද්‍යාමාන වෙයි. බ්‍රාහ්මණය, යමකුගේ මතුයෙහි ගර්‍භශය්‍යාව පුනර්‍භවයෙහි අභිනිර්‍වෘතිය ප්‍රහීණ ද, උච්ඡින්නමූල ද, තාලාවස්තුකෘත ද, අනභාවකෘත ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ ද, ඔහු මම අපගර්‍භයයි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ අනාගතයෙහි මාතෘගර්‍භශය්‍යාව පුනර්‍භවයෙහි අභිනිර්‍වෘතිය ප්‍රහීණ ය, උසුන් මුල් ඇතියේ ය, තාලාවස්තු කෘත ය, අනභාවකෘතය. මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ ය. බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන ‘ශ්‍රමණ ගෞතමයෝ අපගර්‍භයහ’යි කියා නම් මේ ඒ කරුණයි. යම් කරුණක් සඳහා තෝ කියහි නම්, එය නො වේ.
බ්‍රාහ්මණය, යම් පරිදි කිකිළියගේ බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළසෙක් හෝ ඇත් ද, ඒ බිජුවටහු කිකිළිය විසින් මොනොවට අධිශයිත වූවාහු මොනොවට උණුසුම් ගන්වන ලද්දාහු මොනොවට පරිභාවිත වෙති. ඒ කුකුළු පැටවුන් අතුරෙන් යමෙක් ම පළමු ම පානීය සිළින් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළාගෙන සුවසේ නික්මෙනුයේ නම් හේ දෙටයි හෝ කනිටු යයි හෝ කිමැයි කිවයුතු වන්නේ ද?
භවත් ගෞතමයෙනි, හේ දෙටුයයි කියයුතු වන්නේ ය, හේ ම ඔවුනතුරෙහි දෙටු වෙයි.
බ්‍රාහ්මණය, එපරිද්දෙන් මම අවිද්‍යාගත වූ (අවිද්‍යා) බිජුවටෙහි උපන් අවිද්‍යායෙන් වැළඳුණු සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි අවිදු බිජුවට පළාගෙන ලෙව්හි අද්වීතිය වූයෙම් අනුත්තර සම්‍යක් සම්බෝධිය පිළිවිදියෙම් වෙමි. බ්‍රාහ්මණය, මම් ම ලොවට ජ්‍යේෂ්ඨයෙමි, ශ්‍රේෂ්ඨයෙමි.
බ්‍රාහ්මණය, මා විසින් අරඹන ලද (සිවුරහ) වැර අසල්ලීන විය, (අරමුණට අභිමුඛව) එළඹ සිටි සිහිය මුළාවට පත් නො වී ය. කය (කායචිත්තපස්සද්ධි වශයෙන්) සන්හුනුයේ ම පහවූ දරථ ඇතියේ විය. සමාධිගත වූ සිත අචල විය. බ්‍රාහ්මණය, මම කාමයන්ගෙන් වෙන් ව ම ලමු දහමුන්ගෙන් වෙන් වෙන් ව ම සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වෙසෙමි.
විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ඇති චිත්තයාගේ ඒකෝදිභාවය ඇති විතර්‍ක රහිත වූ විචාර රහිත වු සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුවය ඇති ද්වීතිය ධ්‍යානයට එළඹ වෙසෙමි.
ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇතියෙම් වෙසෙමි, යම් දැහැනක් සඳහා ‘උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාරී’ යයි ආර්‍ය්‍යයෝ කියත් නම්, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වෙසෙමි.
සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂා හා ස්මෘතියෙන් පිරිසුදු වූ චතුර්‍ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසෙමි.
හේ මම මෙසෙයින් සිත සමාධිගත වූ කල්හි පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වු කල්හි අඞ්ගණ රහිත වූ කල්හි පහවූ කෙලෙස් ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය කල්හි ස්ථිත කල්හි ස්ථිරභාවයට ගිය කල්හි පූර්වේ නිවාසානුස්මෘතිඥානය පිණිස සිත වෙසෙසින් නැමීමි.
ඒ මම අනේකවිධ වූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහිකරමි. කෙසේ ය යත්: එක් ජාතියකුදු ජාතිදෙකකුදු ... මෙසේ සාකාර වූ උද්දේශ සහිත අනේකවිධ වූ පූර්‍වනිවාසය සිහිකරනෙම් වෙමි. බ්‍රාහ්මණය, රෑ පළමු යම්හි මා විසින් මේ ප්‍රථම විද්‍යා තොමෝ ලබන ලදු, අවිදු නසන ලදු, විද්‍යාව උපන, මෝහාන්‍ධකාරය පහව ගියේ ය. ප්‍රඥාලෝකය උපන, (ස්මෘතිහුගේ අවිප්‍රවාසයෙන්) අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති (කාය ජීවිතදෙක්හි නිරපේක්‍ෂ ව) නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇතියකුහට යම් සේ වේ නම් එසේ ය. බ්‍රාහ්මණය, බිජුවටින් කුකුළු පැටවකුගේ (උපත) බඳු මාගේ මේ පළමු (ආර්‍ය්‍යජාති සඞ්ඛ්‍යාත) අභිනිර්‍වෘතිය විය.
ඒ මම මෙසේ සිත සමාධිගත කල්හි පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යාවදාත කල්හි කෙලෙස් රහිත වූ පහ වූ උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වූ කල්හි සිටි කල්හි ස්ථිර වූ කල්හි සත්ත්‍වයන්ගේ චුතුපපාතඥානය පිණිස සිත නැමූයෙමි. එ මම වෙසෙසින් පිරිසිදු වූ මිනිසැස ඉක්ම ගිය දිවැසින් චුතවන්නා වූ ද උපදනා වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද සුවර්‍ණ වූ ද දුර්‍වණ වු ද මනාගති ඇත්තා වූ ද දුර්‍ගති ඇත්තා වූ ද සත්ත්‍වයන් දක්මි, කම් වූ පරිදි යන සත්ත්‍වයන් දන්මි ... බ්‍රාහ්මණය, රෑ මැදුම් යම්හි මේ දෙවන විද්‍යාව මා විසින් ලබන ලදු, අවිදු නසන ලදු, විද්‍යාව උපන, මෝහාන්‍ධකාරය නසන ලදී, ප්‍රඥාලෝකය උපන, අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතිව නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වාස කරන්නහුට යම් සේ නම් එසේයි. බ්‍රාහ්මණය, කුකුළු පැටවකුගේ බිජුවටින් (නික්මීම) සෙයින් මාගේ මේ දෙවන අභිනිර්‍වෘතිය විය.
ඒ මම මෙසේ සිත සමාහිත වූ කල්හි පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත කල්හි කෙලෙස් රහිත වූ කල්හි උපක්ලේශයන්ගෙන් පහ වූ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වු කල්හි ස්ථිති ප්‍රාප්ත කල්හි නිශ්චල භාවයට පත් කල්හි ආස්‍රවක්‍ෂයඥානය පිණිස සිත නතු කෙළෙමි. ඒ මම ‘මේ (පස්කඳ) දුකැ’යි ඇතිසැටි මැනැවින් දැනගතිමි. මේ (තෘෂ්ණාව) දුඃඛ සමුදය යි මැනැවින් ඇතිසැටි දැන ගතිමි. මේ (නිර්‍වාණය) දුඃඛ නිරෝධය යි ඇතිසැටි මැනැවින් දැන ගතිමි. මේ (අරිඅටඟි මඟ) දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ය යි ඇති සැටි මැනැවින් දත්මි.
මොහු ආස්‍රවයහයි යථාභූතය මැනැවින් දත්මි, මේ ආස්‍රව සමුදය යි යථාභූතය මැනැවින් දත්මි, මේ ආස්‍රව නිරෝධය යි යථාභූතය මැනැවින් දත්මි, මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාය යි යථාභූතය මැනැවින් දත්මි.
මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදුනේ ය, භවාස්‍රවයෙනුදු මිදුනේ ය, දෘෂ්ට්‍යාස්‍රවයෙනුදු මිදුනේ ය, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදුනේ ය, විමුක්ත වූ කල්හි මිදුනේ ය යි (ප්‍රත්‍යවේක්‍ෂා) ඥානය විය, ජාතිය ක්‍ෂීණ විය, මගබඹසර වැස නිමවන ලදී, සිවුමඟ කටයුතු කොට නිමවන ලදී, මේ අර්‍හත්‍වය පිණිස අන්කරණී නැතැයි දත්මි. බ්‍රාහ්මණය, රෑ පැසුළු යම්හි මා විසින් මේ තෙවන (අර්‍හන්මාර්‍ගඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාව ලබන ලදු, (සිවුසස් මුවහ කරන) අවිද්‍යාව නසන ලදු, විද්‍යාව උපන, (මෝහ සඞ්ඛ්‍යාත) තමස නසන ලද, ආලෝකය උපන. අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති ව නිවන් කෙරේ මෙහෙයූ සිත් ඇති ව වසන්නහුට යම් සේ වේ නම් එසේ යි. බ්‍රාහ්මණය, බිජුවටින් (නික්මෙන) කුකුළු පැටවකුගේ මෙන් මාගේ මේ තෙවන අභිනිර්‍වෘතිය වී.
මෙසේ වදාළ කල්හි වේරඤ්ජ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “භවත් ගෞතමයෝ ජ්‍යේෂ්ඨයහ, භවත් ගෞතමයෝ ශ්‍රේෂ්ඨයහ. භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත වෙයි, භවත් ගෞතමයෙනි, ඉතා කාන්ත වෙයි ... භවත් ගෞතමයෝ අද පටන් මා දිවි හිම් කොට සරණ ගිය උවසුවකු කොට ධරත්ව” යි.
8. 1. 2. 2.
