Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 10201-10300 න් 15980

මහණෙනි, යම් තාක් භික්‍ෂූහු සතිසම්බොජ්ඣඞ්ගය වඩත් ද, මහණෙනි, භික්‍ෂුන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමති විය යුතු.
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු ධම්මවිචය සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... විරිය සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... පීතිසම්බොජ්ඣඞ්ගය වඩත් ද ... පස්සද්ධි සම්බොජ්ඣඞ්ගය වඩත් ද ... සමාධිසම්බොජ්ඣඞ්ගය වඩත් ද ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමති වියයුතු යයි.
මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පවත්නාහු නම්, භික්‍ෂුහු ද මෙ සප්ත අපරිහානීය ධර්‍මයන් කෙරෙහි පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යයි.
7. 1. 3. 7.
[පස්වැනි භික්ඛූ අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
27. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි, ඒ අසව ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු අනිත්‍ය සංඥාව වඩත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු.
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු අනාත්මසංඥාව වඩත් නම් ... අශුභසංඥාව වඩත් නම් ... ආදීනව සංඥාව වඩත් නම් ... ප්‍රහාණසංඥා වඩත් නම් ... විරාග සංඥා වඩත් නම් ... නිරෝධසංඥා වඩත් නම් ... මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති වියයුතු.
මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි වැටෙත් ද, භික්‍ෂූහු ද මෙ සප්ත අපරිහානීය ධර්‍මයන්හි පැණෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යි.
7. 1. 3. 8.
[සේඛ අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
28. මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පරිහානිය සඳහා මෙ සප්තධර්‍ම කෙනෙක් වැටෙත්. කවර සතෙක යත්:
කම්මාරාමතා ය, භස්සාරාමතා ය, නිද්දාරාමතා ය, සඞ්ගණිකාරාමතා ය, ඉන්‍ද්‍රියයන්හි අගුප්තද්වාරතාය, භොනයෙහි අමාත්‍රඥතාය, - සඞ්ඝයා කෙරෙහි සඞ්ඝකරණීයයෝ විද්‍යාමාන වෙත් ද, එහි ලා ශෛක්‍ෂ භික්‍ෂු මෙසේ සලකයි: “සඞ්ඝයා කෙරෙහි චිරරාත්‍රඥ වූ චිරප්‍රව්‍රජිත වූ සඞ්ඝකෘත්‍ය භාරවහනය කරණ තෙර මහණහු ඇත් මැ යි. ඔහු එයින් පැණෙති”යි (මෙසේ සිතා) තෙමේ (එ කිසෙහි) වියෝගයට පැමිණෙයි. නො යෙදෙයි.
මහණෙනි, මෙ සප්ත ධර්‍මයෝ ශෛක්‍ෂ භික්‍ෂුහුගේ පරිහානියට වැටෙතියි.
මහණෙනි, මෙ සප්තධර්‍ම කෙනෙක් ශෛක්‍ෂ භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර සතෙක යත්:
කර්‍මයන්හි නො ඇලෙන බව, භාෂ්‍යයෙහි නො ඇලෙන බව, නිද්‍රායෙහි නො ඇලෙනබව, ගණයෙහි නො ඇලෙන බව, ඉඳුරන්හි ගුප්තද්‍වාරතාව, භෝජනයෙහි මාත්‍රඥතාව, සඟුන් අතුරෙහි සඞ්ඝකරණීයයෝ ඇද් ද, එහි ලා ශෛක්‍ෂ මහණ මෙසේ සිතයි. “සඞ්ඝයා අතුරෙහි චිරප්‍රව්‍රජිත වූ චිරරාත්‍රඥ වූ සඞ්ඝකෘත්‍ය භාරවාහී වූ ස්ථිවිර භික්‍ෂුහු ඇත් මැ යි, උහු එ කිසෙන් පළට වන්නාහ”යි (මෙසේ සිතා) තෙමේ (එහි) වියෝගයට නො පැමිණෙයි.
මහණෙනි, ශෛක්‍ෂ භික්‍ෂූහුගේ අපරිහානිය සඳහා මෙ සප්ත ධර්‍මයෝ වැටෙති යි.
7. 1. 3. 9.
[උපාසකපරිහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
29. මහණෙනි, මෙ සප්ත ධර්‍ම කෙනෙක් උපාසකයාගේ පරිහානියට වැටෙති. කවර සතෙක යත්:
සඟුන්ගේ දර්‍ශනය පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණය පමා කෙරෙයි. අධිශීලයෙහි නො හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක යන භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාද බහුල වෙයි. දොස් දක්නා සිතින් සිදුරු සොයන සුලුයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැරි සස්නෙහි දු දක්‍ෂිණාර්‍හයන් සොයයි. එහි දු පූර්‍වාකාර කෙරෙයි.
මහණෙනි, මේ සත් කරුණුහු උපාසකයාගේ පරිහානියට වැටෙති.
මහණෙනි, මෙ සප්ත ධර්‍ම කෙනෙක් උපාසකයාගේ අපරිහානියට වැටෙති. කවර සතෙක යත්:
භික්‍ෂූන්ගේ දර්‍ශනය නො පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණය පමා නො කෙරෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක යන භික්‍ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල වෙයි. දොස් නො දක්නා සිත් ඇතියේ රන්ධ්‍රගවේෂී නො වූයේ දහම් අසයි. මෙ බුදුසස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයන් නො සොයයි. එහි දු පූර්‍වාකාර නො කෙරෙයි.
මහණෙනි, මෙ සප්ත ධර්‍මයෝ උවසුහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
14. යම් උපාසකයෙක් භාවිතාත්ම භික්‍ෂූන්ගේ දර්‍ශනය හා ආර්‍ය්‍යධර්‍මයන්ගේ ශ්‍රවණය පිරිහෙළා ද, අධිශීලයෙහි නො හික්මේ ද,
15. සඟුන් කෙරෙහි අප්‍රසාදය වැඩි වැඩියෙන් වඩා ද, දොස් සොයන සිතැති ව සදහම් ඇසීමට කැමැති වේ ද,
16. මෙ සස්නෙන් බැහැරෙහි දු අන්‍යදක්‍ෂිණාර්‍හයකු සොයා ද, යම් උවසුයෙක් එ බැහැරි සස්නෙහි ම පූර්‍වාකාර (ආගමික ක්‍රියා) කෙරේ ද,
17. මනාකොට දෙසනලද මෙ සප්ත පරිහානීය ධර්‍මයන් සේවනය කරණ උවසු තෙමේ සද්ධර්‍මයෙන් පිරිහෙයි.
18. යම් උපාසකයෙක් භාවිතාත්ම භික්‍ෂූන්ගේ දර්‍ශනය නො පිරිහෙළා ද, ආර්‍ය්‍ය ධර්‍මයන්ගේ ශ්‍රවණය නො පිරිහෙළා ද, අධිශීලයෙහි හික්මේ ද,
19. භික්‍ෂූන් කෙරෙහි ඔහුගේ ප්‍රසාදය වැඩි වැඩියෙන් වඩා ද, උපාරම්භසිත් නැති ව සදහම් අසන්නට කැමැති වේ ද,
20. මෙ සස්නෙන් බැහැර අන්‍ය දක්‍ෂිණාර්‍හයන් නො සොයන්නේ ද, යම් උවසුයෙක් මේ සස්නෙහි ම පූර්‍වාකාර කෙරේ ද,
21. මොනොවට දෙසනලද මේ සප්ත අපරිහානීය ධර්‍මයන් සෙවුනා උපාසක සද්ධර්‍මයෙන් නො පිරිහේ.
7. 1. 3. 10.
[උපාසක විපත්ති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
30. මහණෙනි, උපාසකහට මේ විපත් සතෙකි ... මහණෙනි, උපාසකහට මේ සම්පත් සතෙකි ...
7. 1. 3. 11.
[උපාසක පරාභව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
31. මහණෙනි, උපාසකහට මෙ පරාභව සතෙකි ...
මහණෙනි, උපාසකහට මේ සම්භව සතකි. කවර සතෙක යත්:
භික්‍ෂුදර්‍ශනය නො පිරිහෙළයි. සද්ධර්‍මශ්‍රවණයට පමා නො වෙයි. අධිශීලයෙහි හික්මෙයි. ස්ථවිර මධ්‍යම නවක භික්‍ෂූන් කෙරෙහි ප්‍රසාද බහුල වෙයි. උපාරම්භ සිත් නැති ව රන්‍ධ්‍රවෙෂි නො ව ධර්‍මය අසයි. මෙ සස්නෙන් බැහැර දක්‍ෂිණාර්‍හයන් නො සොයයි. මෙහි ම පූර්‍වාකාර කෙරෙයි.
මහණෙනි, උවසුහුගේ මේ සම්භව සත යි.
22. යම් උවසුවෙක් භාවිත සිත් ඇති මහණුන්ගේ දර්‍ශනය හා ආර්‍ය්‍යධර්‍මයන්ගේ ශ්‍රවණය පිරිහෙළා ද, අධිශීලයෙහි නො හික්මේ ද,
පරිහානීයධර්‍ම සේවන කරණ උපාසක තෙමේ සද්ධර්‍මයෙන් පිරිහේ ය යි ...
[29. මේ ස්වාඛ්‍යාත වූ සත් අපරිහානීය ධර්‍ම සේවනය කරණ උපාසක තෙම සද්ධර්‍මයෙන් නො පිරිහේ යයි.]
වජ්ජිසත්තක වර්‍ගය තුන්වැනි යි.
එහි උද්දානය:
සාරන්‍දද සූත්‍රය, වස්සකාර සූත්‍ර ය, භික්‍ෂු අපරිහානීය සූත්‍ර පස ය, සේඛ පරිහානි සූත්‍රය, උපාසක පරිහානි සූත්‍රය, විපත්ති සූත්‍රය, පරාභව සූත්‍රය දැයි එකොළොසෙකි.
4. දේවතා වර්‍ගය
7. 1. 4. 1.
[අප්පමාදගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
32. එකල එක්තරා දෙවියෙක් රෑ පළමු යම ඉක්මගිය කල්හි මනා වර්‍ණයෙන් යුක්තව මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළා ය:
වහන්ස, මෙ ධර්‍මයෝ සත් දෙනෙක් භික්‍ෂුහුගේ නො පිරිහීම පිණිස පවතිත්. කවර සතෙක යත්:
ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇති බව, දහම්හි ගෞරව ඇති බව, සඟුන් කෙරෙහි ගෞරව ඇති බව, ශික්‍ෂාහි ගෞරව ඇති බව, සමාධියෙහි ගෞරව ඇති බව, අප්‍රමාදයෙහි ගෞරව ඇති බව, පටිසන්‍ථාරයෙහි ගෞරව ඇති බව ය. වහන්ස, මෙ සත් දහම්හු මහණහුගේ නො පිරිහීම පිණිස පවත්නාහ යී.
ඒ දේවතාවා මෙය කිවු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ අනුදත් සේක.
එක්බිති ඒ දේවි, මබස ශාස්තෘහු අනුදත්හයි බුදුන් වැඳ පැදකුණු කොට එහි මැ අතුරුදහන් කෙළේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රෑ ඇවෑමෙන් මහණුන් ඇමැතූ සේක: මහණෙනි, මෙ රාත්‍රියෙහි අභිකාන්තරාත්‍රියෙහි මනා සිරුරුපැහැයෙන් යුතු අන්‍යතර දෙවියෙක් හැම ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක්හි සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි මට තෙල සැළකෙළේ ය:
වහන්ස, මෙ සත් කරුණුහු භික්‍ෂුහුගේ අපරිහානිය පිණිස වැටෙත්. කවර සතෙක යත්:
සත්‍ථුගාරවතා ය, ධම්මගාරවතා ය, සඞ්ඝගාරවතා ය, සික්ඛාගාරවතා ය, සමාධිගාරවතා ය, අප්පමාදගාරවතා ය, පටිසන්‍ථාරගාරවතා යි. වහන්ස, මෙ සත්දහම්හු භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙන්නාහ යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
30. ශාස්තෘහු කෙරෙහි ගෞරව ඇතියේ ධර්‍මය කෙරෙහි ගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දු තීව්‍රගෞරව ඇතියේ සමාධියෙහි ගෞරව ඇතියේ කෙලෙස් තවන වැර ඇතියේ ශික්‍ෂායෙහි තීව්‍රගෞරව ඇතියේ,
31. අප්‍රමාදයෙහි ගෞරව ඇතියේ පිළිසඳරෙහි ගෞරව ඇතියේ පරිහානියට අභව්‍ය වෙයි. එබඳු මහණ නිවන් හමුයෙහි ම වේ ය යි.
7. 1. 4. 2.
[හිරිගාරව සූත්‍රය]
[සැවැත්නිදාන යි]
33. මහණෙනි, මේ රාත්‍රියෙහි රැය බෙහෙවින් ඉක්මයත් ම මනා සිරුරු පැහැ ඇති අන්‍යතර දෙවියෙක් මුළු ජේතවනය බබුළුවා මා කරා එළඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක් සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:
වහන්ස, මෙ සත් කරුණුහු මහණහුගේ අපරිහානිය සඳහා වැටෙත්. කවර සතෙක යත්:
ශාස්තෘගෞරව ඇති බව, ධර්‍මගෞරව ඇති බව, සඞ්ඝගෞරව ඇති බව, ශික්‍ෂාගෞරව ඇති බව, සමාධිගෞරව ඇති බව, හ්‍රීගෞරව ඇති බව, ඔතප්හි ගෞරව ඇති බව යි. වහන්ස, මෙ සත් කරුණුහු භික්‍ෂුහුගේ නො පිරිහීමට වැටෙති යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදැකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
32. මහණ ශාස්තෘගෞරව ඇතියේ ධර්‍මගෞරව ඇතියේ සඞ්ඝයා කෙරෙහි තීව්‍රගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ කෙලෙස් තවන වැර අතියේ ශික්‍ෂාහි ගෞරව ඇතියේ,
33. හ්‍රීයෙන් හා ඔතප් ගුණෙන් සමන්‍වාගත වූයේ ප්‍රතිශ්‍රය ඇතියේ ගෞරව සහිත වූයේ පරිහානියට අභව්‍ය වූයේ නිවන් හමුයෙහි ම වේ ය යි.
7. 1. 4. 3.
[පළමුවන සෝවචස්සතා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
34. මහණෙනි, ඒ රෑහි අභිකාන්තවර්‍ණ ඇති එක්තරා දෙවියෙක් බෙහෙවින් ඉක්මගිය රාත්‍රියෙහි මුළු ජේතවනය බබුළුවා මා කරා එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි හිඳ ඒ දෙවි මට තෙල කරුණ පැවැසී ය:
වහන්ස, මෙ සත් කාරණයෝ භික්‍ෂුහුගේ නො පිරිහීම සඳහා වැටෙති. කවර සතෙක යත්:
සත්‍ථුගාරවතා හා ධම්මගාරවතා හා සඞ්ඝගාරවතා හා සික්ඛාගාරවතා හා සමාධිගාරවතා හා සෝවචස්සතා හා කල්‍යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ මහණහුගේ අපරිහානිය සඳහා වැටෙති යි.
මහණෙනි, ඒ දෙවි මෙය කී ය. මෙය කියා මා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
34. ශාස්තෘගෞරව ඇතියේ ධර්‍මගෞරව ඇතියේ සඟුන් කෙරෙහි දූ දෘඪගෞරව ඇතියේ සමාධිගෞරව ඇතියේ ආතාප ඇතියේ ශික්‍ෂාහි දෘඪගෞරව ඇතියේ,
35. කලණ මිතුරන් ඇතියේ අවවාදක්‍ෂම වූයේ ප්‍රතිශය (ගුරුගෞරව) ඇති ගෞරව සහිත වූයේ පරිහානියට අභව්‍ය වෙයි. නිර්‍වාණ සමීපයෙහි ම වේ යයි.
7. 1. 4. 4.
[දෙවෙනි සෝවචස්සතා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
35. මහණෙනි, මේ රාත්‍රියෙහි අභිකාන්ත වර්‍ණයෙන් යුත් අන්‍යතර දෙවියෙක් මුළු දෙව්රම් වෙහෙර මැදියම් රෑහි එකලු කොට මා වෙත එළැඹියේ ය. එළැඹ මා සකසා වැඳ එකත්පස්හි සිටියේ ය. එකත්පස්හි සිටි ඒ දෙවි මට තෙල කරුණ සැළ කෙළේ ය:
වහන්ස, භික්‍ෂුහුගේ අපරිහානිය සඳහා මෙ කරුණු සතක් වැටේ. කවර සතෙක යත්:
සත්‍ථුගාරවතා, ධම්මගාරවතා, සඞ්ඝගාරවතා, සික්ඛාගාරවතා, සමාධිගාරවතා, සෝවචස්සතා, කල්‍යාණමිත්තතා යි. වහන්ස, මෙ සත් කාරණයෝ භික්‍ෂුහුගේ අපරිහානියට වැටෙති යි.
මහණෙනි, ඒ දෙවි මේ කී ය. මෙය කියා මා සකසා වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් වී ය යි.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකළ හ. වහන්ස, භාග්‍යවතුන් විසින් සැකෙවින් වදාරණ ලද විස්තාරයෙන් විභාග නො කළ තෙල භාෂිතයාගේ අර්‍ත්‍ථය විස්තර විසින් මම මෙසේ දන්මි:
වහන්ස, මේ සස්නෙහි මහණ තෙමේ ද ශාස්තෘගෞරව ඇතියේ ශාස්තෘගෞරවතායෙහි ගුණ වණනුයේ ද වෙයි. ශාස්තෘගෞරව නැති යම්බඳු අන්‍ය මහණහු වෙත් නම්, ඔවුනුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. ශාස්තෘගෞරව ඇති අන්‍ය යම් බඳු මහණහු වෙත් නම් භූත විසින් යාථාවයෙන් නිසි කල්හි ඔවුන්ගේ ද ගුණ බෙණෙයි. තෙමේ ද ධර්‍මගෞරව ඇතියේ වෙයි ... සඞ්ඝගෞරව ඇතියේ වෙයි ... ශික්‍ෂාගෞරව ඇතියේ වෙයි ... සමාධිගෞරව ඇතියේ වෙයි ... අවවාදක්‍ෂම වෙයි ... තෙමේද කලණ මිතුරන් ඇතියේ කල්‍යාණමිත්‍රතායෙහි වර්‍ණවාදී ද වෙයි. යම්බඳු අන්‍ය වූ ද කල්‍යාණ මිත්‍රයන් නැති භික්‍ෂූහු වෙත් නම්, ඔවුනුදු කල්‍යාණ මිත්‍රතායෙහි සමාදන් කරවයි. යම්බඳු අන්‍ය වූ ද කල්‍යාණ මිත්‍රයන් ඇති භික්‍ෂූහු වෙත් නම්, ඔවුන්ගේ ද භූත වූ ගුණ තථ්‍ය කොට නිසි කල්හි කියන්නේ ය.
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙසේ විතර විසින් දන්මි යි.
ශාරීපුත්‍රයෙනි, මැනැව, මැනැව, ශාරීපුත්‍රයෙනි, තෝ මා විසින් සැකෙවින් දෙසනලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙ පරිද්දෙන් විතර විසින් දන්හි නම් මැනැව.
ශාරිපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ තෙමේත් ශාස්තෘගෞරව ඇතියේ ශාස්තෘගෞරව ඇති බව්හි ගුණ කියනසුලුයේත් වෙයි. යම් අන්‍ය භික්‍ෂූහු ද ශාස්තෘගෞරව ඇත්තාහු නො වෙත් නම් ඔවුනුදු ශාස්තෘගෞරවතායෙහි සමාදන් කරවයි. යම් බඳු අන්‍යභික්‍ෂූහු ශාස්තෘගෞරව ඇතියාහු වෙත් නම්, ඔවුන්ගේ ගුණ භූත කොට තථභාවයෙන් නිසි කල්හි බෙණෙයි. තෙමෙ ද ධර්‍මයෙහි ගෞරව ඇතියේ වෙයි .... සඟුන් කෙරෙයි ගෞරව ඇතියේ වෙයි … ශික්‍ෂායෙහි ගෞරව ඇතියේ වෙයි ... සමාධියෙහි ගෞරව ඇතියේ වෙයි ... සුවච වෙයි ... තෙමේ ද කල්‍යාණමිත්‍රයන් ඇතියේ කල්‍යාණමිත්‍රතායෙහි වර්‍ණවාදීත් වෙයි. යම්බඳු අන්‍ය භික්‍ෂුහු කල්‍යාණමිත්‍රයන් ඇතියාහු නො වෙත් නම් ඔවුනුදු කල්‍යාණමිත්‍රතායෙහි සමාදන් කරවයි. යම් බඳු අන්‍ය කල්‍යාණමිත්‍ර භික්‍ෂුහු වෙත් නම් ඔවුන්ගේ ද ගුණය භූත කොට තථ්‍ය කොට නිසි කල්හි කියයි.
ශාරීපුත්‍රයෙනි, මා විසින් සැකෙවින් දෙසන ලද මෙ භාෂිතයාගේ අර්‍ත්‍ථය මෙ පරිද්දෙන් විතර විසින් දතයුතු වේ ය යි.
7. 1. 4. 5.