[මහායඤ්ඤ සූත්‍රය]
47. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරණසේක. එ සමයෙහි උග්ගතසරීර බ්‍රාහ්මණයාගේ මහායඥය (යාගයක්) එළැඹියේ ය. යඥය සඳහා පන්සියයක් වෘෂභයෝ යඥයූපය (යාගස්තම්භය) වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරයෝ (වස්සෝ) යඥයූපය වෙත එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් වත්සතරීහු (වැස්සියෝ) යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් එළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්. යඥය සඳහා පන්සියක් තිරෙළුවෝ යඥයූපය කරා එළවනලද වෙත්.
එකල්හි උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්හි හින. එකත්පසෙක හුන් උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය:
“භවද් ගෞතමයන් වහන්ස, (යඥ සඳහා) මඞ්ගලාග්නිය ගැණුම (මගුල් ගිනි දැල්වීම) ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල වෙයි, මහඅනුසස් ඇති වෙයි යන තෙල කරුණ මා විසින් අසනලදැ” යි.
බ්‍රාහ්මණය, මා විසිනුදු “යාගාග්නිය ගැණුම ද යාගස්තම්භය නැංවීම ද මහත්ඵල ඇතියේ ය, මහඅනුසස් ඇතියේ ය” යන තෙල කරුණ අසන ලදැයි වදාළහ.
දෙවන වට දු ... තෙවන වටදු උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය: “භවද් ගෞතමයන් වහන්ස, යාගාග්නිය ගැණුම යඥස්තම්භය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් අසන ලදැ යි. “බ්‍රාහ්මණය, යාගාග්නිය ගැණුම යඥයූපය නැංවීම මහත්ඵල මහානිසංස වේ”යි තෙල කරුණ මා විසින් ද අසන ලදැ යි වදාළහ. භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද අපගේ යම් මේ ශ්‍රැතයෙක් වේ ද මෙ හැමලෙසින් සම වේ යයි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ උග්ගතසරීර බමුණුහට තෙල කීහ: බ්‍රාහ්මණය, “භවත් ගෞතමයන් වහන්ස, යඥග්නිය ගැණුම ද යඥයූප නැංවීම ද මහත්ඵල වේ, මහානිසංස වේ යන තෙල මා විසින් අසනලදැ”යි මෙසෙයින් තථාගතයන් වහන්සේ පිළිවිසිය යුතු නො වෙති.
බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ මෙසේ පිළිවිසිය යුතු වෙති: “වහන්ස, මම යඥ පිණිස ගිනි දල්වනු කැමැතියෙමි, යඥස්තම්භ නංවනු කැමැතියෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ඔවදන් කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට අනුශාසනා කරණ සේක්වා. යම් හෙයෙකින් එ මට දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වේ නම්, එසෙයිනැ”යි.
එකල්හි උග්ගතසරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය: “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි යඥාග්නිය දල්වනු කැමැතියෙමි, යඥස්තම්භ ඔසවනු කැමතියෙමි. භවත් ගෞතමයන් වහන්සේ මට යමක් දීර්‍ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වන්නේ නම් එපරිදි මට අවවාද කරණසේක්වා, භගවත් ගෞතමයන් වහන්සේ මට අනුශාසනා කරණ සේක්වා”යි.
බ්‍රාහ්මණය, යඥ සඳහා අග්නිය දල්වනුයේ යඥ සඳහා ටැම් ඔසවනුයේ යඥයට පළමු ම අකුසල් වූ දුක් උපදවන්නා වූ දුක්විපාක ඇති ශස්ත්‍ර තුණක් ඔසවන්නේ ය. කවර තුණෙක යත්:
කායශස්ත්‍රය, වාක්ශස්ත්‍රය, මනඃශස්ත්‍රය යි.
බ්‍රාහ්මණය, යඥයට අග්නිය දල්වනුයේ යඥයට යූප ඔසවනුයේ යඥයට පළමු ම “යඥ පිණිස මෙතෙක් වෘෂභයෝ නසනු ලබත්වා, යඥ පිණිස මෙතෙක් වත්සතරයෝ නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් වත්සතරීහු නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් එළුවෝ නසනු ලබත් වා, යඥ පිණිස මෙතෙක් තිරෙළුවෝ නසනු ලබත්වා”යි මෙසේ සිත උපදවන්නේ ය. හෙ ‘පුණ්‍ය කරමැ’යි අපුණ්‍ය කරයි. ‘කුශල් කරමි’යි අකුශල් කරයි. ‘සුගති මාර්‍ගය සොයමි’යි දුර්‍ගති මාර්‍ගය සොයයි. බ්‍රාහ්මණය, යඥයට අග්නි දල්වන්නේ යඥයට ටැම් ඔසවන්නේ යඥයෙන් පූර්‍වයෙහි ම මෙ අකුශල වූ දුක් උපදවන දුඃඛවිපාක ඇති ප්‍රථම මනඃශස්ත්‍රය ඔසවන්නේ ය.
තවද බ්‍රාහ්මණය, යඥයට අග්නි දල්වනුයේ යඥයට ටැම් ඔසවනුයේ යඥයට පූර්‍වයෙහි ම මෙබඳු බස් කියන්නේ ය: “යඥයට මෙතෙක් වෘෂභයෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් වත්සතරයෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් වත්සතරීහු නසනු ලබත්වා. යඥයට මෙතෙක් එළුවෝ නසනු ලබත්වා, යඥයට මෙතෙක් තිරෙළුවෝ නසනු ලබත්වා”යි. හෙ ‘පුණ්‍ය කරමි’යි අපුණ්‍ය කරයි. ‘කුසල් කරමි’යි අකුසල් කරයි. ‘සුගතිමග සොයමි’යි දුගතිමග ම සොයයි. බ්‍රාහ්මණය, යාගය සඳහා අග්නි දල්වනුයේ යාගය සඳහා ටැම් ඔසවනුයේ යඥයෙන් පූර්‍වයෙහි ම අකුසල් වූ දුක් උපදවන දුක් උපදවන විපාක ඇති මෙ දෙවන වාක්ශස්ත්‍රය ඔසවන්නේ ය.
තවද බමුණ, යාග පිණිස ගිනි එළවනුයේ යාගස්තම්භ නඟනුයේ යාගයට පෙර ම තෙමේ පළමු කොට යාග පිණිස වෘෂභයන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස වස්සන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස වැස්සන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස එළුවන් නසන්නට අරඹයි. තෙමේ පළමු කොට යාග පිණිස තිරෙළුවන් නසන්නට අරඹා යයි.
හේ ‘පුණ්‍ය කරමැ’යි අපුණ්‍ය කරයි. ‘කුසල් කරමි’යි අකුසල් කරයි. ‘සුගති මාර්‍ගය සොයමි’යි දුගති මාර්‍ගය සොයයි. බමුණ, යඥයට ගිනි එළවන්නේ ටැම් ඔසොවන්නේ යඥයට පූර්‍වයෙහි ම අකුශල වූ දුක් උපදවන දුඃඛ විපාක ඇති මෙ තෙවන කායශස්ත්‍රය ඔසොවයි.
බ්‍රාහ්මණය, යඥයට අග්නිය එළවන්නේ, ස්තම්භ ඔසොවනුයේ යඥයට පූර්‍වයෙහි ම අකුසල වූ දුක් උපදවන්නා වූ දුඃඛ විපාක ඇති මෙ තුන් ශස්ත්‍ර ඔසොවයි.
බ්‍රාහ්මණය, මෙ තුන්ගිනි හළ යුතු ය, දුරලියයුතුය, නො සෙවිය යුතු ය. කවර තුණෙක යත්:
රාගාග්නිය, ද්වේෂාග්නිය, මොහාග්නිය යි.
බ්‍රාහ්මණය, කවර හෙයින් රාගාග්නිය හළයුතු ය, දුරලියුතු ය, නො සෙවිය යුතු ය යත්:
බ්‍රාහ්මණය, රාගයෙන් රක්ත වූයේ මැඩුනේ රාගයෙන් වටා ගන්නාලද සිත් ඇතියේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. හෙ කයින් දුශ්චරිත කොට වචනයෙන් දුශ්චරිත කොට මනසින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ නපුරු ගති ඇති, විවශ ව පතිත වන නිරයට පැමිණෙයි. එ හෙයින් මෙ රාගාග්නිය හළ යුතු, දුරලිය යුතු, නො සෙවිය යුතු.
බ්‍රාහ්මණය, කවර හෙයින් ද්වේෂාග්නිය ... මෝහාග්නිය හළ යුතු ය. දුරලියයුතු ය, නො සෙවිය යුතු ය යත්: බ්‍රාහ්මණය, මෝහයෙන් මුළා වූයේ අභිභූත වූයේ වටා ගණු ලැබූ සිත් ඇතියේ කයින් දුශ්චරිත කරයි. වචනයෙන් දුශ්චරිත කරයි. මනසින් දුශ්චරිත කරයි. හෙ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට, මනසින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙයි. එහෙයින් මෙ මොහාග්නිය හළ යුතු ය, දුරලිය යුතු ය, නොසෙවිය යුතු ය.
බ්‍රාහ්මණය, මෙ තුන් ගිනි පැහිය යුතු, දුරලිය යුතු, නො සෙවිය යුතු යි.
බ්‍රාහ්මණය, මෙ තුන් ගිනි සත්කාර කොට ගුරු කොට, බුහුමන් කොට පූජා කොට මැනැවින් සුවසේ පරිහරණය කට යුතු ය. කවර තුණෙක යත්:
ආහුනෙය්‍යග්ගි ය, ගහපතග්ගි ය, දක්ඛිණ්‍යෙග්ගි යි.
බ්‍රාහ්මණය, ආහුනෙය්‍යග්ගී කවරේ ය යත්: බ්‍රාහ්මණය, මෙ ලොව්හි යමකුට මව යි හෝ පියා යි හෝ යම් එ කෙනෙක් වෙත් නම්, බ්‍රාහ්මණය, මෙ ආහුනෙය්‍යග්ගි ය යි කියනු ලැබේ. ඒ කවර හෙයින් යත්: බ්‍රාහ්මණය, මෙ පුද්ගල මෙ දෙමාපියන් ගෙන් ආයේ ය, උපන්නේ ය. එහෙයින් මෙ ආහුනෙය්‍යග්ගිය සත්කාර කොට, ගුරු කොට, බුහුමන් කොට, පූජා කොට මැනැවින් සුවසේ පරිහරණය කට යුතු යි.
බ්‍රාහ්මණය, ගෘහපති අග්නිය කවරේ ය යත්: බ්‍රාහ්මණය, මෙ ලොව්හි යම් පුඟුලකුගේ ‘පුත්‍රයහ’යි හෝ ‘අඹුහ’යි හෝ ‘දාසයහ’යි හෝ ‘ප්‍රෙශ්‍යයහ’යි හෝ ‘කර්‍මකරයහ’යි හෝ එබඳු යම් කෙනෙක් වෙත් නම්, බ්‍රාහ්මණය, මෙ ගෘහපති අග්නි යි කියනු ලැබේ. එහෙයින් මෙ ගෘහපතිඅග්නිය සත්කාර කොට ගුරු කොට, බුහුමන් කොට පුදා මැනැවින් සුවයෙන් පරිහරණ කටයුත්තේ ය.
බ්‍රාහ්මණය, දක්‍ෂිණාර්‍හ අග්නි කවරේ ය යත්: බ්‍රාහ්මණය, මෙ ලොව්හි මදපමා දෙකින් ප්‍රතිවිරත වූ ක්‍ෂාන්තියෙහි හා සුරතභාවයෙහි වැදගත් යම් කෙනෙක් ඒකමාත්‍රචිත්තය දමනය කෙරෙත් ද, ඒකමාත්‍රචිත්තය ශමනය කරත් ද, ඒකමාත්‍රචිත්තය පිරිනිවත් ද, බ්‍රාහ්මණය, මෙ දක්‍ෂිණාර්‍හ අග්නි යි කියනු ලැබේ. එහෙයින් මෙ දක්‍ෂිණාර්‍හ අග්නිය සත්කාර කොට ගුරුකාර කොට බුහුමන් කොට පුද කොට මනාසුඛයෙන් පරිහරණ කටයුත්තේ ය.
බ්‍රාහ්මණය, මෙ අග්නි තුණ සත්කාර කොට, ගුරුකාර කොට, බුහුමන් කොට පුද කොට මනා ලෙස සුවසේ පරිහරණය කටයුතු ය.
බ්‍රාහ්මණය, මෙ කාෂ්ටාග්නිය කලින් කල දැල්විය යුතු ය. කලින් කල අධ්‍යුපේක්‍ෂා කටයුතු ය. කලින් කල නිර්‍වාපණ කට යුතු ය. කලින් කල නික්‍ෂේප කටයුතු ය යි.
මෙසේ වදාළ කල්හි උග්ගතශරීර බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: භවද් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි, භවද් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි, භවද් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණගිය උවසුවකු කොට මා ධරණ සේක්වා යි.
භවත් ගෞතමයන් වහන්ස, මම ඒ තෙල පන්සියක් වෘෂභයන් මුදමි, ජීවිතය දෙමි. පන්සියක් වත්සතරයන් මුදමි, දිවි දෙමි. පන්සියක් එළුවන් මුදමි, දිවි දෙමි. පන්සියක් තිරෙළුවන් මුදමි, දිවිදෙමි. ඔහු නිල් තණ ද කත්‍වා, සිහිල් පැන් ද බොත්වා, ඔවුනට සිහිල් වාතය ද හමාවා යි.
7. 1. 5. 5.
[සඞ්ඛිත්තසත්තසඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
48. මහණෙනි, මෙ සත් සංඥාවෝ භාවිත වූවාහු බහුලීකෘත වූවාහු මහත්ඵල ඇත්තාහු මහානෘශංස ඇත්තාහු වෙති. නිවණට බැසගත්තාහු නිවණ පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර සත් දෙනෙක යත්:
අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සර්‍වලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිත්‍යයෙහි දුක්ඛ සඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා යි.
මහණෙනි, භාවිත බහුලීකෘත මෙ සත් සංඥාවෝ මහත්ඵල ඇත්තාහු මහානිසංස ඇත්තාහු අමෘතාවගධ අමෘතපර්‍ය්‍යවසාන වෙත් යි.
7. 1. 5. 6.
[විත්‍ථතසත්තසඤ්ඤා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
49. මහණෙනි, මෙ සත් සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානිසංස ඇත්තාහු අමෘතවගාහ වූවාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇතියාහු වෙත්. කවර සත් දෙනෙක යත්:
අසුභසඤ්ඤා ය, මරණසඤ්ඤා ය, ආහාරයෙහි පටික්කූලසඤ්ඤා ය, සබ්බලෝකයෙහි අනභිරතසඤ්ඤා ය, අනිච්චසඤ්ඤා ය, අනිච්චයෙහි දුක්ඛසඤ්ඤා ය, දුක්ඛයෙහි අනත්තසඤ්ඤා යි.
මහණෙනි, මෙ සප්ත සංඥාවෝ භාවිත බහුලීකෘත වූවාහු, මහත්ඵල මහානිශංස ඇතියාහු අමෘතවගාහ වූවාහු අමෘතපර්‍ය්‍යවසාන වූවාහු වෙතැයි.
(1) මහණෙනි, ‘අසුභසංඥා භාවිත වූවා, බහුලීකෘත වූවා මහත්ඵල වෙයි, මහානිශංස වෙයි, අමෘතාවගධ (අමෘතයට පිහිට) වෙයි, අමෘතපර්‍ය්‍යාවසාන වෙයි,’ යන යමක් කියනලද නම් තෙලෙ කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
මහණෙනි, අශුභසංඥායෙහි පරිචිත (පුරුදු) චිත්තයෙන් බහුල කොට වෙසෙන භික්‍ෂුහුගේ චිත්තය මෙවුන්දම් සමවතින් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
මහණෙනි, කුකුළුපියාපතක් හෝ නහරකඩක් හෝ ගින්නෙහි බහාලන ලදුයේ යම් සෙයින් සැඟැවේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඍජුව නො යේ ද, මහණෙනි, එසෙයින් ම අශුභයෙහි පරිචිත වූ චිත්තයෙන් බහුල කොට වාස කරණ මහණහුගේ චිත්තය මෛථුනධර්‍ම සමාපත්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්‍ෂාව හෝ පිළිකුල්බව හෝ පිහිටනේ ය.
මහණෙනි, ඉදින් අශුභ සංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනසමාපත්තියෙහි අනුගතව පවතී නම්, ප්‍රතිකූලතාව හෝ නො සිටුනේ නම්, මහණෙනි, “මා විසින් අශුභසංඥා නො වඩනාලදු, පෙර නොවැඩූ කල්හි සෙයින් අශුභසංඥා වැඩූ පසුකල්හිදු විශේෂ (ලාභ) යෙක් මට නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැ”යි එ භික්‍ෂුහු විසින් තෙල කරුණ දත යුතුයි. මෙසෙයින් එ කරුණෙහි ලා (හේ) මනා පැණැතියේ වන්නේ ය.
මහණෙනි, ඉදින් අශුභසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනධර්‍ම සමාපත්තියෙන් සැඟැවේ නම් හැකිළේ නම්, පෙරළේ නම්, ඉදු ව නො යේ නම්, උපේක්‍ෂාව හෝ පිළිකුල්බව හෝ සිටුනේ නම්, මහණෙනි, “මා විසින් අශුභසංඥා වඩනා ලදු, මට පෙරැට (භාවනා නො වැඩූ කලට) වැඩි විශේෂයෙක් වැඩූ පසුකල්හි ඇත, මට භාවනාවෙහි ඵල ඇතැ”යි එ භික්‍ෂුහු විසින් දත යුතු යි. මෙසේ එ කරුණෙහි ලා මනාකොට දන්නේ වෙයි.
මහණෙනි, “භාවිත වූ බහුලීකෘත වූ අශුභසංඥා මහත්ඵල වේ, මහානිශංස වේ, අමෘතොගධ අමෘතපර්‍ය්‍යාවසාන වේ” යයි යමක් කියන ලද නම්, තෙල මෙ සඳහා කියන ලදි.
(2) මහණෙනි, “භාවිත වූ බහුලීකෘත වූ මරණසංඥා මහත්ඵල මහානිශංස වෙයි, අමෘතොගධ අමෘතපර්‍ය්‍යවසාන වේ”යයි මෙසේ යමක් කියනලද නම්, තෙල කරුණ කවර කරුණක් පිණිස කියනලද ය යත්:
මහණෙනි, මරණසංඥායෙහි පරචීත සිතින් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලභාවය හෝ සිටුනේ ය.
මහණෙනි, කුකුළු පියාපතක් හෝ නහරකැබැල්ලක් හෝ ගින්නෙහි බහනලදුයේ යම් පරිදි සැඟැවේ ද, හැකිළේ ද, පෙරළී යේ ද, ඉදු ව නො යේ ද, මහණෙනි, එ පරිදි ම මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ සිත ජිවිතනිකාන්තියෙන් සැඟැවෙයි, හැකිළෙයි, පෙරළී යයි, ඉදුව නො යෙයි. උපේක්‍ෂාව හෝ පිළිකුල්බව හො පිහිටනේ ය.
මහණෙනි, ඉදින් මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙහි (ජීවිතාශාවෙහි) අනුගතව පවත්නේ නම්, අප්‍රතිකූලතාව හො පිහිටනේ නම්, මහණෙනි, “මා විසින් මරණසංඥා නො වඩනලදු, මට පෙරට වැඩි අපරකාලයෙහි වූ විශේෂයෙක් නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැ”යි යන තෙල කරුණ එ මහණහු විසින් දතයුතු මෙසෙයින් එහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
මහණෙනි, ඉදින් මරණසංඥායෙහි පරිචිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය ජීවිතනික්කාන්තියෙන් සැඟවේ නම්, හැකිළේ නම්, පෙරළේ නම්, ඉදු ව නො යේ නම්, උපේක්‍ෂාව හෝ පිළිකුල්බව හෝ පිහිටා නම්, මහණෙනි, “මා විසින් මරණසංඥා වඩනලදු, පෙර අභාවිත කාලයට වැඩි වූ විශේෂයෙක් භාවිත වූ අපරකාලයෙහි මට ඇත. මට භාවනාඵලය ඇතැ”යි යන තෙල කරුණ භික්‍ෂුහු විසින් දත යුතුයි. මෙසෙයින් හෙ මෙ කරුණෙහි ලා මනාකොට දන්නේ වෙයි.
