16. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති ‘අදම යා හැක්කෙමි’යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
17. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ සමානසංවාසක භික්‍ෂූන් ඇති, ‘අද ම යා හැක්කෙමි’ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
18. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනි ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණක්හු දැක හුනස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් නිමැතියැ යුතු. පුවතත් මහණක්හු හා එකස්නෙහි නො ඉන්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උසස්නැ නො ඉන්දැ යුතු. ඔහු බිම උන් කල්හි තමා අස්නෙක නො ඉන්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුවෙක සක්මන් කරණ කල්හි තමා උස් සක්මන් මළුවෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කල්හි තමා සක්මන්මළුවෙක සක්මන් නො කළ යුතු.
19. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පිරිවෙස් වසන මහණකු හා … මූලායපටිකස්සනාරහ මහණකු හා ... මානත්තාරහ (වඩා මහලු) මහණකු හා ... මානත පුරණ මහණකු හා ... අබ්භානයට සුදුසු මහණකු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. ඔහු හා එකස්නෙහි නො ඉන්දැ යුතු. ඔහු මිටි අස්නැ උන් කලැ තමා උසස්නෙහි නො ඉන්දැ යුතු. ඔහු බිමැ උන් කලැ තමා අස්නෙක නො ඉන්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරණ කලැ තමා උස් සක්මන්මළුවෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන් මළුවෙක සක්මන් නො කළ යුතු.
20. මහණෙනි, මානතට සුදුස්සා සිවුවනු කොටැති වැ පිරිවෙස දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවනු කොටැති වැ අබ්භාන කරන්නේ නම්, ඒ අකර්‍මයෙක, නො ද කටයුතු.
මානත්තාරහයා පිළිබඳ වත නිමියේ ය.
4. මානත්තචාරික වත
1. එ සමයෙහි මානත්තවාරික (මානත පුරණ) මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලිබැඳීම, සාමීචි කර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය එළැවීම, පාපුටුව එළැවීම, පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටුපිරියම යන මේ වත් ඉවසත්. යම් මහණ කෙතෙක් අපිස් ගුණැත්තෝ ද, ... ඔහු “කෙසේ නම් මානත පුරණ මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම යන මෙකී වත් ඉවසත් දැ” යි ලාමක කොට සිතත්, දොස් නගත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
2. එකලැ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මෙ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, මානත පුරණ මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැඟි සිටීම ... නෑමෙහි පිටුපිරියම යන මෙකී වත් ඉවසත් යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. “සැබැව, වහන්සැ” යි ඔහු පිළිවදන් දුන්හ. “මහණෙනි, මානත පුරණ මහණහු කෙසේ නම් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම, ඉවසන්නාහු ද? මහණෙනි, මෙය නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ යැ” යි භාග්‍යවතුන්වහන්සේ ඒ මහණුනට ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට මහණුන් බණවා වදාළ සේක:
3. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
4. මහණෙනි, මානත පුරණ මහණුනට වැඩි මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැඟී සිටීම ... නෑමෙහි පිටුපිරියම අනුදනිමි.
5. මහණෙනි, මානත පුරණ මහණුනට මහලු පිළිවෙළින් ඔවුනොවුන් පොහෝ කිරීම, පවාරණය, වැසි සළුපිළිගැන්ම, පසු වැ පිළිගන්නා පිණිස එ දිනට නියමිත බතක් අත් හැරීම, චතුශ්ශාල බත පිළිගැන්ම යන පස අනුදනිමි.
6. එහෙයින් මහණෙනි, මානත පුරණ මහණුනට ඔවුන් විසින් පැවැතිය යුතු පරිදි වත් පණවන්නෙමි.