සීහසේනාපති සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල් පුර මහවෙනෙහි කූටාගාර ශාලාවේ වසන සේක. එ සමයෙහි ප්‍රසිද්ධ ප්‍රසිද්ධ බොහෝ ලිච්ඡවීහු සන්‍ථාගාර ශාලාවෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනති, ධර්‍මයාගේ ගුණ වනති, සඞ්ඝයාගේ ගුණ වනත්.
එ සමයෙහි නුවට සවු සිංහ සේනාපති එ පිරිස්හි හුන්නේ වෙයි. එ කල්හි සිංහ සේනාපතිහට තෙල සිත විය: “නිසැකින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එහෙයින් ම මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්. මම ඒ භාග්‍යවතුන් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙම් නම් මනා මැනු”යි.
ඉක්බිති සිංහසේනාපති නුවට නාතපුත් වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාත පුත්තහට මෙය කීය: “වහන්ස, මම මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනු කැමැත්තෙමි”යි.
සීහය, තෝ ක්‍රියවාද ඇත්තෙහි ම කවර හෙයෙකින් අක්‍රියවාද ඇති මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනුයෙහි ද? සීහය, අක්‍රියවාද ඇත්තේ ම මහණ ගොයුම් අක්‍රියාව පිණිස දම් දෙසන්නේ ය. එයින් සව්වන් හික්ම වන්නේ ද වෙයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැක්ම පිණිස සිංහ සේනාපතිහුගේ යම් ගමන සඳහා කරන පියෝ වී නම්, එය සන්හින.
දෙවන වට දු බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ වූ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්.
දෙවන වටදු සිංහ සේනාපති හට තෙල සිත විය: නිසැකින් ම භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එහෙයින් ම මේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ වනත්, ධර්‍මයාගේ ගුණ වනත්, සඞ්ඝයාගේ ගුණ වනත්. මම ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙම් නම් මනා මැනු යි.
ඉක්බිති සිංහසේනාපති තෙම නුවට නාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නුවට නාතපුත්තහට තෙල සැල කෙළේය: “වහන්ස, මම මහණ ගොයුම්හු දක්නා පිණිස එළඹෙනු කැමැත්තෙමි”යි.
සීහය, තෝ කිරියවාද ඇතියෙහි ම අකිරියවාද ඇති මහණ ගොයුම් දක්නට කවර හෙයින් එළඹෙන්නෙහි ද? සීහය, මහණ ගොයුම් වනාහි අකිරියවාද ඇත්තේ ම අක්‍රිය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වන් හික්ම වන්නේ ද වෙයි.
දෙවනවට ද සිංහසේනාපතිහුගේ භාග්‍යවත්හු දැකීම පිණිස යම් බඳු ගමන සඳහා කරන පියොවෙක් වි නම්, එය සන්හින.
තෙවනවටත් අතිප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ බණත්, දහම්හුගේ ගුණ බණත්, සඟුන් ගුණ බණත්, තෙවනවටත් සිංහසේනාපතිහට තෙල සිත විය.
නිසැකින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වන්නාහ. එ හෙයින් ම මේ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ ලිච්ඡවීහු සන්‍ථාගාරයෙහි රැස්ව හුන්නාහු නන් අයුරින් බුදුන්ගේ ගුණ බණත්, දහම් ගුණ බණත්, සඟුන් ගුණ බණත්. කළ ආපුච්ඡා ඇතියාහු වෙත්වයි, කළ ආපුච්ඡා නැතියාහු වෙත්වයි මේ නුවටහු මට කුමක් නම් කරත් ද? මම නුවටුන් ආච්ඡා නො කොටම ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් දක්නා පිණිස එළඹෙන්නෙම් නම් මනා මැනු යි.
එකල්හි සිංහසේනාපති තෙම පන්සියක් පමණැති රියෙන් දෙවෙන් දාවල් භාග්‍යවතුන් දක්නට විසල්පුරින් නික්ම ගියේ ය. යානයට බිම යම්තාක් ද එතෙක් යානයෙන් ගොස් යානයෙන් බැස පා ගමනෙහි යෙදුනේ ම ආරාමයට පිවිසියේ ය. ඉක්බිති සිංහසේනාපති භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හින. එකත්පසෙක හුන් සිංහසේනාපති භාග්‍යවතුන් වහන්සට තෙල කීය:
වහන්ස, ‘අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ ය’ යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, යම් බඳු අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය: එයින් ම සව්වන් හික්මවන්නේ යයි මෙසේ කියත් නම් වහන්ස, කිම ඔහු භගවත්හට කියුවා කියනු වෙත් ද? භගවත්හට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙත් ද? (භාග්‍යවතුන් වහන්සේගේ) ධර්‍මයට අනුකාරණයක් කියත් ද? කිසි සහධාර්මික වූ වාදානුවාදයෙකුත් ගැරහිය යුතු කරුණට නො ඒ ද? වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛාන (අභූතයෙන් කියනු කැමැත්තමෝ නො වම්හ) නො කරනු කැමැත්තම්හ’යි.