18. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සර්‍වධර්‍මයන්හි අනාත්මානුදර්ශී වූයේ වෙසෙයි ... මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ සත් පුඟුල්හු වෙති.
7. 1. 2. 9.
[සුඛානුපස්සී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මේ පුඟුල්හු සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:
මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවනෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්‍රතිසංවිද් ඇතියේ හැම කල්හි නිරතුරු ව්‍යතිමිශ්‍ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හේ ආස්‍රවක්‍ෂයෙන් අනාස්‍රව වූ අර්‍හත්ඵල සමාධිය හා අර්‍හත්ඵල ප්‍රඥාව ... සාක්‍ෂාත් කොට එළඹ වෙසෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ ප්‍රථම පුද්ගල යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිර්‍වාණයෙහි සුඛානුදර්ශී වූයේ සුඛසංඥා ඇතියේ සුඛප්‍රතිසංවිද් ඇතියේ හැමවිට නරතුරු අසම්මිශ්‍ර කොට සිතින් අධිමෝක්‍ෂ කරණුයේ ප්‍රඥායෙන් පර්‍ය්‍යවගාහ කරනුයේ වෙසෙයි. ඔහට නො පෙරපසු ව ආස්‍රවපරික්‍ෂය ද ජීවිතපරික්‍ෂය ද වෙයි. මහණෙනි, ආහුනනාර්‍හ වූ ... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) මේ ද්විතීය පුද්ගල යි.
තවද මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුඟුලෙක් නිවන්හි සුව අනුව දක්මින් සුඛසංඥා ඇතියේ සුව පිළිවිදිනාසුලු වූයේ හැමකල් නරතුරු ව්‍යතිමිශ්‍ර නො කොට සිතින් සනිටුහන් කරමින් ප්‍රඥායෙන් වැදගන්මින් වෙසෙයි. හෙ පඤ්චෝරම්භාගිය සංයෝජනයන්ගේ පරික්‍ෂයෙන් අන්තරා පරිනිබ්බායී වෙයි ... උපහච්චපරිනිබ්බායී වෙයි ... අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි ... අකනිට්ඨාගාමීඋද්ධංසෝත වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ .... ලොවට (පුණ්‍යක්‍ෂේත්‍ර වූ) සප්තම පුද්ගල යි.
මහණෙනි, ආහුනෙය්‍ය වූ පාහුනෙය්‍ය වූ දක්‍ෂිණෙය්‍ය වූ අඤ්ජලිකරණීය වූ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ මෙ සත් පුඟුල් හු යි.
7. 1. 2. 10.
[නිද්දසවත්‍ථු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, මෙ නිර්දශවස්තු සතෙකි. කවර සතෙක යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ශික්‍ෂාසමාදානයෙහි තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු ශික්‍ෂාසමාදානයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. ධම්මනිසන්තියෙහි (විදර්‍ශනායෙහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු ධම්මනිසන්තියෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. ඉච්ඡාවිනයෙහි (තෘෂ්ණාවිනයෙහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු ඉච්ඡාවිනයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. පිළිසලනෙහි (ඒකීභාවයෙහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු පිළිසලනෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. වීර්‍ය්‍යාරම්භයෙහි තීව්‍ර ඡන්‍ද ඇතියේ මත්තෙහි දු වීර්‍ය්‍යාරම්භයෙහි අවිගතප්‍රේම ඇතියේ වෙයි. ස්මෘති නිපකභාවයෙහි (සිහි හා ස්ථානෝචිත ප්‍රඥාහි) තීව්‍ර ඡන්‍ද ඇතියේ මතුයෙහි දු ස්මෘති නිපකභාවයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි. (මාර්‍ගදර්‍ශනසඞ්ඛ්‍යාත) දෘෂ්ටිප්‍රතිවේධයෙහි තීව්‍ර ඡන්‍ද ඇතියේ මතුයෙහි දු දෘෂ්ටිප්‍රතිවේධයෙහි අවිගත ප්‍රේම ඇතියේ වෙයි.
මහණෙනි, මෙ නිර්දශවස්තු (රහතුන් පිළිබඳ “දසවස්හි පිරිනිවියහු නැවත දසවස් නොවෙති” ආදි කථා කරුණු) සත යි.
(සූත්‍රයෙහි අදහස අර්‍ත්‍ථකථාවෙන් දතයුතු.)
අනුශයවර්‍ගය දෙවෙනි යි.
එහි උද්දානය:
අනුසය සූත්‍ර දෙක ය, කුලසූත්‍රය, පුග්ගලසූත්‍රය, උදකකූපමසූත්‍ර ය, අනිච්චසූත්‍ර ය, දුක්ඛසූත්‍ර ය, අනත්තසූත්‍ර ය, සුඛසූත්‍ර ය, නිද්දසවත්‍ථුසූත්‍ර ය දැයි දසයෙකි.
3. වජ්ජිසත්තක වර්‍ගය
7. 1. 3. 1.
[සාරන්‍දද සූත්‍රය]
21. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වේසාලී නගරයෙහි සාරන්‍දද චේතිය වෙහෙරෙහි වැඩ වසනසේක.
එක්බිති බොහෝ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණු වදාළහ:
“ලිච්ඡවියෙනි, තොපට සප්තඅපරිහානීය ධර්‍මයන් දෙසමි. එ අසවු. මනාකොට මෙනෙහි කරවු. කියමි”යි. ‘එසේ ය වහන්සැ’යි ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.
ලිච්ඡවියෙනි, අපරිහානීයධර්‍ම සත කවර යත්:
(1) ලිච්ඡවියෙනි, ව්‍රජීහු යම්තාක්කල් නිතර රැස්වන්නාහු රැස්වීම් බහුල කොට ඇත්තාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(2) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු සමඟ ව රැස් වෙත් නම්, සමඟ ව නැඟ සිටුනාහු නම්, සමඟ ව ව්‍රජීනට අයත් කරණී කෙරෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(3) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු අප්‍රඥප්තයන් (පෙර රජුන් විසින් නො පනවන ලද ව්‍යවස්ථා) නො පණවත් නම්, ප්‍රඥප්තය (පැණවූ ව්‍යවස්ථා) නො සිඳලත් නම්, යථාප්‍රඥප්ත වූ පැරණි ව්‍රජීධර්‍මයෙහි සමාදන් කොට ගෙන වැටෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජිනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
(4) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු යම් බඳු මහලු ව්‍රජීහු වෙත් නම්, ඔවුනට සත්කාර කරන්නාහු, ගරුකරන්නාහු, බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු නම්, ඔවුන්ගේ ද අවවාද කථා ඇසියයුතු කොට හඟනාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
(5) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීහු යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, ඔවුන් හැදගෙණ බලාත්කාරයෙන් මැඩගෙණ නො වස්වන්නාහු නම් ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධියම මුත් පරිහානියෙක් නො කැමති වියයුතු.
(6) ලිච්ඡවියෙනි, යම් තාක් කල් වැදෑරට වැසියෝ ව්‍රජින්ගේ ඇතුළුනුවර පිහිටි හෝ බිහිනුවර පිහිටි හෝ යම් බඳු ව්‍රජිචෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට සත්කාරකරන්නාහු, ගරු කරන්නාහු, බුහුමන් කරන්නාහු නම්, පුදන්නාහු නම්, ඔවුනට (රජමහ ඇමති ආදීන් විසින්) දුන්විරූ, කළවිරූ දැහැමි බලි නො පිරිහෙළන්නාහු නම්, ලිච්ඡවියෙනි, ව්‍රජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(7) ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීන් විසින් රහතුන් (පැවිද්දන්) කෙරෙහි “කෙසේ නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියාහු ද පහසු සෙයින් වෙසෙත් ව”යි දැහැමි රැකවරණ හා ගෝපන මොනොවට කරණලද වේ නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
ලිච්ඡවියෙනි, යම් තාක් කල් ව්‍රජීන් කෙරෙහි මෙ සප්ත අපරිහානීයධර්‍මයෝ පවත්නාහු නම්, මේ සප්ත අපරිහානීය ධර්‍මයන්හිදු ව්‍රජීහු පැණෙත් නම්, ලිච්ඡවියෙනි, ව්‍රජීනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු යයි.
7. 1. 3. 2.
[වස්සකාර සූත්‍රය]
22. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්‍වතයෙහි වැඩ වසන සේක. එ සමයෙහි මාගධරාජ වූ වේදේහී පුත්‍ර වූ අජාතසත්තු තෙම වැදෑරජුන් මඩනට යනු කැමැතියේ වෙයි.
හේ මෙසේ කියයි: මම මෙසෙයින්, මහර්ධි ඇති මෙසෙයින් මහානුභාව ඇති මෙ ව්‍රජිරජුන් සිඳ ලන්නෙමි, ව්‍රජිරජුන් වනසන්නෙමි, ව්‍රජරාජයන් අනයව්‍යසනයට පමුණුවන්නෙමියි.
ඉක්බිති මාගධරාජ වූ වේදේහී පුත්‍ර අජාතසත්තු රජ මගධ මහාමාත්‍ර වූ වත්සකාර බ්‍රාහ්මණයා ඇමැතී ය: බ්‍රාහ්මණය, එව තෝ භාග්‍යවතුන් වහන්සේ කරා යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳුව. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් සිරිරුබල පහසුවිහරණ පුළුවුස්ව.
“වහන්ස, වේදේහී පුත්‍ර අජාතසත්තු මාගධරාජ භාග්‍යවතුන් වහන්සේගේ පා වඳනේ ය. අල්පාබාධ අල්පාතඞ්ක සැහැල්ලු පැවැතුම් කායබල පහසුවිහරණ විචාරන්නේ ය. වහන්ස, වේදේහී පුත්‍ර අජාතසත්තු මගධරජ වැදෑමහරජුන් මඩනට යනු කැමැත්තේ ය. හේ මෙසේ කියයි: “මම මෙබඳු මහර්ධි ඇති මෙ බඳු මහානුභාව ඇති මෙ වැදෑ රජුන් උසුන් කරන්නෙමි. මෙ වැදෑරජුන් වනසාලන්නෙමි. මෙ ව්‍රජීන් මම අනය ව්‍යසනයට පමුණුවන්නෙමි”යි. ඒ භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි පාළ කරණසේක් නම් එය මනාකොට උගෙණ මට සැළ කරව. තථාගතයෝ අසත්‍යයක් නො වදාරන්නාහ”යි.
එසේ ය භවත්නි’ය මගධමහාමාත්‍ර වූ වස්සකාර බ්‍රාහ්මණ වේදේහි පුත්‍ර වූ අජාතසත්තු මගධමහරජහට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ හා සමඟ සතුටු විය. සතුටු විය යුතු සිහිපත් කටයුතු කථාව කොට නිම වා එකත්පසෙක හින. එකත්පසෙක හුන් වස්සකාර මගධමහාමාත්‍ර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැළකෙළේ ය:
භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්‍ර මගධරාජ අජාතසත්තු තෙම භවත් ගෞතමයන්ගේ පා සිරසින් වඳනේ අල්පාබාධා, අල්පාතඞ්ක, සැහැල්ලු පැවැතුම, බලය, ඵාසුවිහාර ද පුළුවුස්නේ ය.
භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්‍ර වූ අජාතසත්තු මගධාධිපතිරජ වැදෑරජුන් මඩනට යනු කැමැතියේ ය. “හේ මෙසේ ද කියයි: මෙබඳු මහර්ධි ඇති, මෙබඳු මහානුභාව ඇති මෙ ව්‍රජීන් මම සිඳ පියන්නෙමි, ව්‍රජීන් වනසාලන්නෙමි, ව්‍රජීන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි”යි.
එසමයෙහි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පිටුපස්හි භාග්‍යවතුන් වහන්සේට පවන් සලන්නාහු වෙත්. එක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් ඇමතූ සේක:
(1) ආනන්‍දයෙනි, වජ්ජීහු නිතර රැස්වන්නාහු සන්නිපාත බහුල වූවාහු ය යන තෙල පුවත කිම තොප විසින් අසනලද දැයි.
වහන්ස, වජ්ජීහු නිතර රැස්වන්නාහු සන්නිපාතබහුලයහයි මා විසින් අසනලදැයි.
ආනන්‍දයෙනි, වජ්ජීහු යම් තාක් කල් නිතර රැස්වන්නාහු සන්නිපාතබහුල වූවාහු වෙත් ද, ආනන්‍දයෙනි, වජ්ජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(2) ආනන්‍දයෙනි, කිම, වජ්ජීහු සමඟ ව රැස්වන්නාහු සමඟ ව නැඟසිටුනාහ, සමඟ ව වජ්ජිකරණී කෙරෙති යි තොප විසින් අසන ලද දැ යි.
වහන්ස, වජ්ජීහු සමඟ ව රැස්වන්නාහ, සමඟ ව නැඟ සිටුනාහ, සමඟ ව වජ්ජීකරණි කරණාහයි මා විසින් අසනලදැයි.
ආනන්‍දයෙනි, යම් තාක් කල් වජ්ජීහු සමඟ ව රැස් වන්නාහු සමඟ ව නැඟීසිටුනාහ, සමඟ ව වජ්ජිකරණී (රජයේ කටයුතු) කරන්නාහු ද, ආනන්‍දයෙනි, වජ්ජීන්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් කැමැති නො විය යුතු.
(3) ආනන්‍දයෙනි, කිම, වජ්ජීහු අප්‍රඥප්තය නො පණවන්නාහ, ප්‍රඥප්තය නො සිඳපියන්නාහ, යථාප්‍රඥප්ත වූ පැරණි වජ්ජීධර්‍මයෙහි සමාදන් කොට ගෙණ වැටෙතියි තොප විසින් අසන ලද දැයි.
වහන්ස, වජ්ජීහු නො පණවන ලද්දක් නො පණවත්, පණවනලද්ද නො සිඳ පියත්, යථාප්‍රඥප්ත පෞරාණික වජ්ජිධර්‍මයෙහි සමාදන් කොටගෙන වැටෙන්නාහ යන තෙල කරුණ මා විසින් අසනලදැයි.
ආනන්‍දයෙනි, යම් තාක් කල් වජ්ජීහු අප්‍රඥප්තය නො පණවත් ද, ප්‍රඥප්තය නො සිඳපියත් ද, යථාප්‍රඥප්ත පෞරාණික ව්‍රජිධර්‍මයෙහි සමාදන් කොටගෙන වැටෙත් ද, ආනන්‍දයෙනි, වජ්ජින්හට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(4) ආනන්‍දයෙනි, කිම, වජ්ජීහු වජ්ජින්ගේ යම් බඳු මහලු වජ්ජිහු වෙත් ද, ඔවුනට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ කථා ද ඇසියයුතු කොට සිතත් යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.
වහන්ස, වජ්ජින්ගේ මහලු යම් බඳු වජ්ජිහු වෙත් නම් වජ්ජිහු ඔවුන්ට සත්කාර කරත්, ගරුකරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ බස් ඇසියයුතු කොට හඟිත් යන තෙල කරුණ ම විසින් අසනලදැයි.
ආනන්‍දයෙනි, යම් තාක් කල් වජ්ජින්ගේ යම් බඳු මහලු වජ්ජීහු වෙත් ද, වජ්ජිහු ඔවුන්ට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ගේ කථාත් ඇසියයුතු සෙ හඟිත් නම්, ආනන්‍දයෙනි, වජ්ජිනට වෘද්ධිය මුත් පරිහානිය නො කැමති වියයුතු.
(5) ආනන්‍දයෙනි, කිම, යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, වජ්ජීහු ඔවුන් බලාත්කාරයෙන් හැද මැඩගෙණ නො වස්වති යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.
වහන්ස, යම් බඳු කුලස්ත්‍රීහු කුලකුමාරීහු වෙත් නම්, වජ්ජීහු ඔවුන් බලාත්කාරයෙන් හැද මැඩගෙණ නො වස්වති යන තෙල කරුණ මා විසින් අසන ලදැයි.
ආනන්‍දයෙනි, යම් තාක් වජ්ජීහු යම් බඳු කුලස්ත්‍රීහු කුල කුමාරීහු වෙත් නම්, ඔවුන් බලාත්කාරයෙන් හැද මැඩගෙණ නො වස්වත් ද, ආනන්‍දයෙනි, වජ්ජීනට අභිවෘද්ධිය ම මුත් පරිහානිය නො කැමැති වියයුතු.
(6) ආනන්‍දයෙනි, කිම, වජ්ජීන්ගේ යම් බඳු අභ්‍යන්තර වූත් බාහිර වූත් චෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට වජ්ජිහු සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ට දුන්විරූ කළවිරූ දැහැමි බලිපුද නො පිරිහෙලත් යන තෙල කරුණ තොප විසින් අසනලද දැයි.
වහන්ස, වජ්ජිහු අභ්‍යන්තර වූත් බාහිර වූත් යම් ඒ වජ්ජින්ගේ චෛත්‍යස්ථානයෝ වෙත් නම්, එ හැමට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ට දුන්විරූ කළවිරූ දැහැමි බලිපුද නො පිරිහෙලත් යන තෙල කරුණ මා විසින් අසනලද දැයි.
ආනන්‍දයෙනි, යම් තාක් වජ්ජීහු වජ්ජින්ගේ යම් බඳු අභ්‍යන්තර වූ ද බාහිර වූ ද චෛත්‍යස්ථානයෝ වෙත් නම්, ඔවුන්ට සත්කාර කරත්, ගරු කරත්, බුහුමන් කරත්, පුදත්, ඔවුන්ට දුන්විරූ කළවිරූ දැහැමි බලිපුද නො පිරිහෙළත් නම්; ආනන්‍දයෙනි, වජ්ජීනට අභිවෘද්ධිය ම පරිහානියෙක් නො කැමැති වියයුතු.
(7) ආනන්‍දයෙනි, කිම, වජ්ජීන් විසින් ‘කිසෙයින් නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියාවූත් රහත්හු විජිතයෙහි පහසුයෙන් වෙසෙත්වා’යි රහතුන් කෙරෙහි දැහැමි රැකවරණ ගෝපනය මොනොවට සංවිහිත කරණලදැයි යන තෙල කරුණ තොප විසින් අසන ලද දැයි.
වහන්ස, වජ්ජීන් විසින් ‘කිසෙයින් නො පැමිණි රහත්හු විජිතයට එන්නාහු ද, පැමිණියා වූත් රහත්හු විජිතයෙහි පහසුයෙන් වෙසෙත්වා’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණ ගෝපනය මැනැවින් කරණ ලද ය යන තෙල කරුණ මා විසින් අසන ලදැයි.
ආනන්‍දයෙනි, යම්තාක් වජ්ජීන් විසින් ‘කිසෙයින් නො පැමිණි රහත්හු විජිතයට යම් කවර සෙයකින් පැමිණෙන්නාහු ද, පැමිණියා වූත් රහත්හු විජිතයෙහි පහසුයෙන් වෙසෙත්වා’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්‍ෂාවරණ ගුප්තිය මොනොවට කරණලද නම්, ආනන්‍දයෙනි, වජ්ජිනට වාද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු යයි.
එක්බිති, භාග්‍යවතුන් වහන්සේ වස්සකාර මගධමහමාත්‍රයා ඇමැතූසේක: බමුණ, මම එක් සමයෙක්හි මෙ විසල්පුරයෙහි සාරන්‍දද චෙතියෙහි වසමි. බමුණ එහි දී මම වජ්ජීනට මෙ සප්ත අපරිහානිය ධර්‍මය දෙසීමි. බමුණ යම් තාක් මෙ සප්ත අපරිහානීධර්‍මයෝ වජ්ජීන් කෙරෙහි සිටුත් නම්, මෙ සප්ත අපරිහානීයධර්‍මයන්හි වජ්ජීහු ද පැණෙත් නම්, බ්‍රාහ්මණය, වජ්ජිනට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු ය යි.
මෙසේ වදාළ කල්හි වස්සකාර මගධමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළකෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, එක් අපරිහානීය ධර්‍මයෙකිනුදු සමන්‍වාගත වජ්ජීනට වෘද්ධිය මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු. සප්තාපරිහානීයධර්‍මයෙන් සමන්‍වාගත නම් කවර කථායෙක් ද, භවත් ගෞතමයන් වහන්ස, නැළැවීම් වචනයෙන් විනා, පරස්පරභේදයෙන් විනා වේදේහිපුත්‍ර වූ මගධපති අජාතසත්තු රජහු විසින් වජ්ජීහු යුද්ධයෙන් දිනා නො ගත හැකියාහු ම වෙති යි.
භවත් ගෞතමයන් වහන්ස, දැන් වනාහි අපි යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇතියම්හයි. බ්‍රාහ්මණය, එයට දැන් කල් දනුවයි.
එක්බිති වස්සකාර මගධමහාමාත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෝදන් ව හුනස්නෙන් නැඟී නික්මගියේ ය.
7. 1. 3. 3.
[භික්ඛුඅපරහානීය සූත්‍රය]
23. මා විසින් මෙසේ අසනලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්යෙහි වැඩ වසනසේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමැතූහ: “මහණෙනි, තොපට සප්තඅපරිහානීයධර්‍මයන් දෙසමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, දෙසමියි. වහන්ස, එසේ යයි එ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, සප්තාපරහානීය ධර්‍මයෝ කවරහ යත්:
(1) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු නිතර රැස්වීම් ඇත්තාහු සන්නිපාත බහුල වෙත් නම් මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(2) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු සමඟ ව නිතර රැස් වන්නාහු නම්, සමඟ ව නැඟීසිටුනාහු නම්, සමඟ ව සඞ්ඝකෘත්‍ය කෙරෙත් නම් මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති වියයුතු.
(3) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අප්‍රඥප්තයක් නො පනවත් ද, ප්‍රඥප්තය නො සිඳපියන්නාහු ද, යථාප්‍රඥප්ත ශික්‍ෂාපදයන්හි සමාදන් කොට ගෙණ වැටෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(4) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු පැවිදියෙන් බොහෝ කල් ඇති සඞ්ඝපීතෘ වූ සඞ්ඝපරිනායක වූ චිරරාත්‍රඥ වූ යම් බඳු ස්ථවිර භික්‍ෂූහු වෙත් ද, ඔවුනට සත්කාර කරත් ද, ගරු කරත් ද, බුහුමන් කරත් ද, පුදත් ද, ඔවුන්ගේ කථා ඇසියයුතු කොට හඟිත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම මුත් පරිහානියෙක් නො කැමැති විය යුතු.
(5) මහණෙනි, යම් තාක් භික්‍ෂූහු පුනර්‍භවය සඳහා වැටෙන උපන් තෘෂ්ණාවගේ වශයට නොයෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
(6) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු අරන් සෙනසුන්හි අපේක්‍ෂා සහිත වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
(7) මහණෙනි, යම්තාක් භික්‍ෂූහු ‘කිම, නො පැමිණි ප්‍රියශීල සබ්‍රම්සරහු පැමිණෙන්නාහු ද, පැමිණි ප්‍රියශීල සබ්‍රම්සරහු පහසුයෙන් වසන්නාහු දැ යි’ තමා කෙරෙහි ම සිහි එළවන්නාහු නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
මහණෙනි, යම්තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටිත් නම්, මෙ සප්ත අපරිහානිය ධර්‍මයන්හි භික්‍ෂූහු පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති යුතු යයි.
7. 1. 3. 4.
[දෙවැනි භික්ඛු අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
24. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍ම දෙසමි. එය අසවු ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
මහණෙනි, යම්තාක් භික්‍ෂූහු කර්‍මාරාම නො වෙත් ද, කර්‍මාරාමතායෙහි අනුයුක්ත නො වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති වියයුතු.
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු භාෂ්‍යාරාම නො වෙත් ද, භාෂ්‍යාරාමතායෙහි අනුයුක්ත නො වෙත් ද ... නිද්‍රාරාම නො වෙත් ද ... සඞ්ගණිකාරම නො වෙත් ද ... පාපේච්ඡ නො වෙත් ද, ලාමක ඉච්ඡාවන්ගේ වශයට නො යෙත් ද ... පාපමිත්‍ර නො වෙත් ද, පාපසහාය පාපසම්ප්‍රවඞ්ක නො වෙත් ද ... ස්වල්පමාත්‍ර විශේෂාධිගමයෙන් අතුරෙහි පරිනිෂ්ඨිත භාවයට නො පැමිණෙත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමති වියයුතු යි.
මහණෙනි, යම්තාක් මෙ සප්තඅපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටිත් නම්, මෙ සප්ත අපරිහානිය ධර්‍මයන්හි භික්‍ෂූහු පැණෙත් නම්, මහණෙනි, භික්‍ෂූහු වෘද්ධියම විනා පරිහානියෙක් නො කැමැති විය යුතුයයි.
7. 1. 3. 5.
[තෙවැනි භික්ඛූ අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
25. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි. එ අසවු ... මහණෙනි, සප්ත අපරිහානීය ධර්‍මයෝ කවරහ යත්:
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු ශ්‍රද්ධා ඇතියාහු වෙත් ද, මහණෙනි, භික්‍ෂූන්ට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති වියයුතු.
මහණෙනි, යම් තාක් භික්‍ෂූහු හිරි ඇතියාහු වෙත් ද ... ඔතප් ඇතියාහු වෙත් ද, බහුශ්‍රුත වෙත් ද ... රුකුළුවැර ඇති වෙත් ද ... ස්මෘතිමත් වෙත් ද ... ප්‍රඥාවත් වෙත් ද, මහණෙනි, භික්‍ෂූනට වෘද්ධිය ම විනා පරිහානියෙක් නො කැමැති විය යුතු.
මහණෙනි, යම් තාක් මෙ සප්ත අපරිහානීය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි සිටුනාහු ද, භික්‍ෂූහු දු මෙ සප්තාපරිහානීය ධර්‍මයන්හි පැණෙත් ද, මහණෙනි, භික්‍ෂූන්හට වෘද්ධිය ම මිස පරිහානියෙක් නො කැමැති විය යුතු යි.
7. 1. 3. 6.
[සිවුවැනි භික්ඛු අපරහානීය සූත්‍රය]
[සැවැත්නිදාන යි]
26. මහණෙනි, තොපට සප්ත අපරිහානීය ධර්‍මයන් දෙසන්නෙමි. ඒ අසවු ... මහණෙනි, සප්ත අපරිහානිය ධර්‍මයෝ කවරහ යත්: