මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
[සැවැත්නිදාන යි]
4-30. මහණෙනි, රාගයාගේ පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා මේ කරුණු සය වැඩිය යුතු ය.
31-60. මහණෙනි, ද්වේෂයාගේ අභිඥාන යැ සදහමෙක් වැඩියයුතු යැ ... මහණෙනි, ද්වේෂයාගේ පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා මෙ සදහම් වැඩිය යුතු ය යි.
61-90. මහණෙනි, මෝහයාගේ ...
91-120. මහණෙනි, ක්‍රෝධයාගේ ...
121-150. මහණෙනි, උපනාහයාගේ ...
151-180. මහණෙනි, මක්ඛයාගේ ...
181-210. මහණෙනි, පලාසයාගේ ...
211-240. මහණෙනි, ඊර්‍ෂ්‍යාවගේ ...
241-270. මහණෙනි, මාත්සර්‍ය්‍යයාගේ ...
271-300. මහණෙනි, මායාවගේ ...
301-330. මහණෙනි, සාඨෙය්‍යයාගේ ...
331-360. මහණෙනි, ථම්භයාගේ ...
361-390. මහණෙනි, සාරම්භයාගේ ...
391-420. මහණෙනි, මානයාගේ ...
421-450. මහණෙනි, අතිමානයාගේ ...
451-480. මහණෙනි, මදයාගේ ...
481-510. මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥානය සඳහා ... පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා කරුණු සයක් වැඩිය යුතු ය ... කවර සයෙක යත්: දර්‍ශනානුත්තරියැ ... අනුස්මෘත්‍යානුත්තරිය යි ... කවර සයෙක යත්: බුද්ධානුස්මෘතියැ ... කවර සයෙක යත්: අනිත්‍යසංඥා යැ ... මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥානය සඳහා ... පරිඥානය සඳහා ... පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා ... ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා ... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා ... ප්‍රතිනිඃසර්‍ගය සඳහා මෙ කරුණු සය වැඩිය යුතු ය යි.
භාග්‍යවතුන් වහන්සේ මෙ වදාළසේක. ආප්තමන එ භික්‍ෂූහු භාග්‍යවතුන්ගේ භාෂිතය සතුටින් පිළිගත්හයි.
රාගාදිපෙය්‍යාලය{*} නිමි.
ඡක්කනිපාතය සමාප්ත යි.
අඞ්ගුත්තරනිකාය
7. සත්තකනිපාතය
1. ප්‍රථම පණ්ණාසකය
1. ධන වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
7. 1. 1. 1.
[පළමුවන පියභික්ඛු සූත්‍රය]
1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක:
මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය අමනාප අගරු අභාවනීය වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේ ද, සත්කාර කැමතියේ ද, යශස් කැමතියේ ද, හිරි නැතියේ ද, ඔතප් නැතියේ ද, ලමු ඉච්ඡා ඇතියේ ද, මිසදිටු ඇතියේ ද වෙයි.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය අමනාප අගරු අභාවනීය වෙයි.
මහණෙනි, කරුණු සතෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය මනාප ගරු භාවනීය වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේත් නො වෙයි, සත්කාර කැමතියේත් නො වෙයි, යශස් කැමතියේත් නො වෙයි, හිරි ඇතියේත් වෙයි, ඔතප් ඇතියේත් වෙයි, අල්පෙච්ඡ ද වෙයි, සම්දිටු ඇතියේත් වෙයි.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද වෙයි, මනාප ද වෙයි, ගරු ද වෙයි, භාවනීය ද වේ.
7. 1. 1. 2.
[දෙවැනි පියභික්ඛු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
2. මහණෙනි, සත් කරුණෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය හා අමනාප හා අගරු හා අභාවනීය හා වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමතියේ ද, සත්කාර කැමතියේ ද, ප්‍රසිද්ධිය කැමතියේ ද, හිරි නැතියේ ද, ඔතප් නැතියේ ද, ඊර්‍ෂ්‍යා ඇතියේ ද, මසුරු වූයේ ද වෙයි.
මහණෙනි, මෙ සත් කරුණින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට අප්‍රිය හා අමනාප හා අගරු හා අභාවනීය හා වෙයි.
මහණෙනි, දහම් සතෙකින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි. කවර සතෙකින යත්:
මහණෙනි, මෙ සස්නෙහි මහණ ලාභ කැමැත්තේ නො වෙයි, සත්කාර කැමැත්තේ ද නො වෙයි, යශස් කැමැත්තේ ද නො වෙයි, හිරි ඇත්තේ ද, ඔතප් ඇත්තේ ද, ඊර්‍ෂ්‍යා නැත්තේ ද, මසුරු නො වූයේ ද වෙයි.
