‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අශාශ්වත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (10)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද ශාශ්වතත් අශාශ්වතත් වේ. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (11)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද ශාශ්වතත් නොම වේ. අශාශ්වතත් නොම වේ යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (12)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ස්වයංකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති, ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (13)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද පරකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (14)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ස්වයංකෘතත් පරකෘතත් වේ. මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (15)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අස්වයඞ්කාරත් අපරකාරත් වේ, යදෘච්ඡාසමුත්පන්න යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (16)
ඔහු හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට පැමිණි යාහු. ‘ධර්‍මය මෙබඳු යැ, එබඳු නො වේ. ධර්‍මය මෙබඳු නොවේ, එබඳු යැ’යි මුවඅඩයටිවලින් උනුනට අනින්නාහු වෙසෙත්.
2. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිරැ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක සිටියහ: එක්පසෙක සිටි ම එ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
“වහන්ස, මේ සැවැත්නුවරැ නානාදෘෂ්ටි ඇති, නානාලබ්ධි ගත්, නානා රුචි ඇති, නානාදෘෂ්ටිකාරණයෙහි ඇලුණු බොහෝ නන් තොටු මහණ බමුණු පිරිවැජියෝ වෙසෙත්. (ඔවුන් අතුරෙහි) ආත්මයත් ලෝකයත් ශාශ්වත ය, මෙම ම සත්‍ය ය, සෙස්ස හිස් යැ යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ... ඔහු ‘ධර්‍මය මෙබඳු ය, ධර්‍මය එබඳු නො වේ. ධර්‍මය මෙබඳු නො වේ. ධර්‍මය එබඳු යැ’යි හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ මුව අඩයටින් උනුනට අනිමින් වෙසෙත්,’ යනු යි.
“මහණෙනි, අන්තොටු පිරිවැජියෝ අන්‍ධයෝ ය. ඇස් නැත්තෝ ය. ඔහු වැඩ නො දනිත්. අවැඩ නො දනිත්. දහම් නො දනිත්. නොදහම් නො දනිත්. ඔහු වැඩ නො දන්නෝ, අවැඩ නො දන්නෝ, දහම් නො දන්නෝ, නො දහම් නො දන්නෝ, ‘ධර්‍මය මෙ බඳු ය, ධර්‍මය එබඳු නො වේ, ධර්‍මය මෙබඳු නො වේ. ධර්‍මය එබඳු යැ’යි හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට බටුවෝ උනුනට මුව අඩයටිවලින් අනින්නාහු වෙසෙත්,”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
‘මේ සත්කැල ස්වයංකාර (අහඞ්කාර) දෘෂ්ටියෙහි යෙදුණෝ ය. ඊශ්වරාදි අන් කිසිවෙක් සියල්ල කෙරේ’යැ යි පරකාර දෘෂ්ටිය හෝ ඇසුරු කළෝ වෙති. අන් කෙනෙක් මේ දෘෂ්ටි දෙක ම නො අනුදත්හ. ඔහු ද තමන් ගත් යදෘච්ඡාසමුත්පන්න වාදය දුක් උපදවන හුලෙකැ යි නො දුටහ.
මෙය හුලෙකැ යි මුල දී ම දක්නා ඒ ආරබ්ධ විදර්‍ශකයාට ‘මම් කෙරෙමි’යි කියා සිතෙක් නො වේ. අනෙකෙක් කෙරෙයි’ කියාත් ඔහුට සිතෙක් නො වෙයි.
මේ සත්කැල මානයෙන් යුක්ත ය. මාන නැමැති ග්‍රන්‍ථ (ගෙතුම්) ඇත්තෝ ය. මාන බැඳුම් ඇත්තෝ ය, දෘෂ්ටිවිෂයයෙහි විරෝධකථාව සසර නො ඉක්මවයි.”
6. 7.
සුභූති සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි සුභූති තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා අවිතර්‍කසමාධියට (චතුර්‍ත්‍ථධ්‍යාන පාදක අර්‍හතත්‍වඵලසමාධියට) සමවැද හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා අවිතර්‍කසමාධියට සමවැද හුන් සුභූති තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වෙලායෙහි මේ උදන් ඇනූ සේක:
“යමක්හු විසින් මිථ්‍යාවිතර්‍කයෝ පලවා හරින ලද්දාහු ද, සිය සතන්හි ඉතිරි නො කොට සිඳැ පියන ලද්දාහු ද, රාගාදි සියලු සඞ්ග ඉක්මැ අරූපය (හෙවත් නිවන) අරමුණු කරන මාර්‍ගඵලසංඥා ඇති, කාමයොගාදි සතරයෝගයන් ඉක්මැ ගිය ආර්‍ය්‍ය පුද්ගල තෙමේ ඒකාන්තයෙන් පුනර්‍භවයට නො එයි.”
6. 8.
ගණිකා සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි රජගහ නුවරැ ගණ දෙකෙක් එක්තරා ගණිකාවක කෙරෙහි ඇලුණාහු පිළිබඳ සිතැත්තාහු වෙත්. ඔහු හටගත් ඩබර ඇත්තාහු, හටගත් කලහ ඇත්තාහු, විවාදයට බටුවාහු උනුනට අත්වලින් පහර දෙත්, ගල්කැටින් පහර දෙත්, දඬුවලින් පහර දෙත්, අවිවලින් පහර දෙත්. ඔහු එහි මරණයට ද පැමිණෙත්, මරණය පමණ වූ දුකට ද පැමිණෙත්.
2. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. රජගහ නුවරැ පිඬු පිණිස හැසිරැ පසුබත්කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක් පසෙක හිඳ ගත්තාවූ ම ඒ භික්‍ෂූහු ‘වහන්ස, මේ රජගහ නුවරැ දෙ ගණ කෙනෙක් එක්තරා ගණිකාවක කෙරේ ඇලුණෝ බැඳුණු සිතැත්තෝ, හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට පැමිණියෝ, උනුනට අතින් ද පහර දෙත්, කැටින් ද පහර දෙත්, දඬුයෙන් ද පහර දෙත්, සැතින් ද පහර දෙත්. ඔහු එහි මරණයට ද , මරණය තරම් වූ දුකට ද පැමිණෙත්.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
පැමිණි යම් පස් කම් සුවයෙක් ඇද්ද මතු පැමිණිය යුතු කොට පතන යම් පස් කම්සුවයෙක් ඇද්ද, මේ දෙක ම ක්ලේශාතුරයාගේ ද දුඃඛාතුරයාගේ ද රාගරජසිනුත් ද්වේෂරජසිනුත් වැසුණේ වෙයි:
මෙයින් සංසාරශුද්ධිය වෙතැ යි ගත් යම් ශීලව්‍රතාදි වූ ශික්‍ෂාසාර කෙනෙක් වෙත් ද, ශීලව්‍රත, ශාකභක්‍ෂකතාදි ජීවිකා, මෛථුනවිරති (ස්කන්‍දදේවපරිවරණාදි) උපස්ථානසාර කෙනෙක් වෙත් ද, මොහු ආත්මක්ලමථානුයෝග පක්‍ෂය ගත් එක් අන්තයෙක.
‘කාමයන්හි දොස් නැතැ’යි කියන යම් කෙනෙක් ඇත් ද, ඔවුන් ගත් මෙය කාමසුඛල්ලිකානුයෝගය වූ දෙවෙනි අන්තය ය. මෙසේ මෙ කී උබය අන්තයෝ කටසීන් (තෘෂ්ණා අවිද්‍යාවන්) වඩන්නෝ ය. කටසීහු (අවිද්‍යාතෘෂ්ණාවෝ) දෘෂ්ටිය වඩත්. මේ අන්ත දෙක නොදැන ඇතැම්හු කම්සුවෙහි යෙදීම් වශයෙන් හැකිළෙත්. කෙනෙක් සිය කය පෙළීම් වශයෙන් අතිධාවනය කරත්. යම් කෙනෙක් වනාහි ඔවුන් විශිෂ්ට නුවණින් දැන, ඒ අන්ත දෙක්හි පතිත නො වූහු ද, ඔහු (අන්තද්වයප්‍රහීණ කිරීමෙන් තෘෂ්ණාදි වශයෙන්) මඤ්ඤනා නො කළහ. ඔවුනට (මරණින් මතු ඇතැ යි) පණවන්නට (කර්‍මවර්‍ත විපාකවර්‍ත ක්ලේශවර්‍ත යන) කිසිම වර්‍තයෙක් නැත.”
6. 9.
උපාති සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රෑ මහඅඳුරෙහි තෙල් පහන් දැල්වෙන කල්හි එළිපහනෙහි වැඩ හුන් සේක් වෙති. එ සමයෙහි බොහෝ පලඟැටියෝ ඒ පහන් ඉදිරියට පැන ද පහන් වටා හැවිද පැන ද දුකටත් මරණයටත් පැමිණෙත්. භාග්‍යවතුන් වහන්සේ ඒ බොහෝ පලඟැටියන් ඒ තෙල්පහන්හි ඉදිරියට පැන ද පහන් වටා හැවිද පැන ද දුකටත් මරණයටත් පැමිණෙන්නවුන් දුටු සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“සත්හු දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙන් අතිධාවනය කරත්. (ශීලාදි) සාරයට නො පැමිණෙත්. තෘෂ්ණාදෘෂ්ටිසඞ්ඛ්‍යාත අලුත් අලුත් බැඳුම් වඩත්. මෙසේ ඇතැම්හු දුටු දැයෙහි ද ඇසු දැයෙහි ද පලඟැටියන් පහනට සෙයින් ඒ අරමුණු කෙරෙහි ශාශ්වතාදි වශයෙන් බැස ගත්තාහු එයට පනිත්.”
6. 10.
තථාගතොත්පාද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ කල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳැ එක්පසෙක හුන්හ. එක්පසෙකැ හුන් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “වහන්ස, යම් තාක් කල් ම තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු ලොවැ නො උපදිත් ද, ඒ තාක් ම අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර ලද්දාහු ගුරුකාර ලද්දාහු බුහුමන් ලද්දාහු පුදනු ලද්දාහු යටත් පැවතුම් ලද්දාහු සිවුරුපිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෝ වෙත්. වහන්ස, යම් කලෙක්හි ම තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු ලොව උපදිත් ද, එකල්හි අන්තොටු පිරිවැජ්ජෝ සත්කාර නො ලද්දෝ, ගුරුකාර නො ලද්දෝ, බුහුමන් නො ලද්දෝ, නො පුදනු ලද්දෝ, යටත් පැවතුම් නො ලද්දෝ, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර නො ලබන සුල්ලෝ වෙත්. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයාත් ම සත්කාර ලද්දෝත්, ගුරුකාර ලද්දෝත්, බුහුමන් ලද්දෝත්, පුදනු ලද්දෝත්, යටත් පැවතුම් ලද්දෝත්, සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබන සුල්ලෝත් වෙතී.” යනු යි.
2. “අනඳයෙනි, එය එසේ ය. අනඳයෙනි, යම්තාක් කල් ම ලොවැ තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු නො උපදිත් ද, ඒ තාක් ම අන්තොටු පිරිවැජ්යෝ සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර ලබන සුල්ලෝ ද වෙති. එහෙත් අනඳයෙනි, යම් කලෙක වනාහි තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු ලොවැ උපදිත් ද, එකල්හි අන්තොටු පිරිවැජියෝ අසත්කෘත ද අගුරුකෘත ද අමානිත ද අපූජිත ද අනපචිත ද, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර නොලබන සුල්ලෝ ද වෙත්. අනඳයෙනි, යම් කලෙක වනාහි තථාගත අර්‍හත් සම්‍යක් සම්බුදුවරු ලොවැ උපදිද් ද, එකල්හි අන්තොටු පිරිවැජියෝ අසත්කෘත ද අගුරුකෘත ද අමානිත ද අපූජිත ද අනපචිත ද, චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර නොලබන සුල්ලෝ ද වෙත්. දැන් තථාගත තෙමේත් භික්‍ෂූ සඞ්ඝයාත් ම සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පූජිත ද අපචිත ද, චීවරපිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍ය පරිෂ්කාර ලබන සුලු වෙති”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යම් තාක් හිරු නො නඟී ද, එ තාක් කල් ඒ කදෝපැණි තෙම බබලයි. හිරු නැගි කල්හි කදෝපැණි තෙම නටුවා වූ ප්‍රභා ඇත්තේ වේ. නො ද බබලයි.
එසේ යම් තාක් කල් සම්මාසම්බුදුහු ලොවැ නො උපදිත් ද ඒ තාක් ම තාර්කික වූ තීර්‍ත්‍ථකයන්ගේ බැබලීම වේ. (යම් කලෙක බුදුහු පහළ වෙත් ද එ කල්හි) තාර්කිකයෝ (දෘෂ්ටිගතිකයෝ) නො බබලත්. ඔහු සව්වෝ ද නො බබලත්. මිසදිටු ගත් ඔහු දුකින් නො මිදෙත්.”
සවන ජාත්‍යන්‍ධවර්‍ගය යි.
එහි උද්දානය:
ආයු ජටිල පච්චවෙක්ඛණ යන සූත්‍ර ද, තීර්‍ත්‍ථක සූත්‍ර තුන ද, සුභූති ගණිකා හා නවවන උපාතිධාවන සූත්‍රය ද , තථාගතුප්පාද සූත්‍රය දැ යි ඒ සූත්‍රදශ දෙනෙකි.
චූල්ල වර්‍ගය
7. 1.
ප්‍රථම භද්දිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ ලකුණ්ටකභද්දිය තෙරුනට නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්‍ය ලක්‍ෂණාදිය දක්වති. තිලකුණු අරමුණු කොටැති විවසුන් ගන්වති. එහි ඔවුන් සිත තියුණු කරති. එහි ඔවුන් සිත තුටුපහටු කරවති. ඉක්බිත්තෙන් සැරියුත් තෙරුන් විසින් නොයෙක් කරුණින් දැහැමි කතාවෙන් ත්‍රිලක්‍ෂණාදිය දක්වනු ලබන, විවසුන් ගන්වනු ලබන, එහි සිත තියුණු කරනු ලබන, එහි සිත තුටුපහටු කරනු ලබන ලකුණ්ටකභද්දිය තෙරුන්ගේ සිත ආස්‍රවයන් කෙරෙන් මිදුණේ ය. භාග්‍යවතුන් වහන්සේ, සැරියුත් තෙරුන් විසින් නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්‍යලක්‍ෂණාදිය දක්වනු ලබන, විවසුන් ගන්වනු ලබන, එහි සිත තියුණු කරනු ලබන, එහි සිත තුටු කරවනු ලබන, උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් සිත මුදාලන ලකුණ්ටකභද්දිය තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
“උඩ රූපාරූප ලෝකයෙහි ද, යටැ කාම ලෝකයෙහි ද සියලු සංස්කාරයෙහි හැම අයුරෙන් ම (කෙලෙසුන්ගෙන්) මිදුණු (රූපාදියෙහි) “මේ මම් වෙමි”යි නො දක්නා, මෙසේ මිදුණු රහත් තෙමේ පෙර තරණය නො කළ කාමාදි චතුර්විධ ඕඝය නැවත සසරැ නො වනු පිණිස (හෙවත් නිවන් පිණිස) තරණය කොට එ ගොඩැ සිටියේ ය.”
7. 2.
ද්විතීය භද්දිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමැ වැඩ වසන සේක. එසමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්‍ෂකයකු කොට හඟිනුවෝ පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතායෙන් අනිත්‍යාදිය දක්වයි, ගන්වයි, එහි තියුණු කෙරෙයි, තුටු පහටු කෙරෙයි. භාග්‍යවතුන් වහන්සේ ලකුණ්ටකභද්දිය තෙරුන් ශෛක්‍ෂකයකු කොට හඟිමින් පමණ ඉක්මැ නොයෙක් කරුණින් දැහැමි කතාවෙන් අනිත්‍යාදිය දක්වන, ගන්වන, එහි තියුණු කෙරෙන, තුටු පහටු කරන සැරියුත් තෙරුන් දුටු සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි ම් උදන් ඇනූහ:
“කෙලෙස්වට මුල් සින්දේ ය. නිරාශය (නිවන) අවබෝධ කෙළේ ය. තෘෂ්ණානදිය වියැලිණ. මෙයින් පසු එය නො ගලයි. (එහෙයින්) කම්වට නො පවතී. මෙය ම දුකේ කෙළවර යි.”
7. 3.
සක්ත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බොහෝ සෙයින් අධික වෙලාවක් (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජුවූවාහු වෙළුණාහු මුසපත් වූවාහු ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙත්. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පෙරෙවැ, පාසිවුරු ගෙන, සැවැතට පිඬු පිණිස පිවිසියහ. සැවතෙහි පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් ම ඒ භික්‍ෂූහු “වහන්ස, මෙහි සැවැත්හි මිනිස්සු බෙහෙවින් අධික වේලා (ඉම ඉක්මැ) කාමයන්හි ඇලුණාහු රැඳුණාහු ගිජු වූවාහු ගෙතුණාහු මුසපත් වූවාහු, ගැලුණාහු, කාමයන්හි ඉතා මත් වූවාහු වෙසෙති”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“වස්තුකාමයන්හි ක්ලේශකාමයෙන් ඇලුණු, වස්තුකාමයන්හි රාගාදි සඞ්ගවලින් ලැගුණු, සංයෝජනයෙහි (කාමරාගාදි ක්ලේශ සමූහයෙහි) දොස් නො දක්නා, සංයෝජන සඞ්ඛ්‍යාත සඞ්ගයෙන් ත්‍රෛභූමික ධර්‍මයන්හි ඇලුණු සත්ත්‍වයෝ පතළා වූ මහත් වූ කාමාදි ඕඝය කිසි කලෙකත් තරණය කට හැකි නො වන්නාහ.”
7. 4.
දෙවෙනි සක්ත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී; එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ කල්හි වනාහි සැවැත්නුවරැ මිනිස්සු බෙහෙවින් කාමයන්හි ඇලුණෝ රැඳුණෝ ගිජුවූවෝ ගෙතුණෝ මුස පත් වූවෝ ගැලුණෝ අන්‍ධ බවට පමුණුවන ලදුවෝ, කාමයන්හි ඉතා මත්වූවෝ වෙසෙත්. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිවුරු ගෙන සැවැතට පිඬු පිණිස වන් සේක. භාග්‍යවතුන් වහන්සේ ඒ මිනිසුන් සැවැතෙහි බෙහෙවින් කාමයන්හි ඇළුණවුන් රැඳුණවුන් ගිජුවූවන් ගෙතුණවුන් මුස පත්වූවන් ගැලුණවුන් අන්‍ධබවට පමුණුවන ලැබුවන්, කාමයන්හි ඉතා මත්වූවන් දුටු සේක.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“කාමයෙන් අන්‍ධ වූ, තෘෂ්ණාදැලින් වැසුණු, තෘෂ්ණා සෙවෙණියන් වසා ගන්නා ලද, මරහු විසින් බඳනා ලද සත්හු කෙමනමුවට වන් මසුන් මෙන් කිරිබොන වස්සා මව අනුව යන්නාක් මෙන් ජරාමරණය කරා යෙත්.”
7. 5.
ලකුණ්ටකභද්දිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි ලකුණ්ටකභද්දිය තෙරණුවෝ බොහෝ භික්‍ෂූන් පසු පසින් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. බොහෝ භික්‍ෂූනට පසුපසින් දුරින් ම එන දුර්වර්‍ණ වූ අප්‍රිය දැකුම් ඇති, මිටිවූ බෙහෙවින් (ජබ්බග්ගියාදි) පුහුදුන් මහණුන් විසින් පිරිහෙළන ලද අයුරු ඇති ලකුණ්ටකභද්දිය තෙරුන් භාග්‍යවතුන් වහන්සේ දුටු සේක. දැක භික්‍ෂූන් බණවා, “මහණෙනි, දුරින් ම බොහෝ භික්‍ෂූනට පසුපසින් එන නොමනා පැහැ ඇති, නොමනා දැකුම් ඇති, අඟුටු මිටි වූ, බෙහෙවින් පුහුදුන් මහණුන් විසින් පිරිහෙළන ලද අයුරු ඇති තෙල මහණහු තෙපි දක්නහු දැ?” යි වදාළ සේක.
2. “එසේය, වහන්සැ”යි ඒ භික්‍ෂූහු කීහ. “මහණෙනි, මේ මහණ තෙම මහත් ඍද්ධි ඇත්තේ ය, මහත් අනුභාව ඇත්තේ ය. ඒ මහණහු යමක් නො සමවන් විරූ නම් එසේ වූ සමවතෙක් සුලභ නො වේ. යමක් පිණිස කුලපුත්තු මොනොවට ගිහිගෙන් නික්මැ සසුන් වදිත් නම්, ඒ නිරුත්තර වූ, මගබඹසරෙහි කෙළවර වූ රහත්බව මෙ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ”යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා, එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“සුපුරිසිදු සිල් නැමැති නිදොස් මං ඇති, අර්‍හත්ත්‍ව ඵලවිමුක්ති නැමැති සුදු වැසුම් ඇති, සිහි නැමැති එක ම අරයක් ඇති, (එ මහණහුගේ) ආත්මභාව නැමැති රථය පවතී. සැලුම් නැති පිරිපුන් වැගුරුම් ඇති, බැඳුම් නැති එන්නා වූ එ මහණ බල.”
7. 6.
තණ්හාක්ඛය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා තෘෂ්ණාසංක්‍ෂය විමුක්තිය (හෙවත් රහත්පල සමවත) නුවණින් බලමින් හුන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා, එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යමකුහට අත්බවට මුල් වූ අවිද්‍යාවත් එයට පිහිටීමට හේතු වූ (ආස්‍රව නීවරණ අයෝනිසෝමනස්කාර සංඛ්‍යාත) භූමියත් නැද්ද, මානාතිමානාදි ප්‍රභේද ඇති කෙලෙස් ලතාවත් මදප්‍රමාද මායා ආදි කොළත් නැද්ද, එසේ වූ ඒ බන්‍ධනයෙන් මිදුණු ධීරයාට කවරෙක් නින්‍දා කරන්නට සුදුසු ද? දෙවියෝ ද ඔහු පසසති. බඹහු විසිනුත් හේ පුදනු ලද්දේ වේ.”
7. 7.
පපඤ්චඛය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ ප්‍රපඤ්චයන් සහගිය සංඥාවන්ගේ කොටස්වල ප්‍රහාණය නුවණින් සලකමින් වැඩහුන් සේක් වෙති.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ප්‍රපඤ්චසංඥාවන්ගේ කොටස්වලැ ප්‍රහාණය දැන (සලකා) එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යමකුහට ප්‍රපඤ්චයෝත් ඔවුන් විසින් කරන ලද සසර සිටීමත් නැද්ද, සන්‍දාන සංඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටිහුත් නැද්ද, යමෙක් පළිඝ සංඛ්‍යාත අවිද්‍යාවත් ඉක්මැවී ද, සිවු ඉරියව්වෙන් කල් යවන, තෘෂ්ණාරහිත වූ ඒ මුනිහට දෙවියන් සහිත ලොව ද අවඥා නො කෙරේ.”
7. 8.
කච්චාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහකසයින් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ කය ඍජු කොට තබා කමටහන් අරමුණට යොමු කොට මොනොවට එළැඹැවූ කායගතස්මෘතියෙන් වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ එසේ නොදුරෙහි පලක් බැඳ ... හුන් මහකසයින් තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යමකුට හැම විට ම කායගතාසතිය එළඹ සිටිනී වේ ද, ‘අතීත කර්‍මක්ලේශ මා හට නො වී නම්, වර්‍තමාන අත්බව මාහට නො වන්නේ ය. වර්‍තමාන කර්‍මක්ලේශ නොවී නම් අනාගතයෙහි මාහට අත්බවෙක් නො වන්නේ යයි දන්නේ ද, එහි පිළිවෙළින් උදයව්‍යයඥානාදීන් විදර්‍ශනා විහරණ ඇති හේ සුදුසු කල්හි ම තෘෂ්ණාව තරණය කරන්නේ ය.”
7. 9.
උදපාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරි සරන සේක්, මල්ලයන්ගේ ථූන නම් වූ බමුණුගමට බැස වදාළ සේක. ‘සැහැපුත් වූ සැහැකුලයෙන් පැවිදි වූ මහණ ගොයුම්හු වනාහි මහත් භික්‍ෂුසඞ්ඝයා හා මල්ල රටැ සැරිසරනුවෝ ථූන ගමට පැමිණියහ’යි ථුන ගම් වැසි බමුණු ගැහැවියෝ ඇසූහ. ඔහු ඒ මුඬු මහණහු පැන් නො බොත්ව’යි තණකොළින් ද පිදුරෙන් ද ළිඳ මුවවිට දක්වා ම පිරැවූහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් වැ එක්තරා රුක්මුලක් කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ ම භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, තෙල ළිඳෙන් මට පැන් ගෙනෙව’යි වදාළ සේක. එසේ වදාළ කල්හි, ආනන්‍ද තෙරණුවෝ ‘වහන්ස, ‘ඒ මුඬු මහණහු පැන් නො බොත් ව’යි කියා ථූන ගම් වැසි බමුණු ගැහැවියන් විසින් ඒ ළිඳ තණකොළිනුත් පිදුරෙනුත් මුවවිට තෙක් ම දැන් පුරවන ලදැ’ යි සැළ කළහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, … වදාළ සේක. දෙවැනි වර ද අනඳ තෙරණුවෝ … ‘පැන් නොබොත් ව’යි තණකොළිනුත් … පුරවන ලදැ’යි සැළ කළහ. තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ‘අනඳයෙනි, තෙල ළිඳෙන් මට පැන් ගෙනෙව’යි වදාළ සේක. ‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පාත්‍රය ගෙන ඒ ළිඳ කරා එළැඹියහ.
3. එ කල්හි ඒ ළිඳ අනඳ තෙරුන් එළඹෙන විටැ ඒ සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැර කොට මුවවිට දක්වා ම පිරිසිදු නොකැලඹුණු වෙසෙසින් පෑදුණු දියෙන් පිරුණේ පිටතට දිය නික්මවන්නක්හු මෙන් සිටියේ ය. එකල්හි අනඳ තෙරණුවන්හට ‘පින්වත්නි, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති නියාව මහත් අනුභාව ඇති නියාව ආශ්චර්‍ය්‍ය ය. අද්භූත ය! මේ ළිඳ මා එළැඹෙන කල්හි සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැරැ කොට පියා පිරිසිදු නොකැලඹුණු වෙසෙසින් පහන් වූ දියෙන් මුවවිට දක්වා, පිරුණේ පිටතට දිය නික්මවමින් මෙන් සිටියේ යැ’යි මෙ සිත විය. මෙසේ සිතා පාත්‍රයෙන් පැන් ගෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ ‘වහන්ස, තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්‍ය්‍ය ය. අද්භූත ය. මේ ළිඳ මා එළැඹෙන කල්හි සියලු තණකොළත් පිදුරුත් මුවවිටින් බැහැරැ කොට පියා පිරිසිදු නොකැලැඹුණු වෙසෙසින් පහන් වූ දියෙන් මුවවිට දක්වා පිරුණේ පිටතට දිය නික්මවමින් මෙන් සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක්වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක්වා’යි කීහ.
4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“හැම කල්හි (හැමතැන ම) දිය ඇත් නම්, ඒ ළිඳෙන් කවර ප්‍රයෝජන ද? තෘෂ්ණා පිපාසාවගේ මුල සිඳ සිටි මා වැන්නෙක් කවරැ හෙයින් දිය සොයා ඇවිදුනේ ද? නො ඇවිදුනේ ම ය.”
7. 10.
උදේන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි උදයන රජහු උයන් යාදී ඇතොවුර ගින්නෙන් දැවී ගියේ වෙයි. සාමාවතී දේවිය ප්‍රමුඛ කොටැති පන්සියක් ස්ත්‍රීහු කලුරිය කළාහු වෙත්. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන කොසොඹෑ පුරයට පිඬු පිණිස පිවිසියහ. කොසොඹෑ පුර පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ, එක් පසෙකැ හුන්හ. එක් පසෙක හුන්නාවූ ම ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, මෙහි උදේන රජු උයන් යාදී ඇතොවුර දා ගියේ ය. සාමාවති ප්‍රමුඛ පන්සියක් ස්ත්‍රීහු කලුරිය කළාහු වෙති යි සැළ කොට ‘වහන්ස, ඒ උවැසියන්ගේ මරණින් පසු ගතිය කවර යැ? පරලොව කවර යැ?’යි විචාළහ.
2. “මහණෙනි, ඔවුන් අතුරෙහි සෝවාන් උවැසියෝ ඇත. සෙදැගැමි උවැසියෝ ඇත. අනැගැමි උවැසියෝ ඇත. මහණෙනි, ඒ සියලු උවැසියෝ පැමිණි ශ්‍රාමණ්‍යඵල ඇත්තාහු ම එහෙයින් නිෂ්ඵල නො වැ කලුරිය කළහ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
3. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ:
“මෝහය හා එකට බැඳුණු සත්ත්‍වලෝකය හේතු සම්පන්නයක්හු මෙන් දක්නා ලැබේ. උපධීන් හා බැඳුණු අඥාන තෙම අවිදු අඳුරින් පිරිවැරුණේ සදාභාවී මෙන් සලකයි. සංස්කාරයන් අනිත්‍යාදීන් බලන්නහුට (රාගාදි) කිඤ්චනයෙක් නැත.”
සත්වන සුළුවගයි.
එහි උද්දානය: