ඛුද්දකනිකාය
ථේරීගාථාපාළි
ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
1. ඒකකනිපාතය
1. 1.
1. ථේරිකාවෙනි, පහුල්වතින් පිවුරු කොට හඳනා පොරෝනා ලද සිරුරු ඇති වැ සුවසේ වාස කර. යම්හෙයකින් තොපගේ (සන්තානයෙහි උපදනා) කාමරාගය රත් වූ කුඹුයෙහි (බඳුනෙහි,) ශුෂ්කඩාකයක් (වියැළීගිය පළාවක්) සෙයින් අනගැමි මගින් සන්හිඳුණේ වේ ද එහෙයිනි.
මෙසෙයින් ථේරිකා නම් එක්තරා අප්‍රකට මෙහෙණක් ගාථාවක් කිවු යැ.
අඤ්ඤතර ථේරීගාථා යි.
1. 2.
2. මුත්තාවෙනි, රාහුග්‍රහයා කෙරෙන් චන්‍ද්‍රයා සෙයින් කාමාදි සතර යෝගයන් කෙරෙන් මිදෙව. කෙලෙසුන් කෙරෙන් (සමුච්ඡේදවිමුක්තීන්) මොනොවට මිදුණු සිතින් යුක්ත වැ කෙලෙස් ණය හැරපියා රට වැසියාගේ පිඬු (සිවුපසය) වළඳකර.
මෙසෙයින් භාග්‍යවතුන් වහන්සේ මුත්තා නම් සික්ඛමානාවට මේ ගයින් එක්වන් ඔවා දෙනසේක.
මුත්තා ථේරීගාථා යි.
1. 3.
3. පුණ්ණාවෙනි, පුණුරැසි සඳ සෙයින් (සත්තිස් බෝධිපාක්‍ෂික) ධර්‍මයන් පිරෙව, පිරිපුන් (රහත්මඟ) නුවණින් මොහොකඳ බිඳුව.
මෙසෙයින් පුණ්ණා මෙහෙණ ගාථාවක් කිවු යැ.
පුණ්ණා ථේරීගාථා යි.
1. 4.
4. තිස්සාවෙනි, (අධිශීලාදි ත්‍රිවිධ) ශික්‍ෂායෙහි හික්මෙව, (මනුෂ්‍යත්‍වය ඉන්‍ද්‍රිය අවිකලත්‍වය, බුද්ධෝත්පාදය, ශ්‍රද්ධා ප්‍රතිලාභය යන) යෝගයෝ - දුර්‍ලභක්‍ෂණයෝ තොප නහමක් ඉක්මයෙත්වා, නොහොත් කාමාදි චතුර්යෝගයෝ තොප නහමක් මඩිත්වා. සියලු මැ කාමාදියොගයන් කෙරෙන් මුක්ත වැ (එහෙයින් මැ) ආස්‍රව රහිත වැ ලොව හැසිරෙව.
මෙසෙයින් තිස්සා මෙහෙණ ගාථාවක් කිවු යැ.
තිස්සා ථේරීගාථා යි.
1. 5.
5. තිස්සාවෙනි, (ශමථවිදර්‍ශනාධර්‍මයන් හා ආර්‍ය්‍යබෝධිපාක්‍ෂිකධර්‍මය යන) ධර්‍මයෙන් යුක්ත වව, (ප්‍රතිරූපදෙශ, අවෛකල්‍යෂඩායතන, බුද්ධොත්පාද, ශ්‍රද්ධාප්‍රතිලාභ සඞ්ඛ්‍යාත) ක්‍ෂණය තොප නහමක් ඉක්මයේවා. යම්හෙයකින් ක්‍ෂණය පැනගියාහු නිරයෙහි ඉපිද සොවිත් ද, එහෙයිනි.
මෙසෙයින් තිස්සා මෙහෙණ ගාථාවක් කිවූ යැ.
තිස්සා ථේරීගාථා යි.
1. 6.
6. ධීරාවෙනි, ක්ලේශනිරෝධය (නිර්‍වාණය) ස්පර්‍ශ කරව. කාමාදි පාපසංඥාවන්ගේ ව්‍යුපශම නිමිත්ත වන යෝගක්ඛේම නම් වූ සුඛාවහ වූ අනුත්තර නිර්‍වාණය ලබාගනුව.
මෙසෙයින් ධීරා මෙහෙණ ගාථාවක් කිවූ යැ.
ධීරා ථේරීගාථා යි.
1. 7.
7. වීරා මෙහෙණියෙනි, (වීර්‍ය්‍යප්‍රධාන හෙයින්) වීරධර්‍ම වූ ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයෙන් වැඩූ ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති වැ සේනා සහිත වූ ක්ලේශ මාරයා දිනා අන්තිමදේහය ධරව.
මෙසෙයින් වීරා මෙහෙණ ගාථාවක් කිවු යැ.
විරා ථේරීගාථා යි.
1. 8.
8. මිත්තාවෙනි, සැදැහැයෙන් පැවිදි වැ කලණ මිතුරන් කෙරෙහි ඇලුම් ඇති වව. අර්‍හත්ත්‍ව නිර්‍වාණ සඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයාගේ අධිගමය පිණිස ආර්‍ය්‍ය මාර්‍ග ධර්‍මයන් වඩව.
මෙසෙයින් මිත්තා මෙහෙණ ගාථාවක් කිවු යැ.
මිත්තා ථේරීගාථා යි.
1. 9.
9. භද්‍රාවෙනි, සැදැහැයෙන් පැවිදි වැ භද්‍ර වූ ශීලාදි ධර්‍මයෙහි ඇලුම් ඇති වව, චතුර්යෝගයෙන් ක්‍ෂේම වූ නිවනට පැමිණෙනු පිණිස (සප්තත්‍රිංශද්බෝධිපාක්‍ෂික) ධර්‍මයන් වඩව.
මෙසෙයින් භද්‍රා මෙහෙණ ගාථාවක් කිවු යැ.
භද්‍රා ථේරීගාථා යි.
1. 10.
10. උපසමාවෙනි, ක්ලේශමාරයාගේ පැවැත්ම ඇති අත්‍යර්‍ත්‍ථයෙන් දුස්තර වූ සංසාරෝඝය (ආර්‍ය්‍යමාර්‍ග නෞකායෙන්) තරණය කර, සේනා සහිත කෙලෙස් මරහු දිනා (එහෙයින් මැ) අන්තිම ශරීරය ධරව.
මෙසෙයින් උපසමා මෙහෙණ ගාථාවක් කිවු යි.
උපසමා ථේරීගාථා යි.
1. 11.
11. මොනොවට මිදුණෙම් වෙමි. වෙනෙනුදු මොහොලිනුදු කුදු සැමියා කෙරෙනුදු යන තුන් කුදුයෙන් මිදීමෙන් මෙසේ මොනොවට මිදුණෙම් වෙමි. ජාතිමරණයෙනුදු මිදුණෙම් වෙමි. භවනෙත්ති නම් වූ තෘෂ්ණාව නසන ලදු යැ, එහෙයිනි.
මෙසේ මුත්තා නම් මෙහෙණ ගාථාවක් කිවු යැ.
මුත්තා ථේරීගාථා යි.
1. 12.
12. (අග්‍ර ඵලය පිණිස) උපන් ඡන්‍දය ඇත්තී මහණුවම්හි අවසානය (නිවන) පතන්නී (යට තුන්මග) සිතින් (නිවන) ස්පර්ශී කළා වෙයි. කාමයෙහි පිළිබැඳි සිත් නැත්තී ‘උද්ධංසොතා’යයි කියනු ලැබේ.
මෙසේ ධම්මදින්නා මෙහෙණ ගාථාවක් කිවු යැ.
ධම්මදින්නා ථේරීගාථා යි.
1. 13.
13. යම් අනුශාසනයක් කිරීමෙන් නො තැවේ ද බුදුරදුන්ගේ ඒ අනුසසුන් කරව, වහා පා දෙවැ එකත්පසෙක හිඳුව.
මෙසේ විශාඛා මෙහෙණ ගාථාවක් කිවු යැ.
විසාඛා ථේරීගාථා යි.
1. 14.
14. (ස්වසන්තතිපර්‍ය්‍යාපන්න වූ චක්‍ෂුරාදි) ධාතූන් දුක් විසින් දැක පුනර්‍භවයට නහමක් පැමිණෙව. භවයෙහි තෘෂ්ණා ඡන්‍දය හැරපියා උපශාන්ත වැ හැසිරෙව.
මෙසේ සුමනා මෙහෙණ ගාථාවක් කිවු යැ.
සුමනා ථේරීගාථා යි.
1. 15.
15. කායසංවරයෙන් සංවෘත වීමි, වාක්සංවරයෙන් සංවෘත වීමි. වැළි අධිචිත්තයෙන් සංවෘත වීමි, අනුශය සහිත තෘෂ්ණාව උදුරාපියා සිහිල් බවට පැමිණියෙම් නිවියෙම් වෙමි.
මෙසෙයින් උත්තරා මෙහෙණ ගාථාවක් කිවු යැ.
උත්තරා ථේරීගාථා යි.
1. 16.
16. වෘද්ධාවෙනි, තෙපි පහුල්වතින් සිවුරු කොට පෙරෙවියාව සුවසේ හොව, යම්හෙයෙකින් තොපගේ රාගය සන්හිණි ද එහෙයින් සිහිල් වැ පිරිනිවියා වව.
මෙසෙයින් වෘද්ධප්‍රව්‍රජිත සුමනා මෙහෙණ ගාථාවක් කිවු යැ.
සුමනාබුඩ්ඪපබ්බජිතා ථේරීගාථා යි.
1. 17.
17. දුබල වූයෙම් සැරයටිය එල්බගෙන පිඬු සිඟා ඇවිද වෙවුළන ගාත්‍ර ඇති වැ එහි මැ බිම හිණිමි. කයෙහි ආදීනව දැක යළි මා සිත කෙලෙසුන් කෙරෙන් මිදිණ.
මෙසෙයින් ධම්මා මෙහෙණ ගාථාවක් කිවු යැ.
ධම්මා ථේරීගාථා යි.
1. 18.
18. ගිහිගෙය හැරපියා ප්‍රිය එළවන පුත්‍රයන් හා ගොමහීෂාදීන් හැරපියා රාගයත් ද්වේෂයත් ආර්‍ය්‍යමාර්‍ගයෙන් සිඳපියා අවිද්‍යාව ද මාර්‍ගයෙන් නසා අනුශය සහිත තෘෂ්ණාව උදුරාපියා උපශාන්ත වැ නිවුණුමු.
මෙසෙයින් සඞ්ඝා මෙහෙණ ගාථාවක් කිවු යැ.
සඞ්ඝා ථේරීගාථා යි.
ඒකකනිපාතය නිමි.
2. දුකනිපාතය
2. 1.
19. නන්‍දාවෙනි, ආතුර වූ අපවිත්‍ර වූ පූතිභාවයට ගිය (තෙල) ශරීරය බල, වික්‍ෂේප නැතියෙන් ඒකාග්‍ර වූ (අරමුණෙහි මොනොවට පිහිටියෙන්) සුසමාහිත වූ සිත අසුභය පිණිස වඩව.
20. (නිත්‍යනිමිත්තාදීන් දුරලනුයෙන්) අනිමිත්ත නම් වූ විපස්සනාව වඩව, මානානුශය දුරලව, ඉක්බිති මානයාගේ දුරු කිරීමෙන් උපශාන්ත වැ වාස කරව.
මෙසෙයින් භාග්‍යවතුන් වහන්සේ අභිරූපනන්‍දා සික්ඛමානාවට මේ ගාථායෙන් නරතුරු ඔවදන් දෙනසේක.
අභිරූපනන්‍දා ථේරීගාථා යි.
2. 2.
21. නිර්‍වාණාවබෝධයට මාර්‍ග වූ යම් සප්තබෝධ්‍යඞ්ග කෙනෙක් ඇද්ද යම් පරිදි බුදුන් විසින් දෙසන ලද්දාහු ද ඒ හැම බෝධ්‍යඞ්ගයෝ මා විසින් භාවිතයහ.
22. යම් හෙයෙකින් මා විසින් ඒ ධර්‍මකාය සඞ්ඛ්‍යාත භාග්‍යවතුන් වහන්සේ (ආර්‍ය්‍යධර්‍මදර්‍ශනයෙන්) දක්නා ලද්දාහු ද එහෙයින් මේ අන්තිම ශරීරය වෙයි. ජාතිසංසාරය ක්‍ෂය වී දැන් පුනර්‍භවයෙක් නැති.
මෙසෙයින් ජෙන්තා මෙහෙණ ගාථා කිවු යැ.
ජෙන්තා ථේරීගාථා යි.
2. 3.
23. සුමුත්තිකාවෙනි, සුමුත්තිකාවෙනි, මොහොලින් මොනොවට මිදුණමු. මාගේ සැමියා නිර්ලජ්ජයෙක. (හේ මට නො රිසි වෙයි) (දිවි තකා කැරෙන) ඡත්‍රය ද නො රිසි වෙයි. මාගේ බත් පිසන සැළිය දියබරණ ගඳ හමයි. (මෙ හැමයෙන් මොනවට මිදුණමු)
24. මම් රාගය ද ද්වේෂය ද ‘චිච්චිටි චිච්චිටි’ යන අනුකරණයෙන් නසාලමි. මම වෘක්‍ෂමූලයට එළඹ ‘අහෝසුඛං’ යි සුඛවශයෙන් ධ්‍යාන කරමි.
මෙසෙයින් සුමඞ්ගලමාතා මෙහෙණ ගාථා කිවු යැ.
සුමඞ්ගල මාතා ථේරීගාථා යි.
2. 4.
25. කසීරට උපදනා සුංවත් යම් පමණ වේ ද මට එපමණ සුංවත් වී. නියම්ගම් වැසි ජනයා ඒ අගය කොට ගෙන එයින් අඩෙකින් මා අගය කොට තැබී.
26. ඉක්බිති මම රූපයෙහි කලකිරුණුමි. කලකිරුණු මම විරාගයට පැමිණියමු: වැළි පුනපුනා ජාති සංසාරයට නො දුවමි. මා විසින් ත්‍රිවිද්‍යාවෝ පසක් කරන ලදහු. බුදුන්ගේ අනුසසුන් කරන ලද.
මෙසෙයින් අඩ්ඪකාසී මෙහෙණ ගාථා කිවු යැ.
අඩ්ඪකාසී ථේරීගාථා යි.
2. 5.
27. මම (මඳ වූ මස්ලේ ඇති බැවින්) කෘශ ශරීර ඇති වැ ගිලන් වැ දැඩි දුබල වුව ද, (යම් මැ තැනෙක) යමින් සැරයටිය එල්බගෙන යමි. (එබඳු වී නමුදු) ගිජුකුළුපව්වට නැඟී,