Puggalapaññatti

Designation of Persons

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 549 segments

පෙන්වන කොටස් 401-500 න් 549

13. එහි ගවයාට බඳු පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: ගවයෝ සතර දෙනෙකි: සිය ගවයනට සැඬ වූ පරගවයනට සැඬ නො වූයේ යැ, පරගවයනට සැඬ වූ සිය ගවයනට සැඬ නොවූයේ යැ, සිය ගවයනටත් පරගවයනටත් සැඬ වූයේ යැ, සිය ගවයනට සැඬ නො වූයේ ම පරගවයනටත් සැඬ නො වූයේ යැ යි. මෙසේ ම ලෝකයෙහි ගවයාට බඳු පුද්ගලයෝ සතර දෙනෙක් ඇත. කවරහු සතර දෙනෙක් ද යත්: ස්වගවයනට සැඬ වූ පරගවයනට සැඬ නො වූයේ යැ, පරගවයනට සැඬැ වූ ස්වගවයනට සැඬ නො වූයේ යැ ස්වගවයනටත් පරගවයනටත් සැඬ වූයේ යැ ස්වගවයනට සැඬ නො වූයේ මැ පරගවයනටත් සැඬ නො වූයේ යි.
කෙසේ නම් පුද්ගල ස්වගවයනට සැඬ වූයේ පරගවයනට සැඬ නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් සිය පිරිස් තැති ගන්වන්නේ වෙයි. පර පිරිස් තැති නො ගන්වයි. මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේ පරගවචණ්ඩ නො වූයේ වේ. ඒ ගව තෙමේ ස්වගවයනට සැඬ වූයේ පරගවයනට සැඬ නො වූයේ යම්සේ ද මේ පුද්ගල එ බඳු යි.
කෙසේ නම් පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් පරපිරිස් තැති ගනවන්නේ වෙයි, සිය පිරිස් තැති නො ගන්වයි, මෙසේ පුද්ගල පරගවචණ්ඩ වූයේ සගවචණ්ඩ නො වූයේ වේ. ඒ ගව තෙමේ පරගවයනට සැඬ වූයේ ස්වගවයනට සැඬ නො වූයේ යම්සේ ද, මේ පුද්ගල එබඳු යි.
කෙසේ නම් පුද්ගල සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් සිය පිරිසත් පරපිරිසත් තැති ගන්වන්නේ වෙයි, මෙසේ පුද්ගල සගවචණ්ඩ වූයේත් පරගවචණ්ඩ වූයේත් වේ. ඒ ගවතෙමේ ස්වගවයනටත් පර ගවයනටත් සැඬවූයේ යම්සේ ද, මේ පුද්ගල එබඳු යි.
කෙසේ නම් පුද්ගල සගවචණ්ඩ නො වූයේ ම පරගවචණ්ඩ නො වූයේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් සිය පිරිස තැති නො ගන්වන්නේ ම පරපිරිස ද නො තැති ගන්ව යි. මෙසේ පුද්ගල සගවවණඩ නො වූයේ ම පරගවචණ්ඩ නො වූයේ වේ. ඒ ගවතමේ ස්වගවයනට සැඬ නො වූයේ ම පරගවයනට සැඬ නො වූයේ යම්සේ ද, මේ පුද්ගල එ බඳු යි. මොහු සතර දෙන ලෝකයෙහි විද්‍යමාන ගවයනට බඳු පුද්ගලයෝ යි.
14. එහි සර්‍පයනට බඳු පුද්ගලයෝ සතර දෙන කවරහ යත්: සර්‍පයෝ සතර දෙනෙකි. ඝෝරවිෂ නැති පැතිරෙන විෂ ඇත්තේ යැ, පැතිරෙන විෂ නැති ඝෝරවිෂ ඇත්තේ යැ, ඝෝරවිෂත් පැතිරෙන විෂත් ඇත්තේ ය, පැතිරෙන විෂ නැත්තේ ම ඝෝරවිෂ නැත්තේ යැ යි. මෙසේ ම සර්‍පයනට බඳු පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි විද්‍යමානයහ. කවර සතර දෙනෙක් ද යත්: ඝෝරවිෂ නැති පැතිරෙන විෂ ඇත්තේ යැ, පැතිරෙන විෂ නැති ඝෝර විෂ ඇත්තේ යැ, ඝෝර විෂත් පැතිරෙන විෂත් ඇත්තේ යැ, පැතිරෙන විෂ නැත්තේ ම ඝෝර විෂ නැත්තේ යි.
කෙසේ නම් පුද්ගල ඝෝරවිෂ නැති පැතිරෙන විෂ ඇත්තෙක් වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර කිපෙයි, ඔහුගේ ඒ ක්‍රෝධය ද බොහෝ කලක් දිගු කලක් රැඳී නො පවතී. මෙසේ පුද්ගල තෙමේ ඝෝරවිෂ නැති පැතිරෙන විෂ ඇත්තේ වේ. පැතිරෙන විෂ ඇති ඝෝර විෂ නැති ඒ සර්‍ප යම්සේ ද, මේ පුද්ගල එබඳු යි.
කෙසේ නම් පුද්ගල පැතිරෙන විෂ නැත්තේ ඝෝරවිෂ ඇත්තෙක් වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර නො ම කිපෙයි, එතෙකුදු වත් ඔහුගේ ඒ ක්‍රෝධය බොහෝ කලක් දිගු කලක් රැඳී පවති. මෙසේ පුද්ගල පැතිරෙන විෂ නැත්තේ ඝෝරවිෂ ඇත්තේ වේ. පැතිරෙන විෂ නැති ඝෝරවිෂ ඇති ඒ සර්‍ප යම් සේ ද මේ පුද්ගල එබඳු යි.
කෙසේ නම් පුද්ගල පැතිරෙන විෂත් ඝෝරවිෂත් ඇත්තේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර කිපෙයි, ඔහුගේ ඒ ක්‍රෝධය ද බොහෝ කලක් දිගු කලක් රැඳී පවති. මෙසේ පුද්ගල පැතිරෙන විෂත් ඝෝරවිෂත් ඇත්තේ වේ. පැතිරෙන විෂත් ඝෝරවිෂත් ඇති ඒ සර්‍ප තෙම යම් සේ ද මේ පුද්ගල එබඳු යි.
කෙසේ නම් පුද්ගල පැතිරෙන විෂ නැත්තේ ම ඝෝරවිෂ නැත්තේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් නිතොර නො කිපේ මැ යි, ඔහුගේ ඒ ක්‍රෝධය ද බොහෝ කලක් දිගු කලක් රැඳී නො පවති. මෙසේ පුද්ගල පැතිරෙන විෂ නැත්තේ ම ඝෝරවිෂ නැත්තේ වේ. පැතිරෙන විෂ නොමැති ඝෝරවිෂ නැති ඒ සර්‍ප යම්සේ ද, මේ පුද්ගල එබඳු යි. මොහු සතර දෙන ලෝකයෙහි විද්‍යමාන සර්‍පයනට බඳු පුද්ගලයෝ යි.
15. කෙසේ නම් පුද්ගල තුලනය නො කොට (ගුණාගුණ මැන නො බලා යි සේ යි) (ගුණයෙහි) නො බැස ගෙන නුගුණ කියයුත්තහුගේ ගුණ කියන්නේ වේ දයත්: මෙලොව එක් පුද්ගලයෙක් ‘සුපිළිපන්හ යි ද මොනවට පිළිපන්හ’ යි දැ යි දුපිළිපන් වැරැදි ලෙස පිළිපන් තීර්‍ත්‍ථකයන්ගේ තීර්‍ත්‍ථක ශ්‍රාවකයන්ගේ ගුණ කියයි. මෙසේ පුද්ගල තෙමේ තුලනය නො කොට ගුණයෙහි නො බැස ගෙන නුගුණ කිය යුත්තහුගේ ගුණ කියන්නේ වේ.
කෙසේ නම් පුද්ගල තෙම තුලනය නො කොට ගුණයෙහි නො බැස ගෙන ගුණ කියයුත්තහුගේ නුගුණ කියන්නේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් ‘දුපිළිපන්හ’ යි ද ‘වැරැදි ලෙස පිළිපන්හ’ යි ද සුපිළිපන් මනා කොට පිළිපන් බුදුන් වහන්සේගේ බුදු සව්වන්ගේ නුගුණ කියයි. මෙසේ පුද්ගල තුලනය නො කොට ගුණයෙහි නො බැසගෙන ගුණ කියයුත්තහුගේ නුගුණ කියන්නේ වේ.
කෙසේ නම් පුද්ගල තුලනය නො කොට ගුණයෙහි නො බැසගෙන නො පැහැදිය යුතු තැන ප්‍රසාදය උපදවන්නේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් දුෂ්ප්‍රතිපදායෙහි මිථ්‍යාප්‍රතිපදායෙහි සුප්‍රතිපදා ය යි ද මිථ්‍යා ප්‍රතිපදා ය යි දැ යි ප්‍රසාදය උපදවයි. මෙසේ පුද්ගල තුලනය නො කොට ගුණයෙහි නො බැසගෙන නො පැහැදිය යුතු තැන ප්‍රසාදය දක්වන්නේ වේ.
කෙසේ නම් පුද්ගල තෙම තුලනය නො කොට ගුණයෙහි නො බැස ගෙන පැහැදිය යුතු තැන අප්‍රසාදය දක්වන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සුප්‍රතිපදායෙහි සම්‍යක් ප්‍රතිපදායෙහි ‘දුෂ්ප්‍රතිපදා’ ය යි ද ‘මිථ්‍යා’ ‘ප්‍රතිපදා’ ය යි දැ යි අප්‍රසාදය උපදවයි. මෙසේ පුද්ගල තෙමේ තුලනය නො කොට ගුණයෙහි නො බැසගෙන පැහැදිය යුතු තැන අප්‍රසාදය දක්වන්නේ වේ.
16. කෙසේ නම් පුද්ගල තුලනය කොට ගුණයෙහි බැසගෙන නුගුණ කිය යුත්තහුගේ නුගුණ කියන්නේ වේ ද යත්: මෙලොව එක් පුද්. ගලයෙක් ‘දුෂ්ප්‍රතිපන්නයැ’ යි ද ‘මිථ්‍යාප්‍රතිපන්නයැ’ යි ද යි දුෂ්ප්‍රතිපන්න මිථ්‍යාප්‍රතිපන්න තීර්‍ත්‍ථකයන්ගේ ද තීර්‍ත්‍ථක ශ්‍රාවකයන්ගේ ද නුගුණ කියයි. මෙසේ පුද්ගල තුලනය කොට ගුණයෙහි බැසගෙන නුගුණ කිය යුත්තහුගේ නුගුණ කියන්නේ වේ.
කෙසේ නම් පුද්ගල තෙම තුලනය කොට ගුණයෙහි බැසගෙන ගුණ කිය යුත්තහුගේ ගුණ කියන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ‘සුප්‍රතිපන්නයැ’ යි ද ‘සම්‍යක් ප්‍රතිපන්නයැ’ යි ද යි සුපිළිපන් මොනවට පිළිපන් බුදුන්වහන්සේගේ ද බුදුසව්වන්ගේ ද ගුණ කිය යි. මෙසේ පුද්ගල ගුණ කිය යුත්තහුගේ ගුණ කියන්නේ වේ.
කෙසෙයින් පුද්ගල නුවණින් විමසා ගුණයෙහි බැසගෙන නො පැහැදිය යුතු තැන්හි අප්‍රසාදය දනවන්නේ වේ ද: මෙලොව පුද්ගලයෙක් ‘නින්‍දිත ප්‍රතිපත්’ ය යි ද ‘වැරැදි පිළිවෙතැ’ යි ද දැන නින්‍දිත ප්‍රතිපදායෙහි වැරැදි පිළිවෙතෙහි අප්‍රසාදය උපදවයි. මෙසේ පුද්ගල නුවණින් විමසා ගුණයෙහි බැසගෙන නො පැහැදිය යුතු තැන්හි අප්‍රසාදය දනවයි.
කෙසේ නම් පුද්ගල නුවණින් විමසා ගුණයෙහි බැසගෙන පැහැදිය යුතු තැන්හි ප්‍රසාදය දනවන්නේ වේ ද: මෙලොව කිසි පුද්ගලයෙක් ‘මනා පිළිවෙතැ’ යි ද ‘නිවැරැදි පිළිවෙතැ’ යි ද දැන මනා පිළිවෙතෙහි නිවැරදි පිළිවෙතෙහි ප්‍රසාදය උපදවයි. මෙසේ පුද්ගල නුවණින් විමසා ගුණයෙහි බැසගෙන පැහැදිය යුතු තැන්හි ප්‍රසාදය දනවයි.
17. කෙසේ නම් පුද්ගල නුගුණ කිය යුත්තනුගේ ඇත්තා වූ තථ්‍ය වූ (එසේ ම වූ) නුගුණය සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වත් ගුණ කිය යුත්තාහුගේ ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි නො කියන්නේ වේ ද: මෙලොව පුද්ගලයකු කෙරෙහි ගුණයෙක් ද පැනෙයි, නුගුණයෙක් ද පැනෙයි. එහි නුගුණය යමෙක් ද ඇත්තා වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි කියයි. එහි යම් ගුණයෙක් වේ නම් විද්‍යමාන වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි නො කියයි. මෙසේ පුද්ගල නුගුණ කියයුත්තහුගේ විද්‍යමාන වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි කියන්නේ වෙයි. එතෙකුදුවත් ගුණකියයුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි නො කියන්නේ වේ.
කෙසේ නම් පුද්ගල තෙම ගුණ කිය යුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියන්නේ වේ ද, එතෙකුදු වත් නුගුණ කිය යුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි නො කියන්නේ වේ ද: මෙලොව පුද්ගලයකු කෙරෙහි ගුණයෙක් ද පැනෙයි, නුගුණයෙක් ද පැනෙයි. එහි යම් ගුණයෙක් වේ නම් ඇත්තා වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි කියයි. එහි නුගුණය යමෙක් ද ඇත්තා වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි නො කියයි. මෙසේ පුද්ගල ගුණ කිය යුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියන්නේ වෙයි, එතෙකුදු වත් නුගුණ කිය යුත්තහුගේ ඇත්තා වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි නො කියන්නේ වේ.
කෙසේ නම් පුද්ගල නුගුණ කිය යුත්තහුගේ ද ඇත්තා වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි කියන්නේ වේ ද ගුණ කිය යුත්තහුගේ ද ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියන්නේ වේ ද: මෙලොව පුද්ගලයෙකු කෙරෙහි නුගුණයෙක් ද පැනෙයි. ගුණයෙක් ද පැනෙයි. එහි යම් නුගුණයෙක් වේ නම් ඇත්තා වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි කියයි. තව ද එහි ගුණය යමෙක් ද ඇත්තා වූ තථ්‍ය වූ එය ද සුදුසු කල්හි කියයි. එහි ඒ ප්‍රශ්නය විසඳීමට සුදුසු කල් දන්නේ වෙයි. මෙසේ පුද්ගල නුගුණ කිය යුත්තාහුගේ ද ඇත්තා වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි කියන්නේ වෙයි. ගුණ කිය යුත්තාහුගේ ද ඇත්තා වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි කියන්නේ වේ.
කෙසේ නම් පුද්ගල නුගුණ කිය යුත්තහුගේ ද වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි නො කියන්නේ ම ගුණ කිය යුත්තණුගේ භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි නො කියන්නේත් වේ ද: මෙලොව කිසි පුද්ගලයකු කෙරෙහි ගුණයෙක් ද පැනෙයි, නුගුණයෙක් ද පැනේ. එහි යම් නුගුණයෙක් වේ නම් භූත වූ තථ්‍ය වූ එය සුදුසු කල්හි නො කියයි. තව ද එහි යම් ගුණයෙකුත් වේ නම් භූත වූ තථ්‍ය වූ එය ද සුදුසු කල්හි නො කියයි. සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ මැදහත් ව වෙසෙයි. මෙසේ පුද්ගල තෙමේ නුගුණ කියයුත්තහුගේ භූත වූ තථ්‍ය වූ නුගුණය සුදුසු කල්හි නො කියන්නේ ම ගුණ කියයුත්තහුගේ භූත වූ තථ්‍ය වූ ගුණය සුදුසු කල්හි නො ද කියන්නේ වේ.
18. කවර පුද්ගලයෙක් ‘උත්‍ථානඵලෝපජීවී’ වූයේ පුණ්‍යඵලෝපජීවී නො වේ ද යත්: නැඟී සිටුනා උත්සාහ කරන ව්‍යායාම කරන යම් පුද්ගලයක්හුගේ දිවි පැවැත්ම සැපයේ ද පුණ්‍යයෙන් නො සැපයේ ද මේ පුද්ගල උත්‍ථානඵලෝපජීවී වූයේ පුණ්‍යඵලෝපජීවී නො වේ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘පුණ්‍යඵලෝපජීවී’ වූයේ ‘උත්‍ථානඵලෝපජීවී’ නො වේ ද යත්: පරනිර්මිතවශවර්ත්තී දෙවියන් පටන් ගෙන ඉන් මතුයෙහි දෙවියෝ පුණ්‍යඵලෝපජීවී වූවාහු උත්‍ථානඵලෝපජීවී නො වූවාහු ය.
කවර පුද්ගලයෙක් ‘උත්‍ථානඵලෝපජීවී’ත් ‘පුණ්‍යඵලෝපජීවී’ත් වේ ද යත්: නැගී සිටුනා උත්සාහ කරන වෑයම් කරන යම් පුද්ගලයක්හුගේ දිවි පැවැත්ම සැපයේ ද පිනිනුදු සැපයේ ද මේ පුද්ගල ‘උත්‍ථානඵලෝපජීවී’ත් ‘පුණ්‍යඵලෝපජීවී’ත් වේ ය යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘උත්‍ථානඵලෝපජීවී’ නො මැ වූයේ ‘පුණ්‍යඵලෝපජීවී’ නො වේ ද යත්: නිරිසත්හු ‘උත්‍ථානඵලෝපජීවීහු’ නො මැ වූවාහු ‘පුණ්‍යඵලෝපජීවී’ නො වෙත්.
19. කෙසේ නම් පුද්ගල ‘තමෝතමපරායණ’ (අඳුරු වූයේ අඳුරට යන්නේ) වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් යම් කුලයෙකැ දුකසේ ආහාර වස්ත්‍ර ලැබේ ද එබඳු දිළිඳු වූ මඳ වූ ආහාර පාන භෝජන ඇති, දුකින් වැටෙන නීචකුල වූ සැඩොල්කුලයෙහි හෝ මුවවැදි කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ රියවඩු කුලයෙහි හෝ පුප්සඬු කුලයෙහි හෝ උපන්නේ වෙයි. හේ ද දුර්වර්‍ණයෙක් නපුරු දැකුම් ඇත්තෙක්, ලකුණටකයෙක් බොහෝ ආබාධ ඇත්තෙක් වෙයි. කණෙක් හෝ අත්පා කොරෙක් හෝ පිළෙක් හෝ වෙයි. ආහාර පාන, වස්ත්‍ර, යාන මල් ගඳ විලෙවුන්, ශයනාගාර ප්‍රදීපෝපකරණ නොලබන්නෙක් වේ. හෙතෙම කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. මනසින් දුසිරිත් කරයි. හෙතෙම කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට මනසින් දුසිරිත් කොට කා බුන් මරණින් මතු සැප නැති අපායෙහි දුගති වූ විනිපාත වූ නිරයට පැමිණේ: මෙසේ පුද්ගල ‘තමෝතමපරායණ’ වේ.
