ඉක්බිති සභිය පරිව්‍රාජකහට තෙල සිත් විය: පූරණ කස්සපයැ,-පෙ- නිගණ්ඨනාථපුත්තය යන මෙ බඳු යම් ඒ ජරාජීර්‍ණ වූ අඞ්ගප්‍රත්‍යඞ්ග වෘද්ධිමර්‍ය්‍යදාවට පත්, ජාතිමහල්ලකතායෙන් සමන්‍වාගත, දෙතුන් රාජපරිවෘත්තයන් ඉක්ම ගිය, පැසුළු විය පත්, ස්වකීය ශ්‍රමණධර්‍මයෙහි තෙර බවට පත්, චිරරාත්‍රඥ වූ, පැවිදියෙන් බොහෝ කල්ගිය, ශිෂ්‍යගණයා ඇති, ගණයා ඇති කරණ, ගණැදැරු වූ, ඥාතෘ වූ, යශස්වී වූ, තීර්‍ත්‍ථකර වූ බහුජනයා විසින් සාධු සම්මත වූ මහණ බමුණෝ වෙත් නම්, ඔහුදු මා විසින් පැන පුළුවුස්නාලද්දාහු පිළිතුරු නොසපයත්. නොසපයන්නාහු කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙත්. වැලිත් මා මැ එකරුණෙහි ප්‍රතිපෘච්ඡා කරත්. මා විසින් මෙ පැනපුළුවුස්නා ලද ශ්‍රමණ ගෞතමයෝ කවර නම් විසැඳුමක් කරත් ද? ශ්‍රමණගෞතමයෝ ජාතියෙන් දහරයහ. පැවිද්දෙන් නවකයහ”යි. එකල්හි සභිය පරිව්‍රාජකහට මෙසිත් විය: “මහණ දහර වුව, හේ මහ ඉදු ඇතියේ මහානුභාව ඇතියේ ය. මහණ වනාහි දහර යයි පරිභව නො කටයුතු වෙයි. මම මහණ ගොයුම් කරා ගොස් මෙ පැන පුළුවුස්නෙම් මැනැවැ”යි.
එක්බිති සභිය පිරිවැජි රජගහ බලා චාරිකාවට නික්ම ගියේය. අනුපිළිවෙළින් සැරිසරන්නේ රජගහ නුවර කලන්‍දක නිවාප නම් වේළුවනය කරා ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත්පසෙක හින. එකත්පසෙක හුන් සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කරුණු ගන්වා කීය:
513. ප්‍රශ්නව්‍යාකරණකාඞ්ක්‍ෂා ඇතියෙම්, ප්‍රශ්නාර්‍ත්‍ථයෙහි විචිකිත්සා ඇතියෙම්, පැන පුළුවුස්නට කැමැතියෙම් පැමිණියෙම්. පුළුවුස්නාලද භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ගේ අන්තය කරණසේක් මැ මට අනුපිළිවෙලින්අර්‍ත්‍ථානුරූප පාළිය විවරණ කළමැනැවැයි සභිය කීය.
514. “සභිය, දුරැ සිට (තෝ) පැන පුළුවුස්නට කැමැති ව ආයෙහි ය. (තා විසින්) පුළුවුස්නාලද්දෙම් ඒ ප්‍රශ්නයන්ගේ පර්‍ය්‍යවසාන කරම්. පැන පිළිවෙළින් අර්‍ත්‍ථරූප ධර්‍මය තොපට විවරණ කරන්නෙමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
515. සභිය, සිතින් යම් මැ කිසිවක් කැමැතියෙහි නම්, එ පැන මා පුළුවුස්ව, මම තොපට එ එ ප්‍රශ්නාගේ පර්‍ය්‍යවසානය කරන්නෙම්.
එකල්හි සභිය පිරිවැජිහට තෙල සිත් විය: “භවත්නි, එකැතියන් අසිරියෙකි. භවත්නි, එකැති යෙන් නො වූ විරූයෙකි. අන් මහණ බමුණන් වෙතැ මම එකැතින් යම්බඳු අවකාශමාත්‍රයකුදු නොලදිම් ද, මට ඒ අවසරය ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දෙන ලද වේ ය”යි ආරාධිත සිත් ඇත්තේ ප්‍රමුදිත වූයේ ඔද වැඩි සිතැතියේ හටගත් ප්‍රීතිසොම්නස් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසි.
516. (සභිය මෙසේ විචාරයි) කවර ප්‍රාප්තියක් (අධිගමයක්) ඇතියහු මහණැයි කියත් ද? කවර කරුණෙකින් (මහණ) සොරත (මොනොවට සන්හුන්) යයි කියත් ද? කිසෙයින් (මහණ) දාන්තයයි කියත් ද? කිසෙයින් බුද්ධ යයි කියනු ලැබේ ද?භාග්‍යවතුන් වහන්සේ මා විසින් පුළුවුස්නා ලද ඔබ වහන්සේ විවරණ කරන සේක්ව යි.
517. (බුදුහු සභිය අමතා) තමා (භාවනා විසින්) කළ මාර්‍ගයෙන් ක්ලේශපරිනිර්‍වාණයට ගිය, වෙසෙසින් තුණු සැක ඇති (විපත්ති සම්පත්ති, හානි - වෘද්ධි, උච්ඡේද - ශාශ්වත, අපුණ්‍ය - පුණ්‍ය සඞ්ඛ්‍යාත) විභව හා භව හැරපියා වැස නිමවූ මඟ බඹසර ඇති, ක්‍ෂීණ වූ පුනර්‍භව ඇති එ පුද්ගල භික්‍ෂූ වෙයි.
518. යමෙක් රූපාදි හැම අරමුණුහි(ෂඩඞ්ගෝපේක්‍ෂායෙන්) උපෙක්‍ෂිතවූ ස්මෘතිමත් වූ හේ හැම ලොව්හි කිසිදු ප්‍රාණයකු නොපෙළන්නේ ද චතුරෝඝ තරණය කෙළේ ද (සන්හුන් පව් ඇති හෙයින්) ශ්‍රමණ වූයේ ද, (ඇවිළගත් මිථ්‍යා සඞ්කල්ප නැති හෙයින්) අනාවිල වූයේ ද, යමකුහට ඖදාරික වේවයි සූක්‍ෂම වේවයි රාග, ද්වේෂ, මෝහ, මාන, දෘෂ්ටි, ක්ලේශ, දුශ්චරිත සඞ්ඛ්‍යාතා සප්තොත්සදයෝ නොමැත්තාහු ද, හෙ සොරත නම් වෙයි.
519. යමකු විසින් අධ්‍යාත්මයෙහි හා බාහිරයෙහිදැයි හැම ස්කන්‍ධලෝකයෙහි වූ චක්‍ෂුරාදි ෂඩින්‍ද්‍රියෝ (ගෝචරභාවනා වාසනාභාවනා විසින්) වඩනාලදහුද, මෙ ස්වසන්තිස්කන්‍ධලෝකය හා පරසන්තිස්කන්‍ධලෝකය හා පිළිවිද (දැන) වැඩූ සිතැතියේ ජීවිතක්‍ෂය කාලය සාපේක්‍ෂ ව වෙසේ ද, හෙ දාන්ත වෙයි.
520. තෘෂ්ණා දෘෂ්ටිකල්පයන් ද, සසර ද, ච්‍යුති උප්පත්ති දෙක ද, යන මෙ හැම අනිත්‍යාදි විසින් දැන කෙලෙස් රජස් දුරැ ලූ, රාගාදි අඞ්ගණ රහිත වූ, රාගාදිමලවිගමයෙන් විශුද්ධ වූ, නිර්‍වාණ සඞ්ඛ්‍යාත ජාතික්‍ෂයට පැමිණි එ පුඟුල් බුද්ධ යි කියත් යැයි (වදාළහ.)
එකල්හි සභිය පිරිවැජි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිලිගෙණැ අනුමෝදන් වැ සතුටුසිත් ඇතියේ ප්‍රමුදිත වූයේ ඔදපත්සිතැත්තේ හටගත් ප්‍රීති සොම්නස් ඇතියේ භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහිදු පැන පිළිවිසී.
521. (සභිය මෙසේ පිළිවිසියි:) කවර ප්‍රාප්ති ඇතියක්හු බ්‍රාහ්මණයැයි කියත් ද? කවර කරුණෙකින් ශ්‍රමණයැයි කියත් ද? කිසෙයින් ස්නාතකයයි කියත් ද? කිසෙයින් ‘නාග’ කියනු ලැබේ ද? භාග්‍යවතුන් වහන්ස, ම විසින් පුළුවුස්නාලදහු විවරණ කළ මැනව.
522. (‘සභිය’ යි අමතා බුදුහු මෙසේ වදාළහ:) හැම පව් බැහැර ලා (විගතමල භාවයෙන්) විමල වූ, අග්‍රඵල සමාධියෙන්මොනොවට සමාහිත වූ, ස්ථිතාත්ම ඇති, සංසාරහේතු සමතික්‍රණයෙන් සසර ඉක්මැ සිටි, ( වැසනිම වූ කිස ඇති හෙයින්) කේවලී වූ, තෘෂ්ණා දෘෂ්ටියෙන් අනිඃශ්‍රිත වූ, (ලෝකධර්‍මයෙන් නිර්විකාර හෙයින්) තාදී වූ එ ක්‍ෂීණාස්‍රව තෙම ‘බ්‍රාහ්මණ’යි කියනු ලැබේ.
523. අරීමගින් කෙලෙස් සන්හිඳ වූ, පින් පව් නසා පියා එහෙයින්ම රාගාදි රජස් නැති, මෙ ආධ්‍යාත්මික ස්කන්‍ධාදි ලෝකය හා අනිත්‍යාදි විසින් දැන, ජාති හා මරණ හා ඉක්ම ගිය තථාත්ම වූ තාදී පුත්ගල ‘ශ්‍රමණ’ යි කියනු ලැබෙ යි.
524. ආධ්‍යාත්මික වූත් බාහිර වූත් හැම ස්කන්‍ධාදි ලෝකයෙහි හැම පව් දොවාපියා (තණ්හාමාණදිට්ඨියන) කල්පන කටයුතු දේවමනුෂ්‍යයන් කෙරෙහි යමෙක් තෘෂ්ණාදි කල්පනයට නොයේ ද, ඔහු ‘ස්නාතක’ යි කියත්.
525. (යමෙක්) ලොවැ සර්‍වසංයෝජන සඞ්ඛ්‍යාත බන්‍ධන හැරැපියා කිසිදු ආගු සඞ්ඛ්‍යාත පාපයක් නොකෙරේ ද, උභය විමුක්තියෙන් මිදුනේ හැම ස්කන්‍ධාදියෙන් සඞ්ගවශයෙන් නොලැගේ ද, තථාත්ම වූ එ තාදී පුද්ගල ‘නාග’ යි කියනු ලැබේ.
ඉක්බිති සභිය පරිව්‍රාජක ... මත්තෙහිදු භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැන පිළිවිසී.
526. (සභිය මෙසේ පිළිවිසියි:) බුදුහු කවරකු ‘ඛෙත්තජින’ යි කියත් ද? කවර කරුණෙකින් ‘කුශල’ යි කියත් ද? කිසෙය්න ‘පණ්ඩිත’ යි කියත් ද? කිසෙයින් ‘මුනි’ නමැයි කියනු ලැබේ ද? භාග්‍යවතුන් වහන්ස, මා විසින් පුළුවුස්නා ලදහු විවරණ කළ මැනව.
527. (බුදුහු සභිය අමතා මෙසේ වදාරති:) දිව්‍ය ක්‍ෂේත්‍ර, මානුෂක ක්‍ෂේත්‍ර, බ්‍රහ්ම ක්‍ෂේත්‍ර වූ, චක්‍ෂුරාදි ආයතන සඞ්ඛ්‍යාත සකල ක්‍ෂේත්‍රයන් අනිත්‍යාදි විසින් විමසා දැන සකල ක්‍ෂේත්‍රයනට මූලබන්‍ධන වූ අවිද්‍යා භව තෘෂ්ණාදියෙන් ප්‍රමුක්ත වූ තථාත්ම වූ තාදී පුද්ගල ‘ඛෙත්තජින’ යි කියනු ලැබේ යි.
528. දිව්‍ය කෝෂ, මානුෂක කෝෂ, බ්‍රාහ්ම වූ සකල කර්‍ම කෝෂයන් (අනිත්‍යාදි විසින්) පිරිසිඳ දැන සර්‍ව කර්‍මකෝෂයනට මූලබන්‍ධන සඞ්ඛ්‍යාත අවිද්‍යා භව තෘෂ්ණාදියෙන් ප්‍රමුක්ත වූයේ තථාත්ම තාදී පුද්ගල ‘කුසල’යි කියනු ලැබෙ යි.
529. ආධ්‍යාත්මික වූත් බාහිර වූත් චක්‍ෂුරාදි උබය පණ්ඩරයන් (ආයතනයන්) අනිත්‍යාදි විසින් විමසා දැන ශුද්ධ ප්‍රඥා ඇතියේ පාපපුණ්‍ය සඞ්ඛ්‍යාත කෘෂ්ණ ශුක්ල ධර්‍මයන් ඉක්ම ගියේ තථාත්ම තාදී පුද්ගල ‘පණ්ඩිත’ යි කියනු ලැබෙයි.
530. ආධ්‍යාත්මික වූ ද බාහිර වූ ද සියලු ලෙව්හි අසත්පුරුෂයන්ගේ හා සත්පුරුෂයන්ගේ ධර්‍මය (ප්‍රවිචයඥානයෙන්) දැනසිටි යමෙක් දෙව් මිනිසුන් විසින් පිදියයුතුවේ ද, සප්තවිධ සඞ්ග හා තෘෂ්ණා දෘෂ්ටි යන ද්විවිධ ජාලය ද ඉක්මැ සිටි හෙ ‘මුනි’යි කියනු ලැබේ.
ඉක්බිති සභිය පිරිවැජි ... මතුයෙහිදු භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසී.
531. (සභිය මෙසේ පිළිවිසියි:) කුමකට පැමිණියහු ‘වේදගු’ යි කියත් ද? කවර කරුණෙකින් ‘අනුවීදිත’යි කියත් ද? කිසෙයින් ‘වීර්‍ය්‍යවත්’යි කියත් ද? කවර හෙයින් ‘ආජානේය’ නම් වේ ද? භාග්‍යවතුන් වහන්ස, ම විසින් පුළුවුස්නා ලදහු විවරණ කරණු මැනව.
532. (බුදුහු සභිය අමතා මෙසේ වදාරති) මෙලොවැ මහණ බමුණන්ගේ යම් වේදයෝ ඇත් ද? එ හැම වේද ශාස්ත්‍ර (අනිස ඈ විසින්) පිරිසිඳ දැන ( එ වේද ප්‍රත්‍යයන් උපදනා) සියලු වේදනාවන්හි වීතරාග වූයේ එ හැම වේද ඉක්මවා සිටි හෙ ‘වේදගු’ යි කියනු ලැබෙයි.
533. ආධ්‍යාත්මික සන්තානයෙහි හා බාහිර සන්තානයෙහි රෝගයනට කරුණු වූ (තණ්හා දිට්ඨිමාන යන) ප්‍රපඤ්චයන් හා (එයින් උපදනා) නාමරූප ද (අනිත්‍යාදි විසින්) දැන, හැම නාමරූප රෝගයන්ගේ මූලබන්‍ධනයෙන් ප්‍රමුක්ත වූ තථාත්ම තාදී පුද්ගල ‘අනුවීදිත’ යි කියනු ලැබෙයි.
534. යමෙක් මෙලොවැ හැම පව් දහමින් වෙන් වූයේ නිරාදුක් ඉක්මැ සිටි හෙ වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. (චතුරඞ්ග සමන්‍වාගත) වීර්‍ය්‍ය ඇති ප්‍රධන් ඇති තථාත්ම වූ තාදී එ පුද්ගල ධීර යි කියනු ලැබෙයි.
535. යමකුගේ ආධ්‍යාත්මික සන්තානයෙහිත් බාහැර සන්තානයෙහිත් වූ සංයෝජන සඞ්ඛ්‍යාත බන්‍ධනයෝ ද රාගාදි සඞ්ගමූලයද සිඳලන ලද්දාහු වෙත් ද, හැම සඞ්ගමූලයෙන් හා බන්‍ධනයෙන් මුත් තථාත්ම වූ තාදී පුද්ගල ‘ආජානේය’ යි කියනු ලැබේ.
ඉක්බිති සභිය පිරිවැජි ... මතුයෙහිදු භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැන පිළිවිසී.
536. (සභිය මෙසේ පිළිවිසියි:) කුමකට පැමිණියහු ‘සොත්තිය’ යි කියත් ද? කවර කරුණෙකින් යුක්ත වූවහු ‘අරිය’ යී කියත් ද? කිසෙයින් ‘චරණ සම්පන්න’ යි කියත් ද? කවර හෙයෙකින් පරිබ්බාජක නම් වේද? භාග්‍යවතුන් වහන්ස, මා විසින් පුළුවුස්නා ලදහු විවරණ කරණු මැනව.
537. (බුදුහු මෙසේ වදාළහ, සභිය:) (ශ්‍රැතමය ප්‍රඥකෘත්‍ය වශයෙන් හෝ කර්‍තව්‍යකෘත්‍ය වශයෙන් හෝ) විදර්‍ශනෝපගත වූ සාවද්‍ය වූත් යම් මැ කිසිධර්‍මයෙක් ඇත් නම් එ හැම ධර්‍මය අසා අනිත්‍යාදි වශයෙන් දැන ක්ලේශ හා ක්ලේශස්තානීය ධර්‍ම මැඩ සිටී, කථංකථී භාව නැති, කෙලෙස් බැඳුමින් මිදුනු සියලු ස්කන්‍ධාදි රාගාදි ඊඝ නැතියහු ‘සොත්තිය’ යි කියත්.
538. චතුරාස්‍රවයන් හා උභයාලයන් ප්‍රඥාශස්ත්‍රයෙන් සිඳ (සිවුමගනැණින්) විද්වද් වූ හේ කිසිදු යෝනිගර්‍භශර්‍ය්‍යාවකට (පුනර්‍භවයට) නො එයි. කාමාදි ත්‍රිවිධසංඥාවන් හා කාම පඞ්කය හා හැරපියා තෘෂ්ණා දෘෂ්ටි කල්පයට නො එයි. ඔහු ‘අරිය’ යි කියත්.
539. මෙ සස්නෙහි යම් මහණෙක් පසළොස්චරණධර්‍ම හේතුයෙන් (අර්‍හත්‍ව සඞ්ඛ්‍යාත) ප්‍රාප්තවයට පැමිණියේ චරණධර්‍මකුශල වූයේ හැමවිට නිර්‍වාණධර්‍ම දතුයේ ද, සියලු ස්කන්‍ධාදි ධර්‍මයන්හි නො ලැගේද, උභය විමුක්තියෙන් මිදුනේ ද, යමකුට ප්‍රතිඝයෝ නැද්ද, හෙ ‘චරණ’ සම්පන්න’යි කියත්.
540. (අතීතාධ්ව සඞ්ඛ්‍යාත) උඩ හා (අනාගතාධ්ව සඞ්ඛ්‍යාත) යට හා (ප්‍රත්‍යුපන්නාධ්ව සඞ්ඛ්‍යාත) සරස මැද හා වූ දුඃඛ විපාක ඇති යම් කිසි කර්‍මයෙක් ඇත් නම් එ ද, මායා මාන ලෝභ ක්‍රෝධ යන ධර්‍මයන් (අප්‍රතිසන්‍ධිජනකභාවයෙන්) ආර්‍ය්‍යමාර්‍ගයෙන් දුරු කොට පියා පහාණ පරිඤ්ඤා වශයෙන් පිරිසිඳ දැන හැසිරෙන්නේ නාම රූපය අවසන් කෙළේ ද, ප්‍රාප්තව්‍යයටපත් එ මහණ පරිබ්බාජකැ යි කියත්.
ඉක්බිති සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙණ අනුමෙවෙනි කොට තුටුසිත් ඇත්තේ ප්‍රමුදිත වූයේ ඔදවැඩි සිතැතියේ හටගත් ප්‍රීති සොම්නස් ඇතියේ හුනස්නෙන් නැඟී සිට උතුරුසළුව එකස්හි කොට ලා භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ හමුයෙහි සිට සාරුප්‍ය ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ පැසසීය.
541. මහාප්‍රාඥයෙනි, (අන්‍යතීර්‍ත්‍ථක) ශ්‍රමණයන්ගේ ප්‍රවාදශාස්ත්‍රයන් ඇසුරු කළ යම් තෙසැට මිසදිටු කෙනෙක් ද, ව්‍යවහාරනාමයන් හා විපරීත සංඥාවන් ඇසුරු කළ යම් තීර්‍ත්‍ථායතනයෝත් වෙත් නම්, එ තීර්‍ත්‍ථයන් මැඩ පියා ඕඝසඞ්ඛ්‍යාත තමස ඉක්ම ගියහ නොහොත් ඕඝයාගේ අන්තයට ගියහ.
542. නිවන් කරා ගියා ව, (එහෙයින්) දුඃඛයාගේ පරතෙර කරා ගියාව, අර්‍හත් වහු සම්‍යක්සම්බුද්ධවහු, ඔබ ක්‍ෂීණාස්‍රව කොට හඟිම්. ධෘතිමත් වව, මුතිමත්, ප්‍රභූතප්‍රඥා ඇති වව, දුක් කෙළවර කළ නිදුකාණනි, මා තරණය කළාව,
543. මාගේ යම් සැකයෙක් දන්නා ලද ද, විචිකිච්ඡාවක් වීද, එයිනුදු මා තරණය කළහු ය. ඔබට නමස්කාර වේවා! මෝනපථයෙහි අර්‍හත්‍වයට පැමිණි මුනිවරයානනි, ආදිත්‍යබන්‍ධු වූ ඔබ සොරත වහු යැ.
544. මට පෙර යම් සැකයෙක් වී නම්, පසැස්හු එය දුරැලූහ. ඒකාන්තයෙන් සම්බුද්ධ මුනි වූවහු ය. ඔබට නීවරණයෝ නැත.
545. ඔබ විසින් සියලු උපායාසයෝ වෙසෙසින් නසන ලද්දාහ, එහෙයින් විනලීකෘත වෙති. සිහිල් වූවහු දාන්ත වූවහු ධෘතිසම්පන්න වූවහු සත්‍යනිෂ්ක්‍රිම ඇත්තහුය.
546. නිෂ්පාපී උතුමාණනි, නාග වූ මහාවීර වූ දම් දෙසන එ ඔබගේ භාෂිතය, සියලු දෙවියෝ ද, නාරදපබ්බත දෙපවු වැසි උබය දේවගණයෝ ද අනුමෙවෙනි කෙරෙත්.
547. පුරුෂ ශ්‍රේෂ්ඨයෙනි, ඔබට නමස්කාරවේවා, පුරුෂෝත්තමයෙනි, ඔබට නමස්කාරවේවා, දෙවියන් සහිත ලෝකයෙහි ඔබට ප්‍රතිපුද්ගලයෙක් නැත.
548. මුබවහන්සේ බුද්ධ වන සේක, මුබ වහන්සේ ශාස්තෘ වන සේක. මුබ වහන්සේ මරුන්මැඩලූ මුනි වන සේක. මුබවහන්සේ සප්තානුශය සිඳපියා ඕඝතරණ කළ සේක. මේ සත්ත්‍වාඛ්‍යා ප්‍රජාව එතෙර කළ සේකි.
549. මුබ වහන්සේ විසින් උපධීහු මොනොවට ඉක්මවනලදහ. මුබ වහන්සේ විසින් ආස්‍රවයෝ ප්‍රදාලිත වෙත්. මුබ වහන්සේ සිංහ වනසේක, උපාදාන රහිත වනසේක. ප්‍රහීණභය භෛරව ඇති සේකි.
550. යම්සේ මනරම් පඬෙර දියෙහි නො තැවරේ ද, එසෙයින් පින් හා පව් යන දෙක්හි මුබ වහන්සේ නො තැවරෙන සේක. වීරයන් වහන්ස, පා සඟළ දිගු කළ මැනව, සභිය ශාස්තෘන්ගේ පා සඟළ වඳනේයි.
එක්බිති සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් හෙවැ භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය, ..... ධර්‍මය හා බික්සඟුන් හා සරණ කොටයෙමියි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිදි ලබම්වා උපසම්පත් ලබම්වා යි.
සභිය අන්තොටුවිරූ යමෙක් මෙ ධර්‍මවිනයෙහි පැවිදි කැමති වේ ද, උපසම්පදාව කැමති වේද, හේ සාර මසක් පිරිවෙස් වසයි. සිවුමස් ඇවෑමෙන් ඇරයූ සිත් ඇති මහණහු ඔහු භික්‍ෂුභාවය සඳහා පැවිදි උපසපන් කරවත්. තවද මෙ අන්තොටු පිරිවෙස්හි ලා මා විසින් පුද්ගල නානාත්‍වය දන්නා ලද වේය යි.
වහන්ස, ඉදින් අන්තොටු විරූහු මෙ සස්නෙහි පැවිදි පතන්නාහු උපසපුව පතන්නාහු සාරමසක් පිරිවෙස් පුරත් නම්, සාරමස් ඇවෑමෙන් ආරාධිත චිත්තයෙන්යුත් මහණහු පැවිදි කරවත් නම් භික්‍ෂු භාවය සඳහා උපසම්පන්න කරවත් නම්, මම් සතර වසරක් පිරිවෙස් පුරන්නෙමි, සිව්වස ඇවෑමෙන් ආරාධිතචිත්ත භික්‍ෂූහු (මා) පැවිදි කෙරෙත්වා, භික්‍ෂු භාවය සඳහා උපසපන් කෙරෙත්වා යි.
සභිය පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලැබීය, උපසම්පදා ලැබීය -පෙ- ආයුෂ්මත් සභිය රහතුන් අතර අන්‍යතරයෙක් වීය යි.
සභිය සූත්‍රය නිමි.
3. 7.
සේල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අඞ්ගුත්තරරාජ දනවුයෙහි සැරිසරණ සේක් අඩ තෙළෙස් යල් සියක් මහණුන් ඇති මහ බික් සඟුන් සමග අඞ්ගුත්තරාපයන්ගේ ආපණ නම් නියම් ගමට වැඩි සේක. කේණිය ජටිල මෙ බස් ඇසී: “ශාක්‍ය කුලයෙන් (නික්මැ) පැවිදි වූ ගෞතම ශ්‍රමණශාක්‍ය පුත්‍රයෝ අඞ්ගුත්තරාප දනවුයෙහි සැරිසරන්නාහු අඩ තෙළෙස් යල් සියක් මහණුන් ඇති බික්මහසඟුන් හා කැටිව ආපණයට පැමිණියහ. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු කලණ කිත් ගොස මෙසේ පැන නැංග: ‘එ භවත්හු මෙ කරුණෙන් ද අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගත්හ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථිහ, දේව මනුෂ්‍යයනට ශාස්තෘහ, බුද්ධහ, භාග්‍යවත්හ’යි මෙසේ උස්ව නැංගේය. හේ දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ත්‍වාඛ්‍යප්‍රජාව තෙමේ විශිෂ්ට ඥානයෙන් සාක්‍ෂාත් කොට ප්‍රකාශ කෙරෙයි. හේ ආදි කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්‍ත්‍ථ කොට සව්‍යඤ්ජන කොට ධර්‍මය දේශනා කරයි. කේවල පරිපූර්‍ණ පරිශුද්ධ බ්‍රහ්මචර්‍ය්‍යය පවසයි. එබඳු වූ රහතුන්ගේ දර්‍ශනය මනා වේ මැ”යි.
ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහිකට යුතු කථාව කොට නිමවා එකත්පසෙක හින. එකත් පසෙක හුන් කේණිය ජටිලයන් භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් මොනොවට දැක්වූහ. සමාදන් කරවූහ. මැනවින් උත්තේජිත කරවූහ, සම්ප්‍රහර්‍ෂිත කරවූහ.
එක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් සන්‍දර්ශිත වූයේ සමාදන් කරවන ලදුයේ සමුත්තේජිත වූයේ සම්ප්‍රහර්‍ෂිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැළ කෙළේය: භවත් ගෞතමයෝ සෙට දවසට බික්සඟුන් හා සමග මාගේ ඉවසත්වා යි. මෙසේ කියන ලද භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයන් හට තෙල කරුණ වදාළ සේක: කේණියෙනි, බික්සඟහු මහත් වෙත්, අඩ තෙළෙස් යල් සියක් මහණහු වෙත්, තො ද වනාහි බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි’යි. දෙවන වටත් කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, බික්සඟුන් මහත් වුව, අඩ තෙළෙස් යල් සියක් මහණුන් වුවද, මා ද බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්න වුව ද, භවත් ගෞතමයන් වහන්සේ සෙට දවසට බික් සඟුන් සමග ම මගේ බත ඉවසත්වා”යි. තෙවන වටත් භාග්‍යවතුන් වහන්සේ කේණිය ජටිලයන් හට තෙල කරුණ වදාළ සේක: කේණියෙනි, බික්සඟහු මහත් වෙති, අඩ තෙළෙස්යල්සියක් මහණහු වෙත්, තොපද වනාහි බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්නයෙහි’යි. තෙවන වටත් කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: භවද් ගෞතමයන් වහන්ස, බික්සඟුන් මහත් වුව, අඩ තෙළෙස්යල්සියක් මහණුන් වුව, මා ද බ්‍රාහ්මණයන් කෙරෙහි අභිප්‍රසන්න වුව, භවද් ගෞතමයන් වහන්සේ සෙටදස් සඳහා බික් සඟුන් හා සමග මාගේ බත ඉවසත්වා”යි.
භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.
ඉක්බිති කේණිය ජටිල භාග්‍යවතුන් වහන්සේගේ අධිවාසනය දැන හුනස්නෙන් නැඟී සිය අසපුව කරා ගියේය. ගොස් මිත්‍රාමාත්‍යයන් හා නෑසාලේ නෑයන් ඇමතීය: භවත් මිත්‍රාමාත්‍යයෙනි, නෑසාලේ නෑයෙනි, මබස් අසව. මවිසින් බික්සඟුන් හා ශ්‍රමණ භවද් ගෞතමයෝ සෙට බතට නිමන්ත්‍රණය කරණ ලදහ. මට කයින් වතාවත් කරව”යි.
භවත්නි, එසේය යි කේණිය ජටිලගේ මිත්‍රාමාත්‍යයෝ ද නෑ සාලේ නෑයෝ ද කේණිය ජටිලයන් පිළිවදන් අස්වා ඇතැම් හු ගිනි උදුන් වළ කණිති, ඇතැම්හු දර පලති, ඇතැම්හු බඳුන් දොවති, ඇතැම්හු දිය සැළ තබති, ඇතැම්හු අසුන් පණවත්. කේණිය ජටිල තෙමෙ හේ මැ මණ්ඩල මාලය පිළියෙල කරයි.
එසමයෙහි සේල බ්‍රාහ්මණ නිඝණ්ඩු ශාස්ත්‍ර හා ක්‍රියාකල්ප විකල්ප ශාස්ත්‍ර සහිත (ශික්‍ෂා, නිරුක්ති සඞ්ඛ්‍යාත) අක්‍ෂර ප්‍රභේද ඇති (අර්‍ත්‍ථව වේද සතරවන කොට) පුරාණ කථා සඞ්ඛ්‍යාත ඉතිහාසය පස්වනු කොට ඇති වේදත්‍රයෙහි කෙළ පැමිණියේ පද හා ව්‍යාකරණ දතුයේ (විතණ්ඩවාද ශාස්ත්‍රසඞ්ඛ්‍යාත) ලෝකායත ශාස්ත්‍රයෙහි හා මහා පුරුෂ ලක්‍ෂණාධිකාරයෙහි පරිපූර්‍ණ වූයේ ආපණයෙහි වෙසෙයි. ශිෂ්‍ය මාණවකයන් තුන්සියකට වේද මන්ත්‍ර හදාරවයි. එසමයෙහි කේණිය ජටිල කෙරෙහි සේලබ්‍රාහ්මණ මොනොවට පැහැදුනේ වෙයි.
එකල්හි සේල බ්‍රාහ්මණ තුන්සියක් මාණවකයන් විසින් පිරිවරණ ලදුයේ ජඞ්ඝා විහාර කරණුයේ කේණි ජටිලයන් ගේ අසපුව කරා එළැඹියේයැ. සේල බ්‍රාහ්මණ කේණිය ජටිල වෙතැ උදුන් කණනුවන් අසුන් පනවනුවන් ද කේණිය ජටිලයන් තමා මැ මණ්ඩල මාලය පිළියෙල කරණුවන් ද දිටී. දැක කේණිය ජටිල හට තෙල කීය:
කිම භවත් කේණියගේ ආවාහයක් හෝ වන්නේ ද? විවාහයෙක් හෝ වන්නේ ද? මහායාගයෙක් හෝ එළඹ සිටියේ ද? සෙට දවස් සඳහා බලකායයෙන් යුත් මගධාධිපති සේනිය බිම්බිසාර රජ හෝ බතින් පවරණ ලදුයේ දැ? යි.
සේලයෙනි, මාගේ ආවාහයෙක් හෝ නො වන්නේ යැ, විවාහයෙක් හෝ නොවන්නේ යැ, බල සෙන් හා මගධපති සේනිය බිම්බිසාර රජ හෝ සෙට දවස් සඳහා නිමන්ත්‍රිත නො වෙයි, වැලිදු මට එළඹ සිටි මහා යඥයෙක් ඇත. සැහැකුලෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර ගෞතමයෝ අඞ්ගුත්තරාප ජනපදයෙහි සැරිසරන්නාහු අඩ තෙළෙස් යල් සියක් බික්මහසඟන හා කැටිව ආපණයට පැමිණියහ, එ භවත් ගෞතමයන්ගේ මෙවන් කල්‍යාණ කීර්තිඝෝෂයෙක් උස්වැ නැංගේ යැ. -පෙ- බුද්ධයහ, භගවත්හ”යි. ඔබ බික් සඟුන් හා සමග මා විසින් සෙට දවසට නිමන්ත්‍රණ කරණ ලදහ.
භවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, ‘බුද්ධයහ’යි කියමි. භවත් කේණියෙනි, බුද්ධයහ’යි කියහි? භවත් සේලයෙනි, බුද්ධයහ’යි කියමියි.
එකල්හි සේල බමුණ හට තෙල සිත විය: ‘බුද්ධයහ’ යන යම් මෙ තෙපුලෙක් වේ නම් තෙල හඬ ද ලොව්හි දුර්‍ලභ වේ ය”යි අපගේ වේද මන්ත්‍රයෙහි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ කෙනෙක් ඇත. යම් බඳු ලක්‍ෂණයෙන් සමන්‍වාගත මහාපුරුෂයකු හට දෙ ගතියෙක් මැ වේ ද අන්‍ය ගතියෙක් නො වේ ද එබඳු ලක්‍ෂණයෝ ය. ඉදින් ගෙහි ඉසුරුව වෙසේ නම් ධාර්මික වූ ධර්‍මරාජ වූ සිව්සයුරු හිම් කොට ඉසුරු වූයේ සතුරන් දනන සුලු වූයේ දනවුහි තහවුරු බවට පැමිණියේ සප්තරත්නයෙන් සමන්‍වාගත වූයේ සක්විති රජ වෙයි. ඔ හට මෙ සප්තරත්නයෝ වෙති, ඔහු කවරහ යත්: චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මණී රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය, සත් වැනි වූ පරිණායක රත්නය. ඔ හට වනාහි ශූර වූ විරාඞ්ගස්වරූප වූ සතුරු සෙන් මඬනා, අයිරා දහස් පුත්‍රයෝ වෙත්, හේ සයුරු පිරියත් කොට ඇති මෙ මුළු පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්‍මයෙන් දිනා ගෙණ ඉසුරු ව වෙසෙයි. ඉදින් ගෙන් නික්ම අනගාරිය සඞ්ඛ්‍යාත ශාසනයට වදී නම්, අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූයේ ලොව්හි පෙරළු ක්ලේශච්ඡදන ඇතියේ වෙ’යි.
භවත් කේණියෙනි, දැන් එ භවත් ගෞතම සම්‍යක් සම්බුද්ධයෝ කොහි වෙසෙත් ද?
මෙසේ අසත් මැ කේණිය ජටිල දක්‍ෂිණ බාහුව නඟා සෙල බමුණු හට තෙල කීය: භවත් සෙලෙයිනි, යම් දිගෙකින් තෙල නිල් වන පෙත වේ නම් (එහි යයි).
ඉක්බිති සෙල බ්‍රාහ්මණ මාණවකයන් තුන්සිය කැවිටිව ලා ගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එක්බිති සේල බමුණු මාණවකයන් තුන්සිය ඇමැතීය: භවත්නි, අල්පශබ්දව පියෙහි පිය බහන්නාහු එව, සිංහයින් සෙයින් ඒකචර වූ එ භාග්‍යවත්හු දුරාසද වෙත් මැයි. (ලංවිය නොවෙත් මැයි) භවත්නි, යම් විටෙක ශ්‍රමණ ගෞතමයන් සමග මන්ත්‍රණ කෙරෙම් නම්, භවත්හු මාගේ කථායෙහි නහමක් අතුරු කථා හෙළවයි, භවත්හු මාගේ කථා පර්‍ය්‍යවසානය අපේක්‍ෂා කෙරෙත්වා යි.
එක්බිති සේල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු කථා නිමවා එකත් පස් හි හින. එකත් පස් හි හුන් සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු සෙවීය. සෙල බමුණු භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙකක් තබා බොහෝ කොට දෙතිස් මහපුරිස් ලකුණු දිටී. දෙමහපුරිස් ලකුණෙකැ සැක දනවයි, විචිකිත්සා කෙරෙයි, අධිමෝක්‍ෂ නො කෙරෙයි, ප්‍රසන්න භාවයට නො යෙයි: කෝෂාවහිත වස්ත්‍රගුහ්‍යයෙහි ද ප්‍රභූත ජීහ්වතායෙහි දැයි.
එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත විය: මෙ සේල බ්‍රාහ්මණ දෙකක් තබා මාගේ දෙතිස් මහපුරිස් ලකුණු බොහෝ කොට දක්නේය, දෙමහපුරිස් ලකුණෙක් හි සැක දනවයි, විචිකිත්සා කෙරෙයි, අධිමෝක්‍ෂ නො කෙරෙයි, පහන් නොවෙයි: කෝෂාවහිත වස්තුගුහ්‍යයෙහි හා ප්‍රභූත ජිහ්වතායෙහි හායි. එක්බිති භාග්‍යවතුන් වහන්සේ යම් පරිදියෙකින් සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ ගේ කෝෂාවහිත වස්ත්‍රගුහ්‍යය දිටී නම්, එපරිද්දෙන් ඍද්ධ්‍යභිසංස්කාරයක් කළසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ දිව බැහැරි කොට ලා දෙකන් සිළු අනුමර්‍ශන කළහ, පරාමර්‍ශන කළහ, දෙනාසාසිදුරුදු අනුමර්‍ශන කළහ, පරාමර්‍ශන කළහ, හැම නළල් මඩුලු දිවේ වැසූහු.
එකල්හි සෙල බමුණු හට තෙල සිත විය: අපරිපූර්‍ණ නො ව පරිපූර්‍ණ වූ ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් ශ්‍රමණ භවත් ගෞතමයෝ සමන්‍වාගත වෙති. උහු බුදුහු හෝයි නො බුදුහ හෝයි නො ද දනිම්. “යම් මැ අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ වෙත් නම්, උන් වහන්සේ තමන් ගුණ වණනු ලබත් ම තමන් පාළ කෙරෙතැ”යි වෘද්ධ වූ ජාති මහල්ලක වූ ආචාර්‍ය්‍ය ප්‍රාචාර්‍ය්‍යයන්ගේ තෙල බස මා විසින් අසන ලද මැයි. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අබිමුවෙහි සාරුප්‍ය ගාථායෙන් තෙමන්නෙම් නම් මැනැවයි. එක්බිති සෙල බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ අභිමුවෙහි සාරුප්‍ය ගාථායෙන් පැසැසීය.
551. භාග්‍යවතුන් වහන්ස, (මහ පුරිස් ලකුණින් පිරිපුන් හෙයිනුදු නො හුනු අඟ පසඟ ඇති බැවිනුදු) පිරිපුන් සිරිරු ඇතියව, සොඳුරු සිරිරු පැහැ ඇතියව, (ආරෝහ පරිණාහ සම්පත්තියෙනුදු සංස්ථාන සම්පත්තියෙනුදු) සුජාතයව, සිත්කලු දර්‍ශන (හෙවත් නෙත්) ඇතියව, රන්වන් පැහැ ඇත්තව, ඉතා සුදු දළ ඇත්තව, ප්‍රධන් වීර්‍ය්‍ය ඇත්තව.
552. සුජාත වූ පුරුෂයකුට යම් බඳු වියදුන්හ වෙත් නම්, ඒ හැම මහා පුරුෂ ලක්‍ෂණයෝ මුඹවහන්සේගේ සිරුරෙහි වෙති.
553. (පඤ්චවර්‍ණ ප්‍රසාද සම්පත්තියෙන්) පහන් නෙත් ඇත්ත ව, (පිරිපුන් සඳ මඬල බඳු හෙයින්) සුමුඛ ව, (ආරෝහ පරිණාහ සම්පත්ති හෙයින්) වෘහත් වව. (බඹහුගේ මෙන් ඍජු ගාත්‍ර ඇති හෙයින්) ඍජුවව, (ජ්‍යොතිර්‍මත් භාවයෙන්) ප්‍රතාප ඇතිය ව, ශ්‍රමණ සඞ්ඝයාගේ මධ්‍යයෙහි ආදිත්‍ය හෙයින් වොරඳහු.
554. කලණ අසුන් ඇති මහණ ව, කසුන් බඳු සිවි ඇත්ත ව, මේ සෙයින් උත්තම වර්‍ණ ඇති තොපගේ ශ්‍රණ භාවයෙන් කවර අර්‍ත්‍ථයෙක?
555. දඹදිවට ඉසුරු වූ සිව්සයුරු හිම් කොට සතුරන් දිනන සුලු රාජශ්‍රේෂ්ඨ වූ සක්විති රජවන්නට නිස්සෙහි:
556. භවත් ගෞතමයන් වහන්ස, භෝග යුක්ත ක්‍ෂත්‍රියෝ ද රජහු ද තොපට අනුයුක්ත වෙත්. මනුජේන්‍ද්‍රරාජාධිරාජ වූ යෙහි රජය කරව.
557. සේලයනි, මම අනුත්තර ධර්‍ම රජාන් වූ රජිමි. (කිසිවකු විසිනුදු) නො පැවැත් විය හැකි චක්‍රය වන ආණාචක්‍රය (සත්තිස් බෝධිපාක්‍ෂික) ධර්‍මයෙන් පවත්තන්නෙමි’යි ( භාග්‍යවතුන් වහන්සේ වදාළහ.)
558. (සෙල බ්‍රාහ්මණ මෙසේ කියයි) ගෞතමයන් වහන්ස, ‘අනුත්තර ධර්‍ම රාජ වූ සම්බුද්ධ යෙමි’යි පිළින කරවු ද? දැහැමින් අණසක් පවත්ව මැයි කියයි නො:
559. ශාස්තෘ වූ භවත්හු ගේ අන්‍වයාගත ශ්‍රාවක වූ දම් සෙනෙවි කවරේ ද? තොප විසින් පවත්වන ලද මෙ ධර්‍ම චක්‍රය කවරෙක් අනුවර්‍තන කෙරේ ද?
560. (සෙල බමුණු අමතා බුදුහු මෙසේ වදාළහ:) “තථාගතයනට අනුජාත වූ ශාරිපුත්‍ර මා විසින් පවත්වන ලද චක්‍රය වූ අනුත්තර ධර්‍ම චක්‍රය පවත්වයි.”
561. (විද්‍යා, විමුක්ති සඞ්ඛ්‍යාත) අභිඥෙය ධර්‍මය මා විසින් අභිඥාත වෙයි. (මාර්‍ග සත්‍යය සඞ්ඛ්‍යාත) වැඩි යුතු ධර්‍මය වඩන ලද, සමුදය සත්‍ය සඞ්ඛ්‍යාත ප්‍රහාතව්‍ය ධර්‍මය ප්‍රහීණ වෙයි. බමුණ, එහෙයින් බුද්ධයෙමි.
562. බ්‍රාහ්මණය, මා කෙරෙහි සැක හැරපියව, අධිමෝක්‍ෂය පිහිටුව, සම්බුදුන්ගේ එක්වන් දර්‍ශනය දුර්‍ලභ වේ.
563. යම් සම්බුදු වරුන්ගේ නිරතුරු පාළවීම ලෝකයෙහි දුර්‍ලභ වෙයි, බ්‍රාහ්මණය, එබඳු මම් අනුත්තර වූ (රාගාදිශල්‍යයන් උදුරණ හෙයින්) ශල්‍යවෛද්‍ය වූ සම්‍යක් සම්බුද්ධ යෙමි.
564. බ්‍රහ්ම (ශ්‍රේෂ්ඨ) භූත යෙම් උපමා ඉක්ම වූ යෙම්, මර සෙන් මඩනෙම් (පඤ්චමාර සඞ්ඛ්‍යාත) හැම සතුරන් වශයෙහි කොට (මැඩ) කිසිවෙකුගෙනුදු නොබානෙම් තුටු වෙමි.”යි
565. භවත්නි, පසැස් ඇතියේ යම් සේ බෙණේ නම්, මෙය අසවු. ශල්‍යවෛද්‍ය වූ මහා වීර තෙමේ වෙනෙහි සිහරදකු සෙයින් නාද කෙරෙයි.
566. ශ්‍රේෂ්ඨ වූ උපමාතික්‍රාන්ත වූ මර සෙන් මඬනා සම්බුදුන් දැක නීච ජාතික වූ ද කවරෙක් නම් නො පහද නේ ද?
567. යමෙක් රුස්නේ නම් මා අනුගමන කෙරේ වා, යමෙක් නො කැමැතියේ නම්, (හෙ) යේවා, උත්තම ප්‍රඥා ඇති බුදුන්ගේ හමුයෙහි මැ මම් පැවිදි වන්නෙමි’යි,
568. ඉදින් භවත් හට තෙල සම්‍යක් සම්බුද්ධ ශාසනය රුස්නේ නම් වරප්‍රාඥ වූ බුදුන් ගේ හමුයෙහි අපිදු පැවිදි වන්නෙමු.
569. භාග්‍යවතුන් වහන්ස, ඇඳිලි බැඳි මෙ තුන්සියක් බමුණෝ, මුබ වහන්සේ හමුයෙහි බඹසර සරම්හයි යදනාහ.
570. සේලයනි, යම් ශාසනයෙක්හි අප්‍රමත්තව හික්මෙන්නහුගේ ප්‍රව්‍රජ්‍යාව නො සිස් වේ නම්, මෙ ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය සාන්දෘෂ්ටික වෙයි. අකාලික වෙයි. ස්වාඛ්‍යාත ද වේ යයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
සෙල බ්‍රාහ්මණ පිරිස් සහිත වූයේ භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිදි ලද්දේය. උපසම්පදා ලැබීය. එක්බිති කේණිය ජටිල එ රෑ ඇවෑමෙන් සිය අසපුයෙහි ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයන් පිළියෙල කරවා භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, (මෙ දනට) කල් වෙයි. බත් නිමැවිනැයි කල් දැන්විය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙර වරුයෙහි හැඳැ පෙරවැ පා සිවුරු ගෙණ කේණිය ජටිලයාගේ අසපුව කරා එළැඹිසේක. එළැඹ පනවන ලද අස්නෙහි බික් සඟුන් සමග හුන් සේක: ඉක්බිති කේණිය ජටිල බුදු පාමෙක් බික් සඟුන් ප්‍රණීත ඛාද්‍ය භෝජ්‍යයෙන් සියතින් සන්තර්‍පණ කෙළේය. මොනොවට පැවරීය. ඉක්බිති කේණිය ජටිල දන් වැළඳූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණ අන්‍යතර නීචාසනයක් ගෙණ එකත් පසෙක හින. එකත් පසෙක හුන් කේණිය ජටිල හට භාග්‍යවතුන් වහන්සේ මෙ ගාථායෙන් අනුමෙවෙනි කළ සේක:
571. යඥයෝ අග්නි හොත්‍රය ප්‍රමුඛ කොට ඇත්තාහ. වේදයට සාවිත්‍රිය ප්‍රමුඛ වෙයි, මිනිස්නට රජ ප්‍රමුඛ වෙයි. නදීනට සයුර ප්‍රමුඛ වෙයි.
572. (යෝග වශයෙන්) නැකැත් තරුනට සඳ පාමොක් වෙයි. තවනවුනට ආදිත්‍ය (හිරු) ප්‍රමුඛ වෙයි. පින් කැමැතිව යාග කරණ වුනට ඒකාන්තයෙන් සඞ්ඝයා ප්‍රමුඛ වේ.
ඉත්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ ගාථායෙන් කේණිය ජටිල හට අනුමෙවෙනි කොට හුනස්නෙන් නැඟි වැඩි සේක. එකල්හි ආයුෂ්මත් සෙල තෙරහු පිරිස් සහිතව එකලා වූයේ ගණසඞ්ගණිකායේන් වියෝවූයේ අප්‍රමත්තව කෙලෙස් තවන වැර ඇතියේ නිවන් කෙරෙහි මෙහෙයූ සිත් ඇතිව වසනුයේ යම් රහත් බවක් සඳහා ආචාර කුලප්‍ර‍්‍රත්‍රයෝ මොනොවට ගෙන් නික්ම අනගාරිය සස්නට වදිත් නම්, මාර්‍ග බ්‍රහ්මචර්‍ය්‍යයෙහි අවසානය වූ ඒ උතුම් අර්‍හත් ඵලය ඉහාත්මයෙහි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන සාක්‍ෂාත් කොට එයට එළඹ වාස කෙළේය.
(ප්‍රතිසන්‍ධි ජනක කර්‍මක්‍ෂයෙන්) පුනර්‍භව සඞ්ඛ්‍යාත ජාතිය ක්‍ෂීණ වූය, මග බඹසර වැස නිමවන ලද, සිවු මග කරණී කරණ ලද මෙ රහත්බව පිණිස අනෙකෙක් නැතැයි මොනොවට පසක් කොට දති. ආයුෂ්මත් සෙල තෙරහු පිරිස් සහිතව රහතුන් අතුරෙහි අන්‍යතර ද වූහ.
ඉක්බිති පිරිස් සහිත ආයුෂ්මත් සේල තෙරහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ සිවුරු එකස් හි කොට ලා භාග්‍යවතුන් වහන්සේ වෙතැ ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීහ:
573. පසැසුන් වහන්ස, මෙයින් අටවැනි දිනෙහි යම් බඳු තොප වෙත ආවමෝ නම්, භාග්‍යවතුන් වහන්ස, තොප ගේ සස්නෙහි සත් රැයෙකින් දැමුනමෝ වම්හ.
574. මුනිවරයන් වහන්ස, තෙපි බුද්ධවව, තෙපි ශාස්තෘවව. තෙපි මාරාභිභූවව. තෙපි සත්අනුශයන් සිඳ සසර තරණය කළහු මා හා මාගේ ප්‍රජාව හා එතර ලූවහු.