Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 10601-10700 න් 15980

මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක විප්‍රතිසාරය දන්නේ ය. විප්‍රතිසාරසමුදය දන්නේ ය. විප්‍රතිසාරනිරෝධය දන්නේ ය, විප්‍රතිසාරනිරෝධගාමිනීප්‍රතිපද් දන්නේ ය. ඔහුගේ එ විප්‍රතිසාරය නිරුද්ධ වෙයි. හෙ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් මිදෙයි, සසරදුකින් මිදේ යයි කියමි.
මහණ, මෙසේ දන්නා මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ‘තථාගත මරණින් මතු වන්නේ ය’යිද ප්‍රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු නො වන්නේ ය’යිද ප්‍රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු වන්නේ යයි ද නො වන්නේ ය’යිද ප්‍රකාශ නො කරයි. ‘තථාගත මරණින් මතු නො මැ වන්නේ ය, නො ද නො වන්නේ ය’යි ද ප්‍රකාශ නො කරයි.
මහණ, ශ්‍රැතවත් අරීසවු මෙසේ දන්නේ මෙසේ දක්නේ අව්‍යාකෘත වස්තූන්හි මෙසේ අව්‍යාකරණ ස්වභාව ඇති වෙයි.
මහණ, මෙසේ දන්නේ මෙසේ දක්නේ ශ්‍රැතවත් අරීසවු අව්‍යාකෘත වස්තූන්හි නො තැති ගන්නේ ය, කම්පිත නො වන්නේ ය, නො සැලෙන්නේ ය. නො වෙවුලන්නේ ය, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ ය.
මහණ, යම් හෙයකින් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට අව්‍යාකෘතවස්තූන්හි විචිකිත්සා නූපදනේ නම්, මේ එයට හේතු වෙයි, මෙ ප්‍රත්‍යය වෙයි.
7. 2. 1. 2.
[පුරිසගති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, සප්ත පුරුෂ (පුරුෂයාගේ ඥාන) ගති හා අප්‍රත්‍යය නිර්‍වාණය හා දෙසන්නෙමි. එ අසව, මනා කොට මෙනෙහි කරව, කියන්නෙමි’ යි. වහන්ස, එසේ ය යි එ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දේශනාව වදාළහ.
මහණෙනි, පුරුෂයාගේ සප්ත ඥානගතීහු කවරහ යත්:
(1) මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: ‘මට අතීතභවයෙහි නිර්‍වර්‍තක කර්‍මයෙක් නොවී නම්, මට වර්‍තමානයෙහි මෙ අත්බැව් නො වන්නේ ය. මෙ අත්බැව්හි දු මට අනාගත භවනිර්‍වර්‍තක කර්‍ම නො වන්නේ නම් අනායෙහිදු මට ආත්මභාවයෙක් නො වන්නේ ය. යමෙක් ඇත් ද, යමෙක් පාළ වී ද, එ ප්‍රත්‍යුත‍්පන්නස්කන්‍ධය ‍(ඡන්‍දරාගප්‍රහාණයෙන්) හැරලමි’ යි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීත පඤ්චස්කන්‍ධභවයෙහි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නො ඇලෙයි. අනාගත පඤ්චස්කන්‍ධභවයෙහි දු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්‍වාණපදය ඇතැ’ යි විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මනාකොට දක්නේ ය. (ඇතැම් කෙලෙසුන් නො පැහු බැවින්) ඔහුගේ එ හැම නිවන් පිය ද සර්‍වාකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වේ. ඔහුගේ මානානුසය ද සර්‍වාකාරයෙන් ම ප්‍රහීණ නො වේ. සර්‍වාකාරයෙන් ම භවරාගානුසය ප්‍රහීණ නො වේ. සර්‍වාකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ නො වෙයි. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් මුළුල්ලෙහි තැවුනු යකබලක් තළනු ලබත් ම පතුරු උපදවා නිවෙන්නේ යම්සේ ද, -
මහණෙනි, එපරිද්දෙන් ම මෙසෙයින් පිළිපන්නේ වෙයි: අතීත භවයෙහි උපන් කර්‍මයෙක් නොවී නම්, දැන් මාගේ මේ ආත්මභාවය නො වන්නේ ය. මෙකල්හි මාගේ කර්‍මයෙක් නො වේ නම්, අනාගතාත්මභාවයෙක් නො වන්නේ ය. යම් ප්‍රත්‍යුපන්න පඤ්චස්කන්‍ධයෙක් ඇත් නම්, යම් වර්‍තමාන පඤ්චස්කන්‍ධයෙක් පාළවී නම්, එය (ඡන්‍දරාග ප්‍රහාණයෙන්) දුරලමි යි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීත පඤ්චස්කන්‍ධයෙහි නො ඇලෙයි, අනාගත පඤ්චස්කන්‍ධයෙහි දු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්‍වාණපදය ඇතැයි විදර්‍ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මොනොවට දක්නේ ය. ඔහු විසින් එ ශාන්ත නිර්‍වාණපදයත් සර්‍වාකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වෙයි. ඔහුට සර්‍වාකාරයෙන් ම මානානුශය ප්‍රහීණ නො වෙයි. සර්‍වප්‍රකාරයෙන්ම භවරාගානුසය ප්‍රහීණ නො වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ නො වෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
(2) තවද මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම් වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය. මෙ කල්හි මට අනාගතකර්‍මභවයෙක් නො වේ නම්, මාගේ අනාගත පඤ්චස්කන්‍ධ සංඛ්‍යාත විපාකභවය නො වන්නේ ය. යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී ද, එය (ඡන්‍දරාගප්‍රහාණයෙන්) දුරලමි යි විදර්‍ශනා උපේක්‍ෂාව ලබයි. හෙ අතීත කර්‍මභවයෙහි නො ඇලෙයි. අනාගත භවයෙහිදු නො ඇලෙයි. මතුයෙහි ශාන්ත වූ නිර්‍වාණපදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. ඔහු විසින් එ ශාන්තනිර්‍වාණපදය සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත් නො කෙළේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය අප්‍රහීණ වෙයි. ඔහුගේ භවරාගානුශය සර්‍වප්‍රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. ඔහුගේ අවිද්‍යානුශය සර්‍වප්‍රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් මුළුල්ලෙහි තැවුනු යකබල තළනු ලබන කල්හි පතුරු ඉපද නැඟී නිවී යේ ද, -
එපරිදි ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, මට මේ වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
(3) මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවයෙක් නො වී නම්, මෙ වර්‍තමාන පස්කඳ නොවන්නේ ය. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද නැගී පොළෝතලය නො ඇක්ම නිවේ ද, -
මහණෙනි. එපරිදි ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම්, මෙ පඤ්චස්කන්‍ධ ආත්මභාවය නොවන්නේ ය ... හෙ පඤ්චඕරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
(4) තවද මහණෙනි. මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්‍තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය ...
හෙ පඤ්චඕරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.
මහණෙනි, යම්සේ දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද අහසට නැග පොළෝතලය ඇක්ම නිවේ නම්, -
මහණෙනි, එ සෙයින් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්‍තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උපහච්චපරිනිබ්බායී වෙයි.
(5) තවද මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්‍තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද අහසට නැගී කුඩා තණපිඩෙක වේවයි, දැවපිඩෙක වේවයි හෙයි. එ එහි ගිනි ද දනවන්නේ ය, දුම් ද දනවන්නේ ය, ගිනිත් දනවා දුමත් දනවා එ මැ කුඩා තණපිඩ හෝ දැවපිඩ ඇවිළගෙණ අනාහාරව නිවීයේ නම්, -
මහණෙනි. එ සෙයින් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
(6) තවද මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි … හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබලක් තළනුලබත් ම පතුරු ඉපිද අහසට නැගී මහතණරොදෙක හෝ දැවපිඩෙක හෝ හේ නම් ඒ එහි ගිනි ද දනවයි, දුම් ද දනවයි, ගිනිත් දනවා දුමත් දනවා ඒ මහතණපිඩ හෝ දැවපිඩ හෝ දවා අනාහාරව නිවීයෙයි,-
මහණෙනි, එ පරිදි ම මහණ මෙසේ පිළිපදනේ වෙයි: මට අතීත කර්‍මභවය නො වී නම්, වර්‍තමාන පඤ්චස්කන්‍ධය නො වන්නේ ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.
(7) තවද මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම්, මට වර්‍තමාන පඤ්චස්කන්‍ධය නොවන්නේ ය. මට දැන් කර්‍මභවයෙක් නො වන්නේ නම්, අනාගත විපාකභවයෙක් නො වන්නේ ය. යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී ද, එ හැරලමියි විදර්‍ශනෝපේක්‍ෂාව ලබයි. හෙ අතීතභවයෙහි නො ඇලෙයි, අනාගතභවයෙහි දු නො ඇලෙයි. මෙයින් මත්තෙහි ශාන්ත නිර්‍වාණ පදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. එ ද ඔහු විසින් සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය ද ප්‍රහීණ නො වෙයි. භවරාගානුශය සර්‍වප්‍රකාරයෙන් ම ප්‍රහීණ නො වේ. අවිද්‍යානුශය සර්‍වප්‍රකාරයෙන් ම ප්‍රහීණ නො වේ. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපිද අහසට නැගී මහතණපිඩෙක හෝ දැවපිඩෙක හේ නම්, එ එහි ගිනි ද උපදවන්නේ ය, දුම් ද උපදවන්නේ ය, ගිනිත් උපදවා දුමත් උපදවා ඒ තණපිඩ හෝ දැවපිඩ හෝ දවා (නො රැකි) වල ද දවන්නේ ය, උයන්ළැව් ද දවන්නේ ය, (නො රැකි) වල ද දවා උයන්ළැව් ද දවා නිල්තණපිටියකට හෝ පත්‍ථාන්තයකට හෝ ශෛලාන්තයකට හෝ උදකාන්තයකට හෝ රමණී බිම්කඩකට හෝ පැමිණ අනාහාරව නිවීයෙයි ද,-
මහණෙනි. එපරිද්දෙන් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවය නො වී නම්, වර්‍තමාන විපාකභවය නො වන්නේ ය ... හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් උද්ධංසෝත අකනිට්ඨගාමීවෙයි.
මහණෙනි, මෙ පුරිසගති සත යි.
මහණෙනි. අනුපාදාපරිනිබ්බානය කවරේ ය යත්:
මහණෙනි, මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවය නො වී නම්, වර්‍තමාන විපාකභවය නොවන්නේ ය. අනාගත කර්‍ම භවය ද නො වන්නේ නම්, අනාගත විපාකභවය ද නො වන්නේ ය. යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමාන ස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී නම්, එ දුරලමි’යි උපේක්‍ෂාව ලබන්නේ ය. හෙ අතීතභවයෙහි නො ඇලෙයි. අනාගත භවයෙහිදු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්‍වාණපදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. එ නිර්‍වාණපදයත් සර්‍වප්‍රකාරයෙන් ම සාක්‍ෂාත් කරණලදුයේ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම ඔහුගේ මානානුශය ද ප්‍රහීණ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම භවරාගානුසය ද ප්‍රහීණ වෙයි. සර්‍වප්‍රකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ වෙයි. හෙ ආස්‍රවක්‍ෂයෙන් ... (චිත්තවිමුක්තිය ද ප්‍රඥා විමුක්තිය ද) සාක්‍ෂාත් කොට එළඹ වෙසෙයි.
මහණෙනි, මෙ අනුපාදාපරිනිබ්බාන යි කියනු ලැබේ.
මහණෙනි, මෙ සප්ත පුරුෂගති හා අනුපාදාපරිනිර්‍වාණ යි .
7. 2. 1. 3.
[තිස්සබ්‍රහ්ම සූත්‍රය]
3. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩවසන සේක. එකල්හි දෙවියෝ දෙදෙනෙක් රාත්‍රිය බෙහෙවින් ඉක්මගිය කල්හි හැම ගිජුකුළුපව් පියෙස බබුළුවා මනහර වර්‍ණ ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි සිටගත්හ. එකත්පස්හි සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළේය:
“වහන්ස, තෙල (මහාප්‍රජාපතිය ප්‍රමුඛ) භික්‍ෂුණීහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ”යි. අනෙක් දෙවි භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකළේ ය: “වහන්ස, තෙල මෙහෙණහු ශේෂොපාදාන රහිතව මිදුනහ” යි. එ දෙවිහු මෙය කීහ. ශාස්තෘන් වහන්සේ සමනුඥ වූ සේක. එක්බිති එ දෙවියෝ දෙදෙන “භාග්‍යවතුන් වහන්සේ සමනුඥයහ” යි භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට එහි ම නො පැණී ගියහ.
එක්බිති භාග්‍යවතුන් වහන්සේ එ රෑ ඇවෑමෙන් භික්‍ෂූන් ඇමැතූ සේක. “මහණෙනි, මෙ ඉකුත් රෑහි මනහර රූ ඇති දේවතාවෝ දෙදෙනෙක් හැම ගිජුකුළුපව් පියෙස එකලුකොට බබුළුවා මා කරා එළැඹියහ. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියහ. මහණෙනි, එකත්පස්හි සිටි එක් දෙවියෙක් මට තෙල කී ය:
“වහන්ස, තෙල භික්‍ෂුණීහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ” යි. අනෙක් දෙවි ද මට තෙල සැළකළේ ය: “වහන්ස, තෙල මෙහෙණහු අනුපාදිශේෂ වූවාහු පඤ්චවිමුක්තියෙන් මිදුනාහ” යි. මහණෙනි, එ දෙවිහු මෙය සැළකළහ. මෙ සැළකොට මා වැඳ එහි ම අතුරුදන් ව ගියහයි.
එ සමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරහු භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි හුන්නාහු වෙති. එක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල සිත විය:
“කවර නම් දෙවි කෙනකුන්ට සෝපාදිසේස පුඟුල් කෙරෙහි හෝ සෝපාදිසේස පුඟුලැයි ද, අනුපාදිසේස පුඟුල්කෙරෙහි හෝ අනුපාදිසේස පුඟුලැයි ද මෙබඳු ඥානයෙක් වේ දැ” යි.
එසමයෙහි තිස්ස නම් මහණ කලුරිය කළ නොබෝකල් ඇතියේ එක්තරා බ්‍රහ්මකායෙක්හි උපන්නේ වෙයි. එහි දු ඔහු (සෙසු දෙවියෝ) මෙසෙයින් දනිත්: “තිස්ස බ්‍රහ්ම තෙම මහත් ඍද්ධි ඇත්තේ ය. මහානුභාව ඇතියේ ය” යි.
එක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් මැදුම් පිරිමියෙක් හැකුළු අතක් දිගුකරන්නේ හෝ දිගුකළ අතක් හකුළුවන්නේ හෝ නම් එසෙයින් ගිජ්ඣකූටපර්‍වතයෙහි අතුරුදන් වූසේක් එ බඹලොව්හි පැණීගියහ. තිස්ස බ්‍රහ්ම දුරදී මැ එන ආයුෂ්මත් මහමුගලන් තෙරුන් දුට. දැක ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට තෙල කීය:
මාරිස මෞද්ගල්‍යායනයෙනි, මෙහි වඩිනු මැනවැ, නිදුකානෙනි, මෞද්ගල්‍යායනයයෙනි, (මුඹට) ස්වාගත යැ. නිදුකානෙනි, මෞද්ගල්‍යායනයෙනි, මෙහි වඩිනු සඳහා යම්බඳු ආකාරයෙක් වී නම්, මෙ පර්‍ය්‍යාය බොහෝ කලෙකින් කළහ. මාරිස මෞද්ගල්‍යායනයෙනි, මේ අස්න පනවන ලද, වැඩහිඳිනු මැනවැ’යි. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ පනවන ලද අස්නෙහි වැඩහුන්හ. තිස්ස බ්‍රහ්ම ද ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ එකත්පස්ව හින. එකත්පස්ව හුන් තිස්ස බ්‍රහ්මහට ආයුෂ්මත් මහමුගලන් තෙරහු තෙල කරුණ වදාළහ:
තිස්සයෙනි, කවර නම් දෙවියනට සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා අනුපාදිසේස යයි කියා ද මෙබඳු ඥානය වන්නේ දැ? යි.
නිදුක මෞද්ගල්‍යායනයෙනි, බ්‍රහ්මකායික දෙවියන්ට (පඤ්චස්කන්‍ධය තිබියදී කෙලෙසුන් කෙරෙන් පිරිනිවියහු) කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා (ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් පිරිනිවියහු) කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ ය.
තිස්සයෙනි, හැම බ්‍රහ්මකායික දෙවියන්ට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ දැ? යි.
නිදුක මෞද්ගල්‍යායනයෙනි, හැම බ්‍රහ්මකායික දෙවියන්ට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය නො මැ වන්නේ ය. නිදුක මුගලන යම් බ්‍රහ්මකායික දෙවිකෙනෙක් බ්‍රහ්මයන් සතු ආයුසින් සන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මවර්‍ණයෙන් සන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මසුඛයෙන් සන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මයශසින් සතුටු වෙත් නම්, බ්‍රහ්මආධිපත්‍යයෙන් සතුටු වෙත් නම්, මත්තෙහිදු නිඃසරණය යථාභූතයෙන් නො දන්නාහු නම්, ඔවුනට සඋපාදිසේස පුද්ගලයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේස පුද්ගලයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය නො වන්නේ ය.
නිදුක මුගලන, යම් බ්‍රහ්මකායික දෙවිකෙනෙක් බ්‍රහ්මආයුෂයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්ම වර්‍ණයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මසුඛයෙන් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මයශසින් අසන්තුෂ්ට වෙත් නම්, බ්‍රහ්මආධිපත්‍යයෙන් අසන්තුෂ්ට වෙත් නම්, එයට මතුයෙහිදු ඇති නිඃසරණය යථා භූත කොට දන්නාහු ද, එ දෙවියනට සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද මෙබඳු ඥානය වන්නේ යයි.
නිදුක මුගලන, මෙ සසුන්හි මහණෙක් උභතොභාගවිමුක්ත වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුනති: “මේ ආයුෂ්මත් උභතොභාගවිමුක්ත වෙයි. යම්තාක් ඔහුගේ කය සිටුනේ ද ඒතාක් දෙව්මිනිස්සු ඔහු දක්නාහ. කායයාගේ භේදයෙන් දෙව්මිනිස්සු ඔහු නො දක්නාහ” යි. නිදුක මුගලන, මෙසේත් සඋපාදිසේස පුඟුල් නිමිතිකොට සඋපාදිසේස පුඟුලැයි ද අනුපාදිසේස පුඟුල් නිමිතිකොට අනුපාදිසේස පුඟුලැයි ද දෙවියනට මෙබඳු ඥානය වෙයි.
නිදුක මුගලන මෙහි මහණෙක් ප්‍රඥාවිමුක්ත වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුනති: “මෙ ආයුෂ්මත් ප්‍රඥා විමුක්තයෙකි. යම්තාක් ඔහුගේ කය පවතින්නේ ද, ඒතාක් දේවමනුෂ්‍යයෝ ඔහු දක්නාහ. කාය භේදයෙන් දේවමනුෂ්‍යයෝ ඔහු නො දක්නාහ” යි. නිදුක මුගලන, සඋපාදිසේස පුඟුල් කෙරෙහි සඋපාදිසේස යයි ද අනුපාදිසේස පුඟුල් කෙරෙහි අනුපාදිසේස යයි ද එ දෙවියනට මෙසේත් ඥානය වෙයි.
නිදුක මුගලන මෙහි මහණෙක් කායසක්ඛි වෙයි. දෙවියෝ එබඳු වූ ඔහු මෙසේ හඳුණත්: “මෙ ආයුෂ්මත් කායසක්ඛියෙක. මෙ ආයුෂ්මත් අනුලොම් වු සෙනසුන් සේවන කරන්නේ කලණ මිතුරන් භජනය කරන්නේ සද්ධාදී ඉන්‍ද්‍රියයන් සමත්‍වයෙහි තබන්නේ, යමක් සඳහා කුලපුත්හු මනාසේ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයට පැමිණෙත් නම්, බ්‍රහ්මචර්‍ය්‍යය පර්‍ය්‍යාවසාන කොට ඇති එ අනුත්තර නිර්‍වාණය දිටුදැමියෙහි ම තෙමෙ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළැඹ වෙසෙන්නේය” යි. නිදුක මුගලන, මෙසේත් සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද එ දෙවියනට ඥානය වන්නේ යයි.
නිදුක මෞද්ගල්‍යායනයෙනි, මෙහි මහණෙක් දිට්ඨප්පත්ත වෙයි ... සද්ධාවිමුක්ත වෙයි ... ධම්මානුසාරී වෙයි. ඒ දෙවියෝ ඔහු මෙසේ හඳුනත්: “මෙ ආයුෂ්මත් වනාහි ධම්මානුසාරී වෙයි, මෙ ආයුෂ්මත් අනුලොම් වූ සෙනසුන් සේවනය කෙරෙමින් කලණමිතුරන් ඇසුරු කෙරෙමින් ඉන්‍ද්‍රියයන් සමභාවයෙහි තබමින් යම් නිවණක් සඳහා කුලපුත්හු මනාකොට ගිහි ගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට වදනාහු නම්, මග බඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර නිර්‍වාණය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වසන්නේ නම් මැනැවැ”යි. නිදුක මෞද්ගල්‍යායනයෙනි, මෙසේත් සඋපාදිසේසයා කෙරෙහි සඋපාදිසේස යයි ද, අනුපාදිසේසයා කෙරෙහි අනුපාදිසේස යයි ද දෙවියනට ඥානය වන්නේ යයි.
එක්බිති ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන තෙරණුවෝ තිස්ස බ්‍රහ්මයාගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දිගුකරන්නේ හෝ දිගු කළ අතක් වක් කරන්නේ නම්, එසෙයින් බඹලොව්හි අතුරුදන් වූසේක් ගිජ්ඣකූටයෙහි පැණීගියහ.
ඉක්බිති ආයුෂ්මත් මහාමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තිස්ස බ්‍රහ්ම හා සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී නම්, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැළැකළහ.
මුගලන, තිස්ස බ්‍රහ්ම තෙමේ සත්වන අනිමිත්තවිහාරී (සද්ධානුසාරී) පුද්ගල නො දෙසී යයි.
භාග්‍යවතුන් වහන්ස, තෙල කරුණ පිළිබඳ කාලය වෙයි. සුගතයන් වහන්ස, යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ සත්වන අනිමිත්තවිහාරී පුද්ගලයා දෙසනසේක් නම්, තෙල කරුණට කාලය වෙයි. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්‍ෂූහු ධරන්නාහයි.
මුගලන, එසෙයින් අසව, මැනැවින් මෙනෙහි කරව, කියන්නෙමි’යි, වහන්ස, එ සේ යයි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මුගලන, මේ සස්නෙහි මහණ සර්‍වනිමිත්තයන්ගේ අමනසිකාරයෙන් අනිමිත්ත (බලවත් විදර්‍ශනා) චිත්තසමාධියට එළැඹ වෙසෙයි. එ දෙවියෝ ඔහු මෙසේ හඳුනත්: මෙ ආයුෂ්මත් හැම නිමිති මෙනෙහි නො කිරීමෙන් අනිමිත්තචිත්තසමාධියට පැමිණ වෙසෙයි. මෙ ආයුෂ්මත් අනුලොම් වූ සෙනසුන් ඇසුරුකෙරෙමින් කල්‍යාණමිත්‍රයන් භජනය කෙරෙමින් ඉඳුරන් සමත්‍වයට පමුණුවමින් යම් නිවණක් සඳහා කුලපුත්හු මනාකොට ගිහිගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට වදනාහු නම්, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය පර්‍ය්‍යවසාන කොට ඇති ඒ අනුත්තර නිර්‍වාණය විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ නම් මැනැවැයි.
මුගලන, මෙසේ සඋපාදිසේස පුද්ගල කෙරෙහි හෝ සඋපාදිසේස පුද්ගල යයි ද, අනුපාදිසේස පුද්ගල කෙරෙහි හෝ අනුපාදිසේස පුද්ගල යයි ද, එ දෙවියනට ඥානය වන්නේ යයි.
7. 2. 1. 4.
[සීහසේනාපති සූත්‍රය]
4. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෛශාලි නගර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලාවෙහි වැඩවසනසේක. එකල්හි සීහසේනාපති භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් සීහසේනාපති භාග්‍යවතුන් වහන්සේට තෙල කාරණය සැළකෙළේ ය:
“වහන්ස, සාන්දෘෂ්ටික වූ (තමන් ම දන්නා) දානඵල පැනැවිය හැකිදැ”යි?
(1) “සීහය, එකරුණින් එහි ලා තා ම පුළුවුස්මි, යම් පරිද්දෙකින් තට වැටහේ නම්. එපරිද්දෙන් එ විසඳුව”යි.
සීහය, එ කිමැ’යි හඟිහි ද? මෙ ලෙව්හි පුරුෂයෝ දෙදෙනෙක් වන්නාහ: එක් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරුමල ඇතියේ, තද මසුරුබව ඇතියේ පරිභාෂික (අනුනට ගරහන්නේ) වෙයි. එක් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ දන්දීමෙහි ඇලුනේ වෙයි. සීහය, එ කිමැයි හඟනාව, ශ්‍රද්ධා රහිත වූ මසුරු වූ තදමසුරා වූ පරිභව කොට බෙණෙන යම් පුරුෂයෙක් හෝ වේ ද, ශ්‍රද්ධා ඇති දානපති වූ පුනපුනා දීමෙහි ඇලුනු යම් පුරුෂයෙක් හෝ වේ ද, (සිතින්) අනුකම්පා කරණ රහත්හු (ඔවුනතුරෙන්) කවරක්හට පළමුකොට අනුකම්පා කරන්නාහු දැයි?
වහන්ස, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරුවූයේ පරිභාෂක වේ නම්, අනුකම්පා කරණ රහත්හු ඔහුට කවර හෙයින් පළමු කොට අනුකම්පා කරන්නාහු ද, වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ පුනපුනා දානයෙහි ඇලුනේ නම්, අනුකම්පා කරණ රහත්හු ඔහුට ම පළමු අනුකම්පා තරක්කාහ යි,
(2) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, වෙත පැමිණෙන රහත්හු (ඔවුනතුරෙන්) කවරකු වෙත ප්‍රථමයෙන් එළැඹෙන්නාහු දැයි.
වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, පළමු එළඹෙන රහත්හු කවර හෙයින් ඔහු කරා එළැඹෙන්නාහු ද, වහන්ස, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලුනේ වේ නම්, වෙත එළැඹෙන රහත්හු ඔහු කරා ම පළමු එළැඹෙන්නාහ.
(3) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නොවූයේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක හෝ වේ නම්, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා වූයේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, දන් පිළිගන්නා රහත්හු (ඔවුනතුරෙන්) කවරකුගේ දන් වෙත පළමු පිළිගන්නාහු දැයි.
වහන්ස, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක වේ නම්, දන් පිළිගන්නා රහත්හු කවර හෙයින් ඹහුගේ දන් පළමු පිළිගණිත් ද, වහන්ස, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, දන් පිළිගන්නා රහත්හු පළමු කොට ඹහුගේ ම දන් පිළිගන්නාහ.
(4) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභාෂක හෝ වේ නම්, යම් පුරුෂයෙකුත් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, ධර්‍මදේශනා කරණ රහත්හු උන්ගෙන් කවරකුහට ප්‍රථමයෙන් ධර්‍මය දෙසන්නාහු දැයි.
ස්වාමීනි, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ වේ ද, දහම් දෙසන රහත්හු කවර හෙයින් ඔහුට පළමු දම් දෙසත් ද, ස්වාමීනි, සැදැහැති දානපති වූ අනුප්‍රදානයෙහි ඇලුනු යම් පුරුෂයෙක් වේ නම්, දහම් දෙසන රහත්හු ඔහට මැ පළමු කොට දහම් දෙසත්.
(5) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ වේ ද, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලුනේ වේ ද, (ඔවුනතුරින්) කවරක්හුගේ කලණ කිත් ගොස උස් ව නැගේ ද?
ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ නිගන්නේ නම්, කවර හෙයින් ඔහුගේ කලණ කිත් ගොස උස්ව නැගේ ද? ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ නම්, ඔහුගේ ම කලණ කිත් ගොස උස් ව නැගෙයි.
(6) සීහය, එ කිමැයි හඟනාව, යම් පුරුෂයෙකුත් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වේ ද, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ ද, (ඔවුනතුරෙහි) කැත් පිරිසකට වේවයි බමුණු පිරිසකට වේවයි ගැහැවි පිරිසකට වේවයි මහණ පිරිසකට වේවයි යම් මැ පිරිසකට එළැඹේ නම් කවරෙක් අමඞ්කු වූයේ විශාරද ව එළඹේ ද?
ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදෑ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පරිභව බණන්නේ නම්, කැත් පිරිසට වේවයි බමුණු පිරිසට වේවයි ගැහැවි පිරිසට වේවයි මහණ පිරිසට වේවයි කිම හේ යම් මැ පිරිසක් වෙත මඞ්කු වූයේ විශාරද නො වූයේ එළැඹෙන්නේ ද, ස්වාමීනි, යම් පුරුෂයෙක් ශ්‍රද්ධා ඇතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ ද, හේ කැත් පිරිසට වේවයි බමුණු පිරිසට වේවයි ගැහැවි පිරිසට වේවයි මහණ පිරිසට වේවයි යම් මැ පිරිසකට එළැඹේ නම් අමඞ්කු වූයේ විශාරද වූයේ මැ එළඹෙයි.
(7) සීහය, එ කිමෙකැ යි හඟනාව, යම් පුරුෂයෙක් සැදැහැ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වූයේ නම්, යම් පුරුෂයෙක් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි නියැලියේ වේ නම්, (ඔවුන්ගෙන්) කවරෙක් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණේ ද?
ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදෑ නැතියේ මසුරු වූයේ තදමසුරු වූයේ පාරිභාෂක වූයේ නම්, හේ කවර හෙයෙකින් කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළැඹේ ද, ස්වාමීනි, යම් පුරුෂයෙකුත් සැදැහැතියේ දානපති වූයේ අනුප්‍රදානයෙහි ඇලුනේ වේ නම්, හේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළැඹෙයි.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම්බඳු මේ සාංදෘෂ්ටික වූ දානඵලයෝ සදෙනෙක් වදාරණලදහු නම්, එහි ලා මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැදැහැයෙන් නො එළඹෙමි. මම ද තෙල (දන්පල) දනිමි.
ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. අනුකම්පා කරණ රහත්හු මට ම පළමු අනුකම්පා කරති. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. වෙත එළඹෙන රහත්හු මා වෙත ම පළමු එති. ස්වාමීනි, මම දානපති දායකයෙක්මි. (දන්) පිළිගන්නා රහත්හු මාගේ ම (දන්) පළමු පිළිගණිත්. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. දහම් දෙසන්නාවූ රහත්හු මට ම පළමු දහම් දෙසති. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. මාගේ කලණ කිත්ගොස උස්ව නැඟුනේ වෙයි: ‘සීහසෙනෙවි දායකයෙක, කාරකයෙක, සඞ්ඝෝපස්ථායකයෙකැ’ (කියා) යි. ස්වාමීනි, මම දානපති වූ දායකයෙක්මි. කැත් පිරිසට වේවයි, බමුණු පිරිසට වේවයි, ගැහැවි පිරිසට වේවයි, මහණ පිරිසට වේවයි, යම් මැ පිරිසකට එළැඹෙම් නම්, මම අමඞ්කුවූ (දීන නොවූ) යෙම්, විශාරද (නිර්භීත) වූයෙම් එළැඹෙමි.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම්බඳු වූ මේ සාංදෘෂ්ටික දානඵල සදෙනෙක් දෙසනලදහු නම් මම එහි ලා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැදැහැයෙන් නො යමි. මම ද තෙල (දන්පල) දනිමි.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ “සීහය, දානපති වූ දායකයා කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට එළැඹෙයි” යන යමක් දෙසූසේක් නම් තෙල (කරුණ) මම නො දනිමි. එහි ලා මම භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ සැදැහැයෙන් යමි. (බුද්ධි ප්‍රත්‍යයෙන් නො එළැඹෙමි)
සීහය, තෙල (කරුණ) එසේ මැ යි. සීහය, දානපති වූ දායක තෙමේ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණේ යයි.
7. 2. 1. 5.
[අරක්ඛෙය්‍ය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, තථාගතයන් වහන්සේගේ මෙ අරක්‍ෂණීය (නොරැක්කයුතු) ධර්‍ම සතරෙකි. තුන් කරුණෙකිනුදු තථාගතයෝ අනුපවද්‍යයෝ (වැරදි නො කියයුත්තෝ) වෙත්.
තථාගතයන් වහන්සේගේ අරක්‍ෂණීය කරුණු සතර කවරේ ය යත්:
(1) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ කාය සමාචාර ඇතියහ. “මාගේ මේ කාදුසිරිත අන්‍යයා නො දනීවා” යි යම් කාදුසිරිතක් තථාගතයෝ රක්නාහු නම් එබඳු කායදුශ්චරිතයෙක් තථාගතයනට නැත. (2) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ වාක්සමාචාර ඇතියහ. “මාගේ මේ (වාග්දුශ්චරිතය) අන්‍යයා නහමක් දනීව” යි යම් වාග්දුශ්චරිතයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු වාග්දුශ්චරිතයෙක් තථාගතයනට නැත. (3) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධ මනෝසමාචාර ඇතියහ. “මාගේ මේ මනෝදුශ්චරිතය අන්‍යයා නහමක් දනීව” යි යම් මනෝදුශ්චරිතයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු මනෝදුශ්චරිතයෙක් තථාගතයනට නැත. (4) මහණෙනි, තථාගතයෝ පරිශුද්ධාජීව ඇතියහ. “මාගේ මේ මිථ්‍යාජීවය අන්‍යයා නහමක් දනීවා” යි යම් මිථ්‍යාජීවයක් තථාගතයෝ රක්නාහු නම්, එබඳු මිථ්‍යාජීවයෙක් තථාගතයනට නැත.
මේ තථාගතයන් වහන්සේගේ අරක්‍ෂණීය කරුණු සතර වෙත්.
කවර කරුණු තුණෙකින් අනුපවද්‍යයෝ වෙති යත්:
(1) මහණෙනි, තථාගතයෝ ස්වාඛ්‍යාතධර්‍ම ඇත්තෝ වෙති. මහණෙනි, එහි ලා “මෙකරුණිනුදු මුඹ ස්වාඛ්‍යාතධර්‍ම ඇතියහු නො වෙති” යි ශ්‍රමණයෙක් වේව යි බ්‍රාහ්මණයෙක් වේව යි දෙවියෙක් වේව යි මාරයෙක් වේව යි බ්‍රහ්මයෙක් වේව යි ලොව්හි අන් කිසිවෙක් වේව යි සකාරණ ව එකැතින් පෙරළා මට චෝදනා කරන්නේ ය යන තෙල නිමිත්ත (කරුණ), මහණෙනි, මම බුදුඇසින් නො දක්මි. මහණෙනි, තෙල නිමිත්ත නො දක්නෙම් ක්‍ෂේමප්‍රාප්තයෙම් අභයප්‍රාප්තයෙම් විශාරදභාවයට පැමිණියෙම් වෙසෙමි.
(2) මහණෙනි, යම් පරිදි පිළිපන් මාගේ සව්වෝ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙත් නම්, මා විසින් සව්වනට නිර්‍වණගාමිනීප්‍රතිපද් එබඳු මැනැවින් පණවනලදු. එහි ලා එකැතින් මහණෙක් වේව යි, බමුණෙක් වේව යි, දෙවියෙක් වේව යි, මරෙක් වේව යි, බඹෙක් වේව යි, ලොව්හි අන් කිසිවෙක් වේව යි මට සහධාර්මික කොට පෙරළා චෝදනා කරන්නේ “යම් පරිද්දෙකින් පිළිපන් තථාගතශ්‍රාවකයෝ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්තිය හා ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි ම තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙත් නම්, එපරිදි මුඹ විසින් ශ්‍රාවකයනට නිර්‍වණගාමිනීප්‍රතිපද් මෙ කරුණින් ද මනාකොට නො පණවන ලදු ය”යි කියන්නේ නම්, මහණෙනි, තෙල නිමිත්ත මම බුදු ඇසින් නො දක්මි. මහණෙනි, මෙ නිමිත්ත ද නො දක්නෙම් මම ක්‍ෂේමප්‍රාප්තයෙම් අභයප්‍රාප්තයෙම් වෛශාරද්‍යප්‍රාප්තයෙම් වෙසෙමි.
මහණෙනි, මාගේ අනේකශතශ්‍රාවක පිරිස්හු ඉහාත්මයෙහි ම ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති තුමූ විහිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට පැමිණ වෙසෙත්. එහි ලා “මෙ කරුණෙනුදු මුඹගේ අනේකශත ශ්‍රාවක පිරිස්හු ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති තුමූ ඉහාත්මයෙහි ම විහිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ නො වෙසෙත්” යයි ඒකාන්තයෙන් මට මහණෙක් වේව යි, බමුණෙක් වේව යි, දෙවියෙක් වේව යි, මරෙක් වේව යි, බඹෙක් වේව යි, ලොව්හි අන් කිසිවෙක් වේව යි කරුණු සහිතව ප්‍රතිචෝදනා කරන්නේ ය යන තෙල නිමිත්ත මම නො දක්මි. මහණෙනි, තෙල නිමිත්ත නො දක්නෙම් මම ක්‍ෂේමප්‍රාප්තයෙම් අභයප්‍රාප්තයෙම් වෛශාරද්‍යප්‍රාප්තයෙම් වාසය කරමි.
මෙ කරුණු තුණෙන් තථාගතයෝ අනුපවද්‍යයෝ වෙත්.