Udāna

Inspired Utterances

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 821 segments

පෙන්වන කොටස් 701-800 න් 821

භද්දිය සූත්‍ර දෙක ද, සක්තසූත්‍ර දෙක ද, ලකුණ්ටකභද්දිය සූත්‍රය ද, තණ්හාක්ඛය සූත්‍රය ද, පපඤ්චක්ඛය සූත්‍රයද, කච්චාන සූත්‍රය ද, උදපාන සූත්‍රය ද, උදේන සූත්‍රය දැයි සූත්‍ර දශයෙකි.
පාටලිගාමිය වර්‍ගය
පළමුවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන් පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන්තතු දක්වන සේක. එය ගන්වන සේක. එය ගැන්මෙහි උත්සාහවත් කරන සේක. නිවන්ගුණයෙන් මොනොවට සතුටු කරන සේක. ඒ මහණහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, ඒ දේශනාව සිත්හි කොට මුළු සිතින් සමනා නතු කළ කන් ඇත්තාහු බණ අසති.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මහණෙනි, යමෙක්හි පෘථිවිධාතුව නැද්ද, ආපෝධාතුව නැද්ද, තේජෝධාතුව නැද්ද, වායුධාතුව නැද්ද, ආකාසානඤ්චායතන සිත නැද්ද, විඤ්ඤාණඤ්චායතන සිත නැද්ද, අකිඤ්ඤචඤ්ඤායතන සිත නැද්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත නැද්ද, මේ (ස්කන්‍ධ) ලෝකය නැද්ද, මෙයින් උපදනා අන්‍ය (ස්කන්‍ධ) ලෝකයකුත් නැද්ද, (එහි අඳුරක් නැති බැවින් අඳුර දුර ලන්නට) සඳහිරු දෙදෙනෙකුත් නැද්ද, එසේ වූ ඒ ආයතනය (මාර්‍ග ඵලසිතට අරමුණුවන නිවන) ඇත. මහණෙනි, එහිත් කිසිවෙකුගේ ඊමක් යෑමක් සිටීමක් මරණයක් මැරී ඉපැත්මක් නො කියමි. මෙය කිසිවෙක නො පිහිටි, ප්‍රත්‍යයයන්ගෙන් නො පවත්නා, කිසිම අරමුණෙක නො එල්බෙන දහමෙකි. මෙය ම දුකෙහි කෙළවර ය.”
දෙවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන් තතු දක්වන සේක. එය ගන්වන සේක. එහි උත්සාහවත් කරන සේක. සතුටු කරන සේක. ඒ මහණහු ද එයින් ප්‍රයෝජන ඇති ව ඒ දෙසුම සිත්හි කොට මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා ) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“(ස්වභාවයෙන් ගැඹුරු බැවින් ඉතා සියුම් බැවින් නුවණ නො මුහුකළවුන් විසින්) දැක්ක නොහැකි, තෘෂ්ණා රහිත, ඒකාන්තයෙන් ඇත්තා වූ නිවන නම් සුවසේ දැක්ක හැකි නො වේ. ප්‍රහාණාභිසමය වශයෙන් තෘෂ්ණාව පිළිවිදුනා ලදී. අරීමඟනුවණින් දන්නාහට දක්නාහට තෘෂ්ණා පරිබෝධයෙක් නැත.”
තෙවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන පිළිබඳ දැහැමි කතායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්‍ෂූහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මහණෙනි, (වේදනාදීන් මෙන් හේතුප්‍රත්‍යය සමවායයෙන්) නො උපන්, (කාරණයෙන් තොර ව තෙමේ ම) පහළ නොවූ, කිසිවෙකින් නො කරන ලද, ප්‍රත්‍යයයෙන් අසංස්කෘත වූ නිර්‍වාණ ධර්‍මය (පරමාර්‍ත්‍ථ වශයෙන්) ඇත. මහණෙනි, මේ හේතුප්‍රත්‍යයයෙන් නො උපන්, නො පහළ වූ නො කරන ලද, අසංස්කෘත වූ නිර්‍වාණධාතුව (පරමාර්‍ත්‍ථවශයෙන්) අවිද්‍යමාන නම්, මෙහි හේතුප්‍රත්‍යයයෙන් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) නො පැනෙන්නේ ය. (නො ලැබියැ හැකි වන්නේ ය.) මහණෙනි, යම් හෙයෙකින් ම නො උපන්, නො පහළ වූ, නො කරන ලද, අසංස්කෘත ධාතුවෙක් පරමාර්‍ත්‍ථ වශයෙන් ඇත් ද, එහෙයින් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) පැනේ.”
සිවුවන නිර්‍වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිර්‍වාණප්‍රතිසංයුක්ත ධර්‍ම කථායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්‍ෂූහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා), නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
(තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) සංස්කාරයන් ඇසුරු කළාහට (සුවදුක් ආදිය උපන් කල්හි) සිත්සතන්හි කම්පනය වේ. (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) සංස්කාරයන් ඇසුරු නොකළාහට (හෙවත් විවසුන් වඩන්නාහට තෘෂ්ණාදෘෂ්ටීන් අනිශ්‍රිත බැවින්) කම්පනයෙක් නැත. කම්පනය නැති කල්හි සිත්සතන්හි සංහිඳීම වේ. සංහිඳීම ඇති කල්හි විවසුන් වඩනුවාහට අර්‍හත්ත්‍ව මාර්‍ගක්‍ෂණයෙහි දී කාමාදි භවයන්හි නැමීම (හෙවත් තෘෂ්ණාව) නො වේ. භවයන්හි නැමීම නැති කල්හි පිළිසිඳ විසින් මේ භවයට ඊමෙක් මෙයින් අන් භවයකට යෑමෙක් නො වේ. භවයෙන් භවයට ඊමක් නැති කල්හි ච්‍යුති උප්පත්ති (මරණයට අනතුරු වැ ඉපැත්ම) නො වේ. ච්‍යුති උප්පත්ති නැති කල්හි මෙහි (කාමභවයේ) ද එහි (අරූපභවයේ) ද මෙ දෙක අතරේ (රූපභවයේ) ද පැවැත්ම නැත. මෙය ම දුකේ කෙළවර ය.”
චුන්‍ද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරි සරා වඩනා සේක්, පාවා නුවරට පැමිණ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්‍ද කාර්‍මාර පුත්‍රයාගේ අඹවනයෙහි වැඩ වසන සේක.
2. “භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයක් හා මල්ල රටැ සැරි සරන සේක්, පාවා නුවරට වැඩි සේක්, පාවානුවර සමීපයේ වූ මාගේ අඹවෙනෙහි වැඩ වසන සේක් ලු”යි චුන්‍ද කාර්‍මාරපුත්‍ර ඇසී ය. ඉක්බිති චුන්‍ද කාර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන් චුන්‍දකාර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කුසල් දහම් දැක් වූ සේක, එය මොනොවට ගැන්වූ සේක, එහි උත්සාහවත් කළ සේක, එහි තුටුපහටු කළ සේක.
3. එ කල්හි චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් කුසල් දහම් දක්වන ලද්දේ, මොනොවට ගන්වන ලද්දේ, උත්සාහවත් කරන ලද්දේ, තුටුපහටු කරන ලද්දේ, භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා හා සෙට මාගේ බත ඉවසන සේක් වා”යි කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක. ඉක්බිති චුන්‍ද කාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගී සිට, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, පැදකුණු කොට, නික්මැ ගියේ ය.
4. ඉක්බිත්තෙන් චුන්‍දකාර්‍මාරපුත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍ය ද බොහෝ සූකරමාර්‍දව ද පිළියෙල කරවා “වහන්ස, කාලය පැමිණියේ ය. බත පිළියෙල කොට නිමියේ යැ”යි කල් දන්වා යැවී ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන, බික්සඟන හා චුන්‍දකාර්‍මාර පුත්‍රයාගේ ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ම භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද කාර්‍මාරපුත්‍රයා බණවා, “චුන්‍දයෙනි, යම් සූකරමාර්‍දවයෙක්{1} තොප විසින් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව. යම් අන් ඛාද්‍ය භොජ්‍යයෙක් පිළියෙල කරන ලද ද එයින් බික්සඟන වළඳවව”යි වදාළ සේක.
5. ‘එසේය, වහන්සැ’යි කියා චුන්‍ද කාර්‍මාරපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිළියෙල කරන ලද යම් සූකරමාර්‍දවයෙක් වී නම් එයින් භාග්‍යවතුන් වහන්සේ වැළැඳැවීය. යම් අන් ඛාද්‍යභෝජ්‍යයෙක් පිළියෙල කරන ලද නම් එයින් බික්සඟන වැළැඳැවීය.
6. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චුන්‍දකාර්‍මාර පුත්‍ර බණවා “චුන්‍දයෙනි, යම් සූකරමාර්‍දවයෙක් ඉතිරි ව ඇද්ද, එය වළැ ලවු. චුන්‍දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව් මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජායෙහි, යමකු විසින් එය වළඳන ලද්දේ මොනොවට දිරීමට යන්නේ නම්, එ වැන්නතු තථාගතයන් හැර මම් නො දකිමි”{1}යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා චුන්‍ද කාර්‍මාරපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, යම් ඉතිරි සූකරමාර්‍දවයෙක් වී එය වළැ ලා භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එක් පසෙක හුන්නේ ය. එක් පසෙක හුන්නාවූ චුන්‍ද කාර්‍මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කටයුතු නොකටයුතු දක්වා, කටයුතු දැය මොනොවට සිතට ගන්වා, එහි උත්සාහවත් කොට, සතුටු කොට හුනස්නෙන් නැඟි වැඩිසේක.
7. ඉක්බිත්තෙන් චුන්‍ද කාර්‍මාරපුත්‍රයාගේ බත වැළැඳූ භාග්‍යවතුන් වහන්සේට, (එයින් තුන් මසකට පෙර බේළුව ගමෙහි දී උපන් ආබාධය මේ තාක් ම දින පතා සමවත් සමවදිමින් මැඩ පවත්වා යට පත් කරන ලද නුමුත් සිය සිරුරෙන් ම සත්ත්‍වයනට සංවේගය උපදවන අදහසින් චුන්‍දයාගේ දානයෙන් පසු එය මතු වන්නට ඉඩ දී සමවත් නො සමවන් බැවින්) ක්‍රෑර වූ ලෝහිතපක්ඛන්‍දිකා ආබාධය උපන. මරණය ළං කරන තරම් වූ දැඩි දුක් වේදනාවෝ ඇත. එහි දී භාග්‍යවතුන් වහන්සේ එළැඹ සිටි සිහි ඇති සේක්, නුවණින් පිරිසිඳ දන්නාහු, එයින් නො පෙළෙන්නාහු, එය ඉවැසූ සේක.
8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, ‘අනඳ යෙනි, එව, යමු. කුසිනාරාව කරා එළැඹෙන්නෙමු’යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
“චුන්‍ද කාර්‍මාරයාගේ බත වළඳා ඉක්බිති ධීර වූ භාග්‍යවතුන් වහන්සේ ඉතා දැඩි වූ මරණය ළං කරන තරම් වූ ආබාධයක් ස්පර්‍ශ කළ සේක.
සූකරමාර්‍දවය හා (බොජුන්) වැළැඳූ ශාස්තෲන් වහන්සේට ඉතා දැඩි ව්‍යාධියෙක් උපන. භාග්‍යවතුන් වහන්සේ එක්වන් පැවැති ලෝහිතවිරේචනය ඇති සේක්, ‘මම් කුසිනාරා නුවරට යමි’යි වදාළ සේක.”{*}
9. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මඟින් පහ වැ එක්තරා රුක්මුලක් කරා වැඩි සේක. වැඩ අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි දැන් සඟල සිවුර සතරපටක් කොට පණවවු. ක්ලාන්තයෙමි. හිඳ ගන්නෙමි’යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී සඟල සිවුර සතර පටක් කොට පැනැවූහ. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද එ අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ ම අනඳ තෙරුන් අමතා ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙව. අනඳයෙනි, පවස් ඇත්තෙමි. පැන් බොන්නෙමි’යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි අනඳ තෙරණුවෝ “වහන්ස. දැන් පන්සියක් පමණ ගැල් ඉක්ම ගියේ ය. ඒ ගැල්සකින් සුන් ස්වල්ප වු ජලය බොර වූයේ කැළඹුණේ ගලා යෙයි. වහන්ස, පහන් දිය ඇති, මිහිරි දිය ඇති, සිසිල් දිය ඇති, බොර නො වූ දිය ඇති, මනා කොට ඇති මේ කුකුත්‍ථා නදිය නොදුරෙහි ගලා යෙයි. භාග්‍යවතුන් වහන්සේ එහි දී පැන් බොන සේක. ගාත්‍ර ද සිසිල් කැරැ ගන්නා සේකැ”යි කීහ. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා ‘අනඳයෙනි, දැන් තෙපි මට පැන් ගෙනෙව. අනඳයෙනි, පවස් ඇත්තෙමි. පැන් බොන්නෙමි’යි වදාළ සේක. දෙවෙනුව ද අනඳ තෙරණුවෝ, ‘.... සිසිල් කැරැ ගන්නා සේක් ව’යි කීහ. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙව. පවස් ඇත්තෙමි. පැන් බොන්නෙමි’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පාත්‍රය ගෙන ඒ නදිය කරා එළැමුණහ.
10. එකල්හි ඒ නදිය ගැල්සකින් මැඩුණී, මඳ දිය ඇත්තී බොර වූවා කලැඹුණී ගලා යන්නී, අනඳ තෙරුන් එළැඹෙන කල්හි පැහැදුණු පැහැදුණු දිය ඇති ව වෙසෙසින් පහන්ව, නොකැළඹුණී ගලයි. එ කල්හි අනඳ තෙරුනට “භවත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව, මහානුභාව ඇති බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍ය ය, ඒකාන්තයෙන් අද්භූත ය. ගැල්සකින් බිඳුණු මඳ දිය ඇති, කැළැඹුණු, බොර ව ගලන මේ නදිය වු කලි මා එන කල්හි පහන් වැ වෙසෙසින් පෑදුණු දිය ඇති ව, නො කැළැඹී ගලා යැ’යි මේ සිත විය. ඉක්බිති පාත්‍රයෙන් පැන් ගෙන, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ, “වහන්ස, තථාගතයන්ගේ මහත් ඍද්ධි ඇති බව, මහානුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. වහන්ස, මේ නදිය වනාහි ගැල්සකින් බිඳුණී මඳ දිය ඇත්තී, බොර වූවා, කැළැඹුණී ගැලූය. එය මා එළැඹෙන කල්හි පිරිසිදුව පහන් දිය ඇති ව, කැලැඹුම් නැති ව ගලා යයි. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක් වා. සුගතයන් වහන්සේ පැන් වළඳන සේක් වා”යි කීහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳූ සේක:
11. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුවැ කුකුත්‍ථා නදිය කරා එළැඹුණු සේක. එළැඹ කුකුත්‍ථා නදියට බැස නා ද පැන් වළඳා ද නැවැත ගොඩ නැඟ අඹවනය කරා එළැඹි සේක. එළැඹ චුන්‍දකතෙරුන් බණවා, ‘චුන්‍දකයෙනි, දැන් මට සඟල සිවුර සතර පටක් කොට පණවව. චුන්‍දකයෙනි, ක්ලාන්තයෙමි. වැද හෙන්නෙමි’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා චුන්‍දක තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, සඟළ සිවුර සතරපටක් කොට පැණැවූහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ දකුණු පයෙහි වම්පය මඳක් හයා තබා සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්ත වැ නැගිටීමෙහි සංඥාව සිත්හි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක. චුන්‍දක තෙරණුවෝ වනාහි එහි ම භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි වැඩ හුන්හ.
“මෙ ලොවැ අප්‍රතිසම ශාස්තෘ වූ තථාගත බුදුරජහු ඉතා ක්ලාන්ත ස්වභාව ඇත්තාහු පිරිසිදු මිහිරි දිය ඇති වෙසෙසින් පහන් වූ කුකුත්‍ථා නදියට බටහ.
ශාස්තෘහු ස්නානය ද කොට පැන් ද වළඳා ගොඩ නැංගහ. මෙ ශාසනධර්‍මයේ ප්‍රවක්තෘ වූ ශාස්තෘ වූ මහර්ෂී වූ භාග්‍යවත්හු භික්‍ෂුගණයා මැද පුරොගාමී වූවාහි අඹවනයට එළැඹියහ.
චුන්‍දක නම් භික්‍ෂුහු අමතා ‘මා සඟළසිවුර සැතැපෙන්නට සුදුසු කොට සතර පටක් කොට එළව’යි වදාළහ. භාවිතාත්ම වූ බුදුරජුන් විසින් මෙහෙයන ලද චුන්‍දක මහණ තෙම මහා ම එය සතර පටක් කොට පැනැවී ය.
ශාස්තෘහු ඉතා ක්ලාන්ත ස්වභාව ඇත්තාහු එහි වැද හොත්හ. චුන්‍දක තෙරත් ඉදිරියෙහි හුන්නේ ය.”{*}
12. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා මෙසේ වදාළ සේක: “අනඳයෙනි, චුන්‍ද කාර්‍මාරපුත්‍රයාහට ‘ඇවැත් චුන්‍දය, තථාගත තෙම යමක්හුගේ අන්තිම පිණ්ඩපාතය වළඳා පිරිනිවියේ ද, ඒ තට අලාභ ය. ඒ තා විසින් මිනිසත් බව නොයහපත් කොට ලබන ලද්දෙකැ’යි කිසිවෙක් විපිළිසරක් උපදවන්නේ ය යන්න වියැ හැක්ක. අනඳයෙනි, චුන්‍ද කාර්‍මාර පුත්‍රයාගේ විපිළිසර මෙසේ දුරු කටයුතු ය: ‘යම් බඳු තාගේ පශ්චිම පිණ්ඩපාතය වළඳා තථාගත තෙම පිරිනිවියේ ද ඒ තට ලාභ ය, ඒ තා විසින් මිනිසත් බව මොනොවට ලබන ලද්දේ ය. අන් පිණ්ඩපාතයනට වඩා මහත්පල ඇති, වඩා මහත් අනුසස් ඇති, හැම අයුරින් සම පල ඇති, සම විපාක ඇති මේ පිණඩපාතයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක් ද යත්: යම් පිණ්ඩපාතයක් වළඳා තථාගත තෙම නිරුත්තර සම්‍යක්සම්බෝධියට පැමිණේ ද, යම් පිණ්ඩපාතයක් වළඳා තථාගත තෙම නිරුපාදිශේෂ නිර්‍වාණධාතුයෙන් පිරිනිවේ ද, මේ පිණ්ඩපාත දෙක අන් පිණ්ඩපාතයනට වඩා මහත්පල ඇත්තාහුත් වඩා මහත් විපාක ඇත්තාහුත් වෙත්. ආයුෂ්මත් චුන්‍ද කාර්‍මාරපුත්‍රයා විසින් දීර්‍ඝායුෂ පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් වර්‍ණය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍ද කාර්‍මාරපුත්‍රයා විසින් වර්‍ණය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් සුවය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් ස්වර්‍ගය පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ ය. ආයුෂ්මත් චුන්‍දකාර්‍මාරපුත්‍රයා විසින් අධිපති බව පිණිස පවත්නා කර්‍මයෙක් රැස් කරන ලද්දේ යැ’යි. ඇවැත් චුන්‍දය, භාග්‍යවතුන් වහන්සේගේ හමුයෙහි ම මා විසින් මෙය අසන ලදී. භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි ම මෙය මා විසින් පිළිගන්නා ලදැ’යි කියා මෙසේ චුන්‍දකාර්‍මාරපුත්‍රයාගේ විපිළිසර දුරු කට යුතු”යනු යි.
13. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“දෙන්නහුට පින් වැඩේ. සිල්රක්නහුට වෙර නො පවතී. නුවණැත්තේ පව් දුරැ ලයි. හේ මෙසේ (පව් දුරැ ලා, රා දොස් මෝ මුල් උදුරාලීමෙන් කෙලෙස් පිරිනිවනින් එයට පසු කඳපිරිනිවනින් ද) පිරිනිවියෙක් වේ.”
පාටලිගාමිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මගධ රටැ සැරි සරන සේක්, පාටලිග්‍රාමයට වැඩි සේක. “භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මගධ රටැ සැරි සරන සේක්, පාටලියගාමියට වැඩි සේක් වනැ’යි පාටලිගම් වැසි උපාසකයෝ ඇසූහ. ඉක්බිති පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හිඳගත් පාටලිගම් වැසි උපාසකයෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ගෙය ඉවසන සේක්වා’යි කීහ: භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක.
2. ඉක්බිති පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන, හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට ආවාස ගෙය කරා එළැඹියහ. එළැඹ ආවාස ගෙය මුළුල්ල ම ඇතිරි අතුට, අසුන් පනවා, මහ දියසැළක් තබා, තෙල්පහන් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටි පාටලිගම් වැසි උපාසකයෝ “වහන්ස, ආවාස ගෙය මුළුල්ල ම ඇතිරියෙන් ඇතිරිණි. අසුන් පැනැවිණ. දියසැළක් තැබිණ. වහන්ස, යම් ගමනකට භාග්‍යවතුන් වහන්සේ කල්දන්නා සේක් නම්, දැන් එයට කල් යැ යි සලකන සේක් වා”යී සැළ කළහ.
3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙරෙව පාසිවුරු ගෙන බික්සඟන හා ආවාස ගෙය කරා වැඩි සේක. වැඩ පා දෙවැ ආවාස ගෙට පිවිසැ, මැදුම් ටැඹට පිටදී පෙරදිගට මුහුණ ලා වැඩ හුන් සේක. බික්සඟහු ද පා දෙවැ ආවාස ගෙට වැද පැසිම් දිගැ බිත්තියට පිටු දී පැසිම් පෙරදිගට මුහුණ ලා, භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොටැ හුන්හ. පාටලිගම් වැසි උපාසකයෝ ද පා දෙවැ ආවාස ගෙට වැද, පෙර දිගැ බිත්තියට පිටු දී පැසිම් දිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳ ගත්හ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාටලිගම් වැසි උපාසකයන් ඇමතූ සේක: “ගැහැවියනි, දුසිල්හුගේ සිල්විපත්ති මේ දොස් පසෙකි. කවර පසෙක් ද? යත්:
ගැහැවියනි, මෙහි දුසිල් තෙම බුන් සංවර ඇතියේ පමා හෙයින් මහත් භෝගපරිහාණියට පැමිණේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි පළමු වන දොස ය.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල්හුගේ ලාමක වූ අපකීර්තිශබ්දයෙක් පැන නඟී. මේ දුසිල්හුගේ සිල්විපත්හි දෙවන වන දොස ය.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම කැත්පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවි පිරිසකට හෝ මහණපිරිසකට හෝ යම් ම පිරිසකට එළැඹේ ද තෙද නැත්තේ මකු වූයේ (බිමට හෙළූ මුහුණ ඇත්තේ) එළැඹේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි තෙවන දොස ය.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම සිහිමුළා වූයේ කලුරිය කෙරෙයි. මේ දුසිල්හුගේ සිල්විපත්හි සිවුවන දොස ය.
තව ද ගැහැවියනි, බුන් සංවර ඇති දුසිල් තෙම කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ, දුකට තැන් වූ විවස වැ වැටෙන තැන් වූ නිරයට පැමිණේ. මේ දුසිල්හුගේ සිල්විපත්හි පස්වන දොස ය.
ගැහැවියනි, මොහු වනාහි දුසිල්හුගේ සිල්විපත් දොස් පස ය.
5. ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සැපත්හි (ශීලසම්පත්තියේ) මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද? යත්:
ගැහැවියනි, මෙහි සිල්වත් තෙමේ ශීලයෙන් යුක්ත වූයේ නො පමා හෙයින් මහත් භොග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ ශීලසම්පත්තියේ පළමු අනුසස ය.
තව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්තයාගේ උතුම් යසගොසෙක් පැන නගී. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ දෙවන අනුසස ය.
තව ද ගැහැවියෙනි, සිල්වත් වූ ශීලයෙන් යුක්ත වූ තැනැත්තේ කැත් පිරිසකට හෝ බමුණුපිරිසකට හෝ ගැහැවිපිරිසකට හෝ මහණපිරිසකට හෝ යම් ම පිරිසකට එළැඹේ ද තෙදැත්තේ බිය නැත්තේ එළැඹෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ තෙවන අනුසස ය.
තව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ නොමුළා ව කලුරිය කෙරේ. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ සිවුවන අනුසස ය.
තව ද ගැහැවියෙනි, සිල්වත් ශීලයෙන් සම්පූර්‍ණ තැනැත්තේ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙයි. මේ සිල්වත්හුගේ ශිලසම්පත්තියේ පස්වන අනුසස ය.
ගැහැවියෙනි, මොහු වනාහි සිල්වත්හුගේ ශිලසම්පත්තියේ අනුසස් පස ය.
6. භාග්‍යවතුන් වහන්සේ පාටලිගම් වැසි උපාසකයනට රෑ බොහෝ වේලා ධර්‍මකථායෙන් ශීලාදි ප්‍රතිපත් දක්වා එය මොනොවට ගන්වා, එහි උත්සාහවත් කරවා, එහි සතුටු කරවා, ඉක්බිති ‘ගැහැවියනි, රැය ඉක්මිණ. තොපට යන්නට කාලය ය. එබැවින් යන්නැ’යි ඔවුන් යැවූ සේක. එකල්හි පාටලිගම් වැසි උපාසකයෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනය ආදර කොට පිළිගෙන අනුමෝවැ හුනස්නෙන් නැගී, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මුණහ.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පාටලි ගම් වැසි උපාසකයන් නික්මුණු නොබෝ වේලායෙහි ශූන්‍යාගාරයට පිවිසි සේක.
7. එ සමයෙහි වනාහි මගධරට (අජාසත්) රජහුගේ මහ ඇමති වූ සුනීධ වස්සකාර දෙදෙන ලිච්ඡවී රජුන් ප්‍රතිබාහනය කරනු පිණිස පාටලි ගමෙහි නුවරක් මවත්. එ සමයෙහි වූ කලි දේවතාවෝ (එක එක මුළුවකට) දහස් දහස් ව පාටලිගමෙහි ගෙවතු (ගෘහවස්තූන්) පිරිසිඳ ගනිත්. යම් පෙදෙසෙක මහත් පිරිවර ඇති දේවතාවෝ වාස්තුපරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට මහත් පිරිවර ඇති රජුන්ගේ රාජමහාමාත්‍රයන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක මැදුම් පෙලෙහි වූ දේවතාවෝ වාස්තුපරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට මැදුම් පෙලෙහි වූ රජුන්ගේ රාජමහාමාත්‍රයන්ගේ සිත් නැමේ. යම් පෙදෙසෙක කුදුපෙලෙහි දේවතාවෝ වාස්තුපරිග්‍රහණය කෙරෙත් ද, එහි ගෙවල් කරන්නට කුදු පෙලෙහි වූ රජුන්ගේ රාජමහාමාත්‍රයන්ගේ සිත් නැමේ. භාග්‍යවතුන් වහන්සේ මිනිසැසෙහි විෂයසීමාව ඉක්මැ දැක්ක හැකි වූ පිරිසිදු වූ දිවැසින්, ‘යම් පෙදෙසෙක මහපිරිවර ඇති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද, එහි ගෙවල් නංවන්නට මහපිරිවර ඇති රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක මැදුම් පෙලෙහි දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද එහි ගෙ නංවන්නට මැදුම් පෙලේ වූ රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක කුදු පෙලේ වූ දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් ද එහි ගෙ නංවන්නට කුදු පෙලේ වූ රජ රජමහමැතියන් සිත් නැමේ යැ යි දැ යි පාටලිග්‍රාමයෙහි ගෙවතු පිරිසිඳ ගන්නා (මුළු මුළු වූ) දහස් දහස් ගණන් ම දෙවියන් දුටුසේක.
8. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ රැයෙහි අලුයම් වේලෙහි නැගී සිට අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, කවරෙක් නම් පාටලිගමෙහි නුවරක් මවා දැ?’යි අසා වදාළ සේක.
‘වහන්ස, මගධරට රජුගේ මහමැති වූ සුනීධ වස්සකාර දෙදෙන ලිච්ඡවීන් ප්‍රතිබාහනය කරනු පිණිස පාටලි ගමෙහි නුවරක් මවති.’යි අනඳ තෙරණුවෝ වදාළහ.
අනඳයෙනි, යම්සේ තව්තිසා වැසි දෙවියන් හා මන්ත්‍රණය කොට කෙරෙත් ද, එසේ ම අනඳයෙනි, මගධමහාමාත්‍ර වූ සුනීධ වස්සකාර දෙදෙනා ලිච්ඡවීන් පිළිබහනුවට පාටලිගමෙහි නුවරක් මවත්.
9. අනඳයෙනි, මෙහි මිනිසැසින් දැක්ක හැකි ඉම ඉක්මැ දක්නට පොහොසත් වූ පිරිසිදු වූ දිවැසින් යම් පෙදෙසක මහබලැති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් නම් එහි ගෙ තනන්නට මහබලැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ යැ යි ද, යම් පෙදෙසෙක මැදුම් බලැති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් නම් එහි ගෙ තනන්නට මැදුම්බලැති රජුන්ගේ රජමහ මැතියන්ගේ සිත් නැමේ’යැ යි ද, යම් පෙදෙසෙක මඳ බලැති දෙවියෝ ගෙවතු පිරිසිඳ ගනිත් නම්, එහි ගෙවල් තනන්නට මඳ බලැති රජුන්ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ යැයි දැ යි, මෙසේ මුළු මුළු ව දහස් දහස් බොහෝ දෙවිවරුන් ගෙවතු පිරිසිඳ ගන්නවුන් දිටිමි.
10. අනඳයෙනි, යම් පමණ ආර්‍ය්‍යායතන (ආර්‍ය්‍යමිනිසුන් පැමිණෙන තැන) වේ ද, යම් පමණ වෙළෙදපොල වේ ද, මෙය ඒ හැමට අග්‍ර වූ නොයෙක් දෙසින් ගෙනා බඩුපොදි ලිහන තැන වූ පාටලිපුත්‍ර නම් නගරය වන්නේ ය. “අනඳයෙනි, පාටලිපුත්‍ර නගරයට ගින්නෙන් ද දියෙන් ද ඔවුනොවුන්ගේ භේදයෙන් දැ යි තුන් අන්තරාය කෙනෙක් වන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
11. ඉක්බිති මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට නිසි වූ, සිතැ රැඳැවිය යුතු වූ කතාව නිමවා එක් පසෙකැ සිටියහ. එක් පසෙක සිටි මහද මහමැති සුනීධ වස්සකාර යන දෙදෙන භාග්‍යවතුන් වහන්සේට ‘භවද්ගෞතමයෝ බික්සඟන හා අද දවසට අප ඉවසත් වා’යි මෙය කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවැසූ සේක.
12. ඉක්බිති මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙන භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන තමන් වසන ගෙට ගියහ. ගොස් තමන් වසන ගෙහි ප්‍රණීත කෑයුතු බුදියැ යුතු දෑ පිළියෙල කරවා, “භවද්ගෞතමයිනි, බත පිළියෙල කොට නිමැවිණ. වඩනට කල් වේ’යැ යි කියා කල් ගෙහූහ. එක ලැ භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි සිවුරු හැඳ පෙරෙව බික්සඟන හා මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙනාගේ නිවෙස කරා එළැඹි සේක. එළැඹැ පණවන ලද අස්නැ වැඩහුන් සේක. එකල්හි ඒ සුනීධ වස්සකාර මගදමහමැති දෙදෙන බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සැතැප්වූහ. මොනොවට වැළැඳවූහ.
13. ඉක්බිති සුනීධ වස්සකාර මගද මහමැතිහු භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත් අතැති නියා දැක එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හුන් මගද මහමැති වූ සුනීධ වස්සකාර දෙදෙනාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථායෙන් අනුමෝදනා බණ වදාළ සේක:
“පණ්ඩිතස්වභාවය ඇති තැනැත්තේ යම් පෙදෙසෙක වාසය කෙරේ ද, හේ සිය ගෙහිදී සංයමය ඇති බඹසර රක්නා සිල්වතුන් වළඳවා,
එහි යම් ගෘහදේවතා කෙනෙක් වෙත් නම් ඔවුනට පින් දෙන්නේ ය. පිනෙන් පුදනු ලැබූ බුහුමන් කරනු ලැබූ ඔහු ඔහුට (රැක ගැනුම් වශයෙන්) පූජා කෙරෙත්, බුහුමන් කෙරෙත්.
ඉක්බිති ඔහු මවක ළෙහි හොවා වඩන ලද පුතක්හට සෙයින් ඔහුට අනුකම්පා කරත්. දේවතාවන් විසින් අනුකම්පිත පුරුෂ තෙම හැම කල්හි සොඳුරු දෑ දකී.”
14. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙනාට මේ ගාථායෙන් අනුමෝදනා කොට හුනස්නෙන් නැගී නික්මුණු සේක. එ සමයෙහි වූ කලි මගද මහමැති සුනීධ වස්සකාර දෙදෙන, ‘අද යම් දොරෙකින් මහණ ගොයුම්හු නික්මෙන්නාහු නම්, එය ගොයුම්දොර නම් වන්නේ ය. යම් තොටෙකින් ගංගානදිය තරණය කරන්නාහු නම්, එය ගොයුමතොට නම් වන්නේ යැ යි කියා භාග්‍යවතුන් වහන්සේ පසු පසින් අනුව ගියාහු වෙත්.
15. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් දොරෙකින් නික්මුණෝ ද එය ගොයුම්දොර නම් විය. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ ගඞ්ගානදිය කරා වැඩි සේක. එසමයෙහි ගඞ්ගා නදිය ගොඩ සිට කවුඩකු විසින් පැන් පිය හැකි පරිදි දෙගොඩ තළා පිරුණී වෙයි. මෙගොඩින් එ ගොඩට කැමැති ඇතැම් මිනිස්සු නැවක් සොයත්. සමහරු උඩුපයක් සොයත්. සමහරු පසුරක් බඳිත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා, ශක්තිමත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ දිගු කළ අත හකුළන්නේ යම් සේ ද එසේ ම ගඞ්ගා නදියේ මෙ තෙරැ අතුරුදහන් වූ සේක එ ගොඩ පිහිටිසේක. භාග්‍යවතුන් වහන්සේ, මෙගොඩින් එගොඩ යනු කැමති ව ඇතැමුන් නැවක් සොයනුවන්, ඇතැමුන් උඩුපයක් සොයනුවන්, ඇතැමුන් පසුරක් බඳිනුවන් දුටු සේක් මය.
16. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
යම් කෙනෙක් (ගැඹුරු පුළුල් වූ) සංසාර සාගරය හා තෘෂ්ණානදිය තරණය කෙරෙත් ද, ඔහු ආර්‍ය්‍යමාර්‍ග නමැති හෙය කොට පලවලයන් (දිය පිරුණු වළ තැන්) ආමර්‍ශනය නො කොට මැ තරණය කෙරෙති. මේ ජන තෙම වූකලි (මේ දියත්ත තරණය කරනු සඳහා) පසුරු බඳී. ආර්‍ය්‍යමාර්‍ග ඥානයෙන් යුත් ජනයෝ (පසුරක් නැති වැ මැ) තරණය කළහ.
ද්විධාපථ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාගසමාල තෙරහු පසු මහණ කොට ගෙන කොසොල් රටැ දික් මඟට පිළිපන් සේක් වෙති. නාගසමාල තෙරණුවෝ අතරමඟැ දෙමං සන්‍ධියක් දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්ස, මේ මඟ ය. මෙයින් යමු’යි කී ය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නාගසමාල තෙරහට ‘නාගසමාලය, යෑ යුතු මඟ මේ අනෙක ය. මෙයින් යමු’යි වදාළ සේක. දෙවෙනි වර ද තෙවන වර ද නාගසමාල තෙර ‘භාග්‍යවතුන් වහන්ස, මේ මඟ ය. මෙයින් යමු’යි කී ය. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ නාගසමාලය, තෙරහට ‘නාගසමාලය, යෑ යුතු මඟ මේ අනෙක ය. මෙයින් යමු’යි වදාළ සේක. එ කල්හි නාගසමාල තෙර තෙල භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු බිමැ තබා නික්ම ගියේ ය.
2. ඉක්බිති එ මඟින් යන නාගසමාල තෙරහට මග අතුරෙහි සොරු නික්මැ අතින් පයින් තැළූහ. පාත්‍රය ද බින්දහ. සඟල සිවුර ද ඉරා දැමූහ. එ කල්හි නාගසමාල තෙර බිඳුණු පාත්‍රයෙන් ඉරී ගිය සඟළ සිවුරින් යුතු ව භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්තේ ය. එක් පසෙක හිඳ ගත් නාගසමාල තෙර භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, මෙහි ඒ මඟින් මා යද්දී මඟ අතුරැ සොරු නික්මැ අතින් පයින් මට පහළහ, පාත්‍රය ද බින්දහ. සඟළ සිවුර ද ඉරා දැමූහ’යි සැළ කෙළේ ය.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
“මාර්‍ගඥානයෙන් සත්‍යාවබෝධය කළ නුවණැත්තේ අඥ ජනයා හා එක් වැ හැසිරෙන්නේ එක් වැ වසන්නේ එ පමණෙකින් මිශ්‍ර වූයේ නුමුදු අභද්‍ර වූ ලාමක දැය දුරැ ලයි. (දියමුසු කිරි එළැවූ කල) කිරි පමණක් බොන කොස්ලිහිණියා දිය හැර ලන්නාක් මෙනි.”
විශාඛා සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ මිගාරමාතුපාසාද නම් වූ පූර්‍වාරාම විහාරයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මිගාරමාතු නම් වූ විශාඛාවගේ ප්‍රිය මනාප වූ මිනිබිරියක් කලුරිය කළා වෙයි. එ කල්හි මිගාරමාතු නම් වූ විශාඛා තොමෝ තෙත් වස්ත්‍ර ඇත්තී තෙත් හිසකේ ඇත්තී දෙවෙන්දාවල භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හුනු. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක් හුන්නා වූ ම මෘගාරාමාතා විශාඛාව බණවා, “විශාඛාවෙනි, දැන් තෙත් වත් ඇති වැ තෙත් කෙහෙ ඇති වැ තෙපි කොයින් එවු ද? කොහි සිට මේ මධ්‍යාහ්නයෙහි මෙහි එළැඹුණුව?”යි වදාළ සේක.
“වහන්ස, මා ප්‍රිය මනාප මිනිබිරියක් කලුරිය කළා ය. එහෙයින් මම් තෙත් වත් ඇති වැ තෙත් කෙහෙ ඇති වැ මද්දහන්හි මෙහි එළැඹියෙමි”යි ඕ කිවු ය.
“විශාඛාවෙනි, සැවැත් නුවරැ යම් පමණ මිනිස්සු ඇත් නම් එ පමණ ම දූ පුතුන් ද මුනුබුරු මිනිබිරියන් ද කැමැත්තහු දැ?”යි භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.
“භාග්‍යවතුන් වහන්ස, යම් පමණ මිනිස්සු සැවැත්නුවරෙහි ඇත් නම් එපමණ ම දූපුතුනුත් මුනුබුරු මිනිබිරියනුත් කැමැත්තෙමි”යි (ඕ කිවු ය).
2. “විශාඛාවනි, දිනපතා කොපමණ මිනිස්සු සැවැත්නුවරෙහි කලුරිය කෙරෙත් ද?”
“වහන්ස, දිනපතා සැවැත් නුවරැ දශ දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සැවැත්නුවරැ නව දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා අට දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සත් දෙනෙකුත් මිනිස්සු කලුරිය කෙරෙත්. දිනපතා සදෙනෙකුත් ... පස් දෙනෙකුත් … සිවුදෙනෙකුත් … තිදෙනෙකුත් … දෙදෙනෙකුත් කලුරිය කෙරෙත්. දිනපතා සැවැත් නුවරැ එකමිනිසෙකුත් කලුරිය කෙරෙයි. වහන්ස, කලුරිය කරන මිනිසුන්ගෙන් සැවැත් නුවර නොසිස් යැ”යි (ඕ කිවු යැ.)
“විශාඛාවනි, ඒ කිමැ යි සිතවු ද? (එසේ කලැ) තෙපි කිසි විටෙකත් නොතෙත් වස්ත්‍ර ඇති වනු නොතෙත් කෙහෙ ඇති වනු හැක්කහු දැ?”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
3. “වහන්ස, මෙය නො වන්නෙකි. වහන්ස, මට එතරම් බොහෝ දූපුතුන්ගෙන් මුනුබුරු මිනිබිරියන්ගෙන් කම් නැතැ”යි ද (ඕ කිවු ය.)
“විශාඛාවනි, යම් කෙනෙකුන්හට ප්‍රියවස්තු සියෙක් වේ නම් ඔවුනට සියෙක් දුක් වේ. යම් කෙනෙකුන්හට ප්‍රියවස්තු අනූවක් වේ නම් ඔවුනට අනුවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු අසූවෙක් වේ නම් ඔවුනට අසූවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සැත්තෑවෙක් නම්, ඔවුනට සැත්තෑවෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සැටෙක් වේ නම්, ඔවුනට සැටෙක් දුක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු පනසෙක් වේ නම් ඔවුනට දුක් පනසෙක් වේ.
යම් කෙනකුන්හට ප්‍රියවස්තු සතළිසෙක් නම් ඔවුනට දුක් සතළිසෙක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු තිසෙක් නම් ඔවුනට දුක් තිසෙක් වේ. යම් කෙනකුන්හට ප්‍රියවස්තු විස්සක් නම් ඔවුනට දුක් විස්සෙක. යම් කෙනකුන්හට ප්‍රියවස්තු දසයෙක් නම් ඔවුනට දුක් දසයෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු නවයෙක් නම් ඔවුනට දුක් නවයෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු අටෙක් නම් ඔවුනට දුක් අටෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සතෙක් නම් ඔවුනට දුක් සතෙකි. යම් කෙකුන්හට ප්‍රියවස්තු සයෙක් නම් ඔවුනට දුක් සයෙකි. යම් කෙනකුන්හට ප්‍රිය වස්තු පසෙක් නම් ඔවුනට දුක් පසෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු සතරෙක් නම් ඔවුනට දුක් සතරෙකි. යම් කෙනෙකුන්හට ප්‍රිය වස්තු තුනෙක් නම් ඔවුනට දුක් තුනෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු දෙකෙක් නම් ඔවුනට දුක් දෙකෙකි. යම් කෙනකුන්හට ප්‍රියවස්තු එකෙක් නම් ඔවුනට දුක් එකෙකි. යම් කෙනකුන්හට ප්‍රිය වස්තුවෙක් නැත් නම් ඔවුනට දුකෙක් නැත. ඔහු ශෝක නැත්තෝ රාගාදි රජස් නැත්තෝ උපායාස නැත්තෝ යැ යි කියමි”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)
4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක: