1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වසන සේක. එසමයෙහි එක්තරා පැවිද්දෙක් භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි පලග් බැඳ කය ඍජු කොට තබා පැරැණි කර්‍මවිපාකයෙකින් හටගත් දුක් වූ තියුණු වූ කර්‍කශ වූ කටුක වූ වේදනා ඉවසමින් ස්මෘතිමත් වූයේ සම්ප්‍රඥාන ඇත්තේ නො ගැටෙමින් හුන්නේ වෙයි.
2. භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි පලග් බැඳ කය ඍජු කොට තබාගෙන පැරැණි කර්‍මවිපාකයෙකින් හටගත් දුක් වූ තියුණු වූ කර්‍කශ වූ කටුක වූ වේදනාව ඉවසන්නා වූ ස්මෘතිමත් වූ සම්ප්‍රඥාන ඇති නො ගැටෙමින් හුන් ඒ මහණ දුටු සේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ බව දැනැ ඒ වෙලාවෙහි මේ උදානය පහළ කළ සේක:
“දුරු කළ සියලු කර්‍මයන් ඇති, පෙර කරන ලද රජස් සඞ්ඛ්‍යාත කර්‍මවිපාකය කම්පා කොට හරින්නා වූ මමඞ්කාරය නැත්තා වූ නිර්‍වාණ ස්ථලයෙහි සිටියා වූ තාදී ගුණ ඇත්තා වූ මහණහුට (මට බෙහෙත් කරව ආදි වශයෙන්) ජනයා බණන්නට කරුණෙක් නැත.”
3. 2.
නන්‍ද සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් වෙහෙර නම් වූ අනේපිඬුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපත් ආයුෂ්මත් නන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම් සස්නැ නො ඇලුණෙම් බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි දන්වයි.
2. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළැඹැ සකසා වැඳ, “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් ආයුෂ්මත් නන්‍ද තෙමේ බොහෝ භික්‍ෂූනට “ඇවැත්නි, මම් සස්නැ නො ඇලුණෙම් බඹසර සරමි. බඹසර උසුළන්නට නොහැක්කෙමි. ශික්‍ෂාව හැරැ පියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි කියා යැ යි මෙ පවත් සැළ කෙළේ ය.
3. එවිට භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණකු බණවා, “මහණ, මෙහි එ, “ඇවැත් නන්‍දයෙනි, ශාස්තෲහු තොප කැඳවතැ’යි මගේ වචනයෙන් නන්‍ද භික්‍ෂුහු කැඳව”යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ම ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් නන්‍ද භික්‍ෂු කරා එළැඹියේ ය. එළැඹ “ඇවැත් නන්‍දයෙනි, ශාස්තෲන් වහන්සේ මුඹ කැඳවන සේකැ”යි කීයේ ය.
4. ‘එසේ ය, ඇවැත්නි’යි කියා ම ආයුෂ්මත් නන්‍ද තෙම ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක හිඳ ගත්තේ ය. එක් පසෙක හුන්නාවූ ම ආයුෂ්මත් නන්‍දහට භාග්‍යවතුන් වහන්සේ ‘සැබැව, නන්‍ද ය, “ඇවැත්නි, නො ඇලුණෙම් මම් බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරපියා ගිහිබවට පෙරැළෙන්නෙමි”යි බොහෝ මහණුනට මෙසේ දැන්වූයෙහි දැ?” අසා වදාළ සේක. “එසේ ය වහන්සැ”යි ආයුෂ්මත් නන්‍ද තෙම කීය. කවර හෙයින් නො ඇලුණක් වැ බඹසර සරයි ද? බඹසර උසුළන්නට නො හැක්කෙහි ද? ශික්‍ෂාව හැරැපියා ගිහිබවට පෙරැළෙන්නෙහි දැ?”යි භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක. “වහන්ස, මා ගෙන් නික්මෙද්දී සෑ දු දනවුකලණ අඩක් පණාගැසු හිසකෙසින් උපලක්‍ෂිත වැ මා බලා, ‘ස්වාමිපුත්‍රය, වහා ම එන්නැ’යි මට කිවු ය. වහන්ස, එය සිහි කරන මම් නොඇලී බඹසර සරමි. බඹසර උසුළන්නට නො හැක්කෙමි. ශික්‍ෂාව හැරපියා ගිහි බවට පෙරැළෙන්නෙමි”යි නන්‍ද තෙම කීය.
5. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයා අතැගෙන යම්සේ කාබලැති මිනිසෙක් වක් කළ අත දික් කරන්නේ හෝ දික් කළ අත වක් කරන්නේ ද, එ පරිද්දෙන් ම දෙව්රම්හි අතුරුදන් වැ තව්තිසා දෙව්ලොවැ පහළ වූ සේක.
6. එ සමයෙහි පරෙවිපා බඳු රත් පැහැ පා ඇති පන්සියක් පමණ වූ දෙවඟනෝ සක්දෙවිඳුට උවටැනට ආවා වෙති. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයන් අමතා “නන්‍දයෙනි, තෙපි පරෙවිපා බඳු රත්පැහැ පා ඇති මේ පන්සියක් පමණ වූ දෙවඟනන් දක්නහු දැ?” යි අසා වදාළ සේක. “එසේ ය වහන්සැ”යි නන්‍දයෝ කීහ.
7. “නන්‍දයෙනි, එය කිමැ යි සිතවු ද? සැහැදූ ජනවුකලණ ද පරෙවිපා බඳු රත් පැහැ පා ඇති මේ පන්සියක් පමණ දෙවඟනෝ ද යන මොවුන්ගෙන් කවර කෙනෙක් වඩා විශිෂ්ට රූපසම්පත් ඇත්තෝ ද, වඩා දැකුම් කටයුත්තෝ ද? වඩා ප්‍රසාද එළවන්නෝ දැ?”යි අසා වදාළ සේක.
“වහන්ස, සැහැදූ ජනවුකලණ කන්නාසා සුන් පුළුටු වැඳිරිය බඳු ය. මේ පන්සියක් දෙවඟනන් සමීපයෙහි ලා සැලැකීමෙහි දී ඕ ගණනට ද නො එයි. සොළොස් වන කලාවට ද නො එයි. කලාවෙන් කලාවට ද නො එයි. මොවුන් හා මෝ සමාන යැ යි ළඟ තැබීමට ද නො එයි. වැලිදු මේ පන්සියක් දෙවඟනෝ ම වඩා විශිෂ්ට රූපසම්පත් ඇත්තෝ ද, වඩා දැකුම් කටයුත්තෝ ද, වඩා ප්‍රසාද එළවන්නෝ ද වෙති”යි ආයුෂ්මත් නන්‍දයෝ කීහ.
“නන්‍දයෙනි, සස්නෙහි සිත් අලව. නන්‍දයෙනි, සස්නෙහි සිත් අලව. මම් තොපට පරෙවිපා බඳු රත් පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලැබවිමට ඇප වෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“වහන්ස, ඉදින් පරෙවිපා බඳු රත් පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලබා දීමට භාග්‍යවතුන් වහන්සේ ඇප වන සේක නම්, මම් භාග්‍යවතුන් වහන්සේ වෙත සසුන්බඹසර රැක්මෙහි සිත් අලවන්නෙමි”යි (ආයුෂ්මත් නන්‍දයෝ කීහ.)
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දයන් අත ගෙන ශක්තිමත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේත් දිගු කළ අතක් හකුළන්නේත් යම්සේ ද, එසේ තව්තිසාවැසි දෙවියන් කෙරෙහි අතුරුදහන් වැ දෙව්රම්හි පහල වූ සේක.
9. භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් ආයුෂ්මත් නන්‍දයෝ දෙවඟනන් පිණිස බඹසර සෙරෙත්ල, භාග්‍යවතුන් වහන්සේ ඔවුනට පරෙවිපා බඳු රත්පැහැ පා ඇති දෙවඟනන් පන්සියක් ලැබවීමට ඇප වූහු ලු”යි භික්‍ෂූහු ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් නන්‍දයන්ගේ යහළු භික්‍ෂූහු “ආයුෂ්මත් නන්‍දයෝ වනාහි බැළමේකරුහු ල, විකුණා ගන්නා ලද්දෝ ලු, දෙවඟනන් පිණිස බඹසර සෙරෙත් ලු. භාග්‍යවතුන් වහන්සේ පරෙවිපා බඳු රත්පැහැ පා ඇති දෙවඟනන් ලැබවීමට ඔවුනට ඇප වූ සේක් ලැ”යි ආයුෂ්මත් නන්‍දයනට භෘතකවාදයෙන් ද උපක්‍රිතකවාදයෙන් ද (භෘතකයෝ ය, උපක්‍රීතකයෝ ය යි) ව්‍යවහාර කෙරෙත්.
10. ඉක්බිති ආයුෂ්මත් නන්‍දයෝ යහළු භික්‍ෂූන්ගේ ‘බැළයෙක, විකුණ ගන්නා ලද්දෙක’ යන වචනයෙන් පෙළනු ලබනුවෝ ලජ්ජාපත් කරනු ලබනුවෝ ගරහනු ලබනුවෝ හුදකලා වැ චිත්තවිවේකයෙන් විවික්ත වැ, අප්‍රමත්ත වැ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති වැ, නිවන් කරා මෙහෙයන ලද සිත් ඇති වැ වසනුවෝ, යමක් පිණිස කුලදරුවෝ මොනොවට ම ගිහිගෙන් නික්මැ සසුන් වදිත් ද, ඒ නිරුත්තර වූ මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යාවසානය (හෙවත් රහත් බව) නොබෝ කලෙකින් ම, මෙ අත්බව්හි ම, තුමූ ම විශිෂ්ට නුවණින් දැන , නුවණැසට හමු කොට ලැබ වාසය කළහ. “පුනර්‍භවය ක්‍ෂීණ විය. මගබඹසර වැස නිමැවිණ. සත්‍යාවබෝධය පිණිස කටයුතු දැය කොට නිමැවිණ. මේ රහත්බව පිණිස තවත් කටයුත්තෙක් නැතැ”යි දැන ගත්හ. ආයුෂ්මත් නන්‍දයෝ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ.
11. ඉක්බිත්තෙන් එක්තරා දෙවියෙක් රැය බොහෝ ඉක්ම ගිය කල්හි විශිෂ්ට ශරීරප්‍රභා ඇත්තේ සියලු දෙව්රම බබුළුවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එක් පසෙක සිටියේ ය. එක් පසෙක සිටියා වූ ම ඒ දෙවි “වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ භ්‍රාතෘ වූ සුළුමවුපුත් වූ ආයුෂ්මත් නන්‍දයෝ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලඥානය ද මෙ අත්බව්හි ම තුමූ ම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලැබ වෙසෙති”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. ‘නන්‍දයෝ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මෙ අත්බව්හි ම විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබ වෙසෙති’යි භාග්‍යවතුන් වහන්සේට ද නුවණ පහළ විය.
