481-510. මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥාව පිණිස ... පරිඥාව පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස … ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස … ප්‍රතිනිඃසර්‍ගය පිණිස, මෙ කරුණු සත වැඩිය යුතු ය යි. [භාග්‍යවතුන් වහන්සේ මෙ ධර්‍මය දෙසූ සේක. තුටුසිත් ඇති එ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.]
රාගාදිපෙය්‍යාලය නිමි. {*}
සත්තකනිපාතය නිමි.
සූත්‍රාන්තපිටකයෙහි
අඞ්ගුත්තරසඟිය
පඤ්චම භාගය
8. අට්ඨක නිපාතය
1. ප්‍රථම පණ්ණාසකය
1. මෙත්තා වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
8. 1. 1. 1.
මෙත්තානිසංස සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
මහණෙනි, අදරින් සෙවුනා ලද, වඩනා ලද, බහුල වශයෙන් (නැවත නැවත) කරන ලද යානාවක් බඳු කරන ලද, ප්‍රතිෂ්ඨානාර්‍ත්‍ථයෙන් වස්තුවක් මෙන් කරනලද, එළඹ සිටි පුරුදු කරන ලද, මොනොවට පටන් ගන්නා ලද මෛත්‍රීචිත්තවිමුක්තියෙහි අට අනුසස් කෙනෙක් කැමති විය යුත්තාහ. කවර අට දෙනෙක යත්:
සුවසේ නිදයි, සුවසේ පිබිදෙයි, ලමු සිහින නො දක්නේ ය, මිනිස්නට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයනට ප්‍රිය වෙයි, දෙවියෝ රක්නාහ, ඕහට ගිනි වේවයි, විෂ ගිනි වේවයි, අවි වේවයි නො වදනේ ය, මතුයෙහි මඟපල නො පිළිවිදුනේ බඹලොව යන්නේ වෙයි.
මහණෙනි, අදරින් සෙවුනා ලද, වඩනා ලද, බහුලවශයෙන් කරන ලද යානාවක් වැනි කරන ලද, වස්තුවක් මෙන් කරන ලද, එළඹ සිටි, පුරුදු කරන ලද, මොනොවට පටන් ගන්නා ලද මෛත්‍රීචිත්තවිමුක්තියෙහි මේ අට අනුසස් කැමැති විය යුතු ය යි.
1. එළඹ සිටි සිහි ඇති යමෙක් (පැතිරීම් විසින්) අප්‍රමාණ වූ මෙත් සිත වඩනේ නම්, ක්ලේශෝපධීන්ගේ ක්‍ෂය දක්නා ඔහුගේ සංයෝජනයෝ තුනී වෙත්.
2. ඉදින් එක ද සත්ත්‍වයකු කෙරෙහි දුෂ්ට නොවූ සිතැතියේ මෙත් වඩා නම්, ඒ හේතුයෙන් කුසල් ඇත්තෙක් (කුසල් කරන්නෙක්) වෙයි. සව්සතුන් කෙරෙහි සිතින් අනුකම්පා කරන ආර්‍ය්‍ය තෙමේ බොහෝ පින් කෙරෙයි.
3. යම් රාජර්ෂි කෙනෙක් (ඍසිසදෘශ දැහැමි රජකෙනෙක්) සත්කැලන්ගෙන් ගැවසි පොළෝතල දනා (ගෙදොර නිරගුළු කළ හෙයින්) නිරග්ගල නම් වූ සස්සමේධ ය පුරිසමේධ ය සම්මාපාස ය වාචපෙය්‍ය ය යන සිවුසඟරාවතින් යාග කරමින් (දන් දෙමින්) හැසුරුනාහු වෙත් ද,
4. ඒ යාගයෝ සුභාවිත මෛත්‍රීසහගතචිත්තයාගේ (විපාකමහත්ත්‍වයෙන්) සොළොස්වන කලාව ද පවා නො අගිත්. සඳපහන හැම තුරුකැල මඬනාක් මෙනි.
5. යමෙක් නො නසා ද, නො නස්වා ද, හානි නො කෙරේ ද, හානි නො කරවා ද, හැම සතුන් කෙරෙහි මෛත්‍රීභාගව සිටුනේ වේ ද, කිසිවකුදු හා ඔහුගේ වෙරයෙක් නැත්තේ යි.
8. 1. 1. 2.
ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනා ප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පරිපූරභාවය පිණිස හේතූහු අට දෙනෙක් ප්‍රත්‍යයයෝ අට දෙනෙක් පවත්නාහ. කවර අට දෙනෙක යත්:
1. මහණෙනි, මෙ සස්නෙහි මහණ ශාස්තෘන් වහන්සේ ඇසිරු කොට වෙසේ. යමකු කෙරෙහි ඔහුගේ බහල හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, සෙනෙහස හා ගෞරවත් එළැඹ සිටියේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි අන්‍යතර සබ්‍රම්සරකු හෝ ඇසිරි කොට වෙසෙයි. මහණෙනි, මේ පළමු හේතුව පළමු ප්‍රත්‍යය නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
2. හෙතෙමේ ඒ ශාස්තෘන් වහන්සේ ඇසිරු කොට වෙසේ. යමකු කෙරෙහි ඔහුගේ බහල වූ හිරිඔතප් එළැඹ සිටියේ වේ ද, සෙනෙහස හා ගෞරවත් එළැඹ සිටියේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි අන්‍යතරසබ්‍රම්සරකු හෝ ඇසිරි කොට වෙසේ. කලින් කල ඔවුන් වෙත එළැඹ වහන්ස, මේ කෙසේ ද? මේ පෙළදහම්හුගේ අර්‍ත්‍ථ කවරේ දැයි පරිපුච්ඡා කෙරෙයි. ප්‍රශ්න කෙරෙයි. ඔහුට ඒ ආයුෂ්මත්හු අවිවෘත දැයත් විවරණ කෙරෙති, අප්‍රකට දැයත් ප්‍රකට කෙරෙති. නන් වැදෑරුම් සැක කරනට නිසි දහම්හි සැක දුරු කෙරෙත්. මහණෙනි, මේ දෙවන හේතුව දෙවන ප්‍රත්‍යයය නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනා ප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
3. හේ එ දහම් අසා කායවිවේකයෙන් ද චිත්තවිවේකයෙන් දැයි දෙවැදෑරුම් විවේකයෙන් සපයයි. මහණෙනි, මේ තෙවන හේතුව තෙවන ප්‍රත්‍යයය නොලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස පරිපූරභාවය පිණිස පවත්නේ ය.
4. සිල්වත් ද වෙයි. ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘතව වෙසෙයි. ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වූ වරදෙහිත් බිය දක්නා සුලු වූයේ සමාදාන කොට සිකපදයෙහිදු හික්මෙයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සිවුවන හේතුව සිවුවන ප්‍රත්‍යය පවත්නේ ය.
5. බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ මුළු කොට ගත් හදාළ පෙළ - අරුත් ඇතියේ වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ යම් දහම්හු සාර්‍ත්‍ථ-සව්‍යඤ්ජන කොට කේවලපරිපූර්‍ණ-පරිසුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් ද, එබඳු දහම්හු ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු වෙත්. ධරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් පුන පුනා බලන ලද්දාහු දෘෂ්ටියෙන් පිළිවිදුනා ලද්දාහු වෙත්. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස වඩනු පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ පස්වන හේතුව ප්‍රත්‍යය පවත්නේ ය.
6. අකුශල ධර්‍මයන් ප්‍රහාණ කරනු පිණිස කුශලධර්‍මයන් වඩනු පිණිස ඇරඹූ වැර ඇතියේ බල ඇතියේ දළ පැරකුම් ඇතියේ කුසල් දහම්හි නො හළ වෙර ඇතියේ වෙසෙයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සවන හේතුව සවන ප්‍රත්‍යය පවත්නේ ය.
7. සඟමැදට ගියේ නානා කියුම් නැතියේ වෙයි, තිරිසන් කථායෙහි නො යෙදුනේ වෙයි, තෙමේ හෝ දහම් දෙසයි, මෙරමා හෝ අධ්‍යෙෂණා කෙරෙයි, ආර්‍ය්‍යතුෂ්ණීම්භාවය හෝ ඉක්ම නො සිතයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ සත්වන හේතුව සත්වන ප්‍රත්‍යය පවත්නේ ය.
8. පඤ්ච උපාදානස්කන්‍ධයෙහි රූපය මෙසේ ය. රූපසමුදය මෙසේ ය. රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය. වේදනා මෙසේ ය. වේදනාසමුදය මෙසේ ය. වේදනාවගේ අස්තඞ්ගමය මෙසේ ය. සංඥා මෙසේ ය ... සංස්කාර මෙසේ ය ... විඥාන මෙසේ ය ... විඥානසමුදය මෙසේය. විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ යයි උදා - විය දක්නා සුලු වැ වෙසෙයි. මහණෙනි, නො ලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විදර්‍ශනාප්‍රඥාව ලබනු පිණිස ලත් ප්‍රඥාව පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූරභාවය පිණිස මේ අටවැනි හේතුව අටවැනි ප්‍රත්‍යය පවත්න්නේය.
සබ්‍රම්සරහු තෙල මහණහු මෙසේ සම්භාවනා කෙරෙත්: “මේ ආයුෂ්මත් වනාහි ශාස්තෘන්වහන්සේ ඇසුරු කොට වෙසෙයි, ගුරුස්ථානයට නිසි යමකු කෙරෙහි තීව්‍ර හිරිඔතප් එළඹැ සිටුනේ වේ ද, සෙනෙහස හා ගෞරව එළඹැ සිටුනේ වේ ද, එබඳු අන්‍යතර සබ්‍රම්සරකු හෝ ඇසුරු කොට වෙසෙයි; වැලිත් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ ය”යි. මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
මේ ආයුෂ්මත් ඒ ශාස්තෘහු ඇසුරු කොට වසන්නේ වෙයි, යමකු කෙරෙහි තීව්‍ර හිරිඔතප් එළඹැ සිටුනේ වේ ද, සෙනෙහස හා ගෞරවය එළඹැ සිටුනේ වේ ද, එබඳු ගුරුස්ථානයට නිසි එක්තරා සබ්‍රම්සරකු හෝ ඇසුරු කොට වෙසෙන්නේ වෙයි. කලින් කල ඔවුන් වෙතැ එළඹැ සිට ‘වහන්ස, මේ දහම් කෙසේ ද? මේ දහම්හුගේ අර්‍ත්‍ථ කවරේ දැ?යි’ (අර්‍ත්‍ථ - පාලි - අනුසන්‍ධි - පූර්‍වාපර විසින්) පරිපෘච්ඡා කෙරෙයි, පරිප්‍රශ්න නඟයි.
“මේ ආයුෂ්මත් එකැතින් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ යයි.” ඔහුට ඒ ආයුෂ්මත්හු අවිවෘත දැය විවරණ කෙරෙති, නො පාළ දැය ද පාළ කෙරෙති, සැක කටයුතු නන්වැදෑරුම් දහමෙහි සැක හැර පියත්, මේ දහම ද ප්‍රියභාවය පිණිස, ගුරුභාවය පිණිස, භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණ ධර්‍මය පිණිස නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
මේ ආයුෂ්මත් ඒ දහම් අසා කායවිවේකයෙන් හා චිත්තවිවේකයෙන් දැ යි යම් විවේකයෙකින් සපයා ද, වැලිත් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ යයි. මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස, ගුණසම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
මේ ආයුෂ්මත් සිල්වත් වූයේ ප්‍රාතිමෝක්‍ෂ ශීලසංවරයෙන් සංවෘතවූයේ ආචාර ගෝචර සම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු වැ වෙසෙයි, සමාදාන කොට සිකපදෙහි හික්මෙයි, එකැතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය; දැක්කයුත්ත දන්නේ ය යි. මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ ගුණසම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
මේ ආයුෂ්මත් වනාහි බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ මුළු කොටගත් ඇසූ දෑ ඇතියේ වෙයි, ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ යම් දහම්හු සාර්‍ත්‍ථ සව්‍යඤ්ජන කොට කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් ද, එබඳු දහම්හු තුලුන් විසින් බෙහෙවින් අසන ලද වෙත්. ධරණ ලද වෙත්. වචනයෙන් හසළ වෙත්. සිතින් විමසා බලන ලද වෙත්. නුවණින් පිළිවිදින ලද වෙත් වැලි මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය. දැක්කයුත්ත දන්නේ ය යි. මේ දහම ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස ගුණ භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
මේ ආයුෂ්මත් වනාහි අකුශලධර්‍ම ප්‍රහාණය පිණිස කුශලධර්‍ම වඩනු පිණිස ඇරඹු වැර ඇතියේ වෙසෙයි. බල ඇතියේ දළ පැරකුම් ඇතියේ කුසල්දහම්හි නොහළ ධූර ඇතියේ වෙයි. එකැතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්කයුත්ත දක්නේ ය යි, මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
මේ ආයුෂ්මත් වනාහි සඟ මැදට ගියේ නන්වැදෑරුම් හිස් කියුම් නැතියේ තිරශ්චීන කථා නැතියේ තෙමේ හෝ දහම් දෙසයි, මෙරමා හෝ අධ්‍යෙෂණා කෙරෙයි, ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය හෝ නො පැන සිතයි. එකතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්කයුත්ත දක්නේ ය යි, මේ ධර්‍මය ද ප්‍රියභාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ ය.
මේ ආයුෂ්මත් වනාහි රූපය මෙසේ ය, රූපසමුදය මෙසේ ය, රූපයාගේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනා මෙසේ ය, ... සංඥා මෙසේ ය, ... සංස්කාර මෙසේ ය, ... විඥානය මෙසේ ය, විඥාන සමුදය මෙසේ ය, විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ ය යි පඤ්ච උපාදානස්කන්‍ධයෙහි උදා - විය දක්නේ වෙසෙයි, එකතින් මේ ආයුෂ්මත් දතයුත්ත දන්නේ ය, දැක්කයුත් දක්නේ ය යි, මේ ධර්‍මය ද ප්‍රිය භාවය පිණිස ගුරුභාවය පිණිස භාවනාව හෝ සම්භාවනාව පිණිස ශ්‍රමණධර්‍මය පිණිස, නෛරන්තර්‍ය්‍යය පිණිස පවත්නේ යයි.
මහණෙනි, නොලැබූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යයට ආදිභූත විවසුන් නුවණ ලබනු පිණිස ලත් නුවණ පිළිබඳ භූයස්ත්‍වය පිණිස වෛපුල්‍යය පිණිස භාවනාව පිණිස පරිපූර්‍ණභාවය පිණිස මේ අෂ්ට හේතූහු අෂ්ට ප්‍රත්‍යයෝ පවතිත් යයි.
8. 1. 1. 3.
පළමුවැනි පිය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද අභාවනීය ද වෙයි, කවර අටෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ අප්‍රියයන් පසස්නා සුලු ද වෙයි, ප්‍රියයන් ගරහන සුලු ද වෙයි, ලාභ කැමැතියේ ද වෙයි, සත්කාර කැමැතියේ ද වෙයි, ලජ්ජා නැතියේ ද වෙයි, ඔතප් නැතියේ ද වෙයි, ලමු ඉච්ඡා ඇතියේ ද වෙයි, මිසදුටු ඇතියේ ද වෙයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, ගරුතන් නැතියේ වෙයි, ගුණසම්භාවනා නැතියේ ද වෙයි.
මහණෙනි, අට කරුණෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරුතැන් ඇතියේ ද වෙයි, ගුණසම්භාවනාවට නිසි ද වෙයි. කවර අට කරුණෙකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ අප්‍රියයන් නො පසස්නා සුලු ද වෙයි, ප්‍රියයන් නොගරහන සුලු ද වෙයි, ලාභ කැමතියේ ද නොවෙයි, සත්කාර කැමතියේ ද නොවෙයි, ලජ්ජා ඇතියේ ද වෙයි, පවට බාන සුලු ද වෙයි, අල්පෙච්ඡ ද වෙයි, සම්දිටු ඇතියේ ද වෙයි. මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරුතැන් ඇතියේ ද වෙයි, සම්භාවනීය ද වේ යයි.
8. 1. 1. 4.
දෙවැනි පිය සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, කරුණු අටෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද වෙයි, අභාවනීය ද වේ. කවර අට කරුණින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ලාභ කැමැතියේ ද වෙයි, සත්කාර කැමැතියේ ද වෙයි, අවඥා නො කැමැතියේ ද වෙයි, අකාලඥ වෙයි, අමාත්‍රඥ ද වෙයි, අපවිත්‍ර කායකර්‍මයාදිය ඇතියේ වෙයි, බහුභාණී ද වෙයි, සබ්‍රම්සරුනට ආක්‍රෝශ්‍ර පරිභව කරනුයේ ද වේ.
මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය ද වෙයි, අමනාප ද වෙයි, අගරු ද වෙයි, අභාවනීය ද වේ.
මහණෙනි, අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ. කවර අට කරුණින් යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ ලාභ කැමැතියේ ද නො වෙයි, සත්කාර කැමැතියේ ද නො වෙයි, අවඥාත බව කැමැතියේ ද නො වෙයි, කාලඥ වෙයි, මාත්‍රඥ ද වෙයි, පවිත්‍රකායකර්‍මාදිය ඇතියේ ද වෙයි, බහුභාණී ද නොවෙයි, සබ්‍රම්සරුනට ආක්‍රෝශපරිභව නො කරනුයේ ද වෙයි.
මහණෙනි, මේ අට කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ යයි.
8. 1. 1. 5.
පළමුවැනි ලෝකධම්ම සූත්‍රය
[සැවැත්නිදාන යි]
මහණෙනි, මේ අෂ්ට ලෝකධර්‍මයෝ ලොව අනුව පෙරැළෙත් ලෝකය ද අෂ්ටලෝකධර්‍මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:
ලාභය ද අලාභය ද අයස ද යස ද නින්‍දාව ද ප්‍රශංසාව ද සුඛය ද දුඃඛය ද යන මේ යි. මහණෙනි, මේ අටලෝදහම්හු ලොව අනුව පෙරැළෙති, ලොව ද මේ අටලෝ දහම් අනුව පෙරැළේ යයි.
1. ලාභ ය, අලාභ ය, අයසය, යස ය, නින්‍දා ය, පසංසා ය, සුඛ ය, දුක්ඛ ය යන අනිත්‍ය වූ අශාස්ත වු මේ ධර්‍මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරැළෙන ස්වභාව ඇතියහ.
2. ස්මෘතිමත් වූ පණ්ඩිත තෙමේ තෙල විපරිණාමධර්‍මයන් දැන (නුවණින්) බලයි. ඉෂ්ට වූ (ලාභාදි) ධර්‍මයෝ ඔහුගේ සිත නො මඩනාහ. අනිටු දහමින් (නොහොත් අනිටුදහම් විසයෙහි) හෙ ප්‍රතිඝාතයට නො පැමිණෙයි.
3. ඔහුගේ අනුරෝධයෝ නොහොත් විරෝධයෝ වනසන ලද්දාහු අස්තයට ගියාහු නො ම ඇතියහ. රජස් නැති ශෝක නැති නිර්‍වාණපදය ද දැන භවයාගේ පරතෙරට ගියේ (එබව) මොනොවට දන්නේ යි.
8. 1. 1. 6.
දෙවැනි ලෝකධම්ම සූත්‍රය
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, මේ ලෝකධර්‍මයෝ අටදෙනෙක් ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද අෂ්ටලෝකධර්‍මයන් අනුව පෙරැළෙයි. කවර අටදෙනෙක යත්:
ලාභ යැ අලාභ යැ අයස යැ යසයැ නින්‍දා යැ පසංසා යැ සුඛ යැ දුක්ඛ යැ යන අට යි. මහණෙනි, මේ අට ලෝදහම්හු ලෝකය අනුව පෙරැළෙත්. ලෝකය ද මේ අටලෝදහම් අනුව පෙරැළෙයි.
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාහට ලාභයත් උපදියි, අලාභයත් උපදියි, අයසත් උපදියි, යසත් උපදියි, නින්‍දාත් උපදියි, පසංසාත් උපදියි, සුඛත් උපදියි, දුක්ඛත් උපදී.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාහට ද ලාභත් උපදනේ ය, අලාභත් උපදනේ ය, යසත් උපදනේ ය, අයසත් උපදනේ ය, නින්‍දාත් උපදනේ ය, යැ ප්‍රශංසාත් උපදනේ ය, සුඛත් උපදනේ ය, දුඃඛත් උපදනේ යි.
2. මහණෙනි, එහිලා අශ්‍රැතවත් පෘතග්ජනයාට වඩා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ වෙසෙස කවර, අධික ප්‍රයෝගය කවර, නානාකරණය කවරැ?
වහන්ස, ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ ප්‍රභව කොට පවත්නාහ, භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ගෙන පවත්නාහ, භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ගෙන පවත්නාහ. වහන්ස, එකැතින් තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේ නම් මැනැවි. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙන් අසා දරන්නාහ යි.
මහණෙනි, එසේ නම් අසව මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි යි.
‘වහන්ස, එසේය’යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
3. මහණෙනි, අශ්‍රැතවත් පුහුදුන්හට ලාභයෙක් උපදනේ ය. හේ මෙසේ නුවණින් නොදක්නේ ය: “මට මේ ලාභයෙක් උපන, හෙ ද වනාහි අනිස යැ, දුක යැ, පෙරළෙනසැහැවි යැ”යි මෙසේ ඇති සැටියෙන් නොදන්නේ ය. අලාභයෙක් උපදනේ ය. -පෙ- යශසෙක් උපදනේ ය ... අයශසෙක් උපදනේ ය ... නින්‍දායෙක් උපදනේ ය ... ප්‍රශංසායෙක් උපදනේ ය ... සුඛයෙක් උපදනේ ය ... දුකෙක් උපදනේ ය ... මෙසේ හේ නුවණින් නො දක්නේ ය: “මට දුකෙක් උපන, හෙ ද වනාහි අනිසා යැ, දුකයැ, පෙරළෙන සැහැවි යැ’යි ඇති සැටි නො දන්නේ ය.
ලාභයත් ඔහු සිත මැඩගෙන සිටුනේ ය, අලාභයත් සිත මැඩගෙන සිටුනේ ය, යශසත් සිත මැඩගෙන සිටුනේ ය, අයශසත් සිත මැඩගෙන සිටුනේ ය, නින්‍දාවත් සිත මැඩගෙන සිටුනේ ය, ප්‍රශංසාවත් සිත මැඩගෙන සිටුනේ ය, සුඛයත් සිත මැඩගෙන සිටුනේ ය, දුකත් සිත මැඩගෙන සිටුනේ යි. හේ උපන් ලාභය නිමිති කොට ඇලෙයි, අලාභය නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් යශස් නිමිති කොට ඇලෙයි, අයශස් නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් ප්‍රශංසාව නිමිති කොට ඇලෙයි, නින්‍දාව නිමිති කොට විරෝධ කෙරෙයි. උපන් සුව නිමිති කොට ඇලෙයි, දුක් නිමිති කොට විරෝධ කෙරෙයි. හේ මෙසේ අනුරෝධ විරෝධයට වැදුනේ ජාතියෙනුදු මරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු නො මිදෙයි. වර්‍තදුඃඛයෙන් නො මිදෙන්නේ යි කියමි.
4. මහණෙනි, ශ්‍රැතවත් අරීසවුහට ද ලාභයෙක් උපදියි, හේ මෙසේ සලකයි: මට මේ ලාභයෙක් උපන, එ ද වනාහි අනිත්‍ය ය, දුඃඛ ය, පෙරළෙන සැහැවි ඇතැ යි යථාභූතව දන්නේ ය. අලාභයෙක් උපදනේ ය ... යශසෙක් උපදනේ ය ... අයශසෙක් උපදනේ ය ... ප්‍රශංසායෙක් උපදනේ ය ... නින්‍දායෙක් උපදනේ ය ... සුඛයෙක් උපදනේ ය ... දුඃඛයෙක් උපදනේ ය ... හේ මෙසේ සලකයි:
5. මට මෙ දුකෙක් උපන, එ ද වනාහි අනිත්‍ය ය, දුඃඛ ය, පෙරළෙන සැහැවි ඇතැ යි යථාභූතකොට දන්නේ ය. ලාභය ද ඔහු සිත මැඩගෙන නොසිටි යි, අලාභය ද ඔහු සිත මැඩගෙන නොසිටි යි, යශස් ද සිත මැඩගෙන නොසිටි යි, අයශස් ද සිත මැඩගෙන නොසිටි යි, නින්‍දාව ද සිත මැඩගෙන නොසිටි යි, ප්‍රශංසාව සිත මැඩගෙන නොසිටි යි, සුඛය ද සිත මැඩගෙන නොසිටි යි, දුඃඛය ද සිත මැඩගෙන නොසිටි යි. හේ උපන් ලාභය නිමිති කොට නො ඇලෙයි, අලාභය නිමිති කොට විරෝධය නො කෙරෙයි, උපන් යශස් නිමිති කොට නො ඇලෙයි. අයශස් නිමිති කොට විරෝධ නො කෙරෙයි, උපන් ප්‍රශංසා නිමිති කොට නො ඇලෙයි, නින්‍දාව නිමිති කොට විරෝධ නො කෙරෙයි, උපන් සුඛය නිමිති කොට නො ඇලෙයි, දුඃඛය නිමිති කොට විරෝධ නො කෙරෙයි. හේ මෙසේ අනුරෝධ විරෝධ නැතියේ ජාතියෙනුදු ජරායෙනුදු මරණිනුදු සෝකයෙනුදු පරිදේවයෙනුදු දුකෙනුදු දොම්නසිනුදු උපායාසයෙනුදු මිදෙයි. වර්‍තදුඃඛයෙන් මිදෙන්නේ යයි කියමි.
මහණෙනි, ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවකයාගේ අශ්‍රැතවත් පෘතග්ජනයා හා මේ විශේෂය යි. මේ අධිකප්‍රයෝගය යි, මේ වෙනස යි.
1. ලාභය හා අලාභය ද අයශස් හා යශස් ද නින්‍දා හා ප්‍රශංසා ද සුඛය හා දුඃඛය දැයි මිනිසුන් කෙරෙහි වැටෙන තෙල දහම්හු අනිත්‍යහ, අශාශ්වතයහ, පෙරළෙන සැහැවි ඇතියහ.
2. ස්මෘතිමත් වූයේ සුන්‍දර ප්‍රඥා ඇතියේ තෙල පෙරළෙන සැහැවි දහමුත් දැන ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ය. ඉටු දහම්හු ඔහු සිත නො මඩනාහ. අනිටු දහමින් (සිත) ගැටීමට නො එයි.
3. අනුරෝධ වෙත්වයි වැලිත් විරෝධ වෙත්වයි නසන ලද අස්තඞ්ගත දහම්හු ඔහුට නො වෙත්. භවයාගේ පාරයට ගියේ රාගාදි රජස් නැති නිශ්ශෝක වූ නිර්‍වාණපදය දැන (පාරඞ්ගතභාවය) මොනොවට දන්නේ යි.
8. 1. 1. 7.
