විනයපිටකයෙහි
සුළුවග
ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා.
1.
කම්මක්ඛන‍්‍ධකය
1. තර්‍ජනීයකර්‍මය
1. එ සමයෙහි භගවත් බුදුරජුහු සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි වනාහි පණ්ඩුකය ලෝහිතකය යන දෙ මහණහු, තුමූ ඩබර කරන්නෝ කලහ කරන්නෝ විරුද්ධ වාද කරන්නෝ වාක්කලහ කරන්නෝ සඟමැද අධිකරණ උපදවන්නෝ, ඩබර කරණ කලහ කරණ විරුද්ධ වාද කරණ වාක්කලහ ඇති කරණ සඟමැද අධිකරණ උපදවන වෙනත් යම් භික්‍ෂූහු වෙත් නම්, ඔවුන් කරා එළඹැ මෙසේ කියත්: “ආයුෂ්මත්වරුනි, මේ මහණ තෙම තොප නො පරදවාවා. තෙපි ඔහුට වඩා පණ්ඩිත ද වඩා ව්‍යක්ත ද වඩා බහුශ්‍රුත ද වඩා සමර්‍ත්‍ථ ද වවු. ඔහුට නො බවු. අපි දු තොපට පක්‍ෂ වන්නමු” යනු යි. එයින් නූපන් කලහ ද උපදී. උපන් කලහ ද බොහෝ වීම පිණිස විපුලබව පිණිස පවතී. යම් මහණ කෙනෙක් තුමූ අපිස් ගුණැත්තෝ ද, ලද දැයින් සතුටු වන්නේ ද, පවෙහි ලජ්ජා ඇත්තෝ ද, කැප නොකැප පිළිබඳ විමැසිලි ඇත්තෝ ද, හික්මෙනු කැමැත්තෝ ද, ඔහු අවඥා කෙරෙත්, දොස් නගත්, නුගුණ පතුරුවා බෙණෙත්: “කෙසේ නම් පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු තුමූ ඩබර කරන්නෝ කලහ කරන්නෝ විවාද කරන්නෝ, වාක් කලහ කරන්නෝ, සඟමැද අධිකරණ උපදවන්නෝ, ඩබර කරණ, කලහ කරණ, විවාද කරණ, වාක්කලහ කරණ, සඟමැද අධිකරණ උපදවන, අන් යම් මහණහු වෙත් නම්, ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්වරුනි, මේ මහණෙතම තොප නො පරදවාවා. තෙපි වඩා බලවත් සේ ප්‍රතිවාද කරවු. තෙපි ඔහුට වඩා පණ්ඩිත ද වඩා ව්‍යක්ත ද වඩා බහුශ්‍රුත ද වඩා සමර්‍ත්‍ථ ද වවු. ඔහුට නො බවු. අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කීහු ද, එයින් නොඋපන් කලහ උපදී. උපන් කලහ බොහෝ වීම පිණිසත් මහත් වීම පිණිසත් පවතී” යනු යි. ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
2. එකල්හි භගවත්හු මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “සැබෑ ද, මහණෙනි පණ්ඩුකලෝහිතක මහණහු තුමූ ඩබර කරන්නෝ, කලහ කරන්නෝ, විවාද කරන්නෝ, වාක්කලහ කරන්නෝ, සඟමැද අධිකරණ උපදවන්නෝ, ඩබර කරණ, කලහ කරණ, විවාද කරණ, වාක්කලහ කරණ, සඟමැද අධිකරණ උපදවන, අන් යම් මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් කරා පැමිණ, “ආයුෂ්මත්වරුනි, මෙ තෙමේ තොප නො දිනාවා. තෙපි ඔහුට වඩා බලවත් සේ ප්‍රතිවාද කරවු ... අපි දු තොපට පක්‍ෂ වන්නමු”යි මෙසේ කියත් ද? එයින් නො උපන් කලහ උපදී. උපන් කලහ බෝ වීම පිණිසත් මහත් වනු පිණිසත් පවතී යනු සැබෑ දැ?” යි. මෙසේ භික්‍ෂූන් පුළුවුත්හ. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි (ඒ මහණහු කීහ.) “මහණෙනි, ඒ හිස් පුරුෂයන්ගේ නුසුදුසු ක්‍රියාවෙක. සස්නට අනුලොම් නොවූයෙක. අයෝග්‍ය ක්‍රියාවෙක. මහණුනට නුසුදුසු එකෙක. නොකැපයෙක. නො කළ මනාවෙක. මහණෙනි, කෙස් නම් ඒ හිස් පුරුෂයෝ තුමූ ඩබර කරන්නෝ ... සඟමැද අධිකරණ උපදවන්නෝ, කලහ කරණ ... සඟමැද අධිකරණ උපදවන යම් අන් මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්නි, මෙ තෙම තොප නො දිනාවා. තෙපි වඩා බලවත් සේ ප්‍රතිවාද කරවු ... අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කීහු ද? එයින් නො උපන් කලහ උපදි. උපන් කලහ බෝ වීම පිණිසත් මහත් වනු පිණිසත් පවතී. මහණෙනි, මේ කාරණය නොපහන් වූවන්ගේ පැහැදීම පිණිස හෝ පහන් වූවන්ගේ ප්‍රසාදය වැඩීම පිණිස හෝ නො වෙයි. වැලි මෙය නොපැහැදුනවුන්ගේ නොපැහැදීම පිණිස ද පැහැදුනු ඇතැමුන්ගේ වෙනස්බව පිණිස ද පවතී” යි භගවත් බුදුහු ගැරැහූහ.
