Sutta Nipāta

Collection of Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1562 segments

පෙන්වන කොටස් 301-400 න් 1562

223. අහස්හි සරණා නිල් ගෙල ඇති මොණර කිසිකලෙකත් හංසයාගේ ජවයට යම් සේ නො පැමිණේ ද, එසෙයින් ගෘහී වෙනෙහි ධ්‍යාන කරණසුලු කාය-චිත්ත විවේක ඇති, මුනි වූ මහණහු අනුකරණ නො කෙරෙයි.
මුනි සූත්‍රය නිමි.
පළමු වැනි උරගවර්‍ගය.
එහි උද්දානය:
උරග සූත්‍රය ද, ධනිය සූත්‍රය ද, ඛග්ගවිසාණ සූත්‍රය ද, සූත්‍රය ද, එසේ ම කසීභාරද්වාජ සූත්‍රය ද, චුන්‍ද සූත්‍රය ද, පරාභව සූත්‍රය ද, වසල සූත්‍රය ද, (කරණීය) මෙත්ත සූත්‍රය ද, සාතාගිරි සූත්‍රය ද, ආළවක සූත්‍රය ද, විජය සූත්‍රය ද, එසේම මුනි සූත්‍රය ද යන මේ දොළොස් සුතුරු උරගවගැයි කියනු ලැබේ.
2. චූල වර්‍ගය
රතන සූත්‍රය
224. මෙහි රැස්වූ යම් භූම්‍යස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද යම් අන්තරීක්‍ෂයෙහි වැසි අමනුෂ්‍ය කෙනෙක් හො වෙත් ද, ඒ හැම භූතයෝ සොම්නස් වෙත් වා! තවද මාගේ භාසිතය සකසා අසත් වා.
225. එසෙයින් ම හැම අමනුෂ්‍යයෝ අසත්වා! මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිකරව. යම් මනුෂ්‍ය කෙනෙක් දව රෑ දෙක්හි පුද එළවත් ද, එහෙයින් ම අප්‍රමත්ත වූවාහු ඔවුන් රකුව.
226. මෙ මිනිස් ලොවැ හෝ නාග සූපර්‍ණාදී අන් ලොවෙකැ හෝ යම් ධනයෙකුත් වේද, ස්වර්‍ගයෙහි හෝ යම් ප්‍රණීත වූ රත්නයෙකුත් වේද, ඔවුනතුර තථාගතයන් හා සම එක ද රුවනෙක් නැත, මෙ ද බුදුරදුන් කෙරෙහි වූ ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
227. (ආර්‍ය්‍යමාර්‍ග සමාධියෙන්) සමාහිත වූ ශාක්‍යමුනි රාගාදී කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින් විරාග නම් වූ ක්ලේශ ක්‍ෂය වූ අමෘත වූ ප්‍රණීත වූ යම් නිවනක් අවබෝධ කෙළේ ද, ඒ නිර්‍වාණ ධර්‍මය හා සමවූ අන් කිසිදු රුවනෙක් නැත, මේද ධර්‍මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් (සත්නට) සෙත් වේවා!
228. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ (කෙළෙස් මල මුලුසුන් කරන හෙයින්) අත්‍යන්තයෙන් ව්‍යවදාන වූ යම් මාර්‍ගධර්‍මයක් වර්‍ණනා කළ සේක්ද, යම් ඵල සමාධියක් (මාර්‍ගයටඅනතුරුවම පල දෙන බැවින්) ආනන්තරිකය’යි වදාළ සේක් ද, ඒ සමාධිය හා සම වූ අනෙක් රුවනෙක් නැත. මෙ ද ධර්‍මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
229. බුද්ධාදි සත්පුරුෂයන් විසින් පසස්නා ලද යම් අට අරී පුඟුල් කෙනෙක් වෙත් ද, තෙල පුරුෂ යුගලයෝ සතර දෙනෙක් වෙති. බුද්ධ ශ්‍රාවක වූ ඔහු දක්‍ෂිණාර්‍හ වෙති. තුලුනු කෙරෙහි දන්හු මහත් ඵල වෙති. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවය වේ. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
230. යම් රහත් කෙනෙක් ගෞතම සාසනයෙහි දැඩි සිතින් මොනොවට විදර්‍ශනායෙහි ප්‍රයුක්ත වූවාහු (ප්‍රඥා වීර්‍ය්‍ය ධූර දෙකින්) සියලු කෙලෙසුන්ගෙන් නික්මුනාහු වෙත් ද, ඔවුහු අර්‍හත් ඵල සඞ්ඛ්‍යාත ප්‍රාප්තියට පැමිණියාහු නිර්‍වාණ නම් වූ අමෘතයට බැස ගෙන නිවන් ලැබ ව්‍යය රහිතව වළදනාහු වෙති. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. ඒ සත්‍යයෙන් (සත්නට) සෙත් වේවා!
231. යම් (සෝවාන්) පුඟුලෙක් චතුරාර්‍ය්‍යසත්‍යයන් මාර්‍ග ප්‍රඥාවෙන් විනිවිද දක්නේ ද, ඒ සත්පුරුෂ පොළොවෙහි සිටුවන ලද ඉන්‍ද්‍රකීලය සිවු දිගින් හමන සුළඟින් යම් සේ නොසැලිය හේ ද, එ සත්පුරුෂ එවැනි උපමා ඇතිකොට කියමි. මෙ ද සඞ්ඝරත්නය කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
232. (සත්තක්ඛත්තුපරම යි කියන ලද) යම් පුද්ගල කෙනෙක් ගැඹුරු පැණ ඇති බුදුරජුන් විසින් මොනොවට දෙසන ලද ආර්‍ය්‍යසත්‍යයන් (ප්‍රඥාවභාසයන්) ප්‍රකට කෙරෙත් ද, ඔවුහු (දෙව්රජසිරි, සක්විතිරජසිරි ඈ ලබා) සසර බෙහෙවින් පමාවූවාහු නමුදු ඔහු අටවැනි භවයක් (උපත් විසින්) නො ගනිත්. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
233. ඔහුගේ (සෝතාපත්තිමග්ගසම්පත්තිසඞඛ්‍යාත) දර්‍ශන සම්පත් සමග මැ සත්කාය දෘෂ්ටි ද විච්කිත්සා ද ශීලව්‍රපරාමර්‍ශ දැයි යන යම් කිසිවක් ඇත් ද, ඒ ධර්‍මයෝ තුන්දෙන (ප්‍රහීණ කිරීම් වශයෙන්) හරණා ලද වෙති. සිවු අපායෙනුදු හෙ විමුක්ත වෙයි. (පඤ්ච ආනන්තර්‍ය්‍ය හා අන්‍යශාස්තෘ උද්දේශකය ද යන) ඖදාරික කර්‍ම සය කිරීමට ද නොනිසි වෙයි. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
234. තව ද හේ කයින් වේවයි බසින් වේවයි යලි සිතින් වේවයි පව්කම් කෙරේ නමුදු, එය පිළිපන් කිරීමට අභව්‍ය වෙයි. දුටු නිර්‍වාණ පද ඇතියහුගේ (දර්‍ශන සම්පන්න පුද්ගලයාගේ) (ඒ) අභව්‍යතාව කියන ලදු. මේද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
235. ග්‍රීෂ්ම ඍතුයෙහි ප්‍රථම ග්‍රීෂ්ම මාසයෙහි, (බක් මසැ) පිපී ගිය මල් බර අතු පතර ඇති වන ගොමුවක් යම් සේ වේ ද, එය උපමා කොට ඇති අත්‍යුත්තම වූ නිර්‍වාණගාමී වූ (පර්‍ය්‍යාප්ති) ධර්‍මය (සත්‍වයනට) හිත පිණිස දෙසූහ. මෙ ද බුදුරදුන් කෙරෙහි වූ ශ්‍රේෂ්ඨ රත්න භාවයයි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
236. (සර්‍වඥතාඥානලාබයෙන්) උතුම් වූ, (නිර්‍වාණ ධර්‍ම සංඛ්‍යාත) වරය දන්නා වූ, (දෙවි මිනිස්නට නිර්වේද භාගීය වාසනා භාගීය) වරධර්‍මය දෙන්නා වූ, (ආර්‍ය්‍යමාර්‍ගසංඛ්‍යාත) වර එළවන්නාවූ, අනුත්තර බුදුහු ලෝකෝත්තර ධර්‍මය දෙසූහ. මෙ ද බුදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාව යි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
237. (රහත්හුගේ) පැරණි කර්‍ම ගෙවී ගියේ ය. නව (කර්‍ම) ප්‍රාදූර්‍භූතභාවයෙක් නැත. පුනර්‍භවයෙහි පහ වූ රාගසිත් ඇති ගෙවුනු කර්‍ම බීජ ඇති, නො වැඩෙන ඡන්‍දරාග ඇති, ඒ පණ්ඩිත වූ ක්‍ෂීණශ්‍රාවයෝ මේ පහන සෙයින් නිවෙත්. මෙ ද සඞ්ඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාව යි. තෙල සත්‍යයෙන් සත්නට සෙත් වේවා!
238. මෙහි රැස් වූ යම් භූමිත්‍ථ වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, යම් ආකාශස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද, (අපි) දෙවිමිනිසුන් විසින් පුදන ලද තථාගත බුදුරජුන් නමදිම්හ. සත්හට සෙත් වේවා !
239. මෙහි රැස් වූ යම් භූමිස්ත්‍ථ වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, යම් ආකාශස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද, (ඒ අපි) දෙවිමිනිසුන් විසින් පුදන ලද තථාගත ධර්‍මය නමදිම්හ. සත්හට සෙත් වේවා !
240. මෙහි රැස් වූ යම් භූමිස්ත්‍ථ වූ අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද, යම් ආකාශස්ථ අමනුෂ්‍ය කෙනෙක් හෝ වෙත් ද, (ඒ අපි) දෙවිමිනිසුන් විසින් පුදන ලද තථාගත සඞ්ඝයා නමදිම්හ. සත්හට සෙත් වේවා !
රතන සූත්‍රය නිමි.
ආමගන්‍ධ සූත්‍රය
241. දැහැමින් ලත් බොඩහමුය, කර හමුය, චීනමුංය, නිල් පළාය, අල මුල්ය, රුක් ලිය පලතුරුය යන මෙ දෑ වළඳන, කම්සුව නො පතන ශාන්ත පුරුෂයෝ මුසවා නො බණන්නාහ.
242. කාශ්‍යපයන් වහන්ස, (කපා සෝදා ගැනීම් විසින්) මොනොවට පිළියෙළ කරන ලද, (පිසුම් සුවඳ කුළුබඩු බැහීම් විසින්) මනාසේ නිමවන ලද, මෙරමා විසින් දෙන ලද පිවිතුරු වූ යම් පිණි සුවඳ හැල් බොජුනක් වළඳනා හේ ආමගන්‍ධය වළඳන්නේය.
243. බ්‍රාහ්මණ ගුණ නැතිව (බ්‍රාහ්මණජාතිමාත්‍රවූ) බ්‍රහ්මබන්‍ධුයෙනි, මොනොවට පිළියෙළ කරන ලද, ලිහිණි මස් හා සුවඳහැල් බත් වළඳනුවෝ මැ (තොපි) “මට ආමගන්‍ධය නො සරුප් වේය” මෙසේ කියව, කාශ්‍යපයෙනි, තෙල අරුත් තොප පුළුවුස්මි, තොපගේ ආමගන්‍ධය කවර ප්‍රකාර ඇත්තේ ද?
244. ප්‍රාණඝාත ය, (දඬු මුගුරු ආදියෙන්) හිංසා කිරීම ය, හස්තපාදාදිච්ඡේද ය, (යදම් හැකිලි ආදියෙන්) බැඳුම ය, අයිනාදන් ය, මුසවා ය, ප්‍රතිඥාඝාත ය, වඤ්චනා ය, නිරර්‍ත්‍ථක __ශ්‍රන්ථ__ පිරිවැහුම්ය, පරඹුන් සෙවුම් ය යන තෙල ආමගන්‍ධ වෙයි. මාංස භෝජන (ආමගන්‍ධ) නො වේ.
245. මෙලො වැ කාමයන් හි අසංයත වූ රසයන්හි ගිජු වූ (මිථ්‍යාජීවිකා සංඛ්‍යාත) අපවිත්‍රභාවයෙන් මුසු වූ, දශවස්තුක නාස්තිකදෘෂ්ටිගත්තාවූ (සන්‍දිට්ඨිපරමාසිතාදී හේතුයෙන්) කරුණු ගැන්විය නොහෙන, (දුර්විඥාප්‍ය) යම් ජන කෙනෙක් වෙත් නම්, තෙල ආමගන්‍ධ වෙයි. මාංසභෝජන (ආමගන්‍ධ) නො වේ.
246. යම් කෙනෙක් (ආත්මක්ලමථානුයෝගයෙන්) රූක්‍ෂ වූවාහු දරුණු (කැකුළු) වූවාහු, පිටුමස් කන්නාහු, මිත්‍රද්‍රෝහී වූවාහු, කුළුණුගුණ නැතියාහු, අතිමාන ඇත්තාහු, පරා අයත් ධන පැහැර ගන්නාහු, කවරකුහටවත් කිසි වතකුත් නො දෙත් නම්, තෙල ආමගන්‍ධ වෙයි. මාංසභෝජන (ආමගන්‍ධ) නො වේ.
247. ක්‍රෝධය ද, මදය ද, (චිත්තයාගේ තදබව වූ) ථම්භය ද (ධර්‍මව්‍යාය කෙට විරුද්ධව) නැගී සිටුම ද, (තමා කළ පව් සැඟවීම ලක්‍ෂණ කොට ඇති) මායාව ද, (පරලාභ සත්කාරාදියෙහි) ඊර්‍ෂ්‍යාව ද, (ආත්මොත්කර්‍ෂණ සංඛ්‍යාත) ඵප්සුනුඛස ද මානාති මානය ද, අසත්පුරුෂ ආශ්‍රය ද යන මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.
248. යම් කෙනෙක් පව් සැහැවි ඇත්තාහු ද, ගත් ණය නසනසුලු වෙත් ද. (නය්‍යායාධිකරණයෙහි දී අල්ලස් ගැනීම් ආදී) කූට ව්‍යවහාර ඇත්තාහු ද, ඉහාත්මයෙහි ම දැහැමි පිළිරූ ඇත්තාහු (දුශ්ශීල) වෙත් ද, මෙලොව් හි යම් අධම නර කෙනෙකුන් අපරාධ කෙරෙත් ද, මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.
249. මෙලොව්හි, යම් ජන කෙනෙක් ප්‍රාණීන් කෙරෙහි සංයම නැත්තාහු මෙරමාගේ වස්තු පැහැර ගෙන (ඔවුන්ට) වෙහෙස කිරීමෙහි උත්සුක වූවාහු, දුශ්ශීල වූවාහු, කුරුරිකම් ඇත්තාහු, පරොස් බස් බණන්නාහු, ආදර රහිත වූවාහු වෙත් ද මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.
250. මේ ප්‍රාණීන් කෙරෙහි (ලෝභයෙන්) ගිජු වූවාහු (ද්වේෂයෙන්) විරුද්ධ වූවාහු, (මෝහයෙන්) අතිපාත කරන්නාහු, (අකුසල් කිරීමෙහි) නිතර උත්සුක වූවාහු යම් සත්ත්‍ව කෙනෙක් (මෙයින් සැව) පරලොව ගොස් ලෝකාන්තරිකාන්‍ධකාර, (නීච කුලාදී ) අඳුරට යෙත් ද, යටිහුරු හිස් ඇත්තාහු නිරයෙහි හෙත් ද, මේ ආමගන්‍ධය වෙයි. මාංසභෝජනය ආමගන්‍ධ නො වේ.
251. මසු මස් නොවැළඳීම ද, නග්නතාව ද, හිස මුඩුකිරීම් හා දළමඬුලු දැරීම ද, දූවිලි දැලි ඇඟ තවරාගැනීම ද, රළු ගෝණසම් දැරීම ද, යම්බඳු ගිනි දෙවියා පිදීම ද, ලෝකයෙහි යම්බඳු නොයෙක් අමරතප වේ ද, වේද මන්ත්‍රහෝ හෝම කර්‍ම ද අශ්වමේධාදි යඥයන් හා ඍතුපසේවනය ද තරණ කළ සැක නැති මිනිසා පිරිසිදු නො කෙරෙත්.
252. ධෘතිමත් සයිඳුරන්හි ගෝපනයෙන් (ඉන්‍ද්‍රිය සංවර ශීලයෙන්) යුක්ත වූයේ (ඥාත පරිඥාවෙන්) දැනගත් ඉඳුරන් ඇත්තේ හැසිරෙන්නේය. (ආර්‍ය්‍යමාර්‍ගයෙන් දතයුතු වූ) සිවුසස් දහම්හි පිහිටියේ (සෙද ගැමි නැණින්) ඉදු මුදු බව්හි රැඳීයේ (අනගැමි මගින්) රාග, ද්වේෂ සඞ්ගයන් ඉක්මවූයේ (රහත් මගින්) පැහූ සව් දුක් ඇත්තේ දෘෂ්ටශ්‍රැත ධර්‍මයන්හි නො ලැගෙයි.
253. මෙසේ භාග්‍යවතුන්වහන්සේ මේ අර්‍ත්‍ථය පුනපුනා වදාළ සේක, වෙද මන්ත්‍රයන්හි පරතෙර පත් ඒ (තිෂ්‍ය) බ්‍රාහ්මණ, එය දැනගත්තේය. ආමගන්‍ධ (සංඛ්‍යාත ක්ලේශ) යන්ගෙන් මිදුනු, තෘෂ්ණාදෘෂ්ටි නිඃශ්‍රයන් නැති (බාහිර දෘෂ්ටි වශයෙන් කිසිවෙකු විසිනුදු) නොපැමිණවිය හැකි මුනිරජ විසිතුරු වූ ගයින් මෙය පැවසීය.
254. බුදුරජුන් ගේ සියලු දුක් දුරලන නිකෙලෙස් වූ සුභාෂිත (ධර්‍ම) පදය අසා නැමුණු සිතැත්තේ තථාගතයන් වහන්සේගේ (සිරිපා) වැන්දේය. ඒ අස්නෙහිදී ම පැවිද්ද සැලකෙළේය.
ආමගන්‍ධ සූත්‍රය නිමි.
හිරි සූත්‍රය
255. ලජ්ජාව ඉක්මවා යන්නාවූ (නිර්ලජ්ජවූ), (හිරියට) පිළිකුල් කරන්නාවූ, “මම ඔබගේ යහළුවෙකිමි”යි කියන්නා වූ කළ හැකි කර්‍ම නො පිළිගන්නාවූ, ඒ මිත්‍ර ප්‍රතිරූපකයා තෙල මාගේ යහළු නොවේ”යි (පණ්ඩිත තෙමේ) දන්නේ ය.
256. යමෙක් මිතුරන් අතරදී අනුගත නො වන ප්‍රිය වචන කථා කෙරේ ද, (ක්‍රියාවෙන්) නො කරණ, (වචනයෙන් පමණක්) කථාකරණ, ඔහු පණ්ඩිතයෝ (මේ වචීපරමයෙකැයි) හඳුනා ගනිත්.
257. යමෙක් හැම කල්හි භේදය ම පතන්නේ (යහළුවාගේ) සිදුරක් ම බලන්නේ. සිදුරු සෙවීමෙහි ම නො පමා වේද, හේ මිත්‍රයෙක් නොවේ. (යමෙක්) යම් මිතුරකු කෙරෙහි උරෙයිදා පුතකු සෙයින් වෙසේ ද, යමෙකු ත් (කරුණු දහසක් නමුදු කියා) මෙරමා විසින් නො බිඳිය හේ ද, ඒකාන්තයෙන් හේ මිත්‍රවෙයි.
258. පුරුෂයකු හට අනුරූ බර උසුලන්නේ, නිර්‍වාණ ඵල (සඞ්ඛ්‍යාත) අනුසස් පතන්නේ, ප්‍රමෝදය දනවන්නා වූ සුඛහේතු වූ ප්‍රශංසා එළවන්නාවූ, (සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) කාරණය වඩා නම් -
259. හේ ආර්‍ය්‍ය ධර්‍ම ප්‍රීතිරස පානය කරන්නේ (අර්‍හත්ඵල සඞ්ඛ්‍යාත) ප්‍රකර්‍ෂ විවේක රසය ද (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) උපසමයාගේ රසය ද පානය කොට කෙලෙස් පිරිතැවුලි නැත්තේ නිෂ්පාපයෙක් (පව් නැත්තෙක්) වේ.
හිරි සූත්‍රය නිමි.
මහාමඞ්ගල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් නම් වූ අනාථපිණ්ඩික සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් ඉක්ම ගිය පෙර යම ඇති රැයෙක විසිතුරු සිරුරු පැහැයෙන් යුත් එක්තරා දෙවියෙක් මුලු මහත් දෙව්රම එකලු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක් සිටියේ ය. එකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් සැළකෙළේ ය:-
260. සෙත් පතන්නාවූ බොහෝ දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද (සව් සැපට කරුණුවූ) මුඟුල් සිතූහ. (එහෙයින්) උතුම්වූ මඟුල් (කිම දැ යි) දෙසන සේක්වා!
261. බාලයන් නො සෙවීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, පිදිය යුත්තන් පිදීම ද, යන මෙය උතුම් මඟුලි.
262. සුදුසු පියසෙක්හි විසීම ද, පෙර කළ පින් ඇතිබව ද, සිත මොනොවට පිහිටුවීම ද යන මෙය උතුම් මඟුලි.
263. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්පයෙහි දක්‍ෂ බව ද, (කාවිසිමුනු දොර ) හික්මවීම ද, (ආචාර ගුණව්‍යවස්ථානයෙන්) මොනොවට හික්මුනු බව ද. සුබැසි බස ද යන මෙය උතුම් මඟුලි.
264. මවුපිය උවටන ද, අඹුදරුවන් සැඟහීම ද, නිරවුල් වූ කර්‍මාන්ත ද යන මෙය උතුම් මඟුලි.
265. දන්දීම ද, (දසකුසල්) දම්හි හැසිරීම ද, නෑයනට සැඟහීම ද, නිරවද්‍යකර්‍ම ද යන මෙය උතුම් මඟුලි.
266. (සිතින්) පවෙහි නො ඇල්ම ද, (ත්‍රිවිධ විරතීන්ගේ වශයෙන්) පවින් වැළකීම ද, මත්පැනින් වෙන් වීම ද, (කුසල්) දහම්හි නො පමා බව ද යන මෙය උතුම් මඟුලි.
267. (බුදු-පසේ බුදු- බුදුසවු-ඇදුරු උවදෑ ඈනට) ගරු කිරීම ද, නිහතමාන බවද, ලද දැයින් සතුටු වීම ද, කළගුණ දන්නා බව ද, සුදුසු කල්හි දහම් ඇසීම ද යන යන මෙය උතුම් මඟුලි.
268. ඉවසීම ද සුවච බව ද මහණුන් දැක්ම ද සුදුසු කල්හි ධර්‍ම සාකච්ඡාව ද යන මෙය උතුම් මඟුලි.
269. (ඉන්‍ද්‍රිය සංවර වීර්‍ය්‍ය සඞ්ඛ්‍යාත) තපස ද බඹසර ද චතුරාර්‍ය්‍ය සත්‍යයන් දැකීම ද නිවන් පසක් කිරීම ද යන මෙය උතුම් මඟුලි.
270. අටලෝ දහමින් පහස්නා ලද යමකුගේ සිත නො සැලේ ද ශෝකයෙන් තොර ද පහ වූ කෙලෙස් රජස් ඇත්තේ ද බිය රහිත ද යන මෙය උතුම් මඟුලි.
271. (ස්කන්‍ධ-ක්ලේස -අභිසංස්කාර-දේවපුත්‍රමාර සඞ්ඛ්‍යාත) සියලු තන්හි නො පැරදුනාහු මෙබඳු මඞ්ගලයන් කොට (මෙලෝ පරලෝ) හැම තන්හි සැපයට පැමිණෙත් යි.
මහාමඞ්ගල සූත්‍රය නිමි.
සූචිලෝම සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා ගම නොදුරෙහි ටඞ්කිතමඤ්චයෙහි වූ සුචිලෝම යක්‍ෂයාගේ භවනයෙහි වැඩවෙසෙන සේක. එ සමයෙහි ‘ඛර’ නම් යක්‍ෂ ද, සුචිලෝම යක්‍ෂ ද, භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි ඉක්මයෙති.
ඉක්බිති ඛර යක්‍ෂයා සුචිලෝම යක්‍ෂයා හට මෙසේ කීය: තෙල ශ්‍රමණයෙක. තෙල ශ්‍රමණයෙක් නො වේ. තෙල (ශ්‍රමණ ප්‍රතිරූපක) ශ්‍රමණකයෙකි. හෙතෙමේ ශ්‍රමණයෙක් ද නැතහොත් ශ්‍රමණකයෙක් දැයි යම්තාක් දනිම් නම් ඒ තාක් නවතුව.
ඉක්බිති සුචිලෝම යක්‍ෂ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ භාග්‍යවතුන් වහන්සේට (සිය) කය නතු කෙළේය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ (සිය) කය පසෙකට නැමූ සේක.
ඉක්බිති සුචිලෝම යක්‍ෂ භාග්‍යවතුන් වහන්සේ හට තෙල කීය:
මහණ මට බානෙහි ද?
ඇවත, මම තට නො බානෙම් ම ය, එතෙකුදු වුව තාගේ පහස පවිටු ය.
මහණ, තා පැන පුළුවුස්නෙමි. ඉදින් මට (එය) නො පවසන්නෙහි නම් තාගේ සිත හෝ පෙරළන්නෙමි, තා හදවත හෝ පලන්නෙමි දෙපයැ හෝ ගෙණ ගඟින් එතර දමා ගසන්නෙමි.
ඇවැත, යමෙක් මා සිත හෝ පෙරළා නම් හදවත හෝ පලා නම්, දෙපයැ හෝ ගෙණ ගඟිනෙතර දමා ගසා නම්, එබන්දකු මම දෙවියන් සහිත, මරුන් සහිත බඹුන් සහිත, ලොව්හි මහණ බමුණන් සහිත දෙවි මිනිසුන් සහිත සත්ත්‍වප්‍රජාව අතර නො ම දක්මි. එතෙකුදු වුවත් ඇවත, තෝ යමක් අසනට රිසියෙහි නම් පුළුවුස්ව.
ඉක්බිති සුචිලෝම යක්‍ෂ භාග්‍යවතුන් වහන්සේට ගාථවෙකින් සැලකෙළේ ය:
272. රාගය හා ද්වේෂය හා කුමක් නිදාන කොට ඇත්තාහු ද? (ප්‍රාන්තශයනාසනයන්හි හා අධිකුශලධර්‍මයන්හි නො ඇලීම වූ) අරතිය හා (පස්කම් ගුණෙහි ඇල්ම වූ) රතිය හා (චිත්තෝ ත්‍රාසය වූ) ලොමුදහගැණීම් හා කොයින් උපදනාහු ද? කාමාදි විතර්‍කයෝ කොයින් ඉපද ලදරුවන් කවුඩුවකු (පා හුයෙකින්) බැඳ මුදා හරින්නාක් මෙන් කුසල චිත්තය බැඳ හරිත් ද?
273. රාගය හා ද්වේෂය හා (පංචස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මභාවය නිදාන කොට ඇත්තාහ. අරතිය හා රතිය හා ලොමුදහගැණීම හා, මෙයින් (ආත්මභාවයෙන්) උපදනාහු වෙති. මෙයින් ඉපදී විතර්‍කයෝ කුඩා කුමරුන් කවුඩකු මෙන් කුසල් සිත බැඳ හරිත්.
274. නුගරුකෙහි කඳින් උපදනා අරළු (ප්‍රරෝහ) මෙන් ස්නේහයෙන් උපන් රාගාදීහු (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත) ආත්මභාවයෙන් උපන්නාහු වෙති. වෙනෙහි පැතිර ගිය මාලුව ලිය මෙන් ඔහු නන් අයුරු වූවාහු කාමයන්හි පැතිරගත්තාහු වෙති.
275. යක්‍ෂය, අසව, යමෙක් තුමූ ඒ රාගාදී ක්ලේශ සමූහය යමක් නිදාන කොට ඇතැයි දනිත් ද, ඔහු එය දුරලති. ඔහු අපුනර්‍භවය පිණිස තරණය නොකළ විරූ, දුකසේ තරණය කළ යුතු, මේ චතුරෝඝය තරණය කෙරෙත් යි.
සුචිලෝම සූත්‍රය නිමි.
කපිල සූත්‍රය
276. (කාය සුචරිතාදි) ධර්‍මචර්‍ය්‍යය හා මගබඹසර හා යන මේ දෙ කරුණ උතුම් රුවනැයි (ආර්‍ය්‍යයෝ) පැවසූහ. ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදිවූයෙක් වේ නම්,
277. ඉදින් හේ පරොස්බස් ඇත්තේ වේ ද, මෙරමා වෙහෙසීමෙහි නියලුනේ (හිරිඔතප් නැති හෙයින්) තිරිසන් බඳු වේ ද, ඔහුගේ ජීවිතය ලාමක වෙයි. තමාගේ (රාගාදී) කෙලෙස් වඩයි.
278. කලහයෙහි නියැලුනු ඒ මහණ (අවිද්‍යාසඞ්ඛ්‍යාත) මෝහධර්‍මයෙන් ඇවුරුණේ, බුදුරජුන් විසින් දෙසන ලද ධර්‍මය කියනලද නමුදු නො දනී.
279. අවිද්‍යාවෙන් මෙහෙයන ලද්දේ බැවු සිත් ඇතියවුන් (රහතුන්) වෙහෙසන්නේ සකිලිටි වූ නිරයගාමීමාර්‍ගය නො දනියි.
280. (සතර අපාය යි කියන ලද) විනිපාතයට පැමිණි ඒ මහණ ඒකාන්තයෙන් මවුකුසින් මවුකුසට ද අඳුනේ අඳුරට ද (යමින්) පරලොව ගොස් දුකට පැමිණේ.
281. ඉක්ම ගිය බොහෝ හවුරුදු ගණන් ඇති පිරුණු වැසිකිළි වළක් යම් සේ (පිරිසුදු කළ නොහැක්කේ) වේ ද, එබඳු වූ යමෙක් වේ නම් හෙ පිරුණු කෙලෙස් ඇත්තේ පිවිතුරු කළ නොහැකි වන්නේ මය.
282. මහණෙනි, පස්කම් ගුණ ඇසුරු කළා වූ ලාමක ඊර්‍ෂ්‍යා ඇති පාප විතර්‍ක ඇති, පවිටු ආචාර ගෝචර ඇති යම් පුඟුලකු දනිවු නම්,
283. හැම දෙන සමඟ ව ඔහු වර්‍ජනය කරවු. කසළක් බඳු ඔහු බැහැර කරවු. කෙලෙස් කසට සහිත ඔහු නෙරපාලවු.
284. එහෙයින් අශ්‍රමණ වූ ශ්‍රමණයෙමැ යි හඟනාවූ බොල් පුඟුලන් පිඹහරිවු. ලාමක ඉච්ඡා ඇති පවිටු අචාර-ගෝචර ඇති ඔවුන් බැහැර කොට,
285. (කායසමාචාරාදියෙන්) පිරිසිදු වූවාහු (ඔවුනොවුන් කෙරෙහි ගෞරව සහිත වූවාහු ශුද්ධ වූ පුඟුලන් සමග ම සමාන සංවාසය කරවු) ඉක්බිති මුහුකළ නුවණ ඇත්තාහු (දෘෂ්ටි ශීල ඈ ශ්‍රමණ ගුණයන්ගෙන්) යුතු වූවාහු දුක් කෙළවර කරවු.
කපිල සූත්‍රය නිමි.
බ්‍රාහ්මණධම්මික සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙන සේක. ඉක්බිත්තෙන් කොසොල් දනවු වැසි ජරාවෙන් ජීර්‍ණ වූ වැඩි මහලු වූ තෙවන වියට පැමිණි පිළිවෙළින් පැසුළු වියට පැමිණි බොහෝ බමුණු මහසල්හු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ බමුණු මහසල්හු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: