Therīgāthā

Verses of the Elder Nuns

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-29 · 775 segments

පෙන්වන කොටස් 501-600 න් 775

275. (ඔහු වත් පිළිවත් ඈ) මහණකිස කරනු රිසියහ, අනලසයෝ යැ, (නිවන් එළවන) ශ්‍රේෂ්ඨකර්‍මය කරනුවහ, එහෙයින් රාගය ද ද්වේෂය ද දුරු කෙරෙති, එකරුණෙන් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
276. අනවද්‍යකර්‍ම කරන්නාහු තුන් පව්මුල් දුරු කෙරෙති, රහත්මඟින් ඔවුන්ගේ සියලු පව් ප්‍රහීණ ය, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
277. ඔවුන්ගේ කායකර්‍මය පවිත්‍ර වෙයි, වාක්කර්‍මය ද එබඳු ය, ඔවුන්ගේ මනඃකර්‍මය ද පවිත්‍ර වෙයි, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
278. දෙවු සක් හා මුතු මෙන් නිර්‍මලයහ, ශුද්ධ වූ ආශය ප්‍රයෝග ඇත්තාහ, ඒකාන්ත ශුක්ල වූ කුශලධර්‍මයෙන් පරිපූර්‍ණයහ, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
279. (ඔහු) බහුශ්‍රැතයෝ ය, ධර්‍මධරයහ, ආර්‍ය්‍යයෝ ය, දැහැමින් දිවිවටන්නාහ, භාෂිතාර්‍ත්‍ථය ද දේශනාධර්‍මය ද වදාරති, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
280. (ඔහු) බහුශ්‍රැතයෝ ය, ධර්‍මධරයෝ ය, ආර්‍ය්‍යයෝ ය, ධර්‍මජීවීහු ය, එකඟ වූ සිත් ඇතියහ, එළඹසිටි සිහි ඇත්තාහ, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
281. වෙනෙහි දුර සෙනසුන් කරා යනුවහ, සිහි ඇතියෝ ය, නුවණින් බණනසුල්ලහ, සන්සුන් සිත් ඇතියහ, දුඃඛාන්ත වූ නිවන ප්‍රතිවේධ කෙරෙති, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
282. යම් ගමෙකින් නික්ම යෙත් නම් එහි කිසිවක් අපේක්‍ෂා විසින් නො බලති, නිරපේක්‍ෂව මැ යෙති, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
283. ඔහු තමා සතු සම්පත් කොටුයෙහි නො බහා තබති, සැළෙක නො තබති, පැසෙක නො බහති, පරකුලෙහි පිසූ අහර සොයනුවහ, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
284. ඔහු කහවණු නො ගනිති, රන් රිදී නො ගනිති, එකෙණෙහි උපන් පසයෙන් යැපෙති, එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
285. නන් කුලයෙන් ද නන් දනවුයෙන් ද නික්මැ පැවිදි වූවාහු උනුන් ප්‍රිය කෙරෙති (මෛත්‍රී කෙරෙති) එහෙයින් මට ශ්‍රමණයෝ ප්‍රිය වෙත්.
286. පින්වත් රෝහිණිය, තෙපි බුදුන් කෙරෙහි ද දහම්හි ද සඟුන් කෙරෙහි ද සැදැහැති ව දැඩි ගෞරව ඇති ව අපට වැඩ පිණිස (මේ) කුලයෙහි උපන්නාව.
287. තෙපි මැ තෙල අනුත්තර වූ පින්කෙත දන්නාව, ඒ ශ්‍රමණයෝ අපගේ ද දක්‍ෂිණාව පිළිගනිත් නම්, තෙල මහණුන් කෙරෙහි පිහිටුවනලද අපගේ දානධර්‍මය විපුලඵල වන්නේ ය.
288. ඉදින් (තෙපි) දුකට බිය වවු නම්, ඉදින් තොපට දුක අප්‍රිය වී නම්, තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යවු, සිල් සමාදන් වවු, එය තොපට වැඩ පිණිස වන්නේ ය.
