භවත් ගෞතමයන් වහන්ස, මෙ කල්හි බමුණෝ පැරණි බමුණන්ගේ බමුණු දහම්හි පැණෙත් දැ යි?
බ්‍රාහ්මණයෙනි, මෙකල්හි බමුණෝ පැරැණි බමුණන්ගේ බමුණු දම්හි නො පැණෙත් මැ යි.
ඉදින් භවත් ගෞතමයන් වහන්සේට නො බර නම්, භවත් ගෞතමයන් වහන්සේ අපට පැරැණි බමුණන්ගේ බමුණු දහම් වදාරණසේක් නම් මැනැවි.
බමුණනි, එසේනම් අසවු, මොනොවට මෙනෙහි කරවු. දෙසන්නෙමි.
“භවත්නි, එසේය” යි ඒ බමුණු මහසල්හු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණු වදාළ සේක.
286. (සීලසංයමයෙන්) සංයත වූ (ඉන්‍ද්‍රිය සංවරයන්) තපස්වී වූ පැරණි ඍෂිවරු වූහ. ඔහු පස්කම් ගුණ හැර දමා (මන්ත්‍රාධ්‍යානයබ්‍රහ්මවිහාර භාවනාදී) ආත්මාර්‍ත්‍ථයෙහි හැසුරුණාහ.
287. (පැරණි) බමුණනට සිවුපාවෝ නො වූහ. අමුරන් ද නො වීය. ධාන්‍ය ද නො වීය. ස්වකීය මන්ත්‍රාධ්‍යයනය කොට ඇති වූහ. (මෙත්තා කරුණාදී) බ්‍රහ්මනිධිය රැකියහ.
288. ඔවුන් උදෙසා යම් බතක් පිළියෙළ කරන ලද්දේ දොරටුවෙහි එළවා තබන ලද වී ද, එය සැදැහැයෙන් පිළියෙළ කරණ ලද, පිඬු සොයනවුනට දීම සඳහා ය යි (මිනිස්සු) සිතූහ.
289. (උපකරණයෙන්) සමෘද්ධ වූ ඒ දනවු රටවැස්සෝ ද නන් පැහැයෙන් රඳනා ලද වතින් ද සයනාසනයන්ගෙන් හා ආවාසයන්ගෙන් ද (පුදමින්) බමුණන් නැමදූහ.
290. බමුණෝ, අවධ්‍ය හා නොදිනිය යුතු හා දහමින් රක්නාලද්දාහු හා වූහ. හැම කැලදොරටුවෙක්හි කිසිවෙක් කිසි ලෙසෙකිනුදු ඔවුන් නො වැළැක්වූහ.
291. ඔවුහු අටසාළිස්වසක් කුමර බඹසර වුසූහ. පෙර බමුණෝ විද්‍යාධ්‍යයනය හා සිල් රැකීම ද කළහ.
292. බමුණෝ පරඹුන් වෙත නො ගියහ. ඔවුහු අඹුවන් මිළට නොගත්හ. අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් සමග සංවාසය මැ කැමැති වූහ.
293. බමුණෝ නියමිත ඍතුකාලයෙහ් මුත් ඍතුවෙන් මිදුනු අඹුව වෙත අතරතුර මෙවුන්දමට නො ගියහ.
294. (ඔහු) (මෛථුන විරතිසඞ්ඛ්‍යාත) බඹසර ද (සෙසු සිකපද සතර වූ) ශීලය ද ඍජුබව ද මෘදු බව ද (ඉන්‍ද්‍රියසංවරසඞ්ඛ්‍යාත) තපස ද (නොපිළිකුල් හැසිරීම වූ) සුරතබව ද (කරුණාපූර්‍වභාගය වූ) අවිහිංසාව ද (අධිවාසන්ක්‍ෂාන්තිය වූ) ඉවසීම ද වැණූහ.
295. ඔවුනට ශ්‍රේෂ්ඨ වූ දෘඪපරාක්‍රම ඇති යම් ඒ බ්‍රහ්මයෙක් වී ද හේත් සිහිනෙනුදු මෙවුන්දමට නො ගියේ ය.
296. මෙලොව්හි ඔහුගේ ව්‍රතය අනුව හික්මෙන්නා වූ ඇතැම් නුවණැත්තෝ බඹසර ශීලය ද ක්‍ෂාන්තිය ද වැණූහ.
297. සහල්ද යහන් ද වත් ද ගිතෙල් ද තලතෙල් ද යැද දැහැමින් රැස් කොට එයින් ඔවුහු (දානසඞ්ඛ්‍යාත) යාග කළහ. යාගයක් එළැඹි කල්හි ඔවුහු ගෙරින් පුමුඛ ප්‍රාණීන් නො වැනසූහ.
298. මවු ද පියා ද බෑයා ද අන් නෑයෝ ද යම්බඳු වෙත් නම්, එසෙයින් යමකුන් තුළ ඔසු හටගණී නම්, ඒ ගවයෝ අපගේ පරම මිතුරෝ වෙති.
299. මේ ගවයෝ වනාහි ආහාර දෙන්නෝ ද බල දානය කරන්නෝ ද වර්‍ණය දෙන්නාහු ද එසේම සැප දෙන්නාහු ද වෙති. මෙකරුණ දැන ඔහු ගෙරින් නො වැනසූහ.
300. සිවුමැලි වූ ද (ආරෝහ පරිණාහ සඞ්ඛ්‍යාත) මහ සිරුරු ඇත්තාවූ ද (රන්වන් සටහන් ඇති හෙයින්) පැහැපත් වූ ද, (ලාභ පරිවාර සඞ්ඛ්‍යාත) සම්පත් ඇත්තාවූ ද, කටයුතු නො කටයුතු දෙක්හි උත්සාහවත් වූ ද බමුණෝ සිය (සිරිත්) දහමින් යම්තාක් ලොව්හි පැවැතියාහු නම්, ඒ තාක් මේ (බ්‍රාහ්මණ) ප්‍රජාව සැපයට පත් වූය.
301-302. අතිශයින් ස්වල්පමාත්‍ර වූ පස්කම්ගුණ ද රජුන්ගේ සම්පත්තිය ද මොනොවට සැරහුනු ස්ත්‍රීන් ද ආජානීය අසුන් යෙදූ මොනොවට කරණලද විසිතුරු මැහුම් ඇති රිය ද කොටස් විසින් මැනැ බෙදූ නිවෙස් ද, දැක ඔවුන්ගේ විපර්‍ය්‍යාසය වීය.
303. ගවරැලින් ගැවසීගත් උතුම් ස්ත්‍රීසමූහයාගෙන් යුක්ත වූ මහත් වූ මනුෂ්‍ය භෝගසම්පත් පතමින් බමුණෝ බෙහෙවින් අභිධ්‍යා කළහ.
304. ඒ නිමිති කොට ඔහු (ඒ බමුණෝ) වේදමන්ත්‍ර ගොතා ඒ ඔක්කාක රජු වෙත එළැඹියහ. (යුෂ්මතා අනාගතයෙහි) බොහෝ ධනධාන්‍ය ඇත්තෙක් වන්නෙහි, යුෂ්මත්හුගේ බොහෝ වූ වස්තුව දානවිෂයෙහි යොදන්න. යුෂ්මත්හුගේ මහත්වූ ධනය දාන විෂයෙහි යොදන්න.
305. ඉන්පසු බමුණන් විසින් කරුණු ගන්වන ලද මහාරථි වූ රජ අශ්වමේධය ද පුරුෂමේධය ද සම්මාපාසය ද, වාජපෙය්‍යය ද නිරග්ගලය ද යන මේ යාගයන් යැද බමුණනට ධනය දුන්නේය.
306-307. ගවයන් ද යහන් ද වත් ද මොනොවට සරසන ලද ස්ත්‍රීන් ද මොනොවට පිළියෙළ කරණලද විසිතුරු පලස් ආජානීය අසුන් යෙදූ රිය ද මොනොවට කොටස් විසින් බෙදන ලද මනරම් නිවෙස් ද නොයෙක් ධාන්‍යයෙන් පුරවා බමුණනට වස්තුව දින.
308. එහිදී ඔහු ධන ද ලැබ වස්තු සන්නිධිය (රැස්කාට තැබීම) රුචිකළාහු ය. ආශාවට බටුවාවු ඔවුනට තෘෂ්ණාව බෙහෙවින් වැඩුනී ය. ඔවුහු එහිදී මතුරු ගොතා ඔකාවස් රජු වෙත යලිදු එළැඹියහ.
