Vimānavatthu

Stories of Heavenly Mansions

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1218 segments

පෙන්වන කොටස් 1101-1200 න් 1218

1187-88. යම් කලෙක ඒ සිද්ධාර්‍ත්‍ථකුමාර තෙමේ බුදුබව ලැබීම පිණිස මැදියම නික්මුණේ ද එකල්හි හෙතෙමේ ජාලහත්‍ථ ලකුණෙන් යුත් තඹවන් නිය ඇති මොළොක් අත් කලවෙහි සන් කොට යහළුව මම උතුම් බුදුබවට පැමිණියෙම් ලෝකයා (සසරින්) එතෙර කරන්නෙමි. එහෙයින් මා උසුලාගෙන යව යි කී ය.
1189. මා ඒ වචනය අසත් ම මට මහත් වූ සතුටෙක් විය. එකල්හි ඔදවැඩිසිත් ඇත්තා වූ එසේ ම සතුටුසිත් ඇත්තා වූ මම එය ආදරයෙන් පිළිගතිමි.
1190. මහායසස් ඇති ශාක්‍යපුත්‍ර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන් මා පිට නැඟී හුන්නාහු දැන ඔදවැඩි සිතැති වැ සොම්නස් වැ ඒ පුරුෂෝත්තමයා උසුලාගෙන ගියෙමි.
1191. ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාර තෙමේ අන්‍ය රජුන්ගේ දේශයකට ගොස් හිරු උදා වූ කල්හි මා ද ඡන්න (අසරුවා) ද හැර බලාපොරොත්තු රහිත ව බැහැර ගියේ ය.
1192. (මම) ඒ සිද්ධාර්‍ත්‍ථ කුමාරයන්ගේ තඹවන් නිය ඇති පායුවල දිවින් ලෙවීමි. යන්නා වූ ඒ මහාවීරයන් දෙස හඬමින් බලා සිටියෙමි.
1193. ශ්‍රීමත් වූ ඒ ශාක්‍යපුත්‍රයන්ගේ නො දැක්මෙන් (මම) මරණාන්තික රෝගයකට පැමිණියෙමි. එයින් වහා මාගේ මරණය වීය.
1194. ඒ පුණ්‍යකර්‍මයාගේ අනුභාවයෙන් (මම) තව්තිසා භවනයෙහි සියලු කම් සැපතින් යුක්ත වූ මේ විමානයෙහි වසමි.
1195. බුදුවීම පිළිබඳ යම් ශබ්දයක් අසා මට හර්‍ෂයෙක් වී ද, ඒ කුසලමූලයෙන් ම නිවනට ද පැමිණෙන්නෙමි.
1196. වහන්ස, ඉදින් ශාස්තෘ වූ බුදුන් වෙත යන්නහු නම් උන්වහන්සේට මාගේ වචනයෙන් ද මස්තකයෙන් මාගේ වැඳීම සැලකරනු මැනැවි.
1197. සමාන පුද්ගලයෙක් නැත්තා වූ පස්මරුන් දිනූ බුදුරජාණන් වහන්සේ දැකීමට මම ද යන්නෙමි. තාදී ගුණ ඇති ලොවට පිහිට වූ බුදුවරුන්ගේ දැකීම දුර්‍ලභ වෙයි.
1198. කළ ගුණ දන්නා වූ ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් වෙත එළඹියේ ය. හෙ තෙමේ පැනැස් ඇති බුදුන්ගේ ධර්‍මය අසා දහම් ඇස (සෝවාන් මග) පිරිසිදු කෙළේ ය.
1199. ඒ දිව්‍යපුත්‍ර තෙමේ බුදුන් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසයන් (ත්‍රිවිධ සංයෝජනයන්) නසා බුදුරදුන්ගේ සිරිපා වැඳ එහි ම අතුරුදහන් වී ය.
කන්‍ථක විමාන යි.
1200. නොයෙක් පැහැ ඇති පරිදාහයන් හා ශෝක නසන්නා වූ නොයෙක් ලෙසින් විසිතුරු වූ විමානයට නැඟී දිව්‍යප්සරා සමූහයා විසින් පිරිවරන ලදුයේ සුනිර්මිත දිව්‍යරාජයා මෙන් සතුටු වෙහි.
1201. යසසින් පිනෙන් හා ඉදුහයෙන් ඔබ හා සමාන වූවෙක් නැත. ඔබට ශ්‍රේෂ්ඨ වූයෙක් කොයින් ද?
1202. සියලු තිදස් වැසි දේවසමූහයෝ එක් ව දෙවි මිනිසුන් චන්‍ද්‍රයාට මෙන් ඒ ඔබට වඳිත්. තාගේ මේ දිව්‍යප්සරාවෝ ද හාත්පසින් නටති, ගයති, ප්‍රමුදිත වෙත්.
1203. (තෝ) දේවර්ධියට පැමිණියෙහි. මහත් අනුභාව ඇත්තෙහි. මනුෂ්‍ය වූයෙහි කිනම් පිනක් කෙළෙහි ද? තාගේ සිරුරු පැහැය ද සියලු දිගුන් බබුළුවයි, කිනම් පිනෙකින් මෙසේ දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තෙහි ද?
1204. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දේවපුත්‍ර තෙමේ තුටු සිත් ඇත්තේ මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැ යි (මෙසේ) පැවසී ය.
1205. වහන්ස, මම පෙරැ සුමේධ නම් වූ ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වූයෙමි. මම අධිගම රහිත වූ පෘථජ්ජනයෙක් වූයෙමි. ඒ මම සත් වසක් පැවිදි ගුණ මාත්‍රයෙන් හැසුරුණෙමි.
1206. ඒ මම පිරිනිවියා වූ චතුරෝඝය තරණය කළා වු තාදී ගුණ ඇති පස්මරුන් දිනූ සුමේධ නම් ශාස්තෲන් වහන්සේගේ හාත්පසින් කසුන් දැලින් වැසි රුවනින් කළ ධාතුචෛත්‍යයට වැඳ එහි සිත පැහැදවීමි.
1207. මා විසින් දෙනලද දානයෙක් නම් නො වී ය. දෙන්නට මට දෙය්‍යවස්තුවෙකුදු නැත. පිදියයුත්තහුගේ ධාතූන් පුදවු. මෙසේ මෙලොවින් ච්‍යුත ව ස්වර්‍ගයට යන්නහු යයි එහි අනුන් සමාදන් කරවූයෙමි.
1208. මා විසින් ඒ කුසල කර්‍මය කරන ලදී. (එහි විපාක විසින්) මම දිව සැපත් අනුභව කරමි. තිදස් වැසි දේවගණයා මැද මම සතුටු වෙමි. ඒ පුණ්‍යයාගේ ක්‍ෂයට ද නො පැමිණියෙමි.
අනේකවණ්ණ විමාන යි.
1209. අලඞ්කෘත වූයෙහි මටකොඬොල් ඇතියෙහි මල්බර ඇතියෙහි රන්වන් සඳුන් ඇතියෙහි වනමැද දෙ අත් බැඳගෙන හඬනෙහි. තෝ කුමක් හෙයින් දුකට පැමිණියෙහි ද?
1210. රන්මුවා වූ පැහැ විහිදෙන රිය මැදිරියෙක් මට උපන. එයට සක් යුවළක් නො ලබමි. ඒ දුකින් දිවි හරින්නෙමි.
1211. සොඳුරු මාණවකය, මට කියව. රන්මුවා වූ හෝ මිණිමුවා වූ හෝ රන්මිණිමුවා වූ වැළි රිදීමුවා වූ හෝ සක් යුවළක් තට ලබාදෙමි.
1212. ඒ මාණවක තෙමේ ඔහුට මෙසේ කී ය. මෙහි සඳ හිරු දෙදෙන පැනෙත්, මාගේ රන්මුවා රිය ඒ සක් යුවළින් හොබී.
1213. මාණවකය, යම්බඳු වූ තෝ නො පැතියයුත්තක් පතනෙහි ද? ඒ තෝ බාලයෙක් ම වෙහි. තෝ මැරෙන්නෙහි යයි හඟිමි. තෝ සඳ හිරු දෙදෙනා නො මැ ලබන්නෙහි ය.
1214. මේ අහසෙහි යාම් ඊම් පෙනෙයි. පැහැ සටහන් ද පෙනෙයි. උභය වීථිහු ද පෙනෙත්. කලුරිය කළ පරලොව ගිය පුද්ගලයා නො පෙනෙයි. මෙහි වලප්නවුන් අතුරෙන් කවරෙක් නම් ඉතා අඥාන වෙයි ද?
1215. මාණවකය, සැබවක් ම කියහි. සඳ ඉල්ලා හඬන දරුවකු මෙන් කලුරිය කළ පරලොව ගිය තැනැත්තහු පතන මම් ම වලප්නවුන් අතුරෙන් ඉතා අඥාන වෙමි.
1216. ගිතෙල් ඉසින ලද ගින්නක් මෙන් ඇවිලගත්තකු වූ ම මා දියෙන් ඉසින්නක්හු මෙන් හැම කාය චිත්ත දරථ එකැතින් නිවුයෙහි ය.
1217. යමෙක් සොවින් මඬනා ලද මාගේ පුත්‍රශෝකය දුරු කෙළේ ද හෙතෙම මාගේ හෘදය ඇසුරු කළ ශෝක නැමැති හුල උපුළේ ය.
1218. මාණවකය, ඒ මම තාගේ අනුසසුන් අසා ඉදුරූ හුල් ඇතියෙම් වෙමි, සිහිල් වූයෙම් වෙමි, නිවියෙම් වෙමි, ශෝක නො කරමි, නො හඬමි.
1219. දෙවියෙක් හෝ වෙහි ද? ගඳඹෙක් හෝ වෙහි ද? නොහොත් පුරින්‍දද නම් වූ සක්දෙව්රද වෙහි ද තෝ කවරෙක් හෝ වෙහි ද කවරකුගේ පුතෙක් හෝ වෙහි ද? අපි එ කරුණ කෙසේ දනුමෝ ද?
1220. තෙමේ පුතා සොහොනෙහි දවා යමකු සඳහා හඬනෙහි ද? යමකු සඳහා වලප්නෙහි ද? (තා පුත්) ඒ මම කුසල් කම් කොට දෙවියන්ගේ සහභාවයට පැමිණියෙමි.
1221. සියගෙයි දී ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දනක් දෙනු නො දුටුම්හ. එබඳු පෙහෙවස් විසීමක් හෝ අන් පින් කමක් හෝ නො දුටුම්හ. කිනම් කර්‍මයෙකින් දෙව්ලොවට ගියෙහි ද?
1222. මම සිය නිවෙස්හි උපන්රෝග ඇතියෙම් දුකට පැමිණියෙම් දැඩිගිලන්බැව් ඇතියෙම් ආතුරස්වභාව ඇතියෙම් වෙමි. (එකල්හි) සිවුසස් දැනගත් පහවූ කෙලෙස් ඇති දුරු කළ සැක ඇති. අලාමක නුවණ ඇති සුගතයන් වහන්සේ දුටුවෙමි.
1223. ඒ මම සතුටු සිත් ඇතියෙම් පහන් සිත් ඇතියෙම් තථාගතයන්ට ඇඳිලි කෙළෙමි. මම එ කුශලකර්‍මය කොට දෙවියන්ගේ සහබවට පැමිණියෙමි.
1224. අඤ්ජලිකර්‍මයාගේ මෙබඳු මේ විපාකය ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. ඒකාන්තයෙන් විස්මයෙකි. මමත් සතුටුසිත් ඇතියෙම් පහන්සිත් ඇතියෙම් අද ම බුදුන් සරණ යෙමි.
1225. අද ම පහන් සිත් ඇතියෙහි බුදුන් ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ කොට යව. එසේ ම සිකපද පස ද නො කඩ කොට නො පලුදු කොට සමාදන් වෙව.
1226. පණිවායෙන් වහා වෙන් වෙව. ලොවැ (හිමියන්) නුදුන් දෙය දුරු කරව. රහමෙර නො බොන්නෙක් වෙව. බොරු නො කියව. සිය අඹු සමග තුටු වෙව.
1227. යක්‍ෂය, තෝ මට වැඩ කැමැති වෙහි. දෙවිය, සුව කැමති වෙහි. තෝ මට ඇදුරු වෙහි. මම තාගේ වචනය කරමි.
1228. මම අනුත්තර වූ බුදුන් සරණ කොට යෙමි. නරදෙවිහුගේ දහම් ද සඟුන් ද සරණ කොට යෙමි.
1229. පණිවායෙන් වහා වෙන් වෙමි. ලොවැ නුදුන් දෙය දුරු කරමි. රහමෙර නො බොනුයෙම් වෙමි. බොරු ද නො කියමි. සිය අඹුව සමග තුටු වෙමි.
මට්ටකුණ්ඩලී විමාන යි.
1230. (සේරිස්සක නම්) දේවපුත්‍රයාගේ ද වෙළඳුන්ගේ ද ඒ ගමන කාලයෙහි යම් වැලිකතරක දී එක්වීමෙක් වී ද, එය අසවු. එකල්හි ඔවුනොවුන් විසින් කරන ලද සුභාෂිත වචනය යම් සේ වේ ද, තොප හැම දෙන එය ද අසවු.
1231. (සේතව්‍ය නුවරැ) පායාසි නම් යම් ඒ රජෙක් වී ද, බූමාටු දෙවියන් ගේ සහභාවයට පැමිණි පිරිවර ඇති ඒ දෙව්පුත් තෙමේ සිය විමන්හි සතුටු වෙමින් මිනිසුන්ට (මෙසේ) කීයේ ය.
1232. අමනුෂ්‍යයන්ට වාසස්ථාන වූ සැක සහිත වූ වනයෙහි නිරුදක වූ අහර නැති දුකසේ යායුතු වූ මේ වනාන්තරයෙහි වැලිකතර මැද සැකයෙන් බියට පත් ව මංමුළා වූ මිනිසුනි,
1233. මේ වැලිකතරෙහි ඵල ද අල ද නැත්තේය. ගිනි එළවන දර ද නැත. රළු වූ තැවුණා වූ උණුවැලි හා පස් හැර අහරෙක් නම් මෙහි කොයින් ලැබේ ද,
1234. රළු වූ තද පස් ඇති රත් කබලක් වැනි සැපතක් නැති නරකය බඳු වූ බොහෝ කල් පටන් පිශාව (ලුද්දක) යන්ට වාසස්ථාන වූ මේ ප්‍රදේශය ඍෂින් විසින් ශාපකරන ලද්දක් බඳු වූයේ ය.
1235. තවද, තෙපි කුමක් නිසා කවරක් බලාපෙරොත්තුවෙන් නො විමසා එකතු ව මේ පෙදෙසට පිවිසියාහු ද? ලෝභයෙන් පැමිණියාහු ද? නොහොත් බියෙකින් පැමිණියාහු ද? නැතහොත් මං මුළාවූවාහු ද?
1236. (එම්බා දේවපුත්‍රය) අඟු මගද දෙරට සාර්‍ත්‍ථවාහක වූ ඒ අපි ගැල්හි බොහෝ විකිණියයුතු බඩු පුරාගෙන ලාභාපේක්‍ෂා ඇති ව වැඩි ධනාශා ඇති ව සින්‍ධුසෝවීර දේශයට යම්හ.
1237. දවල් පවස නො ඉවසිය හැකි ව ගොනුන්ට හා මිනිසුන්ට ඵාසු බලන්නමෝ මේ වේගයෙන් පැමිණියම්හ. ඒ අපි සියලු දෙන රෑ නොකල්හි මාර්‍ගයට පිළිපන්නමෝ වෙමු.
1238. නො මග පැමිණියා වූ වැරැදැ ගිය මඟ ඇත්තා වූ අන්‍ධයන් මෙන් ආකුල වූ නැසුණා වූ වනයෙහි අතිශයින් මුළා වූ සිත් ඇති ඒ අපි මේ දුර්‍ගම වූ වැලිකතර මැද යායුතු දිශාව නො දනුම්හ.
1239. (එම්බා) දේවපුත්‍රය, පෙරැ නො දුටු විරූ මේ උතුම් විමන ද තා ද දැක මෙතැන් පටන් දිවි ලබම්හ යි සිතා ප්‍රීති වූවමෝ සොම්නස් සිතැත්තමෝ ඔද වැඩි සිතැත්තමෝ වෙමු.
1240. (එම්බා පින්වත්නි,) මුහුදෙන් එතෙර ද මෙබඳු වැලිකතරෙහි ද වේවැල් බැඳ යායුතු මාර්‍ගවල ද කණු සිටුවා යායුතු මාර්‍ගවල ද නදී පර්‍වතාදී දුර්‍ගම ප්‍රදේශවල ද වස්තු හේතුවෙන් තෙපි නොයෙක් දිගට යන්නහු ය.
1241. අන් රජවරුන්ගේ විජිතයන්ට පැමිණ නොයෙක් රටවල මිනිසුන් දකිමින් තොප විසින් යමක් අසන ලද්දේ ද, තවද යමක් දක්නා ලද ද දරුවෙනි, ඒ ආශ්චර්‍ය්‍යය තොප වෙතික් අසම්හ.
1242. (එම්බා) දේවකුමාරය, මානුෂික වූ සියලු ඉසුරු සම්පත් ඉක්ම ගිය මේ සැපතට වඩා අතිශය ආශ්චර්‍ය්‍ය වූවක් අප විසින් දක්නා ලද හෝ අසන ලද හෝ නො වෙයි. තවද, ඒ අලාමක වර්‍ණය දැක තෘප්තියට නො පැමිණියම්හ.
1243. බොහෝ වූ හෙළ පියුම් ඈ මලින් ගැවසීගත් පොකුණු අහසෙහි ගලාබසිත්. ඵලයෙන් ගැවසීගත් අතිශය සුවඳවත් වූ මේ වෘක්‍ෂයෝ ද සුවඳ වහනය කෙරෙත්.
1244. සියක් රියන් පමණ උස් වූ දීර්‍ඝායු ඇති වෙරළුමිණියෙන් පබළුයෙන් කළ ස්තම්භයෝ ද මැසිරිගලින් හා රතුමිණියෙන් කළ ස්තම්භයෝ ද යන මොහු ජ්‍යොතිෂ්මත් වූවාහු ය.
1245. දහස් ගණන් ටැම් ඇති අතුල්‍ය වූ අනුභාව ඇති රනින් ගැවසුණු කසුන්මුවා වේදිකාවෙන් යුත් රන්පටින් මනාව වසන ලද තාගේ මේ සුන්‍දර විමානය ඒ ස්තම්භමස්තකයෙහි පිහිටියේ වෙයි.
1246. මේ විමන අතිශයින් ඔප් නැගූ දඹරනින් බබළන්නේ ය. එහි සුමට වූ ප්‍රාසාද සෝපාන ඵලකයෙන් යුත් ස්ථිර වූ මනෝඥ වූ මනාව සංගත වූ ප්‍රසාද අවයව තෙමේ ඉතා දැකුම්කලු වූයේ මනරම් වේ.
1247. මේ රුවන් විමන ඇතුළත බොහෝ ආහාරපාන ඇත්තේ ය. දිව්‍යාප්සරා සමූහයා විසින් පිරිවරන ලද්දෙහි. මිහිඟු බෙර පනාබෙර තූර්‍ය්‍යනාදයෙන් නිති පැවති ඝෝෂ ඇත්තෙහි. ස්තුතිගීතිකායෙන් අභිවාදන කරන ලදුයෙහි.
1248. ඒ වෙසවුණු රජ තෙමේ නලිනී නම් ක්‍රීඩාස්ථානයෙහි යම්සේ ද, එසේ ඒ තෝ ද නාරිගණයා විසින් ප්‍රබෝධිත වූයෙහි. නො සිතිය හැකි අනුභාව ඇතියෙහි, සියලු ගුණයෙන් යුක්ත වූයෙහි. මනරම් වූ ඒ උතුම් විමන් පහයෙහි සතුටු වෙහි.
1249. තෝ දෙවියෙක් වෙහි ද? නොහොත් යක්‍ෂයෙක් වෙහි ද? නොහොත් සක්දෙවිඳු වෙහි ද? මිනිස් දෑ ඇතියෙහි ද? (එම්බා) දේවපුත්‍රය, තෝ කිනම් වෙහි දැ යි මේ සාර්‍ත්‍ථවාහක වෙළෙන්දෝ විචාරති. කියනු මැනැවි.
1250. (එම්බා වෙළඳුනි,) කතරෙහි නියුක්ත වූ වැලි කතරෙහි ආරක්‍ෂක වූ මම සේරිස්සක නම් යක්‍ෂයා වෙමි. වෙසවුණු රජුගේ වචනය කරන්නෙම් මේ ප්‍රදේශය පාලනය කරමි.
1251. (එම්බා දිව්‍යපුත්‍රය,) තාගේ සම්පත්තිය අහේතුක ව ලද ද? කාල පරිණාමයෙන් ලද ද? තමා විසින් ම නිපදවූවක් ද? නොහොත් දෙවියන් විසින් හෝ දෙන ලද්දක් ද, මනෝඥ වූ මේ සැපත තා විසින් කෙසේ ලද දැ යි සාර්‍ත්‍ථවාහක වෙළෙන්දෝ තා විචාරත්. එය කියනු මැනැවි.
1252. (වෙළඳුනි,) මාගේ මේ සැපත අහේතුක ව ලද්දක් නො වේ. කාල පරිණාමයෙන් ලද්දක් නො වේ. තමා විසින් නිපදවන ලද්දක් හෝ නො වෙයි. දෙවියන් විසින් දෙන ලද්දක් නො වේ මැ යි. අලාමක ස්වකීය පුණ්‍යකර්‍ම කරණ කොටගෙන මා විසින් මේ මනෝඥ සැපත ලබන ලදී.
1253. (එම්බා දේවපුත්‍රය,) (ඒ) තාගේ ව්‍රත සමාදානය කුමක් ද? (තාගේ) උතුම් හැසිරීම කුමක් ද? මේ විපාකය කවර නම් කුශල කර්‍මයක්හු ගේ ද? මේ විමන තා විසින් කෙසේ ලබන ලද දැ යි සාර්‍ත්‍ථවාහක වෙළෙන්දෝ ඔහු විචාරති.
1254. යම් කලෙක කොසොල් රට රජය කරවීම් ද, (ඒ) මට පායාසිරාජඤ්ඤ යි නමෙක් විය. එකල්හි මම නාස්තිකදෘෂ්ටි ඇති තද මසුරු වූ ලමු සැහැවි ඇති උච්ඡේදවාදි යෙම් වීමි.
1255. එකල්හි බහුශ්‍රුත වූ චිත්‍රකථික වූ උදාර වූ කුමාරකස්සප නම් ශ්‍රමණ කෙනෙක් වූහ. උන් වහන්සේ මට බණ වදාළ සේක. මාගේ දෘෂ්ටිහු ද දුරු කළ සේක.
1256. මම උන්වහන්සේ ගේ ඒ ධර්‍මකථාව අසා උපාසකත්‍වය ගිවිස්සෙමි. පණිවායෙන් දුරු වූයෙම් වීමි. ලොවැ නුදුන් දෙය දුරු කෙළෙමි. රහමෙර නො බොනුයෙම් වීමි. බොරු නො ද කීමි. සිය අඹුව හා තුටු වීමි.
1257. ඒ මාගේ ව්‍රතසමාදානය යි. ඒ (මාගේ) උතුම් හැසිරීම යි. මේ ඒ කුශලකර්‍මයාගේ විපාක යි. ඒ අලාමක වූ කුශලකර්‍මයන් කරණකොට ගෙන මා විසින් මේ විමානය ලබන ලදී.
1258. කළ පින් ඇති පුද්ගලයා යම් යම් තැනක යේ නම් ඒ ඒ තන්හි කැමැති සම්පත් ඇති ව සතුටු වේ යයි. නුවණැති මනුෂ්‍යයෝ සැබවක් ම කීවාහු ය. පණ්ඩිතයන්ගේ වචනය වෙනස් නො වේ.
1259. අකුසල් කළ පුද්ගල තෙමේ යම් යම් තැනෙක (ඉපදීම් වශයෙන්) යේ ද, (හෙ තෙමේ) ඒ ඒ තන්හි සෝ වැලැපුම් ඇතියේ වද විඳුම් ඇතියේ අවැඩ දැනවීම් ඇතියේ කිසිකලෙකත් දුගතියෙන් නො මිදෙයි.
1260. දිව්‍යජන තෙමේ මේ මොහොතෙයි කැළඹුණකු මෙන් ද හැමතින් මුළා වූ සැහැවි ඇතියකු මෙන් ද විය. කුමාරය, මේ පිරිවර ජනයාගේ ද තාගේ ද මේ දොම්නස කුමක් නිසා වී ද?
1261. දරුවෙනි, මහරිරුක් වනයෙන් මේ දිවගඳහු හමති. ඒ දිවගඳහු දව රෑ අඳුර නසා මේ විමානයට හමත්.
1262. මේ මහරිරුක් එක් එක් මල් පෙති හවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් පැසී වැටෙ යි. යම් දිනක පටන් මේ දිව්‍ය ආත්මයෙහි උපන්නෙම් වෙම් ද? (එතැන් පටන්) මිනිස් සියවසරෙක් ඉක්මිණි.
1263. දරුවෙනි, මේ විමන්හි මම පන්සිය වසරක් සිට ආයු හා පින් පිරිහීමෙන් ච්‍යුත වන්නෙමි යි දැක ඒ ශෝකයෙන් ම අතිශයින් මුසපත් වීමි.
1264. (එම්බා දේවපුත්‍රය,) චිරායුෂ්ක වූ අතුල්‍ය වූ මේ විමානය ලැබූ එබඳු වූ තෝ කෙසේ නම් ශෝක කරන්නෙහි ද? මඳ ආයු ඇති ව උපන් මඳ පිනැති යම් කෙනෙක් වෙත් නම් ඔහු ඒකාන්තයෙන් ශෝක කරන්නාහු ය.
1265. (එම්බා) දරුවෙනි, මා පිළිබැඳි ඒ සුදුසු ප්‍රිය වූ අවවාද වචනයක් යම් හෙයෙකින් මට කියහු ද? ඒ තෙපි ද මා විසින් රක්‍ෂිත වූවාහු යම් ඒ කැමැති තැනකට සැපසේ යවු.
1266. ධනය බලාපෙරොත්තු වූ එහි වැඩීම ප්‍රාර්‍ත්‍ථනා කරන්නා වූ අපි සින්‍ධු සෝවීර භූමිප්‍රදේශයට ගොස් ප්‍රතිඥා පරිදි වූවාහු පිරිපුන් ත්‍යාග ඇත්තාහු උදාර වූ සේරිස්සක පූජාවක් කරන්නෙමු.
1267. සෙරිස්සකපූජා නො කරවු. යමක් තෙපි කියවු ද? (ඒ) සියල්ල එසේ ම වන්නේ ය. පව්කම් හරිවු. දහම් අනුව හැසිරීම ඉටා ගනිවු. (මේ සේරිස්සක පූජා යි).
1268. මේ සත්ත්‍ව සමූහයා අතුරෙහි බහුශ්‍රුත වූ ශීලව්‍රතයෙන් යුක්ත වූ සැදැහැති ත්‍යාගවත් සුපේසල වූ විචක්‍ෂණ වූ ප්‍රීතිමත් වූ කම්පල දැනීමේ නුවණ ඇති උපාසකයෙක් ඇත.
1269. දැන දැන බොරු නො කියන්නේ ය. පරපණ නැසීම පිණිස නො සිතන්නේ ය. සමගි වූවන් වෙන් කරන පිසුනු බස් නො කියන්නේ ය. සියුම් මෙළෙක් බස් කියන්නේ ය.
1270. ගෞරව සහිත වූ කීකරු සැහැවි ඇති හික්මුණු පව් නොකරන්නා වූ (උපාසකයන් විසින් රැකියයුතු) අධිශීලයෙහි පිරිසිදු වූ නිදොස් පැවතුම් ඇති ඒ සත්ත්‍ව තෙමේ මව ද පියා ද දැහැමෙන් පෝෂණය කරයි.
1271. නිවනට නැමුණු යමෙක් මවු පියන්ගේ ඇවෑමෙන් ශාසන බ්‍රහ්මචර්‍ය්‍යයෙහි හැසිරෙන්නේ ද, හෙතෙමේ මවුපියන් නිසා භොග සොයයි. තමා පිණිස නො සොයතී සිතමි.
1272. ඍජු වූ අවංක වූ අසඨ වූ අමායාවී වූ හෙතෙමේ කප්පිය ලෙසයෙන් (මායා සාඨෙය්‍ය විසින්) වචන නො කියන්නේ ය. එබඳු යහපත් කර්‍ම කරන ධර්‍මයෙහි පිහිටි පුද්ගල තෙමේ කෙසේ නම් දුකක් ලබන්නේ ද?
1273. ඒ උපාසකයා හේතුකොට (තොප ඉදිරියෙහි) මම තෙමේ ම පහළ වූයෙමි. එහෙයින් වෙළෙඳුනි, ධර්‍මය දකිවු. ඒ උපාසකයා හැර මෙහි (ආවාහු නම්) තෙපි අන්‍යයා විසින් පීඩා කිරීම කරණ කොට මේ මරු කතරැ අන්‍ධයන් මෙන් ආකූල වූවාහු විනාශයට පත් වූවාහු වහා අළු වන්නාහු ය. ඒකාන්තයෙන් සත්පුරුෂ සඞ්ගමය සැප වේ.
1274. (එම්බා) දේව පුත්‍රය, හෙතෙමේ කිනම් ඇත්තේ ද? කිනම් කර්‍ම කරයි ද? (මවුපියන් විසින් ඔහුට) තිබූ නම කුමක් ද? ඔහුගේ ගෝත්‍රය කුමක් ද? අපි දු ඔහු දක්නා කැමතියම්හ. ඒ එසේ මැ යි. තෝ යමකුට අනුකම්පාවෙන් මෙහි පැමිණියෙහි ද, යමෙකුට ප්‍රිය කෙරෙහි ද? ඔහුගේ (පැමිණීම) ලාභයෙක් මැ යි.
1275. කොස්සෙන් හා පනාවෙන් ජීවත්වනසුලු වූ තොපගේ ඒ සේවක වූ සුපේසල උපාසක වූ ප්‍රසිද්ධ වූ සම්භව නම් කරනවෑමියෙක් වේ ද, ඔහු දනිවු. ඔහු පහත් කොට නො සිතවු.
1276. (එම්බා) දේව පුත්‍රය, යමකු සඳහා තෙපි කියවු ද, අපි ඔහු දනුම්හ. හෙතෙමේ ගුණවශයෙන් මෙබඳු යයි ඔහු නො දනුම්හ. දේවපුත්‍රය තාගේ උදාර වූ වචනය අසා අපි දු ඔහු පුදන්නෙමු.
1277. මේ වෙළඳමුළෙහි හෙවත් තවලමෙහි තරුණ වූ මහලු වූ තවද මැදුම් වූ යම්කිසි මසුරු මිනිස්සු වෙත් ද, ඒ සියල්ලෝම මේ විමනට නගිත්වා. පින්පල බලත්වා.
1278. එහි ඒ සියලු දෙන ම ‘මම පෙරටු වෙමි, මම පෙරටු වෙමි’ යි එහි ඒ කරනෑවෑමියා පෙරටු කොට (උත්සාහවත් වූහ.) ඒ සියල්ලෝ ම තව්තිසා භවනයට මෙන් ඒ විමානයට නැංගාහු ය.
1279. එහි ඒ සියලු දෙන ම ‘මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’ යි උත්සුක වෙමින් උවසු බව ගිවිස්සාහු ය. පණිවායෙන් දුරු වූහ. ලොව නුදුන් දෑ ගැන්ම දුරු කළාහු ය.
1280. මත්පැන් නො පූහ. බොරු නො බිණූහ. සිය අඹුව හා තුටු වූහ. එහි සියලු දෙන ම ‘මම පෙරටු වෙමි. මම පෙරටු වෙමි’ යි උත්සුක ව උවසු බව ගිවිස්වා ඒ වෙළඳමුළ ඒ දෙව්පුත් විසින් අනුමත වූයේ දිව්‍යර්ද්ධියෙන් නැවත නැවතත් අනුමෝදන් වනුයේ කැමැති තැනට ගියේ ය.
1281. ධනාර්ත්‍ථීවූ අධික ලාභාශා ඇත්තා වූ ඔවුහු සින්‍ධු සෝවීර භූමියට ගොස් සිතැඟි පරිදි වෙළඳාම් කොට පිරිපුන් ලාභ ඇත්තෝ යළි නිරුපද්‍රැත වැ පැළලුප් නුවරට ආවාහු ය.