එක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණ මහරන්තලියෙක්හි කිරිපිඬු වඩා “යම් හෙයෙකින් භවත් ගෞතමයන් වහන්සේ අමෘත ඵලවත් කෘෂිකර්‍ම කරන්නාහු නම්, භවත් ගෞතමයන් වහන්සේ එබඳු කර්‍ෂක (ගොවි ) වන්නාහ. භවත් ගෞතමයෝ පායාස වළඳවත්වා”යි. භාග්‍යවතුන් වහන්සේට පිරිනැමී.
81. බ්‍රාහ්මණය, ගාථාභිගීත වූ (ගී ගැයුමින් ලත්) පායාසය මා විසින් වළඳනට නො නිසි යැ. සම්‍යක්ආජීවපාරිශුද්ධිය දක්නා බුදුවරයනට තෙල (චාරිත්‍ර) ධර්‍ම නොවේ. සර්‍වඥයෝ ගාථාභිගීත භෝජනය පිළිකෙවු කෙරෙති. බ්‍රාහ්මණය, චාරිත්‍රධර්‍මය (ලොව්හි) පවතිත් ම ඒකාන්තව්‍යවදාත වූ පය්‍යෙර්‍ෂණය (බුදුවරුන්ගේ) ජීවිතවෘත්තිය වෙයි.
82 (සර්‍වගුණයෙන් පිරිපුන් හෙයින්) කේවලී වූ මහර්ෂී වූ ක්‍ෂීණාස්‍රව වූ සන්සුන් කුකුස් ඇති බුදුනුට අන්‍ය ආහාරපානයෙකින් ම උවටන් කරව. යම් හෙයෙකින් ඒ පින් කැමැතියහුට පින්කෙත් වේ ද, එහෙයිනි.
භවත් ගෞතමයන් වහන්ස, එසේ වත් ම මෙ පායාසය මම් කවරකුහට දෙම් දැ? යි.
බමුණ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ලොවැ දෙවිමිනිසුන් සහිත, මහණබමුණන් සහිත සත්ත්‍වාඛ්‍ය ප්‍රජායෙහි තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයෙකු හො විනා යමකු විසින් ඒ පායාසය වළඳන ලද්දේ මොනොවට පරිණාමයට යේ නම්, එබන්දකු නො දක්මි. බමුණ, එකරුණින් තෝ ඒ පායාසය නිල්තණ නැති බිමෙක් හෝ දමව. (එයින් නැසෙන) ප්‍රාණීන් රහිත දියෙහි හෝ උල්පවාලවයි.
ඉක්බිති කසීභාරද්වාජ බමුණු ඒ පායාසය ප්‍රාණීන් රහිත දියෙහි උල්පවාලීය. එකල්හි ඒ පායාසය. දියෙහි බහාලන ලදුයේ, චිච්චිට යන අනුකරණ කෙරෙයි. චිටිචිටි යන අනුකරණ කෙරෙයි. හාත්පසින් දුමයි. අධිමාත්‍රව හාත්පසින් දුමයි. යම් සේ දවසක් තැවුනු සීවැලෙක් දියෙහි බහාලනුලදුයේ චිව්චිට යන අනුකරණ කෙරේ ද, හාත්පසින් දුමා ද. අධිමාත්‍රව හාත්පසින් දුමා ද, එසෙයින් මැ ඒ පායාසය දියෙහි බහාලන ලදුයේ චිව්චිට යන ශබ්ද කෙරෙයි. චිටිචිටි යන ශබ්ද කෙරෙයි. හාත්පසින් දුමයි. අධිමාත්‍රව හාත්පසින් දුමයි.
එකල්හි කසීභාරද්වාජ බ්‍රාහ්මණ සංවිග්න වූයේ හටගත් ලොමුදහ ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ පාමුල්හි හිසින් වැඳ හෙව භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේය:
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනැවැ, භවත් ගෞතමයන් වහන්ස ඉතා මැනැවැ, ගෞතමයන් වහන්ස, යම් සේ වනාහි යටිකුරු කොට තබනලද්දක් උඩුකුරු කොට තබන්නේ වේ ද, පිළිසන් වූවක් වැසුම් හරණේ වේ ද, මංමුළා වූවකුට හෝ මග කියන්නේ වේද, ඇසි ඇත්තාහු රූ දක්නාහයි අඳුරෙහි හෝ තෙල් පහනක් දල්වන්නේ වේ ද එපරිදි ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නන්අයුරින් ධර්‍මය දෙසන ලද. මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මයද භික්‍ෂුසඞ්ඝයා ද සරන කොට යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවැදි ලබම්වා උපසපුව ලබම්වයි.
කසීභාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි ලැබී ය. උපසපුව ලැබී ය. උපසපුව ලැබූ නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ එකලා වූයේ කයින් සිතින් වෙන්වූයේ නොපමා වූයේ කෙලෙස් තවන වැර ඇතියේ නිවනට මෙහෙයූ සිත් ඇතිව වෙසෙනුයේ යම් රහත් පලයක් පිණිස කුලපුත්‍රයෝ මනා කොට මැ ගිහිගෙන් නික්මැ පැවිද්දවට පැමිණෙත් ද,
මාර්‍ගබ්‍රහ්මචර්‍ය්‍යය අවසන් කොට ඇති එ අර්‍හත් ඵලය ඉහාත්මයෙහි මැ තමා විසින් දැනැ පසක් කොට සපයා විසී. ජාතිය ක්‍ෂීණ වූ යැ, සසුන් බ්‍රම්සර මගබ්‍රම්සර වස් වැස නිමවන ලද. සිවුමගින් කළ යුතු සොළොස් වැදෑරුම් කරණී කරණී කරණ ලද, පිළිමෙබවට නො එමි යි දැනගති. ආයුෂ්මත් භාරද්වාජ රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් වී යයි.
කසීභාරද්වාජ සූත්‍රය නිමි.
1. 5.
චුන්‍ද සූත්‍රය
83. විපුල ප්‍රඥා ඇති, සම්‍යක්සම්බුද්ධ වූ, ධර්‍මස්වාමී වූ විගත තෘෂ්ණා ඇති ද්විපදෝත්තම වූ සාරථීන් කෙරෙහි උතුම් වූ, මුනීන්‍ද්‍රයන් පුළුවුස්මි. ලොව්හි මහණහු කෙතෙක් ද? ඔවුන් වදාළ මැනවැ”යි චුන්‍ද කර්‍මාරපුත්‍ර මෙසේ කී:
84. (භාග්‍යවතුන් වහන්සේ චුන්‍ද යී අමතා) ශ්‍රමණයෝ සිවුදෙනෙකි. පස්වැනියෙක් නැති. සාක්‍ෂි කොට හමියෙහි පුළුවුස්නා ලද්දෙම් තොපට උන් පාළ කොට කියමි. සිවුමගින් සවුකෙලෙස් දිනූ මග්ගජින නම් එකෙකැ, (මෙරමා හට) මග දෙසන මග්ගදෙසක නම් එකෙකැ. (කළණ පුහුදුන් ඇතුළු ශෛක්‍ෂ) ලොවි-ලොවුතුරු මගෙහි වෙසෙන මග්ගජීවි නම් එකෙකැ, යම් (දුශ්ශීල වූ) මග්ගදූසී නම් එකෙක යන මොහු යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
85. බුදුවරු කවරකු මාර්‍ගජින යයි කියත් ද, කෙසේ නම් මාර්‍ගදේශක අතුල්‍ය වේ ද? යමෙක් මාර්‍ගයෙහි වෙසේ නම් මා විසින් පුළුවුස්නා ලද සේක් (ඔහු) වදාරණ සේක් වා! වැලිදු මට මාර්‍ගදූෂකයා ප්‍රකට කරණ සේක් වා”යි චුන්‍දකම්මාරපුත්‍ර විචාළේය.
86. යමෙක් පහකළ කථංකථභාවය ඇත්තේ ද, රාගාදි (පඤ්චවිධ) කෙලෙස් හුලින් මිදුනේ ද, නිවණෙහි ඇලුනේ ද, කිසි ධර්‍මයෙක්හි දු ගිජු නො වූයේ ද, සදේවකලෝකයට නායක වූයේ ද, බුදුවරු තාදි ගුණ ඇති ඔහු මාර්‍ගජින යයි කියත්.
87. යමෙක් මෙලොව්හි පරම නම් නිවණ උතුමැ’යි (පස් විකුම් නැණින්) දැන මෙසස්නෙහි ම නිවන් දහම පවසා ද, විස්තර කොට මාර්‍ගධර්‍මය විභාග කෙරේ ද, සැක දුරලන (මෝනෙය්‍ය ගුණයෙන් සමන්‍විත හෙයින්) මුනි වූ තෘෂ්ණා එජා නැති ඒ දෙවෙනි මහණ හු මාර්‍ගදේශී යයි කීහු.
88. යමෙක් මොනොවට දෙසන ලද නිර්‍වාණපදය වූ මාර්‍ගයෙහි සංයත වූයේ ස්මෘතිමත් වූයේ ජීවත් වේ ද, (සත්තිස්බෝපැකිදම් නැමැති) නිරවද්‍ය පද සෙව්නේ ද, ඒ මහණහු තෙවන වූ මාර්‍ගජිවී යයි කීහු.
89. (බුදුපසේබුදුසවු යන) මනාව්‍රත ඇතියවුන්ගේ පිළිරූ වෙස් ගෙණ පිරිස් මැදට පණින සුලු වූයේ නො මනාපිළිවෙතින් කුලදූෂණ කරන්නේ (කාය-වාක්-මනස්) ප්‍රගල්භතා (නොසරුප් බුහුටිකම්) ඇත්තේ කළපව් සැඟවීම් සඞ්ඛ්‍යාත මායා ඇත්තේ, ශීලසංයමයෙන් සංයත නො වූයේ, හිස් වදන් ඇත්තේ පිළිරුවින් (ව්‍යාජයෙන්) හැසිරෙන්නේ ද, හේ මාර්‍ගදූෂී වේ.
90. යම් ගැහැවියෙක් ශ්‍රැතවත් වූයේ ආර්‍ය්‍යශ්‍රාවක වූයේ ප්‍රඥා ඇත්තේ මොවුන් පිළිවිදියේ ද, ඔහු සියලු දෙන එබඳු යයි දැන, මෙසේ දැක ඔහුගේ ශ්‍රද්ධාව නො නස්නේය. කෙසේ නම් දුෂ්ටයකු හා අදුෂ්ටයකු ද අශුද්ධයකු හා ශුද්ධයකු ද සම කරන්නේදැ”යි.
චුන්‍ද සූත්‍රය නිමි.
1. 6.
පරාභව සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර නම් අනේපිඬු සිටිහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ට වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය එකලු කරමින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේය.
91. අපි ගෞතමයන් වහන්සේ පිරිහෙන පුඟුල් පුළුවුසුම්හ. භාග්‍යවතුන් වහන්සේ පුළුවුස්නට අවුත් සිටියම්හ. (ගෞතමයන් වහන්ස) පිරිහෙන පුඟුල්හුගේ මුඛය (කාරණය) කිම?
92. වැඩෙන (දියුණුවන) පුරුෂ සුවසේ දත හෙයි. පිරිහෙන පුරුෂ මොනොවට දත හෙයි. (දසකුසල්) දහම් කැමැත්තේ වැඩෙනු වෙයි. දහමට ද්වේෂ කරණුයේ පිරිහෙනු වෙයි.
93. මෙසෙයින් තෙල දැනගනුම්හ. ඒ ධර්‍මද්වේෂිතා ලක්‍ෂණය පළමුවන පරාභවයයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙන පුඟුල්හුගේ දෙවන පරාභව මුඛය කිමැයි වදාළ මැනැවැ.
94. ඔහුට අසත්පුරුෂයෝ ප්‍රිය වෙති. (බුද්ධාදි) සත්පුරුෂයා කෙරෙහි ප්‍රිය නොකෙරෙයි. අසත්පුරුෂයන්ගේ (දෙසැටමිසදිටු) දහම රුස්නේ වේ. එය පිරිහෙන කරුණ වෙයි.
95. මෙසෙයින් තෙල කරුණ දැනගනුම්හ. එ ලක්‍ෂණය දෙවන පරාභවයයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙන පුඟුල්හුගේ තෙවන පරාභව කාරණය කිමැයි වදාළ මැනැව.
96. යම් මිනිසෙක් නිදනසුලු වේ ද, ගණයා කෙරෙහි ඇලෙන සුලු වේ ද, උත්‍ථානවීර්‍ය්‍ය නැතියේ ද, උපතින් අලස වේ ද, ක්‍රෝධය ලක්‍ෂණ කොට ඇති වේ ද, එය පිරිහෙන පුඟුල්ගේ මුඛ යි.
97. මෙසෙයින් තෙල කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය තෙවන පරාභවයයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙනුහුගේ සිව්වන දොර කිමැයි වදාළ මැනැවි.
98. යමෙක් පොහොසත් වූයේ ජරාජීර්‍ණ වූ ඉක්මගිය යොවුන් බව ඇත මව හෝ පිය නො පුස්නේ ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොර යි.
99. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය සිවුවන කරුණැයි, භාග්‍යවතුන් වහන්ස, පිරිහෙන පුඟුල්හුගේ තෙල පස්වන දොර කිමැයි වදාළ මැනැවැ.
100. යම් බමුණෙකු වේවයි මහණකු වේවයි අන් කිසි යදියෙකු වේවයි මුසවායෙන් රවටා ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොර යි.
101. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පස්වන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, තෙල පිරිහෙන පුඟුල්හුගේ තෙල සවන දොර කිමැයි වදාළ මැනැව.
102. බොහෝ රන් රිදී මිණිරුවන් ඇති කහවණු ඇති සූපව්‍යඤ්ජන භෝජනයෙන් සමෘද්ධ වූ, පුරුෂ එකලා වූයේ පිණි බොදුන් වළඳනේ ද, එය පිරිහෙන පුඟුල්හුගේ තෙල සවන දොරයි.
103. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය සවන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, තෙල පිරිහෙන පුඟුල්හුගේ තෙල සත්වන දොර කිමැයි වදාළ මැනැවැ.
104. යම් මිනිසෙක් ජාතිමානයෙන් තද වූයේ ධන මානයෙන් තද වූයේ කුලමානයෙන් තද වූයේ සිය නෑයන් ඉක්මැ සිතා ද, එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
105. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය සත්වන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, තෙල පිරිහෙන පුඟුල්හුගේ තෙල අටවන දොර කිමැයි වදාළ මැනැවැ.
106. යම් මිනිසෙක් ස්ත්‍රීධූර්‍ත වූයේ සුරාධූර්‍ත වූයේ අක්‍ෂධූර්‍ත වූයේ ලද ලද දෑ වනසා ද එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
107. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පිරිහෙන පුඟුල්හුගේ අටවන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, නවවන පිරිහීමේ කරුණ කිමැයි වදාළ මැනැවැ.
108. සිය දාරයන් විසින් නො සතුටු වූයේ වේශ්‍යාවන් කෙරෙහි පැමිණේ ද, පරඹුවන් වෙතැ පැමිණේ ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොර යි.
109. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පිරිහෙන පුඟුල්හුගේ නවවන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, දසවන දොර කිමැයි වදාළ මැනැවැ.
110. ඉක්මගිය යොවුන් ඇති පුරුෂ තිඹිරිපල බඳු පියොවුරු ඇති තුරුණු දැරියක් ආවාහ කොට ගණී ද (හෝ) ඇයට ඊර්‍ෂ්‍යාවෙන් නො නිදා ද එ පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
111. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පිරිහෙන පුඟුල්හුගේ දස වන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, එකොළොස්වන පිරිහෙන පුඟුල්හුගේ කිමැයි වදාළ මැනැවැ.
112. (මත්ස්‍ය මාංස මද්‍යපාන ආදියෙහි ) ලොල් වූ ඒ සඳහා ධනය විසුරුවන මාගමක් හෝ එබඳු වූ පුරුෂයෙකු ඉසුරෙහි (ආධිපත්‍යයෙහි) තබා ද, එ පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
113. මෙසෙයින් එ කරුණ දැනගනුම්හ. තෙල ලක්‍ෂණය පිරිහෙන පුඟුල්හුගේ එකොළොස්වන කරුණයි, භාග්‍යවතුන් වහන්ස, දොළොස්වන පිරිහීමේ කරුණ කිමැයි වදාළ මැනැවැ.
114. අල්පභෝග ඇති මහත්වූ භෝගතෘෂ්ණා ඇති, යමෙක් ක්‍ෂත්‍රිය කුලයෙහි උපදී ද, හෙ ද රාජ්‍යය පතා නම්, එ පිරිහෙන පුඟුල්හුගේ දොරයි.
115. පණ්ඩිත වූ පරාභව දක්නා නුවණැති ඒ ආර්‍ය්‍ය පුද්ගල ලොව්හි තෙල පරාභවයන් නුවණැසින් පිරිසිඳ දැන දෙව්ලොවට පැමිණේ යයි.
පරාභව සූත්‍රය නිමි.
1. 7.
වසල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු මහසිටුහුගේ අම්හි වැඩවෙසෙනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු යෙහි හැද පෙරෙවැ පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඬුසිඟා වැඩි සේක. එසමයෙහි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙස්න සමීපයෙහි හෝම ගිනි දල්වන ලද වෙයි. ඉදිරියෙහි හොමද්‍රව්‍ය එළවනලද වෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ගෙපිළි වෙළින් පිඬුසිඟා වඩනාසේක්. අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවෙසට වැඩි සේක, අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ දුර ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල බස් කීය: මුණ්ඩකය, ඔබ මැ සිට, ශ්‍රමණකය ඔබ මැ සිට, වසලකය ඔබ මැ සිට යි.
මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ බමුණු හට තෙල වදාළහ: “බමුණ, තෝ වැලිත් වසලයා වේවයි වසල කරණ ධර්‍ම වේවයි දන්හි දැ”යි.
“භවත් ගෞතමයානන් වහන්ස, මම වසලයා වේවයි වසල කරණ ධර්‍ම වේවයි නො දන්මි ඉදින් භගවත් ගෞතමයන් යම් පරිදි මම වසල වේවයි, වසල කරණ ධර්‍ම වේවයි දැනගණිම් ද එපරිදි භවත් ගෞතමයානන් වහන්සේ දහම් දෙසන සේක්වා”යි.
එසේ නම් “බ්‍රාහ්මණය, අසව, මොනොවට මෙනෙහි කරව, කියන්නෙමි”යි. “භවත්නි, එසේය” යි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස් වීය. භාග්‍යවතුන් වහන්සේ තෙල වසල සුත් වදාළ සේක:
116. යම් මිනිසෙක් කිපෙන සුලු යේත් බඳනාලද වෙර ඇතියේත් පවිටු ලමු ගුණමකු වූයේත්, විපර්‍ය්‍යස්තදෂ්ටි ඇතියේත් මායාවීත් වේ ද, ඔහු (ලමුදම් වස්වන හෙයින්) ‘වසලයෙකැ’යි දන්නේය.
117. මෙලොවැ යමෙක් ඒකජ වේවයි. ද්වීජ වේවයි ප්‍රාණීන් දිවිගලවා ද, යමක් හට ප්‍රාණීන් කෙරෙහි දයා නැත් ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
118. යමෙක් ගමුදු නියම්ගමුදු වනසා ද, වටලාගණී ද “ගම් පහරණ සොරෙකැ” යි පළට වේ ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
119. ගම්හි වේවයි වල්හි වේවයි අනුන් විසින් මමත්‍ව කළ (හිමියන් විසින් නොදුන්) වතක් සොර සිතින් ගණී ද, ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
120. යමෙක් එකැතින් (පරාගෙන්) ණය ගෙණ චෝදනා කරණු ලබන්නේ “තට මාගේ ණයක් නැතැ”යි පලායේ නම් ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
121. යමෙක් අල්පමාත්‍රවූ ද, කිසිවක් කැමැත්තෙන් මගැ යන ජනයා නසා බඩු වොලො ගණී ද ඔහු ‘වසලයෙකැ’ යි දන්නේ ය.
122. යමෙක් ආත්ම හේතුයෙන් හෝ පරහේතුයෙන් හෝ වේවයි තවද යම් මිනිසෙක් ධනය හේතුයෙන් හෝ සාක්‍ෂි කොට පුළුවුස්නා ලදුයේ දැන දැන මුසා බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
123. යමෙක් නෑසබඳුන්ගේ වේවයි යහලුවන්ගේ වේවයි අඹුවන් කෙරෙහි බලහත්කාරයෙන් හෝ දෙදෙනාගේ සනායෙන් හෝ ප්‍රතිකූල සේ මර්‍ය්‍යාදා භේද කරණු දක්නා ලැබේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
124. යමෙක් අර්‍ත්‍ථොපකරණයෙන් පොහොසත් වූයේ ජරාවෙන් දිරූ ගිය යොවුන් ඇති මව හෝ පියා හෝ නො පුස්නේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
125. යමෙක් මව හෝ පියා හෝ බෑනා හෝ බුහුන හෝ පෙළා ද, වචනයෙන් හෝ කෝප උපදවා ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
126. යමෙක් (සාන්‍දෘෂ්ටිකාදි අර්‍ත්‍ථය) පුළුවුස්නා ලදුයේ (ඔහුට) අහිතයක් මැ පවසා ද, (අර්‍ත්‍ථය මැ හෝ) ප්‍රතිච්ඡන්නක වශයෙන් බෙණේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
127. යමෙක් පව්කම් කොට ‘මා නහමක් දනීවා’යි කැමැති වේ ද, යමෙක් ප්‍රතිච්ඡන්න කර්‍ම ඇතියේත් වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
128. යමෙක් පරකුලයට ගොස් පිණී බොජුන් වළඳා (තම නිවෙසට) පැමිණියහුට ප්‍රතිපූජා නො කෙරේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
129. යමෙක් බමුණකු වේවයි මහණකු වේවයි අන්කිසි යදියකු වේවයි මුසවායෙන් රවටා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
130. යමෙක් භෝජන කාලය එළැඹෙත්ම බමුණකු වේවයි මහණකු වේවයි පරොස් බසින් කෝප උපදවා ද, කිසිත් නො දේ ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
131. මෙලොවැ යමෙක් මෝහයෙන් වෙළුනේ කිසිවක් (ලබා) ගණු කැමැත්තේ අසත් බස් තෙපලා ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
132. යමෙක් ස්වකීය මානයෙන් ඉතා හීන වූයේ තමා හුවා දක්වා ද, මෙරමා හෙලා දකී ද ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
133. (මෙරමාහට) කෝප උපදවනුයේ තද මසුරු වූයේත් වේ ද, ලාමක වු ඊප්සා ඇත්තේ ද, මසුරු බැව් ඇත්තේ ද, ශඨභාවයෙන් යුක්ත වේ ද, පවට ලජ්ජා නැත්තේ පවට බිය නැත්තේ වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
134. යමෙක් සම්මා සම්බුදුනට පරිභව බෙණේ ද, නොහොත් උන්වහන්සේගේ සවු වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.
135. යමෙක් රහත් නොවූයේ මම් රහත්මියි පිළින කෙරේ ද, බඹුන් සහිත වූ ලොව්හි සොරකු වූ මෙතෙමේ මැ අධම වූ ම වසල වෙයි. යම් පුඟුල් කෙනෙක් මා විසින් තොපට පවසන ලද්දාහු ද මොහු ඒකාන්තයෙන්ම වසලයහ යි කියනලදහ.
136. (පරමාර්‍ත්‍ථ විසින්) ජාතියෙන් වසල නො වෙයි. ජාතියෙන් (උපතින්) බමුණු ද නොවේ. (අපරිශුද්ධ) කර්‍මයෙන් වසල වෙයි (පරිශුද්ධ) කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ.
137. යම් ප්‍රකාරයකින් මාගේ මේ නිදසුන වේ ද, එකරුණ මේ ප්‍රකාරයෙනු දු දැන ගණිවු. (කෑමට) බලුමස් උයන ශ්වපාක නම් සැඩොල් පුතෙක් මාතඞ්ගයයි ප්‍රසිද්ධ විය.
138. ඒ මාතඞ්ග හීනකුලෝත්පන්නයකු විසින් ඉතා දුර්‍ලභ වූ යම් යශසකට පැමිණියේ ද, ඔහුට උවටැනට බොහෝ ක්‍ෂත්‍රියෝ ද බ්‍රාහ්මණයෝ ද පැමිණියහ.