309. ජලය හා පෘථිවියද අමුරන් හා ධන ධාන්‍ය ද යම්බඳු වේ නම් මිනිස්නට ගවයෝ ද එබඳු වෙති, ඒ වනාහි ප්‍රාණීනට ජීවනෝපකරණයෙකි. යුෂ්මතාගේ බොහෝ වූ වස්තුව යාගයෙහි යොදව, යුෂ්මතාගේ බොහෝ වූ ධනය දන් දෙව යි කීහ.
310. එවිට ද බමුණන් විසින් කරුණු ගන්වනලද මහාරථි වූ රජ තවත් නොයෙක් සියදහස්ගණන් ගෙරින් යඥ සඳහා නැසී ය.
311. කළ පුරා දොවන හීලෑ වූ එළුවන් බඳු වු ගව දෙන්නු පයිනු දු අඟනුදු අන්කිසිවකිනුදු අනුන් නො පෙළත් ම ය. රජ ඔවුන් හඟෙහි ගෙණ සැතින් පැහැරැ මැරී ය.
312. එ කල්හි දෙවියෝ ද බ්‍රහ්මයෝ ද ඉන්‍ද්‍රයා ද අසුරරාක්‍ෂසයෝ ද “යම් හෙයෙකින් ගවයා කෙරෙහි සැත් හෙළී (මැරී) ද එහෙයින් අධර්‍මය උපනැ”යි හැඬූහ.
313. පූර්‍වයෙහි ආශා යැ කුසගින්න යැ ජරා යැ යන රෝග තිදෙනෙක් ම වූහ, පශුවධය හේතු කොට ගෙණ ( ඒ තුණ) අටුඅනුවකට පැමිණියේ ය.
314. නිදොස් ගවදෙනුන් මරත් ය. යන යමෙක් ඇද්ද, යාගකරන්නෝ යමක් හේතු කොට ගෙන දැහැමින් පිරිහෙත් ද ඒ මේ පැරණි අධර්‍මය දඬුවම්වලට (හෙවත් තුන් කායදුශ්චරිතයනට) ඇතුළත් එකෙක් විය.
315. යම් යාගයෙක්හි ජනයා මෙසේ (ගෝඝාතක) යාජකයකු දක්නේ ද, ගරහන්නේ ද, මේ පැරණි ලාමකධර්‍මය මෙසේ නුවණැත්තන් විසින් ගරහන ලද්දේ වේ.
316-317. මෙසේ බමුණුදහම පෙරළුනු කල්හි ශුද්‍ර-වෛශ්‍යයෝ ද බෙහෙවින් බෙදුනහ. බොහෝ ක්‍ෂත්‍රියයෝ ද බෙදී ගියහ. බිරිය හිමියා හෙළා දුටුවාය. ක්‍ෂත්‍රියයෝ ද බ්‍රාහ්මණයෝ ද සෙසු කුලගොත් රක්නාහු ද ජතිවාදය නො සලකා කාමයන්ගේ වශයට ගියහ.
මෙසේ වදාළ කල්හි ඒ බමුණූමහසල්හු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළාහුය: “භවත් ගෞතමයන් වහන්ස, යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වස්ත්‍ර ලද්දක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මග කියන්නේ හෝ “ඇස් ඇත්තෝ රූ දකින්නාහුය”යි අඳුරෙහි තෙල් පහනක් දරන්නෝ හෝ යම්සේ නම් එසෙයින්ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දදේය, මේ අපි භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අප අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුන් කොට දරණ සේක්වා!
බ්‍රාහ්මණධම්මික සූත්‍රය නිමි.
2. 8.
ධම්ම (නාවා) සූත්‍රය
318. යම් පුද්ගලයකු වෙතින් පුරුෂ (පර්‍ය්‍යාප්තිප්‍රතිපත්ති) ධර්‍මය දැනගන්නේ ද, දෙවියන් ඉන්‍ද්‍රයා මෙන් හේ ඔහු පුදන්නේය. බහුශ්‍රුත වූ හේ පුදනලද්දේ ඔහු කෙරෙහි පහන් සිත් ඇත්තේ ධර්‍මය පාළ කෙරෙයි.
319. යමෙක් නො පමාවූයේ එබන්දකු ඇසුරු කෙරේ ද, ධර්‍මානුධර්‍මය පිළිපදනා ඒ ධීර තෙම අර්‍ත්‍ථවත් කොට අසා ප්‍රඥාවත් වූයේ පරහට ඉගැන්වීමෙහි සමත් වූයේ සූක්‍ෂමාර්‍ත්‍ථ වටහා ගැනීමෙහි නිපුණ ද වේ.
320. ක්‍ෂුද්‍රකායකර්‍මාදියෙන් යුක්ත වූ ප්‍රඥා නැති නොලද පර්‍ය්‍යාප්ති ප්‍රතිවේධාර්‍ත්‍ථ ඇති (අතැවැසියාගේ දියුණුවෙහි) ඊර්‍ෂ්‍යා කරණ සුලු ඇදුරකු සෙවුනා තැනැත්තේ (පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති) ධර්‍මය නො දැන නො ඉක්මවූ සැක ඇත්තේ මරණයට පැමිණේ.
321. ඒ මිනිස් මහදිය ඇති, ඔබමොබ පැතුරුණු සැඩ දියපහර ඇති, නදියකට බැස ගසාගෙණ යනු ලබන්නේ යම්සේ දිය වැල අනුව යන සුලු වේ ද, කිම, හේ මෙරමා එතෙර කරවීමට හැකි වේ ද?
322. එලෙසින්ම ධර්‍මය නොදැන බහුශ්‍රැතයන්ගේ අර්‍ත්‍ථය ද නො අසා පහකළ සැක නැත්තේ, තෙමේත් නො දන්නා හේ කිම, මෙරමාහට අරුත් දක්වන්නට (උගන්වන්නට) හැකි වේ ද?
323. යම්සේ හබලින් හා රිටින් යුත් ඒ නැවි තෙමේ දැඩි ව නැවට නැගී ඒ නාවුකෝපායය දන්නේ දක්‍ෂ වූයේ (උපන් උවදුරට පිළියම් කිරීම) දන්නා නුවණැත්තේ එහි බොහෝ අන් මිනිසුන් ද එතෙර කරවා ද,
324. එසේ ම යමෙක් බහුශැත වූයේ සිවුවන් නුවණින් නිවනට පැමිණියේ බැවු සිත් ඇත්තේ (අටලෝ දහමින්) නො සැලෙන සැහැවි ඇත්තේ වේ ද, හෙතෙමේ ම සවන් යොමු කිරීමෙන් හා මාර්‍ගඵලෝපනිඃශ්‍රයෙන් යුක්ත වූයේ අන් ජනයා හට දහම් දක්වෙන්නේය.
325. එහෙයින් ඒකාන්තයෙන් නුවණැත්තාවූ ද බහුශ්‍රුත වූ ද සත්පුරුෂයෙකු භජනය කරන්නේ ය. දත්දහම් ඇති හෙ තෙමේ අර්‍ත්‍ථය දැන පිළිපදනේ ලොවුතුරු සැප ලබන්නේ යි.
ධම්ම (නාවා)සූත්‍රය නිමි.
2. 9.
කිංසීල සූත්‍රය
326. කෙබඳු චාරිත්‍රශීලයෙකින් සමන්‍විත වූයේ කෙබඳු චාරිත්‍රශීලයක් ඇත්තේ කවර කායකර්‍මාදියක් වඩන්නේ පුරුෂ තෙමේ මොනොවට සස්නෙහි පිහිටියේ වන්නේ ද උත්තමාර්‍ත්‍ථයට (අර්‍හත්‍වයට) පැමිණෙන්නේ ද?
327. (ගුණ-ප්‍රඥාදෙකින්) වැඩීසිටියවුන් පුදන්නේ (ඔවුන්ගේ ලාභාදියෙහි) ඊර්‍ෂ්‍යා නැත්තෙක් වන්නේ ය. ගුරුන් දැකීමට සුදුසු කල් දන්නෙක් වන්නේ ය. (ධර්‍මකථා) ක්‍ෂණය දන්නේ දෙසන ලද (සමථ විපස්සනාවෙන් යුත්) දැහැමි කථාව ද (අනෙකුදු) සුභාෂිතයන් ද සකසා අසන්නේ ය.
328. තදබව (මානය) වනසා දමා යටහත් පැවතුම් ඇත්තේ සුදුසු කල්හි ගුරුන් වෙත යන්නේ ය. භාෂිතාර්‍ත්‍ථය ද පාළිධර්‍මය ද ශීලය ද ශාසනබ්‍රහ්මචර්‍ය්‍යය ද අනුස්මරණය කරන්නේ ය. පුරුදු ද කරන්නේ ය.
329. (ශමථ විදර්‍ශනා) ධර්‍මයෙහි රැඳුනේ (එම) ධර්‍මයෙහි ම නියැලුනේ ධර්‍මයෙහි පිහිටියේ (උදයඤාණ වයඤාණ විසින්) ධර්‍ම විනිශ්චය දන්නේ (සමථ විපස්සනා)ධර්‍මය කිලිටිකරණ කථා නො ම පුරුදු කරන්නේ ය. සත්‍ය වූ සුභාෂිතවලින් කල් ගත කරන්නේ ය.
330. පහකළ (ආරෝග්‍යමදාදි) මද ඇත්තේ (චිත්ත වික්‍ෂේප නැති හෙයින්) පිහිටි සිත් ඇත්තේ සිනාව ද නිසරු තෙපුල් ද (ඥාතිව්‍යසනාදියෙහි) වැලපීම ද මනඃප්‍රදෝෂය ද (රවටනාබව වන) මායාව ද (ත්‍රිවිධ) කොහොන ද (සිවුපසයෙහි) ගිජුබව ද (ජාතිමානාදි) මානය ද (කරණෝත්තරියකරණ සඞ්ඛ්‍යාත) සාරම්භය ද, පරොස්බස් කියන බව ද, (රාගාදි) කසට ද (අධිකතෘෂ්ණා සඞ්ඛ්‍යාත) මූර්ඡාව ද හැරදමා හැසිරෙන්නේ ය.
331. යම් පුරුෂයෙක් (රාගාදියෙන්) සැහැසි වූයේ (කුසල්දම් නොවඩනා හෙයින්) පමා වූයේ වේ ද, ඔහුට (සමථවිපස්සනා යි කියන ලද) සුභාෂිතයෝ දැනීම හර කොට ඇත්තාහු වෙති. ශ්‍රැතමය ඥානය ද දන්නාලද සමාධිය සාරය කොට ඇත්තේ වෙයි. ඔහුගේ ශ්‍රැතය ද ප්‍රඥාව ද නො වැඩේ.
332. යමෙක් තුමූ බුද්ධාදි ආර්‍ය්‍යයන් විසින් දෙසන ලද ශමථ විදර්‍ශනා ධර්‍මයෙහි වචසින් මනසින් හා කර්‍මයෙන් ඇලුනාහු වෙත් ද ඔහු අනුත්තර වෙති. නිර්‍වාණ නමැති ශාන්තිය අරමුණු කොට ඇති මාර්‍ග ප්‍රඥාවෙහි හා මාර්‍ගසමාධියෙහි පිහිටියා වූ ඔහු ශ්‍රැතයාගේ හා ප්‍රඥාවේ සාරය වූ අර්‍හත්ඵල විමුක්තිය ලැබුවාහු ය.
කිංසීල සූත්‍රය නිමි.
2. 10.
උට්ඨාන සූත්‍රය
333. (අලස බැවින්) නැගී සිටිවු, (පළක් බැඳ කර්‍මස්ථානානුයෝගය සඳහා) හිඳිවු, තොපට නින්දෙන් කවරැ අර්‍ත්‍ථයෙක් ද? හුලින් විදිනා ලදුව පෙළෙන ආතුරයනට කවර නින්දෙක් ද?
334. නැගී සිටිවු, හිඳගණිවු, (නිර්‍වාණ) ශාන්තිය පිණිස දැඩිව හික්මෙවු. තොප පමාවූවන් දැන වසගයන් කොට මරරද නහමක් මුළාකෙරේවා !
335. යම් තෘෂ්ණාවක් හේතුකොට ගෙණ (රූප ශබ්ද ආදිය) අර්‍ත්‍ථකොට ඇති දෙවියෝ ද, මිනිස්සු ද, (ඒ රූපාදි) අරමුණු ඇසුරු කොට සිටිද්ද, (නන් අරමුණුවල විසිර පවත්නා හෙයින්) විසත්තිකා නම් වූ ඒ තෘෂ්ණාව තරණය කරවු. (මේ මහණ පිරීමේ) මොහොත තොප නහමක් ඉක්ම යේවා! ක්‍ෂ්ණය ඉක්ම වූවාහු නිරයෙහි පිහිටියාහු ශෝක කෙරෙත් මය.
336. (ස්මෘති විප්‍රවාස සඞ්ඛ්‍යාත) ප්‍රමාදය රජසෙකි. ප්‍රමාදයෙන් යලි යලි උපන් ප්‍රමාදය ද රජසෙකි. අප්‍රමාදයෙන් ද, (ආශ්‍රවක්‍ෂයඥාන සඞ්ඛ්‍යාත) විද්‍යාවෙන් ද තමාගේ (රාගාදි පඤ්චවිධ) හුල උදුරා ලන්නේය.
උට්ඨාන සූත්‍රය නිමි.
2. 11.
රාහුල සූත්‍රය
337. කිම නිතර සමඟ විසීම් හේතුයෙන් තෙපි පණ්ඩිත වූ (සැරියුත්) තෙරුනට අවමන් නො කරවු ද? මිනිසුනට නැණ පහන දල්වන්නේ කිම, තොප විසින් පුදන ලදුයේ ද?
338. නිතර සමඟ විසීම් හේතුවෙන් (ඒ) පණ්ඩිතයන් වහන්සේට අවමන් නොකරමි, මිනිසුනට නැණ පහන දල්වන ඔබ මා විසින් නිතර පුදන ලද්දාහු වෙත්.
වතථූගාථා යි.
339. ප්‍රියස්වරූප වූ මනරම් පස්කම් ගුණ හැරපියා සැදැහැයෙන් ගිහිගෙන් නික්ම දුක් කෙළවර කරනුයේ වව.
340. කලණමිතුරන් ද ජනශූන්‍ය වූ මහජනහඬින් තොර වූ ප්‍රාන්ත සෙනසුන් ද ඇසුරු කරව.
341. සිවුරෙහි ද පිණ්ඩපාතයෙහි ද ගිලන්පසයෙහි ද සෙනෙසුන්හි ද යන මෙහි නහමක් තෘෂ්ණා කරව, වැලිත් ලෝකයට (උපත් විසින්) නහමක් පැමිණෙව.
342. ප්‍රාතිමෝක්‍ෂසංවරශීලයෙහිද පඤ්චෙන්‍ද්‍රියයන්හිද සංවෘත වව. තොප සිත්හි කාගියා සී වේවා! නිර්වේදය බහුල කොට ඇතියෙක් වව,
343. ශුභ වූ රාගය අසුරු කළ නිමිත්ත දුරලව, අශුභ භාවනායෙහි එකඟ වූ මොනොවට පිහිටි සිත වඩව.
344. (නිත්‍ය නිමිති රහිත බැවින්) අනිමිත්ත වූ විදර්‍ශනා භාවනාව වඩව. මානානුසය රහත්මගින් දුර ලව. ඉක්බිති මානයාගේ ව්‍යපශමයෙන් උපශාන්ත වූයේ හැසිරෙව යනු යි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් වූ රාහුලයනට මේ ගාථාවලින් නිතර අවවාද කරන සේක.
රාහුල සූත්‍රය නිමි.
2. 12.
නිග්‍රෝධකප්ප (වඞ්ගීස) සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ අළවුරට අග්ගාළව නම් චෛත්‍යයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ නිග්‍රෝධකප්ප නම් වත් තෙරණුවෝ අග්ගාලව චෙතියෙහි දී පිරිනිවී නොබෝකල් ඇති වෙත්.
ඉක්බිති ගණයා කෙරෙන් වෙන්ව විවේකයට ගිය පිළිසලනෙහි යෙදුනු ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ගේ සිත්හි මෙබඳු පරිවිතර්‍කයෙක් උපන: “මාගේ උපාධ්‍යාය පිරිනිවියේ දෝ හෝ නො පිරිවිනියේ දෝ හෝ” යි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර සවස් කල්හි පිළිසලනින් නැගිටියේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නේ ම ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ ය: ස්වාමීනි, මෙහි විවේකස්ථානයට ගියාවූ පිළිසලනෙහි ඇළුනු මාගේ සිත් හී මෙබඳු පරිවිතර්‍කයෙක් උපන: “මාගේ උපාධ්‍යාය පිරිනිවියේ දෝ නො පිරිනිවියේ දෝ” යි.
ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙරණුවෝ හුනස්නෙන් නැගී සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි නමා භගවත් හට ගාථායෙන් (මෙසේ) කීහ.
345. යම් භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් ඉහාත්මභාවයෙහි ම සැක දුරලන්නාහූ වෙත් ද, මහාප්‍රාඥ ශාස්තෘ වූ මුබවහන්සේ පුළුවුස්මි. ප්‍රකට වූ යශස්වී වූ නිවුනු සිත්ඇති මහණකෙනෙක් අග්ගාලව චෛත්‍යයෙහි කලුරිය කළහ.
346. භාග්‍යවතුන් වහන්ස, ඒ බ්‍රාහ්මණජාතිකයාහට නිග්‍රෝධකප්ප යන නම ඔබවහන්සේ විසින් කරණ ලද. දෘඪ වූ (නිර්‍වාණ) ධර්‍මය දක්නා වූ හෙ ඇරයූ වැර ඇත්තේ (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) මෝක්‍ෂය පතන්නේ ඔබ වහන්සේ නමදිමින් විසී ය.
347. ශාක්‍ය කුලයෙහි උපන්නාවූ සමතැසානන් වහන්ස, අපි සැවො ම ඒ සව්වානන් දැනගණු කැමැත්තෙමු. ඇසීම පිණිස අපගේ සවන් එළඹ සිටියේය. මුබවහන්සේ අපගේ ශාස්තෘ වනසේක. මුබවහන්සේ අනුත්තර වනසේක.
348. මහාප්‍රාඥයන් වහන්ස, ඒකාන්තයෙන්ම අපගේ සැකය සිඳලන සේක්වා: මට මෙය වදාරණ සේක්වා! ඔහු පිරිනිවිහිදැ යි දන්වන සේක්වා! සමතැසානන් වහන්ස, දෙවියන්ගේ දහසක් නෙත් ඇති සක්දෙවිඳු මෙන් අපගේ මධ්‍යයෙහි වොරැඳන සේක් වා!
349. මෙ ලොව්හි මෝහමාර්‍ග වූ අවිද්‍යාපක්‍ෂයෙහි වූ, සැකයනට හේතුවූ, යම්කිසි (අභිධ්‍යාදි වූ) ග්‍රන්‍ථයෝ වෙත් නම්, තථාගතයන් වහන්සේ වෙත පැමිණ ඔහු නො මැ වෙති. යම් හෙයෙකින් තෙල (තථාගත) මනුෂ්‍යයන්ගේ උතුම් පැණැස වේ නම් එහෙයිනි.
350. ඉදින් යම් හෙයකින් (තථාගත) පුරුෂ ඒකාන්තයෙන් මාරුතය වලාකුල් රොදක් මෙන් කෙලෙස් නො නසාලන්නේ නම්, (එසේ වත්ම), මුළු ලොව අවිද්‍යාන්‍ධකාරයෙන් ඇවුරුණේ අඳුරුම වන්නේ ය. (සැරියුත් මහතෙර ආදී වූ) ජ්‍යොතිර්‍මත් මනුෂ්‍යයෝ ද (ප්‍රකට වීම් වශයෙන්) නො මැ තෙවුනාහ.
351. පණ්ඩිතයෝම ප්‍රඥාප්‍රද්‍යොතකර වෙති. වීරයන් වහන්ස, ඒ ඔබ එසේම යයි මම හඟිම්, (අපි) මුබවහන්සේ ‘විදර්ශී’ යි දන්නමෝ (මෙහි) එළඹියෙමු. පිරිස් මැද අපගේ (නිග්‍රෝධ) කප්ප තෙරුන් ප්‍රකටකරණ සේක්වා!
352. මොනොවට කල්පිත වූ බින්‍දුස්වරයෙන් වහා (අරුත් රසින්) ඉතා මනරම් වූ තෙපුල් වදාරණසේක්වා! හංසයෙකු මෙන් ගෙල ඔසොවා නාද කරන සේක්වා! ඉඳුසිත් ඇති අපි හැම මුබවහන්සේ ගේ බස් අසම්හ,
353. නිරවශේෂ කොට ප්‍රහීණ කළ ජාතිමරණ ඇති නිගෙණ වැනැසූ පව් ඇති තථාගතයන් ලවා දහම් දෙස්වන්නෙමි, පුහුදුනන් බඳු කැමැතිසේ කිරීමෙක් තථාගතයනට නැත් මැ යි. තථාගතයන් වහන්සේගේ මීමාංසාකාරයම වේ.
354. මොනොවට ඍජු වූ ප්‍රඥා ඇති මුබවහන්සේ ගේ මේ සම්පුර්‍ණවූ ව්‍යාකරණ ඇති බව (අප විසින්) මැනවින් දැනගන්නා ලද්දෙකි. මේ පැසුළු ඇඳිලි නැමදුම් මොනොවට කරණ ලදී. (නිග්‍රෝධකප්ප තෙරුන්ගේ ගතිය) දන්නාසේක් ම, මහාප්‍රාඥයන් වහන්ස, අපෙ නහමක් මුළා කරන සේක්වා!
355. උත්තම වීරයන් වහන්ස, කුදුමහත් චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්‍මය පිළිවිද දන්නාසේක් ම (අප) මුළා නො කරණ සේක්වා, ග්‍රීෂ්මකාලයෙහි උෂ්ණයෙන් තැවුනෙකු ජලය පතන්නා සේ (මුබවහන්සේගෙන්) බසක් පතමි, ශ්‍රැතය (ශබ්දායතනය) වස්වන සේක්වා!
356. (නිග්‍රෝධ) කප්පායන තෙරණුවෝ යම් රහත් බවක් අර්‍ත්‍ථ කොට ඇති (මාර්‍ග) බ්‍රහ්මචර්‍ය්‍යයක් කොළෝ නම් කිම, ඔහුට එය නොසිස් වීද? හෙතෙමේ විමුක්තයකු (අශෛක්‍ෂයකු) මෙන් (අනුපාදිසේසපරිනිබ්බාණයෙන්) පිරිනිවියේ ද? නැතහොත් උපාදිසෙස සහිත (ශෛක්‍ෂ) යෙක් වී ද? එය (අපි) අසම්හ.
357. (හෙ) මේ නාමරූපයෙහි දීර්‍ඝ රාත්‍රයෙහි අනුශයිත කෘෂ්ණයා (මාරයා) ගේ ස්‍රොතස වූ තෘෂ්ණාව සිඳලීය. නිරවශේෂ කොට ජාති මරණ දෙක තරණය කෙළේ ය යි (ශ්‍රද්ධාදී) පඤ්චධර්‍මයෙන් ද පසැස් නුවණින්ද ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
358. උත්තම වූ මහ මහර්ෂීන් වහන්ස, තොපගේ බස අසා තෙල මම ප්‍රසන්නයෙමි. මාවිසින් පුළුවුස්නාලද්ද නො සිස්ම විය. (බාහිතපාප වූ) බ්‍රාහ්මණයෝ මා නො රැවටූහූ.
359. බුදුරජුහුගේ සවු (නිග්‍රෝධකප්ප) යථාවාදී තථාකාරී විය. මායාවී වූ මාරයාගේ දැඩිව පතළා වූ (තෘෂ්ණා) ජාලය සිඳලීය.
360. භාග්‍යවතුන් වහන්ස, කප්ප තෙරණුවෝ (ත්‍රිවිධ) වෘත්තයා ගේ (අවිද්‍යා තෘෂ්ණා භේද ඇති) ප්‍රධානකාරණය දුටුහ. ඒකාන්තයෙන් කප්පායනයෝ දුකසේ තරණය කළ යුතු (ත්‍රෛභූමික වෘත්ත සඞ්ඛ්‍යාත) මාරභූමිය ඉක්මැ ගියහ යි.