නවක මාතෘකා නිමි.
10. දශක මාතෘකා
1. පස්දෙනකුන්ගේ ‘ඉහනිෂ්ඨා යැ, පස් දෙනකුන් ගේ ඉහවිහායනිෂ්ඨා’ යි.
දශක මාතෘකා නිමි.
පුද්ගලප්‍රඥප්ති මාතෘකා නිමි.
නිර්දේශ වාරය
1. ඒකක නිර්‍දෙශය
1. කවර පුද්ගලයෙක් සමයවිමුක්ත වේ ද යත්: මේ (සත්ත්‍ව) ලෝකයෙහි එක් පුද්ගලයෙක් කලින් කලැ සමයෙන් සමයෙහි අෂ්ටවිමෝක්‍ෂයන් (රූපාරූප අෂ්ටසමාපත්තීන්) (නාම) කයින් ස්පර්‍ශ කොට වෙසෙයි, ඔහු විසින් ප්‍රඥායෙන් දැක ඇතැම් ආස්‍රව කෙනෙක් ක්‍ෂය කරන ලද්දාහු (විදර්‍ශනා ප්‍රඥායෙන් සංස්කාරයන් ද මාර්‍ගප්‍රඥායෙන් චතුස්සත්‍යධර්‍මයන් ද දැක යි සේ යි) මේ පුද්ගල තෙමේ සමයවිමුක්ත යැ යි කියනු ලැබේ.
2. කවර පුද්ගලයෙක් අසමය විමුක්ත වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් කලින් කල සමයෙන් සමයෙහි අෂ්ටවිමෝක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට නො මැ වෙසෙයි, එතෙකුදු වත් ඔහු විසින් ප්‍රඥායෙන් දැක ආස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙත්. මේ පුද්ගල අසමයවිමුක්ත යැ යි කියනු ලැබේ. සියලුම ආර්‍ය්‍ය පුද්ගලයෝ ලෝකෝත්තර විමෝක්‍ෂයෙහි අසමයවිමුක්තයෝ යි.
3. කවර පුද්ගලයෙක් කෝප්‍යධර්‍ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත (රූපාවචර) වූ හෝ අරූපසහගත (අරූපාවචර) වූ හෝ සමාපත්තීන් ලඛන සුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, මහත් සේ ලබන්නේ නො වෙයි, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේ ද, (ඉන්) නැඟෙන්නේ ද නො වෙයි, යම් ප්‍රමාදයකට පැමිණ ඒ පුඟුල්හුගේ ඒ සමාපත්තීහු නැසෙන්නාහු නම් තෙල කරුණ විද්‍යමාන වෙයි, මේ පුද්ගල කෝප්‍යධර්‍ම යැයි කියනු ලැබේ.
4. කවර පුද්ගලයෙක් අකෝප්‍යධර්‍ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු යැ, තවද හෙතෙමේ කැමැති සේ ලබන සුලු යැ, නිදුකින් ලබනසුලු යැ, මහත්සේ ලබනසුලු යි. කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේ ද (ඉන්) නැඟෙන්නේ ද වෙයි. යම් පමාවකට පැමිණ ඒ පුද්ගලයාගේ ඒ සමාපත්තීහු නැසෙන්නාහු නම් තෙල කරුණ නැත, එයට ඉඩ නැත්තේ යැ. මේ පුද්ගල අකෝප්‍ය ධර්‍ම යැ යි කියනු ලැබේ. සියලු මැ ආර්‍ය්‍ය පුද්ගලයෝ ආර්‍ය්‍යවිමෝක්‍ෂයෙහි අකෝප්‍යධර්‍මයෝ යි.
5. කවර පුද්ගලයෙක් පරිහාණධර්‍ම වේ ද යත්: මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, විපුල වැ ලබන්නේ නො වෙයි. කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් (ඉන්) නැඟෙන්නේත් නො වේ. යම් බඳු පමාවකට පැමිණ ඒ පුද්ගල ඒ සමාපත්තීන්ගෙන් පිරිහෙන්නේ නම් තෙල කරුණ විද්‍යමාන වේ. මේ පුද්ගල පරිහාණධර්‍ම යැ යි කියනු ලැබේ.
6. කවර පුද්ගලයෙක් අපරිහාණධර්‍ම නම් වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු යැ, තවද හෙතෙම කැමැති සේ ලබන සුලු වෙයි, නිදුකින් ලබනසුලු යැ. මහත් සේ ලබන සුලු යැ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් වෙයි. යම් පමාවකට පැමිණ ඒ පුද්ගල ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙන්නේ නම් තෙල කරුණු නැත. එයට ඉඩ නැත, මේ පුද්ගල අපරිහාණ ධර්‍මය යි කියනු ලැබේ. සියලු මැ ආර්‍ය්‍යපුද්ගලයෝ ආර්‍ය්‍යවිමෝක්‍ෂයෙහි අපරිහාණ ධර්‍ම ඇත්තෝ යි.
7. කවර පුද්ගලයෙක් චේතනාභව්‍ය වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබන සුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමති සේ ලබන්නේ නො වෙයි. නිදුකින් ලබන්නේ නො වෙයි, මහත්සේ ලබන්නේ නො වේ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් වෙයි. ඉදින් සමවදනේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් නො පිරිහෙයි, ඉදින් නො සමවදනේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. මේ පුද්ගල චේතනාභව්‍ය යැ යි කියනු ලැබේ.
8. කවර පුද්ගලයෙක් අනුරක්‍ෂණාභව්‍ය වේ ද යත්: මේ ලෝකයෙහි එක් පුද්ගලයෙක් රූපසහගත වූ හෝ අරූපසහගත වූ හෝ සමාපත්තීන් ලබනසුලු වෙයි, එතෙකුදු වත් හෙතෙම කැමැති සේ ලබන්නේ නො වෙයි, නිදුකින් ලබන්නේ නො වෙයි, විපුල වැ ලබන්නේ නො වේ, කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති තාක් සමවදනේත් ඉන් නැඟෙන්නේත් නොවේ. ඉදින් රක්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් නො පිරිහෙයි, ඉදින් නො රක්නේ නම් ඒ සමාපත්තීන් කෙරෙන් පිරිහෙයි. මේ පුද්ගල අනුරක්‍ෂණාභව්‍ය යැ යි කියනු ලැබේ.
9. කවර පුද්ගලයෙක් පෘථග්ජන වේ ද යත්: යම් පුද්ගලයකුගේ සංයෝජනයෝ තිදෙනෙක් ප්‍රහීණ නො වූවාහු ද, ඒ සංයෝජනධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස නො පිළිපන්නේත් වේ ද, මේ පුද්ගල පෘථග්ජන යි කියනු ලැබේ.
10. කවර පුද්ගලයෙක් ගෝත්‍රභූ වේ ද යත්: යම් ධර්‍මකෙනකුන්ට සමනන්තරව ආර්‍ය්‍යමාර්‍ගයාගේ පහළ වීම වේ ද, ඒ ධර්‍මයන්ගෙන් යුක්ත වූ මේ පුද්ගල ගෝත්‍රභූ යි කියනු ලැබේ.
11-12. කවර පුද්ගලයෙක් භයොපරත වේ ද යත්: සප්ත ශෛක්‍ෂයෝ ද, යම් පෘථග්ජන සිල්වත් කෙනෙක් වෙත් නම් ඔහු ද භයෝපරතයෝ යැ. අර්‍හත් තෙමේ අභයෝපරත වූයේ යි.
13. කවර පුද්ගලයෙක් අභව්‍යාගමන වේ ද යත්: යම් ඒ පුද්ගල කෙනෙක් කර්‍මාවරණයෙන් යුක්ත වූවාහු ක්ලේශාවරණයෙන් යුක්ත වූවාහු විපාකාවරණයෙන් යුක්ත වූවාහු ශ්‍රද්ධා රහිත වූවාහු කර්තුකම්‍යතා කුශලච්ඡන්‍ද රහිත වූවාහු භවාඞ්ග (ත්‍රිහේතුක ප්‍රතිසන්‍ධි) ප්‍රඥා රහිත වූවාහු, ජඩ වූවාහු කුශලධර්‍මයන්හි මාර්‍ග නියාමයට බැස ගන්නට අභව්‍ය වූවාහු ද මේ පුද්ගලයෝ අභව්‍යාගමනයෝ යි කියනු ලැබෙත්.
14. කවර පුද්ගලයෙක් භව්‍යාගමන වේ ද යත්: යම් ඒ පුද්ගල කෙනෙක් කර්‍මාවරණයෙන් යුක්ත නොවූවාහු, ක්ලේශාවරණයෙන් යුක්ත නො වූවාහු, විපාකාවරණයෙන් යුක්ත නො වූවාහු, ශ්‍රද්ධා ඇත්තාහු, කර්තුකම්‍යතා කුශලච්ඡන්‍ද ඇත්තාහු, ප්‍රඥා ඇත්තාහු කුශලධර්‍මයන්හි මාර්‍ගනියාමයට බැස ගන්නට භව්‍ය (සුදුසු) වූවාහු ද, මේ පුද්ගලයෝ භව්‍යාගමනයෝ යි කියනු ලැබෙත්.
15-16. කවර පුද්ගලයෙක් නියත වේ ද යත්: ආනන්තර්‍ය්‍ය කර්‍ම සමඞ්ගී පුද්ගලයෝ පස් දෙනා ද නියත මිථ්‍යාදෘෂ්ටික වූ යම් කෙනෙක් වෙත් නම් ඔහු ද, ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනා ද නියතයෝ යැ, අවශේෂ පුද්ගලයෝ අනියතයෝ යි.
17-18. කවර පුද්ගලයෙක් ප්‍රතිපන්නක වේ ද යත්: මාර්‍ග සමඞ්ගී පුද්ගලයෝ සතර දෙන ප්‍රතිපන්නකයෝ යැ, ඵලසමඞ්ගී පුද්ගලයෝ සතර දෙන ඵලයෙහි සිටියෝ යි.
19. කවර පුද්ගලයෙක් සමසීසී වේ ද යත්: යම් පුද්ගලයක්හුගේ පෙර පසු නො වැ ආස්‍රවක්‍ෂයත් ජීවිතක්‍ෂයත් වේ ද, මේ පුද්ගල සමසීසී යැ යි කියනු ලැබේ.
20. කවර පුද්ගලයෙක් ස්ථිතකල්පී වේ ද යත්: මේ පුද්ගලයාත් සෝවාන් ඵලය පසක් කරන්නට පිළිපන්නේ වේ නම් කල්පය තමාත් දැවෙන වේලාව වේ නම් යම්තාක් මේ පුද්ගල සෝවාන්ඵලය සාක්‍ෂාත් නො කෙරෙයි ද, ඒ තාක් කල්පය තෙමේ නො දැවේ මැ යි. මේ පුද්ගල ස්ථිතකල්පී යැ යි කියනු ලැබේ. මාර්‍ගස්ථ වූ සියලු මැ පුද්ගලයෝ ස්ථිතකල්පීහු යි.
21-22. කවර පුද්ගලයෙක් ‘ආර්‍ය්‍ය’ වේ ද යත්: අෂ්ටාර්‍ය්‍ය පුද්ගලයෝ ආර්‍ය්‍යයෝ යැ, සෙසු පුද්ගලයෝ අනාර්‍ය්‍යයෝ යි.
23-25. කවර පුද්ගලයෙක් ‘ශෛක්‍ෂ’ වේ ද යත්: මාර්‍ගස්ථ පුද්ගලයෝ සතර දෙනා යැ, ඵලස්ථ පුද්ගලයෝ තිදෙනා යැ යන මොහු ශෛක්‍ෂයෝ යැ, අර්‍හත් තෙමේ අශෛක්‍ෂ යැ, සෙසු පුද්ගලයෝ ශෛක්‍ෂත් අශෛක්‍ෂත් නො වූවෝ යි.
26. කවර පුද්ගලයෙක් තේවිජ්ජ වේ ද යත්: ත්‍රිවිද්‍යායෙන් යුක්ත වූ පුද්ගල තේවිජ්ජ නම් වෙයි.
27. කවර පුද්ගලයෙක් ‘ජළභිඤ්ඤ’ වේ ද යත්: සවැදෑරුම් අභිඥායෙන් යුක්ත වූ පුද්ගල ‘ඡළභිඤ්ඤ’ නම් වෙයි.
28. කවර පුද්ගලයෙක් ‘සම්මාසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි සත්‍යයන් තෙමේ අවබෝධ කොට ගනියි, යළි එහි සර්‍වඥ බවට පැමිණෙයි, (දශ) බලඥානයෙහි ද වශීභාවයට පැමිණෙයි. මේ පුද්ගල ‘සම්මාසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.
29. කවර පුද්ගලයෙක් ‘පච්චේකසම්බුද්ධ’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පෙර නො ඇසූ විරූ ධර්‍මයන්හි සත්‍යයන් තෙමේ අවබෝධ කොට ගනි. එතෙකුදුවත් එහි සර්‍වඥභාවයට නො පැමිණෙයි. (දශ) බලඥානයෙහි වශීභාවයට ද නො පැමිණෙයි. මේ පුද්ගල ‘පව්චේකසම්බුද්ධ’ යැයි කියනු ලැබේ.
30. කවර පුද්ගලයෙක් ‘උභතෝභාග විමුක්ත’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් (නාම) කයින් ස්පර්‍ශ කොට වාස කරයි. (විදර්‍ශනා - මාර්‍ග) ප්‍රඥායෙන් දැක මොහුගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද වෙත්. මේ පුද්ගල ‘උභතෝභාගවිමුක්ත’ යැයි කියනු ලැබේ.
31. කවර පුද්ගලයෙක් ‘ප්‍රඥාවිමුක්ත’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට නො මැ වසයි, ප්‍රඥායෙන් දැක මොහුගේ ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද වෙත්. මේ පුද්ගල ‘ප්‍රඥාවිමුක්ත’ යැ යි කියනු ලැබේ.
32. කවර පුද්ගලයෙක් ‘කායසාක්‍ෂි’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් අෂ්ටවිමෝක්‍ෂයන් කයින් ස්පර්‍ශ කොට වාස කරයි. යළි ප්‍රඥායෙන් දක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්. මේ පුද්ගල තෙමේ ‘කාය සාක්‍ෂි’ යි කියනු ලැබේ.
33. කවර පුද්ගලයෙක් ‘දෘෂ්ටප්‍රාප්ත’ වේ ද යත්: මේ ලොවැ එක් පුද්ගලයෙක් මේ (උපාදානස්කන්‍ධපඤ්චකය) දුකැ යි ඇති සැටියෙන් දනියි, මේ (තෘෂ්ණාව) දුඃඛසමුදය යැ යි ඇති සැටියෙන් දනියි, මේ (තෘෂ්ණා නිරෝධය) දුඃඛනිරෝධය යැ යි ඇති සැටියෙන් දනි, මේ (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) දුක් නැති කරන පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි. තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද (චතුස්සත්‍ය) ධර්‍මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති, තව ද නුවණින් දැක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු වෙත්. මේ පුද්ගල ‘දෘෂ්ටප්‍රාප්ත’ යි කියනු ලැබේ.
34. කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධාවිමුක්ත’ වේ ද යත්: මෙ ලොවැ එක් පුද්ගලයෙක් මේ දුකැයි ඇති සැටියෙන් දනියි, මේ දුක් ඇති වීමේ හේතු යැයි ඇති සැටියෙන් දනියි, මේ දුක් නැති වී මැ යි ඇති සැටියෙන් දනියි, මේ දුක් නැති කිරීමේ පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි, තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍මයෝ ද මොහු විසින් නුවණින් මොනවට දක්නා ලද්දාහු හසළාහු වෙති, නුවණින් දැක මොහුගේ ඇතැම් ආස්‍රවයෝ ක්‍ෂය වූවාහු ද වෙත්. එහෙත් දෘෂ්ටප්‍රාප්තයා හට බඳු නො වේ. මේ පුද්ගල ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි කියනු ලැබේ.
35. කවර පුද්ගලයෙක් ‘ධර්‍මානුසාරී’ වේ ද යත්: සෝතාපත්ති ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයකහුගේ ප්‍රඥේන්‍ද්‍රිය බලවත් වේ ද, ප්‍රඥාව එළවන සුලු ප්‍රඥා පූර්‍වඞ්ගම වූ ආයතමාර්‍ගය වඩා ද මේ පුද්ගල ‘ධර්‍මානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවන් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් පුද්ගල ‘ධර්‍මානුසාරී’ වෙයි. ඵලයෙහි සිටීයේ දෘෂ්ටප්‍රාප්ත යි.
36. කවර පුද්ගලයෙක් ‘ශ්‍රද්ධානුසාරී’ වේ ද යත්: සෝතාපත්තිඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන් යම් පුද්ගලයක්හුගේ ශ්‍රද්ධේන්‍ද්‍රියය බලවත් වේ ද ශ්‍රද්ධාව එළවන සුලු වූ ශ්‍රද්ධාපූර්‍වඞ්ගම වූ ආර්‍ය්‍යමාර්‍ගය වඩා ද මේ පුද්ගල තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ යැ යි කියනු ලැබේ. සෝවාන්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගල තෙමේ ‘ශ්‍රද්ධානුසාරී’ වෙයි, ඵලයෙහි සිටියේ ‘ශ්‍රද්ධාවිමුක්ත’ යි.
37. කවර පුද්ගලයෙක් ‘සත්තක්ඛත්තුපරම’ වේ ද යත්: මෙලෙව්හි එක් පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්‍ෂයවීමෙන් අපායගමන රහිත වූයේ මාර්‍ගනියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝතාපන්න වේ ද හෙතෙම සත් වරක් දෙව්ලොව ද මිනිස් ලොව ද (ප්‍රතිසන්‍ධි වශයෙන්) දිවැ-සැරිසරා දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘සත්තක්ඛත්තු පරම’ යැ කියනු ලැබේ.
38. කවර පුද්ගලයෙක් ‘කොලංකොල’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් සංයෝජනත්‍රයක්හුගේ ක්‍ෂය වීමෙන් අපායගමන රහිත වූයේ මාර්‍ගනියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝතාපන්න වේ ද, හෙතෙම භව දෙකක් හෝ තුනක් දිවැ සැරිසරා දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘කොලංකොල’ යි කියනු ලැබේ.
39. කවර පුද්ගලයෙක් ‘ඒකබීජී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් සංයෝජනත්‍රයක් ක්‍ෂය වීමෙන් අපායගමන රහිත වූයේ මාර්‍ගනියත වූයේ සම්බෝධිය පිහිට කොට ඇත්තේ සෝතාපන්න වේ ද, හෙතෙම එක් මැ මිනිස් භවයක් උපදවා දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘ඒකබීජී’ යි කියනු ලැබේ.
40. කවර පුද්ගලයෙක් ‘සකදාගාමී’ වේ ද යත්: මේ ලොවැ එක් පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්‍ෂය වීමෙන් රාග ද්වේෂ මෝහයන් තුනීවීමෙන් සකෘදාගාමී වෙයි. එක් වරක් මැ මෙලොවට අවුත් දුක් කෙළවර කරයි. මේ පුද්ගල ‘සකෘදාගාමී’ යි කියනු ලැබේ.
41. කවර පුද්ගලයෙක් ‘අනාගාමී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වෙයි. එ (ශුද්ධාවාස) ලොවින් පෙරළා නො එන සුලු වූයේ එහි පිරිනිවෙන සුලු වෙයි. මේ පුද්ගල ‘අනාගාමී’ යි කියනු ලැබේ.
42. කවර පුද්ගලයෙක් ‘අන්තරාපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වෙයි. ඒ (ශුද්ධාවාස) ලොවින් පෙරළා නො එන සුලු වූයේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම උපන් අනතුරු වැ හෝ නො පැමිණි මැද විය ඇති ව හෝ මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ආර්‍ය්‍යමාර්‍ගය උපදවයි. මේ පුද්ගල ‘අන්තරාපරිනිබ්බායී’ යි කියනු ලැබේ.
43. කවර පුද්ගලයෙක් ‘උපහච්චපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වෙයි, එලොවින් පෙරළා නො එන සුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම මධ්‍ය ආයුඃප්‍රමාණය ඉක්ම හෝ කාලක්‍රියාවට ආසන්න ව හෝ මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ආර්‍ය්‍යමාර්‍ගය උපදවයි. මේ පුද්ගල ‘උපහච්චපරිනිබ්බායී’ යි කියනු ලැබේ.
44. කවර පුද්ගලයෙක් ‘අසංඛාරපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ කිසි පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ‘ඕපපාතික’ වෙයි, එලොවින් පෙරළා නො එනසුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස නිදුකින් ආර්‍ය්‍යමාර්‍ගය උපදවයි. මේපුද්ගල ‘අසංඛාර පරිනිබ්බායී’ යි කියනු ලැබේ.
45. කවර පුද්ගලයෙක් ‘සසංඛාරපරිනිබ්බායී’ වේ ද යත්: මෙලොවැ එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වෙයි, එලොවින් පෙරළා නො එන සුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස දුකින් ආර්‍ය්‍යමාර්‍ගය උපදවයි. මේ පුද්ගල ‘සසඞ්ඛාර පරිනිබ්බායී’ යි කියනු ලැබේ.
46. කවර පුද්ගලයෙක් ‘උද්ධංසෝත අකනිට්ඨගාමී’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් පස්වැදෑරුම් වූ ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වෙයි. එලොවින් පෙරළා නො එන සුලු ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙන සුලු වේ. හෙතෙම අවිහයෙන් ච්‍යුත වූයේ අතප්පයට යයි. අතප්පයෙන් ච්‍යුත වූයේ සුදස්සයට යයි. සුදස්සයෙන් ච්‍යුත වූයේ සුදස්සියට යයි. සුදස්සියෙන් ච්‍යුත වූයේ අකනිටාවට යේ. අකනිටායෙහි දී මත්තෙහි වූ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස ආර්‍ය්‍යමාර්‍ගය උපදවයි. මේ පුද්ගල ‘උද්ධංසෝත අකනිට්ඨගාමී’ යි කියනු ලැබේ.
47. සංයෝජනත්‍රයක්හුගේ ප්‍රහාණය පිණිස පිළිපන් පුද්ගල සෝවන්ඵලය සාක්‍ෂාත් කිරීමට පිළිපන්නේ වෙයි. යම් පුද්ගලයක්හුගේ සංයෝජනයෝ තිදෙනෙක් ප්‍රහීණ වූවාහු ද, මේ පුද්ගල ‘සෝතාපන්න’ යි කියනු ලැබෙයි.
48. කාමරාග – ව්‍යාපාදයන්ගේ තුනී බව පිණිස පිළිපන් පුද්ගල තෙමේ ‘සකෘදාගාමී ඵලය’ සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ ය. යම් පුද්ගලයක්හුගේ කාමරාග - ව්‍යාපාදයෝ තුනී වූවාහු ද, මේ පුද්ගල ‘සකෘදාගාමී’ යි කියනු ලැබෙයි.
49. කාමරාග – ව්‍යාපාදයන්ගේ නිරවශේෂ ප්‍රහාණය පිණිස පිළිපන් පුද්ගල ‘අනාගාමී ඵලය’ සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ වෙයි. යම් පුද්ගලයක්හුගේ කාමරාග - ව්‍යාපාදයෝ නිරවශේෂයෙන් ප්‍රහීණ වූවාහු ද, මේ පුද්ගල ‘අනාගාමී’ යි කියනු ලැබෙයි.
50. රූපරාග යැ, අරූපරාග යැ, මාන යැ, උද්ධච්ච යැ, අවිජ්ජා යැ යන මොවුන්ගේ නිරවශේෂ ප්‍රහාණය පිණිස පිළිපන් පුද්ගල අර්‍හත් ඵලය සාක්‍ෂාත් කරනු පිණිස පිළිපන්නේ වෙයි. යම් පුද්ගලයක්හුගේ රූපරාග යැ, අරූපරාග යැ, මාන යැ, උද්ධච්ච යැ. අවිජ්ජා යැ යන මොහු නිරවශේෂයෙන් ප්‍රහීණ වූවාහු ද, මේ පුද්ගල ‘අර්‍හත්’ යි කියනු ලැබේ.
ඒකක නිර්‍දෙශය නිමියේ යි.
2. ද්වික නිර්‍දෙශය
1. කවර පුද්ගලයෙක් ‘කොධන’ වේ ද යත්: එහි ක්‍රෝධය කව රේ ද: යම් ක්‍රෝධයෙක් කිපීමක් කිපුණු බවක් ද්වේෂයෙක් දූෂ්‍ය වීමක් දූෂිත බවක් විකෘතියක් විකෘත වීමක් විකෘත වූ බවක්, විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඩ බවක්, වචනයාගේ අසම්පූර්‍ණ බවක් චිත්තයාගේ නො සතුටු බවක් වේ ද මේ ක්‍රෝධය යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ක්‍රෝධය ප්‍රහීණ නො වූයේ ද, මෙබඳු පුද්ගල ‘කොධන’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘උපනාහී’ වේ ද යත්: එහි ‘උපනාහය’ කවරේ ද: පූර්‍වකාලය ක්‍රෝධය යි, අපරාකාලය ‘උපනාහය’ (බද්ධ වෛරය) යි. යම් මෙබඳු බද්ධ වෛරයෙක් වෙරබැඳීමක් බද්ධවෛර වූ බවක්, ක්‍රෝධය නඟා සිටුවීමක්, හිඳුවීමක් මොනවට හිඳුවීමක් සැසැඳීමක් ලුහු බැඳීමක් දැඩි කිරීමක් වේ ද, මේ ‘උපනාහ’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ උපනාහය ප්‍රහීණ නො වූයේ ද, මේ පුද්ගල උපනාහී යැ යි කියනු ලැබේ.
2. කවර පුද්ගලයෙක් ‘මක්ඛී’ වේ ද යත්: එහි ‘මක්ඛය’ කවරේ ද: යම් ගුණමකුවක් ගුණ මැකීමක් ගුණමකු බවක් නිර්දයාවක් නිර්දය කමක් වේ ද මේ මක්ඛ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ‘මක්ඛය’ ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘මක්ඛී’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘පලාසී’ වේ ද යත්: එහි ‘පලාසය’ කවරේ ද: යම් සමවලායෙක් සමවලායෙහි පැවැත්මක් සමවලා පැවැතුම් ඇති බවක් සමවලා එළවීමක් විවාදයට කරුණක් යුගග්‍රාහයෙක් නො හැරපීමෙක් වේ ද මේ ‘පලාස’ යැයි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ පලාසය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘පලාසී’ යැ යි කියනු ලැබේ.
3. කවර පුද්ගලයෙක් ‘ඉස්සුකී’ (ඊර්‍ෂ්‍යා ඇත්තේ) වේ ද යත්: එහි ‘ඊර්‍ෂ්‍යා’ කවර යත්: අනුන්ගේ ලාභ සත්කාර ගරුකාර වන්‍දන මානන පූජනයන්හි යම් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යාවෙහි පැවැත්මක් ඊර්‍ෂ්‍යා පැවැතුම් ඇති බවක් දොස්පාළ කිරීමක් දොස් පාළකිරීමේ පැවැත්මක් දොස් පාළ කිරීමේ පැවැතුම් ඇති බවක් වේ ද මේ ඊර්‍ෂ්‍යා යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ඊර්‍ෂ්‍යායාව ප්‍රහීණ නො වූ වා ද මේ පුද්ගල ‘ඉස්සුකී’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘මච්ඡරී’ (මසුරු බව ඇත්තේ) වේ ද යත්: එහි මච්ඡරිය (යනු) කවරේ ද: මාත්සර්‍ය්‍යයෝ පස් දෙනෙකි - ආවාසමාත්සර්‍ය්‍ය යැ, කුලමාත්සර්‍ය්‍ය යැ, ලාභමාත්සර්‍ය්‍ය යැ, වර්‍ණමාත්සර්‍ය්‍ය යැ, ධර්‍මමාත්සර්‍ය්‍ය යැ යි යම් මෙබඳු මසුරු බවක් මසුරු බැව්හි පැවැත්මක් මසුරු බැව්හි පැවැතුම් ඇති බවක් හැම සැපත් අයත් කොට ගැන්මක් තද මසුරු බවක් කටුක ලෙස සිත හකුළාලන බවක් දීමෙහි සිත් නො ගත් බවක් වේ ද මේ ‘මච්ඡරිය’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මච්ඡරිය ප්‍රහීණ නො වූයේ ද මේ පුද්ගල ‘මව්ඡරි’ යැ යි කියනු ලැබේ.
4. කවර පුද්ගලයෙක් සඨ (කෛරාටික) වේ ද යත්: එහි ‘සඨ’ බව කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් කෛරාටිකයෙක් අතිශය කෛරාටිකයෙක් වෙයි. එහි යම් කපටයක් සඨතාවක් කෛරාටික බවක් කර්‍කශතාවක් රළු බවක් තරයේ සිටුවන ලද්දක් වැනි බවක් වේ ද මේ සාඨෙය්‍ය යැ යි කියනු ලැබේ. යම් පුද්ගලයක්හුගේ මේ සාඨෙය්‍යය ප්‍රහීණ නො වූයේ ද, මේ පුද්ගල ‘සඨ’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘මායාවී’ (මායා ඇත්තේ) වේ ද යත්: එහි ‘මායාව’ කවර යත්: මෙලොවැ එකෙක් කයින් දුසිරිතෙහි හැසිර වචනයෙන් දුසිරිතෙහි හැසිර සිතින් දුසිරිතෙහි හැසිර එය වසාලනු පිණිස ලාමක අපේක්‍ෂාවක් පිහිටුවයි. මා (පවිටකු ලෙස) නො දනීව යි අපේක්‍ෂා කරයි. ‘මා නො දනීවා’ යි සලකයි. ‘මා නො දනීවා’ යි වචන කියයි. ‘මා නො දනීව’ යි කයින් වෑයම් කරයි. මෙබඳු වූ යම් මායාවක් මායා ඇති බවක් වරද ඉක්මවා යෑමෙක් වඤ්චනයක් නිකෘතියක් නිකිරණයක් බැහැර කිරීමක් සැඟවීමක් හාත්පසින් සැඟවීමක් වැසීමක් හාත්පසින් වැසීමක් එළිදරව් නො කිරීමක් රහස්කමක් පව්කම් වසාලන බවක් පව්කමක් වේ ද, මේ ‘මායා’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මායාව ප්‍රහීණ නො වූවා ද මේ පුද්ගල ‘මායාවී’ යැයි කියනු ලැබේ.
5. කවර පුද්ගලයෙක් ‘අහිරික’ වේ ද යත්: එහි අහිරිකය කවරේ ද: ‘ලජ්ජා විය යුත්තෙන් ලජ්ජා නො වේ’ යන යමක් වේ ද, ‘ලාමක වූ අකුශල ධර්‍මයන්ට පැමිණීමෙන් ලජ්ජා නො වේ’ යන යමක් වේ ද මේ ‘අහිරික’ යැ යි කියනු ලැබෙයි. මේ අහිරිකයෙන් යුක්ත වූ පුද්ගල ‘අහිරික’ නම් වේ.
කවර පුද්ගලයෙක් ‘අනොත්තප්පී’ නම් වේ ද යත්: එහි ‘අනපත්‍රපා’ කවර යත්: ‘පාපභීරුතායෙන් නො තැවේ’ යන යමක් ඇද්ද ‘ලාමක වූ අකුශලධර්‍මයන්ට පැමිණීමෙන් නො තැවේ’ යන යමක් ඇද්ද, මේ අනපත්‍රපා යැ යි කියනු ලැබෙයි. මේ අනපත්‍රපායෙන් යුක්ත වූ පුද්ගල ‘අනෝත්තප්පී’ නම් වේ.
6. කවර පුද්ගලයෙක් ‘දුබ්බව’ වේ ද යත්: එහි දුර්වචස්ක බව කවරේ ද: ශික්‍ෂාපදය කියනු ලබන කල්හි දුර්වචස්ක බවක් දුර්වච කමක් නො පිළිගැන්විය හැකි බවක් ප්‍රතිපක්‍ෂය ගන්නා බවක් විපක්‍ෂයෙහි මධුරත්වයක් අනාදරබවක් අනාදර ආකාරයක් අගෞරව බවක් නිරාශ්‍රය බවක් වේ ද, මේ දුර්වච බව යැ යි කියනු ලැබේ. එයින් යුක්ත වූ පුද්ගල දුර්වච නම් වේ.
කවර පුද්ගලයෙක් ‘පාපමිත්‍රයන්’ ඇත්තේ වේ ද යත්: එහි පාපමිත්‍ර බව කවරේ ද: යම් ඒ පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා රහිත වූවාහු දුශ්ශීලවූවාහු අල්පශ්‍රැත වූවාහු මසුරු වූවාහු නුවණ නැතියාහු වෙත් ද, ඔවුන්ගේ යම් සේවනයක් බලවත් සේවනයක් හාත්පසින් සේවනයක් භජනයක් දැඩි භජනයක් භක්තියක් දෘඪභක්තියක් ඔවුනට නැමුණු බවක් වේ ද, මේ පාපමිත්‍රබවයැ යි කියනු ලැබේ. මේ පාපමිත්‍රතායෙන් යුක්ත වූ පුද්ගල පාපමිත්‍රයන් ඇත්තේ යි.
7. කවර පුද්ගලයෙක් ඉන්‍ද්‍රියයන්හි නො පියන ලද දොර ඇත්තේ ද යත්: එහි ඉන්‍ද්‍රියයන්හි නො පියන ලද දොර ඇති බව කවරේ ද, මෙලොව එකෙක් ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් හෙයකින් චක්‍ෂුරින්‍ද්‍රියය සංවරණය නො කොට වාස කරන්නාවූ මොහු අභිධ්‍යා – දෞර්‍මනස්ස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්‍මයෝ ලුහු බඳනාහු ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි. චක්‍ෂුරින්‍ද්‍රිය ය නො රකියි. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණේ. කනින් ශබ්දයක් අසා - නැහැයෙන් ගඳක් අඝා - දිවින් රසයක් විඳ - කයින් පහසක් පැහැස – මනසින් ධර්‍මාලම්බනයක් දැන නිමිති ගන්නේ අනුව්‍යඤ්ජන ගන්නේ වෙයි. යම් හෙයකින් මනින්‍ද්‍රියය සංවරණය නො කොට වසන්නා වූ මොහු අභිධ්‍යා යැ දෝමනස්ස යැ යි කියන ලද ලාමක වූ අකුශල ධර්‍මයෝ ලුහු බඳනාහු ද ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළි පදියි. මනින්‍ද්‍රියය නො රකියි. මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණේ. මේ ඉන්‍ද්‍රියයන් සදෙනාගේ යම් අගුත්තියක් නො රැක්මෙක් ආරක්‍ෂා රහිත බවක් අසංවරයෙක් වේ ද, මේ ඉන්‍ද්‍රියයන්හි නොපියූ දොර ඇති බව යැ යි කියනු ලැබේ. මේ ඉන්‍ද්‍රියයන්හි නො වැසූ දොර ඇති බැවින් සමන්‍වාගත වූ පුද්ගල ඉන්‍ද්‍රියයන්හි ‘අගුත්තද්වාර’ නම් වේ.
කවර පුද්ගලයෙක් වැළඳීමෙහි පමණ නො දන්නේ ද යත්: එහි වැළඳීමෙහි පමණ නො දන්නා බව කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් නො විමසා නුනුවණින් ක්‍රීඩා පිණිස මද පිණිස මණ්ඩනය පිණිස අලංකාරය පිණිස අහර වළඳයි. ඒ නො විමසා වැළඳීමෙහි යම් නො සතුටු බවක් පමණ නො දන්නා බවක් භෝජනයෙහි ප්‍රත්‍යවේක්‍ෂා රහිත බවක් වේ ද, මෙ වැළඳීමෙහි පමණ නො දන්නා බව යි කියනු ලැබේ. මේ භෝජනයෙහි පමණ නො දන්නා බැවින් සමන්‍විත වූ පුද්ගල භෝජනයෙහි පමණ නො දන්නේ යි.
8. කවර පුද්ගලයෙක් මුළා සිහි ඇත්තේ ද යත්: මුළා සිහි ඇති බව කවරේ ද: යම් නො සිහියක් නො මෙනෙහි වීමක් නැවැත සිහි නොවීමක් අස්මෘතියක් සිහි නො කරන අයුරක් නො දරන බවක් (අරමුණෙහි) ඉල්පෙන බවක් මුළා වන බවක් වේ ද, මේ ‘මුළාසිහි’ යැ යි කියනු ලැබේ. මේ මුළාසිහියෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘මුට්ඨස්සති’ නම් වේ.
කවර පුද්ගලයෙක් ‘අසම්පජාන’ වේ ද යත්: එහි ‘අසම්පජාන’ බව කවරේ ද: යම් නො දැනීමෙක් නො දැකීමෙක් නො වැටහීමෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් නො වැදගැන්මෙක් නො බැස ගැන්මෙක් සමුව නො දැකීමෙක් ධර්‍මස්වභාවය නො දැකීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් ප්‍රඥා රහිත බවක් බාල බවක් සම්‍යක් ප්‍රඥා රහිත බවක් මුළාවක් බලවත් මුළාවක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යෝඝයෙක් අවිද්‍යානුයෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යාවගේ නැඟීමක් අවිද්‍යාපලිඝයෙක් මෝහ සංඛ්‍යාත අකුශල මූලයෙක් වේ ද මේ ‘අසම්පජාන’ බව යැ යි කියනු ලැබේ. මේ අසම්පජාන බැවින් යුක්ත වූ පුද්ගල ‘අසම්පජාන’ නම් වේ.
9. කවර පුද්ගලයෙක් ‘සීලවිපන්න’ වේද යත්: එහි ‘සීලවිපත්තිය’ කවර යත්: කය පිළිබඳ වැරදි හැසිරීම යැ වචනය පිළිබඳ වැරැදි හැසිරීම යැ කය පිළිබඳ වූත් වචනය පිළිබඳ වූත් වැරැදි හැසිරීම යැ යන යමක් ඇද්ද, මේ ‘සීල විපත්තිය’ යි කියනු ලැබේ. සියලු ම දුසිල් බව සීලවිපත්ති නම. සීලවිපත්තියෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘සීලවිපන්න’ නම් වේ.
කවර පුද්ගලයෙක් ‘දිට්ඨිවිපන්න’ වේ ද යත්: එහි ‘දිට්ඨිවිපත්තිය’ කවර යත්: ‘දුන්දෙයහි විපාක නැත, යාගවශයෙන් දුන් දෙයෙහි විපාක නැත, වෙතට පමුණුවා පුදන ලද්දෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලයක් විපාකයක් නැත, මෙලොව නැත, පරලොව නැත, මව නැත, පියා නැත, ඕපපාතික සත්‍වයෝ නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරෙත් නම් එබඳු වූ සුමඟට බට සුපිළිපන් මහණ බමුණෝ ලොව නැති’ යන මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටි නැමැති විෂකටුවක් දෘෂ්ටිකම්පනයක් දෘෂ්ටිසංයෝජනයක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් පිවිස ගැන්මෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් වැරැදිමඟක් වැරැදි බවක් තීර්‍ත්‍ථායතනයක් විපර්‍ය්‍යාසග්‍රහණයෙක් වේ ද, මේ ‘දිට්ඨිවිපත්ති’ යැ යි කියනු ලැබේ. සියලු ම මිථ්‍යාදෘෂ්ටිය ‘දෘෂ්ටිවිපත්ති’ යැ, මේ දිට්ඨිවිපත්තියෙන් යුක්ත වූ පුද්ගල ‘දිට්ඨිවිපන්න’ නම් වේ.
10. කවර පුද්ගලයෙක් ‘අජ්ඣත්ත සංයෝජන’ ඇත්තේ වේ ද යත්: යම් පුද්ගලයක්හුගේ ඕරම්භාගිය සංයෝජනයෝ පස් දෙන ප්‍රහීණ නො වූවාහු ද, මේ පුද්ගල ‘අජ්ඣත්තසංයෝජන’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘බහිද්ධා සංයෝජන’ ඇත්තේ වේ ද යත්: යම් පුද්ගලයක්හුගේ උද්ධම්භාගිය සංයෝජනයෝ පස්දෙන ප්‍රහීණ නො වූවාහු ද, මේ පුද්ගල තෙමේ ‘බහිද්ධාසංයෝජන’ ඇත්තේ යි කියනු ලැබේ.
11. කවර පුද්ගලයෙක් ‘අක්කෝධන’ වේ ද යත්: එහි ක්‍රෝධය කවරේ ද: යම් ක්‍රෝධයෙක් කිපීමෙක් කිපුණු බවෙක්, ද්වේෂයෙක් දූෂණයෙක් දූෂිත බවෙක් (චිත්තයාගේ විරුද්ධ බවට) පෙරලීමෙක් පෙරළුණු අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඩ බවෙක්, වචනයාගේ අසම්පූර්‍ණතාවක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ක්‍රෝධයයි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ක්‍රෝධය ප්‍රහීණ වූයේ ද, මේ පුද්ගල තෙමේ ‘අක්කෝධන’ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘අනුපනාහී’ (බද්ධවෛර නැත්තේ) වේ ද යත්: එහි ‘උපනාහය’ කවරේ ද: පූර්‍වකාලය ‘ක්‍රෝධය’ යි, අපරකාලය ‘උපනාහය’ යි. මෙබඳු වූ යම් උපනාහයෙක් බද්ධවෛරයෙක් වෙර බැඳි බවක් (ක්‍රෝධයාගේ) ආදිකොට තිබීමෙක් තබන ආකාරයෙක් සැදීමෙක් (ක්‍රෝධයාගේ) සැසැඳීමෙක් ලු බැඳීමෙක් දැඩි කිරීමෙක් වේ ද, මේ ‘උපනාහ’ යැයි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ උපනාහය ප්‍රහීණ වූයේ ද, මේ පුද්ගල ‘අනුපානාහී’ යැ යි කියනු ලැබේ.
12. කවර පුද්ගලයෙක් ‘අමක්ඛි’ (ගුණමකු නො වූයේ) වේ ද යත්: එහි ‘මක්ඛය’ කවරේ ද: යම් ගුණමකුවෙක් ගුණමකන අයුරෙක් ගුණමකන බවක් නිර්දයබවෙක් නිර්දය කමෙක් වේ ද, මේ ‘මක්ඛ’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මක්ඛය (මකුගුණය) ප්‍රහීණ වූයේ ද මේ පුද්ගල තෙමේ ‘අමක්ඛි’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘අපලාසී’ (යුගග්‍රාහ නැත්තේ) වේ ද යත්: එහි ‘පලාසය’ කවරේ ද: යම් යුගග්‍රාහයෙක් සමවලායෙහි පැවැත්මෙක්, සමවලා පැවැතුම් ඇති බවෙක්, සමවලා එළැවීමෙක්, විවාදයට කරුණෙක් යුගග්‍රාහයෙක් දෙනා හැරපීමෙක් වේ ද, මේ ‘පලාස’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ පලාසය ප්‍රහීණ වූයේ ද, මේ පුද්ගල තෙමේ ‘අපලාසී’ යැ යි කියනු ලැබේ.
13. කවර පුද්ගලයෙක් ‘අනිස්සුකී’ නම් වේ ද යත්: එහි ‘ඉස්සා’ යනු කවර යත්: අනුන්ගේ ලාභ සත්කාර ගරුකාර මානන වන්‍දන පූජන යන මෙහි යම් ඊෂ්‍යයාවක් ඊෂ්‍යයාවෙහි පැවැත්මෙක් ඊර්‍ෂ්‍යයා පැවැතුම් ඇති බවෙක් දොස් පහළ කිරීමෙක් දොස් පාළකිරීමේ පැවැත්මක් දෙස් පාළ කිරීමේ පැවැතුම් ඇති බවෙක් වේ ද, මේ ‘ඉස්සා’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ඊෂ්‍යයාව ප්‍රහීණ වූයේ ද, මේ පුද්ගල තෙමේ ‘අනිස්සුකී’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘අමච්ඡරී’ (නොමසුරු) වේ ද යත්: එහි ‘මච්ඡරිය’ කවර යත්: මාත්සර්‍ය්‍යයෝ පස් දෙනෙක – ආවාස මාත්සර්‍ය්‍ය යැ, කුලමාත්සර්‍ය්‍ය යැ, ලාභමාත්සර්‍ය්‍ය යැ, වර්‍ණමාත්සර්‍ය්‍ය යැ, ධර්‍මමාත්සර්‍ය්‍ය යි. මෙ බඳු වූ යම් මාත්සර්‍ය්‍යයෙක් මසුරු අයුරක් මසුරු වන බවක් සම්පත් සඟවන බවක් දැඩි මසුරු බවෙක් කටුකතාවක් සිත් නො ගන්නා බවෙක් වේ ද, මේ ‘මච්ඡරිය’ යැ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ ‘මච්ඡරිය’ ය ප්‍රහීණ ද, මේ පුද්ගල තෙමේ ‘අමච්ඡරී’ යැ යි කියනු ලැබේ.
14. කවර පුද්ගලයෙක් ‘අසඨ’ (කෛරාටික නොවූයේ) වේ ද යත්: එහි ‘සඨ’ බව කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් කෛරාටිකයෙක් හාත්පසින් කෛරාටිකයෙක් වෙයි. එහි යම් කපටයක් සඨතාවක් කෛරාටික භාවයක් කර්‍කශතාවක් රළු බවක් වේ ද, මේ ‘සඨ’ බව යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ සඨ බව ප්‍රහීණ ද, මේ පුද්ගල තෙමේ ‘අසඨ’ යැ යි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘අමායාවී’ (මායා නැත්තේ) වේ ද යත්: එහි ‘මායාව’ කවර යත්: මෙලොව එක් පුද්ගලයෙක් කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට එය වසාලනු පිණිස ලාමක ඉච්ඡාවක් පිහිටුවයි. ‘මා (පවිටකු කොට) නහමක් දනීව’ යි කැමැති වෙයි. ‘මා නහමක් දනීව’ යි සලකයි. ‘නහමක් දනීව’ යි තෙපුල් බෙනෙයි. ‘මා නහමක් දනීව’ යි කයින් වෑයම් කරයි. මෙබඳුවූ යම් මායාවක් මායා ඇති බවක් ඉක්ම යෑමෙක් වඤ්චනයක් නිකෘතියක් නිකිරණයක් බැහැර ලීමෙක් සැඟවීමෙක් හාත්පසින් සැඟවීමෙක් වැසීමෙක් හාත්පසින් වැසීමෙක් එළිදරව් නො කිරීමෙක් ප්‍රකට නො කිරීමෙක් මොනවට වැසීමෙක් වේ ද, මේ ‘මායා’ යි කියනු ලැබෙයි. යම් පුද්ගලයක්හුගේ මේ මායාව ප්‍රහීණ වූවා ද, මේ පුද්ගල තෙමේ ‘අමායාවී’ යැ යි කියනු ලැබේ.
15. කවර පුද්ගලයෙක් ‘හිරි ඇත්තේ’ ද යත්: එහි ‘හිරි’ යනු කවර යත්: යමක් ලජ්ජා ව ද, ලජ්ජා විය යුත්තෙන් ලජ්ජා වේද, ලාමක වූ අකුශල ධර්‍මයන්ට පැමිණීමෙන් ලජ්ජා වේද, මේ ‘හිරි’ යැ යි කියනු ලැබේ. මේ හිරියෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘හිරි ඇත්තේ’ යි.
කවර පුද්ගලයෙක් ‘ඔතප් ඇත්තේ’ ද යත්: එහි ‘ඔතප්’ යනු කවරේ ද: යම් චිත්තාංගයක් තැවිය යුත්තෙන් තැවේ ද, ලාමක වූ අකුශල ධර්‍මයන්ට පැමිණීමෙන් තැවේ ද, මේ ඔතප් යැ යි කියනු ලැබේ. මේ අපත්‍රපායෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘ඔතප් ඇත්තේ’ යි.
16. කවර පුද්ගලයෙක් ‘සුවච’ වේ ද යත්: එහි ‘සුවච’ බව කවරේ ද: ශික්‍ෂාපදය කියන කල්හි සුවච බවෙක් සුවචකමෙක් විපක්‍ෂය නො ගන්නා බවෙක් විපක්‍ෂය මිහිරි නො වීමෙක් ගෞරව සහිත බවෙක් සාශ්‍රය බවෙක් වේ ද මේ ‘සුවච’ බව යැ යි කියනු ලැබේ. මේ සුවච බැවින් යුක්ත වූ පුද්ගල තෙමේ ‘සුවච’ නම් වේ.
කවර පුද්ගලයෙක් ‘කල්‍යාණමිත්‍ර’ වේ ද යත්: එහි ‘කල්‍යාණ මිත්‍ර’ බව කවරේ ද: යම් ඒ පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු ද සිල්වත්තු ද බහුශ්‍රැතයෝ ද ත්‍යාගවත්හු ද ප්‍රඥා ඇත්තාහු ද ඔවුන්ගේ යම් සේවනයෙක් ආශ්‍රයෙක් සමාශ්‍රයෙක් භජනයෙක් දෘඪභජනයෙක් භක්තියක් දෘඪභක්තියක් ඔවුනට නැමුණු බවෙක් වේ ද, මේ ‘කල්‍යාණමිත්‍ර’ බව යැ යි කියනු ලැබේ. මේ කල්‍යාණමිත්‍ර බැවින් සමන්‍වාගත පුද්ගල තෙමේ ‘කල්‍යාණමිත්‍ර’ නම් වේ.
17. කවර පුද්ගලයෙක් ‘ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොර ඇත්තේ’ ද යත්: එහි ‘ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොර ඇති බව’ කවරේ ද: මෙලොව එකෙක් ඇසින් රූපයක් දැක නිමිතිගන්නේ නො වෙයි, අනුව්‍යඤ්ජන ගන්නේ නො වෙයි, යම් හෙයකින් මේ චක්‍ෂුරින්‍ද්‍රියය සංවරණය නො කොට වසන්නාහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය යන ලාමක වූ අකුශල ධර්‍මයෝ ලුහු බඳනාහු ද ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රියය රකියි, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. කණින් ශබ්දයක් අසා නැහැයෙන් ගඳක් අඝා – දිවින රසයක් විඳ - කයින් පහසක් විඳ – මනසින් ධර්‍මාරම්මණයක් දැන නිමිති ගන්නේ නො වෙයි, අනුබ්‍යඤජන ගන්නේ නො වෙයි. යම් හෙයකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන්නා වූ මොහු අභිධ්‍යා දෞර්‍මනස්‍ය යන ලාමක වූ අකුශල ධර්‍මයෝ ලුහුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, මනින්‍ද්‍රියය රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණේ. මේ ඉඳුරන් සදෙනාගේ යම් ගුත්තියක් ගෝපනයක් ආරක්‍ෂාවක් සංවරයක් වේ ද, මේ ‘ඉඳුරන්හි වසන ලද දොර ඇති බව’ යැ යි කියනු ලැබේ. මේ ඉඳුරන්හි වසන ලද දොර ඇති බැවින් යුක්ත වූ පුද්ගල තෙමේ ‘ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාර’ නම් වේ.
කවර පුද්ගලයෙක් ‘වැළඳීමෙහි පමණ දන්නේ’ වේ ද යත්: එහි ‘වැළඳීමෙහි පමණ දන්නා බව’ කවරේ ද: මෙලොව එක් පුද්ගලයෙක් ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් අහර වළඳයි. ‘ක්‍රීඩා පිණිස නො වේ මැ යැ, මද පිණිස නො වේ මැ යැ, සිරුර සරසනු පිණිස නො වේ මැ යැ, සිරුරු මසෙහි අලංකාරය පිණිස නො වේ මැ යි, හුදෙක් මේ ශරීරයාගේ පැවැත්ම පිණිස යැ, යැපීම පිණිස යැ, සාදුක් නිවනු පිණිස යැ, බඹසරට අනුග්‍රහ පිණිස යැ, මෙසේ පැරැණි (සාදුක්) වේදනාවත් නසන්නෙමි, (අධික භෝජන හේතුවින් වන) නව වේදනාවත් නො උපදවන්නෙමි, ජීවිතයාත්‍රාවත් නිරවද්‍යතාවත් ඵාසුවිහරණයත් වන්නීය යි, ඒ ප්‍රත්‍යවේක්‍ෂා කොට වැළඳීමෙහි යම් සතොස් බවක් පමණ දන්නා බවක් වේ ද, මේ ‘භෝජනයෙහි පමණ දන්නා බව’ යැ යි කියනු ලැබේ. මේ වැළඳීමෙහි පමණ දන්නා බැවින් යුක්ත වූ පුද්ගල තෙමේ ‘වැළඳීමෙහි පමණ දන්නේ’ යි.
18. කවර පුද්ගලයෙක් ‘එළඹ සිටි සිහි ඇත්තේ’ වේ ද යත්: එහි ‘සති’ යනු කවර යත්: යම් සිහියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් සඳහනෙක් ධාරණය වන බවෙක් (අරමුණෙහි) කිඳෙන බවෙක් මුළා නො වන බවෙක් ස්මෘතින්‍ද්‍රියයක් සතිබලයක් සම්මාසතියක් වන්නී ද මේ ‘සති’ යැ යි කියනු ලැබේ. මේ සතියෙන් යුක්ත වූ පුද්ගල තෙමේ ‘එළඹ සිටි සිහි ඇත්තේ’ යි.
කවර පුද්ගලයෙක් ‘සම්පජාන’ වේ ද යත්: එහි ‘සම්පජාන’ බව කවරේ ද යත්: යම් ප්‍රකර්‍ෂඥානයක් ප්‍රකාරයෙන් දනුමක් (අනිත්‍යාදිය) විමසීමෙක් වෙසෙසින් විමසීමෙක් සිව්සස් දම් විමසීමෙක් (අනිත්‍යාදිය) සැලකීමෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පණ්ඩිත බවෙක් කුශල බවෙක් නිපුණ බවෙක් (අනිත්‍යාදිය) සැලකීමෙක් චින්තාවක් උප්පරීක්‍ෂාවක් පුළුල් දැනුමෙක් ධාරණ ප්‍රඥාවෙක් පමුණුවන නුවණෙක් විදර්‍ශනාවක් මැනැවින් දන්නා බවෙක් පතෝදය වැනි නුවණෙක් ප්‍රඥාවක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාඅවභාසයෙක් ප්‍රඥාප්‍රදීපයෙක් ප්‍රඥාරත්නයක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යක්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජාන’ බව යැ යි, කියනු ලැබේ. මේ සම්පජාන බැවින් යුත් පුද්ගල තෙමේ ‘සම්පජාන’ නම් වේ.
19. කවර පුද්ගලයෙක් ‘සීලසම්පන්න’ වේ ද යත්: එහි ‘සීල සම්පදාව’ කවර යත්: කායික අව්‍යතික්‍රමයෙක් වාචසික අව්‍යතික්‍රමයෙක් කායික වූ ත් වාචසික වූ ත් අව්‍යතික්‍රමයෙක් වේ ද මේ ‘සීලසම්පදා’ යැ යි කියනු ලැබේ, සියලු ම ශීල සංවරය ‘සීලසම්පදා’ යි. මේ සීලසම්පදායෙන් යුත් පුද්ගල තෙමේ ‘සීලසම්පන්න’ නම් වේ.
කවර පුද්ගලයෙක් ‘දිට්ඨිසම්පන්න’ වේ ද යත්: එහි ‘දිට්ඨි සම්පදාව’ කවර යත්: දුන් දෙයෙහි විපාක ඇත, යාග වශයෙන් දුන් දෙයෙහි විපාක ඇත, පුදන ලද්දෙහි විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵල - විපාක ඇත, මෙලොව ඇත, පරලොව ඇත, මව ඇත, පියා ඇත, ඕපපාතික සත්‍වයෝ ඇත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ වෙසෙසින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කරත් ද එබඳු වූ සුමඟට බට සුපිළිපන් මහණ බමුණෝ ලොව ඇත, යන මෙබඳු වූ යම් උසස් දැනුමෙක් වෙසෙස් දනුමෙක් -පෙ- අමෝහයෙක් (නොමුළාවක්) ධර්‍මවිචයයෙක් සම්‍යක් දෘෂ්ටියක් (නිවැරැදි දනුමක්) වේ ද, මේ ‘දිට්ඨිසම්පදා’ යැ යි කියනු ලැබේ. සියලු මැ සම්‍යක් දෘෂ්ටිය ‘දිට්ඨිසම්පදා’ යැ යි. මේ දිට්ඨිසම්පදායෙන් යුක්තවූ පුද්ගල තෙමේ ‘දිට්ඨිසම්පන්න’ නම් වේ.
20. කවර පුද්ගලයෝ දෙදෙනෙක් ලෝකයෙහි ‘දුර්‍ලභ වෙත් ද යත්: යමෙකුත් පළමු ව උපකාර කරන සුලු වූයේ ද, යමෙකුත් කෘතඥ වූයේ කළගුණ දන්නා සුලු වූයේ ද, මේ පුද්ගලයෝ දෙදෙනා ලෝකයෙහි දුර්‍ලභයෝ යි.
21. කවර පුද්ගලයෝ දෙදෙනෙක් ‘පිණවිය නො හැක්කාහු’ ද යත්: යමෙකුත් ලද ලද දැය බහා තබා ද, යමෙකුත් ලද ලද දැය වියදම් කෙරේ ද මේ පුද්ගලයෝ දෙදෙනා පිණවිය නො හැක්කාහු යි.
22. කවර පුද්ගලයෝ දෙදෙනෙක් ‘සුවසේ පිණවිය හැක්කාහු’ ද යත්: යමෙකුත් ලද ලද දැය බහා නො තබා ද, යමෙකුත් ලද ලද දැය වියදම් නො කෙරේ ද, මේ පුද්ගලයෝ දෙදෙනා සුවසේ පිණවිය හැක්කාහු යි.
23. කවර පුද්ගලයන් දෙදෙනකුන්ගේ ‘ආස්‍රවයෝ වැඩෙත්’ ද යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් කෙරේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් නො කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ වැඩෙත්.
24. කවර පුද්ගලයන් දෙදෙනකුන්ගේ ‘ආස්‍රවයෝ නො වැඩෙත්’ ද යත්: යමෙකුත් කුකුස් නො කළ යුත්තෙහි කුකුස් නො කෙරේ ද, යමෙකුත් කුකුස් කළ යුත්තෙහි කුකුස් කෙරේ ද, මේ පුද්ගලයන් දෙදෙනාගේ ආස්‍රවයෝ නො වැඩෙත්.
25. කවර පුද්ගලයෙක් ‘හීනාධිමුක්ත’ (පහත් අදහස් ඇත්තේ) වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් දුශ්ශීලයෙක් ලාමක ධර්‍ම ඇත්තෙක් වේ ද, හෙතෙම අනිත් දුශ්ශීලයකු පවිටකු සේවනය කෙරෙයි භජනය කෙරෙයි පර්‍ය්‍යුපාසනය කෙරෙයි. මේ පුද්ගල තෙමේ ‘හීනාධිමුක්ත’ යැයි කියනු ලැබේ.
කවර පුද්ගලයෙක් ‘පණීතාධිමුක්ත’ වේ ද යත්: මෙලොව එක් පුද්ගලයෙක් සිල්වතෙක් කල්‍යාණධර්‍ම ඇත්තෙක් වේ ද, හෙතෙම අනිත් සිල්වතකු කල්‍යාණ ධර්‍ම ඇතියකු සේවනය කෙරෙයි, භජනය කෙරෙයි, ළං ව ඇසිරි කෙරෙයි. මේ පුද්ගල තෙමේ ‘පණීතාධිමුක්ත’ යැ යි කියනු ලැබේ.
26. කවර පුද්ගලයෙක් ‘තෘප්ත වූයේ’ ද යත්: පසේ බුදුන් වහන්සේත් තථාගත ශ්‍රාවක වූ අර්‍හත් වූ යම් කෙනෙක් වෙත් නම් ඔහුත් ‘තෘප්තයෝ’ යි, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ තෘප්ත වූ වාහු ද තර්‍පණය කරවන්නාහු ද වෙත්. මේ පුද්ගල තෙමේ ‘තෘප්ත’ යැයි කියනු ලැබේ.
ද්වික නිර්‍දෙශය නිමියේ යි.