3. ඉක්බිති භගවත්හු ඒ මහණුන් නොයෙක් කරුණින් ගරහා, දුර්‍භරතාවගේ ද දුෂ්පෝෂතාවගේ ද මහේච්ඡතාවගේ ද අසන්තුෂ්ටතාවගේ ද ගණසඞ්ගණිකාවගේ ද කුසීතභාවයාගේ ද දොස් වදාරා, නොයෙක් කරුණින් සුභරතාවගේ ද සුපෝෂතාවගේ ද අල්පෙච්ඡතාවගේ ද සන්තුෂ්ටතාවගේ ද සංලේඛයාගේ ද ධුතගුණයාගේ ද ප්‍රසාද එළවන සාරූප්‍යයාගේ ද ක්ලේශාපචයයාගේ (කෙලෙස් බැහැර ලීමේ) ද වීර්‍ය්‍යාරම්භයාගේ ද අනුසස් වදාරා, මහණුනට ඒ කාරණයට සුදුසු වූ ඒ කාරණයට අනුලොම් වූ ධර්‍මකථාවක් කොට, මහණුන් අමතා මෙසේ වදාළ සේක: ‘මහණෙනි, එසේ නම් සඞ්ඝ තෙමේ (ඇසුරු කරන්නවුන් සහිත) පණ්ඩුක ලෝහිතක යන දෙ මහණුනට තර්‍ජනීයකර්‍මය කෙරේවා. මහණෙනි, එය කටයුත්තේ මෙසේ ය: පළමු කොට පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු චෝදයිතව්‍යයහ (ඒ මහණුනට චෝදනා කට යුතු ය). චෝදනා කොට ස්මාරයිතව්‍යයහ (වරද සිහි කැරැවිය යුතු ය). සිහි කරවා ඇවැත නැංවිය යුතු ය. ඇවැත නංවා, වියත් සමත් මහණක්හු විසින් සඞ්ඝ තෙමේ (මෙසේ) දැන්වියයුත්තේ ය:
4. “වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ පණ්ඩුක ලෝහිතක භික්‍ෂූහු තුමූ ඩබර කරන්නාහු, කලහ කරන්නාහු, විවාද උපදවන්නාහු, වාක්කලහ කරන්නාහු, සඟමැද අධිකරණ ඇති කරන්නාහු, ඩබර කරණ, කලහ කරණ, විවාද උපදවන, වාක්කලහ කරණ, සඟමැද අධිකරණ ඇති කරණ යම් වෙනත් මහණහු ඇත් ද, ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්නි, මේ තෙම තොප නො දිනවා. වඩා බලවත් කොට ප්‍රතිවාද කරවු. තෙපි ඔහුට වඩා පණ්ඩිත ද වඩා ව්‍යක්ත ද වඩා බහුශ්‍රුත ද වඩා සමර්‍ත්‍ථ ද වවු. ඔහුට නො බවු. අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කියත්. එයින් නො උපන් ඩබර ද උපදී. උපන් ඩබර ද බොහෝ වනු පිණිස, මහත්බව පිණිස පවතී. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සඞ්ඝ තෙමේ පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීයකර්‍මය කරන්නේ ය. මේ ඥප්තිය ය.
වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ පණ්ඩුකලෝහිතක මහණහු තුමූ ඩබර කරන්නාහු,... සඟමැද අධිකරණ ඇති කරන්නාහු, ඩබර කරණ ... සඟමැද අධිකරණ ඇති කරණ යම් වෙනත් මහණහු ඇත් ද, ඔවුන් කරා එළැඹ, ‘ආයුෂ්මත්නි, මේ තෙමේ තොප නො දිනාවා ... අපි දු තොපට පක්‍ෂ වන්නමු’ යි මෙසේ කියත්. එයින් නො උපන් ඩබර ද උපදී. උපන් ඩබර ද ... මහත්බව පිණිස පවතී. සඞ්ඝ තෙමේ පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීයකර්‍මය කෙරෙයි. පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීය කර්‍මය කිරීම යම් ආයුෂ්මත්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමකුහට නො රිසියේ නම්, හේ කියාවා.
දෙවනු ද මේ කරුණ කියමි. වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා. මේ පණ්ඩුකලෝහිතක මහණහු තුමූ ඩබර කරන්නාහු, ... අපි දු තොපට පක්‍ෂ වන්නමු’යි මෙසේ කියත්. එයින් නොඋපන් ඩබර ද උපදි. උපන් ඩබර ද ... මහත්බව පිණිස පවතී. සඞ්ඝ තෙමේ පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීයකර්‍මය කෙරෙයි. පණ්ඩුකලෝහිතක මහණුනට තර්‍ජනීයකර්‍මය කිරීම යම් ආයුෂ්මතක්හට රිසියේ නම්, හේ නිහඬ වේවා. යමක්හට නො රිසියේ නම්, හේ කියාවා.
තෙවනු ද මෙ කරුණ කියමි. වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්න අසාවා ... යමක් හට නො රිසියේ නම්, හේ කියාවා.
පණ්ඩුකලෝහිතක මහණුනට සඞ්ඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණ ලද්දේ ය. එය සඞ්ඝයාට රිසියෙයි. එ හෙයින් නිහඬ ය. මෙය මෙසේ සලකමි” යනු යි.
අධර්‍මකර්‍ම දොළොස
1. “මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත වූ තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද, නො මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නො හමුයෙහි කරණ ලද්දේ වේ ද, නො පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නො ගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
2. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දේශනාගාමිනී නො වන ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, දෙසූ ඇවැතෙහි කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නො මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
3. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: චෝදනා නොකොට කරණ ලදුයේ වේ ද, සිහිපත් නො කරවා කරණ ලදුයේ වේ ද, ඇවැත නොනංවා කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
4. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොහමුයෙහි කරණ ලදුයේ වේ ද, අධර්‍මයෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර (නො සමග) වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
5. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත වූ තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොපිළිවිස කරණ ලදුයේ වේ ද, අධර්‍මයෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර (සමග නොවූ) සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා ලෙස සංහිඳුනෙක් ද වේ.
6. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ: පිළිණ නො ගෙණ කරණ ලදුයේ වේ ද, අධර්‍මයෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නො මනාසේ සංහිඳුනෙක් ද වෙයි.
7. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි. නොඇවැතෙහි කරණ ලදුයේ වේ ද, අධර්‍මයෙන් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි.
8. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි: දෙසීමෙන් පිරිසිදු නොවන ඇවතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, නොසමග සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ.
9. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ: දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ (සමග නො වූ) සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ.
10. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ: චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි.
11. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි. සිහි පත් නොකරවා කරණ ලදුයේ වේ ද, නොදැහැමින් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ.
12. මහණෙනි, අනෙකුදු අඞ්ග තුණෙකින් සමන්‍විත වූ තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වෙයි: ඇවත නොනංවා කරණ ලදුයේ වේ ද, නොදැහැමින් කරණ ලදුයේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලදුයේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත වූ තර්‍ජනීයකර්‍මය අධර්‍මකර්‍ම ද අවිනයකර්‍ම ද නොමනා සේ සංහිඳුනෙක් ද වේ.
අධර්‍මකර්‍ම දොළොස නිමි.
ධර්‍මකර්‍ම දොළොස
1. මහණෙනි, අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි: හමුවෙහි කරණ ලද්දේ වේ ද, පිළිවිස කරණ ලද්දේ වේ ද, ප්‍රතිඥාව ගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්‍මමික කර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.
2. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි. ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදෙසු ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනය කර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.
3. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි: චෝදනා කොට කරණ ලද්දේ වේ ද, සිහි පත් කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.
4. මහණෙනි, අන්‍ය වූද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද, විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි: හමුවෙහි කරණ ලද්දේ වේ ද දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ච සංහිඳුනෙක් ද වෙයි.
5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනාව සංහිඳුනෙක් ද වෙයි: පිළිවිස කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද විනයකර්‍මයක් ද වෙයි,
6. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා සේ සංහිඳුනෙක් ද වෙයි: ප්‍රතිඥා ගෙණ කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද වෙයි, විනයකර්‍මයෙක් ද වෙයි, මනා ව සංහිඳුනෙක් ද වෙයි,
7. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද, විනයකර්‍මයෙක් ද, මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධාර්මිකකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: නොදෙසු ඇවතෙහි කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
10. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි. චෝදනා කොට කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
11. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි: සිහිපත් කරවා කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
12. මහණෙනි, අන්‍යවූත් අඞ්ග තුණෙකින් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනාලෙස සංසිඳුනෙක් ද වෙයි. ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, ධර්‍මයෙන් කරණ ලද්දේ වේ ද, සමග්‍ර සංඝයා විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් සමන්‍විත තර්‍ජනීයකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ලෙස සංහිඳුනෙක් ද වෙයි.
ධර්‍මකර්‍ම දොළොස නිමි.
ආකඞ්ඛමානඡක්කය
1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැත්තේ (නම්) තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයයෙහි අධිකරණ උපදවන්නේ වේ ද, යමක් ප්‍රකට කොට කීමෙහි අදක්‍ෂ වූ ඇවැත් බහුල කොට ඇති ආපත්තිපරිච්ඡේදරහිත බාලයෙක් වේ ද, ගිහියන් හා එකට මිශ්‍ර වූයේ ශාසනයට අනුලොම් නොවූ ගෘහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති නම් තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
2. මහණෙනි, අන්‍ය වූත් අඞ්ග තුණෙකින් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි විපන් (නට) සිල් ඇත්තේ වේ ද, උත්තමආචාරයෙහි විපන් ආචාර ඇත්තේ වේ ද, උතුම් වූ සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත වූ මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියා ද, දමුරුවන්හි අයුණු කියා ද, සඟුරුවන්හි අයුණු කියා ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත මහණහට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයයෙහි අධිකරණ ඇති කරන්නේ වේ ද, එකෙක් යමක් ප්‍රකට කොට කීමෙහි අදක්‍ෂ වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ පරිචේඡදරහිත ඇවැත් ඇත්තේ බාලයෙක් වේ ද, එකෙක් ගිහීන් හා එකට මිශ්‍ර වූයේ ශාසනානුලෝම නොවූ ගෘහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
5. මහණෙනි, අන්‍ය වූත් භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය: එකෙක් උත්තම ශීලයෙහි විපන් සිල් ඇත්තේ වේ ද, එකෙක් උතුම් ආචාරයෙහි විපන් ආචාර ඇත්තේ වේද, එකෙක් උතුම් දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනෙකුන්හට සංඝ තෙමේ කැමැති වන්නේ නම්, තර්‍ජනීයකර්‍මය කරන්නේ ය. එක් මහණෙක් බුදුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අයුණු කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අගුණ කිය යි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැති වන්නේ තර්‍ජනීයකර්‍මය කරන්නේ ය.
තර්‍ජනීයකර්‍මය කිරීමට කැමැති වන්නන් පිළිබඳ ෂට්කය නිමි.
අටොළොස් වත
1. මහණෙනි, තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ මහණ විසින් මනා ව පැවැතිය යුතු යි. මේ එහි ලා මනා පැවැත්ම යි: තමා උපාධ්‍යාය වී උපසම්පදා කර්‍ම නො කළ යුතු යි. නිස නො දිය යුතු යි. හෙරණකු තමනට උවටන් පිණිස නො ගත යුතු යි. භිකඛුනෝවාදකසම්මතිය නො පිළිගත යුතු යි. සම්මතිය ලද්දහු විසින් ද මෙහෙණන්හට අවවාද නො කළ යුතු යි. යම් ඇවැතක් කරණ කොට සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණ ලද්දේ ද, ඒ ඇවැතට නැවත නො පැමිණිය යුතු යි. එබඳු අනෙක් ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. එයටත් වඩා පවිටු ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. විනයකර්‍මය නො ගැරහිය යුතු යි. තර්‍ජනීයකර්‍මය කළ භික්‍ෂූහු නො ගැරහිය යුත්තාහ. පුවතක් මහණහුගේ උපෝසථකර්‍මය නො තැබිය යුතු යි. පවාරණය නො තැබිය යුතු යි. සවචනීය කර්‍මය නොකළ යුතු යි. විහාරයෙහි දෙටුතනතුර නො දැරිය යුතු යි. චෝදනාවට අවසර නොගත යුතු යි. (පියෙවි මහණකුට) චෝදනා නො කළ යුතු යි. ඇවැත් සිහිපත් නො කරවිය යුතු යි. භික්‍ෂූන් භික්‍ෂූන් හා කලහයට නො යෙදිය යුතු යි.
අටොළොස් වත නිමි.
නොසංහිඳුවිය යුතු අටොළොස් වත
1. ඉක්බිති සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්හට තර්‍ජනීයකර්‍මය කෙළේ ය. සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ ඔහු මනා ව පවතිත්. භික්‍ෂූන් අනුව හැසිරෙත්. නිස්තරණ වත් පුරත්. භික්‍ෂූන් වෙත එළැඹ, “ඇවැත්නි, සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ අපි මනා ව පවතිමු, අනුලොම් ව පවතිමු, වරදින් මිදෙනු වස් පැවැතිය යුතු වත පුරමු. අප විසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි. මෙසේ කියත්. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැළ කළහ. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “මහණෙනි, එසේ නම් සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවාවා.”
2. මහණෙනි, අඞ්ග පසෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි: උපසම්පදා කම් කරයි ද, නිස දෙයි ද, හෙරණකු ලවා උවටැන් කරවා ගණි ද, මෙහෙණනට ඔවා දීමේ සම්මතිය පිළිගණී ද, සම්මත කරණු ලැබූයේත් මෙහෙණනට ඔවා දේ ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි.
3. මහණෙනි, අන්‍යවූත් අඞ්ග පසෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි: යම් ඇවැතක් කරණ කොට සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණ ලද ද, ඒ ඇවැතට නැවත පැමිණෙයි ද, එබඳු අන් ඇවැතකට හෝ පැමිණෙයි ද, එයට වඩා පවිටු ඇවැතකට හෝ පැමිණෙයි ද, විනයකර්‍මය ගරහයි ද, කාරක සඟනට ගරහයි ද, මහණෙනි. මේ අඞ්ග පසෙන් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි.
4. මහණෙනි, අඞ්ග අටෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො නැවැත්විය යුතු යි: ශුද්ධ භික්‍ෂුවගේ උපෝසථය තබයි ද, පවාරණය තබයි ද, සවචනීයකර්‍මය කරයි ද, වෙහෙරැ දෙටුකම් කරයි ද, චෝදනාවට අවසර ගණී ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් හා කලහයට යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටෙන් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය නො සංහිඳුවිය යුතු යි.
නොසංහිඳුවිය යුතු අඞ්ග අටොළොස නිමි.
සංහිඳුවිය යුතු අටොළොස
1. “මහණෙනි, අඞ්ග පසෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි: උපසම්පදා කර්‍ම නොකරයි ද, නිස නො දෙයි ද, හෙරණකු ලවා උවටැන් කරවා නො ගණි ද, මෙහෙණනට ඔවා දීමේ සම්මතිය නො පිළිගණී ද, සම්මතිය ලදුයේ ද මෙහෙණනට ඔවා නො දෙයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි.
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග පසෙකින් යුක්ත මහණහට කළ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි. යම් ඇවැතක් නිසා සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණ ලද්දේ වේ නම් ඒ ඇවැතට නැවත නො පැමිණෙයි ද, එබඳු අන් ඇවැතකටත් නො පැමිණෙයි ද, එයටත් වඩා පවිටු ඇවැතකට හෝ නො පැමිණෙයි ද, විනයකර්‍මයට නො ගරහයි ද, කර්‍මය කළ සංඝයාට නො ගරහයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුක්ත මහණහට කළ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි.
3. මහණෙනි, අඞ්ග අටෙකින් යුක්ත මහණහුගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි: පුවතත් මහණහුගේ උපෝසථය නො තබයි ද, පවාරණය නො තබයි ද, සවචනීයකර්‍මය නො කරයි ද, වෙහෙරැ දෙටු තනතුර නො දරයි ද, චෝදනාවට අවසර නො ගණි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්‍ෂූන් භික්‍ෂූන් හා කලහයට නො යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටෙන් යුක්ත මහණහට කළ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි.
සංහිඳුවිය යුතු අටොළොස නිමි.
[සංහිඳුවීම]
1. මහණෙනි, මෙසේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවිය යුතු යි: මහණෙනි ඒ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන් විසින් සංඝයා වෙත එළඹ උතුරුසඟ සිවුර එකස් කොට පොරොවා වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ, උලුළු යෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වෙයි: “ස්වාමිනී, සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ අපි මනා ව පවතිමු. භික්‍ෂූනට අනුව පවතිමු, නිස්තරණ වතෙහි පවතිමු. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිමු” යනු යි. දෙවනුවත් යැදිය යුතු යි, තෙවනුවත් යැදිය යුතු යි. ව්‍යක්ත වූ ප්‍රතිබල මහණකු විසින් සංඝ තෙමේ දැන්විය යුතු යි:
2. “වහන්ස, සංඝ තෙමේ මා කියන්න අසාවා. මේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබුවාහු මනා ව පවතිත්. භික්‍ෂූන්හට අනුකූල ව පවතිත්. නිස්තරණ වතෙහි පිහිටා සිටිත්. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිත්. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්හට තර්‍ජනීයකර්‍මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබුවාහු මනා ව පවතිත්. භික්‍ෂූන්හට අනුකූල ව පවතිත්. නිස්තරණ වතෙහි (වරදින් මිදෙනු වස් පැවැතිය යුතු වතෙහි) පවතිත්. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිත්. සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්හට තර්‍ජනීයකර්‍මය සංහිඳුවයි. පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතක් හට රුචි වෙයි ද, හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වෙයි නම්, හෙ තෙමේ කියාවා.
දෙවනුවත් මේ කරුණ කියමි. වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබුවාහු මනා සේ පවතිත්. භික්‍ෂූන්හට අනුකූල ව පවතිත්. නිස්තරණ වතෙහි පවතිත්. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිත්. සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවයි. පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය නැවැත්වීම යම් ආයුෂ්මතක් හට රුචි වෙයි ද, හෙ තෙමේ නිහඬ වේවා. යමකුට රුචි නො වෙයි නම්, හෙ තෙමේ කියාවා.
තෙවෙනිවත් මේ කරුණ කියමි. වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූහු සංඝයා විසින් තර්‍ජනීයකර්‍මය කරණු ලැබුවාහු මනා ව පවතිත්. භික්‍ෂූන් අනුව පවතිත්. නිස්තරණ වතෙහි පවතිත්. තර්‍ජනීයකර්‍මයාගේ සංහිඳුවීම යදිත්. සංඝ තෙමේ පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවයි. පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංහිඳුවීම යම් ආයුෂ්මතක් හට රුචි වෙයි ද, හෙ තෙමේ නිහඬ වේවා. යමකුට රුචි නො වෙයි නම්, හෙ තෙමේ කියාවා.
පණ්ඩුකලෝහිතක භික්‍ෂූන්ගේ තර්‍ජනීයකර්‍මය සංඝයා විසින් සංහිඳුවන ලදී. සංඝයාට එය රුචි වෙයි. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ සලකමි” යනු යි.
පළමුවන තර්‍ජනීයකර්‍මය නිමි.
2. නියස්සකර්‍මය
1. එ සමයෙහි ආයුෂ්මත් සෙය්‍යසක භික්‍ෂූ තෙමේ අව්‍යාක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේදරහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත ව වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු කටයුත්තෙහි යෙදුනාහු වෙත්.
2. අපිස් ගුණ ඇති, ලද දෙයින් සතුටු වන සුලු, පවට පිළිකුල් කරණ කැප නො කැප පිළිබඳ විමැසීම කරවා (සැක කරණ) හික්මෙනු කැමැති යම් භික්‍ෂූහු වෙත් ද, ඒ භික්‍ෂූහු “කෙසේ නම් සෙය්‍යසක භික්‍ෂූ තෙමේ බාල වූයේ, අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත වූයේ ගිහියන් හා එකට ගැටුණේ නොගැළපෙන්නා වූ ගිහිසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වූහ” යි (සෙය්‍යසක මහණහුගේ ක්‍රියාව) ලාමක කොට සිතත්, අගුණ කියත්, අගුණ පතුරුවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහු ය.
3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කරුණෙහි භික්‍ෂුසංඝයා රැස් කරවා, භික්‍ෂූන් විචාළ සේක:
“මහණෙනි, සෙය්‍යසක මහණ තෙමේ අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ඉමක් නැති ඇවැත් ඇත්තේ, බාලයෙක් වේ ද? ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද? ‘එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනා කරන්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තෝ වෙත්’ යනු සැබෑදැ?” යි (ඇසූ සේක). “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය” යී ඔහු උත්තර දුන්හ.
4. “මහණෙනි, ඒ හිස් පුරුෂයාගේ නො සුදුසු ක්‍රියාවෙකි. ශාසනයට අනුලොම් නොවූ ක්‍රියාවෙකි. අයුත්තෙකි. ශ්‍රමණයනට අයත් නොවූයෙකි, කැප නොවූයෙකි, නොකළ යුත්තෙකි. මහණෙනි, ඒ හිස් පුරුෂ තෙමේ කෙසේ නම් බාල වූයේ, අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත වූයේ ගිහියන් හා එකට ගැටුනේ, අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මුලට අදින්නාහු, මානත් දෙන්නාහු, අබ්භාන කරන්නාහු නිතර කටයුත්තෙහි යෙදුනාහු ද වෙත්.
5. “මහණෙනි, මෙය නොපහන් වූවන්ගේ පහන් බව පිණිස හෝ නො වෙයි. ... පහන් වූවන්ගේ ඒ පහන් බව වැඩීම පිණිස හෝ නො වෙයි. වැලි දු මහණෙනි, මෙය නොපහන් වූවන්ගේ නොපහන් බව පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ වෙනස් බව පිණිස ද පවතී ය”යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ ගැරැහූ සේක. ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූ සේක. “මහණෙනි, එසේ නම් සංඝ තෙමේ සෙය්‍යසක භික්‍ෂූහට “තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයෙහි ම විසිය යුතුයැ” යි නියස්සකර්‍මය කෙරේවා. මහණෙනි, ඒ නියස්සකර්‍මය ද මෙසේ කළ යුතු යි: පළමු කොට සෙය්‍යසක මහණ තෙමේ චෝදනා කළ යුතු යි. චෝදනා කොට, ඇවැත සිහිපත් කරවිය යුතු යි. සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ව්‍යක්ත වූ ප්‍රතිබල මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුත්තේ ය:
6. “වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා, මේ සෙය්‍යසක මහණ නොවියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහී සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු මූලායපටිකස්සනය කරන්නාහු මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වෙති. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත් නම්, සංඝ තෙමේ සෙය්‍යසක මහණහට ‘තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කරන්නේ ය. මේ ඤත්ති යයි.
වහන්ස, සංඝ තෙමේ මා කියන්න අසාවා. මේ සෙය්‍යසක භික්‍ෂු තෙමේ අව්‍යක්ත වූ, ඇවැත් බහුල කොට ඇති, ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහී සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු, මූලායපටිකස්සනය කරන්නාහු, මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු කටයුතු ඇත්තාහු වෙති. සංඝ තෙමේ සෙය්‍යසක මහණහට “තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයෙහි විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කෙරෙයි. සෙය්‍යසක මහණහට ‘තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයේ විසිය යුතුය’ යි නියස්සකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වෙයි නම් හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නොවෙයි නම් හෙ තෙමේ කියාවා.
