නිග්‍රෝධකප්ප (වංගීස) සූත්‍රය නිමි.
2. 13.
සම්මාපරිබ්බාජනීය සූත්‍රය
361. මහාප්‍රාඥ වූ, චතුරෝඝ තරණය කළාවූ, නිවන් පරතෙර ගියාවූ, කෙලෙස් පිරිනිවියා වූ, (අටලෝ දහමින් නොසැලෙන හෙයින්) අකම්ප්‍යවූ සිත් ඇති, මුනිහු පුළුවුසුම්හ: ගිහිගෙන් නික්ම වස්තුකාමයෙන් දුරලා ලොවෙහි නොඇලී ඒ ප්‍රකටමහණ කෙසේ මොනොවට වෙසෙන්නේද හෙවත් ලොවින් නික්ම යේ ද?
362. (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) යමක්හු විසින් (දිට්ටම්ඞ්ගලාදී) මඞ්ගලයෝද උල්කාපතාදී උත්පාතාභිනිවේශයෝ ද ස්වප්නාභිනිවෙශයෝ ද ලක්‍ෂණාභිනිවේශයෝ ද මොනොවට සිඳිනලද්දහූ ද, හේ මඞ්ගලදෝෂයන් ප්‍රහීණ කෙළේ වේ. හෙ (රහත් මහණ) ලොව්හි නොඇලී මනා සේ වෙසෙයි. (ලොව ඉක්මවා යන්නේය යි සේයි.)
363. මහණ මානුෂික වූ ද, දිව්‍ය වූ ද කාමවිෂයන්හි රාගය (අනගැමි මගින්) දුරුකරන්නේ ය. (චතුස්සත්‍යභේද වූ) ධර්‍මය (අර්‍හන්) මාර්‍ගයෙන් (පරිඥාභිසමයාදී වශයෙන්) දැන (ත්‍රිවිධ) භවය ඉක්මවා හෙ ලොව්හි සියල්ල මනා සේ හැරපියා යෙයි.
364. මහණ, පෙහෙසුන් ද ක්‍රෝධය ද මසුරුබව ද දුරු කොට හැරපියන්නේ ය: (සියලු වස්තූන්හි) ප්‍රහීණ වූ රාග ද්වේෂ ඇතියේ හෙ මොනවට ලොව්හි සියල්ල හැරපියා යෙයි.
365. (සත්ත්‍ව සංස්කාර වශයෙන් ද්විවිධ වූ) ප්‍රිය වූ ද අප්‍රිය වූද රාග ද්වේෂයෙන් හැරපියා (සිවු උපාදානයන්ගේ වශයෙන්) කිසිදු ධර්‍මයක් (නිත්‍යාදි විසින්)නො ගෙණ, (රූපාදි ධර්‍මයන්හි හෝ භවයන්හි) කිසිදු තැනෙක් හී තණාදිට්ඨි (නිස්සය වශයෙන්) ඇසුරු නොකළේ (දශවිධ සංයෝජනයට විෂය වූ) ත්‍රෛභුමකධර්‍මයන් ගෙන් වෙසෙසින් මිදුනේ හෙ මොනොවට ලොව්හි සියල්ල හැරපියා යෙයි.
366. හේ සියලු උපධීන් සාර විසින් නොමැ දකියි. ස්කන්‍ධාදි ආදානයන් කෙරෙහි පවත්නා ඡන්‍දරාගය හැරපියා තෘෂ්ණාදෘෂ්ටි දෙක අසුරු නොකෙළේ, හෙ කිසිවකු විසිනුදු නොපැමිණැවිය හෙයි. ලොව්හි සියල්ල මොනොවට හැරපියා යෙයි.
367. වචසින් මනසින් හා කර්‍මයෙන් (සුචරිතයෙන් හා) විරුද්ධ නොවූයේ (මාර්‍ගඥානයෙන්) සිවුසස් දහම් මොනවට දැන (අනුපාදිසේස වූ) ස්කන්‍ධනිර්‍වාණපදය පතන්නේ හේ ලොව්හි සියල්ල සම්‍යක් හේතුයෙන් හැරපියා යෙයි.
368. යම් මහණෙක් මෙ මා වඳනේ යයි අභිමාන නොකරන්නේද (දශවිධාක්‍රෝශයෙන් ) අක්‍රොශ කරන ලදුයේ නමුදු බද්ධවෛර නො කරන්නේද, මෙරමා විසින් දුන් බොජුන් ලබා මදයට නො පැමිණෙන්නේද, හේ ලොව්හි සියල්ල සම්‍යක් හේතුයෙන් හැරපියා යෙයි.
369. ඒ (රහත්) මහණ විෂයලොභය ද (කාමභවාදී) භවයද වෙසෙසින් ප්‍රහීණ කොට (මෙරමා ) සිඳුම්බැඳුම් වලින් වෙන් වූයේ තරණය කළ කථංකථීභාව (සැක) ඇත්තේ, එහෙයින් ම විගත ශල්‍ය ඇත්තේ වෙයි. හෙ ලොව්හි සියල්ල සම්‍යක් හේතුයෙන් හැර පියා යෙයි.
370. තමාගේ සරුප් පිළිවෙත දැන මහණ ලොව්හි කිසිවකු නො ද පෙළන්නේය. යථාභූතය වන (ස්කන්‍ධාදී භේද ඇති) සිව්සස් දහම් දැන ඒ භික්‍ෂු ලොව්හි සියල්ල මැනවින් හැරපියා යෙයි.
371. යම් මහණෙකු හට කිසිදු අනුශය කෙනෙක් නැත් ද, අකුශල මූලයෝ ද සමූහනනය කරන ලද්දාහු ද, හෙ තෘෂ්ණා රහිත වූයේ (කිසිවක්) නොපතන්නේ වෙයි. හෙ ලොව්හි සියල්ල මොනොවට හැර පියා යෙයි.
372. ක්‍ෂීණාස්‍රව වූයේ ප්‍රහීණ කළ (නවවිධ) මාන ඇතියේ රාගයට විෂය වූ (තෛභූමක) ධර්‍ම සමූහය (පරිඥාප්‍රහාණ වශයෙන්) ඉක්ම වූයේ (ආර්‍ය දමථයෙන්) දැමුනේ (කෙලෙස් ගිනි) පිරිනිවීමෙන් පිරිනිවියේ (අටලෝදමින් නොසැලෙන හෙයින්) ස්ථිතාත්ම වූ ඒ මහණ ලොව්හි සියල්ල හැරපියා යෙයි.
373.(බුද්ධාදී ගුණයන්හි) අවෙත්‍යප්‍රසාදයෙන් ශ්‍රද්ධා ඇත්තේ, පාරමාර්ත්‍ථික ශ්‍රැත ඇත්තේ, නියාම සඞ්ඛ්‍යාත මාර්‍ගය දක්නා සුලු වූයේ, (දෙසට මිසදිටු නැමැති වර්‍ගයනට ගියවුන් අතර) වර්‍ගසාරී නො වූ ඒ ධීර තෙමේ ලෝභ ද්වේෂ ප්‍රතිඝයන් නසා ලොව්හි සියල්ල මැනවින් හැරපියා යෙයි.
374. පිරිසිදු රහත් මගින් දිනූ කෙලෙස් ඇති, විවෘත කළ (රාග ද්වේෂ මෝහ සඞ්ඛ්‍යාත ) සෙවෙණි ඇති, සිවුසස් දහම්හි වශීප්‍රාප්ත වූ, නිවන් පරතෙර ගියාවූ, පහකළ තෘෂ්ණා චලනයන් ඇති, (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) සංස්කාර නිරෝධය විෂය කොට ඇති, (ආර්‍ය්‍යමාර්‍ග) ඥානයෙහි කුශල වූ ඒ (රහත්) මහණ ලොව්හි සියල්ල මොනොවට හැරපියා යෙයි.
375. අතීත පඤ්චස්කන්‍ධයන්හි ද අනාගත පඤ්චස්කන්‍ධයන්හි ද (මම, මාගේ යන) කල්පනයන ඉක්ම වූයේ, (අතීත වර්‍තමාන අනාගත අධ්වත්‍රයය පිළිබඳ සැක) ඉක්මවා අතිශයින් පිරිසිදු වූ ප්‍රඥා ඇත්තේ, ද්වාදශායතනයන්ගෙන් මිදුනු හේ ලොව්හි සියල්ල මනාසේ හැරපියා යෙයි.
376. (චතුස්සත්‍ය ) ධර්‍මපදය පූර්‍වභාග ප්‍රඥාවෙන් දැන (එම) සිවුසස් දහම් (අරිමඟනැණින්) ප්‍රත්‍යක්‍ෂ කොට දැන, ආස්‍රවයන්ගේ ප්‍රහාණය (නිර්‍වාණය) ප්‍රකට කොට දැක, සියලු ම උපධීන්ගේ පරික්‍ෂයයෙන් ඒ මහණ ලොව්හි සියල්ල මොනොවට හැරපියා යෙයි.
377. (නිර්මිත බුද්ධ) භාග්‍යවතුන් වහන්ස, තෙල නිශ්චයෙන එසේමැයි. යම් ඒ මහණෙක් දැමුනේ මෙබඳු විහාර ඇත්තේ වේ ද, සියලුම සංයෝජනීය ධර්‍මයන් ඉක්මවූයේ වේ ද, හේ ලොව්හි සියල්ල මොනොවට හැරපියා යේ යැ යි.
සම්මාපරිබ්බාජනීය සූත්‍රය නිමි.
2. 14.
ධම්මික සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මික නම් උවසු පන්සියයක් උවසුවන් හා සමග භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හින. එකත්පස් වැ හුන් ධම්මික උපාසක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් දැන්වී ය.
378. මහාප්‍රාඥ වූ ගෞතමයන් වහන්ස, මුඹ වහන්සේ පුළුවුස්මි: යමෙක් ගෙන් නික්මැ සසුන් වදනේ හෝ වේ නම්, ගිහිගෙවැසි උවසුවෝ මැ හෝ වෙත් නම්, (මොවුනතුරෙහි) කිසෙයින් කරනුයේ (පිළිපදනේ) අනවද්‍ය ශ්‍රාවක් වේ ද?
379. මුඹ වහන්සේ ම සදේවක ලෝකයාගේ අධ්‍යාශය ගති (නොහොත් නිරයාදි පඤ්චගති) හා, නිෂ්පත්ති (නොහොත් පරිනිර්‍වාණය) හා දන්නාසේක. නිපුණාර්‍ත්‍ථදර්ශීවූ (මුඹ වහන්සේ හා) සදෘසයෙක් නො ද ඇත. මුඹ වහන්සේ මැ ප්‍රවර බුද්ධයහ’යි කියත්.
380. සව්සත්නට අනුකම්පා කෙරෙමින් මුඹ වහන්සේ ම හැම ඥේයධර්‍ම පිළිවිද දැන හැම නැණ හා සිවුසස්දම් වදහළසේක. සමතැස් මුනිඳුනි, පෙරැළු කෙලෙස් සෙවෙණි ඇතියාව, සව්ලොව්හි (රාගාදි මලාභාවයෙන්) විමල වූවහු බබළන්නහු යැ.
381. (මුඹ) කෙලෙස් දිනූහ’යි අසා එරාවණ නම් ඇත්දෙව් රජ ද මුඹ වහන්සේ වෙත ආයේ යැ. හෙ ද මුඹ වහන්සේ හා මන්ත්‍රණ කොට ප්‍රශ්නව්‍යාකරණ අසා මැනැව වහන්සැ’යි සතුටු ඇති වැ ගියේ යැ.
382. කුවේර නම් වෙසවුණු මහරජ දහම් පුළුවුස්මින් මුඹ වහන්සේ කරා එළඹෙයි. ධීරයන් වහන්ස, ඔහු විසිනුදු පැන පුළුවුස්නාලදුව මුඹ වහන්සේ දහම් දෙසන්නාහු යැ. හෙ ද ධර්‍මව්‍යාකරණ අසා තුටුසැහැවී ඇති විය.
383. ආජීවකයෝ වෙත්වයි, වැලිත් නිර්ග්‍රන්‍ථයෝ වෙත්වයි වාද කරණසුලු යම් මැ තීර්‍ත්‍ථකයෝ වෙත් නම්, එ හැම ගතිවිකලත්‍වයෙන් සිටිවනසිටි පුද්ගලයෙක් ශීඝ්‍රගාමී වැ යන්නකු (ඉක්මැනොයේ ද) එමෙන් ප්‍රඥාගතියෙන් නුඹ වහන්සේ ඉක්මැ නො යෙත්.
384. වාද කරණසුලු (චඞ්කී ආදී) කිසි බ්‍රාහ්මණයෝ වෙත්වයි (ආශ්වලායනාදි) යම්කිසි වෘද්ධ බ්‍රාහ්මණයෝ වෙත්වයි, (අපි) වාදියම්හ යි හඟනා වූත් අන්‍ය වූත් යම් කෙනෙක් වෙත් නම් උහු හැම මුඹ වහන්සේ කෙරෙහි මැ අර්‍ත්‍ථ විසින් බැඳුනාහි වෙත්.
385. භාග්‍යවතුන් වහන්ස, මුඹ වහන්සේ විසින් යම් බඳු මෙ සත්තිස් බෝධිපාක්‍ෂිකධර්‍මයෙක් සුදේශිත වේ නම්, සියුම් වූ මේ දහම ලොවි ලොවුතුරු සුව එළවනුයේත් වෙයි. අපි හැම දෙනමෝ එදහම් මැ අසනු කැමැත්තම්හ. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, (අප විසින්) පුළුවුස්නාලදසේක් එ දහම අපට වදාරණසේක්වා.
386. වැඩැහුන් මෙ හැම භික්‍ෂූහු ද එසෙයින් මැ ධර්‍මශ්‍රවණයට හුන් උපාසකයෝද සක්දෙව්රජහුගේ සුභාෂිතය දෙවියන් (අසනු) සෙයින් විමලයන් වහන්සේ විසින් අනුබුද්ධ වූ ධර්‍මය අසත්වා.
387. මහණෙනි, ක්ලේශධුනනය කරන්නා වූ මාගේ ප්‍රතිපත්තිධර්‍මය තොපට අස්වමි. හැමදෙන එය ධරව. හිතානුදර්ශී ප්‍රාඥ තෙමේ පැවිද්දනට අනුලොම් වූ ඒ චතුර්විධ ඊර්‍ය්‍යාපථය සෙවුනේ ය.
388. මහණ නොකල්හි ගම් නොවදනේ ය. සුදුසුකල්හි ම පිඬු සිඟායන්නේ ය. රාගාදි නොයෙක් සඞ්ගයෝ අකාලාචාරී මහණ වැළැඳගන්නාහ. එහෙයින් චතුස්සත්‍යබුද්ධ වූ ආර්‍ය්‍යපුද්ගලයෝ නොකල්හි ගම් නො වදනාහ.
389. රූප හා ශබ්ද හා රස හා ගන්‍ධ හා ස්පර්‍ශ යන යම් බාහිරායතන කෙනෙක් සත්ත්‍වයන් මදයට පමුණුවත් නම්, තෙල ධර්‍මයන්හි ඡන්‍දරාගය දුරු කොට හේ ප්‍රාතරාසස්ථානයට සුදුසු කල්හි වදනේය.
390. මහණ පෙරවරුයෙහි පිඬු ලබා හුදෙකලා වූයේ පෙර ලා අවුත් ස්කන්‍ධසන්තානය (ත්‍රිලක්‍ෂණයට නංවා) සිතනසුලුයේ රහෝගත ව හිඳිනේ ය. (රූපාදි) බැහැරි අරමුණෙහි සිත් නොයොදනේ ය. භාවනාරම්මණය කෙරෙහි මොනොවට ගිය සිත් ඇතිවන්නේ ය.
391. ඉදින් ඒ යෝගාවචර අන්තොටු සව්වකු හා වේවයි මෙ සස්නෙහි කිසියම් මහණකු හා සමග වේවයි සංලාප කෙරේ නම්, ඒ ප්‍රණීත වූ ධර්‍මය ම කියන්නේ ය. පෙහෙසුන් නො කියන්නේ ය. පරෝපවාද නො කියන්නේ ය.
392. ඇතැම් කෙනෙක් පරෝපවාද සඞ්ඛ්‍යාත විග්‍රාහික කථාවාදය විරුද්ධ කොට ගණිත්. අල්පප්‍රාඥ ඔවුන් නො පසසම්හ (කවර හෙයින් යත්:) එ එ වාදමාර්‍ගහේතුයෙන් වාදසඞ්ඝයෝ එ වාදීන් වැළැඳගනිත් ද එහෙයිනි, (කමටහනින්) චිත්තය දුරෙහි වේ ද එපරිදි ඔහුසිත පරෝපවාදයෙහි ලා මෙහෙයත්.
393. උත්තමප්‍රඥා ඇති ශ්‍රාවක නොහොත් වරප්‍රාඥවූ බුදුන්ගේ ශ්‍රාවක තෙම සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්‍මය අසා පිණ්ඩාපාත යැ, වෙහෙර යැ, හැඳපුටු යැ සඟලසිවුරෙහි රජස් දුරු කරණ ජලය යැ යන මේ දෑ ප්‍රත්‍යවේක්‍ෂා කොට සෙවුනේ ය.
394. එහෙයින් මැ පිඬුවායෙහි ද සෙනසුන්හි ද සඟළ සිවුරෙහි රජස් දෝනා දියෙහි ද යන තෙල චතුස්ප්‍රත්‍යයධර්‍මයන්හි පොකුරු පත්හි දියබිඳු සෙයින් මහණ නො ඇලුනේ වේ.
ගිහිවත:
395. යථාකාරී ගෘහස්ථශ්‍රාවක සත්පුරුෂ වේ නම්, එ ගිහිවත තොපට කියමි. තෙල පිරිපුන් මහණදම් (කෙත්වත් ඈ) පරිග්‍රහයෙන් යුත් ගිහියා විසින් ලබන්නට නොහැකි වෙයි.
396. ලොව්හි ස්ථාවර වූ යම් සත්ත්‍ව කෙනෙක් වෙත් නම්, යම් බඳු ජඞ්ගම සත්ත්‍ව කෙනෙක් වෙත් නම්, ඒ හැම සත්ත්‍වයන් කෙරෙහි දඬු බහාතබා පරපණ නො නසන්නේ ය, නො ද නස්වන්නේ ය, පරපණ නසන මෙරමාහට ද නො අනුදන්නේ ය.
397. ඉක්බිති ‘මේ පරාසතු දැයෙකැ’යි දන්නා ගිහි සවු (ගම්හි වේවයි වලැ වේවයි) කිසිදු තැනෙක්හි වූ ස්වල්ප හෝ බොහෝ වූ හෝ නුදුන් කිසිවක් නොගෙණ හරණේ ය. නො ද හැර ගන්වන්නේ ය. පැහැරගණුවනට නො ද අනුදන්නේ ය. එබඳු හැම අයිනාදන් හැරලන්නේ ය.
398. විඥශ්‍රාවක දිලියෙන අඟුරුවළක්සෙයින් අබ්‍රහ්මචර්‍ය්‍යාව දුරු කරන්නේ ය. (උඩත් පිරිසෙයින්) බ්‍රම්සර රැකිය නොහෙනුයේ පරදාරයන් කරා නො යන්නේය.
399. සභාවකට ගියේ වේවයි පිරිස්මැදට ගියේ හෝ වේවයි එකලා වූයේ ම එකකුහට මුසවා නො කියන්නේ ය. නො ද බණවන්නේ ය. බණනවුනට ද නො ද අනුදන්නේ ය. හැම අභූතය දුරලන්නේ ය.
400. ගෘහස්ථ තෙම මත්පැන් ද නො සෙවුනේ ය. යම් ගෘහස්ථයෙක් මේ මද්‍යපානවිරති ධර්‍මය රුස්නේ නම් මෙය උන්මාදනය ඇති කරවන්නෙකැයි දැන (අනුන් ලවා) නො ද පානය කරවන්නේ ය. බොනවුන්හට නො ද අනුදන්නේ ය.
401. මද හේතුයෙන් අඥයෝ පව් කෙරෙත්. අන් දනන් ද ප්‍රමත්ත කෙරෙත්. පරලොව්හි උමතු බව ඇති කරණ මෙලොව්හි මුළාව දනවන බාලයනට කාන්ත වූ තෙල අපුණ්‍යායතනය හැරලන්නේ ය.
402. ප්‍රාණඝාත නොකරන්නේ ය, අයිනාදන් නොගන්නේ ය, මුසවා නො බණන්නේ ය, මද්‍යප ද නො වන්නේ ය, මෙථූනසඞ්ඛ්‍යාත අබ්‍රම්සරින් වෙන් වන්නේ ය, විකාලභොජන සඞ්ඛ්‍යාත රාත්‍රිභෝජන නො වළඳනේ ය.
403. මල්දම් නො දරන්නේ ය. සුවඳවිලෙවුන් ගැල්වීම් නො ද කරන්නේ ය, කැපසරුප් පරිදි අතුළ කැප හැඳෙහි හෝ බිම්හි හෝ හෝනේ ය, වර්ත්තදුඃඛයාගේ අන්තයට ගිය බුදුරදුන් විසින් ප්‍රකාශිත වූ තෙල අෂ්ටාඞ්ගික වූ උපෝසථ යයි කියත්.
404. ඉක්බිති පහන් සිතැතියේ පක්‍ෂය පිළිබඳ චාතුද්දසී උපෝසථය ද පණ්ණරසී උපෝසථය ද අටඨමි උපෝසථය ද පාටිහාරිය පක්ඛ උපෝසථය ද සුපිරිපුන් කොට අටඟින් යුත් පෙහෙවස් වසවු.
405. ඉක්බිති විඥ ගිහිසවු විසූ පෙහෙවස් ඇතියේ පසුදින පූර්‍වභාගයෙහි පහන් සිතැත්තේ නරතුරු මෝදමාන වූයේ සුදුසුපරිද්දෙන් අහර පැනින් බික්සඟුන් වළඳවන්නේ ය.
406. ධර්‍මයෙන් ලත් භෝගයෙන් මාපියන් පුස්නේය. හෙ දැහැමි වණික්කර්‍ම කරන්නේ ය. අප්‍රමත්ත වූ ගිහිගේ වැසි තෙම තෙල වත පවත්නේ ස්වයම්ප්‍රභ නම් වූ (කාමාවචර සදෙව්ලෝ වැසි) දෙවියන් කරා (උපත් විසින්) එළඹෙන්නේ යයි.
තුදුස්වැනි ධම්මික සූත්‍රය නිමි.
දෙවැනි චුල්ල වර්‍ගයයි.
එහි උද්දානය:
රතන සූත්‍ර යැ, ආමගන්‍ධ සූත්‍ර යැ, හිරි සූත්‍ර යැ, සුචිලෝම සූත්‍ර යැ, කපිල සූත්‍ර යැ, යළි බ්‍රාහ්මණ ධම්මික සූත්‍ර යැ, ධම්ම (නාවා) සූත්‍ර යැ, කිංසීල සූත්‍ර යැ, උට්ඨාන සූත්‍ර යැ, යළි රාහුල සූත්‍ර යැ, නිග්‍රෝධකප්ප (වඞ්ගීස) සූත්‍ර යැ, සම්මාපරිබ්බාජනීය සූත්‍ර යැ, යළි අන්‍ය වූ ධම්මික සූත්‍ර යැ තෙල තුදුස් සූත්‍රයෝ ‘චුල්ලවග්ග’ යි කියනු ලැබේ.
3. මහා වර්‍ගය
3. 1.
පබ්බජ්ජා සූත්‍රය
407. ඒ පසැස් ඇති සම්බුදුරජානන් වහන්සේ ගෘහවාසයෙහි ආදීනව හා ප්‍රව්‍රජ්‍යායෙහි අනුසස් විමසන සේක් යම්පරිදි පැවිද්දක් කැමති වූ සේක් නම් යම් පරිද්දෙකින් පැවිදිවූසේක් නම් ඒ ප්‍රව්‍රජ්‍යාව කීර්‍තනය කරන්නෙමි.
408. ‘මෙ ගෘහවාසය (කුශල ක්‍රියාවට) සම්බාධ යැ. රාගාදි ක්ලේශයනට උත්පත්ති දේශයෙකැ’ යි ද ප්‍රව්‍රජ්‍යාවේඅබවසය’යි ද මෙසෙයින් දැන පැවිදි වූහ.
409. පැවිද්ද ගෙණ කයින් ත්‍රිවිධ දුශ්චරිත දුරැලූහ. චතුර්විධ වාග්දුශ්චරිතය හැරැපියා ආජීවපාරිශුද්ධිය පැවැත් වූහ.
410. බුදුහු මගධයන්ගේ ගිරිව්‍රජ නම්වූ රාජගෘහ නගරයට වැඩියහ. ආකීර්‍ණ වූ උත්තම මහාපුරුෂ ලක්‍ෂණයෙන් සමන්‍වාගත වූසේක් පිඬුවා සඳහා සැරිසැරූහ.
411. බිම්බිසාර රජ පහයෙහි සිටියේ උන්වහන්සේ දිටී. මහපුරිස් ලකුණින් සමන්‍වාගත ඔවුන් දැක මෙ අරුත් බිණිය.
412. භවත්නි, මෙ පුඟුල් බලවු (හෙ දැකුම් කලු අඟ පසඟ ඇති හෙයින්) අභිරූප වූයේ ආරෝහපරිණාහ සම්පන්න වූයේ පිවිතුරු සිවිපැහැ ඇතියේ යැ. චරණයෙනුදු යුතු වූයේ යුගමාත්‍රයක් මැ බලනු වෙයි.
413. යටැ හෙලූ ඇස් ඇතියේ ස්මෘතිමත් මෙතෙම නීචකුලෙන් නික්මැ පැවිද්දකු බඳු නොවේ. රාජදූතයෝ වෙළෙවිවැ යෙත්වා, මහණ කොහි යේ ද?
414. අණවනලද එ රාජදුතයෝ ‘මහණ කොහියේද? කොහි උහුගේ වාසය වන්නේදැ’යි පිටුපසින් ලුහුබැඳියහ.
415. පියූ දොර ඇතියේ (ඉන්‍ද්‍රියසංවරයෙන් මොනොවට සංවෘත වූයේ) ගෙපිළිවෙළ නොකඩ කොටැ සැරිසරමින් මනා නුවණැතියේ එළඹ සිටි සිහි ඇතියේ වහා පාත්‍රය පිරැවියැ.
416. ඒ මුනි පිණ්ඩවාරය කොට නුවරින් නික්මැ ‘මෙහි වාසය වන්නේ’ යි පාණ්ඩව පර්‍වතය කරා ගියේයැ.
417.එක්බිති වාසෝපගත වූවහු දැකැ රාජදූතයෝ වෙතැ පැමිණියහ. එක්දූතයෙක් පැමිණ රජුට දැන්වීයැ.
418. මහරජාණෙනි, තෙල මහණ පාණ්ඩව පර්‍වතයාගේ පැදුන්දික්හි ගිරිගුහායෙහි ව්‍යාඝ්‍රයෙකු හා වෘෂභරාජයෙකු හා සිංහරාජයෙකු හා බදු ව හින.
419. රාජදූතයන් ගේ බස් අසා රජතෙමේ භද්‍රයානයෙන් අනලස් සැහැවි ඇතියේ පාණ්ඩව පර්‍වතය කරා නික්මැ ගියේ යැ.
420. ඒ රජතෙමේ යානභූමිය තාක් ගොස් යානයෙන් බැසැ පියගමන් ඇතියේ එළැඹැ ඒ තවුසන් වෙතැ එළැඹැ හින.
421. එක්බිති රජ (උන් හා) සතුටු වියැ. හේ සිහි කළමනා කථාකොට නිමවා මේ පවත් කීයැ.
422. නවයොවුනෙහි උපතින් තුරුණුයෙහි පළමු උපතින් ලදරුයෙහි වර්‍ණයෙන් හා ආරෝහසම්පත්තියෙන් සපන්හී ක්‍ෂත්‍රිය ජාතිඇතියකු බන්දෙහි.
423. කැමති තාක් භොග දෙමි. බලකාය හොබවමින් ඇත්සෙනඟින් පිරිවරණලදුයේ භෝගසුඛ වළඳව. (මාවිසින්) විචාරණ ලදුයෙහි ජාතිය ද කියව”යි.
424. මහරජ, ඉදිරි හිමවත් පස්හි ධනයෙන් හා වීර්‍ය්‍යයෙන් සපන්වූ කෝසල ජනපදයෙහි ආදිකාලයෙහි සිටැ අන්‍වයාගත මහරජහුගේ ජනපදයෙක් වෙයි.
425. ඔහු ගෝත්‍ර විසින් ආදිත්‍ය නම් ද ජාතියෙන් ශාක්‍ය නම් ද වෙති. මහරජ, මම ඒ කුලෙන් පැවිදි වූයෙම් කාමයන් පතනුයෙම් නොවෙමි.
426. වස්තුකාමක්ලේශකාමයන්හි ආදීනව දැකැ පැවිද්ද (හෝ නිවණ) ක්‍ෂේම විසින් දැකැ ප්‍රධන් වීර්‍ය්‍යය සඳහා යන්නෙමි. මෙ ප්‍රධන් වීර්‍ය්‍යයෙහි මාගේ සිත රැඳුනේ යි.
පබ්බජ්ජා සූත්‍රය නිමි.
3. 2.
පධාන සූත්‍රය
427. නිල්දලා හෝ තෙරැ (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) යෝගක්‍ෂේමාධිගමය සඳහා විශේෂපරාක්‍රම කොට අප්‍රාණකධ්‍යානයෙහි යෙදුනු (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ප්‍රධානයෙහි මෙහෙයූ සිත් හෙවත් පරිත්‍යක්ත ආත්මභාවය ඇති මා කරා
428. වසවත්මරදෙව්පිත් කුළුණුබර තෙපුල් කියමින් එළැඹියේ යැ: තෙපි වැහැරි වවු, දුරුවර්‍ණ වවු, දැන් මරණය තොප හමුයෙහි වේ.
429. තොප ගේ මරණයට සහස්‍රභාගයෙන් යුත් ප්‍රත්‍යය වෙයි. තොපගේ ජීවිතය ඒකාංශ ඇතියෙකි. භවත්නි, ජීවත් වවු. ජීවිතය උතුමි. ජීවත්වනුවෝ පින් කරන්නාහු.
430. (මෙථුන විරති සඞ්ඛ්‍යාත) බ්‍රහ්මචර්‍ය්‍යය රක්නා අග්නි හෝම හා කරණ තොපට බොහෝ පින් රැස් වේ. ප්‍රධන්වීර්‍ය්‍යයෙන් කම් කරනු වහු?
431. ප්‍රධාන (නිර්‍වාණ) ය සඳහා වූ මාර්‍ගය දුර්‍ගම යැ, දුෂ්කර යැ, නො ලැබිය හෙයි. මෙ ගාථා කියමින් මරදෙව්පිත්, බුදුරදුන් හමුයෙහි සිටියේ යැ.
432. එසෙයින් කියන ඒ මරහට භාග්‍යවත්හු තෙල වදන් කීහු. ප්‍රමත්තයන් ගේ යහළු වූ පාපිෂ්ඨය, යම් අර්‍ත්‍ථයෙකින් මෙහි ආයෙහි ද (එය මම දනිමි.)
433. අණුමාත්‍ර වූ ද, (වර්‍තගාමි) පුණ්‍යයකින් මට අර්‍ත්‍ථයෙක් නැත. යමකුන් හට පුණ්‍යයන් පිළිබඳ අර්‍ත්‍ථයෙක් වේ නම් මරදෙව් ඔවුනට කියනට නිස්සේ යැ.
434. මට (ශාන්තිවරපදය කෙරෙහි ඔකප්පන) ශ්‍රද්ධා ඇත, එසෙයින් ම (පරාක්‍රම සඞ්ඛ්‍යාත) වැර ද ඇත. මට වජ්‍රෝපම ප්‍රඥා ද ඇත. මෙසෙයින් නිවන් කරා යොමු කළ සිත් ඇති මා කවර හෙයින් “දිවි රකුවයි” අනුපෘච්ඡා කෙරෙහි ද?
435. (අප්‍රාණකධ්‍යානයෙන් සමුත්‍ථිත වූ) මාගේ, මෙ ශරීරවාතය නදීස්‍රෝතස් නමුදු වියළන්නේ යැ, ප්‍රහිතාත්ම වූ මාගේ ලෙහෙ කිම නො වියළන්නේ ද?
436. ලෙහෙ වියැළෙත් මැ පිත් හා සෙමුදු වියැළෙයි. මාංසය ක්‍ෂීණ වත් මැ බෙහෙවින් සිත් පහන් වන්නේ යැ. බෙහෙවින් මාගේ ස්මෘති හා ප්‍රඥා හා සමාධි හා සිටුනේ යි.
437. මෙ නයින් වෙසෙන උත්තම වේදනාවට පත් ඒ මාගේ චිත්තය උභය කාමයන් අපේක්‍ෂා නො කෙරෙයි. සත්ත්‍වයකුගේ පාරිශුද්ධත්‍වය බලව.
438. ක්ලේශකාමයෝ තාගේ ප්‍රථමසේනා යැ (අධිකුශලධර්‍මයන්හි) අරතිය ද්විතීයසෙනා යි කියනු ලැබේ. ක්‍ෂුත්පිපාසා දෙක තාගේ තෘතීය සේනා යැ, පර්‍ය්‍යෙෂණ තෘෂ්ණාව තාගේ සතරවන යයි කියනු ලැබේ.
439. තාගේ පස්වන සෙනඟ ථිනමිද්ධය වෙයි. සවන සෙනඟ (උත්‍රාසසඞ්ඛ්‍යාත) බියයි කියනු ලැබේ. තාගේ සප්තම සේනාව විචිකිත්සා නමු, තාගේ අටවැනි සෙනඟ මකුබව හා තදබව යි.
440. ලාභ යැ ප්‍රශංසා යැ සත්කාර වැ යි කියනලද යම් යශසෙක් වේ නම් එ ද, යමෙකුත් තමා හුවා දක්වා නම්, මෙරමාත් හෙලා දක්නේ නම්,
441. නමුවිය, කෘෂ්ණ වූ තාගේ (මහණ බමුණනට) අන්තරායකර වූ තෙල සේනා වෙයි. අශූර පුරුෂ ඒ සේනාව නො දිනය (ශූරපුරුෂ වැලිත් මරයෙන්) දිනා (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) සුවයට පැමිණෙයි.
442. යුදෙහි නො පසු බස්නා බව හඟවනු විසින් තෙල මම මුදුතණ පරිහරණ කරන්නෙමි. (තගේ සේනාව විසින් පරදවන ලද හොත්) ඒ මාගේ දිවියට නින්‍දා වේවා, යම් හෙයකින් පරාජිත වැ ජීවත් වෙම් නම් (එයට වඩා) සමර බිම්හි මට මරණ උතුමි.