337. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යාර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
(මේ විමානයෙහි යම්සේ ද එසෙයින් මතුයෙහි හැම විමානයන්හි විස්තර කටයුතු)
338-41. විශිෂ්ට වූ ශරීරප්‍රභායෙන් … තොපගේ සිරුරුපැහැය ද, හැම දිගුන් බබුළුවයි.
342. (සමන්මල් ආදී) උත්තමපුෂ්පයක් දෙන ස්ත්‍රී තොමෝ නරනාරීන් කෙරෙහි උත්තම වෙයි. මෙසේ ප්‍රිය ස්වභාව ඇති වස්තු දෙන ඕ තොමෝ දිව්‍යවිමානාදී ස්ථානයට පැමිණ මනවඩන දෑ ලබයි.
343. ඒ මාගේ විමානය බලව. මම කැමති සේ රූප ධරන අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට උතුම් වෙමි. පුණ්‍ය විපාකය බලව.
344-49. එයින් මට එබඳු සිරුරුපැහැ වෙයි. … මාගේ සිරුරු පැහැ ද හැම දිගුන් බබුළුවා යී.
350-73. (චන්‍දනාදි) උත්තමගන්‍ධදාන කරන ස්ත්‍රී තොමෝ නරනාරීන් කෙරෙහි උත්තම වෙයි … උතුම් පලවැළ දෙන ස්ත්‍රී උතුම් රස දෙන ස්ත්‍රී ...
374-81. මම කසුප් බුදුන්ගේ දාගැබ්හි ගඳ පසඟුල් දුනිමු. ... ඒ මාගේ විමන බලව ... මාගේ සිරුරුපැහැ ද හැම දිගුන් බබුළුවා.
382-89. මම මඟට පිළිපන් භික්‍ෂූන් ද භික්‍ෂුණීන් ද දුටුමු. මම උන්වහන්සේගේ දහම් අසා එක් දවසක් පෙහෙවස් වුසූමු. ඒ මාගේ විමන බලව. ... මාගේ සිරුරුපැහැ ද හැම දිගුන් බබුළුවා.
390-97. මම දියෙහි සිටියා පහන් සිතින් මහණක්හට පැන් දුනිමු. ඒ මාගේ විමන බලව. ... මාගේ සිරුරුපැහැ ද හැම දිගුන් බබුළුවා.
398-405. මම චණ්ඩ වූ ක්‍රෝධ කරන පරුෂ වූ නැන්දණියන්ට ද මයිලණුවනට ද දොස් පහළ කිරීම රහිත වැ සිහි ඇති වැ ස්වකීය ශීලයෙන් යුතු වැ මැනැවින් උපස්ථාන කළමු ...
406-13. මම දාසී වැ ක්‍රෝධ නැති වැ අතිමාන නැති වැ ධන හේතුයෙන් නො මැලි වැ මෙරමාගේ බැළමෙහෙ කරන්නක් වූමු. තමා ලද කොටස අර්‍ත්‍ථ ඇතියනට බෙදාදෙන සැහැවි ඇතියක් වූමු ...
414-21. මම පිඬු සිඟා යන මහණක්හට කිරිබතක් දුන්මු ... මෙසේ පින්කම් කොට සුගතියට පැමිණ තුටු වෙමි ...
422-609. මම උක්සකුරු කඩක් දුන්මු ... මම උක්දඞු කඩක් දුන්මු … මම තියඹරා ඵලයක් දුන්මු ... මම සිහින් කැකිරි ඵලයක් දුන්මු ... මම මහකැකිරි ඵලයක් දුන්මු ... මම වැල්ඵලයක් දුන්මු … මම බොරළුදමුණු ඵලයක් දුන්මු ... මම ගිනිකබලක් දුන්මු ... මම පළාමිටක් දුන්මු. ... මම මල්මිටක් දුන්මු … මම මූලපළාමිටන් දුන්මු. … මම කොසඹකොළ මිටක් දුන්මු … මම ඇඹුල්කැඳක් දුන්මු … මම තලමුරුවටක් දුන්මු … මම කාබහනක් දුන්මු … මම අංසකඩක් දුන්මු … මම ආයෝග-පට්ටයක් දුන්මු … මම සියුරැස් විජිනිපතක් දුන්මු … මම තල්වටක් දුන්මු … මම මොනරපිලින් කළ මකසවිජනියක් දුන්මු … මම ඡත්‍රයක් දුන්මු … මම වහන්සඟළක් දුන්මු … මම පූපයක් (කැවුමක්) දුන්මු … මම අග්ගලාවක් දුක්මු ...
610. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරින් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිනෙහි,
611. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද?
612. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කෙළෙහි ද? තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. කවර පිනෙකින් මෙබඳු දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙහි ද?
613. මේ පුණ්‍යඵලය කවර කර්‍මයක්හුගේ දැ යි මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව් දූ තොමෝ තුටු සිත් ඇත්තී (මෙසේ) පැවසූ ය.
614. පිඬු පිණිස හැසිරෙන්නා වූ භික්‍ෂුනමක්හට මම සක්ඛලික නම් කැවිලි වෙසෙසක් දුනිමි. මෙබඳු (කුශල) කර්‍මයක් කොට සුගතියට පැමිණ සතුටු වෙමි.
615. ඒ මාගේ විමානය බලනු මැනවි. මම කැමති සේ රූ දරන්නා වූ අප්සරාවක් වෙමි. මම අප්සරාවන් දහසකට උතුම් වෙමි. පිනෙහි විපාකය බලනු මැනවි.
616. ඒ පිනෙන් මාගේ සිරුරු පැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සමාපත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සමාපත්තීහු මට පහළ වෙත්.
617. මහත් අනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද, (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යාර්ද්ධි ඇතියා වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (සක්ඛලිකදායිකා) 36.
618. ආශ්චර්‍ය්‍යයෙකැයි, මාගේ ඊම සුන්‍දර යැ. අද මට මනා උදයෙකි. යහනින් නැඟීම ද යහපති. යම් හෙයෙකින් කැමැති රූ දරන දෙවසරන් දුටුයෙම් ද එහෙයිනි.
619. මම මොවුන්ගේ දහම් අසා බොහෝ කුසල් කරන්නෙමි දන් දීමෙන් ද සමව හැසිරීමෙන් ද සීලසංවරයෙන් ද ඉන්‍ද්‍රිය දමනයෙන් ද (අන්‍යයෝ) යම් තැනකට ගොස් ශෝක නො කෙරෙත් ද, ඒ මම ද එහි යන්නෙමි.
ගුත්තිල විමාන යි.
3. 6.
620. යසස් ඇති දෙව් දුව, රූප සම්පත්තියෙන් ද පරිවාර සම්පත්තියෙන් ද අතිශයින් ද බබළන තෝ තව්තිසා වැසි සියලු දෙවියන් ඒ වර්‍ණාදී සම්පත්තියෙන් අබිබවා බබළනෙහි.
621. (මම මින් පෙර තී) දුටු බවක් නො දනිමි. මෙය පළමු දැකීමය. කිනම් දිව්‍යනිකායෙකින් ච්‍යුත ව අවුත් නමින් මා අමතනෙහි ද?
622. භද්‍රාවෙනි, මම පෙරැ මිනිසත් බවෙහි සුභද්‍රා නම් වීමි. තීගේ කනිටු බුහුන වූ මම (තොප සැමියාගේ) සම බිරියක් ද වීමි.
623. ඒ මම කාබුන් මරණින් මතු මිනිසත් බැවින් මිදුණි එයින් ච්‍යුත ව නිර්‍මාණරතී නම් දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
624. මහ පින්කම් කළ ඒ සත්ත්‍වයෝ යම් නිර්‍මාණරතී නම් දෙවියන් වෙත යෙත් ද, සුභද්‍රාවෙනි තෝ ද එම නිර්‍මාණරතී නම් දෙවියන් මැද තම උපත ප්‍රකාශ කෙරෙහි.
