මහණෙනි, තථාගතයන්ගේ මේ අරක්‍ෂණීය කරුණු සතර යි. මෙ කරුණු තුණෙන් තථාගතයෝ අනුපවද්‍ය වෙති යි.
7. 2. 1. 6.
[කිම්බිල සූත්‍රය]
6. මා විසින් මෙසේ අසනලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නගරාසන්නයෙහි වේළුවනයෙහි වැඩ වසනසේක. එකල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ:
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම්, ඒ හේතු කවරේ ද, එ ප්‍රත්‍යය කවරේදැ? යි.
කිම්බිලයෙනි, මෙ සස්නෙහි භික්‍ෂූහු භික්‍ෂුණීහු උපාසකයෝ උපාසිකාවෝ තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය (ගුරු කොට සැලකුම්) නැත්තාහු වාස කරති. ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරත්. සඟුන් කෙරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය රහිත වූවාහු වෙසෙත්. ශික්‍ෂායෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වසත්. සමාධියෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරති. අප්‍රමාදයෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරත්. පිළිසඳරෙහි ගෞරව නැත්තාහු ප්‍රතිශ්‍රය නැත්තාහු වාස කරති.
කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථික නො වේ නම්, මෙ එයට හේතු ය, මෙ එයට ප්‍රත්‍යය යි.
වහන්ස, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම්, ඒ හේතු කවරේ දැයි.
කිම්බිලයෙනි, තථාගතයන් පිරිනිවි කල්හි මෙ සස්නෙහි මහණ මෙහෙණ උවසු උවැසියෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ධර්‍මයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. සඟුන් කෙරෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ශික්‍ෂායෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. සමාධියෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. අප්‍රමාදයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ. ප්‍රතිසන්‍ථාරයෙහි සගෞරව ව සප්‍රතිශ්‍රය ව වාසය කරන්නාහ.
කිම්බිලයෙනි, යම් කරුණෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථික වේ නම්, මෙ එ හේතු යි, මෙ එ ප්‍රත්‍යය යි.
7. 2. 1. 7.
[සත්තධම්ම සූත්‍රය]
[සැවැත්නිදාන යි]
7. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ නො බෝ කලෙකින් ම ඉහාත්මයෙහි ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වු චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වෙසෙන්නේ ය. කවර සතෙකින යත්:
මහණෙනි. මෙ සස්නෙහි මහණ ශ්‍රද්ධා ඇතියේ වෙයි, සිල්වත් වෙයි, බහුශ්‍රුත වෙයි, ප්‍රතිසංලීන වෙයි, රුකුළු වැර ඇතියේ වෙයි, ස්මෘතිමත් වෙයි, ප්‍රඥාවත් වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ නො බෝ කලෙකින් ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වු චිත්තවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වාසය කරන්නේ යයි.
7. 2. 1. 8.
[පචලායන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ මෘගදාව නම් භේසකලාවනයෙහි වැඩවසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම පවත්නා දිවැස්නැණින් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි නිදිබර වැ හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුටුසේක් ම ය. දැක බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නේ හෝ දික්කළ අතක් වක්කරන්නේ යම්සේ නම්, එසෙයින් ම භග්ග ජනපදයෙහි සුංසුමාරගිර සමීපයෙහි වූ භෙසකලාවන නම් මුවවෙනෙහි අතුරුදන්වූසේක් මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත නම් ගම්හි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් හමුයෙහි පැණීගියසේක. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වැඩහිඳ, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කරුණ වදාළ සේක:
මුගලන, තෝ නිදිබරින් සැලෙයි නොයි. මුගලන, තෝ නිදන්නෙහි නො යි. වහන්ස, එසේ ය යි.
(1) එහෙයින් මුගලන, තෝ මෙහි ලා යම් යම් සංඥා ඇතිව වසන තොපට ඒ මිද්ධය බැසගනී නම්, ඒ සංඥාව නහමක් මෙනෙහි කරව, ඒ සංඥාව නහමක් බහුල කරව. මුගලන, මෙසේ වාසය කරණ තොපට ඒ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන මේ කරුණ විද්‍යමාන වෙයි.
(2) ඉදින් මෙසේ වසන තොපගේ ඒ මිද්ධය ප්‍රහීණ නොවේ නම්, මුගලන, තෝ ඉක්බිති යථාශ්‍රැත වූ යථාපර්‍ය්‍යාප්ත වූ ධර්‍මය සිතින් අනුවිතර්‍කණය කරව, අනුවිචාරණය කරව, මනසින් අනුප්‍රේක්‍ෂණ කරව. මෙසේ වසන තොපගේ ඒ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
(3) ඉදින් මෙසේ වසන තොපගේ එ මිද්ධය ප්‍රහීණ නොවේ නම්, මුගලන, එක්බිති තෝ යථාශ්‍රැත වූ යථාපර්‍ය්‍යාප්ත වූ ධර්‍මය විස්තර විසින් ස්වාධ්‍යාය (මැනවින් ශබ්ද) කරව. මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ ඇත.
(4) මෙසේ වාසය කරණ තාගේ ඒ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, මෞද්ගල්‍යායනයෙනි, එක්බිති තෝ දෙකන් සිදුරු හා ගාත්‍ර අත්ලෙන් පිරිමදුව. මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන මෙ කරුණ ඇත.
(5) මෙසේ වාසය කරණ තොපගේ එ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, මෞද්ගල්‍යායනයෙනි, එක්බිති තෝ හුනස්නෙන් නැඟී දියෙන් දෙයැස් පිරිමැද දිගුන් අනුවිලෝකන කරව, නැකැත් හා තාරුකරූපයන් බලව. මෙසේ වාසය කරණ තාගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
(6) මෙසේ වාසය කරණ තාගේ එ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, මෞද්ගල්‍යායනයෙනි, එක්බිති තෝ ආලෝකසංඥාව මෙනෙහි කරව, දිවාසංඥාව ඉටව, දහවල යම්පරිදි වේ ද, රාත්‍රිය ද එපරිදි ය, රාත්‍රිය යම් පරිදි වේ නම් දහවල ද එපරිදි වේ යයි මෙසේ විවෘත වූ කෙලෙසුන්ගෙන් නො වෙළුනු සිතින් සප්‍රභාෂ චිත්තය වඩව. මෙ ලෙසින් වාසය කරණ තොපගේ එ මිද්ධය ප්‍රහීණ වන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන වෙයි.
(7) මුගලන, මෙසේ වසන තොපගේ එ මිද්ධය ඉදින් ප්‍රහීණ නොවේ නම්, තෝ පෙර පසු හැඟුම් ඇතියෙහි අභ්‍යන්තර ඉන්‍ද්‍රියයන්ගෙන් උපලක්‍ෂිත වූයෙහි බැහැර නොගිය සිතින් චංක්‍රමණය ඉටන්නෙහි ය. යම් හෙයෙකින් මෙසේ වසන තොපගේ එ මිද්ධය ප්‍රහීණ වේ නම් එ කරුණ විද්‍යමාන ය.
ඉදින් මෙසේ වසන තොපට එ මිද්ධය ප්‍රහීණ නො වේ නම්, මුගලන, ඉක්බිති තෝ දකුණු පාදයෙහි වම් පය මඳක් හැද තබා ස්මෘතිමත් ව සම්ප්‍රජන්‍ය ඇත්තෙහි උත්තානසංඥා මෙනෙහි කොට දකුණැළයෙන් ශය්‍යා කරව. මුගලන, ප්‍රබුද්ධ වු ද තා විසින් වහා නැගීසිටිය යුතු: ශය්‍යාසුඛයෙහි, ස්පර්‍ශසුඛයෙහි, මිද්ධසුඛයෙහි, අනුයුක්තයෙම් නො වෙසෙමි’ යි. මෞද්ගල්‍යායනයෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු යි.
මුගලන, එකරුණින් මෙහි ලා මාන නමැති සොඬ දැඩිව ගෙණ කුලයන් කරා නො එළඹෙමි’ යි මෙසේ තොප විසින් ම හික්මිය යුතු යි. තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
මුගලන, ඉදින් මහණ, උස් වූ මාන නැමැති සොඬ දැඩිව ගෙණ කුලයන් වෙත එළැඹේ නම්, මෞද්ගල්‍යායනයෙනි, යම්හෙයෙකින් මනුෂ්‍යයෝ පැමිණි මහණ මෙනෙහි නො කෙරෙත් නම්, කුලයන්හි එබඳු කුදුමහත් කරණී වෙති. එහි ලා මහණහට මෙබඳු සිතෙක් වෙයි: “කවරෙක් නම් මා මෙකුලෙහි දැන් බිඳුවා ද, දැන් මෙ මිනිස්සු මා කෙරෙහි නො ඇලෙන සැහැවි ඇත්තාහ” යි මෙසේ ඔහට අලාභයෙන් මකුබව වෙයි. මකු වූවහුට නො සන්හුන්බව වෙයි. නොසන්සුන් සිත් ඇතියාහට අසංවර වෙයි. අසංවෘතයාගේ චිත්තය සමාධියෙන් දුරු වෙයි.
මෞද්ගල්‍යායනයෙනි, මෙහි ලා මෙසේ හික්මිය යුතු යි: විග්‍රාහික කථා (කලහයට හේතුකථා) නො කරන්නෙමි යි. මුගලන, තොප විසින් මෙසේ ම හික්මියයුතු යි. මුගලන, විග්‍රාහික කථා ඇති වත් ම කථා බාහුල්‍යය කැමැති වියයුතු. කථා බාහුල්‍යය ඇතිවත් ම උද්ධතභාවය වෙයි. උද්ධතයාහට අසංවරය වෙයි. අසංවෘත වූවහුගේ චිත්තය සමාධියෙන් දුරු වේ.
මෞද්ගල්‍යායනයෙනි, මම හැම කෙනකුන් හා සමගම සංසර්‍ගය නො පසසමි. මෞද්ගල්‍යායනයෙනි, මම හැම දෙනෙකුන් හා සමගම සසඟ නො පසසන්නෙම් නො වෙමි. මෞද්ගල්‍යායනයෙනි, ගැහැවියන් හා පැවිද්දන් හා ම සංසර්‍ගය නො වණමි. අල්පශබ්ද ඇති, ඝෝෂා රහිත, ජනවාතයෙන් තොර වූ මිනිසුන්ගේ රහස්‍ය ක්‍රියාවට යෝග්‍ය වූ පිළිසනට සරුප් වූ යම් සෙනසුන් වෙත් නම්, එබඳු සෙනසුන් හා සසඟ මම පසසමියි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් මුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: වහන්ස, මහණ කෙතෙක් කරුණින් අත්‍යන්තනිෂ්ඨා ඇතියේ, අත්‍යන්තයෝගක්‍ෂේමී වූයේ, අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ, අත්‍යන්ත පර්‍ය්‍යවසාන ඇතියේ, දෙව්මිනිස්නට ශ්‍රේෂ්ඨ වූයේ සැකෙවින් තෘෂ්ණාසංක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි මිදුනේ වේ දැයි.
මුගලන, මෙ සස්නෙහි මහණහු විසින් පඤ්චස්කන්‍ධාදී සර්‍වධර්‍මයෝ තෘෂ්ණාදෘෂ්ට්‍යාදී විසින් අභිනිවේශයට නො නිස්සහ’යි අසනලද වෙයි. මුගලන, මෙසේත් සර්‍වධර්‍මයෝ අභිනිවේශයට නො නිස්සහ යන තෙල කරුණ භික්‍ෂූ විසින් අසනලද වෙයි.
හෙ හැම ධර්‍ම (අනිත්‍යාදි විසින් ඥාතපරිඥානයෙන්) මොනොවට දනියි. හෙ හැම ධර්‍ම (අනිත්‍යාදි විසින් විශිෂ්ටඥානයෙන්) දැන හැම ධර්‍මය (තීරණපරිඥානයෙන්) පරිජානනය කෙරෙයි. හැම ධර්‍ම පරිජානනය කොට සුඛ වේදනා වේවයි, දුඃඛවේදනා වේවයි, අදුඃඛ අසුඛවේදනා (උපේක්‍ෂාවේදනා) වේවයි, යම් කිසි වේදනාවක් විඳී නම්, එ වේදනාවන්හි අනිත්‍යානුදර්ශී ව වාසය කරයි. (ද්විවිධ) විරාගානුදර්ශී ව වාසය කරයි. නිරෝධානුදර්ශී ව වාසය කරයි. (ද්විවිධ) ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී ව වාසය කෙරෙයි. හේ එ වේදනාවන්හි අනිත්‍යානුදර්ශී ව වසන්නේ, විරාගානුදර්ශී ව වසන්නේ, නිරෝධානුදර්ශී ව වසන්නේ, ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී ව වසන්නේ ලෝකයෙහි කිසිදු සංස්කාරගතයක් (තෘෂ්ණා විසින්) දැඩි ව නො ගන්නේ ය. දැඩි කොට නො ගන්නේ නො තැවෙයි. නො තැවෙනුයේ ප්‍රත්‍යාත්මයෙහි ම ක්ලේශ පරිනිර්‍වාණයකරයි. “ජාතිය ක්‍ෂීණ විය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවනලදී, සිවුමඟ කරණී කරණ ලදී. මෙ බව පිණිස කටයුතු අනෙකෙක් නැතැ”යි දනී.
මුගලන, මෙ තෙක් කරුණින් මහණ සැකෙවින් අත්‍යන්තනිෂ්ඨා ඇතියේ අත්‍යන්තයෝගක්‍ෂේමී වූයේ අත්‍යන්තබ්‍රහ්මචාරී වූයේ අත්‍යන්තපර්‍ය්‍යවසාන ඇතියේ තෘෂ්ණාසංක්‍ෂය විමුක්ත වූයේ දෙවිවිමිනිස්නට ශ්‍රේෂ්ඨ වේ ය යි.
7. 2. 1. 9.
[මාපුඤ්ඤභායි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
9. මහණෙනි, පුණ්‍යයනට නහමක් බිය වවු. මහණෙනි, යම් මේ ‘පුණ්‍ය’ යන ශබ්දයෙක් වේ නම් තෙල සුඛයට නමෙකි.
මහණෙනි. මම දීර්‍ඝරාත්‍රයෙහි කරණලද පුණ්‍යකර්‍මයන්ගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දීර්‍ඝරාත්‍රයෙහි පුනපුනා විඳුනාලද විපාක මොනොවට දන්මි. සත්වසක් (ධ්‍යානගත) මෙත්සිත් වැඩීමි. සත්වසක් මෙත්සිත් වඩා නස්නා වූ ද වැඩෙන්නා වූ ද කප්සතක් යළි මෙ ලොවට උපත් විසින් නො පැමිණියෙමි. මහණෙනි, ලොව නස්නා කල්හි මම ආභාස්වර බඹලොවට පැමිණියෙමි. ලොව වඩනා කල්පයෙහි ශූන්‍ය බ්‍රහ්මවිමානයෙහි උපදිමි. මහණෙනි, එහි දු මම බ්‍රහ්ම වූයෙම් සෙසු බඹුන් මඩනාසුල්ලෙම්, අභිභූත නො වූයෙම්, ඒකාන්තයෙන් දක්නා සුලුයෙම්, මෙරමා වශයෙහි පවත්වනසුල්ලෙම් වෙමි. මහණෙනි, මම සතිස්වරක් දෙවියනට ඉන්‍ද්‍ර වූයෙම් ශක්‍ර වීමි. නොයෙක්වර ධාර්මික වූ ධර්‍මරාජ වූයෙම් සිවුසයුර හිම් කොට ඇති මිහිපල් වූයෙම් දිනූ සඞ්ග්‍රාම ඇතියෙම්, ජනපදයන්හි ස්ථාවරභාවයට පැමිණියෙම් සත්රුවනින් සමන්‍වාගත වූයෙම් සක්විතිරජවීමි. මහණෙනි, සත්රුවනින් නම්: සක්රුවන, ඇත්රුවන, අස්රුවන, මිණිරුවන. ඉතිරිරුවන. ගැහැවිරුවන, සෙනෙවිරද්රුවන යි. මහණෙනි, එබඳු මට සත්රුවනින්හූ වූහ. මහණෙනි, මට සූර වූ විරාඞ්ගස්වරූප වූ සතුරුසෙන් මඩනා දහසකට වැඩි පුත්‍රයෝ වූහ. එබඳු මම සයුරු හිම් කොට ඇති පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්‍මයෙන් දිනාගෙණ විසීමි යි.
41. සුවකැමැතියෙනි, කුශල සඞ්ඛ්‍යාත පුණ්‍යයන්ගේ විපාකය නහමවු. මහණෙනි, සත්වසක් මෙත්සිත් වඩා මම සප්තසංවර්‍ත විවර්‍තකල්පයක් මෙ මිනිස්ලොවට පෙරළා නො පැමිණියෙමි.
42. ලෝකය නස්නා කල්හි මම ආභාස්වරෝපග වෙමි. ලෝකය වැඩෙන කල්හි ශුන්‍ය වු බ්‍රහ්මවිමානෝපගවීමි.
43. එකල්හි මම සත් වරක් වසවත් මහබඹ වීමි. සතිස් වරක් දේවේන්‍ද්‍ර වූයෙම් දෙව්රජය කරවීමි.
44. මම ජම්බුදීපේශ්වර වූයෙම් සක්විති රජ වීමි. මූර්‍ධාභිෂික්තව ක්‍ෂත්‍රිය මනුෂ්‍යයනට අධිපති වීමි.
45. අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් මෙ පොළොව දිනා නො සැහැසිකමින් දැහැමින් සෙමෙන් රාජ්‍යානුශාසන කෙළෙමි.
46. මේ පොළෝමඬුලුයෙහි දැහැමින් රජය කොට මහද්ධන ඇති මහා භෝග ඇති ආඪ්‍ය වූ කුලයෙහි උපන්මි.
47. හැම කාමවස්තුයෙන් හා සප්තරත්නයෙන් සපන් වීමි. ලොව්හි බුදුවරු සංග්‍රාහක වෙති. උන්වහන්සේ විසින් තෙල කරුණ මොනොවට දෙසනලදී.
48. යම් හෙයෙකින් පෘථිවීශ්වරයෙම් බොහෝ සම්පත් හා උපකරණ ඇතියෙම් ප්‍රතාපවත් රජ වෙමි’ යි කියනුලැබේ නම් මහත්‍වයට තෙල හේතු වෙයි.
49. ජම්බුද්වීපේශ්වර වූයෙම් ඍද්ධිමත් ද යශස්වී ද වෙමි. කෘෂ්ණාභිජාතික වූ ද (පාපකර්‍ම විපාකයෙන් උපන්නා වූ ද) කවරෙක් නම් එය අසා නො පහදනේ ද?
50. එහෙයින් ම අර්‍ත්‍ථය කැමැති මහත්ත්‍වය පතන්නහු විසින් බුදුන්ගේ ශාසනය සිහි කරමින් සද්ධර්‍මය ගුරු කටයුත්තේ ය යි.
7. 2. 1. 10.
[සත්තභරියා සූත්‍රය]
10. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වු අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පූර්‍වහ්න සමයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙණ අනාථපිණ්ඩික ගෘහපතිහුගේ නිවෙස්නට වැඩිසේක. වැඩ පැන වූ අස්නෙහි වැඩහුන්සේක.
එ වෙලායෙහි අනේපිඬුසිටුහුගේ නිවෙස්හි මිනිස්සු උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙති. එක්බිති අනේපිඬු ගැහැවි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හින. එකත්පස්හි හුන් අනේපිඬුගැහැවි හට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
ගෘහපතියෙනි, කවරහෙයින් තාගේ ගෙහි මිනිස්සු කෙවුලන් මසුන් පැස තැබූ තැන් සෙයින් උස්හඬ ඇත්තාහු මහහඬ ඇත්තාහු වෙත් දැයි.
වහන්ස, සුජාතා නම් වු මෙ ආඪ්‍ය වූ කුල දුවක් කුලයෙකින් ගෙණෙනලදු. (මෝ මාගේ) නැදි යයි කියා හෝ නො ම ගන්නී ය. (මෙ මාගේ) මයිල් යයි කියා හෝ නො ගණී. (මෙ මා) හිමි යි හෝ නො ගන්නී ය. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර නො කරයි. ගුරුකාර නෙකරයි. බුහුමන් නොකරයි. නො පුදයි.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ සුජාතා කුලදුව ඇමතූසේක. සුජාතාවෙනි, මෙහි එව’යි. වහන්ස, එසේ ය යි සුජාතාකුලදූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුනු. එකත්පස්හි හුන් සුජාතා කුලදුවට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළසේක:
සුජාතාවෙනි, පුරුෂයෙකුට මේ භාර්‍ය්‍යා සත් දෙනෙක් වෙති. කවර සත් දෙනෙක යත්:
වධකසමා ය, චෝරීසමා ය, ආර්‍ය්‍යසමා ය, මාතුසමා ය, භගිනීසමා ය, සඛීසමා ය, දාසිසමා ය යි. සුජාතාවෙනි, පුරුෂයාට මේ සත් බිරියෝ වෙත්.
ඔවුනතුරෙන් තී කවරක් වෙහි දැයි?
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය විතර විසින් මම නො දනිම් මැයි.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සැකෙවින් වදාළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය යම් පරිද්දෙකින් විතර විසින් දැනගන්නෙම් නම් මට එපරිද්දෙන් ධර්‍මය දෙසන සේක්වා යි.
සුජාතාවෙනි, එකරුණින් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස එසේ යයි සුජාතා කුල දූ තොමෝ භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් ඇස්වූ ය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
51. යම් බිරියක් ප්‍රදුෂ්ට සිත් ඇත්තී ද, හිතානුකම්පා නැත්තී ද, පරපුරුෂයන් කෙරෙහි ඇලුනී ද, සිය සැමියා ඉක්ම සිතා ද, ධනයෙන් විකොට ගන්නා ලද්දී වධ කිරීමට උත්සුක වේ ද, පුරුෂයකුගේ මෙබඳු යම් බිරියක් වන්නී නම් ඕ වධක වැනි ය යි ද භරියා යි ද කියනු ලබා.
52. ස්ත්‍රියගේ හිමි තෙම වෙණදහම් ගොවිකම් කරමින් යම් ධනයක් ලබා ද, ස්ත්‍රී එ ධනයෙන් අල්පයකුදු පැහැරගණු කැමැති වෙද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඕ සෙර ය යි ද බිරිය යි ද කියනු ලබා.
53. (යම් බිරියක්) කටයුතු නො රුස්නී අලස වූවා බොහෝ කොට අනුභව කරන්නී රළු වූවා සැඬ වූවා කැකුළු තෙපුල් කියන්නී හිමිහුගේ උත්‍ථානසම්පදාව මැඩගෙණ වැටෙන්නී වී ද, පුරුෂයාගේ මෙබඳු ඒ බිරිය ආර්‍ය්‍යා ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබයි.
54. යම් බිරියක් හැම විට හිතානුකම්පා ඇත්තී මවක් පුතකු සෙයින් හිමියා රක්නී ද වැලිදු ඔහු විසින් උපයනලද ධනයත් රක්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ මාතෘ ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබා.
55. දෙටු බෑයා කෙරෙහි කණිටු බුහුන යම්සේ පවත්නී ද, එසෙයින් සිය හිමිහු කෙරෙහි ගෞරව සහිත වේ ද, ලජ්ජා සිත් ඇත්තී ද, හිමිහුගේ වශය අනුව වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ භගිනි ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබා.
56. මෙ ලොව්හි යම් බිරියක් බොහෝ කලෙකින් පැමිණි යහළුවකු දැක තුටු වන යෙහෙළියක සෙයින් සිය හිමිහු දැක ප්‍රමුදිත වී නම්, කුලසපන් වූවා සිල්වත් වූවා පතිව්‍රත ඇත්තී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම් ඕ යෙහෙලියක් ය යි ද බිරිය ය යි ද කියනු ලබා.
57. (හිමියා විසින්) දඬු ගෙණ වධයෙන් තර්‍ජනය කරණලද්දී නො කිපුනි ම දුෂ්ට චිත්ත නැත්තී හිමිහට ක්‍ෂමා කරන්නී ද, නො කිපෙනසුලු වූවා හිමියාගේ වශයෙහි වැටෙන්නී ද, පුරුෂයාගේ මෙබඳු යම් බිරියක් වී නම්, ඕ දාසි ය යි ද භාර්‍ය්‍යා ය යි ද කියනු ලබා.
58. මෙ ලොව්හි යම් බිරියක් වධකා යයි කියනු ලබා නම්, යම් බිරියක් චෝරී ය යි ද අය්‍යා යි ද කියනු ලබා නම්, දුඃශීලස්වභාව ඇති රළු වූ ආදර නැති ඔහු කාබුන් මරණින් මතු නිරයට පිළිසඳ විහින් යෙති.
59. මෙ ලොව්හි යම් බිරියක් මාතෘභාර්‍ය්‍යා යයි ද භගිනිභාර්‍ය්‍යා යයි ද සඛීභාර්‍ය්‍යා යයි ද දාසිභාර්‍ය්‍යා යයි ද කියනු ලබා නම්, ශීලයෙහි පිහිටි සිත් ඇති චිරරාත්‍රයෙහි සංවෘත වූ ඔහු කාබුන් මරණින් මතු සුගතියට යෙත්.
සුජාතාවෙනි, මොහු සත්දෙන පුරුෂයාහට භාර්‍ය්‍යාවෝ වෙති. උන් අතුරෙහි තෝ කවරෙක් වෙහි දැයි. භාග්‍යවතුන් වහන්ස, අද පටන් කොට මා සැමියාගේ දැසියක සම වූ බිරිය කොට ධරණසේක්වයි.
7. 2. 1. 11.
[කොධන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, වෛරීන්ට කාන්ත වූ වෛරීන්ට අර්‍ත්‍ථකරණ මෙ සත් දහම් කෙනෙක් කිපෙනසුලු මාගම කරා හෝ පුරුෂයා කරා හෝ පෙරළා එති. කවර සතෙක යත්:
(1) මහණෙනි, මෙ ලොව්හි සතුරා (තමාගේ) සතුරාහට මෙසේ කැමැති වෙයි: ‘මේ තෙම දුර්වර්‍ණ වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරා සතුරාගේ වර්‍ණවද්භාවයෙන් සතුටු නො වෙයි. මහණෙනි, මේ පුරුෂ කිපෙනසුලු ක්‍රෝධයෙන් මඩනාලද ක්‍රෝධානුගත වූයේ වෙයි. හේ මැනැවින් ස්නාන කෙළේ මැනැවින් ගැල්වූ අලෙව් ඇතියේ අන්දම් තැබූ කෙහෙමස් ඇතියේ හඳනා ලද හෙළපිළී ඇතියේ වී නමුදු, වැලි හේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ දුර්වර්‍ණ මැ වෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ පළමු කරුණ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙයි.
(2) තවද මහණෙනි, සතුරෙක් (සිය) සතුරුහට මෙසේ කැමැති වෙයි. ‘මෙ තෙම දුකසේ හෝනේ වේ නම් මැනැවැ’ යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරු සතුරාගේ සුඛශය්‍යායෙන් සතුටු නො වෙයි. මේ පුරුෂ තෙම කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ වෙයි. හෙ වැලිත් කොඳුපලස් අතුළ මොළොක් සුදුඑළුලොම් ඇතිරි අතුළ ඝනපුප්ලොම් ඇතිරි අතුළ උතුම් කෙසෙල්මුවසමින් ඇතිරි අතුළ උඩුවියන් සහිත දෙපස්හි තැබූ රත්කන්වයින් ඇති පලනෙක්හි හෝනේ නමුදු හෙ ක්‍රෝධයෙන් මැඩුනේ දුකසේ ම හෝනේ වෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ දෙවන කරුණ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙයි.
(3) තවද මහණෙනි, සතුරා සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම බොහෝ ධන ඇතියේ නො වේ නම් මැනැවැ’ යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරා සතුරකුගේ ප්‍රචුරාර්‍ත්‍ථභාවයෙන් සතුටු නො වෙයි. මහණෙනි, මේ පුරුෂපුද්ගල ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ අනර්‍ත්‍ථය ද ගෙණ ‘මා විසින් අර්‍ත්‍ථය ගන්නා ලදැ’යි හඟනේ ය. අර්‍ත්‍ථය ද ගෙණ ‘මා විසින් අනර්‍ත්‍ථය ගන්නා ලදැ’යි හඟනේ ය. ක්‍රෝධාභිභූත වූ ඔහු විසින් පරස්පර ප්‍රත්‍යනීක වූ ගන්නාලද මෙ ධර්‍මයෝ දීර්‍ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වැටෙන්නාහ. මහණෙනි, සතුරාට කාන්ත වූ සතුරුකරණ වූ මෙ තෙවන කරුණ කිපෙනසුලු ස්ත්‍රියට වේවයි පුරුෂයාට වේවයි පැමිණෙයි.
(4) තවද මහණෙනි, සතුරෙක් සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම භෝග ඇතියේ නො වේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරුතෙම සතුරාගේ භෝගවත්භාවයෙන් නො සතුටු වෙයි. මහණෙනි, කිපෙනසුලු ක්‍රෝධයෙන් මැඩුනු ක්‍රෝධවශයට ගිය පුරුෂපුද්ගලයාගේ යම් එ භෝගයෝ වෙත් නම් උත්‍ථානවීර්‍ය්‍යයෙන් අධිගත වූවාහු බාහුබලයෙන් රැස් කරණ ලද්දාහු ඩහවගුරුවා උපයාලූවාහු දැහැමි වූවාහු දැහැමින් ලද්දාහු වෙත් නම්, ක්‍රෝධාභිභූත වූ ඔහුගේ එයද රජහු රාජභාණ්ඩාගාරයට පමුණුවත්. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සතරවන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට හෝ පුරුෂයාට හෝ පැමිණේ.
(5) තවද මහණෙනි, සතුරෙක් සතුරකුහට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම යශස් ඇතියේ නො වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ යශෝවද්භාවයෙන් නො සතුටු වෙයි. මහණෙනි, මේ පුරුෂපුද්ගල කිපෙනසුලු වූයේ ක්‍රෝධයෙන් අභිභූත වූයේ ක්‍රෝධවශයට පැමිණියේ වෙයි. අප්‍රමාදයෙන් ඔහු විසින් ලැබගත් යම් යශසෙක් වේ නම් ක්‍රෝධාභිභූත වූ හෙ එයිනුදු පිරිහෙයි. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ පස්වන කරුණ ක්‍රෝධයෙන් යුත් ස්ත්‍රියට වේවයි පුරුෂයාට වේවයි පැමිණේ.
(6) තවද මහණෙනි, සතුරෙක් සතුරකුට මෙසේ කැමැති වෙයි. ‘මේ තෙම මිතුරන් ඇතියේ නො වන්නේ නම් මැනැවැ’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ මිත්‍රවද්භාවයෙන් සතුටු නො වේ. මහණෙනි, මේ පුරුෂපුද්ගල කිපෙනසුල්ලේ ක්‍රෝධයෙන් මැඩුනේ ක්‍රෝධවශයට ගියේ වෙයි. ඔහුට යම් ඒ මිත්‍රාමාත්‍ය කෙනෙක් සාලේ නෑ කෙනෙක් වෙත් නම් ඔහු ද, ක්‍රෝධයෙන් මැඩුනු ඔහු දුරින් ම හැරලත්. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සවන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට වේවයි පුරුෂයකුට වේවයි පැමිණේ.
(7) තවද මහණෙනි, සතුරෙක් සතුරකුට මෙසේ කැමැති වෙයි. ‘මෙතෙම කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණේවා’යි. එ කවර හෙයින යත්: මහණෙනි, සතුරෙක් සතුරකුගේ සුගති ගමනින් සතුටු නො වෙයි. මහණෙනි, මෙ පුරුෂපුද්ගල කිපෙනසුල්ලේ ක්‍රෝධයෙන් මැඩුනේ ක්‍රෝධවශයට පැමිණියේ කයින් දුසිරිත් කෙරෙයි, වචනයෙන් දුසිරිත් කෙරෙයි, මනසින් දුසිරිත් කෙරෙයි. හෙ ක්‍රෝධාභිභූත ව කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට මනසින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණේ. මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සත්වන කරුණ ක්‍රෝධකරණසුලු ස්ත්‍රියට හෝ පුරුෂයාට පැමිණෙයි.
මහණෙනි, සපත්තකාන්ත වූ සපත්තකරණ වූ මෙ සප්ත ධර්‍මයෝ කිපෙනසුලු ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ කරා පැමිණෙත් යයි.
60. කිපෙනසුලු වූයේ දුර්වර්‍ණ වෙයි. වැලි හේ දුකසේත් හෝනේ ය. වැලිදු අර්‍ත්‍ථය ගෙණ (මා විසින් ලබනලදුයේ) අනර්‍ත්‍ථ යයි වරදවා සිතයි.
61. එක්බිති කිපෙනසුලු ක්‍රෝධයෙන් අභිභූත වූ පුරුෂ කයින් වචසින් වධ කොට ධනහානියට යෙයි.
62. ක්‍රෝධ මදයෙන් දැඩි ව මත් වූයේ අයශස්කභාවයට (නින්‍දාවට) යෙයි. ඥාති මිත්‍රසුහෘද්හු ද කිපෙනසුලු ඔහු හැරැදමත්.
63. ක්‍රෝධය අනර්‍ත්‍ථය දනවන්නේ ය. ක්‍රෝධය චිත්තප්‍රකෝප කරන්නේ ය. බිය අභ්‍යන්තරයෙහි උපන්නේ වෙයි. ජනතෙමේ එය නො දන්නේ ය.
64. කිපියේ අර්‍ත්‍ථය (වෘද්ධිය)නො දන්නේ ය. කිපියේ ධර්‍මය (ශමථ විදර්‍ශනා) නො දක්නේ ය. ක්‍රෝධය යම් මිනිසකු මැඩගන්නේ නම් එකල්හි එබඳු ගනඅඳුරුබව කරණ මෝහතමස වෙයි.
65. ක්‍රෝධයට පැමිණියේ සූකරයක් සෙයින් යම් දුෂ්කරයක් කෙරේ නම්, පසුව එ ක්‍රෝධය පහව යත් ම හෙතෙම ගින්නෙන් දැවුනකු සෙයින් තැවෙයි.
66. යම් විටෙක ක්‍රෝධය උපදනේ ද යම් ක්‍රෝධයකින් මානවයෝ කිපෙත් නම් එය, ගින්න දුම් හා ගිනි දළු දක්වන්නාසේ, දුර්මුඛ භාවය (නියාළුබව) දක්වන්නේ ය.
67. ඔහට ලජ්ජා නො ද වෙයි. අපත්‍රපා (බිය) ද නො වෙයි. ගෞරවාන්විත වචන ද නැත. ක්‍රෝධයෙන් මැඩුනහුට කිසිදු පිහිටෙක් නො වේ.
68. දැහැමින් දුරු වූ තැවීමට කරුණු වූ යම් කර්‍ම කෙනෙක් ඇත් නම් (කිපියේ එය කරයි) ඔවුන් ආරෝචනය කරමි. තත් වූ පරිදි එය අසවු:
69. කිපියේ පියා නසයි. කිපියේ මව නසයි. කිපියේ රහතුන් නසයි. කිපියේ පුහුදුන්හු නසයි.
70. යම් මවක විසින් පුස්නාලද පුරුෂ තෙමේ මෙලොව දක්නේ ද, එ කිපී පුහුදුන් තෙමේ (තමාගේ) ප්‍රාණදායිකා වූ ම ඇය ද නසයි.
71. එ සත්හු ආත්මෝපමායෙන් යුතු වෙති. තෙමේ ම තමාට අතිශයින් ප්‍රිය වෙයි. නානා රූපයන්හි (අරමුණෙහි) මුසපත් වූ කිපි තැනැත්තේ නන් කරුණින් තමාද නසයි.
72. මුළාවට පත් වූවෝ අසිපතිනුදු තමා නසත්. විස ද කති. ගෙල රැහැනින් බැඳ මියෙත්. ගල්කඳුරෙහි ද පැන මියෙත්.