කෙසේ නම් පුද්ගල තමෝජෝතිපරායණ (අඳුරු වූයේ ආලෝකයට යන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් යම් කුලයෙකැ දුකසේ ආහාර හා වස්ත්‍ර ලැබේ ද එබඳු දිළිඳු වූ මඳ වූ ආහාර පාන භෝජන ඇති දුකින් වැටෙන නීචකුල වූ සැඩොල්කුලයෙහි හෝ මුවවැදිකුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ රියවඩුකුලයෙහි හෝ පුප්සඬුකුලයෙහි හෝ උපන්නේ වෙයි. හේ ද දුර්වර්‍ණයෙක් නපුරු දැකුම් ඇත්තෙක් ලකුණ්ටකයෙක් රෝගබහුලයෙක් වෙයි, කණෙක් හෝ අත් පා කොරෙක් හෝ පිළෙක් හෝ වෙයි, ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර ප්‍රදීපෝපකරණ නො ලබන්නෙක් වේ. හෙතෙම කයින් සුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් සුසිරිතෙහි හැසිරෙයි, මනසින් සුසිරිතෙහි හැසිරේ. හෙතෙම කයින් සුසිරිතෙහි හැසිර වචනයෙන් සුසිරිතෙහි හැසිර, මනසින් සුසිරිතෙහි හැසිර කාබුන් මරණින් මතු ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණේ. මෙසේ පුද්ගල ‘තමෝජෝතිපරායණ’ වේ.
කෙසේ නම් පුද්ගල ජ්‍යොතිමත් වූයේ අඳුර කරා යන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඉසුරු ඇති මහදනැති මහාභෝග ඇති බොහෝ රන් රිදී ඇති මනපිනවන බොහෝ උපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුල වූ කැත්මහසල් කුලයෙහි හෝ බමුණු මහසල් කුලයෙහි හෝ ගැහැවිමහසල් කුලයෙහි හෝ උපන්නේ වෙයි. හේ ද මනාරූ ඇත්තේ දැකුම්කලු වූයේ දුටුවන් පහදවන්නේ උතුම් සිරුරු පැහැයෙන් යුතු වූයේ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර ප්‍රදීපෝපකරණ ලබන්නේ වෙයි. හෙතෙම කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි, මනසින් දුසිරිතෙහි හැසිරේ. හෙතෙම කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර මනසින් දුසිරිතෙහි හැසිර කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණේ. මෙසේ පුද්ගල ‘ජෝතිතමපරායණ’ වේ.
කෙසේ නම් පුද්ගල ආලෝකයෙන් යුක්ත වූයේ ආලෝකයට යන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ඉසුරු ඇති මහදනැති මහාභෝග ඇති බොහෝ රන්රිදී ඇති මනපිනවන බොහෝ උපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති උසස් කුලවූ කැත් මහසල් කුලයෙහි හෝ බමුණුමහසල් කුලයෙහි හෝ ගැහැවිමහසල් කුලයෙහි හෝ උපන්නේ වෙයි. හේ ද මනාරූ ඇත්තේ දැකුම්කලු වූයේ දුටුවන් පහදවන්නේ උතුම් සිරුරු පැහැයෙන් සමන්‍වාගත වූයේ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ - විලෙවුන් ශයනාගාර ප්‍රදීපෝපකරණ ලබන්නේ වේ. හෙතෙම කයින් සුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් සුසිරිතෙහි හැසිරෙයි, මනසින් සුසිරිතෙහි හැසිරේ. හෙතෙම කයින් සුසිරිතෙහි හැසිර වචනයෙන් සුසිරිතෙහි හැසිර මනසින් සුසිරිතෙහි හැසිර කාබුන් මරණින් මතු ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණේ. මෙසේ පුද්ගල ‘ජෝතිපොතිපරායණ’ වේ.
20. කෙසේ නම් පුද්ගල (දැනුදු) නීච වූයේ (මතුදු) නීචයෙක් වේ ද: මෙලොව කිසි පුද්ගලයෙක් නීචකුලයෙහි උපන්නේ වෙයි ... මෙසේ පුද්ගල නීච වූයේ නීචයෙක් වේ. කෙසේ නම් පුද්ගල නීචවූයේ උච්චයෙක් වේ ද ... මෙසේ පුද්ගල අවනත - උන්නත වේ. කෙසේ නම් පුද්ගල උච්ච වූයේ නීචයෙක් වේ ද මෙලොව කිසි පුද්ගලයෙක් උච්චකුලයෙහි උපන්නේ වෙයි ... මෙසේ පුද්ගල ‘උන්නත - අවනත’ වේ, කෙසේ නම් පුද්ගල උච්ච වූයේ උච්වයෙක් වේ ද -පෙ- මෙසේ පුද්ගල ‘උන්නත - උන්නත’ වේ.
21. එහි වෘක්‍ෂයට බඳු පුද්ගලයෝ සතර දෙන කවරහු ද යත්: වෘක්‍ෂයෝ සතර දෙනෙකි. හරරුක් පිරිවැරූ එළරුක යැ, එළරුක් පිරිවැරූ හරරුක ය, එළරුක් පිරිවැරූ එළරුක යැ, හරරුක් පිරිවැරූ හරරුක යි. මෙසේ ම වෘක්‍ෂෝපම පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහු දක්නා ලැබෙත්. කවරහු සතර දෙනෙක යත්: ඵෙග්ගුසාරපරිවාර යැ, සාරඵෙග්ගුපරිවාර යැ, ඵෙග්ගුඵෙග්ගුපරිවාර යැ, සාරසාරපරිවාර යැ යි. කෙසේ නම් පුද්ගල ඵෙග්ගු වූයේ සාර - පරිවාර වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් දුශ්ශීල වූයේ පාපධර්‍ම ඇත්තේ වෙයි. එතෙකුදු වත් ඔහුගේ පිරිස සිල්වත් වූවා කලණදහම් ඇත්තී වෙයි. මෙසේ පුද්ගල ඵෙග්ගුසාරපරිවාර වේ. යම්සේ ඒ රුක ඵෙග්ගුසාරපරිවාර වේ ද මේ පුද්ගල එබඳු යි.
කෙසේ නම් පුද්ගල සාරවූයේ ඵෙග්ගුපරිවාර වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සිල්වතෙක් කල්‍යාණධර්‍මයෙක් වෙයි. එතෙකුදු වත් ඔහුගේ පිරිස දුසිල් වූවා පාපධර්‍ම ඇත්තී වෙයි. මෙසේ පුද්ගල සාර වූයේ ඵෙග්ගුපරිවාර වේ. යම්සේ ඒ රුක සාර වූයේ ඵෙග්ගුපරිවාර වේ ද මේ පුද්ගල තෙමේ එබඳු යි.
කෙසේ නම් පුද්ගල ඵෙග්ගු වූයේ ඵෙග්ගුපරිවාර වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් දුශ්ශීලයෙක් පාපධර්‍මයෙක් වෙයි. ඔහුගේ පිරිස ද දුසිල් වූවා පාපධර්‍ම ඇත්තී වෙයි. මෙසේ පුද්ගල ඵෙග්ගු වූයේ ඵෙග්ගුපරිවාර වේ. යම්සේ ඒ රුක ඵෙග්ගු - ඵෙග්ගුපරිවාර වේ ද මේ පුද්ගල එබඳු යි.
කෙසේ නම් පුද්ගල සාර වූයේ සාරපරිවාර වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සිල් ඇත්තේ කලණ දහම් ඇත්තේ වෙයි. ඔහුගේ පිරිස ද සිල්වත් වූවා කලණදහම් ඇත්තී වෙයි. මෙසේ පුද්ගල සාර වූයේ සාරපරිවාර වේ. යම්සේ ම ඒ රුක සාර වූයේ සාරපරිවාර වේ ද මේ පුද්ගල එබඳු යි. මොහු සතර දෙන ලෝකයෙහි ඇති විද්‍යමාන වු වෘක්‍ෂෝපම පුද්ගලයෝ යි.
22. කවර පුද්ගලයෙක් ‘රූපප්‍රමාණ වූයේ රූපප්‍රසන්න’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ආරෝහය (උස්බව) හෝ බලා පරිණාහය හෝ බලා රූසටහන හෝ බලා ලකුණු පිරිපුන් බව හෝ බලා එහි පමණ ගෙන ප්‍රසාදය උපදවයි. මේ පුද්ගල ‘රූපප්‍රමාණ වූයේ රූපප්‍රසන්න’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ඝෝෂප්‍රමාණ වූයේ ඝෝෂප්‍රසන්න’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පරවර්‍ණනායෙහි පරස්තුතියෙහි පරප්‍රශසායෙහි පරපුරින් ගෙන යන ගුණකථනයෙහි ප්‍රමාණය ගෙන එහි ප්‍රසාදය උපදවයි. මේ පුද්ගල ‘ඝෝෂප්‍රමාණ ඝෝෂප්‍රසන්න’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ලූඛප්පමාණ වූයේ ලුඛප්පසන්න’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් සිවුරු රළු බව හෝ බලා සෙනසුන් රළු බව හෝ බලා නන් වැදෑරුම් වූ දුෂ්කරක්‍රියා හෝ බලා එහි පමණ ගෙන ප්‍රසාදය උපදවයි. මේ පුද්ගල ‘ලුඛප්පමාණ – ලුඛප්පසන්න’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘ධර්‍මප්‍රමාණ වූයේ ධර්‍මප්‍රසන්න’ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලය හෝ බලා සමාධිය හෝ බලා ප්‍රඥාව හෝ බලා එහි පමණ ගෙන ප්‍රසාදය උපදවයි. මේ පුද්ගල ‘ධර්‍මප්‍රමාණ ධර්‍මප්‍රසන්න’ යැ යි කියනු ලැබේ.
23. කෙසේ නම් පුද්ගල තමහට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ශීලසම්පන්න වෙයි. අනුන් ශීලසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න වෙයි. අනුන් සමාධිසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න වෙයි. අනුන් ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිසම්පන්න වෙයි. අනුන් විමුක්ති සම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ විමුක්තිඥානදර්‍ශන සම්පන්න වෙයි. අනුන් විමුක්තිඥානදර්‍ශන සම්පත්තියෙහි සමාදන් නො කරවයි. මෙසේ පුද්ගල තමහට හිත පිණිස පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ.
කෙසේ නම් පුද්ගල අනුනට හිත පිණිස පිළිපන්නේ තමහට හිත පිණිස නො පිළිපන්නේ වේ ද යත්: මෙලොව කිසිපුද්ගලයෙක් ශීල සම්පන්න නො වෙයි. අනුන් ශීලසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේ සමාධිසම්පන්න නො වෙයි, අනුන් සමාධිසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි, අනුන් ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේ විමුක්තිසම්පන්න නො වෙයි. අනුන් විමුක්තිසම්පත්තියෙහි සමාදන් කරවයි, තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි, අනුන් විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි සමාදන් කරවයි. මෙසේ පුද්ගල අනුනට හිත පිණිස පිළිපන්නේ තමහට හිත පිණිස නො පිළි පන්නේ වේ.