මහණෙනි, භාවිත බහුලීකෘත මරණසංඥා මහත්ඵල මහානිශංස, අමතෝගධ අමතපරියොසාන වේ යයි යමක් මෙසේ කියනලද නම් තෙල කරුණ මෙ පිණිස කියන ලදි.
(3) මහණෙනි, “ආහාරයෙහි ප්‍රතිකූලසංඥා භාවිතා වූවා බහුලීකෘත වූවා මහත්ඵල වෙයි. මහානිශංස වෙයි. අමෘතාවගධ අමෘත පර්‍ය්‍යවසාන කොට ඇතැ”යි මෙසේ යම් කියන ලද නම් තෙල කරුණ කවර හෙයින් කියන ලද ය යත්:
මහණෙනි, ආහාරයෙහි ප්‍රතිකූලසංඥායෙහි පරිචිත සිතින් බහුලකොට වෙසෙන මහණහුගේ රසතෘෂ්ණායෙන් චිත්තය සැඟැවෙයි ... උපේක්‍ෂාව හෝ ප්‍රතිකූලතාව හෝ සිටුනේ ය.
මහණෙනි, යම්සේ කුකුළුපියාපතෙක් වේවයි නහරකඩෙක් වේවයි, ගින්නෙහි බහන ලදුයේ ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, එපරිදි ම මහණෙනි, ආහාරයෙහි ප්‍රතිකූලසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත රසතෘෂ්ණායෙන් ප්‍රතිලීන වෙයි ... උපේක්‍ෂාව හෝ පිළිකුල්බව පිහිටයි.
මහණෙනි, ඉදින් ආහාරයෙහි ප්‍රතිකූල සංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත රසතෘෂ්ණායෙහි වැටේ ද, නො පිළිකුල්බව හෝ පිහිටා ද, මහණෙනි, “මා විසින් වඩනා ලද ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව අභාවිත යයි ද, මට පෙරට වැඩි වෙසෙසෙක් පසුව නැතියි ද, මා විසින් භාවනාඵලය නො ලබනලදැයි ද” යන තෙල කරුණ ඒ භික්‍ෂු විසින් දතයුතු යි. මෙසේ එහි ලා හේ සම්‍යක්ප්‍රඥා ඇත්තේ වෙයි.
මහණෙනි, ඉදින් ආහාරයෙහි ප්‍රතිකූලසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල කොට වෙසෙන මහණුගේ සිත රසතෘෂ්ණායෙන් ප්‍රතිලීන වේ ද ... උපේක්‍ෂාව හෝ ප්‍රතිකූල්‍යතාව හෝ පිහිටා ද, මහණෙනි, ඒ භික්‍ෂුහු විසින් “ආහාරයෙහි ප්‍රතිකූලසංඥාව මා විසින් බවනලදැයි ද, මට පෙරට වැඩි වෙසෙසක් දැන් ඇතැයි ද, මා විසින් භාවනාඵලය ලබනලදැයි ද යන තෙල කරුණ දතයුතු යි. මෙසේ එහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
මහණෙනි, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා භාවිත වූවා බහුලීකෘත වූවා මහත්ඵල වෙයි. මහානිසංස ඇත්තී ය. අමෘතය පිහිට කොට ඇත්තීය, අමෘතය පර්‍ය්‍යාවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියන ලද නම් තෙල කරුණ මේ පිණිස කියන ලදි.
(4) මහණෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා ව වඩනාලද්දී බහුලවශයෙන් පුරුදු කරණලද්දී මහත්ඵල වෙයි, මහානිසංස වෙයි. නිවන පිහිට කොට ඇත්තී ය. නිවන් අවසන් කොට ඇත්තී යයි, මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියන ලද ද:
මහණෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලෝකචිත්තයන්හි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි, උපේක්‍ෂාව හෝ ප්‍රතීකූල්‍යතාව හෝ පිහිටයි.
මහණෙනි, යම් සේ කුකුළුපියාපතෙක් වේවයි නහරවැලෙක් වේවයි ගින්නෙහි බහන ලදුයේ ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, එ පරිදි ම මහණෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත (තෙධාතුකලෝකසන්නිවාසසඞ්ඛ්‍යාත) ලෞකික චිත්තයන්හි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි, උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
මහණෙනි, ඉදින් සර්‍වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත ලෞකික චිත්තයන්හි පවතී ද, නො පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, “මා විසින් වඩනාලද සර්‍වලෝකයෙහි අනභිරතසංඥාව අභාවිතය යි ද, මට පෙරට වැඩි අන් වෙසෙසෙක් නැතැයි ද, මා විසින් භාවනාඵලය නො ලබන ලදැයි ද” යන තෙල කරුණ ඒ භික්‍ෂු විසින් දත යුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.
මහණෙනි, ඉදින් සර්‍වලෝකයෙහි අනභිරතසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලෞකිකචිත්තයන්හි ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, එ මහණ විසින් “සර්‍වලෝකයෙහි අනභිරතසංඥාව මා විසින් වඩන ලදැයි ද, මට පෙරට වැඩි වෙසෙසක් පසුව ඇතැයි ද, මා විසින් භාවනාඵලය ලබන ලදැයි ද” යන තෙල කරුණ දත යුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇතියේ වෙයි.
මහණෙනි, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා භාවිතා වූවා බහුලීකෘත වූවා මහත්ඵල වෙයි. මහානිසංස ඇත්තී ය. අමෘතය පිහිට කොට ඇත්තී ය. අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී ය යි මෙසේ යමක් කියන ලද නම් තෙල කරුණ මේ පිණිස කියන ලදී.
(5) මහණෙනි, අනිත්‍යසංඥා වඩනලද්දී බහුල වශයෙන් පුරුදු කරණ ලද්දී මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. නිවන පිහිට කොට ඇත්තී ය, නිවන අවසන් කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියනලද ද:
මහණෙනි, අනිත්‍යසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාරකීර්තිප්‍රශංසාහි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි. උපේක්‍ෂාව හෝ ප්‍රතිකූල්‍යතාව හෝ පිහිටයි.
මහණෙනි, යම්සේ කුකුළුපියාපතෙක් වේවයි නහරවැලෙක් වේවයි ගින්නෙහි බහන ලදුයේ ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, එපරිදිම මහණෙනි, අනිත්‍යසංඥායෙන් පරිචිත වූ සිතින් බොහෝ සෙයින් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාරකීර්තිප්‍රශංසාහි ප්‍රතිලීන වෙයි, හැකිළෙයි, පෙරළෙයි, ඉදු ව නො යෙයි, උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටයි.
මහණෙනි, ඉදින් අනිත්‍යසංඥා පරිචිත සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාර කීර්තිප්‍රශංසාහි පවතී ද, නො පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, ඒ මහණ “මා විසින් අනිත්‍යසංඥාව නො වඩනා ලද, මට පෙරට වැඩි අන් වෙසෙසෙක් පසුව නැත, මා විසින් භාවනාඵලය නො ලබනලදැයි” යන තෙල කරුණ දත යුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.
මහණෙනි, ඉදින් අනිත්‍යසංඥායෙන් පරිචිත සිතින් බහුල වශයෙන් වෙසෙන මහණහුගේ සිත ලාභසත්කාරකීර්තිප්‍රශංසායෙහි ප්‍රතිලීන වේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඉදු ව නො යේ ද, උපේක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ පිහිටා ද, මහණෙනි, ඒ මහණ “මා විසින් අනිත්‍යසංඥාව වඩනලද, මට පෙරට වැඩි අන් වෙසෙසක් දැන් ඇත. මා විසින් භාවනාඵල ලබනලදැයි” යන තෙල කරුණ දතයුතු යි. මෙසේ එහි ලා සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.
මහණෙනි, අනිත්‍යසංඥා වඩනලද්දී බහුල වශයෙන් පුරුදු කරණලද්දී මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. නිවන පිහිට කොට ඇත්තී ය. නිවන් අවසන් කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ මේ පිණිස කියන ලදි.
(6) මහණෙනි, අනිත්‍යයෙහි දුක ය යන හැඟීම වඩනලද්දී බහුල වශයෙන් කරණලද්දී මහත්ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී නිවනට බැසගත්තී නිවන අවසන් කොට ඇත්තී යයි මෙසේ යමක් වදාරනලද නම් තෙල කරුණ කුමක් සඳහා වදාරණ ලද ද:
මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛසංඥා පුරුදු කරණලද සිතින් බහුල වශයෙන් වසන මහණහට අලස බවෙහි කුසීත බවෙහි (නිවන්) වුහුටුබැව්හි ප්‍රමාදයෙහි කුශලධර්‍මයන්හි (භාවනාවෙහි) නො යෙදීමෙහි ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙහි තීව්‍රවූ භයසංඥාව එළඹ සිටියා වෙයි. අමෝරාගත් කඩුඇති වධකයකු කෙරෙහි මෙනි.
මහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුක්ඛසංඥාවෙන් පරිචිත වූ සිතින් බහුල කොට වෙසෙන මහණහුගේ අලසබැව්හි කුසීතබවෙහි නිවන් වුහුටු බැව්හි ප්‍රමාදයෙහි කුශලධර්‍මයන්හි නො යෙදීමෙහි ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙහි තීව්‍රභයසංඥාව අමෝරාගත් කඩු ඇති වධකයකු කෙරෙහි මෙන් එළඹ නො සිටියා වෙයි ද, මහණෙනි, එ මහණහු විසින් “මා විසින් අනිත්‍යයෙහි දුඃඛසංඥා නො වඩනලද, මට පෙරට වැඩි විශේෂයෙක් අපරභාගයෙහි (ඇති වී) නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැයි” යන තෙල කරුණ දතයුතු යි. මෙසේ මෙ කරුණෙහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
මහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුඃඛසංඥායෙන් පරිචිත චිත්තයෙන් බහුල වශයෙන් වසන භික්‍ෂුහුගේ අලසබව්හි කුසීතභාවයෙහි වුහුටුබව්හි පමායෙහි කුශලධර්‍මයෙහි නො යෙදීමෙහි ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙහි තීව්‍ර භයසංඥා අමෝරාගත් කඩු ඇති වධකයකු කෙරෙහි මෙන් එළඹ සිටියා වෙයි ද, මහණෙනි, භික්‍ෂුහු විසින් “අනිත්‍යයෙහි දුඃඛසංඥා මා විසින් වඩනාලදු, පෙරට වැඩි වෙසෙසෙක් පසුකාලයෙහි මට ඇත, මා විසින් භාවනාඵලය ලබන ලදැයි” යන තෙල කරුණ දතයුතු ය. මෙසේ මෙ කරුණෙහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
මහණෙනි, අනිත්‍යයෙහි දුඃඛසංඥා වඩනාලද්දී බහුල කරණලද්දී මහත්ඵල වෙයි. මහානෘශංස වෙයි. අමෘතය පිහිට කොට ඇත්තී අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ මෙ පිණිස කියනලදී.
(7) මහණෙනි, දුඃඛයෙහි අනාත්ම සංඥා වඩනාලද්දී බහුලකරණලද්දී මහත්ඵල වෙයි, මහානිශංසවෙයි. අමෘතය පිහිට කොට ඇත්තී අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ කුමක් පිණිස කියනලද ය යත්:
මහණෙනි, දුඃඛයෙහි අනාත්මසංඥායෙන් පරිචිත සිතින් බහුල වශයෙන් වසන මහණහුට මෙ සවිඥානක කරජකායයෙහි ද බාහිර සියලු නිමිති කෙරෙහි ද පහවගිය අහිංකාරමමිංකාරමාන (මම යන දෘෂ්ටි, මාගේ යන තෘෂ්ණාව) ඇති ඉක්ම වූ ත්‍රිවිධ විධා (මාන) ඇති, ශාන්ත වූ මොනොවට මිදුනු සිත වෙයි.
මහණෙනි, ඉදින් දුඃඛයෙහි අනාත්මසංඥායෙන් පරිචිත වූ සිතින් බහුල වශයෙන් වසන මහණහුට මෙ සවිඥානකකායයෙහි ද බාහිර හැම නිමිති කෙරෙහි ද අහිංකාරමමිංකාර මානානුසයෙන් පහවූ, ඉක්ම වූ ත්‍රිවිධ විධා ඇති, ශාන්ත වූ මොනොවට මිදුනු සිත නො වේ නම්, මහණෙනි, “මා විසින් දුකෙහි අනාත්මසංඥා නො වඩනාලදු, මට පෙරට වැඩි වෙසෙසෙක් නැත, මා විසින් භාවනාඵලය නො ලදැයි” මහණහු විසින් දතයුතු ය. මෙසේ එහි ලා සම්‍යක්ප්‍රඥා ඇතියේ වෙයි.
මහණෙනි, ඉදින් දුඃඛයෙහි අනාත්ම සංඥායෙන් පරිචිත වූ සිතින් බහුල කොට වෙසෙන මහණහුට මෙ සවිඥානක කායයෙහි ද බාහිර සර්‍වනිමිත්තයන්හි ද අහිංකාරමමිංකාරමානයෙන් පහ වූ, විධාසමතික්‍රමණය කළ, ශාන්ත වූ සුවිමුක්ත වූ චිත්තය වේ නම්, මහණෙනි, “මා විසින් දුඃඛයෙහි අනාත්ම සංඥාව මොනොවට වඩනලදු, මට පෙරට වැඩි වෙසෙසෙක් ඇත. මා විසින් භාවනාඵලය ලබනලදැයි” යන තෙල කරුණ මහණහු විසින් දතයුතු ය. මෙසේ මෙ කරුණෙහි ලා සම්‍යක්ප්‍රඥා ඇති වෙයි.
මහණෙනි, දුඃඛයෙහි අනාත්මසංඥා වඩන ලද්දී බහුල කරණලද්දී මහත්ඵල හා මහානෘශංස වූවා අමෘතය පිහිට කොට ඇත්තී අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තී යයි මෙසේ යමක් කියනලද නම් තෙල කරුණ මෙ සඳහා කියනලදී.
මහණෙනි, මෙ සප්තසංඥා භාවිත බහුලීකෘත වූවාහු මහත්ඵල මහානෘශංස ඇත්තාහු අමෘතය පිහිට කොට ඇත්තාහු අමෘතය පර්‍ය්‍යවසාන කොට ඇත්තාහු වෙත් ය යි.
7. 1. 5. 7.
[සත්තමෙථුන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
50. එකල්හි ජානුස්සෝණී බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය ... භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ කී ය:
ශ්‍රමණ භවද් ගෞතමයන් වහන්සේත් ‘බ්‍රහ්මචාරියෙක්මි’යි ප්‍රතිඥා කරන්නාහු දැ?යි.
බ්‍රාහ්මණය, යම් මැ පුඟුලකු ගෙණ මනාකොට කියනුයෙක් “අඛණ්ඩ වු අච්ඡිද්‍රවූ අශබල වූ අකල්මාෂ වූ පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරන්නේ ය”යි කියන්නේ නම් බ්‍රාහ්මණය, මනාකොට කියනුයේ තෙල කාරණය මා ගෙණ ම කියන්නේ ය. බ්‍රාහ්මණය මම මැ නොකඩ වූ නො සිදුරු වූ අශබල වූ අකල්මාෂ වූ පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ බ්‍රහ්මචර්‍ය්‍ය පුරමි යි.
භවද් ගෞතමයන් වහන්ස, බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ඡිද්‍ර ශබල (කබර) කල්මාෂ (පුල්ලි) කවරේ දැ යි?
(1) බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ ‘මනාකොට බ්‍රහ්මචාරීයෙමි’යි පිළිණ කරන්නේ මාගමක් හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම පැමිණෙන්නේ ය. වැලිදු මාගමක විසින් ඇඟඉළුම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන ඉවසන්නේ ය. හේ එය ආස්වාද කරන්නේ ය. එය කැමැති වන්නේ ය. එයින් සතුටට පත් වන්නේ ය.
බ්‍රාහ්මණය, මෙ ද බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ඡින්‍ද්‍ර ශබල කල්මාෂ වෙයි. බ්‍රාහ්මණය, මෙ තෙම මෛථුනසංයෝගයෙන් සංයුක්ත වූයේ අපිරිසිදු බඹසර පුරන්නේ යයි ද ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් දැඩි ආයාසයෙන් නො මිදේ ය යි ද සසරදුකින් නො මිදේ යයි ද කියනු ලැබේ.
(2) තව ද බ්‍රාහ්මණය, මෙ ලොව්හි ඇතැම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි ‘මනාකොට බ්‍රහ්මචාරීමි’යි ප්‍රතිඥා කරන්නේ මාගමක හා සමග ද්වයංද්වයසමාපත්තියට නො ම සමවදනේ ය. මාගමක විසින් සිරිරු ඉලීම් පිරිමැඩුම් නැහැවීම් සම්බාහන නො ද ඉවසන්නේ ය. වැලිදු මාගමක හා සමග සිනා කථායෙන් සෙයි, ක්‍රීඩා කෙරෙයි. මහසිනා කෙරෙයි ...
(3) මාගමක හා සමග නො ද සිනාබසින් සෙයි, ක්‍රීඩා නො කෙරෙයි, මහ හසිතයෙන් නො සෙයි. වැලිදු සියැසින් මාගම්හුගේ ඇස පිළිවිද දක්නේ ය, බලන්නේ ය ...
(4) මාගම්හුගේ ඇස තම ඇසින් නො ද පිළිවිද දක්නේ ය. නො බලන්නේ ය. වැලිත් බිතින් පිටත්හි වේවයි පවුරින් පිටත්හි වේවයි සෙන්නා වූ හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය අසයි ...
(5) බිතින් මුවායෙහි වේවයි පවුරින් මුවායෙහි වේවයි සෙන්නා වු හෝ බණන්නා වූ හෝ ගයන්නා වූ හෝ හඬන්නා වූ හෝ මාගමගේ ශබ්දය නො ද අසයි. වැලිත් මාගමක හා සමඟ ඔහු විසින් පෙර කළ යම් හසිත ලපිත කීළිතයෝ වෙත් නම් එ හැම අනුස්මරණ කෙරෙයි ...
(6) ඔහු විසින් පෙර මාගමක හා සමඟ කළ යම් හසිත - ලපිත - කීළිතයෝ වෙත් නම් ඔවුන් නො ද අනුස්මරණය කෙරෙයි. වැලිත් පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්‍වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දක්නේ ය ...
(7) පස්කම් ගුණෙන් සමර්පිත වූ සමන්‍වාගත වූ පරිචරණය කරණු ලබන ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ නො දක්නේ ය. නො ලබන්නේ ය. වැලිත් “මම් මෙ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තවුස්දමින් හෝ බඹසරින් ප්‍රකට දෙවියෙකිම් හෝ අප්‍රකට දෙවියෙකිම් හෝ වෙමි”යි අන්‍යතර දේවනිකායක් පතා බ්‍රහ්මචර්‍ය්‍ය පුරයි. හෙ එය ආස්වාද විසින් විඳියි. එය පතයි. එයින් ම සෑහීමට පැමිණෙයි.
බ්‍රාහ්මණය, මෙ ද බ්‍රහ්මචර්‍ය්‍යයාගේ ඛණ්ඩ ද, ඡිද්‍ර ද, ශබල ද, කල්මාෂ ද වෙයි.