Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 10901-11000 න් 15980

මේ පුද්ගලයෝ දෙදෙනෙක් ධරණලද ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සත්: එකෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මයට පිළිපන්නේ වෙයි. එකෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මයට නො පිළිපන්නේ වෙයි. යම් මේ පුඟුලෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න නොවේ නම්, මෙසේ හෙ එකරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වේ නම්, මෙසෙයින් හෙ එකරුණෙන් පැසැසිය යුතු වෙයි.
මහණෙනි, මෙ පුද්ගලයෝ දෙදෙනෙක් අර්‍ත්‍ථය දැන ධර්‍මය දැන ධර්‍මානුධර්‍මප්‍රතිපන්න වෙති: එකෙක් ආත්මහිත සඳහා පිළිපන්නේ ය. පරහිත සඳහා නො පිළිපන්නේ ය. එකෙක් ආත්මහිත සඳහා ද පරහිත සඳහා ද පිළිපන්නේ ය. යම් මේ පුද්ගලයෙක් ආත්මහිත සඳහා පිළිපන්නේ පරහිත සඳහා නො පිළිපන්නේ වේ නම්, මෙසෙයින් හෙ එකරුණෙන් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් ආත්මහිත සඳහාත් පරහිත සඳහාත් පිළිපන්නේ වේ නම් මෙසේ හෙ එකරුණෙන් පැසැසිය යුතු වෙයි.
මහණෙනි, මෙසේ භික්‍ෂූහු විසින් දෙකරුණින් පුද්ගලයෝ දන්නා ලද වෙත්. මහණෙනි, මෙසේ පුද්ගල පරාවරඥ වෙයි.
මහණෙනි, මෙ සප්තධර්‍මයෙන් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වේ.
7. 2. 2. 5.
[පාරිච්ඡත්තක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පරසතුරුක පඬුවන් පත් ඇති වේ ද, මහණෙනි, තාවතිංස දෙවියෝ එකල්හි “දැන් කෝවිදාර පරසතුරුක පඬුවන් පත්‍ර ඇතියේ ය. තව නොබෝ කලෙකින් ම ගිලිහුනු පත් ඇතිවන්නේ ය”යි සතුටු සිත් ඇති වන්නාහ.
මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පරසතුරුක පතිතපත්‍ර ඇතියේ වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “දැන් කෝවිදාර පාරිච්ඡත්‍රකවෘක්‍ෂය ගිලිහුනු පත් ඇතියේ ය. නොබෝ කලෙකින් ම හටගත් කොළමල් දැල් ඇති වන්නේය”යි සතුටු සිතැති වෙත්.
මහණෙනි, යම් කලෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රවෘක්‍ෂය හටගත් පලුමල්කැන් ඇති වේ නම්, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “දැන් කෝවිදාර පරසතුරුක හටගත් පලුමල්කැන් ඇතියේ නොබෝ කලෙකින් ම වෙන් වෙන් ව බෙදුනු පලුමල්කැන් ඇති වන්නේ ය”යි තුටු සිත් ඇති වෙත්.
මහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කොවිළාර නම් පරසතුරුක වෙන් වෙන් ව බෙදුනු පලු මල් කැන් ඇති වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ සතුටුසිත් ඇති වෙත්: “දැන් කොවිළාර නම් පරසතුරුක ක්‍ෂාරකජාත (බෙදීගිය පලුමල් කැන් ඇති) විය, නොබෝ කලෙකින් ම හටගත් කුඩ්මල ඇති වේ යයි.
මහණෙනි, යම් සමයෙක්හි තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රක වෘක්‍ෂය හටගත් කුඩ්මල ඇතියේ වේ ද, මහණෙනි, එසමයෙහි තාවතිංස දෙවියෝ “කෝවිදාර පරසතුරුක දැන් හටගත් කුඩ්මල ඇතියේ නොබෝ දවසෙකින් ම මිණිබුන් මලින් යුතුවේ ය”යි සතුටු වන්නාහ.
මහණෙනි, යම් කලෙක තවුතිසාවැසි දෙවියන්ගේ කෝවිදාර පරසතුරුක මිණිමුතුවන මල් ඇතිවන්නේ ද, මහණෙනි, තවුතිසාවැසි දෙවියෝ එකල්හි “දැන් කෝවිදාර පරසතුරුක මිණිමුතුවන මල් ඇතියේ ය, නොබෝ දවසෙකින් ම හැම සේ මොනොවට පිපියේ වන්නේ ය”යි තුටු වෙත්.
මහණෙනි, යම් කලෙක තාවතිංස දෙවියන්ගේ කෝවිදාර පරසතුරුක සර්‍වප්‍රකාරයෙන් පාලිඵුල්ල වේ ද, මහණෙනි, (එසමයෙහි) තාවතිංස දෙවියෝ කෝවිදාර පරසතුරුක්හුගේ මුල දිව්‍යවර්‍ෂගණනායෙන් සාරමසක් (මනුෂ්‍ය වර්‍ෂ ගණනායෙන් දොළොස් දහසක් අවුරුදු) පස්කම් ගුණෙන් සමන්‍වාගත වූවාහු සමර්පිත වූවාහු අභිරමණය කෙරෙත්. ක්‍රීඩා කරත්. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් පාලිඵුල්ල වූ කෝවිදාර පරසතුරුක්හු වටා පණස් යොදුනක් ආලෝකයෙන් පැතිරගියේ වෙයි. ගන්‍ධය යොදුන් සියක් අනුවාතයෙහි හමයි. කෝවිදාර පරිච්ඡත්‍රකයාගේ මෙ අනුභාව වෙයි.
(1) මහණෙනි, එපරිද්දෙන් ම යම් කලෙක්හි අරීසවු ගෙන් නික් ම පැවිද්ද සඳහා සිතා ද, මහණෙනි, එසමයෙහි අරීසවු තව්තිසා වැසි දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රකය සෙයින් පණ්ඩුපලාස වෙයි.
(2) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු කෙහෙරවුළු බහා කසාවත් හැඳ ගෙන නික්ම පැවිද්දට පැමිණියේ වේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තව්තිසා වැසි දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රකය සෙයින් ගුළුපත් (වැටුන කොළ) ඇතියේ වෙයි.
(3) මහණෙනි, යම් සමයෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක කාමයන්ගේ වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තාවතිංස දේවයන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රක රුක සෙයින් ජාලක ජාත වෙයි.
(4) මහණෙනි, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක විතර්‍ක විචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යානයට එළඹ වෙසේ නම්, මහණෙනි, එසමයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තාවතිංස දේවයන්ගේ කෝවිදාර පරසතුරුක සෙයින් ඛාරකජාත වෙයි.
(5) මහණෙනි, යම් සමයෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක ප්‍රීතියගේ විරාගයෙන් ... තෘතීයධ්‍යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තාවතිංස දෙවියන්ගේ කෝවිදාර පාරිච්ඡත්‍රකය සෙයින් කුඩ්මල හටගත්තේ වෙයි.
(6) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු සුඛප්‍රහාණයෙනුදු ... චතුර්‍ත්‍ථධ්‍යානයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රකවෘක්‍ෂය සෙයින් කොකාසකජාත වෙයි.
(7) මහණෙනි, යම් සමයෙක්හි අරීසවු ආස්‍රවයන්ගේ ක්‍ෂයෙන් අනාස්‍රව චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තමා විසින් විශිෂ්ටඥානයෙන් ඉහාත්මයෙහි ම දැන සාක්‍ෂාත් කොට එයට එළැඹ වෙසේ ද, මහණෙනි, එසමයෙහි අරීසවු තාවතිංස දෙවියන්ගේ කෝවිදාර නම් පාරිච්ඡත්‍රකය සෙයින් හැමසේ පාලිඵුල්ල (පිපුනේ) වේ.
මහණෙනි, එසමයෙහි බූමාටු දෙවියෝ “තෙල මෙබඳු නම් ඇති ආයුෂ්මත්හුගේ සද්ධිවිහාරික වූ මෙබඳු නම් ඇති ආයුෂ්මත් අසෝ ගමින් හෝ නියම්ගමින් හෝ නික්මියේ පැවිද්දට පැමිණියේ අනාස්‍රව චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එළැඹ වෙසේ ය”යි ශබ්දය අනුශ්‍රාවණය කරත්. බූමාටු දේවයන්ගේ ශබ්දය අසා චාතුම්මහාරාජික දේවයෝ ශබ්දානුශ්‍රාවණය කරත්.
තෙල මෙබඳු නම් ඇති ආයුෂ්මත්හුගේ මෙබඳු නම් ඇති සද්ධිවිහාරික වූ ආයුෂ්මත් අසෝ ගමින් වේවයි, නියම්ගමින් වේවයි ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තමා විසින් ... සාක්‍ෂාත් කොට එයට එළැඹ වාස කෙරේ ය’යි. චාතුර්ම්මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තාවතිංස දේවයෝ ... යාම දේවයෝ ... තුසිත දේවයෝ ... නිම්මාණරති දේවයෝ ... පරනිම්මිතවසවත්ති දේවයෝ ... බ්‍රහ්මකායික දේවයෝ ශබ්දය අස්වත්. “තෙල මෙබඳු නම් ඇති ආයුෂ්මත්හුගේ මෙබඳු නම් ඇති සද්ධිවිහාරික වූ ආයුෂ්මත් අසෝ ගමින් හෝ නියම්ගමින් හෝ ගෙන් නික්ම පැවිද්දට පැමිණියේ ආස්‍රවක්‍ෂයෙන් ... සාක්‍ෂාත් කොට එළඹ වෙසේ වෙයි.
මෙසේ එකෙණෙහි, එ මොහෙතෙහි බඹලොව හිම් කොට ශබ්දය උස් ව නැගෙයි. මෙ ක්‍ෂීණාස්‍රව මහණහුගේ අනුභාවය යි.
7. 2. 2. 6.
[සක්කාරගරුකාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. එකල්හි රහසිගත වු පිළිසලනෙහි ඇලුනු ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්හට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් උපන: “සත්කාර කොට, ගුරුකාර කොට කවරකු ඇසුරු කොට වෙසෙන මහණ අකුසල් දුරු කරන්නේ වේ ද, කුසල් වඩන්නේ වේ දැ” යි.
එක්බිති ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවන්හට තෙල සිත් වී: “මහණෙක් ශාස්තෘන් වහන්සේට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාස කරන්නෙ අකුසල දුරු කරන්නේ ය. කුසල් වඩන්නේ ය. මහණෙක් ධර්‍මය ... මහණෙක් සඞ්ඝයා ... මහණෙක් ශික්‍ෂාව ... මහණෙක් සමාධිය ... මහණෙක් අප්‍රමාදය ... මහණෙක් පටිසන්‍ථාර සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය”යි.
එක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරුන්හට මෙබඳු සිතෙක් විය: මේ දහම්හු පරිශුද්ධයහ. පර්‍ය්‍යවදාතයහ. ඉදින් මම් ගොස් මෙ දහම් භාග්‍යවතුන් වහන්සේට සැළකරන්නෙම් නම්, එසේ වත් මාගේ මේ ධර්‍මයෝ පරිශුද්ධ ද වන්නාහ. පරිශුද්ධ සංස්කෘතතර (ඉතා පිරිසිදුව සකස් කරණ ලද) ද වන්නාහ. යම් පරිදි පුරුෂයෙක් පිරිසුදු වූ පර්‍ය්‍යවදාත වූ රන් ආභරණයක් ලබා නම්, ඔහට මෙබඳු සිතෙක් වෙයි: මාගේ මෙ ස්වර්‍ණ නිෂ්කය ගෙන පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය. ඉදින් මම මේ නිෂ්කය ගෙන ගොස් කඹුරනට දක්වන්නෙම් නම් මැනැව. එසේ වත් ම මාගේ මෙ සුවර්‍ණ නිෂ්කය කඹුරන් අතට ගියේ ඉතා පිරිසුදු හා පරිශුද්ධ සංස්කෘතතර ද වන්නේ ය. එ පරිදි ම මාගේ මේ දහම්හු පරිශුද්ධ වූවාහු පර්‍ය්‍යවදාත වූවාහු වෙති. ඉදින් මම මේ දහම් ඉගෙන ගෙන ගොස් භාග්‍යවතුන් වහන්සේට දක්වම් නම්, එසේවත් ම මාගේ මේ දහම්හු ඉතා නිර්‍මල ද අතිශයින් පරිශුද්ධ සංස්කෘතතර (ඉතා පිරිසිදුව සකස් කරණ ලද) ද වන්නේ යයි.
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ සවස්වරුයෙහි පිළිසලනෙන් නැඟී සිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් සාරිපුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
“වහන්ස, මෙහි රහසිගත වූ පිළිසලනට ගිය මට මෙබඳු සිතෙක් පහළ වි. “මහණ කවරකු සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වසන්නේ අකුශලය ප්‍රහාණ කරන්නේ ද? කුසලය වඩන්නේ දැ?යි”, වහන්ස, එ මට මෙබඳු සිතෙක් පාළ විය:
“මහණෙක්, ශාස්තෘන් වහන්සේට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වසන්නේ අකුශලය ප්‍රහීණ කරන්නේ ය. කුශලය වඩන්නේ ය. මහණෙක් ධර්‍මය ... මහණෙක් සඟුන් ... මහණෙක් ශික්‍ෂාව ... මහණෙක් සමාධිය ... මහණෙක් අප්‍රමාදය ... මහණෙක් පටිසන්‍ථාරයට සත්කාර කොට ගුරුකාර කොට ඇසුරු කොට වාස කරන්නේ අකුශලය දුරලන්නේ ය, කුසල් වඩන්නේ ය”යි.
වහන්ස, එ මට මෙසිත වීය: මාගේ මෙ දහම්හු පරිශුද්ධයහ. පර්‍ය්‍යවදාතයහ. ඉදින් මම් මේ දහම් ගෙණ ගොස් භාග්‍යවතුන් වහන්සේට සැළ කෙරෙම් නම්, එසේ ඇතිවත් ම මාගේ මෙ ධර්‍මයෝ ඉතා පිරිසිදු හා පරිශුද්ධ සංස්කෘතතර වන්නාහ”යි.
යම් පරිදි පුරුෂයෙක් පිරිසිදු පර්‍ය්‍යවදාත රන්නිකක් ලබා නම්, ඔහට මෙබඳු සිතෙක් වන්නේ ය. මාගේ මේ ස්වර්‍ණනිෂ්කය පරිශුද්ධ ය, පර්‍ය්‍යවදාත ය. ඉදින් මම මේ සුවර්‍ණනිෂ්කය කඹුරනට දක්වම් නම්, මැනැව. එසේ වත් එ මගේ මේ සුවර්‍ණනිෂ්කය කඹුරන් අත පත් වූයේ ඉතා පිරිසිදු හා පරිශුද්ධසංස්කෘතතර හා වන්නේ ය”යි. එසේ ම මාගේ මේ ධර්‍මයෝ පරිශුද්ධ පර්‍ය්‍යවදාත වෙති. ඉදින් මම මෙදහම් ගෙණ ගොස් භාග්‍යවතුන් වහන්සේට සැළකරම් නම්, එසේ වත් ම මෙදහම්හු ඉතා පිරිසිදු හා පරිශුද්ධසංස්කෘතතර වන්නාහ යි.
සැරියුත, මැනැව, සැරියුත, මහණෙක් ශාස්තෘන්හට සත්කාර කොට ගුරු කොට ශාස්තෘන් ඇසුරු කරමින් වාස කරන්නේ අකුසල් දුරු කරන්නේ ය. කුසල් වඩන්නේ ය. සැරියුත, මහණෙක් ධර්‍මය ... සැරියුත, මහණෙක් සඟුන් … සැරියුත, මහණෙක් ශික්‍ෂාව ... සැරියුත, මහණෙක් සමාධිය ... සැරියුත, මහණෙක් අප්‍රමාදය ... සැරියුත් මහණෙක් පටිසන්‍ථාරයට සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසනුයේ අකුසල් දුරු කරන්නේ ය, කුලස් වඩන්නේ යයි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍රතෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාරන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසෙයින් විස්තර විසින් දනිමි.
වහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මය කෙරෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ වේ නම් එ මහණ ඒකාන්තයෙන් ධර්‍මයෙහි දු අගෞරව ඇතියේ වෙයි.
වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සංඝයා කෙරෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ, ධර්‍මයෙහි ගෞරව නැතියේ නම් හෙ සඞ්ඝයා කෙරෙහි ද අගෞරව ඇතියේ ය.
වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ, ධර්‍මයෙහි අගෞරව ඇතියේ, සඞ්ඝයා කෙරෙහි අගෞරව ඇතියේ, ශික්‍ෂායෙහි සගෞරව වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
වහන්ස, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ, ධර්‍මයෙහි අගෞරව ඇතියේ, සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ නම්, හේ ශික්‍ෂායෙහි දු ගෞරව නැතියේ ය.
වහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඟුන් කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි සගෞරව වන්නේ ය යන තෙල කරුණ නො වේ.
වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ සඟුන් කෙරෙහි අගෞරව ඇතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ නම්, හෙ සමාධියෙහි දු අගෞරව ඇතියේ වෙයි.
වහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි අගෞරව ඇතියේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ සඞ්ඝයා කෙරෙහි අගෞරව ඇතියේ, ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ, සමාධියෙහි අගෞරව ඇතියේ, අප්‍රමාදයෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි ගෞරව නැතියේ වේ නම්, අප්‍රමාදයෙහි දු හෙ ගෞරව නැතියේ වෙයි.
වහන්ස, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි ගෞරව නැතියේ අප්‍රමාදයෙහි ගෞරව නැතියේ පිළිසඳරෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ශික්‍ෂායෙහි ගෞරව නැතියේ සමාධියෙහි ගෞරව නැතියේ අප්‍රමාදයෙහි ගෞරව නැතියේ වේ නම්, පටිසන්‍ථාරයෙහි දු හෙ අගෞරව ඇතියේ වෙයි.
වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නොවේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වේ නම්, හෙ ධර්‍මයෙහි දු සගෞරව වෙයි.
වහන්ස, එ මහණ එකැතියෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි ගෞරව සහිත වූයේ නම්, හේ සඟුන් කෙරෙහි දු සගෞරව වෙයි.
වහන්ස, එකැතියෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් කෙරෙහි ගෞරව සහිත වූයේ ධර්‍මයෙහි ගෞරව සහිත වූයේ සඟුන් කෙරෙහි ගෞරව සහිත වූයේ නම්, හෙ ශික්‍ෂායෙහි දු සගෞරව වෙයි.
වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි අගෞරව ඇතියේ වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ නම්, හෙ සමාධියෙහි දු සගෞරව වේ.
වහන්ස, එ මහණ එකැතියෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
වහන්ස, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඟුන් කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි දු සගෞරව වෙයි.
වහන්ස, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි සගෞරව වූයේ පටිසන්‍ථාරයෙහි අගෞරව ඇති වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ.
වහන්ස, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි සගෞරව වූයේ සඞ්ඝයා කෙරෙහි සගෞරව වූයේ ශික්‍ෂායෙහි සගෞරව වූයේ සමාධියෙහි සගෞරව වූයේ අප්‍රමාදයෙහි සගෞරව වූයේ නම්, හෙ පටිසන්‍ථාරයෙහි දු සගෞරව වෙයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මම විස්තර විසින් මෙසෙයින් දනිමි යි. ශාරීපුත්‍රයෙනි, මැනැවි, මැනැවි, ශාරීපුත්‍රය, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය තො මෙලෙසින් විස්තර විසින් දනිහි නම් මනා ය.
සැරියුත, එ මහණ එකැතියෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි සගෞරව වේ ය යන තෙල කරුණ අවිද්‍යාමාන ය. සැරියුත, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ද, ධර්‍මයෙහි දු හෙ ගෞරව නැතියේ ය.
