අභිධර්‍මපිටකයෙහි
පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණය
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
මාතෘකා
1. ඒකක මාතෘකා
ප්‍රඥප්තීහු සදෙනෙකි: ස්කන්‍ධ ප්‍රඥප්ති ය, ආයතන ප්‍රඥප්ති ය, ධාතු ප්‍රඥප්ති ය, සත්‍ය ප්‍රඥප්ති ය, ඉන්‍ද්‍රිය ප්‍රඥප්ති ය, පුද්ගල ප්‍රඥප්ති යි.
කෙතෙකින් ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) පඤ්චස්කන්‍ධය වේ ද, (විභාග විසින්) රූපස්කන්‍ධය, වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධය, විඥානස්කන්‍ධ යි. මෙතෙකින් ස්කන්‍ධයන්ගේ ස්කන්‍ධප්‍රඥප්තිය වේ.
කෙතෙකින් ආයතනයන්ගේ ආයතනප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) දොළොස් ආයතන කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුරායතන ය, රූපායතන ය, ශ්‍රෝත්‍රායතන ය, ශබ්දායතන ය, ඝ්‍රාණායතනය, ගන්‍ධායතන ය, ජිහ්වායතන ය, රසායතන ය, කායායතන ය, ස්ප්‍රෂ්ටව්‍යායතන ය, මනආයතන යැ යි. මෙතෙකින් ආයතනයන්ගේ ආයතනප්‍රඥප්තිය වේ.
කෙතෙකින් ධාතූන්ගේ ධාතුප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) අටළොස් ධාතු කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුර්ධාතු ය, රූපධාතු ය, චක්‍ෂුර්විඥානධාතුය, ශ්‍රෝත්‍රධාතුය, ශබ්දධාතුය, ශ්‍රෝත්‍රවිඥානධාතු ය, ඝ්‍රාණධාතු ය, ගන්‍ධධාතු ය, ඝ්‍රාණවිඥානධාතු ය, ජිහ්වාධාතු ය, රසධාතු ය, ජීහ්වාවිඥානධාතු ය, කායධාතු ය, ස්ප්‍රෂ්ටව්‍යධාතු ය, කායවිඥානධාතු ය, මනෝධාතු ය, ධර්‍මධාතු ය, මනෝවිඥානධාතු යැ යි. මෙතෙකින් ධාතූන්ගේ ධාතුප්‍රඥප්තිය වේ.
කෙතෙකින් සත්‍යයන්ගේ සත්‍යප්‍රඥප්තිය වේ ද යත්: යම් පමණෙකින් (සැකෙවින්) සතර සත්‍ය කෙනෙක් වෙත් ද, (විභාග විසින්) දුඃඛ සත්‍ය ය, සමුදය සත්‍ය ය, නිරෝධසත්‍ය ය, මාර්‍ගසත්‍ය යැ යි. මෙතෙකින් සත්‍යයන්ගේ සත්‍යප්‍රඥප්තිය වේ.
කෙතෙකින් ඉන්‍ද්‍රියයන්ගේ ඉන්‍ද්‍රියප්‍රඥප්තිය වේ ද යත්: යම්පමණෙකින් (සැකෙවින්) දෙවිසි ඉන්‍ද්‍රිය කෙනෙක් වෙත් ද, (විභාග විසින්) චක්‍ෂුරින්‍ද්‍රියය, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය ය, ඝ්‍රාණේන්‍ද්‍රියය, ජිහ්වේන්‍ද්‍රිය ය, කායේන්‍ද්‍රිය ය, මනඉන්‍ද්‍රිය ය, ස්ත්‍රීන්‍ද්‍රිය ය, පුරුෂේන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සුඛේන්‍ද්‍රිය ය, දුඃඛේන්‍ද්‍රියය, සෞමනස්‍යෙන්‍ද්‍රිය ය, දෞර්‍මනස්‍යෙන්‍ද්‍රිය ය, උපේක්‍ෂේන්‍ද්‍රිය ය, ශ්‍රද්ධේන්‍ද්‍රියය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රියය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය ය යි. මෙතෙකින් ඉන්‍ද්‍රියයන්ගේ ඉන්‍ද්‍රිය ප්‍රඥප්තිය වේ.
කොතෙකින් පුද්ගලයන්ගේ පුද්ගලප්‍රඥප්තිය වේ ද යත්:
1. සමයවිමුක්ත ය,
2. අසමයවිමුක්ත ය,
3. කෝප්‍යධර්‍ම ය,
4. අකෝප්‍යධර්‍ම ය,
5. පරිහාණධර්‍ම ය,
6. අපරිහාණධර්‍ම ය,
7. චේතනාභව්‍ය ය,
8. අනුරක්‍ෂණාභව්‍ය ය,
9. පෘථග්ජන ය,
10. ගෝත්‍රභූ ය,
11. භයොපරත ය,
12. අභයෝපරත ය,
13. භව්‍යාගමන ය,
14. අභව්‍යාගමන ය,
15. නියත ය,
16. අනියත ය,
17. ප්‍රතිපන්නක ය,
18. ඵලස්ථිත ය,
19. සමශීර්ෂී ය
20. ස්ථිතිකල්පී ය,
21. ආර්‍ය්‍ය ය.
22. අනාර්‍ය්‍ය ය,
23. ශෛක්‍ෂ ය,
24. අශෛක්‍ෂ ය,
25. නෛවශෛක්‍ෂ නාශෛක්‍ෂ ය,
26. ත්‍රෛවිද්‍ය ය,
27. ෂඩභිඥ ය,
28. සම්‍යසක්සම්බුද්ධ ය,
29. ප්‍රත්‍යෙකබුද්ධ ය,
30. උභතොභාගවිමුක්ත ය,
31. ප්‍රඥාවිමුක්ත ය,
32. කායසාක්‍ෂී ය,
33. දෘෂ්ටප්‍රාප්ත ය,
34. ශ්‍රද්ධාවිමුක්ත ය,
35. ධර්‍මානුසාරී ය,
36. ශ්‍රද්ධානුසාරී ය,
37. සප්තකෘත්වඃපරම ය,
38. කොලංකොල ය,
39. ඒකබීජී ය,
40. සකෘදාගාමී ය,
41. අනාගාමී ය,
42. අන්තරාපරිනිර්‍වායි ය,
43. උපහත්‍යපරිනිර්‍වායි ය,
44. අසංස්කාරපරිනිර්‍වායි ය,
45. සසංස්කාරපරිනිර්‍වායි ය,
46. ඌර්ද්ධවංස්‍රෝත අකනිෂ්ටගාමී ය,
47. ශ්‍රෝතආපන්න යැ, ශ්‍රොතආපත්තිඵල සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ,
48. සකෘදාගාමී යැ, සකෘදාගාමී ඵල සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ,
49. අනාගාමී යැ, අනාගාමි ඵල සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ,
50. අර්‍හත් යැ, අර්‍හත්ත්‍වඵල සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ යැ, (යන මෙතෙකින් පුද්ගලයන්ගේ පුද්ගලප්‍රඥප්තිය වේ.)
ඒකක මාතෘකා නිමි.
2. ද්වික මාතෘකා
1. ක්‍රෝධ ඇත්තේ ද, බද්ධවෛර ඇත්තේ ද,
2. ගුණමකු වූයේ ද, යුගග්‍රාහ (තමා අනුන් හා සම කිරීම) ඇත්තේ ද,
3. ඊර්‍ෂ්‍යා ඇත්තේ ද, මාත්සර්‍ය්‍ය (මසුරු බව) ඇත්තේ ද,
4. කෛරාටික වූයේ ද, මායා ඇත්තේ ද,
5. (පාපයෙහි) ලජ්ජා නැත්තේ ද, (උපවාදයෙහි) බිය නැත්තේ ද,
6. දුර්වචස්ක වූයේ ද, පාපමිත්‍රයන් ඇත්තේ ද,
7. ඉඳුරන්හි නො පියන ලද දොර ඇත්තේ ද,වැළැඳීමෙහි පමණ නො දන්නේ ද,
8. මුළා වූ සිහි ඇත්තේ ද, නුවණ නැත්තේ ද,
9. ශීලවිපත්තියට පැමිණියේ ද, දෘෂ්ටිවිපත්තියට පැමිණියේ ද,
10. අධ්‍යාත්ම සංයෝජන ඇත්තේ ද, බාහ්‍ය සංයෝජන ඇත්තේ ද,
11. ක්‍රෝධ නැත්තේ ද, බද්ධවෛර නැත්තේ ද,
12. ගුණමකු නො වූයේ ද, යුගග්‍රාහ (තමා අනුන් හා සම කොට ගැනුම්) නැත්තේ ද,
13. ඊර්‍ෂ්‍යා නැත්තේ ද, මාත්සර්‍ය්‍ය (මසුරුබව) නැත්තේ ද,
14. කෛරාටික නොවූයේ ද, මායා නැත්තේ ද,
15. (පාපයෙහි) ලජ්ජා ඇත්තේ ද, (උපවාදයෙහි) බිය ඇත්තේ ද,
16. සුවච වූයේ ද, කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ ද,
17. ඉන්‍ද්‍රියයන්හි පියන ලද දොරඇත්තේද, වැළැඳීමෙහි පමණ දන්නේ ද,
18. එළඹ සිටි සිහි ඇත්තේ ද, නුවණ ඇත්තේ ද,
19. ශීල සම්පන්න වූයේ ද, දෘෂ්ටි සම්පන්න වූයේ ද, (වෙති.)
20. ලෝකයෙහි දුර්‍ලභ පුද්ගලයෝ දෙදෙනෙකි,
21. පිණවීමට දුෂ්කර පුද්ගලයෝ දෙදෙනෙකි,
22. පිණවීමට සුකර පුද්ගලයෝ දෙදෙනෙකි,
23. පුද්ගලයන් දෙදෙනකුන්ගේ ආස්‍රවයෝ වැඩෙත්,
24. පුද්ගලයන් දෙදෙනකුන්ගේ ආස්‍රවයෝ නො වැඩෙත්,
25. හීනාධිමුක්ත වූයේ ද, ප්‍රණීතාධිමුක්ත වූයේ ද,
26. තෘප්ත වූයේ ද, තෘප්තිකාරක වූයේ ද (යන මොහු ය.)
ද්වික මාතෘකා නිමි.
3. ත්‍රික මාතෘකා
1. ප්‍රාර්‍ත්‍ථනා නැත්තේ යැ, ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යැ, පහ වූ ප්‍රාර්‍ත්‍ථනා ඇත්තේ යි,
2. ගිලනාට බඳු උපමා ඇති පුද්ගලයෝ තිදෙනෙකි.
3. කායසාක්‍ෂී යැ, දෘෂ්ටප්‍රාප්ත යැ, ශ්‍රද්ධාවිමුක්ත යැ.
4. ගුථයට බඳු වචන ඇත්තේ යැ, පුෂ්පයට බඳු වචන ඇත්තේ යැ, මී බඳු වචන ඇත්තේ යි.
5. පැරණි ව්‍රණයට බඳු සිත් ඇති පුද්ගල යැ, විදුලියට බඳු සිත් ඇති පුද්ගල යැ, වජ්‍රයට බඳු සිත් ඇති පුද්ගල යි.
6. අන්‍ධ යැ, එකැස් ඇතියේ යැ, දෑස් ඇතියේ යි.
7. යැටිකුරු වූ ප්‍රඥා ඇති පුද්ගල යැ, ඇකයෙහි ලූවක් බඳු ප්‍රඥා ඇති පුද්ගල යැ, පතළා වූ ප්‍රඥා ඇති පුද්ගල යි.
8. (පඤ්ච) කාමයන්හි ද, (රූපාරූප) භවයන්හි ද නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි පහ වූ රාග ඇති භවයන්හි නො පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇත, කාමයන්හි ද භවයන්හි ද පහ වූ රාග ඇති ඇතැම් පුද්ගලයෙක් ඇති.