කාමයෝ අඟුරුවළකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ සිහිනයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ (තාවකාලිකව) ඉල්ලා ගන්නා ලද්දකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ ගසක ගෙඩි හා උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බෙහෙවි යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ මස්කපන කැත්ත හා මස්ලොඹුවකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බෙහෙවි යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ සිරියක් හා සූලායුධයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බෙහෙවි යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
කාමයෝ සර්‍පශීර්‍ෂයකට උපමා ඇත්තෝ ය. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාස ඇත්තෝ ය. මෙහි ආදීනව බොහෝ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.
5. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුතෙම ඒ භික්‍ෂූන් විසින් මෙසේ කියනු ලැබූයේ “ඇවැත්නි, යම් මේ අන්තරායකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ වදාරණ ලද ද, ඒ ධර්‍ම සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නො වෙති යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසනලද ධර්‍මයක් මම දනිමි” යි ඒ ලාමක දෘෂ්ටිය එ ලෙස ම දැඩි කොට ගෙණ ඊට ඇතුල්වී ව්‍යවහාර කෙරෙයි.
ගද්ධබාධිපුබ්බ අරිට්ඨ මහණ මේ ලාමක මිත්‍ථ්‍යාදෘෂ්ටියෙන් වෙන් කරන්නට යම් හෙයකින් ඒ භික්‍ෂූහු අසමත් වූවාහු ද, එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට එළැඹියාහුය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි ප්‍රකරණයෙහි භික්‍ෂුසඞ්ඝයා රැස් කරවා “අරිට්ඨය, ‘යම් මේ අන්තරායකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ වදාරනලද ද, ඒ ධර්‍මයෝ සේවනය කරන්නාට අන්තරාය පිණිස ප්‍රමාණ නොවෙත් ය යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි’ යි මෙ බඳු ලාමක දෘෂ්ටියක් තට උපන්නේ ය යනු සැබෑදැ” යි අරිට්ඨ මහණහු පුළුවුත් සේක.
“යම් මේ අන්තරායකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදහු ද, ඒ ධර්‍මයෝ සේවනය කරන්නාට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙත් යැයි සිතිය හැකි සේ, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි” යි (අරිට්ඨ මහණ කී ය).
“හිස් පුරුෂය, මවිසින් කවරකුට එසේ දෙසූ ධර්‍මයක් නුඹ දනිහි ද, හිස් පුරුෂය, මවිසින් නන් අයුරින් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි ප්‍රකාශ කරණ ලද්දාහු නො වෙත් ද, සේවනය කරන්නාට සඟමොක් වළකනු පිණිස ඒ දහම් සමත් නො වෙත් ද?
7. මවිසින් කාමයෝ අල්ප ආශ්වාද (රස විඳගැණුම්) ඇත්තෝ ය, බොහෝ දුක් ඇත්තෝ ය, දැඩි ආයාස ඇත්තෝ ය, මේ කාමයෙහි ආදීනව බොහෝය යි පවසන ලදහ.
ම විසින් කාමයෝ ඇටසැකිල්ලකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
ම විසින් කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
ම විසින් කාමයෝ තණසුලකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
ම විසින් කාමයෝ අඟුරුවළකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
ම විසින් කාමයෝ සිහිනයකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
ම විසින් කාමයෝ ඉල්ලාගන්නා ලද්දකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
ම විසින් කාමයෝ ගසක ගෙඩි හා උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
ම විසින් කාමයෝ මස් කපන කැත්ත හා මස්ලොඹුවකට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
ම විසින් කාමයෝ සිරිය හා සුලායුධයට උපමා ඇත්තෝ ය යි ... පවසන ලදහ.
ම විසින් කාමයෝ සර්‍පසිරසකට උපමා ඇත්තෝය, බොහෝ දුක් ඇත්තෝ ය, බොහෝ ආයාස ඇත්තෝ ය, මේ කාමයෙහි ආදීනව බොහෝ යයි ප්‍රකාශ කරණ ලදහ.
8. එසේ ඇති කල්හිත් හිස්පුරුෂය, තෝ තමන් වරදවා ගත් අදහසින් අපට ද බොරුවෙන් චෝදනා කරන්නෙහි ය. තමන් ගුණ සාරාලන්නෙහි ය. බොහෝ අකුසල් රැස් කරන්නෙහි ය. හිස්පුරුෂය, එය නුඹට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ ය. හිස්පුරුෂය, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීම පිණිස හෝ ... නො වෙයි. (අරිට්ඨ භික්‍ෂුහට) ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක:
මහණෙනි, එසේ නම් සංඝ තෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි සංඝයා සමග සම්භෝග නැති උක්ඛේපනීයකර්‍මය කෙරේවා.
මහණෙනි, (ඒ උක්ඛේපනීයකර්‍මය) මෙසේ කටයුතු යි. පළමු කොට ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට චෝදනා කළ යුතු යි. චෝදනා කොට (ඇවැත) සිහිපත් කරවිය යුතුයි. (ඇවැත) සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ප්‍රතිබල වූ වියත් මහණකු විසින් සංඝතෙමේ දැන්විය යුතු යි:
9. “ස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට “යම් මේ ධර්‍ම කෙනෙක් අන්තරායකරහ යි භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ වදාරණ ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො වෙත් යැ යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි” යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. හෙ තෙම ඒ දෘෂ්ටිය නො දුරලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සංඝතෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සංඝයා සමග ධර්‍මාමිෂ සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය. මේ ඤත්තිය යි.
ස්වාමීනි, සංඝ තෙම මාගේ වචනය අසාවා. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට “යම් මේ අන්තරයාකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සේ දෙසන ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට අන්තරාය පිණිස නො වෙත් යැ යි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි”යි මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. හෙ තෙම ඒ ලාමක දෘෂ්ටිය නො දුරලයි. සංඝතෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සංඝයා සමග සම්භෝග නැති ඒ ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරයි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සඞ්ඝයා සමග සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීයකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.
දෙවනුවත් මේ කාරණය කියමි ... තෙවනුවත් මේ කාරණය කියමි. ස්වාමීනි, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට “යම් මේ අන්තරායකර ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් යම්සේ වදාරණ ලදහු ද, ඒ ධර්‍ම සේවනය කරන්නහුට අන්තරාය පිණිස නොවෙත් යැයි සිතිය හැකි සේ භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මයක් මම දනිමි”යි, මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. ඒ අරිට්ඨ භික්‍ෂු තෙම ඒ ලාමක දෘෂ්ටිය නො දුරලයි. සඞ්ඝ තෙම ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සඞ්ඝයා සමග සම්භෝග නැති, ඒ ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරයි. ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂ සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීයකර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වේ නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා, යමකුට රුචි නොවේ නම් හෙ තෙම් කියාවා.
සඞ්ඝයා විසින් ගද්ධබාධිපුඛබ අරිට්ඨ භික්‍ෂුහට සඞ්ඝයා සමග සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරණ ලදී. සංඝයාට එය අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද යි. මෙය මෙසේ පිළිගණිමි” යි.
10. මහණෙනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුහට සංඝයා සමග සම්භෝග නැති, ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ යැයි ආවාසයක් පාසා ද දන්වව්.
අධර්‍මකර්‍ම දොළොස
1. මහණෙනි, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ අඞ්ග තුණෙකින් යුත් උක්ඛේපනීය කර්‍මය නො දැහැමි කමෙක් ද වෙයි. අවිනය කමෙක් ද නො සංහිඳුනෙක් ද වෙයි. නො හමුවෙහි කරණ ලද්දේ වේ ද, නො පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නොගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, ලාමක දෘෂ්ටිය නො දුරලීමේ කළ මේ අඞ්ග තුණින් යුතු උක්ඛේපනීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනයකමෙක් ද වෙයි. නො සංහිඳුනෙක් ද වෙයි.
2. මහණෙනි, ලාමක දෘෂ්ටිය නොදුරලීමෙහි අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුක්ත උක්ඛේපනීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නො සංහිඳුනක් ද වෙයි. නො ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, ඇවැත දෙසූ කල්හි කරණ ලද්දේ වේ ද ...
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... චෝදනා නො කොට කරණ ලද ද, සිහිපත් නො කරවා කරණ ලද ද, ඇවැතට නොනංවා කරණ ලද ද ...
4. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... නො හමුවෙහි කරණ ලද්දේ වේ ද, නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... නො පිළිවිස කරණ ලද්දේ වේ ද නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
6. මහණෙනි, අන්‍ය වූ අඞ්ග තුණෙකින් ... පිළිණ නො ගෙණ කරණ ලද්දේ වේ ද, නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
7. මහණෙනි, අන්‍ය වූ අඞ්ග තුණෙකින් ... නො ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... ඇවැත දෙසූ කල්හි කරණ ලද ද, නො දැහැමින් කරණ ලද ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
10. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් ... චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, නො දැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
11. මහණෙනි, අන්‍ය වූද අඞ්ග තුණෙකින් යුතු ... සිහිපත් නො කරවා කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද ...
12. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුතු, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නොසංහිඳුනෙක් ද වෙයි. ඇවැත නො නංවා කරණ ලද්දේ වේ ද, නොදැහැමින් කරණ ලද්දේ වේ ද, ව්‍යග්‍ර වූ සඞ්ඝයා විසින් කරණ ලද්දේ වේ ද මහණෙනි, මෙ අඞ්ග තුණෙන් යුක්ත වූ ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය නොදැහැමිකමෙක් ද වෙයි. අවිනය කමෙක් ද වෙයි. නො සංහිඳුනෙක් ද වෙයි.
අධර්‍මකම් දොළොස නිමි.
ධර්‍මකම් දොළොස
1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත වූ ලාමක දෘෂ්ටියනොදුරලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය දැහැමිකමෙක් ද වෙයි, විනයකමෙක් ද වෙයි, මනා ව සංහිඳුනෙක් ද වෙයි: හමුවෙහි කරණ ලද්දේ වේ ද, පිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණගෙණ කරණ ලද්දේ වේද, මහණෙනි, මේ අඞ්ග තුණෙන් යුතු ලාමක දෘෂ්ටිය නොදුරලීමේ උක්ඛේපනීය කර්‍මය දැහැමිකමෙක් ද වෙයි. විනයකමෙක් ද වෙයි. මනා ව සංහිඳුනෙක් ද වෙයි.
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුතු ලාමක දෘෂ්ටිය නොදුරලීමේ උක්ඛේපනීය කර්‍මය දැහැමිකමෙක් ද වෙයි, විනයකමෙක් ද මනා ව සංසිඳුනෙක් ද වෙයි: ඇවත ඇති කල්හි කරණ ලද ද, දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද ද, ඇවැත නො දෙසූ කල්හි කරණ ලද ද ...
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... චෝදනා කොට කරණ ලද ද, සිහිපත් කරවා කරණ ලද ද, ඇවැත නංවා කරණලද ද ...
4. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... හමුවෙහි කරණලද ද, දැහැමින් කරණලද ද සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
5. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... පිළිවිස කරණ ලද ද, දැහැමින් කරණ ලද ද සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
6. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... පිළිණ ගෙණ කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
7. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... ඇවැත ඇති කල්හි කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
8. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමගි වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
9. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... දෙසූ ඇවැතෙහි කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
10. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... චෝදනා කොට කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
11. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... සිහිපත් කරවා කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද ...
12. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් ... ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය දැහැමිකමෙක් ද වෙයි. විනය කමෙක් ද වෙයි. මනා ව සංහිඳුනෙක් ද වෙයි. ඇවැත නංවා කරණ ලද ද, දැහැමින් කරණ ලද ද, සමග වූ සඞ්ඝයා විසින් කරණ ලද ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත්, ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි කළ උක්ඛේපනීය කර්‍මය දැහැමි කමෙක් ද වෙයි. විනය කමෙක් ද වෙයි. මනාව සංහිඳුනෙක් ද යෙයි.
දැහැමිකම් දොළොස නිමි.
ආකඞ්ඛමාන ෂටකය
1. මහණෙනි, අඞ්ග තුණෙකින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙම කැමැති වන්නේ නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද ඇති කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා විෂයෙහි අධිකරණ ඉදිරිපත් කරන්නේ වේ ද, අඥ වූයේ නොවියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ කෙළවරක් නැති ඇවැත් ඇත්තේ වේ ද, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නො වූ ගිහීසංර්‍ගයෙන් යුක්ත වැ වසයි ද මහණෙනි, මේ අඞ්ග තුණින් යුතු මහණහට සංඝ තෙම් කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
2. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි නටුවාවූ සිල් ඇත්තේ ද, උතුම් ආචාරයෙහි නටුවාවූ ආචාර ඇත්තේ ද, උතුම් සම්‍යදෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
3. මහණෙනි, අන්‍ය වූ ද අඞ්ග තුණෙකින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: බුදුරුවන්හි අයුණු කියයි ද, දමුරුවන්හි අයුණු කියයි ද, සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ අඞ්ග තුණින් යුත් මහණහට සංඝ තෙම කැමැති නම් ලාමක දෘෂ්ටිය නො දුරැලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද ඇතිකරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා හමුවේ අධිකරණ කරන්නේ වේ ද, එක් මහණෙක් බාල වූයේ නො වියත් වූයේ ඇවැත් බහුල කොට ඇත්තේ සීමාරහිත ඇවැත් ඇත්තේ වේ ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වෙසෙයි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝතෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
5. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: එක් මහණෙක් උත්තමශීලයෙහි විපන් සිල් ඇත්තේ ද, උත්තමාචාරයෙහි නටුවා වූ ආචාර ඇත්තේ ද, එක් මහණෙක් උතුම් දෘෂ්ටියෙහි නටුවා වූ දිටු ඇත්තේ වේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම් පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: එක් මහණෙක් බුදුරුවන්හි අගුණ කියයි ද, එක් මහණෙක් දමුරුවන්හි අගුණ කියයි ද, එක් මහණෙක් සඟුරුවන්හි අගුණ කියයි ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙම කැමැති නම්, පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
ලාමක දෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මයෙහි ආකඞ්ඛමාන ෂට්කය නිමි.
තෙසාළිස්වත
1. මහණෙනි, පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූ මහණ විසින් මැනැවින් පැවැතිය යුතුයි. එහි මේ මනා ව පැවැත්ම යි: (තමා උපාද්ධ්‍යාය ව) උපසම්පදා නො කළ යුතු යි. නිස නො දිය යුතු යි. හෙරණකු ලවා උවටැන් නො කරවා ගත යුතු යි. මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නො ඉවසිය යුතු යි. සම්මතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නො දිය යුතු යි. යම් ඇවැතකින් සංඝයා විසින් ලාමක දෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද ද ඒ ඇවැතට නො පැමිණිය යුතු යි. එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. එයට වැඩි ලාමක ඇවැතකට හෝ නො පැමිණිය යුතු යි. කර්‍මය නො ගැරැහිය යුතු යි. කර්‍මය කළවුනට නො ගැරහිය යුතු යි ... පුවතත් මහණහුගේ පොහොය තැබීම නො කළ යුතු යි. පවාරණය නො තැබිය යුතු යි. සවචනීය කම් නො කළ යුතු යි. විහාරයෙහි අධිපතිබව්හි නො සිටිය යුතු යි. අවසර ගැණීම නො කරවිය යුතු යි. චෝදනා නො කළ යුතු යි. ඇවැත් සිහිපත් කරවීම නො කළ යුතු යි. භික්‍ෂූන් ඔවුනොවුන් කලහයට නො යෙදවිය යුතු යි.
පාපදෘෂ්ටිය නො දුරලීමේ උක්ඛේපනීය කර්‍මයෙහි තෙසාළිස් වත නිමි.
1. ඉක්බිති සංඝ තෙම පෙර ගිජුලිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්‍ෂුහට පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි සංඝයා සමග සම්භෝග නැති උක්ඛේපනීය කර්‍මය කළේ ය. ඒ අරිට්ඨ භික්‍ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබුයේ සිවුරු හැර ගියේ ය.
2. අපිස්සතොස් ගුණ ඇති, පවට පිළිකුල් කරන, හික්මෙනු කැමැති යම් ඒ භික්‍ෂූහු වෙත් ද, ඔහු “ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂුතෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ කෙසේ නම් සිවුරු හැර ගියේ දැ යි” අවඥා කෙරෙත්. දොස් කියත්. නුගුණ පතුරුවත්, ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළකළහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ කාරණයෙහි භික්‍ෂු සංඝයා රැස් කරවා, “මහණෙනි, ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්‍ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබුයේ සිවුරු හැර ගියේ ය යනු සැබෑ දැ” යි විචාළ සේක. “භාග්‍යවතුන් වහන්ස, සැබෑ යැ” යි (භික්‍ෂූහු පිළිතුරු දුන්හ.)
4. “මහණෙනි, නුසුදුස්සෙක ... කෙසේ නම් ඒ හිස් පුරුෂ තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ සිවුරු හැර ගියේ ද” මහණෙනි, මෙය නොපහන් වුවන්ගේ පැහැදීම පිණිස ... නො වේ යැ යි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ වෙසෙසින් ගැරහූ සේක. ගරහා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, එසේ නම් සංඝ තෙම පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවාවා.
5. මහණෙනි, අඞ්ග පසෙකින් යුක්ත භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නො දුරලීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි. උපසම්පදා කරයි ද, නිස දෙයි ද, හෙරණකු ලවා උවටන් කරවා ගණි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලදුවත් මෙහෙණනට ඔවා දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහට පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
6. මහණෙනි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි. යම් ඇවැතෙකින් සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද නම් ඒ ඇවැතට පැමිණෙයි ද, එබඳු අන් ඇවැතකට හෝ පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ පැමිණෙයි ද, කර්‍මයට ගරහයි ද, කර්‍මය කළවුනට ගරහයි ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය නො නැවැත්විය යුතු යි.
7. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි. පුවතත් මහණහුගේ පොහොය තබයි ද, පවාරණය තබයි ද, සවචනීය කම් කරයි ද, විහාරයෙහි අධිපති බව්හි සිටියි ද, අවසර ගැණීම කරවයි ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් ඔවුනොවුන් කලහ පිණිස යොදවයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය නො සංහිඳුවිය යුතු යි.
පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්‍මයෙහි නො සංහිඳුවිය යුතු අංග අටොළොස නිමි.
සංහිඳුවියයුතු අංග අටොළොස
1. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: උපසම්පදා නො කරයි ද, නිස නො දෙයි ද, හෙරණකු උවටනෙහි නො යොදයි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මුතිය නො ඉවසයි ද, සම්මුතිය ලදුයේත් මෙහෙණිනට ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
2. මහණෙනි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි: යම් ඇවැතෙකින් සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ නම් ඒ ඇවැතට නො පැමිණෙයි ද, එවැනි අන් ඇවැතකට හෝ නො පැමිණෙයි ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණෙයි ද, කර්‍මයට නො ගරහයි ද, කර්‍මය කළවුනට නො ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
3. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි. පුවතත් මහණක්හුගේ පොහොය නො තබයි ද, පවාරණය නො තබයි ද, සවචනීය කම් නො කරයි ද, විහාරයේ අධිපති බව්හි නො සිටියි ද, අවසර ගැන්වීම නො කරයි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහිපත් නො කරවයි ද, භික්‍ෂූන් ඔවුනොවුන් කලහයට නො යොදයි ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් මහණහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවිය යුතු යි.
සංහිඳුවීම
1. මහණෙනි, පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි වූ උක්ඛේපනීය කර්‍මය මෙසේ සංහිඳුවිය යුතු යි: මහණෙනි, පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූ ඒ මහණ විසින් සංඝයා වෙත එළැඹ පොරෝණය ඒකාංශ කොට වැඩිමහලු භික්‍ෂූන් පා වැඳ උත්කුටුකයෙන් හිඳ දෝත් මුදුන තබා වැඳ මෙසේ කිය යුතු යි:
“වහන්ස, මම සඞ්ඝයා විසින් පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණු ලැබූයෙමි. මනා ව පවතිමි. භික්‍ෂූන් අනුව පවතිමි. නිස්තරණ වතෙහි පවතිමි. පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යදිමි” යනුයි. දෙවනුත් යැදිය යුතුයි. තෙවනුත් යැදිය යුතු යි.
වියත් ප්‍රතිබල මහණහු විසින් සඞ්ඝ තෙම දැන්විය යුතු යි:
“වහන්ස, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මේ භික්‍ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. නිස්තරණ වතෙහි පවතියි. පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම් යදියි. ඉඳින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම් සංඝ තෙම මේ නම් ඇති භික්‍ෂූහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
වහන්ස, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මේ භික්‍ෂු තෙම සඞ්ඝයා විසින් පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලැබුයේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටොළොස් නිස්තරණ වතෙහි පවතියි. පාපදෘෂ්ටිය නොබැහැරලීමේ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙම මේ නම ඇති භික්‍ෂුහුගේ පාප දෘෂ්ටිය නොබැහැරලිමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවයි. මෙ නම් ඇති භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නොහැරීමේ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යම් ආයුෂ්මතකුට අභිමත නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යම්කුට අනභිමත නම් හෙ තෙම කියාවා.
දෙවනුත් මේ කාරණය කියමි ... තෙවනුත් මේ කාරණය කියමි.
වහන්ස, සංඝ තෙම මාගේ වචනය අසාවා. මේ නම් ඇති මේ භික්‍ෂු තෙම සංඝයා විසින් පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේ මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව පවතියි. අටළොස් නිස්තරණ වතෙහි පවතියි. පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම යදියි. සංඝ තෙම මෙ නම් ඇති භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නො බැහැරලීමේ උක්ඛේපනීය කර්‍මය සංහිඳුවයි. මේ නම් භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීය කර්‍මයාගේ සංහිඳුවීම් යම් ආයුෂ්මතකුහට අභිමත නම් හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට අනභිමත නම් හෙ තෙම කියාවා.
සංඝයා විසින් මෙ නම් භික්‍ෂුහුගේ පාපදෘෂ්ටිය නොහැරීමෙහි උක්ඛේපනීය කර්‍මය සංහිඳුවන ලදී. එය සංඝයාට රිසියෙයි. එහෙයින් මෙසේ නිහඬ ය. මේ කාරණය පිළිගණිමි” යි.
සත්වැනි වූ පාපදෘෂ්ටිය නොබැහැරලීමෙහි උක්ඛේපනීයකර්‍මය නිමි.
පළමු වන කර්‍මස්කන්‍ධකය නිමියේ ය.
මේ ඛන්‍ධකයෙහි වස්තු සතෙකි.
එහි උද්දානය:
1. පණ්ඩුකලෝහිතක මහණහු තුමූ කලහ කරන්නෝ ව එබඳුවන් වෙත එළඹ ඔවුනුදු කලහයෙහි උත්සාහවත් කළහ.
2. එයින් නොඋපන් කලහ උපදී. උපන් කලහ වැඩේ. අල්පෙච්ඡ වූ ප්‍රියශීල භික්‍ෂූහු පිරිස් වශයෙන් (පිරිස් පිරිස් වැ) දොස් පවසත්.
3. ලොවට අගපුඟුල් වූ, තමන් ම සියල්ල දත්, සදහම් බොහෝ කල් පවතිනු කැමැති සම්බුදුරජුහු සැවැත් නුවරදී තර්‍ජනීය කර්‍මය ඇණැවූහ.
4. නොහමුයෙහි ද නොපිළිවිස ද, පිළිණ නොගෙණ ද යම් කර්‍මයෙක් කරණ ලද ද, නො ඇවැතෙහි ද දේසනාගාමිනී නොවූ ඇවැතෙහි ද දෙසූ ඇවැතෙහි ද යම් කර්‍මයෙක් කරණ ලද ද,
5. චෝදනා නොකොට ද සිහිපත් නොකරවා ද ඇවැත නොනංවා ද යමක් කරණ ලද ද, නොහමුයෙහි ද නොදහමින් ද ව්‍යග්‍ර වූ සඟන විසින් ද යම් කර්‍මයෙක් කරණ ලද ද,