814. යමෙක් පහස විඳ එහි සිහි ඇත්තේ වේ ද, හෙතෙම ස්පර්‍ශාලම්බනයෙහි නො ඇලෙයි, විරාග සිත් ඇත්තේ අරමුණුරස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
815. යම්සේ පහස විඳුනා වූ ද වේදානාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ.
816. යමෙක් දහම්අරමුණ පසක් කොට එහි සිත් ඇත්තේ වේ ද, හෙතෙම දහම්අරමුණෙහි නො ඇලෙයි, විරාගසිත් ඇත්තේ අරමුණු රස විඳී, එතෙකුදු වුවත් එහි වැදැගෙන නො සිටී.
817. යම්සේ දහම්අරමුණ පසක් කරන්නා වූ ද වේදනාව සෙවුනා වූ ද ඔහුගේ කෙලෙස් ක්‍ෂය වේ නම් රැස් නො වේ නම්, හෙතෙම එසේ සිහි ඇති වැ වෙසේ, මෙසේ දුක් පහ කරන්නහුට නිවන ළඟ යැ යි කියනුලැබේ යි.
මෙසේ ආයුෂ්මත් මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
මාලුඞ්ක්‍යපුත්ත ස්ථවිරගාථා යි.
20. 1. 6.
818. පිරිපුන්සිරුරු ඇත්තෙහි, මනා සිරුරුකැලුම් ඇත්තෙහි, අභිජාතයෙහි, රමණී දැකුම් ඇත්තෙහි, රන්වන් වෙහි, භගවත්හි, සුදෝසුදු දත්පෙළ ඇතියෙහි, වීර්‍ය්‍ය ඇත්තෙහි යැ.
819. අභිජාතපුරුෂයක්හුගේ යම් ලක්‍ෂණ කෙනෙක් වෙත් ද, ඒ සියලු මහාපුරුෂලක්‍ෂණයෝ ඔබගේ සිරුරෙහි වෙත්.
820. පස්පෑ දිස්නා නෙත් ඇත්තෙහි, මනා මුව ඇතියෙහි, ආරෝහපරිණාහසම්පන්නයෙහි, ඍජුගාත්‍ර ඇතියෙහි, ප්‍රතාපවත් වූයෙහි, මහණගණ මැද සූර්‍ය්‍යයා මෙන් බබළන්නෙහි යැ.
821. කලණදැකුම් ඇතියෙහි, කසුන් පැහැසිවි ඇතියෙහි යැ, මහණ, මෙසේ උත්තමස්වරූප ඇති තොපට ශ්‍රමණභාවයෙන් කිම?
822. මහාරථික වූ සිව්සයුරු හිම් කොට ඇති පොළොවට අධිපති වූ කළ දික් විජය ඇති ජම්බුද්වීපයට ඊශ්වර වූ සක්විතිරජ වන්නට සුදුස්සෙහි යැ.
823. භෝග ඇති ක්‍ෂත්‍රිය රජවරු තොපගේ අනුගාමීහු වෙත්, ගෞතමය, රාජාධිරාජ වූ මනුජේන්‍ද්‍රයක් වැ රාජ්‍යය කරව.
බුදුහු:-
824. සේල! මම රජයෙමි. නිරුත්තර වූ ධර්‍මරාජ වූයෙම් දැහැමින් අණසක පවත්වමි, අණසක (අනෙකකු විසින්) පෙරළිය නො හැක්කෙකි’යි.
සෙල බ්‍රාහ්මණ:-
825. ‘නිරුත්තර ධර්‍මරාජන් වූ සම්බුද්ධයෙමි’යි ප්‍රතිඥා කරව, ගෞතමය, දැහැමින් අණසක පවත්වමී කියව.
826. භවත්හුගේ සෙන්පති කවරෙ යැ? ශ්‍රාවක වූ ශාස්තෘ අන්‍වය ඇති කවරෙක් තොප විසින් පවත්වනලද මේ දහම්සක අනුවර්‍තතනය කෙරේ ද?
බුදුහු:-
827. සේල! මා විසින් පවත්වනලද නිරුත්තර වූ ධර්‍මචක්‍රය තථාගත අනුජාත වූ ශාරිපුත්‍ර තෙමේ අනුවර්‍තනය කෙරේ.
828. මා විසින් දතයුතු දැය දන්නාලද යැ, භාවිත කළ යුත්ත භාවිත යැ, ප්‍රහාතව්‍යය ප්‍රහීණ යැ, එහෙයින් බමුණ! මම බුද්ධයෙමි,
829. බමුණ, මා කෙරෙහි සැක දුරුකරව, මා හදහව, සම්බුද්ධයන්ගේ එක්වන් දැක්ම දුර්‍ලභ වේ.
830. ලෝකයෙහි යම් කෙනකුන්ගේ එක්වන් පහළ වීම ඒකාන්තයෙන් දුර්‍ලභ වේ ද, බමුණ! ඒ මම නිරුත්තර ශල්‍යවෛද්‍ය වූ සම්බුද්ධයෙමි.
831. බ්‍රහ්ම (ශ්‍රේෂ්ඨ) වූයෙම් නිරුපම වූයෙම් මරසෙන් මඬනසුලු වූයෙම් සියලු සතුරන් වසඟ කොට කිසිවෙකින් බිය නැත්තෙම් සතුටු වෙමි.
832. භවත්නි! පසැස් ඇත්තේ යම්සේ කියා ද, එසේ මෙය අසවු, (රාගාදි ශල්‍යයන් උදුරන බැවින්) සල්ලකත්ත වූ මහාවීර තෙම වනයෙහි සිංහයකු මෙන් ගර්‍ජනා කෙරේ.
833. බ්‍රහ්ම වූ තුලනාතික්‍රාන්ති වූ මරසෙන් මඬනාසුල්ලහු දැකැ (තමපරායණ බැවින්) නීචජාතික වූ කවරෙක් නො පහදින්නේ ද?
834. යමෙක් කැමැති වේ ද (හෙ) මා අනුව ඒවා, නොහොත්, යමෙක් නො කැමැති වේ ද (හෙතෙම) යේවා, මම මෙහි උතුම් නුවණැත්තහු වෙත පැවිදි වන්නෙමි.
835. ඉදින් භවත්හට තෙල සම්‍යක් සම්බුද්ධශාසනය රුචි වේ නම්, අපිදු උතුම් නුවණැත්තහු වෙත පැවිදි වම්හ.
836. භාග්‍යවතුන් වහන්ස! මේ තුන්සියක් බ්‍රාහ‍්මණයෝ ඇඳිලි බැන්දාහු බඹසර යදිත්, (ඒ අපි) ඔබ වෙත බඹසර රක්නෙමු.
බුදුහු:-
837. සේල! යම් සසුනෙකැ අප්‍රමාද වැ හික්මෙනුවහට පැවිද්ද අමෝඝ (නොසිස්) වේ ද එහි මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යය ස්වාඛ්‍යාත යැ, සාංදෘෂ්ටික යැ, අකාලික යි.
838. ඇසැතියාණෙනි! යම් හෙයෙකින් මින් අටවැනි දිනයෙහි ඔබ සරණයට පැමිණියමෝ ද, එහෙයින් භාග්‍යවතුන් වහන්ස! සත් රැයින් ඔබ සසුන්හි දැමුණම්හ.
839. බුදු වූවහු මුඹ යැ, ශාස්තෘ වූවාහු මුඹ යැ, මාරාභිභූමුනි වූවහු මුඹ යැ, මුඹ වහන්සේ අනුශය සිඳැ පාරගත වූවහු මේ ප්‍රජාව තරණය කරවූහු යැ.
840. ඔබ විසින් උපධීහු ඉක්මවනලදහ, ඔබ විසින් ආස්‍රවයෝ විදාරණය කරනලදහ, උපාදාන රහිත වූවහු, සිංහයකු මෙන් පහ වූ භය භේරව ඇත්තහු යැ.
841. මේ තුන්සියක් භික්‍ෂූහු ඇඳිලි බැඳැගෙන සිටිත්. වීරයන් වහන්ස, පා සඟළ දිගු කළ මැනවැ. පුරුෂනාගයෝ ශාස්තෘහුගේ පා සඟළ වඳිත්වා! යි.
මෙසේ ආයුෂ්මත් සේල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
සේල ස්ථවිරගාථා යි.
20. 1. 7.
842. මා විසින් ඇත්කඳ නැඟී සැරිසරනලද යැ, සියුම් වස්ත්‍ර දරන ලද යැ, මනා මසින් හැනූ හැල්බත් වළඳනලදි.
843. අද (ශීලාදී ගුණ හෙයින්) භද්‍ර වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කාළිගෝධාපුත්‍ර ඒ භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
844. පංශුකූලිකාඞ්ග ඇති, ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු උපාදාන රහිත වූ කළිගෝධාපුත්‍ර භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
845. පිණ්ඩපාතිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
846. තෙචීවරිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
847. සපදානචාරිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
848. ඒකාසනිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
849. පත්තපිණ්ඩිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
850. ඛලුපච්ඡාභත්තිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
851. ආරඤ්ඤිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
852. රුක්ඛමූලිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
853. අබ්හොකාසිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
854. සෝසානිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
855. යථාසන්තතිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
856. නෙසජ්ජිකඞ්ග ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
857. අල්පෙච්ඡ වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
858. සන්තුෂ්ට වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
859. ප්‍රවිවික්ත වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
860. අසංසෘෂ්ට වූ ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ ...
861. ආරබ්ධවීර්‍ය්‍ය ඇති ශ්‍රමණධර්‍මයෙහි නිරත වූ පිණ්ඩාහාරයෙහි ඇලුණු, උපාදාන රහිත වූ ගෝධාපුත්‍ර භද්දිය තෙමේ ධ්‍යාන කෙරේ.
862. රනින් නිමැ වූ නොයෙක් කැටයම් ඇති සියක්පල් අගනා කස්ලෝතලිය හැරැදමා මැටිපාත්‍රය ගනිමි, මේ දෙවැනි අභිෂේක යි.
863. උස් වූ මඬුලුපවුරු ඇති තිර වූ අටලු කොටු ඇති පුරයෙහි ඛඞ්ගධාරීන් විසින් රක්නාලද්දෙම් ත්‍රස්ත වැ විසුයෙමි.
864. අද ඒ භද්‍ර වූ ත්‍රස්ත නො වනසුලු වූ පහ වූ භය භෛරව ඇති ගෝධාපුත්‍ර භද්දිය තෙමේ වනයෙහි පිවිස ධ්‍යාන කෙරේ.
865. ශීලස්කන්‍ධයෙහි පිහිටා සමාධියත් ප්‍රඥාවත් වඩනෙම් අනුක්‍රමයෙන් සියලු සංයෝජනයන් ගේ ක්‍ෂය භාවයට පැමිණියෙමි යි.
මෙසේ ආයුෂ්මත් කාළිගෝධාපුත්‍ර භද්දිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
භද්දිය ස්ථවිරගාථා යි.
20. 1. 8.
866. මහණ! යන්නෙහි ‘සිටියෙමි’යි කියහි, සිටි මා ‘නො සිටියහ’යි ද කියහි, මහණ! මෙකරුණ ඔබ විචාරමි, භවත් කෙසේ සිටියෙ යැ? මම කෙසේ නො සිටියෙම් වේ ද?
867. අඟුල්මල! මම හැම කල්හි සියලු සතුන් කෙරෙහි දණ්ඩනය හැරපියා සිටියෙමි, තෝ වනාහි ප්‍රාණීන් කෙරෙහි සංයම රහිත වෙහි, එහෙයින් මම සිටියෙමි, තෝ නො සිටියෙහි.
868. පූජිත වූ මහර්ෂි වූ ශ්‍රමණ තෙම කලෙකින් මට හිත පිණිස මහවනයට එළඹියේ යැ, මම ඔබගේ ධර්‍මයුක්ත වූ ගාථාව අසා දහසක් පව් හැරැදමන්නෙමි.
869. මෙසේ කියා අඟුල්මල් සොර අසිපත ද සෙසු අවි ද හෙබෙහි ප්‍රපාතයෙහි, පොළෝ විවරයෙහි දැමී යැ, සොරා බුදුන් ගේ පාසඟළු වැන්දේ යැ, එතැන්හි මැ බුදුන් ගෙන් පැවිද්ද අයැදී.