625-626. යසස් ඇත්තී ය, කවරක්හු විසින් අනුශාසිත වූ තෝ කෙසේ කිනම් කරුණෙකින් කෙබඳු දනෙකින් කිනම් මනා ව්‍රතයකින් මෙබඳු යසසකට පැමිණියා මහත් වූ වෙසෙසක් ලැබූයෙහි ද, (එම්බා) දෙව් දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.
627. (භද්‍රාවෙනි) යම් හෙයෙකින් පෙරැ අත්බැව්හි පහන් සිතැත්තී සියතින් දක්‍ෂිණාර්‍හ සඞ්ඝයාට පිඬු පා අටක් දාන වශයෙන් දිනිම් ද,
628. එම පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මනවඩන්නා වූ යම්කිසි සම්පත්තීහු වෙත් ද, ඒ සම්පත්තීහු මට පහළ වෙත්.
629. මහත් අනුභාව ඇති දෙව් දුව, මිනිස් දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලිසෙන පුණ්‍යාර්ධි ඇතියෙම් වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.
630. (සුභද්‍රාවනි, එකල) පහන් සිතැති මම ද සන්හුන් ඉඳුරන් ඇති බ්‍රහ්මචාරී වූ බොහෝ භික්‍ෂූන් තිට වඩා සියතින්ම අහර පැනින් සැතැප්පවීමි. මම තිට වඩා ඉතා වැඩියක් දී පහත් දෙව්ලොවට (තව්තිසාවට) පැමිණියෙම් වෙමි.
631. තෝ ඉතා ස්වල්පයක් දී කෙසේ මහත් වූ වෙසෙසකට පැමිණියෙහි ද? (එම්බා) දෙව් දුව විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක් හුගේ දැ යි කියව.
632. පූර්‍ව කාලයෙහි (උදාර ගුණ ඇති බැවින්) මනවඩවන (රේවත නම්) භික්‍ෂුනමක් මා විසින් නිමතන ලද්දේ විය. මම ඒ රේවත තෙරුන් තමන් සහිත අට නමක් කොට බතින් පැවරීමි.
633. ඒ රේවත තෙරණුවෝ මා හිතයෙහි පෙරටුවූවෝ අනුකම්පා පිණිස සඟනට දෙවයි මට වදාළහ. මම උන්වහන්සේගේ වචනය කෙළෙමි.
634. ඒ සඞ්ඝගතදක්‍ෂිණා තොමෝ අපමණගුණ ඇති සඟන කෙරෙහි පිහිටියාය. තී විසින් පුද්ගලයන් කෙරෙහි දෙන ලද ඒ දානය තිට මහත්ඵල නො වී.
635. සඟුන් කෙරෙහි දුන් දානය මහත්ඵල යයි මම දැන් දනිමි. ඒ මම මිනිසත් බවට ගොස් (ප්‍රතිග්‍රාහකයන්ගේ) වදන් දන්නී පහ වූ මසුරුමල ඇත්තී අප්‍රමත්තව පුන පුනා සඟනට දන් දෙන්නෙමි.
636. භද්‍රාවනි, (යම් දෙව් දුවක්) තව්තිසා වැසි සියලු දෙවියන් ශරීරවර්‍ණයෙන් ඉක්මවා බබළා ද තී සමග කථා කෙරේ ද මේ කවර දෙව්දුවක් ද?
637. සක්දෙව්රජුනි, පෙරැ මිනිසත් බැව් හි මිනිස් දුවක් වූ ඕ තොමෝ මාගේ කනිටු බුහුන වූවා සැමියාගේ සම බිරිය වූවා ය. කළ පින් ඇත්තී සඟනට දන් දී වෙසෙසින් බබළා යැ යි.
638. භද්‍රාවනි, (තීගේ) බුහුන පෙරැ අපමණ ගුණ ඇති සඟන කෙරෙහි යම් දක්‍ෂිණාවක් පිහිටුවා ලූ ද, ඒ කාරණයෙන් තිට වඞා වෙසෙසින් බබළා යැ යි.
639. යම් සඟ රුවනක් කෙරෙහි දුන් දෙය මහත්ඵල වේ නම් දානයේ විපාකය මා විසින් ගිජුකුළු පව්වෙහි දී බුදුරජාණන් වහන්සේ විචාරන ලද්දේ (උන්වහන්සේගෙන් අසා දැනගන්නා ලද්දේ) ය.