7. මහණෙනි, මානත පුරණ මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. එහි මේ මනා පැවැත්ම යි: තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කළ යුතු. තමා ඇදුරු වැ නිසා නො දියැ යුතු. හෙරෙණක් උවටන් පිණිස තමා වෙත නො තැබිය යුතු. භික්ඛුනෝවාදක සම්මතිය නො ඉවැසියැ යුතු. සම්මත වූ ද මහණහු විසින් මෙහෙණනට ඔවා නො දියැ යුතු. යම් ඇවැතෙකින් සඞ්ඝයා විසින් මානත දෙන ලදුයේ නම් ඒ ඇවැත නො ඇවැද්දැ යුතු. අන් එබඳු ඇවැතක් හේ එයට වඩා පවිටු ඇවැතක් හෝ නො ඇවැදියැ යුතු. විනයකර්‍මය නො ගැරැහියැ යුතු කර්‍මය කළ මහණහු නො ගැරැහිය යුතුහ. පුවතත් මහණක්හුගේ පොහොය නො තැබියැ යුතු. පවාරණාව නො තැබියැ යුතු. සවචනීය කර්‍මය නො කළ යුතු. වෙහෙරැ දෙටු තන්හි නො සිටියැ යුතු. අවකාශ නො කැරැවිය යුතු. චෝදනා නො කළයුතු. ඇවැත් සිහිපත් නො කැරැවියැ යුතු. මහණුන් හා කලහ නො යෙදියැ යුතු.
8. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පුවතත් මහණහට පෙරටු වැ නො යෑ යුතු. පෙරටු වැ නො ඉන්දැ යුතු. සඞ්ඝයාගේ යම් අන්තිම අස්නෙක්, යහනෙක්, වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසින් ද එය ඉවැසියැ යුතු.
9. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පුවතත් මහණහට පෙරටු වැ යන හෝ පසු වැ යන මහණකු වැ කුලයෝ නො එළැඹිය යුතුහ. ආරණ්‍යකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. ‘මා නො දනිත්වා’ යි එ කරුණින් පිණ්ඩපාතය ගෙන්වා නො ගත යුතු.
10. මහණෙනි, මානත පුරණ ආගන්තුක මහණහු විසින් නේවාසික මහණුනට ආරෝචනා කළ යුතු. නේවාසික මහණහු විසින් ආගන්තුක මහණහට ආරෝචනා කළ යුතු. උපෝසථයෙහි ආරෝචනා කළ යුතු. පවාරණායෙහි ආරෝචනා කළ යුතු. ඉදින් මානත පුරණ මහණ ගිලන් වේ නම් දූත මහණකු ලවා ආරෝචනා කැරැවියැ යුතු.
11. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් වෙන් වැ දශවිධ අන්තරායයෙන් කිසිත් නැති වැ මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට නො යා යුතු. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝායාගෙන් වෙන් වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක අවාසයෙන් අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් වෙන් වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
12. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් වෙන් වැ අන්තරායක් නැතිවැ සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සඞ්ඝයාගෙන් වෙන්වැ අන්තරායක් නැතිවැ අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට හෝ නො යා යුතු.
13. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සඞ්ඝයාගෙන් වෙන් වැ අන්තරායක් නැති වැ අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
14. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සංඝයා නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට ... සඞ්ඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
15. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සඞ්ඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ සභික්‍ෂුක අනාවාසයෙන් නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සඞ්ඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
16. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සංඝයාගෙන් තොර වැ අන්තරායක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සඞ්ඝයාගෙන් තොරවැ අන්තරායෙක් නැතිවැ නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
17. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් ‘අද ම යන්නට හැක්කෙමි’ යි තමා දන්නා, සමානසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
18. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් ‘අද ම යන්නට හැක්කෙමි’ යි තමා දන්නා, සමානසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
19. මහණෙනි, මානත පුරණ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් ‘අද ම යන්නට හැක්කෙමි’ යි තමා දන්නා, සමානසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
20. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් ම සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් ම සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් ම සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණකු දැක අස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් පැවැරියැ යුතු. පුවතත් මහණක්හු හා එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උසස්නැ නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙකැ නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුයෙහි සක්මන් කරණ කලැ තමා උස් සක්මන්මළුවෙහි සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන්මළුයෙකැ සක්මන් නො කළ යුතු.
21. මහණෙනි, මානත පුරණ මහණහු විසින් පිරිවෙස් වසන මහණහු හා ... මූලායපටිකස්සනාවට සුදුසු මහණකු හා ... මානත පුරණ වැඩිමහලු මහණකු හා ... අබ්භානයට සුදුසු මහණකු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උස් අස්නැ නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කල්හි තමා අස්නෙක නො හින්දැ යුතු. එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුයෙහි සක්මන් කරණ කලැ තමා උස් සක්මන්මළුවෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන්මළුවෙකැ සක්මන් නො කළ යුතු.