870. එක්බිති යම් කෙනෙක් දෙවියන් සහිත සත්ත්‍වලෝකයාට කාරුණික වෙත් ද, මහර්ෂී වෙත් ද ඒ බුදුහු ‘එව මහණැ’යි එදා ඔහුට වදාළහ. එ මැ ඔහු ගේ භික්‍ෂුභාවය වී.
871. යමෙකු පළමු ප්‍රමාදයට පැමිණ පසුව අප්‍රමාද වේ ද හෙතෙම වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.
872. යමකු විසින් කරනලද පව්කම් කුශලයෙන් වසනුලැබේ ද හෙතෙම වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.
873. යම් තරුණ මහණෙක් ත්‍රිවිධශික්‍ෂායෙහි යුක්තප්‍රයුක්ත වේ ද හෙතෙම ඒකාන්තයෙන් වලායෙන් මුත් නිසයුරු සෙයින් මෙලොව බබුළුවයි.
874. මා ගේ සතුරෝ ද (මා ඇසූ) ධර්‍මකථාව අසත්වා! මාගේ සතුරෝ ද බුද්ධශාසනයෙහි යුක්තප්‍රයුක්ත වෙත්වා! (යෙදෙත්වා!) යම් සත්පුරුෂ කෙනෙක් ධර්‍මය මැ ගන්වත් ද මාගේ සතුරෝ ද එබඳු මිනිසුන් භජනය කෙරෙත්වා!
875. මා ගේ සතුරෝ ක්‍ෂාන්තිවාදීන්ගේ මෛත්‍රිය පසස්නවුන් ගේ ධර්‍මය සුදුසු කල්හි අසත්වා! එ ද අනුගමනය කෙරෙත්වා!
876. ඒ මාගේ සතුරා කිසි කලෙකැ මා නො මැ නසන්නේ යැ, අන් කිසිවකු හෝ නො නසන්නේ යැ, (හෙතෙම) පරම ශාන්තියට පැමිණ තැතිගන්නවුන් (පුහුදුන්) හා ස්ථාවරයන් (රහතුන්) රක්නේ යි.
877. දියාලුවෝ (කැමැති තැනට) දියගෙන යෙති, හීවඩුවෝ හී ඍජු කෙරෙති. දැවවඩුවෝ දැව නමති, නුවණැතියෝ ආත්මය දමනය කෙරෙත්.
878. ඇතැම් කෙනෙක් කැවිටිනුදු අකුස්සෙනුදු කසයෙනුදු දමනය කරත්, මම කැවිටි නැති අවි නැති තාදිහු (බුදුන්) විසින් දමනය කරනලද්දෙමි වෙමි.
879. හිංසක වූ මට පෙර ‘අහිංසක’ යැ යි නමෙක් වී යැ, අද මම නිබොරු නම් ඇත්තෙමි, කිසිවකු නො නසමි.
880. පෙර මම ‘අඞ්ගුලිමාල’යි ප්‍රසිද්ධ වූ සොර වීමි, (කාමාදි) මහොඝය විසින් පා කොට ගෙන යන ලද්දෙම් බුදුන් සරණගියෙමි.
881. පෙර අඟුල්මලැ යි ප්‍රසිද්ධ වූයෙම් ලෙහෙ වැකුණු අත් ඇත්තෙම් වීමි, සරණාගමන අනුසස් බලව. (මා විසින්) තෘෂ්ණාව උගුළුවන ලදු.
882. දුගතියට යනසුලු එබඳු බොහෝ පව්කම් කොට කර්‍මවිපාකය විසින් ස්පර්‍ශ කරනලද්දෙම් ණය නැති ව සිව්පසය වළඳමි.
883. නුවණ නැති බාලජනයෝ ප්‍රමාදයෙහි පුනපුනා යෙදෙති, නුවණැත්තේ වැළිත් ශ්‍රේෂ්ඨධනයක් මෙන් අප්‍රමාදය රකී.
884. පමායෙන් කල් නො ගළවවු, කාමරතිසන්‍ථවය නො ලබවු, අප්‍රමාද වූ ධ්‍යාන කරන පුද්ගල තෙම පරමසුවය ලබයි.
885. මනා ඊමෙකි, නිරර්‍ත්‍ථක වූයේ නො වේ, මා විසින් තෙල (පැවිදි වෙමි යන කරුණ) නපුරු කොට සිතනලද්දේ නො වේ, (සාවද්‍ය අනවද්‍යා දි විසින්) විභාග කරනලද ධර්‍මයෙහි යමක් ශ්‍රේෂ්ඨ නම් එ නිවන ට පැමිණියෙමි.
886. මනා ඊමෙකි, නිරර්‍ත්‍ථක වූයේ නො වේ, මා විසින් තෙල නපුරු කොට සිතනලද්දේ නො වේ, ත්‍රිවිද්‍යාව අනුක්‍රමයෙන් ලබනලද යැ, බුදුන් ගේ අනුශාසනය කරනලදි.
887. අරණ්‍යයෙහි හෝ රුක්මුල හෝ පර්‍වතයෙහි හෝ ගුහායෙහි හෝ ඒ ඒ තැන්හි මැ කලකුළුසිත් ඇති වැ එදා සිටියෙමි.
888. සුවසේ හොවිමි, සිටිමි, සුවසේ දිවි ගෙවමි, මරහු ගේ අත් පසින් බැහැර යෙමි, අසිරි යැ! ශාස්තෘහු විසින් අනුකම්පිතයෙමි.
889. පෙර බ්‍රාහ්මණජාතික වීමි, (මා පිය) දෙපසින් පරිශුද්ධ වීමි, ඒ මම අද සුගත වූ ධර්‍මරාජන් වූ ශාස්තෘහු ගේ පුත්‍රයෙමි.
890. පහ කළ තෘෂ්ණා ඇතියෙම් උපාදාන රහිතයෙම් ඉඳුරන්හි වසන ලද දොර ඇතියෙම් සුසංවෘත වූයෙම් වෙමි. දුක්මුල් සිඳැ මා විසින් ආස්‍රවක්‍ෂය (නිවන) ලබනලද්දේ යි.
891. මා විසින් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරනලදහ, බුදුන්ගේ අනුශාසනය කොට නිමවනලදි, ගුරු බර බහා තබනලද්දේ යැ තෘෂ්ණාව උපුරනලද්දී යැ.
මෙසේ ආයුෂ්මත් අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.
අඞ්ගුලිමාල ස්ථවිරගාථා යි.
20. 1. 9.
892. මාපියන්, සොහොවුරි නෑ සොහොවුරන් හැරැදමා පස්කම්ගුණ හැරැදමා (යමෙක් ධ්‍යාන කෙරේ නම් හෙතෙම) අනුරුද්ධමුනි මෙන් ධ්‍යාන කෙරේ.
893. නෘත්‍යගීතයෙන් යුක්ත වූයෙම්, කුළුතාළමින් පිබිදෙනසුලු වූයෙම්, කාමගුණයෙහි ඇලුණෙම් එයින් ශුද්ධියට නො පැමිණියෙමි.
894. තෙල පස්කම් ගුණය ද ඉක්ම බුදුසසුන්හි ඇලුණේ (කාමාදි) සියලු ඕඝයන් මැනැවින් ඉක්ම අනුරුද්ධ මෙන් ධ්‍යාන කෙරේ.
895. රූපයෝ ද, ශබ්දයෝ ද, රසයෝ ද, ගන්‍ධයෝ ද, ස්පර්‍ශයෝ ද, සිත්කලු වූවෝ ය, ඔවුන් ද ඉක්ම (ධ්‍යාන කරන්නේ) අනුරුද්ධ මෙන් ධ්‍යාන කෙරේ.
896. නිරාස්‍රව වූ අනුරුද්ධමුනි තෙම පිණ්ඩපාතයෙන් නැවැත්තේ එකලා වූයේ දෙවැන්නක (තෘෂ්ණාව) නැත්තේ පංශුකූලයන් සොයයි.
897. ස්මෘතිමත් වූ නිරාස්‍රව වූ අනුරුද්ධමුනි තෙම පංශුකුලයන් ගත්තේ ය, දෙවී යැ, රැඳී යැ, දැරී යැ.