දේවදත්තවිපත්ති සූත්‍රය
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. දෙව්දත් තෙරුන් (සඟුන් බිඳ නික්ම) ගිය නොබෝ කල්හි භාග්‍යවතුන් වහන්සේ දෙව්දතුන් අරබයා මහණුන් ඇමතූ සේක:
මහණෙනි, මහණ කලින් කල ආත්මවිපත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල පරවිපත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල ආත්මසම්පත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, මහණ කලින් කල පරසම්පත් සලකන්නේ නම් මැනැව; මහණෙනි, අෂ්ටඅසද්ධර්‍මයෙකින් මැඩ සිටි වටාගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. කවර අටෙකින යත්:
මහණෙනි, ලාභයෙන් මඩනා ලද හාත්පසින් ගන්නා ලද සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි. මහණෙනි, අලාභයෙන් ... මහණෙනි, යශසින් ... මහණෙනි, අයශසින් ... මහණෙනි, සත්කාරයෙන් ... මහණෙනි, අසත්කාරයෙන් ... මහණෙනි, පාපච්ඡතායෙන් ... මහණෙනි, පාපමිත්‍රතායෙන් මඩනා ලද වතුරුවා ගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ කල්පස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
මහණෙනි, මේ අෂ්ට අසද්ධර්‍මයෙන් මඩනා ලද වතුරුවාගත් සිත් ඇති දෙව්දත් අපායට නිසි වූයේ නිරයට නිසි වූයේ කල්පාස්ථායී වූයේ පිළියම් නැතියේ වෙයි.
මහණෙනි, මහණ උපන් ලාභය පුන පුනා මැඩ ගෙන වසන්නේ නම් මැනැව. උපන් අලාභය ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා ... පුන පුනා මැඩ ගෙන වසන්නේ නම් මැනැව.
මහණෙනි, මහණ කිනම් අර්‍ත්‍ථයක් පිණිස උපන් ලාභ පුන පුනා මැඩගෙන වසන්නේ වේ ද, මහණෙනි, උපන් ලාභ නො මැඩ ගෙන වසන ඔහුට යම් හෙයකින් විඝාතපරිදාහකරවූ ආස්‍රවයෝ උපදනාහු ද, උපන් ලාභ මැඩ ගෙන වසන ඔහුට විඝාතපරිදාහකරවූ ඒ ආස්‍රවයෝ මෙසේ නොවෙති.
මහණෙනි, යම්හෙයකින් උපන් අලාභ ... උපන් යශස් ... උපන් අයශස් ... උපන් සත්කාර ... උපන් අසත්කාර ... උපන් පාපේච්ඡතා ... උපන් පාපමිත්‍රතා නො මැඩගෙන වසන්නහුට විඝාතපරිදාහ කරන ආස්‍රවයෝ උපදනාහු ද, උපන් පාපමිත්‍රතා මැඩ ගෙන වසන ඔහුට විඝාතපරිදාහ කරන ඒ ආස්‍රවයෝ මෙසේ නොවෙත්.
මහණෙනි, මහණ මෙ කරුණ පිණිස උපන් ලාභය පුන පුනා මැඩ ගෙන වෙසෙන්නේ ය. උපන් අලාභය ... උපන් යසස … උපන් අයස ... උපන් සත්කාරය ... උපන් අසත්කාරය ... උපන් පාපේච්ඡතාව ... උපන් පාපමිත්‍රතාව පුන පුනා මැඩගෙන වෙසෙන්නේ ය. මහණෙනි, එහෙයින් මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතුයි: උපන් ලාභය පුන පුනා මැඩගෙන වෙසෙන්නෙමු කියායි. උපන් අලාභය ... උපන් යශස ... උපන් අයශස ... උපන් සත්කාරය ... උපන් අසත්කාරය ... උපන් පාපේච්ඡතාව ... උපන් පාපමිත්‍රතාව පුන පුනා මැඩගෙන වෙසෙන්නෙමු යි කියායි. මහණෙනි, තොප විසින් මෙසේම හික්මිය යුතුයි.
8. 1. 1. 8.
උත්තර සූත්‍රය
එක් සමයෙක්හි ආයුෂ්මත් උත්තර තෙරහු මහිසවත්‍ථු සමීපයෙහි සඞ්ඛෙය්‍යක පර්‍වතයෙහි වූ ධ්වජාලිකා නම් වෙහෙරෙහි වෙසෙති. එකල්හි ආයුෂ්මත් උත්තර තෙරහු භික්‍ෂූන් ඇමතූහ. ...
ඇවැත්නි, මහණ කලින් කල ආත්මවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරවිපත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල ආත්මසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ. ඇවැත්නි, මහණ කලින් කල පරසම්පත් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ නම් මැනැවැ යි.