කෙසේ නම් පුද්ගල තමහට හිත පිණිසත් පිළිපන්නේ මැ අනුනට හිත පිණිසත් පිළිපන්නේ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් තෙමේත් ශීලසම්පන්න වෙයි. අනුනුදු ශීලසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේත් සමාධිසම්පන්න වෙයි, අනුනුදු සමාධිසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේත් ප්‍රඥාසම්පන්න වෙයි, අනුනුදු ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවයි, තෙමේත් විමුක්තිසම්පන්න වෙයි. අනුනුදු විමුක්ති සම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේත් විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙයි. අනුනුදු විමුක්තිඥානදර්‍ශනසම්පත්තියෙහි සමාදන් කරවයි. මෙසේ පුද්ගල තමහට හිත පිණිසත් පිළිපන්නේ ම අනුනට භිත පිණිසත් පිළිපන්නේ වේ.
කෙසේ නම් පුද්ගල තමහට හිත පිණිස නො මැ පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළිපන්නේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් තෙමේ ශීලසම්පන්න නො වෙයි. අනුන් ශීලසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ සමාධිසම්පන්න නො වෙයි. අනුන් සමාධිසම්පත්තියෙහි සමාදන් නො කරවයි. තෙමේ ප්‍රඥාසම්පන්න නො වෙයි. අනුනුදු ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් නො කරවයි, තෙමේ විමුක්ති සම්පන්න නො වෙයි. අනුන් විමුක්තිසම්පත්තියෙහි සමාදන් නො කරවයි, තෙමේ විමුක්තිඥානදර්‍ශනසම්පන්න නො වෙයි. අනුන් විමුක්තිඥාන දර්‍ශනසම්පත්තියෙහි සමාදන් නො කරවයි. මෙසේ පුද්ගල තමහට හිත පිණිස නො මැ පිළිපන්නේ අනුනට හිත පිණිස නො පිළි පන්නේ වේ.
24. කෙසේ නම් පුද්ගල ආත්මය තවනුයේ ආත්මය තවන යෝග යෙහි යෙදුණේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අචේලක (නිරුවත්) වෙයි. හළ ආචාර ඇත්තේ යැ, අත ලෝනේ යැ, (පිඬු ගන්නා පිණිස) ‘එවහිමි’ යි කිව නො එන්නේ යැ, ‘සිට හිමි’ යි කිව නො සිටුනේ යැ, පළමු කළ භික්‍ෂාව නො ගනියි, උදෙසා කළ භික්‍ෂාව නො ගනියි, පවරා දුන් භික්‍ෂාව නො ගනියි, සැළින් ගෙන දුන් භික්‍ෂාව නො ගනියි, පැසින් ගෙන දෙන භික්‍ෂාව නො ගනියි, එළිපත අතුරු කොට ලා දුන් භික්‍ෂාව නො ගනියි, දණ්ඩක් අතුරු කොට ලා දුන් භික්‍ෂාව නො ගනියි, මොහොලක් අතුරු කොට ලා දුන් භික්‍ෂාව නො ගනියි, වළඳන දෙදෙනකු අතුරින් එකකු දුන් භික්‍ෂාව නො ගනියි, ගැබිනියගේ භික්‍ෂාව නො පිළිගනියි, කිරිපොවන්නියගේ භික්‍ෂාව නො පිළිගනියි, පිරිමින් අතරට ගිය තැනැත්තියගේ භික්‍ෂාව නො පිළිගනියි, සමාදන් කොට කළ බතින් භික්‍ෂාව නො පිළිගනියි, සුනඛයන් එළඹ සිටි තැන්හි භික්‍ෂූ නො පිළිගනියි, මැස්සන් මුළු මුළු වැ හැසිරෙන තැන්හි භික්‍ෂාව නො පිළිගනියි, දියමස් නො පිළිගනියි, ගොඩ මස් නො පිළිගනියි, රහ නො බොයි, මේරය නො බොයි, කාඩි දිය නො බොයි, හෙතෙම එක් ගෙයක සිඟන්නෙන් හෝ එක් පිඬෙකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් දෙකක සිඟන්නේ හෝ දෙපිඬෙකින් යැපෙන්නේ හෝ වෙයි, ගෙවල් සතක සිඟන්නේ හෝ සත්පිඬෙකින් යැපෙන්නේ හෝ වෙයි, එක් දත්තියකිනුදු (කුඩා බඳුනකින්) යැපෙයි. දෙදත්තියකිනුදු යැපෙයි, -පෙ- සත් දත්තියකිනුදු යැපෙයි. දිනකට වරකුදු අහර ගනියි, දෙදිනකට වරකුදු අහර ගනියි, -පෙ- සතියකට වරකුදු අහර ගනියි. මෙසේ මෙ අයුරින් අඩමසකට වරකුදු වරුබත් වැළඳු මෙහි යෙදී වෙසෙයි.
හෙතෙම අමු පළා කන්නේ හෝ වෙයි, බොඩහමු කන්නේ හෝ වෙයි, ඌරුහැල් කන්නේ හෝ වෙයි, සම්කසට කන්නේ හෝ වෙයි, සෙවෙල් කන්නේ හෝ වෙයි, කුඩු කන්නේ හෝ වෙයි, දමුකඩ කන්නේ හෝ වෙයි, මුරුවට කන්නේ හෝ වෙයි, තණ කන්නේ හෝ වෙයි, ගොම කන්නේ හෝ වේ. වනමුල්පල අහරින් යැපෙයි, වැටුණු පල වළඳනසුලු වෙයි. හෙතෙම සණවැහැරි ද දරයි, මිශ්‍රවස්ත්‍ර ද දරයි, මළ සිරුරු එතූ වස්ත්‍ර ද දරයි, පංශුකූල ද දරයි. වැහැරි ද දරයි, අඳුන් දිවිසම් ද දරයි, මැදින් පළන ලද අඳුන් දිවිසම් ද දරයි, කුස වැහැරි ද දරයි, නියඳවැහැරි ද දරයි, පතුරුවැහැරි ද දරයි, කෙස්කම්බිලි ද දරයි, ලොම්කම්බිලි ද දරයි, මහමුහුණු පියාපතින් කළ වස්ත්‍ර ද දරයි. කෙස් මස් ඉදිරීමෙහි යෙදුණේ කෙස් මස් උදුරන්නේ ද වෙයි. හිඳීම ප්‍රතික්‍ෂේප කෙළේ උඩුහුරු ව සිටුනේ ද වෙයි. උක්කුටික ව්‍රතයෙහි යෙදුණේ උක්කුටිකයෙක් ද වෙයි. කටු ඇතිරි ඇත්තේ ද වෙයි, කටු ඇතිරියෙහි හෝනේ වෙයි. සවස තුන්වනු කොට දියෙහි ගැලෙන ව්‍රතයෙහි යෙදී වෙසෙයි. මෙසේ මෙබඳු නන් වැදෑරුම් වූ සිරුරු තවන වෙසෙසින් තවන ව්‍රතයන්හි යෙදී වෙසෙයි. මෙසේ පුද්ගල ආත්මය තවන්නේ ආත්මය තවන යෝගයන්හි යෙදුණේ වේ.
කෙසේ නම් පුද්ගල මෙරමා තවන්නේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේ වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් එළු වැදි හුරු වැදි ලිහිණිවැදි මුව වැදි රෞද්‍ර කෙවුළු සොර චෝරවධක බන්‍ධනාගාරගෝපක වෙයි. අන්‍ය වූ හෝ කිසි ක්‍රෑර ක්‍රියා කරන්නෙක් වේ. මෙසේ පුද්ගල මෙරමා තවන්නේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේ වේ.
කෙසේ නම් පුද්ගල ආත්මය තවන්නේ ආත්මය තවන යෝග යෙහි යෙදුණේත් පරා තවන්නේ පර තවන යෝගයෙහි යෙදුණේත් වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ක්‍ෂත්‍රිය වූ මුදුනෙහි අභිෂේක ලද කැත්මහරජ හෝ වෙයි. බමුණු මහසල් හෝ වෙයි. හෙතෙම නුවරට පැදුම් දිග නව යාගශාලාවක් කරවා, කෙස්රැවුළු හරවා කුරසහිත අඳුන්දිවිසමක් හැඳ, ගිතෙලින් හා තලතෙළින් සිරුර පිරිමැද, මුවහඟින් පිට කසමින් මෙහෙසිය හා පෙරෙවි බමුණා සමග යාගශාලාවට පිවිසෙයි. හෙතෙම එහි ඇතිරිලි රහිත ගොම පිරිමැදි බිම සයනය කරයි. සමාන වස්සකු ඇති එක් දෙනකගේ එක් තනයක යම් කිරෙක් වේ ද එයින් රජ යැපෙයි දෙවැනි තනයෙහි යම් කිරෙක් වේ ද එයින් මෙහෙසිය යැපෙයි. තුන්වැනි තනයෙහි යම් කිරෙක් වේ ද එයින් පෙරෙවි බමුණා යැපෙයි. සිව් වැනි තනයෙහි යම් කිරක් වේ ද එයින් ගිනි පුදයි. සෙස්සෙන් වස්සා යැපෙයි.
හෙතෙම මෙසේ කියයි: ‘මෙතෙක් ගොන්නු යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් නාඹු ගොන්නු යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් නෑඹි දෙන්නු යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් එළුවෝ යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් බැටළුවෝ යාගයට මරනු ලැබෙත්වා, මෙතෙක් රුක් යාගස්තම්භය පිණිස කපනු ලැබෙත්වා, අවුරනු අතුරනු පිණිස මෙතෙක් ඉලුප් කපනු ලැබේවා’ යි ඔහුගේ දාස වූ හෝ සේවක වූ දේ කම්කරු වූ හෝ යම් කෙනෙකුන් වෙත් නම් ඔහු ද දඬුවමින් තැතිගත්තාහු බියෙන් තැති ගත්තාහු කඳුළු මුව ඇති ව හඬමින් අතවර කරත්. මෙසේ පුද්ගල තෙමේ ආත්මය තවන්නේ ආත්මය තවන යෝගයෙහි යෙදුණේත් පරා තවන්නේ පරා තවන යෝගයෙහි යෙදුණේත් වේ.
