Vimānavatthu

Stories of Heavenly Mansions

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1218 segments

පෙන්වන කොටස් 601-700 න් 1218

769. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. (නිලුප්පලදායිකා)
770. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි?
771. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධවේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළ වෙත් ද?
772. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
773. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
774. මම එසිකා රට උස්බිම් පෙදෙසක පිහිටි මනරම් වූ උතුම් පණ්ණකත නම් නුවරැ පිඬු පිණිස හැසිරෙන භික්‍ෂුනමක්හට විල්දියෙහි හටගත් පලාවන් මිණිපත් ඇති සුදුමල් ඇති පියුම් කළඹක් දුනිමි.
775. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
776. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. (ඕදාතමූලදායිකා)
777. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටින්නෙහි.
778. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු කවර පිනෙකින් තිට පහළවෙත් ද?
779. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
780. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි (මෙසේ) පැවසූ ය.
781. සුමනා නම් වූ මම එසිකා රට උස්බිම් පෙදෙසක පිහිටි මනරම් වූ උතුම් පණ්ණකත නම් නුවරැ පිඬු පිණිස හැසිරෙන මනා සිතැති භික්‍ෂුනමක්හට ලියූ ඇත්දළ පැහැඇති දෑසමන් මල්කැකුළු දුනිමි.
782. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
783. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. (සුමනමකුළදායිකා)
චතුරිත්තිවිමාන යි.
784. (එම්බා දෙව්දුව) තීගේ දිව්‍යමය වූ අඹවනය සිත්කලු ය. මෙහි නොයෙක් තුරු රැවින් ඝෝෂිත වූ අප්සරා සමූහයා විසින් හඬ නැගුණු මහත් වූ පහයෙක් වෙයි.
785. මෙහි රන්මුවා මහපහනෙක් නිතර දිලෙයි. හාත්පස වස්ත්‍රමය ඵලඇති වෘක්‍ෂයන්ගෙන් පිරිවරණ ලද්දේ ය.
786. කවර හේතුවකින් තිට මෙබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නාවූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළවෙත් ද?
787. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැයද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
788. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසූ ය.
789. මම පෙර අත්බැව්හි මිනිස්ලොවැ මිනිසුන් අතරැ මිනිස් දුවක් වූවා අඹරුක්වලින් පිරිවැරුණු විහාරයක් සඟුන්උදෙසා කරවීමි.
790. විහාරය නිමි කල්හි පූජාව නිමි කල්හි වස්ත්‍රමයඵල කොට අඹරුක් සරසා,
791. එහි පහනක් දල්වා උතුම් වූ සඞ්ඝයා වළඳවා පහන් වූවා සියතින් එය සඞ්ඝයාට පිළිගැන්වීමි.
792. (වහන්ස) එයින් මගේ අඹවනය සිත්කලු ය. මෙහි නොයෙක් තුරු රැවින් හඬ නැගුණු දිව්‍යප්සරා සමූහයෙන් ඝෝෂිත වූ මහත් පහයෙක් වෙයි.
793. මෙහි රන්මුවා මහ පහනෙක් නිතර දැල්වෙයි. හාත්පස වස්ත්‍රමය ඵල ඇති වෘක්‍ෂයන්ගෙන් පිරිවැරුණේ ය.
794. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
795. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
අම්බවිමාන යි.
796. රන්වන් වත් ඇති රන්වන් දද ඇති රන්වන් අබරණින් සැරසුණු රන්සඳුන් අලෙව්දුන් සිරුරු ඇති රන්උපුල්මල් පැලඳි,
797. රන් පහයෙන් හා රනින් පිරිකෙව් කළ යහනින් හෙබි රන් ආසන ඇති රන්වන්බඳුන් ඇති රන්සත් ඇති රන්රිය ඇති රන්අසුන් ඇති රන් වල් විදුනා ඇති.
798. සොඳුර, තී පෙර මිනිස්ලොවැ කිනම් කුශලකර්‍මයක් කෙළෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරනලද්දී මේ කිනම් කර්‍මයක්හුගේ විපාකයක් දැ යි කියව.
799. සක්රජතුමනි, කෝසාතකී (වැටකොළු) යි ප්‍රසිද්ධ වැලක් ඇත්තේ ය. බලාපොරොත්තු රහිත වූ මම ඒ වැලේ මල් සතරක් බුදුරජුන්ගේ ධාතු චෛත්‍යය කරා ගෙන ගියෙමි.
800. ශාස්තෲන් වහන්සේගේ ධාතුශරීරය උදෙසා වෙසෙසින් පහන් සිතින් ඒ සෑය කෙරෙහි ගිය සිත් ඇත්තී ඒ දෙන ආ මඟ නො දැක්කෙමි.
801. එහෙයින් (ඒ) දෙන සෑය වෙත නො ගියසිත් ඇති (අසම්පූර්‍ණවූ පූජාමය මනදොළ ඇති) මා මැරී ය. ඉදින් මම ඒ පින් රැස් කෙළෙම් නම් මෙයට වඩා උතුම් සැපතක් වන්නේ යයි සිතමි.
802. දේවේන්‍ද්‍රය, මඝවත් නම් දේවොත්තමය, ඒ කර්‍මයෙන් මිනිස් සිරුර හැරැපියා ඔබගේ සහභාවයට පැමිණියා වෙමි.
803. තිදස් පුරට අධිපති වූ මඝවත් නම් දේවශ්‍රේෂ්ඨ තෙමේ මෙබස් තව්තිසා වැසියන් පහදවනුයේ මාතලී දෙව්පුත්හට මෙසේ කීයේ ය.
804. මාතලී, අසිරිමත් වූ විසිතුරු වූ මේ කර්‍මඵලය බලව, දියයුත්ත ස්වල්ප විසින් නමුත් දෙනලද්දේ ද (එහි) පින මහත්ඵල ඇත්තේ වේ.
805. තථාගත සම්බුදුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ සව්වන් කෙරෙහි හෝ සිත පහන් කල්හි දෙන දක්‍ෂිණා තොමෝ ස්වල්ප වූවා නම් නො වේ.
806. මාතලී, එව අපිදු තථාගතයන් වහන්සේගේ වඩ වඩාත් පුදමු. පින් රැස්කිරීම සැප වේ.
807. ධරමාන බුදුරදුන් කෙරෙහි ද පිරිනිවී බුදුරදුන් කෙරෙහි ද සමසිත් ඇති කල්හි සම විපාක වේ. ඒ එසේ මැ යි, චිත්තප්‍රණිධිය හේතුකොටගෙන සත්ත්‍වයෝ සුගතියට යෙත්.
808. යමකු කෙරෙහි පූජා සත්කාර කොට දායකයෝ සුගතියට යෙත් ද, (ඒ) තථාගතවරයෝ ඒකාන්තයෙන් ම බොහෝදෙනාට වැඩ පිණිස උපදිත්.
පීතවිමාන යි.
809. (එම්බා දෙව්දුව තෝ) සඳ හිරු මෙන් අහස පොළව එකලු කොට අතිශයින් බබළහි. ශෝභාවෙන් ද ශරීර වර්‍ණයෙන් ද පරිවාරයෙන් ද ස්වකීය අනුභාවයෙන් ද ඉන්‍ද්‍රයා සහිත තව්තිසා වැසි දෙවියන් ඉක්මවා බබළන බ්‍රහ්මයා මෙනි.
810. උපුල්මල් දරන රුවන්මුවා මලින් නැගුණු රැළි ඇති රන්වන් සිවි ඇති උතුම් වත් දරන සැරසුණු සොඳුරු දෙව්දුව, මා වඳනෙහි, (ඒ) තෝ කවරැයි විචාරමි.
811. තෝ පෙර අත්බැව්හි මිනිස්දුවක් වූවා කිනම් කර්‍මයක් කෙළෙහි ද? මැනැවින් දැන් දෙනලද ද? නැතහොත් සිල් රක්නා ලද ද? කුමකින් යසස් ඇතිව සුගතියෙහි උපන්නී වෙහි ද? (එම්බා) දෙව්දුව, විචාරනලද්දී මේ විපාකය කවර කර්‍මයක්හුගේ දැ යි කියව.
812. වහන්ස, මෙකල්හි (භික්‍ෂුනමක්) පිඬු පිණිස මේ ගමෙහි අප ගෙට එළඹියේ ය. ඉක්බිති උන්වහන්සේට පහන් සිතැත්තී ඉමහත් ප්‍රීතියෙන් උක්දඬුකඩක් පිදුවෙමි.
813. පසුව නැන්දණියෝ “යෙහෙළිය, උක්දඬුකඩ කොහි දැමුවෙහි දැ” යි මා විචාළහ. එය මා විසින් බැහැර නො දමනලද. නො ද අනුභව කරන ලදි. මම සන්සුන් කෙලෙස් ඇති භික්‍ෂුනමකට පිදුවෙමි.
814. ගෙහි මේ අධිපතිභාවය තීගේ ද, නැතහොත් මාගේ දැ යි මෙසේ නැන්දණියෝ මට පරිභව කළහ. නැවත කැටක් ගෙන මට පහර දුන්හ. කලුරියකළා වූ මම එයින් සැව දෙව්දුවක් වූවා වෙමි.
815. මා විසින් ඒ කුශලකර්‍මය පමණක් කරන ලදී. තමා විසින් (කරන ලද) ඒ කුශලකර්‍මය කරණ කොටගෙන ම (මේ) සැප විඳිමි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි.
816. මා විසින් ඒ කුශලකර්‍මය පමණක් කරන ලද. තමා විසින් (කරන ලද) ඒ කුශල කර්‍මය කරණ කොට ගෙන (මේ) සැප විඳිමි. සක් දෙවිඳුන් විසින් ගෝපිත වූ තව්තිසා වැසි දෙවියන් විසින් රක්නා ලද මම පස්කම් ගුණයෙන් යුක්ත වූවා වෙමි.
817. මාගේ උක්දඬු පූජාව මහත් විපාක ඇත්තී ය. එයින් මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. මම දෙවියන් සමග හැසිරෙමි. මම පස්කම් ගුණයෙන් සතුටු වෙමි.
818. ඒ මාගේ උක්දඬුපූජාව මහත් ආනුභාව ඇත්තීය. මෙබඳු අනල්ප වූ පුණ්‍යඵලයෙක් වෙයි. සක්දෙවිඳුන් විසින් ගෝපිත වූ තව්තිසාවැසි දෙවියන් විසින් රක්නා ලද මම නඳුන් වෙනෙහි සක්දෙව්රජු මෙන් (ප්‍රීති වෙමි.)
819. වහන්ස, මම කාරුණික වූ නුවණැත්තා වූ ඔබ වෙත පැමිණ වැන්දෙමි. නීරෝග බව විචාළෙමි. ඉක්බිති පහන්සිත් ඇති මම ඉමහත් ප්‍රීතියෙන් ඔබ වහන්සේට උක්දඬුකඩක් පූජා කළෙමි.
උච්ඡුවිමාන යි.
820. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවන්නී දවහත් තරුව සේ සිටිනෙහි.
821. කවර හේතුවකින් තිට එබඳු සිරුරු පැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
822. මහත් ආනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
823. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නාලද ඒ දෙව්දූ තොමෝ තුටු සිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසුවා ය.
824. (වහන්ස) මම පෙරැ මිනිසුන් අතැර මිනිස් දුවක් වූවා සිල්වත් මහණුන් දැක පා වැඳ සිත පැහැදවීමි. තුටුසිත් ඇති මම ඇඳිලි ද කෙළෙමි.
825. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
826. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම්කිසි පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි.
වන්‍දන විමාන යි.
827. (එම්බා) දෙව්දුව යම්බඳු වූ තෝ මනා රුසිරෙන් යුක්තව මනහර වැයුම් පවත්නා කල්හි ඇත් පා විවිධාකාරයෙන් ගෙන නටන්නෙහි.
828. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් හැම ලෙසින් කන්කලු මනරම් දිව්‍යමය ශබ්දයෝ නික්මෙත්.
829. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිව්‍යමය ගන්‍ධයෝ හැම ලෙසින් හමත්.
830. (තීගේ) ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
831. මද සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරනද සේ ඇසේ.
832. තීගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමෙක් වේ ද එහි සුවඳ (සුපිපි) මඤ්ජුස්සක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිරැ හමයි.
833. ඒ පිවිතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි, ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, මා විසින් විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
834. මම පෙරැ ගයාවෙහි එක්තරා බමුණකුගේ දාසියක් වීමි. ඒ මා පින්නැති කාලකණ්ණි රජ්ජුමාලා යැ යි (අන්‍යයෝ) දත්හ.
835. ආක්‍රෝශයන්ගේද වධයන්ගේ ද තර්‍ජනයෙන් උපන් දොම්නසින් කළය ගෙන දිය ගෙනෙන්නියක මෙන් නික්ම ගියෙමි.
836. මම මෙහි ම මැරෙන්නෙමි. මාගේ ජීවිතයෙන් කම් කිමැ යි මගින් බැහැර කළය තබා වන ලැහැබකට පිවිසියෙමි.
837. මළපුඩුව දැඩි කොට ගසෙක එල්වා තබා ඉක්බිති වනය ඇසුරු කළ කවරෙක් ඇත් දැ යි දිගුන් බැලීමි.
838. එහි රුක්මුල වැඩහුන් ධ්‍යාන කරනසුලු නිර්‍භය වූ සියලු ලොවට හිතැති මුනීන්‍ද්‍ර වූ සම්බුදුරජුන් දුටුයෙමි.
839. ඒ මට ලොමුදහගන්වන අද්භූත වූ සංවේගයෙක් හටගත්තේය. වනය ඇසුරු කළේ කවරෙක් ද, මිනිසෙක් හෝ දෙවියෙක් හෝ වේ දැ යි.
840. පැහැදීම එළවන පැහැදියයුතු (කෙලෙස්) වනයෙන් නික්ම නිවනට පැමිණි උන්වහන්සේ දැක මේ තෙමේ එසේ මෙසේ වූවෙක් නො වේ යයි මාගේ සිත පහන් වී.
841. ඒ තෙමේ දැමුණු ඉඳුරන් ඇති දැහැන්හි ඇලුණු නිවනෙහි බැසගත් සිත් ඇති මුළුලොවට හිත වූ බුද්ධ නම් වන්නේ ය.
842. මේ තෙමේ ගුහාව ඇසුරු කළ සිංහයකු සේ බිය දනවන සුලු ය. ළංවිය නො හැකි ය. දිඹුල්මල් මෙන් දැකීමට දුර්‍ලභ ය.
843. ඒ තථාගත තෙමේ මුදුවදනින් රජ්ජුමාලා යී මා අමතා තථාගතයන් සරණ යවයි මට වදාළේ ය.
844. මම නිදොස් වූ අර්‍ත්‍ථවත් පිරිසිදු නො රළු මොළොක් මිහිරි සියලු ශෝක දුරු කරන ඒ වචනය අසා,
845. භාවනාකර්‍මයට යෝග්‍ය වූ සිත් ඇති (එහෙයින් ම) පහන් වූ පිරිසිදු සිත් ඇති මා දැන සියලු ලෝකයට හිත වූ තථාගත තෙමේ (මට) අනුශාසනා කෙළේ යි.
846. මේ දුඃඛ යයි ද, මේ දුඃඛසමුදය යි ද මේ දුඃඛනිරෝධ යයි ද මේ අන්තද්වය වර්ජිත වූ නිර්‍වාණගාමිනී ප්‍රතිපදාසඞ්ඛ්‍යාත මාර්‍ග යයි ද මට වදාළේ යි.
847. මම දක්‍ෂ වූ කාරුණික වූ බුදුරජුන්ගේ අවවාදයෙහි පිහිටියෙම් නිත්‍ය වූ සියලු දුක් සන්සිඳීම වූ ච්‍යුති රහිත වූ නිර්‍වාණපදය අවබෝධ කෙළෙමි.
848. ඒ මම සම්‍යග්දර්‍ශනයෙහි නො සැලෙන සුළු වූ නො සෙල්විය හැකි දැඩි පෙම් ඇති හටගත් මුල් ඇති සදැහෙයෙන් යුක්ත වැ බුදුරජුන්ගේ ඔෳරස පුත්‍රියක් වීමි.
849. ඒ මම දැන් නො බිය වූයෙම් මාර්‍ගඵලරතියෙන් රමණය කරමි. කාමගුණයෙන් ක්‍රීඩා කරමි. එදෙකින් සතුටු වෙමි. දිවමල් දරමි. මධුමද්දව නම් ගඟපැන් බොමි.
850. සැටදහසක් තූර්‍ය්‍යයෝ මා පුබුදුවති. එසේම ම ආලම්බ යැ ගග්ගර යැ භීම යැ සාධුවාදී යැ සංසය යැ.
851. පොක්ඛර යැ සුඵස්ස යැ යන දිව්‍යපුත්‍රයෝ ද, වීණා යැ මොක්ඛා යැ යන දිව්‍යස්ත්‍රීහු ද, නන්‍දා යැ සුනන්‍දා යැ සෝණදින්නා යැ සුවිමහිතා යැ යන.
852. අළම්ඹුසා යැ මිස්සකේසි යැ පුණ්ඩරීකා යැ අතිචාරුණී යැ එනිඵස්සා යැ සුඵස්සා යැ සුභාද්දා යැ මුදුවාදිනී යැ යන
853. තෙල අප්සරාවෝ ද, අප්සරාවන් අතුරෙහි සංගීතයෙහි අතිශයින් පැසසියයුතු වූ පුබුදු කරවන අන්‍ය වූ අප්සරාවෝ ද සුදුසු කල්හි මා වෙත පැමිණ මෙසේ කියත්.
854. හොඳයි නටමු, ගයමු, තී සතුටු කරවමු, මේ දෙව්විමන පින් නො කළවුනට නො ලැබේ. තව්තිසා වැසි දෙවියන්ගේ ශෝක දුරු කරන මනරම් වූ නන්‍දන මහාවනය පින් කළවුනට ම ලැබේ.
855. පින් නො කළවුන්ට මේ ලොව හා පරලොව සැපයෙක් නැත. පින් කළවුන්ට ම මෙලොව හා පරලොව සැප ලැබේ.
856. ඒ තව්තිසාවැසි දෙවියන් හා සහභාවයට යනු කැමැත්තන් විසින් බොහෝ කුසල් කළයුතු වේ. කළ පිනැත්තෝ ම ස්වර්‍ගයෙහි පස්කම් සැපතින් යුක්ත වූවාහු සතුටු වෙත්.
857. යමකු කෙරෙහි පූජා සත්කාර කොට දායකයෝ සුගතියට යෙත් ද, මිනිසුන්ගේ දක්‍ෂිණාවට සුදුසුවූ පින්කෙත් වූ ආර්‍ය්‍යයන්ට ආකාර වූ (ඒ) තථාගතවරයෝ එකැතින් ම බොහෝ දෙනාට වැඩ පිණිස උපදිත්.
රජ්ජුමාලාවිමාන යි.