12. ඉක්බිත්තෙන් ආයුෂ්මත් නන්‍දයෝ ඒ රැය ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන්නා වූ ම ආයුෂ්මත් නන්‍දයෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පරෙවියන්ගේ පාබඳු රත්පැහැ පා ඇති පන්සියක් දෙවඟනන් ලැබෙන බවට මට ඇප වූ සේක් ද, වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ මේ ඇපයෙන් මුදමි”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ. “නන්‍දයෙනි”, මා විසින් ද තොප සිත මා විසින් පිරිසිඳ; “නන්‍දයෝ ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත්, ඵලඥානයත් මෙ අත්බව්හි ම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ලැබ වෙසෙති”යි දන්නා ලද්දේ ය.
13. දෙවියෙක් ද ‘වහන්ස, ... නන්‍දයෝ … පසක් කොට ලැබ වෙසෙති’යි මට මෙ කරුණ සැළ කෙළේ ය. නන්‍දයෙනි, යම් විටෙක ම තොප සිත උපාදාන රහිත ව ආස්‍රව කෙරෙන් මිදුණේ ද, එ විට මම් මේ ඇපයෙන් මිදුනෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
14. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යමෙකු විසින් දෘෂ්ටි නැමැති මඩවගුර හෝ සසර නැමැති මඩවගුර තරණය කරන ලද ද, කෙලෙස් නැමැති කටුව මඩින ලද ද, යමෙක් මෝහක්‍ෂයට (රහත්පලයට) පැමිණියේ ද, ඒ මහණ සුවදුක් දෙක්හි නො සැලේ.”
3. 3.
යශොජ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුසිටිහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි යසොජ තෙරුන් ප්‍රමුඛ පන්සියක් පමණ මහණහු භාග්‍යවතුන් වහන්සේ දක්නට සැවැත්නුවරට පැමිණියාහු වෙති. ඒ ආගන්තුක මහණහු ද නේවාසික භික්‍ෂූන් හා පිළිසඳරින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු, පාසිවුරු සුරැකි කොට තබන්නාහු, උස්හඬ මහහඬ ඇත්තෝ වූහ. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, “ආනන්‍දයෙනි, තෙල කවුරු නම් මස්වොලෝහි{1} කෙවුළන් සේ උස් හඬ මහහඬ ඇත්තෝ දැ”යි අසා වදාළ සේක.
“වහන්ස, මේ යසොජ තෙරුන් ප්‍රමුඛ තෙල පන්සියක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැතට පැමිණියාහු ය. ඒ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් හා පිළිසඳර විසින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු, පාසිවුරු සුරැකි කොට තබන්නාහු, උස් හඬ මහහඬ ඇත්තාහු”යී අනඳ තෙරණුවෝ වදාළහ.
“ආනන්‍දයෙනි, එසේ වී නම් මගේ වචනයෙන් ශාස්තෘ තෙම අයුෂ්මතුන් අමතා ය යි ඔවුන් කැඳව”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේය, වහන්සැයි” ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ඒ භික්‍ෂූන් ඒ භික්‍ෂූන් වෙත එළැඹ “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවනසේකැ”යි ඒ භික්‍ෂූන්ට කීය.
‘එසේ ය, ඇවැත්නි’යි ඒ මහණහු අනඳ තෙරුනට පිළිවදන්දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන් අමතා භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, කවර හෙයින් තෙපි මස්වොලෝව්හි කෙවුළන් සේ උස් හඬ මහහඬ ඇතියවු දැ?”යි අසා වදාළ සේක.
2. මෙසේ වදාළ කල්හි යසොජ තෙරණුවෝ “වහන්ස, මේ පන්සියක් පමණ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ දක්නා පිණිස සැවැතට පැමිණියාහු ය. ඒ මේ ආගන්තුක භික්‍ෂූහු නේවාසික භික්‍ෂූන් හා පිළිසඳරින් සතුටු වෙමින් සෙනසුන් පණවන්නාහු පාසිවුරු සුරැකි කොට තබන්නාහු උස්හඬ මහහඬ ඇතියව් හ”යි සැළ කළහ.
“යව මහණෙනි, තොප නෙරපමි. තොප මා වෙත නො විසිය යුතු” ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
‘එසේය වහන්සැ’යි කියා ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ පැදකුණු කොට සෙනසුන් සුරැකි කොට තබා පාසිවුරු ගෙන වැදෑරට බලා සැරි සරා වැඩියහ. වැදෑරට පිළිවෙළින් සැරි සරන්නාහු වග්ගුමුදා නදිය කරා එළැඹියහ. එළැඹ වග්ගුමුදා නදිය තෙරැ පන්සල් කොට වස් එළඹියහ.
3. ඉක්බිති යසොජ තෙරණුවෝ වස් එළැඹියෝ භික්‍ෂූන් බණවා “ඇවැත්නි, අපට වැඩ කැමති හිත පතන අනුකම්පා කරන භාග්‍යවතුන් වහන්සේ විසින් අනුකම්පාව සඳහා අපි නෙරපන ලද්දමු. එ බැවින් අපි යම්සේ වසන අපට භාග්‍යවතුන් වහන්සේ සතුටු වන සේක් ද, එසේ විසීම කරමු”යි වදාළහ.
‘එසේය, ඇවැත්නි’යි කියා ඒ මහණහු යසොජ තෙරුන්ට පිළිවදන් ඇස්වූහ. ඉක්බිත්තෙන් ඒ මහණහු විවික්ත වූවාහු නොපමා වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවන් කරා මෙහෙයූ සිතැති ව වසන්නාහු ඒ වස් සමය ඇතුළත ම සියල්ලෝම ත්‍රිවිද්‍යා පසක් කළහ.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත්හි රිසි තාක් කල් වැස විසල්පුර බලා සැරි සරා වැඩි සේක. පිළිවෙළින් සැරි සරන සේක් විසල්පුරට පැමිණ වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි විසල්පුරැ මහවෙනෙහි කුළාරහල් වෙහෙරෙහි වැඩ වසන සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ වග්ගුමුදාතීර වැසි මහණුන්ගේ සිත් සිය සිතින් පිරිසිඳ මෙනෙහි කොට අනඳ තෙරුන් බණවා, “ආනන්‍දයෙනි, යම් දෙසක වග්ගුමුදාතීරවාසී මහණහු වෙසෙත් ද, එ දෙස මට පහළ වු එළිය ඇත්තක් මෙනි. පහළ වූ ආලොකය ඇත්තක් මෙනි. යන්නට මෙනෙහි කරන්නට මට නොපිළිකුල්ය (මනාපය). ආනන්‍දයෙනි, තොප ‘ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවයි. ශාස්තෘ තෙම ආයුෂ්මතුන් දකිනු කැමැතිය’යි වග්ගුමුදාතීර වැසි මහණුන් වෙතට දූතයකු යවන්නේ”යි වදාළ සේක.
‘එසේය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, එක්තරා මහණකු කරා එළැඹියහ. එළැඹ ඒ මහණහු බණවා “ඇවැත්නි, තෙපි මෙහි එව. වග්ගුමුදාතීරවාසී මහණුන් වෙතට යව. එළැඹ වග්ගුමුදාතීරවාසී මහණුනට “ඇවැත්නි, ශාස්තෘ තෙම ආයුෂ්මතුන් කැඳවයි. ශාස්තෘ තෙම ආයුෂ්මතුන්ගේ දැක්ම කැමැත්තේ ය”යි මෙසේ කියන්නැ.
‘එසේ ය, ඇවැත්නි’යි කියා ඒ මහණ තෙම ආයුෂ්මත් අනද තෙරුන්ට පිළිවදන් දී ශක්තිමත් පුරුෂයෙක් හැකුළූ අත දිග හරින්නා සේ ම දිග හළ අත හකුළන්නා සේ ම මහවෙනෙහි කූටාගාරශාලා විහාරයෙහි අතුරුදන් ව වග්ගුමුදානදිය තෙරැ ඒ මහණුන් ඉදිරියේ පහළ විය. ඉක්බිත්තෙන් ඒ මහණ වග්ගුමුදාතීරවාසී මහණුනට “ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේක. ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් දක්නා කැමැති සේකැ”යි මෙ බස් පැවැසී ය.
‘එසේ ය, ඇවැත්නි’යි කියා ඒ මහණහු යට කී මහණහට පිළිවදන් අස්වා සෙනසුන් සුරැකි කොට තබා පාසිවුරු ගෙන බලවත් පුරුෂයෙකු හැකුළූ අතක් දික් කරන සේ දික් කළ අත හකුළන්නා සේ ම වග්ගුමුදාතීරයෙන් අතුරුදහන් වූවාහු මහවෙනෙහි කුළාරහල්වෙහෙරෙහි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි පහළ වූහ.
5. එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ ආනෙඤ්ජ සමාධියෙන් (චතුර්‍ත්‍ථධ්‍යානය පාදක කොටැති රහත්පල සමවතින්) වැඩ හුන් සේක් වෙති. එකල්හි ඒ මහණුනට භාග්‍යවතුන් වහන්සේ කවර නම් විහරණයෙකින් දැන් වසන සේක් දැ”යි මේ සිත විය. ඉක්බිති ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ අනෙඤ්ජසමාධියෙන් දැන් වසන සේකැ’යි මේ සිත විය. ඉක්බිති සියල්ලෝම අනේඤ්ජසමාධියෙන් හුන්හ.
6. ඉක්බිති අනද තෙරණුවෝ රැය ගෙවුණු කල්හි පළමු යම ගත වුණු කල්හි භාග්‍යවතුන් වහන්සේ දිශාවට දොහොත් මුදුන් තබා වැඳ සිවුර එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දසාවට ඇඳිලි බැඳ ගෙන “වහන්ස, රැය බොහෝ ඉක්ම ගියේ ය. පළමු යාමය නික්මුණේ ය. ආගන්තුක භික්‍ෂූහු බොහෝ වේලා හුන්නාහු වෙති. වහන්ස, ආගන්තුක භික්‍ෂූන් පිළිසඳරින් තුස්නකතා කෙරේවා”යි සැළ කළහ.
7. මෙසේ සැළ කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. දෙවෙනි වරැ ද අනඳ තෙරණුවෝ රෑ බොහෝ වේලා ගත වූ කල්හි මැද යම නික්මුණු කල්හි හුනස්නෙන් නැඟී සිට සිවුර එකස් කොට පෙරෙවැ භාග්‍යවතුන් වහන්සේ දසාවට දොහොත් මුදුන් තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, රැය බොහෝ ඉක්මැ ගියේ ය. මැදුම් යම නික්මුණේ ය. ආගන්තුක භික්‍ෂූහු හුන් බොහෝ වේලා ඇත්තාහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කතා කතා කරන සේක්වා”යි සැළ කළහ. දෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භූත වූ සේක. තෙවැනි වරැද අනඳ තෙරණුවෝ රෑ බොහෝ ඉක්මැ ගිය කල්හි පැසිම් යම්හි අරුණු නැගි කල්හි රැ පාන් වන කල්හි හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ දසාවට දොහොත් මුදුනැ තබා වැඳ “වහන්ස, රෑ බොහෝ ඉක්මිණ. පැසිම් යම ගෙවිණ. අරුණු නැගිණ. රෑ පහන් වෙයි. ආගන්තුක භික්‍ෂූහු හුන් බොහෝ කල් ඇත්තෝය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ආගන්තුක භික්‍ෂූන් හා පිළිසඳර කතා කතා කරන සේක්වා”යි සැළ කළහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සමාධියෙන් නැගී සිට අනඳ තෙරුන් බණවා “ආනන්‍දයෙනි,ඉදින් තෙපි දන්නහු නම්, මෙ පමණකුදු තොපට නො වැටහෙන්නේ ය. (නො සිතෙන්නේ ය). ආනන්‍දයෙනි, මමත් මේ පන්සියක් භික්‍ෂූහුත් යන අපි හැමදෙනමෝ අනෙඤ්ජසමාධියෙන් හුන්නම්හ” යි වදාළ සේක.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන (සලකා) ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“යමක්හු විසින් ක්ලේශකාම නැමැති කටුව දිනන ලද්දේ (ප්‍රහත කරන ලද්දේ) වේ ද, ආක්‍රෝශ ද වධ ද බන්‍ධන ද දිනන ලද්දේ වේ ද, ඒ මහණ පර්‍වතයක් මෙන් අචල ව සිටියේ සුව දුක්හි කම්පිත නො වේ.”
3. 4.
ශාරීපුත්‍ර සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සමාධි අරමුණට සිහිය යොමු කොට එළවා තබා වැඩ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට තබා අරමුණට අභිමුඛ කොට සිහිය එළවා නොදුරෙහි වැඩ හුන් සැරියුත් තෙරුන් දුටු සේක.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යම්සේ ගල්පව්වෙක් අචල වැ මොනොවට පිහිටියේ ද, එසේ ම මහණ තෙම මෝහය ක්‍ෂීණ වීමෙන් පව්වක් මෙන් නො සැලේ.”
3. 5.
කෝලිත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේ දෙව්රම් නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එසමයෙහි මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි පලක් බැඳ, උඩුකය ඍජු කොට පිහිටුවා සිය සතන්හි මොනොවට එළඹැ සිටි කය අරමුණු කොට පැවැති සිහියෙන් යුතු වැ හුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ කය ඍජු කොට පිහිටුවා සිය සතන්හි මොනොවට එළඹැ සිටි කය අරමුණු කොට පැවැති සිහියෙන් යුතු වැ නොදුරෙහි වැඩැ හුන් මහමුගලන් තෙරුන් දුටු සේක.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යමක්හුගේ කය අරමුණු කොට ඇති සිහිය එළඹැ සිටියේ වේ ද, යමෙක් ස්පර්‍ශයට කාරණ වූ සදොරෙහි සංවෘත වූයේ ද, (සදොරෙහි ඉන්‍ද්‍රිය සංවරයෙන් සංවෘත ද) එසේ වූ නිරතුරු විපස්සනා සමාධියෙන් සමාහිත වූ මහණ තෙම තමාගේ (පසක් කිරීමෙන්) නිවන දන්නේ ය.”
3. 6.
පිලින්‍දිවච්ඡ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පිලින්‍දිවච්ඡ තෙරණුවෝ (‘එව වසලය, ඉවත යා වසලය’ යන ආදී වශයෙන්) වසල වාදයෙන් මහණුනට කතා කෙරෙති. එකල්හි බොහෝ මහණහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන්නාවූ ම ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, ආයුෂ්මත් පිලින්‍දිවච්ඡයෝ භික්‍ෂූන්හට වසලවාදයෙන් කතා කෙරෙති”යි මෙ පවත් සැළ කළහ.
2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ තෝ මෙහි එ. ‘ඇවැත්නි, පිලින්‍දිවච්ඡයනි, ශාස්තෲහු තොප කැඳවති’යි මා වචනයෙන් පිලින්‍දිවච්ඡදයා කැඳව”යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිලින්‍දිවච්ඡ තෙරුන් කරා එළැඹියේ ය. එළැඹ පිලින්‍දිවච්ඡ තෙරුන්ට ‘ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ මුඹ කැඳවති’යි කීහ. ‘එසේ ද ඇවැත්නි?’ යි කියා පිලින්‍දිවච්ඡ තෙරණුවෝ ඒ මහණහට පිළිවදන් දී භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳ ගත්හ. එකත්පසෙක හුන්නාවූ ම පිලින්‍දිවච්ඡ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ වච්ඡයෙනි, තොප වසලවාදයෙන් මහණුන් අමතති යනු සැබෑ දැ?” යි අසා වදාළ සේක. ‘එසේ ය වහන්සැ’යි තෙරණුවෝ වදාළහ.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිලින්‍දිවච්ඡ තෙරුන්ගේ පෙර වුසූ කඳපිළිවෙළ මෙනෙහි කොට, ‘මහණෙනි, තෙපි වච්ඡ මහණනුට උජඣායන (පහත් කොට සිතීම) නො කරව. මහණෙනි, වච්ඡයෝ ද්වේෂ සහගත සිත් ඇති වැ මහණනුට වසලවාදයෙන් කතා නො කරති. වච්ඡ මහණුන්දෑගේ අතීත පන්සියක් ම අත්බව්හු අතරක් නැතිව ම බමුණු කුලයෙහි උපන්නාහ. ඔවුන්ගේ ඒ ‘වසලයා’ යන වචනය බොහෝ කලක් කියා ගෙන එන ලද්දෙකි. එහෙයින් මේ වච්ඡයෝ මහණනුට (‘වසලයා’යි) වසලවාදයෙන් (පෙර පුරුද්ද අනුව) කතා කෙරෙති.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“යමක්හු කෙරෙහි මායාවෙක් නො පවත්නේ ද, මානයෙක් නො පවත්නේ ද, යමෙක් පහ වූ ලෝභය ඇත්තේ ද, මමායන රහිත ද, ආශා රහිත ද, මුල් සුන් කළ ක්‍රෝධය ඇත්තේ ද, (කෙලෙස් පිරිනිවනින්) නිවුණු සිතැත්තේ ද, බ්‍රාහ්මණයාත් හේ ම ය, ශ්‍රමණයාත් හේ ම ය, භික්‍ෂූවනුයේත් හේ ම ය.”
3. 7.
කාශ්‍යප සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයේ කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි මහසුප් තෙරණුවෝ පිප්ඵලීගුහායෙහි වැඩ වෙසෙති. (එසේ වැඩ වසනුවෝ) එක්තරා සමාධියකට සමවැද එක් පලඟින් වැඩහුන්නාහු වෙති.
2. ඉක්බිති මහසුප් තෙරණුවෝ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟී සිටියහ. ඉක්බිති ඒ සමාධියෙන් නැඟී සිටි මහසුප් තෙරුනට ‘මම් රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් යෙහෙකැ’යි මේ සිත වී ය. ඒ සමයෙහි වනාහි පන්සියක් පමණ දේවතාවෝ මහසුප් තෙරුනට පිණ්ඩපාතය පිළිලබවනුවට (බොජුන් පිරිනමන්නට) උත්සුක බවට පැමිණියෝ වෙති. එ කල්හි මහසුප් තෙරණුවෝ ඒ පන්සියක් පමණ දේවතාවන් පිළිකෙවු කොට, පෙරවරු සමයෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන රජගහපුරයට පිඬු පිණිස පිවිසුණහ.
3. එ සමයෙහි සක්දෙවිඳු මහසුප් තෙරුනට පිඬුපා දෙනු කැමැත්තේ වෙයි. හෙ පෙහෙර වෙසක් මවාගෙන හූ කටියි. අසුර දූ සුජා තොමෝ නඩාව (පිළී වියන සරස් දංඩ) පුරා ලයි.
4.එ කල්හි මහසුප් තෙරණුවෝ රජගහනුවරැ ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙනුවෝ වෙස්වළා හුන් සක්දෙවිඳුහුගේ ගෙය කරා එළඹියහ. සක්දෙවිඳු වඩනා මහසුප් තෙරුන් දුර දී ම දිටී. දැක ගෙන් නික්ම පෙර ගමන් කොට අතින් පාත්‍රය ගෙන ගෙට වැද සැළියෙන් බත් ගෙන පාත්‍රය පුරා මහසුප් තෙරුනට දුන. එ පිණ්ඩපාත භෝජනය නොයෙක් සූප ඇත්තේ නොයෙක් ව්‍යාඤ්ජන ඇත්තේ නානාවිධ අග්‍රරස සහිත සූපව්‍යඤ්ජන ඇත්තේ විය.
5. එ කල්හි මහසුප් තෙරුනට ‘යමක්හට මෙ බඳු ඍද්ධ්‍යනුභාවයෙක් වේ නම් ඒ මේ සත්ත්‍ව තෙම කවරෙක් නම් වේ දැ”යි මේ සිත විය. ඉක්බිති මහසුප් තෙරුනට ‘මේ වනාහි සක්දෙවිඳු යැ’යි මේ සිත විය. මෙසේ දැන, ‘කෝසිය ය, මෙය තා විසින් කරණ ලද්දෙක. යලිදු මෙ බන්දක් නො කරව’යි වදාළහ.
6. “වහන්ස, අපටත් පිනෙන් වැඩ ඇත. අපටත් පිනෙන් කටයුතු ඇතැ”යි සක්දෙවිඳු කී. ඉක්බිති සක්දෙවිඳු මහසුප් තෙරුන් සකසා වැඳ පැදකුණු කොට අහස් නැඟ අහසෙහි දී, “ආශ්චර්‍ය්‍ය ය! කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි! උතුම් දනෙකි! ආශ්චර්‍ය්‍ය ය! කසුප් තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි! උතුම් දනෙකි”යී තෙවරක් උදන් ඇනී ය.
7. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ ඇසුම් ඉම ඉක්මැ අසන්නට ඉවහල් වූ පිරිසිදු දිව කනින් “ආශ්චර්‍ය්‍ය ය! කසුප්තෙරුන් කෙරෙහි සුපිහිටි දනෙකි. උතුම් දනෙකි”යි අහස් නැඟ උදන් අනන සක්දෙවිඳුගේ වචනය ඇසූහ.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අරුත දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“පිණ්ඩපාතිකාඞ්ගය පුරණ තමා ම පුස්නා අමිෂයෙන් අනුන් නො පුස්නා අටලෝ දහමින් නො සැලෙන උපශාන්ත වූ හැම කල්හි සිහි ඇති මහණහට දෙවියෝ ආදර උපදවත්.”
3. 8.
පිණ්ඩපාතික සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහුගේ අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසුබත්සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණි, කරෙරිමණ්ඩලමාලකයෙහි එක් වැ හුන්, එක් රැස් වූ, මහණුන් අතරැ මේ කථාව පහළ විය:
“ඇවැත්නි, පිණ්ඩපාතිකාඞ්ගය රක්නා මහණ තෙම පිඬු පිණිස හැසිරෙන්නේ කලින් කලැ ඇසින් මන වඩන රූප දක්නට ලබයි. කලින් කලැ කනින් මන වඩන හඬ අසන්නට ලබයි. කලින් කලැ මන වඩන ගඳ ආඝ්‍රාණ කරන්නට ලබයි. කලින් කලැ මන වඩන රස ආස්වාද කරන්නට ලබයි. කලින් කලැ මන වඩන ස්ප්‍රෂ්ටව්‍යයන් ස්පර්‍ශ කරන්නට ලබයි. ඇවැත්නි, පිණ්ඩපාතික මහණ තෙම සත්කාර ලදුයේ ගෞරව ලදුයේ බුහුමන් ලදුයේ පුදන ලදුයේ යටත් පැවතුම් ලදුයේ පිඬු පිණිස හැසිරෙයි. එබැවින් ඇවැත්නි, අපි දු පිණ්ඩපාතිකාඞ්ගය රක්නමෝ වම්: අපි දු කලින් කලැ ඇසින් මන වඩන රූප දකින්නට ලබන්නමු, අපි දු කලින් කලැ කනින් මන වඩන හඬ අසන්නට ලබන්නමු. අපි දු කලින් කලැ ඝ්‍රාණයෙන් මන වඩන ගඳ ආඝ්‍රාණ කරන්නට ලබන්නමු. අපි දු කලින් කලැ දිවින් මන වඩන රස ආස්වාද කරන්නට ලබන්නමු. අපි දු කලින් කලැ කයින් මන වඩන ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කරන්නට ලබන්නමු. අපි දු සත්කාර ලදූමෝ ගුරුකාර ලදූමෝ බුහුමන් ලදූමෝ පුදන ලදූමෝ යටත් පැවතුම් ලදුමෝ පිඬු පිණිස හැසිරෙන්නමු” යනු යි. ඒ භික්‍ෂූන් අතරැ මේ කථාව අඩාළ වී ය.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි චිත්තවිවේකයෙන් නැඟී සිටි සේක්, කරෙරිමණ්ඩලමාලය කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳ ම භික‍්ෂූන් අමතා “මහණෙනි, දැන් තෙපි කවර නම් කථාවෙකින් හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වී දැ?” යි අසා වදාළ සේක.
3. “වහන්ස, පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ කරෙරිමණ්ඩලමාලකයෙහි එක් වැ හුන් එක් රැස් වූ අප අතරැ මේ කථාව පහළ විය. ඇවැත්නි, පිණ්ඩපාතිකාඞ්ගය රකිනා මහණ තෙම පිඬුපිණිස හැසිරෙන්නේ කලින් කලැ ඇසින් මන වඩන රූප දක්නට ලබයි ... අපිදු සත්කාර ලදුමෝ ගුරුකාර ලදුමෝ බුහුමන් ලදුමෝ පුදන ලදුමෝ යටත් පැවතුම් ලදුමෝ පිඬු පිණිස හැසිරෙන්නෙමු” යනු යි. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ වූයේ වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ”යි ඒ මහණහු කීහ.
4. “මහණෙනි, තෙපි මෙබඳු කථාවක් කියන්නහුය යන යමෙක් ඇද්ද, මෙය සැදැහෙන් ගිහිගෙන් නික්ම සසුන් වන් කුලදරු වූ තොපට නොනිසිය. මහණෙනි, එක්රැස් වූ තොප විසින් දැහැමි කතාව හෝ ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවය යන මේ කටයුතු දෑ දෙකෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන, එවේලෙහි මේ උදන් ඇනූ සේක:
“යම් මහණෙක් තමා පිළිබඳ යසගීහඬ ඇසුරු නො කෙළේ නම් (නො පතා නම්) පිණ්ඩපාතිකාඞ්ගය රක්නා තමා ම පුස්නා අනෙකකු නො පුස්නා අටලෝදහමින් නො සැලෙන ඒ මහණහට දෙවියෝ (ද) ආදර කෙරෙත්.”
3. 9.
ශිල්ප සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ දෙව්රම් නම් වූ අනේපිඬුසිටුහු අරමෙහි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක්වැ හුන් එක්රැස් වූ මහණුන් අතුරෙහි “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්‍ර දැ?”යි මේ කථාව උපන.
2. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි කීහ. සමහරු අශ්වශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි කීහ. රථශිල්පය ශිල්ප අතුරෙහි අග්‍රයැ’යි කෙනෙක් කීහ. ‘ධනුශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි ඇතැම්හු කීහ. ආයුධශිල්පය සිප් අතුරෙහි අග්‍ර යැ’යි සමහරු කීහ. ‘මුද්‍රාශිල්පය ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි සමහරු කීහ. ‘ගණනාශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි සමහරු කීහ. සඞ්ඛ්‍යානශිල්පය ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි සමහරු කීහ. ‘ලෙඛනශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි සමහරු කීහ. ‘කාව්‍යශිල්පය ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි කෙනෙක් කීහ. ලෝකායත (විතණ්ඩ) ශිල්පය ශිල්ප අතුරෙන් අග්‍රය’යි කෙනෙක් කීහ. ‘ක්‍ෂත්‍රවිද්‍යා ශිල්පය (නීතිශාස්ත්‍රය) ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි කෙනෙක් කීහ. ඒ භික්‍ෂූන් අතරැ මේ කථාව අඩාළ වූයේ වෙයි.
3. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි සමවත් සුවෙන් නැගී සිටි සේක් මණ්ඩලමාළය කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නෙහි වැඩ හුන් සේක. වැඩහිඳ ම භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, දැන් කවර නම් කථාවෙකින් එක් වැ හුන්නහු ද? තොපගේ කවර නම් කථාවෙක් අඩාළ වි දැ?”යි භික්‍ෂූන් අමතා වදාළ සේක.
4. “වහන්ස, මෙහි පසුබත් සමයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා ආ මණ්ඩලමාළයෙහි එක් වැ හුන් එක්රැස් වූ අප අතරැ “ඇවැත්නි, කවරෙක් නම් ශිල්ප දනී ද? කවරෙක් කවර ශිල්පයක් උගත්තේ ද? කවර ශිල්පයෙක් ශිල්ප අතුරෙහි අග්‍ර වේ ද?”යි මෙසේ කථාවෙක් පහළ විය. එහි ඇතැම් කෙනෙක් ‘හස්තිශිල්පය ශිල්ප අතුරෙහි අග්‍ර යැ’යි කෙනෙක් කීහ ... ක්‍ෂත්‍රවිද්‍යා ශිල්පය (නීතිශාස්ත්‍රය) ශිල්ප අතුරෙන් අග්‍ර යැ’යි කෙනෙක් කීහ. වහන්ස, අප අතරැ මේ කථාව අඩාළ වූයේ වේ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වැඩි සේකැ”යි ඒ භික්‍ෂූහු සැළ කළහ.
5. “මහණෙනි, තෙපි මෙබඳු කථාවක් කරන්නහුය යන යමෙක් ඇද්ද, සැදැහැයෙන් ගිහිගෙන් නික්මැ සසුන් වන් කුලදරු වූ තොපට මෙය නොසුදුසු ය. මහණෙනි, එක් රැස් වූ තොප විසින් දැහැමි කථාව හෝ ආර්‍ය තුෂ්ණිම්භාවය යන කටයුතු දැ දෙකෙකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක.
“ශිල්පයෙකින් දිවි නොරක්නා සැහැල්ලු පැවැතුම් ඇති, දෙවියන් සහිත ලෝවැස්සාට වැඩ කැමැති සංයත වූ ඉඳුරන් ඇති හැමතන්හි මිදුණු ෂඩායතනයන්හි නොහැසිරෙන මමායන රහිත වූ ආශාරහිත වූ මානය දුරු කොට (ගණ්සඞ්ගණිකාව හැර) එකලා වැ හැසිරෙන යම් ඒ මහණෙක් වේද, හේ (බුන් කෙලෙස් ඇත්තේ පරමාර්‍ත්‍ථ වශයෙන්) භික්‍ෂු නමි.”
3. 10.
ලෝකව්‍යවලෝකන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නිල්දලාගංතෙරැ බෝරුක්මුලැ බුදු වැ පළමු කොට ම වාසය කරන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රහත්පල සමවත් සුව විඳුනාසේක් සත් දවසක් එක්පලගෙකින් හුන්සේක් වෙති.
2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ සතිය ඇවෑමෙන් ඒ සමාධියෙන් නැඟි සිට බුදුඇසින් ලොව බැලූ සේක. භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලන සේක් රාගයෙන් උපන් ද, ද්වේෂයෙන් උපන් ද, මෝහයෙන් උපන් දැ යි නොයෙක් සතැව්ලියෙන් තැවෙන නොයෙක් දැවිල්ලෙන් දැවෙන සත්ත්‍වයන් දුටුසේක් ම ය.
3. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලෙහි මේ උදන් ඇනු සේක.
“මේ ලොව හටගත් සතැව්ලි ඇත්තේ වෙයි. (එහෙයින් ම) දුක් පහසින් මඩනා ලද්දේ ය. පහසින් උපදනා වේදනා නැමැති රෝගය (මම සුවපත් වෙමි, මම සුවපත් වෙමි ආදීන්) තමා වශයෙන් කියයි. යම් යම් අයුරෙකින් සිතන්නේ ද, එයින් අන් සැටියෙකින් ම එය වේ.
තමන්ගේ හිතසුවෙහි ම ඇලුණු සත් ලොව තමා සිතන සැටියෙන් අන් පරිද්දෙකින් ම වන සුලු ය. (එසේ ඇති කල්හි දු) ලෝවැසි තෙම (මඤ්ඤනා වශයෙන් කල්පනා කොට ගන්නා ලද (අභිවෘද්ධියෙහි ආශායෙන් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ වෘද්ධියක් ම කැමැති වෙයි. යම් කාමාදිභවයක් (හෝ යසඉසුරු ආදි වෘද්ධියක්) කැමති වේ ද (සිතින් පිළිගනී ද) එය (අනිත්‍යාදි විපරිණාම ස්වභාව හේතුයෙන්) බියෙකි. (බිය උපදවන්නෙකි). යම් අනිත්‍යතාදියෙකින් බිය ගනී ද, එය දුකෙකි. කාමභවාදි භවයාගේ දුරැලීම පිණිස ම මේ මගබඹසර පුරනු ලැබේ.
යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ භවයෙකින් භවයෙක (හෝ සියලු භවයෙන් ම හෝ) මිදීමක් කීහු ද, ඒ සියලු අන්තොටුවෝ භවයෙන් නොමිදුණාහ යි කියමි.
යම් මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ උච්ඡේදදෘෂ්ටියෙන් භවයෙන් නික්මීම කීහු ද, ඒ සියල්ලෝ භවයෙන් නොමිදුණෝ යැ යි කියමි.