සූත්‍රපිටකයෙහි
කුදුගත් සඟිය
(තෙවන ග්‍රන්‍ථය)
උදාන පාළිය
පළමු බෝධි වර්‍ගය
ඒ භගවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධෝත්තමයන් වහන්සේට නමස්කාර වේවා.
1. 1.
ප්‍රථම බෝධි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ (බුදු වැ) පළමු කොට ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටැ රෑ පළමු යම්හි, “මෙසේ මේ අයුරින් මේ ප්‍රත්‍යය ඇතිවත් මැ මේ ඵලය වෙයි. මේ ප්‍රත්‍යය ඉපැද්මෙන් මේ ඵලය උපදනේ”යැ යි අනුලොම් පිළිසසමුපාව මොනොවට මෙනෙහි කළ සේක. හෙ කෙසේයයත්: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු වෙත්. (පහළ වෙත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ” යනු යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (හැම අයුරින්) මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (පව් බැහැරැ කළාහට - රහත්හට) යම් ක්‍ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද, එ කල්හි ඔහුගේ හැම සැක දුරු වේ. යම් හෙයකින් හේ සහේතුක වූ දුඃඛස්කන‍්ධධර්‍මය දත්තේ ද එහෙයිනි” යනු යි.
1. 2.
ද්විතීය බෝධි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පළමු කොට ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටැ රෑ මැදුම් යම්හි, “මෙසේ මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යැ”යී ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාදය මොනොවට මෙනෙහි කළ සේක. හේ කෙසේයයත්: “අවිද්‍යානිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූප නිරෝධයෙන් ෂඩායතන නිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශයනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානය නිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ” යනු යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ (හැම අයුරින්) මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (බාහිතපාප පුද්ගලයාහට - රහත්හට) යම් ක්‍ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද එ කල්හි - යම් හෙයෙකින් හේ ප්‍රත්‍යයන්ගේ නිරෝධය පිළිවිදියේ ද එහෙයින් - ඔහුගේ සියලු සැක දුරු වැ යේ” යනු යි.
1. 3.
තෘතීය බෝධි සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පැමිණ පළමුවෙන් ම උරුවෙල්දනව්හි නිල්දලා හෝ තෙරැ බෝරුක්මුලැ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක්, සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගි සිට, රෑ පැසිම් යම්හි, “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපැද්මෙන් මෙය උපදනේ ය. මෙය නොමැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ යැ”යි. අනුලෝම ප්‍රතිලෝම ප්‍රතීත්‍යසමුත්පාදය මොනොවට මෙනෙහි කළ සේක. හෙ කෙසේයයත්: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක්දොම්නස් උපායාස යන මොහු වෙත් (උපදිත්.) මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපැද්ම වේ.
අවිද්‍යාවගේ ම වූ කලි නිරවශේෂ නිරෝධයෙන් සංස්කාරයන්ගේ නිරෝධය වේ. සංස්කාරයන්ගේ නිරෝධයෙන් විඥානයාගේ නිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරොධයෙන් ස්පර්‍ශනිරෝධය වේ. ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරොධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ ශෝකපරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු නිරුද්ධ වෙත්. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ නිරෝධය වේ.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැම අයුරින් මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“කෙලෙස් තවන වැර ඇති, දහන් වඩන බ්‍රාහ්මණයාට (රහත්හට) යම් ක්‍ෂණයෙක බෝපැකිදහම්හු උපදිත් ද, එ කලැ හේ හිරුහු (අඳුර දුරැලා) අහස බබුළුවන්නහු මෙන් මරසෙන් විධ්වස්ත (කම්පිත) කෙරෙමින් සිටී” යනු යි.
1. 4.
න්‍යග්‍රෝධ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ (බුදු වැ) පළමු ව (පස්වන සතියෙහි) උරුවෙල්දනව්වෙහි නිල්දලා නී තෙරැ අජපල් නුගරුක් මුලැ වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත්සුව විඳුනා සේක් සතියක් එක් පලගින් හුන් සේක් වෙති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟී සිටි සේක. එ කල්හි හුහුංකජාතික වූ එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක ද එ තැනට එළඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටු වන්නට නිසි සිතැ රැඳැවිය යුතු (සිහි කටයුතු) කථා කොට නිමවා එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියේ ම එ බමුණු භාග්‍යවතුන් වහන්සේට මේ වචන කීය.
