Sutta Nipāta

Collection of Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-25 · 1562 segments

පෙන්වන කොටස් 201-300 න් 1562

හේමවත සූත්‍රය
153. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: අද පණුරැසි පොහෝ දවස යි. දිව්‍ය වූ රාත්‍රිය එළඹ සිටියා වෙයි. එහෙයින් නො ලමු නම් ඇති ගෞතම ශාස්තෘන් වහන්සේ දකුම්හ.
154. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම! (ඒ ශාස්තෘහුගේ) සිත මොනොවට සමාහිත වේ ද? සව් සතුන් කෙරෙහි සමසිත් ඇද්ද? (නොහොත්) නැද්ද? කිම, අනිටු අරමුණෙහි ඔබගේ සංකල්පයෝ වශීකෘත වෙද්ද?
155. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: සියල් සතුන් කෙරෙහි සමසිත් ඇති උන්වහන්සේ සිත ද මොනොවට සමාහිත වෙයි. වැලිත් ඉටු අනිටු අරමුණෙහි උන්වහන්සේගේ විතර්‍කයෝ වශීකෘතයහ.
156. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, ඔබ අයිනාදන් දෑ නො ගන්නේ ද? කිම, ප්‍රාණීන් විෂයයෙහි සංයත ද? කිම, (අබ්‍රහ්මචර්‍ය්‍ය සංඛ්‍යාත) ප්‍රමාදයෙන් (පාඨාන්තරයෙහි මාගම් කෙරෙන්) දුරු වූයේ ද? කිම, ධ්‍යානය නොසිස් කෙරේ ද?
157. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හෙ අයිනාදන් නො ගන්නේය. යළි ප්‍රාණීන් කෙරෙහි සංයත ද වෙයි. යළිදු අබ්‍රම්සරින් (නොහොත් මාගම් කෙරෙන්) දුරු වූයේ ය. ඒ බුදුරජ දැහැන් සිස් නොකෙරේ.
158. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, මුසවා නො බෙණේ ද? කිම, පරොස් බස් නැත්තේ ද? කිම. වෙභූතිය යි කියූ බස් නො කියා ද? කිම, පලප් නො බෙණේ ද?
159. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ මුසා නො බෙණෙයි, වැලි පරොස් බස් නැත්තේ වෙයි, තවද පිසුනු ද නො තෙපලයි, හෙතෙම නුවණින් පිරිසිඳ දැන අරුත්ම බෙණෙයි.
160. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, (ක්ලේශකාමයෙන්) වස්තුකාමයන්හි නො ඇලේ ද? කිම, සිත (ව්‍යාපාදයෙන්) නො කැලඹුනේ ද? කිම, මෝහය ඉක්ම වූයේ ද? කිම, සියලු දහම් හි (සවන්නැණ) නුවණැස් ඇත්තේ ද?
161. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ කාමයන්හි නො ඇලෙයි, වැලිදු සිත නො කැලඹුණේ වෙයි. සියලු මෝහය ඉක්ම වූයේ වෙයි, බුදුරජ සියලු දහම්හු (අප්‍රතිහත) නුවණැස ඇත්තේ ය.
162. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කිම, (ඒ බුදු රජ) (අෂ්ට) විද්‍යායෙන් සමන්‍වාගත වේ ද? කිම, සුපිරිසිදු පසළොස් චරණධර්‍ම ඇත්තේ ද? කිම, ඔබගේ ආස්‍රවයෝ ක්‍ෂීණ වූහු ද? කිම, පුනර්‍භවයෙක් නැත් ද?
163. සාතාගිර යක්‍ෂ මෙසේ කියයි: හේ අෂ්ට විද්‍යායෙන් ද සමන්‍වාගත වෙයි, යලිදු සුපිරිසුදු වූ පසළොස් චරණධර්‍ම ඇත්තේය, ඔබගේ සියලු ආස්‍රවයෝ ක්‍ෂීණ වෙති, උහුට පුනර්‍භවයෙක් නැත.
164. මුනිහුගේ සිත ශුද්ධ කායකර්‍මයෙන් ද ශුද්ධ වාක් කර්‍මයෙන් ද සපන් වෙයි. එහෙයින් ම විදුසරණසපන් ඒ ගෞතම බුදුන් තථ්‍යධර්‍මයෙන් පසස්නෙහි,
165. මුනිහුගේ සිත ශුද්ධ කායකර්‍මයෙන් හා ශුද්ධ වාක් කර්‍මයෙන් හා සපන් වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ ඒ ගෞතම බුදුන් තථ්‍යධර්‍ම හෙයින් සමාරාධන කරහි.
166. මුනිහුගේ සිත ශුද්ධ කායවාක් කර්‍මයෙන් සපන් වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ ඒ ගොතම බුදුන් ඒකාන්තයෙන් දකුම්හ.
167. ඉළුමුවකුට බඳු කෙංඩා ඇති (මොනොවට ලියූ කෙලෙස් ඇති හෙයින්) කෘශ වූ (පස්මරුන් දිනූ හෙයින්) වීර වූ (ඒකාසන භෝජන පරිමිත භෝජන ඇති හෙයින්) අල්පාහාර වූ ආහාරයෙහි ඡන්‍දරාග නැති සෙයින් අලෝල වූ විවේකයෙහි ඇලුනු බැවින් වෙනෙහි ධ්‍යාන කරණ ගෞතම මුනිහු එව, දකුම්හ.
168. සිංහයෙකු සේ එකලාව හැසිරෙණ (පුනර්‍භවයට නොයන හෙයින්) නාග වූ, ද්විවිධකාමයන්හි (ඡන්‍දරාගය) අපේක්‍ෂා නැති බුදුන් කරා එළැඹැ (සසර වටින් මිදුම) මෘත්‍යුපාශයෙන් මිදීම හෙවත් නිවණ පුළුවුස්මහ.
169. සිවුසස් දහම් දෙසන්නාවූ (එයම කිච්චඥාණ කතඥාණ විසින්) පවසන්නාවූ, චාතුර්භූමකධර්මයන්ගේ පරතෙර පත් (පස්විද) හැම වෙර බිය ඉක්මවූ, ගෞතම බුදුන් අපි විචාරම්හ.
170. හේමවත යක්‍ෂ මෙසේ අසයි: කවරක් උපන් කල්හි (සත්ත්‍වසංකාර) ලෝකය උපන්නේ ද? කවරෙක්හි ලා (තණ්හා මාන දිට්ඨි) සන්‍ථව කෙරේ ද? කවරක් ඇසුරු කොට ලොව පවත්නේ ද? කුමක් ඇති කල්හි (කවර කරුණෙකින්) ලෝකය පෙළේ ද?
171. (බුදුහු හේමවත යි, අමතා මෙසේ වදාළහ;) ෂඩායතන උපන් කල්හි ලෝකය උපන්නේ වෙයි. ෂඩායතන පවත්නා කල්හි (ක්ලේශ) සන්‍ථව කෙරෙයි. ෂඩායතනයන් ම ඇසුරු කොට ලෝකය පවත්නේ ය, ෂඩායතන ඇති කල්හි ම ලෝකය පෙළෙයි.
172. යම් තැනෙක ලෝකය වැනසේ නම්, ඒ උපාදානය (දුඃඛසත්‍යය) කවරේ ද? (මාර්‍ග සත්‍ය සඞ්ඛ්‍යාත) නිර්‍ය්‍යාණය පුළුවුස්නාලදහු කෙසේ සසර දුකින් මිදේදැයි වදාළ මැනැව.
173. මනායතනය සවන කොට ඇති (පඤ්චායතන සඞ්ඛ්‍යාත) පස්කම් ගුණයෝ (මාවිසින්) පවසනලද වෙති. මේ (දොළොස් ආයතන සඞ්ඛ්‍යාත) දුඃඛසත්‍යයෙහි (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) ඡන්‍දය දුරලා මෙසේ සසර දුකින් මිදෙයි.
174. මා විසින් තොපට ලෝකයාගේ මේ නිර්‍ය්‍යාණය තත්වූ පරිදි පවසන ලද. මෙසේ සසර දුකින් මෙදෙයින තෙල කරුණ මම තොපට පවසමි.
175. මේ ලොව්හි කවරෙක් (කාමාදි) චතුරෝඝ තරණය කෙරේ ද? කවරෙක් භවසාගර තරණය කෙරේද? ප්‍රතිෂ්ඨාරහිත පිහිටක් නැති අනාලම්බන වූ ගැඹුරු සයුරෙහි කවරෙක් නොගැලේ ද?
176. හැම කල්හි ශීල සම්පන්න වූයේ ලොවිලොවුතුරු නුවණින් ප්‍රඥාවත් වූයේ (සමථ විපස්සනා මාර්‍ගඵල සමාධියෙන්) මොනොවට සමාහිත වූයේ අධ්‍යාත්ම චින්තනය සැහැවි කොට ඇති (අප්‍රමාද සඞ්ඛ්‍යාත) ස්මෘති ඇත්තේ තරණය කිරීමට දුෂ්කර වූ චතුරෝඝය තරණය කෙරෙයි.
177. කාමසංඥායෙන් (චතුර්‍ත්‍ථ මාර්‍ග සම්ප්‍රයුක්ත සමුච්ඡේද විරතියෙන්) විරත වූ (සිවුමග නුවණින් මැ) සියලු (දශවිධ) සංයෝජනයන් ඉක්ම වූ (තෘෂ්ණා සඞ්ඛ්‍යාත) නන්‍දිය හා භවයත් ක්‍ෂය කළ ඒ ක්‍ෂීණාස්‍රව මහණ ගැඹුරු (සසර) සයුරෙහි නො ගැලෙයි.
178. (ස්කන්‍ධාදියෙහි) ගාම්භීර ප්‍රඥා ඇති, නිපුණ වූ (පණ්ඩිතයන් විසින් ගොතන ලද) ප්‍රශ්නයන්ගේ අරුත් දක්නා වූ, රාගාදිකිඤ්චන රහිත (ද්විවිධ) කාමයන්හි හා (ත්‍රිවිධ) භවයෙහි නො ඇලුනු (ස්කන්‍ධාදි අරමුණුවල ඡන්‍දරාගය නැති හෙයින්) සියලු තන්හි මිදුනු (අෂ්ටසමාපත්ති සඞ්ඛ්‍යාත) දිව්‍ය මාර්‍ගයෙහි යන ඒ මහාර්ෂීන් බලව.
179. අලාමක නාම ඇති, නිපුණාර්‍ත්‍ථදක්නා වූ (නුවණ ලබන පිළිවෙත දෙන හෙයින්) ප්‍රඥාදායක වූ කාමාලයෙහි නොලැගුණා වූ (සර්‍වඥභාවයට මාර්‍ග වූ පාරමී ප්‍රඥා ඇති හෙයින්) සුමේධ වූ, සර්‍වඥ වූ (ආර්‍ය්‍යාෂ්ටාඞ්ගික මාර්‍ග හෝ ඵලසමාපත්ති සඞ්ඛ්‍යාත) ආර්‍ය්‍යමාර්‍ගයෙහි යන ඒ මහාර්ෂීන් බලව.
180. ඒකාන්තයෙන් අද අපට මනා දර්‍ශනයෙක් විය. අද අපට සොඳුරු උදෑසෙණක් වීය, ශෝභන උත්‍ථානයෙක් විය. යම් හෙයෙකින් ඕඝ තරණය කළ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දුටුමෝද, එහෙයිනි.
181. ඍද්ධිමත් වූ යශස්වී වූ දහසක් වූ මේ හැම යක්‍ෂයෝ ඔබ සරණ කොට යෙති. ඔබ වහන්සේ අපගේ නිරුත්තර ශාස්තෘ වහු.
182. අපි සම්බුදුන් නමදිමින් ධර්‍මයාගේ ස්වාක්ඛ්‍යාත භාවය ද වණමින් ගමින් ගමට පවින් පවියට යම්හයි.
හේමවත සූත්‍රය නිමි.
ආළවක සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළවුරට ආළවක නම් යක්හුගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති අළවු යක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට වෙත තෙල කීය:
“මහණ, නික්ම යා,”යි.
“මැනැවැ ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ නික්මුණු සේක.
“එව මහණැ”යි.
“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
දෙවන වට ද අළ වු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණ”යි.
“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ නික්ම ගිය සේක.
“එව මහණැ”යි.
“මැනැවැ, ඇවැතැ”යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
තෙවනවට ද අළවු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණැ” යි.
“මැනැවැ ඇවැතැ” යි භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි සේක.
“එව මහණැ” යි.
“මැනැවැ, ඇවැතැ” යි භාග්‍යවතුන් වහන්සේ පිළිවිසි සේක.
සතරවන වට ද අළවු යක් භාග්‍යවතුන් වහන්සේට තෙල කීය: “නික්ම යා මහණැ”යි.
“එ කරුණින් ම ඇවැත, මම් නොයමි, තා විසින් යමක් කට හැකි නම්, එය කරව”යි
“මහණ, තා පැන පුළුවුස්මි. ඉදින් තෝ එය මට නො විසඳනෙහි නම්, තාගේ සිත හෝ පෙරලන්නෙමි, තාගේ හදවත හෝ පළන්නෙමි, දෙපය අල්වා ගෙණ ගඟිනෙතර හෝ දමාපියමි”යි.
ඇවැත යමෙක් මාගේ සිත හෝ පෙරළා නම් හදවත හෝ පලානම් දෙපය හෝ අල්වා ගෙන ගඟිනෙතර හෝ දමාගසා නම් එබන්දකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි හෝ මහණ බඹුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි, නො මැ දක්මි. එහෙත් ඇවැත, යමක් කැමැත්තෙහි නම් විචාර”යි.
එකල්හි අළවු යක් භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
183. මෙලොව්හි පුරුෂ හට කවර ධනයෙක් ශ්‍රේෂ්ඨ වේ ද? මොනොවට පුරුදු කරන ලද කවරෙක් සුව එළවා ද? කවරෙක් රසයන් අතුරෙන් ඉතා මියුරු වේද? කිසෙයින් දිවිවටනහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කීහු ද?”යි
184. මෙලො වැ ශ්‍රද්ධාව පුරුෂ හට ශ්‍රේෂ්ඨ ධනය වේ, (දාන, ශීල, භාවනා) ධර්‍මය මොනොවට පුරුදු කරණ ලදුයේ සුව එළවයි, රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් මියුරු වෙයි. ප්‍රඥාවෙන් දිවිවටනුවහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කීහු,
185. කිසෙයින් ඕඝතරණය කෙරේ ද? කිසෙයින් සසර සයුරු තරණය කෙරේ ද? කිසෙයින් වෘත්තදුඃඛය ඉක්මයේ ද? කිසෙයින් පිරිසිදු වේ ද?යි.
186. ශ්‍රද්ධායෙන් දෘෂ්ටිසඞ්ඛ්‍යාත ඕඝතරණය කෙරෙයි. අප්‍රමාදයෙන් භවාර්‍ණව තරණය කෙරෙයි. අනාගාමී මාර්‍ගවධ්‍ය වූ කාමදුඃඛය වීර්‍ය්‍යයෙන් තරණය කෙරෙයි. අර්‍හන්මාර්‍ගප්‍රඥාවෙන් පිරිසිදු වෙයි.
187. කිසෙයින් ප්‍රඥා ලබා ද? කිසෙයින් ධනය ලබා ද? කිසෙයින් කීර්තියට පැමිණේ ද? කිසෙයින් මිතුරන් සපයා ද? මෙලොවින් පරලොව ගොස් කිසෙයින් ශෝක නො කෙරේ ද?”යි
188. නිවනට පැමිණීම පිණිස (බුද්ධාදී) රහතුන්ගේ ධර්‍මය හදහනුයේ (දහම්) අසනු කැමැත්තේ අප්‍රමත්ත වැ විචක්‍ෂණ වූයේ ලෞකික ලෝකෝත්තර ප්‍රඥා ලබා,
189. ලෞකික ලෝකෝත්තර ධනයට ප්‍රතිරූප වැ ක්‍රියා කරණ සුලු වූයේ රුකුළු වැර ඇතිසේ නොලිහිල් පැරකුම් ඇත්තේ ලොවිලොවුතුරු ධනය ලබා. වාක්සත්‍යයෙන් කීර්තියට පැමිණේ. කැමති දෑ දෙන්නේ මිතුරන් සපයා.
190. ගිහිගෙයි වසන යම් සැදැහැතියකුහට වාක්සත්‍ය හා ප්‍රඥාව හා වීර්‍ය්‍යය හා ත්‍යාගය හා මේ සිව් දහම්හු ඇත් ද, හේ ඒකාන්තයෙන් පරලොව ගොස් ශෝක නො කෙරේ. මෙලොවින් පරලොව ගිය හේ ඒකාන්තයෙන් ශෝක නො කෙරේ.
191. ඉදින් වාක්සත්‍යයෙන් වැඩි තරම් වූ ප්‍රඥා සඞ්ඛ්‍යාත දමයෙන් වැඩි තරම් වූ ත්‍යාගයෙන් වැඩිතරම් වූ වීර්‍ය්‍යසඞ්ඛ්‍යාත ක්‍ෂාන්තියෙන් වැඩිතරම් වූ අනෙක් දහමෙක් මේ ලෝකයෙහි ඇත් නම්, වැලිත් අන්‍ය වූ නොයෙක් මහණ බමුණන් විචාරවයි.
192. මෙලොවැ නුවණ ලැබීම් ඈ යම් කරුණෙක් වේ නම්, එ ද පරලොව පිළිබඳ යම් අර්‍ත්‍ථයෙක් වේ නම්, එ ද, අද මම දැන ගතිමි. එබඳු මම දැන් කිසෙයින් නම් අන් බොහෝ මහණ බමුණන් විචාරම් ද?
193. ඒකාන්තයෙන් බුදුහු මට වැඩ පිණිස අළවු පුරට වැඩියහ. (එහෙයින්) යම් පින් කෙතෙක්හි දෙන ලද් ද මහත් ඵල වේ නම්, මම ඒ පින් කෙත දැනගතිමි.
194. මම බුදුන් නමදිමින් ධර්‍මයාගේ සුධර්‍මත්‍වය ද කියමින් ගමින් ගම නුවරින් නුවර හැසිරෙම් යයි.
මෙසේ වදාළ කල්හි අළවු යක් භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැ වැ. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැව, යම් සේ භවත් ගෞතමයන් වහන්ස, යටිහුරු කරණ ලද්දක් උඩුහුරු කෙරෙන්නේ වේ ද, පිළිසන් වූවක් විවෘත කරන්නේ වේද, මුළා වූවකුට මග පවසන්නේ හෝ වේ ද, ‘ඇස් ඇත්තාහු රූ දක්නාහ’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ හෝ වේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් ධර්‍මය පවසන ලද, තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යමි, ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් ව සරණගත උපාසකයකු කොට ධරණ සේක්ව යි.
ආළවක සූත්‍රය නිමි.
විජය සූත්‍රය
195. යන්නේ හෝ ඉදින් සිටිනේ හෝ හුන්නේ හෝ නොහොත් හෝනේ වේ ද, (අත්-පා) හකුළුවනු ද විදහනු ද වේ. තෙල ශරීරයාගේ චලනය යි.
196. ඇටින් නහරින් හා බැඳුනු, සමින් හා මසින් හා අවලිප්ත වූ සිවියෙන් පිළිසන් වූ සිරුර තත් වූ පරිදි නො පැණේ.
197. (මේ සිරුර) අතුනුයෙන් පිරුණේ නො පැසුනු අහරින් පිරුණේ අක්මායෙන් ද වටනින් ද හදවතින් ද පපුකැණින් ද වකුගඩුයෙන් ද බඩදිවෙන් ද -
198. මුකුනුයෙන් ද කෙළෙන් ද ඩහදියෙන් ද මේදසින් ද ලෙහෙයින් ද සඳමිදුලෙන් ද පිතින් ද වුරුණු තෙලෙන් ද පිරුණේ වෙයි.
199. යලිදු මේ ශරීරයාගේ නවදොරින් හැමකල්හි මල වෑහෙයි, ඇසින් කබ ද කණින් කාරලු ද වෑහෙයි.
200. නැහැයෙන් සොටු ද කලෙක මුවින් පිත ද සෙම ද වමයි, කයින් සෝදිය හා දැලි ද වැගිරෙයි.
201. වැලිදු මේ ශරීරයාගේ සිදුරු සහිත හිස හිස්මුලින් පිරුණේ වෙයි. අවිද්‍යායෙන් පෙරටුකරණ ලද බාල එය ශුභ විසින් හඟනේ ය.
202. යම් විටෙක ඒ කය ආයු උෂ්මා විඥානපගමයෙන් මළේ ඉදිමුනේ නිල් වූයේ හෝනේ වේ ද, එකල්හි අමු සොහොන්හි හැරදමන ලදුයේ ඥාතීහු අපේක්‍ෂා රහිත වූවාහු වෙති.
203. ශුනකයෝ ද සිවල්ලු ද වෘකයෝ ද, පණුවෝ ද කවුඩෝ ද ගිජුලිහිණි ද කති. වෙනත් ප්‍රාණීහු වෙත් නම් ඔහු ද එය කති.
204. මෙසස්නෙහි විදසුන් නුවණින් යුත් මහණ බුදු වදන් අසා එය පිරිසිඳ දැනගනී. තත් වූ පරිදි අනිත්‍යාදි විසින් දක්නා හෙයිනි.
205. මේ සවිඥානක අශුභය යම් සේ ද තෙල අවිඥානක අශුභය ද එබඳු වෙයි. තෙල අවිඥානක අශුභය යම් බඳු ද, මේ සවිඥානක අශුභය ද එබඳු වේයයි. (එහෙයින්) ආධ්‍යාත්මික වූ ද බාහ්‍ය වූ ද සිරුරෙහි ඡන්‍ද රාගය දුරලන්නේය.
206. මෙ සස්නෙහි රහත්මග නුවණින් යුත් එ මහණ ඡන්‍දරාගයෙන් වෙන් වූයේ අමෘත නම් වූ ශාන්තිය වූ ච්‍යුති රහිත වූ, නිර්‍වාණයට ද පැමිණියේ ය.
207. අපවිත්‍ර වූ දුගඳ වහනය කරණ නොයෙක් කුණපයෙන් පිරුණු ඒ ඒ දොරින් මලවහන දෙපායුත් මේ කය (සුවඳ කැවීම් ආදියෙන්) පරිහරණය කරනු ලබයි.
208. යමෙක් මෙබඳු වූ සිරුරින් යුක්තව තෘෂ්ණාදි විසින් තමා හුවා දක්වන්නට සිතා ද, මෙරමා හට හෝ අවමන් කරන්නේ ද මෙහිලා ආර්‍ය්‍යමාර්‍ගයෙන් සත්‍යය නො දැක්ම විනා අන් කවරෙක් ද?
විජය සූත්‍රය නිමි.
මුනි සූත්‍රය
209. (තෘෂ්ණා - දෘෂ්ටි - මිත්‍ර සඞ්ඛ්‍යාත ත්‍රිවිධ) සන්‍ථවයෙන් (කෙලෙස්) බිය උපන. (රූපාදි අරමුණු නමැති) නිකේතයෙන් (ගෙයින්) රාගාදි කෙලෙස් රජස් උපන. නිකෙත නැති, සන්‍ථවයෙන් තොර වූ තෙල නිර්‍වාණය ඒකාන්තයෙන් (බුද්ධ) මුනිහුගේ දර්‍ශනය වෙයි.
210. යමෙක් උපන් කෙලෙස් නසා මතු උපදනා කෙලෙස් නූපදවා ද, (අනාගතයෙහි උපදනා) ඒ ක්ලේශයට යලි ප්‍රවේශ නොදෙන්නේ ද, (ලෝකාර්‍ත්‍ථචර්‍ය්‍යාවෙහි) හැසිරෙන ඔහු ශ්‍රේෂ්ඨ මුනිවරයෙකැයි (බුදුවරු) කීහු. ඒ මහර්ෂී අත්‍යන්ත ශාන්ති පදය (පසක් විසින්) දුටුයේ ය.
211. (ස්කන්‍ධායතනාදි) ක්ලේශවස්තූන් පිරිසිඳ දැන (අභිසංස්කාර විඥාන සඞ්ඛ්‍යාත) වස්තු බීජය සමුච්ඡේද විසින් නසා එයට නැවත තෘෂ්ණා දෘෂ්ටි නමැති සෙනහය (දිය ) නොවැද්දේ ද, ජාතිමරණයන්ගේ අන්තය වන නිවන දක්නා සුලු ඒ මුනි ඒකාන්තයෙන් නවවිධ අකුශල විතර්‍කය ප්‍රහීණ කොට (දෙවියෙමි, මිනිසෙකිමි යන ආදි) සඞ්ඛ්‍යාවට නො පැමිණෙයි.
212. (කාමාභවාදි) හැම නිවේසනයන් (අනිත්‍යාදිවශයෙන්) දැන, ඔවුනතුරෙහි එකකුදු නො පතනුයේ ඒ බුද්ධමුනි පහකළ තෘෂ්ණා ඇතියේ (එහෙයින්ම) ගිජු නො වූයේ ඒකාන්තයෙන් කුශලාකුශල කර්‍ම රැස් නොකෙරෙයි. යම් හෙයකින් නිවන් පරතෙරට හේ ගියේ ද එහෙයිනි.
213. (ඡන්‍දරාගප්‍රහාණයෙන් ස්කන්‍ධ ධාතු ආයතන සඞ්ඛ්‍යාත) සියලු ධර්‍මයන් මැඩ ලූ, සර්‍වාකාරයෙන් ඒ සියලු ධර්‍මයන් දන්නා වූ, (සර්‍වධර්‍මයන් දෙසීමෙහි සමත් වූ මහා ප්‍රඥා ඇති හෙයින්) සුමේධ වූ සර්‍වධර්‍මයන්හි (ඡන්‍දරාගාභාවයෙන්) නො ඇලුනු සර්‍වධර්‍මයන්හි ඡන්‍දරාගය හළ, තෘෂ්ණාක්‍ෂය සඞ්ඛ්‍යාත නිර්‍වාණයෙහි විමුක්ත වූ ඒ බුදුහු මුනි යයි බුද්ධාදි පණ්ඩිතයෝ දනිති.
214. (ක්ලේශප්‍රහාණය කරණ) ප්‍රඥාබලය ඇති, චතුපාරිශුද්ධි ශීලයෙන් හා තෙළෙස් දුහඟින් යුත්, මාර්‍ගඵල ඊර්‍ය්‍යාපථසමාධියෙන් සමාහිත වූ, (උපචාර - අර්‍පණා) ධ්‍යානයන්හි ඇලුනු, ස්මෘතිමත් වූ රාගාදි සඞ්ගයෙන් මිදුනු (පඤ්චචේතෝඛීල සඞ්ඛ්‍යාත) කෙලෙස් හුල් නැති, ඔහු මුනියයි පණ්ඩිතයෝ දනිති.
215. ( ප්‍රව්‍රජ්‍යා සඞ්ඛ්‍යාතාදියෙන්) එකලාව හැසිරෙන මෝනෙය්‍යධර්‍මයෙන් යුක්ත වූ, (හැමතන්හි) නොපමා වූ, නින්‍දා ප්‍රශංසායෙහි (ප්‍රතිඝානුනය දෙකින්) නො සැලෙනු වූ, සිංහයෙකු සෙයින් (අටලෝදම්හි) තැති නො ගන්නා වූ, දැලෙහි සුළං සෙයින් (තෘෂ්ණා-දෘෂ්ටි ජාලයෙහි) නො ලැගෙන, දියෙන් නො තැවරෙන පියුමක් සෙයින් ලෝකය හා තෘෂ්ණා-දෘෂ්ටි ලේපයෙන් නො තැවරෙන, මෙරමා නිවනට පමුණුවන, අනිකකු විසින් (නිවන් මඟට) නො පැමිණැවිය හැකි, ඒ බුදුහු මුනි යයි බුද්ධාදි පණ්ඩිතයෝ දනිත්.
216. යමෙක් යම් වස්තුවක් කෙරෙහි අන්‍ය තීර්‍ත්‍ථකයෝ (ගුණාගුණ වශයෙන්) නින්‍දා ප්‍රශංසා වචන කියත් ද, එබන්දෙහි නානතොටෙහිලූ ටැඹක් මෙන් ස්ථිර වේ ද, (ඉටු අරමුණෙහි) පහ වූ රාග ඇති, (ද්වේෂ මෝහ අභාවයෙන්) සමාහිත වූ ඉඳුරන් ඇති, ඒ බුදුහු මුනි යයි පණ්ඩිතයෝ දනිත්.
217. යමෙක් ඒකාන්තයෙන් (භාවාන්තරෝපගමන නැති හෙයින්) ස්ථිත වූ සිත් ඇත්තේ, හූවෙලුවක් (පිළි වියන තරස් දණ්ඩක්) සෙයින් ඍජු වූයේ පව්කම් පිළිකුල් කෙරේ ද, සම විසම දෙක මාර්‍ග ප්‍රඥායෙන් විමසා බලන්නේත් වේ ද, ඒ බුදුහු මුනි යයි පණ්ඩිතයෝ දනිති.
218. යමෙක් (සීල සංයමයෙන්) සංයත වූයේ තරුණ වූයේ හෝ මැදුම් වියෙහි වූයේ හෝ දැමුනු සිත් ඇත්තේ මෝනෙය්‍ය ධර්‍මයෙන් සමන්‍විත වූයේ, නො පෙළියයුතු වූයේ කිසිවකු නො ගටා ද, ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
219. මෙරමා විසින් දුන් දිවිවටනා සැළි මුවින් හෝ මැදින් හෝ සෙසු තැනින් ගත් පිඬු ලබා ද, හේ (තමා හෝ දායකයා) පැසසීමට නො නිසිවේ ද, දායකයා පහත් කොට බණන්නේ හෝ නොවේ ද, ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
220. යමෙක් යොවුන් වියෙහි (ස්ත්‍රී රූපාදි) කිසි අරමුණක (කෙලෙස් විසින්) නො බැඳේ ද, මුනි වූ ඒකවිහාරීව හැසිරෙන, මෙවුන් දමින් දුරු වූ මදයෙන් හා ප්‍රමාදයෙන් විරත වූ, සියලු කෙලෙස් බැඳුමෙන් මිදුනු ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
221. (ස්කන්‍ධාදි) ලෝකය (දුකැයි) දැන, (නිරෝධසත්‍යය සාක්‍ෂාත් කිරීමෙන්) පරමාර්‍ත්‍ථය දක්නා සුලු (සමුදය ප්‍රහාණයෙන්) චතුරෝඝයද (චක්‍ෂුරාදි ආයතනය) සමුදාය ද (මාර්‍ගභාවනාවෙන්) තරණය කොට තාදි වූ, සිඳින ලද චතුර්ග්‍රන්‍ථ ඇති තෘෂ්ණා-දෘෂ්ටි විසින් ඇසුරු නො කරණලද, ඔහු මුනි යයි පණ්ඩිතයෝ පවසත්.
222. ( ගිහි-පැවිදි ) දෙදෙන නො සම වූවාහු උනුන්ගෙන් දුර වූවාහු හෝ දිවි වැටුම් ඇති වෙති. ගෘහී තෙමේ අඹුදරුවන් පුස්නේ වෙයි. පවිත්‍ර ව්‍රත ඇති පැවිදි (අඹුදරුවන් කෙරෙහි) මමත්‍ව නැති වෙයි. ගිහි පරපණ නැසීමෙන් අසංයත වෙයි. මුනි සංයත වූයේ ප්‍රාණීන් රක්නේ ය.