Sutta Nipāta

Collection of Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1562 segments

පෙන්වන කොටස් 601-700 න් 1562

443. මෙ ලොව්හි ඇතැම් ශ්‍රමණබ්‍රාහ්මණයෝ (අත්මොත්කර්‍ෂණ පරවම්භන පර්‍ය්‍යවසාන කොට ඇති තාගේ සේනායෙහි) නිමග්න වූවාහු (ශීලාදී ගුණයෙන් ) අප්‍රකට වෙත්. යම් මගෙකින් (බුද්ධ ප්‍රත්‍යෙක බුද්ධාදි) සුව්‍රතයෝ නිවන් යෙත් නම්, නිවන්මඟ ද නො දනිත්.
444. උද්‍යුක්ත වූ හාත්පසින් සේනාසහිත වූ (ගිරි මෙවුල්) ඇත්රජු සහිත වූ මාරයා දැක යුද පිණිස ඉදිරි බලා යෙමි. (එමරදෙව්) මා අපරාජිත පර්‍ය්‍යඞ්කස්ථානයෙන් නහමක් සලාවා.
445. සදෙව් ලොව යම්බඳු තෙල මරසෙන් නො මැඩලීය හේ නම් තාගේ එ මරසෙන් පහණින් අමුමැටිපසක් සෙයින් මාගේ ප්‍රඥායෙන් මැඩැගෙණ යමි.
446. සම්‍යක්සංකල්පය වශී කොට සම්‍යක්ස්මෘතිය ද සුප්‍රතිෂ්ඨිත කොට බොහෝ සව්වන් හික්මවමින් රටින් රට සරනෙම්.
447. අප්‍රමත්ත වූවාහු නිවන් සඳහා මෙහෙයූ සිත් ඇත්තාහු මාගේ අනුශාසනා පිළිපදනා එසව්වෝ තා නො කැමැතිවත් මැ යම් නිවණකට පැමිණ ශෝක නො කෙරෙත් නම්, එනිවන් කරා යන්නාහ.
448. සත්වසක් භාග්‍යවතුන් පියෙන් පිය නුහු බැඳියෙමි. ස්මෘතිමත් සම්බුදුන් ගේ විවරයක් නො ලද්මි.
449. “මෙහි මෘදු බව විඳුනමෝ නම්, මැනව. ආස්වාදනයෙක් වන්නේ නම් මැනැවැ”යි කවුඩු මේදවර්‍ණපාෂාණයක් වටා ගියේ යම් සේ නම්,
450. කවුඩු එහි ආස්වාද නො ලැබ එතැනින් පලා ගියේ යම්සේ ද, සෙල් ගටා යන කවුඩු සෙයින් ගොයුම් හා ගැටි පැරැද පලායම්හ.
451. සොවින් මඩනාලද උහු කැසින් වෙණ ගිලිහිනි. එයින් දුටුසිත්ඇති එ යක් එහි මැ නො පැණී ගියේ යි.
පධාන සූත්‍ර නිමි.
සුභාසිත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසලැ අනේපිඬුහු ගේ ජේතවන නම් අරම්හි වැඩවසනසේක -පෙ- භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළ සේක.
මහණෙනි, කරුණු සතරෙකින් සමන්‍වාගත වාක් සුභාෂිත වෙයි දුර්‍භාෂිත නොවෙයි. අනවද්‍ය ද වෙයි. විඥයන් විසින් අනුවාද නො කටයුතු ද වේ. කවර සතෙරකින යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ සුභාෂිතය මැ කියයි, දුර්‍භාෂිත නො කියයි. ධර්‍මය මැ කියයි, අධර්‍ම නො කියයි. ප්‍රියතෙපුල් මැ කියයි, අප්‍රියවචන නො කියයි. සත්‍යය මැ කියයි, අලීක නොකියයි. මහණෙනි, මෙ කරුණු සතරින් සමන්‍වාගත වාක් සුභාෂිත වෙයි, දුර්‍භාෂිත නො වෙයි. අනවද්‍ය ද වෙයි. විඥයන් විසින් නො ගැරැහියයුතු වේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මෙය වදාරා සුගතශාස්තෘන් වහන්සේ ඉක්බිති තෙල ගාථා ද වදාළසේක.
452. බුද්ධාදි සත්පුරුෂයෝ සුභාෂිතය උතුමැයි කීහු: (පළමු අඞ්ගය) ධර්‍මය මැ කියනේය, අධර්‍මය නො කියන්නේය යන එය දෙවන අඞ්ගය. ප්‍රියවචන මැ කියනේය, අප්‍රියවචන නො කියන්නේය යන එය තෙවන අඞ්ගය. සත්‍යය කියනේය, අලීක (බොරු) නො කියන්නේය යන එය සතරවන අඞ්ගය.
එක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගැ සිවුර එකස්හි ලා භාග්‍යවතුන් වහන්සේ වෙතැ ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කළේය. භාග්‍යවතුන් වහන්ස, මට වැටැහෙයි, සුගතයන් වහන්ස, මට වැටැහෙයි.
“වඞ්ගීසයෙනි, ඒ තට වැටැහේවා” යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
එක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි සාරුප්‍ය ගාථායෙන් පැවසූහ.
453. යම් බසෙකින් තමා නො තවන්නේ නම්, මෙරමාත් නො පෙළන්නේ නම්, ඒ බස් ම කියන්නේය. ඒකාන්තයෙන් ඒ වචන මැ සුභාෂිත වේ.
454. යම් බසෙක් අභිනන්‍දිත වේ නම්, අප්‍රියවචන නො ගෙණ මෙරමාහට යම් ප්‍රිය වචනයක් කියා නම්, එබඳු ප්‍රියවචන ම කියන්නේය.
455. “ඒකාන්තයෙන් සත්‍යය අමෘතසදෘශවචනයි යන තෙල පෞරාණික ධර්‍මය”යි සත්‍යයෙහි හා අර්‍ත්‍ථයෙහි හා ධර්‍මයෙහි පිහිටි සත්පුරුෂයෝ කීහ.
456. ක්ලේශපරිනිර්‍වාණප්‍රාප්තිය සඳහා සංසාරදුඃඛයා ගේ අන්තකරණය සඳහා ද යම් නිරුපද්‍රව වචනයක් බුදුරජානන්වහන්සේ වදාරත් නම් ඒකාන්තයෙන් එය වචනයන් අතුරෙහි උත්තම වේ යි.
සුභාසිත සූත්‍රය නිමි.
සුන්‍දරිකභාරද්වාජ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝශල ජනපදයෙහි සුන්‍දරිකා නදීතීරයෙහි වැඩ වසනසේක. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ සුන්‍දරිකා හෝ තෙරැ ගිනි පුදයි. අග්න්‍යායතන පරිචරණ කෙරෙයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණ ගිනි පුදා අග්න්‍යායතන පරිචරණ කොට හුනස්නෙන් නැග කවරෙක් මෙ හුතාවශේෂය බුදුනේය යි වටා සිව් දික් බැලීය. සුන්‍දරිකභාරද්වාජබ්‍රාහ්මණ නුදුරෙහි එක්තරා රුක්මුලෙක්හි හිස වටා පෙරවූ කහවත් ඇතිවැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක වමතින් හව්‍යශේෂය ගෙණ දකුණතින් කමණ්ඩලාව (කෙංඩිය) ගෙණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බ්‍රාහ්මණයාගේ පියහඬින් හිස විවර කළසේක. එක්බිති මෙ භවත් මුඬෙක, මෙ භවත් මුණ්ඩකයෙකැයි එතැනින් මැ පෙර ලා නවතිනු කැමැතියේ වියැ. එකල්හි සුන්‍දරිකභාරද්වාජබමුණුහට තෙල සිත විය:
“මෙ ලොව්හි ඇතැම් මුඬුබමුණෝත් ඇත. මම් තුලුන් වෙතැ ගොස් දෑ පුළුවුස්නෙම් මනාය”යි. එක්බිති සුන්‍දරිකභාරද්වාජබ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: භවත් කිනම් ජාති ඇතියේ” දැ?යි. එකල්හි භාග්‍යවතුන්වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බමුණුහට ගාථායෙන් කරුණුගන්වා වදාළහ.
457. බ්‍රාහ්මණයෙම් නො වෙම්මැ යැ. රාජපුත්‍රයෙම් ද නො වෙමි. වෛශ්‍යගෝත්‍රඇතියෙම් ද නොවෙමි. වැලිත් (ශ්‍රද්‍රාදි) අන්කිසිවෙකිම් ද නො වෙමි. පුහුදුනන් ගේ ගෝත්‍ර (ත්‍රිවිධපරිඥායෙන්) පිරිසිඳ දැන රාගාදිකිඤ්චන නැතියෙම් ප්‍රඥායෙන් ලොව්හි හැසිරෙම්.
458. සඟලසිවුරු දැරුයෙම් (තෘෂ්ණාසඞ්ඛ්‍යාත) ගෘහ නැතියෙම්, බහාලු කෙස්රවුළු ඇතියෙම්, අතිශයින් නිවුනු සිතැතියෙම්, මෙලොව්හි මනුෂ්‍යන් හා නො ඇලෙන්නෙම් හැසිරෙමි. බමුණ, (එහෙයින් තෝ) මා අතින් අකල්‍ය ගෝත්‍රප්‍රශ්න පුළුවුස්හි.
459. භවත්නි, බ්‍රාහ්මණයෝ බමුණන් හා සමග භවත් බ්‍රාහ්මණයෙහිනුයි? එකැතින් පුළුවුස්නාහ. ඉදින් තො ද ‘මා අබ්‍රාහ්ම’යි කියහි නම් සූවිසි අකුරු ඇති (බුද්ධං සරණං ගච්ඡා මි, ධම්මං සරණං ගච්ඡා මි, සඞ්ඝං සරණං ගච්ඡා මි යන) ත්‍රිපද යුක්තවූ ආර්‍ය්‍ය සාවිත්‍රිය තා පුළුවුස්මි.
460. මෙලොව්හි ඍෂිහූත් බ්‍රාහ්මණයෝත් තදන්‍ය බොහෝ මනුෂ්‍යයෝත් දෙවියනට කවර නම් අධිප්‍රාය ඇතිව යඥාකළාහු ද? යමෙක් (ත්‍රිවිධ පරිඥායෙන්) වර්ත්තයාගේ අන්තයට ගියේ (සිවුමගනැණ නම් වූ) වේදයෙහි කෙල පැමිණියේ යඥකාලයෙහි යමෙකුගේ (දේයධර්‍ම සඞ්ඛ්‍යාත) ආහුතියක් ලබා නම්, ඔහුගේ එ යඥකර්‍මය සමෘද්ධ වන්නේයයි කියමි.
461. යම්හෙයකින් තොප බඳු වේදසඞ්ඛ්‍යාත චතුර්මාර්‍ගඥානයේ කෙළපැමිණියකු දක්නමෝ නම්, ඒකාන්තයෙන් මැ ඒ මාගේ (දේයධර්‍මසඞ්ඛ්‍යාත) මෙ හුතය සමෘද්ධ වන්නේය. (මහත් ඵල වෙයි) තොප වැන්නවුන්ගේ අදර්‍ශනහේතුයෙන් මැ අන් දෙනේ (චරුක හා පූවසඞඛ්‍යාත) භව්‍යශේෂය( පුරෝඩාශය) වලඳනේය යි (බ්‍රාහ්මණ කීය.)
462. බමුණ, එකරුණින් මැ (මා කෙරෙහි පහන් වූ හෙයින් මැ) තෝ මෙ විසා හි අර්‍ත්‍ථයෙන් අර්ත්‍ථී වෙහි නම්, (කෙලෙස් ගිනි සන්හුන්හෙයින්) ශාන්ත වූ (ක්‍රොධදූම විගමනයෙන්) විධූම වූ (දුඃඛභාවයෙන්) අනීඝ වූ (ආශාභාවයෙන්) නිරාශ වූ මා කරා එළඹ පුළුවුස්ව. මෙ සස්නෙහි පිහිටියේ මැ ඒකාන්තයෙන් උත්තම ප්‍රාඥ (ක්‍ෂීණාස්‍රව) යකු ලබනයෙහිය.
463. (භවත් ගෞතමයන් වහන්ස) මම (යඥසඞ්ඛ්‍යාත) දානයෙහි නියැලියෙම් දන් දෙනු කැමැතියෙමි මම දක්‍ෂිණාර්‍හයා නොදන්මි. යම් පුඟුලෙක් කෙරෙහි පුදන ලද (දානසඞ්ඛ්‍යාත) හුතය මහත් ඵල වේ නම්, එපරිද්දෙන් භවත් මට අනුශාසනා කෙරේවා. තෙල කරුණ මට වදාරන්න.
464. බ්‍රාහ්මණය, එකරුණින් මැ කන් රුකොට ගණුව, තහට දහම් දෙසන්නෙමි යි.
465. (ඉදින් මහත්ඵල කැමැතියෙහි නම්) දක්‍ෂිණාර්‍හයාගේ ජාතිය නහමක් පුළුවුස ශීලාදී චරණ ම පුළුවුස. කාෂ්ඨයෙන් ඒකාන්තයෙන් ගිනි උපදනේය. නීච වූයේත් අකුලීන වූයේත් ධෘතිසම්පන්නවූ හ්‍රීයෙන් දොස් වළහන මුනිතෙම ආජානේය වේ.
466. පරමාර්‍ත්‍ථ සත්‍යයෙන් දැමුනේ ඉන්‍ද්‍රියදමනයෙන් සමන්‍වාගතවූයේ සිවුමගනැණින් කෙලෙසුන්ගේ අන්තයට ගියේ වැසැ නිමවූ මගබඹසර ඇති යම් දක්‍ෂිණාර්‍හයෙක් වේ නම්, නිසි කල්හි යම් බ්‍රාහ්මණයෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග ද කෙරේ නම්, ඔහු කෙරෙහි දේයධර්‍ම සඞ්ඛ්‍යාත භව්‍යය පිරිනමන්නේය.
467. යම් කෙනෙක් වස්තුකාමක්ලේශකාමයන් හැරපියා තෘෂ්ණා නැතියාහු මොනොවට සංයත සිත් ඇත්තාහු ඍජු ත්‍රසරයක් සෙයින් හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පින්කැමැතියේ යාග ද කෙරේ නම්, සුදුසු කල්හි ඔවුනට පුරෝඩාශය පිරිනමන්නේය.
468. යම් කෙනෙක් පහවූ රාගඇත්තාහු මනාකොට සන්හුන් ඉඳුරන් ඇත්තාහු රාහුග්‍රණයෙන් මුත් සඳමෙන් කෙලෙසුන් කෙරෙන් මිදුනාහු ද, යම් බමුණෙක් පින් කැමැතිව යාග කෙරේ නම්, උන් කෙරෙහි භව්‍යය පිරිනමන්නේය.
469. පඤ්චස්නක්ධසඞ්ඛ්‍යාත ලෝකයෙහි නො ලගනාහු තෘෂ්ණාදෘෂ්ටි මමායිතයන් හැරපියා හැමකල්හි ස්මෘතිමත් වූවාහු හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග කෙරේ නම් නිසි කල්හි ඔවුන් කෙරෙහි භව්‍ය්‍ය පිරිනමන්නේය.
470. යමෙක් ක්ලේශකාමයන් හැරපියා වස්තුකාමයන් මැඩැගෙණ හැසිරෙන්නේ ද, යමෙක් ජාතිමරණයන්ගේ අන්තය වන නිර්‍වාණය ප්‍රඥාබලයෙන් දත්තේ ද දියවිලක් සෙයින් සිහිල් වූයේ කෙලෙස් පිරිනිවියේ නම් ඒ තථාගත පුරෝඩාශයට නිසි වෙයි.
471. විපස්සීබුද්ධාදී සමපුද්ගලයන් හා සමවූයේ විෂමපුද්ගලයන් කෙරෙන් දුරැ වෙසෙන තථාගත තෙමේ අනන්තප්‍රඥා ඇතියේ වෙයි. මෙලොව්හි හෝ පරලොව්හි හෝ ක්ලේශවශයෙන් නො ලැගි එ තථාගත පුරෝඩාශයට නිසි වේ.
472. යම් පුද්ගලයෙකු කෙරෙහි මායාව නො වේ ද, මාන නැතියේ ද යමෙක් පහකළ ලෝභ ඇතියේ මමත්‍ව නැතියේ ආශාරහිත වූයේ ක්‍ෂීණක්‍රෝධ ඇත්තේ මොනොවට කෙලෙස් පිරිනිවුමෙන් යුත් සිත් ඇත්තේ ද, යම් (බාහිතපාපී) බ්‍රාහ්මණයෙක් ශෝකමලප්‍රහීණ කෙළේ ද, එ තථාගත හව්‍යද්‍රව්‍යයට සුදුසු වෙයි.
473. යමෙක් සිත පිළිබඳ තෘෂ්ණාමානදෘෂ්ටිනිවේසන දුරු කෙළේ ද, යමකුට නිසි පරිග්‍රහයෝ නැත් ද, මෙලොව්හි හෝ පරලොව්හි හෝ කිසිවක් උපාදාන විසින් නො ගන්නේ ද, එබඳු තථාගත පූරලාසයට සුදුසු වෙයි.
474. මාර්‍ගසමාධියෙන් සමාහිත වූ යමෙක් චතුරෝඝ තරණය කෙළේද, උත්තම සර්‍වතාඥානයෙන් පඤ්චවිධඥේයධර්‍මය ද දත්තේ ද, ක්‍ෂීණාස්‍රව වූයේ අන්තිම දේහය ධරණ සුලු ඒ තථාගත යඥද්‍රව්‍යයට සුදුසු වෙයි.
475. යයමකු විසින් භවතෘෂ්ණා, ධ්‍යානිකාන්ති, ශාශ්වතදෘෂ්ටිසහගත රාගයෝ ද කැකුළුබස් ද දවනලදහු නම්, අස්තයට ගියාහු විද්‍යමාන නො වෙත් ද, (චතුර්මාර්‍ගඥානසඞ්ඛ්‍යාත) වේදයාගේ අන්තයට ගියේ හැම ස්කන්‍ධායතනයන්හි විප්‍රුක්ත වූයේ නම් එ තථාගත යඥයට නිසි වෙයි.
476. යමෙක් රාගාදි හැම සඞ්ගයන් ඉක්මැගියේ ද යමකුහට මානයෙන් ලැගුනු සත්‍වයන් කෙරෙහි සඞ්ගයෝ විද්‍යාමාන නොවෙත් ද, යමෙක් හේතුප්‍රත්‍යයන් සහිත වර්ත්තදුඃඛය පිරිසිඳ දැන මානයෙන් නොලැගියේ ද, එ තථාගත පුරෝඩාශයට සුදුසු වෙයි.
477. තෘෂ්ණාව නිඃශ්‍රය නො කොට නිර්‍වාණසඞ්ඛ්‍යාත උපධිවිවේකය දක්නා සුල්ලේ (අන්‍යතීර්‍ත්‍ථක වූ) පරා විසින් දතයුතු දෙසැටමිසදිටු ඉකුමැ ගියේ ද, පුනර්‍භවකාරණ නම් වූ ආලම්බනප්‍රත්‍යයයෝ කිසිත් යමකුට නැත් ද, එ තථාගත පුරෝඩාශයට අර්‍හ වෙයි.
478. යමකුට (බාහිර ආධ්‍යාත්මික) පරඅවර ස්කන්‍ධාදි ධර්‍මයෝ නැණින් පිරිසිඳ දැන දවනලද්දාහු අස්තයට ගියාහු නො මැත්තාහු ද ශාන්තවූයේ උපාදානක්‍ෂය නම් වූ නිර්‍වාණය නිමිති කොට විමුක්ත වූයේ ද එ තථාගත පුරෝඩාශයට අර්‍හ වෙයි.
479. සංයෝජනක්‍ෂය හා ජාතික්‍ෂය දක්නා සුලු යමෙක් (දුර්‍ගතියට පථ වන) රාගාරම්මණපථය නිරවශේෂ කොට දුරු කළේ ද, (පරිශුද්ධ කාය සමාචාරාදිය ඇති බැවින්) ශුද්ධ වූයේ (රාග දෝස, දෝස දෝස, මෝහදෝසයන්ගේ අභාවයෙන්) නිර්දෝෂවූයේ (රාගමලාදියෙන් දුරු හෙයින්) විමල වූයේ (ආගුසඞ්ඛ්‍යාත අපරාධ නො කරණ හෙයින්) කාම රහිත වූයේ ද, එ තථාගත භව්‍යට නිසි වෙයි.
480. යමෙක් (ඥානසම්ප්‍රයුක්තචිත්තයෙන්) තෙමේ (ස්කන්‍ධයන්හි) නිත්‍යාත්මයක් නො දක්නේ මාර්‍ග සමාධියෙන් යුක්තවූයේ, (කායවඞ්කාදීන්ගේ අභාවයෙන්) ඍජු වූයේ (ලෝකධර්‍මයන්හි අකම්පනියභාවයෙන් ස්ථිතාත්මවූයේ ද, තෘෂ්ණසඞ්ඛ්‍යාත එජා නැති, පඤ්චචේතෝඛිලාභාවයෙන් අඛිල වූ අටතන්හි සැකනැතියෙන් අකඞ්ඛවූ තථාගත පූරළාසයට අර්‍හ වෙයි.
481. යමකුහට කිසිදු (ක්ලේශසඞ්ඛ්‍යාත) මෝහකාරණයෝ නැත් ද සකලඥේයධර්‍මයන්හිත් සාක්‍ෂාත්කෘත සර්‍වඥතාඥාන ඇත්තේ ද, (පුනර්‍භවනිරෝධයෙන්) අන්තිමශරීරය දරන්නේ ද, ප්‍රත්‍යෙකබුද්ධශ්‍රාවකයන් හා අසාධාරණ හෙයින් අනුත්තරවූ ක්‍ෂේමවූ (අර්‍හත්‍වසඞ්ඛ්‍යාත) සම්බෝධියට ද පැමිණියේ ද, එපමණෙකින් (පුරුෂසඞ්ඛ්‍යාතයක්හුගේ ව්‍යවදානතා සඞ්ඛ්‍යාත) ශුද්ධිය වේ. එබඳු තථාගත පූරළාසයට නිසි වේ.
482. යම්හෙයකින් භවතුන් වැනි වේදපාරගතයක්හු ලදිම් නම් එමාගේ හුතය සත්‍ය වූ ම හුතයෙක් වේවා ප්‍රත්‍යක්‍ෂබ්‍රහ්ම වූ ම භාග්‍යවතුන් වහන්සේ මාගේ හව්‍යය පිළිගන්නා සේක්වා. භාග්‍යවතුන් වහන්සේ මාගේ හව්‍යය වළඳනසේක්වා.
483. ගාථාභාගීතය මා විසින් නොවැළඳිය යුතු වෙයි. බ්‍රාහ්මණ, සම්‍යගාජීවශුද්ධිය දක්නා සම්බුදුන්ගේ තෙල චාරිත්‍ර නොවේ. සම්බුද්ධයෝ ගාථාභිගීත (පිණ්ඩපාතය) පිළිකෙවු කරත්. බ්‍රාහ්මණය, සුචරිතධර්‍මය නොහොත් චාරිත්‍රධර්‍මය (ලොවුහි) ඇතිකල්හි තෙල ජීවිතවෘත්තිය වේ.
484. අන්‍යතර ආහාර පානයෙකින් මැ සර්‍වගුණ පරිපූර්‍ණ වූ, ක්‍ෂීණාස්‍ර වූ, සන්සුන් කුකුස් ඇති, මහර්ෂී වටව. පුණ්‍යාපේක්‍ෂහට ඒ පුණ්‍යක්‍ෂෙත්‍රම වෙයි.
485. භාග්‍යවතුන් වහන්ස, මුඹවහන්සේගේ අවවාදශාසනයට පැමිණ යඥකාලයෙහි යම්බඳු දක්‍ෂිණාර්‍හයකු සොයනුම් වටනෙම් නම්, යම්, දක්‍ෂිණාර්‍හයෙක් මාගේ දන් වළඳා නම්, එම පුඟුල්හු මම් එලෙසින් දනුම් නම් මැනැවි.
486. යම් පුඟුලක්හුගේ සාරම්භයෝ පහවූහු ද, යමකුගේ චිත්තයත් නො කැලැඹිනි ද, වස්තුකාමක්ලේශකාමයෙන් විප්‍රමුක්ත හා වේ ද, යමකුන්ගේ ථිනමිද්ධයත් ප්‍රහීණ වී ද,
487. සීමාන්තයන් (කෙලෙස්මියරත්) මඩනා, ජාතිමරණ දෙක්හි දක්‍ෂ වූ, මොනෙය්‍යසඞ්ඛ්‍යාත ප්‍රඥායෙන් සමන්‍වාගත වූ යඥයට සම්ප්‍රාප්ත එබඳු මුනිහු -
488. භූකුටි (බැමහැකිලීම්) හැරැපියා බඳැදිලි වැ නමස්කාර කරව. ආහාරපානයෙන් පූජාකරව, මෙසෙයින් දක්‍ෂිණාවෝ සමෘද්ධ වෙත්.
489. අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ භාග්‍යවත් බුදුරජානන්වහන්සේ පුරෝඩාශයට නිසි වෙති. සව්ලෙවන් විසින් වෙත පැමිණ පිදිය යුතු වෙත්. භවතුන්වහන්සේට දෙනලද දෑ මහක්ළග ඇතියේ යයි.
ඉක්බිති සුන්‍දරික භාරද්වාජබ්‍රාහ්මණ භාග්‍යවතුන්වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත වෙයි. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු වූවක් උඩුහුරු කරණලද නම්, පිළිසන් වූවක් විවර කෙරේ නම්, මංමුළාවුවකුට මාර්‍ගය හෝ කියා නම් ඇස් ඇතියහු රු දකිත්වා”යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ නම් එ පරිද්දෙන් ම භවත් ගෞතමයන්වහන්සේ විසින් අනේකපර්‍ය්‍යායෙන් ධර්‍මය ප්‍රකටකරණලද, තෙල මම් -පෙ- සරණ යෙමි -පෙ- රහතුන් අතුරෙහි වීයයි.
සුන්‍දරිකභාරද්වාජ (පූරළාස) සූත්‍රය නිමි.
මාඝ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පවුයෙහි වැඩ වසන සෙයෙක. එකල්හි මාඝ නම් බමුණු මණෙවු භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථා නිමවා එකත්පසෙක හින. එකත්පසෙක් හුන් මාඝ මණෙවු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය.
භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි දානපති දායකයෙම් යදියන්ගේ බස් දන්නෙම් යදනට නිසි වූයෙම් ධර්‍මයෙන් භෝග සොයමි. දැහැමින් භෝග සොයා ධර්‍මයෙන් ලද, ධර්‍මාධිගත භෝගයෙන් එකක්හට ද දෙමි, දෙදෙනකුන්හට ද දෙමි, තිදෙනකුන්ට ද දෙමි, සතර දෙනකුන්ට ද දෙමි, පස්දෙනකුන්ට ද දෙමි, සදෙනකුන්ට ද දෙමි, සත්දෙනකුන්ට ද දෙමි, අටදෙනකුන්ට ද දෙමි, නවදෙනකුන්ට ද දෙමි, දසදෙනකුන්ට ද දෙමි, විසිදෙනකුන්ට ද දෙමි, තිස්දෙනකුන්ට ද දෙමි, සාලිස්දෙනන්හට ද දෙමි, පණස් දෙනකුන්ට ද දෙමි, සියදෙනකුන්ට ද දෙමි, ඉන් වැඩි බොහෝ දෙනකුන්ට ද දෙමි, භවත් ගෞතමයන් වහන්ස, කිම මම මෙසේ දන්දෙනුයෙම් මෙ සෙයින් යාග කරනෙම් බොහෝ පින් රැස් කරම් දැයි?
මාණවය, ඒකාන්තයෙන් මැ (තෝ මෙසෙයින් දන් දෙන්නෙහි මෙසෙයින් යාගකරන්නෙහි බොහෝ පින් රැස් කෙරෙහි. මාණවය, යම් දායකයෙක් දානපතිවූයේ යදියන්ගේ බස් දන්නේ යාචයෝග වූයේ ධර්‍මයෙන් භෝගපර්ය්‍යේෂණා කෙරේ නම්, ධර්‍මයෙන් භෝගපර්ය්‍යේෂණා කොට ධර්‍මලබ්ධි වූ ධර්‍මාධිගත වූ භෝගයෙන් එකකුහට ද දන් දේ නම් -පෙ- සිය දෙනකුන්හට දේ නම්, එයින් වැඩි දෙනකුන්ට ද දේ නම්, බොහෝ පින් රැස් කෙරේ යයි,
ඉක්බිති මාඝ මාණව භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය.
490. “මම වදන් දන්නා, කාෂායවස්ත්‍රධාරී වූ තෘෂ්ණායෙන් තොර ව හැසිරෙණ භවත් ගෞතමයන් වහන්සේ පුළුවුස්මි. යදනට නිසි, දානපත් වූ පුණ්‍යාර්ත්‍ථි යම් ගෘහස්ථයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම්, මෙලොව්හි මෙරමාහට අහර පැන් දෙන්නේ නම්, කොතන්හි යාගකරන්නහුගේ යාගය ශුද්ධවන්නේදැයි?” යි මෙසේ මාඝ ඇසීය.
491. “මෙ ලොව්හි පින් කැමැති මෙරමාහට ආහාරපාන දෙන දානපති වූ පුණ්‍යාර්ත්‍ථි ගෘහස්ථයෙක් යදනට නිසි වූයේ යාගකෙරේ නම්, හේ තාදී වූ ම දක්‍ෂිණාර්‍හයන් අරියන්නේය”යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
492. මෙලොව්හි යදනට නිසි, දානපති වූ පුණ්‍යාර්ත්‍ථි වූ යම් ගැහැවියෙක් පින් කැමැතියේ මෙරමාහට දන් දෙමින් යාග කෙරේ ද, භාග්‍යවතුන් වහන්ස, එබඳු මාහට දක්‍ෂිණාර්‍හයන් වදාළ මැනැවි.
493. ලෝකයෙහි යම් කෙනෙක් (රාගසඞ්ගාදි විසින්) නො ලැගියාහු පරිනිෂ්ඨිතකෘත්‍ය ඇතියාහු කිඤ්චන රහිත වූවාහු යතාත්ම වූවාහු හැසිරෙත් නම්, යම් බ්‍රාහ්මණයෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් නිසි කල්හි ඒ පුඟුලන් කෙරෙහි හව්‍යසඞ්ඛ්‍යාත දන් පිරිනමන්නේ ය.
494. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ ද, හේ යම් කෙනෙක් හැම සංයෝජනබන්‍ධනයන් සිඳලූවාහු අනුත්තර දමථයෙන් දැමුනාහු ප්‍රඥා-චේතෝවිමුක්ති දෙකින් විමුක්තිවූවාහු (ආයතිවර්‍ත දුඃඛභාවයෙන්) ඊඝරහිත වූවාහු (ක්ලේශභාවයෙන්) ආශා රහිත වූවාහු වෙත් නම්, ඒ පුඟුලන් කෙරෙහි සුදුසු කල්හි හව්‍යය දානය කරන්නේය.
495. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් සර්‍ව සංයෝජනයෙන් වෙසෙසින් මිදුනු දාන්තවූ විමුක්ත වූ අනීඝ වූ නිරාස වූහු නම් ඔවුන් කෙරෙහි නිසි කල්හි යඥශේෂය පවරන්නේ ය.
496. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාග කරන්නේ නම් රාග දෝස, මෝහ හැර පියා ක්‍ෂීණාස්‍රව වූ වැසනිම කළ මඟබඹසර ඇති යම් කෙනෙක් වෙත් නම් නිසි කල්හි ඔවුන් කෙරෙහි හව්‍යය දෙන්නේ ය.
497. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇතියේ යාගකෙරේ නම්, හේ යම් කෙනෙකුන් කෙරෙහි මායා නැද්ද, මාන නැද්ද, යම් කෙනෙක් පහ කළ ලෝභ ඇත්තාහු ද මමත්‍වයෙන් තොරවූවාහු ආශාරහිත වෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දන් දෙන්නේ ය.
498. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හෙ, යම් කෙනෙක් ඒකාන්තයෙන් කාම තෘෂ්ණාදියෙහි නො වැටුණාහු, චතුරෝඝය තරණය කොට මමත්‍වයෙන් තොරව හැසිරෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දන්දෙන්නේ ය.
499. යම් බ්‍රාහ්මණයෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යමකුන්හට මෙලොව්හි වේවයි, පරලොව්හි වේවයි කිසිදු ලොවෙක්හි ශාශ්වත උච්ඡේද විසින් නොහොත් පුනර්‍භවයාගේ අනඟිනිර්‍වෘතිය සඳහා තෘෂ්ණා නැත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි හව්‍යය දෙන්නේ ය.
500. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් කාමයන් හැරපියා තෘෂ්ණා රහිත වූවාහු (අනගාරව) මොනොවට සංයත්ආත්ම ඇත්තාහු ඍජු නඩාවක් සෙයින් හැසිරෙත් ද, නිසි කල්හි එ පුඟුලන් කෙරෙහි දන් දෙන්නේ ය.
501. පුණ්‍යාපේක්‍ෂා ඇති යම් බමුණෙක් යාග කෙරේ නම් හේ, පහ කළ රාග ඇති යම් කෙනෙක් මොනොවට සමාහිත වූ ඉඳුරන් ඇත්තාහු රාහු ග්‍රහණයෙන් ප්‍රමුක්ත වූ චන්‍ද්‍රයා සෙයින් ප්‍රමුක්ත වෙත් ද, එපුඟුලන් කෙරෙහි නිසි කල්හි දන් දෙන්නේ ය.
502. යම් බමුණෙක් පින්කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් කෙලෙස් සන්හිඳවන්නාහු පහ කළ රාග ඇත්තාහු කෝප රහිත වූවාහු ද, යමකුන්ට මෙලොව්හි ස්කන්‍ධ හැරපියා ලීමෙන් පුනර්‍භව ගමනෙක් නැත් ද, එ පුඟුලන් කෙරෙහි සුදුසු කල්හි යඥ දෙන්නේ ය.
503. යම් බමුණෙක් පුණ්‍යාපේක්‍ෂා ඇත්තේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් ජාති මරණ නිරවශේෂයෙන් හැරපියා හැම කථංකථි භාවය ඉක්ම ගියාහු වෙත් ද, ඔවුන් කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා පිරිණමන්නේ ය.
504. යම් බමුණෙක් පින් කැමැතිව යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් රාගාදි කිඤ්චනයෙන් තොර වූවාහු හැම ස්කන්‍ධයන්හි මිදුනාහු ආත්මගුණම, පිහිට කොට ඇත්තාහු ලොව්හි හැසිරෙත් ද එ පුඟුලන් කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා පිරිණමන්නේ ය.
505. යම් බමුණෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් හේ, යම් කෙනෙක් තෙල ස්කන්‍ධාදි ආයතනයෙහි මෙ ස්කන්‍ධාදිආයතනාදිය යම් පරිදි නම්, ඒ ස්වභාව එසේ ම යයි ද මේ අන්තිම ජාතිය වේ පුනර්‍භවයෙක් දැන් නැතැයි ද දනිත් නම්, ඔවුන් කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා දෙන්නේ ය.
506. යම් බමුණෙක් පින් පතන්නේ යාග කෙරේ නම් හේ, යමෙක් (සිවුමග නැණ නම් වූ) වේදයෙහි කෙල පැමිණියේ (සවැදෑරුම් සතත විහාර ස්මෘතියෙන්) ස්මෘතිමත් වූයේ ධ්‍යානාභිරත වූ යේ සර්‍වඥතාඥානයට පැමැණියේ බොහෝ දෙනාට සරණ වේ ද, එ පුඟුලා කෙරෙහි නිසි කල්හි දක්‍ෂිණා දෙන්නේ ය.
507. (මාඝ මාණව මෙසේ විචාරයි:) එකැතින් මාගේ පැන පිළිවිසුම නො සිස් මැ වීය. භාග්‍යවතුන් වහන්සේ මට දක්‍ෂිණාර්‍හයන් දෙසූ සේක. නුඹ වහන්සේ ඒකාන්තයෙන් මෙ ලොව්හි මෙ ඥේයධර්‍මය යථාත්‍වයෙන් දන්නා සේක. තෙල ධර්‍මධාතුව නුඹ වහන්සේ විසින් ඒ ඇති සැටියෙන් දන්නා ලද වෙයි.
508. යදනට යෝග්‍ය වූ දානපති වූ පුණ්‍යාර්ත්‍ථි වූ යම් ගැහැවියෙක් පින් කැමැතියේ යාග කෙරේ නම් මෙලොව්හි මෙරමා හට ආහාර පාන දෙනුයේ නම්, එබඳු මට භාග්‍යවතුන් වහන්ස යඥ සම්පත්තිය වදාළ මැනැව.
509. (බුදුහු මෙසේ වදාළහ:) මාඝය, යජමාන වූයෙහි යාග කරව, සියලු තන්හි තෙකල්හි සිත් පහන් කරව, යාග කරන්නා හට යඥය ආලම්බන වෙයි. එ යඥාලම්බනයෙහි පිහිටා රාගාදි ත්‍රිවිධ දෝෂය හැරපියන්නේ ය.
510. මෙසෙයින් භෝගයන්හි වීතරාගී වූ හේ, සත්‍වයන් නිමිති කොට උපදනා ද්වේෂය මැඩැ අප්‍රමාණ මෛත්‍රීචිත්තය වඩන්නේ රාත්‍රින්‍දිතයෙහි නිරතුරු අප්‍රමත්ත වූයේ මෙත්දැහැන් නම් වූ අප්‍රාමාණ්‍යය හැම දික්හි පතුරන්නේ යි.
511. කවරෙක් ශුද්ධ වේ ද? මිදේ ද? බැඳේ ද? කවර කරුණෙකින් තෙමේ බඹලොව යේ ද? මුනීන්‍ද්‍රයන් වහන්ස, මෙ කරුණ නො දත් මට වදාළ මැනැව, භාග්‍යවතුන් වහන්ස, ම විසින් අද බ්‍රහ්ම සියැසින් දක්නා ලද ය. මුඹ වහන්සේ අපට සත්‍ය විසින් බ්‍රහ්මසම වෙති. ජ්‍යෙතිෂ්මත් වූ භාග්‍යවතුන් වහන්ස, කෙසේ නම් බඹලොවට පිළිසඳ විසින් පැමිණේ දැයි (මාඝ බුදුරදුන් පිළිවිසි.)
512. මාඝ, යමෙක් (පූර්‍ව මුඤ්චන අපරචේතනා ප්‍රසාද සඞ්ඛ්‍යාත ) ත්‍රිකාල ප්‍රසාදයෙන්යුතු යඥසම්පත්තිය සපයා ද තාදීගුණ යුත් දක්‍ෂිණාර්‍හයන් ආරාධනා කෙරේ නම්, යදනට යෝග්‍ය වූයේ මෙසේ මැනැවින් යඥ කොට බඹලොවට පැමිණේ යයි කියමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේකි.
මෙසේ වදාරත් ම මාඝමාණව භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වීය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්තය -පෙ- අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා ධරණ සේක්වයි.
මාඝ සූත්‍රය නිමි.
සභිය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනයෙහි වැඩ වසන සේක. එකල්හි සභිය නම් පරිව්‍රාජකයාගේ පැරැණි සහලේ නෑවූ දෙවියකු විසින් පැන උදෙසන ලද වෙයි. “සභිය, යම් මහණෙක් වේවයි බමුණෙක් වේවයි තා විසින් මෙ පැන පුළුවුස්නා ලදුයේ විවරණ කෙරේ නම්, උහු හමුයෙහි බඹසර වස”යි.
එක්බිති සභිය පිරිවැජි ඒ දෙවි වෙතැ පැන උගෙන පූරණ කස්සපය, මක්ඛලි ගෝසාලය, අජිත කේසකම්බලය, පකුධ කච්චායනය, සඤ්ජය බෙල්ලට්ඨිපුත්ත්‍රය, නිගණ්ඨනාථපුත්ත්‍රය යන මෙබඳු ශිෂය සඞ්ඝයාගෙන් යුක්ත වූ ගණයා ඇති ගණාචාර්‍ය්‍ය වූ අභිඥාත වූ යශස් වී වූ දෘෂ්ටිතීර්‍ත්‍ථකර වූ බහුජනයා විසින් සත්පුරුෂය යි සම්මත වූ යම් මහණ බමුණෝ වෙත් නම්, ඔවුන් වෙත් ගොස් එ පැන පුළුවුස්සි. සභිය පිරිවැජි විසින් පැන පුළුවුස්නා ලද ඔහු නො සපයත්. නො සපයන්නාහු කෝප හා ද්වේෂ හා දොම්නස් හා පාළකරත්. වැලිත් සභිය පිරිවැජි ම ප්‍රතිපෘච්ඡා කරත්. එක්බිති සභිය පිරිවැජි හට තෙල සිත් විය: “පූරණ කස්පය -පෙ- නිගණ්ඨනාථපුත්තය යන යම් ශිෂ්‍ය සඞ්ඝයාගෙන් සපන් වූ ගණයා ඇති ගණැදුරු වූ විශ්‍රැත වූ යශස්වී වූ තීර්‍ත්‍ථකර වූ බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ භවත් මහණ බමුණෝ ඇත් නම්, ඔහු මා විසින් පැන පුළුවුස්නා ලද්දාහු පිළිතුරු නො සපයත්. නො සපයන්නාහු කෝප හා ද්වේෂ හා අප්‍රත්‍යය හා පාළ කෙරෙත්. වැලිදු මා මැ පුළුවුස්ති. මම ගිහී භාවයට පෙරැළී කම්සුව වළඳනෙමි මැනැවැ”යි.
එක්බිති සභිය පිරිවැජිහට තෙල සිත් විය: “මේ ශ්‍රමණ භවත් ගෞතමයෝත් ශිෂ්‍ය සඞ්ඝයා ඇතියාහු ගණයා ඇත්තාහු ගණැදුරු වූවාහු විශ්‍රැත වූවාහු යශස්වී වූවාහු තීර්‍ත්‍ථකර වූවාහු බොහෝ ජනයා විසින් සාධු සම්මතයහ. මම ශ්‍රමණ ගෞතමයන් කරාත් ගොස් මෙ පැන පුළුවුස්නෙම් මැනැවැ”යි.