640. පින් කැමති ව දන් දෙන්නා වූ මිනිස්නට යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය මහත් ඵල වේ ද, එබඳු ප්‍රතිසන්‍ධි-ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.
641. යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය මහත් ඵල වේ ද, සත්ත්‍වයන්ගේ සිය කම්පල දන්නා වූ බුදුරජානන් වහන්සේ දානයෙහි ඒ විපාකය මට වදාළ සේක.
642. මාර්‍ගස්ථයෝ සිව් දෙනෙක, ඵලස්ථයෝ සිව් දෙනෙකැ යි මේ සඞ්ඝ තෙමේ ඍජු වූයේ යැ. (ආර්‍ය්‍යවූ) ප්‍රඥා ශීල සමාධි ඇත්තේ යැ.
643. පින්පල කැමැති ව දන්දෙන්නා වූ මිනිසුනට යම් සඟරුවනක් කෙරෙහි දුන් දෙය මහත් ඵල වේ ද (එබඳු) ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති විපාක දෙන පින් කෙරේවා.
644. මේ සඞ්ඝ තෙමේ ගුණයෙන් මහත් බවට ගියේ ය. (ඵලවිපුලත්‍වයට හේතුභාවයෙන්) විපුල වූයේ ය. මේ සඞ්ඝ තෙමේ උදධි නම් සාගරය සේ ගුණයෙන් පමණ නො කොට හැක්කේ ය. ශ්‍රේෂ්ඨ වූ ලොවට නැණලු කරන්නා වූ තෙල නරවීරශ්‍රාවකයෝ ම නිවන්මඟ දක්වත්.
645. යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් (එය) මැනැවින් දෙන ලද ය. ගෙනවුත් පුදන ලද ය. (මහදන් විසින්) යාග කරන ලද ය. සඟුන් කෙරෙහි පිහිටියා වූ ඒ සඞ්ඝගත වූ දක්‍ෂිණා තොමෝ මහත්ඵල ඇතැ යි බුදුරජුන් විසින් වර්‍ණනා කරන ලද.
646. මෙබඳු (සඟුන් උදෙසා දුන්) දාන සිහිකරන්නා වූ හටගත් සොම්නස් ඇති යම් කෙනෙක් මුල් සහිත ව මසුරුමල දුරු කොට ලෝකයෙහි හැසිරෙද්ද, ඔහු නින්‍දා නො කරන ලද්දෝ සගලොවට පැමිණෙත්.
දද්දල්ල විමන යි.
3. 7.
647. පළිඟුමිණිමුවා බිතින් හා රන්රිදී දැලින් හාත්පස වසන ලද නන්වැදෑරුම් විසිතුරු තල ඇති ඉතා රම්‍ය වූ තොරණින් සැදුම් ලත් රුවන් වැල්ලෙන් ගැවසුණු මිදුල් ඇති මැනැවින් බබළන මේ විමන දිටිමි.
648. අඳුරු දුරලන දහස් ගණන් රස් ඇති හිරු සරා කල්හි යම්සේ අහස දසදෙස බබළා ද, එසේම රෑ ගිනිසිළ අහස් පෙදෙස යම්සේ බබළා ද, එමෙන්ම තී ගේ මේ විමන අතිශයින් බබළ යි.
649. අහසෙහි තිබූ තීගේ මේ මනරම් විමන විදුලියක් සේ ඇස මුසපත් කෙරේ. (එසේම) මේ විමන වෙණබෙර මිහිඟුබෙර අත්තල කස්තල නදීන් ඝෝෂිත වූ සුදසුන්පුරය සේ දෙව්සැපතින් සමෘද්ධ ය.
650. (මෙහි) පියුම් හෙලපුල් රතුපුල් නිලුපුල් යන ජලජ පුෂ්පයෝ වෙති. සීනිද්ද බඳුවද අනෝජ වෘක්‍ෂයෝ ද වෙති. පිපිමල් ඇති සල් හෝපලු වෘක්‍ෂයෝ ද වෙති. (තීගේ) මේ විමන මෙසේ නන්වැදෑරුම් උතුම් ගස්වල සුවඳින් සුවඳ කැවුණේ ය.
651. යසස් ඇති දෙව්දුව, ඉවුරෙහි පිහිටි හොර දෙල් බුජඟ රුක්වලින් යුක්ත වූ තල් පොල් ඈ තෘණ ජාතීන්ගෙන් හා මනා සේ පිපි මල් ඇති එල්බෙන වැල්වලින් යුත් මිණිදැල් බඳු දිය ඇති මනරම් පොකුණු තීට පහළව ඇත.
652. දියෙහි හටගන්නා යම් (පදුමාදී) පුෂ්පජාතයෝ වෙත් ද, ගොඩ හටගන්නා යම් සීනිද්ද ආදී වෘක්‍ෂ ජාතයෝ වෙත් ද, (එයින් අන්‍යවූත්) යම්බඳු මල්රුක් පලරුක්හු වෙත් ද, මිනිසුන් අයත්වූත් නො මිනිසුන් අයත් වූත් දෙවියන් අයත් වූත් ඒ සියලු ම වෘක්‍ෂයෝ තී ගේ විමන් සමීපයෙහි ඇත්තා හු මැ යි.
653. මනහර ඇස්පිය ඇත්තිය, මේ විපාකය කිනම් කායාදි සංයමයක්හුගේ ද? කිනම් ඉන්‍ද්‍රිය දමනාදි දමයක්හුගේ ද, (විපාක දෙන්නට ඇරැඹූ) කිනම් කර්‍මබලයෙකින් මෙහි උපන්නී වෙහි ද? තී විසින් මේ විමන යම් සේ ලබන ලද ද, ඒ කර්‍මය (මට) අනුරූප පද විසින් කියව.
654. කොස්වාලිහිණි මොනර ඇටිකුකුළු සමූහයා හැසුරුණු දිව්‍යමය වූ දියකාවුන් හා හස්රජුන් විසින් සෙවුනා ලද විලිකුළු කොවුල් ඈ විහඟුන් විසින් නිතර නද දෙන ලද මේ විමන මා විසින් යම්සේ ලබන ලද ද,
655. නන්වැදෑරුම් අතුපතරින් ගැවසීගත් මල්රුක්වලින් විසිතුරු වූ පළොල් දඹ හෝපලු රුක් ඇති මේ විමන මා විසින් යම්සේ ලබන ලද ද, වහන්ස එය ඔබවහන්සේට කියන්නෙමි, අසනු මැනවි.
656. වහන්ස මගධරට නැගෙනහිරදිග නාළක නම් ගමෙක් ඇත. මම පෙරැ ඒ නාළක ගමෙහි (එක් ගැහැවි කුලයෙකැ) ලෙහෙළියක් වීමි. ඒ මා සේසවතී යන නමින් අන්‍යයෝ දත්හ.
657. ඒ (සේසවතී නම් වූ) මම සතුටුසිත් ඇත්තී ධර්‍මාර්‍ත්‍ථයන්හි දක්‍ෂ වූ බුදුරජුන් විසින් බුහුමන් කරන ලද දෙව්මිනිසුන් විසින් පුදන ලද ගුණයෙන් පමණ නොකට හැකි ශීලාදී ගුණයෙන් මහත් වූ පිරිනිවියා වූ සැරියුත් තෙරණුවන් මලින් පිදුවෙමි.
658. (ඒ මම) නිරුපධිශේෂ නිර්‍වාණයට පැමිණි පැසුළු සිරුරු දැරූ උදාර ගුණවත් (සැරියුත්) මහතෙරුන් වහන්සේ පුදා මිනිස් සිරුර හැර තව්තිසාවට පැමිණියෙම් මෙහි වෙසෙමි.
සේසවතී විමාන යි.
3. 8.
659. රන්වන් වත් ඇත්තිය. රන්වන් ධ්වජ ඇත්තීය, රන්වන් අබරණින් බබළන්නීය, තී සිත්කලු වූ මනරම්වූ රන්වන් උතුරුසළුයෙන් නො සැරසුනී ම හොබනෙහිය.
660. රන්වන් වළලු දරන්නීය, රන්මුවා මුදුන්මල්කඩින් සැරසුනිය, රන්දැලින් වැසුණු සිරුරු ඇත්තීය, නන් රුවන් මල්දම් ඇත්තිය, තී කවරක් ද?
661. (තීගේ කෙස් කලඹෙහි හා අත්හි) රනින් කළ මල්මාලා පියුම්රා මිණියෙන් කළ මල්මාලා, මැසිරිගල් මිණියෙන් කළ මල්මාලා, රත්පැහැ මිණියෙන් කළ මල්මාලා, පරෙවි ඇස් වැනි මිණියෙන් විසිතුරු වූවාහු ද වෙත්.
662. මේ මල්දම්හි මොනරුන්ගේ නාදය මෙන් හස් රදුන්ගේ හඞ මෙන් කුරවි කෙවිල්ලන්ගේ කූජන මෙන් මනහර නද ඇසෙයි. ඔවුන්ගේ නාදය වැයූ පසඟතුරුනද මෙනි.
663. නන් රුවනින් විසිතුරු කරන ලද තීගේ රථය ද යහපත්ය. මනහරය. නන්වැදෑරුම් රිය අවයවයෙන් මොනවට බෙදන ලද්දේ ම හොබනේ ය.
664. රන්බිඹුවන් රියෙක් හි සිටියා වූ යම්බඳු තී මේ පෙදෙස බබළවහිද, (එම්බා) දෙව්දුව, විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැයි කියව.
665. මම පහන් සිත් ඇතියා රන්රුවනින් විසිතුරු කළ ඔබ්බන ලද මුතුපෙළ ඇති රන්මුවා කැලුම් රැසින් වැසුණු රන් දැලක්, පමණ නොකට හැකි ගුණ ඇති පිරිනිව් ගොයුම් බුදුරදුන් කෙරෙහි පිදුවෙමි.
666. මම බුදුරජුන් වර්‍ණනා කළ ඒ කුශලකර්‍මය කොට පහ වූ ශෝක ඇත්තී සැප ඇත්තී නීරෝගවූවා වෙසෙසින් සතුටු වෙමි.
මල්ලිකාවිමානය යි.
3. 9.
667. මහත් ඇස් ඇති දෙව්දුව, තී (පෙර අත්බැව්හි) කවර නැමැත්තියක් වූවා ද? දිවසරන් සමූහයෙන් පිරිවරන ලද්දී සිත්කලු සිතුලිය වෙනෙහි හාත්පස හැසිරෙයි.
668. යම් කාලෙක තව්තිසා වැසි දෙවියෝ මේ සිතුලිය වනයට පිවිසෙත් ද, (එකල) මෙහි පැමිණියා වූ යාන සහිත වූ රිය සහිත වූ සියල්ලෝ ම විසිතුරු අයුරු ඇත්තෝ වෙත්.
669. මෙහි පැමිණි මේ උයනෙහි හැසිරෙන තීගේ සිරුරෙහි (පුෂ්පාදීන්) අමුතු විසිතුරෙක් නොපෙනේ. තීගේ රූපය මෙබඳු (පැහැපත්) වූයේ කවර පිනෙකින් ද? (එම්බා) දෙව්දුව, විචාරණ ලද්දී මේ විපාකය කවර පුණ්‍යකර්‍මයක්හුගේ දැයි කියව.
670. දෙවිඳුනි, යම් පිනෙකින් මාගේ මේ රූපයත් දිව්‍යගතියත් දිව්‍යර්ධියත් දිව්‍යානුභාවයත් වී ද, සක්දෙව්ඳුනි, එය අසනු මැනවි.
671. මම පෙරැ මනරම් වූ රජගහනුවරැ ශ්‍රද්ධායෙන් හා ශීලයෙන් යුක්ත වූ සියලු කල්හි දන්දීමෙහි ඇලුනු සුනන්‍දා නම් උපාහිකාවක් වීමි.
672. (එකලැ මම) වස්ත්‍ර ද ආහාර ද සෙනසුන් ද පහන් ද ඍජුගුණ ඇත්තවුන් කෙරෙහි වෙසෙසින් පහන් සිතින් දුනිමි.
673-74. මම පක්‍ෂය පිළිබඳ තුදුස්වක ද පසළොස්වක ද ප්‍රාතිහාර්‍ය්‍යපක්‍ෂය ද යන පොහෝ දිනයන්හි අටඟින් යුත් පෙහෙවස් වීසිමි. සියලු කල්හි නිති සිල්හි ද පිහිටියෙමි. කයින් හා වචනයෙන් සංවෘත වූවා ඉන්‍ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා බෙදා දෙන්නී ගෙහි විසීමි.
675. (එකල්හි මම) පණිවායෙන් දුරුවීමි, මුසවායෙන් සංයතවීමි. අයිනාදනින් ද මිසහසරින් ද රහමෙර පීමෙන් ද දුරුවීමි.
676. පස් සිකපද රැක්මෙහි ඇලුණු චතුරාර්‍ය්‍යසත්‍යයෙහි දක්‍ෂවූ මම යසස් ඇති පසැස් ඇති ගෞතම බුදුරජුන්ගේ උපාසිකාවක් වීමි.
677. ඒ මට දිනපතා නෑ කුලයෙන් දැස්සක් මල්මාලා ගෙන එයි. මම ඒ සියල්ලම බුදුරජාණන් වහන්සේගේ ධාතුචෛත්‍යයට පූජා කෙළෙමි.
678. පොහෝ දිනයෙහි ගොස් මම පහන් සිත් ඇත්තී සියතින් ම මල් ගඳ විලවුන් සෑයට පිදුවෙමි.
679. දෙව්ඳුනි, යම් මාලාවක් පූජා කෙළෙම් ද, ඒ (කුශලකර්‍මයෙන්) මාගේ රූපයත් දිව්‍යගතියත් දිව්‍යර්ධියත් දිව්‍යානුභාවයත් විය.
680. යම් හෙයකින් මම සිල්වත් වීම් ද ඒ ශීලය මෙතෙක් විපාක නො දෙයි. දෙව්ඳුනි, කෙසේ නම් මම සෙදගැමිනියක් වන්නෙම් දැ යි මාගේ පැතුමෙක් ද වන්නේ යි.
විසාලක්ඛි විමාන යි.
3. 10.
681. (එම්බා දෙව්දුව) තී රමණීය වූ සිත්කලු වූ පරසතු නම් කොබෝලීල මල් රැගෙන දිවකුසුම් දම් ගොතන්නී ගයන්නී මැනැවින් සතුටු වෙහි.
682. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් කන්කලු වූ මනරම් දිව්‍ය ශබ්දයෝ සර්‍වප්‍රකාරයෙන් නික්මෙති.
683. නටන්නා වූ ඒ තීගේ අඟපසඟින් පිරිසිදු සුවඳැති මනරම් වූ දිව්‍යගන්‍ධයෝ සර්‍වප්‍රකාරයෙන් හමත්.
684. (තීගේ) ශරීරය සැලෙන කල්හි කෙස් වේණියෙහි යම් පළඳනාවෝ වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරු නද සේ ඇසේ.
685. මඳ සුළඟින් සැලෙන සුළඟින් වෙසෙසින් සැලෙන මුදුන් මල්කඩහු වෙත් ද, ඔවුන්ගේ ශබ්දය පසඟතුරු නද සේ ඇසේ.
686. තීගේ හිසෙහි පිවිතුරු සුවඳැති මනරම් වූ යම් මල්දමක් වේ ද, එහි සුවඳ (සුපිපි) මඤ්ජුස්සක වෘක්‍ෂය සේ සියලු දිගුන් පැතිර හමයි.
687. ඒ පිවැතුරු සුවඳ ආඝ්‍රාණය කෙරෙහි. ඒ දිව්‍යමය වූ රූපය දකිහි. (එම්බා) දෙව්දුව, (මා විසින්) විචාරන ලද්දී මේ විපාකය කිනම් කර්‍මයක්හුගේ දැ යි කියව.