“භවද්ගෞතමයිනි, කොතෙකින් බමුණෙක් වේ ද? බමුණුබව කරණ දහම්හු කවුරු නම් වෙත් දැ?”යී
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ අර්‍ත්‍ථය දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යම් බමුණෙක් බැහැරැ ලූ පාපධර්‍ම ඇතියේ ද, (ක්‍රෝධ මාන විසින්) හුහුංකාර නැත්තේ ද, කෙලෙස්කසට නැත්තේ ද, සංයත වූ සිතැත්තේ ද, සිවුමඟ නුවණින් නිවනට පැමිණියේ වේ ද, වැසනිමැ වූ මඟබඹසර ඇත්තේ ද, යමකුගේ (සතන්හි) ලොවැ කිසි අරමුණෙක්හි දු උත්සදයෝ (නැඟ එන රාගාදිහු) නැත් ද, හෙ තෙමේ “මම් බමුණුමි”යි බ්‍රහ්මවාදය කියනුයේ දහම් නයින් කියන්නේ ය”යනු යි.
1. 5.
ස්ථවිර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථිවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමෞද්ගල්‍යාන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකප්පින ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් රේවත ස්ථවිරයන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාහ. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ඒ ආයුෂ්මතුන් දුර දී ම දුටු සේක. දැක “මහණෙනි, මේ බමුණෝ එති. මහණෙනි, මේ බමුණෝ එති”යි භික්‍ෂූන් ඇමැතූ සේක.
මෙසේ වදාළ කල්හි බ්‍රාහ්මණ ජාතික වූ එක්තරා භික්‍ෂුවෙක් භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, කොපමණෙකින් බමුණෙක් වේ ද? බමුණු බව කරන ධර්‍මයෝ කවරහු දැ”යි මෙය කීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“යම් කෙනෙක් ලාමක අකුශල ධර්‍මයන් දුරු කොට හැම කල්හි ස්මෘතිමත් ව හැසිරෙත් ද, ක්‍ෂය කරන ලද සංයෝජන ඇති, චතුරාර්‍ය්‍යසත්‍යාවබෝධය කළා වූ ඔවුහු ඒකාන්තයෙන් ලෝකයෙහි බ්‍රාහ්මණ වෙත්.
1. 6.
කාශ්‍යප සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කාලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආබාධික ව දුඃඛිත ව දැඩි ගිලන් ව පිප්ඵලි ගුහාවෙහි වසන සේක.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි සේක. පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට “මම් රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් මැනැවැ”යි මෙබඳු සිතෙක් පහළ විය.
එසමයෙහි පන්සියක් පමණ දෙවඟනෝ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට පිණ්ඩපාතය පිළිලබවනු පිණිස උත්සුක බවට පැමිණියාහු වෙති.
ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඒ පන්සියක් පමණ දෙවඟනන් පිළිකෙවු කොට පෙරවරු වේලෙහි හැඳැ පෙරෙ වැ පාසිවුරු ගෙන රජගහනුවර දිළිඳුන් වසන, දුප්පත් මිනිසුන් වසන, පෙහෙරුන් වසන වීදියට පිඬු පිණිස පිවිසි සේක.
භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර දිළඳුන් දුගීන් පෙහෙරුන් වසන වීදියෙහි පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ දුටු සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍ය පහළ කළ සේක:
“අනෙකකු පෝෂණය නො කරන සුලු, ප්‍රසිද්ධ වූ (ඉන්‍ද්‍රිය දමනයෙන්) දැමුණු, (විමුක්ති) සාරයෙහි පිහිටි, ක්‍ෂීණ ආස්‍රව ඇති, දුරු කරනලද (රාගාදි) දොස් ඇති, ඒ උත්තමයා බ්‍රාහ්මණයෙකැ යි මම් කියමි”.
1. 7.
පාවා සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පාවානුවර අජකලාපක (නම්) චෛත්‍යය සමීපයෙහි අජකලාපක නම් යක්‍ෂයාගේ දෙවොලෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල් අඳුරුයෙහි අභ්‍යවකාශයෙහි වැඩ හුන් සේක. වැස්ස ද එක එක බින්‍දුව හෙළයි. එ කල්හි අජකලාපක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය, තැති ගැන්ම, ලොමුදහ ගැන්ම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි තුන්වරක් “අක්කුල පක්කුල”යැ යි (අනුකරණ ශබ්දයක්) කෙළේ ය. “ශ්‍රමණයන් වහන්ස, මුබ වෙත මේ පිසාචයෙක් පැමිණියේ යැ” යි කීයේ ය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය පහළ කළ සේක:
“යම් කලෙක්හි (බාහිත පාප) බ්‍රාහ්මණ තෙමේ ස්වකීය ධර්‍මයන්හි පරතෙරට ගියේ (වේ ද), එ කල්හි (ඒ බ්‍රාහ්මණ තෙමේ) මේ පිසාචයා ද පක්කුල ශබ්දය ද ඉක්මැ සිටී.”
1. 8.
සඞ්ග්‍රාමජිත් සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සැවැත්නුවරට පැමිණියේ ය. ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාව “සඞ්ග්‍රාමජිත් ආර්‍ය්‍යයන් වහන්සේ සැවැත් නුවරට වැඩියෝ ලු”යි ඇසුවා ය. ඕ තොමෝ දරුවා රැගෙන ජේතවනයට ගියා ය.
එසමයෙහි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිර තෙමේ එක්තරා රුකක් මුල දිවාවිහාරයෙහි හුන්නේ වෙයි. එකල්හි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පෙරබිරිය සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන් වෙත එළැඹියා ය. එළැඹැ ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරුන්හට “ශ්‍රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පුස්නේ යැ”යි කීවා ය. මෙසේ කී කල්හි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිර තෙමේ නිශ්ශබ්ද විය.
දෙවෙනි වරත් ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරුන්ගේ පුරාණ භාර්‍ය්‍යාව ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරුන්හට “ශ්‍රමණයන් වහන්ස, කුඩා පුතකු ඇතියමු. මා පෝෂණය කරන්නැයි”යි කීවා ය. දෙවැනි වරත්, ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරණුවෝ නිශ්ශබ්ද විය. තුන්වැනි වරත් ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිර තෙමේ තුෂ්ණීම්භූත විය.
ඉක්බිති ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාව ඒ දරුවා ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන් ඉදිරියෙහි දමා “ශ්‍රමණයන් වහන්ස, මේ තෙමේ තොපගේ පුත්‍රයා ය. මොහු පෝෂණය කරන්නැ”යි කියා නික්ම ගියා ය.
2. එකල්හි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් තෙරණුවෝ ඒ දරුවා (දෙස) නො ද බැලූහ. (දරුවා හා) නො ද බුණූහ. එකල්හි ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාව නො දුරට ගොස් පෙරළා බලන්නී ඒ දරුවා (දෙස) නො බලන, (දරුවා හා) නො තෙපලන ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන් දුටුවා ය. දැකැ, ඇයට “මේ ශ්‍රමණ තෙමේ පුත්‍රයාගෙනුදු ප්‍රයෝජන නැත්තෙකැ”යි මේ සිත විය. ඕ එතැනින් පෙරළා අවුත් දරුවා රැගෙන ගියා ය. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදු වූ, මිනිසැස ඉක්මැ සිටියා වූ, දිවැසින් ආයුෂ්මත් සඞ්ග්‍රාමජිත් ස්ථවිරයන්ගේ පුරාණ භාර්‍ය්‍යාවගේ මෙබඳු වූ ඒ විප්‍රකාරය දුටු සේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ සේක:
“එන්නියට ද සතුටු නො වෙයි. (බැහැරැ) යන්නිය දැක ද ශෝක නො කරයි. (රාගාදි පඤ්චවිධ) සඞ්ගයෙන් මිදුණු ඒ සඞ්ග්‍රාමජිත් භික්‍ෂු ‘බ්‍රාහ්මණයෙකැ’යි මම් කියමි”
1. 9.
ජටිල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා පෙදෙසෙහි වූ ගයාශීර්‍ෂයෙහි වැඩ වසන සේක. එසමයෙහි බොහෝ ජටිලයෝ ශීත වූ හිම ඍතුව පිළිබඳ රාත්‍රීන්හි (නවන් මැදින් දෙමසැ ) අතරැ හිම වැටෙන අට දවසක් පමණ වූ කාලයෙහි ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි සිතා ගයා තීර්‍ත්‍ථයෙහි දියේ ගිලී උඩ ඊම ද කෙරෙති. (නැවත) දියේ ගිලීම ද කෙරෙති. (නැවැතැ නැවැතැ) දියේ ගිලීම හා මතු වීම ද කෙරෙති. දිය වත් කිරීම ද කෙරෙති. ගිනි පිදීම ද කෙරෙති.
භාග්‍යවතුන් වහන්සේ ‘මෙයින් ශුද්ධිය වෙතැ’යි ශීත වූ හිම ඍතුවෙහි රාත්‍රීන්හි අතර අට දවසක් පමණ වූ හිම වැටෙන කාලයෙහි ගයාතීර්‍ත්‍ථයෙහි දියෙන් නැඟෙන්නාවූ ද දියෙහි ගිලෙන්නාවූ ද නැගීම හා ගිලීම කරන්නාවූ ද දිය වත් කර ගන්නාවූ ද, ගිනි පුදන්නා වූ ද ඒ බොහෝ ජටිලයන් දුටු සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“මෙහි (ගයා තීර්‍ත්‍ථයෙහි) බොහෝ දෙනෙක් නාති. (එහෙත්) ජලයෙන් පිරිසුදු වීමෙක් නැත. යමකු කෙරෙහි සත්‍යයත්, ධර්‍මයත් ඇත් නම් හෙ තෙමේ පිරිසිදු ය. හෙ තෙමේ බ්‍රාහ්මණයෙක් වේ”
1. 10.
බාහිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක.
එසමයෙහි (දරවැහැරි දරන හෙයින්) දාරුචීරිය නම් වූ බාහිය තෙමේ ජනයා විසින් සත්කාර කරන ලද්දේ, ගරුකාර කරන ලද්දේ, බුහුමන් කරන ලද්දේ, පුදන ලද්දේ, අපචායනය (යටත් පැවැතුම්) කරන ලද්දේ චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය බෙහෙත් පිරිකර ලබන සුලු වූයේ, මුහුදු තෙරැ සුප්පාරක පටුනෙහි වෙසෙයි. එකල්හි රහසිගත වූ, හුදෙකලා වූ, බාහිය දාරුචීරියහට “ලෝකයෙහි රහත් වූ හෝ රහත්මගට පිළිපන් හෝ යම් කිසි කෙනෙක් (වෙත් නම්) මම් ඔවුනතුරෙහි එකෙකිමි”යි මෙසේ චිත්තසංකල්පනාවෙක් පහළ විය.
එකල්හි ඒ දරවැහැරිසිවුරු දරන බාහිය පිරිවැජියාගේ පැරැණි සහලේ නෑ දෙවියෙක් අනුකම්පා කරනුයේ වැඩ කැමැත්තේ දාරුචීවරික පිරිවැජියාගේ චිත්තපරිවිතර්‍කය සිය සිතින් දැන, දාරුචීරිය පිරිවැජියා වෙත පැමිණියේ ය. පැමිණැ දාරුචීරිය බාහියහට මෙසේ කී ය; “බාහියය, තෝ රහතෙක් නො වෙහි. රහත්මඟට පිළිපන්නෙක් ද නො වෙහි. යම් ප්‍රතිපත්තියෙකින් තෝ රහත් හෝ වන්නෙහි නම්, රහත්මඟට පිළිපන්නෙක් හෝ වන්නෙහි නම්, ඒ ප්‍රතිපත්තිය ද තට නැතැ”යි කී ය. “එසේ නම් දෙවියන් සහිත ලෝකයෙහි දැන් කවරෙක් නම් රහත් හෝ රහත්මඟට පැමිණියේ හෝ වේ දැ?”යි හේ ඇසී ය. “බාහියය, උතුරුජනව්යෙහි සැවැත් නම් නුවරෙක් ඇත. එහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැන් වසන සේක. බාහියය, ඒ භාග්‍යවතුන් වහන්සේ රහත් ද (වෙති) රහත්බව පිණිස ධර්‍මය ද දෙසති”යි කී ය.
ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ දෙවියා විසින් සංවේගයට පමුණුවන ලදු ව එකෙණෙහි ම සුප්පාරක පටුනෙන් පිටත් විය. සියලු තැන්හි එක්රැයක් (පමණක්) විසීමෙන් සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ ජේතවනාරාමයට එළැඹියේ ය. එසමයෙහි බොහෝ භික්‍ෂූහු අභ්‍යවකාශයෙහි සක්මන් කෙරෙති. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ ඒ භික්‍ෂූන් කරා එළැඹියේ ය. එළැඹ ඒ භික්‍ෂූන්හට “ස්වාමීනි, ඒ අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වාසය කරන සේක් ද? අපි ඒ අර්‍හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තම්හ”යි කී ය. “බාහියය, ඒ භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුළුගමට පිවිසි සේකැ”යි ඒ භික්‍ෂූහු කීහ.
2. ඉක්බිති දාරුචීරිය බාහිය තෙමේ වෙළෙවි ස්වභාව ඇත්තේ ජෙතවනයෙන් නික්මැ සැවැත්නුවර පිවිසැ, සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නාවූ, ප්‍රසාදාවහ වූ, ප්‍රසාදාර්‍හ වූ, සන්හුන් ඉඳුරන් ඇති, සන්හුන් සිත් ඇති, උතුම් වු (ඉන්‍ද්‍රිය) දමනයට හා (ඉන්‍ද්‍රිය) ශමථයට පැමිණැ සිටි, (කයින්) දැමුණු (වචනයෙන්) රැකුණු (සිතින්) සංවර වූ ඉන්‍ද්‍රියයන් ඇති, (ඡන්‍දාදියෙන් අගතියට නොයන හෙයින්) නාග (ශ්‍රේෂ්ඨ) වූ භාග්‍යවතුන් වහන්සේ දිටී ය. දැකැ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේගේ දෙපාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යම් ධර්‍මයක් මට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවත්නේ ද, ඒ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා. සුගතයන් වහන්සේ ධර්‍මය දෙසත්වා”යි කී ය.
මෙසේ කල්හි භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියහට “පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියම්හ. එහෙයින් දැන් (බණ කීමට) නො කල්යැ”යි වදාළ සේක.
දෙවෙනි වරටත් දාරුචීරිය බාහිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරායකර ධර්‍මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරායකර ධර්‍මයන්ගේ ඇති බව හෝ නැති බව දැනගත නො හැකි ය. (එහෙයින්) වහන්ස, යම් ධර්‍මයෙක් මට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස, සුව පිණිස (පවත්නේ නම්) ඒ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා. සුගතයන් වහන්සේ ඒ ධර්‍මය දෙසත්වා යැ”යි කී ය.
දෙවෙනි වරත් භාග්‍යවතුන් වහන්සේ දාරුචීරිය බාහියහට “ඇතුළු ගමට පිඬු පිණිස පිවිසියම්හ. බාහියය. දැන් (බණ කීමට) නො කල්යැ”යි වදාළ සේක.
තුන්වැනි වරත් දාරුචීරිය බාහිය තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අන්තරායකර ධර්‍මයන්ගේ හෝ මගේ ජීවිතයට අන්තරායකර ධර්‍මයන්ගේ හෝ (ඇති නැති බව) දැනැගත නො හැකි ය. (එහෙයින්) වහන්ස, යම් ධර්‍මයෙක් මට බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස, සුව පිණිස (පවත්නේ නම්) ඒ ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ මට දෙසත්වා, සුගතයන් වහන්සේ ඒ ධර්‍මය දෙසත්වා”යි කී ය.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ: ‘එසේ නම් බාහියය, මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු ය: දක්නා ලද්දෙහි (රූපයෙහි) දක්නා ලද පමණක් වන්නේ ය. අසන ලද්දෙහි (ශබ්දයෙහි) අසන ලද්ද පමණක් වන්නේ ය. දන්නා ලද්දෙහි (=ගන්‍ධ රස පොට්ඨබ්බයන්හි) දන්නා ලද්ද පමණක් වන්නේ ය. සිතන ලද්දෙහි සිතන ලද්ද පමණක් වන්නේ ය. බාහිය, මෙසේ තොප විසින් හික්මිය යුතුය.
“බාහියය, යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් තොපට දක්නා ලද්දෙහි දක්නා ලද පමණක් වන්නේ ද, අසන ලද්දෙහි අසන ලද්ද පමණක් වන්නේ ද, දන්නා ලද්දෙහි දන්නා ලද්ද පමණක් වන්නේ ද, විශේෂයෙන් දන්නා ලද්දෙහි විශේෂයෙන් දන්නා ලද්ද පමණක් වන්නේ ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් තෝ ඒ (රූපාදිය) හා නො බැඳුණු තැනැත්තෙක් (වන්නෙහි ය). බාහියය, යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් තෝ ඒ (රූපායතනාදිය) හා නොබැඳුණු තැනැත්තෙක් වන්නෙහි ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් තෝ එහි නො බැඳුණු තැනැත්තෙක් (වන්නෙහි) ය. යම් කලෙක්හි (නොහොත්) යම් හේතුවෙකින් බාහිය ය, තෝ එහි (=රූපායතනාදියෙහි) නො බැඳුණු තැනැත්තෙක් වන්නෙහි ද, එකල්හි (නොහොත්) ඒ හේතුවෙන් බාහියය, තෝ මෙලොව ද නො උපදින්නෙහි, පරලොව ද නො (උපදින්නෙහි), දෙ ලොවෙහි ම ද නො (උපදින්නෙහි) දුක පිළිබඳ කෙළවර මෙය ම වන්නේ ය”යි යනු යි.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ මේ සංක්‍ෂිප්ත ධර්‍මදේශනාවෙන් එකෙණෙහි ම දාරුචීරිය බාහියයාගේ සිත උපාදාන රහිත වැ ආස්‍රවයන් කෙරෙන් මිදිණි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දාරිචීරිය බාහියහට මේ සංක්‍ෂිප්ත අවවාදයෙන් අවවාද කොට වැඩි සේක.
භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වෙලාවෙකින් ළදරු වස්සකු ඇති දෙනක් දාරුචීරිය බාහියයා බිමැ හෙළා ජීවිතයෙන් තොර කළා ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරැ බතින් පසු (පස්වරුවෙහි) පිණ්ඩපාතයෙන් වැළකුණු සේක්, බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්මැ, කලුරිය කළ දාරුචීරිය බාහියයා දුටු සේක. දැකැ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, දාරුචීරිය බාහියයාගේ ශරීරය ගනුව. ඇඳෙක නංවා බැහැර ගෙන ගොස් දවව. ඔහුට ස්තූපයක් ද කරව. මහණෙනි, තොපගේ සබ්‍රහ්මචාරියෙක් කලුරිය කෙළේ යැ”යි වදාළ සේක.
‘ස්වාමිනී, එසේයැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, දාරුචීරිය බාහියයාගේ ශරීරය ඇඳෙක නංවා බැහැරැ ගෙන ගොස් දවා, ඔහුට ස්තූපයක් ද කොට, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියෝ ය..
එළැඹැ භාග්‍යවතුන් වහන්සේ වැඳැ එක්පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගෙන් “ස්වාමීනි, බාහිය (නම්) දාරුචීරිය (භික්‍ෂූහු) ගේ ශරීරය දවන ලද්දේ ය. ඔහුගේ ස්තූපය ද කරන ලද්දේ ය. ඔහුගේ ගතිය කවර? අභිසම්පරාය (පරලොව) කවරේ දැ”යි මෙසේ විචාළහ:
“මහණෙනි, බාහිය දාරුචීරිය පණ්ඩිතයෙක (ලෝකෝත්තර) ධර්‍මය පිළිබඳ අනුධර්‍මයට (ශීල විශුද්ධි ආදි ප්‍රතිපද්ධර්‍මයට) පිළිපන්නේ ය. ධර්‍මය නිසා මා නො වෙහෙසී ය. මහණෙනි, බාහිය දාරුචීරිය තෙමේ පිරිනිවියේ යැ”යි වදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදානය (ප්‍රීති වාක්‍යය) පහළ කළ සේක:
“යම් නිර්‍වාණ ධාතුවෙක ආපෝධාතුව ද පෘථිවි ධාතුව ද තේජෝ ධාතුව ද වායෝධාතුව ද නො පිහිටා ද, එහි තාරකාවෝ නො බබළති, සූර්‍ය්‍යයා නො බබළයි, එහි චන්‍ද්‍රයා නො බබළයි, එහි අන්‍ධකාරය නැත. මෞන සඞ්ඛ්‍යාත මාර්‍ග ඥානයෙන් (යුක්ත හෙයින්) මුනි (නම්) වූ බ්‍රාහ්මණ තෙමේ යම් කලෙක්හි තෙමේ ම (නිර්‍වාණය) අවබෝධ කෙළේ ද, එකල්හි රූපලෝකප්‍රතිසන්‍ධියෙන් ද, අරූපලෝකප්‍රතිසන්‍ධියෙන් ද, සුඛ දුඃඛ සඞ්ඛ්‍යාත කාමාවචරප්‍රතිසන්‍ධියෙන් ද මිදේ”.
මේ උදානය ද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි මා විසින් අසන ලදී.
පළමු බෝධි වර්‍ගය යි.
එහි උද්දානය:
බෝධි සූත්‍ර තුන ද, නිග්‍රෝධ සූත්‍රය, ස්ථවිර සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, පාවා සූත්‍රය, සඞ්ගාමජී සූත්‍රය, ජටිල සූත්‍රය, බාහිය සූත්‍රය යන මෙයින් ඒ සූත්‍ර දසයෙක් වේ.
මුචලින්‍ද වර්‍ගය
2. 1.
මුචලින්‍ද සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා නදීතීරයෙහි මිදෙල්ල ගස මුල වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පලසමවත්සුව විඳුනා සේක්, සත්දවසක් මුළුල්ලෙහි එක්පලඟින් වැඩහුන් සේක.
එසමයෙහි සිහිල්පවනින් වැලලි වූ සද්දා වදුලු ඇති මහ අකල් වැස්සෙක් උපන. ඉක්බිති මුදලිඳු නාරජ සිය බවනෙන් නික්මැ අවුත්, භාග්‍යවතුන් වහන්සේ කරා ශීතයෙක් නො පැමිණේවා. භාග්‍යවතුන් වහන්සේ කරා උෂ්ණයෙක් නො පැමිණේවා. භාග්‍යවතුන් වහන්සේ කරා මැසි මදුරු වා අවු දිග්දෑ (දීර්‍ඝජාතිකයන්ගේ) පහසෙක් නො වේ වා’යී භාග්‍යවතුන් වහන්සේගේ සිරුර සත්වරක් දරණවැලින් වට කොට, හිස මතැ මහත් පෙණය කොට, සිටියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත්දවස ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගී සිටි සේක.
ඉක්බිති මුදලිඳු නාරජ පහ වැ ගිය වලාකුළු ඇති අහස පිරිසිදු වූවා දැනැ බුදුරදුන් සිරුරෙන් දරණවැල ඉවත් කොට ස්වකීය වේශය අතුරුදහන් කොට කුමරවෙසක් මවා ගෙන බුදුරදුන් ඉදිරියෙහි බැඳැඳිලි ව බුදුරජුන් දිසාවට වැඳ ගෙන සිටියේ ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වෙලාවෙහි මේ උදන් ඇනූ සේක: