Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 10301-10400 න් 15980

[මිත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
36. මහණෙනි, සත් කරුණෙකින් සමන්‍වාගත මිත්‍ර සේවන කටයුත්තේ ය. කවර සතෙකින යත්:
දෙනුවට දුෂ්කර වූ දෑ දෙයි. දුෂ්කර දෑ කෙරෙයි. නො ඉවසිය හැකි දැ ඉවසයි. තමාගේ රහස් මිතුරුහට පාළ කරයි. ඒ මිතුරුහුගේ රහස් සඟවයි. ආපද්හි මිතුරා නො හරියි. ධනක්‍ෂීණයෙන් ඔහට අවමන් නො කෙරෙයි. මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මිත්‍ර සෙවිය යුත්තේ යි.
36. දීමට දුෂ්කර ධනය ද දෙයි. දුෂ්කර දෙය මිතුරුහට කෙරෙයි. වැලිත් ඔහුගේ දුරුක්ත වූ ඉවසිය නො හෙන බසුත් ඉවසයි.
37. ඔහට සිය රහස් ද කියයි. ඔහුගේ රහස් සඟවයි. විපත්හි දී නො හරියි. ක්‍ෂීණ (පිරිහිනු) හෙයින් අවමන් නො කෙරෙයි.
38. මෙ ලොව්හි යම් පුඟුලකු කෙරෙහි මෙ කරුණු විද්‍යාමාන වෙත් ද, මිතුරන් පතනහු විසින් එබඳු එ මිතු තෙමේ භජනය කටයුතු වේ ය යි.
7. 1. 4. 6.
[භික්ඛුමිත්ත සූත්‍රය]
[සැවැත්නිදාන යි]
37. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත භික්‍ෂුමිත්‍රයා නෙරණුලබන්නහු විසිනුදු සෙවිය යුත්තේ ය, භජනය කළයුත්තේ ය, පර්‍ය්‍යුපාසන කටයුත්තේ ය. කවර සතෙකින යත්:
ප්‍රිය ද මනාප ද වෙයි. ගුරු ද වෙයි. බුහුමනට නිසි ද වෙයි. වක්තෘ ද වෙයි. වචනක්‍ෂම (ඇදැහිය හැකි වචන ඇත්තේ) ද වෙයි. ගම්භීරකථා කරන්නේ ද වෙයි. අස්ථානයෙහි (නොමඟ) ද නො යොදවයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත භික්‍ෂූමිත්‍ර නෙරණුලබන්නහු විසිනුදු සෙවියයුත්තේ ය, භජනය කටයුත්තේ ය, පර්‍ය්‍යුපාසනා කටයුත්තේ ය.
39. ප්‍රිය වූයේ වේ ද, ගුරු වූයේ වේ ද, භාවනීය වේ ද, වක්තෘ (කථාවෙහි දක්‍ෂ) වේ ද, වචනක්‍ෂම වේ ද, ගැඹුරුතෙපුල් කියන්නේත් වේ ද, අස්ථානයෙහිත් නො යොදන්නේ ද,
40. මො ලොව්හි යම් පුඟුලකු කෙරෙහි තෙල සත් කරුණු විද්‍යාමාන වෙත් නම් අර්‍ත්‍ථකාමයාහට අනුකම්පා කරණ එබඳු මිත්‍රතෙම මිත්‍රයන් පතන්නහු විසින් නෙරණු ලැබූව ද භජනය කටයුත්තේ ය යි.
7. 1. 4. 7.
[ප්‍රථමපටිසම්භිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
38. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ නොබෝ කලෙකින් ම සිවුපිළිසිඹියා නැණ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාසය කරන්නේ ය. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ‘මාගේ චිත්තයාගේ මෙ ලීනභාවය’යි යාථාවයෙන් (ඇතිසැටියෙන්) දන්නේ ය. (ථීනමිද්ධානුගත වීමෙන්) සංක්‍ෂිප්ත වූ චිත්තය ‘මාගේ අධ්‍යාත්මයෙහි චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නේ ය. බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්ත චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යාලම්බනයෙහි වික්‍ෂිප්තය’ යි යාථාවයෙන් දන්නේ ය. ඔහට වේදනාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. සංඥාවෝ විදිත වූවාහු ම උපදනාහ, විදිත ව ම එළඹෙත්, විදිත ව ම අස්තයට යෙත්. විතර්‍කයෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යෙත්. ඔහු විසින් සත්ප්‍රාය අස්තප්‍රාය වූ ද හීනප්‍රණීත වූ ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ද ධර්‍මයන්හි නිමිත්ත (කාරණ) ය මොනොවට ගන්නාලද වෙයි, මොනොවට මෙනෙහි කරණලද වෙයි, මොනොවට උපධාරණ කරණ ලද වෙයි, ප්‍රඥායෙන් මොනොවට පිළිවිදිනලද වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ නො බෝකලෙකින් ම සිවුපිළිසිඹියා නුවණ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එයට එළඹ වසන්නේ ය යි.
7. 1. 4. 8.
[දෙවෙනි පටිසම්භිදා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
39. මහණෙනි, කරුණු සතෙකින සමන්‍වාගත සාරිපුත්තයෝ සිවුපිළිසිඹියා නුවණ තුමූ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වෙසෙත්. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සැරියුත් තෙරණුවෝ ‘මාගේ මෙ චිත්තයාගේ ලීනභාවය ඇතැ’යි යාථාවයෙන් දන්නාහ. අධ්‍යාත්මයෙහි සංක්‍ෂිප්ත (හැකුළුනා) වූ හෝ සිත ‘අධ්‍යාත්මයෙහි මාගේ චිත්තය සංක්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. බාහ්‍යයෙහි වික්‍ෂිප්ත (විසිරගියා) වූ හෝ චිත්තය ‘මාගේ චිත්තය බාහ්‍යයෙහි වික්‍ෂිප්ත ය’යි යාථාවයෙන් දන්නාහ. ඔහට වේදනාවෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළැඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ.
සංඥාවෝ විදිත් ව ම උපදනාහ, විදිත ව ම එළඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ. විතර්‍කයෝ විදිත ව ම උපදනාහ, විදිත ව ම එළැඹ සිටුනාහ, විදිත ව ම අස්තයට යන්නාහ. උපකාරී අනූපකාරී වූ ද හීනප්‍රණීත වූ ද කෘෂ්ණශුක්ල සප්‍රතිභාග වූ ද ධර්‍මයන්හි නිමිත්ත ඔහු විසින් මොනොවට ගන්නාලද වෙයි. මොනොවට මෙනෙහි කරණලද වෙයි. මොනොවට උපධාරණ කරණලද වෙයි. ප්‍රඥායෙන් මැනැවින් පිළිවිදුනාලද වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත සැරියුත්හු තුමූ සිවුපිළිසිඹියා විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට එළඹ වාසය කරන්නාහ යි.
7. 1. 4. 9.
[ප්‍රථම චිත්තවසවත්තන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
40. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සිත වසෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටෙයි. කවර සතෙකින යත්:
මහණෙනි. මෙ සස්නෙහි මහණ සමාධිකුශල වෙයි. සමාධි සමාපත්තියෙහි කුශල වෙයි. සමාධිස්ථිතියෙහි කුශල වෙයි. සමාධිව්‍යුත්‍ථානයෙහි කුශල වෙයි. සමාධිකල්‍යභාවයෙහි කුශල වෙයි. සමාධිගෝචරයෙහි කුශල වෙයි. සමාධිඅභිනීහාරයෙහි කුශල වෙයි.
මහණෙනි, මෙ කරුණු සතින් සමන්‍වාගත මහණ චිත්තය වශයෙහි පවත්වයි. මහණ ද චිත්තයාගේ වශයෙන් නො වැටේ යයි.
7. 1. 4. 10.
[දෙවෙනි චිත්තවසවත්තන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
41. මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත සාරිපුත්තයෝ චිත්තය ස්වවශයෙහි පවත්වන්නාහ. සාරිපුත්තයෝ ද චිත්තයාගේ වශයෙන් නො පවත්නාහ. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි සැරියුත්හු සමාධියෙහි කුශල වෙති. සමාධිසමාපත්ති කුශල වෙති. සමාධිස්ථිති කුශල වෙති. සමාධිව්‍යුත්‍ථාන කුශල වෙති. සමාධිකල්‍ය (දක්‍ෂභාවයෙහි) කුශල වෙත්. සමාධි ගෝචරයෙහි කුශල වෙත්. සමාධි අභිනීහාරයෙහි (එළවා ගැණීමෙහි) කුශල වෙති.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත සාරිපුත්තයෝ චිත්තය වශයෙහි පවත්වත්, සැරියුත්හු චිත්තයාගේ වශයෙන් නො පවති ත්.
7. 1. 4. 11.
[ප්‍රථම නිද්දස වත්‍ථු සූත්‍රය]
42. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩ වෙසෙත්. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරව පා සිවුරු ගෙණ සැවැත්හි පිඬු පිණිස පිවිසියහ.
එක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට තෙලෙ සිත විය: “තව ම සැවැත්හි පිඬු පිණිස සැරිසරණට බොහෝ අලුයම් වෙයි. මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුවට එළැඹෙම් නම් මැනවැ”යි. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරහු අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ එ අන්තොටු පිරිවැජියන් හා සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි වැඩ හුන්හ.
එ සමයෙහි රැස් ව හුන් එ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථායෙක් පාළ විය: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස් වසක් පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් හෙ ‘නිද්දස (දසවස්කථා ඉක්ම වූ) මහණ’ යි කීමට නිසි වෙ යි.
එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරහු එ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො ද පිළිකෙව් කළහ. නො පිළිගෙණ ප්‍රතික්‍ෂේප නො කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දනුම්හ”යි හුනස්නෙන් නැඟ වැඩියහ.
එක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සැවැත්හි පිඬු පිණිස සැරැ පසුබත් වේලෙහි පිඬුවායෙන් පෙරළා පැමිණියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකත්පස්හි හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
වහන්ස, මෙහි මම පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු රැගෙණ සැවැත්හි පිඬු සඳහා පිවිසියෙමි. වහන්ස, එ මට තෙලෙ සිත් විය: සැවැත්හි පිඬු සඳහා වදනට තව බොහෝ අලුයම් වෙයි. මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුවට කරා යෙම් නම් මැනවැයි. වහන්ස, ඉක්බිති මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළැඹියෙමි. එළැඹ එ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වීමි. සතුටු වියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්හි හිනිමි. වහන්ස, එ සමයෙහි එ රැස් ව හුන් අන්තොටු පිරිවැජියන් අතුරෙහි මෙ අතුරුකථාව උපන: “ඇවැත්නි, යම් පුද්ගලයෙක් දොළොස්වසක් පිරිපුන් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය සෙරේ නම්, ‘නිද්දස මහණ’යි කියනට නිසි වේ”ය යි. වහන්ස, එක්බිති මම එ අන්තොටු පිරිවැජ්ජන්ගේ භාෂිතය නො පිළිගතිමි, නො ම ප්‍රතික්‍ෂේප කෙළෙමි. නො පිළිගෙණ නො පිළිකෙව් කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය දැනගන්මි”යි හුනස්නෙන් නැඟී නික්මගියෙමි.
වහන්ස, මෙ ධර්‍මවිනයෙහි හුදු වස් ගණන් පමණෙකින් ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය හැකි දැ යි.
ශාරීපුත්‍රයෙනි, හුදු වස්ගණන් පමණෙකින් මෙ ධර්‍මවිනයෙහි (පුඟුලකු) ‘නිද්දස මහණෙකැ’යි පැනැවිය නො හැක්ක.
ශාරීපුත්‍රයෙනි, මෙ නිද්දසවතථු සත්දෙනෙක් මා විසින් තමා ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට දන්නා ලදහ. කවර සතෙක යත්:
ශාරීපුත්‍රයෙනි, මේ සස්නෙහි මහණ ශික්‍ෂාසමාදානයෙහි තීව්‍රඡන්‍ද ඇතියේ වෙයි, මත්තෙහි දු ශික්‍ෂාසමාදානයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ධර්‍මොපධාරණයෙහි (විදර්‍ශනාවෙහි) දෘඪඡන්‍දය ඇතියේ වෙයි, මතුයෙහි දු ධර්‍මොපධාරණයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ඉච්ඡා විනයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මත්තෙහි දු ඉච්ඡා විනයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. පිළිසලනෙහි දළසඳ ඇතියේ මතුයෙහි දු පිළිසලනෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. වීර්‍ය්‍යාරම්භයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු වීර්‍ය්‍යාරම්භයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. ස්මෘති-නිපකභාවයෙහි (ප්‍රඥායෙහි) තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු ස්මෘති-නිපකභාවයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි. දෘෂ්ටි (මාර්‍ග) ප්‍රතිවේධයෙහි තීව්‍රඡන්‍දය ඇතියේ මතුයෙහි දු දෘෂ්ටිප්‍රතිවේධයෙහි පහ නො වූ ප්‍රේම ඇතියේ වෙයි.
ශාරීපුත්‍රයෙනි, මෙ සත් නිද්දසවත්‍ථුහු මා විසින් තමා ම විශිෂ්ට ඥානයෙන් දැන සාක්‍ෂාත් කොට ප්‍රවිදිතයහ.
ශාරීපුත්‍රයෙනි, මෙ නිද්දසවත්‍ථුහු සතින් සමන්‍වාගත මහණ දොළොස් වසකුදු පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය රක්නේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වෙයි. සූවිසිවසක් නමුදු පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වේ. සතිස්වසකුදු පිරිපුන් පිරිසිදු බඹසර වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට නිසි වෙයි. අට සාළිස්වසකුදු පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍ය වෙසේ නම් ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වේ යයි.
7. 1. 4. 12.
[දෙවැනි නිද්දසවත්‍ථු සූත්‍රය]
43. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝෝෂිතාරාම යෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කෝසම්බියෙහි පිඬු සඳහා පිවිසියහ. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්හට තෙලෙ සිත් විය: “තව ම කොසඹෑහි පිණ්ඩපාතය සඳහා වදනට අලුයම බොහෝ වෙයි. මම කෝසම්බියෙහි අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා යෙම් නම් මැනැවැ”යි.
එක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ අසපුව කරා වැඩියහ. වැඩ ඒ අන්තොටු පිරිවැජියන් සමඟ සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ.
එ සමයෙහි රැස් ව හුන් ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථාව උපන: “ඇවැත්නි, යම් ම කිසිවෙක් දොළොස්වසක් පරිපූර්‍ණ කොට පිරිසිදු බ්‍රම්සර සෙරේ නම්, ‘හෙ නිද්දස මහණ’යි කීමට නිසි වේ ය”යි.
එක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ඒ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො ම පිළිගත්හ, නො පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට ‘භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය දනුම්හ’යි හුනස්නෙන් නැඟ නික්මගියහ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්හි හුන්හ. එකතත්පස්හි හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළහ:
වහන්ස, මම පෙරවරු වේලෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙණ මේ කොසඹෑහි පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස ඒ මට තෙල සිත් විය: කොසඹෑහි පිඬු සඳහා සරනට තව බොහෝ අලුයම වෙයි. මම අන්තොටු පිරිවැජියන්ගේ අසපුව කරා එළඹෙම් නම් මැනැවැ’යි.
වහන්ස, ඉක්බිති මම අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන්ගේ ආරාමය කරා එළැඹියෙමි. එළැඹ එ අන්තොටු පිරිවැජියන් හා සමඟ සතුටු වීමි. සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පස්හි හිනිමි.
වහන්ස, එ සමයෙහි රැස් ව හුන් ඒ අන්‍යතීර්‍ත්‍ථක පරිව්‍රාජකයන් අතුරෙහි මෙ අතුරු කථාව පාළ විය:
ඇවැත්නි, යම් ම කිසිවෙක් දොළොස්වසක් පිරිපුන් පිරිසුදු බඹසර වෙසේ නම්, ‘නිද්දස මහණෙකැ’යි කියනට නිස්සේ යයි.
වහන්ස, ඉක්බිති මම එ අන්තොටු පිරිවැජියන්ගේ භාෂිතය නො පිළිගත්මි, නො බැහැර කෙළෙමි. නො පිළිගෙණ නො බැහැර කොට “භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි තෙල භාෂිතයාගේ අරුත් දැනගණිමැ”යි හුනස්නෙන් නැඟ නික්ම ගියෙමියි.
වහන්ස, මෙ ධර්‍මවිනයෙහි හුදෙක් වර්‍ෂගණනාමාත්‍රයෙන් ‘නිද්දස මහණෙකැ’යි පැණවිය හැකි දැ? යි.
ආනන්‍දයෙනි, මෙ ධර්‍මවිනයෙහි හුදෙක් වස්ගිණුම් මතුයෙකින් ‘නිද්දස මහණෙකැ’යි පැණැවිය නො හැකැයි.
ආනන්‍දයෙනි, මා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පවසන ලද මෙ නිද්දසවත්‍ථු සතෙක. කවර සතෙක යත්:
ආනන්‍දයෙනි, මෙ සස්නෙහි මහණ සැදැහැතියේ වෙයි. හිරි ඇතියේ වෙයි. ඔතප් ඇතියේ වෙයි. බොහෝ ඇසූපිරූ තැන් ඇතියේ වෙයි. රුකුළුවැර ඇතියේ වෙයි. ස්මෘති ඇතියේ වෙයි. විවසුන් පැණ ඇතියේ වෙයි.
ආනන්‍දයෙනි, මේ නිද්දසවත්‍ථූහු සත්දෙන මා විසින් ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පවසන ලදහ.
ආනන්‍දයෙනි, මේ නිද්දසවත්‍ථුහු සතින් සමන්‍වාගත මහණ දොළොස්වසක් වේවයි පිරිපුන් පිරිසුදු මඟබඹසර වෙසේ නම්, ‘නිද්දස මහණ’යි කීමට නිසියේ වෙයි. සූවිසිවසක් වේවයි පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වෙයි. සතිස්වසක් වේවයි පිරිපුන් පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වෙයි. අටසාළිස්වසක් වේවයි පිරිපුන් පිරිසිදු මඟබඹසර රක්නේ නම්, ‘නිද්දස මහණ’යි කීමට සුදුසු වේ යයි.
දේවතා වර්‍ගය සතරවැනි යි.
එහි උද්දානය:
අප්පමාද සූත්‍රය, හිරි සූත්‍රය, සෝවචස්සතා සූත්‍ර දෙක ය, මිත්ත සූත්‍ර දෙක ය, පටිසම්භිදා සූත්‍ර දෙක ය, චිත්තවස සූත්‍ර දෙක ය, නිද්දස සූත්‍ර දෙක යයි සූත්‍ර දොළොසෙකි.
5. මහායඤ්ඤ වර්‍ගය
7. 1. 5. 1.
[විඤ්ඤාණට්ඨිති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
44. මහණෙනි, මෙ (ප්‍රතිසන්‍ධි) විඥානස්ථිතිහු (විඥාන පවත්නා තැන්) සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
1. මහණෙනි, නානාත්‍වකාය නානාත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. ඔහු නම් මනුෂ්‍යයෝ ද, ඇතැම් දෙවියෝ ද, ඇතැම් වෛමානික ප්‍රේතයෝ ද වෙත්. මෙ ප්‍රථම විඥානස්ථිති ය යි.
2. මහණෙනි, නානාත්‍වකාය හා එකත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. ඔහු නම් ප්‍රථමධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ ය. මෙ ද්විතීය විඥානස්ථිති යි.
3. මහණෙනි, ඒකත්‍වකාය හා නානාත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. ඔහු නම් ආභාස්වර දෙවියන් බන්දහ. මෙ තෘතීය විඥානස්ථිති යි.
4. මහණෙනි, ඒකත්‍වකාය හා ඒකත්‍වසංඥා ඇති සත්ත්‍වයෝ ඇත. සුභකිණ්ණ බඳු දෙවියෝ ය. මෙ චතුර්‍ත්‍ථ විඥානස්ථිති යි.
5. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ සමතික්‍රමයෙන් (රූපභය ඉක්මවූ) ප්‍රතිඝ (ගැටීම්) සංඥාවන්ගේ අස්තගමයෙන් (අස්තයට යෑමෙන්) නානාත්‍වසංඥාවන්ගේ (රූපද්ධ්‍යානාරම්මණ) අමනසිකාරයෙන් ‘කසිණුග්ඝාටිතාකාසය (කිසුණුඉගුලු අහස් ‘අනන්තය’යි) ආකාසනාඤ්චායතනූපග සත්ත්‍වයෝ ඇත. මෙ පඤ්චම විඥානස්ථිති යි.
6. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය සමතික්‍රම කොට ‘විඥානය අනන්තය’යි විඤ්ඤාණඤ්චායතනූපග (දෙවන අරූතෙලෙහි උපන්) සත්ත්‍වයෝ ඇත. මෙ ෂෂ්ඨ විඥානස්ථිති ය යි.
7. මහණෙනි, හැම පරිද්දෙන් විඤ්ඤාණඤ්චායතනය සමතික්‍රම කොට ‘නත්‍ථි කිඤ්චි’යි අකිඤ්චඤ්ඤායතනූපග (තෙවන අරූතෙලෙහි උපන්) සත්ත්‍වයෝ ඇත. මෙ සත්තම විඥානස්ථිති ය යි.
මහණෙනි, මොහු සප්තවිඥානස්ථිති යි.
7. 1. 5. 2.
[සමාධිපරික්ඛාර සූත්‍රය]
[සැවැත්නිදාන යි]
45. මහණෙනි, සමාධිපරිෂ්කාරයෝ (මාර්‍ගසමාධියට සම්භාරයෝ) සතෙකි. කවර සතෙක යත්:
සම්මාදිට්ඨි ය, සම්මාසංකප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති යි.
මහණෙනි, මෙ සත් කරුණින් පරිෂ්කෘත (පෝෂිත වූ) චිත්තයාගේ යම් බඳු ඒකාග්‍රතායෙක් වේ නම්, මහණෙනි, මෙ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය ‘සඋපනිස’ ය යි ද ‘සපරිෂ්කාර’ ය යි ද කියනු ලැබේ යි.
7. 1. 5. 3.
[අග්ගි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
46. මහණෙනි, මෙ අග්නි සතෙකි. කවර සතෙක යත්:
රාගාග්නි ය, ද්වේෂාග්නි ය, මෝහාග්නි ය, ආහුනෙයාග්නි (මවුපියාදී සුදුස්සන්ට සත්කාර නොකිරීමෙන් නිරයාදියෙහි වන දුක්දාහ) ය, ගාහපත්‍යග්නි (ගෙහිමි නොතැකීමෙන් ගෙඅඹුවට වන දුක්දාහ) ය, දක්‍ෂිණාර්‍හ (දක්‍ෂිණාර්‍හ භික්‍ෂු සඞ්ඝයාට නින්‍දාපරිභව කිරීමෙන් වන දුක්දාහ) ය, කාෂ්ටාග්නිය (දරගිනි) යි. මහණෙනි, මෙ (දහනාර්‍ත්‍ථ ඇති) අග්නි සත යි.
7. 1. 5. 4.