139. හේ (රාගාදී කෙලෙස් රජස් නැති) බුද්ධාදීන් විසින් පිළිපන් හෙයින් මහාමාර්‍ගවූ (අටසමවත්) දේව යානයට නැග කාමරාගය ප්‍රහීණ කොට බඹලොවට පිළිසඳ විසින් පැමිණියේය.
140. ජාතිය බඹලොව උපතින් ඔහු නො වැළහීය. වේදහදාරණ කුලෙහි උපන්, වේදය පිළිසරණ කොට ඇති, ඒ බ්‍රාහ්මණයෝ ද නිතර පව්කම්හි (ගැලුනාහු) දක්නා ලැබෙත්.
141. දිටු දැමියෙහි ගැරහීමට පත් වූවාහු පරලොව්හි දුගතියට ද පත්වූවාහි දක්නා ලැබෙති. ජාතිතොමෝ ඔවුන් දුගතියෙන් හෝ ගැරහීමෙන් හෝ නො වළහා.
142. ජාතියෙන් වසල නොවේ. ජාතියෙන් බ්‍රාහ්මණ නොවේ. කර්‍මයෙන් වසල වේ. කර්‍මයෙන් බ්‍රාහ්මණ වේ.
මෙසේ වදාළ කල්හි අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය:
භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරය, භවත් ගෞතමයන් වහන්ස, යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කොට තබන්නේ යම් සේ ද, වසන ලද්දක් හෝ විවෘත කරන්නේ යම්සේ ද, මං මුළා වූවකුට මග කියන්නේ හෝ යම් සේද, ඇස් ඇත්තාහු රූ දක්නාහ’යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ යම් සේ ද, අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් දෙසන ලද. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඞ්ඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවෙකු කොට මා දරණ සේක් ව යි.
වසල සූත්‍රය නිමි.
1. 8.
මෙත්ත සූත්‍රය
143. ශාන්ත (නිර්‍වාණ) පදයට එළඹ වසනු කැමති වූ (ශික්‍ෂාත්‍රය සඞ්ඛ්‍යාත) ප්‍රතිපත්ති සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථයෙහි දක්‍ෂ වූවහු විසින් (සතර මාර්‍ග ඵල සඞ්ඛ්‍යාත) යම් කරණී වේ නම්, ඒ කළ යුතු වෙයි. (හො) සත්‍යප්‍රතිවේධයෙහි සමර්‍ත්‍ථ වන්නේ ය. (තෙවන ප්‍රධානාඞ්ගයෙන් සමන්‍වාගත වීමෙන්) ඍජු ද මොනවට ඍජු ද වන්නේ ය. (අවවාදක්‍ෂමතායෙන්) සුවච වන්නේ ය. (සසුන් බඹසරෙහි) මෘදු වන්නේය. (ජාති ගෝත්‍රාදි විසින්) අතිමාන නැති වන්නේය.
144. (ද්වාදශවිධ සන්තොෂයෙන්) සන්තුෂ්ට වන්නේ ය. (දායකයනට) සුපෝෂ්‍ය වන්නේය. (කර්‍මාරාමතාදි අනේකකෘත්‍යව්‍යාපෘත නොවීමෙන්) අල්ප කෘත්‍ය ඇති වන්නේ ය. (අල්ප පරීෂ්කාරතායෙන්) සැහැල්ලු වැටුම් ඇති වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇති වන්නේය.(ශීලානුරක්‍ෂණ, චිවරාදි විචාරණ සත්ප්‍රාය පරිජානන ප්‍රඥායෙන්) තන්වැසි නුවණැති වන්නේ ය. (කාය, වාඩ්, මනඃ ප්‍රගල්භතා නැතියෙන්) නොසරුප් බුහුටි බැවින් තොර වන්නේය. අනුලොම් නුවූ ගිහිසසග විසින්) කුලන්හි නො ගිජු වන්නේය.
145. යම් ලමුකමෙකින් විඥ වූ අන්‍යයෝ උපවාද කෙරෙත් නම්, එබඳු (ත්‍රිවිධදුශ්චරිත සඞ්ඛ්‍යාත) කිසිදු ක්‍ෂුද්‍රකර්‍ම නො ද කරන්නේ ය. සව්සත්හු සුවපත් වූවෝ, නිරුපද්‍රව වූවෝ සුඛිතචිත්ත වෙත්වා.
146. (තෘෂ්ණා සහිත හෙයින්) ත්‍රස නම් වු ද (තෘෂ්ණාප්‍රහාණයෙන් රහත් වූ හෙයින්) ස්ථාවර වූ ද (නාග මත්ස්‍ය ගෝධාදී) දීර්‍ඝජාතික වූ ද ( හස්තිනාග දානවාදී) මහාකාය ඇත්තා වූ ද ( අශ්ව ගවමහිෂාදී) මධ්‍යම ශරීර ඇත්තා වූ ද (වාමනාදී) ලුහුඬු සිරිරි ඇත්තා වූ ද (දිවැසට ගොදුරුවන) සියුම් අත්බැව් ඇත්තා වූ ද (මත්ස්‍ය කූර්මාදී) ස්ථුල වූ ද (පඤ්චවෝකාර භවයෙහි) යම් නිරවශේෂ ප්‍රාණීහු වෙත් නම්, (ඒක වෝකාර, චතුවෝකාර භවයන්හි) යම්බඳු නිරවශේස භූතයෝ වෙත් නම්,
147. (ඇස් සමුවට ඊම් විසින්) දුටු විරූ හෝ යම් ප්‍රාණී කෙනෙක් ඇත් ද, දුරෙහි හෝ නොදුරෙහි යම් සත්‍ව කෙනෙක් වෙසෙත් ද, (අභිනිර්‍වෘත හෙයින් අර්‍හත් සඞ්ඛ්‍යාත) යම් භූත කෙනෙක් වෙත් ද පුනර්‍භව සොයන හෙයින් ශෛක්‍ෂ පෘතග්ජනසඞ්ඛ්‍යාත) යම් සම්භවේසී සත්‍ව කෙනෙක් වෙත් ද, එ හැම සත්‍වයෝ සුඛිතාත්ම වෙත්වා.
148. අන්‍යජනයෙන් පරජනයකු නො රවටනේ ය. කිසි තැනෙක්හිදු එබඳු (ක්‍ෂත්‍රියාදි) කිසිවකු ඉක්ම නො හඟනේය. (කායවාග් විකාර සඞ්ඛ්‍යාත) විවිධ රෝෂණයෙන් හා (මනෝවිකාර සඞ්ඛ්‍යාත) ප්‍රතිඝසංඥායෙන් අනෙකෙක් අනෙකක් හට දුක් නොරුස්නේය.
149. මවත් තම එක ම උරෙයිදා පුතු සිය දිවියෙන් යම් සේ රක්නී ද, එසෙයිනුදු සවු සතුන් කෙරෙහි අප්‍රාමාණ්‍ය මෛත්‍රී චිත්තය වඩනේ ය.
150. (අරූප භවය තෙක් ඇති) උඩ හා (කාම භවය තෙක් ඇති) යට හා (රූපභව සඞ්ඛ්‍යාත) සරස හා හැම සත්ලොව්හි සම්බාධ විරහිත (නිඃසීම වූ) අවෛර වූ සතුරන් නැති අප්‍රාමාණ්‍ය වූ මෙත් සිත වඩනේ ය.
151. සිටුනේ වේවයි ඇවිදුනේ වේවයි, හෝනේ වේවයි යම් තාක් විගත නිද්‍රා ඇතියේ වේ නම්, තෙල මෛත්‍රී ස්මෘතිය ඉටනේය. බුද්ධාදී ආර්‍ය්‍යයෝ එය මෙලොව්හි බ්‍රහ්මවිහාර යී කීහු.
152. (ලොව්තුරු සිලින්) සිල්වත් වූයේ (සෝවාන් මග සම්දිටු යයි කියු) සම්‍යක් දර්‍ශනයෙන් සපන් වූයේ සත්කායදෘෂ්ටියට නොපැමිණ (සෙදගැමි අනගැමි දෙමගින්) කාමයන්හි ගිජුබව සන්හිඳුවා ඒකාන්තයෙන් කිසි වැතෙක්හිදු මාතෘගර්‍භශය්‍යාවට (පුනර් භවයට) යළි නො මැ එන්නේය යි.
මෙත්ත සූත්‍රය නිමි.