2. එහෙයින් “මහණෙනි, සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට චිත්ත ගැහැවියා කමවන්නට අනුදූතයකු දේවා. මහණෙනි, මෙසේ දිය යුතු යි: පළමු ව මහණ තෙමේ යැදිය යුතු යි. එසේ යැද ප්‍රතිබල වියත් මහණකු විසින් සංඝ තෙමේ මෙසේ දැන්විය යුතු යි:
“ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. ඉඳින් සංඝයාට පැමිණි කල් ඇත්තේ නම්, සංඝ තෙමේ චිත්ත ගැහැවියා කමා කරවනු පිණිස සුධර්‍ම නම් භික්‍ෂුහට මෙ නම් මහණහු අනුදූතයකු කොට දේවා. මේ ඤත්තිය යි.
ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා. සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහට චිත්ත ගැහැවියා කමවනු පිණිස මෙ නම් මහණ අනුදූතයකු කොට දෙයි. චිත්ත ගෘහපතියා කමවනු පිණිස සුධර්‍ම භික්‍ෂුහට මෙ නම් මහණහු අනුදූතයකු කොට දීම යම් ආයුෂ්මතකුහට රුචි වේ නම්, හෙතෙම නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නො වේ නම්, හෙ තෙමේ කථා කෙරේවා (කියාවා).
සංඝයා විසින් සුධර්‍ම භික්‍ෂුහට චිත්ත ගැහැවියා කමවනු පිණිස මෙ නම් ඇති භික්‍ෂු තෙමේ අනුදූතයකු කොට දෙන ලදී. එය සංඝයාට රුචි යි (අභිමත යි). එහෙයින් නිශ්ශබ්ද යි. මෙය මෙසේ දරමි (සලක මි)” යි.
3. මහණෙනි, සුධර්‍ම භික්‍ෂුහු විසින් ඒ අනුදූත මහණහු සමග මච්ජිකාසණ්ඩයට ගොස් “ගෘහපතිය, කමනු මැනැව තොප පහදවමි’ යි (තොපගේ පැහැදීම පතමි’යි) චිත්ත ගෘහපති තෙම කැමැවිය යුතු යි. ඉදින් මෙසේ කියනු ලබන්නේ කමා නම් තෙල මැනවි, ඉදින් නො කමා නම් අනුදූත මහණහු විසින් “ගැහැවිය, මේ භික්‍ෂුහට ක්‍ෂමා කළ මැනව. තොප පහදවා ය යි (තොපගේ ප්‍රසාදය පතා ය යි) කිය යුතු යි. මෙසේ කියනු ලබන්නේ ඉදින් කමා නම්, එසේ එය යහපති. ඉදින් කමා නො කෙරේ නම් අනුදූත භික්‍ෂු විසින් “ගැහැවියා මේ භික්‍ෂුහට කමා කළ මැනවි. මම තොප පහදවමි” යි (තොපගේ පැහැදීම පතමියි) කිය යුතුයි. ඉදින් මෙසේ කියනු ලබන්නේ කමා නම් ඒ මැනවි. ඉදින් නො කමා නම් අනුදූත භික්‍ෂූහු විසින් “සංඝයාගේ වචනයෙන් මේ භික්‍ෂුහට කමව”යි කිය යුතු යි. ඉදින් මෙසේ කියනු ලබන්නේ කමයි ද ඒ මැනවි.
ඉදින් කමා නො කෙරේ නම්, අනුදූත භික්‍ෂුහු විසින් සුධර්‍ම භික්‍ෂු තෙම චිත්තගෘහපතියාට පෙණෙන තෙක් මානය නොඉක්ම වා ඇසෙන තෙක් මානය නොඉක්මවා උතුරුසඟ එකස් කරවා උත්කුටුකයෙන් හිඳුවා ඇඳිලි බඳවා ඒ ඇවැත දෙසවිය යුතු යි.
4. ඉක්බිති ආයුෂ්මත් සුධර්‍ම තෙම අනුදූත භික්‍ෂු සමඟ මච්ජිකාසණ්ඩයට ගොස් චිත්තගෘහපතියා කමා කරවී ය. ඒ සුධර්‍ම භික්‍ෂු තෙම මැනැවින් පවතියි. භික්‍ෂූන් අනුව හැසිරෙයි අටොළොස් නිස්තරණ වත පුරයි. භික්‍ෂූන් වෙත එළැඹ මෙසේ කියයි: “ඇවැත්නි, මම සංඝයා විසින් පටිසාරණීයකර්‍මය කරණු ලැබුයෙම් මැනැවින් පවතිමි. භික්‍ෂූන් අනුව හැසිරෙමි. නිස්තරණ වන් අනුව පවතිමි. මවිසින් කෙසේ පිළිපැදිය යුතු දැ?” යි. භික්‍ෂුහු මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවා ලන්නේ ය.
1. “මහණෙනි, අංග පසෙකින් යුක්ත භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය නො සන්හිඳුවිය යුතු යි: තමා උපාධ්‍යාය ව උපසම්පදා කෙරෙයි ද, නිස දෙයි ද, හෙරණකු ලවා උවටන් කරවා ගණි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය ඉවසයි ද, සම්මතිය ලදහු විසිනුදු මෙහෙණිනට ඔවා දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය නො සන්හිඳුවිය යුතු යි.
2. මහණෙනි, අන්‍ය වූ ද පඤ්ච අඞ්ගයකින් යුක්ත මහණහුගේ පටිසාරණීය කර්‍මය නො සංසිඳුවිය යුතු යි: යම් ඇවැතකින් සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරන ලද්දේ වේ නම් ඒ ඇවතට පැමිණේ ද, එ බඳු වූ අන් ඇවැතකට හෝ පැමිණේ ද, එයටත් වඩා ලාමක ඇවැතකට හෝ පැමිණේ ද, කර්‍මයට ගරහයි ද, කාරක සංඝයාට ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය නො සන්හිඳුවිය යුතු යි.
3. මහණෙනි, අංග අටකින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය නො නැවැත්විය යුතු යි: පුවතත් මහණහුට පොහොය තබා ද, පවුරුණු තබා ද, සවචනීය කම් කරයි ද, වෙහෙර දෙටු තැන් ආදි ප්‍රධාන කම් කරයි ද, අවකාශ කරවයි ද, චෝදනා කරයි ද, ඇවැත් සිහිපත් කරවයි ද, භික්‍ෂූන් ඔවුනොවුන් හා කලහයට යොදවයි ද, මහණෙනි, මේ අටඟින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය නො සන්හිඳුවිය යුතු යි.
පටිසාරණීය කර්‍මයෙහි නො සන්හිඳුවිය යුතු අංග අටොළොස නිමි.
සන්හිඳුවිය යුතු අංග අටොළොස
1. මහණෙනි, අංග පසකින් යුත් මහණහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු යි: උපසම්පදා නො කරවයි ද, නිස නො දෙයි ද, හෙරණකු ලවා උවටන් නොකරවයි ද, මෙහෙණිනට ඔවා දීමේ සම්මතිය නො ඉවසයි ද, සම්මතිය ලද්දේ නමුදු මෙහෙණිනට ඔවා නො දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු ය.
2. මහණෙනි, අනිත් අංග පසෙකිනුදු යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු යි: යම් ඇවැතකින් සඞ්ඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණ ලද්දේ නම් ඒ ඇවැතට නො පැමිණෙයි ද, එ වැනි අන් ඇවැතකට හෝ නො පැමිණෙයි ද, එයට වඩා ලාමක ඇවැතකට හෝ නො පැමිණෙයි ද, කර්‍මයට නො ගරහයි ද, කර්‍මය කළවුනට නො ගරහයි ද, මහණෙනි, මේ පසඟින් යුතු මහණහුගේ පටිසාරණීයකර්‍මය සන්හිඳුවිය යුතු යි.
3. මහණෙනි, අංග අටකින් යුතු මහණහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු ය: පුවතත් මහණහුගේ පොහොය නො තබයි ද, පවුරුණු නො තබයි ද, සවචනීය කම් නො කරයි ද, ප්‍රධානකම් නො කරයි ද, අවකාශ නො කරවයි ද, චෝදනා නො කරයි ද, ඇවැත් සිහි පත් නො කරවයි ද, භික්‍ෂූන් කලහ පිණිස නො යොදවයි ද, මහණෙනි, මේ අටඟින් යුත් භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවිය යුතු යි.
පටිසාරණීය කර්‍මයෙහි සන්හිඳුවිය යුතු අංග අටළොස නිමි.
[සන්හිඳුවීම]
1. මහණෙනි, මෙසේ (පටිසාරණීය කර්‍මය) සන්හිඳුවිය යුතු ය: මහණෙනි, ඒ සුධර්‍ම නම් භික්‍ෂුහු විසින් සංඝයා වෙත එළඹ උත්තරාසංගය එකස් කොට පොරොවා වැඩි මහලු භික්‍ෂූන්ගේ පා වැඳ උක්කුටික ව හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු යි: “ස්වාමීනි, සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණු ලැබූ මම මනා ව පවතිමි. භික්‍ෂූන්ට අනුකූල ව පවතිමි. අටළොස් නිස්තරණ වත්හි පවතිමි. පටිසාරණීයකර්‍මයාගේ සන්හිඳුවීම යදිමි” යි. දෙවෙනුවත් යැදිය යුතු යි. තෙවෙනුත් යැදිය යුතු යි.
ව්‍යක්ත මහණකු විසින් සංඝ තෙමේ දැන්විය යුත්තේ යි:
“ස්වාමීනි, සංඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සුධර්‍ම භික්‍ෂු තෙමේ සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණු ලැබුයේ මනා ව පවතියි. අනුකූල ව පවතියි. නිස්තරණවත්හි පවතියි. පටිසාරණීයකර්‍මයාගේ සන්හිඳුවීම යදියි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත් නම් සංඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවන්නේ ය. මේ ඤත්තිය යි.
ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ සුධර්‍ම භික්‍ෂු තෙමේ සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණ ලද්දේ මනා ව පවතියි. අනුකූල ව පවතියි. නිස්තරණ වත්හි පවතියි. පටිසාරණීයකර්‍මයාගේ සන්හිඳුවීම යදියි. සඞ්ඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවයි. යම් ආයුෂ්මතකුට සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීයකර්‍මය සන්හිඳුවීම රුචි වේ නම්, හෙ තෙම නිශ්ශබ්ද වේවා. යමකුට රුචි නොවේ නම් හෙ තෙම කියාවා.
දෙවනුත් මේ කරුණ කියමි ... තෙවනුත් මේ කරුණ කියමි: සඞ්ඝ තෙමේ මාගේ වචනය ආසාවා: මේ සුධර්‍ම භික්‍ෂු තෙමේ සංඝයා විසින් පටිසාරණීය කර්‍මය කරණු ලැබුයේ මැනැවින් පවතියි. අනුකූල ව පවතියි. නිස්තරණවත්හි පවතියි. පටිසාරණීය කර්‍මයාගේ සන්හිඳුවීම යදියි. සඞ්ඝ තෙමේ සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීයකර්‍මය සන්හිඳුවයි. සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවීම යම් ආයුෂ්මතකුට අභිමත නම් හෙතෙම නිශ්ශබ්ද වේවා. යමකුට අභිමත නොවේ නම් හෙ තෙම කියාවා. සඞ්ඝයා විසින් සුධර්‍ම භික්‍ෂුහුගේ පටිසාරණීය කර්‍මය සන්හිඳුවනලදී. සඞ්ඝයාහට එය අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද ය. මේ කරුණ මෙසේ පිළිගණිමි”.
සිවුවැනි වූ පටිසාරණීය කර්‍මය නිමි.
5. ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ කොසඹෑ නුවර (සමීපයෙහි) ඝෝසිතාරාමයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි ආයුෂ්මත් ඡන්න තෙමේ ඇවැතට පැමිණ ඇවැත දකිනු නොකැමැති වෙයි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අල්පේච්ඡයෝ ද,... ඒ භික්‍ෂුහු ලාමක කොට සිතත්. දොස් පවසත්. නුගුණ පතුරවත්. ඉක්බිති ඒ භික්‍ෂූහු මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහු ය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ නිදානයෙහි මේ ප්‍රාප්තාවසරයෙහි භික්‍ෂුසංඝයා රැස් කරවා භික්‍ෂූන් විචාළ සේක: “මහණෙනි, ඡන්න භික්‍ෂු තෙමේ ඇවැතට පැමිණ ඇවැත දකින්නට නො කැමැති වෙයි’ යනු සැබෑද?” “භාග්‍යවතුන් වහන්ස, සැබෑ ය.”
3. භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයා ඇවැතට පැමිණ ඇවත දකින්නට නො කැමැති වේ දැ” යි නින්‍දා කළ සේක. “මහණෙනි, මෙය නොපැහැදුනවුන්ගේ පැහැදීමට හෝ නො වෙයි ...” ගරහා දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක:
4. “එසේ නම් මහණෙනි, සංඝ තෙමේ ඡන්න භික්‍ෂුහට ඇවැත් නොදැක්මෙහි සඞ්ඝයා හා සම්භෝග නැති උක්ඛේපනීය කර්‍මය (ධර්‍මාමිෂ සම්භෝගයෙන් වෙන් කිරීමේ කර්‍මය) කෙරේවා. මහණෙනි, එය මෙසේ කළ යුතු යි: පළමු ව ඡන්න භික්‍ෂු තෙමේ චෝදනා කළ යුතු යි. චෝදනා කොට ඇවැත සිහිපත් කැරැවිය යුතු යි. සිහිපත් කරවා ඇවැත නැංවිය යුතු යි. ඇවැත නංවා ප්‍රතිබල වූ ව්‍යක්ත මහණකු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුතු යි:
5. “ස්වාමීනි, සඞ්ඝ තෙමේ මාගේ වචනය අසාවා: මේ ඡන්න භික්‍ෂුහු තෙම ඇවැතට පැමිණ ඇවැත දක්නට නොකැමැති වෙයි. ඉදින් සංඝයාට පැමිණි කල් ඇත්නම් සඞ්ඝ තෙම ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂසම්භෝගය නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය. මේ ඤත්තිය යි.
ස්වාමීනි, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා. මේ ඡන්න භික්‍ෂු තෙම ඇවැතට පැමිණ ඇවැත දක්නට නොකැමැති වෙයි. සංඝ තෙම ඡන්න භික්‍ෂුහට සංඝයා සමග ධර්‍මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරයි. යම් ආයුෂ්මතකුට ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කිරීම රුචි නම් හෙ තෙම නිශ්ශබ්ද වන්නේය. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියන්නේ ය.
දෙවනුත් මේ කරුණ කියමි. … තෙවනුත් මේ කරුණ කියමි: ස්වාමීනි, සඞ්ඝ තෙම මාගේ වචනය අසාවා: මේ ඡන්න භික්‍ෂු තෙම ඇවැතට පැමිණ ඇවැත දැකීමට නොකැමැති වෙයි. සංඝ තෙම ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරයි. ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂසම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කිරීම යම් ආයුෂ්මතකුට රුචි වේ නම් හෙතෙම නිශ්ශබ්ද වන්නේ ය. යමකුට රුචි නො වේ නම් හෙ තෙම කියන්නේ ය.
සඞ්ඝයා විසින් ඡන්න භික්‍ෂුහට සඞ්ඝයා සමග ධර්‍මාමිෂ සම්භෝග නොපවත්වන සේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලදි. සඞ්ඝයාට එය අභිමත යි. එහෙයින් නිශ්ශබ්ද යි. මේ කරුණ මෙසේ දරමි.
6. ‘මහණෙනි, ඡන්න භික්‍ෂු තෙම සංඝයා සමග ධර්‍මාමිෂ සම්භෝග නොපවත්වන ලෙස ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරණ ලද්දේය’යි හැම ආවාසයෙහි ආරෝචනය කරවු.
අධර්‍මකර්‍මද්වාදශකය
1. මහණෙනි, තෙ අඟෙකින් යුක්ත වූ ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය නොදැහැමි කර්‍මයක් ද වෙයි. අවිනය කර්‍මයක් ද වෙයි. නොමනා ව සන්හිඳුනක් ද වෙයි: නොහමුවෙහි කරණ ලද්දේ වේ ද, නොපිළිවිස කරණ ලද්දේ වේ ද, පිළිණ නොගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ අංග තුණින් යුක්ත වූ ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය නොදැහැමි කම් ද අවිනය කර්‍ම ද නොසන්හිඳුනා ලද ද වෙයි.
2. මහණෙනි, අන්‍ය වූ ද අංග තුණකින් යුත් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය නොදැහැමි කම් ද වෙයි. අවිනය කර්‍ම ද වෙයි. නොසංසිඳුනා ලද ද වෙයි: ඇවැත නැති කල්හි කරණ ලද්දේ වේ ද, දෙසීමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ ද, ඇවැත දෙසූ කල්හි කරණ ලද්දේ වේ ද ...
3. මහණෙනි, අන්‍ය වූ ද අංග තුණකින් යුතු ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය… චෝදනා නොකොට කරණ ලද්දේ වේ ද, සිහිපත් නො කරවා කරණ ලද්දේ වේ ද, ඇවැත නොංනවා කරණ ලද්දේ වේ ද ...
4. මහණෙනි, අනිත් අංග තුණකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නොදැහැමි කම් ද වෙයි… නො හමුවෙහි කරණ ලද්දේ ද අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
5. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිය කම් නොදැහැමි කම්ද වෙයි… නොපිළිවිස කරණ ලද්දේ ද, නොදැහැමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
6. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නොදැහැමි කම් ද වෙයි. … පිළිණ නොගෙණ කරණ ලද්දේ ද, අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද.
7. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නොදැහැමි කම් ද වෙයි ... ඒ ඇවැත් නැතියා වැ කරණ ලද්දේ ද, අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද.
8. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නි කම් නො දැහැමි කම් ද වෙයි … දෙසුමෙන් පිරිසිදු නොවන ඇවැතෙහි කරණ ලද්දේ ද, අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද,
9. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමි කම් ද වෙයි… ඇවැත දෙසූ කල්හි කරණ ලද්දේ ද, නොදැහැමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
10. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමි කම් ද වෙයි… චෝදනා නොකොට කරණ ලද්දේ ද අදමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
11. මහණෙනි, අනිත් තෙ අඟකින් යුත් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමි කම් ද වෙයි… සිහිපත් නොකරවා කරණ ලද්දේ ද, නොදැහැමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද ...
12. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමි කම් ද වෙයි… ඇවැත නොනඟා කරණ ලද්දේ ද, නොදැහැමින් කරණ ලද්දේ ද, ව්‍යග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද, මහණෙනි, මේ තෙඅඟින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් නොදැහැමිකම් ද වෙයි. අවිනය කම් ද වෙයි. නොසන්හිඳුනේ ද වෙයි.
අධර්‍ම කර්‍ම දොළොස නිමි.
ධර්‍ම කර්‍ම දොළොස
1. මහණෙනි, තෙඅඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. විනය කම් ද වෙයි, මනා ව සන්හිඳුනක් ද වෙයි: හමුවෙහි කරණ ලද්දේ ද, පිළිවිස කරණ ලද්දේ ද, පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ තෙඅඟින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නි කම් දැහැමි කම් ද වෙයි. විනය කම් ද වෙයි. මනා ව සන්හිඳුනේ ද වෙයි.
2. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද ... ඇවැත ඇති කල්හි කරණ ලද්දේ ද දෙසීමෙන් පිරිසිදු වන ඇවැතෙහි කරණ ලද්දේ ද, ඇවැත නොදෙසූ කල්හි කරණ ලද්දේ වේ ද,...
3. මහණෙනි, අනිත් තෙඅඟකින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නි කම් දැහැමි කම් ද වෙයි… සොයා (චෝදනා කොට) කරණ ලද්දේ වේ ද, සිහිපත් කරවා කරණ ලද ද, ඇවත නංවා කරණ ලද්දේ ද,...
4. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි… හමුවෙහි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද ...
5. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි.… පිළිවිස කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද,...
6. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. … පිළිණ ගෙණ කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද ...
7. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි ... ඇවැත ඇති කල්හි කරණ ලද්දේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද…
8. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. … දෙසුමෙන් පිරිසිදු වන ඇවැත ඇති කල්හි කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද,...
9. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමිකම් ද වෙයි. … ඇවැත නොදෙසූ කල්හි කරණ ලද්දේ වේ ද දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද,...
10. මහණෙනි, අනිත් අංග තුණකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. විනය කමක් ද වෙයි. මනා ව සංහිඳුනක් ද වෙයි: සොයා කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද,...
11. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. … සිහිපත් කරවා කරණ ලද්දේ ද, දැහැමින් කරණ ලද්දේ ද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ ද,...
12. මහණෙනි, අනිත් තෙ අඟකින් යුතු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමි කම් ද වෙයි. විනය කම් ද වෙයි. මනා ව සන්හිඳුනේ ද වෙයි: ඇවැත නංවා කරණ ලද්දේ වේ ද, දැහැමින් කරණ ලද්දේ වේද, සමග්‍ර වූ සඟන විසින් කරණ ලද්දේ වේ ද, මහණෙනි, මේ තෙ අඟින් යුතු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් දැහැමිකම් ද වෙයි. විනයකර්‍ම ද වෙයි. මනා ව සන්හිඳුනේ ද වෙයි.
ධර්‍මකර්‍මදොළොස නිමියේ ය.
ආකඞ්ඛමානඡක්කය
1. මහණෙනි, අංග තුණකින් යුක්ත භික්‍ෂුහට සංඝ තෙම කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: යම් මහණෙක්, ඩබර කරන්නේ ද කලහ කරන්නේ ද විරුද්ධවාද කරන්නේ ද වාක්කලහ කරන්නේ ද සංඝයා හමුවේ අධිකරණ කරන්නේ ද, අව්‍යක්ත වූ ඇවැත් බහුල කොට ඇත්තාවූ ඉමක් නැති ඇවැත් ඇත්තා වූ බාලයෙක් වෙයි ද, ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහීසංසර්‍ගයෙන් යුක්ත වූයේ වාසය කරයි ද, මහණෙනි, මේ තෙ අඟින් යුතු මහණහට සංඝ තෙම කැමැති වන්නේ නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
2. මහණෙනි, අනෙකුදු තෙ අඟකින් යුතු මහණහට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: උත්තම ශීලයෙහි (පාමොක් සංවර සිල්හි) නටුවා වූ සිල් ඇත්තේ ද, උත්තමාචාරයෙහි නටුවා වූ ආචාර ඇත්තේ ද, උත්තම සම්‍යග්දෘෂ්ටියෙහි නටුවා වූ දිටු ඇත්තේ ද, මහණෙනි, මේ අංග තුණින් යුතු මහණහට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් කරන්නේ ය.
3. මහණෙනි, අන්‍ය වූ ද අංග තුණකින් යුක්ත වූ මහණහට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරන්නේ ය. බුදුරුවන්හි අයුණු කියයි ද, දමුරුවන්හි අයුණු කියයි ද, සඟුරුවන්හි අයුණු කියයි ද, මහණෙනි, මේ තෙ අඟින් යුතු මහණහට සංඝ තෙම කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරන්නේ ය.
4. මහණෙනි, භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙම කැමැති නම්, ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරන්නේ ය: එක් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විරුද්ධවාද ඇති කරන්නේ වාක්කලහ කරන්නේ සංඝයා ඉදිරියෙහි අධිකරණ ඇති කරන්නේ වෙයි ද, එක් මහණෙක් අවියත් ඇවැත් බහුල කොට ඇති, සීමා රහිත ඇවැත් ඇති බාලයෙක් වෙයි ද, එක් මහණෙක් ගිහියන් හා එකට ගැටුනේ අනුලොම් නොවූ ගිහි සසඟින් යුක්ත වූයේ වෙසෙයි ද, මහණෙනි, මේ අංග තුණෙන් යුතු මහණුනට සංඝ තෙම කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරන්නේ ය.
5. අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනකුන්හට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: එක් මහණෙක් උත්තම ශීලයෙහි නටුවා වූ සිල් ඇත්තේ ද, උතුම් ආචාරයෙහි විපන් ආචාර ඇත්තේ ද, උතුම් සම්‍යග්දෘෂ්ටියෙහි විපන් දිටු ඇත්තේ ද, මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනාට සංඝ තෙමේ කැමැති නම් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරන්නේය.
6. මහණෙනි, අන්‍ය වූ ද භික්‍ෂූන් තිදෙනකුන්හට සඞ්ඝ තෙමේ කැමැති වන්නේ නම්, ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය: එක් මහණෙක් බුදුරුවන්හි අයුණු කියයි. එක් මහණෙක් දමුරුවන්හි අයුණු කියයි. එක් මහණෙක් සඟුරුවන්හි අයුණු කියයි. මහණෙනි, මේ භික්‍ෂූන් තිදෙනට සඞ්ඝ තෙමේ කැමැත්තේ නම් ඇවැත් නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය කරන්නේ ය.
ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මයෙහි ආකඞ්ඛමාන ඡක්කය නිමියේ ය.
ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මයෙහි තෙසාළිස් වත
1. මහණෙනි, ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණු ලැබූ මහණහු විසින් මොනොවට පැවැතිය යුතු. එහි මේ මොනොවට පැවැත්ම යි: උපසපන් නො කටයුතු. නිස නො දිය යුතු. හෙරණකු උපස්ථායක කොට නො ගත යුතු. භික්ඛුනෝවාදක සම්මතිය නො ඉවැසිය යුතු. සම්මතිය ලද්දහු විසිනුදු මෙහෙණනට ඔවා නො දිය යුතු. යම් ඇවැතක් හේතු කොට සඞ්ඝයා විසින් ඇවැත් නොදැක්මෙහි උකෙව්නි කම් කරණ ලද නම්, ඒ ඇවැත හෝ, එබඳු අන් ඇවැතක් හෝ, එයට වඩා පවිටු ඇවැතක් හෝ නො ඇවැද්ද යුතු. විනය කර්‍මය නො ගැරැහිය යුතු. කර්‍මය කළහු නො ගැරැහිය යුතුහ. පුවතත් මහණක්හුගේ වැඳීම ද, දැක හුනස්නෙන් නැගී සිටීම ද, ඇඳිලි බැඳුම ද, සාමීචිකර්‍මය ද, අසුන් එළැවීම ද, යහන් එළැවීම ද, පාදෝනා දිය එළැවීම ද, පාපුටුවපාදකඨලිකාව එළැවීම ද, (ඔහු තමා) පාසිවුරු පිළිගැන්ම ද නෑමෙහි (ඔහු තමා) පිට පිරියම් කිරීම ද නො ඉවසිය යුතු. පුවතත් මහණෙක් ශීලවිපත්තියෙන් චෝදිත නො කටයුතු. ආචාරවිපත්තියෙන් චෝදිත නො කටයුතු. දෂ්ටිවිපත්තියෙන් චෝදිත නො කටයුතු. ආජීවවිපත්තියෙන් චෝදිත නො කටයුතු. මහණෙක් මහණුන් කෙරෙන් නො බිඳුවිය යුතු. ගිහිදද (සුදුවත් ආදිය) නො දැරිය යුතු. තොටුදද (කුසවැහැරි ආදිය) නො දැරිය යුතු. තොටුවෝ නො සෙවිය යුතුහ. මහණහු සෙවිය යුතුහ. මහණසිකෙහි හික්මිය යුතු. පුවතත් මහණක්හු හා එක් සෙවෙණිය ඇති ආවාසයෙහි නො විසිය යුතු. එක් සෙවෙණිය ඇති අනාවාසයෙහි නො විසිය යුතු. එක් සෙවෙණිය ඇති ආවාසයෙහි ද අනාවාසයෙහි ද නො විසිය යුතු. පුවතත් මහණක්හු දැක හුනස්නෙන් නැගී සිටිය යුතු. පුවතත් මහණ තෙම වෙහෙර තුළ දී හෝ වෙහෙරින් බැහැරැ හෝ නො ගැටිය යුතු. පුවතත් මහණක්හුගේ පොහෝ කිරීම නො තැබිය යුතු. පවාරණාව නො තැබිය යුතු. සවචනීය කර්‍මය නො කළ යුතු. වෙහෙරැ දෙටුකම් නො කට යුතු. අවකාශ නො කරවිය යුතු. චෝදනා නො කටයුතු. ඇවැත් සිහි කරවීම නො කළ යුතු. මහණුන් හා කලහයෙහි නො යොදා ලිය යුතු.
ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීයකර්‍මයෙහි තෙසාළිස්වත නිමියේ ය.
[ඡන්නභික්‍ෂුහුගේ මනාපැවැත්ම]
1. ඉක්බිති සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත නො දැක්මෙහි, සඞ්ඝයා හා සම්භෝග රහිත වූ උක්ඛේපනීය කර්‍මය කෙළේය. හේ ඇවැත නොදැක්මෙහි සඞ්ඝයා විසින් උකෙව්නී කම් කරණ ලද්දේ ඒ ආවාසයෙන් අනෙක් ආවාසයකට ගියේ ය. එහි මහණහු ඔහු නො ම වැන්දහ. දැක හුනස්නෙන් නො ම නැගී සිටියහ. ඇඳිලි බැඳීම ද සාමීචි කර්‍මය ද නො ම කළහ. සත්කාර නො ම කළහ. ගරුකාර නො ම කළහ. බුහුමන් නො ම කළහ. නො ම පිදූහ.
හෙතෙම මහණුන් විසින් සත්කාර ගරුකාර නො කරණු ලබනුයේ බුහුමන් නො කරණු ලබනුයේ, නො පුදනු ලබනුයේ, අසත්කාරයෙන් මඬනා ලදුයේ ඒ ආවාසයෙන් අනෙක් ආවාසයකට ගියේ ය.
එහි ද භික්‍ෂූහු නො ම වැන්දහ. දැක හුනස්නෙන් නො ම නැගී සිටියහ. අඤ්ජලීකර්‍මය නො ම කළහ. සාමීචිකර්‍මය නො ම කළහ. සත්කාර නො ම කළහ. ගරුකාර නො ම කළහ. බුහුමන් නො ම කළහ. නො ම පිදූහ.
හෙ තෙම භික්‍ෂූන් විසින් සත්කාර ගරුකාර නො කරණු ලබනුයේ, බුහුමන් නො කරණු ලබනුයේ, නො පුදනු ලබනුයේ, අසත්කාරයෙන් මඬනා ලදුයේ ඒ ආවාසයෙනුදු අන් ආවාසයකට ගියේ ය.
එහි ද භික්‍ෂූහු නො ම වැන්දහ. දැක හුනස්නෙන් නො ම නැගී සිටියහ. අඤ්ජලිකර්‍ම සාමීචිකර්‍ම නො ම කළහ. සත්කාර ගරුකාර බහුමාන නො ම කළහ. නොම පිදූහ.
හෙ තෙම භික්‍ෂූන් විසින් සත්කාර ගරුකාර බහුමාන කරණු නො ලබනුයේ, නොපුදනු ලබනුයේ, අසත්කාරයෙන් මඩනා ලදුයේ, යලි දු කොසඹෑ නුවරට පෙරළා ආයේ ය.
2. හෙ තෙම මොනොවට පවතී. අනුලොම් ව පවතී. නිස්තරණ වත අනුව පවතී. මහණුන් කරා එළැඹ “ඇවැත්නි මම් සඞ්ඝයා විසින් ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීයකර්‍මය කරණ ලදුයෙම් මනා ව පවතිමි, අනුලොම් ව පවතිමි, නිස්තරණ වත අනුව පවතිමි. කෙසේ නම් මා විසින් පිළිපැද්ද යුතු දැ?” යි මෙසේ කියයි.
භාග්‍යවතුන් වහන්සේට මෙ පවත් සැළ කළහ. “මහණෙනි, එසේ වී නම් සඞ්ඝ තෙමේ ඡන්න මහණහට ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය සන්හිඳුවාවා”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
නොසන්හිඳුවියයුතු තෙසාළිස
1. “මහණෙනි, අඞ්ග පසෙකින් සමන්‍විත මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් නො සන්හිඳුවිය යුතු: උපසපන් කෙරේ ද, නිස දේ ද, හෙරණකු උවටුවකු කොට තමා වෙත සිටුවා ද, භික්බුනෝවාදක සම්මතිය ඉවසා ද, සම්මත වූයේත් මෙහෙණනට ඔවා දෙයි ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නි කම නො සන්හිඳුවිය යුතු.
2. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණ ලද්දේ වේ නම් ඇවැතට පැමිණේ ද, එබඳු අන් ඇවැතකට හෝ, එයට වඩා ලාමක ඇවැතකට හෝ පැමිණේ ද, විනය කර්‍මයට ගරහා ද, කර්‍මය කළවුන් හට ගරහා ද, මහණෙනි, මේ අඞ්ග පසින් සමන්‍විත මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
3. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හුගේ අභිවාදන, පච්වුට්ඨාන, අඤ්ජලීකම්ම, සාමීචිකම්ම, ආසනාභිහාර ඉවසා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
4. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උක්ඛේපනීය කර්‍මය නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හුගේ ශය්‍යාභිහාර, පාදොදක, පාදපීඨ–පාදකඨලිකා, පාත්‍රචීවරප්‍රතිග්‍රහණ, නෑමෙහි පෘෂ්ඨපරිකර්‍ම යන මේ දෑ ඉවසා ද, මහණෙනි, මෙකී අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නො සන්හිඳුවිය යුතු.
5. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණකුට ශීලවිපත්තියෙන් චෝදනා කෙරේ ද, ආචාර විපත්තියෙන් චෝදනා කෙරේ ද, දෘෂ්ටිවිපත්තියෙන් චෝදනා කෙරේ ද, ආජීවවිපත්තියෙන් චෝදනා කෙරේ ද, මහණකු මහණුන් කෙරෙන් බිඳුවා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
6. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: ගිහිදද දරා ද, තොටුදද දරා ද, තොටුවන් සොයා ද, මහණුන් නො සොයා ද, මහණසිකෙහි නො හික්මේ ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
7. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හු හා ඒකච්ඡන්න ආවාසයෙහි වෙසේ ද, ඒකච්ඡන්න අනාවාසයෙහි වෙසේ ද, ඒකච්ඡන්න ආවාසයෙහිත් අනාවාසයෙහිත් වෙසේ ද, පුවතත් මහණහු දැක හුනස්නෙන් නො නැගී සිටී ද, පුවතත් මහණක්හු ආවාසය තුළ දී හෝ එයින් බැහැර දී හෝ ගටා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
8. මහණෙනි, අඞ්ග අටෙකින් යුත් මහණහු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් නො සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හු පොහෝකම් නවත්වා ද, පවුරුණු නවත්වා ද, සවචනීය කෙරේ ද, අනුවාදය පිහිටුවා ද, අවකාශ කරවා ද, චෝදනා කෙරේ ද, ඇවැත් සිහි කරවා ද, මහණුන් හා කලහ කරවා ද, මහණෙනි, මේ අඞ්ග අටින් යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම නො සන්හිඳුවිය යුතු.
ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම්හි නොසන්හිඳුවිය යුතු තෙසාළිස නිමියේ ය.
සන්හිඳුවිය යුතු තෙසාළිස
1. මහණෙනි, අඞ්ග පසෙකින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම සන්හිඳුවිය යුතු: උපසපන් නො කෙරේ ද, නිස නො දේ ද, හෙරණකු වැටුම්හි නො ලා ද, භික්ඛුනෝවාදක සම්මතිය නො ඉවසා ද, සම්මත වූයේ නමුදු මෙහෙණනට ඔවා නො දේ ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම සන්හිඳුවිය යුතු.
2. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් කරණ ලදුයේ වේ නම් ඒ ඇවැත නො අවදී ද, එබඳු වූ අන් ඇවැතක් හෝ, එයට වඩා ලාමක ඇවැතක් නො අවදී ද, විනයකර්‍මය නො ගරහා ද, කර්‍මය කළවුන් නො ගරහා ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
3. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ‘ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හු අභිවාදන, පච්වුට්ඨාන, අඤ්ජලිකර්‍ම, සාමීචිකර්‍ම, ආසනාභිහාර නො ඉවසා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
4. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණක්හුගේ ශය්‍යාභිහාර, පාදොදක, පාදපීඨ–පාදකඨලිකා, පාසිවුරු පිළිගැනුම්, නෑමෙහි පිට පිරියම් නො ඉවසා ද, මේ අඞ්ග පසින් යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
5. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණකුට ශීලවිපත්තියෙන් චෝදනා නො කෙරේ ද, ආචාරවිපත්තියෙන් “චෝදනා නො කෙරේ ද, දෘෂ්ටිවිපත්තියෙන් චෝදනා නො කෙරේ ද, ආජීවවිපත්තියෙන් චෝදනා නො කෙරේ ද, මහණකු මහණුන් කෙරෙන් නො බිඳුවා ද, මහණෙනි, මේ අඞ්ග පසින් යුත් මහණහු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
6. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහු ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: ගිහිදද නො දරා ද, තොටුදද නො දරා ද, තොටුවන් නො සොයා ද, භික්‍ෂූන් සොයා ද, භික්‍ෂුශික්‍ෂාහි හික්මේ ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහුගේ ඇවැත නො දැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
7. මහණෙනි, අන් අඞ්ග පසෙකිනුදු යුත් මහණහුගේ ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණහු හා එක් සෙවෙනි අවස්හි නො වෙසේ ද, එක් සෙවෙනි නොඅවස්හි නො වෙසේ ද, එක් සෙවෙනි අවස්හිත් නො අවස්හිත් නො වෙසේ ද, පුවතත් මහණකු දැක හුනස්නෙන් නැගී සිටී ද, පුවතත් මහණකු වෙහෙර තුළ දී හෝ බැහැර දි හෝ නො ගටා ද, මහණෙනි, මේ පසඟින් යුත් මහණහු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු.
8. මහණෙනි, අටඟෙකින් යුත් මහණහු ඇවැත නොදැක්මෙහි උකෙව්නිකම් සන්හිඳුවිය යුතු: පුවතත් මහණහු පොහෝකම් නො නවතා ද, පවුරුණු නො නවතා ද, සවචනීය නො කෙරේ ද, අනුවාද නො පිහිටුවා ද, අවකාශ නොකරවා ද, චෝදනා නො කෙරේ ද, ඇවැත් සිහි නො කරවා ද, මහණුන් හා කලහ නො යොදා ද, මහණෙනි, මේ අටඟින් යුත් මහණහු ඇවැත් නොදැක්මෙහි උකෙව්නිකම් නො සන්හිඳුවිය යුතු.