22. මහණෙනි, මානත පුරන්නහු සිවුවනු කොටැති ව පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවනු කොටැති ව අබ්භාන කරන්නේ නම්, ඒ අකර්‍ම වේ. නො කටයුතු ය.
23. ඉක්බිත්තෙන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳ එක් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ “වහන්ස, මානත පුරන්නහුට රාත්‍රිච්ඡේද කීයෙක් දැ? යි මෙය විචාළේ ය. “උපාලිනි, සහවාසය (පුවතත් මහණුන් හා එක් වැ විසීම), විප්‍රවාසය (හුදෙකලා ව විසීම), අනාරෝචනාව (ආගන්තුකාදීනට තමා වත් පුරණ බව නොදැන්වීම), ඌණගණයෙහි හැසිරීම (භික්‍ෂූන් සිවුනමකට අඩු භික්‍ෂූපිරිසෙහි හැසිරීම) යැ යි මානත පුරණ මහණහට රාත්‍රිච්ඡේද සතරෙක. උපාලීනි, මොහු සතර දෙන මානත පුරණ මහණහට රාත්‍රිච්ඡේදයෝ යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
24. එකල්හි සැවැත්හි මහත් භික්‍ෂුසමූහයෙක් රැස් වූයේ වෙයි. මානත පුරන්නාහු මානත ශුද්ධ කරන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ.
25. “මහණෙනි, මානත් නික්‍ෂේප කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ ම මානත නික්‍ෂිප්ත කළ යුතු: ඒ මානත පුරණ මහණහු විසින් එක් මහණක්හු කරා එළැඹ උතුරුසඟ එකස් කොට උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, ‘මානත නික්‍ෂිප්ත කරමි (බහා තබමි)’ යි මෙසේ කිය යුතු වන්නේ ය. (එයින්) මානත නික්‍ෂේප කරණ ලද්දේ වෙයි. ‘වත නික්‍ෂිප්ත කරමි’ යි කියුව ද මානත නික්‍ෂිප්ත වෙයි.
26. එ සමයෙහි මහණහු සැවැත්නුවරින් නික්මැ ඒ ඒ අත ගියහ. (භික්‍ෂූන් නැති බැවින්) මානත පුරණ මහණහු මානත ශුද්ධ කරන්නට නො හැකි වෙත්. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. “මහණෙනි, මානත සමාදන් කරන්නට අනුදනිමි. මහණෙනි, මෙසේ සමාදන් කළ යුතු: ඒ මානත පුරණ මහණහු විසින් එක් මහණකු කරා එළැඹ, උතුරුසඟ එකස් කොට, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, ‘මානත සමාදන් කරමි’යි. මෙසේ කියැ යුතු වන්නේ ය. මානත සමාදන් කරණ ලදුයේ වෙයි. ‘වත සමාදන් කෙරෙමි’ යි කියුව ද මානත සමාදන් කරණ ලදුයේ වෙයි.
මානත්තචාරික වත නිමියේ ය.
5. අබ්භානාහර වත
1. එ සමයෙහි වනාහි අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම හුනස්නෙන් නැගී සිටීම ඇඳිලිබැඳීම, සාමීචිකර්‍ම, අසුන් එළැවීම, යහන් එළැවීම, පාපුටුව එළැවීම, පාකටෙලිය එළැවීම, නෑමෙහි පිටුපිරියම ඉවසත්. යම් මහණ කෙනෙක් අපිස් ගුණැත්තෝ ද ... ඔහු තුමූ “කෙසේ නම් අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳුම් හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරිමැඳුම් යන මෙකී වත් ඉවසන්නාහු දැ?” යි ලාමක කොට සිතත්, දොස් නගත්, නුගුණ පතුරුවත්.
2. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන්වහන්සේට මේ පවත් සැළ කළහ. ඒ කල්හි භාග්‍යවතුන්වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳුම් හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරියම් ඉවසත් යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. “සැබැව, භාග්‍යවතුන්වහන්සැ” යි ඔහු කීහ. මහණෙනි, කෙසේ නම් අබ්භානයට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ වැඳුම්, හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරියම් ඉවසන්නාහු ද? මහණෙනි, මෙය නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වේ’ යැ යි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙසෙසින් ගැරැහූ සේක. ගරහා දැහැමි කතා කොට මහණුනට මෙසේ වදාළ සේක:
3. මහණෙනි, අබ්භානයට සුදුසු මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳුම්, දැක හුනස්නෙන් නැගී සිටුම් ... නෑමෙහි පිටුපිරියම් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
4. මහණෙනි, අබ්භානයට සුදුසු මහණුනට උනුන් මහළුපිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම අනුදනිමි.
5. මහණෙනි, අබ්භානයට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් පොහෝ කිරීම, පවාරණාව, වැසිසළු පිළිගැන්ම, පසු ව පිළිගණු පිණිස එ දිනට නියමිත බත අත් හැරීම, චතුශ්ශාල බත පිළිගැන්ම යන පස අනුදනිමි.
6. එහෙයින් මහණෙනි, අබ්භානයට සුදුසු මහණුන් විසින් පැවැතියැ යුතු යම්සේ ද, එසේ ඔවුනට වත් පණවන්නෙමි.
7. මහණෙනි, අබ්භානාරහ (අබ්භානයට සුදුසු) මහණහු විසින් මනා ව පැවැතිය යුතු. එහි මේ මනා පැවැත්ම යි: තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කළ යුතු ... භික්‍ෂූන් කලහයෙහි නො යෙදිය යුතු. [මූලායපටිකස්ස නාරහ මහණහු පිළිබඳ වත යම්සේ ද මානත්තාරහ මහණහුගේ ද මානත්තවාරික මහණහුගේ ද අබ්භානාරහ මහණහුගේ ද යන තුන් දෙනාගේ වත් ද එසේ ම එක් සැටියෙන් විස්තර කළ යුතු.]
8. මහණෙනි, අබ්භානයට සුදුසු මහණහු විසින් පුවතත් මහණහට පෙරටු වැ නො යෑ යුතු පෙරටු වැ නො හින්දැ යුතු. සංඝයාගේ යම් අන්තිම අස්නෙක්, යහනෙක්, වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එයැ ඉවැසියැ යුතු.
9. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරමහණකු වැ හෝ පසුමහණකු වැ කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. “මා නො දනිත්ව” යි එකරුණින් පිණ්ඩපාතය ගෙන්වා නො ගත යුතු.
10. මහණෙනි අබ්භානාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති ව, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක අනාවාසයකට නො යා යුතු ... [යට දැක්වුණ පරිදි විස්තර කටයුතු]
11. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් ‘අද ම යන්නට හැක්කෙමි’ යි තමා දන්නා, සමානසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයෙන් ... අනාවාසයෙන් ... ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට හෝ යා යුතු.
12. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි හෝ නො විසියැ යුතු. පුවතත් මහණක්හු දැක අස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් පැවැරිය යුතු. පුවතත් මහණක්හු හා එකස්නෙහි නො හින්දැ යුතු. පුවතත් මහණහු මිටි අස්නැ හුන් කලැ තමා උසස්නැ නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙහි නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුවේ සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුවෙහි සක්මන් කරණ කලැ තමා උස් සක්මන්මළුවෙහි සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු.
13. මහණෙනි, අබ්භානාරහ මහණහු විසින් පාරිවාසික මහණහු හා ... මූලායපටිකස්සනාරහ මහණහු හා මානත්තාරහ මහණහු හා ... මානත්තවාරික මහණහු හා ... අබ්භානාරහ වඩා මහලු මහණහු හා එක් සෙවෙනි ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති අනාවාසයෙහි නො විසියැ යුතු එක් සෙවෙනි ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ උන්කලැ තමා උසස්නැ නො හින්දැ යුතු. ඔහු බිම හුන් කලැ තමා අස්නැ නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන්මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන්මළුවේ සක්මන් කරණ කලැ තමා උස් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරණ කලැ තමා සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු.
14. මහණෙනි, ඉදින් අබ්භානයට සුදුස්සහු සතර වැනි කොටැති ව පිරිවෙස දෙන්නේ ද, මූලායපටිකස්සනාව කරන්නේ ද, මානත දෙන්නේ ද, ඔහු විසිවැනි කොටැති ව අබ්භාන කරන්නේ ද, ඒ අකර්‍ම යි. නො ද කටයුතු යි.
අබ්භානාරහ වත නිමියේ ය.
දෙවෙනි පාරිවාසික්ඛන්‍ධකය නිමියේ ය.
මේ ඛන්‍ධකයෙහි වස්තු පසෙකි.
එහි උද්දානය:
1. පිරිවෙස් සමාදන් කොට ගත්තෝ පුවතත් මහණුන්ගේ වැඳුම් ද දැක හුනස්නෙන් නැගී සිටීම් ද ඇඳිලිබැඳුම් ද, සාමීචිකර්‍ම ද,
2. අසුන් එළැවීම් ද, යහන් එළැවීම් ද, පාදෝනාදිය පාපුටුව පාද කඨලිකාව එළැවීම ද, පාසිවුරු පිළිගැනුම් ද, නෑමෙහි පිටුපිරියම් ද ඉවසත්. පියසීල මහණහු දොස් නගත්.
3. මේ දෑ ඉවසන්නහුට දුකුළා ඇවැත් වේ. පාරිවාසිකයනට මහලු පිළිවෙළින් ඔවුනොවුන්ගේ උපෝසථ පවාරණා වස්සිකසාටීකා ඕනෝජන භත්ත යන මෙය අනුදත් සේක.
4. එහි පාරිවාසිකයාගේ මනා පැවැත්ම ද, පුවතත් මහණකුට පෙරටු ව යෑම ඉදීම නො කළයුතු බව ද, සංඝයාගේ යම් අන්තිම ආසනයෙක් ශයනයෙක් විහාරයෙක් වේ නම් එහි විසිය යුතු බව ද, එසේ ම පුවතත් මහණකු හා පෙරැ ව හෝ පසු ව හෝ කුලයන් කරා නො එළැඹිය යුතු බව ද පැණැවූ සේක.
5. ආරඤ්ඤිකඞ්ග සමාදානය ද, පිණ්ඩපාතිකඞ්ග සමාදානය හා පිණ්ඩපාතනීහාරය ද පාරිවාසික මහණහු විසින් නො කටයුතු ය. ආගන්තුකයා හා ආරෝචනාව ද, උපෝසථයෙහි ආරෝචනාව ද, පවාරණයෙහි ආරෝචනාව ද, ගිලන් වේ නම් දූතයකු ලවා ආරෝචනා කරවීම ද, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයකට නො යායුතු බව ද පැණවූ සේක.
6. පාරිවාසික මහණහු විසින් පුවතත් මහණක්හු හා එක්ඡදනයක් ඇති තැන නො විසිය යුතු. පුවතත් මහණහු බිමැ හුන් කලැ පාරිවාසිකයා අස්නෙක නො හින්දැ යුතු. පුවතත් මහණහු මිටිඅස්නැ උන් කලැ පාරිවාසිකයා උසස්නැ නො හින්දැ යුතු. පුවතත් මහණහු බිම සක්මන්කරණ කලැ පාරිවාසිකයා සක්මනෙහි සක්මන් නො කළයුතු.
7. ඒකච්ඡන්නයෙහි වැඩිමහලු මහණකු හා නො විසිය යුතු බැව් ආදීන් නො කටයුතු දෑ ද, රාත්‍රිච්ඡේදයෝ ද, පරිවාසශෝධනය ද, පරිවාස නිඃක්‍ෂේපය ද, පරිවාසය නැවත සමාදන් කොට ගැන්ම ද යන පාරිවාසිකයා අයත් මේ දෑ දත යුතු.
8. මූලායපටිකස්සනාරහ වත ද, මානත්තාරහ වත ද, එසේ ම මානත්තවාරිකයා පිළිබඳ වත් ද, අබ්භානාරහ පුද්ගලයා අයත් වත් ද ප්‍රභේද නය වශෙයන් දත යුතු.
9. පාරිවාසික භික්‍ෂූන් විෂයයෙහි රාත්‍රිච්ඡේද තුනෙක් ද, මානත්තාරහ භික්‍ෂූන් විෂයයෙහි රාත්‍රිච්ඡේද සතරෙක් ද පණවන ලදහ. රාත්‍රිච්ඡේදයන්හි ඔහු සම නො වෙත්. මානත් විෂයයෙහි දිනපතා ආරෝචනා කටයුතු. කර්‍මයෝ දෙදෙනෙක් සමයහ. සෙසු තුන් කර්‍මයෝ ඇතැම් කරුණින් සම ද ඇතැම් කරුණින් අසම ද වෙත්.
3.
සමුච්චයක්ඛන්‍ධකය
1. සුක්‌කවිස්‌සට්‌ඨි
1. අපටිච්ඡන්න මානත
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් උදායී තෙම අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි (දැන දැන සුකුරුමිදීම වූ) ඇවැතකට පැමිණියේ වෙයි. හෙ තෙම “ඇවැත්නි, මම් අපටිච්ඡන්න වූ සඤ්චේතනිකා සුක්කවියට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතු දැ?” යි. භික්‍ෂූනට මෙ කරුණ සැළ කෙළේ ය. ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
2. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට අපටිච්ඡන්න වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට ෂඩ්රාත්‍රික (සරැයක් පිරියැ යුතු) මානත දේවා. මහණෙනි, ඒ මානත ද මෙසේ දිය යුතු:
මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ, උතුරුසඟ එකස් කොට, වැඩි මහලු මහණුන්ගේ පා වැඳ, උත්කුටුක වැ හිඳ දොහොත් මුදුන් තබා, මෙසේ කියැ යුතු වන්නේ ය:
“වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මේ පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා ඇවැතකට පැමිණියෙමි. වහන්ස, පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවතට ෂාඩ්රාත්‍රික (සරැයක් පිරිය යුතු) මානත දෙවනුව ද සඞ්ඝයාගෙන් ඉල්ලමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා ඇවැතකට පැමිණියෙමි. වහන්ස, මම් පිළිසන් නොවූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත තෙවනු ද සඞ්ඝයාගෙන් ඉල්ලමි” යනු යි.
3. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
“වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් ෂාඩ්රාත්‍රික මානත ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ග තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙන්නේ ය. මේ ඥප්තිය යි.”
“වහන්ස, සඞ්ඝ තෙමේ මගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම සඞ්ඝයාගෙන් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක්සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේ වා. යමක් හට එය නො රිසියේ නම් හේ කියාවා.”
දෙවනු ද මේ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවගැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම් හේ කියාවා.
තෙවනු ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ වෙතම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවගැතට සරැයක් පිරිය යුතු මානත දෙයි. උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක් හට නො රිසියේ නම්, හේ කියාවා.
උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයා විසින් දෙන ලද්ෂද් ය. සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
අපටිච්ඡන්න මානත නිමියේ ය.
2. අපටිච්ඡන්න අබ්භානය
1. හෙ තෙම පිරූ මානත ඇත්තේ, භිකුෂුනට මෙසේ සැළ කෙළේ ය: “ඇවැත්නි, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙමේ නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. ඒ මම් පිරූ මානත ඇත්තෙමි. මා විසින් කෙසේ පිළිපැදිය යුතු ද?” යනුයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළකළහ.
2. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙම උදායී මහණහට අබ්භානය කෙරේවා. මහණෙනි, මෙසේ අබ්භානය ද කළ යුතු වේ: “මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා කරා එළැඹ උතුරුසඟ එකස් කොට, වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා මෙසේ කිය යුතු වන්නේය:
“වහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි.
වහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් දෙවනු ද සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි.
වහන්ස, මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. ඒ මම් නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලීමි. ඒ මට සඞ්ඝ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. වහන්ස, ඒ මම් පිරූ මානත ඇතියෙම් තෙවනු ද සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලමි”යනු යි.
3. ව්‍යක්ත ප්‍රතිබල මහණහු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු:
සඞ්ඝ තෙමේ මබස් අසාවා: මේ උදායී මහණ එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට නොපිළිසන්වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරේවා. මේ ඥප්තියයි.