289. මම තාදී වූ බුදුන් ද දහම් ද සඟුන් ද සරණ කොට යමි, සිල් සමාදන් වෙමි, ඒ මට වැඩ පිණිස වන්නේය.
290. (මම් පෙර බමුණු කුලෙහි උපතින්) බ්‍රහ්මබන්‍ධු නම් වීමි, දැන් (බාහිත පාප බැවින්) බ්‍රාහ්මණ වෙමි, අධිගම කළ ත්‍රිවිද්‍යා ඇත්තෙමි සොත්තිය ද වෙමි, මාර්‍ගඥානවේදයට පැමිණියෙම් ද නහාතක ද වෙමි’යි.
මෙසේ රෝහිණී තෙරැණි ...
රෝහිණී ථේරීගාථා යි.
291. පෙර දඬුගත් අත් ඇති (පිරිවැජියෙක්) විය, හේ දැන් මුව වැද්දෙකි, ආශාව හේතු කොට ගෙන දරුණු වූ (කාමසඞ්ඛ්‍යාත දෘෂ්ටිසඞ්ඛ්‍යාත) පඞ්කයෙන් නිර්‍වාණපාරයට යන්නට නො හැකි විය. (මෙසේ උපක තමා සඳහා කී ය.)
292. (තමා කෙරෙහි) කාමයෙන් මොනොවට ඇලුණකු කොට මා සිතමින් චාපා තොමෝ පුතු නැළවූ, චාපා කෙරෙහි වූ කෙලෙස් බැඳුම් සිඳ නැවත ද මම පැවිදි වන්නෙමි.
293. මහාවීරය, මට නහමක් කිපෙව, මහාමුනිවරය, මට නහමක් කිපෙව, කෝපයෙන් මඩනාලද්දහුට ශුද්ධියක් නැත, තපසෙක් කොයින් වේ ද?
294. ‘නාලා’ ගමිනුදු නික්ම යන්නෙමි, මේ නාලායෙහි කවරෙක් වසන්නේ ද (චාපාවෙනි, තෙපි) දැහැමින් දිවි වටන මහණුන් තමාගේ ස්ත්‍රීරූපයෙන් බඳිමින් සිටියාව.
295. කළුව උපකය, එව නවතුව, පෙර මෙන් කාමයන් වළඳව මම ද මාගේ යම් නෑ කෙනෙක් වෙත් නම් ඔහු දු තොප විසින් වසඟ කරනලදුම්හ.
296. චාපාවෙනි, තෙපි මට යම්සේ කියවු නම්, තිලින් සතරෙන් කොටසක් කියව, තොප කෙරෙහි රාගයෙන් ඇලුණු පුරුෂයක් හට එය ඒකාන්තයෙන් මහත් වන්නේ ය.
297. කාළය, පවුමුදුනෙක පිපුණු තරුණ කිණිහිරි ගසක් මෙන් ද, පිපුණු දෙළුම් ගසක් මෙන් ද දූපතක් මැඳ පිපුණු පළොල් රුකක් මෙන් ද හොබනා සිරුරු ඇති.
298. රත්සඳුන් අලෙව්දුන් අවයව ඇති උතුම් කසීසළු දරන රූපවත් වූ මා කවරක් හට හැරපියා යෙහි ද?
299. යම් සේ ළිහිණි වැද්දෙක් ළිහිණියක බඳින්නට කැමති වේ ද, එසෙයින් කෘත්‍රීම රූපයෙන් තෝ මා නො පෙළව,
300. කාළය මාගේ මේ පුත්‍රඵලය ද තොප විසින් උපදවන ලද, පුතකු ඇති ඒ මා කවරක්හට හැරපියා යවු ද?
301. නුවණැති පුරුෂයෝ පුත්‍රයන් හැරැපියති, යළි නෑයන් ද යළි ධනය ද හැරැපියති, ඇතෙක් (යදම්) බැඳුම් මෙන් මහාවීරයෝ ගිහිබැඳුම් සිඳපියා පැවිදි වෙත්.