ශාරීපුත්‍රයෙනි, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ ධර්‍මයෙහි ගෞරව නැතියේ ... සඟුන් කෙරෙහි ගෞරව නැතියේ … ශික්‍ෂායෙහි ගෞරව නැතියේ … සමාධියෙහි ගෞරව නැතියේ .. අප්‍රමාදයෙහි ගෞරව නැතියේ පටිසන්‍ථාරයෙහි ගෞරව සහිත වන්නේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. ශාරිපුත්‍රය, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැතියේ, ධර්‍මයෙහි ගෞරව නැතියේ, සඞ්ඝයා කෙරෙහි ගෞරව නැතියේ, ශික්‍ෂායෙහි ගෞරව නැතියේ, සමාධියෙහි ගෞරව නැතියේ, අප්‍රමාදයෙහි කෙරෙහි ගෞරව නැතියේ වේ ද, හෙ පිළිසඳරෙහි දු ගෞරව නැතියේ ය.
ශාරීපුත්‍රයෙනි, ඒකාන්තයෙන් එ මහණ ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වූයේ ධර්‍මයෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. ශාරීපුත්‍රය, යම් එ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වේ ද, සැරියුත, එ මහණ එකැතියෙන් ධර්‍මයෙහි දු සගෞරව වෙයි.
ශාරීපුත්‍රයෙනි, එ මහණ ඒකාන්තයෙන් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වේ ද ... ධර්‍මයෙහි සගෞරව වේ ද ... සඞ්ඝයා කෙරෙහි සගෞරව වේ ද ... ශික්‍ෂායෙහි සගෞරව වේ ද … සමාධියෙහි සගෞරව වේ ද … අප්‍රමාදයෙහි සගෞරව වේ ද ... පටිසන්‍ථාරයෙහි අගෞරව ඇතියේ ය යන තෙල කරුණ විද්‍යාමාන නො වේ. සැරියුත, යම් ඒ මහණෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සගෞරව වේ ද ... පිළිසඳරෙහි දු හෙ සගෞරව වෙයි.
සැරියුත, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසෙයින් විතර විසින් දැක්ක යුත්තේ ය යි.
7. 2. 2. 7.
[භාවනානුයුත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, භාවනායෙහි යුක්තප්‍රයුක්ත නො වී වාසය කරණ මහණහට, “අහෝ මාගේ සිත (ඒකාන්තයෙන් කිසි සංස්කාරයක්) උපාදාන විසින් නො ගෙන ආස්‍රවයන්ගෙන් මිදේව”යි යන මෙබඳු ඉච්ඡායෙක් උපදනේ නමුදු, වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් නො මැ මිදෙන්නේ ය. එ කවර හෙයින යත්: ‘අභාවිත වන හෙයිනැ’යි කියයුතු වන්නේ ය. කවරක්හුගේ අභාවිතභාවයෙන යත්: සතරසතිපට්ඨාන, සතරසම්‍යක්ප්‍රධන්වීර්‍ය්‍යය, සතරඉද්ධිපාදය, පඤ්චේන්‍ද්‍රියය, පඤ්චබල, සප්තබෝධ්‍යඞ්ගය, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය යන ධර්‍ම අභාවිත වන හෙයිනි.
මහණෙනි, යම් පරිදි කිකිළියකහට බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළොසක් වේ නම්, එ හැම කිකිළිය විසින් මොනොවට අධිශයිත නො වෙත්. මොනොවට හුණුසුම් ගන්වන ලද නො වෙත්. මොනොවට පරිභාවිත නො වෙත්. එ කිකිළියට “අහෝ, මාගේ කැකුළුපැටව් පානියසිළීන් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙත්වා” යන මෙබඳු ඉච්ඡාවත් උපදනේ ය. වැලිත් එ කුකුළුපැටව් පානියසිළීන් හෝ මුවතුඩින් හෝ අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙන්නට අභව්‍ය ම වෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, යම් හෙයෙකින් කිකිළිය විසින් බිජුවටහු මොනොවට අධිශයිත නොවෙත් ද, හුණුසුම් ගන්වන ලද නො වෙත් ද, මොනොවට පරිභාවිත නො වෙත් ද, එසෙයිනි.
මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්‍රයුක්ත නො වී වෙසෙන මහණහට “අහෝ, ඒකාන්තයෙන් මාගේ චිත්තය උපාදානයන් විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදේ වා” යන මෙබඳු ඉච්ඡාවක් උපදනේ නමුදු වැලිත් අනුපාදාන විසින් ඔහුගේ චිත්තය ආස්‍රවයන්ගෙන් නොමිදේ මැයි. එ කවර හෙයින යත්: අභාවිතභාවයෙනැයි කිවයුතු වන්නේ ය. කවරක් නොවැඩූ බැවින යත්: සතරසතිපට්ඨාන ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය අභාවිත හෙයිනි.
මහණෙනි, භාවනායෙහි යුක්තප්‍රයුක්තව වාසය කරණ මහණහට “අහෝ ඒකාන්තයෙන් අනුපාදාන විසින් මාගේ චිත්තය ආස්‍රවයන්ගෙන් මිදේවා” යන මෙබඳු ඉච්ඡාවක් නූපදනේ නමුදු වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ ය. එ කවර හෙයින යත්: භාවිතභාවයෙනැයි කිවයුතු වන්නේ ය. කවරක්හුගේ භාවිත භාවයෙන යත්: සතරසතිපට්ඨානයන්ගේ හා ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ (භාවිතභාවයෙනි).
මහණෙනි, යම් පරිදි කිකිළියට බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දොළොසෙක් වේ නම්, එ හැම කිකිළිය විසින් මනාකොට අධිශයිත වෙත්. මැනැවින් පරිසෙදිත වෙත්. මනාලෙස පරිභාවිත වෙත්. එ කිකිළියට “අහෝ, ඒකාන්තයෙන් මාගේ කුකුළුපැටහු පානියසිළීන් වේවයි, මුවතුඩින් වේවයි අණ්ඩකෝෂය පළා සුවසේ නික්මෙත්වා”යි මෙබඳු ඉච්ඡාවත් නූපදනේ නමුදු වැලිත් එ කුකුළුපැටහු පානියසිළීන් වේවයි, මුවතුඩින් වේවයි, අණ්ඩකෝෂය බිඳ සුවසේ නික්මෙන්නට භව්‍ය ම වෙත්. එ කවර හෙයින යත්: මහණෙනි, යම් සෙයෙකින් කිකිළිය විසින් බිජුවටහු මනාලෙස අධිශයිත වෙත් නම්, මැනැවින් පරිසෙදිත වෙත් නම්, මැනැවින් පරිභාවිත වෙත් නම්, එහෙයිනි.
මහණෙනි, එ පරිද්දෙන් ම භාවනායෙහි අනුයුක්ත ව වසන මහණහට “අහෝ මාගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදේ වා” යන මෙබඳු ඉච්ඡාවක් නූපදනේ නමුදු වැලිත් ඔහුගේ චිත්තය උපාදාන විසින් නො ගෙණ ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ ය. එ කවර හෙයින් යත්: භාවිතභාවයෙනැයි කිවයුතු වෙයි. කවරක්හුගේ භාවිතභාවයෙන යත්: සතර සතිපට්ඨානයන්ගේ ද ... ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගයාගේ ද භාවනායෙනි.
මහණෙනි, දැවවඩුවකුගේ හෝ දැවවඩුඅතවැසියකුගේ හෝ වෑ මිටෙහි යම් පරිදි අඞ්ගුලිපදයෝ පැණෙත් ම නම්, අඞ්ගුෂ්ටපදය පැණේ ම නම්, ඔහට “අද මාගේ වෑමිටෙහි මෙතෙක් අංශුයෙක් ක්‍ෂීණ විය, ඊයේ දවස්හි මෙතෙක් අංශුයෙක් ක්‍ෂීණ විය, පෙරෙයිදා මෙතෙක් අංශුයෙක් ක්‍ෂීණ විය” යන මෙබඳු ඥානයෙක් නො වේ ම ය. වැලිත් ඔහට ක්‍ෂීණ වූ අංශුයෙහි ක්‍ෂීණ ම විය’ යන ඥානය වෙයි. මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්‍රයුක්ත ව වසන මහණහට “අද මාගේ ආස්‍රවයන්ගෙන් මෙතෙක් අංශයෙක් ක්‍ෂීණ විය. ඊයේ මෙතෙක් අංශයෙක් ක්‍ෂීණ විය. පෙරෙයිදා මෙතෙක් අංශයෙක් ක්‍ෂීණ විය” යන මෙබඳු ඥානයෙක් නැති නමුදු, වැලිත් ඔහට ක්‍ෂීණ වූ ආස්‍රව ක්‍ෂීණ ම ය” යන ඥානය වේ.
මහණෙනි, වෙත්‍රබන්‍ධනයෙන් බඳනා ලදුව සමසක් දියෙහි පැවැති හිමත් කල්හි ඉවුරුතෙලෙහි ඔසොවාන ලද සාමුද්‍රික නැවෙක බන්‍ධනයෝ වාතයෙන් හා හිරුඑලියෙන් මඩනා ලද්දාහු යම් පරිදි ප්‍රාවෘට්මේඝයෙන් මොනොවට තෙමන ලද්දාහු පහසුවෙන් ම පිරිහීමට යෙත් නම්, සුණු වී යෙත් නම්, මහණෙනි, එපරිද්දෙන් ම භාවනායෙහි යුක්තප්‍රයුක්ත ව වසන මහණහට නිදුකින් ම සංයෝජනයෝ පිරිහෙත් පූතික වෙත් යයි.
7. 2. 2. 8.
[අග්ගික්ඛන්‍ධොපම සූත්‍රය]
19. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහබික්සඟුන් කැටිව ලා ගෙණ කොසොල්දනව්යෙහි සැරිසරණ සේක. අද්ධාන මාර්‍ගයට පිළිපන් භාග්‍යවතුන් වහන්සේ අන්‍යතර ප්‍රදේශයෙක්හි ඇවිළගත් මොනොවට දිලියෙන් ගිනිසිළු සහිත වූ මහාග්නිස්කන්‍ධයක් දුටු සේක. දැක වදාරා මාර්‍ගයෙන් ඉවත් ව අන්‍යතර වෘක්‍ෂමූලයෙක්හි පනවන ලද අස්නෙක වැඩහුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් අමතා වදාළ සේක: “මහණෙනි, තෙපි ඇවිළගත් මැනැවින් දිලියෙන් ගිනිසිළු ඇති අසෝ මහගිනිකඳ දකිවු දැ?”යි වහන්ස, එසේයයි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? තෙල අදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතීර්භූත වූ මහා වහ්නිස්කන්‍ධය වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ හෝ යන යමකුත් වේ නම්, මොළොක් තුරුණු අත්පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳුනේ හෝ හෝනේ හෝ යන යමෙක් වේ නම්, (එයින්) කවරක් උතුම් දැ?යි. වහන්ස, මොළොක් තුරුණු අත් පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙණ හිඳිනේ හෝ හෝනේ ය යන යමෙක් වේ නම්, මෙය ම උතුම් වේ. වහන්ස, තෙල ඇවිළගත් දිලියෙන, ගිනිසිළු ඇති යම් මහගිනිකඳක් සිපවැළඳ ගෙණ හිඳිනේ ය හෝ හෝනේ ය යන තෙල දුකෙක් මැයි.
මහණෙනි, තොපට අරෝචනය කරමි, මහණෙනි, තොපට කරුණු හඟවා කියමි: යම් සෙයෙකින් ලමුදම් ඇති, අපවිත්‍ර කායකර්‍මාදියෙන් අපරිශුද්ධව සැකයෙන් සිහිකටයුතු සමාචාර ඇති, පිළිසන් කටයුතු කර්‍ම ඇති, ශ්‍රමණ නො වූ ‘මහණෙක්මි’ යන් ප්‍රතිඥා ඇති අබ්‍රහ්මචාරී වු බ්‍රහ්මචාරීයෙක්මියි කරණ ප්‍රතිඥා ඇති, පූතිකර්‍මයෙන් (ශීලවිපත්තියෙන්) අන්තඃපූති වූ (සදොරින් වෑහෙන රාගාදි) කෙලෙසින් තෙත් වු හටගත් රාගාදිකෙලෙස් කසළැති, එ දුඃශීලයාහට, තෙල ඇවිළගත්, දිලියෙන, ගිනිසිළු ඇති මහගිනිකඳ සිපවැළඳ ගෙණ හිඳිනේ ය හෝ හෝනේ ය හෝ යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වන්නේ ය. එ කවර හෙයින යත්: මහණෙනි, එකරුණෙන් එ දුසිල් මහණ මරණයට හෝ යන්නේ ය. මරණමාත්‍ර වූ දුකට හෝ යන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණේමැයි. මහණෙනි, ලමුදම් ඇති අපරිශුද්ධ කායකර්‍මාදියෙන් අපවිත්‍ර ව සංකායෙන් සිහි කටයුතු හැසිරීම් ඇති ... හටගත් කෙලෙස්කසට ඇති එ දුසිල් තෙම මොළොක් තරුණ අත්පා ඇති ක්‍ෂත්‍රියකන්‍යාවක හෝ බ්‍රාහ්මණකන්‍යාවක හෝ ගෘහපතිකන්‍යාවක හෝ සිප වැළඳ ගෙන හිඳිනේ ය හෝ හෝනේ ය හෝ යන යමෙක් වේ නම්, මහණෙනි, එය ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වු නිරයට පැමිණෙන්නේ ය.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් දැඩිවරපටෙකින් දෙ දඟඇට වෙළා ඝටනේ ය. එ වරපට සිවිය සිඳුනේ ය. සිවිය සිඳ සම් සිඳුනේ ය. සම් සිඳ මස් සිඳුනේ ය. මස් සිඳ නහර සිඳුනේ ය. නහර සිඳ ඇට සිඳුනේ ය. ඇට සිඳ ඇටමිදුලෙහි වැද සිටුනේ ය යන යමකුත් වේ නම් හෝ, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේ වයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේ වයි, ගෘහපතිමහසාරයන්ගේ වේවයි අභිවාදනය ඉවසන්නේ ය යන යමකුත් වේ නම්, (එදෙකින්) කවරෙක්) උතුම් වේ දැ? යි. වහන්ස, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහසාරයන්ගේ වේවයි අභිවාදනයක් ඉවසා නම්, මෙය ම උතුම් වෙයි. වහන්ස, බලවත් පුරුෂයෙක් දළ වරපටෙකින් දෙ දඟ වෙළා ... ඇටමිදුළු තෙක් වැද සිටුනේ ය යන යමකුත් වේ නම්, තෙල දුකෙක්මය යි.
මහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට ප්‍රතිවේදනය කරමි. යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් දළ වරපටෙකින් දෙදඟ වෙළා ... ඇට මිදුලු තෙක් වැද සිටුනේ ය. යන යමෙක් වේ නම්, දුශ්ශීල වූ ... කෙලෙස්කසළ ඇති ඔහට මෙය ම උතුම් ම වේ. එ කවර හෙයින යත්: මහණෙනි, එ හේතුකොට ගෙන එතෙම මරණයට හෝ යන්නේ ය. මරණමාත්‍ර දුඃඛයට හෝ පැමිණෙන්නේ ය. එ හේතු කොට ගෙණ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, දුශ්ශීල වූ ... හටගත් කෙලෙස්කසළ ඇති එ මහණ ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, අභිවාදනය ඉවසන්නේය යන යමක් වේ නම්, එය ම ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙන්නේ ය.
මහණෙනි, එ කිමෙකැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් තෙලින් මුවහත් කළ තියුණු සැතෙකින් ලමැඩියෙහි පහරන්නේ ය යන යමෙක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ, බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ, ගෘහපතිමහසාරයන්ගේ හෝ අඤ්ජලිකර්‍මය ඉවසන්නේ ය යන යමක් හෝ වේ නම්, (එ දෙකින්) කවරෙක් උතුම් වේ දැ?යි. වහන්ස, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ අඤ්ජලිකර්‍මය ඉවසන්නේ ය යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වේ. වහන්ස, බලවත් පුරුෂයෙක් තෙලින් දෝනා ලද තියුණු සැතෙකින් ලමැඬියෙහි පහරන්නේ ය යන යමෙක් වේ නම් තෙල දුක් ම වේ යයි.
මහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට ප්‍රතිවේදනය කරමි. මහණෙනි, යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් තෙලෙන් මුවහත් කළ තියුණු සැතෙකින් ලමැඬියෙහි පහරන්නේ ය යන යමක් වේ නම්, දුශ්ශීල වූ ... හටගත් කෙලෙස්කසළ ඇති ඔහට තෙල කරුණ ම උතුම් වන්නේ ය. එ කවර හෙයින යත්: මහණෙනි, එ පුඟුල් ඒ හේතුයෙන් මරණයට හෝ යෙයි. මරණමාත්‍ර දුකට හෝ යන්නේ ය. ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය වූ, දුර්‍ගති වූ විනිපාත වූ නිරයට නො එළැඹෙන්නේ ය. මහණෙනි, ඒ දුසිල් පුඟුල් ... හටගත් කෙලෙස්කසළ ඇතියේ ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ අඤ්ජලිකර්‍ම ඉවසන්නේ ය යන යමක් වේ නම්, මහණෙනි, එයම ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළැඹෙන්නේ ය.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් ගිනි ඇවිළගත් මනා කොට දිලියෙන් ගිනිසිළු සහිත රත් යපටෙකින් කය මනාසේ වෙළන්නේ ය යන යමක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසරයන්ගේ හෝ ගෘහපතිමහාසරයන්ගේ හෝ සැදැහැයෙන් දෙන චීවරපරිභෝග කරන්නේ ය යන යමකුත් වේ නම්, (එ දෙකින්) කවරෙක් උතුම් වේදැ?යි. වහන්ස, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසරයන්ගේ වේවයි, ගෘහපතිමහාසරයන්ගේ වේවයි, සැදැහැයෙන් දෙන චීවරපරිභෝග කරන්නේ ය යන යමක් වේ නම්, තෙල කරුණ ම උතුම් වෙයි. වහන්ස, බලවත් පුරුෂයෙක් ... එත්වූ යපටින් කය මොනොවට වෙළන්නේ ය යන තෙල යමක් වේ නම් නම්, එය දුක් ම වේ යයි.
මහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වමි. යම් පරිද්දෙකින් බලවත් පුරුෂයෙක් ඇවිලගත්, දිලියෙන ගිනිසිළු ඇති රත්යපටින් කය වෙළන්නේ ය යන යමක් වේ නම්, තෙල කරුණ ම එ ... හටගත් කෙලෙස්කසළ ඇති දුසිල්හට උතුම්. එ කවරහෙයින යත්: මහණෙනි, ඒ හේතුයෙන් හේ මරණයට හෝ පැමිණෙන්නේ ය. මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ, දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණේ මැ යි. මහණෙනි, හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල්තෙම … ක්‍ෂත්‍රියමහාසරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසරයන්ගේ හෝ ගෘහපතිමහාසරයන්ගේ හෝ ශ්‍රද්ධාදේය චීවරපරිභෝග කරන්නේ ය යන යමක් වේ නම්, එය ම ඔහට දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වු නිරයට පැමිණෙයි.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් ඇවිළගත් මොනොවට දිලියෙන, ගිනිසිළු ඇති එත් යහඬුයෙන් මුව විවර කොට ඇවිළගත්, මනාලෙස දිලියෙන ගිනිසිළු ඇති ලොහොගුළක් මුවෙහි බහාලන්නේ ය. එය ඔහුගේ දිව ද දවන්නේ ය, මුව ද දවන්නේ ය, බොටුව ද දවන්නේ ය, ලය ද දවන්නේ ය, අතුනු ද අතුනුබහන් ද ගෙණ අධෝභාගයෙන් නික්මෙන්නේ ය යන යමක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසරයන්ගේ හෝ ගෘහපතිමහාසරයන්ගේ හෝ ශ්‍රද්ධාදෙය පිණ්ඩපාත වළඳන්නේ ය යන යමක් වේ නම්, එ දෙකින් කවරෙක් උතුම් වේ දැයි? වහන්ස, ක්‍ෂත්‍රියමහාසරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසරයන්ගේ වේවයි, ගෘහපතිමහාසරයන්ගේ වේවයි ශ්‍රද්ධාදෙය පිණ්ඩපාත වළඳන්නේ ය යන යමක් වේ නම්, එය ම උතුම්. වහන්ස, බලවත් පුරුෂයෙක් ඇවිළගත් මොනොවට දිලියෙන, ගිනිසිළු ඇති යහඬුයෙන් මුව හයවා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතිර්භූත වූ රත්ලොහොගුළක් මුවෙහි බහන්නේ නම් එය ඔහුගේ තොල් ද දවන්නේ ය., මුව ද දවන්නේ ය ... දිව ද දවන්නේ ය ... අතුනු ද අතුනුබහන් ද අධෝභාගයෙන් නික්මෙන්නේ ය යන යමෙක් වේ නම්, එය ඔහට දුක් ම වන්නේ ය යි.
මහණෙනි, තොපට ආරෝචනය කරමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වමි. ... හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල්හට බලවත් පුරුෂයෙක් ඇවිළගත් ගිනි ගෙන දිලියෙන් ගිනිසිළු සහිත රත්යහඬුයෙකින් මුව හයවා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ සජ්‍යොතිර්භූත වූ රත්ලොහොගුළක් මුවෙහි බහාලන්නේ ය. එය ඔහුගේ තොල් ද දවන්නේ ය, මුව දවන්නේ ය ... අතුනු ද අතුනුබහන් ද ගෙණ අධෝභාගයෙන් නික්මෙන්නේ ය යන යමක් වේ නම්, එයම උතුම්. එ කවර හෙයින යත්: මහණෙනි, එහෙයින් හෙ මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ යන්නේ ය. එ ප්‍රත්‍යයෙන් හෙ කාබුන් මරණින් මතු අපාය වු දුර්‍ගති වූ විනිපාත වූ නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, ... හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල් තෙම ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණමහාසාරයන්ගේ හෝ ගෘහපතිමහාසාරයන්ගේ හෝ ශ්‍රද්ධාදෙය පිණ්ඩපාතය වළඳන්නේ ය යන යමක් වේ නම්, මහණෙනි, එය ම දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස, දුක් පිණිස, වන්නේ ය. කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වු නිරයට පැමිණෙන්නේ ය.
මහණෙනි, එ කිමැයි හඟිවු ද? බලවත් පුරුෂයෙක් හිස්හි හෝ ගෙණ, කදෙහි හෝ ගෙණ තප්ත වු දීප්ත වු සම්ප්‍රජ්වලිත වු සජ්‍යොතීර්භූත වූ යහැඳෙක වේ වයි, යපුටුයෙක් වේවයි, හඳුවනේ හෝ හොවන්නේ හෝ යි යන යමෙක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, ශ්‍රද්ධාදෙය හැඳ පුටු පරිභෝග කරන්නේ ය යන යමෙක් හෝ වේ නම්, එ දෙකින් කවරක් උතුම් වේ දැයි? වහන්ස, කැත්මහසල්කුලන්ගේ වේවයි, බමුණුමහසල්කුලන්ගේ වේවයි, ගැහැවිමහසල්කුලන්ගේ වේවයි, සැදැහැයෙන් දෙන හැඳ පුටු වළඳ කරන්නේ ය යන තෙල කරුණ ම උතුම් ම වේ. වහන්ස, බලවත් පුරුෂයෙක් හිස්හි හෝ ගෙන කදෙහි හෝ ගෙණ ... හොවාලන්නේ හෝ යන යමෙක් වේ නම් තෙල දුකෙක් මැයි.
මහණෙනි, තොපට හඟවන්නෙමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වන්නෙමි. බලවත් පුරුෂයෙක් හටගත් කෙලෙස් ඇති ... ඒ දුසිල්හුගේ හිස්හි හෝ ගෙණ ... හොවාලන්නේ ය ... එ කවර හෙයින යත්: මහණෙනි, එ ප්‍රත්‍යයෙන් හෙතෙම මරණයට හෝ මරණමාත්‍ර දුඃඛයට හෝ පැමිණෙන්නේ ය. ඒ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වු නිරයට නො ම පැමිණෙන්නේ ය. මහණෙනි, ඒ දුසිල් තෙමේ ... හටගත් කෙලෙස්කසළ ඇතියේ කැත්මහසලුන්ගේ හෝ බමුණුමහසලුන්ගේ හෝ ගැහැවිමහසලුන්ගේ හෝ සැදැහැයෙන් දෙන හැඳපුටු පරිභෝග කරන්නේ ය යන යමක් වේ නම්, මහණෙනි, එය ම ඔහට දිගුකලෙක්හි අහිත පිණිස, දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට (උපත් විසින්) එළැඹෙන්නේ ය.
මහණෙනි, එ කිමෙකැ යි හඟිවු ද? බලවත් පුරුෂයෙක් පා උඩුහුරු කොට හිස යටිකොට ගෙණ ආදීප්ත වු සම්ප්‍රජජ්වලිත වූ සජ්‍යොතීර්භූත වූ තප්ත වූ ලෝහකුම්භියෙක්හි හෙළන්නේ ය. හෙ එහි පෙණ උතුරුවමින් පැසෙමින් වරෙක් උඩට යෙයි, වරෙක යට බස්නේ ය, වරෙක සරස්හි යන්නේ යන යමෙක් වේ නම්, ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ වේවයි, බ්‍රාහ්මණමහාසාරයන්ගේ වේවයි, ගෘහපතිමහාසාරයන්ගේ වේවයි, සැදෑහෙන් දුන් වෙහෙර වළඳ කරන්නේ ය යන යමෙකුත් වේ නම්, එ දෙකින් කවරෙක් උතුම් වේදැ යි? වහන්ස, කැත්මහසලුන්ගේ වේවයි, බමුණුමහසලුන්ගේ වේවයි, ගැහැවිමහසලුන්ගේ වේවයි සැදෑයෙන් දුන් වෙහෙර වළඳ කෙරෙයි යන තෙල කරුණ ම උතුම් වන්නේ ය. වහන්ස, බලවත් පුරුෂයෙක් පා උඩුකුරු කොට හිස යට කොට ගෙණ ඇවිලගත්, ගින්නෙන් දිලියෙන, ගිනිසිළු සහිත රත් ලොහොකුඹයෙක්හි බහන්නේ නම් හෙ එහි පෙණ උතුරුවමින් පැසෙමින් වරෙක උඩට යෙයි, වරෙක යට යෙයි, වරෙක සරසට යෙයි යන යමෙක් වේ නම්, තෙල දුක් ම වේ යයි.
මහණෙනි, තොපට හඟවා කියමි. මහණෙනි, තොපට කරුණු ගන්වා දන්වමි. යම් පරිද්දෙන් ... බලවත් පුරුෂයෙක් හටගත් කෙලෙස්කසළ ඇති එ දුසිල්හුගේ පා උඩුකුරු කොට හිස යටිකුරු කොට ගෙණ ... වරක් සරසට ද යන්නේ ය ... එ කවර හෙයින යත්: මහණෙනි, ඒ හේතුයෙන් හෙ මරණයට හෝ මරණමාත්‍රවු දුකට හෝ යන්නේ ය. එ හේතුයෙන් කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට නො පැමිණෙන්නේ ම ය. මහණෙනි, … හටගත් කසළ ඇති එ දුසිල් තෙම කැත්මහසලුන්ගේ වේවයි, බමුණුමහසලුන්ගේ වේවයි, ගැහැවිමහසලුන්ගේ වේවයි සැදෑහෙන් දුන් වෙහෙර වළඳනේ ය යන යමෙක් වේ නම්, මහණෙනි, ඔහට එ දිගුකලෙක්හි අහිත පිණිස දුක් පිණිස වෙයි. කාබුන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට එළැඹෙන්නේ ය.
මහණෙනි, එහෙයින් ම මෙ කරුණෙහි ලා මෙසේ හික්මිය යුතු. “යමකුන්ගේ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍ය, භෛෂජ්‍යපරිෂ්කාරය අපි වළඳ කරමෝ නම් නම්, ඔවුන්ගේ ඒ පුණ්‍යක්‍රියාවෝ මහත්ඵල ඇත්තාහු මහඅනුසස් ඇත්තාහු වන්නාහ. අපගේ මේ පැවිද්දත් නොවඳ වූයේ සඵල වූයේ වැඩීම් ඇතියේ වන්නේ ය”යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි. මහණෙනි, ආත්මාර්‍ත්‍ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් කුසල්දම් සපයනට නිසි වෙයි. මහණෙනි, පරාර්‍ත්‍ථය හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් කුසල් දම් සපයනට නිසි ම වෙයි. මහණෙනි, උභයාර්‍ත්‍ථය ම හෝ දක්නහු විසින් අප්‍රමාදයෙන් කුසල් දම් සපයනට නිසි ම වෙයි.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙ ව්‍යාකරණය දෙසනු ලබත් ම සැටක් පමණ මහණුන්ගේ මුවින්, උණුලේ නැඟින. සැටක් පමණ භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්ස, දුෂ්කර ය, භාග්‍යවතුන් වහන්ස, ඉතා දුෂ්කර ය”යි ශික්‍ෂාපද ප්‍රත්‍යාඛ්‍යාන කොට හිනභාව සඞ්ඛ්‍යාත ගිහිබවට පෙරළුනහ. සැටක් පමණ මහණුන්ගේ චිත්තයෝ ආස්‍රවයන්ගෙන් උපාදාන රහිත ව මිදුනහ යි.
7. 2. 2. 9.
[සුනෙත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, පෙර වූවක් කියමි. සුනෙත්‍ර නම් තීර්‍ත්‍ථකර වු කාමයන්හි වීතරාග වූ ශාස්තෘවරයෙක් විය. මහණෙනි, සුනෙත්‍ර ශාස්තෘහුගේ නේසියක් සව්වෝ වූහ. සුනෙත්‍ර නම් ස්ථිර සව්වනට බ්‍රහ්මලෝක සහභාවය සඳහා දම් දෙසී ය. මහණෙනි, බ්‍රහ්මලෝක සහභාවය සඳහා ධර්‍ම දේසනා කරණ සුනෙත්‍ර ශාස්තෘහට යම් කෙනෙක් සිත් නොපැහැදුනු නම්, උහු කාබුන් මරණින් මතු අපාය වු දුර්‍ගති වූ විනිපාත වු නිරයට වන්හ. මහණෙනි, යම් කෙනෙක් බ්‍රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසන සුනෙත් ස්ථිර හට සිත් පැහැදුනු නම්, උහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට වන්හ.
මහණෙනි, පෙර වූවක් කියමි: මුගපක්‍ෂ නම් තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාග වූ ... ශාස්තෘවරයෙක් විය. ... අරණෙමි නම් ... ශාස්තෘවරයෙක් විය. ... උද්දාල නම් ... සථරෙක් විය ... හත්‍ථිපාල නම් ... සථරෙක් විය … ජෝතිපාල නම් ... සථරෙක් විය ... අරක නම් තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාග වූ ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක නම් වූ ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. අරක නම් ශාස්තෘ ශ්‍රාවකයනට බ්‍රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසී ය. මහණෙනි, බ්‍රහ්මලෝක සහවාසය සඳහා ධර්‍මදේශනා කරණ අරක සථරහු කෙරෙහි යම් කෙනෙක් සිත් නො පැහැදුහු නම්, ඔහු කායභේදයෙන් මරණින් මතු අපාය වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට උපත් විසින් පැමිණියහ. මහණෙනි, බ්‍රහ්මලෝක සහවාසය සඳහා දම් දෙසන අරක සථරහු කෙරෙහි යම් කෙනෙක් සිත් පැහැදුහු නම්, ඔහු කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණියහ.
මහණෙනි, එ කිමකැයි හඟිවු ද? යමෙක් අනේකශත පරිවාර ඇති ශ්‍රාවකසඞ්ඝයා සහිත, තීර්‍ත්‍ථකර වූ කාමයන්හි වීතරාග වූ මෙ සත් ශාස්තෘවරයනට ප්‍රදුෂ්ටචිත්ත ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභාෂා කෙරේ නම්, හෙ බොහෝ අපුණ්‍ය රැස් කෙරේ දැයි?
‘වහන්ස, එසේ ය’යි.
මහණෙනි, යමෙක් ප්‍රදුෂ්ට වු සිත් ඇතියේ, අකෙනශත පරිවාර ඇති තීර්‍ත්‍ථකර වු කාමයන්හි වීතරාග වූ ශ්‍රාවකසඞ්ඝයා සහිත මෙ සත් ශාස්තෘවරුනට ආක්‍රෝශ කෙරේ ද, පරිභාෂා කෙරේ ද, හෙ බොහෝ අකුසල් රැස් කෙරේ. යමෙක් (එක් මාර්‍ගසම්‍යක්) දෘෂ්ටිසම්පන්න පුද්ගලයෙකු ප්‍රදුෂ්‍ට චිත්ත ඇතියේ ආක්‍රෝශ කෙරේ නම්, පරිභව කෙරේ නම්, මෙ තෙම එයට බහුතර පව් රැස් කරන්නේ ය. එ කවර හෙයින් යත්: මෙ බුදුසස්නෙන් බැහැර අපගේ සබ්‍රම්සරුන් කෙරෙහි මෙන් මෙබඳු ක්‍ෂාන්තියක් ඇතැයි මම නො කියමි.
මහණෙනි, එබැවින් මෙහි ලා මෙසේ හික්මිය යුතු: අපගේ සබ්‍රම්සරුන් කෙරෙහි සිත් නහමක් ප්‍රදුෂ්ට වෙත්වා යි. මහණෙනි, තොප විසින් මෙ සෙයින් ම හික්මිය යුතුයි.