වහන්ස, සඞ්ඝ තෙමේ මබස් අසාවා. මේ උදායී මහණ තෙම නො පිළිසන් එක් සෙඤවත නිකා සුකකවිසටඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් සරැයක් පිරිය යුතු මානත ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහුගේ අබ්භානය රිසියේ නම්, හේ නිහඬ වන්නේ ය. යමකුහට නො රිසියේ නම් හේ කියන්නේ ය.
දෙවනු ද මෙ කරුණ කියමි: වහන්ස, සඞ්ඝ තෙම මගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හේ ඒ නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහුගේ අබ්භානය රිසියේ නම් හේ නිහඬ වේවා. යමකුට නොරිසියේ නම්, හේ කියාවා,
තෙවනු ද මෙ කරුණ කියමි, වහන්ස, සඞ්ඝ තෙම මගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම නොපිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සරැයක් පිරිය යුතු. මානත සඞ්ඝයාගෙන් ඉල්ලී ය. සඞ්ඝ තෙම උදායී මහණහට එක් නොපිළිසන් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි. ඇවැතට සරැයක් පිරිය යුතු මානත දුන්නේ ය. හේ පිරූ මානත ඇත්තේ සඞ්ඝයාගෙන් අබ්භානය ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණ අබ්භානය කෙරෙයි. යම් ආයුෂ්මතක්හට උදායී මහණහුගේ අබ්භානය රිසියේ නම, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම් හේ කියාවා.
සඞ්ඝයා විසින් උදායී මහණ තෙම අබ්භිත ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි යනු යි.
අපටිච්ඡන්න අබ්භානය නිමියේ ය.
3. ඒකාහපටිච්ඡන්න පිරිවෙස
1. එ සමයෙහි ආයුෂ්මත් උදායී තෙම එක් දවසක් පිළිසන් වූ සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ වෙයි. හෙ තෙම “ඇවැත්නි, මම් එක් දවසක් පිළිසන් වූ සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. මා විසින් කෙසේ නම් පිළිපැදිය යුතුදැ” යි භික්‍ෂූනට සැළ කෙළේ ය. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් දැන්වූහ. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
“මහණෙනි, එසේ වී නම්, සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දේවා. මහණෙනි, එය මෙසේ දිය යුතු:
2. මහණෙනි, ඒ උදායී මහණහු විසින් සඞ්ඝයා වෙත එළැඹ උතුරුසඟ එකස් කොට වැඩි මහලු මහණුන්ගේ පා වැද, උත්කුටුක වැ හිඳ, දොහොත් මුදුන් තබා, “වහන්ස, මම් එක් දවසක් පිළිසන් වූ සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියෙමි. වහන්ස, ඒ මම් එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට සඞ්ඝයාගෙන් එක් දවසක් වසන පිරිවෙස ඉල්ලමි” යි මෙසේ කිය යුතු වන්නේ ය දෙවනු ද ඉල්ලිය යුතු ... තෙවනු ද ඉල්ලිය යුතු ...
3. ව්‍යක්ත ප්‍රතිබල මහණක්හු විසින් සඞ්ඝ තෙමේ මෙසේ දැන්විය යුතු.
“වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ උදායී මහණ තෙම එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙ තෙම එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස ඉල්ලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ වී නම් සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දේවා. මේ ඥප්තිය යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ උදායී මහණ තෙමේ එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතකට පැමිණියේ ය. හෙතෙම එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙම උදායී මහණ හට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස සඞ්ඝයාගෙන් ඉල්ලයි. සඞ්ඝ තෙමේ උදායී මහණහට එක් දවසක් පිළිසන් වූ එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දෙයි. උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුකකවිසටඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හෝ නිහඬ වන්නේ ය. යමක් හට නො රිසියේ නම් හේ කියන්නේ ය.
දෙවනු ද මෙ කරුණ කියමි ... තෙවනු ද මෙ කරුණ කියමි ...
සඞ්ඝයා විසින් උදායී මහණහට එක් දවසක් පිළිසන් එක් සඤ්චේතනිකා සුක්කවිසට්ඨි ඇවැතට එක් දවසක් වසන පිරිවෙස දෙන ලද්දේ ය. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය සලකමි” යනු යි.
ඒකාහපටිච්ඡන්න පිරිවෙස නිමියේ ය.