73. අභිවෘද්ධිහුගේ නැස්මට කරුණු වු ද ආත්මවධය පිණිස පවත්නා වූ ද කර්‍මයන් කරන්නාහු “හටගත් ක්‍රෝධ ඇතියේ පිරිහේ” යයි නො දනිත්.
74. මෙසේ මේ මාරපාශය ක්‍රෝධරූපයෙන් හෘදයගුහායෙහි හෝනේ වෙයි. එය ආත්මදමනයෙන් හා ප්‍රඥායෙන් හා (විදර්‍ශනාසහගත) වීර්‍ය්‍යයෙන් හා මාර්‍ගසම්‍යග්දෘෂ්ටියෙන් මැනැවින් සිඳිනේ ය.
75. නැණැතියේ තෙල එක ම (ක්‍රෝධ) අකුශලය සිඳලන්නේ ය. එසේ ම ධර්‍මයෙහි හික්මෙන්නේ ය. “අපට දුමකුබව නහමක් වේවා” යි.
76. පැහූ ක්‍රෝධ ඇතියාහු දැඩි ආයාස නැතියාහු බැහැරලූ මෝහය ඇතියාහු දුසිරිතෙහි අනුතසූක වූවාහු දැමුනාහු ක්‍රෝධය දුරලා අනාස්‍රව වූවාහු පිරිනිවෙති යි.
අව්‍යාකත වර්‍ගය පළමු වැනි යි.
එහි උද්දානය :
අව්‍යාකත සූත්‍රය, පුරිසගති සූත්‍රය, තිස්සබ්‍රහ්ම සූත්‍රය, සීහසේනාපති සූත්‍රය, අරක්ඛෙය්‍ය සූත්‍රය, කිම්බිල සූත්‍රය, සත්තධම්ම සූත්‍රය, පචලායන සූත්‍රය, මාපුඤ්ඤභායී සූත්‍රය, සත්තභරියා සූත්‍රය, කොධන සූත්‍රය දැයි එකොළොසෙක.
2. මහා වර්‍ගය
7. 2. 2. 1.
[හිරොත්තප්ප සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, හිරිඔතප් නැතිවත් ම නට හිරිඔතප් ඇතියහුගේ ඉන්‍ද්‍රියසංවරය නට උපනිශ්‍රය ඇතියේ වෙයි. ඉන්‍ද්‍රිය සංවරය නැතිවත් ම නට ඉන්‍ද්‍රියසංවර ඇතියහුගේ ශීලය හතොපනිඃශ්‍රය වෙයි. ශීලය නැති වත් ම විපතට පත් සිල් ඇතියහුගේ සම්මා සමාධිය හතොපනිඃශ්‍රය වෙයි. සම්මාසමාධිය නැතිවත් ම විපතට පත් සම්‍යක් සමාධි ඇතියහුගේ යථාභූතඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි. යථාභූතඥානදර්‍ශනය නැති වත්ම විපතට පත් යථාභූතඥානදර්‍ශනය ඇතියහුගේ නිබ්බිදාවිරාගය හතොපනිඃශ්‍රය වෙයි. නිබ්බිදාවිරාගය නැතිවත් ම නට නිබ්බිදාවිරාග ඇතියහුගේ විමුක්තිඥාන දර්‍ශනය (අර්‍හත්ත්‍වය) හතොපනිඃශ්‍රය (ප්‍රත්‍ය රහිත) වෙයි.
මහණෙනි, යම් පරිදි වෘක්‍ෂයෙක් නට ශාඛා පලාස ඇතියේ නම් එහි පිට පොතුදු පිරිපුන් බවට නො යෙයි, සිවි දු බොරු දු හර දු පිරිපුන් බවට නො යෙයි, මහණෙනි, එ පරිදි ම හිරිඔතප් නැතිවත් ම විපන් හිරිඔතප් ඇතියහුගේ ඉන්‍ද්‍රියසංවරය හතොපනිඃශ්‍රය වෙයි ... විමුක්තිඥානදර්‍ශනය හතොපනිඃශ්‍රය වෙයි.
මහණෙනි, හිරිඔතප් ඇතිවත් ම හිරිඔතප්සපන්හුගේ ඉන්‍ද්‍රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි. ඉන්‍ද්‍රියසංවරය ඇතිවත් ම ඉන්‍ද්‍රියසංවරසපන්හුගේ ශීලය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. ශීලය ඇති වත් ම සිල්සපන්හුගේ සම්‍යක්සමාධිය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. සම්‍යක් සමාධිය ඇතිවත් ම සම්‍යක්සමාධිසම්පන්නයාගේ යථාභූතඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. යථාභූතඥානදර්‍ශනය ඇතිවත් ම යථාභූතඥානදර්‍ශනසම්පන්නයාගේ නිබ්බිදාවිරාගය උපනිඃශ්‍රයසම්පන්න වෙයි. නිබ්බිදාවිරාගය ඇතිවත් ම නිබ්බිදාවිරාගසම්පන්නයාගේ විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රයසම්පන්න වෙයි.
මහණෙනි, යම් පරිදි ශාඛා - පලාසසම්පන්නවෘක්‍ෂයෙක් වේ නම් එහි පිට පොතු දු පිරිපුන් බවට යෙයි, සිවි දු බොරු දු හර දු පිරිපුන් බවට යෙයි, මහණෙනි, එපරිදි ම හිරි - ඔතප් ඇතිවත් ම හිරි - ඔතප්සපන්හුගේ ඉන්‍ද්‍රියසංවරය උපනිඃශ්‍රය සම්පන්න වෙයි ... විමුක්තිඥානදර්‍ශනය උපනිඃශ්‍රය සම්පන්න වේ යයි.
7. 2. 2. 2.
[සත්තසුරියුග්ගමන සූත්‍රය]
13. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්නුවර අම්බපාලි වනයෙහි වැඩ වෙසෙනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමැතූ සේක. ‘වහන්සැ’යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස් වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:
මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අධ්‍රැවයහ (අස්ථිරහ). මහණෙනි, සංස්කාරයෝ අනාශ්වාසිකයහ (අශාස්වතයහ). මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදය දැනැවීමට මෙ කරුණ පමණ වේ මැයි. විරාග දැනැවීමට පමණ වේ මැ යි. මිදුමට පමණ වේ මැ යි.
මහණෙනි, සුනෙරපව්රද අයමින් සුවාසූදහසෙක් යොදුන. විතරින් සුවාසූදහසෙක් යොදුන. සුවාසූදහසෙක් යොදුන් මහසයුරෙහි ගැලී සිටියේ ය. සුවාසූදහසෙක් යොදුන් මහමුහුදින් මතුයෙහි නැඟී සිටියේ ය.
මහණෙනි, යම් හෙයකින් බොහෝ වර්‍ෂයක් බොහෝ වර්‍ෂදහසක් බොහෝ වර්‍ෂ සුවහසක් වර්‍ෂා නො කෙරේ නම් එබඳු සමයෙක් ඇත. මහණෙනි, මේඝය නො වටුත් ම යම්කිසි බීජාගාම භූතාගාම ඖෂධී තෘණ වනස්පතීහු වෙත් නම් උහු වියලෙත්. වෙසෙසින් වියලෙත්. යලි නො වැඩෙත්.
මහණෙනි, මෙසේ සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, මෙසේ සංස්කාරයෝ ආශ්වාස රහිතයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට (කළකිරීමට) මෙ පමණැ මැ යි විරාගයට (නො ඇලීමට) මෙ පමණ මැ යි. මිදෙන්නට මෙ පමණ මැ යි.
මහණෙනි, යම් හෙයකින් දිගුකල් ඇවෑමෙන් කිසියම් ම කලෙක දෙවන සූර්‍ය්‍යයෙක් පාළ වන්නේ ය. මහණෙනි, දෙවන හිරුහුගේ පාළ වීමෙන් යම් ඒ කුඩා නදීහු ද කුඩා දියවිල්හු ද වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්.
මහණෙනි,මෙසෙයින් සංස්කාරයෝ අනිසයහ. මෙසෙයින් සංස්කාරයෝ නො තිරයහ. මෙසෙයින් සංස්කාරයෝ අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙය ම ප්‍රමාණ වෙයි. විරාගයට මෙ මැ පමණ වෙයි. විමෝක්‍ෂයට මෙ මැ ප්‍රමාණ වෙයි.
මහණෙනි, දීර්‍ඝරාත්‍රයක්හුගේ ඇවෑමෙන් කිසියම් ම කලෙක්හි යම් හෙයකින් තෙවන සූර්‍ය්‍යයෙක් පහළ වේ නම් එබඳු සමයෙක් වෙයි. මහණෙනි, තෙවන හිරුහුගේ පාළ වීමෙන් ගඞ්ගා ය, යමුනා ය, අචිරවතී ය, සරභු ය, මහී ය, යන යම් එ මහානදීහු වෙත් නම්, උහු වියැලෙත්, වෙසෙසින් වියැලෙත්, නො වැඩෙත්.
මහණෙනි, සංස්කාරයෝ වෙසෙසින් අනිසයහ. මෙසේ සංස්කාරයෝ නො තිරයහ. මෙසෙයින් සංස්කාරයෝ අස්වැසුම් රහිතයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙ මැ පමණ වෙයි. විරාගයට මෙ පමණ වෙයි. විමෝක්‍ෂයට මෙ මැ පමණ වෙයි.
මහණෙනි, දීර්‍ඝරාත්‍රයක්හුගේ ඇවෑමෙන් කිසිකලෙක්හි යම් හෙයකින් සතරවන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු සමයෙක් වෙයි. මහණෙනි, සතරවන හිරුහුගේ ප්‍රාදූර්‍භාවයෙන් යම් තැනෙකින් මෙ මහානදීහු උපදනාහු නම් එ මහවිල්හු ද, එනම්: අනවතප්ත ය, සිංහප්‍රපාත ය, රථකාර ය, කර්‍ණමුණ්ඩ ය, ෂඩ්දන්ත ය, මන්‍දාකිනී ය යන ඒ මහවිල්හු වියැලෙත් වෙසෙසින් වියැලෙත් නො වැඩෙත්.
මහණෙනි, මෙසෙයින් සංස්කාරයෝ අනිත්‍යයහ ... මිදෙන්නට මෙ පමණ මැ යි.
මහණෙනි, දීර්‍ඝරාත්‍රයක්හුගේ ඇවෑමෙන් කිසියම් කලෙක්හි යම් හෙයකින් පස්වන සූර්‍ය්‍යයෙක් ප්‍රාදුර්භූත වේ නම්, එබඳු සමයෙක් ඇත. මහණෙනි, පස්වන හිරුහුගේ පාළවීමෙන් මහා සමුද්‍රයෙහි සියක් යොදුනෙහි වූ දිය දූ පහළ බස්නේ ය. මහා සමුද්‍රයෙහි දෙසියක් යොදුනෙහි දිය දූ පහළ බස්නේ ය. මහසයුරෙහි තුන්සියයක් යොදුනෙහි වූ දිය දූ පහළ බස්නේ ය ... මහසයුරෙහි සත්සියයක් යොදුනෙහි දිය දූ පහළ බස්නේ ය. මහසයුරෙහි සත්තලක් පොහෝනා පමණ වූ ද දිය සිටුනේ ය. සතලක් පොහෝනා වූ ද ... පස්තලක් පොහෝනා වූ ද ... සිවුතලක් පොහෝනා වූ ද ... තුන්තලක් පොහෝනා වූ ද ... දෙතලක් පොහෝනා වූ ද ... තලක් පොහෝනා මතු වූ දිය මහමුහුදෙහි සිටුනේ ය. මහාසමුද්‍රයෙහි සප්ත පුරුෂ ප්‍රමාණ වූ ද දිය (ශේෂව) සිටුනේ ය, ෂඩ්පුරුෂ ප්‍රමාණ වූ ද ... පඤ්චපුරුෂ ප්‍රමාණ වූ ද ... චතුෂ්පුරුෂ ප්‍රමාණ වූ ද ... ත්‍රිපුරුෂ ප්‍රමාණ වූ ද ... ද්විපුරුෂ ප්‍රමාණ වූ ද ... පුරුෂ ප්‍රමාණ වූ ද ... අර්‍ධපුරුෂ ප්‍රමාණ වූ ද ... කටිමාත්‍ර වූ ද ... දණිස් මතු වූ ද .... ගොප් ඇට වූ ද, දිය මහාසමුද්‍රයෙහි ශේෂව සිටුනේ ය.
මහණෙනි, යම් පරිදි සරාකල්හි මහදිය පොද ඇති වැසිවස්නා කල්හි එ එ තන්හි ගෝපදයන්හි දිය සිටියේ වේ නම්, මහණෙනි, එ පරිදි ම එ එ තන්හි ගොපද මාත්‍රවූ දිය මහ සයුරෙහි ශේෂ ව සිටියේ වේ. මහණෙනි, පස්වන හිරුහුගේ පාළ වීමෙන් ඇඟිලිපුරුක් තෙමන මතු වූ ද දිය මහ සයුරෙහි නො වන්නේ ය.
මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනිස වෙත්. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අධ්‍රැව වෙත්. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනාශ්වාසික (අශාශ්වත හෙයින් ආශ්වාද රහිත) වෙත්. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙ ම පමණ වෙයි. විරාගයට මෙ ම පමණ වේ. මිදෙන්නට මෙ ම පමණ වෙයි.
මහණෙනි, දිගුකල් ඇවෑමෙන් කිසියම් කලෙක්හි යම් හෙයෙකින් සවන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු කලෙක් වෙයි. මහණෙනි, සවන හිරුහුගේ පාළ වීමෙන් මෙ මහපොළෝ හා සුනෙර පවුර ද දුමන්නේ ය. වෙසෙසින් දුමන්නේ ය. අත්‍යුත්කර්‍ෂයෙන් දුමන්නේ ය. මහණෙනි, යම් පරිදි කුඹල්කරු උදුනෙක් ගිනි දල්වනලදුයේ පළමු පළමු යම්සේ දුමා ද, වෙසෙසින් දුමා ද, අත්‍යුත්කර්‍ෂයෙන් දුමා ද, මහණෙනි, එසෙයින් ම මේ මහපොළෝ හා සුනෙරුපර්‍වතරාජයා සවන හිරුහුගේ ප්‍රාදුර්‍භාවයෙන් දුමන්නේ ය. වෙසෙසින් දුමන්නේ ය. අත්‍යුත්කර්‍ෂයෙන් දුමන්නේ ය.
මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසෙයින් අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට මෙ ම පමණ වෙයි. විරාගයට මෙ ම පමණ වෙයි. මිදෙන්නට මෙ ම පමණ වෙයි.
මහණෙනි, යම් හෙයෙකින් දීර්‍ඝරාත්‍රයක්හුගේ ඇවෑමෙන් කිසි කලෙක්හි සත්වන සූර්‍ය්‍යයෙක් පාළ වේ නම්, එබඳු සමයෙක් ඇත. මහණෙනි, සත්වන හිරුහුගේ පාළ වීමෙන් මේ මහපොළොව ද සුනෙරපවුර ද ගිලිගෙන ඇවිලෙයි, දිලිහෙයි, එක ම ගිනිදැල් වෙයි. මහණෙනි, මෙ මහපොළොවත් සුනෙරපවුරදත් දැවෙත් දැවෙත් ම වාතයෙන් ක්‍ෂිප්ත වූ ගිනිහු බඹලෝ හිම් කොට යෙත්.
මහණෙනි, ඇවිලගත් දැවෙන වැනැසෙන මහගිනිකඳින් මැඩුනු සිනේරුපර්‍වතරාජයාගේ සියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙත්. දෙසියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙත්. තුන්සියක් යොදුන් උසැති කූටයෝ ද බිඳ වැටෙත්. සාරසියක් යොදුන් උසැති කුළුහු දු සිඳී වැටෙත්. පන්සියක් යොදුන් උසැති කුළුහු ද සිඳී වැටෙත්.
මහණෙනි, ඇවිලගත්, දැවෙන මෙ මහපොළොවෙහි ද සිනේරුපර්‍වතරාජයාගේ ද හළු හා දැලි නො සැණේ ම ය. මහණෙනි, ඇවිලගෙණ දැවෙන සර්පිෂුහුගේ (ගිතෙල්හි) හෝ තෛලයක්හුගේ හළු හෝ දැලි නො මැ පැණෙන්නේ යම්සේ ද, මහණෙනි, එසෙයින් ම ඇවිලැගෙණ දැවෙන මෙ මහපොළොවෙහි හා සිනේරුපර්‍වතරාජයාගේ ද හළු හා දැලි නො පැණෙයි.
මහණෙනි, සංස්කාරයෝ මෙසේ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ මෙසේ අස්ථිරයහ. මහණෙනි සංස්කාරයෝ මෙසේ අනාශ්වාසිකයහ. මහණෙනි, සර්‍වසංස්කාරයන්හි නිර්වේදයට නිසි මැ යි, විරාගයට නිසි මැ යි, මිදෙන්නට නිසි මැයි.
මහණෙනි, “මෙ මහපොළොව හා මෙ සිනේරුපර්‍වරාජයා ගින්නෙන් දැවෙන්නාහ, වැනසෙන්නාහ, නො පවත්නාහ”යි දෘෂ්ටපදයන් හෙවත් සෝතාපන්නයන් හැර වෙන කවරෙක් මන්ත්‍රණයට සමත් වේ ද? කවරෙක් හදහන්නේ ද?
මහණෙනි, භූතපූර්‍වයෙකී. තීර්‍ත්‍ථංකර වූ කාමයන්හි (විෂ්කම්භන වශයෙන්) පහ කළ රාගය ඇති සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් වී ය. මහණෙනි, සුනෙත්ත ශාස්තෘහට අනේකශත ශ්‍රාවකයෝ වූහ. මහණෙනි, සුනෙත්ත ශාස්තෘ තෙම බ්‍රහ්මලෝකසහභාවය සඳහා සව්වවනට දහම් දෙසයි. මහණෙනි, බ්‍රහ්මලෝකසහභාවය සඳහා දහම් දෙසන සුනෙත්ත ශාස්තෘහුගේ අනුශාසනය යම් කෙනෙක් සර්‍වප්‍රකාරයෙන් දැනගත්තාහු ද, ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත බ්‍රහ්මලෝකයට (උපත් විසින්) පැමිණියහ. යමෙක් සර්‍වප්‍රකාරයෙන් අනුශාසනය (පිළිපැදීම්) විසින් නො දත්හු ද, ඔහු ඇතැමෙක් කාබුන් මරණින් මතු පරනිර්මිතවශවර්තී දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. ඇතැම්හු නිර්‍මාණරතී දෙවියන්ගේ සහභාවයට පැමිණියහ. ඇතැම් කෙනෙක් තුසිතදෙවියන්ගේ සහවාසයට පැමිණියහ. ඇතැම්හු යාමදෙවියන්ගේ සහවාසයට (ප්‍රතිසන්‍ධිවශයෙන්) එළැඹියහ. ඇතැම්හු තාවතිංසදේවයන්ගේ සහවාසයට එළැඹියහ. ඇතැම්හු චාතුම්මහාරාජික දේවයන්ගේ සහභාවයට එළැඹියහ. ඇතැම්හු ක්‍ෂත්‍රියමහාසාරයන්ගේ සහවාසයට එළැඹියහ. ඇතැම්හු බ්‍රාහ්මණමහාසාරයන්ගේ සහවාසයට එළැඹියහ. ඇතැම්හු ගෘහපතිමහාසාරයන්ගේ සහවාසයට එළැඹියහ.
මහණෙනි, එක්බිති සුනෙත්ත ශාස්තෘහට මෙබඳු සිතෙක් විය. “යම් හෙයකින් මම පරලොව්හි ශ්‍රාවකයනට සමසම ගති ඇතියෙම් වෙම් නම්, තෙල මට අනුරූ නො වේ මැ යි. මම් මතුයෙහි දු මෛත්‍රිධ්‍යානය වඩන්නෙම් නම් මැනැවැ”යි. මහණෙනි, එක්බිති සුනෙත්ත ශාස්තෘ සත්වසක් මෙත්සිත් වැඩී ය. සත්වසක් මෙත් සිත් වඩා සප්ත සංවර්‍ත - විවර්‍ත කල්පයක් පිළිසිඳ විසින් මේ මිනිස් ලොවට නො පැමිණියේ ය. මහණෙනි, ලොව නස්නා කල්හි හේ ආභාස්වරෝපග වෙයි. ලොව විවර්‍ත වන කල්හි ශූන්‍යබ්‍රහ්මවිමානයට (උත්පත්ති විසින්) එළැඹෙයි.
මහණෙනි, බඹ තෙමේ එහි හැම බඹුන් මැඩ වෙසෙන සුලුයේ (කිසිවෙක් විසිනුදු) නො මඩනාලදුයේ ඒකාන්තයෙන් සියල්ල දක්නේ වශවර්ති වූයේ මහාබ්‍රහ්ම වෙයි. මහණෙනි, සතිස්වරක් ශක්‍ර දේවේන්‍ද්‍ර විය. අනෙක් ශත වාරයක් සක්විති රජ වූයේ ධාර්මික ධර්‍මරාජ වූයේ සිවුසයුරු හිම් කොට ඇති පොළෝ ඇතියේ සතුරන් දිනන සුලුයේ ජනපදයන්හි ස්ථාවරභාවයට පැමිණියේ සත්රුවනින් සපන් විය. ඔහට සූර වූ විරාඞ්ග වූ සතුරුසෙන් මඩනා දහසින් වැඩි පුත්‍රයෝ වූහ. හෙ සයුරු පිරියත් මෙ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් දැහැමින් දිනා ඉසුරුමත් ව විසී ය.
මහණෙනි, එ සුනෙත්ත ශාස්තෘ තෙම මෙසේ දීර්‍ඝායුෂ්ක වූයේ ද මෙසේ චිරස්ථික වූ යේ ම ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදුනේ ම විය. වෘත්තදුඃඛයෙන් අපරිමුක්ත යයි කියමි.
එ කවර හෙයින යත්: දහම් සතරක්හුගේ අනනුබෝධයෙන, අප්‍රතිවේධයෙන. කවර සතරක්හුගේ ය යත්: ආර්‍ය්‍යශීලයාගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන. ආර්‍ය්‍යසමාධිහුගේ ... ආර්‍ය්‍යප්‍රඥාවගේ ... ආර්‍ය්‍යවිමක්තිහුගේ අනනුබෝධයෙන් හා අප්‍රතිවේධයෙන.
මහණෙනි, එ ම ආර්‍ය්‍යශීලය (මා විසින්) අනුබද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යසමාධිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යප්‍රඥාව අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ආර්‍ය්‍යවිමුක්තිය අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව උසුන් කරණ ලදු. භවරජ්ජුව ක්‍ෂීණ විය. දැන් පුනර්‍භවයෙක් නැතැයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ යලි අනෙකක් ද වදාළ සේක:
77. යශස්වී ගෞතමයන් වහන්සේ විසින් අනුත්තරශීලය, අනුත්තරසමාධිය, අනුත්තරප්‍රඥාව, අනුත්තරවිමුක්තිය යන මේ ධර්‍මයෝ අවබෝධ කරණලදහ.
78. මෙසේ බුදුහු විශිෂ්ට ඥානයෙන් දැන භික්‍ෂූන්ට දහම් වදාළහ. වෘත්තදුඃඛය අන්ත කරණ පසැස් ඇති ශාස්තෘන් වහන්සේ (ක්ලේශපරිනිර්‍වාණයෙන්) පිරිනිවියහ යි.
7. 2. 2. 3.
[නගරූපම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, යම් කලෙක රජුගේ පසල් නුවර සප්ත නගරාඞ්කාරයෙන් මොනොවට පිරිකෙවු කරණලද්දේ වේ ද, සතර අහර ද කැමැති සේ ලබනුයේත් නිදුකින් ලබනුයේත් විපුල කොට ලබනුයේත් වේ ද, මහණෙනි, රජහුගේ මෙ ප්‍රත්‍යයන්ත නගරය බැහැරි පසමිතුරු වූ සතුරන් විසින් සාධාගත (දිනාගත) නො හැකැයි කියනු ලැබේ.
කවර සප්ත නගරාලඞ්කාරයෙකින් මනාකොට පරික්‍ෂිප්ත වේය යත්:
(1) මහණෙනි, මෙහි රජුගේ පසල්රට නුවරෙහි ගැඹුරු වළ ඇති මොනොවට කැණ සිටුවනලද, නො සැලෙන නො වෙවුලන ඒෂිකාස්තම්භය වෙයි. මෙ පළමු නගර පරික්‍ෂාරයෙන් රජහුගේ ප්‍රත්‍යන්ත නගරය අභ්‍යන්තරවාසීන්ගේ ගෝපනය සඳහා බාහිර ශත්‍රෑන්ගේ නිවාරණය සඳහා මොනොවට පරික්‍ෂිප්ත වෙයි.
(2) තවද මහණෙනි, රජුගේ පසල්නුවරෙහි ගම්භීර වූත් විස්තෘත වූත් පරිඛායෙක් කණනලද වෙයි. මෙ දෙවන නගරපරික්‍ෂකාරයෙන් රජුගේ ප්‍රත්‍යන්ත නගරය ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහා බාහිර ශත්‍රෑන්ගේ නිවාරණය සඳහා මොනොවට පරික්‍ෂිප්ත වෙයි.
(3) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි උස් වූ ද පුළුල් වූ ද අනුපරියායපථය (පවුරු ඇතුළත වටා ඇවිදුනා මාවත) වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය අභ්‍යන්තරවාසීන්ගේ ගුප්තිය සඳහා බාහිරයන් වළහනු සඳහා මේ තෙවන නගරපරික්‍ෂ්කාරයෙන් පරික්‍ෂිප්ත වෙයි.
(4) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි (සත්ති තෝමරාදී) සලාක නම් වූ ද, (ඒකතොධාරාදී) ජෙවනීය නම් වූ ද බොහෝ අවි රැස් කරණලද වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය මේ සතරවන නගරපරික්‍ෂ්කාරයෙන් ආභ්‍යන්තරයන්ගේ ගෝපනය සඳහා බාහිරයන්ගේ වාරණය සඳහා සුපරිෂ්කෘත වෙයි.
(5) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි හස්ත්‍යාරෝහ ය, අශ්වාරෝහ ය, රථාරෝහ ය, ධ්වජගෙණයනුවෝ ය, (සේනාව්‍යුහකාරී) චලක ය, (සාහසිකමහායෝධ වූ) පිණ්ඩදායක ය, (සඞ්ග්‍රාමාවචර) උග්‍රරාජපුත්‍රය, (සතුරන් මත කඩාපනනා) ප්‍රස්කන්‍දීහු ය, (මහඇත් සමාන) මහානාග ය, අසහාය සූර ය, (සම්සැට්ට ඇඟුලූ) චර්‍මයෝධි ය, (ගෙහිදාසයන් සමාන) දාසක පුත්‍රය දැ යි බොහෝ බලකාය වෙසෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය මෙ පස්වන නගරපරික්‍ෂ්කාරයෙන් ආභ්‍යන්තරවාසීන්ගේ ගෝපනය සඳහා බාහිරයන්ගේ නිවාරණය සඳහා සුපරිෂ්කෘත වෙයි.
(6) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ මේධාවී වූ නො හඳුනන්නවුන් වළහන, හඳුනන්නවුන් ප්‍රවිෂ්ට කරවන ද්වාරපාලකයෙක් වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහා බාහිරයන්ගේ නිවාරණය සඳහා මෙ සවන නගරපරික්‍ෂ්කාරයෙන් සුපරික්‍ෂිප්ත වෙයි.
(7) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි වාසනයෙන් (සිදුරු වැසීමෙන්) ලේපනයෙන් (සුණුපිරියමින්) සම්පන්න වූ උස් වූ ද පුළුල් වූ ද මහපවුරෙක් වෙයි. රජුගේ ප්‍රත්‍යන්ත නගරය මෙ සත්වන නගරපරිෂ්කාරයෙන් ආභ්‍යන්තරයන් රක්නා සඳහා බැහැරියන් වළහනු සඳහා සුපරික්‍ෂිප්ත වෙයි.
මේ සත් අහර පරිස්කාරයෙන් මනා කොට පරික්‍ෂිප්ත වෙයි.
කවර අහර සතරක් කැමැති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ විපුල සේ ලබන්නේ වේ ය යත් .
(1) මහණෙනි, මෙලොව්හි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තර ජනයාගේ රතිය සඳහාත් ත්‍රාසයට නො වදනු සඳහාත් පහසු විහරණ සඳහාත් බැහැරියන් නවතනු සඳහාත් බොහෝ තෘණකාෂ්ට හා ජලය රැස් කොට තබනලද වෙයි.
(2) තවද මහණෙනි, රජුගේ පසල්නුවරෙහි අභ්‍යන්තරිකයන්ගේ රතිය පිණිස, පරිත්‍රාස නො වනු පිණිස, පහසු විහරණය පිණිස, බැහැරියන් නවතනු පිණිස බොහෝ හාල් හා යව රැස් කොට තබනලද වෙයි.
(3) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි අබතුරු දනන්ගේ රතිය පිණිස අපරිත්‍රාසය පිණිස පහසු විහරණය පිණිස බැහැරියන් වළහන පිණිස බොහෝ තල මෑ මුං හා සෙසු අපරාන්ත රැස් කොට තබනලද වෙයි.
(4) තවද මහණෙනි, රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි අබතුරු දනන්ගේ අභිරතිය පිණිස අපරිත්‍රාසය පිණිස පහසු විහරණය පිණිස බැහැරියන් වළහනු පිණිස ගී, වෙඬරු, තෙල්, මිහි, සකුරු, ලුණු යන බොහෝ බෙහෙත් රැස්කොට තබනලද වෙයි.
මහණෙනි, මෙ සතර අහර කැමැති සේ ලබන්නේ ද නිදුකින් ද විපුල සේ ලබන්නේ ද වෙයි.
මහණෙනි, යම් කලෙක රජුගේ ප්‍රත්‍යන්ත නගරය මෙ සප්ත නගරපරිෂ්කාරයන් පරික්‍ෂිප්ත වේ ද, මේ සතර අහර ද කැමති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ විපුල සේ ලබන්නේ වේ ද, මහණෙනි, රජුගේ මෙ ප්‍රත්‍යන්ත නගරය බැහැරි පසමිතුරන් සතුරන් විසින් සාධාගත නො හැකැයි කියනු ලැබේ
මහණෙනි, එ පරිද්දෙන් ම යම් කලෙක අරීසවු කරුණු සතෙකින් සමන්‍වාගත වූයේ ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් ද කැමැති සේ ලබන්නේ නිදුකින් ලබන්නේ, විපුල සේ ලබන්නේත් වේ ද, මහණෙනි, මෙ අරීසවු පාපී වූ මාරයා විසින් සාධාගත නො හැක්කේ යයි කියනු ලැබේ.
කවර සත් කරුණෙකින් සමන්‍වාගත වේ ය යත්:
(1) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ගැඹුරුවළ ඇති, මොනොවට සිටුවනලද නො සැලෙන නො වෙවුලන ඒෂිකාස්තම්භය, අභ්‍යන්තරයන්ගේ ගෝපනය සඳහා බැහැරියන් වළහනු සඳහා වේ ද, එපරිද්දෙන් ම මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රද්ධා ඇතියේ වෙයි, තථාගතයන් වහන්සේගේ බෝධිය - මෙ කරුණෙනුදු එ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිදූහ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ’යි හදහයි. මහණෙනි, ශ්‍රද්ධාවත් ආර්‍ය්‍යශ්‍රාවක ම අකුසල් දුරලයි. කුසල් වඩයි. සාවද්‍යය දුරලයි. අනවද්‍ය වඩයි. ශුද්ධාත්මය පරිහරණය කරන්නේ ය. මෙ පළමු සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
(2) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ගැඹුරු වූ ද පුළුල් වූ ද දිය අගල ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහාත් බාහිරයන් වළහනු සඳහාත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම අරීසවු හිරි ඇතියේ වෙයි, කායදුශ්චරිතයෙන්, වාග්දුශ්චරිතයෙන්, මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලමු අකුසල් දහම්හි යෙදීමෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, දිය අගල බඳු හිරියෙන් යුත් අරීසවු අකුසල් දුරලයි, කුසල් වඩයි. සාවද්‍ය දුරලයි, අනවද්‍ය වඩයි. ශුද්ධ ආත්මය පරිහරණය කෙරෙයි. මෙ දෙවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
(3) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි උස් වූත් පුළුල් වූත් අනුපරියායපථය අබතුරුදනන් රැක්ම සඳහාත් බැහැරියන් වළහනු සඳහාත් වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම අරීසවු ඔතප් ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන්, වාග්දුශ්චරිතයෙන්, මනෝදුශ්චරිතයෙන් බිය දනවයි. ලාමක අකුශලධර්‍ම සමාපත්තියෙන් බිය දනවයි. මහණෙනි, ඔත්තප්පපරියායපථය ඇති ආර්‍ය්‍යශ්‍රාවක අකුශලය දුරලයි. කුශලය වඩයි. සාවද්‍ය දුරලයි. අනවද්‍යය වඩයි. ශුද්ධ වු ආත්මය පරිහරණ කරයි. මේ තෙවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
(4) මහණෙනි, යම් පරිද්දෙකින් රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි අභ්‍යන්තරජනයා රැක්ම සඳහාත් බැහැරියන් වළහනු සඳහාත් ශලාකා හා ජෙවනීය යයි බොහෝ ආයුධ රැස් කරණලද වේ ද, මහණෙනි, එ පරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවක බහුශ්‍රුත වූයේ ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ වෙයි. යම් එ ධර්‍ම කෙනෙක් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ ඇති සාර්‍ත්‍ථ වූවාහු සව්‍යඤ්ජන වූවාහු කේවලපරිපූර්‍ණ වූවාහු පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය පවසත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බහුශ්‍රුත වෙත්. ධරණලද වෙත්. වචනයෙන් පුරුදු කරණලද වෙත්. මනසින් අනුප්‍රේක්‍ෂිත වෙත්. ප්‍රඥාදෘෂ්ටියෙන් සුප්‍රතිවිද්ධ වෙත්. මහණෙනි, ශ්‍රැතය අවි කොට ඇති ආර්‍ය්‍යශ්‍රාවක අකුශලය දුරලයි. කුශලය වඩයි. සාවද්‍යය දුරලයි. අනවද්‍යය වඩයි. පිරිසිදු ආත්මයක් පරිහරණ කරයි. මේ සතරවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
(5) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි හස්ත්‍යරෝහ ය, අශ්වාරෝහ ය, රථික ය, ධනුර්ධර ය, චෙලක ය, චලකය ,පිණ්ඩදායක ය. උග්‍රරාජපුත්‍රය, ප්‍රස්කන්‍දීහු ය, මහානාග ය, සූර අසහාය ය, චර්‍මයෝධි ය, දාසකපුත්‍ර ය යන බලකාය ආභ්‍යන්තරයන්ගේ ගුප්තිය සඳහාත් බාහිරයන් නවතනු සඳහාත් වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම අරීසවු අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ උපසම්පත් සඳහා කුශලධර්‍මයන්හි ස්ථාම ඇතියේ දළපැරකුම් ඇතියේ නො හළ වැරධුර ඇතියේ රුකුළුවැර ඇතියේ වෙසෙයි. මහණෙනි, වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත බලකාය ඇති ආර්‍ය්‍යශ්‍රාවක අකුසල් දුරලයි. කුසල් වඩයි. සාවද්‍ය දුරලයි. අනවද්‍ය වඩයි. ශුද්ධ ආත්මය පරිහරණ කරයි. මෙ පස්වන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
(6) මහණෙනි, යම් පරිදි රජුගේ පසල් නුවරෙහි පණ්ඩිත, ව්‍යක්ත, මේධාවී වූ අඥාතයන් වළහන, ඥාතයන් පිවිස්වන ද්වාරපාලයා අභ්‍යන්තර ජනයාගේ රැක්ම සඳහා බාහිර සතුරන් වළහනු සඳහා වේ ද, මහණෙනි, එපරිදි අරීසවු උත්තම ස්මෘතියෙන් හා නිපකභාවයෙන් සමන්‍වාගත වූ, බොහෝ පෙර කළ දෑ හා බොහෝ පෙර බිඳුණු දෑ සිහි කරන්නේ පුනපුනා සිහි කරන්නේ ස්මෘති ඇතියේ වෙයි. මහණෙනි, සිහිය දොරටුපල් කොට ඇති අරීසවු අකුසල් දුරලන්නේ ය, කුසල් වඩන්නේ ය, සාවද්‍ය දුරලන්නේ ය, අනවද්‍ය වඩන්නේ ය. පිරිසිදු ආත්මය පරිහරණය කරන්නේ ය. මෙ සවන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
(7) මහණෙනි, යම් පරිදි රජුගේ පසල් දනවු නුවර වාසනලේපනයෙන් සම්පූර්‍ණ වූ උස් වූත් පුළුල් වූත් පවුර අභ්‍යන්තරිකයන්ගේ ගෝපනය සඳහාත් බාහිරයන්ගේ නිවාරණය සඳහාත් වන්නේ ද, මහණෙනි, ඒ පරිදි ම ආර්‍ය්‍යශ්‍රාවක උදව්‍යගාමිණී වූ ආර්‍ය්‍ය වූ නිර්වේදය ඇසුරු කල මනාසේ දුඃඛක්‍ෂයට යන විදර්‍ශනා ප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, ප්‍රඥාවාසනලේපනයෙන් සපන් අරිසවු අකුසලය දුරලයි, කුසලය වඩයි, සාවද්‍ය දුරලයි, අනවද්‍ය වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරන්නේ ය. මෙ සත්වන සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
මෙ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වෙයි.
ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ කවර ධ්‍යාන සතරක් කැමැති සේ ලබන්නේත් නිදුකින් ලබන්නේත් විපුලභාවයෙන් ලබන්නේත් වේ ය යත්:
(1) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරයන්ගේ රතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසු විහරණ සඳහා බාහිරයන් වළහනු සඳහා බොහෝ තෘණ, කාෂ්ට, උදක, රැස් කොට තබනලද වේ ද, මහණෙනි, එසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක කාමයෙන් වෙන් ව ම අකුශල ධර්‍මයෙන් වියුක්ත ව ම තමාගේ අභිරතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසු විහරණ සඳහා නිර්‍වාණයට වැදගනු සඳහා සවිතර්‍ක වූ සවිචාර වූ විවේකජ වූ ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි.
(2) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරිකයන්ගේ අභිරතිය පිණිස අපරිත්‍රාසය පිණිස, පහසු විහරණය පිණිස, බැහැරි සතුරන් වළහනු පිණිස, බොහෝ ශාලි යව රැස් කොට තබන ලද වේ ද, මහණෙනි, එපරිද්දෙන් ම ආර්‍ය්‍යශ්‍රාවක විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම් ඇති චිත්තයාගේ ඒකාග්‍රතාවයෙන් යුත් අවිතර්‍ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට තමාගේ රතිය පිණිස ද පරිත්‍රාස නො වන පිණිස ද පහසු විහරණ පිණිස ද නිවනට වැදගණු පිණිස ද එළැඹ වෙසෙයි.
(3) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරයන්ගේ රතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසු විහරණ සඳහා බැහැරි සතුරන් වළහනු සඳහා බොහෝ තල, මෑ, මුං, අපරාන්ත රැස් කොට තබන ලද වේ ද, මහණෙනි, එ පරිදි ම අරීසව් ප්‍රීතියගේත් විරාගයෙන්, සිහි ද ඇතියේ සම්‍යක්ප්‍රඥා ඇතියේ උපේක්‍ෂක ව වෙසෙයි. සුඛය ද නාමකයින් විදුනේ ය. ආර්‍ය්‍යායෝ යම් පුඟුලෙක් උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාරී යයි කියත් නම් තමාගේ රතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසුවිහරණ සඳහා නිවනට වැදගනු සඳහා එබඳු තෘතීය ධ්‍යානයට පැමිණ වෙසෙයි.
(4) මහණෙනි, යම් පරිදි රජුගේ ප්‍රත්‍යන්ත නගරයෙහි ආභ්‍යන්තරිකයන්ගේ අභිරතිය සඳහා, අපරිත්‍රාසය සඳහා, පහසුවිහරණය සඳහා, බාහිරයන්ගේ නිවාරණය සඳහා සප්පි ය, නවනීත ය, මධු ය, ඵාණිත ය, ලවණ ය යන බොහෝ භෛෂජ්‍ය රැස් කරණලද වේ ද, මහණෙනි, එ පරිදි ම ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමාගේ අභිරතිය සඳහා අපරිත්‍රාසය සඳහා පහසුවිහරණ සඳහා නිවනට වැදගනු සඳහා සුඛයාගේත් ප්‍රහාණයෙන් දුඃඛයාගේත් ප්‍රහාණයෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් අදුක්ඛ වූ අසුඛ වූ උපේක්‍ෂා ස්මෘති දෙකින් පිරිසිදු වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි.
මෙ ආභිචේතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ ධ්‍යාන සතර කැතිසේ ලබන්නේත්, නිදුකින් ලබන්නනේත්, විපුලසේ ලබන්නේත් වෙයි.
මහණෙනි, යම් කලෙක අරීසවු මෙ සප්ත සද්ධර්‍මයෙන් සමන්‍වාගත වේ ද, මෙ ආභිචේතසික වූ ද දිට්ඨධම්මසුඛවිහාර වූ සතර ධ්‍යානයන් කැමැති සේ ලබන්නේ ද, නිදුකින් ලබන්නේ ද, විපුලසේ ලබන්නේත් වේ ද.
මහණෙනි, මෙ අරීසවු මාරයා විසින් අකරණීය වේ. පාපීමත් හු විසින් අකරණීය වේ ය යි කියනු ලැබේ.
7. 2. 2. 4.
[ධම්මඤ්ඤූ සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ ආහුනෙය්‍ය වෙයි ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ධර්‍මඥ ද වෙයි. අර්‍ත්‍ථඥ ද වෙයි. ආත්මඥ ද වෙයි. මාත්‍රඥ ද වෙයි. කාලඥ ද වෙයි. පර්‍ෂද්ඥ ද වෙයි. පුද්ගලපරාවරඥ ද වෙයි.
(1) මහණෙනි, මහණ කෙසේ ධර්‍මඥ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර ය, ගෙය ය, වෛය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ සූත්‍ර ය, ගෙය ය, වෛය්‍යාකරණ ය, ගාථා ය, උදාන ය, ඉතිවුත්තක ය, ජාතක ය, අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය නොදන්නේ නම්, මෙ සස්නෙහි ධර්‍මඥයෙකැයි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ මෙ සූත්‍රය, ගෙය ය, ... අද්භූතධර්‍ම ය, වේදල්ල ය යන ධර්‍මය දන්නේ ද, මහණෙනි, එහෙයින් මහණ ධර්‍මඥ යයි කියනු ලැබේ. මෙසෙයින් ධර්‍මඥ වෙයි.
(2) අර්‍ත්‍ථඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ ය, මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය’යි භාෂිතයාගේ අර්‍ත්‍ථය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ, මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථ ය, මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය’යි එ එ භාෂිතයාගේ අර්‍ත්‍ථය නොදන්නේ නම්, මෙ සස්නෙහි අර්‍ත්‍ථඥයෙකැ’යි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ එ එ භාෂිතයාගේ ම අර්‍ත්‍ථය මෙ මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය යි දන්නේ නම් එහෙයින් ම අර්‍ත්‍ථඥ යයි කියනු ලබනේ ය. මෙසෙයින් ධර්‍මඥ ද අර්‍ත්‍ථඥ ද වෙයි.
(3) ආත්මඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙ පමණයෙමි”යි තමා දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙතෙක් වෙමි”යි තමා නොදන්නේ නම් මෙ සස්නෙහි ආත්මඥයයි යයි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ “ශ්‍රද්ධායෙන් ශීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥායෙන්, ප්‍රතිභාණයෙන් මෙතෙක් වෙමි”යි තමා හඳුනන්නේ ද, එහෙයින් ම ‘ආත්මඥය’ යි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ, අර්‍ත්‍ථඥ, ආත්මඥ වෙයි.
(4) මාත්‍රඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සිවුරු, පිඬුවා, සෙනසුන්, ගිලන්පස, බෙහෙසද්පිරිකර පිළිගැණුමට මාත්‍රය දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍යභෛෂජ්‍යපරිෂ්කාරයන් පිළිගැණුමට පමණ නො දන්නේ ද, මෙ සස්නෙහි ‘මාත්‍රඥ’ය යි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ චීවර, පිණ්ඩපාත, ශයනාසන, ග්ලානප්‍රත්‍යභෛෂජ්‍යපරිෂ්කාරයන් ප්‍රතිග්‍රහණයට මාත්‍රය දන්නේ ද, එහෙයින් ‘මාත්‍රඥ’යයි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ වෙයි.
(5) කාලඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ “මෙ උද්දේශයට කලි, මෙ පරිපාච්ඡාවට කලි, මෙ යෝගයට කලි, මෙ පිළිසලනට කලැ”යි කල් දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ, “මේ උදෙසුමට කලි, මෙ පිළිවිසුමට කලි, මෙ යොගයට කලි, මෙ පිලිසලනට කලැ”යි කල් නො දන්නේ නම්, මෙ සස්නෙහි කාලඥ යයි කියනු නො ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ ‘මෙ උද්දේශයට කලි, මෙ පුළුවුස්නට කලි, මෙ යොගයට කලි, මෙ පිලිසලනට කලැ’යි දන්නේ ද, එහෙයින් කාලඥයයි කියනු ලැබේ. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ කාලඥ වෙයි.
(6) පර්‍ෂද්ඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ, ‘මෙ ක්‍ෂත්‍රියපර්‍ෂද් ය, මෙ බ්‍රාහ්මණපර්‍ෂද් ය, මෙ ගෘහපතිපර්‍ෂද් ය, මෙ ශ්‍රමණපර්‍ෂද් ය, එහි මෙසෙයින් එළැඹි යුතු, මෙ සෙයින් සිටිය මනා ය, මෙ සෙයින් කළමනා ය, මෙ සෙයින් හින්දෑ මනා ය, මෙ සෙයින් බිණුවමනා ය, මෙ සෙයින් තුෂ්ණීම්භූත වුවමනා යයි පිරිස් දන්නේ ය. මහණෙනි, ඉදින් මහණ මෙ කැත් පිරිස, මෙ බමුණු පිරිස, මෙ ගැහැවි පිරිස, මෙ මහණ පිරිසැ. එහි මෙසෙයින් එළැඹිය මනා ය, මෙසෙයින් සිටිය මනා ය, මෙ සෙයින් කළමනා ය, මෙ සෙයින් හින්දෑ මනා ය, මෙ සෙයින් බිණුවමනා ය, මෙ සෙයින් නිහඬ වුවමනායයි පිරිස් නො දන්නේ නම්, මේ සස්නෙහි (මහණ) පර්‍ෂද්ඥ යි නො කියනු ලබන්නේ ය. මහණෙනි, යම් හෙයකින් මහණ ‘මෙ කැත් පිරිස් ය, මේ බමුණු පිරිස් ය, මේ ගැහැවි පිරිස් ය, මේ මහණ පිරිස් ය. එහි මේ සෙයින් එළැඹිය මනා ය, මෙසෙයින් සිටිය මනා ය, මෙසෙයින් කළමනා ය, මෙසෙයින් හින්දෑ මනා ය, මෙසෙයින් බිණුවමනාය, මෙසෙයින් නිහඬ වුවමනා යයි පිරිස් දන්නේ ද, එහෙයින් පර්‍ෂද්ඥ යි කියනු ලබන්නේ ය. මෙසේ ධර්‍මඥ අර්‍ත්‍ථඥ ආත්මඥ මාත්‍රඥ කාලඥ පර්‍ෂද්ඥ වෙයි.
(7) පුද්ගලපරාවරඥ කෙසේ වේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහු විසින් දෙ පරිදියෙකින් පුඟුල්හු විදිත වෙත්. පුඟුල්හි දෙ දෙනෙකි. එකෙක් ආර්‍ය්‍යයන් දක්නට කැමැතියේ ය. එකෙක් ආර්‍ය්‍යයන් දක්නට නො කැමතියේ ය. යම් මේ පුඟුලෙක් ආර්‍ය්‍යයන් දක්නට නො කැමැත්තේ නම්, මෙසේ හේ ඒ කරුණින් ගැරැහිය යුතුවේ. යම් මේ පුඟුලෙක් ආර්‍ය්‍යයන් දක්නට කැමැත්තේ නම්, මෙසෙයින් හෙ එකරුණින් පැසැසියයුතු වන්නේ ය.
පුද්ගලයෝ දෙදෙනෙක් ආර්‍ය්‍යයන් දක්නා කැමැත්තාහ: එකෙක් සදහම් අසනට කැමතියේ වෙයි. එකෙක් සදහම් අසනු නො කැමතියේ වෙයි. යම් මේ පුඟුලෙක් සද්ධර්‍මය නො අසනු කැමතියේ නම් මෙසේ හේ එ කරුණින් ගැරැහියයුතු වන්නේ ය. යම් මේ පුඟුලෙක් සද්ධර්‍මය අසනු කැමැතියේ නම්, මෙසේ හේ එ කරුණින් පැසැසිය යුතු වන්නේ ය.
සදහම් අසනු කැමැති මේ පුඟුල්හු දෙදෙනෙක්: එකෙක් යොමුකළ කන් ඇතියේ ධර්‍මය අසයි. එකෙක් යොමු නො කළ කන් ඇතියේ දහම් අසයි. යම් මේ පුඟුලෙක් යොමු නො කළ ශ්‍රෝත්‍ර ඇතියේ ධර්‍මය අසා නම්, මෙසේ හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් යොමු කළ කන් ඇතියේ ධර්‍මය අසා නම් මෙසේ හෙ එ කරුණින් පැසැසිය යුතු වෙයි.
මේ පුඟුල්හු දෙදෙනෙක් අවහිත ශ්‍රෝත්‍ර ඇතියාහු ධර්‍මය අසත්. එකෙක් අසා ධර්‍මය ධරයි. එකෙක් අසා ධර්‍මය නො ධරයි. යම් මේ පුඟුලෙක් අසා ධර්‍මය නො ධරා නම්, මෙසෙයින් හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් ධර්‍මය අසා ධරා නම්, මෙසෙයින් හෙ එ කරුණින් පැසැසිය යුත්තේ ය.
මේ පුද්ගලයෝ දෙදෙනෙක් අසා ධර්‍මය ධරත්. එකෙක් ධරණලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය පිරික්සයි. එකෙක් ධරණලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය නො පිරික්සයි. යම් මේ පුද්ගලයෙක් ධරණලද ධර්‍මයාගේ අර්‍ත්‍ථය නො පිරික්සා නම්, මෙසේ හෙ එ කරුණින් ගැරැහිය යුතු වෙයි. යම් මේ පුඟුලෙක් ධරණලද ධර්‍මයන්ගේ අර්‍ත්‍ථය පිරික්සා නම්, මෙසේ හෙ එ කරුණින් පැසැසිය යුත්තේ ය.