302. දැන් තොපගේ මේ පුතු දඬුයෙකින් හෝ පැහැර සිරියෙකින් හෝ විද (නසමි,) බිමැ හෝ හෙළාපියමි, පුතු කෙරෙහි කළ ශෝකයෙන් නො යන්නෙහි.
303. ළමු තෙනැත්තිය, ඉදින් පුතු සිවලුන්ට හෝ ශුනකයන්ට හෝ දෙන්නෙහි නමුදු පුතු නිමිති කොට මා පෙරළා නො නවත්ව.
304. සොඳය! හිමි කාළයෙනි, දැන් කවර ගමකට නිගමකට නුවරකට රජ දහනකට හෝ කවර තැනෙක්හි යන්නහු ද?
305. (ඇපි) පෙර ගණප්‍රධාන ව අශ්‍රමණ ව ශ්‍රමණයම්හ යන මාන ඇති වූම්හ, ගමින් ගමැ නගරයන්හි රජදහන්හි හැසිරුණම්හ.
306. තෙල භගවත් වූ බුදුහු නේරඤ්ජරා නදිය සමීපයෙහි සියලු දුක් නැසීම පිණිස සත්නට දහම් දෙසති. මම් ඔබ කරා යෙමි, ඔබ මට ශාස්තෘ වන්නාහ.
307. මෙ විට අනුත්තර වූ ලෝකනාථයන් වහන්සේට (මාගේ) වැඳුම් කියව, (මාගේ වැඳමෙන් වඳව’යි සේයි.) යළි පැදකුණු කොට මට පුණ්‍යදක්‍ෂිණාව දක්වා දුන මැනව.
308. තෙපි මට යම්සේ කියවු නම්, එපරිදි තෙල ප්‍රදක්‍ෂිණාහේතුක කුශලය වැලිත් අපගෙන් ලැබිය හැකි වෙයි, මෙ විට අනුත්තර වූ ලෝකනාථයන් වහන්සේට තීගේ වැඳුම කියන්නෙමි, යළි පැදකුණු කොට පුණ්‍යදක්‍ෂිණාව දක්වාලන්නෙමි.
309-310. ඉක්බිති කාළ (උපක) තෙමේ නේරඤ්ජරා නදිය කරා නික්ම ගියේ ය, හේ දුක යැ, දුක් ඉපැදීම යැ, දුක් නැසීම යැ, දුක් නැසීමට පමුණුවන අරිඅටඟි මඟ යැ යන අමෘතපදය දෙසන සම්මාසම්බුදුන් දිටි.
311. හේ ඒ බුදුන්ගේ පාසඟුළු වැඳ පැදකුණු කොට චාපාවට (පුණ්‍යදක්‍ෂිණාව) දක්වාදී ශාසනයෙහි පැවිදි වී, (ඔහු විසින්) ත්‍රිවිද්‍යාවෝ අනුප්‍රාප්තයහ, බුදුන්ගේ අනුසසුන් කරන ලදැයි.
මෙසේ චාපා තෙරැණි ...
චාපා ථේරීගාථා යි.
312. භවතිය, තෙපි පෙර මැරී ගිය පුතුන් කමින් (හැසුරුණාව) තෙපි රැයිදු දහවල්හි දු ඉතා ම තැවුණාව.
313. වාසෙට්ඨි බැමිණිය, ඒ තෙපි සියලු සිය ගණන් පුතුන් කා දැන් කවර කරුණෙකින් දැඩි ව නො තැවෙවු ද?
314. බමුණ, අතීත භවයෙහි මයිදු තොප දු විසින් බොහෝ සිය ගණන් පුත්‍රයෝ ද සිය ගණන් ඥාතිසමූහයෝ ද කනලදහ.
315. ඒ මේ ජාති (ජරා) මරණයන්ගේ නිස්සරණය වූ නිවන මඟනැණින් පිළිවිද දැන ශෝක නො කරමි, නො හඬමි, උපායාසයට නො පැමිණියෙම් වෙමි.
316. වාසෙට්ඨිය, ඒකාන්තයෙන් අද්භූත යැ, මෙබඳු (න සොචාමි’ යනාදි) බස් කියව. තෙපි කවර ශාස්තෘ කෙනකුන්ගේ දහම් දැන තිර කොට මෙබඳු බස් කියව් ද.
317. බමුණ, තෙල සම්මාසම්බුදුහු මිථිලා නගරයෙහි සියලු දුක් නැසීම පිණිස සත්නට දහම් දෙසනසේක.
318. බමුණ, අර්‍හත් වූ ඒ බුදුන්ගේ නිදුක් වූ දහම් අසා එහි ප්‍රතිවේධ කළ ආර්‍ය්‍යධර්‍ම ඇති මම පුත්‍රශෝකය හැරපීමි.
319. මම ද මිථිලා නගරයට යන්නෙමි, ඒ භාග්‍යවත්හු මා සියලු දුකින් මුදාලනසේක් නම් ඉතා මැනැවැ’යි බමුණු (කෙලෙසුන් කෙරෙන් හා භවයෙන්) වෙසෙසින් මිදුණු උපධි රහිත වූ බුදුන් දිටි.
320. වට්ටදුක්ඛයාගේ පරතෙරට පැමිණි ඒ මුනීහු ඔහුට දුක යැ, දුක් ඉපදීම යැ දුක් නැසීම යැ දුක් නැසීමට පමුණුවන අරිඅටඟිමඟ යැ යන සියුසස් දහම් දෙසූසේක.
321. එහි දී අවබෝධ කළ සිව්සස් දහම් ඇති සුජාත තෙම පැවිද්ද රුචි කෙළේ ය. තුන්රැයෙකින් ත්‍රිවිද්‍යාවන් ප්‍රත්‍යක්‍ෂ කෙළේ ය.
322. එව රියසැරිය, යා, මේ රිය (බැමිණියට) පාවාදෙව. බැමිණියට (මාගේ) නිරෝගි බව කියව, දැන් සුජාත බමුණු පැවිදිවූයේ තුන්රැයෙකින් ත්‍රිවිද්‍යාවන් පසක්කළැ’යි කියව.
323. ඉක්බිති රියසැරි තෙම රිය ද (මග වියදමට ගෙනෙන ලද) කහවණු දහස ද ගෙන ගොස් බැමිණියට (ඔහු) නිරෝග බව කී, දැන් සුජාත බමුණු පැවිදි වූයේ තුන්රැයකින් ත්‍රිවිද්‍යාවන් පසක් කළේ යයි ද කී.
324. රිය සැරිය බමුණු ත්‍රිවිද්‍යා ඇතියහු දැන තෙල අසුන් යෙදූ රිය ද කහවණු දහස ද තොපට තුටුපඬුරු කොට දෙමි.
325. බැමිණියනි, අස්රිය ද කහවණු දහස ද තොපට මැ වේවා. මම ද උත්තමප්‍රාඥ වූ බුදුන් වෙත පැවිදිවන්නෙමි.
326. සුන්‍දරිය, තොපගේ පිය තෙම ඇත්හු ද ගව අස්හු ද මිණි කොඬොල් ද යනාදී බොහෝ වූ ගෘහොපකරණ ද හැරදමා පැවිදි විය, තෙපි මේ භෝගයන් පරිභෝග කරව, තෙපි ම මේ කුලයෙහි දායාද්‍යයට සුදුස්සව.
327. මාගේ පිය තෙම පුත්‍රශෝකයෙන් දුකට පැමිණියේ ඇත්හු ද ගව අස්හු ද මිණි - කොඬොල් ද යනාදි වූ සිත්කලු ගෘහොපකරණ ද හැරපියා පැවිදිවිය, භ්‍රාතෘශෝකයෙන් දුකට පැමිණි මම ද පැවිදි වෙමි.
328. සුන්‍දරිය, තෙපි යම් පැවිද්දක් පතවු නම්, තොපගේ ඒ පැවිදි සංකල්පය සමෘද්ධ වේවා, ගෙයක් පාසා සිට ලැබියයුතු පිණ්ඩය ද පිඬුසිඟා යෑම ද පාංශුකූල චීවරය ද යන මේ ලැබෙමින් පරලොවැ අනාස්‍රව වවු.
329. ආර්‍ය්‍යාවෙනි, ශික්‍ෂමාණාවක වූ මා විසින් දිවඇස පිරිසිදු කරන ලද, මා පෙර යම් තැනෙක වුසූ නම් ඒ පූර්‍වනිවාස දනිමි.
330. භික්‍ෂුණීසඞ්ඝයාට සඞ්ඝස්ථවිරා වූ හොබනා ගුණ ඇති ඇති කල්‍යාණ මිත්‍ර වූ ආර්‍ය්‍යාවෙනි, තොප නිසා (මා විසින්) ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදු සසුන් කරන ලද.
331. ආර්‍ය්‍යාවෙනි, මට අවසර දුන මැනැව, සැවතට යන්නට කැමැත්තමු, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සමීපයෙහි සිංහනාද කරමි.
332. සුන්‍දරිය, ස්වර්‍ණවර්‍ණ වූ රන්වන් සිවිපැහැ ඇති අදාන්තයන් දමනය කරන සම්බුද්ධ වූ කොයිනුදු බිය නැති ශාස්තෲන්වහන්සේ බලව.
333. කෙලෙසුන් කෙරෙන් මිදුණු උපදි රහිත වූ විගත රාග වූ සංයෝජන රහිත වූ කළ සිව්මඟකිස ඇති අනාස්‍රව වූ එන්නා වූ සුන්‍දරී නම් මා බලනු මැනැව.
334. මහාවීරයන් වහන්ස, බරණැසින් නික්ම නුඹවහන්සේ සමීපයට පැමිණි ශ්‍රාවිකා වූ සුන්‍දරී නුඹවහන්සේගේ පාදයන් වඳී.
335. බාහිතපාපී බ්‍රාහ්මණයන් වහන්ස, නුඹවහන්සේ බුද්ධයහ, නුඹවහන්සේ ශාස්තෲහ, (මේ) නුඹවහන්සේගේ ඖරස වූ (ආර්‍ය්‍යමාර්‍ග) මුඛයෙන් උපන් කළ කිස ඇති අනාස්‍රව වූ දුහිතෘ වෙමි.
336. භද්‍රා සුන්‍දරිය, (ආර්‍ය්‍යමාර්‍ගදමථයෙන්) දැමුණු වීතරාග වූ විගතසංයෝජන වූ කෘතකෘත්‍ය වූ අනාස්‍රව වූවාහු ශාස්තෲන්ගේ පාසගුළු වඳිමින් මෙසේ මැ පැමිණෙති, තොප (මෙහි මා වෙත) පැමිණීම ස්වාගතයෙකි, තොපගේ ඊම දුරාගතයෙක් නො වේ යයි.
මෙසේ සුන්‍දරී තෙරැණී ...
සුන්‍දරී ථේරීගාථා යි.
337. යම්හෙයෙකින් පෙර ශුද්ධවස්ත්‍රාභරණයෙන් සැරැසුණු තරුණ වූ මම ( බුදුන් වෙත) බණ ඇසීම් ද එහෙයින් එළඹ සිටි සිහි ඇති මට සත්‍යාවබෝධය විය.
338. එහෙයින් මම සියලු (දිව්‍ය - මානුෂ) කාමයන්හි අරතියට පැමිණිමි, පඤ්චෝපාදානස්කන්‍ධයෙහි භය නුවණැසින් දැක පැවිද්ද ම කැමැතිවෙමි.
339. මම ඥාතිසමූහයා ද දසුන් කම්කරුවන් ද සමෘද්ධ වූ ගම්කෙත් ද සිත්කලු වූ සතුටු එළවන භෝගයන් ද හැරපියා (පැවිදිවීමි)
340. ‘මම අනල්ප වූ සම්පත් හැරපියා මෙසේ සැදැහැයෙන් ගිහිගෙන් නික්ම (බුදුන් විසින්) මැනැවින් අවබෝධ කළ ආර්‍ය්‍යවිනයෙහි පැවිදිවීමි, එහෙයින් තෙල මට සුදුසු නොවන්නේය, අකිඤ්චනභාවය මැ පතමි.
341. යම් පුඟුලෙක් රන් රිදී ආදිය හැරපියා නැවත ගන්නේ නම් (හේ පඬුවන් අතර කෙසේ හිස ඔසොවන්නේ ද?) රිදී හෝ රන් හෝ සත්‍යාවබෝධය පිණිස නොවේ, නිවන පිණිස නොවේ, තෙල ශ්‍රමණසාරුප්‍ය නො වෙයි, තෙල ආර්‍ය්‍යධනය නො වේ.
342. තෙල ලෝභ උපදවනු ද මද එළවනු ද මුළා කරනු ද කෙලෙස් රජස් වඩනු ද ආශඞ්කා සහිත ද බොහෝ ආයාස ඇත්තේ ද වෙයි, තෙල ධනයෙහි ධ්‍රැවබවක් ස්ථිතබවක් හෝ නැති.
343. තෙල ධනයෙහි ඇලුණා වූ ද ප්‍රමත්ත වූ ද සංක්ලිෂ්ට වූ සිත් ඇති සත්ත්‍වයෝ ඔවුනොවුන් ප්‍රතිවිරුද්ධ වූවාහු බොහෝ කලහ කෙරෙත්.
344. කාමයන්හි බැසගෙන සිටියානට මරණය (අන්‍දුබන්‍ධාදි) බන්‍ධනය (හස්තච්ඡේදාදි) වෙහෙසය (ධනාදීන්ගේ) හානිය ශෝක පරිදේවය යන බොහෝ ව්‍යසන දක්නා ලැබේ.
345. එබඳු වූ මා ඥාති වූ යුෂ්මත්හු පසමිතුරන් සෙයින් කුමක් හෙයින් කාමයන්හි යොදවවු ද, කාමයන්හි බිය දක්නාසුලු වූ මා පැවිදි වූවක කොට දන්නහු ය.
346. හිරණ්‍ය ස්වර්‍ණයෙන් (කාමාදි) ආස්‍රවයෝ ක්‍ෂය වීමට නොයෙති, කාමයෝ අමිත්‍රයෝ යැ වධකයෝ යැ සතුරෝ යැ සල්‍යබන්‍ධනයෝ යි.
347. එබඳු මා ඥාති වූ යුෂ්මත්හු පසමිතුරන් සෙයින් කුමක් හෙයින් කාමයන්හි යොදවවු ද, මුඬුකළ කෙස් ඇති සඟළ සිවුරු පෙරැ වූ මා පැවිදි වූවක කොට දන්නහු ය.
348. ගෙයක් පාසා සිට ලද පිණ්ඩාහාරය ද (ඒ සඳහා) පිඬු සිඟායෑම ද පාංශුකූල චීවරය ද පැවිද්දනට නිසි ජීවිතපරිෂ්කාරය ද යන මේ මට සුදුසු වේ.
349. දිව්‍ය වූ ද මානුෂික වූ ද යම් කාමයෝ වෙත් ද ඔහු බුද්ධාදි මහර්ෂීන් විසින් හැරදමනලද්දාහ, ඒ මහර්ෂීහු ක්‍ෂේමස්ථාන වූ නිවන අරමුණුකොට විමුක්තයහ, ඔහු අචල වූ නිවන්සුවයට පැමිණියාහ.
350. යම් කාමකෙනකුන් කෙරෙහි අනර්‍ත්‍ථපරිත්‍රාණයෙක් නැද්ද (එහෙයින්) මම කාමයන් හා සමාගමයට නොයමි. කාමයෝ අමිත්‍රයෝ යැ වධකයෝ යැ ගිනිකඳු සම ව දුක් ඇත්තාහු යි.
351. තෙල උවදුරෙක භයෙක චිත්තපීඩායෙක කටුසහිතයෙක ගේධයෙක, අතිවිෂයෙක ලේපයෙක මහත් වූ මොහයනට දොරටුයෙකි.
352. බිහිසුණු සැහැවි ඇති උවදුරෙකි, මෝහයෙන් අන්‍ධ වූ පුහුදුන් බාලයෝ යම්බඳු කාමයන් පතා සිටිත් ද ඒ කාමයෝ (සප්‍රතිභයාර්‍ත්‍ථයෙන්) සර්‍පශීර්‍ෂොපම වූහ.
353. ලොවැ කාමපඞ්කයෙන් ඇලුණාවූ බොහෝ අඥානයෝ ජාතිමරණයන්ගේ කෙළවර නොදනිත්.
354. මනුෂ්‍යයෝ ඒකාන්තයෙන් තමහට රෝග එළවන කාම හේතුක වූ දුගතියට යන මගට බොහෝ කොට පිවිසෙත්.
355. මෙසේ පසමිතුරන් උපදවන තැවුලි කරන සාංක්ලේශික වූ ලෝකාමිෂ වූ සංයෝජනයන් විසින් බැන්දයුතු වූ කාමයෝ (භවාදියෙහි ඉපදීමට කරුණු හෙයින්) පාදබන්‍ධනයෝ යි.
356. උමතුබව ඇති කරන ‘අහෝ සුව යැ’යි කියවන කාමයෝ සිත් කළඹන සුලු වූහ, සත්ත්‍වයන්ගේ කෙලෙසීම පිණිස මරහු විසින් ඔබනලද කෙමිනෙකි.
357. කාමයෝ අනන්ත ආදීනව (දෝෂ) ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, මහත් විෂබඳු වූහ, අල්ප වූ ආස්වාද ඇත්තාහ, මහත් රාගාදිය වඩනාහු ය, (සත්ත්‍වයන්ගේ) කුශලපක්‍ෂය වනසන්නාහ.
358. මම් කාම හේතුක වූ ව්‍යසනය මෙබඳු යයි කොට (සලකා) ඒ කාමයට පෙරළා නො එමි, හැම කල්හි නිවනෙහි අභිරත වීම ද එහෙයිනි.
359. සීතිභාව සඞ්ඛ්‍යාත අර්‍හත්ත්‍වය කැමති වූ මම කාමයන් පිළිබඳ ක්ලේශය තරණය කොට සර්‍වසංයෝජනක්‍ෂය සඞ්ඛ්‍යාත නිවනෙහි අප්‍රමත්ත ව වෙසෙමි.
360. බුද්ධාදි මහර්ෂීහු යම් මඟෙකින් සසර තරණය කළාහු ද ශෝක රහිත වූ විරජ වූ නිර්‍භය වූ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික වූ ඒ ඍජු මාර්‍ගය අනුගමනය කරමි.
361. ආර්‍ය්‍යඵලධර්‍මයෙහි සිටි මේ සුභා නම් කඹුරුදියණියන් බලව. ඕ අනෙජසඞ්ඛ්‍යාත රහත්ඵලයට පැමිණ රුක්මුල්හි හිඳ ඒ පල සමවතින් ධ්‍යාන කෙරෙයි.
362. අද පැවිදි වූ අටවැනි දිනය ඇති ශ්‍රද්ධාසම්පන්න වූ මඟපල දහම් අධිගමයෙන් ශෝභන වූ උප්පලවණ්ණා විසින් හික්මවන ලද ත්‍රිවිද්‍යා ඇති මරුන් දුරුකළාවූ.
363. ක්ලේශදාසව්‍යයෙන් නිදැසි වූ කාමච්ඡන්‍දාදිය දුරලීමෙන් අණන වූ වැඩූ ශ්‍රද්ධාදි ඉඳුරන් ඇති මේ සුභා මෙහෙණ සියලු යෝගයෙන් විසංයුක්ත වූවා කළ කිස ඇත්තී අනාස්‍රව වූ.
364. භූතපති වූ ශක්‍ර තෙමේ දේවසමූහයා සමග ඉදුහයෙන් ඇය කරා එළඹ සුභා නම් කඹුරු දියණියන් වඳී ය යි.
මෙසේ කර්‍මාරදුහිතා වූ සුභා තෙරැණි ...
සුභා ථේරීගාථා යි.