කෙසේ නම් පුද්ගල තමා නො තවන්නේ මැ තමා තවන යෝගයෙහි නො යෙදුණේත් පරා නො තවන්නේ පරා තවන යෝගයෙහි නො යෙදුණේත් වේ ද යත්: හෙතෙම තමා නො තවන්නේ පරා නො තවන්නේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වෙසෙයි. මේ ලෝකයෙහි තථාගත වූ අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ මනා ගමන් ඇති ලොව දන්නා වූ නිරුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූ දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උපදිති. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරති. උන්වහන්සේ මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ අරුත් සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියල්ල සම්පූර්‍ණ වූ ධර්‍මය දෙසති. පිරිසුදු බ්‍රහ්මචර්‍ය්‍යාව ප්‍රකාශ කරති. ඒ ධර්‍මය ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ අන්‍යතර වූ කුලයක උපන්නෙක් හෝ අසයි.
හෙතෙම ඒ ධර්‍මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. හෙතෙම ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් යුක්ත වූයේ මෙසේ නුවණින් සලකයි. ‘ගෘහවාසය පරිරෝධයෙකි, කෙලෙස් රජස් නැඟෙන තැනෙකි, පැවිද්ද අභ්‍යවකාශයෙකි, ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පරිපූර්‍ණ වූ ඒකාන්තයෙන් පරිශුද්ධ වූ සංඛලිඛිත (ලියැවූ සැකක් බඳු) මේ බඹසරෙහි හැසිරෙන්නට සුකර නො වේ, මම කෙස් රැවුළු හරවා කහවත් හැඳගෙන ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදි වන්නෙම් නම් ඉතා යෙහෙකැ’ යි හෙතෙම පසු කලෙක අල්ප හෝ භෝගයන් හැර දමා මහත් වූ හෝ භෝගයන් හැරදමා අල්ප වූ හෝ නැදෑයන් හැරදමා මහත් වූ හෝ නැදෑයන් හැරදමා කෙස් රැවුළු හරවා කහවත් හැඳපෙරෙව ගිහිගෙන් නික්ම සසුන්හි පැවිදි වෙයි.
හේ මෙසේ පැවිදි වූයේ භික්‍ෂූන්ගේ ශික්‍ෂා සංඛ්‍යාත සහජීවයට පැමිණියේ ප්‍රාණවධ හැර ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි. බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සියලු ප්‍රාණභූතයනට හිතානුකම්පා ඇත්තේ වෙසෙයි. නුදුන්දැය ගැනුම හැර නුදුන්දැය ගැනීමෙන් වෙන් වූයේ වෙයි. දුන්දැය ගන්නා සුලු වූයේ දුන්දැය කැමැති වනසුලු වූයේ නො සොර වූ පිරිසුදු වූ ආත්මයෙන් යුතු ව වෙසෙයි. අබ්‍රහ්මචර්‍ය්‍යාව හැර බ්‍රහ්මචාරී වෙයි, අබ්‍රහ්මවර්‍ය්‍යායෙන් දුරු වූයේ ග්‍රාම්‍යධර්‍ම වූ මෛථුනයෙන් වෙන් වූයේ වෙයි. මුසවා හැර පියා මුසවායෙන් වෙන් වූයේ සත්‍යය වාදී වූයේ සත්‍යයෙන් සත්‍යය ගළපන්නේ ස්ථිර කථා ඇතියේ හැදහිය යුත්තේ ලොව නොරවටනුයේ වෙයි. පිසුනුබස් හැරපියා පිසුනුබසින් වෙන් වූයේ වෙයි. මෙතැනින් අසා මොවුන්ගේ බිඳීම පිණිස එතැන නො කියන්නේ යැ, එතැනින් හෝ අසා තුලුන්ගේ බිඳීම පිණිස මෙතැන නො කියන්නේ යැ, බිඳුණවුන් සමගි කරනුයේ හෝ වෙයි. සමගිවූවන් දැඩි කරන්නේ හෝ වෙයි, සමගියෙහි කැමැති වූයේ සමගියෙහි ඇලුණේ සමගියෙහි සතුටු වූයේ සමගි කරුණු වූ වදන් කියන්නේ වේ. රළුවදන් හැරපියා රළුවදනින් වෙන් වූයේ වෙයි. යම් ඒ වචනයෙක් නිදොස් ද කනට සුව ද ඇලුම් කටයුතු ද හෘදයංගම ද නාගරික ද බොහෝ දෙන අදනාසුලු ද, බොහෝ දෙනාගේ මනවඩන්නේ ද එබඳු වදන් කියන්නේ වේ. තුළුල් තෙපුල් (හිස් වදන) හැරදමා තුළුල් තෙපුලින් වෙන් වූයේ වෙයි, නිසි කල්හි කියන්නේ තථ්‍යය කියන්නේ වැඩ ඇති තෙපුල් කියන්නේ ධර්‍මවාදියෙක් විනයවාදියෙක් මතක තබා ගත යුතු වදන් කියන්නෙක් අවස්ථානුකූල ව නිදසුන් සහිත ව පිරිසිඳීම් ඇති අරුතින් සැදුණු වදන් කියන්නෙක් වේ.
හෙතෙම බීජගාම භූතගාම විකෝපනයෙන් වැළැකියේ වෙයි, රාත්‍රි භෝජනයෙන් වෙන් වූයේ විකල්හි වැළඳුමෙන් තොර වූයේ එක් වේලේ වළඳන්නේ වේ, නැටුම් ගැයුම් - වැයුම් - විසුළුදස්නෙන් වෙන් වූයේ වෙයි, මණ්ඩන විභූෂණයට කරුණු වූ මල්ගඳවිලෙවුන් දැරීමෙන් තොරවූයේ වෙයි. උසසුන් මහ අස්නෙන් වෙන් වූයේ වෙයි. රන්රිදී පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, අමු ධාන්‍ය පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, අමුමස් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. ස්ත්‍රීන් හා කුමාරිකාවන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, දැසිදසුන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, එළු බැටළුවන් පිළි ගැන්මෙන් තොර වූයේ වෙයි, කුකුළන් හූරන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, ඇත් අස් ගව වෙළඹුන් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි. කෙත්වත් පිළිගැන්මෙන් තොර වූයේ වෙයි, දූත ගමන්හි හසුන් ගෙන යෑමෙහි යෙදීමෙන් තොර වූයේ වෙයි, ගනු දෙනුයෙන් වෙන් වූයේ වෙයි. තුලාකූට මානකූට දෙකින් වෙන් වූයේ වෙයි. අල්ලස් ගැනීම රැවටීම මායාව ආදි කූට යෝගයෙන් වෙන් වූයේ වෙයි, කැපීම් මැරීම් බන්‍ධන මංපැහැරීම් ගම්පැහැරීම් ආදී සාහසික ක්‍රියායෙන් වෙන් වූයේ වේ.
හෙතෙම සිරුරට පොහෝනා පමණ සිවුරින් කුසට පොහෝනා පමණ පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි, හෙතෙම යම් යම් තැනෙක්හි මැ යේ නම් ශ්‍රමණ පරිෂ්කාරයන් රැගෙන ම යෙයි. යම්සේ පියාපත් ඇති ළිහිණි යම් යම් තැනෙක්හි පියාඹා නම් තමපිය පත් බර ඇත්තේ මැ පියාඹා ද එපරිද්දෙන් මැ මහණ සිරුරට පොහෝනා පමණ සිවුරින් කුසට පොහෝනා පමණ පිණ්ඩපාතයෙන් සතුටු වූයේ වෙයි. යම් යම් තැනෙක්හි යේ නම් මහණ පිරිකර රැගෙන මැ යේ. හෙතෙම මේ ආර්‍ය්‍ය ශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ අධ්‍යාත්මයෙහි නිදොස් සුව විඳියි.
හෙතෙම ඇසින් රුවක් දැක නිමිතිගන්නේ නො වෙයි. අනුව්‍යඤ්ජන ගන්නේ නො වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය සංවර නො කොට වාසය කරන්නා වූ මොහු අභිධ්‍යාදෟර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහු බඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රියය රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. කනින් හඬක් අසා ... නැහැයෙන් ගඳක් අඝා ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ නො වෙයි. අනුව්‍යඤ්ජන ගන්නේ නොවෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන්නා වූ මොහු අභිධ්‍යයා දෞර්‍මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය කරනු පිණිස පිළිපදී. මනින්‍ද්‍රියය රකි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. හෙතෙම මේ නිදොස් වූ ඉන්‍ද්‍රිය සංවරයෙන් සමන්‍වාගත වූයේ ක්ලේශාභිෂේක රහිත සුවය විඳියි.
හෙතෙම යෑමෙහි ඊමෙහි සිහි එළවා කරන්නේ වෙයි, ඉදිරි බැල්මෙහි අවට බැල්මෙහි සිහි එළවා කරන්නේ වෙයි, අත්පා වක් කිරීමෙහි දික් කිරීමෙහි සිහි එළවා කරන්නේ වෙයි, සඟළ - පා - සිවුරු දැරීමෙහි සිහි එළවා කරන්නේ වෙයි, වැළඳුමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි සිහි එළවා කරන්නේ වෙයි, සුළුදියවටන් මහදියවටන් කිසෙහි සිහි එළවා කරන්නේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි නිහඬ බැව්හි සිහි එළවා කරන්නේ වේ.
හෙතෙම මේ නිදොස් වූ ශීලස්කන්‍ධයෙන් යුක්ත වූයේ මේ නිදොස් වූ ඉන්‍ද්‍රියසංවරයෙන් ද යුක්ත වූයේ මේ නිදොස් වූ ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් ද යුක්ත වූයේ මේ නිදොස් වූ සන්තෝෂයෙන් ද යුක්ත වූයේ අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කඳුරු යැ ගිරි ගුහා යැ සොහොන යැ වනසෙනසුන යැ අභ්‍යවකාශ යැ පිදුරුබිස්ස යැ යන විවේක සෙනසුනක් භජනය කරයි.
හෙතෙම පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආයේ පළක් බැඳ කය ඍජු වැ පිහිටුවා කර්‍මස්ථානාභිමුඛ වැ සිහි එළවා හිඳියි. හෙතෙම ස්කන්‍ධ ලෝකයෙහි අභිධ්‍යාව හැරපියා පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුතු ව වෙසෙයි. අභිධ්‍යාවෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද දෝෂය හැරැපියා ව්‍යාපාද රහිත සිත් ඇති ව සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිත - අනුකම්පා ඇති වැ වෙසෙයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසුදු කෙරෙයි. ථීනමිද්ධය හැරපියා පහ වූ ථිනමිද්ධ ඇති වැ ආලෝකසංඥා ඇති වැ සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ වෙසෙයි, ථීනමිද්ධයෙන් සිත පිරිසුදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය හැරපියා නො විසුළ සිත් ඇත්තේ ඇතුළත සන්හුන් සිත් ඇති වැ වෙසෙයි, උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසුදු කෙරෙයි. විචිකිච්ඡාව හැරපියා තරණය කළ විචිකිච්ඡා ඇත්තේ කුශලධර්‍මයන්හි සැක රහිත වූයේ වෙසෙයි. විචිකිච්ඡායෙන් සිත පිරිසුදු කෙරෙයි.
හෙතෙම මේ සිත කිලිටි කරන ප්‍රඥාව දුර්‍වල කරන පඤ්චනීවරණයන් දුරු කොට කාමයන්ගෙන් වෙන් වැ මැ අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැ මැ විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයා වාස කෙරෙයි. විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපසමයෙන් අධ්‍යාත්මයෙහි ප්‍රසාදය ඇති කරන්නා වූ චිත්තයාගේ එකඟ බව යැ යි කියන ලද විතර්‍ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛය ඇති ද්විතීයධ්‍යානයට එළඹ වාස කෙරෙයි. ප්‍රීතියගේ ද විරාගයෙන් උපේක්‍ෂා ඇත්තේ සිහි ඇත්තේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙසෙයි. කයින් සමාධි සුවය ද විඳියි. උපේක්‍ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යැ යි ආර්‍ය්‍යයෝ ඒ යමකට කියත් නම් එකී තෘතීයධ්‍යානය උපයා වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණ යෙන් පළමු මැ සොම්නස්දොම්නසුන්ගේ අස්තංගමයෙන් නිදුක් වූ නො සුව වූ උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වාස කෙරෙයි.
හෙතෙම මෙසේ සිත සමාධියට ගිය කල්හි පිරිසිදු වූ කල්හි හාත්පසින් නිර්‍මල වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි පහ වූ උපක්ලේශයන් ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මක්‍ෂ වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පූර්‍වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම අනේක ප්‍රකාර වූ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. කෙසේ යැ යත්: ‘එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතලිසක් ද, ජාති පණසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සියදහසක් ද, නොයෙක් සංවර්‍ත කල්පයන් ද නොයෙක් විවර්‍ත කල්පයන් ද, නොයෙක් සංවර්‍ත විවර්‍ත කල්පයන් ද, අසුවල් තැන මෙබඳු නම්, මෙබඳු ගොත් මෙ බඳු රූ මෙබඳු අහර ඇත්තෙම් වීමි. මෙබඳු සුවදුක් විඳියෙමි. මෙබඳු ආයු ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්මි. එහි දූ මෙබඳු නම් ... මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම් එයින් සැව මෙහි උපන්මි’ මෙසේ ආකාර සහිත වැ, උද්දේශ සහිත වැ අනේක ප්‍රකාර වූ පූර්‍වනිවාසය සිහි කෙරේ.
හෙතෙම මෙසේ සිත එකඟ වූ කල්හි පිරිසිදු වූ කල්හි හාත්පසින් නිර්‍මල වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි පහ වූ උපක්ලේශයන් ඇති කල්හි, මෘදු වූ කල්හි කර්‍මයෝග්‍ය වැ සිටි කල්හි, නො සැලෙන බවට පැමිණි කල්හි සත්‍වයන්ගේ චුතූපපාතඥානය පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම මිනිස් බව ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් සතුන් බලයි. මැරෙන උපදින හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගත වූ දුර්‍ගත වූ කම් වූ පරිදි ගිය සත්‍වයන් දැනගනී. ඒකාන්තයෙන් මේ භවත් සත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයනට උපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිසදිටුකම් සමාදන් වූවාහු යැ. ඔහු කරජකායයාගේ භේදයෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස වැ පතිත වන නිරයෙහි උපන්නාහු යැ, තවද මේ භවත් සත්‍වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද නො කළාහු සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්‍ම සමාදන් වූවාහු යැ, ඔහු කාබුන් මරණින් මතු ශෝභනගති ඇති ස්වර්‍ග ලෝකයට පැමිණියාහු යැ යි මෙසේ මිනිස් බව ඉක්ම වූ පිරිසිදු වූ දිවැසින් සත්‍වයන් බලයි. මැරෙන උපදින හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්වර්‍ණ වූ සුගත වූ දුර්‍ගත වූ කම් වූ පරිදි ගිය සත්‍වයන් දැනගනී.
හෙතෙම මෙසේ සිත එකඟ වූ කල්හි පිරිසිදු වූ කල්හි හාත්පසින් නිර්‍මල වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි උපක්ලේශයන් පහ වැ ගිය කල්හි මෘදුවූ කල්හි කර්‍මයෝග්‍ය වැ සිටිකල්හි නො සැලෙන බවට පැමිණි කල්හි ආස්‍රවක්‍ෂය ඥානය පිණිස සිත නැඹුරු කෙරෙයි. හෙතෙම මේ දුකැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් උපදනා හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැති කිරීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ දුක් නැතිකිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. මොහු ආස්‍රවයෝ යි ඇති සැටියෙන් දැනගනී. මේ ආස්‍රව උපදනා හේතු යැ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රව නැති කිරීමැ යි ඇති සැටියෙන් දැනගනි. මේ ආස්‍රව නැති කිරීමට යන පිළිවෙතැ යි ඇති සැටියෙන් දැනගනි. ඔහු මෙසේ දන්නා කල්හි මෙසේ දක්නා කල්හි කාමාස්‍රවයෙන් සිත මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුණු කල්හි මිදිණැ යි නුවණ ඇති වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය, බඹසර වැස නිමවන ලද, කළ යුත්ත කරන ලද, මේ අර්‍හත්‍වය පිණිස (කළ යුතු) අනෙකක් නැතැ යි දැනගනි. මෙසේ පුද්ගල ආත්මය (තමා) නො තවන්නේ මැ ආත්මය තවන යෝගයෙහි නො යෙදුණේ වෙයි. පරා නො තවන්නේ පරා තවන යෝගයෙහි නො යෙදුණේ වේ. හෙතෙම තමා නො තවන්නේ පරා නො තවන්නේ මෙ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳුනේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයකින් යුතු වැ වාස කෙරේ.
25. ‘සරාග’ පුද්ගල කවරේ ද යත්: යම් පුද්ගලයක්හුගේ රාගය ප්‍රහීණ නො වූයේ ද, මේ පුද්ගල ‘සරාග’ යැ යි කියනු ලැබේ. ‘සදොස්’ පුද්ගල කවරේ ද යත්: යම් පුද්ගලයක්හුගේ ද්වේෂය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘සදෝස’ යැ යි කියනු ලැබේ. ‘සමෝහ’ පුද්ගල කවරේ ද යත්: යම් පුද්ගලයක්හුගේ මෝහය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘සමෝහ’ යැ යි කියනු ලැබේ. ‘සමාන’ පුද්ගල කවරේ ද යත්: යම් පුද්ගලයක්හුගේ මානය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘සමාන’ යැ යි කියනු ලැබේ.
26. කෙසේ නම් පුද්ගල ‘ආධ්‍යාත්මික චිත්තසමථය ලබන්නේ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාව (ස්කන්‍ධාදියෙහි අනිත්‍යාදිවශයෙන් පවත්නා විදර්‍ශනාව) නො ලබන්නේ’ වේ ද යත්: මෙ සස්නෙහි කිසි පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබන සුලු යැ, ලෝකෝත්තර මාර්‍ගය හෝ ඵලය නො ලබනසුලු වෙයි. මෙසේ පුද්ගල ආධ්‍යාත්මික ‘චිත්තසමථය ලබන්නේ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාව නො ලබන්නේ’ වේ.
කෙසේ නම් පුද්ගල ‘අධිප්‍රඥාධර්‍මවිදර්‍ශනාව ලබන්නේ ආධ්‍යාත්මික විත්තශමථය නො ලබන්නේ’ වේ ද යත්: මෙ සස්නෙහි කිසි පුද්ගලයෙක් ලෝකෝත්තරමාර්‍ගය හෝ ඵලය ලබනසුලු යැ රූපසහගත (රූපාවචර) වූ හෝ අරූපසහගත (අරූපාවචර) වූ හෝ සමාපත්තීන් නො ලබනසුලු වෙයි. මෙසේ පුද්ගල ‘අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාව ලබන්නේ ආධ්‍යාත්මික චිත්තශමථය නො ලබන්නේ’ වේ.
කෙසේ නම් පුද්ගල ‘ආධ්‍යාත්මික චිත්තශමථය ලබන්නේ මැ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාවත් ලබන්නේ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ සමාපත්තීන් ලබන සුලු යැ, ලෝකෝත්තරමාර්‍ගය හෝ ඵලය ලබනසුලු වෙයි. මෙසේ පුද්ගල ‘ආධ්‍යාත්මික චිත්තශමථය ලබන්නේ මැ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාවත් ලබන්නේ’ වේ.
කෙසේ නම් පුද්ගල ‘ආධ්‍යාත්මික විත්තශමථය නො ලබන්නේ මැ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාවත් නො ලබන්නේ’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූප සහගත වූ හෝ සමාපත්තීන් නො ලබන්නේ මැ වෙයි. ලෝකෝත්තරමාර්‍ගය හෝ ඵලයත් නො ලබනසුලු යැ, මෙසේ පුද්ගල ආධ්‍යාත්මික චිත්තශමථය නො ලබන්නේ මැ අධිප්‍රඥා සංඛ්‍යාත ධර්‍මවිදර්‍ශනාවත් නො ලබන්නේ වේ.
27. ‘අනුසෝතගාමී’ පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් කාමයන් ද සේවනය කෙරෙයි. පව්කම් ද කෙරෙයි, මේ පුද්ගල ‘අනුසෝතගාමී’ යැ යි කියනු ලැබේ.
‘පටිසෝතගාමී’ පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් කාමයන් ද සේවනය නො කෙරෙයි. පව් කම් ද නො කෙරෙයි. හෙතෙම දුක් සහිත වැ මැ දොම්නස් සහිත වැ මැ කඳුළු මුව ඇත්තේ හඬමින් පිරිපුන් පිරිසුදු බඹසර රකි. මේ පුද්ගල ‘පටිසෝතගාමී’ යැයි කියනු ලැබේ.
‘ස්ථිතාත්ම’ (නැවැතුණු ස්වභාව ඇති) පුද්ගල කවරේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් පඤ්චවිධ ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ ඒ සුද්ධාවාස බඹලොව්හි පිරිනිවෙනුයේ එලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘ස්ථිතාත්ම’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් (තෘෂ්ණා ස්‍රොතස) තරණය කෙළේ නිවන් නැමැති පරතෙරට ගියේ අර්‍හත්ඵලසමාපත්ති නැමැති ස්ථලයෙහි සිටුනා ‘බ්‍රාහ්මණ’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මේ පුද්ගල තරණය කළ එතෙරට ගිය ස්ථලයෙහි සිටුනා ‘බ්‍රාහ්මණ’ වේ.
28. කෙසේ නම් පුද්ගල ‘අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයක්හු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වේදල්ල යන මොහු මඳක් අසන ලද්දාහු වෙති. හෙතෙම ඒ අසන ලද මඳ දැයෙහි අර්‍ත්‍ථය දැනගෙන ධර්‍මය දැන ගෙන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ නො වෙයි. මෙසේ පුද්ගල ‘අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න’ වේ.
කෙසේ නම් පුද්ගල ‘අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයක්හු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වේදල්ල යන මොහු මඳ කොට අසන ලද්දාහු වෙති. හෙතෙම ඒ අසන ලද මඳ දැයෙහි අර්‍ත්‍ථය දැනගෙන ධර්‍මය දැනගෙන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වෙයි. මෙසේ පුද්ගල ‘අල්පශ්‍රැත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න’ වේ.
කෙසේ නම් පුද්ගල ‘බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයක්හු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වේදල්ල යන මොහු බොහෝ කොට අසන ලද්දාහු වෙති. හෙතෙම ඒ බොහෝ කොට අසන ලද දැයෙහි අර්‍ත්‍ථය දැනගෙන ධර්‍මය දැනගෙන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ නො වෙයි. මෙසේ පුද්ගල ‘බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් අනුත්පන්න’ වේ.
කෙසේ නම් පුද්ගල ‘බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයක්හු විසින් සූත්‍ර ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිවුත්තක ජාතක අද්භූතධර්‍ම වේදල්ල යන මොහු බොහෝ කොට අසන ලද්දාහු වෙති, හෙතෙම ඒ බොහෝ කොට අසන ලද දැයෙහි අර්‍ත්‍ථය දැනගෙන ධර්‍මය දැනගෙන ධර්‍මානුධර්‍මයෙහි පිළිපන්නේ වෙයි. මෙසේ පුද්ගල බහුශ්‍රුත වූයේ ශ්‍රැතයෙන් උත්පන්න’ වේ.
29. කවර නම් පුද්ගලයෙක් ‘සමණමචල’ (අචල ශ්‍රමණ) වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්‍ෂයකිරීමෙන් සෝතාපන්න වූයේ විනිපාත ස්වභාව නැත්තේ (මාර්‍ග) නියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘ශ්‍රමණාචල’ යැ යි කියනු ලැබේ.
කවර නම් පුද්ගලයෙක් ‘ශ්‍රමණ පද්ම’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්‍ෂය කිරීමෙන් රාග ද්වේෂ මෝහයන්ගේ තුනී බැවින් සකෘදාගාමී වෙයි. වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මේ පුද්ගල ‘ශ්‍රමණපද්ම’ යැ යි කියනු ලැබේ.
කවර නම් පුද්ගලයෙක් ‘ශ්‍රමණපුණ්ඩරීක’ වේ ද යත්: මෙ සසුන්හි කිසි පුද්ගලයෙක් පඤ්චවිධ ඕරමභාගීය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එහි පිරිනිවෙනසුලු වූයේ එලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තේ වෙයි. මේ පුද්ගල ‘ශ්‍රමණ පුණ්ඩරීක’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ශ්‍රමණයන් අතුරෙහි ‘ශ්‍රමණසුකුමාර’ වේ ද යත්: මෙසසුන්හි කිසි පුද්ගලයෙක් ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් ආසුව රහිත වූ චිත්ත විමුක්තියත් (ඵලසමාධිය) ප්‍රඥා විමුක්තිය (ඵල ප්‍රඥාව)ත් මෙ අත්බැව්හි මැ තෙමේ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. මේ පුද්ගල ශ්‍රමණයන් අතුරෙහි ‘ශ්‍රමණසුකුමාර’ යැ යි කියනු ලැබේ.
චතුෂ්ක නිර්‍දෙශය නිමියේ.
5. පඤ්චක නිර්‍දෙශය
1. ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට පැමිණෙන්නේත් විපිළිසර වන්නේත් වේ ද, යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනී ද හෙතෙම මෙසේ කියයුතු වන්නේ යැ. (කෙසේ ද.) “ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයෝ දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ ද වෙසෙසින් වැඩෙත්. ආයුෂ්මත් තෙමේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයන් දුරු කොට විපිළිසරයෙන් හටගත් ආස්‍රවයන් ද බැහැර කොට සමාධියත් විදර්‍ශනාවත් වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙල පස් වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ” යි.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට පැමිණේ ද විපිළිසර නො වනසුලු වේ ද යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනි ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ, ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයෝ දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ නො වැඩෙත්. ආයුෂ්මත් ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයන් දුරු කොට සමථයත් විදර්‍ශනාවත් වඩනු මැනවි. මෙසේ ආයුෂ්මත් තෙල පස් වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ” යි.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට නො පැමිණේ ද, විපිළිසර වන්නේ ද, යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනී ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ, “ආයුෂ්මතුන්ගේ ඇවැතට පත්වීමෙන් හටගත් ආස්‍රවයෝ නො දක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ වෙසෙසින් වැඩෙත්. ආයුෂ්මත් විපිළිසරයෙන් හටගත් ආස්‍රවයන් බැහැර කොට සමථ විදර්‍ශනා වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙල පස්වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා භා සමසමයෙක් වන්නේ යැ” යි.
ඔවුනතුරෙහි යම් පුද්ගලයෙක් ඇවැතට නො පැමිණේ ද, විපිළිසර නො වන්නේ ද යම් තැනක ඔහුට උපන් ඒ ලාමක අකුශලධර්‍මයෝ නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් නම් ඒ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඇති සැටියෙන් නො දනි ද, හෙතෙම මෙසේ කිය යුතු වන්නේ යැ: “ආයුෂ්මතුන්ගේ ඇවැතට පැමිණීමෙන් හටගත් ආස්‍රවයෝ නොදක්නා ලැබෙත්. විපිළිසරයෙන් හටගත් ආස්‍රවයෝ නො වැඩෙත්. ආයුෂ්මත් සමථවිදර්‍ශනා වඩනු මැනැවි. මෙසේ ආයුෂ්මත් තෙමේ තෙල පස්වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා හා සමසමයෙක් වන්නේ යැ යි මෙසේ මේ පුද්ගලයෝ සතරදෙන තෙල පස්වැනි (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු අනුක්‍රමයෙන් ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමට පැමිණෙත්.
2. කෙසේ පුද්ගල ‘දී අවසනැ අවමන් කෙරේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පුද්ගලයක් හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර දෙයි. ඔහුට “මම දෙමි, මේ තෙමේ පිළිගනී” යන මෙ බඳු සිතෙක් වෙයි. ඒ මොහුට ‘දී’ අවමන් කෙරේ. මෙසේ පුද්ගල ‘දී අවමන් කෙරේ.’
කෙසේ නම් පුද්ගල ‘සංවාසයෙන් අවමන් කෙරේ’ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් පුද්ගලයකු සමග හවුරුදු දෙකක් හෝ තුනක් හෝ එක් වැ වෙසෙයි. ඒ මොහුට (ගරු සරු නො කිරීමෙන්) සහවාසයෙන් අවමන් කෙරේ. මෙසේ පුද්ගල ‘සහවාසයෙන් අවමන් කෙරේ.’
කෙසේ නම් පුද්ගල ‘ආධෙය්‍යමුඛ’ (පළමු වචනය තර වැ ගන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් අනෙකකුගේ ගුණයක් හෝ නුගුණයක් හෝ කියනු ලබන කල්හි වහා මැ හදහන්නේ වෙයි. මෙසේ පුද්ගල ‘ආධෙය්‍යමුඛ’ වේ.
කෙසේ නම් පුද්ගල ‘ලෝලයෙක්’ (සැලෙන්නේ) වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් ‘හීනශ්‍රද්ධා’ ඇත්තේ, හීනභක්ති ඇත්තේ හීනප්‍රේම ඇත්තේ හීනප්‍රසාද ඇත්තේ වෙයි. මෙසේ පුද්ගල ‘ලෝලයෙක්’ වේ.
කෙසේ නම් පුද්ගල අඥානයෙක් මහාමූඪයෙක් වේ ද යත්: මෙලොව කිසි පුද්ගලයෙක් කුශලාකුශලධර්‍මයන් නො දනි. සාවද්‍ය නිරවද්‍ය ධර්‍මයන් නො දනි හීනප්‍රණීත ධර්‍මයන් නො දනී. සප්‍රතිභාග (අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ) වූ කෘෂ්ණශුක්ල ධර්‍මයන් නො දනි. මෙසේ පුද්ගල ‘අඥානයෙක් මහාමූඪයෙක්’ වේ.
3. එහි යුදසෙබළුන් බඳු පුද්ගලයෝ පස් දෙන කවරහ යත්: යුදසෙබළු පස් දෙනෙකි; මෙලොව යුදසෙබළෙක් ධූලිකඳ මතු දැක නවති, පසු බසී, දැඩි නො වෙයි, රණබිමට බස්නට නො හැකි වෙයි. මෙලොව මෙබඳු වූ ද යුද සෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති. විද්‍යමාන වූ පළමුවැනි යුද සෙබළා යි.
තවද අනෙකෙකි: මෙලොව එක් යුදසෙබළෙක් ධූලිකඳ ඉවසයි. එතෙකුදු වත් දද කෙළවර මතු දැක නවතී, පසුබසී, නො දැඩි වෙයි, රණබිමට බස්නට නො හැකි වෙයි. මෙහි මෙබඳු වූ ද කිසි යුද සෙබළෙක් වෙයි. මෙ තෙමේ ලොව ඇති දක්නා ලැබෙන දෙවැනි යුදසෙබළා යි.
තවද අනෙකෙකි; මෙහි කිසි යුදසෙබළෙක් (රණබිම්හි) ධූලිකඳ ඉවසයි, දද කෙළවර ඉවසයි, එතෙකුදු වත් රණගොස මතු අසා නවති, පසුබසි, නො දැඩි වෙයි. රණ බිමට බස්නට නො හැකි වෙයි. මෙහි මෙබඳු වූ ද කිසි යුදසෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති දක්නා ලැබෙන තුන්වැනි යුදසෙබළා යි.
තවද අනෙකෙකි: මෙලොව කිසි යුදසෙබළෙක් ධූලිකඳ ඉවසයි දද අග ඉවසයි, රණගොස ඉවසයි. එතෙකුදු වත් පහර එත් මැ නැසෙයි, දුර්මුඛ වෙයි. මෙහි මෙ බඳු වූ ද කිසි යුදසෙබළෙක් වෙයි. මේ තෙමේ ලොවැ ඇති දක්නා ලැබෙන සතරවැනි යුදසෙබළා යි.
තවද අනෙකෙකි; මෙහි එක් යුදසෙබළෙක් ධූලි කඳ ඉවසයි, දද අග ඉවසයි, රණගොස ඉවසයි, අවිපහර ඉවසයි. හෙතෙම ඒ යුදය ජය ගෙන දිනූයුද ඇත්තේ ඒ මැ ජය කඳවුරෙහි වාස කෙරෙයි, මෙහි මෙබඳු වූ ද කිසි යුදසෙබළෙක් වෙයි. මේ තෙමේ ලොව ඇති, දක්නා ලැබෙන පස්වැනි යුදසෙබළා යි.
මොහු පස්දෙන ලොවැ ඇති දක්නා ලැබෙන යුදසෙබළු යි. එපරිදි මැ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන යුදසෙබළුනට බඳු පුද්ගලයෝ පස් දෙනෙකි. කවර පස් දෙනෙක් ද යත්: මෙ සසුන්හි එක් මහණෙක් රජග්ගය මැ දැක කිඳෙයි පසුබසී නො දැඩි වෙයි. බඹසර රක්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂාප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි වෙයි. ඔහුගේ රජග්ගය කිමෙක් ද යත්: මෙ සසුන්හි මහණ “අසුවල් නම් ගම්හි හෝ නිගම්හි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ මනා රූ ඇත්තී යැ දැකුම්කලු යැ ප්‍රසාද එළවනසුලු යැ උතුම් රූසපුයෙන් යුක්ත යැ යි අසයි. හෙතෙම එය අසා කිඳෙයි, පසු බසී, නො දැඩි වෙයි. බඹසර රක්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි වේ. මේ ඔහුගේ රජග්ගය යි. යම්සේ මැ ඒ යුදසෙබළ තෙමේ රජග්ගය මැ දැක කිඳේ ද, පසු බසී ද, නො දැඩි වේ ද, රණ බිමට බස්නට නො හැකි වේද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වෙයි. මෙතෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන පළමු වැනි යුද සෙබළාට බඳු පුද්ගලයා යි.
තවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් රජග්ගය ඉවසයි. එතෙකුදු වත් ධජග්ගය දැක කිඳෙයි, පසුබසී, නො දැඩි වෙයි, බඹසර පවත්වන්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි වෙයි. ඔහුට ධජග්ගය කිමෙක් ද යත්: මෙ සසුන්හි මහණ “අසුවල් නම් ගම්හි හෝ නිගම්හි හෝ ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ මනාරූ ඇත්තී යැ, දැකුම්කලු යැ, ප්‍රසාදය එළවනසුලු යැ, උතුම් රූසපුයෙන් යුක්ත යැ යි නො මැ අසයි.
එතෙකුදු වත් “මනාරූ ඇති දැකුම්කලු වූ ප්‍රසාද එළවනසුලු වූ උතුම් රූසපුයෙන් යුත් ස්ත්‍රියක් හෝ කුමරියක් හෝ තෙමේ මැ දකි. හෙතෙම ඇය දැක කිඳෙයි, පසු බසී, නො දැඩි වෙයි, බඹසර රක්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙයි. මේ ඔහුට ධජග්ග යි. යම් සේ මැ ඒ යුදසෙබළ රජග්ගය ඉවසා ද එතෙකුදු වත් ධජග්ගය මැ දක කිඳේ ද, පසු බසී ද, නො දැඩි වේ ද, රණ බිමට බස්නට නො හැකි වේ ද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වෙයි. මේ තෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන දෙවැනි යුදසෙබළාට බඳු පුද්ගලයා යි.
තවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් රජග්ගය ඉවසයි, ධජග්ගය ඉවසයි. එතෙකුදු වත් (රණහඬ) උස්සාදනය මැ අසා කිඳෙයි, පසු බසී, නො දැඩි වෙයි, බඹසර රක්නට නො හැකි වෙයි. ශික්‍ෂා දුර්‍වලභාවය ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙයි. ඔහුට (රණහඬ) උස්සාදනය කිමෙක් ද යත්: මෙ සසුන්හි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූලගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ මුකුළු කොට සිනා සෙයි, කථා කරයි, හඬනගා සිනා සෙයි, කෙළි කවට බෙණෙයි. හෙතෙම මාගම විසින් මුකුළු කොට සිනාසෙනු ලබන්නේ මුකුළු කොට බණනු ලබන්නේ හඬනඟා සිනාසෙනු ලබන්නේ කවටකම් කරනු ලබන්නේ කිඳෙයි, පසු බසී, නොදැඩි වෙයි. බඹසර රක්නට නො හැකි වෙයි, ශික්‍ෂණ දුර්‍වල බව ප්‍රකාශ කොට ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය කොට ගිහි බවට පෙරළෙයි. මේ ඔහුට රණහඬ වෙයි. යම්සේ මැ ඒ යුදසෙබළ රජග්ගය ඉවසා ද ධජග්ගය ඉවසා ද එතෙකුදු වත් උස්සාදනය (රණහඬ) මැ අසා කිඳේ ද පසු බසී ද නො දැඩි වේද රණබිමට බස්නට නො හැකි වේ ද, මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වෙයි. මේ තෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති දක්නා ලැබෙන තුන්වැනි වූ යුදසෙබළාට බඳු පුද්ගලයා යි.
තවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් ධූලිකඳ ඉවසයි, දද අග ඉවසයි, රණහඩ ඉවසයි. එතෙකුදු වත් පහර හෙත් මැ නැසෙයි, පෙරළෙ යි. ඔහුට පහර දීම යනු කිමෙක් ද යත්: මෙ සසුන්හි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූල ගත වූ හෝ ශුන්‍යාගාරගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ ළඟ හිඳියි, ළඟ හොවියි, මැඩගෙන හිඳියි. හෙතෙම මාගම විසින් ළඟ හිඳිනු ලබන්නේ ළඟ හොවිනු ලබන්නේ මැඩගනු ලබන්නේ ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යානය නො කොට දුර්‍වල බව ප්‍රකාශ නො කොට මෛථුනධර්‍ම සේවනය කරයි. මේ ඔහුට පහර දීම යි. යම්සේ මැ ඒ යුදබළ ධූලිකඳ ඉවසා ද දද අග ඉවසා ද රණහඩ ඉවසා ද එතෙකුදු වත් පහර හෙත් මැ නැසේ ද වැනසේ ද මේ පුද්ගල එබඳු යි. මෙහි මෙබඳු වූ ද පුද්ගලයෙක් වේ. මේ තෙමේ භික්‍ෂූන් අතුරෙහි ඇති, දක්නා ලැබෙන සතර වැනි වූ යුදසෙබළාට බඳු පුද්ගලයා යි.
තවද අනෙකෙකි: මෙ සසුන්හි කිසි මහණෙක් ධූලිකඳ ඉවසයි, දද’ග ඉවසයි, රණහඩ ඉවසයි, පහරහෙනු ඉවසයි. හෙතෙම සංග්‍රාමය ජයගෙන දිනූ සංග්‍රාම ඇත්තේ එම යුදකඳවුරෙහි වාස කෙරෙයි. ඔහුට සංග්‍රාමවිජය කිමෙක යත්: මෙ සසුන්හි අරණ්‍යගත වූ හෝ වෘක්‍ෂමූල ගත වූ හෝ ශුන්‍යාගාර ගත වූ හෝ මහණකු කරා මාගමක් එළඹ ළඟහිඳියි. ළඟ හොවියි. මැඩගනියි. හෙතෙම මාගම විසින් ළඟ හිඳිනු ලබන්නේ ළඟ හොවිනු ලබන්නේ මැඩගනු ලබන්නේ වෙළුම් හැර ග්‍රහණයෙන් මිදී කැමැති පරිදි යම් තැනෙක යෙයි. හෙතෙම අරණ්‍ය යැ වෘක්‍ෂමූල යැ පර්‍වත යැ කඳුරැලි යැ ගිරිගුහා යැ ශ්මසාන යැ වනසෙනසුන යැ අභ්‍යාවකාශ යැ පිදුරුබිස්ස යැ යන විවේක සේනාසනයක් භජනය කෙරේ.