Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 10501-10600 න් 15980

බ්‍රාහ්මණය, මෙතෙම අපරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නේ යයි ද මෛථුනසංයෝගයෙන් සංයුක්ත යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ යයි කියනු ලැබේ. වර්ත්තදුක්ඛයෙන් නො මිදේ යයි කියමි.
බ්‍රාහ්මණය, මම යම් තාක් මෙ සප්ත මෛථුන සංයෝගයන් කෙරෙහි තමන් තුළ අප්‍රහීණ යම් ම මෛථුන සංයෝගයන් නුවණින් දිටිම් ද, බ්‍රාහ්මණය, ඒතාක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි, මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙහි “අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමි”යි ප්‍රතිඥා නො ම කෙළෙමි.
බ්‍රාහ්මණය, යම් කලෙක මම මේ සප්තමෛථුනසංයෝගයන් කෙරෙහි තමන් තුළ අප්‍රහීණ යම් මැ මෛථුනසංයෝගයක් නො ම දිටිම් ද, බ්‍රාහ්මණය, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි, මහණබඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව කෙරෙහි “අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කෙළෙමි”යි පිළිණ කෙළෙමි.
මාගේ චිත්තවිමුක්තිය අකෝප්‍ය ය, මෙ අන්තිම ජාතිය යි. දැන් පුනර්‍භවයෙක් නැතැ යි මට ඥානදර්‍ශනය ද උපනැ යි.
මෙසේ වදාළ කල්හි ජාණුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය. මා අද පටන් කොට දිවිහිමියෙන් සරණ ගිය උවසු කොට ධරණසේක්වා යි.
7. 1. 5. 8.
[සංයෝගවිසංයෝග ධම්මපරියාය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
51. මහණෙනි, තොපට සංයෝගවිසංයෝග සාධක වූ ධම්මපර්‍ය්‍යාය දෙසන්නෙමි. එය අසවු ...
මහණෙනි, එ සංයෝගවිසංයෝගධර්‍මපර්‍ය්‍යාය කවරේ ය යත්:
මහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියාව ස්ත්‍රිය පිළිබඳ ආකල්පය ස්ත්‍රියගේ මානවිධාව ස්ත්‍රියගේ ඡන්‍දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්ප පුරුෂවිධා පුරුෂ ඡන්‍ද පුරුෂස්වර පුරුෂාලඞ්කාර මෙනෙහි කරයි. ඕ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. එහි රැඳුනු එහි අභිරත වූ ඕ බැහැරි පිරිමි සංයොග කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙකුත් වේ නම්, එය ද කැමැති වෙයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අභිරත වූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නො ඉක්මවයි.
මහණෙනි, පුරුෂයා ආධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය, පුරුෂක්‍රියාව, පුරුෂාකල්පය, පුරුෂමානවිධාව, පූරුෂාධ්‍යාශයච්ඡන්‍දය, පුරුෂස්වරය (ශබ්දය), පුරුෂාලඞ්කාරය මෙනෙහි කරයි. හේ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. හේ එහි රැඳුනේ එහි අභිරත වූයේ බාහිර ස්ත්‍රීඉන්‍ද්‍රිය, ස්ත්‍රීක්‍රියා, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රීවිධාව, ස්ත්‍රීච්ඡන්‍දය, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි කරයි. හේ එහි රැඳෙයි. එහි අභිරමණය කරයි. හේ එහි රක්ත වූයේ එහි අභිරත වූයේ බාහිර (ස්ත්‍රී සංයෝගය කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයෙන් ඔහට යම්බඳු සුවසොම්නසෙක් වේ නම්, එ ද කැමැති වෙයි. මහණෙනි, පුරුෂත්‍වයෙහි අභිරත වු, සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි සංයෝගයට ගියාහු නම් වෙත්. මහණෙනි, මෙසේ පුරුෂ පුරුෂභාවයට නො ඉක්මවයි.
මහණෙනි, මෙසෙයින් සංයෝගය වෙයි.
මහණෙනි, කෙසේ නම් විසංයෝගය වේ ය යත්:
මහණෙනි, ස්ත්‍රිය ආධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියා, ස්ත්‍රී ආකල්පය, ස්ත්‍රී විධාව, ස්ත්‍රීච්ඡන්‍දය, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලඞ්කාර මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණ නො කරයි. ඕ එහි රක්ත නො වූවා එහි අභිරත නො වූවා බැහැරි පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂවිධාව, පුරුෂච්ඡන්‍දය, පුරුෂශබ්දය, පුරුෂාලඞ්කාරය මෙනෙහි නො කරයි. ඕ එහි නො රැඳෙයි. එහි අභිරමණය නො කරයි. ඕ එහි නො රැඳුනී. එහි අනභිරත වූවා බාහිර සංයෝගය නො කැමැති වෙයි. සංයෝගප්‍රත්‍යයෙන් ඇයට යම්බඳු සුවසොම්නසෙක් වේ නම් එය ද නො පතයි. මහණෙනි, ස්ත්‍රීභාවයෙහි අනභිරත වු සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි විසංයෝගයට ගියහ. මහණෙනි, මෙ සෙයින් ස්ත්‍රී ස්ත්‍රී භාවයට ඉක්මවයි.
මහණෙනි, පුරුෂයා ආධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂවිධාව පුරුෂච්ඡන්‍දය පුරුෂස්වරය පුරුෂාලඞ්කාරය මෙනෙහි නො කරයි. හෙ එහි නො රැඳෙයි. එහි අභිරමණය නො කරයි. හෙ එහි නො රැඳියේ එහි අභිරත නො වූයේ ස්ත්‍රීන්‍ද්‍රිය ස්ත්‍රීක්‍රියා ස්ත්‍රී ආකල්පය ස්ත්‍රී විධාව ස්ත්‍රීච්ඡන්‍දය ස්ත්‍රීස්වරය ස්ත්‍රී අලඞ්කාරය මෙනෙහි නො කරයි. හෙ එහි නො රැඳෙයි. එහි අභිරමණ නො කෙරෙයි. හෙ එහි නො රැඳියේ එහි අනභිරත වූයේ බාහිර සංයෝගය නො පතයි. මහණෙනි, පුරුෂභාවයෙහි අනභිරත වූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි විසංයෝගයට ගියහ. මහණෙනි, මෙසෙයින් පුරුෂයා පුරුෂත්‍වය ඉක්මයෙයි.
මහණෙනි, මෙසෙයින් විසංයෝගය වෙයි.
මහණෙනි, මෙ සංයෝගවිසංයෝග නම් ධර්‍මපර්‍ය්‍යාය යි.
7. 1. 5. 9.
[දානමහප්ඵල සූත්‍රය]
52. එක් සමයෙක්හි භාග්‍යයවතුන් වහන්සේ චම්පා නගරයෙහි ගග්ගරා නම් පොකුණු තෙර වාස කරන්නාහ. එකල්හි බොහෝ චම්පා නගර වැසි උපාසකයෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් චම්පා නගරවාසී උපාසකයෝ ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට තෙල කීහ:
“වහන්ස, ශාරීපුත්‍රයෙනි, අප විසින් භාග්‍යවතුන් වහන්සේ වෙතින් දැහැමි කථායෙක් ඇසූ බොහෝ කලි. වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දැහැමි කථාවක් අසන්නට ලබමෝ නම් මැනැවැ”යි.
ඇවැත්නි, එකරුණෙන් පොහෝලත් එ දවස්හි එව, භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් දැහැමි කථාවක් අසන්නට ලබන්නාහු නම් මැනැවැයි. වහන්ස, එසේ යයි එ චම්පෙය්‍යක උපාසකයෝ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගි ආයුෂ්මත් සැරියුත් තෙරුන් වැඳ පැදකුණු කොට නික්ම ගියහ.
එකල්හි එ චම්පා නගරවැසි උපාසකයෝ පොහෝලත් එදවස්හි ආයුෂ්මත් සැරියුත් තෙරුන් කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් සකසා වැඳ එකත්පස් ව සිට ගත්හ.
එක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ එ චම්පා නගරවැසි උවසුවන් හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සාරිපුත්ත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කළහ:
වහන්ස, මෙ ලොව්හි ඇතැමකු විසින් දෙනලද මහත්ඵල නො වන මහානිසංස නො වන එබඳු (එක් සමාන) දානයෙක් වන්නේ ද, වහන්ස, මෙ ලෙව්හි ඇතැමකු විසින් දෙනලද මහත්ඵල වන මහානිසංස වන එබඳු දානයෙක් ඇත් දැයි.
ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙනලද මහත්ඵල නොවන මහානිසංස නො වන එබඳු දානයෙක් ඇත. ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි, ඇතැම් පුඟුලකු විසින් දෙනලද මහත්ඵල වන මහානිසංස වන එබඳු දානයෙක් ද ඇතැයි.
වහන්ස, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙනලද එබඳු දානයෙක් යම් හෙයකින් මහත්ඵල මහානිසංස නො වන්නේ නම්, ඒ හේතු කවරේ ද, ඒ ප්‍රත්‍යය කවරේ ද? වහන්ස, මෙ ලොව්හි ඇතැම් පුඟුලකු විසින් දෙන ලද එබඳු දානය යම් හෙයෙකින් මහත්ඵල මහානිසංස වේ නම්, ඒ හේතු කවරේ ද, ඒ ප්‍රත්‍යය කවරේ දැ? යි.
(1) ශාරීපුත්‍රයෙනි, මෙ ලොව්හි ඇතැමෙක් සාපේක්‍ෂ (තෘෂ්ණා සහිත) වූයේ දන් දෙයි. විපාකයෙහි පිළිබැඳියේ දන් දෙයි සන්නිධිය පතනුයේ (නිධන් කරණ අදහස් ඇතියේ) දන් දෙයි. ‘මෙය පරලොව්හි දී පරිභෝග කරන්නෙමි’යි දන් දෙයි. හේ ශ්‍රමණයකුට හෝ බ්‍රාහ්මණයකුට හෝ අන්න, පාන, වස්ත්‍ර යාන, මාලාගන්‍ධවිලේපන, සයන, ආවාස හා ප්‍රදීපෝපකරණ යන එබඳු දනක් දෙයි.
සාරිපුත්තයෙනි, එ කිමැයි හඟිවු ද, මෙලොව ඇතැම් පුඟුලෙක් මෙ බඳු දන් දෙන්නේ දැ?යි වහන්ස, එසේ යි.
ශාරීපුත්‍රයෙනි, එහි යම් මෙ පුඟුලෙක් සාපේක්‍ෂ ව දන් දේ නම්, පිළිබඳ සිතැතියේ දන් දේ නම් සන්නිධිය පතනුයේ දන් දේ නම්, ‘මෙය පරලොව්හි පරිභෝග කරමි’යි දන් දේ නම්, හෙ එදන් දී කාබුන් මරණින් මතු සිවුමහරද වැසියන්ගේ සහභාවයට පැමිණෙයි. හෙ එ කර්‍ම (විපාකය) එ ඍද්ධිය එ යශස් ඒ අධිපති බව ගෙවා මේ මිනිසත් බවට එන සුලු වූයේ ආගාමී (හීන) වෙයි.
(2) ශාරීපුත්‍රයෙනි, මෙ ලෙව්හි ඇතැම් පුඟුලෙක් සාපේක්‍ෂ වූයේ දන් නො ම දෙයි. පිළිබඳ සිතැත්තේ දන් නො ම දෙයි. සන්නිධි අපේක්‍ෂා ඇතියේ දන් නො ම දෙයි. ‘මෙය පරලොව්හි දී පරිභෝග කරමි’ දන් නො ම දෙයි. වැලිත් ‘දානය මනා ය’යි දන් දෙයි ...
(3) “දානය මැනැවයි නො ද දන් දෙයි ... වැලිත් මාතා පිතෲන් විසින් ද පිතාමහයන් විසින් ද දෙන ලද විරූ ය. කරණ ලද විරූ ය, පැරැණි කුලවංශයට අයත් සිරිත පිරිහෙළන්නට නො සුදුස්සෙමි”යි දන් දෙයි ...
(4) “පිය මුතුන් විසින් දෙනලදවිරූ ය, කළවිරූ ය, කුලවස් බිඳුනට නො නිස්සෙමි” දන් නො ද දෙයි. වැලිත් “මම අහර පිසමි. මොහු අහර නො පිසත්. පිසනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිසියෙමි”යි දන් දෙයි ...
(5) “මම පිසමි, මොහු නො පිසන්නාහ. පිසුනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිස්සෙමි”යි ද දන් නො දෙයි. වැලිත් අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන එ ප්‍රසිද්ධ පූර්‍වකාලීන ඍෂීන්ගේ මහායඥයෝ යම් පරිදි වූහු නම් එ පරිද්දෙන් මාගේ මෙ දානය ද දානසංවිභාගයෙක් වන්නේ ය යි දන් දෙයි ...
(6) “යම් පරිදි අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගීරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන මෙ බඳු පූර්‍වක වූ එ ප්‍රසිද්ධ ඍෂීන්ගේ මහායඥයෝ වූහු නම්, මාගේ මෙ දානසංවිභාග ද එබඳු වන්නේ ය’යි දන් නො දෙයි. වැලිදු “මෙ දානය දෙන මාගේ චිත්තය ප්‍රසන්න වන්නේ ය, අතත්මනතායෙන් ප්‍රීතිසෞමනස්‍ය ලබන්නේ යයි දන් දෙයි ...
(7) “මෙ දන් දෙන මාගේ චිත්තය පහන් වන්නේ ය, අත්තමනතායෙන් සොම්නස් උපදනේ “යයි දන් නො දෙයි. ‘වැලිත් (සමථ-විපස්සනා චිත්තයට) චිත්තාලඞ්කාරයෙකැයි ද චිත්ත පරිෂ්කාරයෙකැ’යි ද දන් දෙයි. හෙ මහණකුට වේවයි බමුණකුට වේවයි අන්න ය, පාන ය, වස්ත්‍ර ය, යාන ය, මාලාගන්‍ධවිලේපන ය, ශය්‍යාවස්ථ ය ප්‍රදීපෝකරණ යන එ දන් දෙයි.
ශාරිපුත්‍රය, එ කිමැයි හඟිවු ද? මෙලොව්හි ඇතැමෙක් මෙබඳු දන් දෙන්නේ දැ?යි. වහන්ස, එසේ ය.
ශාරීපුත්‍රයෙනි, ඔවුනතුරෙහි යම් මේ පුඟුලෙක් සාපේක්‍ෂ වූයේ දන් නො ම දේ ද - පිළිබඳ සිත් ඇතියේ දන් නො දේ ද - සන්නිධියෙහි අපේක්‍ෂා ඇතියේ දන් නො දේ ද - මෙය පරලොව්හි පිරිබෝ කරමි’යි දන් නො දේ ද - දානය සාධු යැයි දන් නො දේ ද - පියමුතුන් විසින් දෙනලද විරූ ය, කළවිරූ ය, පැරණි කුලවංශය නසන්නට නො නිස්සෙමියි දන් නො දේ ද, - මම පිසමි මොහු නො පිසත්, පිසනුයෙම් නො පිසනුවනට නො දෙන්නට නො නිස්සෙමියි ද දන් නො දේ ද - අට්ටක ය, වාමක ය, වාමදෙව ය, වෙස්සාමිත්ත ය, යමතග්ගි ය, අඞ්ගිරස ය, භාරද්වාජ ය, වාසෙට්ඨ ය, කස්සප ය, භගු ය, යන මේ පූර්‍වක ඍෂීන්ගේ යම්බඳු මහායඥයෝ වූහු නම්, මාගේ මෙ දානය ද එබඳු සංවිභාගයෙක් වන්නේ යයි ද දන් නො දේ ද - මෙ දන් දෙන මාගේ චිත්තය ප්‍රසන්න වන්නේ ය, තුටුසිත සොම්නස් උපදනේ යයි ද දන් නො දේ ද -
එතෙකුදු වුව (සමථවිපස්සනා) චිත්තයට අලඞ්කාර යයි ද චිත්තපරිෂ්කාරයයි ද කියා දන් දේ ද, හෙ එසේ දන් දී කාබුන් මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ සහභාවයට යෙයි. හෙ එ කර්‍ම, එ ඍද්ධි, එ යශස්, එ ආධිපත්‍ය ය ගෙවා මේ මිනිසත් බවට නො එනසුලු වූයේ අනාගාමී වෙයි.
ශාරීපුත්‍රයෙනි, යම් හෙයකින් මෙලොව්හි ඇතැමකු විසින් දෙනලද එබඳු දානයෙක් මහත්ඵල මහානිසංස නොවේ නම්, මෙ එයට හේතු ය මෙ ප්‍රත්‍යය යි.
ශාරීපුත්‍රයෙනි, යම්හෙයකින් මෙලොව්හි ඇතැමකු විසින් දෙනලද එබඳු දානයෙක් මහත්ඵල වේ නම්, මහානිසංස වේ නම්, මෙ එයට හේතු ය, මෙ ප්‍රත්‍යය යි.
7. 1. 5. 10.
[නන්‍දමාතා සූත්‍රය]
53. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ ද ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ද මහ බික්සඟුන් හා සමග දක්‍ෂිණගිරියෙහි සැරිසරන්නාහ. එසමයෙහි වේළුකණ්ටකී නන්‍දමාතා උපාසිකාවෝ රාත්‍රියෙහි පැසිම්යම්හි නැඟී ‘පාරායණධර්‍ම’ය (නිර්‍වාණගාමිමාර්‍ග ධර්‍මය) මධුර ස්වරයෙන් කියන්නාහ.
එසමයෙහි වෙස්සවණ මහරජ කිසියම් කිසෙකින් උතුරුදිගින් දකුණුදිගට යෙයි. වෙස්සවණ මහරජ නන්‍දමාතා උවැසිය විසින් මධුරස්වරයෙන් පාරායණධර්‍මය කියනු ඇසී ය. අසා ධර්‍මකථාපර්‍ය්‍යවසානය බලමින් සිටියේ ය. එක්බිති නන්‍දමාතා උපාසිකාව පාරායණධර්‍මය ස්වරයෙන් කියා තුෂ්ණීම්භූත වූ ය.
එකල්හි වෙසවුණු මහරජ නන්‍දමාතා උපාසිකාවගේ කථාපර්‍ය්‍යවසානය දැන ‘මැනැවි බුහුන, මැනැවි බුහුනැ’යි සතුටින් අනුමෝදන් විය.
භද්‍රමුඛයෙනි, තෙලෙ කවරෙක් දැයි?
“බුහුන, මම තොප බෑ වෙස්සවණ මහරජ වෙමි’යි.
“භද්‍රමුඛයෙනි, එකරුණින් ම මා විසින් යම්බඳු මෙ ධර්‍මපර්‍ය්‍යායෙක් කියනලද නම්, මෙය තොපට අතිථී (අත්තුග) පඬුරක් වේවායි.
“බුහුනනියෙනි, මැනැවැ, තෙල පින ද මට අතිථිපඬුර වේවා: සෙට දවස ප්‍රාතරාස නො කළ සැරියුත්මුගලන් පාමොක් බික්සඟහු වේළුකණ්ටකයට වඩනාහ. එ බික්සඟුන් ද වළඳවා මට දක්‍ෂිණා (පින්) දෙව. මෙ සේ ද මට අතිථිපඬුර වන්නේය යි.
එකල්හි නන්‍දමාතා උපාසිකාවෝ රැය ඇවෑමෙන් සිය නිවෙස්නෙහි ප්‍රණීත ඛාදනීය හා භෝජනීය පිළියෙළ කරවූ ය. එක්බිති උදෑසන බත නො වැළඳූ සැරියුත්මුගලන්පාමොක් බික්සඟහු වේළුකණ්ටක නගරයට වැඩියහ.
එකල්හි නන්‍දමාතා උවැසි එක්තරා පුරුෂයෙකු ඇමතූ ය: එම්බා පුරුෂය එව, තෝ අරමට ගොස් “වහන්ස, ආර්‍ය්‍යා නන්‍දමාතාවගේ නිවෙස්නෙහි බත් නිමවන ලදැ”යි බික්සඟනට දන්වාල යි. එ පුරිස් “එසේය, ආර්‍ය්‍යාවෙනි” යි නන්‍දමාතා උවැසියට පිළිවදන් අස්වා ආරාමයට ගොස් “වහන්ස, ආර්‍ය්‍යා නන්‍දමාතාවගේ නිවෙස්නෙහි බත් නිමවනලදැ”යි භික්‍ෂුසඞ්ඝයාට කල් දැන්වී ය.
එකල්හි ශාරීපුත්‍රමෞද්ගල්‍යායන ප්‍රමුඛ බික්සඟහු පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ නන්‍දමාතා උපාසිකාවගේ නිවෙස්නට වැඩියහ. වැඩ පනවනලද අස්නෙහි හුන්හ.
එකල්හි නන්‍දමාතා උවැසි සැරියුත්මුගලන් පාමොක් බික්සඟුන් ප්‍රණීත ඛාද්‍යයෙන් භෝජ්‍යයෙන් සියතින් සැතැප්වූ ය, පැවරූ ය. එක්බිති නන්‍දමාතා උපාසිකා දන් වැළඳූ පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරුන් වෙත එකත්පස්හි හුනු. එකත්පස්හි හුන් නන්‍දමාතා උවැසියට ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ තෙල වදාළහ.
නන්‍දමාතාවෙනි, තිට බික්සඟුන්ගේ ආගමනය කවරෙක් දැන් වී දැ යි.
වහන්ස, මෙහි මම රෑ පැසිම්යම් යහනින් නැඟී පාරායණසූත්‍රධර්‍මය මධුරස්වරයෙන් කියා තූෂ්ණීම්භූත විමි. වහන්ස, එකල්හි වෙසවුණු මහරජ මාගේ ධර්‍මකථා පර්‍ය්‍යවසානය දැන, බුහුන, මැනැවි, බුහුන මැනැවි’යි සතුටින් අනුමෝදන් විය.
‘භද්‍රමුඛයෙනි, තෙලෙ කවරෙක් දැ’යි. ‘බුහුනනියෙනි, මම තීගේ භ්‍රාතෘ වූ වෛශ්‍රණ මහරජ වෙමි.’
භද්‍රමුඛයෙනි, මැනැව, එකරුණින් ම මා විසින් යම් මෙ ධර්‍මපර්‍ය්‍යායෙක් කියනලද නම්, මෙය තොපට අතිථිපඬුර වේවයි. බුහුනනියෙනි මැනැව, තෙල ද මට අතිථිපඬුර වේවා: සෙට දවස සැරියුත් මුගලන් පාමොක් බික්සඟහු නො කළ උදෑසන බොජුන් ඇතියාහු වේළුකණ්ටකයට වඩනාහ. එ බික්සඟුනුදු වළඳවා මට දක්‍ෂිණා (පින්) දෙව, තෙල ද මට අතිථිපඬුර වන්නේ ය යි. වහන්ස, “මෙ දන්හි යම් පුණ්‍යයෙක් වේ නම් එ ම වෙසවුණු මහරජුට සුව පිණිස වේවා”යි.
(1) නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි. නන්‍දමාතාවෙනි, අද්භූත යි. යම් හෙයෙකින් මෙ බඳු මහත් ඍද්ධි ඇති, මෙ බඳු මහේශාක්‍ය වූ දෙව්පුත්වන වෙසවුණු මහරජ සමහත් හමුයෙහි සංලාප කෙරෙති යන මෙය අද්භූත යි.
(2) වහන්ස, තෙල කරුණ ම මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය ධර්‍මයෙක් ඇත:
වහන්ස, මෙහි මට ප්‍රිය වූ මනවඩන්නා වූ නන්‍ද නම් වූ එක ම පුතෙක් විය. රජහු කිසියම් කරුණක් නිමිති කොට ඔහු බලහත්කාරයෙන් හැද මැඩ දිවියෙන් තොර කළහ. වහන්ස, එ දරු අල්ලාගත් කල්හි හෝ අල්ලා ගණුලබන කල්හි හෝ දඟගෙහි බඳනාලද කල්හි හෝ වධයට පත් කරණු ලබන කල්හි හෝ නසනලද කල්හි හෝ නසනුලබන කල්හි මාගේ චිත්තයාගේ අන්‍යථාත්‍වයෙක් (වෙනසක් වූ බවක්) නො ම දනිමි යි.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි. නන්‍දමාතාවෙනි, අද්භූත යි. නන්‍දමාතාවෙනි, යම් කරුණෙක්හි වනාහි චිත්තෝත්පාද ය ද පිරිසුදු කරන්නේ ය යන මෙය අද්භූත යි.
(3) වහන්ස, තෙල මතු ම මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො වේ. මගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත.
වහන්ස, මෙහි මාගේ හිමි කලුරිය කෙළේ අන්‍යතර යක්‍ෂයෝනියෙක්හි උපන. හේ එ පළමු අත් බැවින් (ස්වරූපයෙන්) ම මට තමා දක්වන්නේ ය. වහන්ස, එ හේතුයෙන් මම චිත්තයාගේ අන්‍යථාත්‍වයක් නො ම දන්මි යි.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි. නන්‍දමාතාවෙනි, අද්භූත යි. නන්‍දමාතාවෙනි, යම් කරුණෙක්හි වනාහි චිත්තෝත්පාද ය ද පිරිසුදු කරන්නේ ය යන මෙය අද්භූත යි.
(4) වහන්ස, මාගේ මෙ මතු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
වහන්ස, ලදරු වූ ම හිමිහු විසින් යම් කලෙක ලදරු වූ ම මා ආවාහ වශයෙන් ගෙණ එනලද්දී සිතිනුදු සැමියා ඉක්ම අනෙකකු පැතුවා නො දන්මි, කයින් වනාහි කවර නම් කථායෙක් දැයි.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය ය නන්‍දමාතාවෙනි, අද්භූත ය නන්‍දමාතාවෙනි, යම්කරුණෙක්හි චිත්තෝත්පාදමාත්‍රය පවා පිරිසිදු කරන්නේ ය යන මෙය අද්භූත යි.
(5) වහන්ස, මාගේ තෙල මතු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො ම වෙයි. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
වහන්ස, මම යම්කලෙක පිළින කළ උපාසිකා වූම් නම් කිසිදු සිකපදයක් දැන දැන මැඩුවා නො ම දන්මි යි.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි නන්‍දමාතාවෙනි, අද්භූත යි.
(6) වහන්ස, මෙ මතු මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය නො වේ මැ යි. අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
වහන්ස, මම මේ බුදුසස්නෙහි කාමයන්ගෙන් වෙන් ව ම අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම යම්තාක් කැමැති යෙම් නම් (ඒතාක්) සවිතර්‍ක වූ සවිචාර වූ විවේකයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ප්‍රථමධ්‍යානයට එළඹ වෙසෙමි. විතර්‍ක විචාරයන්ගේ ව්‍යපශමයෙන් අධ්‍යාත්මයෙහි මනා පැහැදීම ඇති, චිත්තයාගේ එකඟබව ඇති විතර්‍ක රහිත විචාර රහිත ප්‍රථමධ්‍යානයෙන් උපන් ප්‍රීති හා සුඛ ඇති ද්විතීය ධ්‍යානයට එළඹ වෙසෙමි. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇති ව ස්මෘති ඇති ව සම්‍යක් ප්‍රඥා ඇති ව වෙසෙමි. සුඛය ද නාමකායෙන් විඳිමි. යමකු ගෙණ ආර්‍ය්‍යයෝ උපේක්‍ෂා ඇතියේ ස්මෘතිමත් වූයේ සුඛවිහාර ඇතියේ යයි කියත් නම් එ තෘතීය ධ්‍යානයට එළඹ වසමි. සුඛයාගේත් ප්‍රහාණයෙන් දුඃඛයාගේත් ප්‍රහාණයෙන් පූර්‍වයෙහි ම සොම්නස් දොම්නසුන්ගේ අස්තගමයෙන් දුක් නො වූ සැප නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධි ඇති චතුර්‍ත්‍ථ ධ්‍යානයට එළඹ වෙසෙමි.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි, නන්‍දමාතාවෙනි, අද්භූත යි.
(7) වහන්ස, මාගේ ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මය තෙල මතු නො වේ. මාගේ අනෙකුදු ආශ්චර්‍ය්‍ය අද්භූත ධර්‍මයෙක් ඇත:
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද යම්බඳු මේ පඤ්චෝරම්භාගිය සංයෝජන කෙනෙක් වෙත් නම්, මම ඔවුන්ගෙන් තමා තුළ අප්‍රහීණ වූ කිසිදු සංයොජනයක් නො දක්මි යී.
නන්‍දමාතාවෙනි, ආශ්චර්‍ය්‍ය යි, නන්‍දමාතාවෙනි, අද්භූත යි.
එක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ නන්‍දමාතා උපාසිකාව ධාර්මික කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා මොනොවට පහන් කරවා තෙද ගන්වා මොනොවට පහන් කරවා හුනස්නෙන් නැඟී වැඩියහ යි.
නන්‍දමාතා සූත්‍රය දසවැනි යි.
මහායඤ්ඤවර්‍ගය පස්වැනි යි.
එහි උද්දානය:
විඤ්ඤාණට්ඨිති සූත්‍රය, සමාධිපරික්ඛාර සූත්‍රය, අග්ගි සූත්‍රය, මහායඤ්ඤ සූත්‍රය, සඤ්ඤා සූත්‍ර දෙක ය, මෙථූන සූත්‍රය, සංයොග සූත්‍රය, දානමහත්ඵල සූත්‍රය, නන්‍දමාතු සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.
ප්‍රථම පණ්ණාසකය නිමි.
2. දෙවැනි පණ්ණාසකය
1. අව්‍යාකත වර්‍ගය
7. 2. 1. 1.
[අව්‍යාකතවත්‍ථු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. එකල්හි අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හින. එකත්පස්හි හුන් එ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී ය:
වහන්ස, යම් කරුණෙකින් (ඒකාංශව්‍යාකරණාදී විසින්) අව්‍යාකෘත වස්තූන් කෙරෙහි ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවකහට විචිකිත්සා නූපදනේ නම්, එයට හේතු කවරේද, ප්‍රත්‍යය කවරේ දැයි.
මහණ, දෘෂ්ටිනිරෝධහේතුයෙන් ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක හට අව්‍යාකෘත වස්තූන් කෙරෙහි විචිකිත්සා නූපදනේ ය.
මහණ, මරණින් මතු තථාගත (සත්ත්‍ව) වන්නේ ය යන තෙල කරුණ මිථ්‍යාදෘෂ්ටිමාත්‍රයක. මහණ, මරණින් මතු තථාගත (සත්ත්‍ව උපත් විසින්) නොවන්නේ යන තෙල කරුණ මිථ්‍යාදෘෂ්ටිමාත්‍රයක. මහණ, මරණින් මතු තථාගත වෙයි, නොවෙයි යන තෙල කරුණ දෘෂ්ටිගතයෙකි. මහණ, මරණින් මතු තථාගත නො මැ වෙයි, නො වන්නේ නො වෙයි යන තෙල කරුණ මිථ්‍යාදෘෂ්ටිමාත්‍රයකි.
මහණ, අශ්‍රැතවත් පෘථග්ජන දෘෂ්ටිය නො ම දන්නේ ය. දෘෂ්ටිසමුදය නො ම දන්නේ ය. දෘෂ්ටිනිරෝධය නො ම දන්නේ ය. දෘෂ්ටිනිරෝධගාමනී ප්‍රතිපද් නො ම දන්නේ ය. ඔහුගේ එ දෘෂ්ටිය ප්‍රකර්‍ෂයෙන් වැඩෙයි. හෙ ජාතියෙනුදු ජරාමරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු උපායාසයෙනුදු නො මිදෙයි. වෘත්‍තදුඃඛයෙන් නො මිදේ යයි කියමි.
මහණ, ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක දෘෂ්ටිය දන්නේ ය, දෘෂ්ටිසමුදය දන්නේ ය, දෘෂ්ටිනිරෝධය දන්නේ ය, දෘෂ්ටිනිරෝධගාමිනීප්‍රතිපද් දන්නේ ය. ඔහුගේ එ දෘෂ්ටිය නිරුද්ධ වෙයි. හෙ ජාතියෙනුදු ජරාමරණිනුදු ශෝකයෙනුදු පරිදේවයෙනුදු දුකිනුදු උපායාසයෙනුදු මිදෙයි. වෘත්‍තදුඃඛයෙන් මිදේ යයි කියමි.
මහණ, මෙසෙයින් දන්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ දක්නේ “තථාගත මරණින් මතු උපත් විසින් වන්නේ” ය යි ද නො පවසන්නේ ය. “තථාගත මරණින් මතු නො වන්නේ” ය යි ද නො පවසන්නේ ය. “තථාගත මරණින් මතු වන්නේ ය, නො ද වන්නේ ය” යි ද ප්‍රකාශ නො කෙරෙයි. “තථාගත මරණින් මතු නො මැ වන්නේ ය, නො වන්නේ නො වේ” ය යි ද ප්‍රකාශ නො කෙරෙයි. මහණ, මෙ සෙයින් අරිසවු දන්නේ මෙසේ දක්නේ අව්‍යාකෘත වස්තූන් කෙරෙහි අව්‍යාකරණ ස්වභාව ඇතියේ වෙයි.
මහණ, මෙසෙයින් දන්නේ ශ්‍රැතවත් අරීසවු මෙසේ දක්නේ අව්‍යාකෘත වස්තූන්හි නො තැතිගන්නේ ය, කම්පිත නොවන්නේ ය, නො සැලෙන්නේ ය, නො වෙවුලන්නේ ය, සන්ත්‍රාසයට නො පැමිණෙන්නේ ය.
මහණ, තථාගත මරණින් මතු වන්නේ ය යන තෙල දෘෂ්ටි තෘෂ්ණායෙක, තෙල දෘෂ්ටි සංඥායෙක, තෙල දෘෂ්ටි මඤ්ඤිතයෙක, තෙල දෘෂ්ටි ප්‍රපඤ්චිතයෙක, තෙල දෘෂ්ටි උපාදානගතයෙක, තෙල විප්‍රතිසාරයෙකි.
මහණ, මරණින් මතු තථාගත නො වෙයි යන ... තෙල විප්‍රතිසාරයෙකි. මහණ, තථාගත මරණින් මතු වෙයි නො ද වෙයි යන ... තෙල විප්‍රතිසාරයෙකි. මහණ, තථාගත මරණින් මතු නො ම වන්නේ ය නො වන්නේ නො වේ ය යන ... තෙල විප්‍රතිසාරයෙකි.
මහණ, අශ්‍රැතවත් පෘථග්ජන විප්‍රතිසාරය නො දන්නේ ය. විප්‍රතිසාරසමුදය නො දන්නේ ය. විප්‍රතිසාරනිරෝධය නො දන්නේ ය, විප්‍රතිසාරනිරෝධගාමිනීප්‍රතිපද් නො දන්නේ ය. ඔහුගේ එ විප්‍රතිසාරය වැඩෙයි. හෙ ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකෙන් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ, සසරදුකින් නොමිදේ යයි කියමි.