6. නොපිළිවිස ද අධර්‍මයෙන් ද නැවැත ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරන ලද ද, පිළිණ නොගෙණ ද අධර්‍මයෙන් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද,
7. නො ඇවැතෙහි ද අධර්‍මයෙන් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි ද අධර්‍මයෙන් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද,
8. ඇවැත දෙසූ කල්හි ද අධර්‍මයෙන් ද එසේ ම ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද, චෝදනා නොකොට ද අධර්‍මයෙන් ද එසේ ම ව්‍යග්‍ර වූ සංඝයා විසින් ද යම් කර්‍මයක් කරණ ලද ද,
9. සිහිපත් නො කරවා ද අධර්‍මයෙන් ද එසේ ම ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද, එසේ ම ඇවැත නො නංවා ද අධර්‍මයෙන් ද ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද, ඒ හැම අධර්‍මකර්‍ම යි.
10. කෘෂ්ණපක්‍ෂයේ වාර ක්‍රමයෙන් ශුක්ලපක්‍ෂයේ වාරගණන ද දැන ගන්නේය. සංඝ තෙම කැමැති වන්නේ ද, ඔහුට තර්‍ජනීය කර්‍මය කරන්නේ ය.
11. ඩබර කරන්නේ ද බාලයෙක් වේ ද ගිහිසංසර්‍ගයෙන් යුක්ත ද, උත්තම ශීලයෙහිත් උතුම් ආචාරයෙහිත් උතුම් දෘෂ්ටියෙහිත් නටුවා වූ ශීලාදිය ඇත්තේ ද සංඝ තෙම ඔහුට තර්‍ජනීය කර්‍මය කරන්නේ ය.
12. යමෙක් බුදුරජුන් අගුණ කියාද යමෙක් දහම්හි අගුණ කියා ද යමෙක් සංඝයාගේ අගුණ කියාද ඒ තුන් මහණුනට ම සඟ තෙමේ තර්‍ජනීය කර්‍මය කරන්නේය.
13. එකෙක් කලහකරු වේ ද, එකෙක් නොවියත් වේ ද, එකෙක් ගිහිසසඟින් යුත් වේ ද, මේ තුන් දෙනාට ම සඟ තෙමේ තර්‍ජනීය කර්‍මය කරන්නේය. එකෙක් අධිශීලයෙහිත් අනෙකෙක් අධ්‍යචාරයෙත් එසේ ම අනෙකෙක් අතිදෘෂ්ටියෙහිත් විපන්න වේ ද, (මේ තිදෙනාටම සඟ තෙමේ තර්‍ජනීය කර්‍මය කරන්නේ ය.)
14. යමෙක් බුදුරජුන්ගේ අගුණ කියා ද, ධර්‍මයේ අගුණකියා ද, සංඝයාගේ අගුණ කියා ද, සඟ තෙමේ ඔවුන් තිදෙනාට ම තර්‍ජනීය කර්‍මය කරන්නේ ය. තර්‍ජනිය කර්‍මය කරණු ලැබුවහුගේ මෙසේ (මතු දැක්වෙන සේ) මනා පැවැත්ම විය යුතු:
15. තර්‍ජනීයකර්‍මය කරණු ලැබූ මහණ තෙම් තමා උපාධ්‍යාය ව උපසම්පදාව ද, තමා ඇදුරු වැ නිස දීම ද, හෙරණකුගෙන් උවටන ගැන්ම ද, සම්මත වූ නුමුදු මෙහෙණිනට ඔවා දී ම ද නො කරන්නේ ය.
16. ඒ ඇවැතට ද එබඳු ඇවැතකට ද එයට වඩා පවිටු ඇවැතකට ද නො පැමිණිය යුතු. එවැනි මහණ තෙම කර්‍මයට ද කර්‍මය කළවුනට ද නො ගරහන්නේ ය.
17. හේ පුවතත් මහණක්හුගේ පොහෝ කිරීම ද පවාරණාව ද නො තබන්නේ ය. සවචනීය කර්‍මය ද නො කරන්නේ ය. අනුවාදය නො පිහිටුවන්නේ ය. පුවතත් මහණකුට චෝදනා කරණු පිණිස අවකාශ නො කරවන්නේ ය. චෝදනා නො කරන්නේ ය.
18. පුවතත් මහණකුට ඇවැත් සිහි කරවීම ද, මහණුන් උනුන් හා කලහයෙහි යෙදීම ද, තමා උපාධ්‍යාය වැ උපසම්පදාව ද, ආචාර්‍ය්‍ය ව නිසදීම ද, හෙරණකුගෙන් උවටන් ගැන්ම ද නො කරන්නේ ය.
19. අවවාදකසම්මතිය ලද්දහු විසිනුදු මෙහෙණිනට අවවාද නො කරන්නේ ය. ඉදින් මේ පස කරන්නේ නම්, මේ අඞ්ග පස කරණ කොට ගෙන තර්‍ජනිය කර්‍මය නො සංහිඳේ. ඒ ඇවැතට පැමිණේ ද, එබඳු ඇවැතකට පැමිණේ ද, එයට වඩා පවිටු ඇවැතකට පැමිණේ ද,
20. කර්‍මයටත් කර්‍මය කළවුනටත් ගරහන්නේ ද, ඔහුට කළ තර්‍ජනිය කර්‍මය නො සංහිඳේ. උපෝසථය ද පවාරණාව ද සවචනීය කර්‍ම ද අනුවාදපට්ඨපනය ද,
21. අවකාශ කරවීම ද, චෝදනා ද, ඇවැත් සිහි කරවීම ද, මහණුන් කලහයෙහි යෙදවීම ද යන මේ අඞ්ග අටින් යමෙක් යුක්ත ද, ඔහුට කළ තර්‍ජනීය කර්‍මය නො සංහිඳෙයි.
22. කෘෂ්ණවාරයට කී නයින් ම ශුක්ලවාරය ද දැන ගන්නේ ය. සෙය්‍යසක මහණ තෙම අව්‍යක්ත ද, ඇවැත් බහුල කොට ඇත්තේ ද, ගිහින් අනනුලෝමික සංස්ර්‍ගයෙන් හැනුනේ ද වෙයි.
23. මහාමුනි වූ සම්බුදුහු නියස්සකර්‍මය ඇණැවූහ. අස්සජී ද පුනබ්බසු ද යන දෙමහණහු කීටාගිරියෙහි වෙසෙති.
24. සංයම නැති මහණහු විවිධ අනාචාර කළහ. බුදුරජුහු ඔවුන් සඳහා සැවැත්හිදි පබ්බාජනීය කර්‍මය පැණැවූහ. සුධර්‍ම ස්ථවිර තෙම මච්ජිකාසණ්ඩ නුවරෙහි චිත්‍ර ශෘහපතියන්ගේ ආවාසයෙහි වසන්නේ විය.
25. ඒ සුදම් තෙර චිත්ත උවසුහට ජාතිවාදයෙන් ගටා බෙණෙයි. තථාගත බුදුහු ඒ කරුණෙහි පටිසාරණීය කර්‍මය පැණැවූහ.
26. ජිනෝත්තම බුදුරජුහු කොසොඹෑහිදී ඇවැත දක්නට නො කැමැති ඡන්න මහණහට ඇවැත් නොදැක්මෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය කරන්නට ඇණැවූහ.
27. ඡන්න තෙමේ ඒ ඇවැතට පිළියම් කරන්නට නො කැමැත්තේ වෙයි. විනේතෘ වූ බුදුරජුහු ඇවැතට පිළියම් නොකිරීමෙහි උඛෙව්නී කම් ඇණැවූහ.
28. අරිට්ඨ මහණහට නොදැන්ම නිසා උපන් පාපදෘෂ්ටිය නො බැහැරැ ලීමෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය බුදුරජුන් විසින් වදාරණ ලද්දේ ය.
29. නියස්ස කර්‍මයත් පබ්බාජනීය කර්‍මයත්, එසේ ම පටිසාරණීය කර්‍මයත්, ඇවැත නොදැක්ම, ඇවැතට පිළියම් නොකිරීම, පාපදෘෂ්ටිය බැහැර නො කිරීම යන මෙහි (උක්ඛේපනීය) කර්‍මයත් (බුදුරජුහු ඇණැවූහ)
30. ක්‍රීඩා අනාචාර උපඝාත මිථ්‍යාආජීව යන මොහු පටිසාරණීය කර්‍මයෙහි අතිරේක පදයෝ යැ.
31. ගිහීනට අලාභ පිණිස තැත් කිරීම පිළිබඳ වූ ගිහින් අගුණ කීම පිළිබඳ වූ ද පංචක දෙකෙක් දෙකෙකැ යි පටිසාරණීය කර්‍මයෙහි මොහු අතිරේක පදයෝ නම් වෙති.
32. තර්‍ජනීය නියස්ස යන කර්‍ම දෙදෙන ම සමානහ. පබ්බාජනීය පටිසාරණීය යන කර්‍ම දෙදෙනාගේ අතිරේක පදඇති බව ද වේ.
33. උක්ඛේපණිය කර්‍ම තිදෙනෙක. විභාග විසින් ඔහු සමාන හ. තර්‍ජනීය කර්‍මයට කී නයින් ම සෙසු කර්‍ම දැන ගන්නේ ය.
කර්‍මස්කන්‍ධකය නිමියේ ය.
2.
පාරිවාසිකක්ඛන්‍ධකය
1. පාරිවාසික වත
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩ වසන සේක. එසමයෙහි පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදේනා දිය එළැවීම, පාපුටුව හා පාදකඨලිකාව එළවා තැබීම, පාසිවුරු පිළිගැනීම, නෑමෙහි පිට පිරියම් කිරීම යන මෙ කී දෑ ඉවසත්. අපිස් ගුණ ඇති ... යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිට පිරියම් කිරීම ඉවසත් දැ?” යි අවඥා කෙරෙත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිති ඒ මහණහු මෙ පවත් භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
2. එකල්හි භාග්‍යවතුන්වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස් කරවා, “මහණෙනි, පිරිවෙස් වසන මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටු පිරියම් ඉවසත් යනු සැබෑ ද?” යි අසා වදාළසේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ”යි මහණහු පිළිවදන් ඇස්වූහ.
3. මහණෙනි, පිරිවෙස් වසන මහණහු කෙසේ නම් පුවතත් මහණුන් ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටිමි, ඇඳිලි බැඳීම, සාමිචීකර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදෝනා දිය එළැවීම, පාපුටු පාකටෙලි එළැවීම, පාසිවුරු පිළිගැනීම, නෑමෙහි පිටුපිරියම යන මෙකී වත් ඉවසත් ද, මහණෙනි, මෙය සස්නැ නො පහනුන්ගේ පැහැදීම් පිණිස ද ... නො පවතියැ යි භාග්‍යවතුන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට මෙසේ වදාළ සේක:
4. “මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය එළැවීම, පාපුටුව පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටු පිරියම යන මෙකී වත් නො ඉවැසිය යුතු. යම් මහණෙක් ඉවසන්නේ ද, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය.
5. මහණෙනි, පිරිවෙස් වසන මහණුන්හට උනුන් මහලු පිළිවෙළින් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචි කර්‍මය, අසුන් එළැවීම, යහන් එළැවීම, පා දෝනා දිය තැබීම, පාපුටුව පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිටුපිරියම යන මෙ කී වත් උනුනට මහලු පිළිවෙළින් කිරීම අනුදනිමි.”
6. මහණෙනි, පිරිවෙස් වසන මහණුනට උපෝසථ, පවාරණා, වස්සිකසාටිකා ඕනෝජන (පසුව ලබන අදහසින් එදිනට නියම බත නොගෙන හැරීම) චතුශ්ශාල බත ඉවසීම යන පස වැඩිමහලු පිළිවෙළ අනුව කිරීම අනුදනිමි.
7. එහෙයින් මහණෙනි, පිරිවෙස් වසන මහණුනට ඔවුන් විසින් පැවැත්විය යුතු පරිදි වූ වත් පණවන්නෙමි. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මොනොවට පැවැතිය යුතු. මේ එහි මොනොවට පැවැත්ම යි:
8. පිරිවෙස් වසන මහණහු විසින් තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කටයුතු. තමා ඇදුරු වැ නිස නො දියයුතු. හෙරණක් උවටු නො කොට යුතු. භික්ඛුනීඕවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මතිය ලද්දහු විසිනුදු මෙහෙණනට ඔවා නො දිය යුතු. යම් ඇවැතෙකින් සඟහු විසින් පිරිවෙස් දෙන ලද ද, ඒ ඇවැත හෝ එ බඳු අන් ඇවැතක් හෝ එයට වඩා ලාමක ඇවැතක් හෝ නො ඇවැද්ද යුතු. කර්‍මය නො ගැරැහිය යුතු යැ. කර්‍මය කළ මහණහු නො ගැරැගියැ යුතුහ. පුවතත් මහණක්හුගේ පොහොය නො තැබියැ යුතු. පවුරුණු නො තැබියැ යුතු. සවචනීය කර්‍මය නො කළ යුතු. වෙහෙරැ දෙටුතන්හි නො සිටියැ යුතු. අවසර ගැන්ම නො කරවියැ යුතු. පුවතත් මහණක්හට චෝදනා නො කට යුතු. ඇවැත් සිහිකරවනු නො කට යුතු. මහණුන් උනුන් හා කලහයෙහි නො යෙදියැ යුතු.
9. මහණෙනි, පිරිවෙස් පුරණ මහණහු විසින් පුවතත් මහණකුහට පෙරටු වැ නො යෑ යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සඞ්ඝයාගේ යම් කෙළවරැ අස්නෙක් කෙළවරැ යහනෙක් කෙළවරැ වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
10. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරටු වැ යන මහණකු වැ හෝ පසු වැ යන මහණකු වැ හෝ කුලයෝ නො එළැඹියැ යුතුහ. ‘මා පිරිවෙස් පුරන්නකු කොට සෙස්සෝ නො දනිත්වා” යි යන ඒ කාරණයෙන් ආරණ‍්‍යකාඞ්ගය සමාදන් නො වියැ යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් නො වියැ යුතු. පිණ්ඩපාතය නො ගෙන්වා ගත යුතු.
11. මහණෙනි, පිරිවෙස් වසන ආගන්තුක මහණහු විසින් නේවාසික මහණුනට තමා පිරිවෙස් වසන බව සැළ කළ යුතු. පිරිවෙස් වසන නේවාසික මහණහු විසින් ආගන්තුක මහණහට තමා පිරිවෙස් වසන බව සැළ කළ යුතු. පොහෝ කිරීමෙහිදී (තමා පිරිවෙස් පුරන බව) සැළ කළ යුතු. පවුරුණුයෙහිදී සැළ කළ යුතු. ඉදින් හේ ගිලන් වේ නම් දූතයකු ලවා නුමුදු සැළ කැරැවියැ යුතු.
12. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, දසවිධ අන්තරාය අතුරෙන් යම් කිසි අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු යි. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින්, පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
13. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැතිවැ, මහණුන් ඇති අනාවාසයෙන් මහණුන් නැති ආවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති ව, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති අනාවාසයෙන් මහණුන් නැති අනාවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති ව, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති අනාවාසයෙන් මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට හෝ නො යා යුතු.
14. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ මහණුන් නැති ආවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ මහණුන් නැති අනාවාසයට නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ මහණුන් නැති ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
15. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙකින් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙකින් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයකට පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයකට හෝ අනාවාසයකට හෝ පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යා යුතු.
16. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයකට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයකට පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) ය තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයකට හෝ අනාවාසයකට හෝ පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ නො යා යුතු.
17. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේවූ මහණුන් ඇති ආවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක නානාසංවාසක මහණහු ඇත් ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නො යෑ යුතු.
18. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට යා යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති අනාවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
19. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යෑ හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති, අනාවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති අනාවාසයෙන් (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
20. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති, ආවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ අනාවාසයට යෑ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් මහණුන් ඇති ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ (නික්මැ) යම් තැනෙක සමානසංවාසක මහණහු ඇත් ද, යම් තැනකට ‘අද ම යන්නට හැක්කෙමි’ යි දන්නේ ද, එසේ වූ මහණුන් ඇති ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
21. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණකු දැක හුනස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ අස්නෙන් නිමැතිය යුතු. පුවතත් මහණක්හු හා එක් අස්නෙහි නො හින්දැ යුතු. පුවතත් මහණක්හු මිටි අස්නැ හුන් කල්හි තමා උස් අසුනැ නො හින්දැ යුතු. පුවතත් මහණක්හු බිමැ හුන් කල්හි තමා අස්නෙකැ නො හින්දැ යුතු. පුවතත් මහණක්හු හා එක් සක්මන් මළුයෙහි සක්මන් නො කළයුතු. පුවතත් මහණක්හු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරන කල්හි තමා උස් සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු. පුවතත් මහණක්හු බිමැ සක්මන් කරන කල්හි තමා සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු. මහණෙනි, පිරිවෙස් වසන මහණහු විසින් පිරිවෙස් වසන වැඩි මහලු මහණකු හා ... මූලායපටිකස්සනාවට සුදුසු මහණකු හා ... මානතට සුදුසු මහණකු හා ... මානතෙහි හැසිරෙන මහණකු හා ... අබ්භානයට සුදුසු මහණකු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ උන් කල්හි තමා උසස්නෙක නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කල්හි තමා අස්නෙකැ නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරන කලැ තමා උස් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරන කලැ තමා සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු.
22. මහණෙනි, පිරිවෙස් වසන මහණහු සතර වැනි කොටැති වැ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම් මානත දෙන්නේ නම්, ඔහු විසිවැනි කොටැති වැ අබ්භාන කරන්නේ නම්, එය අකර්‍මයෙක් වෙයි. එය නො කටයුතු ද වෙයි.
සිවුඅනූ පිරිවෙසිවත් නිමියේ ය.
23. ඉක්බිත්තෙන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ඔබ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ “වහන්ස, පිරිවෙස් වසන මහණහට රාත්‍රිච්ඡේද කීයෙක් දැ?” යි විචාළහ. “උපාලිනි, සහවාසය (පුවතත් මහණුන් හා එක් වැ, විසීම), විනාවාසය (පුවතත් මහණුන්ගෙන් වෙන් ව විසීම), අනාරෝචනය (ආගන්තුකාදීනට තමා පිරිවෙස් වසන බව නොදැන්වීම) යැ යි පිරිවෙස් වසන මහණහට රාත්‍රිච්ඡේද තුනෙකැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
24. එ සමයෙහි සැවැත්හි මහත් මහණමුළුවෙක් මුළු දෙවුණේ වෙයි. පිරිවෙස් වසන මහණහු පරිවාස ශෝධනය කරන්නට නො හැක්කාහ. භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ.
25. “මහණෙනි, පිරිවෙස නික්‍ෂිප්ත කරන්නට (බහා තබන්නට) අනුදනිමි. මහණෙනි, මෙසේ නික්‍ෂේප ද කළ යුතු: ඒ පිරිවෙස් වසන මහණහු විසින් එක් මහණක්හු කරා එළැඹ උතුරුසඟ එකස් කොට උත්කුටුක වැ හිඳ දොහොත් මුදුනැ තබා “පිරිවෙස බහා තබමි යි” මෙසේ කියැ යුතු. (මෙතෙකින්) පිරිවෙස බහා තබන ලදුයේ වෙයි. “වත බහා තබමි යි” කියැ යුතු. පිරිවෙස බහා තබන ලදුයේ වෙයි.
26. එ සමයෙහි සැවතෙහි භික්‍ෂූහු ඒ ඒ අත නික්ම ගියහ. පිරිවෙස් වසන මහණහු පිරිවෙස් ශෝධනය කරණට නොහැකි වෙත්. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
27. මහණෙනි, පිරිවෙස සමාදානය කොට ගන්නට අනුදනිමි යි. මහණෙනි, මෙසේ සමාදන්වීම කළයුතුයි. ඒ පිරිවෙස් වසන මහණහු විසින් එක් මහණකු වෙත එළඹ උතුරුසඟ එකස් කොට උත්කුටුකවැ හිඳ ඇඳිලි බැඳ “පිරිවෙස සමාදන් කොට ගණිමි යි” කිය යුතු. පිරිවෙස සමාදන් කොට ගන්නා ලදුයේ වෙයි. “වත සමාදන් කොට ගණිමි” යි, කිය යුතු. පිරිවෙස සමාදන් කොට ගන්නා ලදුයේ වෙයි.
පාරිවාසික වත නිමියේ ය.
2. මූලායපටිකස්සනාරහ වත
1. එ සමයෙහි මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්වුට්ඨාන, අඤ්ජලිකර්‍ම, සාමීචි කර්‍ම, ආසනාභිහාර, සෙය්‍යාභිහාර, පාදොදක, පාදපිඨ, පාදකඨලිකා, පත්තචීවර පටිග්ගහණ, නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මේ වත් ඉවසත්. අපිස් ගුණැති … සන්තුෂ්ටවූ ලජ්ජි වූ කුක්කුච්ච වූ ශික්‍ෂාකාම වූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුට්ඨාන ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මෙ කී වත් ඉවසන්නාහු දැ?” යි ලාමක කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්. ඉක්බිත්තෙන් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙ කරුණ සැළ කළාහු ය.
2. එ කලැ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි මේ ප්‍රස්තාවයෙහි බික්සඟන රැස් කරවා, ‘මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුපට්ඨාන ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මේ වත් ඉවසන්නාහු ය යනු සැබෑ දැ” යි අසා වදාළ සේක. “සැබැව, භාග්‍යවතුන් වහන්සැ” යි එ මහණහු පිළිවදන් ඇස්සූහ.
3. “මහණෙනි, කෙසේ නම් මූලායපටිකස්සනාවට සුදුසු මහණහු පුවතත් මහණුන්ගේ අභිවාදන, පච්චුපට්ඨාන, ... නෑමෙහි පිට්ඨිපරිකම්ම යන මෙකී වත් ඉවසන්නාහු ද? මහණෙනි, මෙය සස්නෙහි නොපහනුන්ගේ පැහැදීම පිණිස ද ... පහනුන්ගේ භූයෝභාවය පිණිස ද නො වේ. මහණෙනි, වැලිදු මෙය නොපහනුන්ගේ නොපැහැදීම පිණිස ද, පහන් වූ ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය පිණිස ද වේ යැ” යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වෙසෙසින් ගැරැහු සේක. ගරහා, දැහැමි කතා කොට භික්‍ෂූන් මෙසේ ඇමතූ සේක.
4. “මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳීම, සාමීචිකර්‍ම, අසුන් එළැවීම, යහන් එළැවීම, පාදෝනා දිය එළැවීම, පාපුටුව එළැවීම, පාකටෙලිය එළැවීම, පාසිවුරු පිළිගැන්ම, නෑමෙහි පිට පිරියම යන මෙ කී වත් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ ය.
5. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම, ... නෑමෙහි පිට පිරියම යන මෙ කී වත් අනුදනිමි.
6. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් පොහෝ කිරීම, පවාරණාව, වැසිසළුව පිළිගැණීම, ඕනෝජනය (පසු ව ලබන අදහසින් එදිනට නියමිත බත නො පිළිගෙණ හැරැ) දැමීම, (පාරිවාසිකයන් උදෙසා පැණවූ) චතුශ්ශාල බත පිළිගැණීම යන පස අනුදනිමි.
7. එසේ වී නම් මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු වූ මහණුන් විසින් යම්සේ පැවතිය යුතු ද, මූලායපටිකස්සනාවට සුදුසු මහණුනට ඔවුන් විසින් පැවැතිය යුතු පරිදි වූ වත් පණවන්නෙමි. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. එහි මේ මොනොවට පැවැත්ම යි:
8. තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කට යුතු. (ආචාර්‍ය්‍ය වැ) නිස නො දියැ යුතු. හෙරෙණක් උවටනට තමා වෙතැ නො තබා ගත යුතු. භික්බුනෝවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මත වූවහු විසිනුදු මෙහෙණහු නො ඔවැයිය යුතු. යම් ඇවැතෙකින් මූලායපටිකස්සනාවට සුදුසු කෙළේ වේ ද, ඒ ඇවැත හෝ එබඳු වූ අන් ඇවැතක් හෝ එයටත් වඩා පවිටු ඇවැතක් නො ඇවැද්ද යුතු. විනයකර්‍මය නො ගැරැහියැ යුතු. විනයකර්‍මය කළ මහණහු නො ගැරැහියැ යුතුහ. පුවතත් මහණක්හුගේ උපෝසථය නො වැළැක්වියැ යුතු. පවාරණාව නො වැළැක්වියැ යුතු. සවචනීය කර්‍මය නො කටයුතු. අනුවාදය (වෙහෙරැ අධිපති බව) නො කළ යුතු. අවසර ගැන්වීම නො කළ යුතු. චෝදනා නො කළ යුතු. ඇවැත් සිහිපත් නො කැරැවියැ යුතු. මහණුන් උනුන් කලහයෙහි නො යෙදියැ යුතු.
9. මහණෙනි, මුලායපටිකස්සානවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හට පෙරැටු වැ නො යා යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සඞ්ඝයාගේ යම් පිරියත් අස්නෙක් පිරියත් යහනෙක් පිරියත් වෙහෙරෙක් වේ ද එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
10. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පෙරටු වැ යන මහණකු වැ හෝ පසු වැ යන මහණකු වැ හෝ පුවතත් මහණකු හා කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යාකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. ‘මා පිරිවෙස් වසන නියා නො දනිත්වා” යි ඒ හේතුයෙන් පිණ්ඩපාතය තමා වෙත නො ගෙන්වා ගත යුතු.
11. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, මහණුන් ඇති ආවාසයෙකින් (නික්මැ) මහණුන් නැති ආවාසයකට නො යෑ යුතු. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායකුත් නැති වැ, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක අනාවාසයකට නො යෑ යුතු. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයකුත් නැති වැ, සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
12. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයකුත් නැති වැ, අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
13. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ ... අභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... අභික්‍ෂුක අනාවාසයට නොයෑයුතු ... පුවතත් මහණකු නැති වැ, අන්තරායයක් නැති වැ අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට හෝ නො යෑ යුතු.
14. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක ආවාසයෙන් සභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ නො යෑ යුතු.
15. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක අනාවාසයෙන් සභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ, නානාසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
16. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ ... සභික්‍ෂුක ආවාසයට නො යෑ යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යෑ යුතු ... පුවතත් මහණක්හු නැති වැ, අන්තරායයක් නැති වැ, නානාසසංවාසක භික්‍ෂූන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යෑ යුතු.
17. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක ආවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති, අද ම යත හැක්කැ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
18. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් ... සභික්‍ෂුක අනාවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති, අද ම යෑ හැක්කැ යි දන්නා සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට … සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යෑ යුතු.
19. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් අද ම යා හැක්කැ යි දන්නා සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ සමානසංවාසක භික්‍ෂූන් ඇති, සභික්‍ෂුක ආවාසයට ... සභික්‍ෂුක අනාවාසයට ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.
20. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනියක් ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. පුවතත් මහණක්හු දැක හුනස්නෙන් නැගී සිටියැ යුතු. පුවතත් මහණ තෙම අස්නෙන් නිමැතියැ යුතු. පුවතත් මහණක්හු හා එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නැ හුන් කල්හි තමා උසස්නෙහි නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙක නො හින්දැ යුතු. ඔහු හා එක් සක්මන් මළුයෙහි සක්මන් නො කළ යුතු. ඔහු මිටි සක්මන් මළුයෙහි සක්මන් කරන කලැ තමා උස් සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරන කලැ තමා සක්මන් මළුයෙකැ සක්මන් නො කළ යුතු. මහණෙනි, මූලායපටිකස්සනාරහ මහණහු විසින් පිරිවෙස් වසන මහණක්හු හා ... වඩා මහලු මූලායපටිකස්සනාරහ මහණක්හු හා ... මානත්තාරහ මහණක්හු හා ... මානත්තවාරික මහණක්හු හා ... අබ්භානාරහ මහණක්හු හා එක් සෙවෙනි ඇති ආවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති අනාවාසයෙහි නො විසියැ යුතු. එක් සෙවෙනි ඇති ආවාසයෙහි හෝ අනාවාසයෙහි නො විසියැ යුතු. එක් අස්නෙහි නො හින්දැ යුතු. ඔහු මිටි අස්නෙක හුන් කලැ තමා උසස්නෙකැ නො හින්දැ යුතු. ඔහු බිමැ හුන් කලැ තමා අස්නෙක නො හින්දැ යුතු. එක් සක්මන් මළුයෙහි ඔහු හා සක්මන් නො කළයුතු. ඔහු මිටි සක්මන් මළුයෙක සක්මන් කරද්දී තමා උස් සක්මන් මළුයෙක සක්මන් නො කළ යුතු. ඔහු බිමැ සක්මන් කරන කලැ තමා සක්මන් මළුවෙකැ සක්මන් නො කළ යුතු.
21. මහණෙනි, මූලායපටිකස්සනාවට සුදුසු මහණහු සතරවනු කොටැති වැ පිරිවෙස් දෙන්නේ නම්, මූලායපටිකස්සනාව කරන්නේ නම්, මානත දෙන්නේ නම්, ඔහු විසිවනු කොටැති වැ අබ්භානකර්‍මය කරන්නේ නම්, ඒ අකර්‍මයෙකි. නො ද කළ යුතු.
මූලායපටිකස්සනාරහ වත නිමියේ ය.
3. මානත්තාරහ වත
1. එ සමයෙහි මානත්තාරහ මහණහු පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම, ඇඳිලි බැඳුම්, සාමීචිකර්‍ම, අසුන් එළැවීම්, යහන් එළැවීම්, පාදොවුන් දිය එළැවීම්, පාපුටුව එළැවීම්, පාකටෙලි එළැවීම්, පාසිවුරු පිළිගැණුම්, නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත් ඉවසත්, අපිස් ගුණැති සන්තුෂ්ටවූ ලජ්ජීවූ කුක්කුච්චකවූ ශික්‍ෂාකාමවූ යම් මහණ කෙනෙක් වෙත් ද, ඔහු “කෙසේ නම් මානත්තාරහ භික්‍ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම් දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙ කී වත් ඉවසන්නාහුදැ?” යි ලාමක කොට සිතත්, දොස් කියත්, නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙපවත් සැළ කළහ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි බික්සඟන රැස්කරවා “මහණෙනි, මානත්තාරහ භික්‍ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත් ඉවසත් යනු සැබෑ දැ?” යි භික්‍ෂූන් විචාළ සේක. “සැබැව භාග්‍යවතුන් වහන්සැ” යි ඔහු කීහ.
3. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් මානත්තාරහ භික්‍ෂූහු පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මෙකී වත්, ඉවසන්නාහු ද? මහණෙනි, මෙය නොපහනුන්ගේ පැහැදීම පිණිස හෝ නො වේ ... යැ යි වෙසෙසින් ගැරැහු සේක. ගරහා දැහැමි කතා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
4. “මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණුන්ගේ වැඳීම්, දැක හුනස්නෙන් නැගී සිටීම් ... නෑමෙහි පිටුපිරියම් යන මේ කී වත් නො ඉවැසියැ යුතු. යමෙක් ඉවසන්නේ නම්, ඔහුට දුකුළා ඇවැත් වන්නේ ය. මහණෙනි, මානතට සුදුසු මහණුනට මහලු පිළිවෙළින් උනුන් වැඳීම, දැක හුනස්නෙන් නැගී සිටීම ... නෑමෙහි පිටුපිරියම් අනුදනිමි.
5. මහණෙනි, මානත්තාරහ මහණුනට උපෝසථය, පවාරණාව, වැසිසළු පිළිගැන්ම, ඕනෝජනය (පසුවට පිළිගන්නා අදහසින් එ දිනට නියමිත බත අත් හැරීම), චතුශ්ශාල බත පිළිගැන්ම, යන පස මහලු පිළිවෙළින් කිරීමට අනුදනිමි.
6. එහෙයින් මහණෙනි, යම්සේ මානත්තාරහ මහණුන් විසින් පැවැතිය යුතු ද, එසේ ඔවුනට වත් පණවන්නෙමි. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් මොනොවට පැවැතියැ යුතු. මේ එහි මොනොවට පැවැත්ම යි:
7. තමා උපාධ්‍යාය වැ උපසම්පදා නො කළ යුතු. නිස නො දියයුතු. සාමෙණෙරයෙක් උපස්ථානයට නො ගතයුතු. ... මහණුන් උනුන් හා කලහයෙහි නො යෙදියැ යුතු. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණහට පෙරටු ව නො යෑ යුතු. පෙරටු වැ නො හින්දැ යුතු. සංඝයාගේ යම් අන්තිම අස්නෙක්, අන්තිම යහනෙක්, අන්තිම වෙහෙරෙක් වේ ද, එය ඔහුට දියැ යුතු. ඔහු විසිනුත් එය ඉවැසියැ යුතු.
8. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු හා පෙරටු වැ හෝ පසු වැ යන මහණකු වැ කුලයෝ නො එළැඹියැ යුතුහ. ආරණ්‍යකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. පිණ්ඩපාතිකාඞ්ගය සමාදන් කොට නො ගත යුතු. මා (පිරිවෙස් පුරණබව) නොදනිත්වා” යි එ කරුණින් පිණ්ඩපාතය ගෙන්වා නො ගත යුතු.
9. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙකින් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක ආවාසයෙන් අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
10. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණකු නැති වැ අන්තරායයක් නැති වැ සභික්‍ෂුක අනාවාසයෙන් අභික්‍ෂුක ආවාසයට නො යා යුතු ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
11. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ අභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් හෝ අභික්‍ෂුක ආවාසයට නො යා යුතු. ... අභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... අභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
12. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යා යුතු.
13. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක අනාවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යායුතු. ... සභික්‍ෂුක අනාවාසයට ... නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට පුවතත් මහණක්හු නැතිවැ අන්තරායක් නැතිවැ නො යා යුතු.
14. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් හෝ අනාවාසයෙන් නානාසංවාසක මහණුන් ඇති සභික්‍ෂුක ආවාසයට පුවතත් මහණක්හු නැති වැ අන්තරායයක් නැති වැ නො යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට නො යා යුතු ... සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට නො යා යුතු.
15. මහණෙනි, මානත්තාරහ මහණහු විසින් සභික්‍ෂුක ආවාසයෙන් සමානසංවාසක භික්‍ෂූන් ඇති, ‘අද ම යා හැක්කෙමි’ යි දන්නා, සභික්‍ෂුක ආවාසයට යා යුතු ... සභික්‍ෂුක අනාවාසයට ... සමානසංවාසක මහණුන් ඇති, ‘අදම යා හැක්කෙමි’ යි දන්නා සභික්‍ෂුක ආවාසයට හෝ අනාවාසයට යා යුතු.