Udāna

Inspired Utterances

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-23 · 821 segments

පෙන්වන කොටස් 501-600 න් 821

2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
“මුළා සිහි ඇති, පණ්ඩිතප්‍රතිරූපක වූ, මුඛාරූඪ වූවක් ම කියන සුලු, යම් පමණට මුව ඇරීම කැමැති ද, එ පමණ ම කියන්නා වූ, මුළාසිහි ඇති බව් ආදි යමෙකින් මෙහෙයන ලද්දාහු ‘අපි මෙසේ නො සුදුසු බසක් ම කියමු’යි නො දනිත්.”
පන්‍ථක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි චුල්ලපන්‍ථක තෙරණුවෝ පලක් බැඳ, කය ඍජු කොට පිහිටුවා, සිහිය අරමුණට යොමු කොට එළවා, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි හුන්නාහු වෙත්. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිහි අරමුණට යොමු කොට තබා නොදුරෙහි හුන් චුල්ලපන්‍ථක තෙරුන් දුටු සේක.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“මනාව සිටි කයින්, සමාධිගත වැ සිටි සිතින්, සිටින්නේ හෝ හිඳින්නේ හෝ වැද හෝනේ මේ සිහිය ඉටන (මේ එළැඹ සිටි සිහියෙහි පිහිටා සිටුනා) මහණ තෙමේ (ශමථ විදර්‍ශනා වශයෙන්) පෙර පසු පවත්නා භාවනා විශේෂය ලබන්නේ ය. පෙර පසු විසින් පැවැති භාවනා මඟින් ලත් විශේෂ ධර්‍මය (රහත් බව) ලැබ මෘත්‍යුරාජයාගේ (මරණයාගේ) අදර්‍ශනයට (මරහුට ගොදුරු නොවන තැනට) යන්නේ ය.”
පස්වන සෝණවර්‍ගය යි.
එහි උද්දානය:
රාජ, අප්පායුක, කුට්ඨි, කුමාරක, උපෝසථ, සෝණ, රේවත, නන්‍ද, සද්ධ, පන්‍ථක යනු මෙහි සූත්‍රයෝ ය.
ජාත්‍යන්‍ධ වර්‍ගය
ආයුසංඛාරවොස්සජන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුරැ මහවනයෙහි කූටාගාරශාලා විහාරයෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුරැ පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්. අනඳ තෙරුන් බණවා, අනඳයෙනි, හිඳිනා ඇතිරිය ගනුව. දිවාවිහරණය පිණිස චාපාල චෛත්‍යය වෙත යන්නමු’යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි කියා ම අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, හිඳිනා ඇතිරිය ගෙන, භාග්‍යවතුන් වහන්සේ පසුපසින් වැඩියහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාලචෛත්‍යය කරා එළැඹි සේක. එළැඹ, පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ම, ‘අනඳයෙනි, විසල්පුරය සිත්කලු ය, උදායන චෛත්‍යය සිත්කලු ය, ගෞතමක චෛත්‍යය සිත්කලු ය, සප්තාමු චෛත්‍යය සිත්කලු ය, බහුපුත්‍ර චෛත්‍යය සිත්කලු ය, සාරන්‍දද චෛත්‍යය සිත්කලු ය, චාපාලචෛත්‍යය සිත්කලු ය. ආනන්‍දය, යම් කිසිවකු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු නම්, බහුල වශයෙන් කරන ලද්දාහු නම්, යුක්තයානයක් මෙන් කරන ලද්දාහු නම්, පිහිටන තැනක් මෙන් කරන ලද්දාහු නම්, සිද්ධ කරන ලද්දාහු නම්, පුරුදු කරන ලද්දාහු නම්, මොනොවට නිපදවන ලද්දාහු නම්, හෙ තෙම කැමැත්තේ නම්, හෙ තෙම ආයුෂ්කල්පයක් (ඒ කාලයෙහි මිනිසුන්ගේ සම්පූර්‍ණ ආයුෂප්‍රමාණ කාලයක්) හෝ එයට වැඩියක් කල් සිටිය හැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඍද්ධිපාදයෝ භාවිතයහ, බහුලීකෘතයහ, යානීකෘතයහ, වාස්තු කෘතයහ, අනුෂ්ඨිතයහ, පරිචිතයහ, සුසමාරබ්ධයහ. අනඳයෙනි, තථාගතයෝ කැමැත්තෝ නම්, ආයුෂ්කල්පයක් හෝ එයට වැඩි කලක් සිටිය හැක්කාහුයැ”යි වදාළ සේක. මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් දැඩිවූ සංඥා ඉපැදවීම කරනු ලබනු කල්හි, ඖදාරික අවභාසය කරනු ලබන කල්හි, ආනන්‍ද තෙරණුවෝ එය දැනැ ගන්නට නොහැකි වූහ. මරහු විසින් මඩනාලද සිතැත්තක්හු සේ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා සඳහා, දෙව් මිනිස්නට යහපත පිණිස, හිත පිණිස, සුව පිණිස කල්පයක් හෝ කල්පයකට වැඩියක් කල් වැඩ සිටින සේක්වා’යි භාග්‍යවතුන් වහන්සේ නො යැද්දහ.
දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “... සිත්කලු ය ... තථාගතයෝ කැමැත්තාහු නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටිය හැක්කාහ”යි වදාළ සේක. තෙවෙනි වරැ ද භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “... සිත්කලු ය ... තථාගතයෝ කැමැත්තාහු නම් කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් හෝ සිටිය හෙන්නාහ”යි වදාළ සේක. මෙසේත් අනඳ තෙරණුවෝ ... මරහු විසින් මඩනා ලද සිතැත්තක්හු සේ ... නො යැදූහ.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යම් දිවාවිහරණයකට කලැ යි සිතවු ද එයට යවු’යැ” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියාම අනඳ තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, හුනස්නෙන් නැගී සිට භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, පැදැකුණු කොට, නොදුරෙහි එක්තරා රුක්මුලෙක හිඳ ගත්හ.
3. එකල්හි පවිටු මර අනඳ තෙරුන් නික්මැ වැඩි නොබෝ වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියා වූ ම පවිටු මර භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: “වහන්ස, භගවත්හු පිරිනිවෙත්වා, සුගතයෝ පිරිනිවෙත්වා දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, “යම් තාක් කල් මේ සවු මහණහු ව්‍යක්ත ද විනීත ද විශාර ද බවට පැමිණියෝ ද යෝගක්‍ෂේම ද බහුශ්‍රුත ද ධර්‍මධර ද ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුරූපධර්‍මයෙහි හැසිරෙන සුලු ද වූවෝ සිය ආචාර්‍ය්‍යවාදය ඉගෙන උගන්වන්නාහු ද, කියවන්නාහු ද,, පවසන්නාහු ද, පිහිටුවන්නාහු ද, හෙළි කරන්නාහු ද, බෙදා දක්වන්නාහු ද, ප්‍රකට කරන්නාහු ද, උපන් පරප්‍රවාදය කරුණු සහිතව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන්නාහු ද එතෙක් නො ම පිරිනිවෙන්නෙමි”යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය.
වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්‍ෂූහු ව්‍යක්තයෝ විනීතයෝ විශාරදයෝ යෝගක්‍ෂේමයෝ ... බහුශ්‍රැතයෝ ධර්‍මධරයෝ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයෝ සම්‍යක්ප්‍රතිපන්නයෝ අනුධර්‍මචාරීහු ඇත: ඔහු සිය ආචාර්‍ය්‍යවාදය ඉගෙන උගන්වත්, කියවත්. දෙසත්, පිහිටුවත්, හෙළි කෙරෙත්, බෙදා දක්වත්, ප්‍රකට කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිතව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික වන තෙක් කොට දහම් දෙසත්. වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත්වා. සුගතයෝ පිරිනිවෙත්වා. වහන්ස, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය.
4. වහන්ස, ‘යම් තාක් කල් මාගේ ශ්‍රාවක මෙහෙණහු ව්‍යක්ත ද ... අනුධර්‍මචාරීණීහු නොවන්නාහු ද නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන්නාහු ද ඒතාක් නොපිරිනිවෙන්නෙමැ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. වහන්ස, දැන් භාග්‍යවතුන්ගේ ව්‍යක්ත වූ මෙහෙණහු දැන් ඇත. ඔහු නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන්නාහ. වහන්ස, භගවත්හු පිරිනිවෙත් වා ... භාග්‍යවතුන් විසින් ‘යම්තාක් කල් මාගේ ශ්‍රාවක වූ උපාසකයෝ ව්‍යක්තත් ... නොවන්නාහු ද ... නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසනු හැකි නො වන්නාහු ද, පවිට ඒ තාක් කල් නො පිරිනිවෙන්නෙමි යි මෙ වචනය කියන ලද්දේ ය. වහන්ස, … පිරිනිවෙත්වා ... වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ උපසාකයෝ ව්‍යක්ත ද … වෙත්. නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත් ... පිරිනිවෙත් වා ...
5. භගවතුන් විසින් යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා වූ උපාසිකාවෝ ව්‍යක්ත ද ... නොවන්නාහු ද ... අනුධර්‍මචාරීණීහු නොවන්නාහු ද ... ධර්‍මය නෛර්‍ය්‍යාණික කොට නො දෙසන්නාහු ද ඒතාක් නොපිරිනිවෙන්නෙමි’යි මේ වචනය වදාරන ලද්දේ ය. වහන්ස, දැන් භාග්‍යවතුන්ගේ සවු වූ උපාසිකාවෝ ව්‍යක්ත ද ... අනුධර්‍මචාරිණීහු ද වෙත් ... නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන්නාහ. භගවත්හු දැන් පිරිනිවෙත්වා ...
6. “පවිට යම් තාක් කල් මාගේ මේ ශාසනය (ධ්‍යානෝත්පාද විසින්) සමෘද්ධ ද, (අභිඥාසම්පත්ති විසින්) ස්ථිත ද, (ඒ ඒ දෙසැ පිහිටීම් විසින්) පැතුරුණෙක් ද (බොහෝ දෙනා සත්‍යාවබෝධ කිරීම් විසින්) බොහෝ දෙනා අතර ප්‍රකට ද නුවණැති දෙවිමිනිසුන් හැම දෙනා විසින් මොනොවට ප්‍රකාශිත ද නො වේ නම් ඒතාක් මම් නොපිරිනිවෙන්නෙමි”යි භාග්‍යවතුන් විසින් මේ වචනය කියන ලද ම ය. වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන්ගේ ශාසනය සමෘද්ධ ද පැතුරුණෙක් ද බොහෝ දෙනා අතරැ ප්‍රකට ද දෙවිමිනිසුන් හැම දෙනා විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භාග්‍යවත්හු පිරිනිවෙත්වා. සුගතයෝ පිරිනිවෙත්වා. වහන්ස, දැන් භාග්‍යවත්නට පිරිනිවෙන්නට කල් ය” යනු යි.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පවිටු මරහට “පවිට, තෝ නිරුත්සුක වව. නොබෝ කලකින් තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙම පිරිනිවෙන්නේ යැ”යි වදාළ සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයේදී එළැඹැ සිටි සිහි ඇත්තාහු නුවණින් පිරිසිඳැ දන්නාහු ආයුසංස්කාරය හළ සේක. (ඒ තෙමස පමණක් සමවත් සමවදිමින් කය රැකි උන්වහන්සේ එයින් මතු කය රැකුම්වස් සමවත් නො සමවදින්නෙමියි අදහස් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්කාර හළ කල්හි ම බිහිසුණු ලොමුදහ ගන්වන මහද්භූමිකම්පනයෙක් විය. දෙව්බෙර නද දුන්හ. (ක්‍ෂිණක වැස්සෙක් වට)
7. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“පුනර්‍භවය සකස් කරන, භවෝත්පත්තියට කාරණ වූ කාමාවචර රූපාවචර කර්‍ම ද අරූපාවචර කර්‍ම ද බුද්ධමුනි තෙමේ හළේ ය. නිජකාධ්‍යාත්මයෙහි ඇලුණේ (හෙවත් උපචාරාර්‍පණසමාධි විසින්) සමාහිත වූයේ තමා කෙරෙහි වූ කෙලෙස් කවචයක් (සන්නාහයක්)මෙන් බිඳැ දැමී ය. නොහොත් පස්කඳ අනිසැ යි නිවන නිත්‍ය යැ යි ආදීන් තුලනය (තීරණය) කරනුයේ, බුද්ධමුනි තෙමේ භවගාමී කර්‍මයන් (කර්‍මක්‍ෂයකර) ආර්‍ය්‍යමාර්‍ගයෙන් හළේ ය. කෙසේද? විවසුන් විසින් සිය පස්කඳෙහි ඇලුණේ ශමථ විසින් සමාහිත වූයේ, තමා කෙරෙහි වූ කෙලෙස් නැමැති කවචය බෝමුලැදී ම හළ භවසංස්කාර ඇත්තේ, සමාපත්ති බලයෙන් රැඳවූ අත්බව මෙයින් මතු එයට නො සමවදිමියි ආයුසංස්කාරය හළේ ය.”
ජටිල සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර මෘගාරිමාතෘප්‍රසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි චිත්තවිවේකයෙන් නැගී සිටි සේක්, ප්‍රාසාදද්වාරකෝෂ්ඨයෙන් පිටත්හි වැඩ හුන් සේක් වෙති.
එකල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ, එකත්පසෙක හුන්නේ ය. එ සමයෙහි සත් දෙනෙක් ජටිලයෝ ද, සත් දෙනෙක් නිවටහු ද, සත් දෙනෙක් අචෙලකයෝ ද, සත් දෙනෙක් ඒකසාටක නිවටහු ද, සත් දෙනෙක් පිරිවැජියෝ ද වැඩුණු කිසිලිලොම් ද නියපොතු ද ඇත්තාහු නන් වැදෑරුම් පැවිදි පිරිකර බඩු රැගෙන භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි (නුවර දෙසට) ඉක්මැ යෙත්.
2. පසේනදි කොසොල් රජ වැඩුණු කිසිලිලොම් හා නියපොතු ද ඇති ඒ සත් ජටිලයන් ද, සත් නිවටුන් ද, සත් අචේලකයන් ද, සත් එකසාටකයන්ද, සත් පිරිවැජියන් ද පිරිකර බර ගෙන භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි මඟින් ඉක්මැ යන්නවුන් දිටී ය. දැක හුනස්නෙන් නැඟී සිට උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල බිමැ හැන, ඒ සත් ජටිලයන් ද, සත් නිවටුන් ද, සත් අචේලකයන් ද, සත් එකසාටකයන්ද, සත් පිරිවැජියන් ද දසාවට ඇඳිලි නමා ‘වහන්ස, මම් පසේනදි කොසොල්මි’යි තුන් වරක් සිය නම ඇස්වී ය.
3. ඉක්බිත්තෙන් පසේනදි කොසොල් රජ ඒ සත් ජටිලයන් … ඉක්ම ගිය කල්හි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ වැඳ එකත්පසෙක හුන්නේ ය. එක් පසෙක හුන්නා වූ ම පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ලොවැ යම් රහත් කෙනෙක් හෝ රහත් මඟට පැමිණි හෝ යම් කෙනෙක් වෙත් නම්, මොහු ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් වෙති”යි කී ය.
“මහරජාණෙනි, අඹුදරුවන් නිසා හටගත් සම්බාධ ඇති යහනක් ඇති වැ වසන, කසිවත් හා සියුම් සඳුන් පරිභෝග කරන, මල්ගඳ විලෙවුන් දරන රන් රිදී ඉවසන කාමභෝගී ගිහි වූ තොප විසින් ‘මොහු රහත්හු ද නොහොත් රහත්මඟට පිළිපන්නෝ දැ?”යි යන මෙය නො දත හැකි ය. මහරජාණනි, එක් වැ විසීමෙන් වනාහි ශීලය දත යුතු. එ ද දික් කලෙකිනි. මඳ කලෙකින් නො වේ. එ ද කටහැක්කේ සිල් පිරිසිඳින්නෙමියි මෙනෙහි කරන්නහු විසිනි. මෙනෙහි නොකරන්නහු විසින් නො වේ. ප්‍රඥා ඇත්තහු විසිනි, ප්‍රඥා නැත්තහු විසින් නො වේ. මහරජාණෙනි, කථායෙන් පිරිසුදු බව දත යුතු. එ ද දික් කලෙකිනි. මද කලෙකින් නො වේ ... ප්‍රඥා නැත්තහු විසින් නො වේ. මහරජාණෙනි, විපත්හිදි ඥානස්ථාමය දත යුතු. එ ද දික් කලෙකිනි. ... ප්‍රඥාව නැත්තහු විසින් නො වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
4. “වහන්ස, ආශ්චර්‍ය්‍ය ය! වහන්ස, අද්භූත ය! ... රහත්මගට පිළිපන්නෝ දැ?”යි මෙය දත නො හැක්කේ ය. ... එක් වැ විසීමෙන් ... ප්‍රඥා නැත්තහු විසින් නො වේ”යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ වචනය ඉතා මැනැවින් වදාරන ලද්දේය. වහන්ස, මොහු පැවිදි වෙසින් සිට රට වැසියන්ගේ පිණ්ඩභෝජනය වළඳන මාගේ චරපුරුෂයෝ ය. මොහු දනව්වල තතු විමසා බලා එති. පළමුවෙන් මොවුන් බැස්ස ඒ පෙදෙසට ඔවුනට පසු ව මම බස්නෙමි. වහන්ස, ඔහු දැන් දූවිලි මල සෝදා හැර මොනොවට නෑවාහු මොනොවට විලෙවුන් දැරුවාහු කැපූ කෙහෙරවුළු ඇත්තාහු, සුදුවන් හඳින්නාහු පස් කම්ගුණ හා ඇලුණෝ එක් වූවෝ ඉඳුරන් කාමවස්තුන්හි හසුරුවත්”යැ යි පසේනදී කොසොල් රජ කී ය.
5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ.
“මහණ තෙම (දූතමෙහෙවර චරපුරුෂ මෙහෙවර ආදි වූ) සියලු ලාමකකම්හි වෑයම් නො කරන්නේ ය. අනෙකුගේ සේවකයෙක් නො වන්නේ ය. අන් අධිපති ආදි කෙනෙකුන් ඇසුරු කොට ජීවත් නො වන්නේ ය. ධර්‍මයෙන් වෙළෙඳාම් නො කරන්නේ ය. (ධන ආදිය පිණිස බණ නො කියන්නේ ය.)
ප්‍රත්‍යවේක්‍ෂණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර නොදුරු නොළං තන්හි වූ දෙව්රම් නම් වූ අනේපිඬු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ප්‍රහීණ වූ නොයෙක් ලාමක අකුසල් දහම් ද, භාවනායෙන් පිරිපුන් බවට පැමිණි නොයෙක් කුසල් දහම් ද නුවණින් සලකා බලමින් වැඩ හුන්නාහු වෙති.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූහ.
(රහත්මඟ නුවණ ලබන්නට) පෙරැ (රාගාදි කෙලෙස් මා සතන්හි) විය. (ආර්‍ය්‍යමාර්‍ගක්‍ෂණයෙහි) ඒ නො වී ය. (දැන් භාවනායෙන් පිරිපුන් බවට පැමිණි අප්‍රමාණ කුශලධර්‍ම අග්‍රමාර්‍ගක්‍ෂණයට පූර්‍ව වූ) ඒ පුහුදුන් සමයෙහි නො වීය. (අග්‍රමාර්‍ගඥානය උපන්) එදා මේ සියලු අනවද්‍යධර්‍ම පහළ විය. (යම් ආර්‍ය්‍යමාර්‍ගයෙක් මට බෝමැඩදී පහළ වී ද, මාර්‍ගක්‍ෂණයෙන් පෙරැ) එය මට නො වී ය. මතුත් නො වන්නේ ය. සියලු කෙලෙස් නසා අවසන් බැවින් නසන ආර්‍ය්‍යමාර්‍ගයෙක් දැනුත් මට නැත.
ප්‍රථමනානාතීර්‍ත්‍ථක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ ජේතවන නම් වූ අනේපිඬු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි නානාවිධ දෘෂ්ටි ඇති නානාවිධ මත උසුලන, නානාවිධ රුචි ඇති, නානා දෘෂ්ටිනිඃශ්‍රයයෙහි ඇලුණු බොහෝ නන්තොටු මහණ බමුණු පිරිවැජියෝ සැවැත් නුවරැ වෙසෙත්.
(ඔවුන් අතුරෙහි) ‘ලොව ශාශ්වත ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (1)
‘ලොව අශාශ්වත ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (2)
‘ලොව අන්තවත් ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (3)
‘ලොව අනන්තය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (4)
“ජීවයක් ශරීරයත් දෙකම එකෙක් ය, මෙය සත්‍ය ය, සෙස්ස හිස් යැ”යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (5)
“ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ”යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (6)
‘ආත්මය මරණින් මතු ඇත. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. (7)
‘ආත්මය මරණින් මතු නැත. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. (8)
‘ආත්මය මරණින් මතු ඇත්තේත් නැත්තේත් වේ. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. (9)
‘ආත්මය මරණින් මතු නො මැත්තේත් නොම නැත්තේත් වේ. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත. (10)
ඔහු ධර්‍මය මෙබඳුය, එබඳු නො වේ ය. ධර්‍මය එබඳු නො වේ. මෙබඳු යැ’යි හටගත් භණ්ඩන ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ උනුන් මුඛ නැමැති අඩයටිවලින් විදුනාහු වෙසෙත්.
2. එ කල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරව, පා සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්හි පිඬු පිණිස හැසිර පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හුන්හ. එකත්පසෙකැ හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, මෙහි නානාවිධ දෘෂ්ටි ඇති නානාවිධ මත උසුලන, නානාවිධ රුචි ඇති, නානාදෘෂ්ටිනිඃශ්‍රයයෙහි ඇලුණු බොහෝ නන් තොටු මහණ බමුණු පිරිවැජියෝ සැවැත් නුවරැ වෙසෙත්. (ඔවුන් අතුරෙහි) ‘ලොව ශාශ්වතය ... ඔහු ‘ධර්‍මය මෙ බඳු නොවේ, ධර්‍මය එබඳු යැ’ යි ... මුඛ නැමැති අඩයටිවලින් විදුනාහු වෙසෙත්” යනු යි.
(එය අසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:)
3. “මහණෙනි, අන්තොටු පිරිවැජ්ජෝ අන්‍ධයෝ ය, පැණැස නැත්තෝ ය. වැඩ නො දනිත්. අවැඩ නො දනිත්. දහම නො දනිත්. නොදහම් නො දනිත්. ඔහු වැඩ නො දන්නාහු, අවැඩ නොදන්නාහු, දහම නොදන්නාහු, නොදහම නොදන්නාහු, ‘දහම මෙ බඳුය ය, දහම එ බඳුය නො වේ. දහම එ බඳුය නො වේ, දහම මෙ බඳු යැ’යි හටගත් භණ්ඩන ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විවාදයට බටුවෝ, උනුන් මුඛ අඩයටිවලින් විදුනාහු වෙසෙත්.
4. “මහණෙනි, පෙර වූවක් කියම්. මේ සැවැත් නුවරෙහි ම එක්තරා රජෙක් විය. එකල්හි ඒ රජ, එක් පුරුෂයකු බණවා, ‘එම්බා පුරුෂය, තෝ මෙහි එව. සැවැතෙහි යම් පමණ දෑ අඳහු වෙත් නම්, උන් හැම එකට රැස් කරව’යි ඇණවී ය. මහණෙනි, ‘එසේ ය, දේවයිනි’යි කියා ම, ඒ පුරුෂ තෙම, එ රජුට පිළිවදන් දී, සැවැතෙහි යම් පමණ දෑ අඳහු වූහු නම් උන් හැම ගෙන ඒ රජු කරා එළැඹියේ ය. එළැඹ, එ රජුට ‘දේවයිනි, සැවැතෙහි ඇති තාක් හැම දෑ අඳහු ම රැස් කරන ලද්දාහ’යි සැළ කෙළේ ය. ‘එසේ වී නම්, සගය, දෑ අඳනට ඇතකු දක්වව’යි රජ කී ය. ඒ පුරුෂ තෙම, එසේය දේවයිනි’යි කියා ඒ රජුට පිළිවදන් දී දෑ අඳනට ‘දෑ අඳනි, ඇතා මෙ බඳු’යි කියා ඇතු දැක්වී ය:
‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ හිස දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ කන දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ දතක් දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ සොඬ දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ කඳ දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ පයක් දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ කළවෙය දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ නඟුට දැක්වී ය. ‘දෑ අඳනි, ඇතා මෙබඳු යැ’යි ඇතැම් දෑ අඳනට ඇතුගේ වලග දැක්වී ය.
ඉක්බිත්තෙන් මහණෙනි, ඒ පුරුෂ තෙම දෑ අඳනට ඇතු දක්වා, ඒ රජු කරා එළැඹියේ ය. එළැඹ එ රජුට ‘දේවයිනි, ඒ දෑ අඳන් විසින් ඇත් තෙම දක්නා ලද්දේ ය. ඔවුන්ගෙන් යම් විමැසුමකට දේවයන් වහන්සේ සිතන සේක් නම්, එයට දැන් කල් යැ’යි සැළ කෙළේ ය.
5. මහණෙනි, එ කලැ ඒ රජ ඒ දැ අඳුන් කරා එළැඹියේ ය. එළැඹ ‘දෑ අඳනි, තොප විසින් ඇතා දක්නා ලද දැ?’යි ඇසී ය. “එසේ ය, දේවයන් වහන්ස, අප විසින් ඇතා දක්නා ලදැ”යි ඔහු කීහ. දෑ අඳනි, ඇතා මෙ අයුරුයැ යි කියව’යි රජ කී ය. යම් දෑ අඳුන් විසින් ඇතුගේ හිස අත ගානා ලද්දේ වී ද, ඔහු ‘කළය යම් බඳු නම් ඇතා එබඳු යැ’යි කීහ. ඇතුගේ කන් අත ගැ දෑ අඳහු ඇතා කුල්ලක් බඳු යැ’යි කීහ. ඇතුගේ දත් දුටු දෑ අඳහු ‘දේවයිනි ඇතා සීවැල බඳු යැ’යි කීහ. ඇතුගේ සොඬ අත ගෑ දෑ අඳහු ‘ඇතා නගුලිස බඳු යැ’යි කීහ. ඇතුගේ සිරුරැ අත ගෑ දෑ අඳහු ‘ඇති අටුව බඳු යැ’යි කීහ. ඇතුගේ පය අත ගෑ දෑ අඳහු ‘ඇතා ටැඹක් බඳු යැ’යි කීහ. ඇතුගේ කළවෙ අත ගෑ දෑ අඳහු ‘ඇතා වංගෙඩිය බඳුය’යි කීහ. ඇතුගේ නඟුට අත ගෑ අඳහු ‘ඇතා මොහොල බඳු යැ’යි කීහ. ඇතුගේ වලග අත ගෑ දෑ අඳහු ‘ඇතා මුස්න බඳු යැ’යි කීහ. ඔහු ‘ඇතා මෙබඳු ය, එබඳු නොවේ. ඇතා එබඳු නො වේ. මෙබඳු යැ’යි උනුන් මිටින් පහර දුන්හ. මහණෙනි, එයින් රජ සතුටු විය.
මහණෙනි, එ පරිද්දෙන් ම අන්තොටු පිරිවැජ්ජෝ නුවණින් අන්‍ධ වූවෝ, නුවණැස් නැත්තෝ ... ‘දහම එබඳු නො වේ, දහම මෙ බඳු යැ’යි ... මුව අඩයටිවලින් විදුනාහු වෙසෙත්.”
6. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූහ:
“ඇතැම් මහණ බමුණෝ (ශාශ්වතාදි අසාර වූ) මේ දෘෂ්ටීන්හි ඇලෙත්. එක් අඞ්ගයක් ම දක්නාහු (‘තෝ මෙය නො දනිහි. මම් දනිමි’යි යන ආදීන් ) එය (ශාශ්වතාදි වශයෙන්) උනුනට විරුද්ධ වැ ගෙන විවාද කෙරෙත්.’
ද්විතීයනානාතීර්‍ත්‍ථක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් වූ අනේපිඬු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වනාහි බොහෝ නන් තොටු මහණ බමුණු පිරිවැජියෝ නානා දෘෂ්ටි ඇත්තාහු, නානා ලබ්ධි ඇත්තාහු, නානා රුචි ඇත්තාහු, නානා දෘෂ්ටි නිඃශ්‍රය ඇසුරු කළාහු, සැවැත් නුවරැ වෙසෙත්.
ඔවුන් අතුරෙහි ආත්මයත් ලෝකයත් ශාශ්වත ය, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (1)
‘ආත්මයත් ලෝකයත් අශාශ්වතය මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (2)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වෙතියි, ‘මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (3)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් නොවෙති. අශාශ්වතත් නොවෙති. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (4)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත යැ, ‘මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (5)
‘ආත්මයත් ලෝකයත් පරකෘත යැ, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (6)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ද, පරකෘත ද වෙත්. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ගත් ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (7)
‘ආත්මයත් ලෝකයත් තමන් ම මවා ගැන්මක් හෝ අනුන්ගේ මැවීමක් ඇතියෝ නො වෙත්. යදෘච්ඡාසමුත්පන්නය (කාරණයක් නැති ව තුමූ ම පහළ වූහ). මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (8)
‘සුව දුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම ශාශ්වත ය. මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (9)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම අශාශ්වතය. මෙයම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (10)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම ශාශ්වත ද අශාශ්වත ද වේ. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (11)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම නොම ශාශ්වත ය. නොම අශාශ්වත ය. මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (12)
‘සුවදුක් ආත්මය ද ලෝකය ද යන මේ හැම ස්වයංකෘත ය. මෙ යම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (13)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද පරකෘත ය. මෙ යම සත්‍ය ය, සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (14)
‘සුවදුක් ආත්මය ද ලෝකය ද යන මේ හැම ස්වයංකෘත ය, පරකෘතයැයි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (15)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මේ හැම ස්වයංකාර පරකාර රහිත ය, යදෘච්ඡාසමුත්පන්න ය. මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (16)
ඔහු “ධර්‍මය මෙබඳු ය. ධර්‍මය එබඳු නොවේ. ධර්‍මය මෙබඳු නොවේ. ධර්‍මය එබඳු යැ”යි හටගත් ඩබර ඇත්තෝ, හටගත් කලහ ඇත්තෝ, විරුද්ධවාදයට බටුවෝ උනුන් මුව නැමැති අඩයටිවලින් විදිමින් වෙසෙත්.
2. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවරැ පිඬු පිණිස හැසිරැ, පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක් හුන්හ. එකත්පසෙක හුන්නා වූ ම ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළහ.
“වහන්ස, මෙහි බොහෝ නන්තොටු මහණ බමුණු පිරිවැජියෝ නානාදෘෂ්ටි ඇත්තාහු, නානාලබ්ධි ඇත්තාහු, නානා රුචි ඇත්තාහු, නානා දෘෂ්ටිකාරණයෙහි ඇලුණාහු සැවැත්නුවරෙහි වෙසෙත්. “ආත්මය ද, ලෝකය ද ශාශ්වත යැ යි, මෙය ම සත්‍ය ය, සෙස්ස හිස් ය … ධර්‍මය මෙබඳු නො වේ ධර්‍මය එබඳු යැ යි හටගත් ඩබර ඇත්තෝ ... උනුන් මුවඅඩයටිවලින් විදිමින් වසත්” ය යි.
3. මහණෙනි, එ පරිද්දෙන් ම අන්තොටු පිරිවැජ්ජෝ නුවණින් අන්‍ධ වූවෝ, නුවණැස් නැත්තෝ … ‘දහම් එබඳු නො වේ, දහම මෙ බඳු යැ’යි … මුව අඩයටිවලින් විදුනාහු වෙසෙත්.”
4. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
‘ඇතැම් මහණ බමුණෝ මේ අසාරදෘෂ්ටීන්හි ඇලෙත්. ඔහු ඒ නිවනට නො පැමිණ ම අතරැ දී ම සසරමහවතුරෙහි ගිලෙත්.”
තෘතීයනානාතීර්‍ත්‍ථක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනේපිඬුහු අරමැ වැඩ වසන සේක. එ සමයෙහි වූ කලි බොහෝ නන්තොටුවෝ මහණ බමුණු පිරිවැජියෝ නානා දෘෂ්ටි ඇත්තෝ, නානා ලබ්ධි ඇත්තෝ, නානාරුචි ඇත්තෝ, නානා දෘෂ්ටිකාරණයෙහි ඇලුණාහු, සැවැත්නුවරැ වෙසෙත්.
(ඔවුන් අතුරෙහි) ‘ආත්මය ද ලෝකය ද ශාශ්වත ය. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (1)
‘ආත්මයත් ලෝකයත් අශාශ්වත ය. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත. (2)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් අශාශ්වතත් වේ. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යි මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (3)
‘ආත්මයත් ලෝකයත් ශාශ්වතත් නො ම වේ, අශාශ්වතත් නො ම වේ. මෙය ම සත්‍ය ය, සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (4)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස්ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (5)
‘ආත්මයත් ලෝකයත් පරකෘත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (6)
‘ආත්මයත් ලෝකයත් ස්වයංකෘත ද පරකෘත ද වේ. මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (7)
‘ආත්මයත් ලෝකයත් අස්වයංකාර ද අපරාකර ද වේ. යදෘච්ඡාසමුත්පන්න ය, මෙය ම සත්‍ය ය, සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (8)
‘සුවදුක් ද ආත්මය ද ලෝකය ද යන මෙ හැම ශාශ්වත ය, මෙය ම සත්‍ය ය. සෙස් ස හිස් යැ’යී මෙසේ කියන, මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. (9)