7. 2. 2. 10.
[අරක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, පෙර වූවක් කියමි. තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාගී වූ අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. අරක ශාස්තෘ සව්වනට මෙසෙයින් දම් දෙසයි: බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය ස්වල්ප ය, පරිත්ත ය, ඉතා ලඝු ය. බොහෝ දුක් ඇතියේ ය, බොහෝ උපායාස ඇතියේ ය. ප්‍රඥායෙන් එ දත යුතු ය. කුශලය කටයුතු ය. බ්‍රහ්මචර්‍ය්‍යය සැරිය යුතු ය. උපන්නහුනට අමරණයෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, තණග පිනිබිඳ යම් සේ හිරුඋදාවත්ම වහා නො පැණීයේ ද, චිරස්ථායී නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම තණග පිනිබිඳ උපමා කොට ඇති මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ දැඩි ආයාස ඇතියේ වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට අමරණයෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, දළපොද ඇති වැසි වස්නා කල්හි දියබුබුළු වහා නො පැණි යේ ද, චිරස්ථිතික නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම දියබුබුළක් බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ ආයාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට නො මැරීමෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, දියෙහි දඬින් ඇඳි ඉර යම්සේ වහා නො පැණී යේ ද, චිරස්ථික නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම දියෙහි දණ්ඩරාජිය බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය ... උපන්නාහට නො මැරීමෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, පර්‍වතයෙහි හටගත් දුරඞ්ගම වූ ශීඝ්‍ර ස්‍රෝතස් ඇති හසු වු හැම දැ ගසාගෙණ යන නදිය යම්සේ ද, යම් හෙයකින් ඕ නවතී නම් එබඳු ක්‍ෂණයෙක් හෝ ලයෙක් හෝ මුහුර්‍තයෙක් හෝ නැත. වැලිත් ඕ ගමන් කරන්නී ම වෙයි, පවත්නී ම වෙයි, ගලාබස්නී ම වෙයි. බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම පාර්‍වතීය නදියක් බඳු මනුෂ්‍යයන්ගේ ජීවිතය ජාතයාහට නො මරීමෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දිවග කෙළපිඩක් රැස් කොට නිදුකින් ම වමාරා නම්, බ්‍රාහ්මණයෙනි, එලෙසින් ම කෙළපිඩක් බඳු මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි ... ජාතයකුහට අමරණයෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, යම්සේ දවසක් තැවුනු යකබලෙක්හි මස් පිඩක් බහන ලදුයේ වහා නො පැණීයේ නම්, චිරස්ථිතික නො වේ නම්, බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම මනුෂ්‍යයන්ගේ ජීවිතය මාංසපේශියක් උපමා කොට ඇත ... ජාතයකුහට අමරණයෙක් නැත.
බ්‍රාහ්මණයෙනි, යම් සේ වධයට නියත වූ දෙනක් වධස්ථලය කරා ගෙණ යනු ලබන්නී යම් ම පාදයක් ඔසවා නම්, වධයටම සමීප වෙයි. මරණයට ළංවූවා ම වෙයි. බ්‍රාහ්මණයෙනි, එසෙයින් ම වධයට නියත දෙනක උපමා කොට ඇති මනුෂ්‍යයන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ උපායාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු වෙයි. කුශලය කටයුතු ය, බඹසර සැරිය යුතු. ජාතයාහට අමරණයෙක් නැත.
මහණෙනි, එ සමයෙහි මිනිසුනට හවුරුදු සැටදහසක් ආයු ප්‍රමාණ විය. පන්සිය හවුරුදු වියපත් කුමරිය පතිකුල යෑමට නිසි වූ ය. මහණෙනි, එසමයෙහි මිනිසුනට ආබාධයෝ සයක් පමණක් ම ඇති වූහ: ශීතය, උෂ්ණ ය, සා ය, පවස ය, මලාපහරණ ය, ප්‍රස්‍රාවාපහරණ යයි. මහණෙනි, එබඳු වූ ම අරක ශාස්තෘ මෙසේ දීර්‍ඝායුෂ්ක වු මෙසේ චිරස්ථිතික වූ මෙසේ අල්පාබාධා වූ මනුෂ්‍යයන් අතුරෙහි සව්වනට මෙසේ දම් දෙසී ය.
“බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිතය ඉතා අල්ප වෙයි. ස්වල්ප වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇතියේ වෙයි. බොහෝ උපායාසය ඇතියේය. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය, බඹසර සැරිය යුතු ය, ජාතයාහට අමරණයෙක් නැතැයි.”
මහණෙනි, මේ කල්හි මනා කොට කියනුයේ “මනුෂ්‍යයන්ගේ ජීවිතය අල්ප වෙයි. ස්වල්ප වෙයි. ඉතා ලුහු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ උපායාස ඇති වෙයි. ප්‍රඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය, බඹසර සැරියයුතු ය. ජාතයාහට අමරණයෙක් නැත.” මහණෙනි, මෙකල්හි යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම්, හෙ වර්‍ෂ ශතයක් හෝ ඉන් අල්පයක් වැඩිය හෝ ජීවත් වෙයි.
මහණෙනි, සියක් වස් දිවි වටනුයේ හේමන්ත ඍතු සියක් හා ග්‍රීෂ්ම ඍතු සියක් හා වර්‍ෂා ඍතු සියක් හා ඍතු තුන් සියයක් ම දිවි වටනේ ය. මහණෙනි, ඍතු තුන්සියක් දිවි වටනුයේ හේමන්ත මාස සාරසියයක් හා ග්‍රීෂ්ම මාස සාරසියයක් හා වර්‍ෂා මාස සාරසියක් හා දොළොස් සියමසක් ම දිවි වටනේ ය. මහණෙනි, දොළොස් සියමස් දිවි වටනුයේ අටසියක් හිමත් අඩමස් හා, අටසියක් ගිමන් අඩමස් හා අටසියක් වැසි අඩමස් හා සූවිසි සියක් අඩමස් වසනේ ය.
මහණෙනි, සූවිසි අඩමස් සියක් දිවි වටනුයේ හිමත් රෑ දොළොස් දහසක් හා, ගිමන් රෑ දොළොස් දහසක් හා, වැසිකල් රෑ දොළොස් දහසක් හා, සතිස් රෑ දහසක් ජීවත් වන්නේ ය. මහණෙනි, සතිස් රෑ දහසක් දිවි වටනුයේ හිමත් බත් සූවිසිදහසක් හා, ගිමන් බත් සූවිසිදහසක් හා, වැසිකල් බත් සූවිසිදහසක් හා, මවුකිරි හා භක්තාන්තරාය ද ගෙණ දෙසැත්තෑ බත් දහසක් දිවි වටනේ ය. එහි භක්තාන්තරායයෝ නම් මොහු යැ: කිපියේ ද බත් නො බුදුනේ ය. දුකට පත් වූයේ ද බත් නො බුදුනේ ය. රෝගී වූයේ ද බත් නො බුදුනේ ය. පෙහෙවස් ඇතියේ ද බත් නො බුදුනේ ය. අලාභයෙකිනුදු බත් නො බුදුනේ ය.
මහණෙනි, මෙ සෙයින් සියවස් ආයු ඇති මනුෂ්‍යයාගේ ආයුෂ ද මා විසින් පවසන ලදී. ආයු ප්‍රමාණය ද කියන ලදී. ඍතුහුද පවසන ලදහ. හවුරුදුත් පවසන ලදි. මාසයෝ ද පවසන ලදහ. අර්‍ධමාසයෝ ද පවසන ලදහ. රාත්‍රීහු ද පවසන ලදහ. දහවල්හු ද පවසන ලදහ. බත්හු ද කියන ලදහ. භක්තාන්තරයයෝද කියන ලදහ.
මහණෙනි, සව්වනට හිතෛෂී වූ අනුකම්පා කරණ ශාස්තෘහු විසින් අනුකම්පා පිණිස යමක් කළයුතු නම්, එය මා විසින් තොපට කරණ ලදි. මහණෙනි, තෙල රුක්මුල්හු ඇත. තෙල ශුන්‍යාගාරයෝ ඇත. මහණෙනි, (ආලම්බනලක්‍ෂණොපනිධ්‍යාන විසින් ශමථවිදර්‍ශනා) ධ්‍යාන කරවු. නහමක් පමාවවු. පසුකල්හි නහමක් විපිළිසර වවු. මෙ තොපට අපගේ අනුශාසනා යි.
මහාවර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
හිරි (ඔත්තප්ප) සූත්‍ර ය, (සත්ත) සූරිය සූත්‍ර ය, නගරෝමප සූත්‍ර ය, ධම්මඤ්ඤු සූත්‍ර ය, පරිච්ඡත්තක සූත්‍ර ය, සක්කච්ච (සක්කාරගරුකාර) සූත්‍ර ය, භාවනා සූත්‍ර ය, අග්ගික්ඛන්‍ධොපම සූත්‍ර ය, සුනෙත්ත සූත්‍ර ය, අරක සූත්‍ර ය දැයි සූත්‍ර දශයෙකි.
3. විනය වර්‍ගය
7. 2. 3. 1.
[ප්‍රථම විනයධර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි ධර්‍ම සතෙකින් යුක්ත වූ මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. පාමොක් සංවර සීලයෙන් සංවෘත වූයේ සිල්වත් වෙයි, ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි දු භය දක්නා සුලුයේ වාසය කරයි, සමාදන් කොට ගෙණ සිකපෙදෙහි හික්මෙයි. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් නිදුකින් ලබන්නේ කැමති සේ ලබන්නේ පහසුවෙන් ලබන්නේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එළැඹ වෙසෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ විනයධර වේ යයි.
7. 2. 3. 2.
[දෙවෙනි විනයධර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
23. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:
ඇවැත් දන්නේ ය. අනාපත්ති දන්නේ ය. ලුහු ඇවැත දන්නේ ය. ගුරුඇවැත දන්නේ ය. උභය ප්‍රාතිමොක්‍ෂයෝ ඔහු විස්තර විසින් සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර විසිනුදු අනුව්‍යඤ්ජන (ඛන්‍ධක පරිවාර) විසිනුදු සුවිනිච්ඡිත වූවාහු ස්වාගත (ප්‍රගුණ) වෙත්. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් නිදුකින් ලබන සුලුයේ කැමැතිසේ ලබනුයේ පහසුයෙන් ලබන සුලුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ ය.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත වූ මහණ විනයධර වේ ය යි.
7. 2. 3. 3.
[තෙවෙනි විනයධර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ විනයධර වෙයි. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. විනයෙහි සිටියේ අසංහීර (ලබ්ධියෙහි ස්ථිර-නිසැක) වෙයි. ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතරධ්‍යානයන් නිදුකින් ලබන්නේ, කැමැතිසේ ලබන්නේ, සුවසේ ලබන්නේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට එළැඹ වාසය කරයි.
මහණෙනි, මෙ කරුණු සතින් යුත් මහණ තෙම විනයධර වේ ය යි.
7. 2. 3. 4.
[සිව්වන විනයධර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත වූ මහණ විනයධර වේ. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. අනේකවිධ වූ පෙරවිසූ කඳපිළිවෙළ සමරනේ ය. එ කෙසේ ය යත්: එක් දැයකුදු, දෙ දැයකුදු ... මෙසේ ආකාරසහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ වූ පූර්‍වනිවාසය අනුස්මරණ කෙරෙයි. විශුද්ධ වූ මිනිසැස ඉක්මගිය දිව්‍යචක්‍ෂුසින් යථාකර්මෝපගසත්ත්‍වයන් දක්නේ ය. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එළැඹ වෙසෙයි.
මහණෙනි, මේ සත් කරුණින් සමන්‍වාගත මහණ විනයධර වේ ය යි.
7. 2. 3. 5.
[ප්‍රථම විනයධර සෝභන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, කරුණු සතෙකින සමන්‍වාගත මහණ විනයධර වූයේ හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය ... සිල්වත් වෙයි … ශික්‍ෂාපදයන්හි සමාදන් කොට ගෙණ හික්මෙයි. සතර ධ්‍යානයන් ... සුවසේ ලබනුයේ වෙයි. ආස්‍රවක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට ගෙන එළැඹ වාසය කරයි.
මහණෙනි, මේ ධර්‍ම සතින් සමන්‍වාගත මහණ විනයධර වූයේ හොබනේ ය.
7. 2. 3. 6.
[දෙවෙනි විනයධර සෝභන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, ධර්‍ම සතෙකින් සමන්‍වාගත වූ මහණ විනයධර වූයේ හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. උභය ප්‍රාතිමොක්‍ෂයෝ ඔහු විසින් විතර විසින් සුවිභක්ත වූවාහු මොනොවට පවත්නාහු සූත්‍ර වශයෙනුදු අනුව්‍යඤ්ජන වශයෙනුදු සුවිනිච්ඡිත වූවාහු ස්වාගත වෙත්. සතර ධ්‍යානයන් ... අකසිරලාභී වෙයි. ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.
මහණෙනි, මේ ධර්‍ම සතින් සමන්‍වාගත මහණ විනයධර වූයේ හොබනේ ය යි.
7. 2. 3. 7.
[තෙවැනි විනයධර සෝභන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත විනයධර හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. විනයෙහි සිටියේ අසංහීර වෙයි. සතර ධ්‍යානයන් ... අකසිරයෙන් ලබන සුලුයේ වෙයි. ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එළැඹ වෙසෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත විනයධර හොබනේ ය යි.
7. 2. 3. 8.
[සිවුවන විනයධර සෝභන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, ධර්‍ම සතෙකින් සමන්‍වාගත විනයධර හොබනේ ය. කවර සතෙකින යත්:
ආපත්තිය දන්නේ ය. අනාපත්තිය දන්නේ ය. ලහුකාපත්තිය දන්නේ ය. ගරුකාපත්තිය දන්නේ ය. අනේකවිධ පූර්‍වනිවාස සිහි කෙරෙයි: එ කෙසේය යත්: එක් දැයකුදු, දෙ දැයකුදු ... මෙසේ සාකාර කොට උද්දේස සහිත කොට අනේකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. විශුද්ධ වූ මිනිසැස ඉක්ම ගියා වූ දිවැස්නැණින් ... යථාකර්මෝපග සත්ත්‍වයන් දන්නේ ය. ආස්‍රක්‍ෂයයෙන් ... සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත විනයධර හොබනේ ය යි.
7. 2. 3. 9.
[සත්‍ථුසාසන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. එක්බිති ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළහ:
වහන්ස, යම් හෙයෙකින් මම භාග්‍යවතුන් වහන්සේගේ දහම් අසා ඒකාකියෙම් ව්‍යපකර්‍ෂ ඇත්තේ අප්‍රමත්තයෙම්, කෙලෙස් තවන වැර ඇතියෙම්, ප්‍රහිතාත්මයෙම් වෙසෙම් නම්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට එපරිද්දෙන් සැකෙවින් දහම් දෙසනසේක් නම් මැනැවැ.
උපාලියෙනි, “මේ ධර්‍මයෝ ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ක්ලේශව්‍යපශමය පිණිස විශිෂ්ටඥානය පිණිස, චතුර්මාර්‍ගඥානසම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස නො පවත්නාහ”යි තෝ යම් ධර්‍ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි තෙල ධර්‍ම නො වෙයි, තෙල විනය නොවේ. තෙල ශාස්තෘශාසනය නොවේ යයි ඒකාන්තයෙන් දනුවයි. උපාලියෙනි, මෙ දහම්හු ඒකාන්ත නිර්වේදය සඳහා විරාගය සඳහා නිරෝධය සඳහා ක්ලේශව්‍යපශමය සඳහා අභිඥානය සඳහා සම්බෝධිය සඳහා නිර්‍වාණය සඳහා පවත්නාහයි තෝ යම් ධර්‍ම කෙනෙකුන් දනිහි නම්, උපාලියෙනි, තෙල ධර්‍මය වේ, තෙල විනය වේ, තෙල ශාස්තෘශාසනය වේ යයි ඒකාන්තයෙන් ධරවයි.
7. 2. 3. 10.
[අධිකරණසමථ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්‍යපශමය සඳහා මෙ අධිකරණශමථධර්‍ම සතෙකි. කවර සතෙක යත්:
සම්මුඛාවිනය දියයුතු. සතිවිනය දියයුතු. අමූළ්හ විනය දියයුතු. පටිඤ්ඤාත කරණය දියයුතු. යෙභූය්‍යසිකා දියයුතු. තස්සපාපිය්‍යසිකා දියයුතු. තිණවත්‍ථාරකය දිය යුතු යි.
මහණෙනි, මෙ අධිකරණසමථයෝ සත්දෙන උපනුපන් අධිකරණයන්ගේ ශමථය සඳහා ව්‍යුපශමය සඳහා වෙත් යයි.
විනය වර්‍ගය තුන් වැනි යි.
එහි උද්දානය:
විනයධර සූත්‍ර සතර ය, විනයධර සෝභන සූත්‍ර සතර ය, සත්‍ථුසාසන සූත්‍රය, අධිකරණ සමථ සූත්‍රය දැයි තෙවන වර්‍ගයෙහි සූත්‍ර දසයෙකි.
4. සමණ වර්‍ගය
7. 2. 4. 1.
[භික්ඛුධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. මහණෙනි, සත් කරුණක් බුන් හෙයින් ‘භික්ඛු’ නම් වෙයි. කවර සතෙක යත්:
සක්කායදිට්ඨිය භින්න වෙයි. විචිකිච්ඡාව භින්න වෙයි. සීලබ්බතපරාමාසය භින්න වෙයි. රාගය භින්න වෙයි. ද්වේෂය භින්න වෙයි. මෝහය භින්න වෙයි. මානය භින්න වෙයි.
මහණෙනි, මේ කරුණු සත බුන් හෙයින් භික්ඛු නම් වේ ය යි.
7. 2. 4. 2.
[සමණ ධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. (මහණෙනි, කරුණු සතක්) සන්හුන් හෙයින් ‘සමණ’ නම් වෙයි ...
7. 2. 4. 3.
[බ්‍රාහ්මණධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. (මහණෙනි, කරුණු සතක්) බැහැර ලු හෙයින් ‘බ්‍රාහ්මණ’ වෙයි ...