දෙවනු වත් මේ කරුණ කියමි ... තෙවනු වත් මේ කරුණ කියමි. වහන්ස, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. මේ සෙය්‍යසක භික්‍ෂු තෙමේ අව්‍යක්ත වූයේ, ඇවැත් බහුල කොට ඇත්තේ, ආපත්තිපරිච්ඡේද රහිත බාලයෙක් වෙයි. ගිහියන් හා එකට ගැටුනේ ශාසනයට අනුලොම් නොවූ ගිහි සංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි. එහෙයින් භික්‍ෂූහු පිරිවෙස් දෙන්නාහු මූලායපටිකස්සනය කරන්නාහු මානත් දෙන්නාහු අබ්භාන කරන්නාහු බොහෝ කටයුතු ඇත්තාහු වෙති. සංඝ තෙමේ සෙය්‍යසක භික්‍ෂුහට ‘තා විසින් නිස ගෙණ ආචාර්‍ය්‍ය ආශ්‍රයයේ විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කෙරෙයි. සෙය්‍යසක භික්‍ෂුහට ‘තා විසින් නිස ගෙණ ඇදුරු ඇසුරෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වෙයි නම් හෙ තෙමේ නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත වේ නම් හෙ තෙමේ කියාවා.
සංඝයා විසින් සෙය්‍යසක භික්‍ෂූහට ‘තා විසින් නිස ගෙණ ඇදුරු ඇසුරෙහි ම විසිය යුතු ය’ යි නියස්සකර්‍මය කරණ ලදී. සංඝයාට එය අභිමත යි. එහෙයින් නිහඬ ය. මේ කරුණු මෙසේ ධරමී” යනු යි.
අධර්‍මකර්‍ම දොළොස
1. “මහණෙනි, අඞ්ග තුණෙකින් යුත් නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක්ද, නොසංහිඳුනෙක් ද වෙයි: අසම්මුඛයෙහි කරණ ලද්දේ වෙයි ද, නොපිළිවිස කරණ ලද්දේ වෙයි ද, ප්‍රතිඥා නොගෙණ කරණ ලද්දේ වෙයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක්ද මනා ව නොසංහිඳුනෙක් ද වෙයි.
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද නොසංහිඳුනෙක් ද වෙයි: ඇවැත් නැත්තෙහි කරණ ලද්දේ වෙයි ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වෙයි ද, දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වෙයි ද…
3. අන්‍ය වූ ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වෙයි ද, සිහිපත් නො කරවා කරණ ලද්දේ වෙයි ද, ඇවැත නො නංවා කරණ ලද්දේ වෙයි ද ...
4. අන්‍ය වූ ද ... අසම්මුඛයෙහි කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ (අසමග්‍ර වූ) සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
5. අන්‍යවූ ද ... නොපිළිවිස කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
6. අන්‍ය වූ ද ... පිළිණ නොගෙණ කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
7. අන්‍ය වූ ද ... ඇවැත නැත්තෙහි කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
8. අන්‍ය වූ ද ... දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
9. අන්‍ය වූ ද ... දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ, වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
10. අන්‍ය වූ ද ... චෝදනා නොකොට කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
11. අන්‍ය වූ ද ... සිහිපත් නොකරවා කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද ...
12. අන්‍ය වූ ද ... ඇවැත නොනංවා කරණ ලද්දේ වෙයි ද, අධර්‍මයෙන් කරණ ලද්දේ වෙයි ද, ව්‍යග්‍ර වූ සංඝයා විසින් කරණ ලද්දේ වෙයි ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත නියස්සකර්‍මය අධර්‍මකර්‍මයෙක් ද අවිනයකර්‍මයෙක් ද මනා ව නො සංහිඳුනෙක් ද වෙයි.
නියස්සකර්‍මයෙහි අධර්‍මකර්‍ම දොළොස නිමි.
ධර්‍මකර්‍මදෙළොස
1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වේ: සම්මුඛයෙහි කරණ ලද්දේ වෙයි ද, පිළිවිස කරන ලද්දේ වෙයි ද, පිළිණ ගෙණ කරණ ලද්දේ වෙයි ද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද, මනා ව සංහිඳුනෙක් ද වේ.
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනය කර්‍මයෙක් ද මනාව සංහිඳුනෙක් ද වේ: ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නො දෙසූ ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් නියස්සකර්‍මය ධර්‍මකර්‍මයෙක් ද විනයකර්‍මයෙක් ද මනා ව සංහිඳුනෙක් ද වෙයි.