මහණෙනි, මෙ දහම් සතින් සමන්‍වාගත මහණ සබ්‍රම්සරුනට ප්‍රිය ද මනාප ද ගරු ද භාවනීය ද වෙයි.
7. 1. 1. 3.
[සඞ්ඛිත්තසත්තබල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
3. මහණෙනි, මෙ බලසතෙකි. කවර සතෙක යත්:
සද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබලය, පඤ්ඤාබල යි. මහණෙනි, මෙ සත් බල යි.
1. සද්ධාබල විරියබල හිරිබල ඔතප්බල සතිබල සමාධිබල හා සත් වැනි වූ ම පඤ්ඤාබලය යි බල සතෙකි. මෙ බල සතින් යුත් පණ්ඩිත මහණ සුවසේ වෙසේ.
2. හේ උපායමනස්කාරයෙන් සිවුසස් දහම් විමසන්නේ ය. විවසුන් සහගිය මග නැණින් එහි අරුත් දක්නේ ය. පහන නිවුනු සෙයින් (චරිමක) චිත්තයාගේ විමෝක්‍ෂය (වස්තු ආලම්බනයන්ගෙන් මිදීම) වන්නේ යි.
7. 1. 1. 4.
[විත්‍ථතසත්තබල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
4. මහණෙනි, මෙ බල සතෙකි. කවර සතෙක යත්:
සද්ධාබලය, විරියබලය, හිරිබලය, ඔත්තප්පබලය, සතිබලය, සමාධිබල, පඤ්ඤාබල යි.
(1) මහණෙනි, සද්ධාබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු සැදැහැතියේ වෙයි: “මෙ කරුණෙන් එ භගවත්හු අර්‍හත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යායෙන් හා චරණයෙන් සම්පන්නහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථිහ, දෙව්මිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය (බුදුගුණ) හදහයි. මහණෙනි, මෙ සද්ධාබල යී කියනු ලැබේ.
(2) මහණෙනි, විරියබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය සඳහා කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභය සඳහා වීර්‍ය්‍ය ඇතියේ දළ පැරැකුම් ඇතියේ කුශලධර්‍මයන්හි නො හළ වීර්‍ය්‍යධුර ඇතියේ රුකුළු වැර ඇතියේ වෙසෙයි. මහණෙනි, මෙ විරිය බල යි කියනු ලැබේ.
(3) මහණෙනි, හිරිබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුශලධර්‍මසමාපත්තියෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, මෙ හිරිබල යි කියනු ලැබේ.
(4) මහණෙනි, ඔත්තප්පබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ඔතප් ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් බානේ වෙයි. ලාමක අකුශල ධර්‍මසමාපත්තියෙන් බියපත් වෙයි. මහණෙනි, මෙ ඔත්තප්පබල යි කියනු ලැබේ.
(5) මහණෙනි, සතිබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරී සවූ සිහි ඇතියේ වෙයි, පරම සතියෙන් හා නිපක භාවයෙන් (නුවණින්) සමන්‍වාගත වූයේ කළ විරූ දෑ හා බිණු විරූ දෑ සිහිපත් කරණුයේ පුනපුනා සිහිපත් කරණුයේ වෙයි. මහණෙනි, මෙ සතිබල යි කියනු ලැබේ.
(6) මහණෙනි, සමාධිබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු කාමයන් කෙරෙන් වෙන් ව ම ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. මහණෙනි, මෙ සමාධිබල යි කියනු ලැබේ.
(7) මහණෙනි, පඤ්ඤාබල කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මොනොවට දුක් ක්‍ෂයවීමට යන, නිර්වේදය (කෙලෙස් විදලීම) ඇසුරු කොට පවත්නා ස්කන්‍ධයන්ගේ උදාවිය පිළිවිදීමට සමත් ආර්‍ය්‍යප්‍රඥායෙන් සමන්‍වාගත වූයේ ප්‍රඥාවත් වෙයි. මහණෙනි, මෙ පඤ්ඤාබල යි කියනු ලැබේ.
මහණෙනි, මෙ බල සත යි.
3. සද්ධාබල විරියබල හිරිබල ඔත්තප්පියබල සතිබල සමාධිබල සත්වැනි පඤ්ඤාබල යි. මෙ බල සතින් යුත් නැණැති මහණ සුවසේ වෙසේ.
4. හේ යෝනිසෝමනසිකාරයෙන් චතුස්සත්‍යධර්‍මය විමසනේ ය. විදර්‍ශනාමාර්‍ගප්‍රඥායෙන් අර්‍ත්‍ථය වෙසෙසා දන්නේ ය. පහනක් නිවෙනු සෙයින් ඔහුගේ චිත්තයාගේ විමෝක්‍ෂය වේ ය යි.
7. 1. 1. 5.
[සඞ්ඛිත්තධන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
5. මහණෙනි, මේ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධන සීලධන හිරිධන ඔත්තප්පධන සුතධන චාගධන පඤ්ඤාධන යි.
මහණෙනි, මෙ ධන සත යි.
5. සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, සත්වැනි වූ ම පඤ්ඤාධන ය යි (ධන) සතෙකි.
6. යම් ස්ත්‍රියකට වේවයි පුරුෂයකුට වේවයි මෙ ධන ඇති නම් හේ ‘නො දිළිඳු ය’යි ද ඔහුගේ ජීවිතය නො සිස් ය යි ද කීහු.
7. එහෙයින් ප්‍රඥා ඇතියේ බුද්ධශාසනය මෙනෙහි කරමින් ශ්‍රද්ධා ද, ශිල ද, ප්‍රසාදය ද, ධර්‍මදර්‍ශනය ද යන මෙහි පුනපුනා යෙදෙන්නේ යී.
7. 1. 1. 6.
[විත්‍ථතධන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, මෙ ධන සතෙකි. කවර සතෙක යත්:
සද්ධාධන ය, සීලධන ය, හිරිධන ය, ඔත්තප්පධන ය, සුතධන ය, චාගධන ය, පඤ්ඤාධන ය යි.
(1) මහණෙනි, සද්ධාධන කවරේය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සැදැහැතියේ වෙයි. “මේ කරුණිනුදු එ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් වන සේක, සම්‍යක් සම්බුද්ධ වන සේක ... බුද්ධවන සේක, භගවත් වන සේකැ”යි තථාගතයන් වහන්සේගේ බෝධිය හදහයි. මහණෙනි, මෙ සද්ධාධන යී කියනු ලැබේ.
(2) මහණෙනි, සීලධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු පණිවායෙන් වැළැකියේ වෙයි ... මදපමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකියේ වෙයි. මහණෙනි මෙ සීලධන යි කියනු ලැබේ.
(3) මහණෙනි, හිරිධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු හිරි ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ලජ්ජිත වෙයි. ලාමක අකුශලධර්‍මසමාපත්තියෙන් ලජ්ජිත වෙයි. මහණෙනි, මෙ හිරිධන යි කියනු ලැබේ.
(4) මහණෙනි, ඔත්තප්පධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ඔත්තප්ප ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනෝදුශ්චරිතයෙන් ඔතප් ඇති වෙයි. ලමු අකුසල්දහම් කිරීමෙහි ඔතප් ඇතියේ වෙයි. මහණෙනි, මෙ ඔත්තප්පධන ය යි කියනු ලැබේ.
(5) මහණෙනි, සුතධන කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රැතධර වූයේ ශ්‍රැතසන්නිචය ඇතියේ බහුශ්‍රුත වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යාවසාන කල්‍යාණ වූ සාර්‍ත්‍ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්‍ණ වූ පරිශුද්ධ වූ යම් ඒ ධර්‍මකෙනෙක් මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය පාළ කරත් නම්, එබඳු ධර්‍මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද වෙත්, ධරණ ලද වෙත්, වචනයෙන් පරිචිත වෙත්, සිතින් විමසන ලද වෙත්, ප්‍රඥාදෘෂ්ටියෛන් මොනොවට පිළිවිදියාහු වෙත්. මහණෙනි, මෙ සුතධන යයි කියනු ලැබේ.
(6) මහණෙනි, චාගධනය කවරේ ය යත්:
මහණෙනි, මෙ සස්නෙහි අරීසවු දුරු වූ මසුරුමල ඇති සිතින් මිදු ත්‍යාග ඇත්තේ, දෙනුවට දෙවි අත් ඇතියේ, පිදීමෙහි ඇලුනේ, යදනට නිසි වූයේ, දානයෙහිත් සංවිභාගයෙහිත් ඇලුනේ ගිහිගෙහි වෙසෙයි. මහණෙනි, මෙ චාගධන යි කියනු ලැබේ.